Thursday, June 2, 2016

ත්‍රිරෝද රථ රියදුරන් කාලය කනවාද?


මේ ප්‍රශ්නයද "සමන්තභද්‍ර රහත්ද?" "විජිත හේරත් බීලා හිටියාද?" ආකාරයේ ප්‍රශ්නයක් වුවත් මේ ප්‍රශ්නය තුළින් බොහෝ දෙනෙකු තුළ සේවා ආර්ථිකය පිළිබඳව ඇති නොදැනුවත්කම පිළිබිඹු වන බැවින් අපි මේ ගැන තව ටිකක් කතා කරමු.

ඓතිහාසිකව සේවා වෙළඳපොළ වර්ධනය වූයේ භාණ්ඩ වෙළදපොළට වඩා සෙමිනි. කාර්මික විප්ලවයෙන් පසු ගතවූ මුල් සියවස තුළ ශ්‍රම වෙළඳපොළෙන් වියුක්ත වූ සේවා වෙළඳපොළක් හඳුනාගැනීම පහසු නොවීය. එහෙත්, අද තත්ත්වය එසේ නොවේ. අද වන විට ශ්‍රම සාධකය පුළුල් ලෙස විශේෂීකරණය වී ඇතුවා පමණක් නොව ලෝකයේ මෙන්ම ලංකාවේද සේවා ආර්ථිකය පෙරමුණු ගණනාවකදීම භාණ්ඩ ආර්ථිකය අභිබවා ඉදිරියට පැමිණ ඇත. ඒ නිසා, සේවා ආර්ථිකය මඟ හැර නවීන ආර්ථිකයක් හඳුනාගැනීමට ගන්නා උත්සාහයන් උපන්ගෙයිම අසාර්ථක වේ.

සේවා ගණුදෙනුවකදී හුවමාරු වන භාණ්ඩය පෙනෙන්නට නැත. එහෙත්, මෙය වැදගත් කරුණක් නොවේ. සේවා නිෂ්පාදනය භාණ්ඩ නිෂ්පාදනයෙන් වෙනස්වන ප්‍රධානම කරුණ වනුයේ සේවාවක් නිෂ්පාදනය කිරීමෙන් පසු ගබඩාකර තබාගත නොහැකි වීමයි. ඒ නිසා සේවා ගණුදෙනුවක ස්වභාවය මේ ගතිගුණ ආසන්නව ඇති භාණ්ඩයක් මඟින් වුවද පැහැදිලි කළ හැකිය.

අපි ජාතික වැදගත්කමක් ඇති නිෂ්පාදනයක් වන ආප්ප නිෂ්පාදනය සලකමු. මෙය කියවන බොහෝ දෙනෙකු ලොකු තැන් වල ආප්ප කා නැතිවිය හැකි වුවත්, වරක් හෝ කඩේකට ගොඩවී ආප්ප කා ඇතැයි සිතමි. මේ දැන් දැමූ උණු ආප්පයක් මිස පරණ ආප්ප කන්නට කවුරුත් කැමති නැත. ඒ නිසා, ආප්ප ඇණවුම් කිරීමෙන් පසු අපට බලා ඉන්නට සිදුවේ.

ඇතැම් විට අපි ආප්ප කන්න යන්නේ තනිව නොව හත් අට දෙනෙකු සමඟය. එවිට වැඩි වේලාවක් බලා ඉන්නට සිදුවේ. කඩයක බොහෝ විට ඉන්නේ එක ආප්ප බාස් කෙනෙකි. ඉල්ලුම වැඩි වන තරමට බලා ඉන්නට ගතවන කාලය වැඩි වේ. ජුබිලි කණුව හන්දියේ සිටි ෆුඩ් සිට හිල්ටන් එකේ කරි ලීෆ් දක්වා කොහෙන් කෑවත් උණු ආප්ප කන්නටනම් පාරිභෝගිකයාට බලා ඉන්නට සිදුවේ. කාර්යක්ෂමයැයි කියන ඇමරිකාවේ ස්ටැටන් අයිලන්ඩ් එකේ ලක්රුවනේ ආප්ප වුවත්, පීසා හට් එකක පීසාවක් වුවත් ඉල්ලන පරක්කුවට නොලැබේ.

ආප්පයක් කන්නට මේ තරම් බලා ඉන්නට වෙන්නේ ඇයි?

ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් නැති භාණ්ඩයක් නිපදවන්නට වෙන්නේ ඇණවුමක් ලැබීමෙන් අනතුරුවය. මෙවැනි භාණ්ඩයක් සඳහා වන ඉල්ලුම හා සැපයුම සමතුලිත වෙද්දී මේ පොරොත්තු කාලයද වැදගත් සාධකයක් බවට පත් වෙයි. ආප්පයක් කන්නට හන්දියේ කඩේට හවස්වරුවේ ගොඩවන තරුණයින් හත් අට දෙනෙකු එහි ගොඩවදින්නේ ආප්ප අවශ්‍ය නිසාම නොවේ. "සමන්තභද්‍ර රහත්ද?" "විජිත හේරත් බීලා හිටියාද?" වැනි වැදගත් ප්‍රශ්න සාකච්ඡා කරන්නත් එක්කය. ඒ නිසා ආප්ප ටික මේසයට එනතුරු විනාඩි දහයක් පහළොවක් බලා සිටීම ඔවුන්ට ප්‍රශ්නයක් නොවේ. 


කෙසේ වුවද, මේ බලා සිටීමටත් සීමාවක් තිබේ. ආප්පයක් කන්නට මෛත්‍රී බුදුන් බුදුවන තුරු හෝ ජවිපෙ ආණ්ඩු බලය ගන්නා තුරු බලා සිටිය නොහැකිය. ආප්ප මේසයට එන්නට ඕනෑවට වඩා පරක්කුවනවානම් පාරිභෝගිකයින් ආප්ප නොකාම පිටවී යනු ඇත.

පාරිභෝගික ඉල්ලුම වැඩිනම් කඩේ මුදලාලි විසින් තවත් ආප්ප බාස් කෙනෙකු සේවයේ යොදවනවා ඇත. මේ අයුරින්, ආප්ප බාස්ලා ගණන වැඩි කර පාරිභෝගිකයෙකුට ඉල්ලන පරක්කුවට ආප්ප සපයන්නට බැරිකමක් නැත. ඒත් මුදලාලිලා කවුරුත් එහෙම කරන්නේ නැත. එසේ නොකරන්නේ ආප්ප බාස්ලා ගණන වැඩි කිරීමෙන් පිරිවැය වැඩිවීම නිසා සිදුවන පාඩුව, ඔය අතරින් පතර බලා ඉන්නට බැරුව ආප්ප නොකා බැණ බැණ පිටව යන පාරිභෝගිකයින් කීප දෙනෙක් නැති වීම නිසා වන පාඩුවට වඩා වැඩි නිසාය.

ආප්ප කන්නට කඩේට ගොඩවන අපට බොහෝ විට පෙනෙන්නේ ආප්ප බාස් 'ෆුල් බිසී' බවත් අපට බලා ඉන්නට සිදුවන බවත් පමණි. එහෙත්, පාරිභෝගිකයින් නොපැමිණෙන, ආප්ප බාස්ට පාරිභෝගිකයෙකු එනතුරු බලා ඉන්නට සිදුවන කාලයද සැලකිය යුතු කාලයකි. මෙය හවස්වරුවේ ආප්පයක් කන්නට කඩේට ගොඩවන අපට නොපෙනුණත් කඩේ මුදලාලිට පෙනේ.

කල් තබාගත නොහැකි භාණ්ඩයක් නිපදවා විකිණීමේදී භාණ්ඩය නිපදවිය හැක්කේ ඒකාකාරී වේගයකින් නමුත් භාණ්ඩය සඳහා වන ඉල්ලුම එසේ ඒකාකාරී නොවන නිසා නිෂ්පාදකයාට හෝ පාරිභෝගිකයාට බලා සිටින්නට වීම නොවැලැක්විය හැකිය. නිෂ්පාදන තාක්ෂණයේ වෙනසක් නොවී, පාරිභෝගිකයා නිකරුණේ ගතකළ යුතු පොරොත්තු කාලය අඩු කිරීමට ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකින් නිෂ්පාදකයා නිකරුණේ ගතකළ යුතු කාලය වැඩි වේ. එහි අනිත් පැත්තද එසේමය. 


එසේනම්, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර මෙසේ "නිකරුණේ ගතවන" කාලය බෙදිය යුතු ප්‍රශස්ත ක්‍රමවේදය කුමක්ද? මෙය තීරණය වන්නේ පාරිභෝගිකයාගේත් නිෂ්පාදකයාගේත් කාලයේ වටිනාකම මතය. කාලයේ වටිනාකම තීරණය වන්නේ එහි ආවස්ථික පිරිවැය මතය.

පාරිභෝගිකයාගේ කාලය අසීමිත ලෙස වටීනම් සහ නිෂ්පාදකයාගේ කාලය නොවටීනම් කිසියම් මොහොතක පැවතිය හැකි උපරිම පාරිභෝගික ඉල්ලුම වුවද සැපිරිය හැකි තරමට නිෂ්පාදකයින් ගණන වැඩි විය යුතුය. අනෙක් අතට, නිෂ්පාදකයාගේ කාලයේ වටිනාකම අසීමිතනම් සහ පාරිභෝගිකයාගේ කාලය නොවටීනම් නිෂ්පාදකයින් සිටිය යුත්තේ කිසියම් මොහොතක පැවතිය හැකි අවම පාරිභෝගික ඉල්ලුම සැපිරීමට ප්‍රමාණවත් ගණනක් පමණි. පාරිභෝගිකයාගේත්, නිෂ්පාදකයාගේත් කාලයේ වටිනාකම සමානනම් කිසියම් මොහොතක පැවතිය හැකි සාමාන්‍ය පාරිභෝගික ඉල්ලුම සැපිරිය හැකි තරමට නිෂ්පාදකයින් ගණනක් සිටිය යුතුය.

පාරිභෝගිකයින්ගේත් නිෂ්පාදකයින්ගේත් කාලයේ වටිනාකම කර්මාන්තය අනුව වෙනස් වේ. ත්‍රිරෝද රථ සේවා කර්මාන්තයේදී බොහෝ විට ඉල්ලුමක් ඇතිවන්නේම පාරිභෝගිකයෙකුට කාලය වටිනා නිසාය. කාලය එසේ නොවටීනම්, බස් හෝ දුම්රිය වැනි පොදු ප්‍රවාහන සේවාවක් භාවිතා කිරීම හෝ කෙටි දුරක්නම් පයින් යාම ප්‍රශ්නයක් නොවේ. ඒ නිසා, ත්‍රිරෝද රථ සේවා සොයන පාරිභෝගිකයෙකුට එම සේවාව අවශ්‍ය වේලාවට ක්ෂණිකව ලබා ගැනීමට නොහැකිනම් ගණුදෙනුවක් සිදු නොවනු ඇත.

මෙසේ පාරිභෝගිකයින්ට ක්ෂණිකව සේවය සැපයිය හැක්කේ ප්‍රමාණවත් සේවා සපයන්නන් ගණනක් සිටීනම් පමණි. ඒ මට්ටමට සේවා සපයන්නන් ගණන වැඩි වූ විට සේවා සපයන්නෙකුගේ "නිකරුණේ සිටින" කාලය වැඩි වේ. ඒ නිසා, මේ කර්මාන්තය වෙත ඇදී එන්නේ තමන්ගේ කාලයේ ආවස්ථික පිරිවැය අඩු, ත්‍රිරෝද රථ රැකියාවේ නොයෙදුනේනම් එම කාලය තුළ වැඩි ආදායමක් ලබාගත හැකි වෙනත් මාර්ගයක් නොමැති අයයි.

ත්‍රිරෝද රථ සේවා සපයන්නකු රථ ගාලක නිකරුණේ ගෙවන සෑම විනාඩියකදීම ඔහු හෝ ඇය විසින් වෙනත් අයෙකු ප්‍රවාහන සේවාවක් බලාපොරොත්තුවෙන් මහමඟ ගෙවන විනාඩියක් ඉතිරි කරයි. එසේ ඉතිරි කරන විනාඩිය, අනිවාර්යයෙන්ම,  ඔහු හෝ ඇය විසින් නිකරුණේ නාස්ති කරනවාක් මෙන් පෙනෙන විනාඩියට වඩා වටිනාකම වැඩි විනාඩියකි.



(Image:
www.gettyimages.com)

43 comments:

  1. අද කොළඹ මධ්‍යම පාන්තික මිනිස්සු අර හංදියේ ත්‍රීවිල්කාරයා වෙනුවට පික්මී වගේ මොබයිල් ඇප් වලින් සම්බන්ධ වෙන ත්‍රීවිල් නැත්නම් බජට් ටැක්සි වගේ කෝල් කරල ගෙන්න ගන්න ත්‍රීවිල් වල සේවය ලබා ගන්නව.මේ නිසා දෙගොල්ලොන්ගේම කාලය ඉතුරු වීමක් වගේම සේවාව විධිමත් වීමකුත් වෙලා තියෙනව.

    ReplyDelete
    Replies
    1. aluth app ekak thiyanawa macho fuck me now kiyala

      Delete
    2. ඔව්, ඇනෝ. දෙපාර්ශ්වයේම කාලය ඉතිරි කරගත හැකි ක්‍රමය තාක්ෂනය දියුණු කිරීමයි. දෙවන ඇනෝ කියා ඇති අවස්ථාවටත් එය අදාළයි.

      Delete
  2. ත්‍රිරෝදකරුවෙකු "බකං නිලා" ඉන්නා කාලයේ වටිනාකම, "වීල් එකක්" එනතුරු බලා සිටින්නට සිදුවෙන වීල් මගියෙකු ගේ රස්තියාදුකාලයේ වටිනාකමට වඩා පොදුවේ අඩු වෙනවා යැයි තර්ක කළ හැකියි.

    නමුත්, මගේ අසාධාරණ නිරීක්‍ෂණයක් නම්, වීල් එකකින් ගමනක් යන පොදු මගියාට වඩා තෙසක් රිය පදවන්නා ගේ දෛනික ආදායම වැඩි බවයි.

    ReplyDelete
    Replies
    1. රික්‍ෂෝකාරයාගෙත් ත්‍රිවීල් මල්ලීගෙත් අතර වෙනස නේද?

      Delete
    2. බල බල ඉන්නේ නැතුව දාන්ඩ සළුවඩන අය්යේ වීල් එකක් සිඩ්නිවල! ඔයාගේ ඔය මැනේජර් රස්සාවෙන් එහෙමට කියල සරුවකුත් නැහැනේ!

      Delete
    3. මේ අයියා සළුවඩන වර්ගයේ එක්කෙනෙක්ද

      Delete
    4. @Anonymous June 2, 2016 at 8:18 PM

      ඇනෝ, ඉස්සෙල්ලා බ්‍රිසී පැත්තේ වීල් එකක් පාරට දාලා මට කියන්නකෝ විස්තර. ඊට පස්සේ සිඩ්නිවල පටාාාන් ගනිමු!

      Delete
    5. //වීල් එකකින් ගමනක් යන පොදු මගියාට වඩා තෙසක් රිය පදවන්නා ගේ දෛනික ආදායම වැඩි බවයි// මෙය නිවැරදිනම් එයින් පෙනෙන්නේ ඔබ කියන පොදු මඟියාගේ කාලයේ සාමාන්‍ය වටිනාකම එතරම් වැඩි නැතත් ත්‍රිරෝද රථ සේවා ලබාගන්නේ ඔවුන්ගේ කාලයේ වටිනාකම සාමාන්‍ය වටිනාකමට වඩා වැඩි අවස්ථා වල බවයි.

      Delete
  3. "...අපි ජාතික වැදගත්කමක් ඇති නිෂ්පාදනයක් වන ආප්ප නිෂ්පාදනය සලකමු..."
    ඉකොනෝ මහත්තයත් හිමීට යහපාලන ටෝයියන්ට ටොකු අන්නිනවා නේද!

    ReplyDelete
    Replies
    1. ආප්ප අපි කවුරුත් කැමති කෑමක්නේ, ඇනෝ.

      Delete
  4. බොහොම පැහැදිලිව ලියා ඇති ලිපියක්. ස්තුතියි ඉකොනො

    ReplyDelete
  5. මගියකු එනතුරු ත්‍රිරෝද රථ රියදුරා බොහෝ වෙලාවක් බලා සිටියානම්, කඩිනමින් ඒ මගියාගේ අවශ්‍යතාව ඉටුකර නොදී (ආරක්ෂිතව යා හැකි උපරිම වේගයෙන් නොගොස්) සෙමෙන් යන්නේ හෝ, බොරුවට දිග මාර්ග ඔස්සේ යන්නේ ඇයි?

    නාගරික, අර්ධ නාගරික, සහ ගම්බද ප්‍රදේශ වල රියදුරන්ට කුලියක් ලැබීමේ කාලය වෙනස්.

    සේවා සැපයීම පිළිබඳව, මෙවැනි ව්‍යවසායකයන්ගේ දැනුම වර්ධනය සහ විධිමත් කිරීමේ කෙටි දේශන, ඒ ඒ ව්‍යවසායකයා රැකියාවේ යෙදී සිටින ස්ථාන වලදීම ලබාදීමේ වැඩපිළිවෙලක් සැකසීම, කාලෝචිත බව පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. //කඩිනමින් ඒ මගියාගේ අවශ්‍යතාව ඉටුකර නොදී (ආරක්ෂිතව යා හැකි උපරිම වේගයෙන් නොගොස්) සෙමෙන් යන්නේ හෝ, බොරුවට දිග මාර්ග ඔස්සේ යන්නේ ඇයි?//

      මෙතැන තියෙන්නේ, විචාරක, පාරිභෝගිකයාට තමන් මිල දී ගන්නා භාණ්ඩය ගැන හරියටම දැනගැනීම අපහසුවීමේ ප්‍රශ්නය. ආරම්භයේදී බලා සිටින්නට වන කාලය අඩුකර ගතහැකි වුණත් මිලදී ගැනීමෙන් පසු තත්ත්වයන් එසේ කලින් හරියටම දැනගන්න බැහැ. ඔබම පෙර ලියා තිබුණු දුරකථන සේවා සැපයුම්, රක්ෂණ ගිවිසුම් වල සිට මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම දක්වාම මේ Time inconsistency problem කියන (මුලින් පොරොන්දු වූ හෝ අපේක්ෂා කළ දෙය පසුව නොකිරීමේ) තත්ත්වය තියෙනවා. ත්‍රිරෝද රථ රියදුරන් සහ පාරිභෝගිකයින් අතර දිගුකාලීන සම්බන්ධතා ඇතිවන්නේ ඒ නිසා.

      Delete
  6. ත්‍රීරෝද රථ මහා මාර්ග වල ගමන් කරන අවිදිමත් භාවය නිසා අනෙක් වාහන වල ගමන් කරනා මගීන්ගේ කාලය නාස්තිවීම ගැනත් අප සිතා බැලිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔව්. දෙදෙනෙකු අතර සිදුවන ගනුදෙනුවකින් තෙවන පාර්ශ්වයකට බලපෑමක් වන විට ඒ ගැනද සැලකිල්ලට ගත යුතුයි.

      Delete
  7. පැහැදිලිව විස්තර කරන ලිපියක්.

    ආප්ප කේස් එක ගැන කියනවනං ආප්ප බාස්ල ගාන වැඩි කරනවට වැඩිය අඩු පිරිවැයකින් කරන්න පුලුවන් ආප්ප උයන තාච්චි සහ ලිපවල් ගාන වැඩි කිරීම. තාච්චි දෙකක ආප්ප වක්කරල ඒ දෙක තැම්බෙනකල් බලාගෙන ඉන්න වෙලාවෙ තව තාච්චි දෙකක් හෝ වැඩි ගණනක් තිබුණනං අඩු වෙලාවකින් වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් ලබාගන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. සමහර ආප්ප ශෙෆාලා ඉන්නවා තාච්චි දහය එක පාර ඔපරේට් කරන්න පුලුවන්. එහෙම කෙනෙක් මම දන්න කාලෙත් හිටියා. ඒකත් ආර්ට් එකක්. හරි ලස්සනයි බලන් ඉන්න. ආප්ප බාස් කියන එකට වඩා ආප්ප ශෙෆා කියන එකට ඒ මිනිස්සු ආස වෙයි. අපි එක් කාලෙකදි ආප්පෙ මොඩිෆයි කරා සීනි සම්බල හොපර්ස්, ඩෙවල් ප්‍රෝන්ස් හොපර්ස් ආදී වශයෙන්. ඒ මීට අවුරුදු පහලවකට විතර ඉස්සර. දිගටම ඕවා කරගෙන යන්නේ නැතුව රටින් පිටවුනා. මම හැමදාමත් කියන දෙයක් තමයි fusion cooking ගැන. ගොඩක් දේවල් කරන්න පුලුවන්. කටටත් රසයි...කවුරුත් කැමතියි.

      Delete
    2. ෂැහ්.. අරූ රට යන්නෙ නැතුව හිටියනං මෙහේ ආප්ප උපසංස්කෘතියක් හදන්න තිබ්බ.

      Delete
    3. ප්‍රසන්න,

      අම්මප උඹටත් මොකක් හරි වචනයක් අහු උනහම අර වඳුරට කණ්ණාඩිය අහු වුනාට හපං...මේ දවස්වල උපසඟිස්කුරුතියක් අල්ලගෙන ...හෙහ්..හෙහ්..එක අතකට බලාගෙන ගියාම අපූරු වචනෙ...ඕන එකකට පට ගාල ඇමුණුවැහැකි...ආප්ප උපසංස්කෘතිය, කසිප්පු උපසංස්කෘතිය, මදන මෝදක උපසංස්කෘතිය, කොළ කැඳ උපසංස්කෘතිය..ඔන්න ඔය වගෙ...

      Delete
    4. ආප්ප උප සංස්කෘති නම් කෑමටම සීමා කරන්න අමාරුයි :D තවත් උප සංස්කෘති තියෙනවා. රවී කියන්න වගේ හදන අනිකුත් උප සංස්කෘති තුලත් හොඳ සාහිත්‍යමය සහ සමාජීය කතා සහ චර්යාවන් තියෙනවා. හැබැයි සමහරු එහෙම දේවල් තියෙනවද කියලවත් අහන්න සුදානම් නැහැ. ඒවා තමයි සමාජ පර්යේෂකයෝ කුඩා සටහන් ලෙස සතිපතා පුවත්පත්වල ලියන්නේ. (මිත්‍ර ශ්‍රී කරුණානායක වගේ අය වර්තමානයේ). සැබෑ අත්දැකීම් සමූහයක් මා සතුව තියෙනවා. ඒ දේවල් හරි හෝ වැරදි වුනත් අප දැන ගැනීම සමාජ පැවැත්මට උපකාරී වෙනවා.

      Delete
    5. අරූ අපට ඕව පෙන්නලා දීල නැහැනේ

      Delete
    6. ප්‍රසන්නගේ පොයින්ට් එක වැදගත් පොයින්ට් එකක්. වෙනත් නිෂ්පාදන වලදී වගේම ආප්ප නිෂ්පාදනයේදීත් ශ්‍රමය හා ප්‍රාග්ධනය යන නිෂ්පාදන සාධක දෙකත් තාක්ෂණයත් යොදාගැනෙනවා. මෙතැනදී තාච්චි වැඩි කරනවා කියන්නේ ප්‍රාග්ධන ආයෝජන වැඩි කිරීම. වෙනත් කර්මාන්ත වලදී මෙන් ප්‍රාග්ධනය වැඩි කිරීම ගොඩක් වියදම් අධික නොවන නිසා තාච්චි කිහිපයක් බොහෝ විට නිකම් තිබුණත් ලොකු පාඩුවක් නැහැ. එක වර තාච්චි ගණනාවක් ඔපරේට් කිරීමේ හැකියාව කියන්නේ විශේෂිත ශ්‍රමය හා තාක්ෂනය.

      Delete
  8. කුලීරථ සේවාවන් පැවත්ම පිලිබදව සාකච්චා කිරීමේදි එයට සමාන්තර පොදු ප්‍රවාහන සේවාව හා මාර්ග තදබදය පිලිබදවද සාකච්ජාකල යුතුයැයි මම සිතමි. කෙටිදුර සහ බස්රථ කිහිපයකින් ගමන්කල යුතු ස්ථාන සදහා තනිවම හෝ කුඩා කණ්ඩායමක් ලෙස ප්‍රවේශවීම සදහා කුලීරථ සේවාවන්වල අවශ්‍යතාවයක් සහ ඒ සදහා හොද සේවා වෙළද පොලක් අද දවසේ ඇතිවි තිබෙනවාය, එලෙස ඇතිවීමට මා දකින ආකාරයට බලපාන හේතුන් අතර ප්‍රධාන හේතුවක් වන්නේ මාර්ගවල පවතින තදබදය සහ පොදු ප්‍රවාහන සේවාවල තිබෙන දුර්වලතාවයන්ය (උදා, බස්රථ කොට කොටා යෑම, ප්‍රමාණවත් බස්රථ ප්‍රමාණයක් ධාවනය නොවීම, අධික තදබදය හා අඩුපහසුකම්, ...) එයට අමතරව ආදායම් මට්ටම ඉහල තත්වයක තිබිමද මෙම වෙළද පොල පුලුල්වීමට හේතුවක්ය...

    ප්‍රවාහන සේවය වඩා කාර්යක්ෂමවන ක්‍රමවේදයකට යෙදවිය යුතු ආරම්භක පිරිවැය අධික බැවින් සහ එවැනි තත්වයක් නඩත්තුකර ගැනීමට තරම් හැකියාවක් රජයට නොමැති බැවින් රජය මේ සදහා මැදිහත්වන ස්වරූපයක් දක්නට නැත. මිනිසුන්ගේ හානිවන කාලයේ වටිනාතමට වඩා මේ මොහෝතේදී රජය එයට යෙදවියයුතු පිරිවැයට වැඩිය. එබැවින් පවතින තත්වයන් අනුවම ආදායම් උපයාගත හැකි ආර්ථිකයක් රජයේ සෘජු මැදිහත්විමකින් තොරව ඇතිවී තිබෙනවාය. ඒ තත්වය මේ මොහොතේ බොහෝ පිරිසකගේ රුකියා අවස්ථා ලබාදීමේ ගැටලුවටද, සමහර ක්ෂෙත්‍රවල අඩු වැටුප් ප්‍රමාණයක් ලැබීමට සමනයටද උත්තරයක් ලබාදී තියෙනවාය, එබැවින් රජයන්ට මෙම ක්ෂෙත්‍රයට මැදිහත්වී එය වෙනස්කිරීමටවන උවමනාව සහ ඒ සම්බන්ධයෙන් වන සමාජීය තෙරපුම අඩුය....

    අනෙක් අතට ලංකාවේ ආර්ථිකයේ බොහෝ කර්මාන්තයන් සදහා අවශ්‍යවන ශ්‍රමයේ අඩුවක් තිබෙනවාය, එලෙස සමහර කර්මාන්තයන් සදහා ශ්‍රමය ලබාගැනීමට බාධාවන් පවතින තත්වයක් තුලදී ලංකාවේ රැකියා නොකරන විශාල තරුණ පිරිසක්ද සිටිනවාය, එමෙන්ම ඒ කිසිවෙක් වෙලකටවත් බස්සාගත නොහැකි බැවින් සමහර කුඹුරු පුරන්වී යනවාය. එබැවින් මෙම අඩුව පිරවිමට දැනටමත් නිත්‍යානුකුල හා නොවන මාර්ගවලින් ඉන්දියාවෙන් සහ චීනයෙන් සමහරවිට පකිස්තානයෙන්ද ශ්‍රමය ගෙන්වාගන්නවාය (වෘත්තිකයින් ගෙන්වනවිමට යෝජනාකරන විටදී පමණක් බොහෝ කට්ටිය කලබල වෙනවාය). එලෙස වන්නේ පවතින ආර්ථික තත්වයන්තුල ජිවත්වීම සදහා ප්‍රමාණවත් මුදලක් උපයාගැනීම සදහා සැපයිය හැකි සේවාවන් බොහෝමයක් තිබෙන නිසා සහ අනිකුත් කර්මාන්ත (ඉදිකිරිම්,ඇගලුම්..) සදහා ගෙවනු ලබන වැටුප් ප්‍රමාණයන් තමන්ගේ මහන්සියට හෝ කැපකිරීමට තරම් ප්‍රමාණවත් නොවේයැයි බොහෝදෙනා සිතන බැවින්ය.


    ReplyDelete
    Replies
    1. පොදු ප්‍රවාහන සේවා වල ප්‍රශ්න ත්‍රිරෝද රථ සඳහා වන ඉල්ලුමට බලපාන බව ඇත්තක් වුණත් එය එකම හේතුව නෙමෙයි. එයට බොහෝ දුරට හේතුවන්නේ පෞද්ගලික ප්‍රවාහන සේවා වලට හෝ ඇතැම් විට තමන්ටම කියා ත්‍රිරෝද රථයක් හෝ අයිති කර ගැනීමට මිනිසුන්ගේ ඇති කැමැත්තයි. රටේ ආදායම් වැඩි වන විට මිනිස්සු එසේ සිතීමේ වරදක් නැහැ. කෙසේ වුවත් මෙහි ආර්ථික හේතුවලට අමතරව සංස්කෘතික හේතුත් තියෙනවා. ඔබගේ අනෙක් නිරීක්ෂන සමඟ බොහෝ දුරට එකඟ විය හැකියි.

      Delete
  9. \\ එසේනම්, පාරිභෝගිකයා සහ නිෂ්පාදකයා අතර මෙසේ "නිකරුණේ ගතවන" කාලය බෙදිය යුතු ප්‍රශස්ත ක්‍රමවේදය කුමක්ද? මෙය තීරණය වන්නේ පාරිභෝගිකයාගේත් නිෂ්පාදකයාගේත් කාලයේ වටිනාකම මතය. කාලයේ වටිනාකම තීරණය වන්නේ එහි ආවස්ථික පිරිවැය මතය.//

    ආප්පයක/ ත්‍රි රෝද රථ සේවාවේ..... "මිල" තීරණය වන්නේ කෙසේද ?
    පාරිභෝගිකයාගේත හෝ නිෂ්පාදකයාගේත් කාලයේ වටිනාකම මත ද ?

    ReplyDelete
    Replies
    1. වෙනත් භාණ්ඩයක හෝ සේවාවක වගේම ත්‍රිරෝද රථ සේවාවේ/ ආප්ප වල මිල තීරණය වන්නේත් ඉල්ලුම හා සැපයුම මතයි. කාලය මෙතැනදී ඉල්ලුම හා සැපයුම නිර්ණය කරන ප්‍රධානම සාධකයක්. ඒ නිසා වක්‍ර ලෙස කාලයේ ආවස්ථික පිරිවැය සමතුලිතතාවයට විශාල බලපෑමක් කරනවා.

      Delete
  10. ත්‍රී රෝද රියදුරෝ කාළය කා දනවා කියන අය කරන්නේ මොනවද....?

    රජය හෝ පෞදගලික අංශය කියන බේදයකින් තොරව රැකියාව කරන වෙලාවේ ෆේස්බුක් බලන පිරිස කොපමණද...? බ්ලොග් බලන ජාලේ සැරිසරන අය කොපමනද...? අපි හරි දස්සයි නේ අනුන්ගේ ඇස් වල පොල් කුඩා අංශූ සොයන්න... හැබයි අපේ ඇස්වල තියෙන පොල් පරාල පේන්නේ නෑ...

    උන් නම් කරන්නේ ස්වයං රැකියාවක්... ඉතින් කාළේ කෑවත් පාඩුව උන්ටමයි... ඒත් අපි එක්කෝ ජනතවගේ මුදල්, එහෙම නැත්නම් ව්‍යවසායකුගේ මුදල් කාලා දාන්නේ...

    ReplyDelete
    Replies
    1. මේ ගැන නිහාල් ආනන්ද විසින්ද අදහස් පළ කර ඇති නිසා පහළින් ප්‍රතිචාරය දමන්නම්.

      Delete
  11. ඔබ ඉතා වැදගත් ප්‍රශ්න 2 ක්ම මතුකර තිබේ. Econ ගේ මෙම blog ලිපිය කියවීමෙන් ඉගෙනගත් මුලික සංකල්ප ( පාරිභෝගිකයාගේ/ නිෂ්පදිකයාගේ කාලයේ වටිනාකම, ආවස්ථික පිරිවැය ) ආශ්‍රයෙන් අදහසක් ඉදිරිපත් කරමි.

    \\ත්‍රී රෝද රියදුරෝ කාළය කා දනවා කියන අය කරන්නේ මොනවද....?//
    මෙම blog ලිපියේ මාතෘකාවම "ත්‍රිරෝද රථ රියදුරන් කාලය කනවාද? " වුවත් එය ත්‍රිරෝද රියදුරන්ට චෝදනාවක් එල්ල කිරීමක් නොවේ. අනෙක් අතට මෙයින් කාටවත් පාඩුවක් ද සිදු නොවේ.
    ත්‍රිරෝද රථ රියදෙරෙකු එම රැකියාවේ නිරත වන්නේ "තමන්ගේ කාලයේ ආවස්ථික පිරිවැය අඩු, ත්‍රිරෝද රථ රැකියාවේ නොයෙදුනේනම් එම කාලය තුළ වැඩි ආදායමක් ලබාගත හැකි වෙනත් මාර්ගයක් නොමැති" හෙයිනි.
    එසේම.... "ත්‍රිරෝද රථ සේවා සපයන්නකු රථ ගාලක නිකරුණේ ගෙවන සෑම විනාඩියකදීම ඔහු හෝ ඇය විසින් වෙනත් අයෙකු ප්‍රවාහන සේවාවක් බලාපොරොත්තුවෙන් මහමඟ ගෙවන විනාඩියක් ඉතිරි කරයි. එසේ ඉතිරි කරන විනාඩිය, අනිවාර්යයෙන්ම, ඔහු හෝ ඇය විසින් නිකරුණේ නාස්ති කරනවාක් මෙන් පෙනෙන විනාඩියට වඩා වටිනාකම වැඩි විනාඩියකි."

    රාජකාරි වෙලාව තුල ෆේස්බුක්/ blog බලන අය සම්බන්දයෙන් ද මෙම සංකල්පය යොදා ගත හැක. මේ නිසා කිසිවෙකුටත් පාඩුවක් සිදු වන්නේ නැත. කිසිවෙකු මෙම කාර්යයේ යෙදෙන්නේ නම්, ඔබගේ කාලයේ වටිනාකම / ආන්තික පිරිවැය , ඔබේ ව්‍යවසායකයාගේ ( බොස් ගේ ) කාලයේ වටිනාකම/ ආන්තික පිරිවැයට වඩා අඩු තාක් කල්, මොනතරම් ෆේස්ක්බුක්/blog බැලුවත් ඔබේ රැකියාව සුරක්ෂිතය. වැඩි වුවහොත් නම් බොස් ට, ඔබට "ටටා /බායි කීමට" සිදු වනු ඇත.

    ReplyDelete
    Replies
    1. //රාජකාරි වෙලාව තුල ෆේස්බුක්/ blog බලන අය සම්බන්දයෙන් ද මෙම සංකල්පය යොදා ගත හැක. මේ නිසා කිසිවෙකුටත් පාඩුවක් සිදු වන්නේ නැත.//
      ඔබ කියන දේට පදනමක් තිබුණත් එය අර්ධ සත්‍යයක්. මෙතනදී අපි නිෂ්පාදනයක් සහ නිෂ්පාදන සාධකයක් කියන සංකල්ප දෙක වෙන් කරගන්න ඕනෑ. ත්‍රිරෝද රථ සේවා සැපයීමේදී වෙන්නේ නිෂ්පාදනයක් විකිණීම හා මිල දී ගැනීමයි. පොරොත්තු කාලය මේ නිෂ්පාදනයේ මිල තීරණය කරන එක් ලක්ෂණයක්. එහෙත්, ඔබ රජය හෝ පෞද්ගලික සමාගමක් වෙනුවෙන් සේවය කිරීමේදී ඔබේ සේවා කොන්ත්‍රාත්තුවේ ස්වභාවය අනුව එය එසේ වීමට හෝ නොවීමට පුළුවන්. පෞද්ගලිකව මගේ අවසන් සේවා කොන්ත්‍රාත්තුව ගත්තොත් සතියක් ඇතුළත මා විසින් නියමිත තැනක නියමිත වෙලාවක වැඩ කළ යුතුව තිබුණේ පැය පහක් පමණයි. තවත් පැය දෙකහමාරක් මට කැමති වෙලාවක නියමිත තැනක සේවය කළ යුතුයි. මේ කාලය මා විසින් තීරණය කර දැනුම් දුන්නත් පසුව වෙනස් කළ නොහැකියි. මේ පැය හතහමාර තුළ මා වෙනත් දේවල් කරන්නේ නැහැ. වසරකට සති 32ක් ඉහත පරිදි මා සේවය කළ යුතුයි. ඉතිරි කාලය තුළ මා කළ යුතු වැඩ කොටසක් මිස සේවය කළ යුතු තැන හෝ වෙලාව ගැන නියමයක් නැහැ. ඒ නිසා බ්ලොග් ලිවීම හෝ වත්පොත් යාම හෝ ගෙදර සිට, රටින් පිට සිට හෝ රාත්‍රී කාලයේ වැඩ කිරීම කාටවත් ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම මේ වසර සඳහා මෙසේ කළ යුතු වැඩ කොටස මා දැනටමත් කර අවසන්. ලංකාවෙත් ඇතැම් සේවා කොන්ත්‍රාත්තු වල ස්වභාවය මේ වගේ වුණත් බොහෝ විට එය එසේ නැහැ. විශේෂයෙන්ම රජයේ රැකියා වලදී ඔබ ගිවිසුමකින් බැඳී සිටින්නේ නිශ්චිත පැය ගණනක් සේවය කිරීමට මිස නිශ්චිත වැඩ කොටසක් කිරීමට නෙමෙයි. ඒ නිසා ඒ කාලය තුළ වෙනත් දේ කරන අය සම්බන්ධව මාතලන් කියන කතාව හරි. රජයේ සේවකයෙකුගේ සේවා කාලය පොදු ජනතාවට අයිති වැටුප වෙනුවෙන් 'කුලියට දී ඇති' කාලයක්. ඒ කාලය තුළ වෙනත් දේ කිරීම පොදු දේපළ අපයෝජනය කිරීමක්. පෞද්ගලික ආයතන වල සේවකයින් සම්බන්ධව තත්ත්වය තරමක් වෙනස් විය හැකියි. ඔබේ පැය අටෙන් ඔබ ඇත්තටම සේවය කරන්නේ පැය හයක් පමණක් බව ආයතනය හිමිකරුට දිගුකාලීනව නිරීක්ෂණය කළ හැකියි. ඒ නිසා දිගුකාලීනව ඔබේ රැකියාව සුරක්ෂිතනම් ඇත්තටම ඔබට ලැබෙන්නේ පැය හයේ සේවයට නියමිත වැටුපයි.

      Delete
  12. //ඒ නිසා, මේ කර්මාන්තය වෙත ඇදී එන්නේ තමන්ගේ කාලයේ ආවස්ථික පිරිවැය අඩු, ත්‍රිරෝද රථ රැකියාවේ නොයෙදුනේනම් එම කාලය තුළ වැඩි ආදායමක් ලබාගත හැකි වෙනත් මාර්ගයක් නොමැති අයයි.// මේ කතාවට එකඟයි. ඒ නිසා තමා කාලය කා දමනවා කියල කියන්න බැරි.

    ReplyDelete
    Replies
    1. ඒ නැතත් මෙය සේවා ආශ්‍රිත රැකියා වලට පොදු තත්ත්වයක්. ගුවන් තොටුපළ පර්යන්තයේ සිටින ආගමන විගමන හෝ රේගු නිලධාරීන් වැනි අය ගත්තත් ඔවුන් කාර්ය බහුල වන්නේ ගුවන් යානයක් පැමිණි වෙලාවට පමණයි. ඒත් ඔවුන් රජයේ සේවකයින් නිසා 'පොතේ හැටියට' පැය අටක් සේවය කරනවා. රජයේ හා පුද්ගලික ආයතන වල රියදුරු මහතුන් ගත්තත් බොහෝ විට ඔවුන් නිකං ඉන්නේ. මෙතැනදී වෙන්නේ ත්‍රිරෝද රථ රියදුරන් කැපී පෙනීම පමණයි.

      Delete
  13. මගේ ඇස් ඇර වූ ලිපියක්. මම කීප තැනකම ත්‍රී රෝද රියදුරන් කාලය කාදමන අය බවට හැඟෙන කතා කරලා තියෙනවා. ඒත් ඔබේ ලිපියෙන් පස්සේ මට ඒකෙ සැබෑ ආර්ථික පැතිකඩ ගැන අදහසක් ආව. මේක පැහැදිලි කිරීම මීට වඩා සරලව කරන්න පුළුවන් කියල හිතන්න අමාරුයි. බොහොම ස්තුතියි.

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. http://www.ibtimes.co.uk/japan-toyota-rent-out-electric-three-wheelers-reduce-pollution-1495627

    ReplyDelete
  16. ත්‍රී රෝද රියදුරන් පිළිබඳ ඔබේ පැහැදිලි කිරිම ඉතා සාර්ථකයි.. ආප්ප ගැන කියෙව්වාම මට හැමදාම හිතෙන දෙයක් කොහොමද කඩේ ආප්ප වල වාටිය ගොඩක් වෙලා හයියට තියා ගන්නේ, ගෙදර හැදුවාම එහෙම තියාගන්න බැහැ. මොකද පොඩි කාලේ ඉඳන් මම කන්න කැමති ආප්ප වාටිය විතරයි... :)

    ReplyDelete
  17. බොහෝ තරුණයන් කල්පනා කරනවා පාසලෙන් එන්නේ නිදහස් දාඩිය මහන්සියක් නැතුව දවසේ වියදම හොයාගන්න, ත්‍රිරෝද රථයක් ගන්න. අද රටේ ත්‍රී වීල් උඩ වාඩි වෙලා බලාගෙන සිටින ජවසම්පන්න තරුණයන් ලක්ෂ 13 සිටිනවා . බස්නාහිර පලාතේ පමණක් ලක්ෂ 05 සිටිනවා .
    - කරු ජයසූරිය
    http://www.lankaenews.com/news/4148/si

    .

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget