Sunday, December 6, 2015

මුස්ලිම් ලෝකය තුල කෙමල් අතතුර්ක් ලකුණ


පසුගිය සති දෙක තුන තුල මුස්ලිම් අන්තවාදය හා අදාලව සටහන් කිහිපයක්ම පලවී තිබුණේය. මධ්‍යස්ථ මතධාරියාගේ, මාතලන්ගේ සහ කොළඹ ගමයාගේ සටහන් මේ විෂය හා අදාලව මා එසේ කියවූ කිහිපයකි.

මා කුඩා කල සිටම ශ්‍රී ලාංකික මුස්ලිම් හා මැලේ ජාතිකයින් ලඟින් ඇසුරු කර තිබේ. එහෙත්, මැදපෙරදිග කලාපය පිළිබඳවනම් මට පළමෝත අත්දැකීම් නැති තරම්ය. මුස්ලිම් මහා සංස්කෘතියක් තුල ජීවිතය පිළිබඳව මට ඇති ලොකුම අත්දැකීම බංග්ලාදේශයේ ජීවත් වූ කෙටි කාලයයි. අනෙකුත් අත්දැකීම් කෙටිකාලීන සංචාරයන්ට වඩා වැඩි ඒවා නොවේ.

බංග්ලාදේශයේ ගතකල කාලය තුල මට දැනුනු ප්‍රධාන කරුණක් වූයේ බෙංගාලි මුස්ලිම්වරුන් සමස්තයක් ලෙස ලංකාවේ මුස්ලිම්වරුන් තරම් 'මුස්ලිම්' නැති බවයි. මගේ ලාංකික මුස්ලිම් මිතුරන් අතර මත්පැන් පානය කරන, මූලික ඉස්ලාම් වතාවත් නොපිළිපදින අය නොසිටි තරම්ය. එහෙත්, බංග්ලාදේශයේදී මෙවැනි අය සෑහෙන පිරිසක් මට හමුවිය.

තමන්ගේ කණ්ඩායම බහුතරය වූ විට සහ සුළුතරය වූ විට පුද්ගලයින් හැසිරෙන ආකාරය වෙනස්වීම අමුතු දෙයක් නොවේ. ලංකාවේදී අවුරුදු ගාණකින් පන්සලක් පැත්තේ නොයන අය විදෙස් රටකට සංක්‍රමණය වූ පසු එසේ කරන්නේ ආගමික අවශ්‍යතාවක් වෙනුවෙන්ම නොව සංස්කෘතික අවශ්‍යතාවයන්ද නිසාය.

කෙසේවුවද, බංග්ලාදේශයේ බහුතරය මෙවැනි අය නොවේ. එහෙත් අන්තවාදින්ද නොවේ. මේ අතර අන්තවාදීන් සුළු පිරිසක්ද සිටිති. බොහෝ විට පිටට පෙනෙන්නේ මේ සුළුතර අන්තවාදීන්ගේ ක්‍රියාවන්ය. මගේ පෞද්ගලික අත්දැකීම් රැසක් ඇතත් මේ සටහනේ ඒවා ගැන ලියන්නේ නැත.

මගේ ඉහත අත්දැකීම් වසර පහළොවක් පැරණිය. මේ කාලය තුල මුස්ලිම් ලෝකය සැලකිය යුතු ලෙස වෙනස් වී තිබේ. මේ අතර බටහිර රටවල් දෙකකදී ලෝකයේ විවිධ රටවලින් පැමිණි මුස්ලිම් සංක්‍රමණිකයින් හෝ ඔවුන්ගේ දෙවන-තෙවන පරම්පරා වල සාමාජිකයින් රැසක් මට ඇසුරු කිරීමට ලැබී තිබේ. මේ අයගේ විවිධත්වය වෙනත් ඕනෑම කණ්ඩායමක තරමටම විශාලය.

බටහිර රටවලදී මට හමුවූ ඉස්ලාම් ආගමිකයින් අතරින් බටහිර සංස්කෘතියට වඩාත්ම දුරස්ථව සිටි අය මැද පෙරදිග කලාපයෙන් පැමිණි අයයි. මා ජීවත්ව සිටි එක්තරා ග්‍රාමීය, කෘෂිකාර්මික, තනිකරම වාගේ සුදු ජාතිකයින් ජීවත් වූ ප්‍රදේශයක විශ්වාසදායක ලෙස හලාල් ආහාර මිලදී ගැනීමට තැනක් තිබුණේ නැත. බොහෝ ඉස්ලාම් ආගමිකයින්ට මෙය විශාල ප්‍රශ්නයක් වූයේ නැත. එහෙත්, මේ ප්‍රදේශයේ සිටි මා දැන සිටි එක්තරා ලිබියානුවන් දෙදෙනෙකුට මෙය විශාල ප්‍රශ්නයක් විය. ඔවුහු සිරිතක් වශයෙන් කළෝ සැතපුම් සියයකටත් වඩා දුරින් පිහිටි සත්ත්ව ගොවිපලකට ගොස් පණ පිටින් බැටළුවෙකු සහ කුකුළන් මිලදී ගෙන ඔවුන් විසින්ම ඉස්ලාම් ආගමානුකූලව මස් කර රැගෙන විත් ශීතකරණයේ දමාගෙන පරිභෝජනය කිරීමයි. ඔවුන්ගේ බිරින්දෑවරුන්ගේ දෑස් හැර ඉතිරි කොටස් ගැන මා කිසිවක් දන්නේ නැත.

ලිබියාවේ ගඩාෆිට එරෙහි කැරලි ඇරඹුණේ මේ කාලයේදීය. මේ සම්බන්ධව ඇමරිකාවේ සිටි මා දන්නා සංක්‍රමණික හෝ නේවාසික ලිබියානුවන් බහුතරය සිටියේ ගඩාෆිට එරෙහි ස්ථාවරයකය. එහෙත්, මා පෙර කී ලිබියානුවන් දෙදෙනා ඉතා උග්‍ර ගඩාෆි හිතවාදීහු වූහ. එයට එක් හේතුවක් වූයේ ඔවුන් ගඩාෆිගේම ගෝත්‍රයේ අය වීමයි. මෙය ඔවුන් නිතර මහත් ආඩම්බරයෙන් සඳහන් කළ දෙයකි. එමෙන්ම, ඔවුන්ට ගඩාෆිගෙන් ලැබී තිබුණු මා හරියටම නොදන්නා වරප්‍රසාද හෝ උදවු වෙනුවෙන් ඔවුහු කෘතගුණශීලීව සිටියහ.

ගඩාෆිගේ පරාජය ක්‍රමයෙන් පැහැදිලි වෙද්දී මා පෙර කී ලිබියානුවෝ බොහෝ නොසන්සුන් වූහ. මේ අවස්ථාවේදී මඟ හැර සිටීම ඔවුන් දුටුවේ විශාල වරදක් ලෙසිනි. ඔවුන්ට ගඩාෆි වෙනුවෙන් කෘතගුණ සැලකීමට අවශ්‍ය විය. එහෙත්, මේ වන විට ඇමරිකාවේ සිට ලිබියාවට යාම අවදානම් සහගත දෙයක් වූ බැවින් මෙවැනි ගමන් අධෛර්යමත් කෙරුණු කාලසීමාවකි. මේ ලිබියානුවෝ මේ බාධක ජයගෙන කෙසේ හෝ අවසාන මොහොතේ ලිබියාවට ඇතුළු වූහ. එහෙත්, ඒ වන විට ගඩාෆි ඇතුළු පිරිස කොටුවී සිටි කුඩා ප්‍රදේශයට ඇතුළු වීමට ලැබුණේ මේ දෙදෙනාගෙන් එක් අයෙකුට පමණි. සිදුවීමට වඩාත්ම ඉඩකඩ තිබූ දෙය වූ කැරලිකරුවන්ගේ වෙඩිපහරට ලක්ව මියයාම ඔහුගේ ඉරණම විය. මාස ගණනක අතදරුවෙකු ඇතුළු ඔහුගේ දරු තිදෙනා තරුණ බිරිදද සමඟ තනි විය.

ඉස්ලාම් ආගම ඇදහූ මා දැන සිටි හෝ ලඟින් ඇසුරු කළ අය අතර ඉහත කී ආකාරයේ අය මෙන්ම එයින් සම්පුර්ණයෙන් ප්‍රතිවිරුද්ධ ජීවන රටාවක් තිබුණු, තනිකරම බටහිර සංස්කෘතිය තුල ජීවත් වූ අයද සිටියහ. මේ අය අතර ඉදිරියෙන්ම සිටියේ තුර්කි ජාතිකයින්ය. තජිකිස්තානය, උස්බෙකිස්තානය වැනි පැරණි සෝවියට් දේශයේ කොටස් වලින් පැමිණි අයද සිටියේ මොවුන්ට පිටුපසිනි. මෙහිදී, මා සසඳන්නේ උපතින් ඉස්ලාම් වූ හෝ නමින් ඉස්ලාම් වූ අය නොවේ. වෙනස් ලෙස හැසිරුණු අදේවවාදීන් හෝ භෞතිකවාදීන් වූ එවැනි අයනම් මා ලංකාවේදීත් ඇසුරු කර තිබුණේය. මා සසඳන්නේ තමන්ගේ අනන්‍යතාවය ඉස්ලාම් හෝ මුස්ලිම් ලෙස හඳුන්වා දෙන, කටපුරා නොපැකිල කියන අයයි.

මගේ ඇතැම් තුර්කි ජාතික මිතුරියනට විවාහයට පෙර කිහිප දෙනෙකු සමඟ එකට ජීවත් වීම, කොට ඇඳුමක් ඇඳීම හෝ මධුවිතකට නිතර එක්වීම අරුමයක් නොවේ. කෑම ගැනීමේදීද හලාල්ද යන්න හෝ අඩුම වශයෙන් සූකර මාංශය අඩංගුද යන්න ප්‍රශ්නයක් නොවේ. එහෙත්, ඔවුන් සිය මුස්ලිම් අනන්‍යතාවය බැහැර කරද නැත. බොහෝ කලක් ඔටෝමාන්-තුර්කි අධිරාජ්‍යයේ කොටසක් වූ, වත්මන් තුර්කියට ආසන්නව පිහිටි ලිබියාවේත්, තුර්කියේත් පසුකාලීනව ඇති වුනු සංස්කෘතික දුරස්ථභාවය මෙවැන්නකි. (මේ වෙනස පෙන්වා දෙනු හැර විවිධ පුද්ගලයින්ගේ ආගමික විශ්වාස හෝ ජීවන විලාසිතා ගැන කතාකිරීම මගේ අරමුණ නොවේ.)


බටහිර නූතනත්වය බාහිර නිරීක්ෂකයින් විසින් බොහෝ විට හඳුනාගන්නේ ක්‍රිස්තියානි සංස්කෘතිය හා බද්ධවය. මේ සංස්කෘතිය තුලම ජීවත්වන අයද යම්තාක් දුරකට එසේ සිතති. එයට හේතුව මේ දෙක බොහෝ විට එකට යාමයි. සමාජවාදී සමාජ ගොඩනැගුම් හැරුණු විට, ක්‍රිස්තියානි/කතෝලික ආගමික පසුබිමකින් තොරව බටහිර නූතනත්වයට ඉදිරියට යාහැකි බවට ඇති හොඳම ශාක්ෂිය තුර්කිය විය යුතුය.

මා බංග්ලා දේශයේ ජීවත් වූයේ ධාකා අගනුවර බොනානි (বনানী) ප්‍රදේශයේය. මෙහි අපේ ආයතනය පිහිටි වීදිය 'කාමාල් ආතාතුර්ක් එභිනිඋ (avenue)' (কামাল আতাতুর্ক এভিনিউ) නම් විය. මේ නම ගැන උනන්දු වූ මට දැනගන්නට ලැබුණේ තුර්කි රාජ්‍ය නායකයෙකු අනුව මේ වීදිය නම් කර ඇති බවයි. ඒ වන විට මීට වඩා වැඩි දෙයක් දැන නොසිටියත් පසුව දැනගත්තේ මේ කාමාල් ආතාතුර්ක් යනු නූතන තුර්කි රාජ්‍යයේ නිර්මාතෘ වන මුස්ටෆා කෙමල් අතතුර්ක් බවයි.

කෙමල් අතතුර්ක් ගැන මධ්‍යස්ථ මතධාරියාගේ ලිපියක සඳහනක් කෙරී තිබුණු අතර (දැන් මට තැන හොයාගැනීම අපහසුය.) කොළඹ ගමයා විසින් සැලකියයුතු විස්තරයක් ඉදිරිපත් කර තිබුණේය. කොළඹ ගමයා විසින් ලියා ඇති දේවල් මා නැවත ලියන්නේ නැත. එහි සඳහන් නැති හෝ වැඩිපුර විස්තර කෙරී නැති කරුණු කිහිපයක් පමණක් එකතු කරමි.

කෙමල් අතතුර්ක් විසින් ඉතිහාසය වෙනස් කළ ප්‍රධාන තැනක් වන්නේ සියවස් ගණනක් පැවති කාලිෆ් ධුරය අහෝසි කර දැමීමයි. ඉස්ලාම් කාලිෆ් ධුරය යම් තරමකට කතෝලික පාප් ධුරයට සමාන ලෝකයේම ඉස්ලාම් භක්තිකයින්ගේ ආගමික සහ ලෞකික නායක ධුරයක් විය. එහෙත්, ඉස්ලාම් යනු අනෙකුත් ප්‍රධාන ආගම් වලට සාපේක්ෂව ආගමකට වඩා වැඩි ජීවන ක්‍රමයක් බව කිවයුතු නැත. මේ කාලිෆ් ධුරය ප්‍රථම ඉස්ලාම් වක්තෘවරයා වන මුහම්මද් නබිගේ සිට අඛණ්ඩව පැවත ආ එකකි. කෙසේ වුවද, ධුරයේ බල හුවමාරුව බොහෝ විට සිදුවුනේ සම්මුතියෙන්ම නොවේ. සුන්නි සහ ෂියා නිකායන් අතර මුල සිටම මතභේද තිබුණේය. කලින් කලට විශාලම අධිරාජ්‍ය ගොඩනැඟූ මුස්ලිම් පාලකයෝ ලෝ පුරා ඉස්ලාම් භක්තිකයින්ගේ කාලිෆ් වරයා විය.

දහසයවන සියවසේ පමණ සිට මේ ඉස්ලාම් කාලිෆ් ධුරය ඔටෝමාන්-තුර්කි අධිරාජ්‍යය සතු විය. මෙය ඉතා ප්‍රබල ධුරයක් වූ අතර බ්‍රිතාන්‍යයෝද ක්‍රමෝපායික ලෙස මේ ධුරය පිළිගනිමින් කැලිපට් ක්‍රමයට සහයෝගය දැක්වූහ. ඔටෝමාන්-තුර්කි අධිරාජ්‍යයාගේ ඉල්ලීමක් ලංකාවද ඇතුලත් වූ බ්‍රිතාන්‍ය ඉන්දියාවේ මුස්ලිම් වරුන්ගේ සහයෝගය බ්‍රිතාන්‍යයන්ට ලබා ගැනීමට උදවු වී තිබේ. කෙමල් අතතුර්ක් විසින් අහෝසි කර දැම්මේ මේ ධුරයයි. එයින් පසු මේ ධුරය නැවත ප්‍රතිස්ථාපනය කිරීමට දැරූ උත්සාහයන් සාර්ථක වූයේ නැත.

කෙමල් අතතුර්ක් යනු ඒකාධිපතියෙක්යයි කීම වැරදි නැත. තුර්කි ජාතිය ගොඩ නැගීමේදී ඔහු ගත් ඇතැම් ක්‍රියාමාර්ග වත්මන් සන්දර්භය තුලනම් සිතාගන්නටත් අමාරු තරම්ය.


පළමු ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍ය ඉන්දියාව නිදහස ලබන විට ඉන්දියාව සහ පකිස්ථානය අතර සිදු වූ අයුරින් විශාල සංක්‍රමණයන් සිදුවිය. වත්මන් තුර්කියේ සිටි ග්‍රීක, ආර්මේනියානු ආදී කොටස් ඒ රටවලට සංක්‍රමණය වෙද්දී ඉස්ලාම් ආගම ඇදහූ තුර්කීන් තුර්කියට පැමිණියහ. මේ සංක්‍රමණයන්හි ප්‍රතිපලයක් ලෙස කෙමල් අතතුර්ක්ගේ අතට ලැබුණේ තනිකරම ඉස්ලාම් භක්තිකයින් සිටි රටකි. අදටත් තුර්කියේ අන්‍ය ලබ්ධිකයින් සිටින්නේ සියයට එකකටත් අඩුවෙනි. මෙවැනි රටක ඉස්ලාම් ආගමික සංකේත ඉවත් කර ජාතික රාජ්‍යයක් ලෙස පරිවර්තනය කිරීම ඇත්තටම විශාල විප්ලවයකි. මේ අනුව, ආගම පෞද්ගලික කටයුත්තක් බවට පත්කිරීම තුර්කියේ ඉස්ලාම් ආගමිකයින් අඩුවීමට හේතු වුණේ නැත. එහෙත්, තුර්කීන්ගේ හැසිරීම් වඩා නිදහස් විය.

"ශිෂ්ඨ සම්පන්න ලෝකය සිටින්නේ අපට වඩා බොහෝ ඉදිරියෙන්. අප හැකි ඉක්මණින් ඔවුන් සමඟ එක්වීම හැර වෙනත් මඟක් නැහැ." මේ අතතුර්ක්ගේ දැක්ම විය. මේ ගමනේදී ආගමෙන් බැහැර වීම, විද්‍යාව ජාතියේ පෙරගමන්කරු බවට පත් කරවීම, ගැහැණුන්ට සමාජයේ ඇති බාධාවන් ඉවත් කිරීම, අධ්‍යාපන තත්ත්වය ඉහළ නැංවීම වැනි දේවලට අතතුර්ක් මුල් තැන දුන්නේය.

 "මට ආගමක් නැහැ. මම හිතනවා සියළු ආගම් පැවතිය යුත්තේ මුහුදු පතුලේ කියා. යමෙකු හිතනවානම් රාජ්‍ය පාලනයට ආගමක් සම්බන්ධ කරගතයුතුයි කියා, ඔහු ඉතා දුර්වල පාලකයෙක්." මෙය අතතුර්ක්ගේ වචන වලට සීමා නොවීය. ඉස්ලාම් ආගමික සංකේත වූ ඇඳුම්, නම්ගම් පමණක් නොව අරාබි අකුරු පවා තුර්කියෙන් ඉවත් කළ අතතුර්ක් රටේ කලක් තිස්සේ පැවති මත්පැන් තහනම ඉවත් කළේය. ඇත්තටම අතතුර්ක් පෞද්ගලිකවද දැඩි මත්පැන් ලෝලියෙක් වූ අතර ඔහු දීර්ඝායුෂ නොලබා මිය ගියේද සිරෝසියස් රෝගයට ගොදුරු වීම නිසාය. මෙහිදී ඔහුගේ විශේෂත්වය වන්නේ ප්‍රසිද්ධියේ බොරුවට "මතට තිත" නොතියා තමන් විඳින ජීවිතය තෝරා ගැනීමේ නිදහස තමන්ගේ රටවැසියන්ටද ලබා දීමයි.

අතතුර්ක් අතට පත් ඔටෝමාන් තුර්කියේ සාක්ෂරතාව ඉතා පහල අගයක් ගත්තේය. මෙය ඉහල නැංවීමට තිබූ එක් බාධාවක් වූයේ තුර්කි භාෂාව වසර දහස් ගණනක් තිස්සේ ලිවූ අරාබි අකුරු වල සංකීර්ණ කමයි. මේ අනුව, අරාබි අකුරු ඉවත් කර රෝමන් අකුරු ආශ්‍රිත වත්මන් තුර්කි හෝඩිය හඳුන්වා දෙනු ලැබීය. මෙවැනි වෙනසක් කිරීම සුළුපටු දෙයක් නොවේ.


මීටත් වඩා සිතාගැනීමටත් අමාරු ප්‍රතිසංස්කරණයක් වන්නේ වාසගම් නීතිය ක්‍රියාත්මක කළ ආකාරයයි. මෙහිදී සෑම තුර්කි ජාතිකයෙකුම තුර්කි වාසගමක් ගත යුතු විය. මෙහිදී ඒ වන විට තමන්ගේ ජනවර්ගය කවරක් වුවත් රටේ සියල්ලන්ම තුර්කි ජාතිකයින් ලෙස සැලකුණි. මේ නම් වලින් ආගමික හෝ වෙනත් රටක සම්භවයක් පිලිබඳ තේරුම් මතු විය නොහැක. මේ අනුව ග්‍රීක සම්භවයක් ඇති මිත්‍රෝයිදිස් නම ඇත්තෙකුට මිත්‍රෝග්ලූ වැනි තුර්කි වාසගමක් ගන්නට සිදුවිය. මේ අයුරින්ම ආර්මේනියානු, බල්ගේරියානු, බොස්නියානු, ඇල්බේනියානු, කුර්දි, ජෝජියන්, සිරියන්, අරාබි සහ යුදෙවු සම්භව තිබූ බොහෝ දෙනෙකුගේ නම් වෙනස් විය. ග්‍රීක් නම් මෙන්ම, 'බින්' වැනි අරාබි නම් සහ 'ඉච්' ලෙස අවසන් වන ස්ලාවික් නම් ආදිය ඉවත් කළ යුතු විය. පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් කෙමල් මුස්ටෆාට 'තුර්කින්ගේ පියා' යන තේරුම ඇති 'අතතුර්ක්' වාසගම හිමිවන්නේද මේ වාසගම් පණත අනුවය.

අතතුර්ක්ගේ ඇතැම් ප්‍රතිසංස්කරණ අද සම්මතය අනුව ඒකාධිපති, බටහිර ගැති හෝ සදාචාර සම්පන්න නොවන ඒවා ලෙස යමෙකුට නිර්වචනය කිරීමට පුළුවන. මේ ප්‍රතිසංස්කරණ වල වැදගත්කම තීරණය කරන්නට වෙන්නේ අද තුර්කිය ලිබියාව වැනි ඔටෝමාන්-තුර්කියේ කොටසක්ව පැවත වෙනත් මඟක ගිය රටක් සමඟ සසඳමිනි. ගඩාෆිගේ ලිබියාව මිහිපිට තිබූ සුරපුරයක්යයි සිතා සිටින අය සමඟනම් මා වැඩිදුර වාද කරන්නට කැමති නැත.

මාස කිහිපයකට පෙර මට කෙමල් අතතුර්ක්ගේ උපන් නිවසට යාමට ලැබුණේය. මේ කෙමල්ගේ පියා විසින් සිටවූ චෙරි ගසකි. කෙමල් කුඩා කල මේ ගස යට සෙල්ලම් කර ඇත. (චෙරි වලනම් විශේෂ රසක් නැත.) දැනට ලෝකයේ චෙරි නිෂ්පාදනය අතින් ඉදිරියෙන්ම සිටින්නේ තුර්කියයි.



72 comments:

  1. පළමෝත අත්දැකීම් ???

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. මේ වචනය ගැන මටත් ගැටළුවක් තියනවා. මේ වචනයේ නිරුක්තිය පැහැදිළි කරදෙන්න පුළුවන්ද?

      Delete
    3. විචාරක, මා මෙය බ්ලොග් වලින්ම අහුලාගත් වචනයක්. බ්ලොග් එක ලිවීමට පටන් ගැනීමට පෙර භාවිතා කර ඇති වචනයක් නෙමෙයි. වඩා සුදුසු තනි වචනයක් මම දන්නේ නැහැ. එවැන්නක් තියෙනවද?

      Delete
    4. බොහොම ස්තුතියි ඉකොන්.

      මේ පිළිබඳව මගේ අදහස් මෙසේයි. කවුරුන් හෝ උත්සාහ කලානම් first hand යන්න පළමු අත යනුවෙන් සිංහලට පරිවර්තනය කරන්න, ඔහු සිංහල දැනුමක් හෝ පරිවර්තන නියාමයන් ගැන දැනුමක් ඇත්තකු නොවන බව පෙනෙනවා. යටත්පිරිසෙයින් පළමු පෙළ කියාවත් පරිවර්තනය කලානම් එහි යම්කිසි අර්ථයක් තිබෙනවා. සමීපතම, ආශ්‍රිත, වැනි යෙදුමක් වඩාත් සුදුසු බවයි මගේ අදහස.

      දෙවනුව මේ පළමු අත යන වචන දෙක සන්ධි කිරීම. පළමු යන වචනයේ අගට එන උ ශබ්දය සහ දෙවනියට එන අත යන වචනයේ අ ශබ්දය උ+අ ඇසුරෙන් ඕ ශබ්දය සකසාගත්තේ කෙසේද යන්න ගැටළුවක්.

      http://hasafee.blogspot.com/2014/03/blog-post_19.html

      Delete
    5. මම හිතන්නේ මේක මුලින්ම භාවිතා කරලා තිබ්බේ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොගයේ වෙන්න ඕනේ. ඊට පස්සෙ නිතරම රවී ලියන නිදහස් සිතුවිලි අඩවියේත් දැක්කා. ෆස්ට් හෑන්ඩ් කියන එක කෙලින්ම වචනාර්ථයෙන්ම සිංහලට හරවපු එක ගැන නම් වාද කරන්න පුළුවන්. හැබැයි පළමු+අත කියනකොට ස්වාභාවිකවම 'ඕ' ශබ්දය නැගෙනවා නේද?

      Delete
    6. එහෙමනම් පලමූත කිව්වත් වැරදියි කියන්න බැහැ. නමුත් සිංහල වචන එහෙම සන්ධි කරන ක්‍රමයක් නැහැ. අපිට හිතෙන හිතෙන විදිහට සන්ධි කරන්න ගියොත් පළමෝත, පළමූත, පළමුත, වැනි වචන ඔක්කොම හරියි කියලා පිළිගන්න වෙනවා, එක එක්කෙනා මම හරි, මට හරි කියලා හිතෙන දේ මම ලියන්නේ. කියලා කිව්වොත්.

      Delete
    7. විචාරක සහ තිසර: ඔබ දෙදෙනාටම ස්තුතියි! ඇත්තටම මමනම් මේ වචනය මගේ වචන කෝෂයට එකතු කරගත්තේ ගොඩක් බැරෑරුම් ලෙස සිතලා නොවෙයි. "මා විසින් සෘජුවම නිරීක්ෂණය කළ/ ලබාගත්" යන අර්ථය හොඳින්ම දෙන තනි වචනයක් ගැන සිතාගත නොහැකි වූ නිසා සහ මේ වචනය මේ වන විට තරමක් දුරට ප්‍රධාන මාධ්‍යයේ සහ සුලභව සිංහල බ්ලොග් වල භාවිතයට එක්වී ඇති බව පෙනුණු නිසා.

      මා දන්නා තරමින් අ+උ= ඕ ලෙස ස්වරාදේශය සිදුවුවත් උ+අ= ඕ ස්වරාදේශය පිලිබඳ උදාහරණයක්නම් එකවර මගේ ඔළුවට එන්නේ නැහැ. වෙනත් වචන සැදී ඇති ආකාරය අනුව පළමු+අත සන්ධියක් පළමත (පූර්වස්වර ලෝපයෙන්), පළමුත (අපරස්වර ලෝපයෙන්), පළමුවත (ආගමයෙන්), පළම්මත (ද්විත්ව රූපයෙන්) ආදී කවරක් හෝ විය හැකියි. වෙනත් ස්වරූප තිබිය හැකියි. මට තේරෙන හැටියට 'පළමෝත' ලෙස විකාශනය විය හැක්කේ පළමුව 'ව්' ආගමයෙන් පළමු+ව්+අත= පළමුවත වී පසුව 'මුව' වෙනුවට 'මෝ' ආදේශ වීමෙන්. (මුවදොර → මෝදර ලෙස). හැබැයි මා පෙර කී ලෙසම මා මේ වචනය ගත්තේනම් මේ කිසිවක් හිතලා නෙමෙයි. මගේ භාෂා භාවිතය කොහොමත් ගොඩක් හොඳ නෑ. ඒ නිසා අඩුපාඩු තියෙන ඒවා පෙන්වන්න. කියවන අය වැඩිවන විට යම් සමාජගත වීමක් සිදුවන නිසා මේ වගේ දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න වෙනවා තමයි.

      කොහොම වුණත්, විචාරක කියන දෙයම ඔස්සේ සිතුවහම මට මෙවැනි පැත්තකුත් පෙනෙනවා. මම හිතන හැටියට ඔය නිරුක්ති වලින් කරන්නේ දැනට භාවිතයේ ඇති වචනයක් හැදී ඇති ආකාරය පැහැදිලි කිරීමනේ. නමුත්, මේ වචන හැම එකක්ම කවුරු හෝ කෙනෙක් කිසියම් මොහොතක අළුතින් හඳුන්වා දී පසුව අනිත් අයත් භාවිතයට ගත් ඒවා නේද? එහෙම නැත්නම්, විවිධ අය විවිධ වචන දෙකක් හෝ වැඩි ගණනක් හඳුන්වා දී (පළමෝත, පළමුත, පළමූත, පළමාත වගේ) ඒ අතරින් වඩා ජනප්‍රිය වී "ජයගත්" වචනය විය යුතුයි.

      මේ තියෙන්නේ සිළුමිණ ශාස්ත්‍රීය අතිරේකයේ 'පළමෝත' යෙදුනු තැනක්. (තෙවන ඡේදයේ අග වාක්‍යය)
      http://www.silumina.lk/2014/12/28/_art.asp?fn=cr1412282

      Delete
  2. මේ දේවල් දැනගෙන සිටියේ නැහැ. භාශාවේ අක්ෂර වෙනස් කිරීම, වාසගම් වෙනස්කිරීම, ආගමක චාරිත්‍ර වෙනස් කිරීම වැනි ගැරුම්කාරී දේවල් සමාජයේ උන්නතිය වෙනුවෙන් වෙන්ස් කිරීමට මගින් ඔහු කොතරම් දුර දක්නා දර්ශණයක් තිබූ අයෙක් දැයි ඉතාම පැහැදිලියි. මෙතරම් සමාජ වෙනසක් කිරීමට ණුවනක් තිබූ නායකයින් ඉතිහාසයේ තවත් සිටිනවාද?

    ReplyDelete
    Replies
    1. ඒ එක්කම පහළ ප්‍රාජේ කියනවා වගේ මෙවැන්නක් කළ හැකි තරමට තුර්කි සමාජය පරිණත වෙලා සිටියා, ඉයන්. මේ වෙනස්කම් කිසිවක් බලෙන් කරපුවා නෙමෙයි. ඇත්තටම සමාජ පරිවර්තන වෙන්නේ 'ඉල්ලුම් සහ සැපයුම්' සාධක දෙවර්ගයේම එකතුවකින්. හොඳ නායකයෙක් බිහිවෙන්න සමාජයක් අවශ්‍ය තරමට පරිණත වෙන්න ඕනෑ. ඒ වගේම මෙවැනි දැක්මක් හා ධෛර්යයක් තිබුණු නායකයෙක් නොසිටියානම් මේ පරිවර්තන මේ තරම් සුමටව සිදුවෙන්නේ නැහැ.

      Delete
  3. ප්‍රායෝගිකව වැඩ කරද්දි සොඳුරු ආඥාදායකත්වය කියන එක බොහෝ වෙලාවට අවශ්‍ය වෙනවා. තවත් ඔහු ගැන සොයා බලන්නට හිතුනා. දැක්මක් ඇතිව වැඩ කල අයෙක් බවයි හැඟෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කියවන්න තරම් දෙයක් ඇති චරිතයක්.

      Delete
  4. "ශිෂ්ඨ සම්පන්න ලෝකය සිටින්නේ අපට වඩා බොහෝ ඉදිරියෙන්. අප හැකි ඉක්මණින් ඔවුන් සමඟ එක්වීම හැර වෙනත් මඟක් නැහැ."////////මෙය මැදපෙරදිග රටවල් ගුරු කොට ගත යුතුයි

    ReplyDelete
    Replies
    1. මෙහි වැදගත්කම මෙය සියවසකට පමණ පෙර කළ ප්‍රකාශයක් වීමයි. කණගාටුවට කරුණනම් ඇතැම් රටවල් ආපසු ගමන් කර තිබීමයි.

      Delete
  5. අතතුර්ක් - මං මුලින්ම හිතුවේ අකුරු වැරදිලා කියායි!

    ReplyDelete
    Replies
    1. අනතුර ගැන කොළඹ ගමයා ලියල තියන නිසා මම නැවත ලිවුවේ නැහැ,

      Delete
    2. එර්ඩොගන් කියන එකා එලෙව්වේ නැත්නම් තුර්කින්ට පව්. වැඩියෙන්ම කාන්තාවන්ට.

      Delete
  6. The Water Diviner නම් චිත්‍රපටය තුර්කිය පසුබිම් කරගත් එකක්
    http://www.imdb.com/title/tt3007512/

    ReplyDelete
  7. ඉස්කෝල යන කාලේ තුර්කි ජාතික පෑනේ මිතුරිය කෙමල් කියන ජාතික වීරයෙක් ගැන දිග ලියුමක් එවල තිබුනා.
    මට කෙමල් ගේ නම මතක උනාට පෑනේ මිතුරිගේ නම මතක නෑනේ!

    ReplyDelete
    Replies
    1. යාළුවගේ පෞද්ගලික තොරතුරු වලට වඩා රට ගැන දැනගන්න වෙන්න ඇති නිරෝට වැඩි උනන්දුවක් තියෙන්න ඇත්තේ.

      Delete
  8. තුර්කියේ අප්පච්චි.. :) මට අල්ලලම ගියේ ආගම සම්භන්දව කරපු වෙනස්කම් හා ප්‍රකාශ.. ගොඩ එන්නනම් ඔය කෙහෙල්මල් ආගම්වාදයෙන් (වදයෙන්) මිදෙන්නම වෙනවා..

    ReplyDelete
    Replies
    1. කෙමල් රටේ 0.2% පමණ සිටි සුළුතර ආගමිකයින්ගේ පවා ආගමික නිදහස තහවුරු කළා. කාටවත් ආගම් අදහන්න එපා කිවුවේ නැහැ. ඒත් ආගම රාජ්‍ය පාලනයට ගාවගත්තේ නැහැ.

      Delete
    2. මට ඒ මනුස්සය විප්ලවවාදියෙක් වෙන්නේ අන්න එතන. අපේ ගෙවල් පැත්තේ හුඟක් ඉන්නේ තුර්කි මිනිස්සු. අපේ ඩිස්කෝ වලට් ඇවිල්ල වැඩිපුර ඩාන්ස් කරන්නෙත් ඒ අය. මුස්ලිම් වුනත් ඒ බව ඕනවට වඩා පෙන්වන්න යන්නේ නැහැ. කේමල් අතතුර්ක් හදපු තුර්කි ජාතිකයා වැඩ නිදහස් මිනිහෙක්. ඒ නිසා කේමල් ඒකාධිපතියෙක් කිව්වම එක ටිකක් ප්‍රශ්නයක්.

      Delete
    3. කෙමල් අතතුර්ක් හදපු තුර්කි ජාතිකයා ගැන ඔබ කියන දෙයටනම් මම සම්පූර්ණයෙන් එකඟයි. මම දැනටත් ඇසුරු කරන මෙවැනි තුර්කි හෝ තුර්කි සම්භවයක් ඇති ගොඩක් අය මේ වන විට සිදුවන වෙනස්කම් ගැන ගොඩක් කනස්සල්ලෙන් ඉන්නේ. ඒ වුනත්, ඔහු ඔහුගේ මතවාද වලට විරුද්ධ බලවේග වලට මතුවෙන්න දුන්නෙම නැහැ නේද? (මේ විරුද්ධ බලවේග විසින් නියෝජනය කළ මතවාද වලට මම කැමති නැති එක වෙනම කරුණක්) මම ඔහුව දකින්නේ ලී ක්වාන් යූ වැනි පුද්ගලයෙක් ලෙස.

      Delete
  9. සිංහල වාසගම් සහිත මුස්ලිම් පවුල් සෑහෙන ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. මා දන්නා එවැනි එක් පවුලක වාසගම සහ නම මෙසේයි.

    කොස්ම කෝරළේ පටබැඳි ගේ අන්වර්

    ReplyDelete
    Replies
    1. ඇයි අර හාදය, අන්වර් මනතුංග.
      මනතුංග කියන්නෙ සිංහල නමක් නේද

      Delete
    2. ඔහු සිංහල ජන්මයක් ලබා පසුව මුස්ලිම් ආගම වැළඳගත් කෙනෙක් නේද

      Delete
    3. මෙවැනි අය ගොඩක් නුවර අවට ඉන්නවා. වෙනත් ප්‍රදේශවලත් මා දන්නා අය ඉන්නවා. "තම්බි වෙද මහත්තයා" නම් වූ මුස්ලිම්, එහෙත් (දේශීය/ බටහිර නොවන) වෛද්‍ය පරම්පරාවකින් පැවත එන්නන් ගැනත් මා දන්නවා. ඔවුන්ගේ පරම්පරාවේ පූර්වජයෙකුට රජුගේ කිසියම් ලෙඩක් සුව කිරීම නිසා දිග වාසගමක් ලැබී තිබෙනවා. (රජුගේ ලෙඩ සුවකළ හැකි අයටනම් එවැන්නක් දීම වටිනවා)

      Delete
    4. ගුරුන්නැහැලාගේ ගෙදර තම්බි ලෙබ්බේ *** *** *** *** *** *** මෙය මගේ වාසගමයි.

      Delete
    5. our beloved president late Hon. JR Jayawardena's ancestors had a surname as "Tambi Mudiyanselage" and later they adapted the mothers surname Jayawardene.

      Delete
  10. මුස්ටෆා කැමල් කළේ එසේ මෙසේ විප්ලවයක් නෙමෙයි. ඇත්තෙන්ම පළැමු ලෝක යුද්ධයෙන් පසු ඔද වැඩුන තුර්කි ජාතිවාදය ට නායකත්වය දුන්නෙ කැමල්. ඔහු තේරුම් ගත්ත අරාබි උරුමය තුර්කියට කටු ඔටුන්නක් බව. සියවස් ගනනාවක් අරාබීන්ට නායකත්වය දුන්නෙ තුර්කීන්. මේ නායකත්වය කැමැත්තෙන්ම අත හැරිය. හැබැයි අරාබීනුත් තුර්කීන්ගෙ නායකත්වය ප්‍රතික්ෂේප කරලයි තිබුනෙ.

    ඉස්ලාමය වැළද ගැනීම නිසා ඊජිප්තුව ,සිරියාව ,පර්සියාව වගෙ රටවල් අරාබි රටවල් වුනා. ඔවුන්ගේ ජාතිකත්වය නැත්තටම නැති වුනා. මේක බෙන්ගාලෙ , ඉන්දුනීසියාවෙ එහෙම අඩුයි. බෙන්ගාලෙ චෞද්‍රිල ,ඉන්දුනීසියාවෙ සුහර්තෝල එහෙම ඉන්නෙ ඒකයි .නමුත් තුර්කිය ,ඊජිප්තුව වගෙ රටවල ජාතිකත්වය හෝදලම ඇරිය. ඒ රටවල අරාබි රටවල් වුනා. කැමල් තේරුම් ගත්ත මෙය.

    තුර්කිය වාර්ගිකවත් යුරෝපා ප්‍රජාවක්.ට්‍රෝජන් යුද්ධ වල ට්‍රෝයි පුරය තියෙන්නෙත් තුර්කියෙ. ඊටත් පෙර ඔවුන්ට දීර්ඝ සංස්කෘතියක් තිබුන. පර්සියාවට ඊජිප්තුවටත් එහෙමයි. නමුත් මේ උරුමයන් පැත්තකට දාල අමුවටම අරාබි වෙන එක නම් අපරාධයක්.

    කැමල් අරාබි හෝඩිය පවා ඉවත් කරල ,අරාබි ඇදුම් පැළදුම් ඉවත් කරල , අරාබි නම් ගම් පවා ඉවත් කළා. අද තුර්කියෙ මොහමඩ්ල නෑ මං හිතන්නෙ. මේව මතුකරන එක ලේසි වුනේ නෑ. මේව යට ගිහින් තිබුනෙ. තව ටිකෙන් තුර්කි භාෂාවත් නැත්තටම නැතිවෙනව. ඉස්ලාමය නාමයෙන් සිදුවුනේ අරාබි සංස්කෘතික ආක්‍රමනයක් බව කැමල් කීව.

    කැමල් මේ හැම දෙයක්ම කීවෙ ප්‍රසිද්ධියෙ. අද ලංකාවෙ දේශපාලකයෙකුට පුලුවන්ද මම ආගමක් අදහන්නෙ නෑ. බුදුදහම දේශපාලනෙන් අයින් කරන්න ඕන කියල ප්‍රසිද්ධියෙ කියන්න බෑනෙ. හැබැයි 99% මුස්ලිම් තුර්කිවරු ඉදිරියෙ කැමල් එහෙම කීව. ඒකයි වටින්නෙ.

    කැමල් යුද්ධ සම්මුතිවලට ගරු කළේ නෑ. යුද්ධය පරාජය වීම නිසා තුර්කියට අහිමිවූ ප්‍රදේශ යලි අල්ලගත්ත.ග්‍රීක්වරු පලවා හරිය. ඔහු ජතිමාමක තුර්කීන් අතර ජනප්‍රිය වුනා. රට දියුණු කිරීමට නම් නූතන කළ යුතුයි .අරාබි විලංගු වලින් මුදා ගත යුතුයි කියා කීව. ආගම් භක්තිතෙන් සිටි තුර්කීන්ට අරාබි විලංගුව ගැන ඔහු පැහැදිලිකර දෙන්න ඇති. ඔහුට අල්පමාත්‍ර විරෝධයක් ආවෙ නෑ ප්‍රතිසංස්කරන වලට.
    තායිලන්තෙ චූලාලංකෝන්, ජපානෙ මුත්සියුහිතෝ කළ දේමයි කැමල් තුර්කියට කළේ. සාර්ථක වෙන්නම සුද්ද වගෙ වෙන ඕන කියල ඒ හැමෝම කිව්ව. වැඩවසම් අතීතය ශක්තියක් නොව අපව තවත් දුර්වල කිරීමක්ය කියල ඔවුන් තම රටවල ජනයාට පැහැදිලි කළා.

    අවාසනාවට අපට හිටියෙ කැමල් ල නෙමෙයි. අපේ ශක්තිය වැඩවසම් අතීතය කියල ජනතාව රවටන දේශපාලුවො. වැඩවසම් අතීතය අපේ ශක්තිය නොවෙයි දුර්වලකමයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ දිගු කමෙන්ටුවට ස්තුතියි! එය මගේ ලිපියට හොඳ ඇමිණුමක්. බංග්ලා දේශයේදී මට දැනුනු වෙනස තමයි ඔවුන්ගේ මේ තවමත් ඉතිරිව ඇති ජාතිකත්වය. ආගම ඉස්ලාම් වුනත් ගොඩක් අය ළඟ දකුණු ආසියානු සමාජයේ මූලික ලක්ෂණ ඒ විදිහටම තිබුණා.

      Delete
    2. "අද ලංකාවෙ දේශපාලකයෙකුට පුලුවන්ද මම ආගමක් අදහන්නෙ නෑ. බුදුදහම දේශපාලනෙන් අයින් කරන්න ඕන කියල ප්‍රසිද්ධියෙ කියන්න බෑනෙ".
      අද ලංකාවේ ඉන්න දේශපාලකයන්ගෙන් අගමැති රනිල්ට විතරක් මෙහෙම කියන්න පුළුවන් වෙයි.හැබැයි ඔහු ඕක කිව්ව ගමන් අධිරාජ්‍ය ගැත්තා කියලා බොරු දෙශප්‍රේමීන් ටික ඔක්කොම අවි අමෝරා ගන්නවා.

      Delete
  11. වර්තමාන ජනාදිපති එගොර්දාන් අටාටර්ක් ගේ ගමන ආපසු හරවනවා නේද??

    ReplyDelete
    Replies
    1. ඔව්, සා රස. ඔහුගේ ගමන ආපසු ගමනක්.

      Delete
  12. ඒ වගේ දැක්මක් තියන නායකයෙක් දැකල ඇහැ පියාගන්න ලැබුනොත් ………

    ReplyDelete
  13. ගොඩක් තොරතුරැ අහුල ගත්තා
    එල ද බ්‍රා

    ReplyDelete
  14. vatina lipiyak, saudiuyatath me vage venasakunoth,,,,hek hek ...hinen tamai..

    ReplyDelete
  15. "මට ආගමක් නැහැ. මම හිතනවා සියළු ආගම් පැවතිය යුත්තේ මුහුදු පතුලේ කියා. යමෙකු හිතනවානම් රාජ්‍ය පාලනයට ආගමක් සම්බන්ධ කරගතයුතුයි කියා, ඔහු ඉතා දුර්වල පාලකයෙක්."

    කෙමාල් විතරක් නෙමෙයි ඔයවගේ කතාවකට කැමති ජනතාවක් හිටපු ඒ කාලෙ තූර්කියත් ශ්‍රේෂ්ඨ රටක් වෙන්න ඕනෙ.

    ලංකාවෙ පාලකයන් රටේ සල්ලිවලින් පන්සල් හාමුදුරුවන්ට හා වෙනත් ආගම්වලට වියදම් කරනව. "මං ආගමකට නෑ හෝ ආගම පුද්ගලිකව විතරයි කරන්නෙ" කියන දේශපාලකයෙකුට අපේ ජහමනයා චන්දෙ දෙයිද?

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙත් මේ විදිහට තමයි ප්‍රාජේ. නායකයෙකුගේ හොඳ හෝ නරක අදාළ රටේ ජනතාවගෙන් වියුක්තව ඇගයිය නොහැකියි. කෙමල් අතතුර්ක් බිහිවෙන්නේ ඔහු වැන්නෙකු බිහිවීමට ඉඩකඩක් ඇති සමාජයකින්. මේ ප්‍රතිසංස්කරණ පිටුපස තවත් විශාල පිරිසක් ඉන්න ඇති. ඒ වගේම අනිත් අතට ජනතාවට අවශ්‍ය වුණත් හරි නායකයෙක් නැත්නම් මේවා මීට වඩා දියාරු ප්‍රතිසංස්කරණ වී ඉතා ඉක්මණින්ම ආපසු හැරවෙන්නත් ඉඩ තිබුණා. ඒ වගේම යුද්ධයක අවසානය කියන්නේ සමාජයක් හොඳටම හෙම්බත් වෙලා ඉන්න වෙලාවක්. මෙවැනි සමාජයක් කියන්නේ හොඳට හෝ නරකට අවශ්‍ය විදිහට පහසුවෙන් තලා ගත හැකි රත් වූ යකඩයක්. කෙමල් එවැනි අවස්ථාවක් හොඳින් කලමණාකරණය කරගත්තා.

      Delete
  16. //බංග්ලාදේශයේ ගතකල කාලය තුල මට දැනුනු ප්‍රධාන කරුණක් වූයේ බෙංගාලි මුස්ලිම්වරුන් සමස්තයක් ලෙස ලංකාවේ මුස්ලිම්වරුන් තරම් 'මුස්ලිම්' නැති බවයි// මේ කතාවේ පොඩි Thril එකක් තියෙනවා. මෙහෙ තත්වේ ටිකක් වෙනස්. මේ රටේ අයට වඩා ඉන්දියාවෙන්, බංගලාදේශයෙන්, ලංකාවෙන් ආව අයගේ 'මුස්ලිම් කම' වැඩිය්..

    ReplyDelete
    Replies
    1. එක් අතකින් එක් රටකින් තවත් රටකට සේවය සඳහා හෝ ස්ථිර පදිංචියට යන්නේ මුල් රටේ ජනගහනයෙන් අහඹු නියැදියක් නෙමෙයි. අනෙක් අතින්, වෙනත් රටකදී කෙනෙක් හැසිරෙන්නේ මුල් රටේ හැසිරුණු විදිහටම නෙමෙයි. මගේ පෞද්ගලික නිරීක්ෂණ අනුවනම් බලුකිස්ථානයෙන් රෝමයට යන මුල් කණ්ඩායම් උත්සාහ කරන්නේ රෝම කාරයින්ටත් වඩා හොඳ රෝමන් වරුන් වෙන්න. තමන්ගේ කණ්ඩායම විශාල වන විට මෙය අනිත් පැත්ත ගහනවා. එවිට හදන්නේ බලුකිස්තාන් කාරයින්ටත් වැඩිය හොඳ බලුකිස්තානුවන් වී බලුකිස්තානයේ පොඩි කොපියක් රෝමයේ හදන්න.

      Delete
  17. බොහොම වටිනා විස්තරයක්... මුස්ලිම් ජාතිකයන් බොහෝවිට අන්තගාමි ප්‍රතිපත්ති, (විශේෂයෙන් ඇඳුම් පැළඳුම් , හලාල් සැලකිලිමත් බව සහ ආගමික චර්යාවන්) වල මුලටම ගමන් කරන්නෙ ජිවත් වන සමාජ වටාපිටාව තුල බවයි මගෙත් අදහස. පාසලේ සිටි මුස්ලිම් යහළුවන් බොහෝ විට ඉහළ සමාජයේ වීම නිසාවට ඔවුන් තුළින් අර විදිහේ අන්තගාමි බවක් දක්නට ලැබුණේ නැහැ. උන්ගේ පවුල් වල කෙල්ලො ඩෙනිම් ඇඳල අපූරුවට හිටපු විදිය මට මතකයි. ඌරුමස් ගැන නම් ඒ තරමට මතකයක් නැතත් අපේ බත්මුල් වලින් හලාල් පයිසෙකට වත් මායිම් නොකර උන් දෙසාබෑවා.. මුස්ලිම් මිනිස්සු වැඩියෙන් වාසය කරන ප්‍රදේශයක ජිවත් වන අපේ පොඩි නැන්ද කාලයක් බත් කඩයක් කළා. නෝම්බි කාලෙට ඒ කඩේ වෙනමම කොටසක් වෙන් කරලා තිබ්බ මුස්ලින් මිනිස්සුන්ට දවල්ට කන්න. තුහ් තුහ් ගගා කෙලගගහ එන මුස්ලිම් පිරිමි කඩේට රිංගල අපූරුවට කාල ආයෙත් තුහ් තුහ් ගගා කෙලගගහ යනවලු. නැන්දගේ කඩේට එන්න හේතුව ඒක "මුස්ලිම්" කඩයක් නොවීම.. හැබැයි සමහරු ඉන්නව අනිවාර්යෙන් උපවාස කරන. සෑහෙන කාලෙකට කලින් එකපාරක් අපේ ගල් වැඩපලට ආපු මුස්ලිම් මනුස්සයෙක් වතුර එකක් වත් නොබී ගල් ලෝඩ් එකක් තනියම පටවාගෙන ගිය හැටි මට හොඳට මතකයි...

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දෙය අපේ සාමාන්‍ය 'ලාංකික' සංස්කෘතිය නේද? පේන්න සිල් අරගෙන හවසට ඉබ්බෝ මරණ අය වගේම බොක්කෙන්ම සිල් රකින අයත් බෞද්ධ වගේම කතෝලික, හින්දු, ඉස්ලාම් කොයි ගොඩෙත් සිටීම ඉතාම සාමාන්‍යයි. එසේ නොසිටීනම් තමයි පුදුම විය යුත්තේ.

      Delete
  18. මුස්ලිම් සංස්කෘතිය බිහිවෙලා තියෙන්නෙ කාලීන අවශ්‍යතාවක් නිසා. පොලී ගැනීම තහනම් වීම හොඳම උදාහරනයක්. නමුත් 15 වන සියවසේ කාන්තාර රටක අවශ්‍යතා සදාකාලිකව හැම රටකටම ආදේශ කරන්න බෑ.
    ඉස්ලාම් අන්තවාදයට මුලින්ම විරුද්ධ වෙන්නෙ මුස්ලිම් අය. මොකද උන් ඒකෙ පීඩනය අත්දැකීමෙන්ම දන්න නිසා.

    ReplyDelete
    Replies
    1. ආගම්, සංස්කෘති බිහි වන්නේම කුමක් හෝ සමාජ අවශ්‍යතාවයකට විසඳුමක් ලෙස නේද? ඇත්තටම දැන් අපි හිතන්න ඕනෑ මේ ඇතැම් "ආපසු ගමන්" ජනප්‍රිය වෙන්නේ ඇයි කියන කරුණයි.

      Delete
  19. මේ වගේ බුද්ධිමත් නායකයින් ලැබෙන්න මිනිස්සු පින් කරන්න ඕන. චන්දයක් වෙනුවෙන් අම්ම උනත් පාවල දෙන්න දෙපාරක් හිතන්නේ නැති දෙසපාලකයින් ඉන්න ලංකාව වගේ රටකට අනාගතයේ කුමන ඉරණමක් අත්වේවිද කියන එක ගැන හිතාගන්නවත් බෑ . (ඒ වගේම අපේ ජනතාවත් බහුතරයක් තුන් වේලටම කන්නේ ලනු නිසා අනාගතයේ කඹ කර්මාන්ත ශාලාවක්වත් පටන්ගන්න පුළුවන් වෙන්නේ නැතා.)

    නොදන්නා හුඟක් දේවල් ඉගෙනගත්ත. වටිනා ලිපි මහන්සි වෙලා ලියනවට පිං ..

    ReplyDelete
    Replies
    1. //මේ වගේ බුද්ධිමත් නායකයින් ලැබෙන්න මිනිස්සු පින් කරන්න ඕන// ඇත්තටම අම්බලම් මේවා යකාගේ හැටියට ලැබෙන විමාන. කෙමල් වගේ කෙනෙක් හිටියත් 'බටහිර ඒජන්තයෙක්' ලෙස සමාජයෙන් ප්‍රතික්ෂේප වුනානම් මේ කිසිවක් වෙන්නේ නැහැ. ඇගයීමට ස්තුතියි!

      Delete
  20. මේ ඇදහිලි සහ සංකල්ප සියවස් ගානකට පෙර ගැලපුනත් අදට ගැලපෙන්නෙ නෑ. විසිවන සියවස මුලදි කෙමල් ඔහොම විප්ලවයක් කලාට දැන් ඉන්න කැමල් ලා ට්‍රයි කොරන්නෙ ආයිත් මේ ලෝකෙ ගල් යුගේට ගෙනියන්න.
    මේ රටේ දැන් පවතින මුස්ලිම් අය වෙන්ව කැපී පෙනීමේ ඉස්ටයිල් එක ඇරඹුනේ යුද්ධය අවසානයත් එක්ක. එතකං සද්දෙ වහලා උන්නෙ කොටින්ට බයේ. ඒක තමා ඇත්ත.

    ReplyDelete
    Replies
    1. //මේ රටේ දැන් පවතින මුස්ලිම් අය වෙන්ව කැපී පෙනීමේ ඉස්ටයිල් එක ඇරඹුනේ යුද්ධය අවසානයත් එක්ක. එතකං සද්දෙ වහලා උන්නෙ කොටින්ට බයේ. ඒක තමා ඇත්ත.// ඒ එක්කම පසුගිය දශක කිහිපය තුල රටින් පිටත සිදුවූ වෙනස්කමුත්, අපේ මහා සමාජයේ සිදුවූ ඇතැම් වෙනස්කමුත් මෙයට බලපෑවා.

      Delete
  21. අනාගතය හරියට දැක්ක නායකයෙක්.එහෙම නායකයෙක්,ජනතාවක් හිටපු රටක් ආපහු ආපස්සට ගමන් කරනවා කියන්නේ ලොකු ප්‍රශ්නයක්.රටක් ගමන් කරන්න ඕනේ ඉස්සරහට මිසක් ආපස්සට නෙමේ.

    ReplyDelete
    Replies
    1. මෙතන තියන ප්‍රශ්නය, මනෝජ්, ඔබත් මමත් මෙය ආපසු ගමනක් ලෙස දැක්කත් එහිම අනිත් පැත්ත දකින අයත් සිටීමයි.

      Delete
  22. තුර්කි ජාතිකයන් පමනක් උගන්වන සියලු කටයුතුවලට තුර්කි ජාතිකයන් පමනක් ම සහබාගී වන පාසලක් රාජගිරියේ තියෙන බව දන්නවාද? (Learnium International School) එහි කෝකියා පවා තුර්කි ජාතිකයෙක්.

    ReplyDelete
    Replies
    1. මේ ගැන දැන සිටියේ නැහැ, සා රස. ඇත්තටම ලංකාවේ එපමණ තුර්කි ජාතිකයින් සිටින බවවත් මා දැන සිටියේ නැහැ.

      Delete
    2. මා දන්නේත් ඔවුන් මා ලඟට හදිසි "සින්හල ඉගෙනීම" සඳහා පැමිනෙන නිසාය...

      Delete
  23. කණගාටුවෙන් උනත් කිව යුත්තේ තුර්කියත් ඇතුළුව ලෝකයේ බොහෝ මුස්ලිම් රටවල් ආපස්සට ගමන් කරමින් තිබෙන බව.වැඩිය ඕන් නෑ ලංකාවෙ මුස්ලිම් බහුතරයක් පහු ගිය අවුරුදු කීපය ඇතුලේ වෙනස් වෙච්චි අන්දම ඕනෑම කෙනෙකුට හොඳින් බලා ගන්න පුළුවන්.දශකයකට එහා මැදපෙරදිග අත්දැකීම් වලින් මට කියන්න තියෙන්නෙ සුද්දො හදපු සිස්ටම් එකත් ඉන්දියානු ශ්‍රමයත් නිකන් ලැබුන තෙලුත් නොතිබෙන්න මේ ධනවත් අරාබි රටවල් කියන බහුතරයක් ලෝකෙ අන්ත ගෝත්‍රික දුප්පත් රටවල් වෙන්න ඉඩ තිබුණු බව.දැනටත් අපේ කලාපෙ පුහුණු ශ්‍රමිකයන් ගොඩ දෙනෙකුට මේ රටවල අවස්ථාවන් බහුලව තියෙන්නෙ මුන්ගේ මේ පසුගාමී සමාජ ආකල්ප වලට පිං සිද්ධ වෙන්න!

    ReplyDelete
    Replies
    1. දශකයක් මැදපෙරදිග හිටියානම් මේ කාලය තුල සිදුවූ වෙනස ඔබට මට වඩා හොඳින් පෙනෙනවා ඇති. කලින් කලට පුද්ගලයින්ට වගේම රටවල් වලටත් 'ස්වීප් ඇදෙනවා'. ඒත් දිගුකාලීනව මේ ස්වීප් වලින්ම ගොඩයන්න බෑ.

      Delete
  24. දීර්ඝ ලිපියක්.මම පොඩි කාලේ මුස්ලිම් අය ආශ්‍රය කරන්න පට්ට බයක් තිබුනේ.
    ඒත් මම හිතපු තරම් උන් නරක නෑ. සුලුතරයක් ඉන්නවා ජාතිවාදය අවුස්සන.උන් ටික හින්දා අනිත් අයත් කොන් වෙනවා...
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මුස්ලිම් අය අතර අන්තවාදීන් සිටින්නේ සුළු පිරිසක්. ඒත් මේ පිරිස වර්ධනය වීම තමයි පෙනෙන ප්‍රවණතාවය. මෙයට ජාත්‍යන්තරව වගේම දේශීයවත් සිදුවන දේවල් බලපානවා. මෙයට මුහුණ දිය යුත්තේ සංයමයෙන් සහ ක්‍රමෝපායික ලෙසයි. ඒ සඳහා උදවු කරගත හැකි ප්‍රධානම කණ්ඩායම අන්තවාදී නොවන මුස්ලිම් පිරිස්. එය කළ හැක්කේ ඔවුන් ඒ සඳහා උනන්දු කරවන පසුබිමක් නිර්මාණය කිරීමෙන්.

      Delete
  25. ඉස්ලාමයේ වගේම කතෝලික ආගමේ තියෙන ගුනයක් තමයි ජාතිකත්වයට එරෙහි වීම. ඉස්ලාමය අරාබි සංස්කෘතිය මුල් කරගත් ජාත්‍යන්තරවාදයක් වෙනුවෙන් පෙනී සිටින අතර කතෝලික ආගම වර්ගවාදයන්වෙනුවෙන් පෙනී සිටිනවා. මුස්ලිම් නොවන රටවලදී කතෝලිකයන්ට යම් මර්ධනයක් වී ඇති අවස්ථා වලදී එය වී ඇත්තේ කතෝලික සභාව ජාතික රාජ්‍යය පිලිනොගැනීම නිසයි.
    යුරෝපය නිර් ආගමික වීමත් ජාතික රාජ්‍යය බිහිවීමත් එකවර සිදුවුනේ ඒකයි. ඉතාලි ජාතික වාදීන් ජාප් වහන්සේ සිරගතකලෙත්, උන් වහන්සේට ලෝකයේ කුඩාම රාජ්‍යය වෙන්කරදී ඉතාලි රාජ්‍යයෙන් ඈත් කලෙත් එමනිසායි.
    කෙමල් අතා තුර්ක් යනු ජාතික වාදියෙක් ඔහු ඉස්ලාම් විරෝධියෙක් වුනේ ජාතිකත්වය නිසයි.
    ලංකාවේ සිංහල නිරි ආගමිකයෝ ඊට වෙනස් ඔවුන්ට තිබෙන්නේ සිංහල අසාත්මිකතාවයක් සිංහල නිර් අගමිකයන් දේශපාලනිකව "දෙමල නොවන කතෝලික ක්‍රිස්තියානි" (http://economatta.blogspot.com/2015/06/blog-post_30.html) වර්ගයට ඇතුලත්කල හැකියි.

    ReplyDelete
    Replies
    1. ජගත්ගේ කමෙන්ට්ස් වලට කොහොමටත් කෙටි උත්තර දෙන්න අමාරුයි. මේ හැම දෙයක් ගැනම කතා කරන්න ගියොත් පෝස්ට් එකකිනුත් ඉවර කරන්න බැරිවෙනවා. සමහර දේවල් ගැන මම කෙටියෙන් කතා කරන්න කැමති නෑ. එතකොට වැරදි අවබෝධයක් එන්නේ. මගේ නිරීක්ෂණ අනුවනම් නිර්-ආගමිකයෝ කියන්නෙත් පුළුල් කණ්ඩායමක්. ඒකේ එක එක විදිහේ අය ඉන්නවා. ඒ අතරේ ආගම් නොඇදහුවත් ආගම් ගැන හෝ ආගම් අදහන්නන් ගැන තරහක් නැති අය ඕනෑ තරම් ඉන්නවා. ඒ ගොඩක් අය තමන් නිර්-ආගමිකයෝ කියලා කාටවත් පෙන්නන්න යන්නේත් නැහැ. එහෙම පෙන්නන අයගෙන් කොටසක් 'නිර්-ආගමික' ආගම අදහන අය. එහෙම අයව මම සලකන්නේ තවත් ආගමික කණ්ඩායමක් විදිහට. ඔය වගේම ආගම් අත ඇරලා විද්‍යාව 'අදහන' අයත් ඉන්නවා. ඒ විද්‍යාව කියන්නේ කුමක්ද කියා හරි අවබෝධයක් නැති අය.

      Delete
  26. ඉතා වටිනා පරිපුර්ණ ලිපියක් . මමත් ටික කාලයක් තුර්කි ජාතිකයන්ට අයත් සමාගමක වැඩ කළා . එහිදී හමු වූ බොහෝ දෙනෙක් අදටත් මා සමග හිතවත් . ඔවුන් නිදහස් මතධාරීන් මෙන්ම හරිම මිත්‍රශීලීයි. යුද්ධය නිමවූ වහාම තුර්කියේ අප්පච්චීට මෙන් අපේ අප්පච්චීටත් සංස්කෘතික විප්ලවයක්ද කරන්න ඕනෑ තරම් අවස්ථාව තිබ්බා. අනේ මන්දා ඒ තරම් දුර දකිනා නුවණක් නැතිව ජවයක් විතරක් තිබිලා වැඩක් නෑ .

    ReplyDelete
    Replies
    1. මහන්සියෙන් උපයාගත් මුදල් මිනිස්සු අර පරෙස්සමෙන්, හරිම කල්පනාවෙන් වියදම් කරනවා. ලොතරැයි දිනුමක් ඇදුනහම පිස්සු කෙළල ඉක්මණින් සල්ලි ටික නාස්ති කරල දානවා. මිනිස්සු සල්ලි වියදම් කරන හැටියෙන් ඒ සල්ලි උපයන්න වෙච්ච මහන්සියේ තරම ගැන (කියනකොට මොනවා කිවුවත්) අදහසක් ගන්න පුළුවන්.

      Delete
  27. බොහොම වටිනා ලිපියක්.. ටියුටෝරියල් එකක් වගේ.. ශාහ්..!!
    ජයවේවා..!!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget