වෙබ් ලිපිනය:

Monday, October 31, 2022

උද්ධමනය පරාජය භාරගෙන පසු බසී!


කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ගෙවුණු ඔක්තෝබර් මාසයේදී 66.0% දක්වා පහළ ගොස් තිබෙනවා. සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ඉතිහාසයේ ඉහළම අගය වූ 69.8% වාර්තා කළ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 73.7% තරම් ඉහළ මට්ටමක පැවතුණා.

ආහාර උද්ධමනය 94.9% සිට 85.6% දක්වා කැපී පෙනෙන ලෙස පහළ ගොස් ඇති අතර ආහාර නොවන භාණ්ඩ හා සේවා හා අදාළ උද්ධමනයද 57.6% සිට 56.3% දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා. 

උද්ධමනය යනු පාරිභෝගික මිල දර්ශකයේ, එනම් සමස්ත මිල මට්ටමේ, වසරක් තුළ සිදුව ඇති වැඩිවීමයි. උද්ධමනය අඩුවීම යන්නෙන් මිල වැඩි වීමේ වේගයේ අඩුවීමක් මිස මිල අඩුවීමක් සාමාන්‍යයෙන් අදහස් වන්නේ නැහැ. එහෙත්, පසුගිය ඔක්තෝබර් මාසය තුළ මිල මට්ටමේද අඩුවීමක් දැකිය හැකිවීම විශේෂ කරුණක්. පහත පෙන්වා ඇත්තේ පසුගිය මාස කිහිපය තුළ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස් වීමයි.

2022 ජනවාරි - 2.4%

2022 පෙබරවාරි - 1.1%

2022 මාර්තු - 3.0%

2022 අප්‍රේල් - 9.3%

2022 මැයි - 8.3%

2022 ජූනි - 12.8%

2022 ජූලි - 4.5%

2022 අගෝස්තු - 2.5%

2022 සැප්තැම්බර් - 3.8%

2022 ඔක්තෝබර් - (-0.4%)

මේ අයුරින් කොළඹ නාගරික ප්‍රදේශ වල සමස්ත මිල මට්ටම 0.4%කින් පහළ ගොස් ඇත්තේ ආහාර මිල 2.0%කින් පහළ යාමේ හා ආහාර නොවන මිල ගණන් 0.7%කින් ඉහළ යාමේ සංයුක්ත ප්‍රතිඵලය ලෙසයි. මාසය තුළ සහල්, සීනි, අර්තාපල්, මිරිස් ඇතුළු ආහාර ද්‍රව්‍ය ගණනාවක මිල පහළ ගොස් ඇති අතර පැට්‍රෝල්, ඩීසල් හා ගෑස් මිල ගණන් වලද අඩුවීමක් සිදු වුනා. 

නිල උද්ධමනය සේ සැලකෙන්නේ ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වන උද්ධමනයයි. කොළඹ මිල ගණන් රටාව අනුව, තවත් සති තුනකින් පසුව ප්‍රකාශයට පත් වීමට නියමිත මෙම අගයෙහිද යම් පහළ යාමක් අපේක්ෂා කළ හැකියි. 

පසුගිය අප්‍රේල් මාසයේදී සිදු කළ පොලී අනුපාතික ඉහළ දැමීම මේ අයුරින් අධි-උද්ධමන තත්ත්වයක් කරා වේගයෙන් ගමන් කරමින් සිටි ආර්ථිකයේ අයහපත් ප්‍රවණතා ආපසු හැරවීමට ප්‍රධාන වශයෙන්ම දායක වූ අතර තාවකාලිකව පියවරක් ලෙස විණිමය අනුපාතය කෘතීම ලෙස පාලනය කිරීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා එකඟතාවයක් ඇති කර ගැනීම මෙන්ම එම වැඩ පිළිවෙල යටතේ බදු ඉහළ දැමීමද මෙසේ තත්ත්වය හොඳ අතට හැරවීමට උදවු වී තිබෙනවා. මහජන නැගිටීම නොවන්නට මේ ආපසු හැරවීම මේ අයුරින් සිදු නොවී අධි-උද්ධමන තත්ත්වයක් ඇතිවිය හැකිව තිබුණා. 

බැලූ බැල්මටම පෙනෙන්නේ බදු වැඩි කරන විට බඩු මිල ඉහළ යන බව වුවත්, එහිදී ඇත්තටම වෙන්නේ සල්ලි අච්චු ගැසීමේ අවශ්‍යතාවය පහළ ගොස් බඩු මිල වැඩි වීම නැවතීමයි. මෙහි වාසිය වැඩි වශයෙන්ම ලැබෙන්නේ අඩු ආදායම්ලාභීන්ටයි. කෙසේ වුවද, පසුගිය අප්‍රේල් මාසය පමණ දක්වා වසර දෙකකට ආසන්න කාලයක් මුදල් සැපයුමේ සිදු වූ ඉහළ යාමේ බලපෑම ඉවත් වීමට තවත් යම් කාලයක් අවශ්‍යයි. 2023 මාර්තු පමණ දක්වා උද්ධමනය යම් තරමකින් අඩු වීමට නියමිත නමුත් තව දුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇති ඇති අතර 2023 අප්‍රේල්-ජූනි මාස තුන අතර උද්ධමනයේ වේගවත්, විශාල පසුබැසීමක් අපේක්ෂා කළ හැකියි. 

Friday, October 28, 2022

වියදම් කැපීම හා ආදායම් වැඩි කර ගැනීම

එකම දේ නැවත නැවත කියන එකේ ලොකු තේරුමක් නැතත් සමහර තත්ත්වයන් යටතේ වෙනස් ආකාර වලින් එකම දේ නැවත නැවත කියන්න වෙනවා. ලංකාව කියා කියන්නේ ලෝකයේ රටවල් අතරින් රටේ ජාතික ආදායමට සාපේක්ෂව අඩුම බදු ප්‍රමාණයක් එකතු කර ගන්නා රටක්. රජයේ බදු ආදායම් කියා කියන්නේ ඇස්තමේන්තු කළ යුතු දෙයක් නෙමෙයි. හරියටම සතේටම ගිණුම් වල තියෙන දෙයක්. අයවැයෙන් ඉදිරිපත් කරන්නේනම් ඇස්තමේන්තු. ඒ ගණන් බොහෝ විට නිවැරදි නැහැ. හැබැයි අවුරුද්දක් ඉවර වෙද්දී ලැබුණු ආදායම හරියටම බලාගන්න පුළුවන්. 

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බදු ආදායම් එකතු කරන ප්‍රධාන ආයතන තුනක් තිබෙනවා. 

1. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 

2. ශ්‍රී ලංකා රේගුව 

3. සුරාබදු දෙපාර්තමේන්තුව 

පහත තියෙන්නේ මේ ආයතන තුන විසින්ම 2021 වසරේදී එකතු කරගත් බදු ප්‍රමාණය. (මූලාශ්‍රය: ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වාර්ෂික වාර්තාව).

ආදායම් බදු - රුපියල් මිලියන 302,115

වැට් බදු - රුපියල් මිලියන 308,213

නිෂ්පාදන/සුරා බදු - රුපියල් මිලියන 306,801

ආනයන මත බදු - රුපියල් මිලියන 64,339

අනෙකුත් බදු - රුපියල් මිලියන 316,490

එකතුව - රුපියල් මිලියන 1,298,019

මෙම ප්‍රමාණය රටේ ජාතික ආදායමෙන් 7.7%ක් පමණයි.

ඉහත රජයේ බදු ආදායම් වලින් වැඩිම කොටස, එනම් 43.43%ක්ම එකතු කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි. එම බදු ආදායම අන්තිම රුපියලට ගණන් බැලු විට රුපියල් 632,830,585,186ක්. 

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කර ගන්නා ප්‍රධානම බදු වර්ග දෙක ආදායම් බද්ද හා වැට් බද්දයි. ආදායම් බදු වලින් වැඩි කොටසක් අය කරන්නේ සමාගම් වලින්. පුද්ගල ආදායම් බදු ප්‍රමාණය මුළු ආදායම් බදු ප්‍රමාණයෙන් 16%ක් පමණයි. ස්කැන්ඩිනේවියන් රටවල වෙන්නේ එහි අනෙක් පැත්තයි.

පුද්ගල ආදායම් බදු - රුපියල් 48,713,743,993යි 

සමාගම් බදු - රුපියල් 251,830,847,280යි 

එකතුව - රුපියල් 300,544,591,27යි 

වැට් බදු ආදායමත් ආසන්නව ආදායම් බදු ආදායමට කිට්ටුයි. ජාතික ආදායමේ ප්‍රතිශතයක් ලෙස ආදායම් බදු ප්‍රමාණය වගේම වැට් බදු ආදායමද 1.8%ක් පමණයි. පෙර ලිපියක පෙන්වා දුන් පරිදි ඉතා විශාල ආදායම් බදු අය කරන ස්කැන්ඩිනේවියන් රටවල වැට් බදු ආදායමද එම රටවල ජාතික ආදායමෙන් 11% සිට 15% පමණ දක්වා කොටසක්. ලංකාවේ ආදායම් බදු ගෙවන්නේ සුළු පිරිසක් වන පරිදිම, වැට් බදු ගෙවන ව්‍යාපාරික ස්ථාන ප්‍රමාණයද ඉතා සීමිත වීමත්, බොහෝ භාණ්ඩ හා සේවා වැට් බද්දෙන් නිදහස්ව තිබීමත් මෙයට ප්‍රධාන හේතුවයි. වැට් බදු ගෙවන ආයතන ප්‍රමාණය 9,316ක් පමණයි (මූලාශ්‍රය: දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2021 වාර්ෂික වාර්තාව)

රටේ නිපදවූ භාණ්ඩ මත අය කර ඇති වැට් බදු ප්‍රමාණය මුළු වැට් බදු ආදායමෙන් 12.86%ක් පමණයි. ආදායමෙන් 47.31%ක්ම ඇවිත් තිබෙන්නේ සේවා අංශ වලින්. ඉතිරි 39.83% ආනයනික භාණ්ඩ වලින්. 

නිෂ්පාදන මත අය කළ වැට් බදු - රුපියල් 39,635,391,764යි  

සේවා මත අය කළ වැට් බදු - රුපියල් 145,826,777,746යි 

ආනයන මත අය කළ වැට් බදු - රුපියල් 122,750,875,084යි 

එකතුව - රුපියල් 308,213,044,594යි 

පසුගිය වසරේදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කර ඇති මුළු මුදල රුපියල් බිලියන 632.8ක්. එයින්, රුපියල් බිලියන 610.3ක්ම, එනම් 96.4%ක්ම, ආදායම් බදු හා වැට් බදු. තවත් විවිධ බදු වර්ග 15ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කර ඇතත්, ඒ සියල්ලෙන්ම ලබාගෙන ඇති ආදායම රුපියල් බිලියන 22.5ක් පමණයි. (විස්තර පහත වගුවක තිබෙනවා)

වාහන ආනයන බදු තිබෙන්නේ ඉහත උඩින්ම තිබෙන මහ බැංකු දත්ත අතර ඇති, රුපියල් බිලියන 306.8ක් වන, "නිෂ්පාදන/සුරා බදු" කාණ්ඩය ඇතුළේ. එම කාණ්ඩයද, එකතුව සැලකූ විට, ආදායම් බදු හා වැට් බදු මෙන්ම ජාතික ආදායමෙන් 1.8%ක් පමණයි. එයින් වාහන ආනයන බදු ප්‍රමාණය රුපියල් බිලියන 18.1ක් පමණයි. 2019දී මෙම ආදායම රුපියල් බිලියන 130.4ක් වුවත්, ගෙවුම් ශේෂ අර්බුදය හමුවේ වාහන ආනයනය තහනම් කිරීම නිසා එමගින් රජයට ලැබුණු ආදායම්ද විශාල ලෙස අහිමි වී තිබෙනවා. ඉතිරි කොටසින් රුපියල් බිලියන 88.5ක් සිගරැට් හා දුම්කොළ මත අය කළ බදු. රුපියල් බිලියන 138.6ක් මත්පැන් මත අය කළ බදු. 

රජයට ආදායම් ලැබෙන්නේ බදු වලින් පමණද?

නැහැ. රජයට වෙනත් ආදායම්ද ලැබෙනවා. නමුත් මෙම ප්‍රමාණය ගොඩක් ලොකු නැහැ. ජාතික ආදායමෙන් 0.9%ක් පමණයි. 

බදු ආදායම - රුපියල් මිලියන 1,298,019යි 

වෙනත් ආදායම් - රුපියල් මිලියන 159,052යි 

එකතුව - රුපියල් මිලියන 1,457,051යි 

බදු ආදායම් විශාල ලෙස වැඩි කර ගන්නේ නැතිව, වියදම් කැපීමෙන් පමණක් අයවැය තුලනය කරගන්න පුළුවන්ද? එසේ කළ හැක්කේ මවාගත් බුබුළු ඇතුළේ ජීවත් වන අයට පමණයි. පුළුවන් විදිහක් තියෙනවානම් අපටත් කියන්න. 

රජයට ලැබුණු ඉහත ආදායම වැය කළේ කොහොමද?

ආදායමෙන් ලොකුම කොටස යන්නේ නිදහස ලබා ගත් කාලයේ සිටම ආදායම ඉක්මවා වියදම් කරමින් රජය විසින් ලබාගත් දේශීය හා විදේශීය ණය කන්දරාව වෙනුවෙන් පොලී ගෙවන්නයි. මතක තියාගන්න මේ කතා කරන්නේ ණය ආපසු ගෙවන එක ගැන නෙමෙයි. ණය එලෙසම තියෙද්දී පොලී පමණක් ගෙවන එක ගැන. 

දේශීය ණය වල පොලිය - රුපියල් මිලියන 794,633යි 

විදේශීය ණය වල පොලිය - රුපියල් මිලියන 253,750යි 

එකතුව - රුපියල් මිලියන 1,048,382යි 

ණය පොලී කියන්නේ කිසිසේත්ම කපන්න පුළුවන් වියදමක් නෙමෙයි. මේ වියදම අඩු කර ගත හැකි එකම ක්‍රමය පොලී ගෙවීම පැහැර හරින එක පමණයි. විදේශ ණය හා අදාළව දැනටමත් ඒ වැඩේ කරලයි තියෙන්නේ. දේශීය ණය වල පොලියත් නොගෙවා ඉන්න පුළුවන්ද? 

දේශීය ණය වල පොලිය නොගෙවා ඉන්නවා කියන්නේ රටේ බැංකු ටික කඩා වැටෙනවා කියන එක. රටේ බැංකු වල සල්ලි වලින් විශාල කොටසක් රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කරලයි තියෙන්නේ. ඒ වෙනුවෙන් පොලී නිසි පරිදි නොලැබුණොත් බැංකු වල තියෙන රටේ මිනිස්සුන්ගේ සල්ලි ආපහු ලැබෙන්නෙත් නැහැ. බැංකුත් ඉවරයි. ව්‍යපාරික ආයතන සියල්ලමත් ඉවරයි. මිනිස්සුත් ඉවරයි. රටත් ඉවරයි. 

මතක තියා ගන්න ඔය පොලී වියදම් ගියේ 2021දී. ඒ වෙද්දී පොලී අනුපාතික දැන් වගේ වැඩි වෙලා තිබුණේ නැහැ. ගොඩක් පහළ මට්ටමකයි තිබුණේ. ඔය වියදම ගියේ එහෙම තියෙද්දී. 

හරි. දැන් ආදායම රුපියල් මිලියන 1,457,051යි. පොලී වියදම පමණක් රුපියල් මිලියන 1,048,382යි. එතකොට තව ඉතුරු කීයද?

තව ඉතුරු රුපියල් මිලියන 408,669ක් පමණයි. හැම වියදමක්ම කරන්න වෙන්නේ ඔය සල්ලි ටිකෙන්. නමුත් රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වියදම පමණක් රුපියල් මිලියන 1,115,507ක්. ඒ කියන්නේ ඔය ඉතිරි වන මුදල මෙන් තුන් ගුණයකට කිට්ටුයි. විශ්‍රාම වැටුප් කොටස රුපියල් මිලියන 269,827ක්. ඒ කොටස ගෙවුවොත් දැන් ඉන්න රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන්න ඉතිරි වෙන්නේ රුපියල් මිලියන 138,042ක් පමණයි. නමුත් වැටුප් වියදම ඒ වගේ හය ගුණයක්. ඒ කියන්නේ බදු ආදායම් වැඩි කර නොගෙන, විශ්‍රාම වැටුප් ටික බේරලා, රාජ්‍ය සේවක වැටුප් විතරක් පියවන්න වුනත් දැන් ඉන්න සෑම රාජ්‍ය සේවකයින් හය දෙනෙක්ගෙන් පස් දෙනෙකුවම වන්දියක්වත් නොගෙවා ගෙදර යවන්න වෙනවා. 

ඕකම තවත් විදිහකට විස්තර කරන්නත් පුළුවන්. පොලී ගෙවුවට පස්සේ ආදායමෙන් ඉතිරි වූ කොටස රුපියල් මිලියන 408,669යිනේ. රටේ ගොඩක් දෙනෙකුට අනුව, අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වන වියදම් නොකැපිය යුතුයි. දෙන දේවල් ටිකත් මදි කියන එකනේ බොහෝ දෙනෙකුගේ අදහස. ආරක්ෂක වියදම් වගේ දේවල් පැත්තකින් තියමුකෝ. ඒ වියදම් අඩු කළ යුතුයි කියා යම් ජනමතයක් තියෙනවනේ. පහත තියෙන්නේ පසුගිය වසරේදී අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වියදම් කළ මුදල.

අධ්‍යාපනය - රුපියල් මිලියන 310,613යි

සෞඛ්‍යය - රුපියල් මිලියන 387,121යි

එකතුව - රුපියල් මිලියන 697,735යි 

පොලී ගෙවලා, විශ්‍රාම වැටුප් ටික ගෙවුවට පස්සේ ඉතිරි වෙන්නේ රුපියල් මිලියන 138,042ක් බව කලින් කිවුවනේ අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා ගිය වියදම විතරක් ගත්තත් ඒ වගේ පස් ගුණයක්. ඒ කියන්නේ, පොලී ගෙවලා, විශ්‍රාම වැටුප් ගෙවලා ආදායම පිරිමහගන්නනම්, අනෙක් සියලුම වියදම් 100%ක්ම කපලා, අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා යන වියදම් වලිනුත් 80%ක්ම කපන්න වෙනවා. 

ඔය තරම්ම පැහැදිලි කළාට පස්සෙත්, තියෙන ප්‍රශ්නය බදු වැඩි නොකර, වියදම් කැපීමෙන් පමණක් විසඳන්න පුළුවන් එකක් කියා කවුරු හරි හිතනවනම් ඒ ගැන අනුකම්පා කරනවා මිස වෙන කරන්න දෙයක් නැහැ. 

ඔය කියපු ගණන් ඇත්තම ගණන්. මේ අවුරුද්ද තවම අවසන් නැති නිසා මේ අවුරුද්දේ ඇත්ත ආදායම් හා වියදම් ගැන කතා කරන්න බැරි බව ඉතාම පැහැදිලියිනේ. ඒ නිසා මේ අවුරුද්ද ගැන කතා කරන්න වෙන්නේ අයවැය ඇස්තමේන්තු මත පදනම්වයි. 

එය අපි ඉදිරි ලිපියකට ඉතිරි කරමු.

Wednesday, October 26, 2022

කුණු කතා අහන්න කැමති කවුද?



අද කියන්න යන්නේ කුණු කතාවක්. මීට කලින් අපේ ගෙදර විදුලි බිල ගැන ලිපියක් දැම්මා. මේක කුණු බිල ගැන.

සැලකිය යුතු මුදලක් වරිපනම් විදිහට ගෙවුවත්, අපේ නගර සභාව කුණු එකතු කරන්නේ නැහැ. වරිපනම් සල්ලි වලින් කරන වෙන දේවල් තියෙනවා. ඒ දේවල් ගැන පසුව වෙන ලිපියක ලියන්නම්.

අපේ ගෙදර කුණු එකතු කරන්නේ පෞද්ගලික සමාගමකින්. අපේ ගෙවල් මන්ඩියේ කුණු එකතු කරන ඒ වගේ සමාගම් දෙකක් තිබෙනවා. ඔය දෙකෙන් කැමති එකක් එක්ක අපට කොන්ත්‍රාත්තුවක් අත්සන් කරන්න පුළුවන්. 

සමාගම් දෙකේ ගාස්තු හා සේවය සංසන්දනය කරලා හොඳ එක තෝරා ගන්න එක හරි විදිහ වුනත් මගේ තියෙන කම්මැලි කමට මමනම් එහෙම කළේ නැහැ. දැන් ඉන්න ගෙදරට එන්න කලින් හිටපු ගෙදර ඉඳිද්දී කුණු කොන්ත්‍රාත්තුව දීල තිබුන සමාගම එක්ක ගේ වෙනස් කළාට පස්සෙත් දිගටම හිටියා. ඒ නිසා, අනික් සමාගමේ ගණන් අඩුද සේවය වඩා හොඳද කියලා මම හරියටම දන්නේ නැහැ. 

ඔය දාලා තියෙන බිලේ පේන විදිහට අපේ කුණු බිල ඩොලර් 182.54ක්. විදුලි බිල වගේ කුණු බිල මාසෙන් මාසෙට එන්නේ නැහැ. ඔය මාස තුනක බිල. මාසෙකට ඩොලර් හැටක් විතර වෙනවා. ඇමරිකාවේ හැටියට වුනත් සුළු ගාණක්ම කියලා කියන්න බැහැ. 

කොන්ත්‍රාත්තුව අනුව අපේ ගෙදරට කුණු බක්කි දෙකක් ලැබී තිබෙනවා. එකක් සාමාන්‍ය කලවම් ගෘහස්ථ කුණු දමන්න. අනෙක් එක ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි කුණු දමන්න. වීදුරු, ප්ලාස්ටික් සහ කාඩ්බෝඩ් ප්‍රතිචක්‍රීයකරණය කරන්න පුළුවන්. 

ඔය කුණු බක්කි දෙකටම දමන්න බැරි කුණුත් තිබෙනවා. පරිසරයට හානිකර විය හැකි පිච්චුණු විදුලි බල්බ, බැහැපු බැටරි වගේ ඒවා. එතකොට ඉතුරු වුනු බෙහෙත් පෙති, තීන්ත (ලැකර්) වගේ ඒවත් දමන්න බැහැ. ඒවා බැහැර කරන්න වෙනම තැන් තියෙනවා. තව කැඩුණු පුටු මේස, පරණ ඉලෙක්ට්‍රොනික් බඩු වගේ ලොකු දේවල් බැහැර කරන්න අවශ්‍යනම් වෙනම ඇණවුම් කරලා ලොකු පෙට්ටියක් ගෙන්න ගන්න ඕනෑ. පෙට්ටියේ තරමට ගෙවන්නත් වෙනවා. 

බිල දිහා බැලුවොත් පෙනෙයි ඩොලර් හතලිස් ගාණක් වැඩියෙන් එකතු වෙලා තියෙන්නේ ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි කුණු වෙනම එකතු කරන්න බව. ඒකට දමන්න කුණු වෙන් කරන්නත් වෙනවා. සැමන් ටින් එකක් වගේ එකක් කැඩුවට පස්සේ ප්‍රතිචක්‍රීයකරණය කරන බක්කියට දමන්න කලින් හොඳින් පිරිසිදු කරන්නත් ඕනෑ. තනිකරම අමතර වැඩක්. ඒ වගේම වැඩියෙන් ගෙවන්නත් ඕනෑ.

ඔය විදිහට වැඩියෙන් ගෙවලා ප්‍රතිචක්‍රීයකරණය කරන කුණු බක්කියක් ගන්න එක අනිවාර්ය නැහැ. ඒක අපේ තේරීමක්. එහෙම නොකර ඒ කුණු ටිකත් සාමාන්‍ය ගෘහස්ථ කුණු දමන බක්කියටම දමන්න පුළුවන්. වැඩෙත් ලේසියි. බිලත් අඩු වෙනවා. හැබැයි පුළුවන්කමක් තියෙන අය එහෙම කරන්නේ නැහැ.

අපිට පරිසරය ගැන අමාරුවක් තියෙනවානම් ඒකට කවුරුවත් පලි නැහැ. පරිසරය ආරක්ෂා කර ගැනීමේ මිලත් අපිටම තමයි ගෙවන්න වෙන්නේ. අනෙක් කෙනා ඒ වැඩේ කරනකම් හිටියොත් කවදාවත් වැඩේ වෙන්නේ නැහැ. 

අපේ ගෙදර කුණු වලින් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි කුණු හැම එකක්ම නිසි විදිහට ප්‍රතිචක්‍රීයකරණ කුණු බක්කියට දමනවා. ඒ නිසා, ඉක්මණින්ම පිරෙන්නේ ඒ කුණු බක්කිය. ගෙදර ඉතිරි වන ආහාර හා උයද්දී ඉතිරි වන ආහාර කොටස් එකතු කරලා කොම්පෝස්ට් හදන නිසා සාමාන්‍ය කුණු දමන බක්කියට කුණු එකතු වෙන්නෙම නැති තරම්. 

අපේ මන්ඩියේ කුණු එකතු කරන්නේ සඳුදා දවස් වලට. ගෘහස්ථ කුණු සතිපතා එකතු කරනවා. ප්‍රතිචක්‍රීයකරණ කුණු එකතු කරන්නේ දෙසතියකට වරක්. ඉරිදා හවසට කුණු බක්කි එළියෙන් තියලා සඳුදා නැවත ඇතුළට ගන්නවා. ඔය අතරමැදි දවස්වල කුණු බක්කි පේන්න තියන්න බැහැ. 

කුණු එකතු කරන එක ගැන මම සියයට සියයක් තෘප්තිමත්ද? නැහැ. මොකද අවුරුද්දකට දෙතුන් දවසක් අපේ ප්‍රතිචක්‍රීයකරණ කුණු බක්කිය එකතු කරන එක මග ඇරෙනවා. ඊට පස්සේ අන්තර්ජාලය හරහා හරි දුරකථනයෙන් හරි සමාගමට ඒ බව දැනුම් දෙන්න වෙනවා. සාමාන්‍ය කුණු එකටනම් කවදාවත් ඔය වැඩේ වෙලා නැහැ. 

මේකටත් හේතුවක් තියෙනවා. මම ඉන්න ගෙවල් මන්ඩියේ ගොඩක් අය කුණු කොන්ත්‍රාත්තුව දීලා තියෙන්නේ අනෙක් සමාගමට. මම කොන්ත්‍රාත්තුව දීලා තියෙන සමාගම එක්ක ඉන්නේ ගෙවල් කිහිපයයි. ඒ ගෙවල් වලිනුත් ප්‍රතිචක්‍රීයකරණ කුණු බක්කියක් තියෙන්නේ තව එක ගෙදරක විතරයි. ඉතිං කුණු ලොරියට ඔය ගෙවල් දෙක මග හැරෙනවා ඇති. කලින් ගෙදර ඉන්න කොට ඒ පැත්තේ හැමෝම වගේ හිටියේ මේ සමාගමත් එක්ක නිසා ඔය ප්‍රශ්නය තිබුණේ නැහැ.

සමාගම මාරු කළානම් ප්‍රශ්නය විසඳෙනවා. ඒත් ඉතිං වඳුරෝ ගෙවල් හදන එක වගේ කුණු එක මග හැරුණු දවසට ඔය ගැන හිතුණත් පස්සේ අමතක වෙලා යනවා.

ඇමරිකාවේ කුණු එකතු කරන එක වුනත් ටයි කෝට් දාලා කරන රස්සාවක්. නිකමට වගේ කිවුවට කවුරුවත් ටයි කෝට් දාලා කුණු එකතු කරන්න එන්නේ නැහැ. ඕනෑනම් එහෙම කරන්න බැරිකමකුත් නැහැ. හැබැයි කුණු එකතු කරන්නා කුණු ලොරියෙන් බහින්නේ නැති නිසා ශීත කාලෙදී වුනත් කෝට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. 

කුණු එකතු කරන්නේ කුණු ලොරියේ රියැදුරාමයි. ගේ කිට්ටු කරලා වාහනේ නැවැත්තුවට පස්සේ එයා කරන්නේ කුණු ලොරියේ රොබෝ අත ක්‍රියාත්මක කරන එක. රොබෝ අතෙන් කුණු බක්කිය අල්ලලා උස්සලා අනෙක් පැත්ත හරවලා කුණු ටික ලොරියට දාගෙන හිස් කුණු බක්කිය තිබුණු තැනින් තියනවා. 

ඔය කුණු බක්කි දෙකට දමන්න බැරි පිච්චුණු විදුලි බල්බ, බැහැපු බැටරි වගේ අන්තරායකර දේවල් බැහැර කරන්න මාස හයක් දක්වා කාලයක් බලා ඉන්න වෙනවා. අවුරුද්දකට දවස් දෙකක් මේවා එකතු කරනවා. ඒ වැඩේනම් කරන්නේ බදු සල්ලි වලින්. ප්‍රමාණය යම් සීමාවකට වැඩිනම් පමණක් සල්ලි ගෙවන්න වෙනවා. 

ඕක තමයි අපේ කුණු කතාව.

Monday, October 24, 2022

සෝමාලියානු බදු ගෙවා ස්කැන්ඩිනේවියානු සුබසාධනය සෙවීම


සමහර අය කියන්නේ තමන් බදු ගෙවන්නට අකැමැති බදු වලට සරිලන සේවයක් රජයෙන් නොලැබෙන නිසා බවයි. ඒ අයගෙනුත් සමහර අය වක්‍රව නොව සෘජුවම කියන්නේ ගෙවන බදු වලට සරිලන සේවයක් ලැබේනම් බදු ගෙවන්නට සූදානම් බවයි. 

මේවා ඇත්තටම විහිළු කතා. ඔය ධනවත් රටවල ඉන්න මිනිස්සු ලොකුවට බදු ගෙවන්නේ ඒ බදු වලට සරිලන සේවයක් රජයෙන් ලැබෙන නිසා නෙමෙයි. බදු නොගෙවා ඉන්න පුළුවන්කමක් නැති නිසා. නීතියේ හිල් වලින් රිංගා බදු නොගෙවා ඉන්න පුළුවන්නම් හැම දෙනෙක්ම වගේ එසේ කරනවා. කවුරුවත් කැමැත්තෙන් බදු ගෙවන්නේ නැහැ.

බදු කියා කියන්නේම නීත්‍යානුකූල බලහත්කාරයක්. එහෙම නැතුව පන්සලකට, පල්ලියකට සල්ලි දෙනවා වගේ වැඩක් නෙමෙයි. ඇමරිකානු පුරවැසිකම අත හැර රටින් යන බොහෝ දෙනෙක් එසේ කරන්නේ බදු නොගෙවා සිටීමේ අරමුණ පෙරදැරිවයි. ඒ වගේම, සාමාන්‍ය ආදායමක් ලබන ගොඩක් අය ඩොලර් දෙතුන් සීයක් ගෙවලා බදු උපදේශකයෙකු ලවා තමන්ගේ බදු වාර්තා පිළියෙළ කර ගන්නවා. මමනම් කවදාවත් මේ වැඩේ කරලා නැහැ. මෙහෙම කරන අය කියන්නේ ගෙවන ගාණට වැඩේ ලාබයි කියලා. ඒ කියන්නේ ඊට වඩා කිහිප ගුණයක් වැඩියෙන් බදු අඩු වෙන විදිහට මේ අය වාර්තා හදා දෙනවා කියලා. 

ප්‍රජාතන්ත්‍රවාදී රටවල රජයයන්ට මේ විදිහට බලහත්කාරයෙන් ලොකු බදු අය කරන්න හැකි වී තිබෙන්නේ එය රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත නිසා. බදු වලින් සුබසාධනය වන අය ලොකු බදු වලට කැමතියි. මොකද ඒ අයට ගෙවන බදු වලට වඩා වැඩි දෙයක් රජයෙන් ලැබෙනවා. නමුත්, හැමෝටම ඒ වාසිය ලැබෙන්නේ නැහැ. සුබසාධනය වෙන අය ඉන්නවානම් සුබසාධනය කරන අයත් සිටිය යුතුයි. රජයට කළ හැක්කේ එක් අයෙකුගේ දෙයක් අරගෙන තවත් අයෙකුට දෙන එක පමණයි.

රටේ වැඩි දෙනකුට රජයෙන් ලැබෙන දෙයට වඩා වැඩියෙන් බදු ගෙවන්න වෙනවානම් ඒ පිරිසට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් තුළ රජයේ තීරණය වෙනස් කරන්න පුළුවන්. නමුත්, ඒ පිරිස සුළුතරයක්නම් මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඔවුන්ට බහුතරයේ තීරණයට එකඟ වෙන්න සිදු වෙනවා. මේ හේතුව නිසාම සාමාන්‍යයෙන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල ඉන්න අයගෙන් 50%කට වඩා වැඩි පිරිසක් සුබසාධනය වෙනවා. ඒ අයට ගෙවන බදු වලට වඩා වැඩි දෙයක් රජයෙන් ලැබෙනවා. නමුත් ඉතිරි පිරිසට ඒ අයගේ බරට කර ගහන්න වෙනවා. 

අනෙක් අතට මේ ප්‍රමාණය 50%ට වඩා ගොඩක් වැඩි වෙන්නෙත් නැහැ. එහෙම වුණාම ඉතිරි වන බදු ගෙවන පිරිස අඩු නිසාත්, ඔවුන්ගෙන් ගන්නා දේ වැඩි දෙනෙකු අතර බෙදී යන නිසාත් සුබසාධනය පවත්වා ගන්න බැරි වෙනවා. ලංකාවේ වෙලා තියෙන්නේ හරියටම ඕකයි. 

ලංකාවේ ගොඩක් අයගේ පරමාදර්ශී රටවල් ස්කැන්ඩිනේවියානු රටවල්. ඒ රටවල රාජ්‍ය සුබසාධනය ඉහළ මට්ටමක තිබෙනවා. නමුත් බදු ගොඩක් වැඩියි. පහත තියෙන්නේ ස්කැන්ඩිනේවියානු රටවල් හතරක 2021 වසරේ ඒක පුද්ගල ආදායම සහ රටේ ඒක පුද්ගල ආදායමට සමාන ආදායමක් උපයන අයෙකු විසින් ආදායම මත ගෙවිය යුතු වූ බදු ප්‍රමාණය. වත්කම් බදු ආදී අනෙකුත් සෘජු බදු වෙනම තියෙනවා. සංසන්දනය කිරීම සඳහා සෝමාලියාව හා ලංකාවත් එකතු කර තිබෙනවා. 

ඩෙන්මාර්කය 

ඒක පුද්ගල ආදායම - ඩෙනිෂ් ක්‍රෝන 430,793

බදු - ඩෙනිෂ් ක්‍රෝන 166,829

බදු ප්‍රතිශතය - 38.7%


ස්වීඩනය 

ඒක පුද්ගල ආදායම - ස්වීඩිෂ් ක්‍රෝන 523,000

බදු - ස්වීඩිෂ් ක්‍රෝන 168,772

බදු ප්‍රතිශතය - 32.3%


නෝර්වේ 

ඒක පුද්ගල ආදායම - නෝර්වීජියන් ක්‍රෝන 757,587

බදු - නෝර්වීජියන් ක්‍රෝන 198,271

බදු ප්‍රතිශතය - 26.2%


ෆින්ලන්තය 

ඒක පුද්ගල ආදායම - යුරෝ 45,372

බදු - යුරෝ 13,993

බදු ප්‍රතිශතය - 30.8%


සෝමාලියාව 

ඒක පුද්ගල ආදායම - ඇමරිකන් ඩොලර් 459.0

බදු - ඇමරිකන් ඩොලර් 15.5

බදු ප්‍රතිශතය - 3.4%


ශ්‍රී ලංකාව 

ඒක පුද්ගල ආදායම - රුපියල්  758,680

බදු - නැත 

බදු ප්‍රතිශතය - 0%

ලංකාවට වඩා බොහෝ දුප්පත් රටක් වන සෝමාලියාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 200 ඉක්මවන අය (මසකට රුපියල් 6000ක් පමණ) ආදායම් බදු ගෙවිය යුතුයි. මෙය එරට ඒක පුද්ගල ආදායමෙන් අඩකටත් වඩා අඩු මුදලක්. එහෙත්, ආදායම් බදු වෙනස් කිරීමෙන් පසුවද ලංකාවේ ආදායම් බදු ගෙවිය යුත්තේ වාර්ෂික ආදායම රුපියල් මිලියන 1.2 ඉක්මවන්නේනම් පමණයි. 

විශාල ප්‍රතිශත වලින් ආදායම් බදු අය කරන ස්කැන්ඩිනේවියානු රටවල් වක්‍ර බදු අය කරන්නේ නැද්ද? මේ එම රටවල වැට් බදු අනුපාතිකයි.

ඩෙන්මාර්කය - 25%

ස්වීඩනය - 25%

නෝර්වේ - 25%

ෆින්ලන්තය - 24%

සෝමාලියාව - 10%

ශ්‍රී ලංකාව - 15%

වැට් බදු අනුපාතය වැඩි කිරීමෙන් පසුවත් ලංකාවේ බදු අනුපාතය කිට්ටු සෝමාලියාවේ අනුපාතයට මිසක් ස්කැන්ඩිනේවියානු රටවල අනුපාතයට නෙමෙයි! වැඩියෙන් සෘජු බදු අය කරන රටවල් එහෙම කළා කියලා වක්‍ර බදු අඩු කරන්නේ නැහැ. ඒ රටවල වක්‍ර බදුත් එලෙසම තියෙනවා. මුළු බදු ප්‍රමාණයෙන් වක්‍ර බදු අනුපාතය පහළ ගිහින් තියෙන්නේ සෘජු බදු විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා මිසක් වක්‍ර බදු අඩු වී ඇති නිසා නෙමෙයි. 

පහත තියෙන්නේ ස්කැන්ඩිනේවියානු රටවල් හතරේ 2021 වැට් බදු ආදායම එම රටවල දදේනි අනුපාතයක් ලෙස.

ඩෙන්මාර්කය - 14.0%

ස්වීඩනය - 11.2%

නෝර්වේ - 11.4%

ෆින්ලන්තය - 13.5%

මේ රටවල සෘජු බදු පැත්තකින්ම තිබ්බත් වැට් බදු ආදායමම පමණක් ලංකාවේ සෘජු හා වක්‍ර බදු සියල්ලෙන්ම රජය එකතු කරගන්නා ආදායම් ප්‍රතිශතයට වඩා වැඩියි. පහළින් තියෙන්නේ මේ රටවල සමස්ත බදු ආදායම දදේනි ප්‍රතිශතයක් විදිහට. සෝමාලියාවට වඩානම් ලංකාව පොඩ්ඩක් හොඳයි.

ඩෙන්මාර්කය - 46.5%

ස්වීඩනය - 42.6%

නෝර්වේ - 33.6%

ෆින්ලන්තය - 41.9%

සෝමාලියාව - 2.2%

ශ්‍රී ලංකාව - 7.7%

ස්කැන්ඩිනේවියානු රටවල් අත දිග හැර වියදම් කරන්නේ බදු ලෙස අනෙක් පැත්තෙන් එකතු කරගන්නා මුදල්. බොහෝ විට එම රටවල් වියදම් කරන්නේ එකතු කර ගන්නා බදු ප්‍රමාණයටත් වඩා අඩුවෙනුයි. පහත තියෙන්නේ ආදායමේ ප්‍රතිශතයක් ලෙස මේ රටවල වියදම.

ඩෙන්මාර්කය - 93.3%

ස්වීඩනය - 93.5%

නෝර්වේ - 80.1%

ෆින්ලන්තය - 112.1%

සෝමාලියාව - 126.2%

ශ්‍රී ලංකාව - 240.6%

ස්කැන්ඩිනේවියානු රටවල් අතරින් 2021 වසරේදී ආදායම ඉක්මවා වියදම් කර තිබෙන්නේ ෆින්ලන්තය පමණයි. ලංකාවට සාපේක්ෂව සෝමාලියාව පවා වියදම් කළමනාකරණය කරගෙන තිබෙනවා. ඉහළ සුබසාධනයක් අවශ්‍යනම් පිරිවැය ආවරණය වන බදු ආදායමක් තිබිය යුතුයි. බදු ආදායම් වැඩි කරගත නොහැකිනම් ආදායමට ගැලපෙන සේ සුබසාධනය සීමා කළ යුතුයි. අඩු බදු ආදායමක් ලබන සෝමාලියාව අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ස්කැන්ඩිනේවියානු රටවල් වගේ වියදම් කරන්නේ නැහැ. එහෙම කරන්නත් බැහැ.

රජයේ අධ්‍යාපන වියදම් ආදායමේ ප්‍රතිශතයක් ලෙස 

ඩෙන්මාර්කය - 11.1%

ස්වීඩනය - 14.6%

නෝර්වේ - 12.8%

ෆින්ලන්තය - 12.3%

සෝමාලියාව - 3.7%

ශ්‍රී ලංකාව - 21.2%


රජයේ සෞඛ්‍ය වියදම් ආදායමේ ප්‍රතිශතයක් ලෙස 

ඩෙන්මාර්කය - 17.0%

ස්වීඩනය - 17.5%

නෝර්වේ - 14.8%

ෆින්ලන්තය - 13.7%

සෝමාලියාව - 5.6%

ශ්‍රී ලංකාව - 26.4%


අධ්‍යාපන හා සෞඛ්‍ය වියදම් එකතුව 

ඩෙන්මාර්කය - 28.1%

ස්වීඩනය - 32.1%

නෝර්වේ - 27.6%

ෆින්ලන්තය - 26.0%

සෝමාලියාව - 9.1%

ශ්‍රී ලංකාව - 47.7%

ආදායමේ ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ලංකාවේ රජය බදු ලෙස එකතු කර ගන්නා මුදලින් අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වැය කරන ප්‍රතිශතය හැම ස්කැන්ඩිනේවියානු රටකටම වඩා වැඩියි. නමුත් බදු ආදායම අඩු නිසා ඒ වගේ ප්‍රතිශතයක් වෙන් කරලා වුනත්  ස්කැන්ඩිනේවියානු රටවල මට්ටමට එන්න බැහැ.

සරලවම කිවුවොත්, සෝමාලියානු බදු වලින් ස්කැන්ඩිනේවියානු සුබසාධනයක් නඩත්තු කරන්න බැහැ.  ස්කැන්ඩිනේවියානු සුබසාධනයක් නඩත්තු කළ හැක්කේ ස්කැන්ඩිනේවියානු බදු වලින් පමණයි.

(Image: Vigeland park, Oslo) 

Saturday, October 22, 2022

සෘජු බදුද? වක්‍ර බදුද?


සෘජු බදු හා වක්‍ර බදු ගැන මූලික කරුණු කිහිපයක් පෙර ලිපියෙහි කතා කළා. එහි මා පෙන්වා දුන්නේ සෘජු බදු වලින් මෙන්ම වක්‍ර බදු වලින්ද අවසාන වශයෙන් සිදු වන්නේ එකම දෙයක් බවයි. එසේ නොවන්නේනම්, අඩුම වශයෙන් එකම අවසන් ප්‍රතිඵලය ලැබෙන පරිදි සෘජු බදු, වක්‍ර බදු හෝ මේ දෙකේ මිශ්‍රණයක් බදු ප්‍රතිපත්තිය සේ යොදා ගත හැකි බවයි.

පෙර ලිපියේ මගේ උදාහරණය වෙත මා නැවත යන්නම්. මෙහිදී මා ආර්ථිකය කොටස් තුනකින් නිරූපණය කළා.

1. ධනවතුන් - උපයන ආදායම රුපියල් 5000

2. දුප්පතුන් - උපයන ආදායම රුපියල් 1000

3. රජය - වියදම රුපියල් 3000

සරල උපකල්පනයක් ලෙස ධනවතා මෙන්ම දුප්පතාද තමන් උපයන ආදායමෙන් බදු ගෙවීමෙන් පසු ඉතිරි වන කොටස (ආර්ථික විද්‍යා භාෂාවෙන් disposable income) මුළුමනින්ම පරිභෝජනය කර අවසන් කරනවා. ආයෝජනය කිරීමක් නැහැ. ඇත්ත තත්ත්වය මීට වඩා වෙනස් වුවත් අපි ආයෝජනය දැනට නොසලකා හරිමු. 

රජයේ බදු ප්‍රතිපත්තිය වන්නේ ධනවතාගෙන් රුපියල් 2500කුත්, දුප්පතාගෙන් රුපියල් 500කුත් අය කර ගෙන වියදම පියවා ගැනීමයි. රජයේ වියදම පියවා ගත හැකි වෙනත් ආකාර අනන්ත ප්‍රමාණයක් තිබුණත් මා සලකා බලන්නට යන්නේ ඒ ගැන නෙමෙයි. බදු අය කරන්නේ කාගෙන්ද, කොපමණද කියා තීරණය කිරීමෙන් පසුව එය කළ හැකි වෙනස් ආකාර ගැනයි.

පහත ඕනෑම ක්‍රමයකින් ධනවතාගෙන් රුපියල් 2500කුත්, දුප්පතාගෙන් රුපියල් 500කුත් අය කරගත හැකියි. 

1. 50%ක ආදායම් බද්දක් 

2. 40%ක ආදායම් බද්දක් හා 16.67%ක වැට් බද්දක් 

3. 30%ක ආදායම් බද්දක් හා 40%ක වැට් බද්දක් 

4. 20%ක ආදායම් බද්දක් හා 60%ක වැට් බද්දක් 

5. 100%ක වැට් බද්දක් 

ධනවතුන් හා දුප්පතුන් මත පැටවෙන බදු බර තීරණය වන්නේ රජයේ බදු ප්‍රතිපත්තිය මත මිස බදු අය කරගන්නා ක්‍රමය අනුව නෙමෙයි. සෘජු බදු වලින් ලැබෙන ප්‍රතිඵලයම බොහෝ විට වක්‍ර බදු වලින්ද ලබා ගත හැකියි. එහි අනෙක් පැත්තද කළ හැකියි. 

මෙය මනඃකල්පිත උදාහරණයක්. දැන් අපි ලංකාවේ ඇත්ත සංඛ්‍යාලේඛණ වෙත එමු. ඇතැම් අය අහන්නේ සෘජු බදු වැඩි කිරීමෙන් පසුවද වක්‍ර බදු අඩු නොකර එලෙසම පවත්වා ගෙන යන්නේ ඇයි කියායි. 

ලංකාවේ රාජ්‍ය වියදම් (2021දී) දදේනියෙන් 21%ක්. ඒ කියන්නේ, වක්‍ර බදු අය නොකර සෘජු බදු පමණක් අය කරන්නේනම් රටේ සියලු දෙනාගේම ආදායම් වලින් 21%ක් රජය විසින් ආදායම් බදු සේ අය කළ යුතු බවයි. 2020න් පසුව පැවති උපරිම බදු සීමාවද 18%ක් පමණයි. ඒ අනුව, මෑතකාලීන බදු වැඩි කිරීමට පෙර කිසිදු ලාංකිකයෙකු විසින් වක්‍ර බදු නොමැතිව රාජ්‍ය වියදම් ආවරණය කරගත හැකි තරමේ බදු මුදලක් රජයට ගෙවා නැහැ!

බදු වැඩි කිරීමෙන් පසුව දැන් තත්ත්වය කෙසේද?

බදු වැඩි කිරීමෙන් පසුවද තමන්ගේ ආදායමෙන් 21%ක් බදු සේ ගෙවන්නේ වසරකට මිලියන 6ක පමණවත් ආදායමක් උපයන අය පමණයි. එනම්, මසකට රුපියල් ලක්ෂ පහක පමණවත් ආදායමක් උපයන අය පමණයි. ඊට අඩුවෙන් උපයන කිසිවෙකු තමන්ගේ ආදායමෙන් 21%ක් ආදායම් බදු සේ ගෙවන්නේ නැහැ. 

වක්‍ර බදු අය නොකර සෘජු බදු වලින් පමණක් රජයේ ආදායම පියවා ගන්නනම් රටේ සෑම දෙනෙකුටම 21%ක ආදායම් බද්දක් ගෙවන්න සිදු වෙනවා. ඒ කියන්නේ මාසයේ පඩිය රුපියල් 10,000නම් එයින් රුපියල් 2,100ක් ආදායම් බදු ලෙස ගෙවන්න වෙනවා. (ඇතැම් රටවල මෙවැනි විශාල ප්‍රතිශතයක් වැටුපෙන් බදු සේ අය කර ගන්නා බවද කිව යුතුයි.)

රටේ සෑම දෙනෙකුගේම වැටුපෙන් හා අනෙකුත් ආදායම් වලින් 21%ක් බදු සේ අය කර ගැනීම දේශපාලනික ලෙස ශක්‍ය දෙයක්යැයි මා සිතන්නේ නැහැ. දැන් රුපියල් 120,000ක වැටුපක් ලබා ගන්නා අය නාහෙන් අඬන්නේ 1%ක ආදායම් බද්දක් ගෙවන්න සිදු වී තිබීම ගැනයි. 

මේ විදිහට හැමෝගෙන්ම බදු අය නොකර ඉහළ ආදායම් ලබන අයගෙන් පමණක් බදු අය කරන්න බැරිද? 

පුළුවන්. මම මෙහිදී දේශපාලනය පැත්තකින් තියනවා. අපි හිතමු රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත අඩු ආදායම්ලාභීන්ගෙන් බදු අය නොකර වැඩි ආදායම්ලාභීන්ගෙන් පමණක් බදු අය කිරීම කියා. කොහොමටත් රටේ ජනගහණයෙන් 45%ක්ම වයස අවුරුදු 10ට අඩු හෝ මසකට රුපියල් 500 නොඉක්මවන ආදායමක් ලබන අයයි. හැමෝගෙන්ම බදු ගත්තත් ගන්න වෙන්නේ ඉතිරි 55%ක පිරිසගෙන් පමණයි. අපි එයින් බාගයක් අත හැර ජනගහණයෙන් 27.5%කගෙන් පමණක් ආදායම් බදු අය කරනවා කියා සිතමු. එම පිරිස තමන්ගේ ආදායමෙන් 25.3%ක් බදු ගෙවනවානම් මෙය කළ හැකියි. මෙහිදී මසකට රුපියල් 28,466ක් උපයන අයෙකුට එයින් රුපියල් 7,197ක් බදු සේ ගෙවන්න වෙනවා. මෙයද දේශපාලනික ලෙස ශක්‍ය නැහැ.

ආදායම් උපයන්නන් 80%ක්ම බදු වලින් නිදහස් කර ජනගහණයෙන් 11%කගෙන් පමණක් ආදායම් බදු අය කළොත් කොහොමද? ඒකත් (සෛද්ධාන්තිකව) කරන්න පුළුවන්. ඒ අයට 38%ක් ආදායම් බදු ගෙවන්න වෙනවා. ඒ කියන්නේ මාසයකට රුපියල් 54,258ක් උපයන කෙනෙකුට රුපියල් 20,632ක් බදු විදිහට ගෙවන්න වෙනවා. මාසයකට රුපියල් 54,258ක් උපයන්නේ නැති අය ඔය වැඩේට කැමති වෙයි. තමන් බදු ගෙවිය යුතු නැහැනේ. තමන්ට බදු ගෙවන්න වෙනකම් හැමෝම සමාජවාදී. හැබැයි තමන්ට බදු ගෙවන්න වෙච්ච ගමන් ඒ සමාජවාදය ඉවරයි! කවුරුත් කැමති තමන්ට වඩා ආදායම් උපයන අයට බදු ගහලා තමන් වෙනුවෙන් වියදම් කරනවටයි.

අපි ඔය සීමාව තවත් උඩට දමමු. ආදායම් උපයන්නන් 90%ක්ම බදු වලින් නිදහස් කර ජනගහණයෙන් 5.5%කගෙන් පමණක් ආදායම් බදු අය කළොත් කොහොමද? මේකත් සෛද්ධාන්තිකව කරන්න පුළුවන්. දැන් මේ ඉතිරි පිරිසට 52.5%ක බද්දක් ගෙවන්න වෙනවා. ඒ කියන්නේ, මාසයකට රුපියල් 79,000ක් උපයන කෙනෙකුට එයින් රුපියල් 41,486ක් බදු විදිහට ගෙවන්න වෙනවා. ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ.

ආදායම් බදු සීමාව උඩට තල්ලු කරන තරමට ඉතිරි වන පිරිස මත පැටවෙන බදු බර එන්න එන්නම වඩ වඩා ඉහළ යනවා. ඒ නිසා මේ වැඩේ ප්‍රායෝගිකව කළ හැකි දෙයක් නෙමෙයි. මෙහෙම කළ ගමන් ඒ අය බදු බර නිසාම ආදායම් නූපයා ඉන්න පෙළඹෙනවා. මහන්සි වෙලා උපයන ආදායමෙන් තමන්ට ප්‍රයෝජනයක් නැත්නම් ඇති පලේ කුමක්ද?

සෘජු බදු වලින් පමණක් රජයේ වියදම් පියවා ගන්නනම් රටේ සියලු දෙනාගෙන්ම යම් හෝ ආදායම් බද්දක් අය කරන්න වෙනවා. ඉහළ ආදායම්ලාභීන් මත වැඩි බදු බරක් පටවන්න පුළුවන්වුනත් ඔවුන් මත මුළු බරම පටවන්න බැහැ. නමුත්, ලංකාවේ ගොඩක් දෙනෙක්ට අවශ්‍ය තමන්ට බදු ගහන්නේ නැතිව තමන්ට වඩා වැඩියෙන් ආදායම් උපයන අයට පමණක් බදු ගහන්න. බදු අයකරන සීමාව කීය වුනත් මේ ප්‍රශ්නය තියෙනවා. සෘජු බදු වෙනුවට වක්‍ර බදු වැඩියෙන් අය කරන්න ලංකාවේ රජය පෙළැඹී තියෙන්නේ මේ ප්‍රායෝගික ප්‍රශ්නය නිසයි.

එහෙමනම්, වක්‍ර බදු විතරක් අය කරලා නවතින්නේ නැතිව සෘජු බදු වැඩි කළේ ඇයි?

සරලවම වක්‍ර බදු වලින් විතරක් රජයේ වියදම් පියවා ගන්න එකත් ප්‍රායෝගික නැහැ. 2021 සංඛ්‍යාලේඛණ අනුව රටේ සමස්ත පරිභෝජන වියදම (රාජ්‍ය පරිභෝජනය හැර) දදේනියෙන් 70.3ක්. ඒ කියන්නේ දදේනියෙන් 21.0ක රාජ්‍ය වියදම් ආවරණය කර ගන්න පරිභෝජනය මත 29.9%ක බද්දක් ගහන්න වෙනවා. හැම භාණ්ඩයක් හා සේවාවක් මතම 30%ක වැට් එකක් ගැහුවොත් වැඩේ ගොඩ. වෙන බදු අය කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත්, දැනට අය කරන වැට් බද්ද 15%ක් පමණයි. ගොඩක් භාණ්ඩ හා සේවා ඒ වැට් බද්දෙනුත් නිදහස්. ඇතැම් බඩු වැට් බද්දෙන් නිදහස් කරනවා කියන්නේ ඉතිරි වන බඩු වලට 30%ක බද්දක් ගහලත් මදි කියන එකයි. කෙටියෙන් කිවුවොත්, සෘජු බදු වැඩි කළා කියලා වක්‍ර බදු අඩු කරන්න පුළුවන්කමක් නැහැ. ඔය දෙවර්ගයේම බදු ආදායම් එකතු කළත් රාජ්‍ය වියදම් ඊට වඩා වැඩියි.

එහෙමනම් කළ යුත්තේ රාජ්‍ය වියදම් අඩු කරන එක නෙමෙයිද? ඒ ගැන මම මේ ලිපියේ කතා කරන්න යන්නේ නැහැ. කලින් ලිපි වල කතා කරලා තිබෙනවා.

ගොඩක් අයට ප්‍රශ්නයක් වී තිබෙන්නේ ආදායම් උපයන සියල්ලන්ම බදු දැලට අසු නොවීම. ප්‍රායෝගිකව හරියට ආදායම් බදු ගෙවන්න වෙන්නේ වැටුප් ලබන අයට. අනෙක් ගොඩක් අය කරන්නේ ආදායම් හංගන එක. ඒ නිසාම, බදු ගෙවන අයට වැඩි බරක් වැටෙනවා.

මේ කණස්සල්ල ඉතාම සාධාරණ එකක්. බදු ගෙවිය යුතු ආදායම් උපයන බොහෝ දෙනෙක් බදු ගෙවන්නේ නැහැ. තමන්ගේ ආදායම් හංගනවා. මෙය හැකි ඉක්මණින් නිවැරදි කළ යුතුයි. එහෙම කියලා මේ වැඩේ මාසයකින් දෙකකින් කරන්න පුළුවන්කමක් නැහැ. මේක අමාරු වැඩක්. ඒ වැඩේ කරන තුරු දැලට අහුවෙලා ඉන්න මාළුන්ව අතාරින්න පුළුවන්කමක් රජයට නැහැ. මෙහි අසාධාරණයක් තිබෙනවා තමයි. නමුත් ඓතිහාසිකව සිදු වූ වැරැද්දක් නිවැරදි කරන්න කාලයක් අවශ්‍යයි.

රජය සැලසුම්කර තියෙන්නේ ඉදිරි වසර කිහිපය තුළ ක්‍රමක්‍රමයෙන් බදු දැල ශක්තිමත් කර බදු පදනම විශාල කර ගන්නයි. එවිට බදු ගෙවන සුළු පිරිස මත වැටෙන බර අඩු විය හැකියි. මෙය සිදුවිය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙන්ම මහ බැංකුවේද නිර්දේශයයි.

ඔය වැඩේ කියන විදිහටම වෙයිද? (සමහර අයගේ වචන වලින්, රනිල් ඔය වැඩේ කරයි කියලා විශ්වාසද?) ඒක මට කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. මට කා ගැනවත් සහතික වෙන්න බැහැ. ඒ වගේම, මීට කලිනුත් ඔය සැලසුම් ඔය විදිහටම තිබුණා. නමුත් ප්‍රායෝගිකව වැඩේ වුනේ නැහැ. වැඩේ වෙන්නනම් දේශපාලන බලපෑම් කළ යුතුයි.

බදු පැහැර හැරීම් වැළැක්වීම කළ හැකි හොඳම ක්‍රමයක් වන්නේ රටේ සියලු දෙනාටම ආදායම් වාර්තා ගොනු කිරීම අනිවාර්ය කිරීමයි. වාර්තා ගොනු කරනවා කියන්නේ බදු ගෙවනවා කියන එකම නෙමෙයි. සාමාන්‍යයෙන් ආදායම් වාර්තා වලට ඇතැම් වියදම්ද ඇතුළත්. එක් අයෙකුගේ වියදමක් කියා කියන්නේ තවත් අයෙකුගේ ආදායමක්. හැමෝම ආදායම් වාර්තා ගොනු කරනවානම් වියදම් පැත්ත හා ගලපා සඟවන ආදායම් හොයා ගන්න පුළුවන්.

මේ වන විට සංශෝධනය කර ඇති ගෝඨාභය බදු ක්‍රමය තුළ අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් කරන වියදම් බදු වලින් නිදහස් කරගත හැකි වුනා. මේ වගේ ක්‍රමයක් ඇති විට, පෞද්ගලික චැනල් ගාස්තු, ටියුෂන් ගාස්තු ආදිය වියදම් ලෙස වාර්තා වෙනවා. එවිට අනෙක් පැත්තෙන් ඒවා ආදායම් සේ වාර්තා වී ඇත්දැයි පරික්ෂා කළ හැකියි. දියුණු රටවල බදු වාර්තා විගණනය වෙන්නේ මේ ක්‍රමයටයි. හැබැයි මේ ක්‍රමය සාර්ථක වන්නේ රටේ සියල්ලන්ම බදු ගොනු කරන්නේනම් පමණයි. මගේ අදහසනම් ලංකාවේ පවතින තත්ත්වය තුළ රටේ සියල්ලන්ටම බදු ගොනු කිරීම අනිවාර්ය කිරීම ඉතාම උචිත දෙයක්. 

ගොඩක් දියුණු රටවල් වල වක්‍ර බදු 20%ක් පමණ බවත් සෘජු බදු 80%ක් පමණ බවත් ගොඩක් අය කියන කතාවක්. මේ කතාව සමාජවාදී කඳවුරේ අය වගේම ලිබරල් කඳවුරේ අයත් කියනවා. කතාවත් ඇත්ත. හැබැයි එහෙම වෙලා තියෙන්නේ ඒ රටවල වක්‍ර බදු ලංකාවට වඩා ගොඩක් අඩු නිසා නෙමෙයි. සෘජු බදු ගොඩක් වැඩි නිසා. ඒ රටවලත් ලංකාවේ වගේම වක්‍ර බදු තිබෙනවා. ඊට අමතරව රටේ වැඩි දෙනෙක්ට ආදායම් බදු ඇතුළු සෘජු බදුත් විශාල ලෙස ගෙවන්න වෙනවා. බදු වැඩි නිසා රට අත ඇරලා යනවා කියලා (බොරුවට) කියන සමහර අයට රට අත හැරලා ගිහින් ලංකාවට වඩා අඩුවෙන් බදු ගෙවන්න ලැබෙන්නේ නැහැ. 

Friday, October 21, 2022

බදු (නො)ගෙවීමේ දේශපාලනය


ආදායම් බදු වැඩි කිරීමත් සමඟම නැවතත් ලංකාවේ රාජ්‍ය බදු ප්‍රතිපත්තිය රටේ දේශපාලනය තුළ තීරණාත්මක සාධකයක් බවට පත් වී තිබෙනවා. රාජ්‍ය බදු ප්‍රතිපත්තිය කියන්නේ කොහොමටත් ගොඩක් රටවල් වල දේශපාලනය තීරණය කරන ප්‍රධාන කරුණක්. එක පැත්තකින්, ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලනය කියා කියන්නේම බදු ප්‍රතිපත්තිය කියා කියන්න පුළුවන්. 

වත්මන් ලෝකයේ දේශපාලනය ආකෘතිගත වී තිබෙන්නේ ජාතික රාජ්‍ය ලෙසයි. මේ ක්‍රමය තුළ ඕනෑම කෙනෙක් කිසියම් රටක වැසියෙක්. රටක් කියා දෙයක් ඇත්නම් ඒ රටේ රජයකුත් තිබෙනවා. රජයක් ඇත්නම් ඒ රජයේ වියදම් ආවරණය වන ක්‍රමයකුත් අවශ්‍ය වෙනවා. ලෝකයේ බොහෝ රටවල රාජ්‍ය වියදම් ආවරණය කර ගන්නා ප්‍රධානම හා සම්මත ක්‍රමය බදු අය කිරීමයි.

බදු කියන්නේ අලුත් දෙයක් හෝ නූතන ලෝකයට අයිති දෙයක් නෙමෙයි. සහශ්‍ර ගණනක සිට පාලකයින් විසින් බදු අය කරනවා. ඓතිහාසික මූලාශ්‍ර වලින් පැරණි ලෝකයේ බදු ගැන පැහැදිලි තොරතුරු හමු වෙනවා. බදු අය කිරීමේ සාධාරණත්වය විවාදිත කරුණක්. මූලධර්ම ගණනාවක් මත බදු අය කිරීම සාධාරණීකරණය කෙරෙනවා. ඒ අතරින් ප්‍රධානම මූලධර්ම දෙකක් ගැන අපි අවධානය යොමු කරමු.

බදු අය කළ යුත්තේ ඇයි?

රජය පවත්වාගෙන යාම - සාමාන්‍යයෙන් අරාජිකවාදීන් කියන්නේ ඕනෑම රටක කුඩා සුළුතරයක්. ඔවුන් හැර වෙනත් බොහෝ දෙනෙකුට කිසියම් අවම හෝ රජයක් අවශ්‍යයි. රජයකට මිස වෙනත් ආයතනික ව්‍යුහයකට වඩා කාර්යක්ෂම සේ පහසුවෙන් කළ නොහැකි ඇතැම් කාර්යයන් තිබෙනවා. නීති සැදීම හා නීතියේ පාලනය පවත්වා ගෙන යාම උදාහරණ ලෙස පෙන්විය හැකියි. රජයක් විසින්ම කළ යුතුයැයි බොහෝ දෙනෙකු විසින් පිළිගන්නා මෙවැනි මූලික කාර්යයන්ගෙන් රටක ජීවත්වන සියල්ලන්ටම එක සේ ප්‍රතිලාභ ලැබෙනවා. ඒ නිසා, මෙවැනි මූලික කාර්යයන් ඉටු කිරීමේ පිරිවැය රටේ සියලු දෙනාගෙන්ම සම සමව අය කිරීම සාධාරණ ක්‍රමයයි. එහිදී වෙන්නේ රටවැසියන් විසින් තමන් රජයෙන් ලබා ගන්නා සේවාවන් වල මිල රජයට ගෙවීමක්. බොහෝ දෙනෙකු විසින් අසා ඇතැයි සිතන "ඇඟ බද්ද" මෙවැනි බද්දක්. අදාළ බද්ද ගෙවීම සඳහා දුප්පත් පොහොසත් භේදයක් නැතිව කවුරුත් නිශ්චිත පැය ගණනක් රජය වෙනුවෙන් වැඩ කළ යුතු වුනා. එසේ නොකරන්නේනම්, ඒ වෙනුවෙන් අදාළ මිල ගෙවා වැඩ නොකර සිටිය හැකි වුනා.

විෂමතා අවම කිරීම - මෙය සමාජවාදී අදහසක් කියා කිව හැකියි. මෙහිදී සිදුවන්නේ ආදායම් හෝ වත්කම් වැඩි අයගෙන් බදු අය කර එම බදු මුදල් ආදායම් හා වත්කම් අඩු අය වෙනුවෙන් වියදම් කිරීමක්. මෙම බදු අය කිරීම සෘජු ලෙසම කෙරෙන විට එවැන්නක් සෘජු බද්දක් සේ සැලකෙනවා. එසේ නොවන විට වක්‍ර බදු සේ සැලකෙනවා. ඉතා පැහැදිලිව කිව යුතු කරුණක් වන්නේ වක්‍ර බදු වලින් ඉලක්ක කෙරෙන්නේද, එයින් බොහෝ විට සිදු වන්නේද, ආදායම් හෝ වත්කම් වැඩි අයගෙන් බදු අය කර එම බදු මුදල් ආදායම් හා වත්කම් අඩු අය වෙනුවෙන් වියදම් කිරීම බවයි. එහෙත්, මේ කාර්යය සෘජු බදු වලින් කෙරෙන තරම් හොඳින් වක්‍ර බදු වලින් කෙරෙන්නේ නැහැ. උදාහරණයක් ලෙස වැට් බද්ද පෙන්විය හැකියි. මෙය පරිභෝජනය මත අය කෙරෙන බද්දක්. සාමාන්‍යයෙන් වැඩියෙන් පරිභෝජනය කිරීමේ හැකියාවක් ඇති අය වන්නේත්, ඒ නිසාම වැඩියෙන් පරිභෝජනය කරන්නේත් ආදායම් හෝ වත්කම් වැඩි අයයි. ඒ නිසා, හැම විටම මෙන් මෙවැනි වක්‍ර බද්දකින් වෙන්නේත් පොහොසතුන්ගෙන් මුදල් අය කර දුප්පතුන් සුබසාධනය කිරීමක්ම තමයි. එහි අනෙක් පැත්ත සිදු වන්නේ කලාතුරකින්. කෙසේ වුවත්, රටක පරිභෝජන විෂමතා ආදායම් විෂමතා තරම් විශාල නැති නිසා අදාළ කාර්යය සඳහා වක්‍ර බදු සෘජු බදු තරම් කාර්යක්ෂම නැහැ. 

ප්‍රායෝගිකව ඕනෑම රටක දැකිය හැක්කේ එකවර ඉහත මූලධර්ම දෙකම මත පදනම්ව බදු අය කිරීමක්. උදාහරණයක් ලෙස රුපියල් 1000ක හා 5000ක ආදායම් උපයන දෙදෙනෙකු ගැන සිතමු. මේ දෙදෙනා වෙනුවෙන් රජය විසින් සපයන සේවාවන් වල වියදම රුපියල් 3000ක් කියා කියමු. පළමු මූලධර්මය අනුව, රජය විසින් එක් අයෙකුගෙන් රුපියල් 1500ක් බදු ලෙස අය කළ යුතුයි. එහෙත් පළමුවැන්නාගෙන් එවැනි බද්දක් අය කළ නොහැකි බව ඉතාම පැහැදිලියි. ඒ වෙනුවට රජයට 50%ක ආදායම් බද්දක් අය කළ හැකියි. එසේ නැත්නම් පරිභෝජනය මත 100%ක බද්දක් අය කළ හැකියි. මේ දෙන්නාම තමන්ගේ ආදායම මුළුමනින්ම පරිභෝජනය වෙනුවෙන් වැය කරනවානම්, පළමුවැන්නා රුපියල් 500ක් වියදම් කරද්දී තවත් රුපියල් 500ක් බදු සේ ගෙවන්නට සිදු වෙනවා. දෙවැන්නාට එලෙසම රුපියල් 2500ක් බදු ගෙවන්න සිදු වෙනවා. ආදායම් බද්දෙන් වෙන්නෙත් එයමයි. 

ඉහත උදාහරණයේදී, අවස්ථා දෙකේදීම (50%ක ආදායම් බද්දක් අය කිරීම හා 100%ක වැට් බද්දක් අය කිරීම) වෙන්නේ දෙවැන්නා විසින් පළමුවැන්නා වෙනුවෙන්ද රුපියල් 1000ක් වියදම් කිරීමක්. පළමු මූලධර්මය අනුව දෙදෙනාටම රුපියල් 1500ක බිලක් වැටෙනවා. දෙවැනි මූලධර්මය අනුව රජය දෙවැන්නාගෙන් රුපියල් 1000ක් අරගෙන පළමුවැන්නාට දෙනවා. සමස්ත ප්‍රතිඵලය පළමුවැන්නාට රුපියල් 500ක බද්දකුත් දෙවැන්නාට රුපියල් 2500ක බද්දකුත් ගෙවන්න වීමයි. 

සෘජු හා වක්‍ර බදු මිශ්‍රණයකින් ඔය ප්‍රතිඵලයම ඉලක්ක කරන්නත් පුළුවන්. උදාහරණයක් ලෙස 30%ක ආදායම් බද්දක් හා 40%ක වැට් බද්දකින්.

පළමුවැන්නා 

ආදායම = රුපියල් 1000

ආදායම් බදු = රුපියල් 300

පරිභෝජනය = රුපියල් 500

වැට් බද්ද = රුපියල් 200

මුළු බදු = රුපියල් 500


දෙවැන්නා 

ආදායම = රුපියල් 5000

ආදායම් බදු = රුපියල් 1500

පරිභෝජනය = රුපියල් 2500

වැට් බද්ද = රුපියල් 1000

මුළු බදු = රුපියල් 2500


ඔය විදිහටම නැතුව වැට් බද්ද 16.67% දක්වා අඩු කරලා ආදායම් බද්ද 40%ක් කරන්නත් පුළුවන්. 

පළමුවැන්නා 

ආදායම = රුපියල් 1000

ආදායම් බදු = රුපියල් 400

පරිභෝජනය = රුපියල් 600

වැට් බද්ද = රුපියල් 100

මුළු බදු = රුපියල් 500


දෙවැන්නා 

ආදායම = රුපියල් 5000

ආදායම් බදු = රුපියල් 2000

පරිභෝජනය = රුපියල් 3000

වැට් බද්ද = රුපියල් 500

මුළු බදු = රුපියල් 2500


ආර්ථික විද්‍යාව පැත්තෙන් බැලුවොත් ඔය බදු ක්‍රම හතරම සමානයි.

1. 50%ක ආදායම් බද්දක් 

2. 40%ක ආදායම් බද්දක් හා 16.67%ක වැට් බද්දක් 

3. 30%ක ආදායම් බද්දක් හා 40%ක වැට් බද්දක් 

4. 100%ක වැට් බද්දක් 

හතරෙන්ම අන්තිමට වෙන්නේ එකම දෙයනම්, හොඳම වැඩේ අඩුම වියදමකින් බදු එකතු කර ගත හැකි ආකාරයට වැඩේ කරන එකයි. කොහොමටත් බොහෝ විට රජයක් විසින් බදු එකතු කර ගන්නේ එය කළ හැකි ලේසිම ක්‍රමයටයි. වක්‍ර බදු එකතු කරන තරම් ලේසියෙන් ආදායම් බදු එකතු කරන්න බැරි බව කවුරුත් දන්නා දෙයක්. ඒ වගේම විශාල ආදායම් බදු ප්‍රතිශතයක් පනවන එක දේශපාලනිකව ශක්‍ය නැහැ. අනෙක් පැත්තෙන් විශාල වැට් බද්දක් පනවන එකත් දේශපාලනිකව ශක්‍ය නැහැ. ඒ නිසා, ප්‍රායෝගිකව ඉහත උදාහරණය වැනි අවස්ථාවකදී දෙවෙනි තුන්වෙනි ආකාර මිසක් පළමු හෝ අවසන් ආකාරයට රජයක් විසින් බදු අඩු කර ගැනීමට ලොකු ඉඩක් නැහැ.

කොයි විදිහට කළත් අන්තිමට වෙන්නේ පළමුවැන්නාගෙන් රුපියල් 500ක් හා දෙවැන්නාගෙන් රුපියල් 2500ක් එකතු කර ගන්න එකයි. 

මෙහිදී කෙනෙකුට මෙහෙම කියන්න පුළුවන්.

"රුපියල් 5000ක් උපයන කෙනාගෙන් රුපියල් 2500ක් ගත්තට කමක් නැහැ. රුපියල් 1000ක් උපයන කෙනාගෙනුත් රුපියල් 500ක් ගන්න එක හරිද?"

වෙනත් කෙනෙකුට මෙහෙමත් කියන්න පුලුවන්.

"මගේ මහන්සියෙන් මම හොයන සල්ලි වලින් රුපියල් 2500ක්ම රජයට දීලා ආපහු ලැබෙන්නේ මොනවාද? අන්තිමට මට ලැබෙන්නෙත් රුපියල් 500 බදු ගෙවන කෙනාට ලැබෙන දෙයමයි!"

පළමුවැන්නාගෙන් නියෝජනය වන්නේ වාමාංශික දේශපාලනය බවත්, දෙවැන්නා දක්ෂිණාංශික දේශපාලනය නියෝජනය කරන බවත් දළ ප්‍රකාශයක් ලෙස කියන්න පුළුවන්. තමන් දරන දේශපාලන අදහස් අනුව මේ දෙන්නාම නිවැරදි වෙන්න පුළුවන්. ආර්ථික විද්‍යාඥයෙකුට මේ දෙන්නාගෙන් එක්කෙනෙක් හරි අනෙක් එක්කෙනා වැරදියි කියා කියන්න බැහැ. කවුරු හෝ එසේ කියනවානම් කියන්න පුළුවන් තමන්ගේ පෞද්ගලික දේශපාලන මතය මත පදනම්ව පමණයි.

හැබැයි ආර්ථික විද්‍යාඥයෙකුට පැහැදිලිව කියන්න පුළුවන් එක දෙයක් තිබෙනවා. ඒ ඔය දෙන්නා විසින් මොන අනුපාතයට හෝ රජයට රුපියල් 3000ක් දිය යුතු බවයි. මොකද රජයට වියදම් කළ හැක්කේ කාගෙන් හෝ ගන්න සල්ලි පමණයි. සම්පත් ඉබේ මැවෙන්නේ නැහැ. 

ධනවතුන්ගෙන් වැඩියෙන් බදු අය කරන එක සමාජවාදී අදහසක් වුවත්, මේ ක්‍රමය සමාජවාදී අදහස් වලට වඩා පරණයි. හේතු ගණනාවක් නිසා රජයකට ධනවතුන්ගෙන් බදු අය කරන එක වඩා ලේසියි. වඩා වාසියි. ධනවතුන්ගේ ධනය වඩා පැහැදිලිව පේන්න තිබෙනවා. වැඩි දෙනෙකුගෙන් බදු අය කිරීමට සාපේක්ෂව ටික දෙනෙකුගෙන් බදු අය කරන එක පරිපාලනමය ලෙස පහසුයි. ඒ වගේම, මේ මගින් ධනවතුන් රජයට වඩා බලවත් වීම පාලනය කරන්නත් පුළුවන්.

හැබැයි රටක ආර්ථික වර්ධනය ගැන හිතනවානම් වඩා වාසිදායක ධනවතුන්ගෙන් අඩුවෙන් බදු අය කර ඔවුන්ට ධනය එක්රැස් කරගන්න ඉඩ හරින එකයි. වැඩියෙන් ධනය එක්රැස් වන තරමට යමෙකු එම ධනය තව තවත් ධනය උත්පාදනය කිරීම සඳහා ආයෝජනය කරනවා. එම ධනයම විශාල පිරිසක් අතර බෙදී ගිය විට සිදු වන්නේ පරිභෝජනය ඉහළ යාම පමණයි. මේ දෙක අතර තුලනය පවත්වා ගැනීම සැලකිල්ලෙන් කළ යුතු දෙයක්. 

ඉහත දෙවන මූලධර්මය සුබසාධනය සේ හැඳින්විය හැකියි. සුබසාධනය හරහා කෙරෙන්නේ පරිභෝජනය වැඩි කිරීමට උදවු කිරීමක්. මෙහි පිරිවැය ධනවතුන්ගෙන් අය කිරීමේදී ඔවුන්ගේ පරිභෝජනය අඩු නොවන නමුත් ආයෝජන පහළ යනවා. 

ලංකාව නිදහස ලැබූ තැන් පටන්ම සුබසාධනය වෙනුවෙන් විශාල පිරිවැයක් දැරූ රටක්. අයෙකුට වෙනත් ඇතැම් රටවල් හා සසඳා එය එසේ නොවන බව කිවහැකියි. මම මේ කතාව කියන්නේ ලංකාවේ තත්ත්වයන්ට සාපේක්ෂව. විශේෂයෙන්ම රට තුළ සිදුවන ධනෝත්පාදනයට සාපේක්ෂව. 

ලංකාව විසින් සිදු කළ මට්ටමේ ඉහළ රාජ්‍ය සුබසාධන මට්ටමක් පවත්වා ගන්නනම් ඒ මට්ටමින්ම බදුද අය කළ යුතුයි. එහෙත්, ලංකාව එසේ කළේ නැහැ. ඒ වෙනුවට කළේ දිගින් දිගටම ණය ගෙන ණය වියදම් කිරීමයි. මේ ක්‍රමයෙන් ධනවතුන් මෙන්ම දුප්පතුන්ද සතුටු කළ හැකි වුනා. දුප්පතුන් රාජ්‍ය සුබසාධනයෙන් යැපෙනවා. ධනවතුන් ඒ වෙනුවෙන් බදු ගෙවන්නෙත් නැහැ. දිගින් දිගට යන්න බැරුව කඩා වැටුනේ මේ ක්‍රමය.

මෙහෙම කිවුවත් දුප්පතුන් හා ධනවතුන් ලෙස මිනිස්සුන්ව ඉරක් ඇඳලා වෙන් කරන්න බැහැ. රටේ හැම දෙනෙක්ම වක්‍ර ලෙස හෝ රජයට බදු ගෙවනවා. නමුත් රටේ බොහෝ දෙනෙක් ඊට වඩා වැඩි දෙයක් රජයෙන් ලබා ගන්නවා. ශුද්ධ ලෙස රජයට බදු ගෙවන පිරිස 10%කට අඩුයි. ඇතැම් විට 5%කටත් අඩුයි. ඉතිරි සියල්ලන්ම, කොයි තරම් බදු ගෙවුවත්, සුබසාධනය මත යැපෙන්නන්.  

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් අවසන් වරට කර ඇති ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව 2019දී ලංකාවේ ජනගහණයෙන් මාසයකට රුපියල් 500 ඉක්මවූ ආදායමක් ලැබූ පිරිස 55%ක් පමණයි. ඒ අයගේ ආදායම් පහත පරිදියි. මේ ආදායම් වලට නූපයූ ආදායම් මෙන්ම, මුදල් නොවන ආදායම්ද ඇතුළත්. බදු අය කළ හැකි ආදායම මීට වඩා 15%කින් පමණ අඩුයි.

ඉහළම 5% - රුපියල් 115,000+

ඉහළම 10% - රුපියල් 79,000+

ඉහළම 15% - රුපියල් 63,396+

ඉහළම 20% - රුපියල් 54,258+

ඉහළම 25% - රුපියල් 47,820+

ඉහළම 30% - රුපියල් 42,678+

ඉහළම 40% - රුපියල් 35,001+

ඉහළම 50% - රුපියල් 28,466+

ඒ වන විට, එනම් 2020 බදු සංශෝධනයට පෙර, ආදායම් බදු ගෙවිය යුතු වූ අවම සීමාව (මසකට) රුපියල් 41,667ක්. ඒ අනුව, රටේ ආදායම් උපයන්නන් අතරින් ඉහලම 32% අතර සිටි අයට ආදායම් බදු ගෙවන්නට සිදු වුනා. එහෙත්, මාසික වැටුප් ලැබූ අයට ආදායම් බදු ගෙවන්නට සිදු වුනේ ආදායම් උපයන්නන්ගෙන් ඉහළම 7% පමණ අතර සිටියේනම් පමණයි. රටේ ජනගහණයෙන් 45%ක්ම මසකට රුපියල් 500 ඉක්මවන ආදායමක් නූපයූ අය වීමත්, ඉහත ඇස්තමේන්තු බදු අය කළ හැකි ආදායම් නොවීමත් සැලකූ විට මෙසේ ආදායම් බදු ගෙවූ මාසික වැටුප් ලබන්නන් රටේ ජනගහණයෙන් ඉහළම ආදායම් ලැබූ 3%කට පමණ අයත් වූ පිරිසයි. 2020 බදු සංශෝධනයට පෙර පවා ලංකාවේ රජය විසින් වැඩිපුරම ආදායම් එකතු කර ගෙන තිබෙන්නේ වක්‍ර බදු වලිනුයි. ආදායම් සැඟවීම පහසු වුවත්, වියදම් වඩා පාරදෘශ්‍ය නිසා මේ ක්‍රමයට ආදායම් එකතු කර ගැනීමට ලංකාවේ රජය පෙලැඹී තිබෙනවා. 

පරිභෝජනය මත වක්‍ර බදු අය කර ගැනීම මගින්ද යම් තරමකින් ආදායම් විෂමතා අඩු කිරීමක් සිදු වන නමුත් එය ලොකුවට වෙන්නේ නැහැ. ඉහළ ආදායම් ලබන්නන් තමන්ගේ ආදායම මුළුමනින්ම වියදම් නොකර එයින් කොටසක් ඉතිරි කිරීම එයට හේතුවයි. අනෙක් අතට අඩු ආදායම් ලබන්නන් විසින් ණය වී හෝ වෙනත් අයගෙන් ආධාර ලෙස ලබා ගන්නා මුදල් වියදම් කරන විටදීද බදු ගෙවන්නට සිදු වන නිසා ඔවුන්ට ඔවුන්ගෙන් ආදායම් බද්දක් අය කිරීමේදී ගෙවන්නට සිදු වනවාට වඩා වැඩි බදු මුදලක් රජයට ගෙවන්නට සිදු වෙනවා. ඒ නිසා, වක්‍ර බදු වල බර වුවද වැඩිපුර වැටෙන්නේ ඉහළ ආදායම් ලබන්නන් මත වුවත්, ආදායමේ ප්‍රතිශතයක් ලෙස ගත් විට අඩු ආදායම්ලාභීන් මත වැඩි බරක් වැටෙනවා. 

සෘජු හෝ වක්‍ර බදු අය කිරීම වෙනුවට සල්ලි අච්චු ගසා අයවැය හිඟය පියවා ගැනීම ලංකාවේ රජය විසින් දිගින් දිගටම කළ හා 2020-2021 වසර වල ලොකුවටම කළ දෙයක්. මෙයින් වෙන්නේත් වක්‍ර බදු අය කිරීමට තරමක් කිට්ටු දෙයක්. භාණ්ඩයක් මත වක්‍ර බද්දක් අය කිරීමේදී එම භාණ්ඩයේ මිල ඉහළ යනවා. සල්ලි අච්චු ගැසීමේ ප්‍රතිඵලය වන උද්ධමනය හරහා සිදු වන්නේද එයමයි. මෙහි බර ජනතාව මත පැටවෙන්නේ පරිභෝජනයට අනුපාතිකවයි. වක්‍ර බදු වලදී මෙන්ම මෙහිදීද වැඩියෙන් පරිභෝජනය කරන වැඩි ආදායම්ලාභීන්ට වැඩි පාඩුවක් වන නමුත් ආදායමට සාපේක්ෂව වැඩි බරක් වැටෙන්නේ අඩු ආදායම්ලාභීන් මතයි. 

මීට අමතරව, තමන්ගේ මුළු ආදායමම පරිභෝජනය නොකරන, එයින් කොටසක් ඉතිරි කර ආයෝජනය කරන, ඒ නිසාම සැලකිය යුතු තරම් වත්කම් ඇති, ඉහළ ආදායම්ලාභීන්ගේ වත්කම් වල වටිනාකම හා එම වත්කම් වලින් ලැබෙන ප්‍රතිලාභද උද්ධමනය සමඟ ඉහළ යන නිසා බොහෝ විට උද්ධමනය ඉහළ ආදායම් ලබන්නට වාසිදායකයි. 

රුපියල් ලක්ෂය බැගින් වැටුප් ලබන දෙදෙනෙකු සිටින පවුලක් ගැන හිතමු. මේ පවුලේ මාසික වියදම රුපියල් 120,000 වන අතර ඉතිරි රුපියල් 80,000 ඉතිරි කිරීම් ලෙස අපි උපකල්පනය කරමු. මේ විදිහට වසර පහක් පමණ තිස්සේ ඉතිරි කරගත් රුපියල් ලක්ෂ 50ක් මේ පවුල සතුව තිබෙනවා කියා සිතමු. පොලිය 6% සේ සැලකුවොත් ඔවුන්ගේ මෙම වත්කම් මාසයකට රුපියල් 25,000කින් ඉහළ යනවා. ඒ කියන්නේ වැටුප් වලට අමතරව එපමණ ආදායමක් ලැබෙනවා. දැන් උද්ධමනය 30%ක් වී පොලී අනුපාතිකද 30% වුනොත් වෙන්නේ කුමක්ද? මාසික වියදම රුපියල් 36,000කින් ඉහළ යද්දී පොලී ආදායම රුපියල් 100,000කින් ඉහළ යන එකයි.

උද්ධමනය 60%ක් වෙද්දී තමන්ගේ ආදායමෙන් 50%ක් පමණක් වියදම් කරන අයෙකුගේ වියදම් ඉහළ යාම නිසා සිදු වූ පාඩුව ආවරණය වීමට 30%කින් ආදායම ඉහළ යාම ප්‍රමාණවත්. ඒ නිසා, යම් හෙයකින් උද්ධමනය තරමටම වැටුප් ඉහළ ගියහොත් එවැන්නට විශාල වාසියක් සැලසෙනවා. ප්‍රමාණවත් ඉතිරි කිරීම් ඇති අයටද එවැනිම වාසියක් සැලසෙනවා. උද්ධමනයෙන් ලොකුවටම බඩට වදින්නේ ආදායම් අඩු, ඉතිරි කිරීම් අඩු අයටයි. ඒ අතින්, උද්ධමනය වක්‍ර බදු වලටත් වඩා ආදායම් විෂමතා වැඩි කරනවා.

පෙර ලිපියකද පැහැදිලි කළ පරිදි උද්ධමනය නිසා සමස්තයක් ලෙස රටේ වියදම් වැඩි වෙන්නේ නැහැ. ඒ, එක් අයෙකුගේ වියදමක් තවත් අයෙකුගේ ආදායමක්ද වන නිසා. එහෙත්, උද්ධමනය නිසා රට ඇතුළේ එක් අයෙකු සතු වත්කම් වෙනත් අය වෙත විතැන් වීමක් සිදු වෙනවා. බදු අය කිරීමේදී රජය විසින් කරන දෙයමයි. බදු අය කරන විට රජයකට සැලසුම්සහගත ලෙස ඉහළ ආදායම්ලාභීන්ගේ වත්කම් අඩු ආදායම්ලාභීන් කරා විතැන් වෙන පරිදි එය කළ හැකියි. උද්ධමනය මගින් අයවැය පියවා ගැනීමේදී බොහෝ විට වෙන්නේ එහි අනෙක් පැත්තයි. එනම් දුප්පතුන්ගේ ධනය ධනවතුන් වෙත විතැන් වීමයි. 

ලංකාව කාලයක් තිස්සේම කළේ රාජ්‍ය වියදම් දරාගත නොහැකි මට්ටමක පවත්වා ගනිමින් බදුද අය නොකර සල්ලි අච්චු ගැසීම හා විදේශ ණය ගැනීමයි. කාලයක් තිස්සේම මේ වැඩේ කළ නිසාත්, ආර්ථික විද්‍යාඥයින් විසින් පෙන්වා දුන් පරිදි රටේ ආර්ථිකය කඩා නොවැටුණු නිසාත්, මේ වැඩේ දිගින් දිගටම කළ හැකිය යන මුලාව ලංකාව තුළ ජනගත වී තිබෙනවා. දේශපාලනඥයින් විසින් බලය ලබා ගැනීමේ අරමුණින් මෙය දිගටම කළ හැකි දෙයක් සේ ඒත්තු ගැන්වීමද මෙයට හේතුවක්. මාස හයකට පෙර සිදු වූ කඩා වැටීම මේ ගමනේ ගමනාන්තයයි. දැන්වත් ලංකාව අලුත් ගමනක් යා යුතුයි.

යහපාලන ආණ්ඩුව කාලයේ මේ කඩා වැටීම වලක්වා ගැනීම සඳහා යම් උත්සාහයක් දරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස බදු වැඩි වුනා. ආර්ථික වර්ධනය අඩු වුනා. බොහෝ දෙනෙකුට, විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයින්ට, තමන්ගේ පරිභෝජනය සීමා වන බවක් දැනුනා. ගෝඨාභය ආණ්ඩුවේ බදු කැපීම අහම්බයක් නෙමෙයි. තනි මතයට ගත් තීරණයකුත් නෙමෙයි. ඒ මොහොතේ ලංකාවේ දේශපාලනය විසින් ඉල්ලා සිටි දෙය.

රනිල් වික්‍රමසිංහගේ ජනප්‍රියත්වය ගිලිහුනේ බැඳුම්කර සිද්ධිය හෝ පාස්කු ප්‍රහාරය නිසා පමණක් නෙමෙයි. ඒ පසුපස ආර්ථික සාධක තිබුණා. යහපාලන ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තිය රටේ බොහෝ දෙනෙකුට දිරෙවුවේ නැහැ. ආණ්ඩුව වෙනස් වීමට බදු ප්‍රතිපත්තිය ආපසු හැරවීමේ පොරොන්දුවද විශාල ලෙස දායක වුනා. 

පොරොන්දු වූ පරිදිම බදු අඩු වුනා. රටේ මිනිසුන්ගේ අතේ වැඩියෙන් සල්ලි ගැවසෙද්දී ඔවුන්ගේ ක්‍රය ශක්තිය ඉහළ ගියා. එහෙත්, එයින් සිදු වුනේ රටේ නිපදවන සීමිත භාණ්ඩ හා සේවා සඳහා තරඟය වැඩි වී උද්ධමනය ඉහළ යාම පමණයි. ඒ සමඟම කෘතීම ලෙස ඉහළ දමනු ලැබූ ක්‍රය ශක්තිය නැවතත් තිබිය යුතු මට්ටමට වැටෙමින් තිබෙනවා. මෙය අවසන් වන්නේ රටේ හැම දෙනෙකුගේම ක්‍රය ශක්තිය කලින් මට්ටමටම පැමිණීමෙන් පසුව නෙමෙයි. උද්ධමනය විසින් දුප්පතුන්ගේ ක්‍රය ශක්තිය අඩු කර ධනවතුන්ගේ ක්‍රය ශක්තිය තවත් වැඩි කරනවා. 

පවතින වාතාවරණය තුළ 2019දී පැවති බදු ක්‍රමය වෙත නැවත ආපසු යාම විසඳුමක් වන්නේ නැහැ. මේ වන විට රටේ දුප්පතුන් තවත් දුප්පත් වෙලා. ධනවතුන් තවත් ධනවත් වෙලා. මෙය නිවැරදි කළ හැක්කේ 2019 ආදායම් බදු ක්‍රමය ඉක්මවා යන ගැලපීමකින් පමණයි. මේ සඳහා අවශ්‍ය දේශපාලන සහයෝගය රට ඇතුළෙන් ලැබෙන බවක් පෙනෙන්නේ නැහැ. එවැන්නක් අපේක්ෂා කරන්නත් අමාරුයි. 

විකල්ප නැති විරෝධතා දේශපාලනය සරලයි. පහසුයි. අරගලය තුළ මේ විකල්ප නැති විරෝධතා දේශපාලනයට එරෙහි පෙළඹුමක් දැකිය හැකි වුනත්, දැන් නැවතත් දැකිය හැක්කේ තම තමන්ගේ දේශපාලන කඳවුරු වෙත ගාල් වී සිටින ජනතාවක්. 

මතු සම්බන්ධයි. 

Friday, October 14, 2022

මධ්‍යම පන්තිය හාන්සිද?


ආණ්ඩුව ආදායම් බදු සීමා පහළ දැමීම මගින් බදු පදනම විශාල කර ගන්නා අතරම බදු අනුපාතික ඉහළ දමා තිබෙනවා. ආදායම් බදු අය කරන අලුත් ක්‍රමය පහත තිබෙනවා. 

පළමු රුපියල් 1,200,000 - 0%

ඊළඟ රුපියල් 500,000 - 6%

ඊළඟ රුපියල් 500,000 - 12%

ඊළඟ රුපියල් 500,000 - 18%

ඊළඟ රුපියල් 500,000 - 24%

ඊළඟ රුපියල් 500,000 - 30%

එතැන් සිට  - 36%

කලින් තිබුණු බදු ක්‍රමය යටතේ බදු ගෙවන්නට සිදු වූ සියල්ලන්නටම අලුත් ක්‍රමය යටතේ වැඩියෙන් බදු ගෙවන්න වෙනවා. ඊට අමතරව, දැනට ආදායම් බදු  නොගෙවන සැලකිය යුතු පිරිසකටද බදු ගෙවන්න සිදු වෙනවා. පැවති බදු ක්‍රමය පහත තිබෙනවා.

පළමු රුපියල් 3,000,000 - 0%

ඊළඟ රුපියල් 3,000,000 - 6%

ඊළඟ රුපියල් 3,000,000 - 12%

එතැන් සිට  - 18%  

අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස ණය පොලී, කොටස් මිල දී ගැනීම් සඳහා ගිය වියදම් (රුපියල් 1,200,000 දක්වා) - 0%

හර්ෂ ද සිල්වාට අනුව මේ බදු වැඩි කිරීම නිසා මධ්‍යම පන්තිය හාන්සියි. මම දකින විදිහටනම් මේ ප්‍රකාශය රනිල් අගමැති වීමෙන් පසුව, සජබට පොදුවේත්, හර්ෂ ද සිල්වාට වැනි අයට විශේෂයෙනුත්, මුහුණ දුන්න සිදු වුනු අනන්‍යතා අර්බුදයේ ප්‍රකාශනයක්. අරගලයේ අවසන් අදියරේදී අරගලකරුවන් හමුවේ සජබ, ජාජබ, 43 බලකාය හා සින්ගියුලරිටි ශ්‍රී ලංකා ව්‍යාපාරය විසින් ලංකාව ගොඩ දමන ආකාරය පිළිබඳ ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කළා. මෙහිදී හා වෙනත් තැන් වලදී සජබ වෙනුවෙන් හර්ෂ ද සිල්වා විසින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙළ හා රනිල්ගේ දැන් වැඩ පිළිවෙළ අතර හඳුනාගත හැකි පැහැදිලි වෙනස්කම් කිසිවක් නැහැ. 

වක්‍ර බදු වැඩි කිරීම වෙනුවට සෘජු බදු වැඩි කර රජය ආදායම් උපයා ගත යුතු බව හර්ෂ ද සිල්වා විසින් නැවත නැවත කියා ඇති දෙයක්. මෑතකදී ඔහු විසින් ඉදිරිපත් කළ පොදු අවම වැඩ පිළිවෙළ අනුව සෘජු බදු මෙන්ම වක්‍ර බදුද ඉහළ යා යුතුයි.

"Reintroduce 2017 Inland Revenue Act with necessary amendments to address DSA and restructuring requirements, by (a) broadening VAT tax base and withholding taxes (including capital and service payments); (b) broadening income tax base and reverse decline in number of taxpayer files; and (c) creating a progressive corporate tax regime with the rate increase being gradual."

මේ වන විට ක්‍රියාත්මක වී තියෙන්නේ හර්ෂ විසින් ඉහත ඉදිරිපත් කර තිබෙන යෝජනා කිහිපයයි.

ජාජබ වැඩ පිළිවෙළේ ප්‍රමුඛ අංගයක් වුණෙත්, ජවිපෙ/ජාජබ පාක්ෂිකයින් දිගින් දිගටම පෙනී සිටියේත් සෘජු බදු වැඩි කිරීම වෙනුවෙන්. රනිල් විසින් දැන් ක්‍රියාත්මක කර තිබෙන්නේ මේ ජාජබ යෝජනාවයි. 

"ආදායම් බදු කියන්නේ යම් ඉහළ ආදායමක් ලබන අයට ඒ ආදායමට අනුව ගහන බදු. නමුත් සිද්ධවෙලා තියෙන්නේ මොකක්ද? ලෝකයේ පිළිගත් නිර්ණායකය තමයි පොදු ජනතාවට ගහන බදු 20%ක් වෙන්න ඕනැ, ඍජු බදු 80%ක් වෙන්න ඕනැ, කියන එක. අපේ රටේ මොකක්ද සිද්ධවෙලා තියෙන්නේ. පොදු ජනතාවට ගහන බදු 82%යි. ඍජු බදු 18%යි. ඒ නිසා බදු වෙළඳපොළේ විශාල විකෘතියක් අද නිර්මාණය වෙලා තිබෙනවා. අපේ ආර්ථික ප්‍රතිපත්තියේ බදු සම්බන්ධයෙන් මේ විකෘතිය ඉවත් කරන එක තමයි පළමු පියවර."

- අනුර කුමාර දිසානායක

ජවිපෙ දැන් කියන්නේනම් බදු පැහැර හැරීමේ ව්‍යාපාරයක් සංවිධානය කරන බවයි.

අලුත් බදු හා පැවති බදු අතර වෙනස විශාල වුවත්, 2019 දක්වා පැවති බදු හා අලුත් බදු අතර ඒ වෙනස තරම්ම වෙනසක් නැහැ. පහත තිබෙන්නේ 2020 බදු සංශෝධනයට පෙර පැවති බදු ක්‍රමයයි.

පළමු රුපියල් 500,000 - 0%

ඊළඟ රුපියල් 600,000 - 4%

ඊළඟ රුපියල් 600,000 - 8%

ඊළඟ රුපියල් 600,000 - 12%

ඊළඟ රුපියල් 600,000 - 16%

ඊළඟ රුපියල් 600,000 - 20%

එතැන් සිට  - 24%

වැටුප් ලෙස ලබන ආදායම් (රුපියල් 700,000 දක්වා) - 0%

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට පෙර මාසික ආදායම රුපියල් 41,167 ඉක්මවූ අයට බදු ගෙවන්නට සිදු වුනා. වැටුප් ලෙස ආදායම් ලැබූ අයගේ මෙම සීමාව තවත් රුපියල් 58,833ක් දක්වා ඉහළ යා හැකිව තිබුණත්, මාසික ආදායම රුපියල් 100,000 ඉක්මවූ අය අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු වුනා. 2020දී මෙම සීමාව රුපියල් 250,000 දක්වා ඉහල දැමුණු අතර අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස ණය පොලී, කොටස් මිල දී ගැනීම් සඳහා ගිය වියදම් ආදිය වෙනුවෙන් කළ වියදම් මත අදාළ සීමාව රුපියල් 350,000 දක්වා ඉහළ ගියා. ඒ අනුව, විශාල පිරිසක් බදු දැලෙන් එළියට විසි වුනා. ඉතිරිව සිටි අයටත් ගෙවන්න සිදු වුනේ අඩු බදු ප්‍රමාණයක්. 

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ත්තිය වත්මන් ආර්ථික අර්බුදයට දායක වූ බව පුළුල් ලෙස පිළිගැනෙන අදහසක්. එම තීරණය එජාප, සජබ, ජවිපෙ/ජාජබ, 43 බලකාය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ශ්‍රේණිගත කිරීම් ආයතන වල මෙන්ම දේශීය හා විදේශීය ස්වාධීන ආර්ථික විද්‍යාඥයින්ගේ විවේචනයට ලක්ව තිබෙනවා. මේ වෙද්දී, මෙම බදු ප්‍රතිපත්තිය සම්බන්ධව ඒ වෙනුවෙන් මුලින් පෙනී සිටි බොහෝ දෙනෙකු විසින්ද ස්වයං විවේචනයක් කර අවසන්. අදාළ බදු ප්‍රතිපත්තිය ආපසු හැරවීම බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක්. දැන් සිදුව ඇත්තේ එයයි .

මේ අයුරින් බදු ප්‍රතිපත්තිය ආපසු හැරවීම බලපාන්නේ කාටද?

පසුගිය 2021 වසරේදී ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටියේ 292,305 දෙනෙක් පමණයි. එනම් රටේ ජනගහණයෙන් 1.4%ක් පමණයි. මීට අමතරව, තනි පුද්ගල ව්‍යාපාර හා හවුල්කාරිත්ව 16,798ක්ද බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටියා. ලියාපදිංචි වූ පමණින් බදු ගෙවූ බව අදහස් වන්නේ නැහැ. මුල සිටම පිළිවෙළට බදු ගෙවා ගෙන ගොස් තියෙන්නේ  (APIT යටතේ) 32,702 දෙනෙකු පමණයි. ඉතිරි අයගෙන් කොපමණ පිරිසක් ඇත්තටම බදු ගෙවුවාද කියා මා දන්නේ නැහැ. 

මෙම තනි පුද්ගල ව්‍යාපාර හා හවුල්කාරිත්ව මෙන්ම වෙනත් සමිති/සංගම් ආදිය ඇතුළත්ව (පුද්ගලික හා පොදු සමාගම් හැර) පුද්ගලයින් විසින් 2021 වසර තුළ ගෙවූ බදු ප්‍රමාණය රුපියල් බිලියන 48.7ක් පමණයි (හරියටමනම් රුපියල් 48,713,743,993ක්). පෙර වසරේ ඔවුන් ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය ඊටත් අඩුයි (රුපියල් 38,480,375,114ක් පමණයි). ඉහත මුදල 2021 රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.28%ක් පමණයි. රාජ්‍ය වියදම් වලින් 1.38%ක් පමණයි.

රුපියල් බිලියන 38.5ක් හෝ 48.7 වැනි මුදලක් කොපමණ සොච්චම් ආදායමක්ද යන්න සතියකට රජය විසින් භාණ්ඩාගාර බිල්පත් විකුණා ණයට ගන්නා මුදලම වුවත් රුපියල් බිලියන 90ක් පමණ වීමෙන් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ පසුගිය දෙවසරේම රජය එකතු කළ පුද්ගල ආදායම් බදු ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ රජයේ සතියක ණය අවශ්‍යතාවය සදහා පමණයි.

දැන් සිදු කර තිබෙන බදු වැඩි කිරීම නිසා මේ තත්ත්වය කවර ආකාරයකින් වෙනස් වෙයිද?

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ 2019 ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව රටේ ආදායම් උපයන්නන් සේ ගැනෙන පිරිස මිලියන 10.29ක් පමණ වෙනවා. ඔවුන්ගෙන් 90%ක්ම රුපියල් 79,000කට අඩු මාසික ආදායමක් උපයන අයයි. 95%ක්ම රුපියල් 115,000කට අඩු මාසික ආදායමක් උපයන අයයි. මෙම සමීක්ෂණයේ ක්‍රමවේදය අනුව, පුද්ගලයෙකු ජීවත්වන තමන්ට අයිති නිවස කුලියට දීමෙන් ඉපැයිය හැකි උපකල්පිත ආදායම වැනි මුදල් නොවන ආදායම්ද ආදායම් සේ සැලකෙනවා. එහෙත්, එවැනි මුදල් නොවන ආදයම් මත බදු අය කෙරෙන්නේ නැහැ. මුදල් ආදායම් කොටස සාමාන්‍ය වශයෙන් මුළු ආදායමෙන් 85.1%ක් පමණයි.

මේ අනුව, රටේ ආදායම් උපයන්නන්ගෙන් 95%කගේම මාසික ආදායම රුපියල් 97,865කට වඩා අඩුයි. ඊට වඩා වැඩි ආදායමක් උපයන අය ඉන්නේ 514,000ක් පමණයි. මේ පිරිසගේ ආදායම 2019 මට්ටම ආසන්නයේම (රුපියල් 100,000 මට්ටමේ ) ඇතැයි සිතුවොත් බදු ඉහළ යාම බලපාන්නේ රටේ ජනගහණයෙන් 2.4%ක් පමණ වන මෙම පිරිසටයි. බොහෝ දෙනෙක්  කියන විදිහට ආර්ථික අර්බුදය නිසා මේ අයගේ ආදායම් අඩු වී ඇත්නම් ඉහත ප්‍රමාණය තවත් අඩු විය හැකියි. එහෙත්. මා එසේ සිතන්නේ නැහැ. මා හිතන පරිදි මෙම ප්‍රමාණය මේ වන විට මීට වඩා යම් තරමකින් හෝ වැඩි වී තිබිය යුතුයි. එහෙත්, රටේ ජනගහණයෙන් 95%කටවත් මේ බදු වැඩි කිරීමේ බලපෑමක් නැහැ. 

ඉහත ඇස්තමේන්තුව මත පදනම් වුවහොත් දැනට පුද්ගල ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටින ලක්ෂ තුනකට අඩු පිරිස තවත් ලක්ෂ දෙකකින්  පමණ වැඩි වීමට නියමිතයි. පසුගිය දෙවසර තුළ ආදායම් ඉහළ යාම සැලකූ විට මෙම වැඩිවීම ලක්ෂ හතරක් හෝ පහක් විය හැකියි. ඒ පිරිස, තව දුරටත් රටේ ඉහළම ආදායම් ලබන පිරිසයි. 

මේ වන විටත් ආදායම් බදු ගෙවන අයෙකුගේ සාමාන්‍ය මාසික ආදායම ලක්ෂ පහක් පමණ ලෙස ඇස්තමේන්තු කළ හැකියි. අලුත් බදු ක්‍රමය යටතේ එවැන්නෙකු විසින් ගෙවිය යුතු වාර්ෂික බදු ප්‍රමාණය රුපියල් 180,000 සිට රුපියල් 1,278,000 දක්වා 7.1 ගුණයකින් ඉහළ යනවා. මේ අනුව, රුපියල් බිලියන 50 පමණ සීමාවක රැඳී ඇති පුද්ගල අදායම් බදු ලැබීම් රුපියල් බිලියන 350 පමණ දක්වා ඉහළ යනවා.මෙය රුපියල් බිලියන 300ක පමණ වැඩි වීමක්.

කලින් බදු නොගෙවූ, දැන් ගෙවන්නට සිදුවන අයෙකුගේ සාමාන්‍ය මාසික ආදායම රුපියල් 150,000ක් සේ පමණ සැලකුවොත්, එක් අයෙකුට රුපියල් 42,000ක වාර්ෂික ආදායම් බද්දක් ගෙවන්න වෙනවා. මෙවැනි අය ලක්ෂ පහක් අලුතෙන් බදු දැලට අහු වුනත් රජයේ බදු ආදායම ඉහළ යන්නේ රුපියල් බිලියන 21කින් පමණයි. එය සොච්චමක් බව කිව යුතු නැහැ. මේ දෙවන කාණ්ඩය නිසා රටේ බදු විනය ඇති කිරීමේ වාසිය මිස රජයට ක්ෂණිකව විශාල ආදායමක් ලැබෙන්නේ නැහැ. 

සමස්ත චිත්‍රය දෙස බැලූ විට බදු සංශෝධනයේ බර වැඩිපුරම වගේ වැටී තිබෙන්නේ දැනටත් බදු ගෙවන, ඉහළම ආදායම් ලබන 1-2%ක පමණ පිරිසක් මතයි. එයින් ඔවුන්ගේ පරිභෝජනය මත තිරිංග වැටෙන එකක් නැහැ. මේ බදු ගෙවීමෙන් පසුවත් ඔවුන්ට තමන්ගේ පරිභෝජන මට්ටම පවත්වාගෙන යා හැකියි. ආයෝජන කෙරෙහි යම් අහිතකර බලපෑමක් ඇති විය හැකි වුවත් එය රටට දරාගත නොහැකි එකක් වීමේ ඉඩක් නැහැ. අනෙක් අතට නැවත අලුතෙන් බදු දැලට අසු වෙන අයට ගෙවන්නට සිදු වන බදු මුදල නිසා ඔවුන්ගේ පරිභෝජනය යම් තරමකින් සීමා විය හැකියි. 

රජයේ ආදායම් රුපියල් බිලියන 320කින් පමණ ඉහළ ගියා කියා සමස්ත චිත්‍රයේ විශාල වෙනසක් වෙන්නෙත් නැහැ. රුපියල් ට්‍රිලියන දෙකක පමණ අයවැය හිඟයට එයින් ලැබෙන්නේ පොඩි සහනයක්. එහෙත් අයවැය හිඟය අඩු කර ගන්න එක තනි ක්‍රියාමාර්ගයකින් පමණක් කළ නොහැකි දෙයක්. ඒ සඳහා මේ ආකාරයේ ආදායම් වැඩි කරගැනීම් එකින් එක කරන්නම වෙනවා. වියදම් පාලනය ගැනත් හිතන්න වෙනවා. 

නැවතත් බදු දැලට අසුවන කණ්ඩායම රටේ ජනගහණයෙන් 2-3%කට නොවැඩි පිරිසක් වුවත්, ඔවුන් දේශපාලනික ලෙස බලවත්ම කණ්ඩායමක්. මේ පිරිස අරගලයේද ගාමක බලවේගයක්ව සිටියා. සෘජු බදු වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි විපක්ෂයේ පක්ෂ වලට හදිසියේම බදු විරෝධයක් පහළ වී තිබෙන්නේ මේ කණ්ඩායම සතු දේශපාලන බලය නිසයි.

Thursday, October 13, 2022

ආදායම මදිද? වියදම වැඩිද?


මේ සටහන ලියන්නේ මුල සිටම නොවුණත් මෑතක සිට අපේ සටහන් නිතිපතා කියවමින් සක්‍රිය ලෙස අප ලියන දේ සංවාදයට බඳුන් කරන අයෙකු විසින් පෞද්ගලිකව යොමු කළ ප්‍රශ්නයක් පාදක කර ගනිමිනුයි. ප්‍රශ්නය සරලයි. ලංකාවේ අයවැය හිඟයට (හා ඒ හේතුවෙන් ඇති වී තිබෙන අනෙකුත් කුදු මහත් සියළු ප්‍රශ්න වලට) හේතුව රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවීමද එසේ නැත්නම් රාජ්‍ය වියදම් ඕනෑවට වඩා වැඩි වීමද?

ප්‍රශ්නය සරල වුනත් මේ ප්‍රශ්නයට සරල පිළිතුරක් නැහැ. ඒ වගේම, ස්වභාවය අනුවම මේ ප්‍රශ්නය දේශපාලනිකයි. ඒ නිසාම, පිළිතුරත් දේශපාලනිකයි.

පිළිතුර කුමක් වුවත්, මේ ප්‍රශ්නය ඇසීම තුළම, ප්‍රශ්නය අසන්නා දේශපාලනික ලෙස එක ගොඩකට වැටෙනවා. බෙදීම තිබෙන්නේ ඒ ගොඩ ඇතුළේ. මම පෞද්ගලිකව ඉන්නෙත් මේ ගොඩේ. මේ ගොඩ කුමක්ද?

කෙටියෙන් කිවුවොත් මේ වගේ ප්‍රශ්නයක් ඇසීම තුළ රජයේ අයවැය හිඟය ප්‍රශ්නයක් සේ හඳුනා ගැනීමක් තිබෙනවා. එසේ නොසිතන අය වෙනමම කුලකයක්. රජයේ අයවැය හිඟය ප්‍රශ්නයක් කියන එක දැන්නම් ලංකාවේ ගොඩක් අයට තේරිලා. ඒ නිසා අපි එසේ නොසිතන ගොඩ පැත්තකින් තියලා එසේ හිතන ගොඩ ඇතුළේ ඉඳන් ප්‍රශ්නයට පිවිසෙමු. 

මේ ගොඩ ඇතුළට ආවට පස්සේ වුනත් ප්‍රශ්නයට පිලිතුරක් යෝජනා කළ හැක්කේ දේශපාලනික මතයක් හා බද්ධ වෙමින් පමණයි. මේ ප්‍රශ්නයට ආර්ථික විද්‍යාව තුළින් "නිවැරදි" පිළිතුරක් දෙන්න බැහැ. හැබැයි වඩා හොඳ පිළිතුරක් යෝජනා කරන්න පුළුවන්. 

අපි මෙහෙම හිතමු. අලියෙක් ලොකු වලක වැටිලා. දැන් මේ අලියාව ගොඩ ගත යුතුයි. එය කළ හැකි එක ක්‍රමයක් වන්නේ කොහෙන් හෝ පස් ගෙනත් පුරවා වල ගොඩ කරන එකයි. වල ටික ටික පිරෙද්දී අලියාට වලෙන් එළියට එන්න පුළුවන් වෙනවා. මෙය විසඳුමක්.

එසේ නොකර වල ගැට්ට කපා පස් ඉවත් කරමින් වල ගැට්ට ටික ටික පාත් කරන්නත් පුළුවන්. එහෙම කරලා අලියාට වලෙන් එළියට එන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒකත් විසඳුමක්. 

ඔය දෙකෙන් එකක් පමණක් නොකර දෙකම එකවර කරන්නත් පුළුවන්. වල ගැට්ට කපන අතරම ඒ පස් වලින් වල පුරවනවා. තව පුළුවන්නම් පිටිනුත් පස් ගෙනත් දමනවා. වාද විවාද නවත්තලා මේ විදිහට වල පිරවීම හා වල ගැට්ට පාත් කිරීම කියන දෙකම කරගෙන ගියොත් අලියා වඩා ඉක්මණින් ගොඩ එයි.

අයවැය හිඟය අඩු කිරීම ගැන මම බලන්නේ ඔය තුන්වන ක්‍රමයට. ලංකාවේ වැටිල ඉන්න වල ගැඹුරුයි. වඩා වැදගත් මේ වලෙන් හැකි ඉක්මණින් ගොඩ එන එකයි. ආදායම වැඩි කිරීම වගේම වියදම් කැපීමත් මේ සඳහා විසඳුම්. ඔය දෙකම කරන තරමට වඩා ඉක්මණින් ගොඩ එන්න පුළුවන්. ඔය දෙකෙන් එකක් නොකර අනෙක් එක පමණක් කළ යුතුයි කියන අයට බොහෝ විට තියෙන්නේ අලියාව ගොඩ නොගෙන වල ඇතුළේම තියා ගැනීමේ අවිඥානික හෝ සවිඥානික අරමුණ වෙන්න පුළුවන්. 

දදේනි අනුපාතයක් ලෙස ලංකාවේ රාජ්‍ය ආදායම ලෝකයේ බොහෝ රටවල් වලට වඩා අඩුයි. ලෝක බැංකු දත්ත අනුව, ලංකාව ඉන්නේ පහළම 10% ඇතුළේ. අනෙක් අතට දදේනි අනුපාතයක් ලෙස ලංකාවේ රාජ්‍ය වියදම් දිහා බැලුවත් පහළම 30% ඇතුළේ ඉන්නවා. මේ අනුව, ලෝකයේ රටවල් 70%ක පමණම රාජ්‍ය වියදම් අනුපාතිකව ලංකාවට වඩා වැඩියි කියන කාරණයට සමහර අය බර තබනවා. ඒ අනුව, ආදායම් වැඩි කර ගනු මිස වියදම් කැපීමක් අවශ්‍ය නොවන බව යෝජනා කරනවා. 

මේ ආදායම් වියදම් විවාදය ඇතුළේ දෘෂ්ඨිවාද ගණනාවක් දැකිය හැකියි. ඒවා වර්ගීකරණය කිරීම සංකීර්ණ වැඩක් වුනත්, දළ වශයෙන් පහත කොටස් හඳුනා ගන්න පුළුවන්. මේ වර්ගීකරණය සංකල්පීය පදනම මත කරන දෙයක් මිසක් ලංකාවේ දේශපාලන ධාරා මත පදනම්ව කරන දෙයක් නෙමෙයි. ලංකාවේ දේශපාලන ධාරා තුළින් මේ සංකල්පීය අදහස් හඳුනා ගත හැකි වුවත්, අනන්‍ය ලෙස හඳුනා ගන්න බැහැ. දේශපාලන ධාරා හැම එකක්ම වගේ අඩු වැඩි වශයෙන් දෙලොවක් අතර ඉන්න නිසා අඩුම වශයෙන් ගොඩවල් දෙකකවත් කලවමක්.

මධ්‍යගත සැලසුම් සමාජවාදීන්- මේ අය ඇත්තටම අයවැය හිඟයක් නඩත්තු කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. නමුත්, බදු වැඩි කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේත් නැහැ. ධනවතුන් මත බදු අය කර අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීම සමාජවාදී අදහසක් වුනත්, පූර්ණ මධ්‍යගත සමාජවාදී ක්‍රමයකදී නිෂ්පාදනය හා බෙදාහැරීම කරන්නේ රජය විසින් නිසා බදු අය කළ හැකි ධනවතුන් ඉතිරි වෙන්නේ නැහැ. රජයටම ව්‍යාපාර කරලා ලාබ හොයා ගන්න වෙනවා. පරම්පරාවකට හෝ දෙකකට කලින් ලංකාව ඇතුළේ වගේම ලෝකයේත් ජනප්‍රිය වී තිබුණු මේ දෘෂ්ඨිවාදයට දැන් ලෝකයේ හෝ ලංකාවේ ලොකු ඉල්ලුමක් නැහැ. මේ අදහස් පද්ධතියේ නෂ්ඨාවශේෂ පමණක් එහෙන් මෙහෙන් මතු වෙනවා. 

කේන්සියානුවාදීන්- අයවැය හිඟයක් නඩත්තු කිරීම වෙනුවෙන් පෙනී සිටින අයව හැඳින්විය හැකි උචිතම ක්‍රමය ඔවුන්ව කේන්සියානුවාදීන් ලෙස හැඳින්වීමයි. ඇත්තටම මේ අදහස් පද්ධතිය ඇතුළේ තියෙන්නෙත් කේන්සියානුවාදයේ විකෘතියක් මිසක් කේන්සියානු අදහස්ම නෙමෙයි. මේ අයගේ ක්‍රමයට සල්ලි අච්චු ගසමින් රජයට ආදායම ඉක්මවා වියදම් කළ හැකියි. ප්‍රායෝගිකව ගොඩක් රටවල් මේ වැඩේ කරනවා. ලංකාව අමාරුවේ වැටුනෙත් මේ ක්‍රමය නිසා. අර්බුදයත් එක්ක මේ ක්‍රමයේ අවදානම් ගොඩක් අයට පෙනී ගොස් තිබුණත්, අර්බුදයට හේතු බාහිර සතුරන් මත පටවමින් නැවත මේ ක්‍රමය වෙත යාමේ උත්සාහයන් වල අඩුවක් පෙනෙන්නට නැහැ.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් - ධනවතුන් මත බදු අය කර අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීම වෙනුවෙන් පෙනී සිටින අය හැඳින්විය හැකි හොඳම යෙදුම මෙයයි. මේ ක්‍රමය ලෝකය පුරාම ජනප්‍රියයි. ලංකාව ඇතුළෙත් ජනප්‍රියයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් ඇතුලෙ රාජ්‍ය වියදම් වැඩියි. එහෙත්, බදු ආදායම්ද වැඩි නිසා, අයවැය හිඟයක් ලොකුවට නැහැ. බදු වැඩියෙන් අය කරන්නනම් ධනවතුන් සිටිය යුතුයි. ආදායම් විෂමතා වලට බය නැතිව ඉඩ දිය යුතුයි. ආදායම් විෂමතා හමුවේ සමාජ සාධාරණත්වය ඇති කරන වැඩේ බදු හරහා සිදු වෙනවා. 

ලිබටේරියානුවන් - මේ අය කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටින අය. අයවැය හිඟයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. නමුත්, විශාල ලෙස බදු අය කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේත් නැහැ. පෞද්ගලික අංශයේ නිදහස වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටිනවා. ලංකාවේ හෝ ලෝකයේ විශාල පිරිසක් මේ ගොඩේ නැහැ. නමුත් බටහිර රටවල ඇතැම් දක්ෂිණාංශික දේශපාලන පක්ෂ ඇතුළේ ලිබටේරියානුවාදයේ අංකුර තිබෙනවා. ඉතා මෑතක සිට ලංකාවේ ඇතුළේ ලිබටේරියානු අදහස් වෙනුවෙන් පෙනී සිටින යම් පිරිසක් හඳුනා ගන්න පුළුවන්. 

මධ්‍යගත සැලසුම් සමාජවාදයට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළේ යා හැකි දුර සීමිතයි. එතැනින් එහාට යා හැක්කේ ප්‍රචණ්ඩත්වය සමඟ පමණයි. ලිබටේරියානුවාදීන් ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී නොසිටින හා එයට එරෙහි පිරිසක් වුවත් ලිබටේරියානුවාදයට වුනත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළේ එහි පරිකල්පනීය තත්ත්වය කරා යන්න අසීරුයි. විශේෂයෙන්ම ලංකාව වගේ අඩුආදායම් කාණ්ඩයේ රටක. ලංකාවේ දේශපාලන-ආර්ථිකය දෝලනය වෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා කේන්සියානුවාදය අතරයි. 

මධ්‍යගත සැලසුම් සමාජවාදයක් තුළ මුළු බරම තබන්නේ සමාජ සාධාරණත්වය වෙතයි. මෙහිදී සමාජ සාධාරණත්වය ලෙස හඳුනා ගැනෙන්නේ සියල්ලන්ගේම ජීවන තත්ත්වය සමාන මට්ටමක පවත්වා ගැනීමයි. මෙය කළ හැක්කක් වුවත්, සියල්ලන්ගේම ජීවන තත්ත්වය සමාන මට්ටමක පවත්වා ගැනීම තුළ සියල්ලන්ගේම ජීවන තත්ත්වය ඉහළ මට්ටමක පැවතීම සහතික කෙරෙන්නේ නැහැ. මේ ක්‍රමය අසාර්ථක ඒ නිසයි. 

ලිබටේරියානුවාදය තුළ සමාජ සාධාරණත්වය වෙනස් අයුරකින් අර්ථදැක්වෙනවා. එහිදී කෙනෙකුගේ ජීවන තත්ත්වය නිර්ණය වන්නේ නිෂ්පාදනය සඳහා ලබා දෙන දායකත්වය මතයි. මෙහි ආන්තීය පරමාදර්ශී තත්ත්වය තුළ නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් දායකත්වයක් ලබා දිය නොහැකි අයෙකුට එසේ කළ හැකි අයගේ අනුකම්පාව අවශ්‍ය වෙනවා.  

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළ මෙන්ම කේන්සියානු අදහස් වලින් ව්‍යුත්පන්න කරගත් ක්‍රමය තුළද සිදුවන්නේ ඉහත අන්ත දෙක අතර තුලනයක් ඇති කිරීමයි. ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය විසින් නියෝජනය කරන්නේ ලිබටේරියානු අදහස්ම නොවුනත්, එම පක්ෂය තුළ අනෙක් ප්‍රධාන පක්ෂයට සාපේක්ෂව ලිබටේරියානු අදහස් වැඩියෙන් නියෝජනය වනවා. රිපබ්ලිකන් පක්ෂය බොහෝ විට අඩු ආදායම් බදු හා කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටිනවා. මෙයින් වෙනස්ව ඩිමොක්‍රටික් පක්ෂය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා සුබසාධනය වෙනුවෙන් පෙනී සිටිනවා. ජනමතය මේ දෙක අතර දෝලනය වනවා. 

කේන්සියානු ක්‍රමය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යන ක්‍රම දෙකේදීම වෙන්නේ වෙළඳපොළ නිදහස මූලධර්මයක් ලෙස පිළිගන්නා අතරම වෙළඳපොළ අපරිපූර්ණ බවද මූලධර්මයක් ලෙස පිළිගනිමින් අවශ්‍ය තැන් වලදී රජය වෙළඳපොළට මැදිහත් වීම හා වෙළඳපොළ පරාජිතයින් සුබසාධනය කිරීමයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකදී සෘජු බදු වලට බර තැබෙනවා. කේන්සියානු ක්‍රමයේ අවසන් ප්‍රතිඵලය "උද්ධමන බදු" හෝ වෙනත් වක්‍ර බදු හරහා අයවැය හිඟය පියවා ගැනීමයි. ලංකාව වැනි රටවල සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වුනත් ගොඩක් වෙලාවට නවතින්නේ කේන්සියානු ක්‍රමයට ගිහින්. 

අයවැය හිඟය නඩත්තු කළ යුතුද? පියවිය යුතුද? අයවැය හිඟය පියවිය යුතුනම්, එය කළ යුත්තේ වියදම් අඩු කිරීමෙන්ද බදු වැඩි කිරීමෙන්ද? වැඩි කළ යුත්තේ සෘජු බදුද වක්‍ර බදුද? කැපිය යුත්තේ කවර වියදම්ද?

මේ ගොඩක් ප්‍රශ්න දේශපාලනික ප්‍රශ්න. ඒ නිසා, අවසන් තීරණය පැමිණිය යුත්තේ රටේ මහජනතාවගෙන්. එක් එක් දේශපාලන පක්ෂය තමන්ගේ විසඳුම සමඟ මහජනතාව වෙත යාමෙන් පසුව මහ මැතිවරණයකදී ජනතා කැමැත්ත දැන ගත හැකියි. ඒ හැර, ආර්ථික විද්‍යාඥයෙකුට දේශපාලනයෙන් වියුක්ත "නිවැරදි" විසඳුමක් යෝජනා කළ හැක්කේ ඇතැම් සන්දර්භ වලදී පමණයි. 

දේශපාලන ධාරා දෙකක අවසන් ඉලක්කය එකමනම්, ආර්ථික විද්‍යාඥයෙකුට එම දේශපාලන ධාරා දෙක විසින් යෝජනා කරන ප්‍රවේශ දෙක සංසන්දනය කර, එකම නිශ්චිත අවසන් ඉලක්කය වෙත යාම සඳහා වඩා කාර්යක්ෂම ක්‍රමය පෙන්වා දිය හැකියි. අවසන් ඉලක්ක වෙනස්නම්, දේශපාලනය බැහැර කර මෙවැනි සංසන්දයක් කිරීම අසීරුයි. 

ජනමත සමීක්ෂණයක් නොකළත්, රටේ බොහෝ දෙනෙකුට අවශ්‍ය වන්නේ මේ වැටී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්නයි. මධ්‍යගත සමාජවාදයක් වෙනුවෙන් පෙනී සිටින සමාජවාදීන්ට පමණක් එය එසේ නොවන්නට පුළුවන්. ආර්ථිකය කඩා වැටෙන තරමට ඔවුන්ගේ ඉලක්කයට යාම පහසු වෙනවා. ඒ වගේම, රාජ්‍ය යාන්ත්‍රණය තිබෙන මට්ටමින් හෝ පවත්වා ගැනීම කවදා හෝ ඔවුන්ට තමන්ගේ ඉලක්කය වෙත යා හැකි වුවහොත් අවශ්‍ය වෙනස්කම් කිරීමේදී පහසුවක් වෙනවා. මේ දෘෂ්ඨිවාදය තුළ සිටින අයගේ චේතනාන්විත ඉලක්කය ආර්ථික අර්බුදය විසඳීම පමා කිරීමයි. ඉතිරි කණ්ඩායම් තුනට ආර්ථික අර්බුදය විසඳීම පමා කිරීමේ ඉලක්කයක් ලොකුවට තියෙන්න හේතුවක් නැහැ. මොකද අර්බුදය ඔඩු දිවුවොත්, යම් හෙයකින් තමන්ට බලය ලැබුණොත්, ප්‍රශ්නය තමන්ගේ වෙනවා. ඔවුන් බොහෝ දුරට කරන්නේ තමන්ගේ කෝණයෙන් ප්‍රශ්නය දෙස බලමින් විසඳුම් යෝජනා කිරීමයි. 

මුල් කණ්ඩායම හැර ඉතිරි කණ්ඩායම් තුනේ සිටින අයගේ දිගුකාලීන ඉලක්ක මොනවා වුනත්, ඒ ඉලක්ක ගැන හිතන්න බැරි තරමට අර්බුදයේ ගැඹුර වැඩියි. ඒ නිසා, මැතිවරණ ක්‍රමය ගැන විශ්වාසය තබනවානම්, මේ වෙලාවේ කළ හැකි හා කළ යුතු හොඳම දෙය හැකි ඉක්මණින් ආර්ථික අර්බුදයේ ගැඹුරුම තැනින් උඩට පැමිණීම පිණිස කළ හැකි හැම දෙයක්ම කිරීමයි. තමන්ගේ දිගුකාලීන දේශපාලන අරමුණු හා පෑහෙන දේ පමණක් කිරීම ප්‍රමාණවත් නැහැ. 

- මේ වෙලාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට අවශ්‍ය තරමට ධනවතුන් මත බදු ගහන්න හෝ දුප්පතුන්ට සහන දෙන්න බැහැ. බරෙන් කොටසක් දුප්පතුන් මතද පැටවෙන එක නොවැලැක්විය හැකි දෙයක්. ධනවතුන්ට මෙන්ම දුප්පතුන්ටද බදු බරට කර ගහන්න වෙනවා.

- ලිබටේරියානුවන් කැමති තරමේ නිදහසක් ව්‍යාපාරිකයින්ට දෙන්න බැහැ. ඔවුන් කැමති තරමට රජය කුඩා කරන්න හෝ සහනාධාර කපන්නත් බැහැ. ආර්ථික වර්ධනය අඩාල වුනත්, තාවකාලිකව හෝ ධනය උපයන්නන්ට පීඩා කර දුප්පතුන්ට සහන දෙන්න වෙනවා. 

- කේන්සියානු ක්‍රමයනම් කොහොමටත් හරියන්නේ නැහැ. ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේම ඔය ක්‍රමය නිසා. හැබැයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට හා ලිබටේරියානුවන්ට අවශ්‍ය තරම් හදිසියෙන් මේ ක්‍රමයෙන් මිදෙන්නත් බැහැ. සරලව කිවුවොත්, වෙන විකල්පයක් නැති වූ විට, යම් තරමකින් හෝ සල්ලි අච්චු ගහන්නත් වෙනවා.

කෙටියෙන් කිවුවොත් දෘෂ්ඨිවාද මත පදනම් වූ දිගුකාලීන ඉලක්ක පැත්තකින් තියලා ප්‍රායෝගිකව කළ හැකි හැම දෙයක්ම කරන්න වෙන තත්ත්වයකයි ලංකාව ඉන්නේ. ඉන්න තැනින් ගොඩ නොයා රටට දිගුකාලීන පැවැත්මක් නැහැ. 

සංඛ්‍යා දෙකක් පමණක් අරගෙන ලංකාවේ ප්‍රශ්නයේ ගැඹුර පැහැදිලි කරන්න පුළුවන්. පළමුවැන්න රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් විදිහට රජයේ වාර්ෂික පොලී වියදම. දෙවැන්න සමස්ත රාජ්‍ය වියදමේ ප්‍රතිශතයක් විදිහට රජයේ වාර්ෂික පොලී වියදම. ඔය දෙකෙන් කොයි එක ගත්තත් මේ වෙද්දී ලෝකයේ අංක එක ලංකාව.  

ලෝක බැංකු දත්ත අනුව (https://data.worldbank.org/indicator/GC.XPN.INTP.RV.ZS?most_recent_value_desc=true) රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙස පොලී වියදම් වැඩිම රට ලංකාවයි. මෙය (2020දී) 71.4%ක්. ලෝක බැංකු දත්ත වල යාවත්කාලීන වී නැතත්, 2021දීත් මෙම සංඛ්‍යාලේඛණය පැවතුනේ මේ මට්ටමේමයි. දෙවෙනි තුන්වෙනි තැන් වල සිටින ඝානාව හා සිම්බාබ්වේ අගයයන් පිළිවෙලින් 44.6% හා 38.8%. ලෝකයේම සාමාන්‍ය අගය 6%ක්.  "අපි වෙනස්" කියන එක (ශ්‍රී ලංකාව විශාල outlier කෙනෙක් කියන එක) ඉතාම පැහැදිලියිනේ. උපයන රුපියල් 100කින් රුපියල් 71ක්ම පොලී ලෙස ගෙවන්න වෙනවානම් ගොඩයාමක් ගැන හිතන්න පුළුවන්ද?

මේ අගය පහළ දා ගත හැක්කේ කොහොමද?

අඩු වශයෙන් විසඳුම් තුනක් යෝජනා කරන්න පුළුවන්.

- ආදායම වැඩි කර ගැනීම 

- පොලී අනුපාතික අඩු කර ගැනීම 

- ණය බර අඩු කර ගැනීම 

ආදායම වැඩි කර ගැනීම මගින් අනුපාතය පහළ දමා ගත හැකි බව ඉතාම පැහැදිලියි. නමුත් පොලී අනුපාතික අඩු කර ගැනීම ශ්‍රී ලංකා රජයට පහසුවෙන් කරගත නොහැකි දෙයක්. පොලී අනුපාතික තීරණය කරන්නේ (බොහෝ දුරට) ණය දෙන අයයි. ණය බර වැඩි වන තරමට ණය ආපසු ලබා ගැනීමේ අවදානමද ඉහළ යන නිසා පොලී අනුපාතික ඉහළ යනවා. ඒ නිසා පොලී අනුපාතික අඩු කර ගත හැක්කේ ණය බර අඩු කර ගැනීමෙන් පමණයි. 

ණය බර අඩු වෙන්නේ දැනට තිබෙන ණය ආපසු ගෙවුවොත් පමණයි. මෙහිදී ණය ආපසු ගෙවීම කියන එකෙන් අදහස් වෙන්නේ ශුද්ධ වශයෙන් ණය ආපසු ගෙවීම. අලුත් ණය අරගෙන පරණ ණය ගෙවුවා කියලා ණය බර අඩු වෙන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් වෙන්නේ අයවැය අතිරික්තයක් ඇත්නම් පමණයි. 

වියදම් නොකපා, ආදායම් වැඩි කරගැනීමෙන් පමණක් අයවැය හිඟය අතිරික්තයක් බවට පත් කරන්න පුළුවන්ද? 

නිකම් කතාවට ඔය වගේ දෙයක් කියන්න පුළුවන් වුනත් ප්‍රායෝගිකව රාජ්‍ය ආදායම කෙටි කලකින් මේ තරමට වැඩි කර ගන්න බැහැ. එහෙම කරන්නනම්, රාජ්‍ය ආදායම 142% කින් පමණ වැඩි කර ගන්න වෙනවා. ඉදිරිපත් වී තිබෙන සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ දළ ඉලක්කය ඔය හිඟයෙන් බාගයක් පියවා ගැනීම. ඒ කියන්නේ රාජ්‍ය ආදායම 71% කින් පමණ වැඩි කර ගැනීම. ඉතිරි 71% පොලී වියදම්. පොලී වියදම් ගෙවන්න තව දුරටත් ණය ගන්න වෙනවා. (මේ වැඩේ වෙන්නෙත් 2024දී. එතෙක් ප්‍රාථමික හිඟයක් ඉතිරි වෙනවා. අපි පහසුවට මේ ප්‍රාථමික හිඟය නැති වෙනවා කියලා හිතමු.)

රාජ්‍ය අයවැයෙහි ප්‍රාථමික ශේෂය ශුන්‍ය කරගෙන පොලී වියදම් ගෙවන්න පමණක් ණය ගත්තත්, ණය බර තව දුරටත් වැඩි වෙනවා. ණය බර වැඩි වෙද්දී පොලී අනුපාතික පහළ යන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව ඉදිරි අවුරුදු දෙක තුනේ ණය වාරික හා පොලී ගෙවීම් පහළ යන්න පුළුවන්. නමුත්, පසුව ඒ කොටසත් එක්කම ගෙවන්න වෙනවා. 

අපි හිතමු රාජ්‍ය ආදායම 71%කින් වැඩි කරගෙන පොලී වියදම් දැනට තියෙන මට්ටමේම තියා ගත්තා කියලා. එහෙම කළත් පොලී වියදම් හා රාජ්‍ය ආදායම් අතර අනුපාතය අඩු වෙන්නේ 42% පමණ දක්වා පමණයි. තව දුරටත් ලැයිස්තුවේ දෙවෙනි තැන! කරන්න බැරි දෙයක් වුනත්, ආදායම් 142%කින් වැඩි කරගෙන අයවැය හිඟය මුළුමනින්ම පියෙවුවා කියමු. ඒත් ලංකාවේ පොලී වියදම් රාජ්‍ය ආදායමෙන් (හා රාජ්‍ය වියදමෙන් ) 32.9%ක්! ලංකාව ලැයිස්තුවේ මුල් රටවල් පහ අතර. 

අයවැය හිඟය පියවා ගැනීමේ ඉලක්කය අත හැරලා ප්‍රාථමික අයවැය හිඟය පමණක් පියවා ගැනීමට ඉලක්ක කිරීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා එකඟ වී තිබෙන්නේ මුල් ඉලක්කය කෙටිකාලීනව කෙසේවත් ලඟා කර ගත නොහැකි ඉලක්කයක් නිසා. දෙවැනි ඉලක්කයට යන එක වුනත් ලේසි වැඩක් නෙමෙයි. වක්‍ර බදු වැඩි නොකර සෘජු බදු පමණක් වැඩි කර ඒ ඉලක්කයට වුනත් යන්න අමාරුයි. ඒ වගේම, සෘජු බදු වැඩි නොකර වක්‍ර බදු වලින් පමණක් ඔය ඉලක්කයට යන්නත් බැහැ. මේ අතරමැදි ඉලක්කයට යද්දී වුනත් රටේ සල්ලි තියෙන අයට වගේම සල්ලි නැති අයටත් පීඩා විඳින්න වෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙද්දී, වියදම් පැත්ත අමතක කරලා ඔයිටත් වඩා බදු ගහන එක කරන්න බැහැ.

අනෙක් පැත්තෙන්, බදු වැඩි නොකර වියදම් කපා ප්‍රශ්නයෙන් ගොඩ යන්න පුලුවන්ද? මේක කොහොමටවත්ම කරන්න බැහැ. ආදායමෙන් 71%ක් පොලී ගෙවන්නම ගියාට පස්සේ අනෙක් හැම දේටම ඉතිරි වෙන්නේ 29%ක් පමණයි. ඒ ප්‍රමාණය රජය අවම මට්ටමකින් පවත්වා ගෙන යන්නවත් ප්‍රමාණවත් නැති මුදලක්. හැබැයි කපන්න පුළුවන් වියදම් නැහැ කියලා කියන්න බැහැ. 

බදු වැඩි කිරීමට වගේම රජය ආදායම ඉක්මවා වියදම් කිරීමටත් විරුද්ධ කොටසක් ඉන්නවා. ඒ අය කියන්නේ වියදම් කපා ප්‍රශ්නය විසඳිය යුතු බවයි. මෙය කළ නොහැක්කක්. මෙයට ප්‍රති තර්කයක් ඉදිරිපත් කරන ඇතැම් අය පෙන්වා දෙන්නේ ලෝකයේ අනෙකුත් රටවල් එක්ක බැලුවහම ලංකාවේ රාජ්‍ය වියදම් වැඩි නැති බවයි. 

දදේනි ප්‍රතිශතයක් ලෙස ගත්තොත් ලෝකයේ රටවල් වලින් 70%ක පමණම රාජ්‍ය වියදම් ලංකාවට වඩා වැඩියි. හැබැයි මේ ගොඩේ ඉහළින්ම ඉන්න රටවල් බොහොමයක්ම ඉහළ ආදායම් ලබන රටවල්. ලංකාවේ රජයට ඒ රටවල් තරමටම වියදම් කරන්න පුලුවන්ද? මේ රටවල් අතරින් කොටසක් විශාල ලෙස බදු අය කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල්. තවත් කොටසක් ලෝකයේ ප්‍රධාන මුදල් ඒකකයක් භාවිතා කරන, ඒ නිසාම පහසුවෙන් අඩු පොලී ණය ලබාගත හැකි රටවල්. ඔය කාණ්ඩ දෙකටම වැටෙන රටවලුත් තිබෙනවා. ඒ වගේම, ඉහළ ආදායම් ලබන රටවල් වුනත්, ණය අර්බුද වලට ගිය ඇතැම් රටවල්ද  මේ ගොඩේ දකින්න පුළුවන්.

ග්‍රීසිය - 58.5%

ප්‍රංශය - 52.1%

ඉතාලිය - 50.6%

එක්සත් රාජධානිය - 47.2%

නෝර්වේ - 45.8%

නෙදර්ලන්තය - 43.2%

ස්පාඤ්ඤය - 41.8%

ෆින්ලන්තය - 41.2%

ඩෙන්මාර්කය - 39.2%

නවසීලන්තය - 36.6%

ස්වීඩනය - 35.1%

මේ රටවල් සුබසාධනය වෙනුවෙන් සැලකිය යුතු වියදමක් දරන රටවල් බව කවුරුත් වගේ දන්නා දෙයක්. ඒ නිසාම, ලංකාවටත් ඒ තරමටම වියදම් කරන්න පුළුවන්ද? ලංකාව සංසන්දනය කළ යුත්තේ ඔය වගේ රටවල් එක්කද? 

ඉහත සඳහන් රටවල් එක්ක බැලුවොත්නම් (දදේනි ප්‍රතිශතයක් ලෙස) ලංකාවේ රාජ්‍ය වියදම් වැඩි නැහැ. නමුත් කලාපීය රටවල් එක්ක බැලුවොත් කතාව ටිකක් වෙනස්.

බංග්ලාදේශය - 8.1%

මියන්මාරය - 14.7%

පකිස්ථානය - 15.5%

ඉන්දියාව - 15.7%

ඉන්දුනීසියාව - 16.5%

මැලේසියාව - 18.5%

පිලිපීනය - 19.6%

ශ්‍රී ලංකාව - 19.9%

නේපාලය - 20.2%

තායිලන්තය - 22.1%

ලෝකයේ රටවල් එක්ක බැලුවොත් ලංකාව ඉන්නේ පහළම 30% අතර තමයි. හැබැයි ඔය 30% අතර, ලංකාවටත් වඩා පහළින්, කලාපීය රටවල් ගණනාවක් දකින්න පුළුවන්. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ ලංකාවට රාජ්‍ය වියදම් අඩු කර ගැනීමේ අවකාශයක් තිබෙන බවයි. 

උඩ ලැයිස්තුවේ ඇති වැඩියෙන් වියදම් කරන රටවල් විශාල ලෙස පොලී ගෙවමින්, ණය බරෙන් පීඩා විඳිමින් එසේ වියදම් කරන්නේ නැහැ. ඔවුන් වැඩියෙන් වියදම් කරන්නේ ඒ වියදම් අදාළ රටවල රජයයන්ට දරා ගත හැකි නිසයි. අනෙක් අතට ආදායමෙන් සැලකිය යුතු කොටසක් පොලී වියදම් සේ ගෙවිය යුතු පහළ ලැයිස්තුවේ රටවල් තමන්ගේ වියදම් ගැන වඩා සැලකිලිමත්. 

ග්‍රීසිය - 6.6%

ප්‍රංශය - 2.9%

ඉතාලිය - 8.3%

එක්සත් රාජධානිය - 5.8%

නෝර්වේ - 0.7%

නෙදර්ලන්තය - 1.7%

ස්පාඤ්ඤය - 6.5%

ෆින්ලන්තය - 1.8%

ඩෙන්මාර්කය - 1.3%

නවසීලන්තය - 3.1%

ස්වීඩනය - 0.8%


බංග්ලාදේශය - 21.1%

මියන්මාරය - 9.6%

පකිස්ථානය - 11.5%

ඉන්දියාව - 23.0%

ඉන්දුනීසියාව - 19.1%

මැලේසියාව - 15.3%

පිලිපීනය - 13.3%

ශ්‍රී ලංකාව - 71.4%

නේපාලය - 20.2%

තායිලන්තය - 5.0%

කෙටියෙන් කිවුවොත් ලංකාව වැටී ඉන්න වලෙන් ගොඩ යන්නනම් සෘජු බදු වගේම වක්‍ර බදුත් වැඩි කරන්න වෙනවා. රජයේ වියදම් කපන්නත් වෙනවා. ඔය හැම දෙයක්ම කරන තරමට ඉක්මණින් ගොඩ යා හැකියි. හැබැයි මේ හැම දෙයකින්ම රටේ මිනිස්සු පීඩාවට පත් වෙනවා. ඒ පීඩාව දරාගත නොහැකිනම්, ප්‍රතිඵලය පීඩාව වඩා වැඩි කාලයක් විඳින්න වීම වුවත්, යම් ප්‍රමාණයක් සල්ලි අච්චු ගහන්න වෙනවා. 

Friday, October 7, 2022

කලකට පසු විදෙස් සංචිත ඉහළ යයි!


නිර්ණායක ගණනාවකින්ම පෙනෙන්නේ ආර්ථිකය කෙමෙන් නැවත ස්ථායීත්වය කරා ගමන් කරන බවයි. ඩොලරයක මිල දැන් තිබෙන සීමාවේ බලහත්කාරයෙන් රඳවා ගෙන තිබෙන බව කිසිවෙකුට රහසක් නෙමෙයි. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වී තිබෙන ස්ථායීකරණ වැඩ පිළිවෙළ තුළ නැවතත් විණිමය අනුපාතය පා කළ යුතුයි. එසේ වුවත්, ආර්ථිකයට විශාල කම්පනයක් දැනෙන පරිදි මෙය කිරීම හොඳම ක්‍රමය නෙමෙයි.

ආර්ථිකයට විශාල කම්පනයක් නොදැනෙන පරිදි විණිමය අනුපාතය පා කළ හැක්කේ කොහොමද? විණිමය අනුපාතය නැවත නිදහස් කරන්නට පෙර ඩොලර් ඉල්ලුම හා සැපයුම සමතුලිතව තිබුණොත්, විණිමය අනුපාතය පා කිරීම කම්පනයක් ඇති කරන්නේ නැහැ. මම හිතන්නේ මහ බැංකුවේ උත්සාහය එයයි. 

මේ වන විට අගෝස්තු මාසයේ ආනයන අපනයන සංඛ්‍යාලේඛණ ප්‍රකාශයට පත් වී තිබෙනවා. 

2022 අගෝස්තු 

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,224

ආනයන වියදම - ඩොලර් මිලියන 1,486

වෙළඳ හිඟය - ඩොලර් මිලියන 261

මෙම සංඛ්‍යාලේඛණ පෙර මාස හා සැසඳිය හැකියි.

2022 ජූලි 

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,164

ආනයන වියදම - ඩොලර් මිලියන 1,287

වෙළඳ හිඟය - ඩොලර් මිලියන 127

2022 ජූනි 

අපනයන ආදායම - ඩොලර් මිලියන 1,248

ආනයන වියදම - ඩොලර් මිලියන 1,226

වෙළඳ අතිරික්තය - ඩොලර් මිලියන 21

මේ අනුව, පසුගිය දෙමස තුළ ආනයන වියදම් ඉහළ යාමේ හා ඒ හේතුව මත වෙළඳ හිඟය වැඩි වීමේ ප්‍රවණතාවක් දැකිය හැකියි. නැවතත් වෙළඳ හිඟය වැඩි වීම හොඳ දෙයක් නොවන බව කෙනෙකුට එක් වරම කිව හැකි දෙයක්. එහෙත්, පවතින තත්ත්වයන් තුළ මෙයින් පෙන්නුම් කෙරෙන්නේ වැඩි වෙළඳ හිඟයක් දරා ගැනීමට ලංකාවේ ආර්ථිකයට හැකි වී ඇති බවයි. වෙනත් විදිහකින් කිවුවොත් අගෝස්තු මාසය වන විට පෙර දෙමසට සාපේක්ෂව ආනයන සීමාවන් යම් තරමකින් ලිහිල් වී ඇති බවයි. 

මෙයින් තවදුරටත් පෙනෙන්නේ රටේ අනාගත ආර්ථික ස්ථායීත්වය පිළිබඳ විශ්වාසය කෙමෙන් නැවත ගොඩ නැගෙද්දී, පවතින විණිමය අනුපාතය යටතේම වුවද, විදේශ විණිමය ඉල්ලුම හා සැපයුම සමතුලිත වීමට යම් ඉඩක් ඇති බවයි. එය එසේ වන්නේනම්, වෙළඳපොළ කම්පනයක් ඇති නොකර නැවතත් විණිමය අනුපාතය පා කළ හැකියි. 

මේ සහනදායී අවකාශය හැදෙන්නට එක් හේතුවක් වන්නේ පසුගිය මාස කිහිපය තුළ ශ්‍රමික ප්‍රේෂණ ක්‍රමයෙන් ඉහළ යාමයි. සැප්තැම්බර් මාසය වන විට අගෝස්තු මාසයට සාපේක්ෂව ශ්‍රමික ප්‍රේෂණ තව දුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රමික ප්‍රේෂණ 

2022 ජූනි - ඩොලර් මිලියන 274

2022 ජූලි - ඩොලර් මිලියන 279

2022 අගෝස්තු - ඩොලර් මිලියන 325

2022 සැප්තැම්බර් - ඩොලර් මිලියන 359

අගෝස්තු මාසයේ වෙළඳ ශේෂය ඩොලර් මිලියන 261ක් වුවත්, ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඊට වඩා වැඩි මුදලක් ලැබී තිබෙනවා. මේ හේතුව හා තවත් හේතු නිසා සුළු වශයෙන් වුවත් අගෝස්තු මාසය තුළ ශුද්ධ වශයෙන් ඩොලර් මිල දී ගැනීමට මහ බැංකුවට හැකි වී තිබෙනවා. පසුගිය මාස කිහිපය තුළ සිදු වුනේ එහි අනෙක් පැත්තයි.

2022 අගෝස්තු 

විදේශ විණිමය මිල දී ගැනීම් - ඩොලර් මිලියන 215.61

විදේශ විණිමය විකිණීම් - ඩොලර් මිලියන 200.59

2022 ජූලි 

විදේශ විණිමය මිල දී ගැනීම් - ඩොලර් මිලියන 117.65

විදේශ විණිමය විකිණීම් - ඩොලර් මිලියන 276.58

2022 ජූනි 

විදේශ විණිමය මිල දී ගැනීම් - ඩොලර් මිලියන 68.00

විදේශ විණිමය විකිණීම් - ඩොලර් මිලියන 222.73

මෙලෙස මහ බැංකුව විසින් ශුද්ධ ලෙස විදේශ විණිමය මිල දී ගැනීම හා තවත් හේතු නිසා කාලයකට පසුව පසුගිය සැප්තැම්බර් මාසයේදී මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණයේ ඉහළ යාමක් දැකිය හැකියි. 

නිල සංචිත වත්කම් 

2022 ජූනි - ඩොලර් මිලියන 1,854

2022 ජූලි - ඩොලර් මිලියන 1,815

2022 අගෝස්තු - ඩොලර් මිලියන 1,717

2022 සැප්තැම්බර් - ඩොලර් මිලියන 1,777

මේ අනුව, ආනයන ප්‍රමාණය වැඩි වීමට ඉඩ හැර තිබෙන්නේ රටේ විදේශ අංශයේ ස්ථායීත්වයද රැක ගනිමින් මිස අවදානමේ හෙළමින් නොවන බව පැහැදිලියි.

මහ බැංකුවේ වත්කම් ඉහළ ගිය පමණින්ම එය යහපත් වර්ධනයක් බව එකවර කියන්න බැහැ. මහ බැංකුවේ වත්කම් වලට වඩා එහි බැරකම් වැඩි බව මා පෙර පැහැදිලි කර තිබෙන දෙයක්. කෙසේ වුවත්, මේ වත්කම් ඉහළ යාමට අනුරූපව බැරකම් ඉහළ යාමක් සිදු වී නැහැ. අගෝස්තු මාසයේදී මහ බැංකුවේ මෙන්ම වාණිජ බැංකු වලද ශුද්ධ විදේශ බැරකම් වල අඩුවීමක් දැකිය හැකියි.

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් 

2022 ජූලි - රුපියල් බිලියන (-1,686.2)

2022 අගෝස්තු - රුපියල් බිලියන (-1,614.9)


වාණිජ බැංකු වල ශුද්ධ විදේශ වත්කම් 

2022 ජූලි - රුපියල් බිලියන (-437.6)

2022 අගෝස්තු - රුපියල් බිලියන (-420.2)


බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ වත්කම් 

2022 ජූලි - රුපියල් බිලියන (-2,123.8)

2022 අගෝස්තු - රුපියල් බිලියන (-2,035.1)

මේ අනුව ජූලි මාසයට සාපේක්ෂව අගෝස්තු මාසය වන විට බැංකු පද්ධතියේ ශුද්ධ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 250කින් පමණ පහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය අගෝස්තු මාසයේදී තවත් හොඳ අතට හැරී ඇතැයි උපකල්පනය කළ හැකියි.

මේ යහපත් ප්‍රවණතාවයන් පසුපස ඇති ප්‍රධානම සාධකය සල්ලි අච්චු ගැසීම සීමා කිරීමයි. පසුගිය සති කිහිපය තුළම මහ බැංකුව විසින් රජයට අවශ්‍ය අරමුදල් භාණ්ඩාගාර බිල්පත් විකුණා සොයා දීමට සමත්ව තිබෙනවා. දැනට පවතින 30%ට ආසන්න පොලී අනුපාතිකය යටතේ එය කළ හැකි බවද පෙනෙන්නට තිබෙනවා. 

පොලී අනුපාතික 30% වැනි ඉහළ මට්ටමක තබා ගැනීම ආර්ථික වර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා. එහෙත්, උද්ධමනය පාලනය කිරීම සඳහා එය නොකර බැහැ. උද්ධමනයට ඉන්ධන සපයමින් සල්ලි අච්චු ගහන්නේ නැතිව පොලී අනුපාතික පහළ හෙළිය හැක්කේ රජයේ ආදායම් වැඩි කර, වියදම් කපා, අයවැය හිඟය අඩු කර ගැනීමෙන් පමණයි.

Wednesday, October 5, 2022

රටේ වත්කම් වැඩි වෙලා නැද්ද?

අප්‍රේල් අවසාන වෙද්දී ලංකාවේ මධ්‍යම රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 23,310ක්. රටේ ජනගහණයෙන් බෙදුවොත් එක් අයෙකුට රුපියල් මිලියනයකට වඩා වැටෙනවා. මේ වගේ විශාල ණය කන්දක් ගොඩ ගැහිලා තියෙද්දී රටකට ගොඩ යන්න පුළුවන්ද?

පළමු වැදගත්ම කරුණ මේ ණය රජයේ ණය මිසක් රටේ ණය නෙමෙයි. මධ්‍යම රජයේ ණය වලින් වැඩි කොටසක් රජයට ණයට දීලා තියෙන්නේ රටේම මිනිස්සු. අදාළ දිනයේදී එම ණය ප්‍රමාණය රුපියල් බිලියන 12,442ක්. ඉතිරි රුපියල් බිලියන 10,868 තමයි විදේශ ණය. රටේ මිනිස්සුන්ගෙන් රජය ණය ගන්නවා කියන්නේ ඒ සල්ලි රටේම කා ළඟ හෝ තියෙනවා කියන එකයි.

මේක කිවුවේ ණය ප්‍රශ්නයේ බර අඩු කරලා පෙන්නන්න නෙමෙයි. මධ්‍යම රජයේ ණය සියල්ල විදේශ ණය නොවුනත්, රටේ විදේශ ණය සියල්ල මධ්‍යම රජයේ ණය නෙමෙයිනේ. ඒ නිසා රටේ මුළු විදේශ ණය ප්‍රමාණය ඔය ගණනට වඩා වැඩියි. 2022 ජූනි මාසය අවසන් වෙද්දී රටේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 48,731ක්. නමුත්, රටේ මුළු විදේශ වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 8,292ක් පමණයි. රට මුහුණ දෙන ඩොලර් ප්‍රශ්නය ඕකනේ. 

රටේ විදේශ ණය අර්බුදය ගැන ඕනෑ තරම් කතා කරලා තියෙන නිසා අදත් තව තව ඒ ගැනම කතා කරන්න අදහසක් නැහැ. මේ අර්බුදය ටිකෙන් ටික ඔඩු දුවපු ආකාරය ගැනත් අපි කතා කරලා තියෙනවා. 2001දී රටේ මුළු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 8,372ක් පමණයි. ඕක තමයි 2019 වෙද්දී ඩොලර් මිලියන 54,816 දක්වා වැඩි වුනේ. 

මේ ණයට ගත්ත සල්ලි වලට මොකද වුනේ? කවුරු හරි හොරකම් කරලද? කාලා බීලා නාස්ති කරලද?

මේ වගේ සිල්ලර පැහැදිලි කිරීම් වලට ගොඩක් අය කැමතියි. හැබැයි ඔය වගේ පැහැදිලි කිරීම් වල තියෙන්නේ කතාවේ එක් කොණක් පමණයි. මේ සල්ලි වියදම් කරලා නාස්ති කරලා කියලා අපි කියමු. එක් අයෙකුගේ වියදමක් අනිවාර්යෙයන්ම තවත් අයෙකුගේ ආදායමක් කියලා මම කිවුවනේ. එහෙමනම්, වියදම් වලට ගැලපෙන පරිදි කාගේ හෝ ආදායම් හැදිලා තියෙන්නත් ඕනෑ. කවුරු හරි හොරකම් කළා කියමු. ඔය හොරකම් කරපු සල්ලි එක්කෝ වත්කම් විදිහට තියෙන්න ඕනෑ. එහෙම නැත්නම් වියදම් කරලා වෙන්න ඕනෑ. වියදම් කරලානම් වෙන අයෙකුගේ ආදායම් වෙලා වෙන්න ඕනෑ.

මේ තර්කය අසම්පූර්ණ බව කෙනෙකුට පෙන්වා දෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ණයට ගත්ත සල්ලි ආනයන වෙනුවෙන් වියදම් කරලා වෙන්න පුළුවන්. හොරකම් කරපු සල්ලි රටින් පන්නලා වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයන් යටතේ ණය වලට හරියන්න වත්කම් රටේ නැති වෙන්න පුළුවන්.

ඕකේම අනෙක් පැත්ත වෙන්නත් පුළුවන්. ණය ගැනීම වෙනුවෙන් පෙනී සිටින අයගේ සාමාන්‍ය තර්කය වන්නේ ණය විදිහට ලබා ගන්නා ප්‍රාග්ධනය ආයෝජනය කරලා ණය හා පොලී ගෙවන්න අවශ්‍ය ආදායමට වඩා ආදායමක් උපයන්න පුළුවන් කියන එක. එහෙම වෙලානම්, ඒ ආදායම් වලින් යම් කොටසක් හෝ වත්කම් ලෙස රටේ එකතු වී තියෙන්න ඕනෑ. ඇත්තටම එහෙම වෙලා තිබෙනවා.

රටේ විදේශ ණය ආපසු ගෙවිය හැකි විදේශ වත්කම් රට ඇතුළේ නැහැ කියන එක නැවත කියන්න අවශ්‍ය නැති, මේ වෙද්දී කවුරුත් දන්නා දෙයක්. නමුත්, විදේශ වත්කම් නැහැ කියා කියන්නේ වත්කම් නැහැ කියන එක නෙමෙයි. පසුගිය කාලය මුළුල්ලේ රටේ වත්කම් විශාල ලෙස වර්ධනය වී තිබෙනවා. ගත්ත ණය වලින් වත්කම් හැදිලා නැහැ කියන එක බොරුවක්. ගත්ත ණය මෙන් කිහිප ගුණයක වත්කම් හැදී තිබෙනවා. 

එහෙමනම් ප්‍රශ්නය කුමක්ද?

ප්‍රශ්න කිහිපයක්ම තිබෙනවා. එකක් මේ වත්කම් ආදායම් වන ප්‍රමාණවත් යාන්ත්‍රණයක් නැති වීම. දෙවැන්න ආදායම් තිබෙන වත්කම් වලින් වුවත් ලැබෙන්නේ රුපියල් ආදායම් වීම. තෙවැන්න එම ආදායම් රජයේ ආදායම් නොවීම.

පළමුවැන්න වෙළඳපොළ පුළුල් නොවීම පිළිබඳ ප්‍රශ්නයක්. එයට හේතුව වෙළඳපොළ විරෝධී රාජ්‍ය ප්‍රතිපත්ති. දෙවැන්න රටේ විණිමය ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නයක්. තුන්වැන්න බදු ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රශ්නයක්. ඔය ප්‍රතිපත්ති ප්‍රශ්න තුන විසඳෙනවානම් ණය ගෙවන එක ප්‍රශ්නයක් නෙමෙයි.

ක්‍රෙඩිට් සුවිස් ආයතනය 2000 වසරේ පමණ සිට ලෝකයේ රටවල් වැඩි ප්‍රමාණයක නිවාස ඒකක වල වත්කම් ඇස්තමේන්තු කරනවා. සාමාන්‍ය මූලධර්මයක් විදිහට ඕනෑම රටක නිවාස ඒකක සතු වත්කම් ප්‍රමාණය ඒ රටේ විදේශ ණය ප්‍රමාණයට වඩා ගොඩක් වැඩියි. ලංකාව කියලා මෙහි වෙනසක් නැහැ. 

ක්‍රෙඩිට් සුවිස් ඇස්තමේන්තු අනුව, 2021 අවසානයේදී ලංකාවේ නිවාස ඒකක සතු ශුද්ධ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 401ක්. ඒ කියන්නේ රටේ විදේශ ණය ප්‍රමාණය වගේ අට ගුණයක්. රජය සතු වත්කම් මෙම ගණනට ඇතුළත් නැහැ.

අදාළ ඇස්තමේන්තු අනුව, 2021 අවසානයේදී ලංකාවේ එක් වැඩිහිටියෙකු සතු වත්කම් ප්‍රමාණය ඩොලර් 27,040ක්. එයින්, ඩොලර් 5,459ක් මූල්‍ය වත්කම්. ඩොලර් 22,259ක් මූල්‍ය නොවන වත්කම්. එක් වැඩිහිටියෙකුගේ ණය ප්‍රමාණය ඩොලර් 678ක්. මූල්‍ය හා මූල්‍ය නොවන වත්කම් එකතු කරලා ණය ප්‍රමාණය අඩු කළාම ඩොලර් 27,040 එනවා. රුපියල් වලින්නම් මිලියන 10කට කිට්ටුයි.

මේ ඇස්තමේන්තුව ආසන්නව හෝ නිවැරදි බව සැක කළ නොහැකියි. ඇස්තමේන්තු අනුව රටේම නිවාස ඒකක වල මූල්‍ය වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 80ක් පමණ වෙනවා. පුළුල් මුදල් සැපයුම, ඒ කියන්නේ රටේ සංසරණය වන නෝට්ටු හා කාසි සහ වාණිජ බැංකු වල තිබෙන මිනිස්සුන්ගේ තැන්පතු ප්‍රමාණය රුපියල් බිලියන 12,000කට කිට්ටුයි. ඩොලර් කළොත් බිලියන 33ක්. රජය විසින් නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණයත් ඔය ගාණටම කිට්ටුයි. එතකොට ඩොලර් බිලියන 66ක් වෙනවා. සේවක අර්ථසාධක අරමුදලේ තිබෙන මිනිස්සුන්ගේ සල්ලි ප්‍රමාණය රුපියල් බිලියන 3,000ක් විතර. ඒ කියන්නේ ඩොලර් බිලියන 8ක් වගේ. බැංකු නොවන මූල්‍ය ආයතන වල තිබෙන මිනිස්සුන්ගේ සල්ලි ආදිය එකතු කළාම ඩොලර් බිලියන 80 පහසුවෙන්ම හැදෙනවා.

ලංකාවේ ගොඩක් මිනිස්සු අතේ සල්ලි තියාගෙන ඉන්නවාට වඩා ගෙවල්, ඉඩම්, වාහන ආදියට සල්ලි යට කරන එකනේ කරන්නේ. ඒ නිසා, සල්ලි වලින් තිබෙන වත්කම් ප්‍රමාණය වගේ හතර ගුණයක මූර්ත වත්කම් නිවාස ඒකක සතුව තිබෙනවා කියන එකත් පිළිගන්න අපහසුවක් නැහැ. 

ක්‍රෙඩිට් සුවිස් ඇස්තමේන්තු අනුව, 2001 වසර අවසානයේදී ලංකාවේ නිවාස ඒකක සතු වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 31ක් පමණයි. අවුරුදු විස්සකට පස්සේ ඔය ප්‍රමාණය ඩොලර් බිලියන 401ක් වෙලා. ඒ කියන්නේ ඩොලර් බිලියන 370ක වැඩිවීමක්. ඔය කාලය තුළ විදේශ ණය වැඩිවීම ඩොලර් බිලියන 42ක් පමණයි. 

ගත්ත ණය වලට හරියන්න වත්කම් හැදිලා නැහැ කියන කතාව බොරුවක් බව පැහැදිලියිනේ. වත්කම් හැදිලා තිබෙනවා. ප්‍රශ්නය මේ වත්කම් ප්‍රමාණවත් තරම් ද්‍රවශීල නොවීම, රුපියල් වත්කම් වීම හා බදු හරහා රජයේ ආදායම් නොවීම. 

ඔය විදිහට නිවාස ඒකක වල වත්කම් ඉහළ ගිහින් කියන එක තේරුම් ගන්න සංඛ්‍යාලේඛණ දිහා බලන්නම අවශ්‍ය නැහැ. අඩු වශයෙන් වයස අවුරුදු හතළිහක් වන කෙනෙක්ට පසුගිය වසර විස්ස තුළ තමන් යන එන ගෙවල් කොයි තරම් වෙනස් වෙලාද කියලා මතක් කරගත්තොත් මේ සංඛ්‍යාලේඛණ ගැන සැකයක් හිතෙන එකක් නැහැ. දශක දෙක තුනකට කලින් කොළඹ ඉඳන් දුර පළාතකට යද්දී පාරවල් අයිනේ දකින්න ලැබුණු කටු මැටි ගහපු, පොල් අතු හෙවිල්ලපු ගෙවල් අද ලේසියෙන් හොයා ගන්න පුලුවන් වෙන්නේ ටෙලි නාට්‍ය වලට පසුතල හදන තැන් වල විතරයි. මේ දවස් වල ජනප්‍රිය චරිතයක් වී සිටින අජිත් පැරකුම් ජයසිංහ ඔය වෙනස බොහොම සරල විදිහට විස්තර කරලා තිබුණා. ඒ දවස් වල මළපහ කරන්න තේ වතු අස්සේ රිංගපු රට දැන් වියලි වැසිකිලි යුගයට ඇවිත්!

ගත්ත විදේශ ණය නිවාස ඒකක වල වත්කම් ඉහළ යාමට සෘජුව සම්බන්ධයි. ඩොලර් ණයට අරගෙන අඩුවට විකුණලා විණිමය අනුපාතය පාලනය කරද්දී, එහි අවසන් ප්‍රතිවිපාක කුමක් වුවත්, වාසිය රට පුරාම පැතිරී යනවා. සිමෙන්ති කොට්ටයක්, විදුලි උපාංගයක් මිල දී ගන්න කෙනෙක් ඒවා ගන්නේ "නියම මිලට" වඩා අඩුවෙන්. ලංකාවේ ආනයන වලින් 80%ක්ම අතරමැදි භාණ්ඩ හා ආයෝජන භාණ්ඩ බව කලින් ලිපි වල කියා තිබෙනවානේ. ඔය ආනයන වලින් රට ඇතුළේ වත්කම් හැදෙනවා. හැදිලා තිබෙනවා. 

පහුගිය කාලයේ ගොඩක් අය හදාගත්තු ලොකු හෝ තමන්ගේ ආදායමේ තරමට ලොකු ගෙවල් බොහොමයක් ඇතුළේ ණයට ගත්ත ඩොලර් තියෙනවා. ඒ ගෙවල් හැදෙද්දී ඉදිකිරීම් කර්මාන්තයේ විශාල පිරිසකට රැකියා ලැබී ඔවුන්ගේ ආදායම් වැඩි වුනානේ. ඒ විදිහට ආදායම් වුනෙත් ණයට ගත්ත ඩොලර්. ඔය විදේශ ණය නොගෙන දේශීය ණය වලින් අයවැය හිඟය පියෙවුවානම්. පොලී අනුපාතික තිබුණාට වඩා ගොඩක් වැඩි වෙලා. ඒ කියන්නේ ගෙවල් හදන්න ගත්ත ණය වල පොලියෙන් කොටසක් ගෙවලා තියෙන්නෙත් ණයට ගත්ත ඩොලර් වලින්. කවුරු හරි පොදු දේපොළ අවභාවිතා කළානම් බොහෝ දුරට ඒ සල්ලිත් ගෙවල්, ඉඩම් වෙලා.

වෙබ් ලිපිනය: