Saturday, September 16, 2017

ඇමරිකාවේ ඕලන්දය හා ටියුලිප් උත්සවය


ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ හොලන්ඩ් නමින් හැඳින්වෙන කුඩා නගරය එනමින් හැඳින්වෙන්නේ නෙදර්ලන්තයේ පැරණි නම වූ ඕලන්දය අනුව යමිනි. එහි පදිංචිකරුවන් විශාල ගණනකට ඕලන්ද සම්භවයක් තිබේ. මේ අයුරින්, වෙනත් රටවල් අනුව නම් කළ නගර ගණනාවක් ඇමරිකාවේ තිබේ. නිවුයෝර්ක්හි ග්‍රීස්, ස්වීඩන්, පෝලන්ඩ්, පේරු හා කියුබා, ටෙක්සාස්හි චයිනා, සුඩාන් හා ටර්කි, ඉන්දියානාහි ලෙබනන්, ඇන්ගෝලා, අයර්ලන්ඩ් හා මෙක්සිකෝ, අයෝවාහි ඩෙන්මාර්ක් හා නෝර්වේ, නෝර්ත් කැරොලිනාහි ඊජිප්ට් හා බොලීවියා හා කනෙක්ටිකට්හි ස්කොට්ලන්ඩ් මෙන්ම මිචිගන්හිම පිහිටි නොර්වේ උදාහරණ කිහිපයකි. මෙක්සිකෝ, පේරු, කියුබා වැනි නම් ඇති නගර අඩු වශයෙන් ඇමරිකාවේ ප්‍රාන්ත හත අටකවත් තිබේ.

විවිධ රටවල නම් වලින් මෙන්ම විවිධ රටවල පිහිටි නගර වල නම් වලින් හඳුන්වන නගර ගණනාවක්ද ඇමරිකාවේ තිබේ. මේ නම් මෙවැනි නගර වල දැන් ජීවත් වන ඇමරිකානුවන්ගේ සම්භවය පිළිබඳව ඉතිරි වී තිබෙන එකම හෝඩුවාව නොවේ. ඇමරිකාවට විවිධ රටවලින් පැමිණි සංක්‍රමණිකයින් කලක් යද්දී ඇමරිකානුවන් බවට පත් වී ඇතත්, ඔවුන්ගේ මුල් සංස්කෘතීන්හි ඇතැම් අංගද මේ සංක්‍රමණිකයින්ගේ පසු පරම්පරාවන් විසින් ඉදිරියට ගෙන යයි. ලෝකයේ ඕනෑම රටක ආහාර ඇමරිකාවෙන් හොයා ගන්නට බැරිකමක් නැත්තේ ඇමරිකාවේ විවෘත වෙළඳ ප්‍රතිපත්තිය නිසා මෙන්ම මේ සංස්කෘතික විවිධත්වයද නිසාය. ඇමරිකාව වටේ ලෝකය කැරකීම කෙසේ වුවත් ඇමරිකාව ඇතුළෙන් ලෝකයම වාගේ යම් තරමකින් දකින්නටනම් පුළුවන.



මිචිගන්හි පිහිටි හොලන්ඩ් නගරය ප්‍රසිද්ධව ඇත්තේ එහි වාර්ෂිකව පැවැත්වෙන ටියුලිප් උත්සවය නිසාය. හොලන්ඩ් නගර වැසියන්ගේ මුතුන් මිත්තන් මෙන්ම ටියුලිප් ශාඛයද උතුරු ඇමරිකාවට ඕලන්දයෙන් පැමිණ පැලපදියම් වූ සංක්‍රමණිකයෙකි. ඇමරිකා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ විවිධ ප්‍රදේශ වල පිහිටි, හොලන්ඩ් නගරය මෙන් ඕලන්ද උරුමයක් ඇති තවත් නගර ගණනාවක අප්‍රේල් අවසාන සතියේ හෝ මැයි මාසයේ ටියුලිප් මල් පිපෙන කාලයට මේ උත්සවය පැවැත්වේ. ඕලන්ද සංස්කෘතිකාංග වලටද තැනක් ලැබුණත් මේ උත්සවයේ ප්‍රධාන ආකර්ශනය වන්නේ එක යායට අක්කර ගණනක වවා ඇති ටියුලිප් මල්ය. ඒ දසුනේ සුන්දරත්වය වචන වලින් විස්තර කිරීම පහසු දෙයක් නොවේ.



කෙසේ වුවද, ටියුලිප් ගොවීන්ගේ ප්‍රධාන ආදායම ටියුලිප් මල් විකිණීම හෝ ප්‍රදර්ශනය කිරීම නොව ටියුලිප් බල්බ (අල) අලෙවි කිරීමයි. ටියුලිප් බල්බ වලට ඇමරිකාවේ තවමත් තිබෙන්නේ විශාල ඉල්ලුමකි. එහෙත්, මේ ඉල්ලුමට සරිලන ටියුලිප් බල්බ ප්‍රමාණයක් ඇමරිකාවේ නිෂ්පාදනය නොවන අතර ඒ අඩුව පුරවන්නේ ලෝකයේ විශාලතම ටියුලිප් බල්බ නිෂ්පාදකයා හා අපනයනකරු වන නෙදර්ලන්තය හෙවත් පැරණි ඕලන්දයයි. නෙදර්ලන්තයෙන් අපනයනය කරන ටියුලිප් බල්බ වැඩිම ප්‍රමාණයක් ආනයනය කරන්නේ ඇමරිකාවයි.

පහත වීඩියෝවේ ඇත්තේ නෙදර්ලන්තයේ ටියුලිප් ගොවිපොලක එක යායට පිපී ඇති ටියුලිප් මල් යන්ත්‍රයක උපකාරයෙන් කපා දමන ආකාරයයි. මේ අයුරින් මල් ඉවත් කරන්නේ ටියුලිප් ගොවියන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ටියුලිප් බල්බ මිස මල් නොවන බැවිනි. හොඳ තත්ත්වයේ බල්බ වැඩි ප්‍රමාණයක් නිපදවා ගත හැක්කේ බල්බ වර්ධනය වීමට අවශ්‍ය පෝෂණය ඉතිරි වන පරිදි මල් කපා ඉවත් කිරීම මඟිනි. ඒ නිසා, මේ වීඩියෝවේ පෙනෙන පරිදි රතුපාට ඉවත්වී කොළපාට මතුවන විට ටියුලිප් ගොවියාගේ ලාබ මෙන්ම නෙදර්ලන්තයේ ගෙවුම් ශේෂයද ඉහළ යයි.

ඕලන්දයට ටියුලිප් සමඟ ඇති සම්බන්ධය සියවස් හතරක් පහක් පැරණි එකකි. ඒ ඉතිහාසය ගැනත්, විශේෂයෙන්ම දාහත්වන සියවසේ මුල් කාලයේ ඕලන්දයේ ඇති වූ ටියුලිප්මේනියාව ගැනත් වෙනත් ලිපියකින් කතා කරමු.

20 comments:

  1. අයියෝ අර මල් ටික අපරාදේ, ඕව cut flowers වලට වත් ගන්න බැරිද, නිකන් තලල දාන් නැතුව?

    ReplyDelete
    Replies
    1. sri lankan mindset

      Delete
    2. ආවස්ථික පිරිවැය කියන්නේ ඕක තමයි. කපා ඉවත් කරන මල් වල කාට හෝ වටිනාකමක් තිබෙනවානම් එවැනි එය එහි මිල ගෙවන්නට සූදානම් නිසා මල් ආර්ථික භාණ්ඩයක් බවට පත් වෙනවා. එහෙත් සතියක් දෙකක් තිබෙන මල් වලට වඩා ඉල්ලුම තිබෙන්නේ දිගුකාලීන පැවැත්මක් තිබෙන බල්බ වලට නිසා වඩා වැදගත් වන්නේ හොඳ තත්ත්වයේ බල්බ වැඩි ප්‍රමාණයක් නිපදවීමයි. ඒවා කපා ඉවත් කරන්නේ මල් එලෙසම තබා ගැනීමේ ආවස්ථික පිරිවැය වැඩි නිසයි.

      Delete
  2. මේ මල් යය දකිද්දී මතක් වෙන්නේ ඇමරිකාව නොව ජනප්‍රිය හින්දි ගීතයකි. ටියුලිප් මල් යායාක මැද ඒ දර්ශනයේ රඟපාන්නේ අමිතාභ් භච්චන් හා රෙඛා ය.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඔබේ පියාණන් "අපිව ඒ හින්දි පික්චර් එක බලන්න එක්ක ගියා" කියලා නැනේ දියණිය ඇයි ඒ

      Delete
    2. මම හිතන්නේ ඔබ මේ කියන්නේ සිල්සිලා චිත්‍රපටයේ එන දේඛා ඒක් ඛවාබ් ගීතය ගැන විය යුතුයි. කිෂෝර් කුමාර් හා ලතා මන්ගේෂ්කර් ගායනා කරන මේ මියුරු හින්දි ගීතයේ අමිතාබ් බච්චන් හා රේඛා රඟපාන ඇතැම් කොටස් රූපගත කර තිබෙන්නේ නෙදර්ලන්තයේ Keukenhof tulip gardens හිදී.

      https://www.youtube.com/watch?v=HpoU-s8zVc8

      ටියුලිප් යායවල් වල ලස්සන නිසාම එදාමෙදාතුර බොලිවුඩ් චිත්‍රපට ගණනාවක් නෙදර්ලන්තයේ තිරගත කර තිබෙනවා. මේ තවත් එවැනි දර්ශන සහිත ගීතයක්.

      https://www.youtube.com/watch?v=JfG3ORHviAE

      Delete
    3. සිල්සිලා රූපගතකිරීම් සඳහා නෙදර්ලන්තයට ගිය වෙලාවේ තවත් දේවල් සිදුවී තිබෙනවා නේද?

      Delete
  3. කුඩා කාලෙ යමක් තදින් හිතට වැදුනම ජීවිත කාලෙටම අමතක වෙන්නෙ නෑ.

    ටියුලිප් මල් ගැන දැන් වුනත් යමක් කියවද්දි ඉස්සෙල්ලම මගෙ මතකයට එන්නෙ අවුරුදු 12/13 වගෙ කාලෙදි කියවපු "කළු දල මල" පරිවර්තනය (The black tulip by Alexander Dumas) ....ඒ තරමට සිත් ඇදගන්නා සුළු පරිවර්තනයක් ඒ. අවාසනාවට පරිවර්තකයගෙ නම මතක නෑ...

    ReplyDelete
    Replies
    1. https://grantha.lk/authors/kumara-siriwardhana/kalu-dala-mala-dumas-kumara-ashirwada.html

      Delete
    2. මේ පරිවර්තනය ගැන නෙවෙයි මම කියන්නෙ ඉකෝන්..හැත්තෑ ගණංවල මුලදි පළවුනු පරිවර්තනයක් ගැන.

      ඒ පොතේ භාෂාව එහෙමත් යම් තරමකට වියත් සිංහලයට බරයි. ඒත් මොන හේතුවකටද මන්දා මගෙ සිත ඒ පරිවර්තනයට තදින්ම ඇදීගියා.

      ඒ.පී.ගුණරත්න මහත්මයා නම් නෙවෙයි. සමහරවිට ඩී.සී.රණසිංහ හෝ හේමපාල මුනිදාස නැත්නම් දීගොඩ පියදාස යන මහත්වරුන්ගෙන් කෙනෙක් වෙන්න පුලුවන්...

      Delete
    3. මෙය විය නොහැකි බව මටත් හිතුනා. 1980 පමණ කාලයේ කළු දල මල නමින් පරිවර්තනයක් තිබූ බවත් යාන්තමින් වගේ මතකයි. එකම පොත දෙවනුව වෙනත් කෙනෙක් පරිවර්තනය කරන විට සාමාන්‍යයෙන් මුල් පරිවර්තනයේ නමම භාවිතා නොකරන නිසා සැකයටයි ලින්ක් එක දැම්මේ.

      Delete
    4. මම හිතන්නේ රවී කියවා ඇත්තේ සමහර විට එඩී ප්‍රනාන්දුගේ මේ පරිවර්තනය වෙන්න ඇති. මටනම් පොතේ නම හැර වැඩිපුර මතකයක් නැහැ.

      https://www.goodreads.com/book/show/23203631

      Delete
    5. ටියුලිප් මල් ගැන කියවෙන විට මටත් සිහියට ආවේ ඔය "කළු දල මල"කියන පොත.මම කියවූයෙත් කුමාර සිරිවර්ධනගේ ඉකොනෝමැට්ටා කියා තිබෙන පරිවර්තනයයි.එහි සමහර තැන් වල ලංකාව ගැනත් සඳහන්.
      කුමාර සිරිවර්ධනගේ පරිවර්තනයත් හරි රසවත් බව කිව හැකියි.

      Delete
    6. https://en.wikipedia.org/wiki/Michiel_de_Ruyter_(film)

      ඉන්ග්‍රීසි වර්ෂන් එක බැලුවා. බ්ලැක් ටියුලිප් එකේ තියන ඩි විට් ලා මැරුම්කන කෑල්ල මතක් වුනා

      Delete
    7. කේ ජී කරුණාතිලක මහතාගේ නොවේද?

      Delete
    8. Ajith,

      /මම හිතන්නේ රවී කියවා ඇත්තේ සමහර විට එඩී ප්‍රනාන්දුගේ මේ පරිවර්තනය වෙන්න ඇති./

      මම හිතන්නෙ ඉකෝන් හරි. මම කියෙව්වෙ එඩී ප්‍රනාන්දුගෙ පරිවර්තනය වෙන්න ඕන...

      Delete
  4. ටියුලිප් බල්බ වල ප්රදානම ප්යෝජනය නැවත වගා කරුවන්ට විකිනීම බවයි අන්තර්ජාලය කියන්නේ.(එලවලුවක්, බෙහෙතක් වැන්නක් නොවන බව). මේ ආකාරයේ වගාවක් ලාබදායි වන ආකාරය හිතාගන්න අමාරුයි. පැහැදිලි කරන්න පුලුවන්ද??

    ReplyDelete
    Replies
    1. භාණ්ඩයක මිල තීරණය වන්නේ ඉල්ලුම හා සැපයුම මත මිස එය අවශ්‍ය වන්නේ කෑමක් ලෙසද, බෙහෙත් ලෙසද වැනි හේතු මත නෙමෙයි. ඔබ කියන පරිදිම ටියුලිප් බල්බ යොදා ගන්නේ නැවත වගා කිරීම සඳහායි. මෙහි ඔබට ඇති ගැටලුව, මට තේරෙන විදිහට, දිගින් දිගටම ටියුලිප් බල්බ වලට ඉල්ලුමක් තිබෙන්නේ කොහොමද කියන එක වෙන්න ඇති. ඇමරිකාවේ බොහෝ දෙනෙක් වාර්ෂිකව කාලගුණය උණුසුම් වන විට ගෙවල් වල අලුතින් මල් හිටවනවා. "වාර්ෂික" මල් පැල ශීත කාලයේදී මිය ගිය පසු නැවත හැදෙන්නේ නැති නිසා මෙවැනි මල් වලට ඉල්ලුමක් තිබෙනවා. එහෙත්, ටියුලිප් අයත් වන්නේ මේ කාණ්ඩයට නෙමෙයි. ටියුලිප් ගස ශීත කාලයේ අකර්මන්‍ය වී කාලගුණය උණුසුම් වන විට නැවත මතු වෙනවා. එසේ වුවත්, ගොඩක් ඇමරිකානුවන් වසර කිහිපයකට වරක් හෝ අලුතින් මල් සිටවන්න කැමතියි. ඒ නිසා ඉල්ලුමක් ඇති වෙනවා. ඒ වගේම ඇමරිකාවේ ගෙවල් මාරු කිරීමත් සාමාන්‍ය දෙයක්. ගෙයක් විකිණීමෙන් පසු අලුත් අයිතිකරුවන් බොහෝ විට මල් වෙනස් කරනවා. ගෙවල් වලට අමතරව පොදු ස්ථාන වලත් බොහෝ විට වාර්ෂිකව අලුතින් මල් හිටවනවා. මම හිතන හැටියට මේ දේවල් වෙනත් බටහිර රටවලටත් පොදුයි. ඉල්ලුම පැත්ත මෙසේ වෙද්දී ගෙදරක ටියුලිප් පැලයක් හෝ කිහිපයක් තියෙන කෙනෙක් බල්බ විකුණන්නේ නැහැ. පාරවල් අයිනේ, උයන් වල වැනි වෙනත් පොදු තැන්වල එසේ වෙන්නෙත් නැහැ. අවශ්‍ය බල්බ සියල්ල වෙළඳපොළට දමන්නේ ටියුලිප් ගොවීන් විසිනුයි. ඒ නිසා, දිගටම ඉල්ලුමක් තිබෙනවා.

      Delete
  5. අම්ස්ටර්ඩම් ගිය වෙලාවේ ටියුලිප් වත්තකටත් ගියා . හරිම ලස්සනයි තමයි. ඒ කාලේ මල් තිබ්බ මුල් කාලයක්.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget