වෙබ් ලිපිනය:

Friday, October 14, 2022

මධ්‍යම පන්තිය හාන්සිද?


ආණ්ඩුව ආදායම් බදු සීමා පහළ දැමීම මගින් බදු පදනම විශාල කර ගන්නා අතරම බදු අනුපාතික ඉහළ දමා තිබෙනවා. ආදායම් බදු අය කරන අලුත් ක්‍රමය පහත තිබෙනවා. 

පළමු රුපියල් 1,200,000 - 0%

ඊළඟ රුපියල් 500,000 - 6%

ඊළඟ රුපියල් 500,000 - 12%

ඊළඟ රුපියල් 500,000 - 18%

ඊළඟ රුපියල් 500,000 - 24%

ඊළඟ රුපියල් 500,000 - 30%

එතැන් සිට  - 36%

කලින් තිබුණු බදු ක්‍රමය යටතේ බදු ගෙවන්නට සිදු වූ සියල්ලන්නටම අලුත් ක්‍රමය යටතේ වැඩියෙන් බදු ගෙවන්න වෙනවා. ඊට අමතරව, දැනට ආදායම් බදු  නොගෙවන සැලකිය යුතු පිරිසකටද බදු ගෙවන්න සිදු වෙනවා. පැවති බදු ක්‍රමය පහත තිබෙනවා.

පළමු රුපියල් 3,000,000 - 0%

ඊළඟ රුපියල් 3,000,000 - 6%

ඊළඟ රුපියල් 3,000,000 - 12%

එතැන් සිට  - 18%  

අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස ණය පොලී, කොටස් මිල දී ගැනීම් සඳහා ගිය වියදම් (රුපියල් 1,200,000 දක්වා) - 0%

හර්ෂ ද සිල්වාට අනුව මේ බදු වැඩි කිරීම නිසා මධ්‍යම පන්තිය හාන්සියි. මම දකින විදිහටනම් මේ ප්‍රකාශය රනිල් අගමැති වීමෙන් පසුව, සජබට පොදුවේත්, හර්ෂ ද සිල්වාට වැනි අයට විශේෂයෙනුත්, මුහුණ දුන්න සිදු වුනු අනන්‍යතා අර්බුදයේ ප්‍රකාශනයක්. අරගලයේ අවසන් අදියරේදී අරගලකරුවන් හමුවේ සජබ, ජාජබ, 43 බලකාය හා සින්ගියුලරිටි ශ්‍රී ලංකා ව්‍යාපාරය විසින් ලංකාව ගොඩ දමන ආකාරය පිළිබඳ ඔවුන්ගේ සැලසුම් ඉදිරිපත් කළා. මෙහිදී හා වෙනත් තැන් වලදී සජබ වෙනුවෙන් හර්ෂ ද සිල්වා විසින් ඉදිරිපත් කළ වැඩ පිළිවෙළ හා රනිල්ගේ දැන් වැඩ පිළිවෙළ අතර හඳුනාගත හැකි පැහැදිලි වෙනස්කම් කිසිවක් නැහැ. 

වක්‍ර බදු වැඩි කිරීම වෙනුවට සෘජු බදු වැඩි කර රජය ආදායම් උපයා ගත යුතු බව හර්ෂ ද සිල්වා විසින් නැවත නැවත කියා ඇති දෙයක්. මෑතකදී ඔහු විසින් ඉදිරිපත් කළ පොදු අවම වැඩ පිළිවෙළ අනුව සෘජු බදු මෙන්ම වක්‍ර බදුද ඉහළ යා යුතුයි.

"Reintroduce 2017 Inland Revenue Act with necessary amendments to address DSA and restructuring requirements, by (a) broadening VAT tax base and withholding taxes (including capital and service payments); (b) broadening income tax base and reverse decline in number of taxpayer files; and (c) creating a progressive corporate tax regime with the rate increase being gradual."

මේ වන විට ක්‍රියාත්මක වී තියෙන්නේ හර්ෂ විසින් ඉහත ඉදිරිපත් කර තිබෙන යෝජනා කිහිපයයි.

ජාජබ වැඩ පිළිවෙළේ ප්‍රමුඛ අංගයක් වුණෙත්, ජවිපෙ/ජාජබ පාක්ෂිකයින් දිගින් දිගටම පෙනී සිටියේත් සෘජු බදු වැඩි කිරීම වෙනුවෙන්. රනිල් විසින් දැන් ක්‍රියාත්මක කර තිබෙන්නේ මේ ජාජබ යෝජනාවයි. 

"ආදායම් බදු කියන්නේ යම් ඉහළ ආදායමක් ලබන අයට ඒ ආදායමට අනුව ගහන බදු. නමුත් සිද්ධවෙලා තියෙන්නේ මොකක්ද? ලෝකයේ පිළිගත් නිර්ණායකය තමයි පොදු ජනතාවට ගහන බදු 20%ක් වෙන්න ඕනැ, ඍජු බදු 80%ක් වෙන්න ඕනැ, කියන එක. අපේ රටේ මොකක්ද සිද්ධවෙලා තියෙන්නේ. පොදු ජනතාවට ගහන බදු 82%යි. ඍජු බදු 18%යි. ඒ නිසා බදු වෙළඳපොළේ විශාල විකෘතියක් අද නිර්මාණය වෙලා තිබෙනවා. අපේ ආර්ථික ප්‍රතිපත්තියේ බදු සම්බන්ධයෙන් මේ විකෘතිය ඉවත් කරන එක තමයි පළමු පියවර."

- අනුර කුමාර දිසානායක

ජවිපෙ දැන් කියන්නේනම් බදු පැහැර හැරීමේ ව්‍යාපාරයක් සංවිධානය කරන බවයි.

අලුත් බදු හා පැවති බදු අතර වෙනස විශාල වුවත්, 2019 දක්වා පැවති බදු හා අලුත් බදු අතර ඒ වෙනස තරම්ම වෙනසක් නැහැ. පහත තිබෙන්නේ 2020 බදු සංශෝධනයට පෙර පැවති බදු ක්‍රමයයි.

පළමු රුපියල් 500,000 - 0%

ඊළඟ රුපියල් 600,000 - 4%

ඊළඟ රුපියල් 600,000 - 8%

ඊළඟ රුපියල් 600,000 - 12%

ඊළඟ රුපියල් 600,000 - 16%

ඊළඟ රුපියල් 600,000 - 20%

එතැන් සිට  - 24%

වැටුප් ලෙස ලබන ආදායම් (රුපියල් 700,000 දක්වා) - 0%

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමට පෙර මාසික ආදායම රුපියල් 41,167 ඉක්මවූ අයට බදු ගෙවන්නට සිදු වුනා. වැටුප් ලෙස ආදායම් ලැබූ අයගේ මෙම සීමාව තවත් රුපියල් 58,833ක් දක්වා ඉහළ යා හැකිව තිබුණත්, මාසික ආදායම රුපියල් 100,000 ඉක්මවූ අය අනිවාර්යයෙන්ම බදු ගෙවිය යුතු වුනා. 2020දී මෙම සීමාව රුපියල් 250,000 දක්වා ඉහල දැමුණු අතර අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස ණය පොලී, කොටස් මිල දී ගැනීම් සඳහා ගිය වියදම් ආදිය වෙනුවෙන් කළ වියදම් මත අදාළ සීමාව රුපියල් 350,000 දක්වා ඉහළ ගියා. ඒ අනුව, විශාල පිරිසක් බදු දැලෙන් එළියට විසි වුනා. ඉතිරිව සිටි අයටත් ගෙවන්න සිදු වුනේ අඩු බදු ප්‍රමාණයක්. 

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ත්තිය වත්මන් ආර්ථික අර්බුදයට දායක වූ බව පුළුල් ලෙස පිළිගැනෙන අදහසක්. එම තීරණය එජාප, සජබ, ජවිපෙ/ජාජබ, 43 බලකාය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක මෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ශ්‍රේණිගත කිරීම් ආයතන වල මෙන්ම දේශීය හා විදේශීය ස්වාධීන ආර්ථික විද්‍යාඥයින්ගේ විවේචනයට ලක්ව තිබෙනවා. මේ වෙද්දී, මෙම බදු ප්‍රතිපත්තිය සම්බන්ධව ඒ වෙනුවෙන් මුලින් පෙනී සිටි බොහෝ දෙනෙකු විසින්ද ස්වයං විවේචනයක් කර අවසන්. අදාළ බදු ප්‍රතිපත්තිය ආපසු හැරවීම බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක්. දැන් සිදුව ඇත්තේ එයයි .

මේ අයුරින් බදු ප්‍රතිපත්තිය ආපසු හැරවීම බලපාන්නේ කාටද?

පසුගිය 2021 වසරේදී ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටියේ 292,305 දෙනෙක් පමණයි. එනම් රටේ ජනගහණයෙන් 1.4%ක් පමණයි. මීට අමතරව, තනි පුද්ගල ව්‍යාපාර හා හවුල්කාරිත්ව 16,798ක්ද බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටියා. ලියාපදිංචි වූ පමණින් බදු ගෙවූ බව අදහස් වන්නේ නැහැ. මුල සිටම පිළිවෙළට බදු ගෙවා ගෙන ගොස් තියෙන්නේ  (APIT යටතේ) 32,702 දෙනෙකු පමණයි. ඉතිරි අයගෙන් කොපමණ පිරිසක් ඇත්තටම බදු ගෙවුවාද කියා මා දන්නේ නැහැ. 

මෙම තනි පුද්ගල ව්‍යාපාර හා හවුල්කාරිත්ව මෙන්ම වෙනත් සමිති/සංගම් ආදිය ඇතුළත්ව (පුද්ගලික හා පොදු සමාගම් හැර) පුද්ගලයින් විසින් 2021 වසර තුළ ගෙවූ බදු ප්‍රමාණය රුපියල් බිලියන 48.7ක් පමණයි (හරියටමනම් රුපියල් 48,713,743,993ක්). පෙර වසරේ ඔවුන් ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය ඊටත් අඩුයි (රුපියල් 38,480,375,114ක් පමණයි). ඉහත මුදල 2021 රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.28%ක් පමණයි. රාජ්‍ය වියදම් වලින් 1.38%ක් පමණයි.

රුපියල් බිලියන 38.5ක් හෝ 48.7 වැනි මුදලක් කොපමණ සොච්චම් ආදායමක්ද යන්න සතියකට රජය විසින් භාණ්ඩාගාර බිල්පත් විකුණා ණයට ගන්නා මුදලම වුවත් රුපියල් බිලියන 90ක් පමණ වීමෙන් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ පසුගිය දෙවසරේම රජය එකතු කළ පුද්ගල ආදායම් බදු ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ රජයේ සතියක ණය අවශ්‍යතාවය සදහා පමණයි.

දැන් සිදු කර තිබෙන බදු වැඩි කිරීම නිසා මේ තත්ත්වය කවර ආකාරයකින් වෙනස් වෙයිද?

ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ 2019 ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව රටේ ආදායම් උපයන්නන් සේ ගැනෙන පිරිස මිලියන 10.29ක් පමණ වෙනවා. ඔවුන්ගෙන් 90%ක්ම රුපියල් 79,000කට අඩු මාසික ආදායමක් උපයන අයයි. 95%ක්ම රුපියල් 115,000කට අඩු මාසික ආදායමක් උපයන අයයි. මෙම සමීක්ෂණයේ ක්‍රමවේදය අනුව, පුද්ගලයෙකු ජීවත්වන තමන්ට අයිති නිවස කුලියට දීමෙන් ඉපැයිය හැකි උපකල්පිත ආදායම වැනි මුදල් නොවන ආදායම්ද ආදායම් සේ සැලකෙනවා. එහෙත්, එවැනි මුදල් නොවන ආදයම් මත බදු අය කෙරෙන්නේ නැහැ. මුදල් ආදායම් කොටස සාමාන්‍ය වශයෙන් මුළු ආදායමෙන් 85.1%ක් පමණයි.

මේ අනුව, රටේ ආදායම් උපයන්නන්ගෙන් 95%කගේම මාසික ආදායම රුපියල් 97,865කට වඩා අඩුයි. ඊට වඩා වැඩි ආදායමක් උපයන අය ඉන්නේ 514,000ක් පමණයි. මේ පිරිසගේ ආදායම 2019 මට්ටම ආසන්නයේම (රුපියල් 100,000 මට්ටමේ ) ඇතැයි සිතුවොත් බදු ඉහළ යාම බලපාන්නේ රටේ ජනගහණයෙන් 2.4%ක් පමණ වන මෙම පිරිසටයි. බොහෝ දෙනෙක්  කියන විදිහට ආර්ථික අර්බුදය නිසා මේ අයගේ ආදායම් අඩු වී ඇත්නම් ඉහත ප්‍රමාණය තවත් අඩු විය හැකියි. එහෙත්. මා එසේ සිතන්නේ නැහැ. මා හිතන පරිදි මෙම ප්‍රමාණය මේ වන විට මීට වඩා යම් තරමකින් හෝ වැඩි වී තිබිය යුතුයි. එහෙත්, රටේ ජනගහණයෙන් 95%කටවත් මේ බදු වැඩි කිරීමේ බලපෑමක් නැහැ. 

ඉහත ඇස්තමේන්තුව මත පදනම් වුවහොත් දැනට පුද්ගල ආදායම් බදු ගෙවීම සඳහා ලියාපදිංචි වී සිටින ලක්ෂ තුනකට අඩු පිරිස තවත් ලක්ෂ දෙකකින්  පමණ වැඩි වීමට නියමිතයි. පසුගිය දෙවසර තුළ ආදායම් ඉහළ යාම සැලකූ විට මෙම වැඩිවීම ලක්ෂ හතරක් හෝ පහක් විය හැකියි. ඒ පිරිස, තව දුරටත් රටේ ඉහළම ආදායම් ලබන පිරිසයි. 

මේ වන විටත් ආදායම් බදු ගෙවන අයෙකුගේ සාමාන්‍ය මාසික ආදායම ලක්ෂ පහක් පමණ ලෙස ඇස්තමේන්තු කළ හැකියි. අලුත් බදු ක්‍රමය යටතේ එවැන්නෙකු විසින් ගෙවිය යුතු වාර්ෂික බදු ප්‍රමාණය රුපියල් 180,000 සිට රුපියල් 1,278,000 දක්වා 7.1 ගුණයකින් ඉහළ යනවා. මේ අනුව, රුපියල් බිලියන 50 පමණ සීමාවක රැඳී ඇති පුද්ගල අදායම් බදු ලැබීම් රුපියල් බිලියන 350 පමණ දක්වා ඉහළ යනවා.මෙය රුපියල් බිලියන 300ක පමණ වැඩි වීමක්.

කලින් බදු නොගෙවූ, දැන් ගෙවන්නට සිදුවන අයෙකුගේ සාමාන්‍ය මාසික ආදායම රුපියල් 150,000ක් සේ පමණ සැලකුවොත්, එක් අයෙකුට රුපියල් 42,000ක වාර්ෂික ආදායම් බද්දක් ගෙවන්න වෙනවා. මෙවැනි අය ලක්ෂ පහක් අලුතෙන් බදු දැලට අහු වුනත් රජයේ බදු ආදායම ඉහළ යන්නේ රුපියල් බිලියන 21කින් පමණයි. එය සොච්චමක් බව කිව යුතු නැහැ. මේ දෙවන කාණ්ඩය නිසා රටේ බදු විනය ඇති කිරීමේ වාසිය මිස රජයට ක්ෂණිකව විශාල ආදායමක් ලැබෙන්නේ නැහැ. 

සමස්ත චිත්‍රය දෙස බැලූ විට බදු සංශෝධනයේ බර වැඩිපුරම වගේ වැටී තිබෙන්නේ දැනටත් බදු ගෙවන, ඉහළම ආදායම් ලබන 1-2%ක පමණ පිරිසක් මතයි. එයින් ඔවුන්ගේ පරිභෝජනය මත තිරිංග වැටෙන එකක් නැහැ. මේ බදු ගෙවීමෙන් පසුවත් ඔවුන්ට තමන්ගේ පරිභෝජන මට්ටම පවත්වාගෙන යා හැකියි. ආයෝජන කෙරෙහි යම් අහිතකර බලපෑමක් ඇති විය හැකි වුවත් එය රටට දරාගත නොහැකි එකක් වීමේ ඉඩක් නැහැ. අනෙක් අතට නැවත අලුතෙන් බදු දැලට අසු වෙන අයට ගෙවන්නට සිදු වන බදු මුදල නිසා ඔවුන්ගේ පරිභෝජනය යම් තරමකින් සීමා විය හැකියි. 

රජයේ ආදායම් රුපියල් බිලියන 320කින් පමණ ඉහළ ගියා කියා සමස්ත චිත්‍රයේ විශාල වෙනසක් වෙන්නෙත් නැහැ. රුපියල් ට්‍රිලියන දෙකක පමණ අයවැය හිඟයට එයින් ලැබෙන්නේ පොඩි සහනයක්. එහෙත් අයවැය හිඟය අඩු කර ගන්න එක තනි ක්‍රියාමාර්ගයකින් පමණක් කළ නොහැකි දෙයක්. ඒ සඳහා මේ ආකාරයේ ආදායම් වැඩි කරගැනීම් එකින් එක කරන්නම වෙනවා. වියදම් පාලනය ගැනත් හිතන්න වෙනවා. 

නැවතත් බදු දැලට අසුවන කණ්ඩායම රටේ ජනගහණයෙන් 2-3%කට නොවැඩි පිරිසක් වුවත්, ඔවුන් දේශපාලනික ලෙස බලවත්ම කණ්ඩායමක්. මේ පිරිස අරගලයේද ගාමක බලවේගයක්ව සිටියා. සෘජු බදු වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි විපක්ෂයේ පක්ෂ වලට හදිසියේම බදු විරෝධයක් පහළ වී තිබෙන්නේ මේ කණ්ඩායම සතු දේශපාලන බලය නිසයි.

25 comments:


  1. පළමු රුපියල් 1,200,000 - 0% to be corrected

    ReplyDelete
    Replies
    1. මාසෙට ලක්ෂයයි.අවුරුද්දට දොලහයි.

      Delete
    2. ඔව්. රුපියල් 1,200,000 කියන්නේ ලක්ෂ දොළහක්නේ. මිලියන 1.2ක්.

      Delete
  2. ඔය ඉකොනෝ කියනවා වගේ බදු වැඩිකිරීම හොදයි. ඒ කියන්නේ අදායම මත.

    හැබැයි ඉකොනෝ දුප්පත් රජයේ සේවකයෝ වන අපි පරිප්පු ග්රෑම් දෙසිය පනහක්, සීනි පන්සියක්, පඩි දවසට සීල් අරක්කු බාගයක් වගේ ගන්න ගියාම ඒ භාණ්ඩ වලටත් බදු ගහලා තියෙන ඒකනේ.

    මාසෙට ලක්ෂයක් පඩි ගන්න මිනිහයි, ලක්ෂ 10 ක්‌ පඩි ගන්න මිනිහෙකුයි ගත්තම ඒ දෙන්නා පරිප්පු කිලෝ එකට එක සමාන බද්දක් ගෙවන එක හොදද?

    ReplyDelete
    Replies
    1. මාසෙට ලක්ෂයක් පඩි ගත්තත් ලක්ෂ 10 ක්‌ පඩි ගත්තත් කන්නේ එකම පරිප්පු ප්‍රමාණයමනම් එකම බද්දක් ගෙවන එකේ වැරැද්දක් නැහැ නේද? එහෙම නැතුව "අඩු ආදායම් පරිප්පු" හා "වැඩි ආදායම් පරිප්පු" කියලා පරිප්පු වෙන් කරන්න බැහැනේ. පරිප්පු පරිප්පුම තමයි. දුම්රිය ප්‍රවේශ පත්‍රයක් වගේ දෙයක්නම් දෙවන පංතිය හා තුන්වන පන්තිය කියලා වෙනස් කළ හැකියි. පරිප්පු නොකන අයටත් පරිප්පු වෙනුවෙන් බදු ගහනවානම් තමයි වැරදි.

      Delete
  3. තිලිනි ප්‍රියමාලි නමැති කාන්තාවක් සිදුකරයි කියන ඩොලර්, රත්‍රන් ඇතුළු මුදල් වංචාව නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වන බලපෑම කෙසේද ඉකොනෝමැට්ටා?

    ReplyDelete
    Replies
    1. දැනෙන බලපෑමක් ඇතැයි මම හිතන්නේ නැහැ.

      Delete
  4. රනිල් වික්‍රමසිංහ කියන්නෙ මං කැමති චරිතයක් නෙමෙයි. ඒත් අපි අකමැතියි කියලා මිනිහෙකුගේ දේශපාලන හැකියාව සහ නිපුණතාවය අවතක්සේරු කරන්න බෑ. මේ වෙලාවෙ දේශපාලන පිට්ටනියෙ ඉන්න වඩාත් ආකර්ශනීයම චරිතය රනිල්.

    රනිල් මේ මොහොතෙ කරන දේශපාලන සෙල්ලම මං ඉතා ආසාවෙන් බලන් ඉන්න එකක්. ඒක පොඩි ළමයින්ගෙ බෝල පාස් සෙල්ලමක් නෙමෙයි. නිකං සටන් පාඨවලින් ගොඩයන්න පුළුවන් එකක් නෙමෙයි. රනිල් කරන්නෙ මහින්ද රකින එක වගේ කතන්දර දේශපාලන ගැඹුරක් තියෙන ඕන කෙනෙකුට ජෝක්. මොකද දේශපාලනයේදි කිසි කෙනෙක් තව කෙනෙක් රකින්නෙ නෑ. තමන්ගේ බලය වෙනුවෙන් පාවිච්චි කරනවා මිස. ඒක තමයි ඒ විෂයේ හැටි. ජවිපෙ වගේ පක්ෂ විසින් විශ්වාස කරන හොඳ මිනිස්සු කියන කතාව දේශපාලන විෂයට අදාල කතාවක් නොවෙන්නෙ ඒ හින්ද. ඒවා නිකං ආර්ට් වැඩවලට හොඳ කතන්දර. දේශපාලනය කියන්නෙම මිනිස්සුන්ගෙ නරක පැත්තත් එක්ක ගනුදෙනු කිරීමට.

    රනිල් දේශපාලනයේ අන්ත පරාජයකට ලක්වෙලා හිටියෙ. මං වුනත් රනිල් දිහා බලමින් කුරිරු සතුටක් ලැබුවා. ඔය කියන තරම් ස්මාර්ට් මිනිහා අන්තිමට මොනවද කරගත්තෙ කියල උසුළුවිසුළු කළා. රනිල්ගෙ වැදගත්ම දේ තමයි ඉවසීම. බලන් ඉන්න පුළුවන්කම. ජනතා දේශපාලනයේදී තමන් දක්ෂ නැති බව හොඳින්ම පසක් කරගෙන පිට්ටනිය තමන්ට ගැලපෙන මොහ‍ොත දක්වා එනකල් රනිල් නෙට්ෆ්ලික්ස් බැලුවා. ඇත්තටම නෙට්ෆ්ලික්ස්වල ක්‍රවුන් සීරීස් එක‍ දේශපාලන විෂයට කැමති කෙනෙක් බලන්නම ඕන. ඒකෙ චර්චිල් කරන දේශපාලනය මට හරිම ආකර්ශනීය එකක්. කොටින්ම තමන්ගෙම කැබිනට් එක පවා තමන්ව එලියට දාන්න බලන් ඉඳිද්දි කලිසමේ chu යන නාකි චර්චිල් ගේම් එක ගහනවා. ඒක මාර ඉන්ස්පයරින් කැරැක්ටර් එකක්.

    රනිල්ට ජනාධිපති වෙන්න ලැබෙන්නෙ තමන්ගෙ ප්‍රබලතම ප්‍රතිවාදී පක්ෂෙ සහායෙන්. එතනදි පොහොට්ටුවට රනිල්ව ඕන වෙන්නෙ තමන්ගේ ආරක්ෂාව පිණිස. නැවත තමන් ගොඩනැගෙන තෙක් පක්ෂයක් බලයක් අහිමි දුර්වලයෙක් පාවිච්චි කිරීම කියන තැනින්. රනිල්ට සිද්ද වෙනවා ඒ අවසරෙන් තමන්ට අහිමි සියල්ල යළි දිනාගන්න. ඇත්තටම ගත්තොත් විපක්ෂයත් රනිල්ට විරුද්දයි, පොහොට්ටුවත් විරුද්දයි. ඒ හින්දම රනිල්ට සටන්පාඨ දේශපාලනය කරන්න පුළුවන්කමක් නෑ. හරිම අවදානම් පාරක, ලොකු වීර වික්‍රම නැතුව ඉතා සියුම් දේශපාලන ගේම් එකක් එයාට සෙල්ලම් කරන්න වෙනවා. වැල් පාලමේ උදාහරණය මෙතනදි හරියටම ගැලපෙනවා.

    රනිල්ට දේශපාලනය කරන්න වෙලා තියෙන්නෙ ජවිපෙ කියන විදිහෙ හොඳ මිනිස්සු එක්ක නෙමෙයි. හොර ආණ්ඩු පක්ෂයක් සහ moda විපක්ෂයක් එක්ක. අනිත් පැත්තෙන් රටේ දැවැන්තම අර්බුදයත් එක්ක. ඒ නිසා සංදර්ශන පවත්වන්න අවසරයක් නෑ. විසිල් ගහන වීරයා වෙන්න බෑ. ලංකාවෙ ජනාධිපති කෙනෙක් මුහුණ දෙන අතිශය තීරණාත්මක, අභියෝගාත්මක මොහොතකට රනිල් මුහුණ දෙනවා. ඒක බලන් ඉන්න හරිම ඉන්ටරෙස්ටින්ග්. තියුණු බුද්ධියකින්, ඉවසීමකින් කරන චෙස් ක්‍රීඩාවක් තරම්ම ආකර්ශනීයයි.

    සියල්ලන් ප්‍රතිවාදීන් වූ දේශපාලනයක තනි මිනිහෙක් කරගෙන යන මේ සටන ඉතිහාසයේ වැදගත්ම පරිච්ඡේදයක් වෙනවා. රනිල් දිහා මං බලාපොරොත්තු සහගතව බලන් ඉන්නෙ ඒ හින්ද.

    ReplyDelete
    Replies
    1. @ ඇනෝ 9.24

      හහ් හහ් හා රනිල් ගැන තවත් බයිලාවක්, ඒ පාර අලුත් එකක් බයිල නැව් ගණන්, හැබැයි දැන් නාකි මයින කියන මහින්ද ජරාපස්සගෙන් ඇහැව්වත් රනිල් තමයි යුද්ධය අවසන් කලේ ගෝටාබය පස්සට ඇද්ද කියන්නත් බැරි නැහැ ඒ ජාතියේ බඩුනේ

      ඔය වගේ රනිල්ගේ පච බලකාය 2014/15 ගහපු තව බයිලාවක් තමයි කරුණා කඩල එල් ටී ටී එක දෙකඩ කළේ රනිල් කියන බයිලාව, ඒත් සෝ කෝල්ඩ් එල් ටී ටී එක සූක්ෂමව කඩා වෙන්කරපු රනිල්ට තමන් නායකයා වුන පක්ශය කඩා වෙන්වෙලා මිනිහා විතරක් ඉතුරු වීම නවත්වා ගන්න බැරි වුනානේ 😂

      ඒ කියන්නේ , ඒ කාලේ තව දුරටත් රටේ නායකයා ලෙස හිටියා නම්. රට කඩා වෙන්වීමත් නවත්වා ගන්න බැරිවෙනවා.

      රනිල්ගේ මීඩියා චරිත මඩවලට බැහැලා මූන් ලන්කාවෙ මිනිස්සු එදත් රැවැට්ටුවා අදත් රවට්ටනවා මූ දන්නවා මී හරක් ගව සම්පතට හොද වෙලකට බස්සලා ගත්තම ඕන තරම් උම්බෑ කියාගෙන උන්ගෙ පස්සෙ එනව කියල..ඒ තරම් බහුතරයක් ඉන්නෙ කියලා මූ අත්දැකීමෙන් දන්නව ඇති .. හැබැයි ඉතින් රනිල්ගේ ඡන්ද පදනම දැන් අත්පත් කරගෙන ඉන්න සජිත් ප්‍රේමදාස හර්ෂ ද සිල්වා වගේ මෙලෝ හසරක් නොතේරෙන කිසිම විදියක ප්‍රතිපත්තියක් නැති හැකියාවක් නැති හිතෙන හිතෙන විදිහට වාචාල කතා දෙබිඩි කතා දොඩවන ලාමක චරිත වලට සහ කවදාවත් රටේ පාලන බලය අත්පත් කරගෙන වැඩක් කරන්න හැකියාවක් නැති බව පැහැදිලිව පේන හොරු අල්ලන්න කියලා ෆයිල් පෙන්වා ආඳන් මෙන් ලිස්සා යාමට පමණක් දක්ෂ අනුරලා වගේ ජවිපෙ කට්ටිය එක්ක බලද්දි සහ දූෂිත ගෝත්‍රික නාමල් කෝලම ඇතුළු යල්පැනගිය පොහොට්ටු මෝඩරැල එක්ක බලද්දි සාපේක්ෂව නම් රනිල් වික්‍රමසිංහ හොඳයි කියලා මට හිතෙනවා ඒ නිසා කතාව ඇත්ත නොවුණත් රනිල් සාපේක්ෂව වඩාත් සුදුසු නායකයෙක් කියලා කියන්න පුළුවන් වෙලාවේ හැටියට ලංකාවේ මේ වනවිට

      Delete
    2. චින්තනගේ ලේඛන ශෛලිය.

      Delete
  5. ඔය ඉකොනෝ මෙතන දක්වා ඇති දේසපාලුවන් වන හර්ෂ ද සිල්වා වගේම සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය වගේම අනුර කුමාරගේ ජාතික ජන බලවේගය වැනි පක්ෂ වලටත් කිසිම ස්ථිර ප්‍රතිපත්තියක් නෑ අවස්ථාව අනුව සටන් පාඨ මාරු කරමින් විවේචනය කරන එක පමණක් පුළුවන් අය

    ලංකාවේ දේශපාලනය තුල වගකීමක් සහ වගවීමක් සහිතව මහජන විශ්වාසය දිනා ගැනීමට පුළුවන් responsible & accountable charismatic leadership qualities තියෙන වැදගත් පුද්ගලයින් කවුරුත් නෑ

    මේ වෙලාවේ වුණත් ලංකාවේ නායකත්වය ලබා ගැනීමට පුළුවන් බය නැතුව වැඩ කරන්න තරම් පෞරුෂයක් ඇති එකම පුද්ගලයා රනිල් වික්‍රමසිංහ පමණක් බවයි බොහෝ දෙනෙක් මේ වන විට දැඩි ලෙස තේරුම් ගෙන තියෙන කාරණාව

    ආණ්ඩුවේ ඇමතිවරු අතරින් කාංචන විජේසේකර රමේෂ් පතිරණ චානක වැනි සුළු පිරිසක් ඉන්නවා වැඩක් කරන්න තේරෙන කට්ටිය විපක්ෂයේ ඉන්න අයගෙන් හිටපු කෝප් කමිටුවේ සභාපති ආචාර්ය චරිත හේරත් උද්ධික ප්‍රේමරත්න වගේ අය ඉදිරියේ දී සාර්ථක විය හැකි බව පේනවා මම හිතන්නේ අරගලයට සම්බන්ධ තරුණ තරුණියන් අතර සිටි දක්ෂ බුද්ධිමත් කාර්යශූර පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එකතු කරගෙන එය හොඳින් ප්‍රතිසංස්කරණය කර නැවත ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍යයි කියලයි

    නැත්නම් ලංකාවේ ඉදිරි අභියෝග වලට මුහුණ දීමට හොඳ ශක්තිමත් බලවත් නායකත්වයක් නොමැති වීම රාජපක්ෂ පවුල සහ ඒ සමගම සම්බන්ධ කල්ලි කණ්ඩායම් නැවත බලවත් වී නාමෝල් කුමාර් නැවත රාජාභිෂේක කිරීමක් දක්වා යන බව පේනවා සජිත් ප්‍රේමදාස සහ ජවිපෙ ගැන ලංකාවේ බහුතර ජනතාවට දැනෙන විශ්වාසනීය භාවය මදි රනිල්ට උනත් මහජන සහයෝගය ලැබෙන්නේ නැහැ යන්තම් විදේශ රටවල සහය ඇතුව පොහොට්ටු පක්ෂයේ දේශපාලනික සහයෝගය ලබා ගෙන ඇදගෙන යනවා විතරයි

    මේ දවස්වල ලංකාවේ කොළඹ නගරය ඇතුළු ඒ අසන්න ජනාකීර්ණ ප්‍රදේශවල ජීවත් ජනතාව කෙමෙන් ගම් පළාත් වලට සංක්‍රමණය වෙමින් සිටිනබව ලංකාවේ මාධ්‍ය වාර්තා වල මම දැක්කා

    කොළඹ නගරය ඇතුළු එම ප්‍රදේශවල ජීවන වියදම අධික ලෙස ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගනිමින් සිටින බවත් ඒ සංක්‍රමණය වන පිරිසෙන් වැඩි දෙනෙක් කොළඹ නාගරික මහල් නිවාස වල ජීවත්වන බැවින් සියලුම දේ වෙළඳපළින් මිලදී ගැනීමට සිදුව ඇති හෙයින් අධිකතර උද්ධමන තත්ත්වය ඔවුන්ට වැඩි වශයෙන් දැනෙන බවත් වාර්තා වී ඇති පසුබිමක ලංකාවේ කොළඹ නගරයේ ඉඩම් වල මිල ගණන් අඩු වෙයි කියලා මම හිතනවා ඒ වගේම මේ දවස් වල ලොව පුරා ඇති ආර්ථික විශේෂඥයින් සාකච්ඡා කරන 2022/ 2023 වසරවල එංගලන්තය යුරෝපය පුරා පැතිර යන ආර්ථික අවපාතය සහ 2023 ඇමරිකන් එක්සත් ජනපදයේ දැවැන්ත ආර්ථික කඩාවැටීම සමගම ලංකාවටත්එය
    බලපායි බොහෝ දුරට

    ඇත්තටම ඉකොනොමැට්ටා 2023/24 කාලයේ දී ලොව බලවත් වන බව පැවසෙන ඔපෙක් ප්ලස් රුසියන් චීන සෞදි අරාබි බල කඳවුර ලංකාවේ ආණ්ඩුව නැවත වතාවක් මාරු කරයිද? ඒ වගේම ඔවුන් රාජපක්ෂ කල්ලියේ නියෝජිතයෙක් ලංකාවේ මීළඟ රාජ්‍ය නායකයා ලෙස පත් කරයිද?

    ඉන්දියාව රුසියන් චීන කඳවුර සමග ඩබල් ගේමක් දෙයි කියලා බොහෝ ගෝලීය දේශපාලන විශ්ලේෂකයන් හිතන්නේ ඒ නිසා ඉන්දියාව වුණත් විරුද්ධව මොනවත් කරන එකක් නෑ නේද?

    ReplyDelete
  6. මේ ප්‍රකාශය හර්ෂ ගේ political hypocrisy එක expose වෙන බවයි මගේ හැගීම. විශේෂයෙන්, ඔහු address කරන audience එකට බොහොම obviously පේනවා. සමහරවිට සජබ තුල internal pressure එක නිසා එහෙම ප්‍රකාශ කළා විය හැකියි. නමුත් මේක හර්ෂගේ political අනාගතයට අහිතකර බවයි මට හිතෙන්නේ.

    ReplyDelete
  7. බදු විරෝධය සදහා හේතු වී ඇත්තේ 2-3%වන පිරිසකගේ බලපෑම පමණක්ද? බොහෝවිට රු 100000.00 වඩා වැඩි වැටුප් ලබන්නේ පෞද්ගලික අ0ශයේ අය. ඔවුන් එම ආයතනවල බොහෝවිට විධායක නිළධාරීන්. ඔවුන් ලබන වැටුප් අතිශය සාධාරණයි . මන්ද ඔවුන් එම වැටුප් ලබන්නේ අතිශය සාධාරණ වැඩ කොටසක් කිරීමෙන් පසුව. ඊට සරිලන අධ්‍යාපන සුසුදුසුකම් සපුරලා තියෙනව.
    නමුත් රාජ්‍ය සේවය එසේ නොවේ. ඔවුන් අතිශය බහුතරයක් අනවශ්‍ය බදවාගැනීම්. මේ අය යැපෙන්නේ පෞද්ගලික අන්ශය මත. නමුත් ඔවුන් සමහරෙකුට වාහන පර්මිට් පවා ලබාදෙනව.
    නමුත් පෞද්ගලික අ0ශය තම ආයතනය විසින් ගෙවන බදුවලට යටත්. වක්‍ර බදු ගෙවනව කොහොමත් . මේ වැටුප් ගෙවන්නෙ සියලු බදු ගෙවීම්වලින් පසු. අවසන ඒ වැටුපටත් බද්දක් අය කිරීම සාධාරණ නැත. ඒ ඔවුන්ගෙ හැකියාව. දක්ෂතාවය සහ කැප කිරීමට ලබන ප්‍රතිලාභය..ඉන් සොරගෙන රජයක් නඩත්තු කිරීම සුදුසු නැත. මේ බොහෝ අයගෙ දරුවො ඉගෙනගන්නෙ පෞද්ගලික පාසල්වල. ප්‍රතිකාර ගන්නෙ රජයේ තක්කඩි රෝහල්වලින් නොවේ. ඔවුන්ට රක්ෂණ ආවරණ තියෙනව. බහුතරයක් රජය මතම යැපෙනව නොවෙයි. එවැන්නන්ගෙන් බද්දක් අයකිරීම සාදාරණ නැත. මේක කරන්න තිබුනෙ පිනට කන රු 50000.00 විතර ගන්න රජයේ රැකියා කරන අයගෙන්. උන් ඉන්නෙම නිකන්. රජයේ 100000.00 ගන්න අයගෙන් මේක අයකලත් එයාල ගෙවන්නෙ අතිකාල හෝ ගමන් වියදම් වැඩිකර ගැනීමෙන්.
    නමුත් පෞද්ගලික ආයතන වැටුප් ගෙවන්නෙ වෙහෙසවී වැඩකරන අයට
    අයට. ඒ එයාලගෙ ලාබය. social safety net කිය කිය සරදියල් පන්නයේ හොරකමක් කිසිසේත් උචිත නැත. මන්ද මෙය තනිකරම වෙහෙස වී උපයන වැටුපට කෙලීමක් නිසා. ඔවුන් ඉහල වැටුප් ලැබීම අනිත් නිකමුන්ගේ වැරද්දක් නොවේ. රජයක් කරන්න ඕන එයාලටත් වැඩි වැටුප් ලැබෙන ක්‍රම සකස් කිරීම මිසක් මේ වනවිට ලබන අයට කෙලවීම නොවේ. අපි ලන්කාවෙන් යන්නම යනව. වෙන රටක පාර අතුගෑවත් මීට සැපයි.

    ReplyDelete
    Replies
    1. ආර්ථික කරුණු හා අදාළව සාධාරණත්වය පිළිබඳ එකිනෙකට වෙනස් දේශපාලනික අදහස් ප්‍රවර්ග දෙකක් තිබෙනවා. ලිබටේරියානු එහෙමත් නැත්නම් ධනවාදී අදහස ධනය වියදම් කරන ආකාරය තීරණය කිරීමේ අයිතිය ඉපැයීම් වලට අනුරූප විය යුතුයි කියන එක. මෙහි තර්කානුකූල ආන්තික තත්ත්වයකදී ජීවත් වෙන්න ප්‍රමාණවත් ආදායමක් නූපයන අයට, ආදායම් උපයන අයගේ අනුකම්පාව නැත්නම්, මැරෙන්න වෙනවා. අනෙක් පැත්තෙන් සමාජවාදී අදහසේ තර්කානුකූල ආන්තික තත්ත්වය වන්නේ සියල්ලන්ටම සමාන පරිභෝජනයක් කළ හැකි බෙදීමක්, වැඩියෙන් නිපදවන අයෙකුගේ දේ අඩුවෙන් නිපදවන අයෙකුට ලැබෙනවා. ලෝකයේ කිසිම රටක් ඔය අන්ත වල නැහැ. හැම රටක්ම වගේ ඉන්නේ මැද තැනක. එහිදී ආදායම් උපයන අයට එම ආදායම් වියදම් කිරීමට සැලකිය යුතු ඉඩක් ලැබෙන නමුත් එයින් කොටසක් අනෙක් අය වෙනුවෙන් වැය කරන්නත් සිදු වෙනවා. බදු කියන්නේ ඒ කොටස. සාමාන්‍යයෙන් මිනිස්සු රජය විසින් අනෙක් අයට බදු ගහලා තමන් වෙනුවෙන් වියදම් කරනවාට කැමතියි. නමුත් තමන්ගෙන් බදු අය කරනවාට කැමති නැහැ. ඔබ ලියා තිබෙන ගොඩක් දේවල් ගැන මට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. නමුත් කරුණු දෙකක් ගැන යමක් කිව හැකියි.

      //රජයක් කරන්න ඕන එයාලටත් වැඩි වැටුප් ලැබෙන ක්‍රම සකස් කිරීම මිසක් මේ වනවිට ලබන අයට කෙලවීම නොවේ. //

      රජයට "එයාලටත් වැඩි වැටුප් ලැබෙන ක්‍රම" සකස් කරන්නනම් අනෙක් අයට බදු ගහන්නම වෙනවා. වෙන ක්‍රමයක් නැහැ. ඔබට තියෙන්නේ තේරීම් දෙකකින් එකක් පමණයි.

      1. ඔබ උපයන දෙයින් විශාල කොටසක් බදු ලෙස අය කර ගනිමින් රජය නඩත්තු කිරීම වෙනුවෙන් පෙනී සිටීම. බදු වැඩි කරද්දී "අපිට කෙළවනවා" කියා නාහෙන් අඬන්න ඔට්ටු නෑ!

      2. අපිට කෙළවන්නේ නැතුව "ආදායමක් නැති අයට මැරෙන්න අරින්න" "රජයේ සේවකයින්ට කෙළවන්න" කියා කෙළින්ම කියන එක. බදු ගෙවන්න කැමති නැති වන අතරම "එයාලටත් වැඩි වැටුප් ලැබෙන ක්‍රම" ගැන කතා කරන්න බැහැ. ඔය දෙකම එකවර ක‍රන්න ගිහින් තමයි ලංකාවට මෙච්චරම කෙළවෙලා තියෙන්නේ.

      //අපි ලන්කාවෙන් යන්නම යනව. වෙන රටක පාර අතුගෑවත් මීට සැපයි.//

      සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ඔය කතාව කියන්නේ ලංකාවේ රජයෙන් මොනවා හෝ අනිසි වාසි ගන්න සහ ඒ බව දන්නා අය. ඔය කිවුවට ඔහොම කියන ගොඩක් අය රටින් යන්නේ නැහැ. යන කෙනා යනවා මිසක් කිය කියා ඉන්නේත් නැහැ. කොයි රටකට ගියත් කට වහගෙන බදු ගෙවන්න වෙනවා. වෙන බොහෝ රටවලදී ලංකාවේදී වගේ ලේසියෙන් බදු වලින් බේරෙන්න බැහැ.

      Delete
    2. ඔබ දන්නවා රාජ්‍ය සේවක වැටුප සහ විශ්‍රාම වැටුප් ගෙවීමට රු.මි.1 115 507 ක් ඕන. නමුත් ණය පොලී ගෙව්වහම ඉතිරි රු.මි . 408 669 ක් විතරයි. අධ්‍යාපනය සෞඛ්‍ය වගේ නොමිල වියදම් මේකට එකතු කළොත් තවත් රු.මි. 697 735 ක් ඕන. ඔබ කියන විදියට මේ සදහා විකල්පය බදු වැඩි කිරීම. ලොව බොහෝ උදාහරණ සමගින් කියන්නෙ ඒ දේ සාධාරණ බව.
      නමුත් මම කිව්වෙ මේ අතිශය නිෂ්ඵල රාජ්‍ය සේවය අප තවදුරටත් නඩත්තු නොකල යුතු බව. ඉන් රාජ්‍ය සේවකයාට කෙලවෙනවා වියහැකි නමුත් මෙය නඩත්තු කිරීමට බදු වැඩි කිරීමනම් සාධාරණ නැත. ඉහළ බදු අයකරන රටවල ආධායමින් කුමන ප්‍රතිශතයක් රාජ්‍ය සේවයේ වැටුප් සදහා වැය කරනවාද යන්න මා සොයා බැලුවේ නැතත් මේසා විශාල ප්‍රතිශතයක් නොවේ. ඔබ ලන්කාවට ආ විටක නිකමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගොඩවී බලන්න.එවැන්නක් නඩත්තු කිරීමට පෞද්ගලික අංශයේ බහුතරයකින් උපයන විට බද්දක් අය කිරීමේ සාධාරණත්වයක් මටනම් ඇත්තේ නැත. අන්ත ලිබරල් අදහසක් වුවද ඒ වියදම් කපාහැරීමට නිර්භීත තීන්දු නොගන්නා තරමට බදු අයකිරීම හැර විල්පයක් නැත. බදු වැඩි කිරීමේදී නාහෙන් අඩන්නේ මේ අතිශය නිෂ්ඵල වියදම මා ඇස ගැටෙන නිසාවෙනි.
      එයාලට වැඩි වැටුප් ලැබෙන ක්‍රම ලෙස ඔවුන් නිකරුණේ රාජ්‍ය සේවයට බඳවා නොගෙන සිටීමම ප්‍රමාණවත් වනු ඇත. එවිට දක්ෂතාවය අනුව වැඩි වැටුප් සහිත රැකියා ජනිත වීම මෙන්ම සොයාගැනීමද කරනු ඇත. රජයක වගකීම නිකමුන්ට රැකියා බෙදා දී අනිත් අය උපයන දෙයින් නඩත්තු කිරීම නොවේ. එබැවින් නාහෙන් නොව අපටනම් සැබෑවටම ඇඬෙනවාය.

      Delete
  8. අයවැයෙන් අමාත්‍යාංශවලට මුදල් වෙන් වන්නේ මෙහෙමයි

    (සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

    ලබන වසර (2023 ) සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) පාර්ලිමේන්තුවට හෙට (18 වැනිදා) ඉදිරිපත් කෙරේ.

    මෙම පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ වියදම රුපියල් කෝටි හත් ලක්ෂ අසූ හත් දහස් නවසිය හතළිස් නවය ඉක්මවයි. වැටුප් ගෙවීම් ඇතුළු එදිනෙදා කටයුතුවලට අවශ්‍ය වන පුනරාවර්තන වියදම් සඳහා රුපියල් කෝටි හාරලක්ෂ හැටතුන්දහස් හාරසියයකට අධික මුදලක් වෙන් කර තිබෙන අතර සංවර්ධන ව්‍යාපෘති සඳහා වන මූලධන වියදම් වෙනුවෙන් වෙන් කෙරෙන මුදලරුපියල් කෝටි තුන් ලක්ෂ විසි හතර දහස් හාරසියය ඉක්මවා ඇත.

    ලබන වසර සඳහා වැඩිම මුදලක් වෙන් කෙරෙන්නේ රාජ්‍ය පරිපාලන , ස්වදේශ කටයුතු ,පළාත්පාලන සහ පළාත්සභා අමාත්‍යාංශය වෙනුවෙනි. එම මුදල රුපියල් කෝටි අසූ පන් දහස් හයසිය විසි පහක් වෙයි. මුදල් අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි හැට එක් දහස් තුන්සිය අනූ තුනකට අධික මුදලක් ද ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි හතළිස් එක් දහසක් ද වෙන් කෙරේ.

    එමෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි තිස් දෙදහස් දෙසියයකට ආසන්න ය.

    ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි තිස් හත් දහස් දෙසිය හැට හතරකට අධික මුදලක් ද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි එකොළොස් දහස් පන්සියයක් ද වෙන් කර ඇත.

    රුපියල් කෝටි විසිතුන් දහස්දෙසියයක් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා ද රුපියල් කෝටි තුන්දහස් හත්සිය විස්සක් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සඳහා ද වෙන් කර තිබෙන අතර ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන් කෙරෙන මුදල රුපියල් කෝටි තුන්සිය හැත්තෑ අටකට අධික ය.
    ...
    ළමා දිනය හා ගුරු දිනය මහජන මුදල් රුපියල් බිලියනයක නාස්තියක්

    අජිත් පැරකුම් ජයසිංහ

    බදු සල්ලි නාස්ති වෙන එක ගැන කතාකරනකොට පාර්ලිමේන්තු කැන්ටිමේ බත්එක වගේ ඒවා තමයි බොහෝ අයට මතක් වෙන්නෙ. ඔය බත්එක එතන සේවකයොත් කනවා. ඔය වගේ කෑම දෙන එක වරායෙත්, ගාමන්ට්වලත් කරනවා. ඒකට හේතු රැසක් තියෙනවා. පාර්ලිමේන්තුව වගේ තැනක නම් කෑම කන්න බත්තරමුල්ලටවත් යන්න වෙනවා. එමගින් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න වගේ ගැටලු රැසක් මතුවෙනවා. ඒක ගැන ආඩපාලි කියන එක වාමාංශිකයන්ගෙන් එන කුහකකමක්. කාලා බීලා පුරුදු මිනිසුන්ට ඔය බත්එක සුළු දෙයක්. එන්ජීඕ ඉවන්ට්වලදි ඔයිට වඩා හොඳට කන්න දෙනවා.

    බදු මුදල් නාස්තිය නැතිකරන්න ඕනැ ඔය වගේ දේවලින් නෙමෙයි. උදාහරණයක් විදියට, පහුගිය දවස්වල ළමා දිනයේත්, ගුරු දිනයේත් වැඩකට නැති චොකා බයිලා නැටීම වෙනුවෙන් රට පුරා පාසල්වල අධ්‍යාපන කාලය නාස්ති කළා. බොහෝ පාසල්වල ඒ දවස් දෙකම හරියට ඉගැන්නුවේ නැහැ. ඊට කලින් ඔය ගුරු නැටුම් පුරුදු වුණෙත් දරුවන්ගෙ පන්තිවලට උගන්නන්නැතුව පාසල් වෙලාවෙමයි.

    පාසල් 10,000කට ආසන්න ප්‍රමාණයක ගුරුවරුන් 250,000කට ආසන්න ගණනක හා ලක්ෂ 40ක දරුවන්ගෙ අධ්‍යාපන කාලය මේ විදියට නාස්ති වුණා නම්, දවසක ගුරු පඩිය විතරක් සාමාන්‍යය රු. 2,000 ගානෙ ගණන් හදලා බලන්න. එතන රු. 500,000,000. රු. මිලියන 500ක්. දවස් දෙකට රු. බිලියනයක්.

    බදු සල්ලි නාස්ති වෙන ප්‍රධාන විදි තමයි ඒ. මේක ගත්තෙ ජනප්‍රිය උදාහරණයක් නිසා. ඇතැම් රජයේ නිලධාරීන් රැකියා කරන විදිය ගැන ඔබ හොඳින් දන්නවා. සමහරුන් ගන්නා පඩියට වැඩි වටිනාකමක් දෙන බවත් කිව යුතුමයි.

    සංස්ථා, මණ්ඩල, අධිකාරි, විශ්වවිද්‍යාල ආදියත් ඇතුළුව ලක්ෂ 16ක් රාජ්‍ය නිලධාරීන් දවසකට එක ඒෆෝ කොලයක් නාස්ති කළත් එතන ඒෆෝ බන්ඩල 32,000ක්. ලක්ෂ 16ක් කියන්නෙ විශාල සංඛ්‍යාවක්.

    මැති ඇමතිවරුන් කරන නාස්තිය ගැන වගේම මේ ගැනත් හිතන්න. රට වෙනුවෙන් වැඩ කරන්න.
    .......
    ඉකොනෝ,

    රජයේ පාසල් වල සේවය කරන ගුරුවරුන්ගේ පඩි සදහා එන වසරේ රුපියල් කෝටි දහඅට දහසක් අවශ්‍යයි. අධ්‍යාපනය අමාත්‍යාංශයට වෙන්කර ඇත්තේ කෝටි රුපියල් කෝටි විසිතුන් දහස්දෙසියයක්. පඩි ගෙව්වම ඉතිරි සොච්චමක් නේද ඉකොනෝ පාසල් ළමුන් ලක්ෂ 40 ට මෙන්ම පාසල් 10,000 ට හිමි වන්නේ?

    එහෙම නැත්තන් රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ අදාළ අමාත්‍යාංශයට වසරේ වෙන් කරන මුදලෙන් නෙමෙයිද? වෙනමද ?

    ජනාධිපතිට වෙන්වෙන මුදල් වැය ශීර්ෂය යටතේද ජනාධිපති මාධ්‍ය අංශය ක්‍රියාත්මක වන්නේ ?

    මහාබැංකුවට මුදල් මැවිය හැකි නිසා එම ආයතනය ඇතුලත් වන අමාත්‍යාංශය කොහොමද නිශ්චිතවම මුදලක් වෙන් කරන්නේ? අවශ්‍ය නම් මුදල් මවා ගන්න පුළුවන්නේ.

    ReplyDelete
    Replies
    1. 1. මට අයවැය ඇස්තමේන්තු ගැන හදාරන්න ඉඩක් ලැබුණේ නැහැ. කෙසේ වුවත්, අධ්‍යාපනය සඳහා යන වියදම් කියන්නේ ප්‍රධාන වශයෙන්ම ගුරු වැටුප්. උසස් අධ්‍යාපන වියදම් බොහෝ දුරට අධ්‍යයන හා අනධ්‍යයන සේවක වැටුප්. සෞඛ්‍ය වියදම් කියන්නේ සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප්. ආරක්ෂක වියදම් කියන්නේ හමුදා වැටුප්. අමාත්‍යාංශ වලට වෙන් කරන වැටුප් වැඩි වශයෙන්ම යන්නේ වැටුප් සඳහා. මුදල්, මහා මාර්ග වගේ ඒවා තමයි ටිකක් වෙනස්.

      2. මම හිතන්නේ එහෙමයි. වැරදි වෙන්න පුළුවන්.

      3. මහ බැංකුව ස්වාධීන ආයතනයක්. මහ බැංකුවේ වියදම් වෙනුවෙන් රජය මුදල් වෙන් කරන්නේ නැහැ. ඒ නිසා එය රාජ්‍ය අයවැයේ කොටසක් නෙමෙයි. සාමාන්‍යයෙන් මහ බැංකුව කිසියම් ඇමතිවරයෙකු යටතට වැටෙනවා. බොහෝ විට මුදල් ඇමති යටතට. එහෙත්, ඇමතිවරයාට වුවත් මහ බැංකු අධිපතිට බලපෑම් කරන්න බැහැ. මහ බැංකු සේවකයෝ රාජ්‍ය සේවකයෝ නෙමෙයි. ඔවුන්ට වැටුප් ගෙවන්නේ මහ බැංකුව විසින් උපයන හෝ අච්චු ගහන සල්ලි වලින්. රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවන්නේ බදු මුදල් වලින්. එසේ නැත්නම් කාගෙන් හරි ණයට ගන්න සල්ලි වලින්. රජය මහ බැංකුවෙන් ණයට සල්ලි ගනිද්දී තමයි සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ. තාක්ෂණික ලෙස බැලුවොත් ඒ විදිහට ගන්න ණය රජය විසින් ආපසු ගෙවිය යුතුයි.

      Delete
  9. මගේ ප්‍රතිචාරය ඵල කලේ නැත.😆😆

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න. දවස් කිහිපයක් නිවසෙන් පිට හිටියේ. පෞද්ගලික සංචාරයක් නිසා ලැප්ටොප් එක අරගෙන ගියේ නැහැ. ගෙදර පැමිණි පසු ප්‍රතිචාර අනුමත කර නිදහස් කළා.

      Delete
  10. 2022 වසරේ රාජ්‍ය ණය ලබාගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 663 කින් රුපියල් බිලියන 3844ක් දක්වා ඉහළ නැංවීම සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
    බදු ඉහළ නැංවීමට අමතරව රජය ණය සීමාව ද ඉහළ නැංවීමෙන් අඟවන්නේ රාජ්‍ය වියදම් අඩුකිරීමට සූදානමක් නැති බවද?

    ReplyDelete
    Replies
    1. වැඩි කළ බදු වලින් 2022 අයවැයට විශාල බලපෑමක් වෙන්නේ නැහැ.

      Delete
  11. ඹැඳුම්කර සම්බන්ද ප්‍රශ්නය්ක් තියෙනවා පිලිතුරක් දෙන්න පුලුවන්ද?
    අපි උදාහරනයකට අවුරුදු 10ක බැඳුම්කරයක් ගත්තොත් යීල්ඩ් එක 20, කූපන් රේට් එක 15 වෙන, මේකෙ පොලිය හම්බවෙන්නෙ මාස 6න් 6ටද? කල්පිරෙනක්න් පොලිය නොගෙන ඉන්න බැරිද වැල් පොලිය වෙන්න?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: