වෙබ් ලිපිනය:

Showing posts with label රාජ්‍ය වියදම්. Show all posts
Showing posts with label රාජ්‍ය වියදම්. Show all posts

Friday, December 19, 2025

මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 206ක ණයක්!


"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම් ප්‍රමාණයකින් වැඩි වීමේ ඉඩක් තිබෙනවා. එය අපි අවබෝධකරගත යුතුයි. එසේ නම් අපි අපේක්ෂා කරන ලද ඩොලර් ආදායමට වඩා අතිරේක ආදායමක් අපි ඩොලර්වලින් උපයාගත යුතුයි. එසේ නොවුණහොත් විනිමය අනුපාතය පිළිබඳ බලපෑමක් ඇති වෙනවා. එය වැළැක්වීම සඳහා තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 200ක ක්ෂණික ආධාරයක් අපි අපේක්ෂා කරන්නේ.

අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මණ්ඩලය රැස් වෙනවා. අපි විශ්වාස කරනවා අපිට සාධාරණයක් ඉටු කර දෙයි කියලා. අපි ඒ සඳහා ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් සහාය අපේක්ෂා කර තිබෙනවා. ඒ නිසා 2026 සැලැස්මේ තිබු ඩොලර් ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 500ක්වත් අපි අලුතෙන් කැඳවාගත යුතුයි."

-ජනාධිපති අනුර කුමාර දිසානායක 

මෙය මේ විදිහටම දමන්නේ රුපියල් බිලියන 500කින් රාජ්‍ය වියදම් වැඩි කළ විට එයින් විදේශ අංශයට ඇති වන බලපෑම මෙහි ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්ම කෙටියෙන් පැහැදිලි කර තිබෙන නිසා. 

මේ වන විට මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 206ක හදිසි ණයක් අනුමත කර තිබෙනවා. එහෙත්, ජනාධිපති දිසානායකටම අනුව, උද්ධමනය සහ විණිමය අනුපාතය ස්ථාවරව පවත්වා ගැනීම සඳහා, අවම වශයෙන් තවත් ඩොලර් මිලියන 300ක් පමණවත් අවශ්‍ය වෙනවා. ඒ කලින් අපේක්ෂා කළ විදේශ විණිමය ලැබීම් වලට අමතරවයි.

මූල්‍ය අරමුදල විසින් ඉදිරි වසරේ ආර්ථික වර්ධන වේගය පිළිබඳ පුරෝකථනය 2.9% දක්වා පහත හෙළා ඇති අතර වර්ෂාවසාන විදේශ සංචිත අපේක්ෂාව ඩොලර් මිලියන 6,550 දක්වා පහත හෙළා තිබෙනවා. එයට අද අනුමත වූ ඩොලර් මිලියන 206ක ණය මුදලද ඇතුළත්. 

මෙම තත්ත්වය තුළ ඉදිරි දෙවසර තුළ ශ්‍රී ලංකාවට ඉතා අසීරු විදේශ සංචිත ඉලක්කයක් ලඟා කර ගැනීමට සිදු වී තිබෙනවා. ඒ අනුව, 2026දී ඩොලර් බිලියන 3.7කින්ද, 2027දී ඩොලර් බිලියන 4.5කින්ද විදේශ සංචිත වැඩි කර ගැනීමට සිදු වෙනවා. ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා ඉදිරි දෙවසර තුළ මහ බැංකුව විසින් ඩොලර් බිලියන 8.2 ඉක්මවන අමතර විදේශ සංචිත ප්‍රමාණයක් එක්රැස් කරගත යුතුයි. 

Saturday, December 6, 2025

ආපදාවෙන් පසු රාජ්‍ය මූල්‍යනය


ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදු වූ ව්‍යසන තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා රජය වෙත විවිධ පාර්ශ්ව වලින් මූල්‍යාධාර ලැබී තිබෙනවා. පහත තිබෙන්නේ මාධ්‍ය වාර්තා වලින් සොයා ගත හැකි එවැනි මූල්‍යාධාර ලැබීම් පිළිබඳ තොරතුරු කිහිපයක්. 

1. රටවල් 33ක විදේශගත ශ්‍රී ලාංකිකයින් 30,470 දෙනෙකුගෙන් මුල් දින කිහිපය තුළ "රීබිල්ඩින් ශ්‍රී ලංකා" අරමුදලට ලැබී ඇති මුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් වලට ලැබී ඇති මුදල - රුපියල් මිලියන 696ක් පමණ (ඇමරිකන් ඩොලර් මිලියන 2.2ක් පමණ)

2. ඕස්ට්‍රේලියානු රජයෙන් ලැබී ඇති මුදල - ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 3.5 (ඇමරිකන් ඩොලර් මිලියන 2.3ක්  පමණ)

3. ඇමරිකන් රජයෙන් - ඇමරිකන් ඩොලර් මිලියන 2.0ක් 

4. එක්සත් රාජධානියේ රජයෙන් - පවුම් මිලියනයක් (ඇමරිකන් ඩොලර් මිලියන 1.3ක් පමණ)

5. චීන රජයෙන් සහ ජනතාවගෙන් - ඇමරිකන් ඩොලර් මිලියන 1.1ක් පමණ

6. මාල දිවයින් රජයෙන් සහ ජනතාවගෙන් - ඇමරිකන් ඩොලර් මිලියන 2.4ක් පමණ 

7. නේපාල රජයෙන් - ඇමරිකන් ඩොලර් මිලියන 0.2ක්. 

ශ්‍රී ලංකාව වැනි දුර්වල ආර්ථිකයක් මෙවැනි ආපදාවකට මුහුණ දීමෙන් පසුව රටට හා රජයට ලැබෙන හැම ඩොලරයකටම වටිනාකමක් තිබෙනවා. ළූණු බිකත් බඩට කියා කියනවනේ. නමුත් ඉහත අයිතමයින් කිසිවක් රුපියල් බිලියනය ඉක්මවන ලැබීම් නෙමෙයි. ඉහත ලැබීම් සියල්ලේ එකතුව ඩොලර් මිලියන 11.5ක් පමණයි. ධනවත් රටවලින් මෙවැනි අවස්ථා වලදී විශාල ලෙස ආධාර කරනු ලැබූ යුගය දැන් අවසන්. අද තිබෙන්නේ 1957දී පැවති ලෝකය නෙමෙයි. 

ඉහත ලැයිස්තුව රජයට ලැබී ඇති අරමුදල් පිළිබඳ සවිස්තර හෝ නිල වාර්තාවක් නෙමෙයි. ඒ වගේම, තවත් යම් කාලයක් යන තුරු රජයට මෙවැනි මූල්‍යමය ආධාර ලැබෙයි. නමුත් ඉහත ලැයිස්තුව ඇසුරෙන් දැනට ලැබී ඇති හා ඉදිරි කාලයේදී ලැබෙන්නට ඉඩ තිබෙන මූල්‍යමය ආධාර වල පරිමාණය ගැන පහසුවෙන්ම අදහසක් ගන්න පුළුවන්. ද්‍රව්‍යමය ආධාර ලැබීම් සහ වෙනත් පාර්ශ්ව හරහා ලැබෙන මූල්‍යමය ආධාර ප්‍රස්තුත කරුණට අදාළ නැහැ. මෙහි අවධානය යොමු කෙරෙන රාජ්‍ය මූල්‍යනය හා අදාළව වැදගත් වන්නේ රජයට අභිමත පරිදි වැය කළ හැකි මූල්‍යමය ආධාර පමණයි.

රාජ්‍ය මූල්‍යනය හා අදාළව වැදගත් වන අපේක්ෂිත මුළු ලැබීම් ප්‍රමාණය ඉහත එකතුව මෙන් තෙගුණයක් පමණ සේ සැලකුවත් එය ඩොලර් මිලියන 34ක පමණ මුදලක් පමණයි. ඒ කියන්නේ රුපියල් බිලියන 10ක පමණ මුදලක්. එම මුදල සහ ආපදාව වෙනුවෙන් රජය විසින් වැය කරන්නට සැලසුම් කර තිබෙන රුපියල් බිලියන 572ක මුදල සසඳද්දී මතක් කර ගත හැක්කේ කැළණි පාලම යටින් පොල් ලෙල්ලක් යාමේ කතාවයි. ඒ අනුව, රජයේ ආපදා වියදම් වලින් ඉතා සුළු ප්‍රතිශතයක් හැර අනෙක් සියලුම වියදම් වල බර පැටවෙන්නේ රටේ බදු ගෙවන ජනතාව මත බව පැහැදිලියි. 

ජනාධිපති දිසානායකගේ කතාව අනුව, මෙම වසරේ අවසන් දින 25 තුළ රජය විසින් ආපදා වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 72.2ක මුදලක් වෙන් කර තිබෙනවා. එම මුදලෙන් රුපියල් බිලියන 22.2ක් අයවැයෙන් කලින්ම වෙන් කර තිබෙන මුදල් වන අතර ඉතිරි රුපියල් බිලියන 50 අලුතෙන් වැය කෙරෙන මුදලක්. ඒ අනුව, මෙම වසරේ රාජ්‍ය වියදම් කලින් ඇස්තමේන්තු කලාට වඩා රුපියල් බිලියන 50කින් ඉහළ යනවා. එයින් අදහස් වන්නේ මෙම වසරේ ප්‍රාථමික අතිරික්තය කලින් ඇස්තමේන්තු කළාට වඩා එපමණකින් අඩු වන බවයි.

පසුගිය අයවැය ඇස්තමේන්තු සකස් කරද්දී රුපියල් බිලියන 1,202ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් ඇස්තමේන්තු කර තිබුණා. එම මුදල දදේනියෙන් 3.8%ක්. මෙම අතිරික්තය රුපියල් බිලියන 50කින් අඩු වුවද අවම වශයෙන් දදේනියෙන් 3.6%ක ප්‍රාථමික අතිරික්තයක් ඉතිරි වෙනවා. මූල්‍ය අරමුදල සමඟ ඇති එකඟතා අනුව අවශ්‍ය වන්නේ දදේනියෙන් 2.3%කට නොඅඩු ප්‍රාථමික අතිරික්තයක් බැවින් මෙය ස්ථායීකරණ වැඩ පිළිවෙළ හා අදාළව කිසිදු ගැටලුකාරී තත්ත්වයක් ඇති කරන්නේ නැහැ. පරිපූරක ඇස්තමේන්තුවෙන් පසුවද තව දුරටත් දදේනියෙන් 1.3%ක පමණ වාසියක් ඉතිරි වෙනවා. එහි වටිනාකම තේරෙන්නේ ඉදිරි (2026) වසරේ රාජ්‍ය මූල්‍යනයේදීයි. 

මෙම වසරේ තත්ත්වයට සාපේක්ෂව බලද්දී ඉදිරි වසර හා අදාළව දැකිය හැක්කේ වෙනස් තත්ත්වයක්. අයවැයෙන් සැලසුම් කර තිබුණේ දදේනියෙන් 2.5%ක ප්‍රාථමික අතිරික්තයක් පමණක් බැවින් දැනට සැලසුම් කර ඇති රුපියල් බිලියන 500ක වියදම අමතර වියදමක් ලෙස එකතු වුවහොත්, ප්‍රාථමික අතිරික්තය 2.3% මට්ටමෙන් පහතට වැටෙනවා. මෙම අමතර වියදම දදේනියෙන් 1.5%කට ආසන්න වියදමක්. ඒ අනුව, ඉදිරි වසරේ ප්‍රාථමික අතිරික්තය දදේනියෙන් 1.0%කට නොඅඩු මට්ටමක් දක්වා පහත වැටීමේ විභවයක් තිබෙනවා. ඒ කියන්නේ අවශ්‍ය මට්ටමට වඩා 1.3%කින් අඩු මට්ටමක්. කෙසේ වුවද, එවැනි තත්ත්වයක් යටතේ වුවත්, මේ වසරේ 1.3%ක අමතර ඉතිරිය නිසා, දිගුකාලීනව රටේ ණය තිරසාරත්ව ඉලක්කය පවත්වා ගැනීමට නොහැකි වන්නේ නැහැ. එකම ප්‍රශ්නය යම් හෙයකින් නැවතත් මෙවැනි කම්පනයක් ඇති වුවහොත් එයට ඔරොත්තු දීම අසීරු වීම පමණයි.

රුපියල් බිලියන 500ක අමතර මුදල සොයා ගන්නා ආකාරය හරියටම දැනගන්නට ලැබෙන්නේ රජය විසින් අදාළ පරිපූරක ඇස්තමේන්තුව පිළියෙළ කර ඉදිරිපත් කිරීමෙන් පසුවයි. දැනටම අයවැයෙන් වෙන් කර තිබෙන වියදම් නවත්වා එම අරමුදල් මේ වෙනුවෙන් යෙදවීම මගින් අවශ්‍ය වන රුපියල් බිලියන 500ක මුදලින් යම් ප්‍රමාණයක් ආවරණය කර ගන්න පුළුවන්. උදාහරණයක් ලෙස අලුත් මාර්ග හෝ ගොඩනැගිලි වෙනුවෙන් වෙන් කර ඇති මුදල් කැඩී ගිය මාර්ග හා ගොඩනැගිලි වෙනුවෙන් යොදවන්න පුළුවන්. ඒ නිසා, ඉදිරි වසරේ ප්‍රාථමික අයවැය හිඟය දදේනියෙන් 1.0% මට්ටම දක්වාම පහත වැටෙන එකක් නැහැ. එහෙත් මේ ක්‍රමයට රුපියල් බිලියන 500ක් වැනි විශාල මුදලක් සොයා ගන්න බැහැ. රාජ්‍ය සේවක වැටුප් වැනි බොහෝ වියදම් වෙනස් කළ නොහැකි වියදම්. 

මෙවැනි ආපදාවකින් පසුව රාජ්‍ය ආදායම් යම් තරමකින් හෝ අඩු වනු මිස වැඩි වන්නේ නැහැ. ඒ නිසා, ඒ පැත්තෙන් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නෙත් නැහැ. මේ අනුව, ප්‍රායෝගිකව බොහෝ විට ඉදිරි වර්ෂයේ ප්‍රාථමික අයවැය හිඟය 2.3% මට්ටමට වඩා අඩු, දදේනියෙන් 1.5%-1.8% ආසන්න මට්ටමක් වෙන්න පුළුවන්. රජය විසින් පරිපූරක අයවැය සකස් කිරීමෙන් පසුව මේ ගැන හරියටම දැනගන්න පුළුවන්.

රජයේ ප්‍රාථමික වියදම් හා අදාළව ව්‍යවස්ථාපිත සීමාවක් තිබෙනවා. එම වියදම් දදේනියෙන් 13.0% ඉක්මවා යා නොහැකියි. එහෙත් මෙවැනි විශේෂ තත්ත්වයන් යටතේ සීමාව ඉක්මවා වියදම් කිරීම සඳහා ප්‍රතිපාදන තිබෙන නිසා එම නීතිය මේ අවස්ථාවේදී සීමාකාරී සාධකයක් වෙන්නේ නැහැ. මූල්‍ය අරමුදලේ 2.3% ඉලක්කය හා අදාළව කියන්නට තියෙන්නේත් මේ කතාවමයි. මගේ තක්සේරුව අනුව පවතින තත්ත්වය සුවිශේෂී තත්ත්වයක් බව මූල්‍ය අරමුදල විසින් හඳුනා ගන්නා බවට සැකයක් නැහැ. 

ආපදා තත්ත්වයක් යටතේ කෙටිකාලීනව රාජ්‍ය වියදම් වැඩි කිරීම සහ ආකෘතිමය වෙනස්කම් හරහා දිගුකාලීනව රාජ්‍ය වියදම් වැඩි කිරීම කරුණු දෙකක්. පළමුවැන්නෙහි තිබෙන්නේ තාවකාලික බලපෑමක් පමණයි. ඒ බව මූල්‍ය අරමුදලේ නිලධාරීන්ට අමුතුවෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, එක් වසරක වියදම් වුවද සැලකිය යුතු ලෙස වැඩි වුවහොත් එයින් ණය තිරසාරත්වය විශ්ලේෂණයට බලපෑමක් සිදු වෙනවා. ඒ නිසා, ස්ථායීකරණ වැඩපිළිවෙළේ පරාමිතීන්ද වෙනස් කරන්නට සිදු වෙනවා. 

දැනට රජයේ ප්‍රවේශය බව පෙනෙන්නේ ආපදා තත්ත්වය හමුවේ ස්ථායීකරණ වැඩ සටහනෙහි පරාමිතීන් සීරුමාරු කරගැනීම සඳහා මූල්‍ය අරමුදලේ උදවු ලබා ගැනීමයි. ඒ සඳහා මාස කිහිපයක් ගත විය හැකි නමුත් එම සඳහා මූල්‍ය අරමුදලේ උදවු ලැබීම පිළිබඳව සැකයක් නැහැ. කෙසේ වුවද, මෙම ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වනුයේ රටේ ආර්ථිකය ස්ථාවර වීම සඳහා ගත වන කාලය ආපදාවට පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව ප්‍රමාද වීමයි. 

මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය විසින් දෙසැම්බර් 15 දින රැස් වී ශ්‍රී ලංකාවේ මීළඟ ණය වාරිකය ලබා දීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබුණත්, මේ වන විට එම රැස්වීම අවලංගු කර තිබෙනවා. ඒ අතර ශ්‍රී ලංකා රජය විසින් කලින් අනුමත කරනු ලැබ වාරික වශයෙන් ලැබෙමින් තිබුණු ණය මුදලට අමතරව, ඩොලර් මිලියන 200ක හදිසි අවශ්‍යතා ණයක් සඳහා ඉල්ලුම් කර තිබෙනවා. 

මෙම ඩොලර් මිලියන 200ක ණය මුදල අනුමත වුවහොත් එම මුදල සහ දෙසැම්බර් 15 දින ලැබෙන්නට නියමිතව තිබුණු ඩොලර් මිලියන 350ක මුදල පෙබරවාරි මාසයේදී පමණ එකවර ලැබෙන්නට ඉඩ තිබෙනවා. ඊට පෙර ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකා රජය විසින් ඉදිරි වසර තුළ රුපියල් බිලියන 500ක අමතර මුදලක් වියදම් කිරීම සඳහා අතුරු අයවැයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. මෙම අතුරු අයවැය වුවද සකස් කෙරෙනු ඇත්තේ මූල්‍ය අරමුදලේ එකඟතාවයන්ට යටත්වයි. වෙනත් විදිහකින් කිවුවොත්, ආපදාවෙන් පසුවද රජය විසින් කරමින් සිටින්නේ මූල්‍ය අරමුදලේ රාමුව තුළම සිටිමින් විසඳුම් සෙවීමයි. 

මෙම ආපදා තත්ත්වය හමුවේ පසුගිය වසර කිහිපය තුළ යහපත් රාජ්‍යමූල්‍ය කළමනාකරණයක් පවත්වා ගැනීමේ වාසිය පැහැදිලිව පෙනෙනවා. ඒ නිසා, පවතින ආතති තත්ත්වය හමුවේ වුවද රජයට රුපියල් ප්‍රශ්නයකට මුහුණ දීමට සිදු වී නැහැ. එහෙත්, රුපියල් හා අදාළව තිබෙන එම වාසිදායක තත්ත්වය ඩොලර් හා අදාළව නැහැ. ඊට හේතුව තවමත් ප්‍රමාණවත් විදේශ සංචිත ගොඩ නැගී නොතිබීමයි. මේ තත්ත්වය තුළ ශ්‍රී ලංකා රජයට මූල්‍ය අරමුදලෙන් ලැබිය හැකි සුළු හෝ අමතර මුදලක් පිළිබඳව බලාපොරොත්තු දල්වාගෙන සිටීමට සිදු වී තිබෙනවා. 

Friday, December 6, 2024

ඉදිරි මාස හතරේ රාජ්‍ය වියදම් පරිපාලනය



ඉදිරි මාස හතරක කාලය තුළ රාජ්‍ය වියදම් පරිපාලනය සිදු වන්නේ පහත පරිදියි.


1. අනුර කුමාර දිසානායක

ජනාධිපති කාර්යාලය = රුපියල් බිලියන 2.6

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය  = රුපියල් බිලියන 186.0

ආරක්ෂක අමාත්‍යංශය  = රුපියල් බිලියන 143.0

ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය  = රුපියල් බිලියන 3.7


2. හරිනි අමරසූරිය 

අග්‍රාමාත්‍ය කාර්යාලය = රුපියල් බිලියන 1.2

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය = රුපියල් බිලියන 92.0


3. චන්දන අබේරත්න 

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය (පළාත් සභා හැර) = රුපියල් බිලියන 170.5

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය (පළාත් සභා) = රුපියල් බිලියන 184.7


4. බිමල් රත්නායක 

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය  = රුපියල් බිලියන 220.1


5. නලින්ද ජයතිස්ස 

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යංශය = රුපියල් බිලියන 162.0


6. කේ ඩී ලාල් කාන්ත

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යංශය = රුපියල් බිලියන 67.4


7. ආනන්ද විජේපාල 

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය = රුපියල් බිලියන 65.1


8. හර්ෂණ නානායක්කාර 

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය = රුපියල් බිලියන 17.3


9. අනුර කරුණාතිලක 

නාගරික සංවර්ධන, ඉදි කිරීම් සහ නිවාස අමාත්‍යංශය = රුපියල් බිලියන 17.2


10. උපාලි පන්නිලගේ 

ග්‍රාමීය සංවර්ධන, සමාජ සංරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යංශය = රුපියල් බිලියන 9.4


11. විජිත හේරත් 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය = රුපියල් බිලියන 5.9


12. රාමලිංගම් චන්ද්‍රසේකර් 

ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය = රුපියල් බිලියන 5.8


13. සරෝජනී පෝල්රාජ් 

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය = රුපියල් බිලියන 5.1


14. ධම්මික පටබැඳි 

පරිසර අමාත්‍යංශය = රුපියල් බිලියන 4.9


15. කුමාර ජයකොඩි 

බලශක්ති අමාත්‍යංශය = රුපියල් බිලියන 4.3


16. සුනිල් කුමාර ගමගේ 

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය = රුපියල් බිලියන 3.8


17. සමන්ත විද්‍යාරත්න 

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය = රුපියල් බිලියන 3.6


18. සුනිල් හඳුන්නෙත්ති 

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය = රුපියල් බිලියන 3.5


19. හිනිදුම සුනිල් සෙනෙවි 

බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය = රුපියල් බිලියන 3.2


20. අනිල් ජයන්ත 

කම්කරු අමාත්‍යංශය = රුපියල් බිලියන 2.1


21. ක්‍රිෂාන්ත අබේසේන 

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශය = රුපියල් බිලියන 1.8


22. වසන්ත සමරසිංහ 

වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යංශය = රුපියල් බිලියන 0.9


23. විශේෂ වියදම් ඒකක

මැතිවරණ කොමිසම = රුපියල් බිලියන 10.4

පාර්ලිමේන්තුව = රුපියල් බිලියන 3.9

අනෙකුත් කොමිසන් සභා = රුපියල් බිලියන 0.7

Monday, August 26, 2024

මෙවර අයවැයෙන් බදු වැඩි වෙන්නේ කොහොමද?

ඉදිරි 2025 වසර සඳහා රාජ්‍ය අයවැය ඇස්තමේන්තු පිළියෙළ කිරීමේ මූලික කටයුතු මේ වෙද්දීත් පටන් අරගෙනයි තියෙන්නේ. මෙහිදී ප්‍රාථමික වියදම්, ඒ කියන්නේ පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් සියලු වියදම්, දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%කට වඩා වැඩි වෙන්න බැහැ. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීම් හෝ වෙනත් ඕනෑම වියදම් වැඩි කිරීමක් සිදු කරන්න වෙන්නේ ඔය සීමාවට යටත්වයි. (එසේ කිරීමේ හැකියාව ගැන පෙර ලිපි වල විස්තර කළා.)

ඔය 13% සීමාව එන්නේ සති කිහිපයකට පෙර රටේ නීතියක් බවට පත් වූ 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත අනුවයි. එම පණතේ 15(1) වගන්තියේ සඳහන් කොට ඇති පරිදි "ආණ්ඩුවේ ප්‍රාථමික වියදම් අදාළ මුදල් වර්ෂය සඳහා ඇස්තමේන්තුගත නාමික දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහතුනක ප්‍රතිශතයක් නොඉක්මවිය යුතුය."

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත දැන් රටේ නීතියක් නිසා ආණ්ඩුව මාරු වුනත් මේ සීමාව තවදුරටත් වලංගුයි. නමුත්, මෙය සාමාන්‍ය පණතක් නිසා පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් පහසුවෙන්ම සංශෝධනය කරන්න පුළුවන්. 

පණත ගෙනාවේ රනිල් කඳවුර නිසා රනිල්ට පක්ෂපාතී කණ්ඩායමක් දිගටම බලයේ හිටියොත් ඔය සීමාව වෙනස් වෙන්න හේතුවක් නැහැ. නමුත් රජයේ වියදම් කොපමණද කියා තීරණය කරන එක බලයේ සිටින ආණ්ඩුවේ අයිතියක්. ජනතාව ආණ්ඩුවක් බලයට පත් කරන්නේ ඒ අයිතිය ඔවුන්ට ලබා දීලයි. ඒ වගේම, එය පවතින ආණ්ඩුවේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තිය අනුව සිදු වෙන දෙයක්. 

ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අනුවත්, ඒ නැතත්, රටේ ණය තිරසාරත්වය ඇති කරගෙන ඉතා ඉක්මණින් නැවත ආර්ථික අර්බුදයකට නොයා සිටීම සඳහාත්, අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගන්නම වෙනවා. සජිත් කඳවුර වගේම මාලිමා කඳවුරත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුමෙන් ඉවත් වන බවක් කියා නැහැ. ඒ වගේම, ඔය කණ්ඩායම් දෙකෙන් එකක්වත් ඉතා ඉක්මණින් රට නැවත ආර්ථික අර්බුදයකට යන විදිහේ වැඩක් දැන දැන, හිතාමතා කරන එකක් නැහැ. 

පවතින තත්ත්වයන් යටතේ නැවතත් රටේ ආර්ථිකය අස්ථාවර වෙන්න යනවා කියන්නේ ඊට කලින්ම පවතින ආණ්ඩුව අස්ථාවර වෙනවා කියන එක. දේශපාලන කඳවුරක් අමාරුවෙන් බලය ලබාගන්නේ ලේසියෙන් බලය අත හැර යන්න නෙමෙයි. ඒ නිසා, ඔය කවුරු බලයට ආවත්, තම තම නැණ පමණින්, "කරන දෙයක් පරිස්සමෙන්" කරයි කියලයි මම හිතන්නේ.

රජය ක්‍රමයෙන් කුඩා කරමින් රාජ්‍ය වියදම් දිගටම 13% සීමාවේ පවත්වා ගැනීම රනිල්ගේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තිය බවයි පෙනෙන්න තියෙන්නේ. නමුත් සජබ විසින් මේ සීමාව ඕනෑවට වඩා සීමාකාරී එකක් බව කිහිප තැනකම සඳහන් කර තිබෙනු දැක්කා. මාලිමාවේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්ති එක්ක මේ සීමාව කොහොමටවත් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා, ඔය කඳවුරු දෙකෙන් එකක් බලයට ආවොත් 13% සීමාව ඉහළ දමන්න ඉඩ තිබෙනවා.

පවතින ආණ්ඩුවේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තිය මත පදනම්ව ඇති 13% සීමාව වැඩි කරන එක ඒ හේතුව නිසාම ප්‍රශ්නකාරී වෙන්නේ නැහැ. මොකද කුඩා රජයක් පවත්වා ගෙන යාම කියන එකෙන් නියෝජනය වන්නේ එක් ආර්ථික-දේශපාලන ධාරාවක් පමණයි. නමුත් 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තය එවැන්නක් නෙමෙයි. එය මේ වෙද්දී ලංකාව ඉන්න තත්ත්වයත් එක්ක අනිවාර්ය අවශ්‍යතාවයක්. 

රජයේ ප්‍රාථමික වියදම් 13%නම් (මේ කියන්නේ දදේනි අනුපාත ගැන), 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගැනීම සඳහා රාජ්‍ය ආදායම අවම වශයෙන් 15.3% දක්වා වැඩි කරගන්න වෙනවා. ඒ කියන්නේ, ඔය 13% සීමාව් වැඩි කර ගත්තත්, රාජ්‍ය ආදායම 15.3% මට්ටමට යන තුරු 13%කට වඩා වියදම් කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. 

රනිල්ගේ ආර්ථික-දේශපාලන ප්‍රතිපත්තිය බව පෙනෙන්නේ රාජ්‍ය ආදායම 15.3% මට්ටමට අරගෙන දිගටම ඒ මට්ටමේ දිගටම පවත්වා ගෙන යන එක. දැනට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබෙන වැඩපිළිවෙළේ ඉලක්කයත් ඒකයි. මේ ඉලක්කයට ඉදිරි (2025) වර්ෂය තුළම වුනත් යාමේ හැකියාවක් තිබෙනවා. එසේ යා හැකි වුවහොත්, ඉන් පසුව තව දුරටත් බදු වැඩි කරන්න අවශ්‍ය වන්නේ නැහැ. 

මාලිමා කඳවුර විසින් කිහිප තැනක කියා තිබුණු විදිහට ඔවුන්ගේ ඉලක්කය රාජ්‍ය අදායම මීට වඩා ඉහළ මට්ටමකට අරගෙන යන එක. රාජ්‍ය අදායම තිරසාර ලෙස වැඩි කරගත හැකිනම්, 2.3%ක ප්‍රාථමික අයවැය අතිරික්තය පවත්වා ගනිමින්, රාජ්‍ය වියදමත් වැඩි කරන්න පුළුවන්. ඒ විදිහේ වෙනසකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විරුද්ධ වෙන එකක් නැහැ. මොකද ලංකාවේ වාමාංශික කඳවුර විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල "නව ලිබරල්" ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටින ආයතනයක් ලෙස හැඳින්වුවත්, අරමුදල විසින් දිගින් දිගටම පෙන්වා දී තිබෙන්නේ රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයයි. 

ඔය කතාව සජිත් කඳවුර ඇතුළු වෙනත් ඕනෑම කඳවුරකට අදාළයි. දැනට යෝජිත 15.3% සීමාවෙන් එහාට රාජ්‍ය ආදායම ගෙන යා හැකිනම් වැඩියෙන් වියදම් කරන්නත් පුළුවන්. ඒක රටේ මිනිස්සුන්ගේ බහුතර කැමැත්ත අනුව තීරණය විය යුතු දෙයක්. නමුත් දැනට තිබෙන ප්‍රශ්නය 15.3% සීමාවට යන එකයි.

ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුම අත්සන් කළේ 2023 මාර්තු වලදීනේ. රනිල්ට බලය ගියේ 2022 ජූලි. මහ බැංකුවේ හා මහා භාණ්ඩාගාරයේ ලොකු පුටු මාරු වුනේ ඊටත් මාස කිහිපයකට කලින්. නමුත් ඔය දේවල් වෙන්න කලින්, 2021දීත් යම් බදු වැඩි කිරීම් යෝජනා කළා. එහෙම නොකළානම් දදේනි අනුපාතයක් විදිහට රාජ්‍ය ආදායම් වැඩි වෙන්න තිබුණේ පහත ආකාරයටයි. මේ බදු නොවන ආදායම් කොටසද ඇතුළත්ව.

2023 - 6.8%

2024 - 7.6%

2025 - 8.1%

දැන් ඔය විදිහට කිසිම බදු වැඩි කිරීමක් කළේ නැතත් අවුරුද්දෙන් අවුරුද්ද බදු ආදායම් ඉහළ යනවා. ඊට හේතුව නාමික දළ දේශීය නිෂ්පාදිතය වැඩිවීම. එය සිදු වෙන්නේ ආර්ථික වර්ධනය නිසා වෙන්නත් පුළුවන්. උද්ධමනය නිසා වෙන්නත් පුළුවන්. හේතුව ඔය දෙකෙන් කොයි එක වුනත් බදු ආදායම් වැඩි වෙනවා. 

ඕනෑනම් මේක වෙන්නේ බදු කැපීම නිසා එහි උදවුවෙන් ආර්ථිකය වර්ධනය වීමෙන් කියලා කෙනෙකුට තර්ක කරන්නත් පුළුවන්. ඒක එහෙම වුනත් නොවුනත්, 2025 වෙද්දී යා හැකිව තිබුණේ 8.1% සීමාවට පමණයි. 


ඔය තත්ත්වය හමුවේ, ආර්ථික අර්බුදය එන්න කලින්ම, 2021දී යම් බදු වැඩි කිරීම් යෝජනා කළානේ.

- මූල්‍ය සේවා මත අය කරන වැට් බද්ද වැඩි කිරීම 

- සමාජ සංරක්ෂණ බද්ද 

- නිෂ්පාදන බදු වැඩි කිරීම 

ඔය බදු වැඩි කිරීම් වලින් රාජ්‍ය ආදායම තවත් 1%කින් වැඩි කරගන්න පුළුවන්කමක් තිබුණා. විශේෂයෙන්ම සමාජ සංරක්ෂණ බද්දෙන්.  

2023 - 7.8%

2024 - 8.6%

2025 - 9.1%

නමුත් තවමත් හැරෙන්නවත් මදිනේ. හැබැයි 2022දී යෝජනා වූ බදු ප්‍රතිසංස්කරණ වලින් තත්ත්වයේ විශාල වෙනසක් සිදු වුනා. මේ බදු ප්‍රතිසංස්කරණ සියල්ල යෝජනා වුනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුම අත්සන් කරන්න කලින්. ඊට පස්සේ රාජ්‍ය ආදායම් ඇස්තමේන්තු වෙනස් වුනේ මේ විදිහට.

2023 - 11.0%

2024 - 13.2%

2025 - 14.9%

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක ගිවිසුමක් අත්සන් කරන්න කලින්ම ශ්‍රී ලංකා බලධාරීන් විසින් ඔය ව්දිහට බදු ප්‍රතිසංස්කරණ යෝජනා කරලා සහ එයින් වැඩි කොටසක් ක්‍රියාත්මක කරලා රාජ්‍ය ආදායම් වැඩි කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරගෙන තිබීම රටට ඉක්මණින් ගොඩ එන්න විශාල උදවුවක් වුනා. 

ඉහත 2022 බදු ප්‍රතිසංස්කරණ යෝජනා බොහොමයක් ඉතා ඉක්මණින් සිදු කිරීමට නියමිතව තිබුණත් තෑගි හා උරුම බද්දත්, වත්කම් බද්දත් අය කරන්න අදහස් කර තිබුණේ 2025 සිටයි. ඊට හේතුව මේ බදු අය කරන්න කලින් රටේ දේපොළ පිළිබඳ නිවැරදි තක්සේරු සිදු කර අවසන් කළ යුතු වීමයි. 2025 රාජ්‍ය ආදායම් ඇස්තමේන්තුවෙන් 1.2%ක් ආවේ ඔය බදු දෙකෙන්. ඒ දෙක නැතිව තත්ත්වය මේ වගේ.

2023 - 11.0%

2024 - 13.2%

2025 - 13.7%

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අපේක්ෂා කරන පරිදි රාජ්‍ය ආදායම 15.3% මට්ටමට එසවිය යුත්තේ පහත ආකාරයටයි.

2025 - 15.0%

2026 - 15.1%

2027 - 15.2%

2028 සිට ඉදිරියට - 15.3%

නමුත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පළමු විමර්ශනය සිදු කරද්දී, ඒ වෙද්දී පැවති ප්‍රගතිය අනුව, පේන්න තිබුණේ මේ වගේ තත්ත්වයක්. 

2023 - 10.1%

දැන් මේ තත්ත්වය අනුව 2023 ඉලක්කය වූ 11.0%ට යන්න 0.9%ක අඩුවක් තියෙනවනේ. 2023 ඉලක්කයට යන්නේ නැතිව 2024 හා ඉන් ඉදිරියට ඉලක්ක වලට යන්නත් බැහැ. වැට් බද්ද 18% දක්වා වැඩි කළේ ඒ අඩුව හදා ගන්න. කලින් කියපු 2022 බදු ප්‍රතිසංස්කරණ අනුව වැට් බද්ද වැඩි කිරීමට නියමිතව තිබුණේ සහ වැඩි කර තිබුණේ 15% දක්වා පමණයි. වැට් බද්ද 18% දක්වා වැඩි කිරීමෙන් පසුව 2024දී 12.9% මට්ටමට යන්න පුළුවන් වෙයි කියන එකයි ඇස්තමේන්තුව වුනේ. ඒක වුනත් 13.2% මට්ටමට වඩා අඩු වුනත් කිට්ටුවට හරි යනවනේ.

කොහොම වුනත් 2023 දෙවන භාගයේදී බදු ආදායම් සැලකිය යුතු ලෙස වැඩි වූ නිසා අන්තිමට 2023 අපේක්ෂිත ඉලක්කය වූ 11.0%ට යන්න පුළුවන් වුනා. ඒකට 2024 සිට වැට් වැඩි කිරීම නිසා ලැබෙන ආදායමද එකතු කළ විට දැන් තත්ත්වය මෙවැන්නක්.

2024 - 13.5%

මේ අනුව, 2025 ඉලක්කය වන 15.0%ට යන්න තවත් අඩු 1.5%ක් පමණයි. වාහන ආනයනයට ඉඩ දුන් පසුව එයින් 0.8%ක් එකතු වෙනවා. වැට් බදු පැහැර හරින අයගෙන් එම බදු අය කර ගැනීම සඳහා දැනට ගන්නා ක්‍රියාමාර්ග වලින් තවත් 0.3%ක් එකතු වීමට නියමිතයි. ඒ අනුව, තවත් අඩු 0.4%ක් පමණයි.

දැන් මම කලින් කිවුවනේ 2022 බදු ප්‍රතිසංස්කරණ යෝජනා අනුව 2025 සිට තෑගි හා උරුම බද්දක් සහ වත්කම් බද්දක් පැනවීමට සැලසුම් කර තිබුණු බව සහ එමගින් 1.2%ක් එකතු කරගන්න යෝජනා වී තිබුණු බව. නමුත් දැන් ඒ තරම් අඩුවක් නැහැ. තව අඩු 0.4%ක් පමණයි. ඒ අනුව, රජය විසින් අරමුදලට යෝජනා කර තියෙන්නේ අර කලින් කියූ බදු දෙක වෙනුවට වෙනත් බදු ප්‍රතිසංස්කරණ කිහිපයක් මගින් ඔය 0.4% අඩුව හදාගන්න. රුපියල් වලින්නම් බිලියන 136ක් පමණ. 

මේ සඳහා "ආරෝපිත ගෙවල් කුලී" බද්දක් අලුතෙන් හඳුන්වා දෙන්න නියමිතව තිබෙනවා. එමගින් තව 0.15%ක් එකතු කරගන්න පුළුවන්. රුපියල් බිලියන 51ක් පමණ.

තමන් පංදිචි නිවසට අමතරව සමහර අයට තවත් ගෙවල් තිබෙනවා. ඒ අමතර ගෙවල් කුලියට දී තිබේනම්, එසේ ලැබෙන ආදායම වෙනුවෙන් කොහොමටත් ආදායම් බදු ගෙවන්න වෙනවා. කොහොමටත් කිවුවට මුළු ආදායම අවම ආදායම් බදු සීමාවෙන් එහාට යන අයට පමණයි. නමුත් එවැනි අමතර ගෙවල් කුලියට දී නැත්නම් ආදායමක් නොලැබෙන නිසා බද්දක් ගෙවන්න අවශ්‍ය වන්නේ නැහැ.

දැන් මේ අලුත් බද්ද හඳුන්වා දුන් පසුව එවැනි අමතර ගෙයක් කුලියට නොදුන්නත්, කුලියට දීමෙන් ලබා ගත හැකි ආදායම ඇස්තමේන්තු කරලා එම "ලබා ගත හැකි" ආදායම වෙනුවෙන් බද්දක් ගෙවන්න වෙනවා. මේකත් වත්කම් බද්දක් වගේම තමයි. නමුත් වෙනස්කම් දෙකක් තිබෙනවා.

පළමු වෙනස මේ බද්දට යටත් වන්නේ කෙනෙකුගේ වත්කම් වලින් එක් වර්ගයක් පමණයි. ඒ නිසා, අය කර ගැනීම වඩා පහසුයි. හැබැයි අපේක්ෂිත ආදායම කලින් යෝජනා වූ බදු ක්‍රම වලින් ලබා ගත හැකි වූ ප්‍රමාණයෙන් අටෙන් එකක් පමණයි. 

දෙවන වෙනස නීතිමය වෙනසක්. ලංකාවේ දැනට පවතින නීතිය අනුව දේපොළ බදු අය කළ හැක්කේ පළාත් සභා වලටයි. ඒ නිසා, මධ්‍යම රජය විසින් දේපොළ බද්දක් පැනවීම පළාත් සභා බලතල ආපසු ගැනීමක් වගේ දෙයක් වෙනවා. නමුත් ආදායම් බදු අය කළ හැක්කේ මධ්‍යම රජයට නිසා මේ විදිහට අය කරන එකේ නීතිමය අවුලක් නැහැ. යම් ආකාරයකින් පළාත් සභා නීතියට වංගු ගැහීමක් වගේ දෙයක්. 

මේ අලුත් බද්ද හැම පොඩි ගෙදරකින්ම අය කරන එකක් නැහැ. එය අදාළ වනු ඇත්තේ යම් අවම වටිනාකමක් තිබෙන වටිනා හා විශාල නිවාස මත පමණයි. 

ඊළඟට මත්පැන්, දුම්කොළ හා සූදු ක්‍රීඩා මත දැනට අය කරන 40% බද්ද 45% දක්වා වැඩි කර තවත් රුපියල් බිලියන 27ක් පමණ එකතු කර ගැනීමට නියමිතව තිබෙනවා. සේවා අපනයන ආදායම් සඳහා දැනට ලබා දී තිබෙන ආදායම් බදු සහනයක් ඉවත් කිරීමෙන් තවත් රුපියල් බිලියන 14ක් පමණ එකතු කරගන්න පුළුවන්. දැනට වැට් බදු අය නොකරන කාණ්ඩ කිහිපයක් මත වැට් බදු පැනවීමෙන් ඉතිරි අඩුව හදාගන්න පුළුවන්. 

අවසාන වශයෙන්, මේ වෙද්දී රජය විසින් ආදායම් වැඩි කිරීම හා අදාළව විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන නිසා, ආරෝපිත ගෙවල් කුලී බද්ද ඇතුළු බදු ප්‍රතිසංස්කරණ කිහිපයක් පමණක් කරලා දිගුකාලීන රාජ්‍ය ආදායම් ඉලක්කය වන 15.3% මට්ටමට යන්න පුළුවන්. මේ බදු ප්‍රතිසංස්කරණ සාමාන්‍ය පුද්ගලයෙකුට දැනෙන මට්ටමේ ඒවා නෙමෙයි. මේ විදිහට 15.3% ඉලක්කයට් ගියාට පස්සේ එයින් 2.3%ක් ඉතිරි කරගෙන 13.0% දක්වා මුදලක් වියදම් කරන්න පුළුවන්. ඊට වඩා වැඩියෙන් වියදම් කරනවානම් 15.3% මට්ටමට වඩා ආදායමත් වැඩි කරගන්න වෙනවා. 



Saturday, November 4, 2023

රාජ්‍ය සේවක වැටුප්


කිහිප දෙනෙක්ම විමසීම් කර තිබුණු නිසා රාජ්‍ය සේවක වැටුප් පිරිවැය පිළිබඳ සංඛ්‍යාලේඛණ කිහිපයක් පහත ඉදිරිපත් කරනවා. මෙය තොරතුරු ඉදිරිපත් කිරීමක් මිසක් අදහස් දැක්වීමක් නෙමෙයි. 

මුලින්ම පසුගිය (2022) වසර හා අදාළ සංඛ්‍යාලේඛණ.

2022 රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 956.2

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 309.1

මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 40.2

එකතුව - රුපියල් බිලියන 1,305.5

වසරේ බදු ආදායම - රුපියල් බිලියන 1,751.1

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 74.6%


මේ ඊට පෙර වසරේ (2021) තත්ත්වය.

2021 රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 845.7

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 269.8

මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 37.9

එකතුව - රුපියල් බිලියන 1,153.4

වසරේ බදු ආදායම - රුපියල් බිලියන 1,298.0

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 88.9%

මේ අනුව, බදු ආදායම් පහළ ගොස් තිබුණු 2021 වසරේදී රජයේ සමස්ත බදු ආදායමෙන් 88.9%ක්ම වැය වී තිබුණේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙනුයි. 2022දී රජය විසින් බදු ආදායම් වැඩි කර ගත් අනුපාතයෙන් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ඉහළ නොගිය බැවින් මෙම අනුපාතය 74.6% දක්වා අඩු වී තිබෙනවා. 

මෙම (2023) වසරේදී ඉහත අනුපාතය තවත් අඩු වී තිබිය යුතුයි. පහත තිබෙන්නේ 2023 පළමු මාස හතර හා අදාළව ප්‍රකාශිත තොරතුරු. 

2022 අප්‍රේල් දක්වා රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 313.3

රාජ්‍ය සේවක විශ්‍රාම වැටුප් - රුපියල් බිලියන 105.9

මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් - රුපියල් බිලියන 13.8

එකතුව - රුපියල් බිලියන 433.0

වසරේ පළමු මාස හතරේ බදු ආදායම - රුපියල් බිලියන 742.6

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස - 58.3%

විශ්‍රාම වැටුප් හා මියගිය හා ආබාධිත හමුදා නිලධාරීන් වෙනුවෙන් ගෙවූ වැටුප් කොටස අත හැර පසුගිය (2022) වසරේදී සේවයේ නිරතව සිටි ආරක්ෂක හමුදා නිලධාරීන්ද ඇතුළු සියලුම රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වැටුප් ලෙස ගෙවූ රුපියල් බිලියන 956.2ක මුදල සැලකුවහොත් එම මුදල බෙදී ගොස් ඇත්තේ පහත පරිදියි.

ආරක්ෂක හමුදා - රුපියල් බිලියන 223.0 (23.3%)

පොලීසිය/ මහජන ආරක්ෂාව - රුපියල් බිලියන 96.9 (10.1%)

ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - නොදනී (ආසන්නව රුපියල් බිලියන 250ක් පමණ විය යුතුයි)

සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - රුපියල් බිලියන 50.1 (5.2%)

වෛද්‍යවරුන්, හෙද වෘත්තිකයින් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින් - රුපියල් බිලියන 166.5 (17.4%)


මෙම (2023) වසරේ පළමු මාස හතර හා අදාළව පහත තොරතුරු ප්‍රකාශයට පත්ව තිබෙනවා. 

ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - රුපියල් බිලියන 83.9 (27.7%)

සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - රුපියල් බිලියන 16.8 (5.5%)


මේ අනුව, රාජ්‍ය සේවක වැටුප් වියදම් සංයුතිය පහත පෙන්වා ඇති පරිදි සේ සැලකිය හැකියි.

ආරක්ෂක හමුදා - රුපියල් බිලියන 23.3%

පොලීසිය/ මහජන ආරක්ෂාව - රුපියල් බිලියන 10.1%

ජාතික හා මහජන ආරක්ෂාව හා අදාළ එකතුව - 33.4%


ගුරු වැටුප්/ පාසැල් අධ්‍යාපනය හා අදාළ කාර්ය මණ්ඩල - 27.7%

සරසවි අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප් - 5.5%

අධ්‍යාපනය හා අදාළ එකතුව - 33.2%


වෛද්‍යවරුන්, හෙද වෘත්තිකයින් හා අනෙකුත් සෞඛ්‍ය සේවකයින් - 17.4%


අධ්‍යාපනය, සෞඛ්‍යය හා ආරක්ෂාව හා අදාළ එකතුව - 84.0%

අනෙකුත් සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් - 16.0%

වැඩි තොරතුරු නැති නිසා, විශ්‍රාම වැටුප් වියදම් සංයුතියද මීට ආසන්නව සමාන සේ සැලකිය හැකියි. දළ වශයෙන් ගත්තොත් වැටුප් වියදමෙන් තුනෙන් එකක් ආරක්ෂාව, තවත් තුනෙන් එකක් අධ්‍යාපනය, හයෙන් එකක් සෞඛ්‍යය සහ හයෙන් එකක් අනෙකුත් සියළුම රාජ්‍ය සේවකයින් ලෙස සලකන්න පුළුවන්. සියලුම සංඛ්‍යාලේඛණ වල මූලාශ්‍රය මුදල් අමාත්‍යාංශය. කැමති කෙනෙක් කැමති විදිහකට විග්‍රහ කරගන්න. 

Thursday, November 2, 2023

බදු වැඩි කිරීම හා පඩි වැඩි කිරීම


මාධ්‍ය වාර්තා අනුව, වැට් බද්ද තවත් 3%කින් වැඩි කරන්න යන බවක් කියැවෙනවා. ඒ එක්කම, රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න යන බවකුත් කියැවෙනවා. මේවා මේ චිදිහට කෙරෙයිද කියලා මම හරියටම දන්නේ නැහැ. නමුත් වෙන්න ඉඩක් තියෙනවා. 

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සාධාරණීකරණය කළ හැකි යම් හේතු තියෙනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 0.8% දක්වා අඩු වෙලා තිබුණා. ඔක්තෝබර් මාසයේදී සුළු වැඩි වීමක් සිදු වීමෙන් පසුවද, කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව උද්ධමනය 1.5%ක් පමණයි. හැබැයි උද්ධමනය අඩු වෙලා කියන්නේ බඩු මිල අඩු වෙලා කියන එක  නෙමෙයි. පසුගිය සැප්තැම්බර් දක්වා වසරක් තුළ 70%කින් පමණ ඉහළ ගිය බඩු මිල ඒ මට්ටමේම තිබෙනවා. 

බඩු මිල 70%ක් තරම් විශාල ලෙස ඉහළ ගියා කියන එකෙන් රටේ සියල්ලන්ගේම ජීවන තත්ත්වය අනුපාතිකව නරක අතට හැරුනා කියන එක අදහස් වෙන්නේ නැහැ. හාල්, එළවළු, මාළු මිල ඉහළ යනවා කියන්නේ ගොවීන්ගේ, ධීවරයන්ගේ ආදායමද අනුපාතිකව වැඩි වුනා කියන එක. සේවා සැපයුම් වල මිල ඉහළ යද්දී එම සේවා සපයන්නගේ ආදායම් ඉහළ යනවා. වැටුප් ලබන්නන්ගේ ආදායම් ඒ විදිහට සෘජුවම වැඩි වෙන්නේ නැතත්, අවිධිමත් රැකියා කරන්නන්ගේ වගේම පෞද්ගලික අංශයේ විධිමත් රැකියා කරන අයගේත් වැටුප් යම් තරමකින් හෝ වැඩි වී තිබෙනවා. ඒ අයගෙන් සමහර අයට විට බදු වැඩි වීමේ අවාසිය ඊට වඩා වැඩි ඇති. කොහොම වුනත් වියදම් ඉහළ යද්දී ආදායමේද කවර හෝ ගැලපීමක් වෙලා තියෙනවා.

රාජ්‍ය සේවකයින් හා අදාළව ඉහත කී ආදායම් ගැලපීම වුනේ නැහැ. මේ පදනම මත රාජ්‍ය සේවක වැටුප් වල යම් වැඩි කිරීමක් සාධාරණීකරණය කරන්න පුළුවන්. රාජ්‍ය සේවය විශාල කිරීම හා ඉන්න රාජ්‍ය සේවකයින්ගේ වැටුප් තරමක් වැඩි කිරීම කියන්නේ එකක්ම නෙමෙයි. අනෙක් පැත්තෙන් මේ යෝජනාව දේශපාලනික අරමුණක් ඇතුව ඉදිරිපත් කරන එකක් කියලා කෙනෙකුට කියන්නත් පුළුවන්. 

හේතුව කුමක් වුනත්, රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්නනම් ඒ වියදම හොයා ගන්නත් වෙනවා. ප්‍රායෝගිකව මේක කරන්න වෙන්නේ බදු වැඩි කරලා. ඒ නිසා, මේ වෙන්න යන්නේ බදු තවත් වැඩි කරලා රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් කියා විග්‍රහ කරන්නත් පුළුවන්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ වැඩ පිළිවෙළක් ඇතුළේ මේ දේවල් මේ විදිහට වෙන්නේ ඇයි?

රටක රජයක් කොයි තරම් විශාල මට්ටමක පවත්වා ගන්නවද කියන එක ආර්ථික විද්‍යාවෙන් එහාට ගිය දේශපාලනික කරුණක්. සමාජවාදී ආර්ථික ක්‍රමය පැත්තකින් තියලා, ධනවාදී ආකෘතිය ඇතුළෙන් පමණක් බැලුවත් රජය විශාල කිරීම හා කුඩා කිරීම අතර ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ දේශපාලනික බෙදීමක්. රජයක් විශාල වෙද්දී නාස්ති, දූෂණ, අකාර්යක්ෂමතා වැඩි වීමේ විභවයද ඉහළ යනවා. තරඟකාරිත්වය කෙරෙහි වගේම ඒ හරහා දිගුකාලීන ආර්ථික වර්ධනය කෙරෙහිත් අහිතරකර බලපෑම් ඇති වෙන්න පුළුවන්. හැබැයි රජයක් විශාල වූ පමණින්ම රාජ්‍ය මූල්‍ය අස්ථාවරත්වයක් ඇති වෙලා ලංකාවේ ඇති වුනු ආකාරයේ අර්බුදයක් ඇති වෙන්නේ නැහැ.

සාමාන්‍ය මූලධර්මයක් විදිහට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් විශාල රජයක් පවත්වා ගෙන යනවා. නමුත් ඒ විශාල රාජ්‍ය යාන්ත්‍රනය නඩත්තු කරන්න අවශ්‍ය බදු ආදායම හොයා ගන්නවානම් රජය හෝ රට අස්ථාවර වෙන්නේ නැහැ. ඒ කියන්නේ බදු ලෙස එකතු කර ගන්න කොටස වැඩියි. අනෙක් පැත්තෙන් නවලිබරල් ලෙස හඳුන්වන දේශපාලන ප්‍රතිපත්ති හරහා ඉලක්ක කරන්නේ අඩු බදු ප්‍රමාණයකින් නඩත්තු කළ හැකි කුඩා රජයක්. ඔය දෙපැත්තෙන් කොයි පැත්තට ගියත් බදු ආදායම් හා රාජ්‍ය වියදම් ගැලපෙනවානම් ලංකාවේ වුනා වගේ අවුලක් වෙන්නේ නැහැ.

රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය නැති වෙලා රටක ආර්ථිකය අවුලට යන්නේ රජයක් දිගින් දිගටම ආදායම් ඉක්මවා වියදම් කරද්දී. ලංකාවේ වුනේ ඒක. ඒ වගේ අර්බුදයකට ගියාට පස්සේ නැවත රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය ඇති කරගන්නනම් එක්කෝ බදු ආදායම් වැඩි කරගන්න වෙනවා. නැත්නම් රාජ්‍ය වියදම් අඩු කරන්න වෙනවා. බොහෝ විට ඔය දෙකේ යම් මිශ්‍රණයක් තෝරා ගන්න වෙනවා. මිශ්‍රණය කුමක්ද කියන එක දේශපාලනික කරුණක්. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වන වැඩ පිළිවෙළක ඉලක්කය රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම. එතැනදී වැදගත් වෙන්නේ රාජ්‍ය මූල්‍ය ස්ථාවරත්වය මිසක් කලින් කියපු මිශ්‍රණය කුමක්ද කියන එක නෙමෙයි. ආදායම් වැඩි කරගෙන වගේම වියදම් අඩු කරගෙනත් ඉලක්කයට යන්න පුළුවන්.

මේ වසරේ පළමු මාස හය සැලකුවොත් ශ්‍රී ලංකා රජය ඉලක්ක කළ බදු ආදායම් එකතු කරගෙන තිබුණේ නැහැ. නමුත්, වියදම් ප්‍රමාණය ඉලක්කයට වඩා සෑහෙන තරමකින් අඩු කර ගැනීම මගින් ප්‍රාථමික අයවැය ශේෂ ඉලක්කය අවශ්‍ය තරමටත් වඩා හොඳින් ළඟා කර ගත්තා. අරමුදල විසින් බදු ආදායම් ඉලක්කයක් දීලා තිබුනේ ඒ මගින් ප්‍රාථමික අයවැය හිඟය සීමා කරවන්න. බදු ආදායම ඉලක්කයට ගියේ නැතත්, අවසාන වශයෙන් රාජ්‍ය වියදම් සීමා කිරීම නිසා ප්‍රාථමික අයවැය හිඟය ප්‍රාථමික අයවැය අතිරික්තයක් වුනා. ඒ කියන්නේ අතරමැදි ඉලක්කය ලඟා කරගෙන නැතත් අවසාන ඉලක්කයට ගිහින්. 

ඉහත තත්ත්වය හමුවේ අරමුදලේ පළමු සමාලෝචනයේදී රජයේ බදු ආදායම් ඉලක්ක ලඟා කර නොගැනීම ලොකු ප්‍රශ්නයක් කරගන්න හේතුවක් තිබුණේ නැහැ. නමුත් මොන හේතුවක් නිසා හෝ අරමුදල මේ ඉලක්කය මග හැරීම ගැන අනවශ්‍ය බරක් තියා තිබෙනවා. ඒ නිසා, රජයට යම් බදු වැඩි කිරීමක් කර ඉලක්කයට යන්න වෙනවා. වැට් වැඩි කරන්න යනවා ඇත්තේ ඒ නිසා.

කොහොම වුනත් රජය ආදායම් හා වියදම් තුලනය කරගෙන තිබුණු නිසා බදු වැඩි කරගෙන ආදායම් වැඩි කර ගනිද්දී තරමක් වැඩියෙන් වියදම් කරන්න අවකාශයකුත් ඇති වෙනවා. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ යෝජනාව එනවා ඇත්තේ ඒ අවකාශය ඇතුළේ. 

යම් තරමකින් මෙහිදී වෙන්නේ ගිණුම් එහා මෙහා වීමක්. සරසවි ඇදුරන් වැනි සාපේක්ෂව ඉහළ වැටුප් ගන්න අයගේ වැටුප් ඉහළ ගියොත් එයින් කොටසක් ආදායම් බදු විදිහට නැවත රජයටම ලැබෙනවා. ආදායම් බදු නොගෙවන රාජ්‍ය සේවකයෝ සැලකුවත් වැට් වගේ බදු හරහා වැඩි කරන වැටුප් වලින් සැලකිය යුතු කොටසක් රජයට ආපහු එනවා. ඒ නිසා, මේ සැලසුම ඇතුළේ වියදම් වැඩි කර ආදායම් වැඩි කර ගැනීමකුත් තරමක් දුරට තියෙනවා. කොහොම වුනත් මුදල් සංසරණය වැඩි වීම නිසා ආර්ථික වර්ධනය කෙරෙහි සිදු විය හැකි යම් බලපෑමක් හැර මේ වැඩෙන් රාජ්‍ය මූල්‍යනයෙහි ශුද්ධ වශයෙන් ලොකු වෙනසක් වෙන්නේ නැහැ. වැදගත් කරුණ රජය මේ වගේ තැනකට තල්ලු කරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන එක.

සමහර අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධව කරන විවේචනයක් වන්නේ නව ලිබරල් ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටිනවා කියන එක. මේ වෙලාවේ අරමුදල කරලා තියෙන දේ දිහා බැලුවොත්නම් පැහැදිලිව දැකිය හැක්කේ හරියටම අනෙක් පැත්ත. අරමුදල විසින් බදු තවත් වැඩි කර වියදම් වැඩි කරන තැනකට රජය තල්ලු කරන්නේ රජයේ ආදායම් හා වියදම් කොහොම හරි ගලපාගෙන අවශ්‍ය අවසාන ඉලක්කයට ගියාටත් පස්සේ. 

Wednesday, June 7, 2023

ඇමරිකාවේ බදු කපන හැටි...

පහත රූප සටහනේ තිබෙන්නේ ඇමරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ ආදායම් හා වියදම්. සාමාන්‍යයෙන් ප්‍රාන්ත රජය ආදායම් හා වියදම් තුලනය කර ගන්නවා. ආර්ථික අවපාතයක් හෝ වෙනත් ආපදාවක් ඇති වූ විටෙක අනපේක්ෂිත ලෙස බදු ආදායම් පහළ ගොස් වියදම් තරමට ආදායම් එකතු කර ගන්න බැරි වෙනවා. 2010 හා 2020 එවැනි වසර දෙකක්.


මේ ආකාරයෙන් ආදායම ඉක්මවා වියදම් කරන්නට සිදු වූ අවස්ථාවක ප්‍රයෝජනයට ගැනීම සඳහා ආපදා අරමුදලක් නඩත්තු කරනවා. සාමාන්‍ය වසරකදී මෙම ආපදා අරමුදලට බැර කෙරෙන මුදල් සටහන් වන්නේද වියදම් ලෙසයි. ඊට අමතරව අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් සඳහා වන අරමුදල් දෙකක වෙනම සංචිත පවත්වා ගැනෙනවා. ප්‍රස්ථාරයේ බොහෝ වසර වලදී දැකිය හැකි අයවැය අතිරික්තය යනු ඉහත අරමුදල් තුනටම මුදල් වෙන් කර අනෙකුත් සියලු වියදම් දැරීමෙන් පසු අතිරික්තයයි. එම අතිරික්තය එකතු වන්නේ පොදු සංචිත අරමුදලේ. 

ප්‍රාන්ත රජයේ ඉලක්කය වන්නේ වාර්ෂික ආදායමෙන් 10%-12% පරාසය තුල සංචිත පවත්වා ගැනීමයි. යම් හේතුවකින් ඉදිරි වසරක ආදායම් අනපේක්ෂිත ලෙස පහළ ගියහොත් ප්‍රයෝජනයට ගැනීම සඳහා මෙවැනි මට්ටමක සංචිත පවත්වා ගැනීම ප්‍රමාණවත්. 


පසුගිය දෙවසර තුළ පැවති ඉහළ උද්ධමනය නිසා ඉන්දියානා ප්‍රාන්ත රජයේ ආදායම් අනපේක්ෂිත ලෙස ඉහළ ගියා. ආදායමෙන් කොටසක් දෙවරකට බදු ගෙවන්නන් අතර බෙදා දීමෙන් පසුවද පොදු සංචිත ප්‍රමාණය ඉලක්ක මට්ටම ඉක්මවා ඉහළ ගොස් තිබෙනවා (දෙවන රූපය බලන්න). මේ අයුරින් ඕනෑවට වඩා සංචිත එකතු වීම නිසා අතිරික්ත සංචිත අඩු කර ගැනීමේ අවශ්‍යතාවයක් ඇති වී තිබෙනවා. මෙය කරන්න යන්නේ වියදම් වැඩි කිරීම මගින් නෙමෙයි. 

ප්‍රශ්නයට විසඳුමක් ලෙස ප්‍රාන්ත රජය විසින් දැනට 3.15%ක් වන ප්‍රාන්ත ආදායම් බදු අනුපාතිකය 2024දී 3.05% දක්වා සහ ඉන්පසු වසරකට 0.05% බැගින් අඩු කර 2027 වන විට 2.90% දක්වා අඩු කිරීමට යෝජිතයි. 

Thursday, March 23, 2023

මේ අවුරුද්දේ ගෙවිය යුතු ණය සහ රනිල් වික්‍රමසිංහ

 


ගෙවුණු 2022 වසර අවසාන වෙද්දී ලංකාවේ රාජ්‍ය අංශයේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 83,595ක්. රුපියල් බිලියන 30,355ක්. මේවා හරියටම ගණන්. මෙයින් ඩොලර් මිලියන 76,758ක් (රුපියල් බිලියන 27,872ක්) මධ්‍යම රජයේ ණය . ඉතිරි කොටස රාජ්‍ය සංස්ථා වල සහ මහ බැංකුවේ ණය. 

පහත තියෙන්නේ පොලී ගෙවීම්ද ඇතුළත්ව ඉහත ණය ප්‍රමාණයෙන් 2023 වසර තුළ ආපසු ගෙවිය යුතු ණය ප්‍රමාණය. ඒ කියන්නේ 2023 වසරේ ණය සේවාකරණ අවශ්‍යතාවය. පැහැදිලිව මතක තියාගන්න මේ 2023 වසර තුළ ගෙවිය යුතු ප්‍රමාණය පමණයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට - ඩොලර් මිලියන 212යි 

ලෝක බැංකුවට - ඩොලර් මිලියන 284යි 

ආසියානු සංවර්ධන බැංකුවට - ඩොලර් මිලියන 521යි 

අනෙකුත් බහුපාර්ශ්වීය ණය දෙන ආයතන වලට - ඩොලර් මිලියන 63යි.

බහුපාර්ශ්වීය ණය දෙන ආයතන වලට වසර තුළ ගෙවිය යුතු මුළු මුදල - ඩොලර් මිලියන 1,080යි 


ජපානයට - ඩොලර් මිලියන 197යි 

පැරිස් සංසදයේ අනෙකුත් රටවලට - ඩොලර් මිලියන 276යි 

චීනයට -ඩොලර් මිලියන 596යි 

ඉන්දියාවට - ඩොලර් මිලියන - 653යි 

පැරිස් සංසදයට අයත් නැති අනෙක් රටවලට - ඩොලර් මිලියන 33යි 

වසර තුළ ගෙවිය යුතු ද්විපාර්ශ්වීය ණය හා පොලී එකතුව - ඩොලර් මිලියන 1,755යි 


ස්වෛරිත්ව බැඳුම්කර - ඩොලර් මිලියන 2,010යි 

චීන සංවර්ධන බැංකුවට - ඩොලර් මිලියන 477යි 

අනෙකුත් වාණිජ ණය - ඩොලර් මිලියන 2යි. 

වාණිජ ණය එකතුව - ඩොලර් මිලියන 2,489යි 


ඉන්දියාව සමඟ මුදල් හුවමාරු ගිවිසුම - ඩොලර් මිලියන 400යි 

බංග්ලාදේශය සමඟ මුදල් හුවමාරු ගිවිසුම - ඩොලර් මිලියන 200යි 

චීනය සමඟ මුදල් හුවමාරු ගිවිසුම - ඩොලර් මිලියන 1,433යි 

මුදල් හුවමාරු ගිවිසුම් එකතුව - ඩොලර් මිලියන 2,033යි 


වෙනත් රටවල නීති යටතේ ලබාගෙන ඇති ණය වෙනුවෙන් වසර තුළ ගෙවිය යුතු මුළු ණය වාරික හා පොලී මුදල - ඩොලර් මිලියන 7,356යි. 

මෙම මුදල ගෙවිය යුතුව තිබෙන්නේ වෙනත් රටක නීතියක් යටතේ බැවින් ලංකාවට ඒක පාර්ශ්වීයව මෙම ණය මුදල නොගෙවා සිටීමේ හැකියාවක් නැහැ. ණය නොගෙවා සිටිය හැක්කේ ද්විපාර්ශ්වික එකඟත්වයක් මගින් පමණයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියක් තුළ සිදු වන්නේ එයයි. 

ඉහත මුදලින් ඩොලර් මිලියන 2,506ක් ගෙවිය යුතුව ඇත්තේ චීනයටයි. ඉන්දියාවට ඩොලර් මිලියන 1,053ක් ගෙවිය යුතුයි. (ඉන්දියාවට ගෙවිය යුතු ඩොලර් බිලියන 2ක පමණ ආසියානු නිෂ්කාශන සංගම් පියවීම් මෙම ගණනට ඇතුළත් නැහැ.)


දේශීය නීතිය යටතේ ලබාගෙන ඇති ණය:

වසර තුළ භාණ්ඩාගාර බිල්පත් කල්පිරීම් - ඩොලර් මිලියන 10,404යි 

බැඳුම්කර කල් පිරීම් හා කූපන් පොලී - ඩොලර් මිලියන 6,106යි 

අනෙකුත් ණය - ඩොලර් මිලියන 3,862යි 

දේශීය නීතිය යටතේ වසර තුළ ගෙවිය යුතු ණය වාරික හා පොලී වියදම් එකතුව - ඩොලර් මිලියන 20,372යි.


දේශීය නීතිය යටතේ සහ වෙනත් රටවල නීති යටතේ ලබාගෙන ඇති ණය වෙනුවෙන් වසර තුළ ගෙවිය යුතු මුළු ණය වාරික හා පොලී මුදල - ඩොලර් මිලියන 27,727යි. 


මෙම මුදල රුපියල් වලින් රුපියල් බිලියන 10,065ක්.


වසර තුළ අපේක්ෂිත මුළු රාජ්‍ය ආදායම:

බදු ආදායම - රුපියල් බිලියන 3,005යි 

බදු නොවන ආදායම - රුපියල් බිලියන 263යි 

ප්‍රදාන - රුපියල් බිලියන 12යි 

එකතුව - රුපියල් බිලියන 3,280යි 


ඇස්තමේන්තුගත වියදම්:

රාජ්‍ය සේවක වැටුප් - රුපියල් බිලියන 1,012යි 

භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් - රුපියල් බිලියන 300යි 

සහනාධාර - රුපියල් බිලියන 1,104යි 

ප්‍රාග්ධන වියදම් - රුපියල් බිලියන 1,073යි 

පොලී ගෙවීම් හා ණය ගෙවීම් හැර මුළු වියදම - රුපියල් බිලියන 3,489යි


වසර තුළ වියදම් වෙනුවෙන් අරමුදල් අවශ්‍යතාව - රුපියල් බිලියන 209යි.

මම හිතන්නේ දැන් තත්ත්වය පැහැදිලි ඇති. මේ වසරේ රජයේ වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 209ක් ණයට අරගෙන වියදම් කරන්න වෙනවා. ඊට අමතරව වසර තුළ ණය හා පොලී ගෙවන්න තවත් රුපියල් බිලියන 10,065ක් ණයට ගන්න වෙනවා.

වියදම පැත්තකින්ම තියමු. බදු වැඩි කරලා, රාජ්‍ය ආයතන විකුණලා අමාරුවෙන් එකතු කරගන්න රුපියල් බිලියන 3,280ක ආදායමකින් ණය නොගෙන රුපියල් බිලියන 10,065ක ණය වාරික හා පොලී ගෙවිය හැකි ක්‍රමය කාට හරි කියන්න පුළුවන්ද?

රාජ්‍ය සේවක වැටුප්, සහනාධාර, ප්‍රාග්ධන වියදම් ආදී සියල්ලම එක්ක රජයේ වියදම රුපියල් බිලියන 3,489යි. හොරකම්, දූෂණ ආදිය වෙනවානම් ඒ සියල්ල තියෙන්නේ ඔය ගණන ඇතුළේ. හොරකම්, දූෂණ නවත්වලා ණය නොගෙන රුපියල් බිලියන 10,065ක ණය වාරික හා පොලී ගෙවිය හැකි ක්‍රමය කාට හරි කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් වියදම් කපලා ඔය වැඩේ කරන විදිහ කාට හරි කියන්න පුළුවන්ද?

සමහර අය තවමත් සිහින ලෝක වල හිටියට ඕවා සුරංගනා කතා පමණයි. ප්‍රායෝගිකව නෙමෙයි සෛද්ධාන්තිකවවත් කරන්න බැහැ. කරන්න පුළුවන් එකම දෙය ක්‍රමයෙන් ආදායම් වැඩි කරගෙන, ආදායම හා ගැලපෙන තරමට වියදම් කරමින් ණය ගෙවන්න කීයක් හෝ ඉතිරි කරගන්න එක. එතෙක් දිගටම ණය ගන්න වෙනවා. ඒ වගේම, ගෙවාගන්න බැරි ණය ගෙවන්න කල් ඉල්ලාගන්න වෙනවා. ඕක තමයි අවුරුදු 75ක සමාජවාදී හා ආරක්ෂණවාදී ආර්ථික ප්‍රතිපත්ති වල අවසාන ප්‍රතිඵලය. 

කොයි තරම් කාලයකටද? 

අඩුම වශයෙන් අවුරුදු 25ක්වත් යනතුරු ඔය ණයෙන් ගොඩ එන්න බැහැ. පුළුවන්නම් ක්‍රමය කියන්න. එහෙම හරි ගොඩ එන්න පුළුවන් මේ වගේ සැලසුම්සහගත වැඩපිළිවෙලක් එපමණ කාලයක් එක දිගට ක්‍රියාත්මක කළොත් පමණයි. එහෙම නැත්නම් වෙන්නේ මේ වැටුණා වගේ කිහිප ගුණයක් විශාල අගාධයකට වැටෙන එක පමණයි.

මම හිතන්නේ මේ තරම් පුළුල් ස්ථායීකරණ වැඩපිළිවෙළක් මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම වුනත් ලංකාව වෙනුවෙන් හදලා නැහැ. එහෙම හදන්න තරම් අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. කලින් වාර වල තිබුණේ අවුරුදු හතර පහකින් ගොඩදාගන්න පුළුවන් තාවකාලික ප්‍රශ්න. 

දැන් තත්ත්වය කලින් වාර වල මෙන් සැහැල්ලුවට ගන්න පුලුවන් එකක් නෙමෙයි. මෙවර කලින් වාර වල මෙන් අරමුදලට තනියම රට ස්ථායී කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ වැඩේට බටහිර රටවල, චීනයේ, ඉන්දියාවේ උදවුව අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. මේ සැරෙත් මේ ස්ථායීකරණ ක්‍රියාවලියෙන් පිට පැන්නොත් එහෙමවත් ගොඩදාන්න පුළුවන් ක්‍රමයක් හදාගන්න බැරි වෙනවා. සහසුද්දෙන්ම කතාව ඕකයි. 

සමහර අය මෙම ස්ථායීකරණ වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා එක්ක අනන්‍ය ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අය වාමාංශික අදහස් දරන අය බවයි පෙනෙන්නේ. මේක රනිල් හදපු එකක් නෙමෙයි. රනිල්ට හෝ වෙනත් තනි පුද්ගලයෙක්ට හදන්න පුළුවන් වැඩපිළිවෙළකුත් නෙමෙයි. පසුව යම් යාවත්කාලීන කිරීම් කර ඇතත් මහ බැංකුව, මුදල් අමාත්‍යාංශය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් බාහිර උපදේශකයින් සම්බන්ධ වෙලා මේ වැඩපිළිවෙළ සකස් කළේ වසරකට පමණ පෙරයි. 

ඒ වගේම, මේක රනිල් වික්‍රමසිංහට හෝ කවුරු හෝ රටේ ජනාධිපතිවරයාට තනිව ක්‍රියාත්මක කළ හැකි වැඩපිළිවෙළකුත් නෙමෙයි. මහ බැංකුව ඇතුළු සමස්ත රාජ්‍ය යාන්ත්‍රනය, බැංකු පද්ධතිය, ව්‍යාපාරික ප්‍රජාව, බාහිර පාර්ශ්වයන් මෙන්ම සාමාන්‍ය මහජනතාවටද මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම තුළ යම් කාර්යභාරයක් තිබෙනවා. එහෙම නැතුව වැඩපිළිවෙලක් තිබුණු පමණින් සියල්ල හරියන්නේ නැහැ. හැබැයි හරියන්න හෝ වැරදෙන්න පළමුව නිවැරදි වැඩපිළිවෙලක් අවශ්‍යයි. දැන් ඒක තිබෙනවා. 

වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහගේ නොවුනත් ඔහු මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් සෘජු ලෙස පෙනී සිටිනවා වගේම එය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැපවීමක් පෙන්වනවා. සමහර අය මෙම වැඩපිළිවෙළ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා එක්ක අනන්‍ය ලෙස දකින්නේ ඒ නිසා වෙන්න ඇති. 

සමගි ජන බලවේගය විසින් මෑතකදී ඔවුන්ගේ වැඩපිළිවෙළ කියා එකක් ඉදිරිපත් කළා. කලින් ඉදිරිපත් කළ එකම යාවත්කාලීන කිරීමක්. දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරන මේ වගේ ප්‍රතිපත්ති රාමුවක් කවදාවත් අරමුදල විසින් සකසා ඇති ආකාරයේ විස්තරාත්මක සැලසුමක් වෙන්නේ නැහැ. එහෙම වෙන්න අවශ්‍යත් නැහැ. 

මේ වගේ සංකීර්ණ තාක්ෂනික කටයුත්තක් කළ හැකි අය ලංකාවේ කිසිම දේශපාලන පක්ෂයක නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය නැතිව මහ බැංකුවට වුනත් තනිව මේ වගේ දෙයක් කළ හැකියි කියා මම හිතන්නේ නැහැ. වැඩපිළිවෙළ මුළුමනින්ම තේරුම් ගන්න පුළුවන් අය වුනත් ඔය දේශපාලන පක්ෂ ඇතුළේ ඉන්නවානම්, ඔවුන්ගේ බාහිර උපදේශකයින්ද ඇතුළුව, එක අතක ඇඟිලි ගණනට වඩා අඩුවෙන්. සමහර දේශපාලන පක්ෂ වලනම් කවුරුවත්ම නැහැ. දේශපාලන පක්ෂයකට කරන්න පුළුවන් ඔවුන්ගේ පක්ෂයේ දේශපාලන දර්ශනය මත පදනම් වූ, වැඩපිළිවෙළකට පාදක කරගත හැකි, කතාවක් ඉදිරිපත් කරන එක පමණයි. 

සමගි ජන බලවේගයේ වැඩපිළිවෙළ එවැනි කතාවක්. ඒ කතාව මත පදනම්ව ස්ථායීකරණ වැඩපිළිවෙළක් හදන්න පුළුවන්. මේ වන විට හදා තිබෙන වැඩපිළිවෙළ සජබ කතාව මත පදනම්ව හැදිය හැකි ආකාරයේ එකක්. නමුත්, සජබ කතාව සමග ගැලපෙන පරිදි හැදිය හැකි එකම වැඩපිළිවෙළ නෙමෙයි. ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ කතාව හා ගැලපෙන තරමක් වෙනස් වැඩපිළිවෙළක් වෙන්න පුළුවන්. ඒක එහෙමනම්, ඒ වෙනස් විය යුතු තැන් මොනවාද කියා පැහැදිලිව කියන එක ඒ අයගේ වැඩක්.

ඒ කතාව හා මේ කතාව හැර වෙනත් කතා ඇත්නම් ඒවා සුරංගනා කතා පමණයි. අසංගත සුරංගනා කතා මත පදනම්ව සංගත වැඩපිළිවෙළක් කවදාවත් හදන්න බැහැ.

දූෂණය වැළැක්වීම අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන වැඩපිළිවෙළේ මූලික ඉලක්ක වලින් එකක්. සාමාන්‍යයෙන් අරමුදලේ වැඩ සටහනක දූෂණය වැළැක්වීම ප්‍රමුඛ ඉලක්කයක් ලෙස හඳුනාගන්නේ නැහැ. ඒ වගේම, පීඩාවට පත් වන අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීම මෙහි ප්‍රමුඛ අංගයක් එය අරමුදලේ වැඩසටහන් තුළ හැමවිටම සිදුවන දෙයක් නෙමෙයි. රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා ධනවතුන්ගේ ධනය මත ධන බද්දක් හඳුන්වා දීමට නියමිතයි. මෙය දක්ෂිණාංශික මතධාරීන් විසින් දැඩි ලෙස විවේචනය කරන දෙයක්. දිගුකාලීනව ආර්ථික වර්ධනය අඩුවීමට හේතු වන දෙයක්. එහෙත් ඒ මගින් ආදායම් විෂමතා අඩු කළ හැකියි. අරමුදලේ වැඩ සටහන හදද්දී මේ වගේ වෙනම පැත්තකට ගිහින් තියෙන්නේ ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් මත පදනම්ව විය යුතුයි. 

දූෂණය වැළැක්වීම කළ යුතුම දෙයක් වුනත්, රටේ ආදායම මෙන් තුන් ගුණයකටත් වඩා වැඩි මුදලක් වසර තුළ ණය හා පොලී ලෙස ගෙවන්න තියෙද්දී බදු වැඩි නොකර, ණය නොගෙන දූෂණය වැළැක්වීමෙන් පමණක් ආර්ථිකය ස්ථාවර කරන්න බැහැ. ඒවා තනිකරම සුරංගනා කතා පමණයි. 

සමහර වාමාංශික අදහස් දරන අය මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකි එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ කියා හිතන බව පේනවා. තමන් සහයෝගය දෙන කණ්ඩායමට රට නැවත ස්ථායී කළ හැකි බවට කිසිම විශ්වාසයක් ඔවුන්ට නැති බවයි එයින් පෙනෙන්නේ. හැබැයි මමනම් එහෙම හිතන්නේ නැහැ. අවශ්‍ය කැපවීම තිබෙන ඕනෑම කණ්ඩායමකට මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙනියන්න පුළුවන්. එවැනි කැපවීමක් තිබෙනවානම් ඒ බව ප්‍රදර්ශනය කළ යුතු අවස්ථාව මේකයි. එහෙම නැත්නම් එයින් අදහස් වන්නේ ඒ අයගේ අවසාන ඉලක්කය රටේ ආර්ථිකය ස්ථායී වීම වලක්වා විශාල විනාශයකට පාර කැපීම කියන එකයි. ඇතැම් අයට එවැනි ඉලක්ක තිබීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි.

සමහර අය හිතාගෙන ඉන්නේ ලංකාවට තවත් වැටෙන්න තැනක් නැහැ කියලයි. එය මිථ්‍යාවක්. ඔය වැටුනා වගේ කිහිප ගුණයක් නරක තැනකට රට වැටෙන්න පුළුවන්. අප ලියා පළ කරන දේවල් පසුව ඉවත් කරන්නේ නැහැ. නමුත්, කාට හෝ සැකයක් තිබේනම් ස්ක්‍රීන්ෂොට් අරගෙන තියාගන්න. 

Thursday, February 16, 2023

ආණ්ඩුවට ඇත්තටම සල්ලි නැද්ද?


රජය සතුව ප්‍රමාණවත් අරමුදල් නැතිවීම මේ වෙද්දී පළාත් පාලන මැතිවරණ පැවැත්වීම කෙරෙහි බලපා තිබෙනවා. මේ ගැන දැනට වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ. කෙටියෙන් කියන්න තියෙන්නේ මැතිවරණ කල් දැමීම රටේ ආර්ථික ස්ථායීත්වය කෙරෙහි ඇතැම් විට කෙටිකාලීනව වාසිදායක බලපෑමක් කළ හැකි වුවත්, එහි දිගුකාලීන බලපෑම කිසිසේත්ම හොඳ එකක් නොවනු ඇති බවයි. ඒ වගේම, මෙය ඉතා නරක පූර්වාදර්ශයක් බවයි. මැතිවරණයෙන් පටන් ගත්තත්, ලිපිය ඒ ගැන නෙමෙයි. 

රජය සතුව අරමුදල් නැත්තේ ඇයි? රජය විසින් එකතු කර ගන්නා බදු මුදල් වලට වෙන්නේ කුමක්ද?

මේ ගැන කතා කරන්න කලින් රජයේ ආදායම ගැන කතා කර පටන් ගනිමු. දැනට විස්තරාත්මක සංඛ්‍යාලේඛණ තියෙන්නේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසය දක්වා පමණයි. පසුගිය වසරේ පළමු මාස නවය තුළ රජයේ ආදායම රුපියල් බිලියන 1,448.5ක්. 

මෙය පෙර වසර වලට සාපේක්ෂව හොඳ තත්ත්වයක්. 2020 වසර තුළ රජය විසින් ඉපැයූ ආදායම රුපියල් බිලියන 1,373.3ක් පමණයි. 2021දී රජයේ ආදායම තරමක් ඉහළ ගියත් එම වසර තුළ රජය ඉපැයූ ආදායමද රුපියල් බිලියන 1,463.8ක් පමණයි. මේ අනුව, 2022 පළමු මාස නවය තුළ පමණක් රජය විසින් 2020 වසරේ සමස්ත ආදායම ඉක්මවන සහ 2021 වසරේ සමස්ත ආදායමට ආසන්න ආදායමක් උපයා තිබෙනවා. 

කෙසේ වුවත් ඉහත ආදායම රජයේ වියදම් සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් වී නැහැ. වසරේ පළමු මාස නවය තුළ රජයේ වියදම රුපියල් බිලියන 2,694.8ක්. මෙම වියදමට පොලී ගෙවීම් ඇතුළත් වුවත් ණය ආපසු ගෙවීම් ඇතුළත් නැහැ. පහළින් තියෙන්නේ රජය ඉහත මුදල වැය කළ ආකාරයයි. වරහන් තුළ තියෙන්නේ අදාළ වියදම ආදායමෙන් කොපමණ ප්‍රතිශතයක්ද යන්නයි.

රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් = රුපියල් බිලියන 942.9 (65.1%)

පොලී ගෙවීම් = රුපියල් බිලියන 927.4 (64.0%)

අනෙකුත් වර්තන වියදම් = රුපියල් බිලියන 429.9 (29.7%)

අනෙකුත් ප්‍රාග්ධන වියදම් = රුපියල් බිලියන 394.6 (27.2%)

එකතුව = රුපියල් බිලියන 2,694.8 (186.0%)

ඔක්තෝබර් හා නොවැම්බර් දෙමස තුළ තවත් රුපියල් බිලියන 361.2ක් ආදායම් ලෙස එකතු වී ඇතත්, රුපියල් බිලියන 644.8ක වර්තන වියදමක් හා රුපියල් බිලියන 71.4ක ප්‍රාග්ධන වියදමක් දරන්නට සිදු වී තිබෙනවා. වර්තන වියදම් ඉහළ යාමට හේතුව පොලී අනුපාතික ඉහළ යාම විය යුතුයි. මේ අනුව, එම දෙමස තුළ වියදම ආදායම මෙන් 198%ක්. 

ඉහත අරමුදල් හිඟය පියවා ගැනීමට අමතරව, ණය ආපසු ගෙවීම සඳහාද සැලකිය යුතු මුදලක් අළුතෙන් ණය ලෙස ලබා ගත යුතු නිසා, පොලී වියදම් නොදරා සිටිය නොහැකියි. පොලී වියදම් වලට අමතරව විශාලම වියදමක් වන්නේ තවමත් කප්පාදු කර නැති රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් කොටසයි. ප්‍රාග්ධන වියදම් වලින් සැලකිය යුතු කොටසක් කලින් ඇති කරගත් එකඟතා මත ලැබෙන ණය නිසා බොහෝ විට එම අරමුදල් වෙනත් කටයුතු සඳහා වැය කිරීමේ හැකියාවක් නැහැ. අනෙකුත් වර්තන වියදම් වලින් වැඩි කොටසක් වෛද්‍ය සැපයුම් (ඖෂධ), සමෘද්ධි දීමනා ඇතුළු සහනාධාරයි. 

පසු ගිය වසරේ මුල් මාස නවය තුළ පැවති තත්ත්වය අනුව, පොලී වියදම් ඉවත් කළද, ආදායම මෙන් 122%ක මුදලක් වැය වී තිබෙනවා. පොලී ගෙවීම සඳහා නැවත ණය ගැනීම තිරසාර ලෙස කළ හැකි වුවත්, ණය හා පොලී ගෙවීම් හැර රජයේ අනෙකුත් වියදම් වෙනුවෙන් දිගින් දිගටම දේශීය වෙළඳපොළෙන් ණය ගැනීම තිරසාර ලෙස කළ හැකි දෙයක් නෙමෙයි. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් ඉක්මණින් ලැබුනොත් මෙම තත්ත්වය කළමණාකරණය කර ගත හැකි වුවත්, එසේ නොවුවහොත් මේ කාර්යය ඒ තරම් පහසු වන්නේ නැහැ. බදු ආදායම් වල යම් ඉහළ යාමක් සිදු විය හැකි වුවත්, එය එසේ නොවන්නේනම් ප්‍රතිඵලය විය හැක්කේ සාමාන්‍යයෙන් කැපිය නොහැකි වියදම්ද කපන්නට සිදු වීමයි. අරමුදල් නැතිකමින් මැතිවරණ ක්‍රියාදාමය පවා අඩපණ වී ඇති පසුබිමක, රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වුවද අපේක්ෂිත පරිදි නොලැබුණහොත් එය පුදුමයක් නෙමෙයි. 

Friday, February 3, 2023

රජය 6%කින් වියදම් කපයි!

 


මේ වන විට රජයේ වියදම් දැඩි ලෙස සීමා කරනු ලැබ ඇති අතර මහා භාණ්ඩාගාරයෙන් මුදල් නිදහස් කිරීම අත්‍යාවශ්‍ය වැය ශීර්ෂ කිහිපයකට සීමා කර තිබෙනවා. "වියදම් පාලනය" නමින් ඊයේ (පෙබරවාරි 2) දින භාණ්ඩාගාර ලේකම්ගේ අත්සනින් නිකුත් කර ඇති චක්‍රලේඛයකට අනුව, වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන වියදම්, වෛද්‍ය සැපයීම්, ණය සේවාකරණය ඇතුළු ප්‍රමුඛතාගත කර ඇති අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් භාණ්ඩාගාරය විසින් මුදල් නිදහස් කරන බව දැනුම් දී තිබෙනවා. මෙම නියමය කඩ කර බැඳීම් ඇති කර ගන්නා නිලධාරීන් විසින් අදාළ වියදම් වෙනුවෙන් පුද්ගලිකව වගකිවයුතු වෙනවා. 

මෙම චක්‍රලේඛය නිකුත් වන්නේ 2023 වසර සඳහා වෙන් කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන 6%කින් කපා හරිමින් මීට දින කිහිපයකට පෙර (ජනවාරි 27) නිකුත් කෙරුණු භාණ්ඩාගාර චක්‍රලේඛණයකට අමතරවයි. එම චක්‍රලේඛනය අනුව, සියලුම රාජ්‍ය අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු විසින් වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන වියදම්, වෛද්‍ය සැපයීම් හා ණය සේවාකරණ වියදම් හැර අනෙකුත් වියදම් අවම වශයෙන් 6%කින් කපා හැරිය යුතුයි. වැටුප් කපා නොහැරියත්, අතිකාල දීමනා සහ නිවාඩු දින සඳහා ගෙවීම්ද ඉහත කප්පාදුවට ලක් වෙනවා. 

ඉහත නියෝගය රාජ්‍ය අයවැයෙන් මූල්‍යනය වන පළාත් සභා ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන වලටද එක සේ බලපානවා. ඊට අමතරව, රාජ්‍ය අයවැයෙන් මූල්‍යනය නොවන රාජ්‍ය ආයතන වලටද මීට අනුරූප නියෝගයක් නිකුත් කිරීමට නියමිතයි. මීට අමතරව විදේශ පුහුණු හා සංචාර නැවැත්වීම, වාහන කුලියට හා බද්දට ගැනීම සීමා කිරීම ඇතුළු තවත් වියදම් කැපීමේ ක්‍රියාමාර්ග ගණනාවක් අදාළ චක්‍රලේඛයට ඇතුළත්.

මෙම (2023) වසර සඳහා පිළියෙළ කර සම්මත කර ගැනුණු අයවැය ඇස්තමේන්තු අනුව, අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 3,433ක්. ණය හා පොලී ගෙවීම්ද ඇතුළුව වියදම රුපියල් බිලියන 7,879ක්. එයින් රුපියල් බිලියන 3,245ක් ප්‍රාග්ධන වියදම් වන අතර ඉතිරි රුපියල් බිලියන 4,634 පුනරාවර්තන වියදම්. 

ඉහත ප්‍රාග්ධන වියදම් වලින් රුපියල් බිලියන 2,025ක් ණය වාරික. ඉතිරි ප්‍රාග්ධන වියදම් කොටස රුපියල් බිලියන 1,220ක් පමණයි. ඒ වගේම, පුනරාවර්තන වියදම් වලින් රුපියල් බිලියන 2,189ක් පොලී ගෙවීම්. ඉතිරි පුනරාවර්තන වියදම් ප්‍රමාණය රුපියල් බිලියන 2,445ක් පමණයි. 

වෙනත් විදිහකින් කිවුවොත්, රුපියල් බිලියන 7,879ක් වන ඇස්තමේන්තුගත රාජ්‍ය වියදම් වලින් රුපියල් බිලියන 4,214කම ණය වාරික හා පොලී ගෙවීම්. රජයට ඇත්තටම වියදම් කළ හැකි කොටස රුපියල් බිලියන 3,665ක් පමණයි. ප්‍රාථමික අයවැය හිඟය ලෙස හඳුන්වන්නේ මෙසේ ණය වාරික හා පොලී ගෙවීම් ඉවත් කිරීමෙන් පසු රජයේ ඉතිරි වියදම් හා රාජ්‍ය ආදායම් අතර වෙනසයි. අපේක්ෂිත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 3,433ක් වූ බැවින් මෙම වෙනස, එනම් ප්‍රාථමික අයවැය හිඟය, රුපියල් බිලියන 232ක් ලෙස ඇස්තමේන්තු කර තිබුණා. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම සඳහා සැපිරිය යුතු පළමු කොන්දේසිය වන්නේ ඉහත ප්‍රාථමික අයවැය හිඟය මීට වඩා ඉහළ යාමට ඉඩ නොදිය යුතු බවයි. ඇස්තමේන්තු පරිදි ආදායම් එකතු වේනම් හා වියදම් ඇස්තමේන්තු ඉක්මවා නොයන්නේනම් මේ කොන්දේසිය සපුරා ගැනීම අසීරු නැහැ. එහෙත්, ඇස්තමේන්තු තරමටම බදු ආදායම් එකතු නොවීම ලංකාවට සාමාන්‍ය තත්ත්වයක්. එවිට ඇස්තමේන්තුව ඉක්මවා ප්‍රාථමික අයවැය හිඟය ඉහළ යනවා. මෙම වෙනස පියවෙන්නේ වැඩියෙන් ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම මගින්.

මේ වන විට අරමුදලේ සහාය නැතිව රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීම අසීරු නිසාත්, අරමුදල සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතාවය අනුව ප්‍රාථමික අයවැය හිඟය ඉහළ යාමට ඉඩ දිය නොහැකි නිසාත්, ඇස්තමේන්තු පරිදි ආදායම් එකතු නොවන විට ඊට අනුරූපව වියදම්ද කපා හැරීමට සිදු වෙනවා. දැන් සිදුව ඇත්තේ එයයි. 

මේ අනුව, වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන වියදම්, වෛද්‍ය සැපයීම් හා ණය සේවාකරණය තව දුරටත් සිදු වනු ඇතත්, රජයේ අනෙකුත් වියදම් වෙනුවෙන් මුදල් වෙන් කිරීම මේ වන විට මුළුමනින්ම මෙන් නවතා තිබෙනවා. රජයට භාණ්ඩ හා සේවා සැපයීම ප්‍රධාන ආදායම් මාර්ගය කරගත් පෞද්ගලික ආයතන වලටද මෙයින් මරු පහරක් වදිනවා. මේ තත්ත්වය ඉක්මණින් වෙනස් වීමේ ඉඩක් පෙනෙන්නට නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබුණද, නොලැබුණද, මින් පසු ශ්‍රී ලංකා රජයට පෙර මෙන් අත දිග කර වියදම් කිරීමේ හැකියාවක් දැන් නැහැ. ආණ්ඩුව මාරු වුනත්, මේ තත්ත්වය වෙනස් වෙන්නේ නැහැ. 

Sunday, December 25, 2022

අයවැය කළමනාකරණයේ දිශානතිය

සැප්තැම්බර් 30 දිනෙන් අවසන් වූ 2022 තෙවන කාර්තුව තුළ 2021 තෙවන කාර්තුවට සාපේක්ෂව රාජ්‍ය ආදායම් 57.6%කින් වර්ධනය වී තිබෙනවා. තෙවන කාර්තුවේදී රටේ මූර්ත ආර්ථිකය 11.8%කින් හැකිලුනත්, 64.7%ක් වූ උද්ධමනයේ බලපෑම නිසා නාමික දළ දේශීය නිෂ්පාදිතය 45.2%කින් ඉහළ ගියා. මෙම තත්ත්වය තුළ, නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට අනුරූපව රාජ්‍ය ආදායම් ඉහළ යාම ස්වභාවික ලෙසම සිදු විය යුතු දෙයක්. ඉතිරි කොටස බදු ප්‍රතිපත්ති වෙනස් වීමේ ප්‍රතිඵලයක් සේ සැලකිය හැකියි.

නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට අනුරූපව රාජ්‍ය ආදායම් මෙන්ම රාජ්‍ය වියදම්ද ඉහළ යාම සාමාන්‍ය තත්ත්වයයි. එහෙත්,  2022 තෙවන කාර්තුව තුළ 2021 තෙවන කාර්තුවට සාපේක්ෂව රාජ්‍ය වියදම් වල 1.4%ක සුළු අඩුවීමක් දැකිය හැකියි. විදේශ ණය හා පොලී නොගෙවා පැහැර හැර තිබීම මෙයට හේතුවක් විය හැකි වුවත්, දේශීය ණය පොලී අනුපාතික විශාල ලෙස ඉහළ ගොස් තිබීම නිසා වියදම් මත ඇති වී තිබෙන පීඩනයද අප‍ට අමතක කළ නොහැකියි. ඒ අනුව, රාජ්‍ය වියදම් දැඩි ලෙස සීමා කිරීමක් පෙනෙන්නට තිබෙනවා.

ඉහත තත්ත්වයන් තුළ 2021 තෙවන කාර්තුවේදී රුපියල් බිලියන 548.0ක් වූ රාජ්‍ය අයවැය හිඟය 2022 තෙවන කාර්තුවේදී රුපියල් බිලියන 341.8 දක්වා 62.4%කින් පහත වැටී තිබෙනවා. ආර්ථික අර්බුදයෙන් ගොඩයාමටනම් මේ තත්ත්වය දිගටම පවත්වා ගන්නට සිදු වෙනවා.

Friday, November 25, 2022

ආරක්ෂක වියදම්


රජය කුඩා කිරීම වෙනුවෙන් මේ වෙද්දී සැලකිය යුතු ජනමතයක් තිබෙනවා. මේක අලුත් තත්ත්වයක්. විශේෂයෙන්ම ජවිපෙ වැනි සමාජවාදී ආකෘතියක ගොඩ නැගුනු පක්ෂයක් වහෙන් ඔරෝ නැතුව කෙළින්ම කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටින තැනකට තල්ලු කිරීමට ජනමතයේ මේ අලුත් හැරවුම සමත් වී තිබෙනවා. රනිල්ට කාලයක සිටම කරන්න අවශ්‍යව තිබුණා විය හැකි වුවත්, ප්‍රසිද්ධියේ කියන්න පුළුවන්කමක් නොතිබුණු ඇතැම් දේවල් ප්‍රසිද්ධියේ කියන්න පුළුවන් වන තැනකට තල්ලු කිරීමට ජනමතයේ මේ අලුත් හැරවුම සමත් වී තිබෙනවා. රනිල් කියන දේවල් හමුවේ, පූස් පැටවු වගේ ඒ දේවල් අහගෙන වක්‍රව හෝ අනුමත කරන තැනකට රාජපක්ෂ කඳවුරේ හිටපු බොහෝ අයව තල්ලු කිරීමට ජනමතයේ මේ අලුත් හැරවුම සමත් වී තිබෙනවා. බලය ලබා ගන්න ඉන්න විපක්ෂ බලවේග වලට රජය කුඩා කිරීමට එරෙහිව කතා කර ලකුණු රැස් කර ගැනීමේ හැකියාව, ඇතැම් විට තාවකාලිකව විය හැකි වුවත්, අහෝසි වී තිබෙනවා. මෙය වසර හත අටකට පෙර අප මේ සටහන් බ්ලොග් එක හරහා ලියන්න පටන් ගනිද්දී පැවති තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක්.

රජය කුඩා කළ යුතුයි කියන තැනට රටක් විදිහට එන්න පුලුවන්නම් එය ඉතා හොඳ තත්ත්වයක්. එතැනින් එහාට, එය කළ යුත්තේ කොහොමද කියන එක පිළිබඳව, පුළුල් එකඟතා අවශ්‍ය වන්නේ නැහැ. දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වලට වෙනස් අදහස් තියෙන්න පුළුවන්. රටේ ජනතාවට ඒ විදිහේ තේරීමක් තියෙන එක නරක දෙයක් නෙමෙයි. 

දේශපාලනඥයින්ගේ නාස්තිකාර වියදම් අඩු කළ යුතුයි කියන එක ජනප්‍රිය අදහසක් වන තරමටම ප්‍රතිඵලදායක අදහසක් නෙමෙයි. මේක කලින් සටහනකින් පැහැදිලි කළා. ඒ කියන්නේ අනවශ්‍ය වියදම් සීමා කිරීම නොකළ යුතු බව නෙමෙයි. එය අනිවාර්යයෙන් කළ යුතු, එහෙත් කිසිසේත්ම ප්‍රමාණවත් නැති දෙයක්. මම හිතන්නේ මේ වෙද්දී සැලකිය යුතු පිරිසක් මේ බව දන්නවා. ඒ නිසාම, රජයේ වියදම් අඩු කළ හැකි වෙනත් ආකාර ගැන බොහෝ දෙනෙක් හිතන්න පටන් අරන් තිබෙනවා.

ආරක්ෂක වියදම් මේ ගොඩක් අයගේ ඇහැ ගිහින් තියෙන තැනක්. අරගලය දවස් වල ආරක්ෂක වියදම් අඩු කළ යුතුයි කියා අදහස් පළ කළ අය අතර රාජපක්ෂ කඳවුර හැර අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් හැම එකම වගේ සිටියා. 2023 අයවැය ඇස්තමේන්තු එළියට ආවට පස්සේ ඒ අතරින් ඇතැම් අය ආරක්ෂක වියදම් ගැන බර තබා කතා කරන්න පටන් අරගෙන තිබෙනවා.

රටක ජාතික ආරක්ෂාව කියන්නේ වෙළඳපොළ තුළ මිල නිර්ණය කළ නොහැකි සේවාවක්. මේ වැඩේ සාමාන්‍යයෙන් සැලකෙන්නේ රජයක් විසින් කළ යුතු මූලික කාර්යයයක් ලෙසයි. ඇත්තටම කිවුවොත් ජාතික ආරක්ෂාව කියන්නේ රටක රජය ආරක්ෂා කර ගැනීම. රටක් කියා දෙයක් තියෙන්නේම රජයක් තිබෙන නිසා බැවින් මෙය රට ආරක්ෂා කර ගැනීමක් කියා කියන්නත් පුළුවන්. රටේ ජනතාව ආරක්ෂා වෙනවානම් වෙන්නේ වක්‍ර විදිහට. සමහර වෙලාවට රජයට ආරක්ෂා වෙන්න සිදු වන්නේ රටේ ජනතාව අතරින්ම කොටසකගෙන් වෙන්නත් පුළුවන්. එවැනි අවස්ථාද ඇතුළුව හැම විටම ජාතික ආරක්ෂාව වෙනුවෙන් වන පිරිවැය දරන්න වෙන්නේ රටේ බදු ගෙවන ජනතාවට. 

වෙළඳපොළ තුළ මිල නිර්ණය කළ නොහැකි නිසාම රටක ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජනතාව විසින් ගෙවිය යුතු මිල කීයද කියලා තීරණය කළ හැක්කේ දේශපාලනය තුළ පමණයි. ඒ හැර මේ ප්‍රශ්නයට නිරපේක්ෂ පිළිතුරක් නැහැ. ඒ නිසාම, මේ මොහොතේ හෝ වෙනත් මොහොතක, ආරක්ෂක වියදම් අඩු කළ යුතුද, වැඩි කළ යුතුද, එසේම පවත්වා ගත යුතුද වගේ ප්‍රශ්න වලට දේශපාලනික නොවන පිළිතුරක් දෙන්න බැහැ. ඒ නිසාම, මම එවැනි පිළිතුරක් දෙන්න උත්සාහ කරන්නේත් නැහැ. මෙය එක් එක් පුද්ගලයා විසින් තීරණය කර අවසාන වශයෙන් පොදු එකඟතාවය මත නිර්ණය විය යුතු දෙයක්. මම මේ සටහනින් කරන්න හදන්නේ ඒ වැඩේට උදවුවක් ලෙස තොරතුරු ටිකක් ඉදිරිපත් කරන එක පමණයි. 

සමහර අය කියන විදිහට මෙවර අයවැයෙන් ආරක්ෂාව වෙනුවෙන් රුපියල් බිලියන 539ක් වෙන් කරලා. ඒ කතාව ඇත්තද?

මේ ගණන ඇවිත් තියෙන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ හා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂ වල එකතුව ලෙසයි. ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් කියන්නේ ප්‍රධාන වශයෙන්ම ආරක්ෂක හමුදා වල වියදම්. මහජන ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් කියා කියන්නේ පොලීසියේ වියදම්.

මෙතැනින් එහාට යන්න කලින් එක දෙයක් පැහැදිලි කළ යුතුයි. සාමාන්‍යයෙන් රටක ආරක්ෂක වියදම් ගැන කතා කරද්දී අදහස් කරන්නේ හමුදා වල වියදම් ගැන. එහෙමත් නැත්නම් මිලිටරි වියදම් ගැන. පොලීසියේ වියදම් ආරක්ෂක වියදම් විදිහට සැලකෙන්නේ නැහැ. ඒවා පෙන්වන්නේ නීතිය හා සාමය රැකීමේ වියදම් විදිහට. සාමාන්‍යයෙන් පොලීසියේ කාර්යය රජය හෝ රට ආරක්ෂා කිරීම නෙමෙයි. සිවිල් ආරක්ෂාව. ඒ නිසා, පොලීසියේ වියදම ආරක්ෂක වියදමක් ලෙස අරගෙන ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් වලට එකතු කරලා පෙන්වන එක හරිද කියන ප්‍රශ්නය මතු වෙනවා.

දෙවන ප්‍රශ්නය ආරක්ෂක අමාත්‍යංශයේ වියදම් ගත්තත් ඒ සියල්ලම ආරක්ෂාව වෙනුවෙන් කරන වියදම් නොවීම. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, විදුලි සංදේශ නියාමන කොමිසම වගේ ආරක්ෂාවට කිසිම සම්බන්ධයක් නැති ආයතනත් ආරක්ෂක අමාත්‍යංශය යටතේ තියෙනවා. ඒ වගේම, ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ තිබෙන "රණවිරු මාපිය රැකවරණ දීමනා" වගේ වියදම් සැලකිය හැක්කේ සුබසාධන වියදම් ලෙසයි. 

ඉහත තත්ත්වයන් යටතේ වුනත් ලංකාවේ ආරක්ෂක වියදම් වැඩියි කියන තර්කය නිශේධනය වන්නේ නැහැ. ඒ වගේම, ලංකාවේ පොලීසිය විසින් කරන ප්‍රධාන කාර්යයත් රජය ආරක්ෂා කරන එකම තමයි කියලා කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. 

පහළින් තියෙන්නේ පොලීසියේ වියදම්ද ඇතුළත්ව, ආරක්ෂක වියදම් ලෙස පැහැදිලිව හඳුනා ගත හැකි වියදම්. 

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - රුපියල් මිලියන 209,716 යි 

ශ්‍රී ලංකා නාවික හමුදාව - රුපියල් මිලියන 75,739 යි 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව - රුපියල් මිලියන 66,628 යි 

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව - රුපියල් මිලියන 19,913 යි 

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව - රුපියල් මිලියන 435 යි 

ජාතික පොලිස් කොමිසම - රුපියල් මිලියන 157 යි 

විශේෂ කාර්ය බලකාය - රුපියල් මිලියන 12,519 යි 

පොලිස් දෙපාර්තමේන්තුව - රුපියල් මිලියන 116,380 යි 

ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යභට බලකාය - රුපියල් මිලියන 740 යි 

ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - රුපියල් මිලියන 85 යි 

රාජ්‍ය බුද්ධි සේවය - රුපියල් මිලියන 2,985යි 

ආරක්ෂක විද්‍යා පීඨ හා පුහුණු පාසැල් - රුපියල් මිලියන 6,188 යි 

එකතුව - රුපියල් මිලියන 511,485 යි 

පෙර වසරට සාපේක්ෂව ඉහත වියදම් වල 11.2%ක වැඩි වීමක් තිබෙනවා. රුපියල් වලින් මිලියන 51,582ක්. ණය හා පොලී ගෙවීම් ඉවත් කළ පසු රජයේ ඉතිරි වියදම් වැඩි කර තිබෙන්නේ 9.7%කින් පමණයි. මේ අනුව, ඉහත අයිතමයන් යටතේ ආරක්ෂක වියදම් වැඩි වීම, සුළු වශයෙන් වුනත්, අනෙක් වියදම් වැඩි වීමට වඩා වැඩියි.

ඉහත එකතුව රුපියල් බිලියන 511ක්. ආරක්ෂක හා මහජන ආරක්ෂක අමාත්‍යංශ වල මුළු වියදම රුපියල් බිලියන 539ක්. මේ ගණන් දෙක අතර වෙනස වන රුපියල් බිලියන 28ම ආරක්ෂක වියදම් නොවුනත්, එයින් යම් කොටසක්ද ආරක්ෂක වියදම්. ඒ කොටස හරියටම හඳුනා ගන්න එක තරමක් අසීරු වැඩක්. ඒ ටික අමතක කළත්, පැහැදිලිව හඳුනාගත හැකි ඉහත කොටස පොලී හා ණය ගෙවීම් හැර රජයේ මුළු වියදමෙන් 14.0%ක්. එක පවුලකට රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක්.

ඕනෑම රටකට ජාතික ආරක්ෂාව වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැහැ. හැබැයි ජාතික ආරක්ෂාව ලාබ නැහැ. දැන් මට්ටමින් ආරක්ෂාව ලබන්නනම් ලංකාවේ පවුලක් ඒ වෙනුවෙන්ම වසරකට රුපියල් ලක්ෂය ඉක්මවන බදු ප්‍රමාණයක් ගෙවිය යුතුයි. ඒ තරමට බදු ගෙවිය නොහැකිනම් ආරක්ෂාව අඩු කරන්න වෙනවා.

එක් එක් හමුදා අංශ හා පොලීසිය වෙනුවෙන් රටේ එක් පවුලක් විසින් 2023දී ගෙවිය යුතු බදු මුදල ආසන්නව පහත තිබෙනවා.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - රුපියල් 41,120 යි 

ශ්‍රී ලංකා නාවික හමුදාව - රුපියල් 14,850 යි 

ශ්‍රී ලංකා ගුවන් හමුදාව - රුපියල් 13,060 යි 

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව - රුපියල් 3,900 යි 

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව - රුපියල් 90 යි 

ජාතික පොලිස් කොමිසම - රුපියල් 30 යි 

විශේෂ කාර්ය බලකාය - රුපියල් 2,450 යි 

පොලිස් දෙපාර්තමේන්තුව - රුපියල් 22,820 යි 

ශ්‍රී ලංකා ජාතික ශිෂ්‍යභට බලකාය - රුපියල් 150 යි 

ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය - රුපියල් 20 යි 

රාජ්‍ය බුද්ධි සේවය - රුපියල් 590 යි 

ආරක්ෂක විද්‍යා පීඨ හා පුහුණු පාසැල් - රුපියල් 1,210 යි 

එකතුව - රුපියල් 100,290 යි 


එහෙමනම් මේ වියදම් අඩු කළ යුතුද? 

මම කලින්ම කිවුවනේ මෙය දේශපාලන ප්‍රශ්නයක් කියලා. එය එක් එක් පුද්ගලයා විසින් තනි තනිව තීරණය කළ යුතු දෙයක්. පොලීසිය වෙනුවෙන් එක පවුලක් විසින් ගෙවිය යුතු බදු මුදල රුපියල් 22,820ක්. පොලීසිය සිටීමේ වාසි ඊට වඩා වැඩිනම් මේ වියදම දරන එකේ පාඩුවක් නැහැ. අනෙකුත් හමුදාවන් වෙනුවෙන් වසරකට ගෙවිය යුතු බදු මුදල රුපියල් 77,470ක්. 

පහළින් තියෙන්නේ ලෝකයේ වෙනත් රටවල් වල ජාතික ආදායමෙන් (දදේනියෙන්) ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැය කරන මුදල. මූලාශ්‍රය ලෝක බැංකුව. 2020 වසරේ දත්ත.

1. ඕමානය - 10.9%

2. සවුදි අරාබිය - 8.4%

4. කුවේට් - 6.5%

5. ඊශ්‍රායලය - 5.6%

10. රුසියාව - 4.3%

11. යුක්රේනය - 4.1%

14. ඉරාකය - 4.1%

15. පකිස්ථානය - 4.0%

16. ඇමරිකා එක්සත් ජනපදය - 3.7%

22. සිංගප්පූරුව - 3.2%

27. ඉන්දියාව - 2.9%

29. ග්‍රීසිය - 2.8%

41. එක්සත් රාජධානිය - 2.1%

48. ඕස්ට්‍රේලියාව - 2.1%

52. නෝර්වේ - 1.9%

53. ශ්‍රී ලංකාව - 1.9%

63. චීනය - 1.8%

76. නවසීලන්තය - 1.5%

85. කැනඩාව - 1.4%

90. නේපාලය - 1.4%

94. බංග්ලා දේශය - 1.3%

103. මැලේසියාව - 1.1%

115. පිලිපීනය - 1.0%

118. ජපානය - 1.0%

138. ඉතියෝපියාව - 0.5%

147. කොස්ටරිකා - 0.0%

ජාතික ආරක්ෂාව වෙනුවෙන් වැය කරන මුදල් ප්‍රමාණය අනුව රටවල් බෙදී ගොස් ඇති ආකාරයෙන් පෙනෙන්නේ එය එක් එක් රටේ ජනතාවගේ තේරීමක් බවයි. දත්ත තිබෙන රටවල් 147ක් අතරින් ලංකාවේ ස්ථානය 53. 

කෙසේ වුවත්, එක් එක් රට ආරක්ෂාව වෙනුවෙන් මුදල් වැය කරන ආකාරයන්හි විශාල වෙනස්කම් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය වැනි රටක ආරක්ෂක වියදම් වලින් සැලකිය යුතු කොටසක් යුද උපකරණ ආදිය සඳහා යන වියදම්. මෙයින් වෙනස්ව ලංකාව කියන්නේ "මිනිස්සුන්ගෙන්" යුද්ධ කරන රටක්. උපාය මාර්ගික අධ්‍යයන සඳහා වන ජාත්‍යන්තර ආයතනයේ 2021 වාර්තාව අනුව, සක්‍රිය සේවයේ නිරතව සිටින හමුදා සාමාජිකයින් ගණන ලංකාවේ ජනගහණයෙන් 1.13%ක්. මෙම දර්ශකය අනුව, ලෝකයේ රටවල් 172ක් අතරින් ලංකාව ඉන්නේ 13වන තැනයි.

1. උතුරු කොරියාව - 5.04%

2. එරිත්‍රියාව - 3.38%

3. ඊශ්‍රායලය - 2.01%

9. ඕමානය - 1.22%

12. දකුණු කොරියාව - 1.16%

13. ශ්‍රී ලංකාව - 1.13%

17. සිංගප්පූරුව - 0.85%

23. රුසියාව - 0.71%

25. සවුදි අරාබිය - 0.69%

31. කුවේට් - 0.60%

44. කියුබාව - 0.44%

50. නෝර්වේ - 0.43%

52. ඇමරිකා එක්සත් ජනපදය - 0.42%

66. මැලේසියාව - 0.36%

76. පකිස්ථානය - 0.31%

91. ඕස්ට්‍රේලියාව - 0.25%

108. එක්සත් රාජධානිය - 0.21%

111. ජපානය - 0.20%

127. චීනය - 0.16%

135. පිලිපීනය - 0.14%

137. ඉතියෝපියාව - 0.13%

141. ඉන්දියාව - 0.11%

143. බංග්ලා දේශය - 0.10%

172. කොස්ටරිකා - 0.00%

ජනතා කැමැත්ත මත පදනම්ව ලංකාවේ ආරක්ෂක වියදම් අඩු කිරීමට අවශ්‍ය වන තත්ත්වයක් යටතේ වුවත්, එවැන්නක් වහා කිරීම අපහසු ඇයි කියා ඉහත සංඛ්‍යාලේඛනය පෙන්වා දෙනවා. ලංකාවේ සන්දර්භයේ ආරක්ෂක වියදම් අඩු කිරීම යනු ආරක්ෂක හමුදා සාමාජිකයින් ගෙදර යැවීමයි. 

ඉහත දත්ත වල පෙන්වා ඇති පරිදි, ලංකාවේ ආරක්ෂක වියදම් වලින් වැඩිම කොටස එනම් රුපියල් බිලියන 210ක් පමණම වැය වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව වෙනුවෙන්. පහළින් තිබෙන්නේ එම වියදම් මොනවාද යන්නයි. 

වැටුප් හා දීමනා - රුපියල් මිලියන 152,897 යි.

ආහාර හා නිල ඇඳුම් - රුපියල් මිලියන 33,500 යි.

වෛද්‍ය සැපයුම් - රුපියල් මිලියන 1,000 යි.

අනෙකුත් සැපයුම් - රුපියල් මිලියන 3,350 යි.

ජල හා විදුලිබිල් - රුපියල් මිලියන 3,300 යි.

දුරකථන හා අනෙකුත් බිල් හා බදු - රුපියල් මිලියන 767 යි.

ඉන්ධන හා අනෙකුත් ප්‍රවාහන වියදම් - රුපියල් මිලියන 9,325 යි.

ඉදිකිරීම් හා අලුත්වැඩියා කිරීම් - රුපියල් මිලියන 4,427 යි.

වාහන හා යන්ත්‍ර සූත්‍ර නඩත්තුව - රුපියල් මිලියන 1,150 යි.

එකතුව - රුපියල් මිලියන 209,716 යි.

මුළු වියදමෙන් 89.4%ක්ම හමුදා සෙබළුන්ගේ වැටුප්, ආහාර, නිල ඇඳුම් හා වෛද්‍ය සැපයුම්. ඉතිරි සියලුම වියදම් මුළු වියදමෙන් 10.6%ක් පමණයි. හමුදාවේ වියදම් විශාල ලෙස සීමා කර ඇති බව බැලූ බැල්මටම පේනවා. 

එහෙමනම් හමුදාවේ වියදම් වැඩි වෙලා තියෙන්නේ කොහොමද?

වැටුප් හා දීමනා වියදම් පෙර වසරේ වියදමට ආසන්නව සමානයි. පෙර වසරට වඩා රුපියල් මිලියන 13,570කින් හමුදාවේ වියදම් ඉහළ ගොස් ඇතත්, එයින් රුපියල් මිලියන 13,118ක්ම වැඩි වී තිබෙන්නේ ආහාර හා නිල ඇඳුම් කාණ්ඩය තුළයි. එය 64%ක වැඩිවීමක්. මේ වැඩි වීම මූලික වශයෙන්ම ආහාර මිල වැඩි වීම නිසා සිදු වූවක් බව ඉතාම පැහැදිලියි. ඉන්ධන වියදම් වලද රුපියල් මිලියන 560ක පමණ වැඩි වීමක් තිබෙනවා. යුද හමුදාවේ වියදම් වැඩි වී තිබෙන රටාවට සමාන රටාවක් අනෙකුත් හමුදා අංශ වල වියදම් වැඩි වී ඇති ආකාරය තුළද දැකිය හැකියි.

දිගුකාලීනව හමුදා කුඩා කරනවද, දැන් මට්ටමේම පවත්වා ගන්නවද කියන එක දේශපාලනික තීරණයක්. දැන් මට්ටටේම පවත්වා ගන්න එක වෙනුවෙන් පෙනී සිටින අය ඒ වෙනුවෙන් බදු ලෙස තමන්ට ගෙවන්න වෙන මිල ගැනත් අවබෝධයෙන් අදාළ තීරණය ගන්නවානම් වඩා හොඳයි. 

අනෙක් අතට ආරක්ෂක වියදම් අඩු කිරීම වෙනුවෙන් පෙනී සිටින අය දැනගත යුතු දෙය එය කළ හැක්කේ හමුදා භටයින් ගෙදර යැවීම මගින්ම පමණක් බවයි. හමුදා භටයින් සේවයෙන් මුදා හැරලා නිකම්ම ගෙදර යවන්න බැහැ. එක්කෝ යම් වන්දියක් හෝ විශ්‍රාම වැටුපක් වගේ දෙයක් දෙන්න වෙනවා. ඒවටත් සල්ලි යනවා. 

ඊට අමතරව, හමුදා පුහුණුව ලැබූ විශාල පිරිසක් හදිසියේ සේවයෙන් මුදා හැරියොත් ඒ අය ගම් වලට ගිහින් කුලී වැඩ කරන එකක් නැහැ. ඒ වගේ දෙයක් කරනවානම් සැලසුමක් ඇතුව, ක්‍රමිකව කරන්න වෙනවා. කෙටියෙන් කිවුවොත්, දිගුකාලීනව කොහොම වුනත් කෙටිකාලීනව, ආරක්ෂක වියදම් අඩු කරන එක කියන තරම්ම ලේසි නැහැ. 

වෙබ් ලිපිනය: