වෙබ් ලිපිනය:

Showing posts with label සංවර්ධනය. Show all posts
Showing posts with label සංවර්ධනය. Show all posts

Thursday, January 25, 2024

පරිසරය, සංවර්ධනය හා සනත් නිශාන්තගේ මරණය


රාජ්‍ය ඇමති සනත් නිශාන්ත රිය අනතුරකින් මිය ගොස් තිබෙනවා. සනත් නිශාන්ත කියන්නේ කිසිදු දිනක මට පෞද්ගලිකව හමු වී ඇති කෙනෙක් නෙමෙයි. ප්‍රසිද්ධ චරිතයක් ලෙස වුවත් මා ඔහු ගැන දැන ගත්තේ වසර කිහිපයකට පෙර සිදු වූ කවුරුත් දන්න සිදුවීම එක්ක. ඒ සිදුවීම ගැන නැවත කතා කරන්නට අවශ්‍ය නොවෙතත්, මේ මරණය පාදක කර ගෙන කතා කළ හැකි වැදගත් දේවල් තිබෙනවා කියා මම හිතනවා. 

සනත් නිශාන්තගේ දේශපාලනය හා ප්‍රසිද්ධ හැසිරීම් සම්බන්ධව විවිධ පුද්ගලයින්ට ප්‍රශ්න තිබිය හැකි වුවත් පවුලේ අයට ඔහු පියෙක්, පුතෙක් හා සැමියෙක් පමණයි. හදිසි මරණයක් ඔවුන්ට දරා ගන්න අමාරු ඇති. මම ඔවුන්ට කණගාටුව පළ කරනවා. ඒ වගේම මේ රිය අනතුරෙන් මිය ගොස් ඇති පොලිස් නිලධාරියාගේ පවුලේ අයටත් කණගාටුව පළ කරමින් එහිදී තුවාල ලැබූ රියැදුරාට ඉක්මන් සුවය පතනවා. කොහොම වුවත් පවුලේ අයට ශෝකජනක අවස්ථාවක් වන මේ වගේ වෙලාවක සනත් නිශාන්තලාගේ දේශපාලනය ගැන කතා කිරීමේ වරදක් තිබෙනවා කියා මම හිතන්නේ නැහැ. 

සනත් නිශාන්තගෙන් පිළිබිඹු වුනේ පසුව පොහොට්ටුව වූ රාජපක්ෂ කඳවුරේ දේශපාලනය කියා කිවුවොත් එහි ලොකු වරදක් ඇතැයි මා සිතන්නේ නැහැ. අධිවේගී මාර්ග කියන්නෙත් එම දේශපාලනයේම කොටසක්. ඒ අනුව, අධිවේගී මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් සනත් නිශාන්ත මිය යාම එක්තරා අතකින් දෛවයේ සරදමක්. 

රාජපක්ෂ දේශපාලනය විදේශ ණය වැය කර සිදු කරන රාජ්‍ය ආයෝජන මූලික වූ වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් පෙනී සිටියා. අධිවේගී මාර්ග එහි ප්‍රධාන අංගයක්. පසුගිය කාලයේ හැදූ අධිවේගී මාර්ග වල පිරිවැය හා එම මාර්ග සැලසුම් කිරීමේදී දැක්වූ ප්‍රමුඛතාවන් පිළිබඳව ප්‍රශ්න තිබිය හැකි වුවත් ලංකාව වැනි රටක ආර්ථිකය ක්‍රමයෙන් වර්ධනය වෙද්දී යම් අවස්ථාවක රටට අධිවේගී මාර්ග අවශ්‍ය වෙනවා. රටේ දේශපාලනික ඉතිහාසය වෙනත් මගක ගමන් කළේ වුවද යම් අවස්ථාවක මේ අධිවේගී මාර්ග හැදෙනවා. ඇතැම් විට මීට කලින් විය හැකියි. ඇතැම් විට මීට පසුව විය හැකියි.

දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගය පිළිබඳ යෝජනාව මුලින්ම ඉදිරිපත් වෙන්නේ අසූව දශකය තරම් ඈත කාලයකදී වුවත් ප්‍රායෝගිකව අදහස ක්‍රියාත්මක වන්නේ දශක දෙකකට පසුවයි. ආසියානු සංවර්ධන බැංකුවේ සහ ජපානයේ අරමුදල් යොදා ගෙන මෙහි ඉදි කිරීම් මුලින්ම ආරම්භ වන්නේ රාජපක්ෂ දශකයට පෙර වුවත්, ඉදි කිරීම් වැඩි වශයෙන්ම සිදු වන්නේත් මුල් අදියරේ වැඩ අවසන් වන්නේත් රාජපක්ෂ දශකය තුළයි. පසුව මෙම අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දිගු කිරීම සඳහා චීන අරමුදල් යොදා ගැනෙනවා. 

මුලින්ම ගාල්ල දක්වා ඉදි කෙරුණු දක්ෂිණ අධිවේගී මාර්ගය ශ්‍රී ලාංකිකයින්ට අලුත්ම අත්දැකීමක් වෙනවා. රාජපක්ෂ දශකය තුළ සිදු වූ සංවර්ධනය බොහෝ දෙනෙකු දකින්නේ මේ හරහා. පසුව, චීන අරමුදල් වලින්ම කොළඹ කටුනායක අධිවේගී මාර්ගයද ඉදි කරනු ලබනවා. රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ ජීවිතය අහිමි කරවන මාරාන්තික රිය අනතුර සිදු වන්නේ මෙම අධිවේගී මාර්ගයේදීයි. 

දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ග වැනි සංවර්ධන ව්‍යාපෘති සඳහා චීනය හා ජපානය වැනි රටවලින් ලබාගත් ණය මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර ආයතන වලින් ලබාගත් ණය ගෙවීමද මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් අත් හිටුවා තිබෙනවා. විදේශ ණය සාර්ථක ලෙස ප්‍රතිව්‍යුහගත කරනු ලැබුවද කෙදිනක හෝ මේ ණය ආපසු ගෙවන්නට සිදු වෙනවා. 

විදේශ ණය යොදා ගෙන අධිවේගී මාර්ග ඉදි කරද්දී එසේ ලබා ගන්නා ණය වලින් යම් කොටසක් ඉදි කිරීම් සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීම හරහා රටින් පිටට යනවා. ඉතිරි කොටස වියදම් කෙරෙන්නේ රුපියල් වලින්. ඒ සඳහා ණයට ගන්නා විදේශ විණිමය රුපියල් කරන්නට සිදු වෙනවා. මෙසේ කරද්දී රටේ විදේශ විණිමය සැපයුම ඉහළ ගොස් රුපියල අධිප්‍රමාණය වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ආනයන ලාබ වී ලංකාවේ අපනයන විදේශිකයින්ට මිල අධික වෙනවා. මෙහි ප්‍රතිඵලය ආනයන අපනයන පරතරය පුළුල් වීමයි.

අවසාන වශයෙන් රුපියල් ලෙස ආර්ථිකයට එකතු වන මුදල් නැවත විදේශ විණිමය වී ආනයන ලෙස රටෙන් එළියට යනවා. මේ ආනයන අධිවේගී මාර්ග වැනි සංවර්ධන ව්‍යාපෘතියකට සෘජුව අවශ්‍ය අමුද්‍රව්‍ය නෙමෙයි. සනත් නිශාන්ත ගමන් ගත් වාහනය වැනි වෙනත් විවිධ පරිභෝජන භාණ්ඩ. කොහොම වුනත් අන්තිමට ණයට ගත් විදේශ විණිමය රටේ නැහැ. 

අධිවේගී මාර්ග සඳහා කළ ආයෝජන වල ප්‍රතිලාභ අනුපාතය කොපමණ වීදැයි මා දන්නේ නැහැ. යම් හෙයකින් එම අගය ප්‍රමාණවත් මට්ටමක තිබුණේ වුවද මෙම අධිවේගී මාර්ග වලින් ලැබෙන ආදායම් බොහෝ දුරට රුපියල් ආදායම්. එහෙත් ගත් ණය වල වාරික හා පොලී ගෙවිය යුතු වන්නේ විදේශ ව්‍යවහාර මුදල් වලින් මිසක් රුපියල් වලින් නෙමෙයි. මෙය කර ගත නොහැකිව ලංකාවට ණය පැහැර හරින්නට සිදු වූ බව අමුතුවෙන් මතක් කළ යුතු දෙයක් නෙමෙයි.

අධිවේගී මාර්ග ඉදි කරද්දී උප කොන්ත්‍රාත්, උප කොන්ත්‍රාත් වල උප කොන්ත්‍රාත් ආදී ලෙස එම අරමුදල් පහළට ගලා ගියා. උදාහරණයක් ලෙස ගල් වැලි ආදිය සැපයීම. අධිවේගී මාර්ග වලට අමතරව මේ කාලයේදී අනෙකුත් මාර්ගද සෑහෙන තරමකින් සංවර්ධනය වුනා. මෙවැනි ඉදි කිරීම් සිදු වෙද්දී ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් බොහෝ විට ඒවාට සම්බන්ධ වුනා. එසේ නැත්නම් මෙවැනි ඉදි කිරීම් වලට සම්බන්ධ වූ උප කොන්ත්‍රාත්කරුවන් පසුව ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලනඥයින් බවට පත් වුනා.

සනත් නිශාන්තගේ ඉතිහාසය ගැන මම වැඩි දෙයක් දන්නේ නැහැ. කෙසේ වුවත් ඔහු බිම් මට්ටමෙන් මතු වූ අයෙක්. දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ග ඉදි කෙරුණු රාජපක්ෂ දශකයේදී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් නෙමෙයි. ප්‍රාදේශීය සභා හා පළාත් සභා හරහා උඩට මතු වන ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු හා රාජ්‍ය ඇමතිවරයෙකු වන්නේ ඉන් පසුවයි. 

සනත් නිශාන්තගෙන් පිළිබිඹු වන්නේ රාජපක්ෂ මාදිලියේ වේගවත් සංවර්ධනයයි. වේගවත් සංවර්ධනය කිසිසේත්ම නරක දෙයක් නොවුනත් මෙහි ප්‍රශ්නය වූයේ එම සංවර්ධනය තිරසාර නොවීමයි. සංවර්ධනය තිරසාර වීනම් ණය ගෙවන්නට නොහැකි වී රටේ ආර්ථිකය කඩා වැටෙන තැනකින් එය කෙළවර වන්නේ නැහැ. 

ලංකාවේ සංවර්ධන ආකෘතිය තිරසාර නොවූයේ ආයෝජන ආකෘතිය තුළමයි. එහෙත්, ආයෝජන ආකෘතිය තිරසාරව ඇති විටෙක පවා වෙනත් හේතු මත සංවර්ධන ආකෘතියක් තිරසාර නොවිය හැකියි. පාරිසරික බලපෑම් යනු එසේ විය හැකි එක් ආකාරයක්. සනත් නිශාන්තගෙන් නිරූපණය වූයේ පාරිසරික සාධක තුට්ටුවකට මායිම් නොකරන සංවර්ධනයක්.

මෙය සනත් නිශාන්තගේ පෞද්ගලික ප්‍රශ්නයක් ලෙස මා හඳුනා ගන්නේ නැහැ. මගේ අදහසනම් ඔහුගේ ප්‍රකාශ හරහා ඔහු නියෝජනය කළේ ලංකාවේ බහුතරය බවයි. වේගවත් සංවර්ධනය ලංකාවේ බහුතරයකට අවශ්‍ය දෙයක්. එය තිරසාරද නැද්ද යන්න තකන්නේ සුළු පිරිසක් පමණයි.

සංවර්ධනය හා පරිසරය අතර අනවරත ගැටුමක් තිබෙනවා. පරිසරය වෙනස් නොකර රටක් සංවර්ධනය කළ නොහැකියි. එහෙත් එය රටක් සංවර්ධනය කිරීමට බාධාවක් විය යුතු නැහැ. සනත් නිශාන්ත වැන්නන් විසින් පාරිසරික සාධක තුට්ටුවකට මායිම් නොකරන වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් පෙනී සිටිද්දී ඔහුගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය තුළ අත්‍යවශ්‍ය සංවර්ධනයට බාධා කරන තරමේ දැඩි පරිසරවාදීන් දැකිය හැකි වුනා. ඔවුන් ලංකාවේ සුළුතරයක් පමණක් වුවත්, ඇතැම් අවස්ථා වලදී දැනෙන බලපෑමක් ඇති දේ කරන්නට සමත්ව සිටින පිරිසක්.

සංවර්ධනය හා පරිසරය අතර හැම විටම මෙන් තිබෙන්නේ තෝරා ගැනීමක්. මෙහිදී මේ දෙක අතර යම් තැනක ඉරක් අඳින්නට වෙනවා. මේ ඉර ඇඳිය යුතු නිවැරදි ආකාරය ගැන පෙර ලිපි වල විස්තර කර ඇති. 

කරුණක් ලෙස ගත්තොත් රාජපක්ෂ දශකය තුළ රටේ වේගවත් භෞතික සංවර්ධනයක් වුනා. එම සංවර්ධනය තිරසාර නොවීම වෙනම කරුණක්. රටක් සංවර්ධනය වෙද්දී පරිසරය වෙනස් වෙනවා. එය වලක්වන්න බැහැ. මෙය ප්‍රශ්නයක් වීම හෝ නොවීම තීරණය වන්නේ රට සංවර්ධනය වන වේගය සහ එය සිදු කෙරෙන ආකෘතිය මතයි. සංවර්ධනය පරිසරයට දරාගත හැකිනම් එහි ගැටලුවක් නැහැ. 

රටක් සංවර්ධනය වෙද්දී පාරිසරික සාධක ගැන සලකා බැලිය යුතු පරිදිම භෞතික සංවර්ධනයට අනුරූපව රටේ ආකල්ප සංවර්ධනය වීමද වැදගත්. මහාමාර්ග අධිවේගී මාර්ග වෙද්දී විශාල ලෙස වේගය වැඩි වීමක් සිදු වෙනවා. ඊට අනුරූපව මාර්ග විනයද වැඩි දියුණු විය යුතුයි. ලංකාවේ එවැනි වැඩි දියුණු වීමක් නැතැයි මා කියන්නේ නැහැ. පසුගිය කාලය තුළ මාර්ග විනයේ යම් වැඩි දියුණු වීමක් සිදු වී තිබෙනවා. එහෙත්, ලංකාවේ මාර්ග විනය තවමත් තිබෙන්නේ බටහිර රටවලට සාපේක්ෂව බොහෝ පිටුපසින්.

රිය අනතුරු නිසා සිදු වන මරණ කියා කියන්නේ නූතන සංවර්ධනයේ අහිතකර ප්‍රතිඵලයක්. රිය අනතුරු යනු කිසිසේත්ම නූතන සංවර්ධනය මග හැර යාම සඳහා හේතුවක් නොවුනත්, සංවර්ධන ඉලක්ක කරා යද්දී රිය අනතුරු ආදී අහිතකර අතුරු ප්රතිඵල අවම කෙරෙන ආකල්ප සංවර්ධනයක් හා ප්‍රතිපත්ති ප්‍රවේශයක් අවශ්‍යයි. පාරිසරික ගැටළු, ආදායම් විෂමතා අවම කිරීම වැනි ඉලක්ක ගැන කියන්නට තිබෙන්නේද මේ කතාවමයි. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අලුත්ම වාර්තාවකට අනුව, 2021 වසරේදී රිය අනතුරු හේතුවෙන් මිලියන 1.19ක මරණ ප්‍රමාණයක් සිදු වී තිබෙනවා. මේවා නූතන සංවර්ධනයේ අතුරුපල කියා කියන්න පුළුවන්. එහෙත්, මෙම මරණ ගණන 2010දී සිදු වූ රිය අනතුරු මරණ ගණන වන මිලියන 1.25ට වඩා 5%කින් අඩුයි. ඒ, වාහන ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි වී තිබියදීයි. මෙයින් පෙනෙන්නේ සංවර්ධනයේ නරක අතුරුපල වලක්වා ගනිමින් එහි යහපත් ප්‍රතිඵල භුක්ති විඳින්න බැරිකමක් නැති බවයි.

ලෝකයම ගත් විට වැඩිම මරණ ප්‍රමාණයකට හේතු වෙන්නේ හෘදයබාධ. රිය අනතුරු තිබෙන්නේ ලැයිස්තුවේ 12 වන තැනයි. එහෙත්, 5-29 වයස් කාණ්ඩය සැලකුවොත් වැඩිම මරණ ප්‍රමාණයකට හේතු වෙන්නේ රිය අනතුරු. අඩු වයසෙන් සිදුවන මරණයකදී අපේක්ෂිත ආයුකාලය වඩා වැඩියෙන් අඩු වෙන නිසා හානිය වැඩියි. 

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයේ දත්ත අනුව පසුගිය වසර වලදී ලංකාවේ රිය අනතුරු වලින් සිදු වූ මරණ ප්‍රමාණ පහත තිබෙනවා.

2019- 3,097

2020- 2,829

2021- 2,513

2022- 2,515

ඇතැම් විට කොවිඩ් නිසාත්, තෙල් මිල ඉහළ යාම නිසාත් රිය අනතුරු මරණ වල යම් අඩුවීමක් සිදු වුනා වෙන්න පුළුවන්.

ලෝකයේ වගේම ලංකාවෙත් වැඩිම මරණ ප්‍රමාණයකට හේතුව හෘදයාබාධ. 2019 වසරේදී සිදු වූ මරණ 146,397කින් 17,347ක්ම හෘදයාබාධ. රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත සියලුම රෝග නිසා සිදු වූ මරණ ප්‍රමාණය 35,534ක්. එහෙම බැලුවහම රිය අනතුරු මරණ තිබෙන්නේ ලැයිස්තුවේ ගොඩක් පහළින්. නමුත් 5-39 වයස් කාණ්ඩයේ මරණ වලින් 14.5%ක්ම සිදු වී තිබෙන්නේ රිය අනතුරු වලින්. ඒ වගේම, 20-24 වැනි වයස් කාණ්ඩයක පිරිමින්ගේ මරණ සැලකුවහොත්, එම මරණ වලින් 28.5%ක්ම සිදු වී තිබෙන්නේ රිය අනතුරු වලින්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව 2019 ලෝක ජනගහණයෙන් ලක්ෂයකට 16.7ක් රිය අනතුරු වලින් මියගොස් තිබෙනවා. ලංකාවේ එම අනුපාතය 19.7ක්. ලංකාවට වඩා වාහන භාවිතය වැඩි සංවර්ධිත රටවල් සියල්ලකම වගේ මේ අනුපාතය මීට වඩා අඩුයි. ඇමරිකාව හා නවසීලන්තය හැර අනෙකුත් සංවර්ධිත රටවල ගොඩක්ම අඩුයි.

ඕස්ට්‍රේලියාව - 4.9

කැනඩාව - 5.3

ඩෙන්මාර්කය - 3.7

ෆින්ලන්තය - 3.9

ප්‍රංශය - 5.1

ජර්මනිය - 3.8

අයිස්ලන්තය - 2.0

ඊශ්‍රායලය - 3.9

ඉතාලිය - 5.3

ජපානය - 3.6

නෙදර්ලන්තය - 4.0

නවසීලන්තය - 9.6

නොර්වේ - 2.1

සිංගප්පූරුව - 2.1

ස්වීඩනය - 3.1

ස්විට්සර්ලන්තය - 2.2

එක්සත් රාජධානිය - 3.2

ඇමරිකාව - 12.7


අපේ අසල්වැසියන් වන දකුණු ආසියානු රටවල් දිහා බැලුවත් ලංකාවේ තත්ත්වය හොඳ තත්ත්වයක් නෙමෙයි.

බංග්ලා දේශය - 15.3

ඉන්දියාව - 15.6

මාල දිවයින - 1.6

නේපාලය - 16.3

පකිස්ථානය - 13.0


නමුත් මැලේසියාව හා තායිලන්තය වැනි වෙනත් ඇතැම් ආසියාතික රටවල තත්ත්වය ලංකාවටත් වඩා නරකයි.

ඉන්දුනීසියාව - 11.3 

මැලේසියාව - 22.5

පිලිපීනය - 12.0

තායිලන්තය - 32.2

වියට්නාමය - 30.6

චීනය - 17.4

මේ වෙනස්කම් වලට එකම හේතුව මාර්ග විනය කියා කියන්න බැහැ. සංවර්ධිත රටවල් අතරින් ඇමරිකාවේ මාර්ග අනතුරු මරණ වැඩි වීමෙන් පෙනී යන්නේ පොදු ප්‍රවාහනය කොයි තරම් දියුණුද කියන එක මාර්ග අනතුරු මරණ අනුපාතය කෙරෙහි බලපෑමක් කරනවා විය හැකි බවයි. නමුත් ලංකාවේ මාර්ග විනය පිළිබඳ ගැටළු ඇති බව කිසිවෙකුට රහසක් නෙමෙයි.

ලංකාවේ වාහන එළවද්දී වාහන වල ධුරාවලියක් තිබෙනවා. මෙය වාහනයේ වටිනාකම මෙන්ම ප්‍රමාණය මතද තීරණය වන දෙයක්. මෝටර් සයිකල් හා ත්‍රිරෝද තිබෙන්නේ ධුරාවලියේ පහළින්. ලොරි, බස් වගේ ලොකු වාහන මෙන්ම මිල අධික SUV ආදිය උඩින්. බයිසිකල්කරුවන් හා පදිකයින් මේ සියල්ලන්ටම පහළින්. ලංකාවේ රිය අනතුරු මරණ සංයුතිය දෙස බැලූ විටද මේ තත්ත්වය පැහැදිලි වෙනවා. පහත තිබෙන්නේ 2022දී ලංකාවේ සිදු වූ රිය අනතුරු මරණ.

පදිකයින් - 792

පාපැදිකරුවන් - 226

මෝටර් සයිකල්කරුවන් - 820

පසුපස අසුනේ වාඩි වී ගිය අය - 189

රියැදුරන් - 189

මගින් - 314

වෙනත් - 06

කෙටියෙන් කිවුවොත් සනත් නිශාන්ත ගමන් කළ ආකාරයේ "ලොකු" වාහන වල යන අය ලේසියෙන් රිය අනතුරකින් මිය යන්නේ නැහැ. බොහෝ විට වෙන්නේ එවැනි වාහනයක හැපී පදිකයින්, පාපැදිකරුවන් හා මෝටර් සයිකල්කරුවන් වැනි අය මිය යන එකයි. එවැනි අය වාහන ධාවනය කරන්නේ මාර්ගය තමන්ට ලියා දී ඇති සේ සලකමිනුයි. එවැන්නෙකු දුටු වාහන පාරෙන් පැත්තකට කර ගැනීම පොඩි වාහනකරුවන්ගේ කාර්යයක්. 

මෙහිදී මම "එවැන්නන්" යන්නේ අදහස් කළේ සනත් නිශාන්ත වැනි දේශපාලනඥයින් පමණක් නෙමෙයි. බස් හා ලොරි වැනි ප්‍රමාණයෙන් විශාල වාහනද මේ කුලකයට ඇතුළත්. මේ වගේ වාහනයකට සාමාන්‍යයෙන් මාර්ගයේදී තමන්ට වඩා ලොකු ප්‍රතිවාදීන් හමු වෙන්නේ නැහැ. නමුත් අවාසනාවකට සනත් නිශාන්තගේ වාහනය ගැටී තිබෙන්නේ එවැනි ලොකු ප්‍රතිවාදියෙක් එක්ක. 

Tuesday, May 25, 2021

ආක්ෂා සහ ලිහිණි

 

මම දෙවෙනි ඉනිම නොවරදවා හෝ එක දිගට බලන කෙනෙක් නෙමෙයි. නමුත් ඉඳහිට බැලෙනවා. කොහොමත් ඉතිං මාසෙකට පාරක් බැලුවත් අල්ලගන්න අමාරුවක් නැති ටෙලි නාට්‍යයක්නේ. ඕකේ අනුහස්, ලිහිණි හා ආක්ෂා අතර තිබුණු තුන් කොන් ප්‍රේමය ආක්ෂාගේ වාසියට විසඳුනු බව කතාව බලන අයට රහසක් නෙමෙයිනේ. හැබැයි අනුහස්ගේ අම්මා උදේනිගේ වැඩි කැමැත්ත තිබුණේ ලිහිණිටයි.

දැන් උදේනිගේ හිත වෙනස් වෙලා. ඒක වෙන්නේ ආක්ෂා කාර් එක විකුණලා අනුහස්ට සල්ලි දුන්නට පස්සේ. ආක්ෂා කාර් එක විකුණලා අනුහස්ට සල්ලි දෙන්නේ ආක්ෂාට කාර් එකක් තිබුණු නිසා. ලිහිණිට කාර් එකක් තිබුණානම් ලිහිණිත් ඔය දෙයම කරයි. නමුත් ලිහිණිට කාර් එකක් නොතිබුණු නිසා ලිහිණිට ආක්ෂාට තිබුණු විකල්පය තෝරා ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. 

සතුට කියන්නේ සල්ලි වලට නෙමෙයි. නමුත් සල්ලි තියෙනවානම් සතුට ලැබෙන දේවල් කරන්න වැඩි අවස්ථාවන් ගණනක් ලැබෙනවා. ඒ වගේම වෙනත් අය සතුටු කළ හැකි දේවල් කරන්නත් වැඩි වැඩි අවස්ථාවන් ගණනක් ලැබෙනවා. වැඩිපුර සල්ලි තිබීම හොඳ දෙයක් වන්නේ ඒ නිසයි.

රටක් ගත්තත් ප්‍රතිපත්ති සම්පාදනයේදී එකම ඉලක්කය විය යුත්තේ භෞතික සංවර්ධනය නෙමෙයි. එහෙත්, භෞතික සංවර්ධනය නොවන, දියුණුව ලෙස හැඳින්විය හැකි අනෙක් දේවල් කරන්නත් භෞතික සංවර්ධනය අවශ්‍යයි. 

සමාජයේ පහළ ස්ථර වල සිටින අය ගැන සානුකම්පික වීම කිසිසේත්ම නරක දෙයක් නෙමෙයි. එහෙත්, එවැනි අයට උදවු කළ හැක්කේ කවුරු හෝ පිරිසක් විසින් ඒ අය වෙනුවෙනුත් සම්පත් ජනනය කිරීමක් කරනවානම් පමණයි.

රටක ආර්ථිකය සමස්තයක් ලෙස ප්‍රසාරණය වන විට ඒ රටේ පහළ ස්ථර වල සිටින අයගේ ජිවන තත්ත්වයත් වඩා යහපත් වෙනවා. ආර්ථිකය ප්‍රසාරණය කරන්න වැඩි දායකත්වය දෙන සීමිත පිරිසට ඒ වැඩේ කරන්න ඉඩ නොදුන් විට වෙන්නේ සමස්තයක් ලෙස ආර්ථිකය එක තැන පල් වෙන එකයි. එයින් දිගුකාලීනව වෙන්නේ ඒ සීමිත පිරිසගේ වගේම පහළ ස්ථර වල සිටින අයගේත් ජිවන තත්ත්වය අයහපත් වෙන එකයි. 

ධනවාදය පෙනී සිටින්නේ වෙරළු ගෙඩිය හරි හතකට බෙදා ගෙන කෑම වෙනුවෙන් නෙමෙයි. වෙරළු ගෙඩිය පුළුවන් තරම් ලොකු කර ගැනීම වෙනුවෙන්. ගොඩක් අයට ඒ ලොකු වෙරළු ගෙඩියෙන් හතෙන් කොටසක් ලැබෙන්නේ නැති වුනත් ලැබෙන කොටස පොඩි වෙරළු ගෙඩියකින් හතෙන් එකකට වඩා ලොකුයි.

Sunday, May 28, 2017

හතළිස්පන් දොහේ වතුර


මගේ පෙර ලිපියේ සඳහන් කළ පරිදි ඇමරිකාවේ ගංවතුර තර්ජන පවතින තැන් ලකුණු කර ඇති සිතියම් (floodplain maps) ඉතාම විස්තරාත්මකය. පර්චස් කිහිපයක කුඩා ඉඩමක් ඇතුළත ගංවතුරෙන් යටවෙන්නට ඉඩ ඇති තැන් පවා මේ සිතියම් වලින් බලාගන්නට පුළුවන. මා දන්නා තරමින් මේ සිතියම් සකස් කර ඇත්තේ ආකෘති අනුසාරයෙන් නොව නිරීක්ෂණ අනුසාරයෙනි. අලුත් නිරීක්ෂණ පදනම් කර ගනිමින් මේ සිතියම් නිරන්තරව යාවත්කාලීන කෙරේ.

කාලගුණ අනාවැකි කීම සඳහා උපයෝගී කරගන්නා ආකෘතිද බොහෝ දුරට පදනම් වී ඇත්තේ අතීත නිරීක්ෂණ මතය. මෙහිදී, අනාවැකි කීම සඳහා යොදාගන්නා ක්‍රමවේදය වන්නේ පැරණි දත්ත මත කාලගුණ රටාවන් හඳුනාගැනීම හා ඒ රටාවන් ඉදිරියේදීද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනු ඇතැයි උපකල්පනය කිරීමයි. එහෙත්, චන්ද්‍රිකා ඡායාරූප වැනි වෙනත් ආසන්න නිරීක්ෂණ මත මේ අනාවැකි සීරුමාරු කෙරේ.


සිතියම්ගත කර නොතිබුණත් මේ ෆ්ලඩ්ප්ලේන්ස් වල මායිම් අඩුම වශයෙන් අප කුඩා දරුවන්ව සිටි කාලය වන තුරුම ගංවතුර තර්ජන ඇති ප්‍රදේශ වල ජීවත් වූ අය දැන සිටියෝය. නිරන්තරයෙන් ගංවතුර තර්ජනයට මුහුණ දුන් ගමක ජීවත් වූ මගේ පියාගේ දෙමවුපියන්ට හා ඔවුන්ගේ පරම්පරාවේ වැඩිහිටියන්ට ඒ ගමේ ඕනෑම තැනක හතළිස් හතේ මහ ගංවතුරට යටවුනු සීමාවන් වගේම ඊටත් පෙර නවසිය තිස් හයේ ගංවතුරට යටවුනු සීමාවන්ද පෙන්වන්නට පුළුවන්කම තිබුණේය.

මගේ පියාගේ දෙමවුපියන් සතු වූ ඉඩම් වලින් ගංවතුර තර්ජනයට වැඩියෙන්ම ලක් වූ ඉඩම තෝරාගෙන තිබුණේ පවුලේ සුසානභූමිය වශයෙනි. මේ ගැන දැන් හිතද්දී මතුවන ප්‍රශ්නයනම් අවුරුද්දේ මාසයක පමණ කාලයක් තුළම වතුරෙන් යටව තිබූ හෝ ගඟේ ජල මට්ටම වැඩි නිසා වලක් කපන්නට උදැල්ලක් ගහන පරක්කුවෙන් වතුර ඉනූ මේ ඉඩම ගංවතුර කාලයේදී සිදුවන මරණයකදී කෙසේ ප්‍රයෝජනයට ගත්තේද යන්නයි. ගෙදර වටේටම වතුරින් යටව තියෙද්දී කුඩා දරුවෙකු වූ පවුලේ සාමාජිකයෙකුගේ මරණයක් සිදුවූ එක් අවස්ථාවක් ගැන පමණක් මගේ මතකයේ තිබීමෙන් පෙනෙන්නේ ගංවතුර හේතුවෙන් අමුතුවෙන් මරණ සිදු වීම එතරම් සුලභ නොවූ බවයි.

මගේ පියාගේ දෙමවුපියන්ගේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට ඉඩම් යනු අද තරම්ම හිඟ සම්පතක් නොවූවත්, මරණ අනුපාතිකය අඩුවීම නිසා රටේ ජනගහණය විශාල ලෙස වර්ධනය කළ ඊළඟ පරම්පරාවේ බොහෝ දෙනෙකු අතර මේ ඉඩම් බෙදී යද්දී මේ තත්ත්වය වෙනස් විය. ඒ නිසා, පියාගේ පරම්පරාවේ බොහෝ දෙනෙකුට පෙර පරම්පරාවේ අය මෙන්  තමන්ගේ වාසය සඳහා 'ෆ්ලඩ්ප්ලේන්' එකක නොපිහිටි තැනක් තෝරා ගන්නට තරම් හැකියාවක් නොතිබුණේය.

ඇමරිකාවේ ෆ්ලඩ්ප්ලේන්ස් වල පිහිටි ඉඩම් වලට ඇති ඉල්ලුම අඩු පරිද්දෙන්ම මගේ පියාගේ දෙමවුපියන්ගේ ඉඩම් දරුවන් අතර බෙදී යද්දීද ෆ්ලඩ්ප්ලේන්ස් වල පිහිටි ඉඩම් වලට තිබුණේ අඩු ඉල්ලුමකි. ඒ කාලයේ වෙනත් පවුල් මෙන්ම සාමාජිකයින් ගණනින් ලොකු පවුලක් වූ මේ පවුලේ
බාල සාමාජිකයින් ඇටෙන් පොත්තෙන් එළියට එන විට වැඩිහිටි සාමාජිකයින් පවුල් පන්සල් වී ගෙවල් දොරවල් හදාගෙන අවසන්ය. ඒ නිසා, බාල සාමාජිකයින් ගෙවල් හදන්නට හිතන විට ෆ්ලඩ්ප්ලේන්ස් වල නොපිහිටි ඉඩම් පියාගේ දෙමවුපියන් සතුව ඉතිරිව නොතිබුණේය.

රත්නපුර පැත්තේ වැඩිහිටි පරම්පරාවේ ඕනෑම කෙනෙක් වාගේ සමඟ කතා කළොත් හතළිස් දොහේ වතුර ගැන අහගන්නට පුළුවන. මේ ප්‍රවාදය අනුව සිංහල අවුරුද්ද පහුවී දවස් හතලිස් පහකින් කළු ගඟ පිටාර දමයි. මගේ පියාගේ මහගෙදර පිහිටි ප්‍රදේශය වැනි ප්‍රදේශ සැලකූ විට මේ සිදුවීම හැම අවුරුද්දකම වාගේ නොවැරදීම සිදුවිය. ආසන්න වශයෙන් ගංවතුර ඇති විය හැකි කාලය දැනගෙන සිටි නිසා ඒ කාලය තුළ වඩා විමසිල්ලෙන් කාලගුණයේ වෙනස්කම් නිරීක්ෂණය කිරීමෙන් ගඟ පිටාර දමන්නට ඉඩ ඇති මොහොත හරියටම හඳුනාගෙන ඒ සඳහා සූදානම් වීමට ඔවුන්ට හැකිවිය.

මෙවර ගංවතුර පැමිණ ඇත්තේද සිංහල අවුරුද්ද පසුවී ආසන්න වශයෙන් දින 42-43කට පමණ පසුවය. පසුගිය සියවසක පමණ කාලය තුළ නිවර්තන අවුරුද්ද මත පදනම් වූ කාලගුණ චක්‍රයට සාපේක්ෂව සිංහල අවුරුදු දිනය දිනකින් හෝ දෙකකින් පස්සට තල්ලු වී ඇති බැවින් දැන් ඒ ගංවතුර සිංහල අවුරුද්ද පසුවී දින 43කින් පමණ පැමිණෙනවා වන්නට පුළුවන.

මේ ගංවතුර බොහෝ අවුරුදු වල දින කිහිපයකින් පසුව බැස ගියත් සමහර අවුරුදු වල සති ගණනක් අල්ලා සිටියේය. ගංවතුර නිසා බාහිර ලෝකය සමඟ සම්බන්ධතා විශාල ලෙස සීමා වුනු මෙවැනි ගම්මාන වලට වසර හතළිහකට පණහකට පෙර අද මෙන් සහන සේවා වල උපකාර ලොකුවට ලැබුණේද නැත. එහෙත්, ගංවතුර මැදින් එවැනි ගම් වල ජීවිතය සාමාන්‍ය පරිදි ගලා ගියේය.

ගංවතුර එන කාලය ගැන අදහසක් තිබුණු නිසා වී වැපිරීම වැනි කටයුතු ගංවතුර අවසන් වන තුරු කල් දැමුණේය. විවාහ උත්සව ආදිය සඳහා දින නියම කරගැනීමේදී ඇතැම් විට මේ ගංවතුර කාලය මඟ හැරියත්, එවැනි කටයුතු සඳහා වෙනත් ඵලදායී වැඩක් සඳහා යොදාගත නොහැකි ගංවතුර කාලයම යොදා ගත් අවස්ථාද තිබුණේය. මගේ පියාගේ දෙමවුපියන්ගේ පරම්පරාවේ ඇතැම් වැඩිහිටියන් සිය මනාලියන් කැන්දාගෙන පැමිණ ඇත්තේ ඔරු පෙරහැරකින් බව මා අසා තිබේ. ගොවිතැන් කටයුතු කළ නොහැකි වූ ගංවතුර කාලය වට්ටි, පැදුරු විවීම් වැනි ගෙවල් වල සිට කළ හැකි දේ කරන්නට හොඳ කාලයක් විය.

අඩ සියවසකට පමණ පෙර කාලය දක්වාත් ලංකාවේ බොහෝ පෙදෙස් වල පැවති ජීවන රටාව අනුව ගංවතුර සමඟ 'සහයෝගයෙන්' අනෙක් කටයුතු කරගන්නට පුළුවන්කමක් තිබුණත් දැන් ගම් ඒකක වලට පෙර මෙන් ස්වාධීනව ජීවිතය පවත්වා ගත නොහැකි නිසා ගංවතුර සමඟ සහයෝගීතාවය පවත්වා ගැනීමද අසීරුය. ඒ අතින් බැලූ විට ගංවතුර වැනි ස්වභාවික ආපදා බටහිර සංවර්ධනයේ ප්‍රශ්නයක්යැයි කියන කතාවට පදනමක් තිබේ.


එහෙත් වඩා විමසිල්ලෙන් බැලුවොත් ප්‍රශ්නය තිබෙන්නේ බටහිර සංවර්ධනයේ නොව ලංකාව වැනි රටවල බටහිර සංවර්ධන ආකෘතීන් යොදාගෙන ඇති ආකාරයේය. තමන් අලුතින් ජනාවාස පිහිටුවා ගෙන පදිංචි වන ප්‍රදේශ වල කාලගුණ රටාවන් හඳුනා ගනිමින්, ෆ්ලඩ්ප්ලේන් සිතියම් අඳිමින් ස්වභාව ධර්මයට යටත් විය යුතු තැන් වල යටත් වෙමින් ඇමරිකාව වැනි රටවල් ඉදිරියට පැමිණි තුලිත සංවර්ධන ක්‍රියාවලියේ ඇතැම් වැදගත් පියවර ලංකාව වැනි රටවලට මඟ හැරේ. ලංකාව හා ඉතියෝපියාව වැනි රටවල කුණු කඳු වලට මිනිසුන් යටවීමේ සිට ගංවතුර ආපදා දක්වා බොහෝ ප්‍රශ්න වලට මුල බටහිර සංවර්ධනය නොව ඒ බටහිර සංවර්ධනය ක්‍රියාත්මක කිරීමේදී නොවැදගත්යැයි සිතා උවමනාවෙන්ම මඟ හරින හෝ නොසැලකිල්ල නිසා මඟ හැරෙන දේවල්ය.


ලෝකයේ ප්‍රධාන ශිෂ්ඨාචාර ගණනාවක් ගංගා නිම්න ආශ්‍රිතව බිහි වූයේ ගංවතුර තර්ජන හමුවේ වුවද ගංගා නිම්න වල ජීවත් වීම වඩා වාසිදායක වූ බැවිනි. මේ වාසි අතරින් එක් ප්‍රධාන වාසියක් වූයේ ප්‍රවාහන පහසුවයි. විශේෂයෙන්ම භාණ්ඩ ප්‍රවාහනය සඳහා පසුගිය සියවස ඇරඹෙන තුරුත් ජල ප්‍රවාහනය කාර්යක්ෂම ක්‍රමයක් විය. එහෙත්, දැන් මේ අවශ්‍යතාවයන් වෙනස් වී තිබේ.

මිනිසුන්ගේ ක්‍රියා නිසා ස්වභාවික ආපදා එන්න එන්නම වැඩිවන බව බොහෝ දෙනෙකුගේ අදහසයි. මිනිසුන්ගේ ක්‍රියා නිසා ස්වභාව ධර්මය මත විශාල බලපෑමක් සිදු වී ඇති බව ඇත්තක් වුවත් මිනිසාගේ පාලනයෙන් තොර හේතු මත ස්වභාව ධර්මයේ සිදුවන ඇතැම් වෙනස්කම් සැලකූ විට ස්වභාව ධර්මය කෙරෙහි මිනිසුන් විසින් කර ඇති බලපෑම එතරම්ම විශාල නැත. ස්වභාව ධර්මය ඉදිරියේ මිනිසා තවමත් කුරා කුහුඹුවෙකි.

ස්වභාව ධර්මය සමඟ ජීවත් වීමේදී තවමත් හොඳම උපාය මාර්ගය වන්නේ ස්වභාව ධර්මයේ රිද්මය හඳුනාගැනීම හා ස්වභාව ධර්මයට යටත් වීමයි. ඉතිහාසය පිරික්සා බලන විට පෙනෙන්නේ පසුගිය සියවසක පමණ කාලය තුළ ස්වභාවික ආපදා වැඩි වීමට වඩා ස්වභාවික ආපදා නිසා සිදුවන හානි වැඩිවී ඇති බවයි. එය ස්වභාව ධර්මයේ රිද්මය නොතකා හැරීමේ හා ස්වභාව ධර්මයට අවශ්‍ය මට්ටමින් යටත් නොවීමේ ප්‍රතිඵලයකි.

වෙබ් ලිපිනය: