Monday, June 27, 2016

බ්‍රෙක්සිට් දික්කසාදයෙන් ඔබ්බට...


එක්සත් රාජධානිය යුරෝපා සංගමයෙන් වෙන් විය යුතු බව මේ වන විට එම රටේ ඡන්දදායකයින් විසින් තීරණය කර අවසන්ය. ඉදිරි දෙවසර තුළ මේ වෙන්වීම හැකිතරම් සුමට ලෙස සිදු කෙරෙනු ඇත.

දේශ සීමානම් වූ කෘතීම බාධක මඟින් නිදහස් සංචරණයට හා වෙළඳාමට සීමා පැනවීම පසුගිය සියවසක පමණ කාලය තුළ ජනප්‍රිය වූ සංකල්පයකි. මානව ඉතිහාසයේ ගෙවී අවසන් දිගු කාලය තුළ එවැනි බාධාවන් නොපැවතුනි.

යුරෝපා සංගමය පිහිටුවීම ඉහත කී ආකාරයේ බාධාවන් ඉවත් කිරීම සඳහා වූ මෑතකාලීන පෙළඹුමේ තීරණාත්මක කඩඉමක් වූ අතර එමඟින් එයට සම්බන්ධ වූ රටවලට සමස්තයක් ලෙස සැලකිය යුතු ආර්ථික ප්‍රතිලාභ සැලසුණේය. කලාපය තුළ රටවල් අතර භාණ්ඩ හා සේවා නිෂ්පාදන වලටත්, නිෂ්පාදන සාධක වන ප්‍රාග්ධනයට හා ශ්‍රමයටත් නිදහසේ සංචරණය වීමට ඇති බාධා ඉවත් කිරීමට අමතරව පොදු නියාමන හා නීතිමය රාමුවක් හා මුදල් ඒකකයක් තුළ මේ රටවල් ඒකාබද්ධ කිරීමද යුරෝපා සංගමයේ අරමුණු අතර විය. එවැනි සාර්ථක ඒකාබද්ධ කිරීමක් සිදුවීනම් යුරෝපා සංගමය ලෝකයේ විශාලතම ආර්ථික, මුදල්, මූල්‍ය හා දේශපාලනික බලය ලෙස වැජඹිය හැකිව තිබුණි.

පැවති ජනමතවිචාරණයේ ප්‍රතිඵල අනුව සිදුවීමට නියමිතව ඇතැයි පෙනෙන්නේ නිදහස් සංචරණයට හා වෙළඳාමට පැවති බාධා ඉවත් කිරීමේ ලෝක ප්‍රවණතාවය ආපසු හැරවී ජාතිකවාදය හා ආරක්ෂණවාදය කරා එක්සත් රාජධානිය නැවතත් පියවරක් පසුබැසීමයි. ඒ හේතුවෙන්, එක්සත් රාජධානියට, යුරෝපා සංගමයේ රටවලට හා එයින් බාහිර ලංකාව ඇතුළු රටවලට සිදුවන නිශේධනාත්මක බලපෑම ගැන විවිධ අනාවැකි දැනටමත් පලවී තිබේ.

මෙහිදී අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ යුරෝපා සංගමයෙන් වෙන්වීමට සහාය පළ කළ බොහෝ දෙනෙකු ආරක්ෂණවාදීන් හෝ නිදහස් ප්‍රාග්ධන සංචරණයට විරුද්ධ වූ පුද්ගලයින් නොවූ බවයි. ඒ නිසා, ඉදිරි කාලය තුළ වෙළඳ ගිවිසුම් මඟින් නැවතත් භාණ්ඩ, සේවා හා ප්‍රාග්ධන සංචරණයේ නිදහස තහවුරු කෙරෙනු ඇතැයි විශ්වාස කළ හැකිය. යුරෝපා සංගමයෙන් වෙන්වීමේ කටයුතු සම්පූර්ණ වීමට සමාන්තරවම මෙය සිදු වීමට බොහෝ දුරට ඉඩ ඇත.

ජනමතවිචාරණ ප්‍රතිපලය මඟින් ප්‍රධාන වශයෙන්ම පෙනෙන්නේ ශ්‍රමය නිදහසේ සංචරණය වීමට බ්‍රිතාන්‍ය ඡන්දදායකයින්ගේ ඇති නොකැමැත්තයි. එයට අමතරව, පොදු නියාමන, පරිපාලන හා නීති රාමුවකට ඇති නොකැමැත්තද එයින් පිළිබිඹු වේ.

යුරෝපා දීගය නිසා එක්සත් රාජධානිය හා සංගමයේ අනෙකුත් සාමාජික රටවල් අතර සිදුවූ ශ්‍රම සංචරණය බොහෝ දුරට එක් දිශාවකට සිදු වූවකි. යුරෝපා සංගමයට අළුතෙන් රටවල් එක් වෙද්දී එක්සත් රාජධානියට වාර්ෂිකව රැකියා පිණිස පැමිණෙන සංක්‍රමණිකයින් ගණනද ක්‍රමයෙන් ඉහළ ගියේය.


අනූව දශකයේ මැද වන තුරු එක්සත් රාජධානියට සංක්‍රමණිකයින් සැලකිය යුතු ප්‍රශ්නයක් වූයේ නැත. රට තුළට සංක්‍රමණය වූ ගණන හා රටින් පිටතට සංක්‍රමණය වූ ගණන විශාල ලෙස වෙනස් නොවූ නිසා ඒ වකවානුව දක්වා එක්සත් රාජධානියේ ශුද්ධ සංක්‍රමනික අනුපාතිකය පැවතියේ බිංදුව ආසන්නයේය.

ඇත්තටම අප කවුරුත් දන්නා පරිදි පසුගිය තෙසියවස තුළ වැඩිපුරම සිදුවුනේ බ්‍රිතාන්‍ය වැසියන් වෙනත් රටවලට සංක්‍රමණය වීමයි. ඔවුහු ලංකාව ඇතුළු ලොව පුරා පිහිටි වෙනත් රටවල් බොහෝ ගණනකට සංක්‍රමනය වෙමින් සිය ශ්‍රමය හා ප්‍රාග්ධනය වෙනුවෙන් සැලකිය යුතු ප්‍රතිලාභ ලබාගත්තා පමණක් නොව සෑහෙන දුරකට සිය සංස්කෘතියද ව්‍යාප්ත කළහ. ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව වැනි තැන් වල මුලින් පැවති සංස්කෘතිය ප්‍රතිස්ථාපනය කිරීමට පවා ඔවුන්ට හැකි විය. ඒ කාලය තුළ වෙනත් රටවලින් බ්‍රිතාන්‍යය වෙත සංක්‍රමණය වීම ලොකුවට සිදු වූ දෙයක් නොවේ.




එක්සත් රාජධානිය සංක්‍රමණිකයින්ට ආකර්ශනීය තැනක් බවට පත් වී දශක කිහිපයකට වඩා ගතවී නැත. සංචරණයේ නිදහසට කෘතීම බාධාවන් පැමිණවීම ලෝක ප්‍රවණතාව වූ පසුගිය සියවස තුළ එක්සත් රාජධානිය ක්‍රමයෙන් නීත්‍යානුකුල හා නීති විරෝධී සංක්‍රමණිකයින්ට ආකර්ශනීය තැනක් බවට පත් විය. මේ සඳහා සිවිල් යුද්ධ, දරිද්‍රතාව, දේශපාලන නිදහස වැනි 'තල්ලු කිරීම් සාධක' (push factors) මෙන්ම ආර්ථික හා අධ්‍යාපන අවස්ථා වැනි 'ඇදීම් සාධක'ද (pull factors) හේතු විය. පසුකාලීනව බොහෝ සංක්‍රමණයන්ට හේතු වූයේ ඇදීම් සාධකයි.

යුරෝපීය සංගමය සක්‍රිය වීමට පෙර, සම්ප්‍රදායිකව එක්සත් රාජධානියට සංක්‍රමණිකයින් වැඩිම පිරිසක් පැමිණි රටවල් අතර ඉන්දියාව, පකිස්ථානය හා බංගලි දේශය වැනි දකුණු ආසියාතික රටවල් ඉදිරියෙන්ම සිටියේය. එම රටවලින් පැමිණි සංක්‍රමණිකයින් බොහෝ විට එක්සත් රාජධානියේ ස්ථිර ලෙස නැවතීමත්, යුරෝපීය රටවලින් පැමිණි සංක්‍රමණිකයින් සැලකිය යුතු පිරිසක් නැවත තමන්ගේ මුල් රටටම ආපසු යාමත් ඒ කාලයේ පෙනෙන්නට තිබුණු දෙයයි. මේ නිසා, මා සිතන පරිදි අනූව දශකයේදී පමණ බොහෝ එක්සත් රාජධානි වැසියන් සිතුවේ ස්ථිරව නැවතීමට පැමිණෙන ආසියාතිකයින්ට සාපේක්ෂව කලක් රැකියාවක් කර ආපසු සියරට යන යුරෝපීයයන් අඩු ප්‍රශ්නයක් බවයි.

යුරෝපීය සංගමයට නැගෙනහිර යුරෝපීය රටවල් එකතු වීමට පෙරද ශුද්ධ සංක්‍රමණයේ දිශානතිය එක්සත් රාජධානිය වෙතට වුවත් එය තීරණාත්මක සමාජ ප්‍රශ්නයක් වූයේ නැත. මෙය තීරණාත්මක ප්‍රශ්නයක් බවට පත්වූයේ 2004 දී නැගෙනහිර යුරෝපීය රටවල් අටකට යුරෝපීය සංගමයේ සාමාජිකත්වය ලැබීමත් සමඟය. මේ සමඟ එක්සත් රාජධානියේ ශ්‍රම වෙළඳපොළේ සිදුවූ වෙනස්කම් පිළිබඳව ලේඛකයාට තරමක් දුරට පෞද්ගලික අත්දැකීම්ද තිබේ.

කම්කරු නීති හා නියාමන කොන්දේසි කෙසේ වුවත් 2004ට පෙර එක්සත් රාජධානියෙහි නීති විරෝධී ලෙස රැඳී සිටින්නෙකුට හෝ රැකියා කිරීමට අවසර නොමැති අයෙකුට අවම වැටුප් මට්ටමේ හෝ ඊටත් අඩු මට්ටමේ රැකියාවක් (cash job) සොයා ගැනීම අපහසු කරුණක් නොවීය. මේ හේතුවෙන්, මේ කාලයේදී ශ්‍රී ලාංකිකයෝද මූලිකවම රැකියාවක් කිරීමේ, මුදල් ඉපැයීමේ හා දිගුකාලීනව එක්සත් රාජධානියේ පදිංචි වීමේ අරමුණින් විවිධ ක්‍රමවලින් එක්සත් රාජධානිය වෙත පැමිණියහ. මේ අතරින් බොහෝ දෙනෙකු එවකට ප්‍රචලිතව පැවති 'වීසා කොලේජ්' හරහා ශිෂ්‍ය විසා ලබා ගනිමින්ද, සරණාගතයින් ලෙස ලියකියවිලි ඉදිරිපත් කරමින්ද රට තුළට පැමිණි නමුත් මේ බොහෝ දෙනෙකුට මූලිකවම තිබුණේ ආර්ථික අරමුණකි. එය නරක සිහිනයක් පමණක්ම නොවීය.

යුරෝපීය සංගමයට නැගෙනහිර යුරෝපීය රටවල් එකතුවීමත් සමඟ ඉහත කී ලෙස නිසි අවසර රහිතව රැකියා සෙවූවන්ට රැකියා වෙළඳපොළේ පැවති ඉල්ලුම විශාල ලෙස අඩුවූ අතර කිසියම් හෝ රැකියාවක් සොයා ගැනීම ඉතා අසීරු කටයුත්තක් බවට පත් විය. ඒ අතරම, එක්සත් රාජධානිය වෙත පැමිණෙන ශුද්ධ සංක්‍රමණිකයින් ගණනද විශාල ලෙස ඉහළ ගියේය. බල්ගේරියාව හා රුමේනියාව යුරෝපීය සංගමයට එකතු වී පරිවාස කාලයකින් පසු එම රටවල වැසියන්ට එක්සත් රාජධානියේ රැකියා කිරීමට ලැබීමත් සමඟ මේ තත්ත්වය වඩාත් උග්‍ර විය.

පසුගිය වසර තුළ පමණක් එක්සත් රාජධානියට පැමිණ ඇති ශුද්ධ සංක්‍රමණිකයින් ගණන 330,000කි. එයින් අඩක් පමණ පැමිණ ඇත්තේ යුරෝපීය සංගමයේ රට වලිනි. එයට අමතරව, යුරෝපීය සංගමයේ වෙනත් රටවලට සරණාගතයින් ලෙස විවිධ රටවලින් සංක්‍රමණය වූවෝද එක්සත් රාජධානිය සිය අවසන් ගමනාන්තය කරගෙන සිටිති.

මා දකින පරිදි එක්සත් රාජධානියේ ඡන්දදායකයින්ගේ තීරණය ආර්ථික ජාතිකවාදයක් හෝ ආරක්ෂණවාදයක් වෙත පසු බැසීමකට වඩා සංස්කෘතික ප්‍රශ්නයකි. සිය ප්‍රමුඛ සංස්කෘතිය බහුවාර්ගික සංස්කෘතියක් තුළ ගිලීයනු ඇතැයි යන බියෙන් පත්තු කළ පළමු වෙඩි මුරයකි. ඔවුන් විසින්ම පසුගිය තෙසියවස තුල ලෝකයේ බොහෝ සංස්කෘතීන් ගිලගෙන ඇති බැවින් එය නොවිය හැක්කක් නොවන බව ඔවුහු දනිති.



ඒ හැරුණු විට මේ ජනමතවිචාරණ ප්‍රතිඵල මඟින් පෙන්වන ආර්ථික අභිලාශ සීමිත බැවින් වරණාත්මක වෙළඳ ගිවිසුම් කිහිපයකින් පසුව එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් ඉවත්වීමේ සම්ප්‍රයුක්ත ප්‍රතිඵලය වනු ඇත්තේ ශ්‍රමයට හා රෙගුලාසි වලට සීමා පැනවුණු එහෙත් භාණ්ඩ, සේවා හා ප්‍රාග්ධනයට වැට නොබැඳුනු ලිහිල් සම්බන්ධතාවයකි. එවැන්නක ආර්ථික කාර්යක්ෂමතාව පවතින තත්ත්වයට සාපේක්ෂව තරමක් අඩු වුවත්, විශාල ලෙස අඩු නොවනු ඇත.

(Image: www.brunchnews.com)

60 comments:

  1. අර කවුදෝ කියා ඇති පරිදි ලෝකයේ බොහෝ රටවල් බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීම සමරද්දී දැන් බ්‍රිතාන්‍යයට යුරෝපයෙන් නිදහස ලබා ගැනීම සමරන්න හැකියි.

    ReplyDelete
    Replies
    1. ඒකත් හොඳ අදහසක් තමයි!

      Delete
    2. රසික මෙය වැරදි කතාවකි . බ්‍රිතාන්‍යයේ නිදහස් යුරෝපය පැහැර ගත්තේ නැත. මේ මෙහි පැවසූ පරිදි:
      http://sinhala.lankanewsweb.net/featured/nelum-yaya/item/4407-2016-06-23-10-17-01
      ඉවත් වීමට සහය දෙන්නන්ගේ චෝදනාවක් නම්, යුරෝපා සංගමය බ්‍රිතාන්‍යයට නීති පනවන බවයි. නමුත් 1999 සිට බ්‍රිතාන්‍ය රජය අවස්ථා 56 කදී පමණක් විරුද්ධව චන්දය භාවිතා කර පැරදී එම නීති අනුමැත කරන්නට සිදුවී ඇත. නමුත් එවන් චන්ද වල දිනූ වාර ගණන 2466 කි.

      Delete
  2. "දේශ සීමානම් වූ කෘතීම බාධක මඟින් නිදහස් සංචරණයට හා වෙළඳාමට සීමා පැනවීම පසුගිය සියවසක පමණ කාලය තුළ ජනප්‍රිය වූ සංකල්පයකි. මානව ඉතිහාසයේ ගෙවී අවසන් දිගු කාලය තුළ එවැනි බාධාවන් නොපැවතුනි."

    Hmmm; What about Japan?

    ReplyDelete
    Replies
    1. මම ජපන් ඉතිහාසය හෝ ජපන් ආර්ථිකය ගැන ටිකක් හැරුණු විට වත්මන් ජපානය ගැන (contemporary Japan) ගැන හදාරලා නැහැ. ජපානයට හෝ පිටතට සංක්‍රමණය වීමට තිබෙන බාධාවනුත් පසුගිය සියවස තුළ ඇතිවුණු තත්ත්වයක් නේද? ඓතිහාසිකව කිසියම් සුවිශේෂී තත්ත්වයක් තිබුණද?

      Delete
  3. මචෝ ඉකෝ.. මම නොදන්න දේවල් වලට කථා කරන්නෙ නැති උනත් අත්දැකීමෙන් දැකපු දේවල් දිහා කට වහන් ඉන්නෙ නෑ මචන්. මම හිතන්නෙ දිගු කාලින හොඳ දෙයක් විදිහට ඉවත් උන එක හොඳ දෙයක්. එංගලන්තෙ වෙලා පාරේ මුත්‍රා කරන හදිසියකට රෑට පාරෙදි ෆෝන් එක ගත්තොත් ගහල අරගෙන යන උදේ 6 ඉඳල පාරේ අරක්කු බොන අවුන් එක්ක, එක ගෙදර මිනිස්සු 30ක් ඉන්න වටපිටාවක කොච්චියේ සයිලන්ට් සෝන් එකේ ස්පීකර් ෆෝන් දාගෙන යන ඊස්ටර්න් යුරෝප් ජිප්සි මිනිස්සු එක්ක ජිවත් වෙනවට වඩා රියල් බ්‍රිටිෂ් මිනිස්සු එක්ක ජිවිතේ බොහොම සරලයි. ගවුරවන්විතයි..!!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙත් මේ තීරණයට මුල් වූ ප්‍රධාන හේතුව මෙවැනි සංස්කෘතික සාධක මිසක් ආර්ථික හේතු නොවන බවයි. ඔබ හෝ මම වැනි කෙනෙක් වගේම නැගෙනහිර යුරෝපයෙන් හෝ අප්‍රිකාවෙන් එක්සත් රාජධානියට සංක්‍රමණය වන කෙනෙක් ඔළුවේ තියාගෙන එන රට ඔබ කියන ආකාරයේ 'රියල් බ්‍රිටිෂ්' සංස්කෘතියක් තියෙන රටක්. ඒත්, ආවට පස්සේ මේ හැම සංක්‍රමණිකයෙක්ම උත්සාහ කරන්නේ තමන් එන විට රැගෙන ආ මුල් රටේ සංස්කෘතිකාංග පවත්වා ගන්න. එවැනි, එක් රටකින් පැමිණෙන සංක්‍රමණිකයින් කණ්ඩායමකගේ සංස්කෘතිකාංග බොහෝ විට වෙනත් රටවලින් පැමිණි සංක්‍රමණිකයින්ට දිරවන්නේ නැහැ. මෙවැනි කණ්ඩායම් විශාල නැත්නම් ටික කලක් යද්දී ඔවුන් අඩු වැඩි වශයෙන් 'රියල් බ්‍රිටිෂ්' සංස්කෘතියට හැඩ ගැහෙනවා. ඒත්, එකවර විශාල පිරිසක් පැමිණි විට එය එසේ සිදුවන්නේ නැහැ.

      Delete
    2. මචෝ තිලාන් මල්ලි , ඔයා ඔය කියන එකම පකිස්ථානුවන්ට ලාංකිකයන්ට බන්ගලියන්ට සුදු ජාතිකයෝ කියල තියනවා. කරි ගඳ ගහනවා, නාන්නේ නැහැ. කච කච ගානවා වගේ දේ. ටොයිලට් එකකට ගියහම හැම තැනම හුජ්ජ කරනවා. (ඒකනම් ආසියානු පිරිමි තවම කරනවා ) එහෙම ටික දෙනෙක් ඉන්න එක ඇත්ත. නමුත් කාලයක් ගියහම ඒ මිනිස්සුත් මේ ශිෂ්ටාචාරයට පුරුදු වෙනව. නමත්නම් හදල ගන්න ඕනේ. අපිට ජාතිවාදී සුද්දෝ කියපු දේ අපි ඇයි අනුන්නට කියන්නේ. (දැන් කියන්නේ නැති එක ඇත්ත )

      Delete
    3. පස්ස හෝදන්නේ නැති සුද්දෝ කියල අපි කියන කොට සුද්දෝ (ප්‍රසිද්ධියේ නොවුවත්) කියන්නේ පස්ස අතින් වයිප් කරන දකුණු ආසියානුවෝ කියලා. හැමෝම අඩු වැඩි වශයෙන් අනෙත් සංස්කෘති දෙස බලන්නේ තමන්ගේ සංස්කෘතියට සාපේක්ෂව.

      Delete
  4. බ්‍රිතාන්‍යයට වැළඳුන මේ ආර්ථික සෙම්ප්‍රතිශ්‍යාවෙන්, අපි වගේ පුංචි දුප්පත් රටවලට, ආර්ථික නිව්මෝනියාව හැදෙයිද?

    ජනමත විචාරණය නීත්‍යානුකූල නැහැ කියා, ආපසු හැරවීමට උත්සාහයක් සහ, ස්කොට්ලන්තය වෙනම ප්‍රතිපත්තියක සිටීමටත්, තීරණය වී තිබෙනවා. ඒ ගැනත් යමක් කියන්න.

    ReplyDelete
    Replies
    1. දැන් ඉතින් ලංකාවේ ආර්ථිකය බේරාගන්න නම් අකමැත්තෙන් වුනත් ඉන්දියාව සමඟ ගිවිසුම් ගහන්නම වෙනවා :)

      (ජනමත විචාරනය අනිත් පැත්ට ගියානම්:-
      බලන්න දියුනු රටවල මිනිස්සු ගෝලීය වෙළඳපොලක් වෙතට යද්දී ලංකාවේ ලිංමැඩියෝ ඉන්දියාව සමඟ ගිවිසුම් ගහනවට විරුද්ධයි.)

      Delete
    2. මාත් මේ ගැන FB එකේ දිගට හරහට දානවා විචා . වැඩේ මෙහෙ ඉන්න ලනක්වේ අයත් මේ විකාරෙට චන්දෙ දුන්න එකනේ.

      Delete
    3. ලංකාවට නිවුමෝනියාව හැදෙන්න තරම් තත්ත්වයක් මම දකින්නේ නැහැ. ස්කොට්ලන්තය හා එක්සත් රාජධානිය අතර සම්බන්ධතානම් ගැටළුකාරී තත්ත්වයකට යන්න පුළුවන්.

      Delete
  5. මෙහි ගැටලුව සංක්‍රමනිකයන්ම නොවේ. ඇත්ත වශයෙන්ම කිවතොත් එංගලන්තය, ජර්මනිය ඇතුලු යුරෝපීය රටවල දුර පලාත්වල පාසල් පවා වැසී යන තරමට ජනගහන වරධන වේගය අඩුවී ඇත. එමනිසා ඔවුන්ට සංක්‍රමනිකයන් අවශ්‍යය. පවතින ආර්තික අවපාතයට විසඳුම් ලෙස සංක්‍රමනිකයන් ඉහල දමන ලෙසයි ආර්තික විශේශඤයින් උපදෙස් දෙන්නේ.

    ප්‍රශ්නය වනුයේ බොහෝ සංක්‍රමනිකයන් ආසියාතික හා මැද පෙරදිගින් පැමිනීමත්, ඔවුන්ගේ දෙවෙනි තුන්වන පරම්පරා රටේ පාලන තන්ත්‍රයට පත්වීමත් නිසා, කොන්සවෙටිව් මතධාරීන්ගේ බිය වීමත්ය. මෙය පහව යනු ඇත්තේ ඉන්දියානු කලාපය දියුනුවූ විටය. චීන හා හොංකොං වැසියන්ගේ පැමිනීම අද එතරම් ගැටලුවක් සේ නොසලකන්නේ, එයින් චීනයේ අභ්හ්‍යන්තර වෙලෙඳ පොලට ලඟා වීමට රුකුලක් වන නිසාය.

    ReplyDelete
    Replies
    1. // ඔවුන්ගේ දෙවෙනි තුන්වන පරම්පරා රටේ පාලන තන්ත්‍රයට පත්වීමත් නිසා, කොන්සවෙටිව් මතධාරීන්ගේ බිය වීමත්ය. // මෙවැනි තත්ත්වයක් පවතිනවානම් එයින් අදහස් වන්නේ මේ දෙවන තෙවන පරම්පරාත් හරියට ඇසිමිලේට් වෙලා නෑ කියන එක හෝ ඔබ කියන කොන්සවෙටිව් මතධාරීන් එසේ සිතන බවයි. බොහෝ විට දෙවැන්න විය හැකියි.

      Delete
    2. ඔය ප්‍රශ්නය වැඩිපුරම තිබෙන්නේ ජරමිනියට

      Delete
  6. ස්තූතියි ඉකොන්. ඔබේ ලිපියෙන් යමක් වැටහුණා. ආරම්භයේ යුරෝපය ලෙස එකතුවුණේ ශක්තිමත් ආර්ථිකයන් තිබ්බ රටවල්. සෝවියට් දේශයෙන් බිඳී ආ රටවල් , ග්‍රීසිය ආදී රටවල් සම්පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට ප්‍රථම ආශ්‍රිත සාමාජිකත්වයක් දී ඔවුන්ගේ ආර්ථික මට්ටම, රැකියා උත්පාදනය, අනිකුත් නීති රීති යම්කිසි මට්ටමමට ආපසු නිදහස් සංක්‍රමණය ඇතුලත් සම්පූර්ණ සාමාජිකත්වය දුන්නානම් මෙවන්නක් සිදුනොවීමට තිබුණා.

    මේකයි එට්කා ගිවිසුමයි ටපලවාගෙන ඉන්න බයියන්ට යුරෝපා සංගමයේ නිදහස් සංක්‍රමණ නීතිත් වෙලඳ ගිවිසුමක් හරහා එන සුදුස්සන් නොමැති අංශ වලට ඉඩ දෙන තාවකාලික රැකියා කියන දෙකේ වෙනස තේරුම් ගැනීම බලාපොරොත්තු විය නොහැකියි.

    ReplyDelete
    Replies
    1. jagath pathiranaJune 27, 2016 at 9:22 PM
      දැන් ඉතින් ලංකාවේ ආර්ථිකය බේරාගන්න නම් අකමැත්තෙන් වුනත් ඉන්දියාව සමඟ ගිවිසුම් ගහන්නම වෙනවා :)

      (ජනමත විචාරනය අනිත් පැත්ට ගියානම්:-
      බලන්න දියුනු රටවල මිනිස්සු ගෝලීය වෙළඳපොලක් වෙතට යද්දී ලංකාවේ ලිංමැඩියෝ ඉන්දියාව සමඟ ගිවිසුම් ගහනවට විරුද්ධයි.)

      Delete
    2. මේකයි එට්කා ගිවිසුමයි ටපලවාගෙන ඉන්න බයියන්ට යුරෝපා සංගමයේ නිදහස් සංක්‍රමණ නීතිත් වෙලඳ ගිවිසුමක් හරහා එන සුදුස්සන් නොමැති අංශ වලට ඉඩ දෙන තාවකාලික රැකියා කියන දෙකේ වෙනස තේරුම් ගැනීම බලාපොරොත්තු විය නොහැකියි.

      Delete
    3. දැන් ඉතින් ලංකාවේ ආර්ථිකය බේරාගන්න නම් අකමැත්තෙන් වුනත් ඉන්දියාව සමඟ ගිවිසුම් ගහන්නම වෙනවා :)

      Delete
    4. භාණ්ඩ හා සේවා වලට වගේම ප්‍රාග්ධනයට හා ශ්‍රමයටත් නිදහසේ සංචරණය වීමට ඉඩ සැලසීමෙන් සමස්තයක් ලෙස රටකට හැම විටකම වගේ ආර්ථික වාසියක් ලැබෙනවා. එහෙත්, ඇතැම් විට වෙනත් සමාජ ප්‍රශ්න ඇති විය හැකියි. ඒ වගේම ඇතැම් කණ්ඩායම් වලට අහිතකර බලපෑමක් සිදුවිය හැකියි.

      Delete
    5. එට්කාව ගැන කොළඹ ගමයා විහිළුවට ලියුවක්.
      එට්කව එලවමු
      හිනා යන කරුණ නම් මේ රටවල සිටින සංක්‍රමණික ලාංකිකයන්, ඉන්දියානුන්, අප්රිකානුන් යුරෝපීය සන්කමනිකයන්ට විරුද්ධව චන්දය දීමයි. තමන් බෙනිෆිට් ගත්තාට කමක් නැත. වෙන එකෙකුට නොදිය යුතුය.

      Delete
    6. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වූවා මිසක් බ්‍රිතාන්‍යය මහ මුහුදේ ගිලිලා ගියේ නෑනේ. මේ අය හැසිරෙන්නේ දැන් බ්‍රිතාන්‍ය කියලා රටක් මේ ලෝකේ නෑ වගේ. බ්‍රිතාන්‍ය තවම තියෙනවා. ඔවුන් යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්නත් තව අවුරුදු දෙකකට වඩා වැඩි කාලයක් යාවි. බ්‍රිතාන්‍ය තීරණය කළේ යුරෝපා සංගමයෙන් ඉවත් වෙන්න මිසක් ලංකාවත් එක්ක තරහ වෙන්න නෙමේ කියලා අපේ අගමැතිතුමාට කවුරු හරි කියලා දුන්නා නම් හොඳයි. ඒකට බොරුවට කලබල වෙන්නේ නැතුව බ්‍රිතාන්‍ය එක්ක සාකච්ඡා කරලා බලන්න පුළුවන්. ජනපතිතුමා තමන්ට බ්‍රිතාන්‍යයෙන් ලැබිච්ච ඉහළ පිළිගැනීම ගැන කතා කළා ඔබට මතක ඇති. දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා ඒ පිළිගැනීමෙන් උපරිම ප්‍රයෝජන ගන්න.
      අනෙක බැරි වෙලාවත් බ්‍රිතාන්‍ය තීරණය කළා නම් යුරෝපා සංගමය තුළ රැඳී ඉන්න. එහෙනම් මේ අය කියනවා 'අන්න බලන්න බ්‍රිතාන්‍යයේ බුද්ධිමත් ජනතාව තීරණය කරලා තියෙනවා යුරෝපා ආර්ථික හා දේශපාලනික කලාපය තුළ රැදී සිටින්න. ඒකයි ඒ අය දියුණු. අපිත් ඉන්දියාව එක්ක ගිවිසුමක් ගහලා භූමියෙනුත් යා වෙන්න ඉන්දියාවට පාලමකුත් ගහමු" කියලා.
      බ්‍රිතාන්‍ය කියන්නේ යුරෝපා සංගමයේ දේශපාලනිකව බලවත් රටක්. ඔවුන්ට හොඳ කේවල් කිරීමේ බලයක් තිබෙනවා. ඔවුන්ට යුරෝපයට භාණ්ඩ විකිණීමට හොඳ ශක්තියක් තිබෙනවා. නමුත් බ්‍රිතාන්‍ය ජනතාව තීරණය කරනවා තමන්ගේ සංස්කෘතික සහ ආර්ථික අනන්‍යතාව රැක ගැනීමට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට. ඔවුන් කැමති නෑ පිට රැටියන් දේශ සීමා හරහා නිදහසේ තම රටට පැමිණ රැකියා කරනවාට.
      මේ කාරණය සමාන වෙන්නේ ඉන්දු - ලංකා වෙළඳ ගිවිසුමේ එන නිදහස් පුද්ගල සංචරණය කියන කොටසට. ඉන්දියාවේ විරැකියාවෙන් පෙළෙන ජනගහණය සමස්ත ලංකා ජනගහණය වගේ දෙගුණයක්. ඒ වගේ දේශපාලනිකව අපි ඉන්දියාව ඉදිරියේ අසරණයි. අපේ රටේ ව්‍යවස්ථාවෙන් කොටසකුත් ඉන්දියාව බලහත්කාරයෙන් ඇතුළු කරලා තියෙන්නේ. ඒ ඔක්කොමටත් වඩා දැනට පවතින නිදහස් වෙළඳ ගිවිසුමෙන් ගැටලු රාශියක් ලංකාවට පැන නැගිලා තියෙන්නේ. ලංකාවේ තත්ත්වය ඊට සිය ගුණයකින් අපට අවාසිදායකයි. රටේ මහජනතාව මේ ගිවිසුමට විරුද්ධයි. බ්‍රිතාන්‍යයේ තීරණය ජනමත විචාරණයක් ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදීව එන කොට ලංකාවේ රජය ඉන්දියාවේ මනදොළ පුරවන්න මෙරට ජනතා අභිලාෂයට එරෙහිව ඒකාධිපති නිගමනයක ඉන්නවා. ඒක තමයි වෙනස.

      Shirantha Chamara

      Delete
  7. දැන් බී බී සී බලන කොට වෙච්ච දේ ගැන විරුද්ධව දීපූ උන් හොල්මන් වෙලා තියෙන බවක් තමයි පේන්නේ. පවුම එකසිය ගානට වැටිලා. අනික බොහෝම පැහැදිලි දේ තමයි ළෝකය වේගයෙන් මූළධර්‍මවාදය කරා ගමන් කරමින් සිටින බව. දේශප්‍රේමය, ජාතිවාදය, ආගම්වාදය වගේම, තලේබාන්කරනය, නාසී වාදය සියෝන් වාදය වේගයෙන් ඉදිරියට එනවා. එංගලන්තේ අංකල් ජොන්සන් හා ඇමරිකාවේ ට්‍රම්පට් අයියා කියන්නේ හිට්ලර්ගේ පුනරුප්පත්තිය. එංගලන්තයේ ජනතාව වගේම ඇමරිකාවෙත් මහා මාන්නයකින් ඉන්න ජනතාව ක්ලින්ටන් නෝනා පරද්දන්න බොහෝම ඉඩ තියෙනවා.

    යුරෝපයෙත් මේක ඉදිරියට එන කොට අති දරුණු ආගම්වාදී ජාතිවාදි යුද්දයකට යන්න වගේම ආර්ථික පරිහානියකට යන්න තියෙන ඉඩ කඩත් බොහෝම වැඩියි.

    එංගලන්තේ උනේ ප්‍රධාන වශයෙන් අපේ වගේම දූපත් මානසිකත්වයක් තියෙන එක. ජාත්‍යන්තරය හා සම්බන්ධ නඟර වල තව දුරටත් යුරෝපා සංගමයේ ඉමු කියන කොට. අනෙක් ප්දේශවල අති බහුතරය එහෙම ඉන්න ඕන නෑ කියන්නෙත් ඒ හේතුව උඩ. අනික තමයි නැගෙනහිර යුරෝපයේ සංක්‍රමනඉක ජනතාව කෙරෙහි උන විරෝධය. එතන උන් දේ බොහෝම පැහැදිලිව ටිලාන් කියලා තියෙනවා. ඒ තමයි සුද්දගේ යටත් විජිතවලින් ඔහේ එන උන් තව දුරටත් උන්ගේ වහළුන් වගේ ජීවත් වීම හා. නැ, යුරෝපෙන් එන උන් එංගලන්තේ ට්ටීනේජ් උන් වගේම මහ ජාතිය පයිසෙකටවත් ගනන් නොගෙන නිදහස් ජීවිතයක් ගෙවීම. ඒක අහිහුංටක ජීවන රටාවක් නම්. එංගලන්තේ තරුණ පරපුරත් ජිප්සීස්ලා කියලා තමයි කියන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. "ඇසි දිසි මානය" බ්ලොගයේ කියා තිබුනා ඇමරිකා ජනපති විදියට තොර ගන්න වෙන්නේ එක්කෝ බොරුකාරියෙක්ව හෝ අන්තවාදියෙක්ව කියා.

      තමන්ගේ සංස්කෘතිය හොඳම සංස්කෘතිය බව කියමින් ලෝකය ආයෙමත් අන්තවාදී ගමනක් යාවිද ?මාතලන් කියනවා වගේ ඇමරිකාව තුලත් බ්‍රිතාන්‍ය තුලත් මෙවැනි අදහස් දරන ජනතාව වැඩිවීම තවත් ආර්ය න්‍යායක් ලෝකයට ඒමේ ඉඩක් වෙන්නත් බැරි නැතිද?

      Delete
    2. මාතා ලංකාවේ ආසියාවේ සෙට් එකත් දුන්නනේ බං . මේ දෙමල එවුන් පවා. මෙඡාර ගෙනත් කන්න දිලා සලකපු රට. දුපත් මනසිකත්වය තමා.

      Delete
    3. කියලා කට ගන්න උනේ නෑ... අන්කාරා වලට දුන්නා නේද දුම් දාන්න... ඉදිරිය බොහෝම බයානකයි....

      Delete
    4. කණගාටුදායක වුණත් මේ තමයි වත්මන් ලෝක ප්‍රවණතාවය. මිනිස්සුන්ට කවර තත්ත්වයන් යටතේ වුනත් විකල්ප අවශ්‍යයි. සමාජවාදී කඳවුර බිඳවැටීමෙන් පසු ඇති වූ රික්තකය පිරවෙන්නේ මෙවැනි විකල්ප වලිනුයි.

      Delete
  8. Brexit එක්ක ආව "shock" එක නිසා ඇතිවුන "transient" තත්වයක්නේද දැන් ඇතිවී තිබෙන්නේ. "Steady state" තත්වයක් කාලයත් සමඟ එයි. අනෙක වෙළඳපොලේ වෙනසක් වෙන්න තියෙනෙ ඉඩ අඩුයිනේද ? උදාහරණයක් විදියට ලංකාවෙන් යවන ඇඟළුම් වලට බිතාන්යේයේ ඉල්ලුම වෙනස්වෙන්න මෙය හේතුවක් වෙන්න විදියක් නෑනේද ?

    ReplyDelete
    Replies
    1. එකවර ඇතිවූ කම්පනයේ බලපෑම ඉවත්වූ විට දිගුකාලීනව සැලකියයුතු බලපෑමක් ඇති වේයැයි මම හිතන්නේත් නැහැ. දිගුකාලීනව හානියක් වෙනවානම් විය හැක්කේ මිනිස්සු පටු කූඩු තුළට ගාල් වෙන ලෝක ප්‍රවණතාවයෙනුයි.

      Delete
    2. නැහැ දැන් වෙලා තියෙන්නේ මේක. අර මෝඩ බූරුවෝ දෙන්න කියපු බොරු වලින් ඈත් වෙලා. බොරිස් ජොන්සන් ඊයේ කිව්වා සිංගල් මාකට් එකට යන්න ඕනේ වෙනව අකියල. අනිත් කොන්සර්වේටිව් තුන් දෙනාත් දැන් එකම කියනවා. එතකොට එලියට යන් කිව්වේ මොකටද මේ උන්නැහේ? සිංගල් මාකට් යනවා කියන්නේ එක්කෝ නොර්වේ වගේ පවුම් මිලියන් 177 ක් ගෙවන්න ඕනේ . නැත්නම් ෆ්‍රී movement එකට කැමති වෙන්නේ ඕනේ. අර ෆරජෝව් කියන ජාතිවාදී පරය NHS එකට මිලියන් 350ක් දෙනවා කිව්වා. දැන් ඌ කියන එහෙමෙ එකක් කිව්වේ නැහැලු. දන ර්තිකය ආයි උඩට යන්නේ උන්ගේ ඒ ප්‍රකාශ නිසා. උන් කිව්වා දේවල් ආපහු ඇද ගණන් නිසා. එහෙම වෙන එක හොඳයි.

      Delete
    3. නොර්වේ වලින් මුදලක් ගෙවුවත් ෆ්‍රී මූව්මන්ට් එකටත් කැමති වෙලා නේද ඉන්නේ? ෆ්‍රී මූව්මන්ට් නැතුව පවුම් මිලියන් 177ක් ගෙවලා සිංගල් මාර්කට් එකේ ඉන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවද? ෆ්‍රී මූව්මන්ට් නැතුව ස්ව්ට්සර්ලන්ඩ් ලෙවල් එකටවත් යන්න බැහැ නේද?

      කොහොම වුණත්, ආර්ටිකල් 50 ක්‍රියාත්මක කරන්න කලින් මොන මිලක් ගෙවල හෝ අලුතින් ඇතිවිය හැකි ට්‍රේඩ් බැරියර්ස් හැකිතාක් ආපසු හරවන්න වෙයි කියලයි මම හිතන්නේ. මිනිස්සු ඉන්න තැන අනුව ෆ්‍රී මූව්මන්ට් අයින් කරන්නම වෙන නිසා වියදම් අධික වුණත් වෙනත් තෝරාගැනීමක් නේද කරන්න වෙන්නෙ?

      Delete
    4. නොර්වේ වලින් මුදලක් ගෙවුවත් ෆ්‍රී මූව්මන්ට් එකටත් කැමති වෙලා නේද ඉන්නේ? ඔව්. නමුට් ඒගොල්ලෝ හැමෝවම ගන්නේ නැහැ. තමන් අනුමටැහැ කරන අනාථයන් ගාන විතරයිනේ.
      ෆ්‍රී මූව්මන්ට් නැතුව පවුම් මිලියන් 177ක් ගෙවලා සිංගල් මාර්කට් එකේ ඉන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවද? - නැහැනේ. දෙක එකට සම්බන්ධ කරලා තියෙන්නේ.
      ෆ්‍රී මූව්මන්ට් නැතුව ස්ව්ට්සර්ලන්ඩ් ලෙවල් එකටවත් යන්න බැහැ නේද? - මේකනම් දන්නේ නැහැ. මම හිතන්නේ පුළුවන් කියල. ටිකක් හොයල බලමු.
      //මිනිස්සු ඉන්න තැන අනුව ෆ්‍රී මූව්මන්ට් අයින් කරන්නම වෙන නිසා වියදම් අධික වුණත් වෙනත් තෝරාගැනීමක් නේද කරන්න වෙන්නෙ?//ඕක තමයි ප්‍රශ්නේ. ගෙවන්න වෙන්නේ අපට. (වැඩ කරන අයට )

      Delete
  9. මේක බ්‍රිටිෂ් බිට්‍රිිෂ් ප්‍රශ්නයක්..

    ReplyDelete
    Replies
    1. බ්‍රිෂ්ටල් එකක් බීල තමයි විසඳන්න වෙන්නෙ.

      Delete
    2. නැහැ දේශකය මාක්ස් සහ ස්පෙන්සර් සමාගමේ රැකියා 500 කට වැඩිය (බොඩි ලයින් ) විතර ලංකාවට දීලා තියෙන ගාමන්ට් දෙකක් හොරණ තිබෙනවා. ඒ ගිවිසුම් නැවත ගහන්න වෙනවා. මාක්ස් සහ ස්පෙන්සර් යුරෝපයට වැඩිය යවන්නේ සහන බදු මත. ඒක ඉවරයි.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මහාචාර්ය රජීව විජේසිංහ නැත්නම් ආචාර්ය දයාන් ජයතිලක වගේ වෙන්න හදන ටුවරිස්ට් ගයිඩ් පුඟුලෙක් දාල තියෙන comment එක දැම්මාම අපිට පස්ස පැත්තෙන් හිනා යනවා. සමහරවිට මේ පුඟුලා තමන්ගෙ වාහනේ අරන් ගිය එංගලන්ත සුද්දන්ගෙන් අහගත්ත කතාද දන්නෙ නෑ මේවා. හැබැයි අපිටනම් පේන්නෙ, එංගලන්තෙ සුද්දො හිතන්න ඇති, තමන්ගෙ රටේ, තමන්ගෙ රස්සාවල්ටික පිටරටවල එවුන් අඩු පඩියට ඩැහැ ගන්නකොට, සරණාගතයො කියල මුස්ලිම් මූලධර්මවාදීන් බුරුතු පිටින් ඇවිත් ත්‍රස්තවාදී ක්‍රියාකරල රට ගිනි තියනකොට , මොන එහෙකට යුරෝපා සංගමේ ඉන්නවද කියන එක. ඒ නිසා ඒ රටේ බුද්ධිමත් සුද්දො තීරණය කළා අයින් වෙන්න. දැන් ලංකාවෙ පුඟුලන්ට මේවා දැන්මම තේරෙන්නෙ නෑ. අර ඉන්දියන් ගිවිසුම අත්සන් කරල, ඉන්දියාවෙ කල්ලතෝනි බුරුතු පිටින් මෙහෙ ඇවිල්ල, අඩු පඩියට වැඩ කරනකොට තේරෙයි.

    ReplyDelete
    Replies
    1. මොන තූත්තුකුඩියකින් හරි කල්ලතෝනි හරි මෙහේ ඇවිල්ලා අඩු පඩියට වැඩ කරනවානම් මම කැමතී, මට එතකොට මට අවශ්‍ය දේ දැනට වඩා අඩු වියදමකින් ලබාගෙන මගේ ජීවන තත්වය උසස් කරගන්න පුළුවනි. වෙන එකෙකුගේ සුව පහසුව වෙනුවෙන් මගේ සුව පහසුව අඩුකරගන්නේ ඇයි?

      Delete
    2. රොබර්ට් ගේ මූලික අදහස සමග එකඟයි. නමුත් පුද්ගලයෙක් ඉලක්කකර මඩ ගැසීම වැරදියි. හැමෝම තම "නැණ පමණින්" තේරුම් ගන්නා නිසා ඔවුන්ගේ අදහස් විවිධාකාරයි.

      ලංකාව එට්කා ගිවිසුම ගැසුවොත් වෙනදේ ගැන පැහැදිලිව කියන්න නම් ගිවිසුමේ ස්වභාවය පිළිබඳ නිසිලෙස දැන සිටිය යුතුයි. නමුත් ඔබ කියන පරිදි අසීමිතව ඉන්දීය ජාතිකයින් පැමිණියොත් තත්ත්වය ඉතා භයානකයි. සරල කරුණු දෙකකින් කිව්වොත් ඔවුන් සාමාන්‍යයෙන් අපටත් වඩා පරිසරය අපවිත්‍ර කරන්නන් සහ අපරාධ/ ස්ත්‍රී දූෂණ නැඹුරුව වැඩි නීති නාශකයින් පිරිසක්. ඉතින් අප රටට අබ සරණ නිසැකයි.

      Delete
    3. මේ ඇණයා නමින් දා ඇති කමෙන්ටුව කොලොප්පමට දාපු ඉතාම විසුළු සහගත එකක් වගේ පෙණුනත් ඇත්තටම මෙබඳු මුග්ධ අදහස් දරණ පිරිසක් අපරටේ ඉන්නවා. මේ අය ඉතාම පටු බඩගෝස්තරවාදී අවස්ථාවාදීන් නමුත් ඔවුන්ට යමක් තර්කාණුකූලව වටහා ගනු නොහැකියි. ඉතාම සරල උදා: කිව්වොත් තමාගේ රැකියාව/ අවස්ථා/ දැනට ඇති යම් වරප්‍රසාද මෙබඳු සංක්‍රමණිකයින් නිසා අනතුරට ලක් වුණොත් කුමක් වෙයිද? මෙබඳු සංක්‍රමණිකයින් නිසා වැඩිවන සමාජ ප්‍රශ්න / අපරාධවලට තමනුත් තම පවුලේ අයත් ගොදුරු නොවේද කියාවත් සිතීමට තරම් විචාර බුද්ධියක් නැති අපත පිරිසකුත් සමාජයේ සිටිනවා. අවාසනාවට මෙන් වත්මන් මුදල් ඇමතිවරයාද, රජය පවා බොහෝ සමාංය (General economic policies) ආර්ථික තීන්දුවලදී මෙබඳු ගැඹුරු විමසීමක් නොකොට ඉතාම පටු තීරණ ගත් අවස්ථා බොහෝයි. විශේශයෙන්ම බදු/ ගාස්තු වැඩිකිරීම් ආදියෙදි.

      Delete
    4. පුද්ගලයෙක් ඉලක්ක කරල මඩ ගහනව නෙවෙයි, වෙබ් පකීර්ල සියල්ල දත් කියල හිතන් ඉන්න පුඟුලන්ගෙ රෙදි ගැලවීමයි කරන්නෙ. එට්කා ගිවිසුම ගැන කතිකාවත් කරන්න ඕනෙ අපි වගේ සමාන්‍ය මිනිස්සු නොව ඒ විෂයන් පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පෘථුල අත්දැකීම් ඇත්තන්. මගේ පෞද්ගලික මතය නම් රටක සේවාවන් විවෘත කරන්නෙ එක්කො ඒ රටට අවශ්‍යතරම් පුහුණ ශ්‍රමිකයන් නොමැතිනම් හෝ රටේ ආර්ථිකය වේගයෙන් ප්‍රසාරණය වෙමින් නැවතත් පුහුණු ශ්‍රමිකයන් හිඟ වීමයි. මේ දෙකම නොවෙන ලංකාවේ මේ ගිවිසුම ගහන්නෙ ඇයි ? එනම් ඉන්දියාව සතුටු කිරීම, සහ ඒ මගින් ණය ලබාගෙන එදාවේල ටුවර්ස් විධියට රට කිරීම.

      Delete
    5. ඇණයා විධියට තමයි ගොඩක් ප්‍රාග්ධන හිමිකරුවො හිතන්නෙ. ලෝකෙ කොහෙන් හරි අඩු පඩියට සේවකයන් ගෙනල්ලා, ලාභය උපරිමකර ගැනීම. ඒකට තමයි රටේ ආණ්ඩුවක් ඉන්නෙ, දෙපැත්ත බැලන්ස් කරලා, ප්‍රාග්ධන හිමිකරුට වැඩි ලාභෙකුත්, තමන්ගෙ රටෙ මිනිස්සුන්ට රස්සා ටිකකුත් ලබා දීම. මේකට සමහර රටවල කෝටා ක්‍රමයක් තියෙනවා, ඒ කියන්නෙ තමන්ගෙ පුරවැසියො අනුපාතෙට විදේශ ශ්‍රමිකයො ප්‍රමාණයක්. මේකෙදි තමන්ගෙ රටේ පුරවැසියන්ට අවම වැටුපකුත්, විදේශ ශ්‍රමිකයන්ට අවම සුදුසුකම් සහ අවම වැටුපක්. මේවා අඩුවැඩි කිරීමෙන් විදේශ ශ්‍රමිකයන් පාලනය කළ හැකියි.

      Delete
    6. ඇනයා මෙහිදී වැදගත්ම කොන්දේසියක් නොසලකා ඇත. එනම් රාජ්‍ය සුබසාධනයයි.රජය සියළු සුබසාධන කටයුතු වලින් බැහැරව ඒකීය පුද්ගලයන්ට "හම්බකරගෙන කාපියව්, බැරිනම් මැරියව්" කියලා පැත්තකට වී සිටීනම් ඇනයාගේ ප්‍රකාශය සත්‍ය වේ.

      Delete
    7. අදහස් පලකිරීමේදී ඒකාධිකාරයක් හෝ ආධිපත්‍යයක් තිබිය යුතුයැයි මම හිතන්නේ නැහැ. අවශ්‍ය හෝ කැමති අදහස් සැලකිල්ලට ගැනීමටත් අනෙක්වා නොසලකා හැරීමටත් පුරුදු වූ විට ප්‍රශ්නයක් නැහැ.

      Delete
    8. //එංගලන්තෙ සුද්දො හිතන්න ඇති, තමන්ගෙ රටේ, තමන්ගෙ රස්සාවල්ටික පිටරටවල එවුන් අඩු පඩියට ඩැහැ ගන්නකොට, // රොබර්ට් ගේ මේ කියමනට මම විරුද්ධයි. ඔය එන අය හුඟක් වැඩ කරනෙන් සුද්දෝ නොකරන ඒවා. මේ රටේ බෙනිෆිට් දෙනවා පවුම් ඉන්කම් සපෝර්ට් විතරක් ගත්තොත්
      සිංගල් කෙනෙකුට සතියකට රුපියල් 11500 (පවුම 197 ට බැස්ස නිසා මේ ගාණ), අවුරුදු 25 වැඩි නම්
      15000ක්. සුද්දෝ ඒවා අරගෙනේ කකා බිබී නිකන් ඉන්නවා. අනික සමහර නැගෙනහිර යුරෝපියන් උනුත් ඒවා ගන්නම එනවා. නමුත් හුඟක් එවුන් වැඩ කරනවා. අපේ ගෙයි කෑල්ලක් හදන්න මම අවුරුදු ගානක් බලන් හිටිය . පස්සේ ඉතාලියන් එකෙක් තමා හදල දුන්නේ පෝලිෂ් දෙන්නෙක් එක්ක. මේ රටේ වයරින් කරන්න එල්ක්ට්‍රිකල් වැඩ කරන්න මිනිස්සු හිටියේ නැහැ. ගඩොල් ගහන්න මිනිස්සු හිටියේ නැහැ.නැගෙනහිර යුරෝපීය අය ඒවා කරන්නේ. මෙහෙට එන ලංකාවේ අය බනින්නේ අර කඩවල බදු දාන රැකියා, හෝටල් වල චීප් රැකියා ත් මේ අය නිසා උන්ට නැති වුණා . එකට. තවම ලංකාවෙන් දොස්තරවරු හා නර්ස් ල ගෙන්න ගන්නවා. මොකද නැහැ. ලනකේ වගේ ඉංග්‍රීසි කතා කරන qualified රැකියා කරන අය මදි. අර ඉහටැහැ කිව්වා වගේමා වැඩ කරන ආයතනයට ගිය අවුරුද්දේ ලංකාවෙන් පරිගණක ඉංජිනේරුවන් 13ක් බඳවා ගත්ත. මේ සුද්දෝ ළමයින්ට උගන් වන්නේ නටන්නයි , සින්දු කියන්නයි ෆුට්බෝල් ගහන්නයි විතරයි. ඒකයි ප්‍රශ්නය.

      //සරණාගතයො කියල මුස්ලිම් මූලධර්මවාදීන් බුරුතු පිටින් ඇවිත් ත්‍රස්තවාදී ක්‍රියාකරල රට ගිනි තියනකොට // එකඟයි. එහෙම ප්‍රශ්නයක් තියනවා. නමුත් ඒකට වැරැද්ද යුරෝපියන් යුනියන් එක නෙමේ. සුද්දමයි. යුරෝපා සංගමය නෙමේ.. අර මෝඩ බුෂ් එක්ක එකතු වෙලා ඉරාකෙට ගැහුවේ නැත්නම් , ගඩාපි එලෙව්වේ නැත්නම්, සිරියාවේ සදාත් ට ගැහුවේ නැත්නම් ඕව වෙනවද. යුරෝපේ එවුන් ඇමෙරිකාවේ වැඩ වලින් අසරණ වෙච්ච් මිනිසුන්ට උදව් කලා විතරයි.

      Delete
    9. The fun thing is the so called 'jack of all trade guide' (and obviously master of none) is so obsessed with production economy while he himself is providing a service. Hypocrisy at best!

      Delete
    10. මේ ගමයො, එන්ගලන්තෙ බින්න බැස්සා කියලා මෙතන දාන හැම comment එකකටම සියල්ල දත් පකීර් වගේ පැන පැන දෙන්නෙ ඇයි? ඔහේ විතරද බ්‍රෙක්සිට් ගැන දන්නෙ ? මේකෙ ඔහේ Admin නෙවෙයිනෙ, අනික ඔහේගෙ බ්ලොග් එකට දාන අපේ comments කපල දානව. දැන් මෙතන වීරය වගේ හැම තැනම පැනල දෙනවා.

      Delete
    11. රොබට් තරහ වෙන්න එපා. ඔබ මාතලන්ගේ රැකියාව ඇදල බබැන්න නිසා ඒක අයින් කලේ. මාතෘකාවට අදාලව ලිව්ව නම් පල කරනවා. අනික මේක ඔයාගේ බ්ලොගය නෙමේනේ. මම කරන්නේ සංවාද. එකොනොමට්ට එපා කිවොත් මම නෑවිත් ඉන්නම්.

      Delete
  12. හොඳ පැහැදිලි කිරීමක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! මේ දවස්වල ලියන්නේනම් හදිසියෙන්.

      Delete
  13. //නීතිමය රාමුවක් හා මුදල් ඒකකයක් තුළ මේ රටවල් ඒකාබද්ධ කිරීමද යුරෝපා සංගමයේ අරමුණු අතර විය. එවැනි සාර්ථක ඒකාබද්ධ කිරීමක් සිදුවීනම් යුරෝපා සංගමය ලෝකයේ විශාලතම ආර්ථික, මුදල්, මූල්‍ය හා දේශපාලනික බලය ලෙස වැජඹිය හැකිව තිබුණි.// එහෙම එකක already තියනවනේ එකෝ. එක නීතිමය රාමුවක් හා මුදල් ඒකකයක් (යුරෝ) මේක හදල ඉවරයි. බ්‍රිතාන්‍ය විතරයි එකේ හිටියේ නැත්තේ.

    ReplyDelete
    Replies
    1. ඔවු. යුරෝපා සංගමය ඔවුන්ගේ අවසන් අරමුණු වලට බොහෝ දුරට ළඟා වුණා. සියවස් ගණනක් එකිනෙකා යුද්ධ වල පැටලුණු ජාතික රාජ්‍ය සමූහයක් මේ තරමට ඒකාබද්ධ වීමම විශාල ජයග්‍රහණයක්. ඒත්, දේශපාලනික ඒකාබද්ධතාවයක් නැතුව මුදල් හා ආර්ථික එකමුතුවක් පවත්වා ගැනීමේ ප්‍රායෝගික සීමා තියෙනවා. ප්‍රාන්ත ගණනක එකතුවක් වන ඇමරිකාවට ඒකාබද්ධව පැවතීම සඳහා ඇමරිකන් ජාතිකත්වය කියන අදහස සාර්ථකව ප්‍රවර්ධනය කිරීමට හැකි වීම උදවු වුණා. මම හිතන්නේ පැරණි සෝවියට් දේශය වුණත් මේ දෙය සාර්ථකව කළ බවයි. සහශ්‍ර ගණනක් තම තමන්ගේ ජාතික අනන්‍යතාවය සමඟ බද්ධව සිටින යුරෝපීය රටවල වැසියන්ට එවැනි දිගු ඉතිහාසයක් නොතිබුණු වත්මන් ඇමරිකාවේ ප්‍රාන්ත වැසියන්ට මෙන් තමන්ගේ ජාතික අනන්‍යතාවය පොදු යුරෝපිය අනන්‍යතාවයකට යට කිරීම එතරම් පහසු නැහැ. ජාතිකත්වය සමඟ නාසිවාදය මතක්වීම නිසා එය නරක දෙයක් ලෙස හිතන ජර්මනියේදී මේ තත්ත්වය වෙනස් වුනත් ඉංග්‍රීසින් හා අදාළව එය එසේ නැහැ. මෙවැනි සංස්කෘතික සාධක ඇතැම් විට ආර්ථික සාධක අභිබවා ප්‍රමුඛත්වය ගන්නවා. මේ තීරණයත් සංස්කෘතික ගැටුමක් මිසක් ආර්ථික තීරණයක් නෙමෙයි. ඒ නිසා, මේ හේතුවෙන් ආර්ථිකයට සිදුවන බලපෑම් සැහෙන දුරට නිශේධනය වෙයි.

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. රටක් කියන්නෙ නිශ්චිත ප්‍රදේශයක මිනිස්සු පිහිටුවාගත් සම්මුතියක්. ඒ ප්‍රදේශය ගැන තීරණ ගන්න අයිතිය තියෙන්නෙ ඒ මිනිස්සුන්ට. බ්‍රිතාන්‍ය වැසියන් ඔවුන්ට ඇති වාසි අවාසි සලකා බලා ඡන්දය පාවිච්චි කලා ඊයූ එකෙන් වෙන් වෙන්න, පඬියන් මොනව කිව්වත්, එච්චරයි!

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඒ වුණත්, ස්කොට්ලන්තය හෝ ජිබ්‍රෝල්ටාව ගැන සිතූ විට මේ 'නිශ්චිත ප්‍රදේශය' කියන සංකල්පයේ ඇති ගැටළුකාරී තත්ත්වයනුත් පේනවා.

      Delete
  16. American amateurism may magin pasu baheevida. E kiyanne NATo expansion.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget