වෙබ් ලිපිනය:

Tuesday, October 4, 2022

ණයහිමියන්ගේ පැරිස් සංසදය


ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කෙරෙන ගොඩක් තැන් වලදී ණයහිමියන්ගේ පැරිස් සංසදය නොහොත් පැරිස් ක්ලබ් එක ගැන සඳහන් වෙනවා. මොකක්ද මේ පැරිස් සංසදය?

කෙටියෙන් කිවුවොත්, පැරිස් සංසදය සම්ප්‍රදායික ණයහිමියන්ගේ අවිධිමත් එකතුවක්. ආරම්භයේදී මෙහි සිටියේ රටවල් එකොළහක් පමණයි. දැන් මේ ගණන 22 දක්වා වැඩි වෙලා. වැඩි හරියක්ම බටහිර රටවල් වුනත්, රුසියාව හා බ්‍රසීලය වැනි රටවල්ද මේ ගොඩේ ඉන්නවා. නමුත්, චීනය නැහැ. ඉන්දියාවත් තවම නැහැ. 

විදේශ ණය ගෙවීම පැහැර හැරීම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, ගෙවුම් ශේෂ අර්බුද, IMF වැඩ සටහන් ආදිය ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට අමතක නොකෙරෙන රටක් වන්නේ ආජන්ටිනාවයි. පැරිස් සංසදය ගැන කතා කරද්දීත් ආජන්ටිනාව මග හැර යන්න බැහැ.

මීට වසර 67කට පෙර, 1955 සැප්තැම්බර් 21 වෙනිදා ආජන්ටිනාවේ ජනාධිපති හුවං දොමින්ගෝ පෙරොන්ව (Juan Domingo Perón) නිදහසේ විප්ලවය (Revolución Libertadora) ලෙස නම් කෙරුණු හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කෙරෙනවා. දොමින්ගෝ පෙරොන් වමට බර දේශපාලනයක් කළ අයෙක්. ඔහුව බලයෙන් පහ කිරීමෙන් පසුව, නැවත මැතිවරණයක් පැවැත්වෙන්නේ 1958දී. ඔය අතර කාලයේදී හමුදා කුමන්ත්‍රණයේ ප්‍රබල චරිතයක් වූ හිටපු හමුදා ජෙනරාල් පේද්රෝ අරම්බුරු (Pedro Eugenio Aramburu Silveti) ආජන්ටිනාවේ ජනාධිපති සේ කටයුතු කරනවා. 

හමුදා කුමන්ත්‍රණය හරහා බලය ලබා ගන්නා පේද්රෝ අරම්බුරුගේ ආණ්ඩුවට බටහිර රටවල හොඳහිත අවශ්‍ය වෙනවා. ඔහු බලය තහවුරු කරගත් සැණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හා ලෝක බැංකුවේ සාමාජිකත්වය සඳහා අයදුම් කරනවා. ඒ වන විට ආජන්ටිනාව මේ ලෝක සංවිධාන වල සාමාජිකත්වය ලබා ගෙන නැහැ. හමුදා කුමන්ත්‍රණයෙන් වසරකට පසුව 1956 සැප්තැම්බර් 20 වෙනිදා ආජන්ටිනාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා ගන්නවා. එතැන් සිට 21 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගෙන තිබෙන ආජන්ටිනාව ඒ අතින් ලංකාවට වඩා ඉදිරියෙන් ඉන්න රටක්. ඒක වෙනම කතාවක් නිසා පැත්තකින් තියමු. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකත්වය ලබා ගන්න කලින්, ඒ සඳහා වන කොන්දේසියක් විදිහට, ආජන්ටිනාවේ ආණ්ඩුවට තමන් විසින් ඒ වෙද්දී අරගෙන තිබෙන විදේශ ණය ආපසු ගෙවන පිළිවෙළ ගැන සහතිකයක් දෙන්න අවශ්‍ය වෙනවා. මේ ගැන කතා කරගෙන එකඟතාවයකට පැමිණීම සඳහා ආජන්ටිනාව විසින් තමන්ගේ ප්‍රධාන ණයහිමියන්ට ආරාධනා කරනවා. ඒ අනුව, ආජන්ටිනාවේ ප්‍රධාන ණය හිමියන් වූ රටවල් 11ක නියෝජිතයින් පැරිස් නුවරදී රැස් වෙනවා. ඕක තමයි පැරිස් සංසදයේ ආරම්භය.

ණයහිමියන්ගේ මේ රැස්වීම සංවිධානය කරන්නේ ප්‍රංශයේ ආර්ථික කටයුතු ඇමති විසින්. 1956 මැයි 14-16 දින තුන තුළ මෙම සමාරම්භක රැස්වීම පැවැත්වෙනවා. ඔය එකතුව තමයි පසුව ණයහිමියන්ගේ පැරිස් සංසදය විදිහට පරිණාමය වෙන්නේ. 

මේ වන විට පැරිස් සංසදයේ ස්ථිර සාමාජිකයින් ගණන 22ක්. ඒ, ඕස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව, බෙල්ජියම, බ්‍රසීලය, කැනඩාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඊශ්‍රායලය, ඉතාලිය, ජපානය, දකුණු කොරියාව, නෙදර්ලන්තය, නෝර්වේ, රුසියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය හා ඇමරිකා එක්සත් ජනපදයයි. මසකට වරක් පැරිස් නුවරදී පැවැත්වෙන මේ ස්ථිර සාමාජිකයින්ගේ රැස්වීමට ඔවුන්ගේ ආරාධනය මත වෙනත් රටවලටද සහභාගී විය හැකියි. චීනය හා දකුණු අප්‍රිකාව වැනි රටවල් රැස්වීම් වලට එසේ සහභාගී වී තිබෙනවා. 

පසුගිය වසර 66ක කාලය තුළ පැරිස් සංසදය විසින් ණයගැති රටවල් 102ක් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් 478ක් සිදු කර තිබෙනවා. ප්‍රතිව්‍යුහගත කර ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 612ක්. පසුගිය 2021 වසර අවසන් වන විට ණයගැති රටවල් විසින් ඩොලර් බිලියන 334ක ණය ප්‍රමාණයක් පැරිස් සංසදයේ රට වලට ගෙවිය යුතුව තිබුණා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ගැන මීට පෙර ලංකාවේ ලොකු කතාබහක් ඇති වී නැහැ. එහෙත්, පැරිස් සංසදය විසින් මීට පෙරද ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදු කර තිබෙනවා. සුනාමියෙන් පසුව සිදු කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීම එවැනි අවස්ථාවක්. පැරිස් සංසදයේ රටක් සමඟ නොවුනත්, හම්බන්තොට වරාය හැදීමට චීනයෙන් ලබාගත් ණයද ලංකාව විසින් ප්‍රතිව්‍යුහගත කර තිබෙනවා. 

ලංකාවේ මේ මොහොතේ ණය වලින් පැරිස් සංසදයේ රටවල ණය ප්‍රමාණය විශාල ප්‍රමාණයක් නෙමෙයි. එහෙත්, හේතු ගණනාවක් නිසා ලංකාව පැරිස් සංසදය සමඟ ඇති කරගන්නා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ එකඟතාවය ඉතාම වැදගත්. එක පැත්තකින්, මේ කණ්ඩායමේ ඉන්නේ ලෝක දේශපාලනය තීරණය කරන ලොක්කෝ ටික. ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන පාලනය කරන නූල් ටික තියෙන්නෙත් මේ කණ්ඩායම අතේ. (මීට පිටින් ඉන්න චීනයත් ලොක්කෙක් තමයි!) දෙවනුව, ලංකාවේ ණය වලින් බාගයක් පමණ වාණිජ ණය වුවත් අදාළ ණයහිමියන් බොහෝ දෙනෙක් ඉන්නේද පැරිස් සංසදයේ රටවලයි. ඒ රටවල රජයයන් සමඟ ඇති කර ගන්නා එකඟතාවය වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහිද බලපෑමක් කරනවා. 

පැරිස් සංසදයේ දත්ත අනුව, 2021 අවසානයේදී ලංකාව පැරිස් සංසදයේ රටවලට ඩොලර් මිලියන 4,266ක් ණයයි. ලංකාවේ දත්ත අනුව, 2022 ජූනි අවසානයේදී මෙම ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4,780ක්. එයින් ඩොලර් මිලියන 2,741ක්ම ණය ජපානයටයි. මෙයට සාපේක්ෂව, පැරිස් සංගමයෙන් පිටත සිටින චීනයට ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 7,324ක්. 

පැරිස් සංගමය කියන්නේ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන් කිසියම් ජාත්‍යන්තර සම්මුතියක් හෝ ප්‍රඥප්තියක් හරහා පිහිටුවා ගනු ලැබූ නෛතික ආයතනයක් නෙමෙයි. ඇත්තටම කියනවානම් පැරිස් සංගමය කියා ආයතනයක් නැහැ. එය ආයතනයක් නොවන ආයතනයක්!

පැරිස් සංගමය එහි සාමාජිකයින්ගේ අවධිමත්, ලිහිල් එකතුවක් පමණයි. පැරිස් සංගමයේ තීරණ ක්‍රියාත්මක වන්නේ තනිකරම සම්මුතිය හා අන්‍යෝන්‍ය විශ්වාසය මතයි. කෙසේ වුවත්, වසර 66ක් මෙම ආකෘතිය "වැඩ කර" තිබෙනවා. පැරිස් සංගමය පිහිටුවීමේ අරමුණ මෙම ණයහිමි රටවලට ලැබිය යුතු ණය කාර්යක්ෂම සේ අය කර ගැනීම මිසක් ණයගැති රටවලට සහන දීම නෙමෙයි. එවැන්නක් සිදුවේනම් එය අතුරු ප්‍රතිඵලයක් පමණයි.

පැරිස් සංගමය ක්‍රියාත්මක වන ප්‍රධාන මූලධර්ම හයක් තිබෙනවා.

1. සහයෝගීතාවය (Solidarity) - සියලුම සාමාජිකයින් කණ්ඩායමක් ලෙස මිස තනි තනිව ණයගැති රට සමඟ ගනුදෙනු නොකිරීම 

2. සම්මුතිය (Consensus) - සෑම සාමාජික රටකම එකඟත්වයෙන් පමණක් තීරණ ගැනීම. මේ අනුව, ඕනෑම එක් සාමාජික රටකට තීරණයක් ආපසු හැරවිය හැකියි.

3. සාමාජික රටවල් අතර තොරතුරු හුවමාරු කර ගැනීම (Information sharing) 

4. පොදු රාමුවක සිර නොවී, එක් එක් ණයගැතියා හා අදාළව වෙන වෙනම තීරණ ගැනීම (Case by case) 

5. කොන්දේසි යටතේ පමණක් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීම (Conditionality) - පිළිගත හැකි සාර්ව ආර්ථික වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීම හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවකට පැමිණ සිටීම මෙන්ම මීට පෙර ඇති කරගත් එවැනි වැඩ පිළිවෙළවල් ක්‍රියාත්මක කර තිබීමද මෙහිදී සලකා බැලෙනවා.

6. සමාන ලෙස සැලකීම (Comparability of treatment) - මෙම මූලධර්මය අනුව පැරිස් සංසදයේ සාමාජිකයින් සමඟ ඇතිකරගත් එකඟතාවයට වඩා වාසිදායක එකඟතාවයකට පැමිණීමට අනෙක් ණයහිමියන්ට ඉඩක් නොලැබිය යුතුයි. 

මේ මූලධර්ම අතරින් වඩාත්ම මතභේදාත්මක මූලධර්මය සේ සැලකිය හැක්කේ අවසන් එකයි. ඒ හරහා, පැරිස් සංසදයෙන් පිටත සිදුවන සියලු ණය ප්‍රතිව්‍යුහගත කිරීම්ද පාලනය කෙරෙනවා. උදාහරණයක් ලෙස පැරිස් සංසදය 50%ක ණය කපා හැරීමකට එකඟ වුවහොත්, චීනයද අනිවාර්යයෙන්ම 50%ක් ණය කපා හැරිය යුතුයි. 

මෙහෙම කිවුවත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් යන්නෙන් ණය කපා හැරීමක් අදහස් වන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම් පහත පරිදි වර්ග කළ හැකියි.

1. ණය සේවා කාලය දිගු කිරීම- මෙහිදී ණය වාරික කුඩා වන නමුත් ණය ප්‍රමාණය අඩු වන්නේ නැහැ. කාලය දිගු වන නිසා ඇත්තටම වෙන්නේ පොලී වියදම් වැඩි වීමක්.

2. ණය සමා කාලයක් ලබා දීම - මෙහිදී කිසියම් නිශ්චිත කාලයක් යන තුරු ණය වාරික ආපසු ගෙවීම අත්හිටවන නමුත් ඉන් පසුව එකතු වූ අමතර පොලියද සමඟ ණය වාරික ගෙවිය යුතුයි.

3. පොලී සහනයක් ලබා දීම - මෙහිදී ණය මුදල අඩු නොවන නමුත් ගෙවිය යුතු පොලී මුදලෙන් යම් කොටසක් කපා හැරෙනවා.

4. ණය සහනයක් ලබා දීම - මෙහිදී ණය මුදලෙන් යම් කොටසක් කපා හැරෙනවා. 

ඉහත අවස්ථා හතරෙන් මුල් දෙක සැලකෙන්නේ සහනදායී නොවන ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ලෙසයි. සහනයක් ලැබෙන්නේ අවසන් අවස්ථා දෙකේදී පමණයි. අංක 4 වැනි පහළ මට්ටමක ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ඊට ඉහළ මට්ටම් වල ඇති වාසිද බොහෝ විට ලැබෙනවා. 

මා පෙර කී පරිදි හා ඉහත අංක 5 මූලධර්මය අනුව, ලංකාව පැරිස් සංසදය හා ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ආරම්භ කිරීමට පෙර සාර්ව ආර්ථික වැඩ පිළිවෙළක් සකස් කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගත යුතුයි. මේ වන විට එය සිදු වී තිබෙනවා. එම වැඩ පිළිවෙළ තුළ රටේ ආර්ථිකය ස්ථායී කිරීම සඳහා අවශ්‍ය වන අවම අරමුදල් ප්‍රමාණය (financing gap) ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුනාගෙන සහතික කළ යුතුයි. ඒ කියන්නේ, අවම වශයෙන් මෙපමණ කාලයකට මෙපමණ ණය ප්‍රමාණයක් නොගෙවා සිටියොත් පමණක් ආර්ථිකය නැවත ස්ථාවර කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙන්වා දිය යුතුයි.

ඒ හැර, ණයගැති රටට වෙනත් කළ හැකි දෙයක් නොතිබිය යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු වන්නේ ඒ තත්ත්වය තුළ පමණයි. ඒ කියන්නේ, රටේ ආර්ථිකය ස්ථායී කිරීම සඳහා අදාළ රටට කළ හැකි ප්‍රතිසංස්කරණ අනිවාර්යයෙන්ම කළ යුතුයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වන්නේ ඒ සියල්ල කිරීමෙන් පසුවද ඉතිරි වන මූල්‍ය පරතරය (financing gap) පියවා ගැනීමට උදවුවක් ලෙස පමණයි.

මෙහිදී පැරිස් සංසදය විසින් අනුගමනය කරන රීති කිහිපයක් තිබෙනවා. විශේෂ හේතුවක් නැත්නම් අදාළ වන්නේ සාමාන්‍ය රීති මාලාවයි (Classic terms). ඊට වඩා සහනදායී කොන්දේසි යටතේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සලකා බැලෙන්නේ පහළ මැදි ආදායම් කාණ්ඩයේ හෝ ඊටත් වඩා පහළින් සිටින රටවල් හා අදාළව පමණයි. අධික ණය බරෙන් පීඩා විඳින පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටවල් සඳහා හූස්ටන් රීති මාලාව (Houston terms) යොදා ගැනෙනවා. 

ලංකාව සඳහා හූස්ටන් රීති මාලාව යොදා ගත හැකි වෙයිද?

මෙය තීරණය කෙරෙන්නේ නිර්ණායක තුනක් මතයි. අඩු වශයෙන් පහත කොන්දේසි තුනෙන් දෙකක් සැපිරේනම් හූස්ටන් රීති මාලාව යොදා ගත හැකියි.

පළමු නිර්ණායකය - ඒක පුද්ගල ආදායම ඩොලර් 2995ට වඩා අඩුවීම 

දෙවන නිර්ණායකය - අධික ණයගැති භාවය 

තෙවන නිර්ණායකය - ද්වි පාර්ශ්වික ණය ප්‍රමාණය අඩු වශයෙන් වාණිජ ණය ප්‍රමාණය මෙන් 150% ගුණයක් වීම 

දෙවන නිර්ණායකය වන අධික ණයගැති භාවය සම්පූර්ණ වීමටනම් පහත කොන්දේසි තුනෙන් දෙකක් සම්පූර්ණ විය යුතුයි.

1. දදේනි අනුපාතයක් ලෙස ණය ප්‍රමාණය 50% ඉක්මවීම 

2. අපනයන ආදායම් වල ප්‍රතිශතයක් ලෙස ණය ප්‍රමාණය 275% ඉක්මවීම 

3. ණය සේවා ප්‍රමාණය අපනයන ආදායම් වලට වඩා 30%කින් වැඩිවීම 

මේ කොන්දේසි තුනෙන් පළමු දෙක සැපිරෙන බැවින් ලංකාවට දෙවන නිර්ණායකය වන අධික ණයගැති භාවය පහසුවෙන් පෙන්විය හැකියි. එහෙත්, ලංකාවේ වාණිජ ණය ප්‍රමාණය ද්වි පාර්ශ්වික ණය ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වැඩි නිසා තෙවැන්න කෙසේවත් පෙන්විය නොහැකියි. එවිට ඉතිරි වන්නේ පළමු නිර්ණායකයයි.

ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2995ට වඩා අඩුනම් හූස්ටන් රීති මාලාව අනුව ණය ප්‍රතිව්‍යුහගත කරන මෙන් ඉල්ලීමක් කළ හැකියි. එසේ නැත්නම්, අදාළ වන්නේ සාමාන්‍ය රීති මාලාවයි. ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 2,995 ආසන්නයේ ඇති නිසා විණිමය අනුපාතයේ හා උද්ධමනයේ සිදු වන පොඩි එහා මෙහා වීම් මත පහළ කාණ්ඩයට වැටෙන්න පුළුවන්. එසේ වුනොත්, මේ වෙලාවේ එහි වාසියක් තිබෙනවා.

සාමාන්‍ය රීති මාලාව යොදා ගැනීම සඳහා එතරම් ලොකු කොන්දේසි නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ සාර්ව ආර්ථික වැඩ පිළිවෙලක් තිබීම හා අතීතයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් කටයුතු කර තිබීම වැනි දෑ ඒ සඳහා ප්‍රමාණවත්. දැනට පැරිස් සංගමය විසින් ණය ප්‍රතිව්‍යුගත කිරීම් කළ රටවල් 102ක් අතරින් රටවල් 61ක් සඳහාම යොදා ගෙන තිබෙන්නේ මේ සාමාන්‍ය රීති මාලාවයි. රටවල් 21ක් සඳහා හූස්ටන් රීති මාලාව යොදාගෙන තිබෙනවා. 

ණය ප්‍රතිව්‍යුගත කිරීම සඳහා සාමාන්‍ය රීති මාලාව යොදා ගනු ලැබුවහොත් ණය හෝ පොලිය කපා හැරීමක් සිදු වන්නේ නැහැ. ඉහත පළමු හා දෙවන වර්ගීකරණ යටතේ ඇති පරිදි සමා කාලයක් ඇතිව හෝ නැතිව ණය ආපසු ගෙවීමේ කාලයේ කල් යාමක් පමණක් සිදුවන අතර මෙහිදී එම වැඩි වන කාලය වෙනුවෙන් පොලී වියදම් වැඩි වීමක් පමණක් නොව පොලී අනුපාතික වල වැඩිවීමක්ද සිදු වෙනවා. මුලින් ණය ලබා ගැනීමේදී එකඟ වූ සහන පොලිය වෙනුවට ඒ වෙලාවේ පවතින වෙළඳපොළ පොලිය ආදේශ වීම එයට හේතුවයි. 

හූස්ටන් රීති මාලාව යටතේ මේ අයුරින් පොලී අනුපාතික ඉහළ යන්නේ නැහැ. මුලින් ණය ලබාගත් පොලී අනුපාතික වලටම දිගටම පොලී ගෙවාගෙන යා හැකියි. එහෙත්, එහිදීද, කාලය දිගු වන නිසා පොලී වියදම් වැඩි වීමක් වෙනවා. මේ රීති මාලාව යටතේ ණයහිමි රටවලට ඔවුන්ගේ කැමැත්ත පරිදි ණය වෙනුවට වෙනත් වත්කම් හුවමාරු කරගත හැකියි. 

පැරිස් සංසදය සමඟ සිදු කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ලංකාවට අපේක්ෂා කළ හැකි හොඳම තත්ත්වය හූස්ටන් රීති මාලාව යටතේ සලකා බලනු ලැබීමයි. ඒ තත්ත්වය ය‍ටතේ වුවද ණය හෝ පොලී වියදම් වල අඩු වීමක් වෙන්නේ නැහැ. වසර දෙක තුනකට ණය නොගෙවා සිටීමේ අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. එහෙත්, ඉන් පසුව, එම කාලය සඳහා එකතු වන පොලියද සමඟ ණය වාරික ආපසු ගෙවන්නට සිදු වෙනවා. ඒ කාලය රටේ ආර්ථිකය හරි පාරට දමා ගැනීම සඳහා ලැබෙන පොඩි විවේක කාලයක් පමණයි. 

පැරිස් සංසදය එකඟ වන්නේ මේ ආකාරයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකටනම්, ඉන්දියාවට හෝ චීනයට එම කොන්දේසි වලට එකඟ වීම අමාරු වෙන එකක් නැහැ. 2019 මැයි 6 දින සිට නිරීක්ෂකයෙකු ලෙස පැරිස් සංසදයේ රැස්වීම් වලට සහභාගී වන ඉන්දියාවට පැරිස් සංසදයේ ස්ථිර සාමාජිකයෙකු වීමේ අභිප්‍රාය ඇති නිසා කොහොමටත් ලංකාව හා අදාළව පැරිස් සංසදයේ රටවල් හා සම්මුතියෙන් කටයුතු කිරීමට ඉඩ තිබෙනවා. චීනයට වුවත් එසේ නොකිරීමට හේතුවක් නැහැ. මුලින් ලංකාවට ණය දුන් පොලී අනුපාතික යටතේම වැඩි කාලයක් පොලී අය කිරීම චීනයට පාඩුවක් නෙමෙයි. ඒ නිසා, ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ලබන වසර මුලදී අවසන් වීමට විශාල ඉඩකඩක් තිබෙනවා. 

2 comments:

  1. තෝරු මෝරු පොකිරිස්සෝ
    අපෙ දුක සැප ව්මසනවා
    තොරතුරු ගැන කම්පාවී
    අපේ දැලට අහු වෙනවා
    අපෙ ගැටේට අහු වෙනවා ....

    ReplyDelete
  2. අගය කරමි. ස්තූතියි මෙම කරුණු පැහැදිලි කිරීමට.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: