වෙබ් ලිපිනය:

Tuesday, January 31, 2023

ජනවාරි උද්ධමනය


ජනවාරි මාසය අවසන් වෙද්දී කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනින උද්ධමනය 54.2% දක්වා අඩු වී තිබෙනවා. ආහාර උද්ධමනය 60.1% දක්වා අඩු වී තිබෙන අතර ආහාර නොවන උද්ධමනය 51.0% දක්වා අඩු වී තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී  කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව මනින උද්ධමනය 69.8% මට්ටමෙහි පැවති අතර, ආහාර උද්ධමනය 94.9% මට්ටමෙහි පැවතුණා. 

අපගේ පුරෝකථනය වනුයේ පෙබරවාරි මාසය තුළ උද්ධමන අගයේ ලොකු වෙනසක් සිදු නොවනු ඇති බවයි. එහෙත්, මාර්තු මාසයේදී මෙම අගය 50% මට්ටමට පැමිණ, අප්‍රේල් මාසය වෙද්දී 40% මට්ටමට පැමිණෙනු ඇතැයි අප විශ්වාස කරනවා. උද්ධමනය වේගයෙන් පහත වැටෙනු ඇත්තේ ඉන් පසුවයි. 

බදු හා පොලී අනුපාතික ඉහළ දැමීමේ පීඩාව බොහෝ දෙනෙකුට දරුණුවටම දැනී ඇතත්, බදු හා පොලී වැඩි කර උද්ධමනය පාලනය නොකළේනම්, උද්ධමනය නිසා සිදු විය හැකිව තිබුණු පීඩාව ඊට වඩා බොහෝ වැඩි විය හැකිව තිබුණු බව අපගේ අදහසයි. එය ඇතැම් විට අධි-උද්ධමන තත්ත්වයක් වුවද විය හැකිව තිබුණා. 

කෙසේ වුවත්, මැතිවරණය හේතුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු වීමේ යම් ප්‍රමාදයක් සිදු වෙමින් තිබෙන බව අපගේ නිරීක්ෂණයයි. මැතිවරණ ප්‍රතිඵල වලින් පසුවද මෙම තත්ත්වයෙහි දිගුවක් දකින්නට ලැබෙන්නට යම් ඉඩක් තිබෙනවා. විශේෂයෙන්ම විදුලි ගාස්තු ලංවිම වියදම් හා ගැලපීම ප්‍රමාද වීමට මැතිවරණය හේතු වී ඇති බව අපගේ අදහසයි. විදුලි ගාස්තු ගැලපීමෙන් දිගුකාලීනව උද්ධමනය පාලනය කිරීමට පිටිවහලක් ලැබෙන නමුත්, කෙටිකාලීනව උද්ධමනය ඉහළ ගොස් උද්ධමන අපේක්ෂා ඉහළ යා හැකි නිසා මෙවැනි ගාස්තු ගැලපීමේ තීරණයක් වසර මැද දක්වා ප්‍රමාද කිරීම වඩා සුදුසු වෙන්නත් පුළුවන්. 

නිල තොරතුරු කිසිවක් ප්‍රකාශයට පත් වී නැතත්, අපට අනුමාන කළ හැක්කේ චීනයේ දෙවසරක ණය පමාවෙන් ප්‍රායෝගිකව සිදු වී තිබෙන්නේ ස්ථායීකරණ වැඩ පිළිවෙළ ප්‍රමාද වීමක් පමණක් බවයි. අවම වශයෙන් මාර්තු මාසය වන තුරු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත හැකි බවක් පෙනෙන්නට නැහැ. එය සිදු වනු ඇත්තේ චීනය විසින් මීට වඩා වැඩි සහනයක් ලබා දීමට එකඟ වීමෙන් පසුව පමණයි. බොහෝ විට එම තීරණය ලැබෙනු ඇත්තේ මැතිවරණයෙන් පසුවයි.

Thursday, January 26, 2023

ණය ගත්ත අය වැරදිද?


ආදායම් බදු ඉහළ දැමීමේ බලපෑම සමහර අයට තේරිලා තියෙන්නේ ජනවාරි පඩිපත ආවට පස්සේ. ලිපියට හේතු වූ උත්තේජක ගැන සමාජ ජාලා පරිශීලනය කරන හැමෝම වගේ දන්න නිසාත්, පොදු අවකාශයකට එකතු කරලා තිබුණත් මේවා පෞද්ගලික තොරතුරු නිසාත්, මම නැවත ප්‍රචාරය කරන්න යන්නේ නැහැ. 

මේ සමහර අය කවුද? 

මේ ගොඩේ ඉන්නේ පොදු අරමුදල් වලින් රුපියල් ලක්ෂ හතර පහක මාසික වැටුපක් ලබා ගන්න වෘත්තිකයෝ. ඒ අයට බදු කැපිල්ල දරුණුවටම බලපාලා තියෙන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. 

මාසයකට රුපියල් 115,000ක් උපයන අයෙක් කියා කියන්නේ ලංකාවේ ආදායම් උපයන්නන් අතර ඉහළම 5%ට අයිති කෙනෙක්. මාසයකට රුපියල් ලක්ෂ හතර පහක මාසික වැටුපක් ලබා ගන්න අයෙක් කියා කියන්නේ බොහෝ විට ආදායම අනුව ඉහළම 1%ට අයත් වෙන කෙනෙක්. දැන් මේ බදු වැඩි කිරීමෙන් පස්සේ ජීවත් වෙන්න අමාරුයි කියා කියන්නේ එහෙම අය. 

මේ ගැන පළවන අදහස් වල පැහැදිලි බෙදීමක් දකින්න පුළුවන්. සමහර අය බදු ඉහළ දැමීම විවේචනය කරමින් එහි අහිතකර ප්‍රතිඵල ගැන කතා කරනවා. තවත් අය බදු වැඩි කිරීම ගැන කණස්සල්ලෙන් කතා කරන අයගේ පෞද්ගලික මූල්‍ය කළමනාකරණය විවේචනය කරමින් කතා කරනවා. වැරැද්ද ණය ගත්ත අයගේද? එහෙම නැත්නම් ආණ්ඩුවේද?

මේකේ දෙපැත්තක් තියෙනවා. ඒ නිසා, අපි නිගමන වලට යන්නේ නැතුව දෙපැත්තම කතා කරමු. ඊට කලින් අපි අදාළ ආදායම් කාණ්ඩයට බදු සංශෝධනයේ බලපෑම කුමක්ද කියා විමසා බලමු.

මාසික ආදායම - රුපියල් 400,000යි.

කලින් ගෙවූ බදු ප්‍රමාණය - රුපියල් 9,000යි.

දැන් ගෙවිය යුතු බදු ප්‍රමාණය - රුපියල් 70,500යි.

මාසික ආදායම - රුපියල් 500,000යි.

කලින් ගෙවූ බදු ප්‍රමාණය - රුපියල් 15,000යි.

දැන් ගෙවිය යුතු බදු ප්‍රමාණය - රුපියල් 106,500යි.

රුපියල් ලක්ෂ 5ක මාසික වැටුපක් ලබන කෙනෙක් රුපියල් 106,500ක් බදු ගෙවුවත් තව රුපියල් ලක්ෂ හතරකට කිට්ටු මුදලක් ඉතිරි වෙනවා. EPF හා ETF වලට 15%ක් අයින් කළත්, ලක්ෂ තුනකට වඩා අතේ ඉතිරි වෙනවා. එහෙමනම්, ජීවත් වෙන්න විදිහක් නැති කතාව මොකක්ද?

මෙතැන ප්‍රශ්නය ලක්ෂ තුනකට වඩා ණය ගෙවන්න සිදු වී තිබීමයි. මේක බොරු කතාවක් නෙමෙයි. ඕක තමයි ඔය වගේ ආදායමක් උපයන ගොඩක් ලාංකිකයන්ගේ ඇත්ත තත්ත්වය. මෙතැන තිබෙන මූලික ප්‍රශ්නය, මේ විදිහට ණය වුන එකේ වැරැද්ද කාගේද? 

ලක්ෂ පහක මාසික වැටුපක් හා ලක්ෂ හතරක මාසික වැටුපක් ගන්න වෘත්තිකයින් යුවලක් ගැන හිතමු. ඔහොම අය ඉන්නවනේ. දැන් මේ යුවලට මාසයකට අතට ලැබෙන මුදල එක පාරටම රුපියල් 177,000කින් අඩු වෙලා. රුපියල් 177,000ක් කියන්නේ ගෙයක් වාහනයක් (වාහන දෙකක්) තියෙන කෙනෙකුට ණය ගෙවීම් හැර කෑම බීම, ඉන්ධන, බිල්පත්, දරුවන්ගේ අධ්‍යාපන වියදම්, ලොකු අසනීපයක් හැදුනේ නැත්නම් සෞඛ්‍ය වියදම් ආදී සියල්ල වෙනුවෙන් වැය කිරීමට ප්‍රමාණවත් මුදලක්. ඔය තරමේ ආදායමක් උපයන යුවලක් එදිනෙදා වියදම් වලට රුපියල් ලක්ෂ දෙකක් වගේ මුදලක් තියා ගෙන ඉතිරි කොටස් ඉඩම්, ගෙවල්, වාහන වගේ දේවල් වෙනුවෙන් යට කරන එක සාමාන්‍ය තත්ත්වයක්. මොකද එදිනෙදා වියදම් වලට මාසයකට රුපියල් ලක්ෂ දෙකක් තියා ගත්තහම හොඳටම ඇති.

දැන් එක පාරටම කලින් ගාණට වඩා රුපියල් 177,000ක් වැඩියෙන් බදු ගෙවන්න වුනහම අතට ඉතුරු වෙන්නේ රුපියල් 23,000ක් පමණයි. ඕකෙන් ජීවත් වෙන්න බැහැ. ඒ නිසා, මේ කණස්සල්ල ඉතාම සාධාරණයි. දැන් මෙතැන වැරැද්ද ණය වෙලා ඉඩම්, ගෙවල්, වාහන ගත්ත එකද? බංකොලොත් වෙන තරමට රට ණය වුනේ මිනිස්සු ඔය විදිහට ණය වුන නිසාද?

ඇත්තටම මේ ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නය ලංකාවේ සාර්ව ආර්ථික ප්‍රශ්නයේ පිළිබිඹුවක්. පැහැදිලි කර ගන්න තියෙන්නේ ප්‍රශ්නයේ මුල ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නයද නැත්නම් සාර්ව ආර්ථික ප්‍රශ්නයද කියන එකයි. තේරෙන විදිහට කිවුවොත්, මිනිස්සුන්ගේ අධිපරිභෝජනය නිසා රට ණය වුනාද නැත්නම් රට ණය වුනු නිසා මිනිස්සු අධිපරිභෝජනයට පෙළඹුණාද?

පළමුවැන්න වුනා කියලා කියන්න සහ කතාවක් ගොතන්න ලේසියි. නමුත් ඇත්තටම පළමුවැන්න දෙවැන්නේ ප්‍රතිඵලයක්. ඒ කියන්නේ ඇත්තම ඔය ණය වෙච්ච මිනිස්සු අහිංසකයි. 

මෙහි ස්වායත්ත ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නයකුත් නැහැ කියලා මම කියන්නේ නැහැ. සමාජවාදී හා ආගමික අදහස් නිසා ඇති වූ, කලාව හරහා කාලයක් තිස්සේ ප්‍රවර්ධනය කෙරුණු, දෘෂ්ඨිවාදයේ ප්‍රශ්නයකුත් මෙහි තිබෙනවා. කොහෙන් හෝ එදිනෙදා හොයා ගන්න දෙයක් කාලා බීලා වියදම් කරලා ආතල් එකක් ගන්න, හෙට ගැන නොහිතන බොහීමියානුවා පට්ට වීර චරිතයක්. නොකා නොබී ඉතිරි කරන මුදලාලි මෙලොව වගේම එලොවත් නැති කර ගත්ත සමාජයට කිසිම වැඩක් නැති මසුරෙක්. ඕක තමයි කලාව හා සාහිත්‍යය හරහා ප්‍රවර්ධනය කරන දෘෂ්ඨිවාදය. මේ හා අදාළව කතා කරන්න තව වැඩිපුර දේවල් තිබුණත්, ඒක අවශ්‍ය නොවන්නේ ඇත්ත ප්‍රශ්නය මේක නොවන නිසා. 

ඉහත දෘෂ්ඨිවාදය නිසා ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා, මිනිස්සු ණය වෙන්න පුළුවන්. හැබැයි එහෙමයි කියලා රට ණය වෙන්නේ නැහැ. ඒක වෙනම ප්‍රශ්නයක්. ඒ නිසා, ඉහත දෘෂ්ඨිවාදය වෙනස් කළ හැකි මානසික මෙහෙයුමකින් රටේ සාර්ව ආර්ථික ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. ඒ වගේම, සාර්ව ආර්ථික ප්‍රශ්නය විසඳන තුරු, දෘෂ්ඨිවාදය වෙනස් කරන මෙහෙයුම් වලින් අඩු වශයෙන් ක්ෂුද්‍ර ආර්ථික ප්‍රශ්නය වුනත් විසඳන්න බැහැ. එක්කෙනෙක් ඊනියා පරිභෝජනවාදයෙන් ඉවත් වෙද්දී අනිවාර්යයෙන්ම වෙන කෙනෙක් ඒ අඩුව පුරවනවා. 

ලාංකිකයින්ගේ අධිපරිභෝජනය සැබෑවක් වුවත්, එය සාර්ව ආර්ථික අසමතුලිතතා වල පිළිබිඹුවක් මිසක් ඊට හේතුව නෙමෙයි. සාර්ව ආර්ථික අසමතුලිතතා නැති කළොත් ඊනියා අධිපරිභෝජනයත් නැති වෙනවා. ඕක අනෙක් පැත්තට වෙන්නේ නැහැ. 

ණය වෙලා පරිභෝජනය කරනවද එහෙම නැත්නම් පරිභෝජනය සීමා කරලා ඉතිරි කරනවද කියන එක පෞද්ගලික තේරීමක්. පෞද්ගලික තේරීමක් කියා කිවුවත්, මේක සෑහෙන තරමකින් පුද්ගලයෙකුගේ පුද්ගලභාවය එක්ක සම්බන්ධ වන දෙයක්. පුද්ගලයෙකුගේ අනන්‍යතාවයේ කොටසක්. ඇතැම් විට උපදින කොටම යම් තරමකින් ජාන වලින්ම තීරණය වී තිබෙන දෙයක්. ඉපදුනාට පස්සේ හැදෙන පරිසරය එක්ක, පුද්ගල අනන්‍යතා ගොඩ නැගෙද්දීම ගොඩ නැගෙන දෙයක්. ඒ නිසා, බොහෝ දෙනෙක්ට තමන් ණය ගන්නෙක් වෙනවද නැත්නම් ඉතිරි කරන්නෙක් වෙනවද කියන එක සවිඥානිකව පාලනය කරන්න අමාරුයි. ඒ හේතුව නිසාම තමන්ට සාපේක්ෂව බලලා වෙනත් අයව විවේචනය කරන එකත් නිවැරදි නැහැ. කොයි තරම් අමාරු තත්ත්වයකදී වුනත් සමහර අයට ණය වෙන්න හිත හදා ගන්න අමාරුයි. තවත් අයට කොයි තරම් ආදායම ඉහළ ගියත් ණය නොවී ඉන්න අමාරුයි. මේවා යම් තරමකින් නළලේ කෙටිලා තියෙන දේවල්. 

ක්ෂුද්‍ර ආර්ථික හැසිරීම් තීරණය වෙන්නේ ඔය පුද්ගල බද්ධ තත්ත්වයන් එක්කයි. ඇතැම් අය අනාගතයට සාපේක්ෂව වර්තමානයට වැඩි බරක් තබනවා. එවැනි අය ණයකාරයෝ වෙනවා. තවත් අය වර්තමානයට අඩු බරක් තියලා අනාගතයට වැඩි බරක් තියනවා. ඒ අය ණයහිමියෝ වෙනවා. හැබැයි මේ කාණ්ඩ දෙක ඉරක් ඇඳලා වෙන් කරන්න බැහැ. පුද්ගලයෙක් අනාගතයට සාපේක්ෂව වර්තමානයට කොයිතරම් බරක් තියනවද කියන එක සන්තතික විචල්‍යයක්. ඒ කියන්නේ මේක දර්ශකයක් ලෙස සැලකුවොත් 0 සහ 100 අතර හැම තැනකම කවුරු හරි ඉන්නවා. 100 කිට්ටුව ණයකාරයෝ. 0 කිට්ටුව ණයහිමියෝ. 

මිනිස්සුන්ට ණය ගන්න අවශ්‍ය වුනා කියලා එපමණකින්ම ණය ගන්න බැහැ. ණය දෙන්නත් කවුරු හරි ඉන්න ඕනෑ. ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ මැදිහත්වීමක් නැත්නම් ඔය දෙපැත්ත අනිවාර්යයෙය්න්ම තුලනය විය යුතුයි. පෙර කී දර්ශකයට ගියොත්, 51-100 අතර අය ණයකාරයෝ වෙනවා. 0-50 අතර අය ණයහිමියෝ වෙනවා. වෙළඳපොළ සමතුලිත වෙනවා. ඒ නිසා, රට ණය වෙන්නේ නැහැ. 

දෘෂ්ඨිවාදයේ වෙනස්කම් ඉහත කී සාර්ව ආර්ථික තුලනය කෙරෙහි බලපාන්නේ නැහැ. මොකද මොන තත්ත්වය යටතේ වුවත් රටේ 50%ක් ණයකාරයෝ. ඉතිරි 50% ඉතිරිකරන්නෝ. දෘෂ්ඨිවාදය විසින් කරන්නේ ඔය ගොඩවල් වල ඉන්න පුද්ගලයින් එහාමෙහා කරන එක පමණයි. ගොඩවල් වල ප්‍රමාණ වෙනස් වෙන්නේ නැහැ. මොකද ණය දෙන්නෝ නැතුව ණය ගන්නා අය නැහැ. 

සල්ලි අච්චු ගැසීමත් එක්ක, එහෙම නැත්නම් බැංකු පද්ධතිය විසින් මුදල් සැපයුම වැඩි කිරීමත් එක්ක, ඉහත සමතුලිතතාවය වෙනස් වෙනවා. මොකද දැන් ණය ගන්නන් තරමටම ණය දෙන්නන් අවශ්‍ය වන්නේ නැහැ. අලුතෙන් මුදල් නිර්මාණය වෙද්දී අලුතෙන් ණය නිර්මාණය වීමක් සිදු වෙනවා. 

අපි හිතමු ඉහත දර්ශකයේ 0-100 අතර සිටින එක් එක් පුද්ගලයා විසින් රුපියල් ලක්ෂය බැගින් ණය ගන්නවා හෝ දෙනවා කියලා. මුදල් සැපයුම වෙනස් වෙන්නේ නැත්නම්, ණය ගන්නෝ ලක්ෂ 50ක ණය ගන්නවා. ණය දෙන්නෝ එම ලක්ෂ 50ක ණය ප්‍රමාණය දෙනවා. ඉල්ලුම හා සැපයුම අනුව පොලී අනුපාතිකය තීරණය වෙනවා. ඒ පසුබිමේ තිබෙන ප්‍රධාන සාධකය මුදලේ කාල වටිනාකම. ඒ කියන්නේ අනාගත පරිභෝජනයට සාපේක්ෂව වර්තමාන පරිභෝජනය කොයි තරම් වටිනවාද කියන එක. මේකත් මැද සිටින, ඒ කියන්නේ දර්ශක අගය 50 වූ පුද්ගලයාගේ කාල වටිනාකම. 

දැන් ඔය වගේ සමතුලිත ආර්ථිකයකට අලුත් සල්ලි රුපියල් ලක්ෂ 20ක් දැම්මොත් වෙන්නේ කුමක්ද? ඉතිරි කරන්නෝ ප්‍රමාණය 40ට බහිනවා. ණය ගන්නන් ප්‍රමාණය 60 දක්වා ඉහළ යනවා. ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 60යි. නමුත්, ඉතිරි කිරීම් ප්‍රමාණය රුපියල් ලක්ෂ 40ක් පමණයි. අඩු රුපියල් ලක්ෂ 20 අච්චු ගහපු, එසේ නැත්නම් බැංකු පද්ධතිය විසින් මවපු සල්ලි. 

ඒ විතරක් නෙමෙයි. දැන් පොලී අනුපාතික තීරණය කරන්නේ ඉහත දර්ශකයේ 50 මට්ටමේ හිටපු පුද්ගලයා නෙමෙයි. 40 මට්ටමේ ඉන්න පුද්ගලයා. ඒ පුද්ගලයාගේ කාල වටිනාකම අඩුයි. ඒ නිසාම, සමතුලිත පොලී අනුපාතිකයත් අඩුයි. අනෙක් පැත්තෙන් උද්ධමන අපේක්ෂා ඉහළයි. මේ තත්ත්වය එක්ක ණය ගන්න එක කලින්ට වඩා ආකර්ශනීයයි. ණය දෙන එක පාඩුයි. කලින් ණය දුන් දහ දෙනෙක් දැන් ණයකාරයින් වී සිටින්නේ ඔය නිසා.

මුදල් සැපයුම වැඩි කිරීම වේගවත් වන තරමට, පොලී අනුපාතික අඩු වන තරමට, ඔය සමතුලිතාවය 0 පැත්තට විතැන් වෙනවා. ණයකාරයෝ වැඩි වෙනවා. ඉතිරි කරන්නෝ අඩු වෙනවා. මුදල් සැපයුම හා පොලී අනුපාතික නිවැරදි වන තුරු මිනිස්සුන්ට පරිභෝජනය සීමා කරන්න උපදෙස් දුන්නා කියලා ඔය තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. 

ලංකාවේ ප්‍රශ්නයේ පළමු කොටස තියෙන්නේ ඔතැන. සෑම වසරකම සැලකිය යුතු ලෙස මුදල් සැපයුම ඉහළ යද්දී, උද්ධමනයට සාපේක්ෂව පොලී අනුපාතික පහළින් තියෙද්දී, ණයකාරයෝ බෝ වෙනවා. ඉතිරි කරන්නෝ වඳ වෙනවා. ඒක මිනිස්සුන්ගේ වැරැද්දක්ම නෙමෙයි. 

ප්‍රශ්නයේ දෙවෙනි කොටස විදේශ ණය. අපි හිතමු රුපියල් ලක්ෂ 20කින් මුදල් සැපයුම වැඩි කරන අතර තව රුපියල් ලක්ෂ 20ක විදේශ ණය ගත්තා කියලා. දැන් ණය ප්‍රමාණය රුපියල් ලක්ෂ 70 දක්වා ඉහළ යනවා. ඉතිරි කිරීම් රුපියල් ලක්ෂ 30 දක්වා පහළ යනවා. අඩු රුපියල් ලක්ෂ 40න් රුපියල් ලක්ෂ 20ක් විදේශ ණය. ඉතුරු රුපියල් ලක්ෂ 20 අච්චු ගහපු හෝ මවපු රුපියල්. විදේශ ණය සහ මුදල් මැවීම තවත් ටිකක් වැඩි කළොත් රටම ණයකාරයෝ වෙලා ඉතිරි කරන්නෝ නැත්තටම නැති වෙලා යන්න වුනත් පුළුවන්. ඔය වගේ සාර්ව ආර්ථික තත්ත්වයක් යටතේ ඕනෑම කෙනෙක් ඉතිරි කරන්නෙක් නොවී ණය ගන්නෙක් වෙනවා. 

විදේශ ණය ගනිද්දී තවත් දෙයක් වෙනවා. ණය විදිහට ගන්න ඩොලර් වෙළඳපොළේ විකුණලා රුපියල් කරද්දී ඩොලර් එකේ මිල බහිනවා. ආනයන ලාබ වෙනවා. ඊට පස්සේ ණය ගන්නවාට අමතරව, ණය අරගෙන වැඩි වැඩියෙන් ආනයන කරන එකත් ප්‍රවර්ධනය වෙනවා. 

රුපියල් ලක්ෂ හතර පහක වැටුප් ලබන අය වියදමට ලක්ෂයක් දෙකක් පමණක් තියාගෙන ඉතිරි කොටස යොදාගෙන ගෙවන්න ණය අරගෙන තියෙන්නේ ඔය සාර්ව-ආර්ථික තත්ත්වය තුළයි. ණය වෙලා වාහන, ගෙවල් ගොඩ ගහගෙන ඉන්නේ ඔය සාර්ව-ආර්ථික තත්ත්වය තුළයි. එහෙම නොකරපු අයයි ඇත්තටම තාර්කික නොවන තීරණ අරගෙන තියෙන්නේ. මොකද පැවති තත්ත්වයන් තුළ ඉතිරි කරන්නා මෝඩයෙක්. ණය නොගන්නා පුද්ගලයා මෝඩයෙක්.

පසුගිය බදු කැපිල්ලට පෙර, 2019දී රුපියල් ලක්ෂ හතර හා පහ බැගින් මාසික වැටුප් ලැබූ අයට පිළිවෙළින් රුපියල් 42,000 සහ 66,000 ලෙස බදු ගෙවන්න සිදු වී තිබුණා. ඒ අනුව, දැන් වැඩිපුර ගෙවන්න සිදු වී තිබෙන මුදල රුපියල් 69,000ක්. නමුත්, 2020 බදු කැපිල්ලෙන් පසු මෙම බදු මුදල පිළිවෙලින් රුපියල් 9,000 හා 15,000 දක්වා අඩු වුනා. ඒ කියන්නේ රුපියල් 85,000ක ඉතිරියක්. 

ඉහත පරිදි බදු කැපිල්ල හරහා වැය කළ හැකි ආදායම ඉහළ යද්දී එයට අනුරූපව පරිභෝජනය ඉහළ නොදැමුවේනම් දැන් සිදුකර තිබෙන බදු වැඩි කිරීම මේ තරම් දරුණු ලෙස දැනෙන එකක් නැහැ. නමුත්, බදු කැපිල්ල සිදු කළේම සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ කොටසක් ලෙස පරිභෝජනය ඉහළ දැමීම ඉලක්ක කරගෙනයි. එම ප්‍රතිපත්තියට අනුරූපව මුදල් සැපයුම වැඩි කර පොලී අනුපාතික පහත හෙළනු ලැබුවා. ඒ මගින්, පරිභෝජනය ප්‍රවර්ධනය කෙරුණා. ඒ අනුව, බදු කැපිල්ලෙන් පසුව, පසුගිය දෙවසර තුළ බොහෝ දෙනෙකු තව තවතවත් ණය වී ඇති බව පැහැදිලියි. ලංකාව ආසියාවේ ඓශ්චර්යය වී රටේ මෙන්ම තමන්ගේද ආදායම් ඉහළ යද්දී ගත් ණය ආපසු ගෙවීම ප්‍රශ්නයක් නොවනු ඇතැයි මේ අය සිතන්නට ඇති.

ඓතිහාසික තොරතුරු දෙස බැලුවොත්, බදු සීමා ලිහිල් කිරීම මිස දැඩි කිරීම ලංකාවට සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. ඒ නිසා, ලබා දුන් බදු සහන ආපසු හැරවෙනු ඇතැයි මේ බොහෝ දෙනෙක් නොසිතන්නට ඇති. ඇත්තටම මේ බොහෝ දෙනෙක් මේ වෙද්දී පීඩාවට පත්ව සිටින්නේ තමන්ගේම වැරදි මූල්‍ය කළමනාකරණය නිසා නෙමෙයි. රටේ කාලයක් තිස්සේ පැවති අසංගත සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිසා.

ඒ අය පැවති සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ ගොදුරු. හැබැයි එහෙමයි කියලා ඒ වැරදි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි නොකර වෙන කළ හැකි දෙයකුත් නැහැ. මොකද රජය හිර වෙලා ඉන්න හිරවිල්ල මිනිස්සුන්ගේ හිරවිල්ලට වඩා ගොඩක් දරුණු හිරවිල්ලක්.  

මේ වගේ හිර වෙලා අයට දැන් කරන්න පුළුවන් කුමක්ද? රජයට කරන්න වෙලා තියෙන දෙයම තමයි. ණය ගෙවන්න බැරි ද්‍රවශීලතා ප්‍රශ්නයක් තියෙනවානම්, ගත්ත ණය ඵලදායී නොවන වත්කම් වල හිර වෙලානම්, එකම විසඳුම එම වත්කම් විකුණන එක. ඒක කරන්න හිත හදාගන්න බැරිනම් වෙන්නේ තව තව හිරවෙන එක විතරයි. 

Wednesday, January 25, 2023

පොලී අනුපාතික ප්‍රවණතා...


ඊයේ පැවති මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති විවරණයේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් නොකිරීමට තීරණය කර තිබෙනවා. මෙය ඉතා නිවැරදි තීරණයක්. 

උද්ධමනය අඩු වෙමින් තිබෙනවා වගේම ඉදිරි කාලයේදී විශාල ලෙස අඩු වීමට නියමිතවද තිබෙනවා. එහෙත්, එය තවමත් සියල්ලන්ටම පැහැදිලිව පෙනෙන දෙයක් නෙමෙයි. උද්ධමනය අඩුවීම සියල්ලන්ටම පැහැදිලිව පෙනෙනු ඇත්තේ වසරේ මැද භාගය වන විටයි. ඊට පෙර පොලී අනුපාතික පහළ දැමීමෙන් උද්ධමන අපේක්ෂාවන් ඉහළ ගොස් උද්ධමනය පහළ යාම ප්‍රමාද විය හැකියි.

අනෙක් අතට භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික ක්‍රමයෙන් පහත වැටෙමින් තිබුණත්, තවමත් භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික හා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අතර විශාල පරතරයක් තිබෙනවා. ඒ වගේම, වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය තිරසාර ලෙස පියැවී නැහැ. වසර මැද වන තුරු මේ තත්ත්වයේ විශාල වෙනසක් සිදු වේයැයි සිතන්න අමාරුයි. 

අද (ජනවාරි 25) පැවති බිල්පත් වෙන්දේසියේදී වැඩි බිල්පත් ප්‍රමාණයක් (රුපියල් බිලියන 120ක්) අලෙවිකරමින් වුවද පොලී අනුපාතිකද අඩු මට්ටමක තබා ගැනීමට මහ බැංකුව සමත්ව තිබෙනවා. පෙර සතියට සාපේක්ෂව දින-91 පොලී අනුපාතික පාදක අංක 17කින්ද, දින-182 පොලී අනුපාතික පාදක අංක 35කින්ද, දින-364 පොලී අනුපාතික පාදක අංක 47කින්ද පහත වැටී තිබෙනවා. ආයෝජකයින්ගේ රුචිය වඩා දිගු පරිණත කාල වෙත විතැන් වෙමින් තිබීම හොඳ ලකුණක්. 

මේ දවස් වල රජයේ අරමුදල් කළමනාකරණය සිදු වන්නේ කොහොමද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන එකඟතාවය අනුව, මෙහෙයුම් ඉලක්කය වන්නේ ප්‍රාථමික අයවැය හිඟයයි. එය වැඩි වෙන්නට ඉඩ හැරීමේ හැකියාවක් රජයට නැහැ. එයින් අදහස් වන්නේ කුමක්ද?

ප්‍රායෝගික තත්ත්වයන් යටතේ රජය විසින් පිළියෙළ කර සම්මත කරගෙන තිබෙන ආදායම් ඉලක්ක ඒ විදිහටම සපුරා ගැනීම අසීරු විය හැකියි. එහෙත්, ඒ හේතුව මත ප්‍රාථමික අයවැය හිඟය ඉලක්ක මට්ටමට වඩා වැඩි වීමට ඉඩ දිය නොහැකි නිසා, ආදායම අඩුවීමට අනුරූපව රජයේ වියදම් සීමා කරන්නට සිදු වෙනවා. මෙය රාජ්‍ය අයවැය කළමනාකරණයේදී මුහුණ දෙන්නට සිදු වී තිබෙන පළමු අභියෝගයයි.

දෙවන අභියෝගය වන්නේ සල්ලි අච්චු ගැසීමක් නොකර ඉහත ප්‍රාථමික අයවැය හිඟයද ඇතුළුව සමස්ත අයවැය හිඟය පියවා ගැනීමයි. විදේශ ණය නොලැබෙන තත්ත්වයක් තුළ මෙම අරමුදල් සපයා ගත හැකි එකම ක්‍රමය දේශීය වෙළඳපොළෙන් ණය ලබා ගැනීමයි. එහිදී අවශ්‍ය තරමට පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ දිය යුතු වෙනවා. 

අසීරුවෙන් වුවත්, රජය ඉහත ඉලක්ක දෙක තුළම රැඳී සිටිනවා. එහි ප්‍රතිඵලය ඉහළ පොලී අනුපාතිකයි. කෙසේ වුවත්, අඩු වශයෙන් කරුණු දෙකක් නිසා දෙවන කාර්තුව තුළ පොලී අනුපාතික මත වන පීඩනය සැලකිය යුතු ලෙස අඩු විය හැකියි.

පළමුවැන්න, රජයේ බදු ආදායම් ක්‍රමක්‍රමයෙන් එකතු වන්නට පටන් ගැනීමයි. බදු අනුපාතික ඉහළ දමනු ලැබුවද එම ඇතැම් බදු ආදායම් තවමත් එකතු වන්නට පටන් ගත්තා පමණයි. 

දෙවන වාසිදායක සාධකය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපේක්ෂිත පළමු ණය වාරිකයයි. සාමාන්‍යයෙන් මෙම අරමුදල් රජයේ අයවැය හිඟය පියවා ගැනීම සඳහා යොදා ගත නොහැකි වුවත්, විශේෂ තත්ත්වයක් සේ සලකමින් අරමුදල ඒ සඳහා ඉඩ දී තිබෙනවා. එම අරමුදල් රජයට ලැබෙද්දී දේශීය ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය අනුරූප ලෙස පහල ගොස් පොලී අනුපාතික මත පීඩනය අඩු වෙනවා.

මේ කරුණු දෙකට අමතරව වසර මැද වන විට උද්ධමන අපේක්ෂාවන් පහත වැටීමේ වාසියද පොලී අනුපාතික කෙරෙහි යටිකුරු තෙරපුමක් ඇති කිරීමට නියමිතයි. 

Monday, January 23, 2023

චීනයෙන් ලියුමක්...


ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම සඳහා පනින්නට අවශ්‍ය අවසන් කඩුල්ල වන චීනයේ කැමැත්තද ඉතා ඉක්මණින් ලැබීමට නියමිත බව වාර්තා වෙනවා. ඇතැම් විට අදාළ ලිපිය මේ වන විටද නිකුත් වී අවසන්ව ඇති. චීනයේ මේ තීරණය නිසා ලංකාවට ඉතා ඉක්මණින් අරමුදලේ ණය ලැබෙයිද? එසේ නැත්නම් චීනයේ මේ කැමැත්ත ප්‍රායෝගිකව ඒ තරම් වැඩකට නැති ප්‍රදර්ශනාත්මක කටයුත්තක් පමණක්ද?

හරියටම දවස මා නොදන්නා නමුත් මේ සතිය තුළ පැරිස් සංසදය රැස්වීමට නියමිතයි. ඊට පෙර චීන ලිපිය ප්‍රකාශයට පත් වනු ඇතැයි සිතිය හැකියි. එම ලිපිය මත පදනම්ව අරමුදල විසින් ණය ලබා දෙනු ලැබීම කෙසේ වුවත්, කවර හෝ හේතුවක් නිසා සතිය තුළ මේ කටයුත්ත සිදු නොවුවහොත් මැතිවරණයට පෙර අරමුදලේ සහාය ලබා ගැනීමේ ආණ්ඩුවේ අපේක්ෂාවන් කඩ වෙනවා.

පැරිස් සංසදය සාමාන්‍යයෙන් මසකට වරක් රැස්වන නමුත් පෙබරවාරි හා අගෝස්තු මාස තුළ රැස් වන්නේ නැහැ. ඒ නිසා, මේ සතිය තුළ පැරිස් සංසදය චීන තීරණය පිළිනොගත හොත් මාර්තු මාසය දක්වා කිසිවක් කිසිවක් සිදු වන්නේ නැහැ. චීන තීරණය පැරිස් සංසදයට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පිළිගත හැකි වනු ඇත්ද?

සම්ප්‍රදායික ණය දෙන රටවල් සියල්ලම සිටින්නේ පැරිස් සංසදය තුළයි. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තුළ දේශපාලන බලය තිබෙන රටවල් සිටින්නේද පැරිස් සංසදය තුළයි. මේ තත්ත්වය තුළ පැරිස් සංසදයේ තීරණය හා අරමුදලේ තීරණය අතර තිබෙන්නේ ඉතා සමීප සම්බන්ධයක්. 

අරමුදලේ සහාය පතන අවස්ථාව වන විට ලංකාව තල්ලු කර දමනු ලැබ තිබුණේ සාමාන්‍යයෙන් අරමුදල විසින් යෝජනා කරන සාර්ව ආර්ථික වැඩ පිළිවෙළක් මගින් ස්ථායී කළ හැකි තත්ත්වයකට නෙමෙයි. වෙනත් විදිහකින් කිවුවොත්, අරමුදලේ සහාය ලබා ගැනීමෙන් පසුව වුවද සාමාන්‍ය පරිදි ණය ආපසු ගෙවා ගෙන යාමේ හැකියාවක් ඒ වන විට ලංකාව සතු වූයේ නැහැ. ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා යම් කාලයකට ණය ආපසු නොගෙවා සිටීම අත්‍යාවශ්‍ය කරුණක්ව පැවතුණා. 

අරමුදලේ සහාය ලබා දීමටනම් ණය ප්‍රතිව්‍යුහගත කර අරමුදලේ සහායෙන් ආර්ථිකය ස්ථාවර කළ හැකි තත්ත්වයක් ඇති කර ගැනීම අනිවාර්ය පූර්ව කොන්දේසියක් වුනා. මෙයට ඉඩ සලසමින් පැරිස් සංසදයේ රටවල් මූලික එකඟතාවයකට පැමිනුණා. වාර්තා වී ඇති පරිදි, මෙම එකඟතාවය අනුව ලංකාවට ණය ආපසු ගෙවීම ආරම්භ කිරීම සඳහා වසර දහයක පමා කාලයක් යෝජනා වී තිබුණු අතර ඉන් පසුව ණය කොටස් වශයෙන් ගෙවීම සඳහා තවත් වසර පහළොවක සහන කාලයක් ලබා දී තිබුණා. වසර විසිපහක් වැනි දිගු කාලයක් තුළ ආර්ථිකයේ අඩුපාඩු මකා ගෙන ණය ආපසු ගෙවීම කළ නොහැක්කක් නෙමෙයි. 

කෙසේ වුවද, පැරිස් සංසදයේ රටවලින් මෙවැනි සහනයක් ලැබෙන්නේ සංසදයට අයත් නොවන රටවලින්ද සමාන මට්ටමේ සහනයක් ලංකාවට ලැබෙන්නේනම් පමණයි. මෙම රටවල් අතර සිටි ප්‍රධානම ණය හිමියන් දෙදෙනා චීනය හා ඉන්දියාවයි.

පසුගිය සතියේදී ඉන්දියාවේ එකඟත්වය ලංකාවට ලැබුණා. මාධ්‍ය වාර්තා නිරීක්ෂණය කළ විට පැහැදිලි වන්නේ ඉන්දියාවේ එකඟත්වය රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට ඉවහල් වන මට්ටමේ එකඟත්වයක් බවයි. එය පැරිස් සංසදයේ යෝජනාව හා සැසඳෙන මට්ටමේ එකක්ද නැත්නම් ඊට වඩා අඩු මට්ටමක එකක්ද යන්න පැහැදිලි නැතත් සැලකිය යුතු මට්ටමක සහනයක් බවට සැකයක් නැහැ.

ඉන්දියාවේ තීරණයත් සමඟ චීනය උණුසුම් පුටුවට පැමිණියා. පෙනෙන්නට ඇති පරිදි, දේශපාලනික හානිය අවම කර ගනිමින් චීනය විසින් ඉක්මන් ප්‍රතිචාරයක් දැක්වීමට යන නමුත් එම ප්‍රතිචාරය ලංකාවට කොපමණ ප්‍රයෝජනවත්ද යන්න පැහැදිලි නැහැ. නිල ප්‍රකාශ නොවුණත්, චීනය විසින් දෙවසරක ණය පමා කාලයක් යෝජනා කර ඇති බවයි වාර්තා වී තිබෙන්නේ.

චීනයෙන් ලැබෙන සහනය දෙවසරක ණය පමා කාලයක් පමණක්නම්, අනෙක් රටවලින් ඊට වඩා සහනයක් ලංකාවට ලැබෙන්නේ නැහැ. එවිට ඉතිරි වන ප්‍රශ්නය දෙවසරක පමාවකින් පමණක් ලංකාවේ ආර්ථිකය ස්ථායී කළ හැකිද යන්නයි. මෙය බොහෝ විට නොකළ හැක්කක් විය හැකියි. දෙවසරක ණය පමාවකින් පමණක් ආර්ථිකය ස්ථායී කළ නොහැකි බව පැරිස් සංසදයේ හෝ අරමුදලේ නිගමනය වුවහොත් අපේක්ෂා කළ පරිදි අරමුදලේ සහාය ඉක්මණින්ම නොලැබෙන්න පුළුවන්. 

චීනය කරන්න හදන්නේ බටහිර රටවලට බෝලය පාස් කිරීමක්ද? 

Sunday, January 22, 2023

මාර්තු 9 - අලුත් වෙනසක්!


මාර්තු 9 දින පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට නියමිතයි. මැතිවරණය නොපැවැත්වීමට ඇති ඉඩකඩ ගැන කසුකුසු වල ඉවරයක් නැතත්, මට පෙනෙන විදිහටනම් මැතිවරණය යෝජිත පරිදි නොපැවැත්වෙන්නට ප්‍රබල හේතුවක් නැහැ. 

මේ මැතිවරණය අඩු වශයෙන් හේතු දෙකක් නිසා සුවිශේෂී මැතිවරණයක්. පළමුවැන්න, මේ වෙලාවේ දැකිය දේශපාලන බලතුලනයේ ස්වභාවයයි. දැකිය හැකි කියා කිවුවත් මේ කියන බලතුලනය හරියටම බලාගන්න වෙන්නේ මැතිවරණයෙන් පසුවයි. දෙවැන්න මැතිවරණය පැවැත්වෙන ආකාරයයි.

ලිපිය තුළ කතා කරන්න අපේක්ෂා කරන ප්‍රධාන දෙය ඉහත දෙවැන්න වුවත්, ඊට පූර්විකාවක් ලෙස පළමුවැන්න ගැනද කතා කරන්නට සිදු වෙනවා. මේ දෙක එකිනෙකට සම්බන්ධයි.

නිදහස ලැබූ අලුත සිට ලංකාවේ ක්‍රියාත්මක වූ ද්විපක්ෂ ක්‍රමය මේ වන විට බිඳ වැටිලා. අඩු වශයෙන් විශාල පරිවර්තනයකට ලක් වෙලා. ඓතිහාසික පසුබිම අනුව, ලංකාවේ ප්‍රධානම ජාතික පක්ෂය වූ එජාපය තව දුරටත් ප්‍රධාන ජාතික පක්ෂයක් සේ හැඳින්විය නොහැකි තරමට දිය වී ගිහින් ඉවරයි. අනෙක් ප්‍රධාන ජාතික පක්ෂය වූ ශ්‍රීලනිපය එම පක්ෂයේ ශක්තිය කලින්ම දුර්වල කර ගත්තා. 

සම්ප්‍රදායික පක්ෂ වල කඩා වැටීම තීරණාත්මක ලෙස සටහන් වුනේ, ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානයට එරෙහිව තරඟ කර ප්‍රධාන වශයෙන්ම එජාප ඡන්ද වලින් බලයට පත් වූ ජනාධිපති සිරිසේන විසින් ශ්‍රීලනිප නායකත්වය ලබාගැනීමත් සමඟයි. එහි ප්‍රතිඵලයක් විදිහට එජාපය හා ශ්‍රීලනිපය එකම කඳවුරක් බවට පත් වී, එයට විකල්පයක් ලෙස පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටු පක්ෂය මතු වුනා. විකල්ප නැති කරන්න යද්දී අලුත් විකල්ප මතුවීම සාමාන්‍ය තත්ත්වයක්.

ඉන්පසුව, එජාපය දෙකඩ වී සජබ හැදුණා. එජාප පාක්ෂිකයින්ගෙන් බහුතරය සජබ වෙත ඇදුනා. අවසන් ජාතික මැතිවරණය වූ 2020 මහ මැතිවරණයයේදී ප්‍රධාන බලවේග දෙක ලෙස මතුව තිබුණේ පොදුජන පෙරමුණ සහ සජබයි. පොදුජන පෙරමුණ විසින් රටේ ඡන්ද වලින් 59.1%ක් ලබා ගනිද්දී සජබ 23.9%ක ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. එජාපය 2.2% දක්වා පහත වැටෙද්දී ජාජබ විසින් 3.8%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තා. 

නාම යෝජනා භාර ගෙන අවසන්ව ඇතත්, අදාළ සියලු තොරතුරු තවමත් ප්‍රසිද්ධ වී නැහැ. ප්‍රසිද්ධව ඇති තොරතුරු අනුව, තැන් කිහිපයක හැර, එජාපය තනිව තරඟ කරන්නේ නැහැ. මේ වන විට පවතින දේශපාලන වාතාවරණය තුළ, විශාල විකෘතියක් වුවත්, එජාපය සහ පොදුජන පෙරමුණ කටයුතු කරන්නේ එකම කණ්ඩායමක් ලෙසයි. මෙම කඳවුර තුළ එජාපය ප්‍රමාණාත්මක සුළුතරය වුවත්, පොදුජන පෙරමුණේ මතවාදය අසාර්ථක වී අතහැර දමනු ලැබීමෙන් පසුව, එහි මතවාදී නායකත්වය දරන්නේ එජාපයයි. 

එජාප-පොහොට්ටු කඳවුර තුළ සිටින එජාපයේ ශක්තිය මහ මැතිවරණයෙන් පසුව තවදුරටත් දුර්වල වී ඇතැයි සිතන්නට හේතුවක් නැහැ. මහ මැතිවරණයේදීම එජාපය තවත් වැටෙන්නට තැනක් නැති තරමටම වැටුණා. රනිල් වික්‍රමසිංහ විසින් පොහොට්ටුවට හිසක් දැමීමේ ආශ්වාදය සමඟ එජාපය සතු වූ ඡන්ද ලක්ෂ දෙකහමාර සුළු වශයෙන් හෝ වැඩි වෙන්නට මිස අඩු වෙන්නට හේතුවක් නැහැ. එහෙත්, පොහොට්ටු ඡන්ද පදනමේ විශාල කඩා වැටීමකින් පසුව වුවද, එම කඳවුර තුළ එජාප ඡන්ද නියෝජනය පවතිනු ඇත්තේ ඉතා පහළ මට්ටමකයි. 

ප්‍රධාන විපක්ෂය වන සජබය සතු වූ 23.9%ක ඡන්ද ප්‍රතිශතය අඩු වෙන්නට විශාල හේතුවක් නැහැ. අනෙකුත් පක්ෂ හා කණ්ඩායම් අතර බෙදී යාමට නියමිතව ඇත්තේ පොදුජන පෙරමුණ සතුවූ 59.1%ක ඡන්ද ප්‍රමාණයෙන් කැඩී යන කොටසයි. එම පෙරමුණට ඉතාම වාසිදායක තත්ත්වයක් යටතේ පවා, දැනට එම කඳවුර සතු දේශපාලන බලය විශාල ලෙස ගිලිහී යාම පැහැදිලි කරුණක්. අවිනිශ්චිත කරුණු වන්නේ ඒ කොපමණද හා කෙලෙසද යන්නයි. එජාප ගොඩද එකතු කළොත්, මේ කඩා වැටීම පටන් ගන්නේ 61.2%ක ප්‍රතිශතයක සිටයි. ඒ නිසා, මේ ගොඩෙන් තුනෙන් දෙකක්ම කඩා වැටුණත්, 20%කට වැඩි ඡන්ද ප්‍රමාණයක් ඉතිරි වෙනවා. බාගයක් කඩා වැටුනොත්, 30% ඉක්මවන ඡන්ද ප්‍රතිශතයක් ඉතිරි වෙනවා. 

පළාත් පාලන මැතිවරණ වලට වඩාත් සංවිධානාත්මක ලෙස මුහුණ දෙන්නේ ජාජබයයි. ප්‍රධාන පක්ෂ දෙකම කෙටි කලක් තුළ අසාර්ථක වීම තුළ පෙර කෙදිනකටත් වඩා එම කඳවුරට වාසිදායක ලෙස පිටිය සකස් වී තිබෙනවා. එම බිම් වාසියද ලබා ගනිමින්, ජාජබ කඳවුර සැලසුම්සහගත ලෙස කල් තබා සූදානම් වී, අලුත් ඡන්දදායකයින් හා පොදුජන පෙරමුණට සහාය දුන් පාවෙන ඡන්දදායකයින් විශාල ලෙස ආකර්ෂණය කර ගනිමින් සිටිනවා. කෙසේ වුවත්, ඔවුන්ට ගොඩ නැගෙන්නට සිදු වන්නේ 3.8% මට්ටමේ සිටයි. 

ජාතික මට්ටමෙන් තරඟයක් දිය හැකි අනෙක් ප්‍රධානම කණ්ඩායම අලුතෙන් හදාගත් නිදහස් ජනතා සන්ධානය හෙවත් හෙලිකොප්ටර් සන්ධානයයි. ඒ තුළ සිටින සියලුම කණ්ඩායම් කලින් පොදුජන පෙරමුණේ කොටස්ව සිටි අයයි. අසාර්ථක වීමෙන් පසු පොදුජන පෙරමුණට ඉවත ලන්නට සිදු වූ එහි ආරම්භක මතවාදය මේ වන විට නියෝජනය වන්නේ මෙම කඳවුර තුළ බව කිව හැකියි. නිදහස් ජනතා සන්ධානයේ දේශපාලන බලය ප්‍රධාන වශයෙන්ම රැඳී තිබෙන්නේ ඉතිරිව ඇති ශ්‍රීලනිපයේ ශක්තිය මතයි. 

මීට පෙර පැවැත්වුණු 2018 පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ විසින් 40.5%ක ඡන්ද ලබා ගනිද්දී ශ්‍රීලනිපය විසින් 12.1%ක ඡන්ද ප්‍රමාණයක් ලබාගත්තා. 2020 මහ මැතිවරණයේදී පොදුජන පෙරමුණ ලැබූ 59.1%ක ඡන්ද ප්‍රතිශතය තුළ මෙම ශ්‍රීලනිප ඡන්දද තිබුණා. එම ඡන්ද රඳවා ගන්නා අතරම පොදුජන පෙරමුණෙන් ගිලිහෙන ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් රඳවා ගැනීමේ හැකියාවද නිදහස් ජනතා සන්ධානය සතුව තිබෙනවා.

ඉහත කඳවුරු හතරටම 15% ඉක්මවන හෝ ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ ශක්‍යතාවයක් තිබෙනවා. මීට පෙර මැතිවරණ වලදී එවැනි බල තුලනයක් පෙනෙන්නට තිබුණේ නැහැ. 

ඉහත කඳවුරු හතරට අමතරව වාමාංශික පක්ෂ කිහිපයක්ද දිවයින පුරා තරඟ කරනවා. පවතින වාතාවරණය තුළ එම පක්ෂ වලට ලැබෙන ඡන්ද ප්‍රමාණ වල වුවද යම් වැඩි වීමක් සිදු විය හැකියි. ඊටත් අමතරව, එකම කණ්ඩායමක් ලෙස නොවුනත්, අරගලයට සම්බන්ධ වූ කණ්ඩායම් ප්‍රදේශ ගණනාවක් තුළ ස්වාධීන කණ්ඩායම් ලෙස තරඟ කරනවා. මැතිවරණයට පෙර ඒකාබද්ධ බලයක් ලෙස පෙනී සිටිය හැකිනම් ඔවුන්ටද සැලකිය යුතු නාගරික ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. 

ජනවාර්ගික පදනමින් දේශපාලනය කරන ප්‍රාදේශීය දේශපාලන පක්ෂ වලට පළාත් පාලන මැතිවරණ කොහොමටත් වාසිදායකයි. මේ සියලුම පක්ෂ හා කණ්ඩායම් අතර ඡන්ද බෙදී යද්දී බල තුලනය වඩාත් සංකීර්ණ වෙනවා. 

ඉහත පසුබිම මතකයේ රඳවා ගනිමින් අපි මෙම මැතිවරණ පැවැත්වෙන ආකාරය දෙස බලමු.

මෙම මැතිවරණ පැවැත්වෙන්නේ කුඩා කොට්ඨාශ මත පදනම්වයි. අඩු වශයෙන් හැටේ දශකයේ හෝ ඉන්පසුව ඉපදුණු අයට මෙය අලුත්ම අත්දැකීමක්. මෙතෙක් බොහෝ දෙනෙකු දැන සිටි කුඩාම මැතිවරණ ඒකකය එක්කෝ ආසනයක්. නැත්නම් පළාත් පාලන ආයතන බල ප්‍රදේශයක්. මෙම මැතිවරණයේදී එක එක් පළාත් පාලන ආයතන බල ප්‍රදේශය කුඩා කොටස් ගණනාවකට කැඩෙනවා. 

මැතිවරණ ආසන ලෙස ලංකාව කැඩෙන්නේ කොටස් 160කට පමණයි. පළාත් පාලන බල ප්‍රදේශ ලෙස කොටස්  340කට කැඩෙනවා. කොට්ඨාශ ක්‍රමය යටතේ ලංකාව ඡන්ද කොට්ඨාශ 4,919කට කැඩෙනවා. මෙම කොට්ඨාශයක් ඉතා කුඩා ප්‍රදේශයක්.

ලංකාවේ ග්‍රාම නිලධාරී කොට්ඨාශ 14,022ක් තිබෙනවා. මේ අනුව පෙනෙන පරිදි මැතිවරණ කොට්ඨාශයක් කියා කියන්නේ සාමාන්‍ය වශයෙන් ග්‍රාම නිලධාරී කොට්ඨාශ තුනක ප්‍රමණ ප්‍රදේශයක්. එහෙත්, ඇතැම් තැන් වල මැතිවරණ කොට්ඨාශයක් කියා කියන්නේ ග්‍රාම නිලධාරී කොට්ඨාශයකින්ද කොටසක්. 

ලංකාවේ වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 65,610ක්. ඒ අනුව, මැතිවරණ කොට්ඨාශයක සාමාන්‍ය භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 13.3ක්. එනම් පැත්තක් කිලෝමීටර 3.65ක් වූ චතුරශ්‍රයක භූමි ප්‍රමාණය. ගොඩක් මැතිවරණ කොට්ඨාශ මීටත් වඩා පොඩියි.

මෙයින් අදහස් වන්නේ කුමක්ද? 

කිලෝමීටර තුන හතරක දුරක් කියා කියන්නේ පහසුවෙන්ම බයිසිකලයකින් හෝ පයින් ඇවිද ගමන් කළ හැකි දුරක්. මේ වගේ පොඩි ප්‍රදේශයක ඡන්ද ප්‍රචාරණයේ යෙදෙන්න විශාල වියදමක් දැරිය යුතු නැහැ. ලංකාවේ නිවාස ඒකක ගණන ආසන්න වශයෙන් මිලියන 5ක් පමණ බව සලකද්දී, එක් මැතිවරණ කොට්ඨාශයක් කියා කියන්නේ ගෙවල් දහසක පමණ ප්‍රදේශයක්. අපේක්ෂකයෙකුට ගෙවල් දහසකට ගෙයින් ගෙට යාම වුවත් එතරම් අසීරු නැති වැඩක්. 

ඉහත තත්ත්වයන් එක්ක ප්‍රධාන කඳවුරු හතරට වගේම කුඩා පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට වුවත් මැතිවරණ කොට්ඨාශයක් තුළ ඉදිරියට පැමිණීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම, ජාති, ආගම්, කුල හා ප්‍රාදේශීය සාධක වල බලපෑම් කැපී පෙනෙන ලෙස ඉස්මතු විය හැකියි. 

පසුගිය පළාත් පාලන මැතිවරණ වලින් පසුවත්, ඊටත් පෙර 2015 ජනාධිපතිවරණයෙන් පසුවත්, සමාජ මාධ්‍ය වල සංසරණය වූ ප්‍රතිඵල සිතියම බොහෝ දෙනෙකුට මතක ඇති. එහි රටේ සිංහල-බෞද්ධ බහුතර ප්‍රදේශ සියල්ලම වගේ පොදුජන පෙරමුණේ දුඹුරු පැහැයෙන් වර්ණ ගන්වනු ලැබ තිබුණා. රටම එක් මැතිවරණ කලාපයක් සේ සැලකෙන ජනාධිපතිවරණයකදී ඡන්ද වල ප්‍රාදේශීය වෙනස්කම් ඉලිප්පීම නිවැරදි නොවුනත්, අදාළ සිතියමෙහි ආසන මට්ටමෙන් එවැනි චිත්‍රණය කිරීමක් සිදු කර තිබුණා.

ඉහත ආකාරයේ ප්‍රතිඵල සිතියමක් මේ මැතිවරණයෙන් පසුවද සංසරණය විය හැකියි. එහෙත් එහි පැහැය පුරෝකථනය කිරීම පහසු නැහැ.

ආසන මට්ටමේදී යම් නිශ්චිත පක්ෂයක් පැහැදිලි ජයග්‍රහණයක් ලබන විටදී පවා, ආසනය තුළ, ඡන්ද මධ්‍යස්ථාන මට්ටමේදී ඊට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයන් දැකිය හැකියි. ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන් ලෙස හෝ නිරීක්ෂකයින් ලෙස කටයුතු කර ඇති අය මේ ගැන දන්නවා. මෙවැනි වෙනස්කම් මෙතෙක් පොදු සමාජයේ අවධානයට ලක් වුනේ නැහැ. එහෙත්, මෙවර එය සිදු විය හැකියි. 

උදාහරණයක් ලෙස සුළුතර වාර්ගික හා ආගමික කොටස්, ඇතැම් කුල වලට අයත් අය, ගම්කාරයින් හා පිටින් ආ අය පදිංචි ප්‍රදේශ තරමක් ලොකු මැතිවරණ සිතියමක වෙන් වශයෙන් පෙනෙන්නේ නැහැ. එහෙත්, කොට්ඨාශ කුඩා වීමේදී මෙවැනි වෙනස්කම් හොඳින් කැපී පෙනෙන්න පුළුවන්. සුළුතර කණ්ඩායම් වල රුචිකත්වයන් වඩා හොඳින් නිරූපණය වීමක් නිසා මම මෙය නරක දෙයක් ලෙස සලකන්නේ නැහැ. 

සාමාන්‍යයෙන් ඡන්දදායකයින් 1000-1500 අතර ප්‍රමාණයකට එක් ඡන්ද මධ්‍යස්ථානයක් වැටෙන නිසා එක් මැතිවරණ කොට්ඨාශයක් තුළ බොහෝ විට තිබෙනු ඇත්තේ ඡන්ද මධ්‍යස්ථාන දෙකක් හෝ තුනක් පමණයි. ඇතැම් විට එකක් පමණක් විය හැකියි. ගණන් කිරීමේ කටයුතුද ඡන්ද මධ්‍යස්ථාන තුළම සිදු වීමට නියමිත නිසාත්, ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන්නට අවශ්‍යනම් එසේ කිරීමට සිදු වන්නේ කොට්ඨාශය තුළම පිහිටි තවත් මධ්‍යස්ථානයකට නිසාත් ගණන් කිරීමේ කටයුතු ඉක්මණින් ආරම්භ කිරීමට ඉඩ ලැබේයැයි සිතිය හැකියි. 

බොහෝ විට එක් කොට්ඨාශයක වලංගු ඡන්ද ප්‍රමාණය දෙදහසක් පමණ විය හැකියි. මෙවැනි ඡන්ද ප්‍රමාණයක් ගණන් කිරීම සඳහා විශාල කාලයක් ගත වන්නේ නැහැ. ඒ නිසා, මැතිවරණ ප්‍රතිඵල ඉක්මනින් ලැබෙන්න පුළුවන්. නමුත්, විවිධ සංකීර්ණ තත්ත්වයන් ඇති විය හැකියි. 

උදාහරණයක් ලෙස සාපේක්ෂව අඩු ඡන්ද ප්‍රමාණයක් කණ්ඩායම් හතරක් හෝ වැඩි ගණනක් අතර බෙදී යද්දී කොට්ඨාශ එකක හෝ කිහිපයක සමාන-වැඩිම ඡන්ද වැටෙන අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ජයග්‍රාහකයා තෝරන්න වෙන්නේ කුසපත් ඇදීමකින්. ඒ වගේම, මේ කුඩා බෙදීම තුළ, තැපැල් ඡන්ද වෙනම ගණන් කිරීමේ හැකියාවක් ඇතැයි මා සිතන්නේ නැහැ. 

කොට්ඨාශ ක්‍රමය තුළ වුවත්, අපේක්ෂකයින් ඉදිරිපත් වන්නේ පක්ෂයක් හෝ කණ්ඩායමක් නියෝජනය කරමිනුයි. එසේ තේරී පත් වන නියෝජිතයෙකුට පසුව පක්ෂ මාරු කිරීමේ අයිතිය ඇත්ද යන්න මා දන්නේ නැහැ. මගේ අදහසනම් ඒ අයිතිය තිබිය යුතු බවයි. ප්‍රාදේශීය සාධක සැලකිල්ලට ගනිමින් හොඳම නියෝජිතයෙකු තෝරා ගැනීමට ඡන්දදායකයින්ට ඉඩ ලැබෙන්නේ එම අයිතිය නියෝජිතයාට ඇත්නම් පමණයි.

කොට්ඨාශ 4,919 අතරින් 4,750ක් කේවල නියෝජිත කොට්ඨාශයි. කොට්ඨාශ 165කින් නියෝජිතයින් දෙදෙනෙකු බැගින්ද, තවත් කොට්ඨාශ 4කින් නියෝජිතයින් තිදෙනෙකු බැගින්ද තෝරාපත් කර ගත හැකි නිසා තේරීපත් වන සෘජු නියෝජිතයින් ප්‍රමාණය 5,092ක් වුවත් කේවල කොට්ඨාශ 20ක් හා බහු මන්ත්‍රී කොට්ඨාශ දෙකක් අයත් කල්මුණේ නගර සභාව සඳහා මැතිවරණයක් නොපැවැත්වෙන නිසා මෙවර තේරී පත් වීමට නියමිතව ඇත්තේ සෘජු නියෝජිතයින් 5,068 දෙනෙකු පමණයි. මීට අමතරව, එම ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට ආසන්න නියෝජිතයින් ප්‍රමාණයක් (3,300+) සමානුපාතික ක්‍රමයට තේරී පත් වීමට නියමිතයි. 

Friday, January 20, 2023

අරමුදලේ සල්ලි කවදා ලැබෙයිද?


ලංකාව ආර්ථික අර්බුදයකට ගියේ කාලයක් තිස්සේ සිදු කළ ප්‍රතිපත්ති වැරදි නිසා. කෙසේ වුවත්, ආසන්න වශයෙන් පසුගිය අප්‍රේල් මාසයේ සිට රටේ ප්‍රතිපත්ති දිශානතිය නිවැරදි පැත්තට හැරවුණා. ඒ ලොකු වන්දියක් ගෙවීමෙන් පසුවයි. ඒ වන විට සිදුව තිබුණු ප්‍රතිපත්ති වැරදි පහසුවෙන් නිවැරදි කළ හැකි වැරදි නෙමෙයි. 

විණිමය අනුපාතය සැලකිය යුතු ලෙස අවප්‍රමාණය වන්නට ඉඩ හරිනු ලැබූ අතර ඉන්පසු අවශ්‍ය මට්ටමේදී එය ස්ථාවර කරනු ලැබුවා. මේ අවශ්‍ය මට්ටම පිළිබඳව මගේ අදහස තරමක් වෙනස් වුනත්, සමස්තයක් ලෙස මේ ක්‍රියාමාර්ගය නිවැරදි ක්‍රියාමාර්ගයක්. 

පොලී අනුපාතික ඉහළ යන්නට ඉඩ හරිමින් මුදල් සැපයුම දැඩි ලෙස පාලනය කෙරුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට උද්ධමනය පාලනය වී තිබෙනවා. වසර මැද වන විට උද්ධමනය විශාල ලෙස පහත වැටීමට නියමිතයි. එයට සමාන්තරව පොලී අනුපාතිකද පහළ යනු ඇති. 

ඉහත වෙනස්කම් සිදුවුනේ මහ බැංකුව මුල් වීමෙන්. මහ බැංකුව පැත්තෙන් එම වෙනස්කම් සිදු වෙද්දී රජය පැත්තෙන් දැඩි මූල්‍ය විනයක් පවත්වා ගත යුතු වුනා. රජය විසින්ද අවශ්‍ය නිවැරදි තීරණ ගනිමින් බදු වැඩි කිරීම, වියදම් සීමා කිරීම, පාඩු ලබන රාජ්‍ය ව්‍යවසාය වල වියදම් හා ගලපමින් මිල වැඩි කිරීම ඇතුළු බොහෝ දේවල් කළා. මේ හා අදාළව තවත් කළ යුතු දේවල් තිබෙනවා. අනෙකුත් අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීම වෙනුවෙන්ද රජය පෙනී සිටිනවා.

ඉහත සියළු දේවල් වල ප්‍රතිඵලයක් ලෙස මේ වන විට රටේ සාපේක්ෂ ආර්ථික ස්ථාවරත්වයක් දැකිය හැකියි. ඒ සමසකට පමණ පෙර පැවති තත්ත්වයට සාපේක්ෂවයි. එහෙත්, මෙය ඉතා පහළ මට්ටමක ස්ථාවරත්වයක්. මේ ස්ථාවරත්වය මෙලෙස පවත්වා ගත හැකිව තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී ඇති සාර්ව ආර්ථික වැඩ පිළිවෙළක් යටතේයි. මහ බැංකුව මෙන්ම රජයද කටයුතු කර තිබෙන්නේත්, කටයුතු කරන්නේත් එම වැඩ පිළිවෙළ තුළයි.

අදාළ  සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ දිගටම සාර්ථකව ක්‍රියාත්මක වීම සඳහා ඉතා ඉක්මණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හිමි විය යුතුයි. වැඩ පිළිවෙළ හදා තිබුණේම ගෙවුණු වසර අවසන් වෙද්දී එම සහාය ලැබෙනු ඇතැයි යන පදනම මතයි. අපගේ පෞද්ගලික මතය වූයේනම් මෙය අසීරු ඉලක්කයක් බවයි. අප එසේ කීවේ මෙවැනි තත්ත්වයන්ට මුහුණ දුන් අනෙකුත් රටවලට ඒ සඳහා ගත වූ කාලය මත පදනම්වයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය නොමැතිව දැනට පවතින සාපේක්ෂ ස්ථාවරත්වය යම් කාලයක් පවත්වා ගත හැකි වුවත් දිගින් දිගටම මේ විදිහට යද්දී ආර්ථිකය සංකෝචනය වීම ඇතුළු හේතු ගණනාවක් නිසා විවිධ අභියෝග වලට මුහුණ දෙන්නට සිදුවීම නොවැලැක්විය හැකියි. එක් ප්‍රධානම අභියෝගයක් වන්නේ බැංකු පද්ධතියේ ස්ථාවරත්වය පවත්වා ගැනීමයි. කෙසේ වුවත්, අවම වශයෙන් වසර මැද දක්වා අමාරුවෙන් හෝ මේ විදිහට ඇදගෙන යන්න බැරිකමක් නැහැ. ඊට පෙර, බොහෝ විට පළමු කාර්තුව තුළම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබිය හැකියි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීම සඳහා ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකඟතාවයකට පැමිණිය යුතුයි. කිසිසේත්ම කළ නොහැක්කක් නොවුණත්, මෙය පසුගිය වසර අවසානයේදී සාක්ෂාත් කර ගැනීම ඉතාම අසීරු වූ ඉලක්කයක්. ජනවාරි මාසයේ දෙසතියක් ගත වෙද්දී, ලංකාව මේ ඉලක්කය ආසන්නයටම පැමිණ තිබෙනවා. නගින්න තියෙන්නේ තවත් එක් පඩියක් පමණයි. හැබැයි මේ පඩිය උස පඩියක්. ඒ චීනය එකඟ කර ගැනීම. 

ණය ප්‍රතිව්‍යුගත කිරීමේ කාර්යය තුළ මේ දක්වා පෙන්වා ඇති ප්‍රගතිය පිළිබඳව අදාළ නිලධාරීන්ගේ කාර්ය සාධනය අගය කළ යුතුයි. දැඩි කැපවීමක් නොවන්නට මේ සඳහා මීට වඩා කල් ගත විය හැකිව තිබුණා. කෙසේ වුවත්, මෙම කටයුත්ත තුළ භූ දේශපාලනයේ බලපෑම ඉතා ප්‍රබලයි. 

පසුගිය ජූනි අවසානයේදී පැවති තත්ත්වය අනුව, ශ්‍රී ලංකා රජයේ සෘජු ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 9,917ක්. රජය ඇප වී ඇති රාජ්‍ය ව්‍යවසාය වල ද්විපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1,278ක්. එකතුව ඩොලර් මිලියන 11,195ක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීම සඳහා මෙම ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. රජයේ සමස්ත විදේශ ණය ප්‍රමාණය මීට වඩා වැඩි වුවත්, ස්වෛරීත්ව බැඳුම්කර ණය ඇතුළු අනෙකුත් විදේශ ණය හෝ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අරමුදලේ පළමු ණය වාරිකය ලබා ගැනීම සඳහා කොන්දේසියක් නෙමෙයි. 

ඉහත එකඟතාවය ඇති කර ගත යුතුව තිබෙන්නේ කා සමඟද? 

ලංකාවේ ද්විපාර්ශ්වික ණයහිමියන් අතර රටවල් 23ක් සිටිනවා. මෙම රටවල් අතරින් රටවල් 16ක් පැරිස් සංසදයේ රටවල්. පැරිස් සංසදය තුළ සිටින්නේ සම්ප්‍රදායිකව දිළිඳු රටවල් වලට ණය දුන් සල්ලි තිබෙන රටවල්. ඇමරිකාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව වැනි බටහිර රටවල් මෙන්ම රුසියාව, දකුණු කොරියාව, ජපානය වැනි රටවල්ද පැරිස් සංසදය තුළ සිටිනවා. කෙසේ වුවත්, ලංකාවට විශාල ලෙස ණය දී තිබෙන චීනය, ඉන්දියාව හා මැදපෙරදිග රටවල් පැරිස් සංසදය තුළ නැහැ. 

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පැරිස් සංගමයේ භූමිකාව ඉතා ප්‍රබලයි. ඔවුන් මෙහිදී කණ්ඩායමක් ලෙස කටයුතු කරනවා. පැරිස් සංගමයේ රටවල් අතරින් ලංකාවට විශාල ලෙස ණය ලබා දී තිබුණු එකම රට ජපානයයි. ජපානය විසින් ලංකාවට ඩොලර් මිලියන 2,720ක ණය ලබා දී තිබෙනවා. එය සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 24.3%ක්. අනෙකුත් රටවල් 15ක් විසින් ලබා දී ඇති ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ඩොලර් මිලියන 1,953ක්. මුළු එකතුව ඩොලර් මිලියන 4,673ක් හෙවත් සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 41.7%ක්.

පැරිස් සංගමය සමඟ සාකච්ඡා මුලින්ම සාර්ථකව අවසන් වූ බව මාධ්‍ය වාර්තා කර තිබුණා. ඉන්පසුව ඉතිරිව සිටි ප්‍රධාන ණයකරුවන් වූයේ ඉන්දියාව හා චීනයයි. ඩොලර් මිලියන 1,683ක (15.0%ක) ඉන්දියානු ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඔවුන් මේ වන විට එකඟ වී ඇති අතර ඒ බව මූල්‍ය අරමුදල වෙත නිල වශයෙන්ම දැනුම් දී තිබෙනවා. එහෙත්, චීනයේ එකඟත්වය තවමත් ලැබී නැහැ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා චීනයේ එකඟත්වය ලැබුණහොත්, තව දුරටත් ඉතිරි වන්නේ සවුදි අරාබිය, කුවේට්, ඉරානය, හංගේරියාව සහ පකිස්ථානය යන රටවල් පහ පමණයි. එම රටවලට ගෙවිය යුතුව තිබෙන්නේ ඩොලර් මිලියන 354ක්, එනම් සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 3.1%ක කොටසක් පමණයි. මෙය ප්‍රශ්නයක් වීමට ඉඩක් නැහැ. බොහෝ විට මෙම එකඟතාවයන් මේ වන විටද ලැබී තිබෙනවා විය හැකියි.

චීනයට ගෙවන්නට තිබෙන ද්විපාර්ශ්වික ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4,483ක්. එය ලංකාවේ සමස්ත ද්විපාර්ශ්වික ණය ප්‍රමාණයෙන් 40.1%ක් තරම් වන ලොකු කොටසක්. ඒ නිසා, චීනයේ එකඟත්වය නැතිව ලංකාවට මින් ඉදිරියට සිය සැලසුම්ගත සාර්ව ආර්ථික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා නොහැකියි. මේ වන විට වැඩ පිළිවෙළෙහි ප්‍රගතිය රැඳී තිබෙන්නේ තනිකරම චීනය අතේ.

චීනය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ වෙන එකක් නැද්ද?

මගේ අදහසනම් අනිවාර්යයෙන්ම එකඟ වෙනවා කියන එකයි. මම එහෙම කියන්නේ හේතු කිහිපයක් මත.

පළමුව, ඩොලර් බිලියන 4.4ක් කියා කියන්නේ ලංකාවට විශාල මුදලක් වුනත් චීනයට ලොකු මුදලක් නෙමෙයි. දෙවනුව, මාධ්‍ය වාර්තා අනුව සහ බොහෝ දුරට සිදු විය හැකි පරිදි, දැනට පවතින එකඟතාවය අනුව ණය කපා හැරීමක් සිදු වෙන්නේ නැහැ. ණය ආපසු ගෙවන කාලය වැඩි වීමක් හා පොලියෙන් කොටසක් කපා හැරීමක් පමණයි සිදු වෙන්නේ. ඒ නිසා, මේ වැඩෙන් චීනයට ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. අවසාන වශයෙන් දුන්න සල්ලි ටික ආපසු ලැබෙනවා. සැලකිය යුතු පොලියකුත් ලැබෙනවා. තෙවනුව, ණය ප්‍රතිව්‍යුහගත කරන්න අනෙක් හැම රටක්ම කැමති වෙලා තියෙද්දී චීනය විතරක් අකැමැති වෙලා ඒ හේතුව මත රටේ ජනතාවට විශාල ලෙස පීඩා විඳින්න සිදු වුනොත්, ලාංකිකයින්ට චීනය සතුරු රාජ්‍යයක් විදිහට පෙනෙන්න පුළුවන්. චීනය ඒකට කැමති වෙන්නේ නැහැ. මේ හේතු නිසා, චීනය කොයි වෙලාවේ හෝ  ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමති වෙනවා.

හැබැයි මෙතැන පැරිස් සංසදය හරහා බටහිර රටවල් විසින් චීනයට දමපු දඟ පන්දුවක් තිබෙනවා. පැරිස් සංසදයේ රටවල් ණය කපා හැරලා නැහැ. කපා හරින්න කැමති වෙලා තියෙන්නේ පොලියෙන් කොටසක් පමණයි. නමුත්, පැරිස් සංසදයේ රටවල් ණය දීලා තිබෙන්නේ ගොඩක් අඩු පොලියකට නිසා පොලියෙන් කොටසක් නෙමෙයි සම්පූර්ණයෙන්ම කැපුවත් ඒ රටවල් වලට ලොකු පාඩුවක් වෙන්නේ නැහැ. සාපේක්ෂව ලොකු පොලී අනුපාතිකයකට ණය දීලා තිබෙන චීනයට මේ වැඩෙන් රිදෙනවා. ඒ නිසා, මේක චීනයම ඉලක්ක කරලා කරපු යොන් මැරිල්ලක් වගේ වැඩක්. භූ දේශපාලනික ගේම් ඔහොම තමයි. 

මේ තත්ත්වය තුළ වුවත්, චීනයට පොලී කපා හරින එකට එරෙහිව දිගින් දිගටම හෙට්ටු කරන්නත් බැහැ. එහෙම කරන්න ගියොත් මස් රාත්තලම ඉල්ලන ශයිලොක්ගේ මට්ටමට වැටෙනවා. චීනය ඒකටත් කැමති වෙන එකක් නැහැ. චීනයට අවසාන වශයෙන් වැඩේට කැමති වෙන්න වෙනවා.

කොයි වෙලේ හෝ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කැමති වෙන්න වෙනවා කියලා චීනය දන්නවානම් වැඩේ පරක්කු කරන්නේ ඇයි? මම හිතන්නේ ඒ තමයි චීනය මේ සෙල්ලම කරන විදිහ. 

ආණ්ඩුවේ පැත්තෙන් මේ වෙලාවේ සැලසුම කුමක්ද? පළාත් පාලන මැතිවරණ කල් දැමීමේ ඉඩකඩ ගැන කතාවක් ගියත් මගේ අදහසනම් මැතිවරණ නොතියා ඉන්න බැරිවෙයි කියලා. 

ආණ්ඩුවට පක්ෂපාත අය පවා ආණ්ඩුවේ මැතිවරණ ජයග්‍රහණයක් ගැන ලොකුවට විශ්වාස කරන්නේ නැහැ. මැතිවරණය නොපවත්වා බැරි පසුබිමකදී ආණ්ඩුවේ උත්සාහය වනු ඇත්තේ මැතිවරණය හොඳටම කිට්ටු වෙද්දී අරමුදලේ සල්ලි ලැබෙන එක ගැන නිවේදනය කරලා ඒ ප්‍රවෘත්තියට ලොකු ප්‍රචාරයක් දෙන එක. ඒ නිසා, මේ වැඩේ මැතිවරණය කිට්ටු වෙලා සිදු වෙන තරමට ආණ්ඩුවට වාසියි.

ඇත්තටම කියනවානම් අරමුදලේ පළමු වාරිකය ලැබුණා කියලා රට ඇතුළේ ක්ෂණිකව කිසිම දැනෙන වෙනසක් වෙන්නේ නැහැ. නමුත්, සල්ලි ආපු ගමන්ම මිනිස්සුන්ට ලොකු බලාපොරොත්තුවක් ඇති වෙනවා. වැඩිපුර කල් ගියොත් වෙන්නේ ඔය බලාපොරොත්තුවත් කඩා වැටෙන එක. ඕක ආණ්ඩුව දන්නවා. ඒ නිසා, ආණ්ඩුව කැමති වනු ඇත්තේ අන්තිම මොහොතේ ඔය වැඩේ වෙනවටයි. මැතිවරණ නීති වලට අහු නොවී වක්‍ර ලෙස ආණ්ඩුවට වාසිදායක ප්‍රචාරණයක් කරන්නත් පුළුවන්. මැතිවරණ ප්‍රචාරණ කටයුතු වලින් ඉවත් වෙලා ඉන්න ජනාධිපති රනිල් ඔය දැනුම් දීම කළාම කොහෙත්ම අවුලක් නැහැ.

ආණ්ඩුවට මේ අවස්ථාව දෙනවද නැද්ද කියන තීරණය තියෙන්නේ චීනය අතේ. මැතිවරණයට කලින් අරමුදලේ සල්ලි ලැබුණා කියලා ආණ්ඩුවට විශාල පිම්මක් පනින්න පුළුවන් වෙන එකක් නැහැ. නමුත්, ඒකවත් නැත්නම් ආණ්ඩුවට බඩටම වදිනවා. චීනයට ආණ්ඩුව වට්ටන්න අවශ්‍යනම්, චීනයට හිතවත් ආණ්ඩුවක් ඉක්මණින් පත් කර ගන්න අවශ්‍යනම්, චීනය මැතිවරණ පැවැත්වෙන තුරු ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩේ අදින්න පුළුවන්. එහෙම උවමනාවක් ලොකුවට නැත්නම්, කලින්ම වැඩේට එකඟ වෙලා ආණ්ඩුවට චූටි ගැම්මක් ගන්න ඉඩ දෙන්න පුළුවන්.

ඉන්දියාව හා බටහිර රටවල් විසින්නම් ආණ්ඩුවට මේ ගැම්ම කලින්ම දීලා තිබෙනවා. එයින් අදහස් වන්නේ මේ ආණ්ඩුව දිගටම බලයේ ඉන්න එක පිළිබඳව ඒ රටවල් වලට අවුලක් නැහැ කියන එක. හැබැයි අවුලක් නැහැ කියන්නේ ආණ්ඩුව තියාගන්න සක්‍රිය ලෙස කටයුතු කරනවා කියන එක හෝ එහෙම කිරීමේ හැකියාවක් තියෙනවා කියන එක නෙමෙයි. ආණ්ඩුව තියාගන්න අවශ්‍යතාවයක් තියෙනවා කියන එකත් නෙමෙයි.

අරමුදලේ සල්ලි ලැබුණු පමණින් ලංකාව ගොඩ යන්නේ නැති බව ඔය හැම රටක්ම දන්නවා. බලාපොරොත්තු වෙන විදිහට රට ගොඩ දාන්නම් තව ඩොලර් බිලියන ගණනක ණය රටට ආ යුතුයි. ඒ නිසා, අරමුදලේ සල්ලි ලැබුණු පමණින් බටහිර රටවලට, ඉන්දියාවට වගේම චීනයටත් ලංකාවට බලපෑම් කිරීමේ හැකියාව අහෝසි වෙන්නේ නැහැ. 

අරමුදලේ සල්ලි ලැබුණත්, ඔය ඉතුරු සල්ලි හිතන විදිහටම නොඑන්න පුළුවන්. ඔය වගේ ගණන් හිලවු හිටපු මහ බැංකු අධිපතිවරයා විසිනුත් ඉදිරිපත් කළා. යම් මුදලක් ලැබෙයි. හැබැයි ඒ ලැබෙන්නේ දේශපාලන ස්ථාවරභාවය තහවුරු වුනාට පස්සේ. තේරෙන විදිහට කිවුවොත්, මේ ආණ්ඩුවට හරි වෙන ආණ්ඩුවකට හරි, අවශ්‍ය ප්‍රතිසංස්කරණ කිරීමේ අධිෂ්ඨානය එක්ක ඒ සඳහා අවශ්‍ය මහජන සහයෝගයත් තියෙනවා කියලා පෙනුනට පස්සේ. ඔය දෙකම වෙන්නේ නැතුව දිගුකාලීනව ආර්ථිකය ස්ථාවර වෙන්නේ නැහැ. 

Thursday, January 19, 2023

උද්ධමනය පාලනය කිරීමට පොලී අනුපාතික වැඩි කරන්නේ ඇයි?

මුදල් සැපයුම ඉහළ යාම උද්ධමනයට හේතු වන බව අපි දන්නවා. උද්ධමනය පාලනය කිරීමට මුදල් සැපයුම පාලනය කළ යුතු බවත් දන්නවා. එහෙමනම්, උද්ධමනය පාලනය කිරීම සඳහා මහ බැංකු විසින් පොලී අනුපාතික වැඩි කරන්නේ ඇයි? පොලී අනුපාතික හා මුදල් සැපයුම අතර සම්බන්ධය කුමක්ද? පොලී අනුපාතික වැඩි නොකර උද්ධමනය පාලනය කරන්න බැරිද? 



Wednesday, January 18, 2023

පොලී අනුපාතික තවත් පහළට!

පෙර සතියේ පළ කළ සටහනක අප විසින් ඉදිරිපත් කළ පුරෝකථනය සනාථ කරමින් අද දිනයේ (ජනවාරි 18) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික පැහැදිලිව පෙනෙන පරිදි පහත වැටී තිබෙනවා.

දින-91 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 55

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 86.2

විකිණූ පොලී අනුපාතිකය = 30.08

පෙර සතියේ පොලී අනුපාතිකය = 31.15%

දෙසතියකට පෙර පොලී අනුපාතිකය = 32.01%


දින-182 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 20

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 54.8

විකිණූ පොලී අනුපාතිකය = 29.07%

පෙර සතියේ පොලී අනුපාතිකය = 31.37%

දෙසතියකට පෙර පොලී අනුපාතිකය = 32.02%


දින-364 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 20

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 53.7

විකිණූ පොලී අනුපාතිකය = 28.25%

පෙර සතියේ පොලී අනුපාතිකය = 29.04%

දෙසතියකට පෙර පොලී අනුපාතිකය = 29.16%

පසුගිය දෙසතියක කාලය සැලකූ විට දින-91 බිල්පත් පොලී අනුපාතික 2%කින් පමණත්, දින-182 පොලී අනුපාතික 3%කින් පමණත්, දින-364 පොලී අනුපාතික 1%කින් පමණත් පහත වැටී ඇති බව ඔබට පෙනෙනු ඇති. මේ රටාව කියාපාන්නේ කුමක්ද?

පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ දීමෙන් අනතුරුව, පසුගිය මාස ගණනාවක් පුරා, රජයට අවශ්‍ය අරමුදල් දේශීය වෙළඳපොළෙන් සපයා ගත හැකි වුනත්, බොහෝ දුරට එසේ අරමුදල් සපයාගත හැකි වූයේ තෙමසක කාලයකට පමණයි. වෙනත් අයුරකින් කිවුවොත්, දින-91 බිල්පත් විකුණාගත හැකි වූ තරමට දින-182 හෝ දින-364 බිල්පත් විකුණාගත හැකි වූයේ නැහැ. මෙයට හේතුව වූයේ බිල්පත් ආයෝජකයින් විසින් මාස තුනකට වඩා වැඩි කාලයකට සල්ලි හිර කිරීම අවදානම් කටයුත්තක් සේ දැකීමයි. 

බිල්පත් ආයෝජකයින්ගේ දෘෂ්ඨි කෝණයෙන් ඉහත හැසිරීමට හේතු දෙකක් තිබුණා. හේතු කියා කිවුවත් එකිනෙකට සම්බන්ධ කරුණු දෙකක්. 

පළමුවැන්න, පොලී අනුපාතික අඩුවනු ඇති බවක් ඔවුන් විශ්වාස නොකිරීම. පොලී අනුපාතික අඩුවන බව පෙනෙන්නේනම් වඩා වාසිසහගත තීරණය දිගු කලකට මුදල් ආයෝජනය කරමින් පවතින ඉහළ පොලී අනුපාතික වල වාසිය දිගුකාලීනව තහවුරු කර ගැනීමයි. අනෙක් අතට පොලී අනුපාතික තවත් ඉහළ යා හැකි බව පෙනේනම් වඩා වාසිදායක තීරණය වන්නේ කෙටි කලකට මුදල් ආයෝජනය කරන එකයි. පොලී අනුපාතික නොවෙනස්ව පවතිනු ඇති බව පෙනෙන්නේ වුවද වඩා වාසිදායක කෙටි කලකට මුදල් ආයෝජනය කරන එකයි. 

දෙවන සාධකය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානමයි. දින-91 වැනි කෙටි කලකදී මෙවැන්නක් සිදු වීමේ අවදානම අඩු වුවත්, සල්ලි හිර කර තබන කාලය වැඩි වෙද්දී අවදානම ඉහළ යනවා. 

ඉහත හේතු දෙක නිසා රජයට අවශ්‍ය පමණ ණය ලබා ගත හැකි වුවත්, එසේ ණය ලබා ගත හැකි වූයේ මාස තුනක කාලයකටයි. ඒ නිසා, ඉතා කෙටි කාලාන්තර තුළ නැවත නැවත ණය ගැනීමට සිදු වී තිබුණා.

ඉහත තත්ත්වයන් තවමත් මුළුමනින් වෙනස් වී නැහැ. එහෙත්, බිල්පත් ආයෝජකයින්ගේ හැසිරීමේ යම් වෙනසක් පැහැදිලිව දක ගත හැකියි. මේ වන විට, දින-91 බිල්පත් කෙරෙහි පමණක් වූ අවධානය ක්‍රමයෙන් දින-182 බිල්පත් කෙරෙහි යොමු වෙමින් තිබෙනවා. දින-182 බිල්පත් පොලී අනුපාතික වඩා වැඩියෙන් පහත වැටීමට හේතුව මෙයයි.

වෙළඳපොළ විසින් මේ සංඥාව ග්‍රහණය කර ගැනීමට සමාන්තරව බොහෝ දෙනෙකු විසින් දිගුකාලීන ආයෝජන මගින් ඉහළ පොලී අනුපාතික වල ප්‍රතිලාභ තහවුරු කර ගැනීමට උත්සාහ කිරීම අපේක්ෂා කළ හැකි වුවත්, අනෙක් පැත්තෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානම මෙය වළක්වනවා. ඒ නිසා, වසර ගණනාවක කාලයකට රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීම කෙසේ වෙතත්, දින-364 දක්වා වන රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීම සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් අදාළ පොලී අනුපාතික තව දුරටත් අඩුවේයැයි සිතිය හැකියි. 

පෙර සටහනෙන් විස්තර කළ පරිදි, ෆිච් රේටිං ආයතනය වැනි ආයතන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානමක් දකිනවා. ඔවුන් එවැනි නිගමනයකට එළැඹෙන්නේ පවතින ඉහළ පොලී අනුපාතික එළෙසම පවතිනු ඇතැයි යන පදනම මතයි. එහෙත්, පොලී අනුපාතික අඩු වෙමින් පවතින අතර පොලී අනුපාතික අඩු වෙද්දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය හා එයින් ලැබිය හැකි වාසිද අඩු වෙනවා. 

පොලී අනුපාතික තිබිය යුතු මට්ටම තීරණය කරන ප්‍රධාන සාධකයක් වන්නේ උද්ධමනයයි. එහෙත්, මෙහිදී අදාළ වන්නේ දැනට පවතින උද්ධමනය නෙමෙයි. සුරැකුම්පතක් නිකුත් කරන දින සිට කල් පිරෙන දිනය දක්වා කාලය තුළ පවතිනු ඇතැයි අපේක්ෂිත උද්ධමනයයි. මේ වසර අවසානය වන විට අඩුම වශයෙන් 15% දක්වාත්, බොහෝ විට තනි අංකයක් දක්වාත් උද්ධමනය අඩු වීමට නියමිතව ඇති නිසා දින-364 පොලී අනුපාතිකයද අඩු වශයෙන් 15% මට්ටම දක්වා අඩු විය යුතු වුවත්, වෙළඳපොළ උද්ධමන අපේක්ෂාවන් තවමත් අඩු වී නැති නිසාත්, ණය ප්‍රතිව්‍යුහකරණය කිරීම පිළිබඳ බිය නිසාත්, පොලී අනුපාතික නිවැරදි වීමට යම් කාලයක් ගත විය හැකියි. යම් කාලයක් යා හැකි වුවත්, දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය නොකර වැඩේ ගොඩින් බේරා ගැනීමට හැකි වන තරම් ඉක්මණින් එය සිදු නොවන්නට හේතුවක් නැහැ.

කෙසේ වුවත්, මේ අයුරින් පොලී අනුපාතික පහළ යනු ඇත්තේ රජය විසින් දිගටම මූල්‍ය විනය පවත්වා ගන්නේනම් පමණයි. සල්ලි අච්චු නොගසන තත්ත්වයක් යටතේ රජයට වියදම් කරන්න වෙන්නේ ආදායම් එකතු වන තරමටයි. මෙහිදී රජයේ ගෙවීම් ප්‍රමාද වීම නොවැලැක්විය හැකියි. සැපයුම්කරුවන්ගේ ගෙවීම් ආදිය කාලයක් තිස්සේම ප්‍රමාද වෙමින් ඇති අතර, මේ වෙද්දී සමෘද්ධි දීමනා, රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම්ද ප්‍රමාද වෙමින් තිබෙනවා. රජයට තත්ත්වය කළමනාකරණය කරගත හැකි වනු ඇත්තේ කවර හෝ රාජ්‍ය වත්කම් විකුණා යම් මුදලක් සොයා ගැනීමෙන් පමණයි. එවැනි දේ නොකර පොලී අනුපාතික අවශ්‍ය පමණ අඩු කර ගැනීම අසීරුයි. පොලී අනුපාතික අවශ්‍ය පමණ අඩු වන තුරු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නට වීමේ අවදානම පහව යන්නේ නැහැ. යන පාර හරි වුනත් ගමනාන්තය තිබෙන්නේ තව බොහෝ දුරයි.

Sunday, January 15, 2023

ෆිච් පන්දුවෙන් බැංකු දැවී යයිද?


ෆිච් රේටින් ආයතනය විසින් ලංකාවේ ප්‍රධාන බැංකු දහයක ශ්‍රේණිගත කිරීම් පහළ දමා තිබෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති. මෙයින් අදහස් වන්නේ කුමක්ද?

මුලින්ම අපි ශ්‍රේණිගත කිරීම් පහළ ගොස් ඇති ආකාරය දෙස බලමු.

- ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව හා සම්පත් බැංකුව යන බැංකු පහේ ණය ශ්‍රේණි AA- සිට A දක්වා කට්ට දෙකකින් පහළ දමා තිබෙනවා. ඔබ දන්නා පරිදි මෙම බැංකු පහ ලංකාවේ ප්‍රධානම වාණිජ බැංකු පහයි.

- කාගීල්ස් බැංකුවේ ණය ශ්‍රේණිය A+ සිට A දක්වා එක් කට්ටයකින් පහළ දමා තිබෙනවා.

- ඩීඑෆ්සීසී බැංකුවේ ණය ශ්‍රේණිය A+ සිට A- දක්වා කට්ට දෙකකින් පහළ දමා තිබෙනවා.

- ජාතික සංවර්ධන බැංකුව, සෙලාන් බැංකුව හා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව යන බැංකු තුනේ ණය ශ්‍රේණි A සිට A- දක්වා එක් කට්ට්යකින් පහළ දමා තිබෙනවා. 

ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු 24ක් තිබෙනවා. එම බැංකු අතරින් 12ක්ම විදේශ බැංකු. ඉන්දියන් බැංකු 3ක්, පකිස්ථාන බැංකු දෙකක්, චීන බැංකුවක්, සවුදි අරාබි බැංකුවක්, මැලේසියන් බැංකුවක් හා ජාත්‍යන්තර බැංකු 4ක් මෙයට අයත්. යුනියන් බැංකුව ශ්‍රී ලාංකික බැංකුවක් වුවත්, මේ වන විට එහි වැඩි කොටස් අයිතිය හිමි ඇමරිකානු සමාගමකටයි. දේශීය බැංකු සේ සැලකිය හැක්කේ ඉතිරි බැංකු 11 පමණයි. එම බැංකු 11 අතරින් බැංකු දහයකම ශ්‍රේණිගත කිරීම් ෆිච් රේටින් ආයතනය විසින් පහළ දමා තිබෙනවා.

කෙසේ වුවද, රටේ ප්‍රධාන වාණිජ බැංකු පහේ සහ කාගීල්ස් බැංකුවේ ණය ශ්‍රේණිය තවමත් A මට්ටමේ තිබෙනවා. තවත් බැංකු හතරක ණය ශ්‍රේණිය A- මට්ටමේ තිබෙනවා. පෑන් ඒෂියා බැංකුවේ ණය ශ්‍රේණිය මේ අවස්ථාවේදී පහත දමා නැතත්, එම ණය ශ්‍රේණිය පෙර සිටම තිබුණේ BBB- මට්ටමේ. 

ඉහත ණය ශ්‍රේණිගත කිරීම් වලින් අදහස් වන්නේ කුමක්ද?

ෆිච් රේටින් ආයතනය විසින් ඉහත ශ්‍රේණිගත කිරීම් කර තිබෙන්නේ අදාළ වාණිජ බැංකු වල අවදානම ලංකාවේම අනෙකුත් ආයතන වල අවදානම් හා සසඳමින් නිසා මෙම ශ්‍රේණිගත කිරීම් විදේශ බැංකු වල ශ්‍රේණිගත කිරීම් හා සංසන්දනය කළ නොහැකියි. වෙනත් අයුරකින්, මෙම ශ්‍රේණිගත කිරීම් වලින් පිළිඹිඹු වන්නේ රට තුළ සිටින අයෙකුට මුහුණ දෙන්නට සිදු විය හැකි අවදානමේ තරම කියා කියන්නත් පුළුවන්. ණය ශ්‍රේණි පහත දමා තිබුණත්, දැනට තිබෙන මට්ටමෙන් වුවද විශාල අවදානමක් පෙන්නුම් කරන්නේ නැහැ.

ෆිච් රේටින් ආයතනයේ A සහ A- මට්ටම් වලින් අදහස් කෙරෙන්නේ ණය ආපසු නොලැබීමේ අවදානම ඉතා අඩු (very low default risk) නැතත්, අඩු (low default risk) බවයි. ඒ වගේම ණය ආපසු ගෙවීමේ ධාරිතාව ශක්තිමත් බවයි. එහෙත් බාහිර කම්පන හේතුවෙන් මෙම ධාරිතාවට බලපෑමක් සිදු විය හැකි බවයි.

ලංකාවේ බැංකු වල ණය ආපසු ගෙවීමේ ධාරිතාවට බලපෑමක් සිදු විය හැකි ප්‍රධානම ආකාරයක් වන්නේ රජය විසින් දේශීය ණය ගෙවීම පැහැර හරිනු ලැබීමයි. එවැන්නක් සිදු නොවන තාක් බැංකු පද්ධතිය සුරක්ෂිත බව මෙම විශ්ලේෂණයෙන් අදහස් කෙරෙනවා. කෙසේ වුවත්, ෆිච් රේටින් ආයතනය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානමට යම් බරක් තබනවා. 

මීට පෙර, දෙසැම්බර් මාසයේදී, ෆිච් රේටින් ආයතනය විසින් ශ්‍රී ලංකා රජයේ දේශීය ණය අවදානම් ශ්‍රේණිය CCC සිට CC දක්වා පහත හෙළනු ලැබුවා. එයින් අදහස් වන්නේ එම ආයතනයේ තක්සේරුව අනුව, දේශීය ණය පැහැර හරිනු ලැබීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක ඇති බවයි (Very High Levels of Credit Risk). එම ආයතනය එසේ සිතන්නේ ඇයි?

දෙසැම්බර් මාසයේදී නිකුත් කෙරුණු ෆිච් රේටින් නිවේදනය අනුව, උද්ධමනය පහත වැටෙමින් පවතින අතර පොලී අනුපාතික එහි උපරිම මට්ටමට ළඟා වී අවසන්. කෙසේ වුවත්, ආදායම් වැඩි කර ගෙන, වියදම් සීමා කර, අයවැය හිඟය අඩු කර ගැනීම මගින් ණය බර අඩු කර ගැනීම රජයේ ප්‍රකාශිත ඉලක්කය වුවත්, එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ශක්‍යතාවය පිළිබඳව ෆිච් රේටින් ආයතනය එතරම් විශ්වාසයක් තබන්නේ නැහැ. ඒ නිසාම, ඔවුන්ට පෙනෙන පරිදි, රජය යම් අවස්ථාවක දේශීය ණය ගෙවා ගත නොහැකිව හිර වීමට නියමිතයි.

ෆිච් රේටින් ආයතනය විසින් මෙහිදී රජය සතුව ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා අවශ්‍ය වන දේශපාලන සහයෝගය නොමැති වීම ප්‍රශ්නයක් ලෙස දකිනවා.

"Political Risks Weigh on Fiscal Outlook: Political instability could threaten reform implementation. The government's parliamentary position appears strong, but the government lacks public support. This increases the risk of further destabilising protests if economic conditions do not improve or reforms generate public opposition. President Wickremesinghe was prime minister in the previous administration under President Rajapaksa, who was brought down by protests. Parliament and the government also remain dominated by politicians who are affiliated with the Rajapaksa family."

ෆිච් රේටින් ආයතනය විසින් රජයේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි ප්‍රශ්නයක් දකින්නේ නැහැ. එහෙත්, සරල වචන වලින් කියනවානම්, ෆිච් රේටින් ආයතනය විසින් කියන්නේ මහජන සහයෝගය නැති, රාජපක්ෂ හිතවාදී ආණ්ඩුවට මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මහජන සහයෝගය නොලැබෙන නිසා වැඩේ වෙන්නේ නැති බවයි. 

මේ නිගමනය හරි වුනත්, වැරදි වුනත්, ෆිච් රේටින් ආයතනය වැනි ආයතනයක නිගමන වලට ලෝකයම සංවේදීයි. ඒ නිසා, එවැනි ආයතන මේ විදිහට හිතද්දී ලංකාවට වැටී සිටින වලෙන් ගොඩ එන්න අමාරුයි. ඒ හේතුව නිසාම, කුමක් හෝ මැතිවරණයක් පවත්වා ආණ්ඩුව සමඟ ජනතාව සිටින බව නොපෙන්වුවහොත්, ආණ්ඩුවට මේ වන විට හිර වී සිටින තැනින් එළියට යාමට අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය නොලැබෙන්න පුළුවන්. 

පැවැත්වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන මැතිවරණයි. යම් හෙයකින් එජාප-පොහොට්ටු සන්ධානයට ජනමතය තවදුරටත් තමන් සමඟ තිබෙන බව මෙම මැතිවරණය හරහා පෙන්විය හැකිනම්, එතැන් සිට සියල්ල සුමට ලෙස සිදු විය හැකියි. එහෙත්, මැතිවරණ ප්‍රතිඵලය ආණ්ඩුවට වාසිදායක වීමට තිබෙන ඉඩකඩ කොපමණද?

පළාත් පාලන මැතිවරණ වලින් ආණ්ඩුව පරාජය වී, දැනට යෝජිත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළම ලොකු වෙනසක් නැතිව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සෘජුව පෙනී සිටින වෙනත් පාර්ශ්වයක් ඉදිරියට ආවොත්, ජාත්‍යන්තර සහයෝගය එම කඳවුරට ලැබීම අනිවාර්යයෙන්ම සිදු වනු ඇති අතර එය සිදු වනු ඇත්තේ මහ මැතිවරණයක් පවත්වා එම කඳවුර ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුවයි. එතෙක්, පවතින තත්ත්වයෙහි ප්‍රගතියක් සිදු නොවෙන්න පුළුවන්. 

යම් හෙයකින් පළාත් පාලන මැතිවරණ වල ජනමතය දැනට යෝජිත වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම වෙනුවෙන් සෘජුව පෙනී නොසිටින පාර්ශ්වයන් වෙත යොමු වුවහොත් කුමක් සිදු විය හැකිද? 

පෙර කී පරිදි, ජාත්‍යන්තර ඇසින් ආණ්ඩුව තුළ දකින ප්‍රශ්නය ආණ්ඩුවේ වැඩ පිළිවෙළ පිළිබද ප්‍රශ්නයක් නෙමෙයි. එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන සහයෝගය නැතිකම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා, වැඩ පිළිවෙළ නැතිව දේශපාලන සහයෝගය පමණක් තහවුරු කරගත් පමණින් කිසිවක්ම සිදු වන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ ජනතාවගේ පැත්තෙන් "දඩුවම්" කාලය "දැඩි දඬුවම්" කාලයක් වනු හැර වෙනත් දෙයක් වීමේ ඉඩක් නැහැ. 

Friday, January 13, 2023

සල්ලි නැති නිසා මැතිවරණ එපාද?


රටේ ආර්ථික අර්බුදයක් තියෙද්දී මැතිවරණ පැවැත්විය යුතුද සහ හැකිද කියන එක ගැන සංවාදයක් ඇති වී තිබෙනවා. ස්වභාවය අනුවම මේ ප්‍රශ්නය දේශපාලනික ප්‍රශ්නයක්. නමුත් රටේ ආර්ථික තත්ත්වයත් ප්‍රශ්නයට ගෑවිලයි තියෙන්නේ.

සමහර අය මැතිවරණයක් පැවැත්වීමේ ආර්ථික බලපෑම ගැන අවධානය යොමු කරවමින් කතා කළත් ඇත්තටම මේ යෝජනාවට පක්ෂව වගේම විපක්ෂව අදහස් දක්වන හැමෝම වගේ එසේ කරන්නේ අපේක්ෂිත මැතිවරණ ප්‍රතිඵලය ගැන සිතමිනුයි.

පැවැත්වීමට ඉඩ තිබෙන මැතිවරණයක ප්‍රතිඵලය ගැන අනාවැකි කියන්න අමාරුයි. නමුත් වැඩි අපහසුවක් නැතුව කියන්න පුළුවන් දේවල් ටිකක් තිබෙනවා. ඒ ප්‍රධාන කඳවුරු තුනේ බල තුලනය වෙනස් විය හැකි ආකාරය. 

ඉතා පැහැදිලි ලෙසම පොහොට්ටු ඡන්ද පදනම කඩා වැටිලා තිබෙනවා. කොපමණකින්ද කියන එක හරියටම බලාගන්න වෙන්නේ මැතිවරණයක් තියලම තමයි. සජබ ඡන්ද පදනම යම් තරමකින් හෝ වැඩි වෙන්න මිසක් අඩු වෙන්න හේතුවක් නැහැ. ජවිපෙ/ජාජබ ඡන්ද පදනමේ පැහැදිලි වැඩි වීමක් පේන්න තිබෙනවා. 

මේ තත්ත්වය තුළ කවර හෝ මැතිවරණයකට යන එක සජබට වගේම ජවිපෙ/ජාජබට වාසියි. එම කඳවුරු වලට ලැබෙන්න මිසක් නැති වෙන්න දෙයක් නැහැ. අනෙක් පැත්තෙන් ආණ්ඩුවට නැති වෙන්න මිසක් ලැබෙන්න දෙයක් නැහැ. ඒ නිසා, ආණ්ඩුවේ පැත්තෙන් මැතිවරණ පැවැත්වීමට ප්‍රතිරෝධයක් එන එක තේරුම් ගන්න අමාරු දෙයක් නෙමෙයි. 

මට පෙනෙන හැටියටනම් කඩා වැටිලා තිබෙන පොහොට්ටු ඡන්ද පදනමෙන් සැලකිය යුතු කොටසක් ජවිපෙ/ජාජබ පැත්තටත්, තවත් යම් කොටසක් සජබ වෙතටත් තල්ලු වෙලා වුනත් විශාල කොටසක් තවමත් කොහේටවත් තල්ලු වෙලා නැහැ. ඒ ඡන්ද එකතු කර ගැනීමේ උත්සාහයක් ලෙස හදාගෙන තිබෙන හෙලිකොප්ටර් වලට මුලින් කී ප්‍රධාන ධාරා තුනට සාපේක්ෂව ලොකු ඉල්ලුමක් තියෙයි කියලා හිතන්න අමාරුයි. පැවති දේශපාලන ක්‍රමයම එපා වුනු අය ඉලක්ක කරගත් වෙනත් සංවිධානාත්මක ව්‍යාපාරයක් හරියකට හැදිලත් නැහැ. ඒ නිසා, පොඩි පොඩි කණ්ඩායම් අතර ඡන්ද බෙදී යාම්, ඡන්දය නොදැමීම්, ඡන්ද අවලංගු කිරීම් ආදිය හමුවේ වුවත්, ප්‍රධාන කඳවුරු තුන අතර යම් තුලනයක් ඇති විය හැකි තත්ත්වයකුයි තියෙන්නේ. පැහැදිලි නැත්තේ ඒ මොන අනුපාතයෙන්ද කියන එකයි.

ප්‍රතිඵලය කුමක් වුවත්, අපේක්ෂිත ප්‍රතිඵලය දිහා බලාගෙන මැතිවරණ වලට දින නියම කරන එක හොඳ ක්‍රමයක් නෙමෙයි. හරි ක්‍රමය මැතිවරණ පැවැත්විය යුතු පිළිවෙළට ඒවා පවත්වන එක. මේ අවුරුද්දේ ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව නැහැ. නමුත්, පළාත් පාලන මැතිවරණ පැවැත්විය යුතු කාලය දැනටමත් පහු වෙලා. පළාත් සභානම් දැන් අකර්මන්‍ය වෙලා වගේ. 

මම හිතන විදිහට පැවැත්විය යුත්තේත්, පවත්වන්න ඉඩ තිබෙන්නේත් පළාත් පාලන මැතිවරණයි. ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුයි කියලා ලොකු හඬක් නැහැ. නමුත්, පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බවට විපක්ෂ කණ්ඩායම් හඬ නගනවා. පළාත් පාලන මැතිවරණ පැවැත්වුවහොත් එහි ප්‍රතිඵලය අනුව, පාර්ලිමේන්තු මැතිවරණය කලින්ම පැවැත්වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. 

මේ ටික මුලින් ලිවුවේ, ඔය ටික නැතුව මැතිවරණ සඳහා යන වියදම් ගැන කතා කළ නොහැකි නිසා. මැතිවරණ පවත්වන්න සල්ලි යනවා. ඒ සල්ලි රජය විසින් අයවැයෙන් වෙන් කළ යුතුයි. මැතිවරණ නියමිත පරිදි පැවැත්වෙනවානම් මේ වැඩේ අමාරු වැඩක් නෙමෙයි. නමුත්, අනපේක්ෂිත විදිහට මැතිවරණයක් ආවොත් සල්ලි ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ වගේ වෙලාවක එවැන්නක් ටිකක් බරපතල ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. 

මේ වෙලාව ඉතිරි කර ගත හැකි සතයක් වුනත් ඉතිරි කර ගත යුතු වෙලාවක්. නමුත්, එහෙමයි කියලා කළ යුතු දේවල් නොකර ඉන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මැතිවරණ නොවුණත්, ලංකාවේ සන්දර්භයේදී මැතිවරණ නැහැ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයකුත් නැහැ කියන එක වගේ දෙයක්. ඒ නිසා, නිසි කලට මැතිවරණ පැවැත්වීම ප්‍රමුඛතාවයක්. නමුත්, නියමිත කාලයට පෙර මැතිවරණ පැවැත්වීම එවැනි ප්‍රමුඛතාවයක් කියා මම හිතන්නේ නැහැ. එය මුළුමනින්ම දේශපාලනික තීරණයක්.

මැතිවරණයක් තියන්න කොපමණ මුදලක් වැය වෙනවද? 

පහළින් තියෙන්නේ පසුගිය වසර වල ජාතික මැතිවරණ කොමිසම වෙනුවෙන් වෙන් කළ අරමුදල් ප්‍රමාණ.

2018 - රුපියල් මිලියන 4,105

2019 - රුපියල් මිලියන 4,108

2020 - රුපියල් මිලියන 7,866

2021 - රුපියල් මිලියන 1,017

2022 - රුපියල් මිලියන 928

මැතිවරණයක් නොපැවැත්වෙන වසරකදී වුනත්, ජාතික මැතිවරණ කොමිසම වෙනුවෙන් රුපියල් බිලියනයකට කිට්ටු මුදලක් වෙන් කරන්න වෙනවා. මැතිවරණ පැවැත්වෙන අවුරුදු වලදී වැඩි මුදලක් වෙන් කරන්න වෙනවා. 

පසුගිය 2018 පළාත් පාලන මැතිවරණ සඳහා රුපියල් බිලියන 3.5ක් පමණ වැය වී ඇති බව පේනවා. නමුත්, දැන් මේ වියදමින් පළාත් පාලන මැතිවරණ තියන්න බැරි බව පැහැදිලියි. 

රට පුරා පැවැත්වෙන ඕනෑම මැතිවරණයක මූලික වියදම් බොහෝ දුරට සමාන විය යුතුයි. ජනාධිපතිවරණයක ඡන්ද ගණන් කිරීමට ගතවන කාලය සාපේක්ෂව අඩු නිසා වියදමේ යම් අඩුවක් තිබිය යුතු වුවත්, පළාත් පාලන මැතිවරණයක වියදම් හා මහ මැතිවරණයක වියදම් අතර ලොකු වෙනසක් තියෙන්න හේතුවක් නැහැ. 

අවසන් වරට පැවැත්වුණු 2020 පාර්ලිමේන්තු මැතිවරණයට රුපියල් 5,700,655,000ක මුදලක්, ඒ කියන්නේ රුපියල් බිලියන 5.7ක්, වැය වී තිබෙනවා. මේ වන විට, මැතිවරණ රාජකාරි වල යෙදෙන නිලධාරීන්ට ගෙවන දීමනා ආදිය සැලකිය යුතු ලෙස වැඩි වී ඇතැයි මම හිතන්නේ නැහැ. නමුත්, ඉන්ධන හා අනෙකුත් ප්‍රවාහන වියදම් ඉහළ ගිහින් තිබෙනවා. ආහාර ඇතුළු සැපයුම් වියදම්, විදුලි ගාස්තු ආදියද ඉහළ ගොස් තිබෙනවා. මේ සියල්ල සැලකිල්ලට ගත් පසුවද රුපියල් බිලියන 10කින් මැතිවරණයක් පවත්වන්න බැරි වෙන්න හේතුවක් නැහැ.

පසුගිය අයවැයෙන් ජාතික මැතිවරණ කොමිසමේ සාමාන්‍ය වියදම් වලට අමතරව මැතිවරණ පැවැත්වීමේ වියදම් ලෙස රුපියල් බිලියන 10ක් වෙන් කර තිබෙනවා. දැනටම වෙන් කර තිබෙන මෙම මුදල් වියදම් කළා කියලා රාජ්‍ය සේවක වැටුප් හෝ විශ්‍රාම වැටුප් කපන්න වෙන්නේ නැහැ. නමුත්, රජය රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා ආදිය ගෙවා ගත නොහැකිව අර්බුදයක ඉන්න බවත් පේනවා. මම හිතන විදිහට ඒක වෙනම හේතුවක්. 

රජය හැමදාමත් කළේ ආදායම් ඇස්තමේන්තු වැඩියෙන් හදලා ඒ ඇස්තමේන්තු තරමට ආදායම් එකතු නොවෙද්දී සල්ලි අච්චු ගහන එක. දැන් සල්ලි අච්චු ගහන එක නවත්වලා නිසා, ඇස්තමේන්තු තරමට බදු ආදායම් එකතු වුනේ නැත්නම් වියදම් පවත්වා ගැනීම ප්‍රශ්නයක් වෙනවා. එහෙම ප්‍රශ්නයක් තිබෙනවා වෙන්න පුළුවන්. එහෙම නැතත්, දැනට වෙන් කරලා තිබෙන රුපියල් බිලියන 10 ඉවර වුනාට පස්සේ වසර තුළ දෙවන මැතිවරණයක් තියන්න සිදු වුනොත් සල්ලි ප්‍රශ්නයක් එනවා.

වෙන් කරලා තිබෙන රුපියල් බිලියන 10ක මුදලින් මොකක් හෝ එක මැතිවරණයක් තියන්න පුළුවන්. පළාත් පාලන මැතිවරණයක් හෝ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න මේ සල්ලි ප්‍රමාණවත්. නමුත්, කලින් පළාත් පාලන මැතිවරණයක් තිබ්බොත් ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න ප්‍රතිපාදන ඉතිරි වෙන්නේ නැහැ.

ලංකාවේ මැතිවරණයක් කියා කියන්නේ මැතිවරණයට සහභාගී වන නිලධාරීන්ට ගාණක් හම්බ කර ගන්න ලැබෙන අවස්ථාවක්. ලක්ෂ ගණන් වලින් නොවුණත්, කීයක් හරි කියා කියන්න පුළුවන්. මැතිවරණයකට නිලධාරීන් විශාල පිරිසක් සම්බන්ධ වන නිසා පොඩි පොඩි ගණන් වුනත් එකතු කළහම රජයේ පැත්තෙන් ලොකු වියදමක්. මේ වියදම් සීමා කළ හැකිනම්, මැතිවරණ වියදම් අඩු කළ හැකියි. වියදම් අඩු කළ හැකි ආකාර ගැන හොයා බලන එක මැතිවරණ කොමිසමේ වගකීමක්. 

මම මෙහෙම කියන්නේ ඡන්දපොළ සහායකයෙකුගේ සිට සහකාර තේරීම් භාර නිලධාරියෙකු දක්වා මගේම පෞද්ගලික අත්දැකීම් එක්ක. මගේ අත්දැකීම් පරණ නිසා දැන් මේ දේවල් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඉහළ රාජ්‍ය නිලධාරීන් විශ්‍රාම ගනිද්දී කීයක් හරි නාමික මුදලකට තක්සේරුවක් හදලා තමන් පාවිච්චි කළ වාහනය ගෙදර අරන් යනවා වගේ පොත් වල නැති පිළිගත් සම්මත මැතිවරණ ආශ්‍රිතවද තිබෙනවා. උදාහරණයක් විදිහට ඡන්ද රාජකාරි අවසන් කර ගෙදර යද්දී ඒ සඳහා යොදාගත් පෞද්ගලික වාහන වලට ෆුල් ටෑන්ක් ඉන්ධන පුරවලා දෙන එක වගේ දේවල්. ඇත්තක්ද බොරුවක්ද කියලා මම හරියටම දන්නේ නැතත්, මැතිවරණ වියදම් විගණනයට ලක් වෙන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. නීතියක් නොවන හදාගත් සම්මතයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා, මැතිවරණ වලට සම්බන්ධ වෙන රාජ්‍ය සේවකයෝ බයක් සැකක් නැතුව විවිධ ක්‍රම වලින් සල්ලි හොයනවා. 

ආර්ථික අර්බුදය නිසා මැතිවරණ වලට වියදම් කළ නොහැකිනම් එයට විසඳුම මැතිවරණ නොපවත්වා ඉන්න එක නෙමෙයි. පුළුවන් තරම් අඩු වියදමකින් මැතිවරණ පවත්වන එක. මැතිවරණ කොමිසම විසින් මස් රාත්තලම ඉල්ලලා භාණ්ඩාගාරය මත පීඩනයක් එල්ල කරන එක සුදුසු නැහැ. වියදම් කපන එක හැම තැනකදීම සිදු විය යුතුයි. මැතිවරණ වලදී කියලා විශේෂයක් නැහැ. 

ඇමරිකාවේ මැතිවරණ රාජකාරි සඳහා ඕනෑම කෙනෙකුට සහභාගී විය හැකියි. රජයේ සේවකයින් විය යුතු නැහැ. ඡන්ද හිමිකම් නැතත්, වයස අවුරුදු 16 ඉක්මවූ පාසැල් සිසුන්ට පවා මැතිවරණ රාජකාරි සඳහා අයැදුම් කළ හැකියි. මැතිවරණ කටයුතු පිළිබඳ පුහුණුව සඳහාත්, මැතිවරණ රාජකාරි වෙනුවෙන් වැය කරන කාලය සඳහාත්, ගත වන පැය ගණන අනුව ඔවුන්ට මුදලක් ලැබෙන නමුත් මෙම මුදල විශාල මුදලක් නෙමෙයි. අවම වැටුපට වඩා ටිකක් වැඩි මුදලක්. මුදල් ලබා නොගෙන ස්වේච්ඡාවෙන් මැතිවරණ රාජකාරි සඳහා ඉදිරිපත් වන අයට මුලින්ම ඒ බව සඳහන් කළ හැකි අතර බොහෝ දෙනෙකු විසින් එසේ කරනවා. 

ප්‍රාන්ත මට්ටමෙන් නීති තිබුණත්, ඇමරිකාවේ ෆෙඩරල් නීතිය අනුව මැතිවරණ දින සේවකයින්ට නිවාඩු දීම අනිවාර්ය නැහැ. ඒ නිසා, තමන්ගේ වැටුප් අහිමි කරගෙන මැතිවරණ රාජකාරි සඳහා එන අයෙකුට එම පාඩුවට ගැලපෙන මුදලක් ලැබෙනවා. එහෙත්, බොහෝ සමාගම් විසින් මැතිවරණ රාජකාරි සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වීම දිරිමත් කරමින් එම කාලය සඳහා තමන්ගේ සේවකයින්ට වැටුප් ගෙවනවා. මෙහිදී වක්‍ර ලෙස සිදුවන්නේ මැතිවරණ වියදම් අදාළ සමාගම් විසින් දැරීමක්.  මැතිවරණ රාජකාරි සඳහා හැම විටම මෙන් බඳවා ගැනීම් කරන්නේ එක් එක් ඡන්ද මධ්‍යස්ථානය ආසන්නව ජීවත් වන අය නිසා ප්‍රවාහන වියදම් ලෙස ලොකු මුදලක් ගෙවන්න අවශ්‍ය වන්නේ නැහැ.

ලංකාවේ මැතිවරණ රාජකාරි කිරීමේ අවස්ථාව ලැබෙන්නේ රජයේ සේවකයින්ට පමණයි. මේ සඳහා ඔවුන්ට රාජකාරි නිවාඩු ලැබෙන අතර මැතිවරණ රාජකාරි වෙනුවෙන් අමතර ගෙවීම් හිමි වෙනවා. මම හිතන්නේ අඩු වශයෙන් මේ වගේ අර්බුද අවස්ථාවක මේ දේවල් ගැන නැවත සිතා බැලිය යුතුයි. ඒ වගේම, යමෙකුගේ නිවසෙන් සහ සේවා ස්ථානයෙන් දුර බැහැර තැනක මැතිවරණ රාජකාරි සඳහා යද්දී ප්‍රවාහන වියදම් ලෙස ලොකු මුදලක් ගෙවන්න වෙනවා.

මැතිවරණ රාජකාරි සඳහා ස්වේච්ඡා සේවකයින්ට අවස්ථාව ලබා දුන්නොත් ඒ සඳහා ගම් වල තරුණ තරුණියන් ඕනෑ තරම් ඉදිරිපත් වෙයි. පළමුව, යම් පිරිසක් මේ අයුරින් සහායකයින් ලෙස බඳවාගතහොත් මැතිවරණ කිහිපයකින් පසුව වඩා වැඩි වගකීමක් භාර දිය හැකි මැතිවරණ රාජකාරි පිළිබඳ පළපුරුද්දක් ඇති ස්වේච්ඡා ශ්‍රමික සංචිතයක් හැදෙනවා. ඇමරිකාවේ මෙවැනි පිරිසක් සිටිනවා. ලංකාවේ දැනටත් කරන්නේ සෑම මැතිවරණයකදීම අලුත් පිරිසක් බඳවා ගෙන මැතිවරණ රාජකාරි පිළිබඳ පුහුණුවක් ඇති නිලධාරී සංචිතයක් නඩත්තු කිරීම වුවත්, මෙහිදී අවස්ථාව ලැබෙන්නේ රාජ්‍ය සේවකයින්ට පමණයි. එමෙන්ම, ඔවුන්ට ඔවුන්ගේ වැටුප් තල මත පදනම් වූ අමතර ගෙවීම් කෙරෙනවා. 

මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් පමණක්ම බඳවාගත යුතු බව ඇතැම් විට නීතිමය අවශ්‍යතාවයක් නොවෙන්නත් පුළුවන්. ඒ ගැන මම සොයා බලා නැහැ. එය එසේ වුවත්, මේ වගේ අර්බුද අවස්ථාවක මැතිවරණ රාජකාරි සඳහා සහභාගී වන රාජ්‍ය සේවකයින්ට ස්ව කැමැත්තෙන් ඒ සඳහා කිසිදු අමතර ගෙවීමක් ලබා නොගෙන සිටීමට බාධාවක් නැහැ. මැතිවරණ කොමිසමට අවශ්‍යනම් එසේ ස්වේච්ඡාවෙන් මැතිවරණ රාජකාරි කිරීමට කැමැති නිලධාරීන්ට ඉදිරිපත් වන සේ ඉල්ලීමක් කළ හැකියි. 

මැතිවරණයක වියදම් කියන්නේ රජයේ වියදම් පමණක් නෙමෙයි. අපේක්ෂකයින් විසින් හා ඔවුන්ගේ ආධාරකරුවන් විසින්ද විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරනවා. ඉන්ධන, කඩදාසි පරිභෝජනය ඉහළ යනවා. මේ වෙලාවේ මේවාත් ප්‍රශ්න තමයි. නමුත්, විසඳුම් නැති ප්‍රශ්න නෙමෙයි.

Thursday, January 12, 2023

ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ඒක්ෂණ මුදල් වෙළඳපොළ

 



ප්‍රතිපත්ති පොලී අනුපාතික යන්නෙන් අදහස් වෙන්නේ කුමක්ද? මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම හා නිත්‍ය තැන්පතු පහසුකම ලෙස හැඳින්වෙන්නේ කුමක්ද? බැංකු වල ද්‍රවශීලතාවය කියන්නේ කුමක්ද? වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් හෝ ද්‍රවශීලතා අතිරික්තයක් ඇති වන්නේ කොහොමද? ඒක්ෂණ මුදල් වෙළඳපොළ කියන්නේ කුමක්ද? එහි පොලී අනුපාතික තීරණය වන්නේ කොහොමද? එම පොලී අනුපාතික සහ ප්‍රතිපත්ති පොලී අනුපාතික අතර සම්බන්ධය කුමක්ද? ප්‍රතිපත්ති පොලී අනුපාතික මගින් මුදල් සැපයුම පාලනය වෙන්නේ කොහොමද?

Wednesday, January 11, 2023

පොලී අනුපාතික අඩුවෙන්න පටන් අරගෙනද?


අද (ජනවාරි 11) පැවැත්වුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළ බිල්පත් සියල්ලම පහසුවෙන් විකිණී ඇති අතර, පොලී අනුපාතික වල, විශාල නැතත්, පැහැදිලිව පෙනෙන අඩු වීමක් දැකිය හැකියි.

දින-91 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 50

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 145.1

විකිණූ පොලී අනුපාතිකය = 31.15%

පෙර සතියේ පොලී අනුපාතිකය = 32.01%


දින-182 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 20

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 45.5

විකිණූ පොලී අනුපාතිකය = 31.37%

පෙර සතියේ පොලී අනුපාතිකය = 32.02%


දින-364 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 18

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 35.7

විකිණූ පොලී අනුපාතිකය = 29.04%

පෙර සතියේ පොලී අනුපාතිකය = 29.16%

මගේ අදහස මහ බැංකුව විසින් ගත් ප්‍රතිපත්ති තීරණයක් මේ අයුරින් පොලී අනුපාතික අඩු වීමට හේතු වී ඇති බවයි. එම ප්‍රතිපත්ති තීරණය වූයේ විවට වෙළඳපොළ ගණුදෙනු සඳහා සීමා පැනවීමයි. 

විවට වෙළඳපොළ ගණුදෙනු කියන්නේ මොනවාද?

දවස තුළ කරන ගණුදෙනු නිසා බැංකු වලට සල්ලි එනවා. ඒ වගේම බැංකු වලින් සල්ලි එළියට යනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට දවස අවසානයේ බැංකුවක මුදල් අතිරික්තයක් ඇති වෙන්න පුළුවන්. එසේ නැත්නම් මුදල් හිඟයක් ඇති වෙන්න පුළුවන්. මුදල් හිඟයක් ඇති වුවහොත්, කොහෙන් හෝ මුදල් හොයාගෙන එම හිඟය පියවා ගන්න සිදු වෙනවා.

ද්‍රවශීලතා හිඟයක් ලෙස හඳුන්වෙන්නේ ඉහත තත්ත්වයයි. සාමාන්‍යයෙන් යම් දිනක එක් බැංකුවකට ද්‍රවශීලතා හිඟයක් ඇති වෙද්දී තවත් බැංකුවක ද්‍රවශීලතා අතිරික්තයක් ඇති වෙනවා. ඒ, බැංකු වලින් එළියට යන සල්ලි නැවත එම බැංකුව වෙතම පැමිණ නැත්නම්, බොහෝ විට වෙනත් බැංකුවකට ගොස් ඇති නිසයි. එසේ නොවන්නේ රටේ විශාල පිරිසක් සල්ලි මුදල් නෝට්ටු ලෙසම තබා ගතහොත් පමණයි. 

දවස අවසානයේ ද්‍රවශීලතා හිඟයකට මුහුණ දෙන බැංකු විසින් කරන්නේ ද්‍රවශීලතා අතිරික්තයක් ඇති බැංකුවකින් දවසේ පොලියට දවසකට සල්ලි ණයට ගන්න එකයි. මෙයින් ද්‍රවශීලතා අතිරික්තයක් ඇති බැංකුවට නිකම් තිබෙන තමන්ගේ සල්ලි වෙනුවෙන් පොලී ආදායමක් ලැබෙනවා. මෙම ගණුදෙනු සිදු වන වෙළඳපොළ ඒක්ෂණ මුදල් වෙළඳපොළ ලෙස හැඳින්වෙනවා.

කෙසේ වෙතත්, ඒක්ෂණ මුදල් වෙළඳපොළ ගනුදෙනු අවසන් වීමෙන් පසුවද ඇතැම් බැංකු වලට අවශ්‍ය අරමුදල් හොයා ගන්න බැරි වෙන්න පුළුවන්. සමස්තයක් ලෙස බැංකු පද්ධතියෙන් එළියට ගිය සල්ලි වලින් යම් කොටසක් නැවත ආපසු ඇවිත් නැත්නම් එසේ වෙනවා. මෙය වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් ලෙස හැඳින්වෙනවා. මෙහිම අනෙක් පැත්ත සිදු වුවහොත්, වෙළඳපොළ ද්‍රවශීලතා අතිරික්තයක් ඇති වෙනවා.

වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් ඇති විට, ඒ හේතුව නිසා ඒක්ෂණ මුදල් වෙළඳපොළෙන් අරමුදල් සපයා ගැනීමට නොහැකි වන බැංකුවකට සල්ලි ණයට ගන්න වෙන්නේ මහ බැංකුවෙන්. එහිදී ඇපයක් ලෙස භාණ්ඩාගාර බිල්පතක් තියන්න සිදු වෙනවා. මෙය මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම ලෙස හැඳින්වෙනවා. මේ අයුරින්ම, ඒක්ෂණ මුදල් වෙළඳපොළ තුළ වෙනත් බැංකුවකට ලබා දීමට ඉඩ නොලැබෙන අරමුදල් ඇත්නම් එවැනි මුදලක් මහ බැංකුවේ තැන්පත් කර පොලී ආදායමක් ලැබිය හැකියි. මෙය හැඳින්වෙන්නේ නිත්‍ය තැන්පතු පහසුකම ලෙසයි. 

මහ බැංකුවෙන් නිත්‍ය ණය පහසුකමක් ලබා ගැනීමේදී ගෙවිය යුතු පොලී අනුපාතිකය සහ නිත්‍ය තැන්පතු පහසුකම ප්‍රයෝජනයට ගැනීමේදී ලැබෙන පොලී අනුපාතිකය මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ලෙස හැඳින්වෙනවා. මහ බැංකුව විසින් මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික වරින් වර සංශෝධනය කරනවා. මහ බැංකුවක් විසින් රටේ මුදල් සැපයුම පාලනය කිරීමේදී යොදා ගන්නා ප්‍රධානම ප්‍රතිපත්ති මෙවලම මෙම පොලී අනුපාතිකයි. මේ වන විට නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතිකය 15.5%ක් වන අතර නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය 14.5%ක් වෙනවා. 

වාණිජ බැංකුවකට තමන්ගේ අතිරික්ත අරමුදල් සඳහා අවම වශයෙන් නිත්‍ය තැන්පතු පහසුකම් පොලී අනුපාතිකය ලබා ගත හැකි වීම සහ උපරිම වශයෙන් නිත්‍ය ණය පහසුකම් පොලී අනුපාතිකය ගෙවා හිඟ අරමුදල් සපයා ගැනීමට හැකි වීම නිසා, සාමාන්‍යයෙන් ඒක්ෂණ මුදල් වෙළඳපොළ පොලී අනුපාතික තීරණය වන්නේ මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙක අතරයි. 

දැන් කාලයක සිටම සමස්තයක් ලෙස වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් දැකිය හැකියි. උදාහරණයක් ලෙස වත්මන් අධිපතිවරයා ධුරයේ වැඩ භාර ගත් 2022 අප්‍රේල් 7 දිනදී රුපියල් බිලියන 604.8ක නිත්‍ය ණය පහසුකම් ලබා ගෙන තිබුණු අතර රුපියල් බිලියන 109.0ක නිත්‍ය තැන්පතු පහසුකම් ලබාගෙන තිබුණා. මේ අනුව, රුපියල් බිලියන 500කට ආසන්න වෙළඳපොළ ද්‍රවශීලතා හිඟයක් ඒ වන විට තිබුණා. ප්‍රතිපත්ති පොලී අනුපාතික ඉහළ දැමීමෙන් පසුව එය ක්‍රමයෙන් අඩු වුනත්, නැති වුනේ නැහැ. රුපියල් බිලියන 200ක පමණ ද්‍රවශීලතා හිඟයක් පසුගිය සතිය වන විටද දැකගත හැකිව තිබුණා.

මේ වන විට මහ බැංකුව විසින් නිත්‍ය ණය පහසුකම් හා නිත්‍ය තැන්පතු පහසුකම් ලබා ගත හැකි වාර ගණන හා ප්‍රමාණය සීමා කර තිබෙනවා. මෙය සැලකිය හැක්කේ මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමක් ලෙසයි. මෙහිදී කලින් දිගින් දිගටම දිනපතා මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම ප්‍රයෝජනයට ගත් බැංකු වලට අරමුදල් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වෙනවා. 

එයට පිළියමක් ලෙස මහ බැංකුව විසින් එම බැංකු වලට තරමක් දිගුකාලයකට ණය ලබා දී තිබෙනවා. මෙහිදී දිගුකාලයකට කියා කිවුවේ දෛනිකව ණය දීමට සාපේක්ෂවයි. එම කාලය මාසයක් දෙකක් වැනි කාලයක් මිසක් ගොඩක් දිගු කාලයක් නෙමෙයි. නිත්‍ය ණය පහසුකම් ලබා ගැනීමේදී මෙන් නොව, මෙම ණය සඳහා වෙළඳපොළ පොලී අනුපාතික ගෙවිය යුතුයි. 

මේ ක්‍රියාමාර්ගය නිසා අද වන විට වෙළඳපොළ ද්‍රවශීලතා හිඟය රුපියල් බිලියන 9ක සුළු හිඟයක් බවට පත් වී තිබෙනවා. ඊට සමාන්තරව පොලී අනුපාතික මත වූ පීඩනයද තරමක් අඩු වී තිබෙනවා. එහෙත්, මෙය මහ බැංකුව විසින් කර තිබෙන යම් ආකාරයක පරීක්ෂණාත්මක කටයුත්තක් ලෙස හැඳින්විය හැකියි. එයින් පොලී අනුපාතික මත සිදු විය හැකි බලපෑම ගැන නිශ්චිතව කියන්නට තවමත් කල් වැඩියි.

Tuesday, January 10, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (තුන්වන කොටස)


බටහිර රටක සුපිරි වෙළඳසැලක විකිණෙන බිත්තර කියා කියන්නේ නිකම්ම ආහාරයක් පමණක් නෙමෙයි. බිත්තර එක්ක තවත් දේවල් ගණනාවක් පැකේජ් වෙලා තිබෙනවා. මිල තීරණය වන්නේ ඒ දේවල් වල වටිනාකමත් එකතු වෙලා. නමුත්, ලංකාව හෝ ඉන්දියාව වැනි රටක බිත්තර කියා කියන්නේ බොහෝ දුරට බිත්තරම තමයි. කවුරු හෝ බිත්තර මිල දී ගැනීමේදී ගෙවන්නේ බිත්තර වල මිල. මේ වෙනස ගැන ලිපි මාලාවේ පළමු කොටසින් පැහැදිලි කළා. 

බිත්තර නිෂ්පාදකයෙකුට උපරිම වශයෙන් අය කළ හැක්කේ පාරිභෝගිකයින්ට සාපේක්ෂ බිත්තරයක වටිනාකම. නමුත්, නිෂ්පාදකයින් අතර තරඟය නිසා බොහෝ විට ඒ මිල අය කරන්න වෙන්නේ නැහැ. අය කරන්න වෙන්නේ ඊට වඩා අඩු මිලක්. මේ විදිහට අය කළ හැකි මිල සහ නිෂ්පාදන පිරිවැය අතර වෙනස තමයි නිෂ්පාදකයාගේ ලාබය. 

තරඟකාරී වෙළඳපොලක මිල කෙරෙහි එක් නිෂ්පාදකයෙක්ට බලපෑමක් කරන්න බැහැ. ඒ නිසාම, මිල වැඩි කරලා ලාබ වැඩි කර ගන්නත් බැහැ. ලාබ වැඩි කරගන්න පුළුවන් එකම ක්‍රමය පිරිවැය අඩු කර ගන්න එක. ඒ නිසා, හැම විටම ලාබ සොයන නිෂ්පාදකයෙක් පිරිවැය අඩු කර ගත හැකි ක්‍රම ගැන හිතනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස අවසාන වශයෙන් බිත්තර නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව ඉහළ යනවා. මෑත ඉතිහාසය තුළ දිගින් දිගටම සිදු වී තිබෙන්නේත්, සිදු වෙමින් තියෙන්නෙත් ඕක.

මිනිස්සු බිත්තර ආහාරයට ගැනීමෙන් සතුටු වුනේ අද ඊයේ නෙමෙයි. මේක අවුරුදු දස දහස් ගණනක ඉතිහාසයක් තිබෙන දෙයක්. සමහර විට මිනිස්සු මිනිස්සු වෙන්නත් කලින්ම බිත්තර ආහාරයට ගත්තා වෙන්න පුළුවන්. ඒ කාලයේ සිට මෑතක් වන තුරුම බිත්තරයක වටිනාකම කියා කියන්නේ එහි ආහාරමය වටිනාකම. එම වටිනාකම විශාල ලෙස වෙනස් වෙලා නැහැ. නමුත්, බිත්තරයක නිෂ්පාදන පිරිවැය ඊට සාපේක්ෂව විශාල ලෙස වෙනස් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන තාක්ෂණයේ සිදු වූ යුග පෙරළි එක්ක.

මුල්ම කාලයේදී බිත්තර කියා කියන්නේ ස්වභාවයේ පැවතුණු දෙයක්. බිත්තර නිෂ්පාදනය කියා කියන්නේ බිත්තර තියෙන තැන් හොයා ගෙන බිත්තර එකතු කර ගැනීම. නිෂ්පාදන පිරිවැය කියන්නේ මේ වැඩේට අවශ්‍ය ශ්‍රමය. ඊට අමතරව ප්‍රාග්ධනයක් කියා දෙයක් අවශ්‍ය වුනේ නැහැ. 

සමහර විට බිත්තර දෙක තුනක් හොයා ගන්න හැතැම්ම බාගයක් විතර ඇවිදින්න වෙනවා. ඊට වඩා බිත්තර හොයා ගන්නනම් තව ඈතට යන්න වෙනවා. නිෂ්පාදනය වැඩි කරද්දී නිෂ්පාදනය ඉහළ යන අනුපාතයට වඩා වැඩි අනුපාතයකින් පිරිවැය ඉහළ යනවා. ඒ කියන්නේ ආන්තික පිරිවැය එන්න එන්නම වැඩි වෙනවා.

අනෙක් පැත්තෙන් එකතු වෙන බිත්තර ප්‍රමාණය ඉහළ යද්දී අමතර බිත්තරයකින් ලැබෙන සතුට එන්න එන්නම අඩු වෙනවා. ඒ කියන්නේ බිත්තරයක ආන්තික වටිනාකම අඩු වෙනවා. ඔය විදිහට ආන්තික වටිනාකම අඩු වෙලා ආන්තික පිරිවැය ආන්තික වටිනාකම ඉක්මවන මට්ටමට ආවට පස්සේ බිත්තර එකතු කරන්න යන පුද්ගලයා ආපහු හැරිලා තමන්ගේ නවාතැනට එනවා. ඕක තමයි සමතුලිතතාවය.

මේ වගේ තත්ත්වයකදී නිෂ්පාදකයා හා පාරිභෝගිකයා කියන්නේ දෙන්නෙක් නෙමෙයි. එක්කෙනෙක්. නිෂ්පාදනයක් හා පරිභෝජනයක් තිබුණත් වෙළඳපොළක් කියා දෙයක් නැහැ. නමුත්, ඒ වගේ තත්ත්වයකදී පවා වෙළඳපොළ මූලධර්ම වල ඡායාවක් දකින්න පුළුවන්.

වෙන නිෂ්පාදනයක් ගත්තත් ඔය වගේ. අඹ ගෙඩියක් පරිභෝජනය කරන්න අවශ්‍ය කෙනාට අඹ ගහක් තියෙන තැනක් හොයා ගෙන යන්න වෙනවා.  පොල් ගෙඩියක් පරිභෝජනය කරන්න අවශ්‍ය කෙනාට පොල් ගහක් තියෙන තැනක් හොයා ගෙන යන්න වෙනවා. ඒ වැඩේට අවශ්‍ය ආන්තික ශ්‍රමය අමතර අඹ ගෙඩියක හෝ අමතර පොල් ගෙඩියක ආන්තික වටිනාකමට වඩා අඩු වුන ගමන් අතේ තිබෙන අඹ හෝ පොල් ටික අරගෙන ආපහු හැරිලා එනවා. 

ගෘහස්ථ කෘෂිකර්මය ආරම්භ වෙන්නේ ඔය ආන්තික පිරිවැය අඩු කර ගත හැකි ක්‍රම ගැන මිනිස්සු හිතන්න පටන් ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට. අඹ ගහක් පොල් ගහක් ගේ කිට්ටුව හිටවා ගත්තට පස්සේ කලින් අඹ ගස් පොල් ගස් හොයා ගෙන ඇවිදින්න වැය වුනු ශ්‍රමය ඉතුරු වෙනවා. බිත්තර දමන කිකිළියෙක් අල්ලාගෙන ඇවිත් කොටු කර ගත්තට පස්සේ බිත්තර හොයාගෙන ඇවිදින්න වැය වුනු ශ්‍රමය ඉතුරු වෙනවා. මේ විදිහට ආන්තික පිරිවැය විශාල ලෙස අඩු වුනත්, ආන්තික වටිනාකම් ලොකුවට වෙනස් නොවන නිසා පරිභෝජනය විශාල ලෙස ඉහළ යනවා. නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ යනවා. 

මීට අමතරව මේ අදියර වන විට බිත්තර වල ගුණාත්මක භාවයේත් ලොකු වෙනසක් වෙනවා. මුල් යුගයේදී කැලේ මැද හමුවෙන බිත්තරයක් දැම්මේ මොන සතාද කියන එක හරියටම දන්නේ නැහැ. දැන් ඒ වගේ නෙමෙයි. බිත්තරේ කිකිළිගේ කියන එක පැහැදිලියි. ඒ නිසා බයක් සැකක් නැතුව කන්න පුළුවන්. මේ වෙනස නිසා බිත්තරයක වටිනාකම ඉහළ යනවා. පොදු වශයෙන් බිත්තර වල ආන්තික වටිනාකමත් ඉහළ යනවා. ඒ හේතුව නිසාත් පරිභෝජනය ඉහළ යනවා. 

මේ දෙවන අදියර වෙද්දී ප්‍රාග්ධනය කියා දෙයක් හැදිලා. අඹ ගහට පොල් ගහට අයිතිකාරයෙක් ඉන්නවා. කිකිළියෙක්ට අයිතිකාරයෙක් ඉන්නවා. පොල් අයිති පොල් ගහේ අයිතිකාරයාට. බිත්තර අයිති කිකිළිගේ අයිතිකාරයට. හැබැයි ඒ එක්කම තමන්ගේ පෞද්ගලික දේපොළ, පෞද්ගලික ප්‍රාග්ධනය ආරක්ෂා කර ගැනීමේ අමතර ප්‍රශ්නයක් එනවා. ඒ වෙනුවෙන්ද ශ්‍රමය යොදවන්න වෙනවා.

වත්තේ ඉන්න කිකිළියන් නරින්ගේ, උගුඩුවන්ගේ ගොදුරක් වෙන්න පුළුවන්. එහෙම වුනොත් කාලයක් තිස්සේ එක්රැස් කරගත් ප්‍රාග්ධනය එක රැයින් අහිමි වෙන්න පුළුවන්. කිකිළියෝ ටික ආරක්ෂා කරගන්න කුකුළු කූඩුවක් හදන්න වෙනවා. ඊට පස්සේ කිකිළියන් වගේම කුකුළු කූඩුවත් ප්‍රාග්ධනයක් බවට පත් වෙනවා. 

නරින්ගෙන්, උගුඩුවන්ගෙන් බේරා ගත්තා කියලා ප්‍රාග්ධනය විනාශ වෙන එක මුළුමනින්ම නවත්වන්න බැහැ. ප්‍රාග්ධනය කොහොමටත් ක්ෂය වෙනවා. ලෙඩ වෙලා, වයස්ගත වෙලා කිකිළියෝ මැරෙනවා. එහෙම වෙද්දී නිෂ්පාදන මට්ටම තියා ගන්නනම් දිගින් දිගටම ආයෝජන කරන්න වෙනවා. බිත්තරයක් අද කෑමට නොගෙන රක්කවලා කුකුළු පැටවු හදාගන්න එක ආයෝජනයක්. හැබැයි ඒ විදිහට බිත්තරයක් රක්කවද්දී කන්න තිබෙන බිත්තරයක් අඩු වෙනවා. බිත්තරය කාලා ලබන්න තිබුණු සතුට අහිමි වෙනවා. 

ආයෝජන ගැන නොහිතා පරිභෝජනය ගැන පමණක් හිතුවොත් ප්‍රාග්ධනය ක්ෂය වී යන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. ඊට පස්සේ වෙන්නේ පරිභෝජන මට්ටම පහත වැටිලා සතුට විශාල ලෙස අහිමි වීම. ආයෝජනයේදී වෙන්නේ අනාගත සතුට වෙනුවෙන් වර්තමාන සතුට කැප කිරීමක්. කොයි තරමටද කියන එක පෞද්ගලික තේරීමක්. 

බිත්තරයක් රක්කවද්දී බිත්තරය කෑමේ සතුට අහිමි වෙනවා. නමුත් කුකුළු පැටියා ලොකු වෙලා බිත්තර දමන්න පටන් ගත්තට පස්සේ ඒ නැති වුනු සතුට පොලියත් එක්ක ආපසු ලැබෙනවා. පොල් ගෙඩියක් හිටවද්දී පොල් ගෙඩිය කෑමේ සතුට අහිමි වෙනවා. නමුත් පොල් ගහ ලොකු වෙලා ගෙඩි හැදෙන්න පටන් ගත්තට පස්සේ  ඒ නැති වුනු සතුට පොලියත් එක්ක ආපසු ලැබෙනවා. ආයෝජන වල ප්‍රතිඵල ලබා ගන්න කාලයක් බලා ඉන්න වෙනවා. ඒකට ඉවසීම අවශ්‍යයි. අවදානමක් ගන්නත් වෙනවා. අවදානමට බයේ ආයෝජන කරන්න බැහැ. 

එහෙමයි කියලා නොකා නොබී ආයෝජන කරන එකෙත් තේරුමක් නැහැනේ. මෝඩ අවදානම් ගන්න එකෙත් තේරුමක් නැහැ. ආයෝජන හා පරිභෝජනය අතර ප්‍රසස්ථ සමතුලනය පෞද්ගලික තේරීමක්. කොහොම වුනත් අද පරිභෝජනය සීමා කරලා හැකි තරම් ආයෝජන කරන තරමට වැඩි වැඩියෙන් ප්‍රාග්ධනය එක්රැස් වෙලා අනාගත පරිභෝජන විභවය ඉහළ යනවා. 

අන්තවාදී පරිසරවාදය ගැනත් යමක් කිව යුතුයි. මිනිස්සු ජීවත් වෙනවා කියන්නේම ස්වභාවික පරිසරය වෙනස් කරනවා කියන එක. පවතින තත්ත්වය වෙනස් කරනවා කියන එක. අනාගතය වෙනස් කරනවා කියන එක. පවතින තත්ත්වය ඒ විදිහටම තිබිය යුතුයි කියා හිතන එක විකාර අදහසක්. පරිසරය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙන දෙයක්. 

මිනිස්සු වගේම සත්තුත් තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පරිසරය වෙනස් කරනවා. එහිදී වැදගත් වෙන්නේ තමන්ගේ පැවැත්ම. අනෙක් දේවල් වැදගත් වෙන්නේ මේ වෙනස් කිරීම් සීමාව පැනලා අවසාන වශයෙන් තමන්ගේම අනාගත පැවැත්මට තර්ජනයක් වෙන මට්ටමකට ආවට පස්සේ. කැලේ තිබෙන බිත්තරයක් එකතු කරගෙන ආවහම ඒ බිත්තරෙන් පැටියෙක් හැදෙන එක නවතිනවා. පරිසරය වෙනස් වෙනවා. පොල් ගෙඩියක් පලාගෙන කෑවහම වෙන්නෙත් ඒකයි. පරිසරය වෙනස් නොකර කාටවත් ජීවත් වෙන්න බැහැ.

ගෘහස්ථ කෘෂිකර්මය හා ගෘහස්ථ සත්ත්ව පාලනය පටන් ගත්තට පස්සේ මිනිස්සු පරිසරය වෙනස් කිරීමෙන් එහාට ගිහින් ස්වභාවික පරිණාමයේ නීතිත් වෙනස් කරන්න පටන් ගන්නවා. මේ වැඩේ අද ඊයේ පටන් ගත්ත දෙයක් නෙමෙයි. අඩු වශයෙන් අවුරුදු හත් අට දාහකට කලින් පටන් ගත්ත දෙයක්. 

අලුතෙන් පොල් හිටවද්දී හිටවන්නේ හොඳට ගෙඩි හැදෙන පොල් ගහක ගෙඩියක්. රක්කවන්න ගන්නේ හොඳට බිත්තර දමන කිකිළියෙකුගේ බිත්තර. මරාගෙන කන්නේ අඩුවෙන්ම බිත්තර දමන කිකිළිව. මේ තේරීම නිසා පරම්පරාවෙන් පරම්පරාවට පොල් පලදාව ඉහළ යනවා. බිත්තර පලදාව ඉහළ යනවා. 

මේක කැලේ බිත්තර දමපු කාලයේදී සිදු වුනු ස්වභාවික වරණයට වඩා වෙනස්. ඒ කාලයේදීත් ස්වභාවික වරණය සිදු වුනා. නමුත් ස්වභාවික වරණයේදී ඉතිරි වුනේ විලෝපිකයින්ගෙන් බේරී, තමන්ගේ කෑම හොයාගෙන ජීවත් වෙන්න පුළුවන් සත්තු. ගෘහස්ථ වාතාවරණයේදී මේ දේවල් ඒ තරම් වැදගත් නැහැ. විලෝපිකයින්ගෙන් බේරා ගන්න එක කරන්න අයිතිකාරයෙක් ඉන්නවා. පස්සේ පස්සේ කෑම දෙන එක, ලෙඩ රෝග වලක්වන එක වගේ දේවල් කරන්නෙත් අයිතිකාරයා. ඒ නිසා, ස්වභාවික වරණයේදී වුනත් වැදගත්ම සාධකය වෙන්නේ පලදාව. මේක ගෘහස්ථ සත්ත්ව පාලනයට වගේම ගෘහස්ථ කෘෂිකර්මයටත් අදාළයි. 

පලදාව වැඩි වෙනවා කියන්නේ ඒකක පිරිවැය අඩු වෙනවා කියන එක. නමුත් මේ විදිහට පලදාව වැඩි කර ගැනීම සඳහා ගන්න ක්‍රියාමාර්ග එක්ක ප්‍රාග්ධන යෙදවුම් අවශ්‍යතාවත් එන්න එන්නම වැඩි වෙනවා. ස්ථිර පිරිවැය ඉහළ යනවා.  ස්ථිර පිරිවැය ඉහළ යද්දී ඒකක පිරිවැය අඩු වෙන්නනම් පරිමාව අනුරූපව ඉහළ යා යුතුයි.

ප්‍රාථමික මට්ටමේ ගෘහස්ථ කෘෂිකර්මයේදී පාරිභෝගිකයා හා නිෂ්පාදකයා එක්කෙනෙක්. වෙළඳපොළක් නැහැ. ඒ නිසාම නිෂ්පාදකයින් අතර තරඟයකුත් නැහැ. ගෘහස්ථ කෘෂිකර්මයේ ද්වීතියික අවදියේදී, ඒ කියන්නේ බිත්තර නිෂ්පාදනයේ තුන්වන යුගයේදී, මේ තත්ත්වය වෙනස් වෙනවා. මේක වෙන්නේ වැඩි වැඩියෙන් මිනිස්සු කෘෂිකර්මයෙන් ඈත් වීමට සමාන්තරව.

මිනිස්සු කෘෂිකර්මයෙන් ඈත් වෙන්නේ තමන්ගේ ශ්‍රමය වඩා ඵලදායී ලෙස යෙදවිය හැකි තැන් වලට. එහිදී කෘෂිකාර්මික නොවන නිෂ්පාදන වැඩි වැඩියෙන් බිහි වෙන්න පටන් ගන්නවා. මේවා හැදෙන්නේම වෙළඳපොළ ඉලක්ක කරගෙන. පාරිභෝගිකයින් අතර ලොකුම කණ්ඩායම තව දුරටත් කෘෂිකර්මයේ රැඳී ඉන්න අය. ඒ අයට මේ අලුත් නිෂ්පාදන පරිභෝජනය කරන්න ඉඩ ලැබෙන්නේ තමන්ගේ කෘෂිකාර්මික නිෂ්පාදන සමඟ හුවමාරු කර ගැනීම මගින්. මේ එක්ක බිත්තර වගේ දේවල් වලට කලින් නොතිබුණු හුවමාරු වටිනාකමක් ලැබෙනවා.

බිත්තර නිෂ්පාදනයේ පළමු හා දෙවන යුග වලදී නිෂ්පාදකයින්ට බිත්තර නිෂ්පාදනය කරන්න අවශ්‍ය වුනේ තමන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණය දක්වා පමණයි. ඒ වැඩේට කිකිළියෝ හතර පස් දෙනෙක් හිටියහම ඇති. වැඩිපුර බිත්තර තිබුණා කියලා කරන්න දෙයක් නැහැ. ඒවායේ ආන්තික වටිනාකමක් නැති තරම්. 

දැන් තත්ත්වය වෙනස්. බිත්තර වලට හුවමාරු වටිනාකමක් තිබෙනවා. වැඩියෙන් බිත්තර නිපදවිය හැකි තරමට වෙන වෙන දේවල් වැඩියෙන් පරිභෝජනය කරන්න පුළුවන්. අනෙක් පැත්තෙන් කෘෂිකර්මයෙන් ඈත් වෙන අයට තව දුරටත් බිත්තර අවශ්‍යයි. ඒ බිත්තර අවශ්‍යතාවය සපුරන්න වෙන්නෙත් කෘෂිකර්මය තුළ තව දුරටත් රැඳී ඉන්න අයට. 

මේ තත්ත්වය තුළ ගෘහස්ථ කුකුළු කූඩු හැදෙනවා. මේවා පෙර අදියරේදී තිබුණු විදිහේ කුකුළු කූඩු නෙමෙයි. ඒ අදියරේදී කුකුළු කූඩුවකින් බොහෝ විට කෙරුණේ දවල් දවසේ වත්තේ ඇහිඳගෙන කන කිකිළියන්ට (හා කුකුළන්ට) රාත්‍රී කාලයේ ආරක්ෂාව සපයන එක පමණයි. දැන් එහෙම නෙමෙයි. කූඩුව කියන්නේ තනිකරම කිකිළියන්ගේ ජීවිතය.

කිකිළියෝ හතර පස් දෙනෙකුට වත්තේ ඇහිඳගෙන කන්න පුළුවන් වුනත් කිකිළියෝ සීයකට විතර ඒ විදිහට වත්තේ ඇහිඳගෙන කන්න බැහැ. උන්ට කෑම දමන්න වෙනවා. මේ වැඩෙන් බිත්තර නිෂ්පාදනයේ ආන්තික පිරිවැය ඉහළ යනවා. නමුත්, බිත්තර වල ආන්තික වටිනාකම වැඩි වෙලා නිසා ඒක ප්‍රශ්නයක් නෙමෙයි. බිත්තර වල ආන්තික වටිනාකම වැඩි වෙලා තියෙන්නේ බිත්තර වල සිදු වී තිබෙන ගුණාත්මක භාවයේ වෙනසක් හෝ වෙනත් භෞතික වෙනසක් නිසා නෙමෙයි. කෘෂිකර්මයෙන් ඈත් වූ අයගේ ශ්‍රමයේ වටිනාකම ඉහළ ගිහින්, ඔවුන්ගේ මිල දී ගැනීමේ හැකියාව ඉහළ ගොස් ඇති නිසා. ඒ අයට තව දුරටත් වත්තේ කිකිළියෝ හදන්න අවශ්‍ය නැහැ. බිත්තර වෙනුවෙන් වියදම් කළ හැකි සල්ලි තිබෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් බිත්තර වලට සාපේක්ෂව සල්ලි වල වටිනාකම අඩු වෙලා. බිත්තර ගනිද්දී ගෙවන්න වෙන සල්ලි නිසා අහිමි වන සතුට අඩු වෙලා. 

බිත්තර නිෂ්පාදනයේ පළමු යුගයේ සිට දෙවන යුගයට එද්දී, ඒ කියන්නේ කැලෙන් බිත්තර එකතු කර ගැනීමේ සිට වත්තෙන් බිත්තර එකතු කර ගැනීම දක්වා එද්දී, බිත්තර වල ගුණාත්මක භාවය පොඩ්ඩක් වැඩි වෙලා පිරිවැය විශාල ලෙස අඩු වෙනවා. වෙනස වෙන්නේ සැපයුම පැත්තෙන්. නමුත්, තෙවන යුගයට එද්දී වෙන්නේ ගුණාත්මක භාවයේ ලොකු වෙනසක් සිදු නොවී, පිරිවැය ඉහළ යන එක. එහෙම වෙද්දීත් මේ යුග පරිවර්තනය වෙන්නේ තනිකරම වාගේ ඉල්ලුම වෙනස් වීම මත පදනම්වයි. පිරිවැය ඉහළ යාමට විචල්‍ය පිරිවැය ඉහළ යාම මෙන්ම ස්ථිර පිරිවැය ඉහළ යාමද බලපානවා. 

බිත්තර නිෂ්පාදනය හා අදාළව ලංකාව තවමත් බොහෝ දුරට ඉන්නේ මේ තෙවන යුගයේ. බොහෝ කුකුළු ගොවිපොළවල් තවදුරටත් ගෘහස්ථයි. කිකිළියෝ ගණන වැඩි වෙලා. එහෙත්, බොහෝ විට එම ප්‍රමාණය දහසකට අඩුයි. පසුගිය (2022) වසරේදී ලංකාවේ සිටි බිත්තර නිෂ්පාදකයින් 29,240 දෙනෙකු අතරින් කිකිළියන් දහසකට වඩා වැඩි ප්‍රමාණයක් අයිතිව තිබුණේ නිෂ්පාදකයින් 1,179 දෙනෙකුට පමණයි. ගොවිපොළක සිටින කිකිළියන් ප්‍රමාණයේ සාමාන්‍ය අගය 232ක් පමණයි. ඒ කියන්නේ එයින් එක් කිකිළියකගේ සිදුවන වෙනසක් වුනත් පෞද්ගලිකව නිරීක්ෂණය වන, පවුලේ අයගේ ශ්‍රමයෙන් පහසුවෙන් ගොවිපොළ නඩත්තු කළ හැකි මට්ටමක්. 

මේ ආකෘතිය තුළ බිත්තර නිෂ්පාදකයෙකු විසින් කරන්නේ සුළු අගය එකතු කිරීමක් පමණයි. කුකුළු පැටවුන් මිල දී ගැනීම සහ දිගින් දිගටම කෑම දීම විචල්‍ය පිරිවැයක්. බිත්තර ලබා ගැනීම සඳහා අවශ්‍ය පෝෂණය සහිත කුකුළු කෑම ලබා දිය යුතුයි. බිත්තර පලදාව අඩු වෙද්දී කිකිළියන් මසට විකිණිය හැකියි. කෙසේ වුවත්, පරිමාව විශාල නොවන නිසා විශාල ලාබයක් ලැබිය නොහැකියි. ලාබයක් සේ පෙනෙන දෙය බොහෝ විට ආර්ථික ලාබයක් නෙමෙයි. මේ වෙනුවෙන් යොදවන පවුලේ අයගේ ශ්‍රමය වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභයයි. එම ශ්‍රමය වෙනුවෙන් වැඩි වටිනාකමක් ලබා ගත හැකි විකල්ප අවස්ථා අඩු නිසා මේ ආකෘතිය වැඩ කරනවා. 

ලෝකයේ බිත්තර කර්මාන්තය මේ අදියර පසු කර සිවුවන අදියර දක්වා ගොස් දැන් බොහෝ කලක්. ඇමරිකාව වැනි රටක බිත්තර නිෂ්පාදනය කෘෂිකාර්මික නිෂ්පාදනයකට වඩා බොහෝ දුරට කිට්ටු මහා පරිමාණ ස්වයංක්‍රීය කාර්මික නිෂ්පාදනයකටයි. ලංකාවේ කුකුළු ගොවිපොළ 29,240ක සිටින මුළු කිකිළියන් ප්‍රමාණය මිලියන 6.78ක් පමණයි. ඇමරිකාවේ එක් නිෂ්පාදකයෙකු සතුව පමණක් කිකිළියන් මිලියන 46.78ක් සිටිනවා. නිෂ්පාදකයින් 8 දෙනෙක් සතුව කිකිළියන් මිලියන 10කට වඩා වැඩියෙන් සිටින අතර, නිෂ්පාදකයින් 55 දෙනෙකු සතුව කිකිළියන් මිලියනය ඉක්මවා සිටිනවා. කිකිළියන් ලක්ෂ පහකට වඩා සිටින නිෂ්පාදකයින් ප්‍රමාණය 67ක්. 

මෙවැනි මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයින් සිටින්නේ ඇමරිකාවේ පමණක් නෙමෙයි. මෙක්සිකෝවේ, බ්‍රසීලයේ, යුක්‍රේනයේ, ජපානයේ මෙන්ම සිරියාවේ හා තායිලන්තයේ පවා බිත්තර දමන කිකිළියන් මිලියන 10කට වඩා සිටින නිෂ්පාදකයින් සිටිනවා. මේ මට්ටමෙන් බිත්තර නිෂ්පාදනය සිදු වෙද්දී, ශ්‍රමය ඒ තරම් වැදගත් නැහැ. වඩා වැදගත් වන්නේ ප්‍රාග්ධනයයි. කුඩා පරිමාණ බිත්තර නිෂ්පාදකයෙකුට ඉහත ආකාරයේ මහා පරිමාණ බිත්තර නිෂ්පාදකයෙකු හා තරඟ කිරීම අසීරුයි. මේ තත්ත්වය හමුවේ ඉන්දියාව පසුගිය කාලය පුරා ඉහත මා විස්තර කළ තෙවන අදියරේ සිට සිවුවන අදියර දක්වා වේගයෙන් පරිවර්තනය වෙමින් සිටිනවා. 

මතු සම්බන්ධයි. 

Monday, January 9, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (දෙවන කොටස)


මෙම ලිපි මාලාවේ පළමු කොටසින් අපි බිත්තර ඉල්ලුම ගැන කතා කළා. බිත්තර ඉල්ලුමට හේතුව පාරිභෝගිකයින් විසින් බිත්තර වලට ලබා දෙන වටිනාකම. වෙළඳපොළ ක්‍රියාකාරිත්වය තේරුම් ගැනීම සඳහා පාරිභෝගිකයින් විසින් බිත්තර වලට වටිනාකමක් ලබා දෙන්නේ කොහොමද කියන එක හෝ ඇයි කියන එක තේරුම් ගන්න අවශ්‍ය නැහැ. එක් එක් පාරිභෝගිකයාට සාපේක්ෂව වාස්තවික නොවන, සාපේක්ෂ වටිනාකමක් තිබෙන බව තේරුම් ගත්තහම ඇති. එකම පාරිභෝගිකයෙක් ගත්තත්, තැන, වෙලාව, දැනට අතේ තිබෙන බිත්තර ප්‍රමාණය වගේ විවිධ සාධක මත මේ වටිනාකම වෙනස් වෙනවා. 

පාරිභෝගිකයෙක්ට බිත්තරයක් යම් මුදලක් වටිනවානම් නිෂ්පාදකයෙකුට ඒ මුදලට හෝ අඩු මුදලකට බිත්තරයක් විකුණන්න පුළුවන්. නමුත්, ඊට වඩා වැඩි මිලකට විකුණන්න බැහැ. නොවටිනා ගාණක් දීලා බිත්තරයක් ගන්න පරිභෝගිකයෙක්ට තියෙන අමාරුව මොකක්ද?

බිත්තරයක් රුපියල් 65ක් කියා කියමු. ගණන් වැඩියි කියලා බැණ බැණ හරි කවුරු හෝ කෙනෙක් ඒ මිල ගෙවලා බිත්තර මිල දී ගන්නවානම් එහෙම කරන්නේ බිත්තරයක් අඩුම වශයෙන් රුපියල් 65ක් වටින නිසා. බිත්තරයක් රුපියල් 65ක් නොවටිනා බව සිතන කෙනෙක් ගණන් ඇහුවට පස්සේ බිත්තරය නොගෙන හැරිලා යනවා. 

හැබැයි කාට හරි බිත්තරයක් රුපියල් 65ක් වටිනවා කියන එකෙන් ඒ පුද්ගලයා බිත්තරයක් මිල දී ගනිද්දී අනිවාර්යයයෙන්ම රුපියල් 65ක් ගෙවනවා කියන එක අදහස් වෙන්නේ නැහැ. ඕනෑම කෙනෙක් බලන්නේ පුළුවන්කමක් තියෙනවානම් රුපියලක් හරි අඩුවෙන් ගන්න. රුපියල් 65 ගෙවන්නේ අඩුවෙන් ගන්න කිසිම ක්‍රමයක් නැත්නම් පමණයි. ඒ නිසා, බිත්තරයක මිල සහ බිත්තරයක වටිනාකම අතර සෘජු සම්බන්ධයක් නැහැ. බිත්තරයක මිල තීරණය වෙන හැටි දැන ගන්නනම් අපිට සැපයුම පැත්තත් කතා කරන්න වෙනවා. 

බිත්තර සපයන එක ඒකාධිකාරයක්නම්, නිෂ්පාදකයාට එක් එක් පාරිභෝගිකයාගෙන් එම පාරිභෝගිකයා ගෙවන්න සූදානම් උපරිම මිලම, ඒ කියන්නේ බිත්තරයේ එම පාරිභෝගිකයාට සාපේක්ෂ වටිනාකමම, අය කර ගන්න පුළුවන්. නමුත්, ඒකාධිකාරයක් නැත්නම් ඔය වැඩේ කරන්න බැහැ. තරඟකරුවෙක් ඇවිත් අඩුවට බිත්තර විකුණලා පාරිභෝගිකයාව කඩා ගන්නවා. 

වෙළඳපොළ තරඟයක් තියෙන කොට පාරිභෝගිකයෙකුට තමන්ගේ සාපේක්ෂ වටිනාකමට වඩා අඩුවෙන් බිත්තර මිල දී ගන්න අවස්ථාවක් ලැබෙනවා. එය වාසියක්. ගෙවන මිල සහ බිත්තරයේ වටිනාකම අතර වෙනස. බිත්තරය නිසා ලැබුණු  සතුටෙන් අතින් ගිය සල්ලි නිසා අහිමි වුනු සතුට අඩු කළාට පස්සේ ඉතිරි වන අතිරික්ත සතුට. ඕකට තමයි ආර්ථික විද්‍යාවේදී පාරිභෝගික අතිරික්තය කියා කියන්නේ.

වෙළඳපොළ තරඟය වැඩි වුන තරමට බිත්තරයක් අඩු මිලකට ගන්න ලැබෙනවා. පාරිභෝගික අතිරික්තය වැඩි වෙනවා. තරඟය අඩුනම් අතිරික්තයත් අඩුයි. 

අපි හිතමු ප්‍රමාණවත් තරඟයක් තිබෙනවා කියා කියලා. කොයි තරම් අඩු මිලකට බිත්තරයක් මිල දී ගන්න පුලුවන්ද? 

බිත්තරයක් මිල දී ගන්න පුළුවන් අවම මිල එහි නිෂ්පාදන පිරිවැය. තරඟය වැඩි වෙද්දී නිෂ්පාදකයෝ රුපියලෙන් රුපියල බිත්තර මිල අඩු කරනවා. නමුත්, මිල නිෂ්පාදන පිරිවැය මට්ටමට පහත වැටුනට පස්සේ තවත් අඩු කරන්න බැහැ. ඊට පස්සේ කරන්න වෙන්නේ නිෂ්පාදනය නවත්තන එක. අතින් කාලා හරක් බලන්නේ කවුද? 

ඔය හේතුව නිසා, බිත්තරයක මිල නිර්ණය වෙන්නේ නිෂ්පාදන පිරිවැය මත. හැබැයි එහෙම වෙන්නේ ප්‍රමාණවත් තරඟයක් තිබෙනවානම් පමණයි. එහෙම ප්‍රමාණවත් තරඟයක් තිබෙන වෙළඳපොළක් තරඟකාරී වෙළඳපොළක් ලෙස හැඳින්වෙනවා. තරඟකාරී වෙළඳපොළක නිෂ්පාදකයින්ට තමන්ගේ මහන්සිය, ගන්න අවදානම ආදිය සඳහා ප්‍රතිලාභයක් මිසක් ලාබයක් කියලා අමතර මුදලක් ලැබෙන්නේ නැහැ. 

හැබැයි කිසියම් රටක, කිසියම් භාණ්ඩයකට අනිවාර්යයෙන්ම තරඟකාරී වෙළඳපොළක් හැදෙන්නේ නැහැ. ඒක තීරණය වෙන්නේ නිෂ්පාදන තාක්ෂනය, වෙළඳපොළ පරිමාව වගේ කරුණු මත. තරඟකාරී වෙළඳපොළක් හැදෙන්නනම් නිෂ්පාදන තාක්ෂනය සරල වෙන්න ඕනෑ. අවශ්‍ය මූලික ප්‍රාග්ධනය අඩු වෙන්න ඕනෑ. නියාමනයක් නැති හෝ අවම වෙන්න ඕනෑ. තව ඔය වගේ කාරණා තියෙනවා. 

මේ කාරණා වැදගත් ඇයි කියන එක පැහැදිලියිනේ.  නිෂ්පාදන තාක්ෂනය සරලනම්, වැඩේ පටන් ගන්න අවශ්‍ය ප්‍රාග්ධනය පොඩි ගාණක්නම්, කර්මාන්තයට ඇතුළු වෙන්න රජයෙන් අවසර ගන්න අවශ්‍ය නැත්නම්, එක්කෙනෙක් ලාබ ගන්නවා පෙනුණු වහාම තව අය වැඩේට බහිනවා. කාලයක් චීන අවන්හල්. තව කාලයක් කමියුනිකේෂන්. මතක ඇතිනේ. 

නමුත්, තාක්ෂනය සංකීර්ණනම් එක්කෙනෙක් ලාබ ලබන බව පැහැදිලිව පෙනුනත්, වෙන කෙනෙක්ට වැඩේ අල්ලගෙන පටන් ගන්න අමාරුයි. සල්ලි ගොඩක් යට කරන්න අවශ්‍යනම් ඒත් එහෙමයි. රජයෙන් අවසර ගන්න අවශ්‍යනම් කොහොමටවත්ම වැඩේ පටන් ගන්න බැහැනේ. හරියට බාර් පර්මිට් වගේ. 

මේ වගේ තත්ත්වයන් තිබෙන විට ඒකාධිකාර හැදෙනවා. හැබැයි වෙළඳපොළ පරිමාව විශාල වෙද්දී, මේ වගේ තත්ත්වයන් යටතේ වුනත් කවුරු හරි වැඩේට අත ගහනවා. මොකද තාක්ෂනය අල්ල ගන්න පුළුවන් කෙනෙක් කොහේ හරි ඉන්නවා. සල්ලි තියෙන කෙනෙක් කොහේ හරි ඉන්නවා. මේ හේතුව නිසා, ඇමරිකාව, ඉන්දියාව වගේ ලොකු රටවල් වලට සාපේක්ෂව ලංකාව වගේ පොඩි රටක ඒකාධිකාර හැදෙන්න තිබෙන ඉඩකඩ වැඩියි.

තරඟකාරී වෙළඳපොළක වාසිය තනිකරම වගේ පාරිභෝගිකයාටයි. නිෂ්පාදකයාට ලැබෙන්නේ පිරිවැය පමණයි. හැබැයි එහෙමයි කියලා නිෂ්පාදකයෝ ලාභ අපේක්ෂාව අත අරින්නේ නැහැ. මොන විදිහෙන් හෝ පිරිවැය අඩු කරගෙන ලාබ ලබන්න උත්සාහ කරනවා. තරඟකරුවන්ට වඩා අඩු පිරිවැයකින් නිෂ්පාදනය කරන්න පුළුවන්නම් තරඟකාරී වෙළඳපොළක වුනත් ලාබ ගන්න පුළුවන්. හැබැයි ටික කාලයකට පමණයි. අනෙක් අය වැඩේ අල්ලගත්ත ගමන් මිල අඩු වෙනවා. ඊට පස්සේ නැවත හිටපු තැනමයි. හැබැයි මේ ක්‍රියාවලිය නිරන්තරයෙන් සිදු වෙන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය එන්න එන්නම වැඩි වෙනවා.

ඒකාධිකාරයක තියෙන ප්‍රශ්නය පාරිභෝගික අතිරික්තය අඩු වෙන එක විතරක් නෙමෙයි. පෙර විස්තර කළ ක්‍රියාවලිය සිදු නොවන නිසා කාර්යක්ෂමතාවය ඉහළ යවන යාන්ත්‍රනයකුත් නවතිනවා. 

ඒකාධිකාරය රාජ්‍ය ඒකාධිකාරයක් වුනහම පාරිභෝගික අතිරික්තය අඩු නොවෙන්න පුළුවන්. මොකද රාජ්‍ය ආයතන ලාබ ගන්න අවශ්‍යම නැහැනේ. ඔය සමහර වෙලාවට පිරිවැයටත් අඩුවෙන් විකුණන්නේ. නමුත්, දෙවනු කී ප්‍රශ්නයනම් එළෙසම තිබෙනවා. ඒ නිසාම, පාරිභෝගිකයාට නිෂ්පාදන පිරිවැයටත් අඩුවෙන් බඩුව ලැබුණත්, තරඟකාරී වෙළඳපොලක ලැබෙන තරම් අඩු මිලක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම රාජ්‍ය ඒකාධිකාරයක් පාඩු ලබද්දී පැත්තක ඉන්න අයට ඒ පාඩුව වෙනුවෙන් සල්ලි ගෙවන්න වීමේ අමතර ප්‍රශ්නයකුත් හැදෙනවා.

බිත්තර නිපදවන එක රොකට් සයන්ස් එකක් නෙමෙයිනේ. කිකිළියෙක් දෙන්නෙක් ගෙනත් දැම්මා. එච්චරයි. ඊට පස්සේ තියෙන්නේ කෙකර ගාණ වෙලාව බලලා බිත්තර ටික එකතු කර ගන්න. මහ ලොකු සල්ලියක් අවශ්‍යත් නැහැ. ඒ නිසාම, අවුලක් නැතුව තරඟකාරී වෙළඳපොළක් හැදෙන්න ඕනෑ. තරඟකාරී වෙළඳපොළක් හැදෙනවා කියන්නේ කාලයත් එක්ක ටිකෙන් ටික නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඉහළ යන එක. ලංකාවේ එහෙම වෙලාද? වෙලා නැත්නම් ඒ ඇයි? තරඟකාරී ලෙස බිත්තරයක්වත් හදා ගන්න බැරිනම්, ඊට වඩා සංකීර්ණ දේවල් හදන්න පුලුවන්ද? එහෙම බැරි වෙලා තියෙන්නේ ඇයි? වැරැද්ද කොහේද? වැරැද්ද හදාගන්න බැරිද? මේ දේවල් අපි ඉදිරි ලිපියකින් කතා කරමු.

Saturday, January 7, 2023

බිත්තර කටුවෙන් එහා ලෝකය (පළමු කොටස)


මේ දවස් වල ඇමරිකාවේ බිත්තරයක මිල රුපියල් 108ක් විතර වෙනවා කියලා මම කිවුවනේ. ඇමරිකාවේ බිත්තරයක් ඔය වගේ ගාණකට විකිණෙද්දී ඉන්දියාවේ රුපියල් 26ක් වැනි මිලකට බිත්තර විකිණෙන බවත් කිවුවනේ. ඔය ගණන් දෙකම කියලා තියෙන්නේ ශ්‍රී ලංකා රුපියල් වලින්.

කොහොම හරි ප්‍රශ්නය මේකයි. දැන් ඇමරිකාව හා ඉන්දියාව අතර ඔය වගේ මිල වෙනසක් තියෙද්දී රටවල් දෙක අතර සිදු වන වෙළඳාම නිසා ඔය මිල ගණන් සමාන විය යුතු නැද්ද? 

සරල, පාඨ ග්‍රන්ථ උදාහරණයකනම් එහෙම වෙනවා. ඒ වගේ පාඨ ග්‍රන්ථ උදාහරණයක උපකල්පන හා ගැලපෙන තත්ත්වයන් යටතේ සැබෑ ලෝකයේදීත් ඔය වැඩේ වෙනවා. නමුත්, මේ නිශ්චිත අවස්ථාව වගේ ඇතැම් අවස්ථා වල පවතින සංකීර්ණ තත්ත්වයන් නිසා ඔය වැඩේ ඔය විදිහටම වෙන්නේ නැහැ.

අපි මේ බිත්තර උදාහරණයෙන් පටන් අරගෙන සැබෑ ලෝකයේ ආර්ථික ක්‍රියාකාරිත්වය ගැන ටිකක් කතා කරමු.

කවුරු හෝ කෙනෙක් බිත්තරයක් මිල දී ගන්නේ ඇයි? 

ඔය ප්‍රශ්නයට "ඔම්ලට් හදන්න", "බිත්තර ආප්ප හදන්න", එහෙමත් නැත්නම් "අකැමැති කෙනෙක්ගේ මූණට දමලා ගහන්න" වගේ විවිධ පිළිතුරු තියෙන්න පුළුවන්. නමුත්, ආර්ථික විද්‍යාවට ආවොත්, පොදු වශයෙන් කවුරු හරි බිත්තරයක් මිල දී ගන්නේ බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබෙන සතුට නිසා. සතුට ලැබෙන්නේ බිත්තරේ කඩලා ඔම්ලට් හදන එකෙන්ද නැත්නම් බිත්තරය රක්කවලා කුකුළු පැටියෙක් හදා ගන්න එකෙන්ද වගේ දේවල් ද්වීතියික කරුණු. 

බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් කෙනෙකුට ලැබෙන සතුට පුද්ගලබද්ධ කාරණයක්. ඒක බිත්තරයට සම්බන්ධ වාස්තවික කරුණක් නෙමෙයි. ඒ නිසාම, බිත්තරයක වටිනාකම පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. එකම පුද්ගලයෙකු හා අදාළව වුනත් අවස්ථාව අනුව වෙනස් වෙනවා. මම හිතන්නේ මේ දවස් වල ලංකාවේ ගොඩක් අයට බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබෙන සතුට අවුරුද්දකට දෙකකට කලින් බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබුණු සතුටට වඩා වැඩියි. 

බිත්තරයක් මිල දී ගන්න කෙනෙක් අවසාන වශයෙන් මිල දී ගන්නේ සතුටනම්, බිත්තර විකුණන අය විකුණන්නේ මොනවාද? බිත්තර විකුණන අය බිත්තර විදිහට විකුණන්නේත් සතුට. බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් ලැබෙන සතුට වැඩි වන තරමට බිත්තරය විකුණා වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්.

බිත්තරයක හිමිකාරයෙක් වෙද්දී සතුට වැඩි වෙනවා වගේම ඒ වෙනුවෙන් සල්ලි ගෙවද්දී සිදු වන අහිමි වීම නිසා සතුට අඩු වෙනවා. කවුරු හෝ බිත්තරයක් මිල දී ගන්නේ ඒ නිසා වැඩි වන සතුට ගෙවන්න වෙන සල්ලි නිසා අහිමි වන සතුටට වඩා වැඩිනම් පමණයි.

සමහරු කියනවා සල්ලි නෙමෙයි වටින්නේ මනුස්සකම කියලා. ඔහොම කියන ගොඩක් අයගේ මනුස්සකම් ගැන අපට හොඳ අත්දැකීම් තිබුණත්, මනුස්සකම හෝ වෙනත් ඔය වගේ දෙයක් තරම් සල්ලි වටින්නේ නැහැ කියා හිතන කෙනෙක්ව අපි අරගනිමු. ඇත්තටම ඔහොම හිතන කෙනෙකුට ටිකක් වැඩි ගාණකට බිත්තරයක් විකුණන්න පුළුවන්. මොකද එහෙම කෙනෙකුගේ සල්ලි වල සාපේක්ෂ වටිනාකම අඩුයිනේ. සල්ලි ගෙවද්දී අහිමි වන සතුට අඩු වන තරමට කෙනෙකුට බඩුවක් විකුණා වැඩි මුදලක් ලබා ගන්න පුළුවන්. 

සාමාන්‍යයෙන් කෙනෙක් අතේ තිබෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙන තරමට එයින් යම් නිශ්චිත ප්‍රමාණයක් අඩු වෙද්දී අහිමි වන සතුට අඩුයි. අර කියන්නේ මහා සාගරෙන් දිය දෝතක් ගත්තට දැනෙන්නේ නැහැ කියලා. 

ඇමරිකානුවෙකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000කට වඩා වැඩියි. නමුත්, ඉන්දියානුවෙකුගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2,500ක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා, ඇමරිකානුවෙකුට බිත්තර දුසිමක් මිල දී ගනිද්දී ඩොලර් තුන හතරක් ගෙවන්න වුනත් ඒක දැනෙන්නේ නැහැ. නමුත්, ඉන්දියානුවාට බිත්තර දුසිමට ඩොලර් එකක් ගෙවන්න වුනත් ඒක ඊට වඩා වැඩියෙන් දැනෙනවා. මේ හේතුව නිසා, ඇමරිකානුවෙකුට බිත්තරයක් වැඩි මිලකට විකුණන්න ලේසියි. මෙහි ප්‍රතිඵලයක් විදිහට, ඇමරිකාව හා ඉන්දියාව අතර බිත්තර මිලෙහි පහසුවෙන් සමාන නොවෙන වෙනසක් තියෙන්න පුළුවන්. 

හැබැයි අනෙක් පැත්තෙන් මෙහෙම දෙයකුත් තිබෙනවා. සාමාන්‍යයෙන් ඇමරිකානුවෙකුට කෑම බීම හිඟයක් නැහැ. කෑම බීම වෙනුවෙන් වියදම් වෙන්නේ මාසික පරිභෝජන වියදම් වලින් 14%ක් පමණයි. ඉන්දියාවේ ඔය ප්‍රතිශතය 46%ක් පමණ. ඒ වගේම ඇමරිකානුවෙක් අවුරුද්දකට බිත්තර 190ක් පමණ පරිභෝජනය කරද්දී, ඉන්දියානුවෙක් පරිභෝජනය කරන්නේ බිත්තර 50කටත් අඩුවෙන්. මේ හේතු නිසා, ඇමරිකානුවෙකුට සාපේක්ෂව ඉන්දියානුවෙකුට වැඩිපුර හිමි කරගත හැකි බිත්තරයක වටිනාකම වැඩියි. 

ඇමරිකානුවෙකුට බිත්තරයක් වෙනුවෙන් සල්ලි ගෙවද්දී අහිමි වන සතුට සාපේක්ෂව අඩු වුනත්, යම් බිත්තර ප්‍රමාණයක් හිමි කර ගැනීමෙන් පසුව තව තවත් බිත්තර හිමි වීමේ සතුටත් සාපේක්ෂව අඩුයි. ඉන්දියානුවෙකුට සල්ලි වල වගේම බිත්තර වලත් වටිනාකම වැඩියි. ඒ නිසාම, ඉන්දියාවේ වගේම ඇමරිකාවෙත් බිත්තර විකිණිය හැකි සීමාවක් තිබෙනවා. 

බිත්තර කියා කියන්නේ සමජාතීය භාණ්ඩයක්ද?

ගෙවල් පිටිපස්සේ කූඩු වල කිකිළියෝ බිත්තර දමපු කාලේනම් බිත්තර කියන්නේ බොහෝ දුරට සමජාතීය භාණ්ඩයක්. නමුත්, දැන් තත්ත්වය වෙනස්. මම කලින් කිවුවා වගේ බිත්තර වෙළෙන්දෙක් ඇත්තටම විකුණන්නේ සතුට. බිත්තර වලින් කරන්නේ සතුට නිෂ්පාදනය කරන එක. මේ හේතුව නිසාම බිත්තර විකිණෙන්නේ සතුට නිපදවන තවත් දේවල් එක්ක පැකේජ් කරලා. එහෙම විකුණන බිත්තර තව දුරටත් සමජාතීය භාණ්ඩයක් නෙමෙයි.

මේ වෙද්දී කීල්ස් සහ කාගීල්ස් සුපිරි වෙළඳසැල් වල හැපී හෙන් ලොකු බිත්තර 10ක් විකිණෙන්නේ රුපියල් 650කට. මේ විදිහට රුපියල් 650කට විකිණෙන්නේ බිත්තර දහයක් පමණක් නෙමෙයි. බිත්තර දහයේ ඇසුරුම සහ හැපී හෙන් සන්නාමයත් බිත්තර දහය එක්ක පැකේජ් වෙලා තිබෙනවා. බිත්තර වලින් වගේම ඔය පැකේජ් එකෙන් සහ සන්නාමයෙනුත් සතුට ජනනය කරවනවා. 

මම හිතන්නේ පොඩි සිල්ලර කඩේකින් බිත්තර දහයක් ගත්තත් මේ වෙලාවෙනම් ඔය ගාණට කිට්ටු ගාණක් යනවා. ඒ කියන්නේ ඇසුරුම සහ සන්නාමය විකිණෙන්නේ ඉතාම අඩු මිලකට. නමුත්, අවුරුද්දකට විතර කලින් ඔය මිල ගණන් සංසන්දනය කළානම් සැලකිය යුතු වෙනසක් පේනවා. ඒ කියන්නේ ඇසුරුම සහ සන්නාමය ඒ දවස් වල වඩා වැඩි මිලකට විකිණුනා කියන එක. අතේ සල්ලි අඩු වෙද්දී, සල්ලි වල වටිනාකම වැඩි වෙද්දී, මිනිස්සුන්ට බිත්තර වලට මිසක් සන්නාම වලට සල්ලි ගෙවන්න පුළුවන්කමක් නැහැ. එසේ කිරීමෙන් සතුට ජනනය වෙන්නේ නැහැ.

මේ කරුණ තහවුරු කෙරෙන තවත් නිරීක්ෂණයක් තිබෙනවා. කීල්ස් සුපිරි වෙළඳසැලේම අලෙවිවන නෙල් ෆාර්ම් ලොකු බිත්තර 10ක් විකිණෙන්නෙත් හරියටම රුපියල් 650කට. කාගීල්ස් එකෙත් ඒ ගණන. ඒ වගේම, ආරෝග්‍යා සහ මහවැලි සන්නාම යටතේ එන බිත්තර දහයක් විකිණෙන්නේත් හරියටම රුපියල් 650ට. මේකෙන් පෙනෙන්නේ බිත්තර මිසක් සන්නාමය විකිණෙන්නේ නැහැ කියන එකයි. 

මෙහි සල්ලි වල වටිනාකම වැඩි වෙද්දී කියන එකෙන් අදහස් කළේ සල්ලි වල පුද්ගල බද්ධ වටිනාකම වැඩිවීම ගැන මිසක් ක්‍රය ශක්තිය වැඩිවීම ගැන නෙමෙයි. ක්‍රය ශක්තියනම් අඩු වෙලානේ. තවත් තේරෙන්න කිවුවොත් අතේ සතේ නැති වුනාට පස්සේ රුපියල් සීයක් වුනත් කෝටියක් වගේ දැනෙන එක ගැන. 

ඇමරිකාව වගේ රටකදී බිත්තර එක්ක පැකේජ් කරන ඇසුරුමට, ලේබලයට හා සන්නාමයට වගේම තවත් දේවල් වලට සැලකිය යුතු මුදලක් අය කරන්න පුළුවන්. ඒ නිසාම, එකම දවසක වුනත්, වෙනස් ලෙස පැකේජ් කර තිබෙන එක වගේ බිත්තර දුසිමක මිල සැලකිය යුතු ලෙස විචලනය වෙනවා. 


මේ ටාර්ගට් සුපිරි වෙළඳසැලේ මිල ගණන්.

ගුඩ් ඇන්ඩ් ගැදර් ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 3.99යි.

ගුඩ් ඇන්ඩ් ගැදර් කේජ් ෆ්‍රී ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 4.89යි.

ගුඩ් ඇන්ඩ් ගැදර් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 5.39යි.

හැපී එග් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 6.29යි.

ඔය කොයි වර්ගයෙන් ගත්තත්, සුදු දුඹුරු වෙනසක් නැත්නම්, බිත්තර කලවම් වුනොත් වර්ගය හොයා ගන්න බැහැ. කඩලා ඔම්ලට් හැදුවොත් කිසිම වෙනසක් ඇත්තේත් නැහැ. ඒ කියන්නේ මේ විදිහට බිත්තර වල මිල වෙනස් වෙන්නේ පැකේජ් වෙලා තියෙන අනෙක් දේවල් නිසා. 

එළිමහනේ හදන කිකිළියන්ගේ බිත්තර දුසිමක් කූඩු වල හදන කිකිළියන් දමන බිත්තර දුසිමකට වඩා ඩොලර් ඩොලර් ශත 90ක් වැඩියි. ඕගනික්නම් තවත් ඩොලර් ශත පණහක් වැඩියි. 

බැලූ බැල්මට කිසිම වෙනසක් නැති කූඩු කිකිළියන්ගේ බිත්තර දුසිමක් අඩුවට ගන්න පුළුවන්කම තියෙද්දී කවුරු හරි කෙනෙක් එළිමහන් කිකිළියන්ගේ බිත්තර ගන්න ඩොලර් ශත අනූවක් වැඩියෙන් ගෙවන්නේ ඇයි? ඔය ගොඩේ ඉන්නේ සල්ලි වලට වඩා මනුස්සකම ලොකුයි කියලා හිතන මිනිස්සු. වැඩිපුර ශත අනූව ගෙවන්නේ මනුස්සකම ප්‍රදර්ශනය කරන්න. සමහර විට තමන්ටම. එහෙම කරන්නේ ඒ වැඩෙන් ලැබෙන සතුට ශත අනූව අහිමි වීම නිසා අඩුවන සතුටට වඩා වැඩි නිසා. විකුණන්නේ වගේම මිල දී ගන්නේත් බිත්තර නෙමෙයි සතුට කියලා තේරුම් ගත්තහම මේ හැසිරීමත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. 

ඕගනික් බිත්තර වලට තව ඩොලර් ශත පණහක් එකතු වෙන්නෙත් ඔය ක්‍රමයට. කේජ් ෆ්‍රී ඕගනික් බිත්තරම වුනත්, බ්‍රෑන්ඩ් එක හැපී එග්නම්, ගුඩ් ඇන්ඩ් ගැදර් බ්‍රෑන්ඩ් එකට වඩා තවත් ශත අනූවකින් මිල වැඩියි.  ඒ ශත අනූව අදාළ සන්නාමය විකිණෙන මිල. වටිනාකම කියන්නේ පුද්ගල බද්ධ දෙයක් නිසා මේ වගේ පාරිභෝගික හැසිරීම් ගැන ඕනෑවට වඩා වද වෙන එකේ තේරුමක් නැහැ. ඒවා තේරුම් ගන්න ඕනෑවට වඩා මහන්සි වෙන එකෙත් තේරුමක් නැහැ. එක් එක් පුද්ගලයා සතුටු වෙන්නේ තමන්ටම ආවේණික ක්‍රමයකට කියන එක මතක තියා ගත්තහම ඇති. 

උඩින් දැම්මේ ටාගට් මිල ගණන්නේ. මේ වෝල්මාර්ට් එකේ මිල ගණන්.

ග්‍රේට් වැලියු ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 3.92යි.

හැපී එග් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් - ඩොලර් 6.32යි.

වෝල්මාර්ට් එකේ ලොකු බිත්තර දුසිමක් ටාගට් එකේ ගණනට වඩා ශත තුනක් අඩුයි. නමුත්, හැපී එග් කේජ් ෆ්‍රී ඕගනික් ලොකු බිත්තර දුසිමක් ශත තුනක් මිල වැඩියි.

වෝල්මාර්ට් එකෙන් සාමාන්‍යයෙන් බඩු ගන්නේ මිල සංවේදී පාරිභෝගිකයෝ. ඒ අය බිත්තර වලට මිසක් පැකේජ් එකට, මනුස්සකමට හෝ සන්නාමයට ගෙවන්න තිබෙන ඉඩකඩ අඩුයි. ඒ නිසා, ඒ අයට පුළුවන් තරම් අඩු තරඟකාරී මිලකට බිත්තර විකිණිය යුතුයි. නමුත් ටාගට් එකට සාමාන්‍යයෙන් එන්නේ ඊට වඩා ටිකක් වියදම් කරන්න කැමති අය. එතැනදී ඉලක්කය වෙන්නේ අමතර එකතු කිරීම විකුණන එක. කූඩු කිකිළි බිත්තර සහ කේජ් ෆ්‍රී ඕගනික් බිත්තර අතර මිල පරතරය අඩු වුනු තරමට මිල වැඩි කේජ් ෆ්‍රී ඕගනික් බිත්තර තෝරා ගන්න තිබෙන ඉඩකඩ වැඩියි.

ඇමරිකාවේ බිත්තර වෙළඳපොළ ඔය වගේ එකක්. මිල සංවේදී පාරිභෝගිකයින්ට අඩු මිලකට බිත්තර මිල දී ගන්න පුළුවන්. කූඩු වල හිර වෙලා බිත්තර දමන කිකිළියන් ගැන අනුකම්පා කරන අයට වැඩියෙන් ගාණක් දීලා කේජ් ෆ්‍රී බිත්තර ගන්න පුළුවන්. ඕගනික් බිත්තර අවශ්‍ය අයට ඒවා ගන්න පුළුවන්. මොකක් හෝ හේතුවක් නිසා තමන්ට අවශ්‍ය සන්නාමයම හොයන අයට ඒ තේරීම්ද තිබෙනවා. ඒ නිසා, කඩලා ඔම්ලට් හැදුවහම කිසිම වෙනසක් නැතත් බිත්තර වල මිල තරමක් විශාල පරාසයක විචලනය වෙනවා. ඔය මිලෙන් බාගයක් විතරම අගය එකතු කිරීම්. 

ඉන්දියාවෙන් එක පාරටම ඇමරිකාවට බිත්තර ගෙනත් විකුණන්න බැරි ඇයි කියන එකට එක් හේතුවක් මෙයින් විස්තර වෙනවා. ඉන්දියාවේ අඩුවට විකිණෙන බිත්තර බොහෝ දුරට නිකම්ම බිත්තර. ඇමරිකාවේ වෙළඳපොළ තුළ තරඟ කරන්න පුළුවන් විදිහට අගය එකතු කිරීම් කළොත් ඉන්දියානු බිත්තර වලත් මිල ඉහළ යනවා. 

හැබැයි ඉන්දියානු බිත්තර වලට බලපාන මේ ප්‍රශ්නය හැම රටකටම ඒ විදිහටම බලපාන්නේ නැහැ. ගොඩක් බටහිර රටවල බිත්තර විකිණෙන්නේ ඇමරිකාවේ ක්‍රමයට. ඒ නිසා, කැනඩාව, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය වගේ රටකට පහසුවෙන්ම ඇමරිකාවට බිත්තර අපනයනය කරන්න පුළුවන්. චීනයේ වුනත් ඒ මට්ටමේ බිත්තර නිෂ්පාදකයෝ ඉන්නවා. නමුත් ඉන්දියාව, ලංකාව වගේ අඩු ආදායම් රටවල විකිණෙන බිත්තර කියා කියන්නේ බොහෝ විට ඇමරිකාව, ජපානය හෝ කොරියාව වැනි රටක බිත්තර වලට සෘජු ආදේශක නෙමෙයි. 

වෙළඳපොළ තරඟය කියන්නේ මිල තරඟයක් පමණක් නෙමෙයි. පාරිභෝගිකයා සතුටු කිරීම සඳහා වන තරඟයක්. මිල මත තරඟ කළ හැක්කේ එමගින් පාරිභෝගිකයා සතුටු කළ හැකි සීමාව දක්වා පමණයි. එතැනින් එහාට පාරිභෝගිකයා සතුටු කළ හැකි වෙනත් ක්‍රම ගැන හිතන්න වෙනවා.

මේ කොටසෙන් කතා කළේ බිත්තර ඉල්ලුම ගැන. සැපයුම පැත්ත ගැන දෙවන ලිපියකින් කතා කරමු. වෙනත් ඕනෑම පාරිභෝගික භාණ්ඩයක වගේම බිත්තර වලත් ඉල්ලුම හැදෙන්නේ මේ භාණ්ඩය හිමි කර ගැනීම නිසා වැඩි වන සතුට හේතුවෙන්. නමුත්, බිත්තරයක හිමිකාරයෙක් වීමෙන් සතුටු වන විදිහ පුද්ගල බද්ධ දෙයක් නිසා සංවර්ධික රටක බිත්තර ඉල්ලුමේ සහ අඩු ආදායම් මට්ටමක සිටින රටක පාරිභෝගිකයින්ගේ බිත්තර ඉල්ලුමේ පැහැදිලි වෙනසක් තිබෙනවා. 

ලංකාව, ඉන්දියාව වගේ රටක පාරිභෝගිකයින් විසින් ගෙවන්නේ බිත්තරය ආහාරයට ගැනීමෙන් ලැබෙන සතුටේ මිල පමණයි. නමුත්, බටහිර රටක පාරිභෝගිකයෙකු විසින් බිත්තර දමන කිකිළියගේ සතුට වෙනුවෙන්ද මිලක් ගෙවනවා. කිකිළියගේ සතුට කියා කිවුවත්, ඒකත් පාරිභෝගිකයා ළඟම මිස කිකිළිය ළඟ තිබෙන දෙයක් නෙමෙයි. ඊට අමතරව, බටහිර රටවල විකිණෙන පාරිභෝගික භාණ්ඩ එක්ක සමාජ සාධාරණත්වය, පරිසරය ගැන තියෙන කැක්කුම වගේ තව තව දේවල් විකිණෙනවා. ඒ දේවල් වෙනුවෙන් ගෙවන්න පුළුවන් තරමේ අතිරික්ත ධනයක් එම රටවල පාරිභෝගිකයින්ට තිබෙනවා. නමුත්, එදාවේල කන්න බිත්තරයක් ගන්න පාරිභෝගිකයෙක්ට පුළුවන් තරම් අඩුවට බිත්තරේ ගන්නවා මිසක් ඔය වගේ අමතර දේවල් වෙනුවෙන් සල්ලි ගෙවන්න පුළුවන්කමක් නැහැ. එසේ කිරීමෙන් අහිමි වන සතුට වැඩියි.

වෙබ් ලිපිනය: