Saturday, May 27, 2017

ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා...


දෙසතියකට පෙර අපේ නිවස ආසන්නයේ ඇති පිට්ටනිය හා ඒ අවට ප්‍රදේශය ගංවතුරින් යට වුණේය. ගංවතුර කියා කිවුවත් පිටාර දමා තිබුණේ "ක්‍රීක්" එකක් ලෙස හැඳින්වෙන කුඩා දොළපාරකි. ඇමරිකාවේ මා ජීවත් වන ප්‍රදේශයේ ගංවතුර යනු එතරම්ම දුලබ සිදුවීමක් නොවේ. එහෙත්, මෙසේ ඇති වුනු ගංවතුරක් හේතුවෙන් මා දන්නා තරමින් මේ ප්‍රදේශයේ විශාල ජීවිත හෝ දේපොළ හානියක් සිදු වී නැත.

කෙසේවුවත්, විශාල රටක් වන ඇමරිකාවේ විවිධ ප්‍රදේශ වල ජීවත්වන පුද්ගලයින් මුහුණ දෙන ස්වභාවික ව්‍යසන අතරින් වැඩිම ජීවිත හානි සිදු කරන ස්වභාවික ව්‍යසනය ලෙස ගංවතුර හැඳින්විය හැකිය. 2015 වසරේදී ගංවතුර හේතුවෙන් ඇමරිකාවේ ජීවිත හානි 176ක් සිදුව තිබුණු අතර සිදුවූ දේපොළ හානිය ඩොලර් බිලියන 2.2 ඉක්මවීය. එම වසරේ සියලුම ස්වභාවික ව්‍යසන වලින් සිදු වුනු ජීවිත හානි ගණන 522ක්ද, දේපොළ විනාශය ඩොලර් බිලියන 4.2ක් ද විය.

ගංවතුර නිසා ඇති වන හානි අවම කරගැනීම සඳහා ඇමරිකාවේ ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. අඩුම වශයෙන් වසර 100කට වරක් ගංවතුරෙන් යටවීමට ඉඩ ඇති, එනම් වසරක් තුළ ගංවතුරෙන් යටවීමට 1%ක සම්භාවිතාවක් ඇති ප්‍රදේශ සිතියම්ගත කර ඇති අතර මේ සිතියම් අන්තර්ජාලයෙන් බලාගන්නට පුළුවන.

නිවසක් මිලදී ගැනීමට පෙර යමෙකු සොයා බලන එක් කරුණක් වන්නේ අදාළ ප්‍රදේශය ඉහත කී සිතියමක ගංවතුර කලාපයක් ලෙස සලකුණු වී ඇත්ද යන්නයි. එසේ ලකුණු වී ඇත්නම් ගංවතුර හානි වෙනුවෙන් රක්ෂණයක් මිල දී ගන්නට සිදුවන අතර මේ වෙනුවෙන් වාර්ෂිකව මුදල් වැය කළ යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස ගංවතුරට යටවීමේ සම්භාවිතාව 1% ඉක්මවන ප්‍රදේශ වල දේපොළ සඳහා ඉල්ලුම අඩු නිසා දේපොළ වටිනාකම වෙනත් ප්‍රදේශ වලට වඩා තරමක් අඩුය. මෙය වක්‍ර ලෙස පහත් බිම් වල ඉදිකිරීම් සීමා කරයි.

ගංවතුරෙන් සිදුවන හානි ගැන කතා කිරීමේදී මා ගංවතුර ලෙස සිංහලට පරිවර්තනය කළේ ෆ්ලඩ් (flood) යන ඉංග්‍රීසි වචනයයි. එහෙත්, මේ හානි වලින් වැඩි ප්‍රමාණයක් සිදුවී ඇත්තේ සැබෑවටම ගංවතුර ලෙස හැඳින්විය හැකි රිවර් ෆ්ලඩ් (river flood) හේතුවෙන් නොව ෆ්ලෑෂ් ෆ්ලඩ් (flash flood) හෙවත් "ක්ෂණික වතුර" හේතුවෙනි. ෆ්ලෑෂ් ෆ්ලඩ් වලට බොහෝ විට හේතු වන්නේ ශීත කාලයේදී උස් ප්‍රදේශ වල හිම එකතු වීමෙන් පසුව පරිසරයේ උෂ්ණත්වය හිම දියවන මට්ටමට පැමිණීම නිසා උස් ප්‍රදේශ වල එකතු වී ඇති හිම විශාල තොගයක් ඉතා කෙටි කාලයක් තුළ දියවී පහත් බිම් වෙත ගලා ඒමය.

ටොර්නේඩෝ, සුළිසුළං, ලැව්ගිනි ආදී වෙනත් ස්වභාවික ව්‍යසන මෙන්ම ගංවතුර හා ක්ෂණික වතුර ආපදා පිළිබඳවද කලින් නිවැරදිව පුරෝකථනය කර ජනතාව දැනුවත් කරන නිසා ඇමරිකාවේ ස්වභාවික ව්‍යසන වලින් ජීවිත හානි සිදුවන්නේ ඉතා අඩුවෙනි. මේ පුරෝකථන සෑහෙන දුරට නිවැරදි වීම වීම හා ජනතාව ඒ ගැන විශ්වාසය තබමින් ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීම හානි අඩුවීමට හේතුවයි.

අපේ නිවස අසල පිට්ටනිය වතුරෙන් යට වී තිබෙනු විට මට නිතැතින්ම සිහිවන්නේ මගේ කුඩා කාලයයි. ගංවතුර කොයිතරම් හානිකර වුවත්, වැඩිහිටියන්ට මෙන් එහි බරක් පතලක් නොතේරෙන කුඩා දරුවන්ට එයින් ලැබුණේ විශාල ආශ්වාදයකි.

"ගංවතුර ගලා උතුරා යයි දෙගොඩ තලා
පදිමු පදිමු ඔරුව පදිමු එතෙර බලා"



මගේ පියාගේ මහගෙදර පිහිටා තිබුණු ගම අප කුඩා කාලයේ සෑම වසරකම වාගේ ගංවතුරෙන් යටවූ අතර ගංවතුර කාලයට ගම වටකරගත් වතුර හේතුවෙන් ඒ ගම ඇතැම් විට සති ගණනක් බාහිර ලෝකයෙන් වෙන් කෙරුණේය. ගම මැද තරමක උස් ඉඩමක පිහිටා තිබුණු මගේ පියාගේ මහගෙදර ගංවතුරෙන් කිසිවිටෙකත් යට නොවුනත් ගමේ පහත් බිම් වල පිහිටි ගෙවල් බොහොමයක්ම ගංවතුරට යට වුණේය. මේ ඇතැම් ගෙවල් වල වැසියෝ ඒ කාලයට පවුල් පියාගේ මහගෙදර පිහිටි ඉඩමේ කඳවුරු බැඳගත් අතර ඒ නිවසේ ඒ කාලයට විශාල බත් හැලියක් ඉදුණේය.

මගේ පියාගේ ගමේ බොහෝ නිවෙස් වල ඒ දවස් වල දැකිය හැකිව තිබුණු දෙයක් වූයේ ඉස්තෝප්පුවේ හෝ පිටත පිටත මඩුවක මුනින් අතට තබා තිබුණු කොල්ලෑ ඔරුවයි. සැහැල්ලු ලීයක මැද හාරා හදා තිබුණු මේ ඔරු සාමාන්‍යයෙන් බංකුවක් මෙන් වාඩිවීම සඳහා පාවිච්චි කළ අතර ගංවතුර කාලයේදී ගමනාගමනය සඳහා නැතුවම බැරි දෙයක් විය.

කුඩා කාලයේ ගංවතුර දැකීමේ මිහිරක් තිබුණත් ගංවතුර යනු එඩ්වඩ් ජයකොඩිගේ උඩින් ඇති ගීතය ඇසෙන විට හිතට දැනෙන ආකාරයේ සුන්දර අත්දැකීමක් නොවන බව කිවයුතු නැත. ලංකාවේ ගංවතුර ආපදා බොහෝ විට අවසන් වන්නේ විශාල ජීවිත හා දේපොළ හානි සිදුකරමින්, තවත් විශාල පිරිසක් අවතැන් කරමිනි. මෙවරද තත්ත්වයේ ලොකු වෙනසක් නැත.


මා පෙර කිවූ මගේ පියාගේ මහගෙදර පිහිටි ගම මෙවරද ගංවතුරෙන් වට වී ඇත. එවැනි ගම් වලට සාමාන්‍යයෙන් පහසුවෙන් ලඟා විය හැකි හා ප්‍රධාන මාර්ග වලට ආසන්නව පිහිටි ගම් වලට ලැබෙන තරම් හෝ ලැබෙන ඉක්මණින් බාහිර ආධාර ලැබෙන්නේද නැත.

විවිධ දේශපාලන කණ්ඩායම් තරඟයට මෙන් ගංවතුරෙන් විපතට පත් වූවන්ට ආධාර කිරීමට ඉදිරිපත්ව සිටින බව පෙනේ. ඔවුන් එසේ කරන්නේ වෙනත් අභිමතාර්ථ ඇතුව වන්නට පුළුවන. එහෙත්, මෙවැනි ව්‍යසන අවස්ථාවක වැදගත් වන්නේ එවැනි වෙනත් අභිමතාර්ථ තිබෙනවාද නැද්ද යන්න නොවේ. තමන්ට හැකි පමණින් මොනවා හෝ කිරීමයි.

6 comments:

  1. මෙහෙනම් අන්තෝ ජටා, බහී ජටා..ආන්ඩුවයි මිනිස්සුයි, මාධ්‍ය කාරයොයි ඔක්කොමල්ලා ගංවතුරෙ ජබු ගගහා නානවා...

    ReplyDelete
  2. ලංකාවේ ඉස්සර ගංවතුර ආවට දැන් කාලගුණ එකෙන් කියනවට වඩා එන කාලසීමාව ගැන හොද දැනුමක් හා කලයුතු කුමක්ද කියා හැඟීමක් කා තුලත් තිබුණා. ගංගාධාර වල ඉදිකිරිම ගැන කිසිදු වගවිභාගයක් නැතිවීම ඇතුළු රටක් ලෙස පවතින කළමනාකරණ අඩුපාඩු නිසා දැන් එය මිනිසුන් බිලිගන්නා වාර්ෂික ව්‍යසනයක් වෙලා.

    ReplyDelete
    Replies
    1. මගේ අත්දැකීම් අනුව මට ඔබ සමඟ එකඟ විය හැකියි.

      Delete
  3. Indranatha Thenuwara ගංවතුර ගැලුවේ අද ඊයේ නොවේ.
    මීට වසර මිලියන ගණනකට පෙර සිදු වූ භූ තල ඝට්ඨනයන් නිසා කඳු ද, නිම්න ද, ගංගා ද ඇති විය.
    ඒ ඇති වූ දා පටන් අද දක්වා ම මහ වැසි වසින කාලයට දෙගොඩ තලා යන වතුර පහරක් එන්නේ ය.
    කවුරුවත් නැති කාලයේ ඉන් කාටවත් කරදරයක්, පාඩුවක්, අනතුරක් උනේ නැත...
    නමුත් ගැටළුව පැන නගින්නේ දැන් ගඟ දෙපස අපි පදිංචි ව සිටින නිසා ය..
    අප පදිංචි කළේ ගඟ නොවේ.. අපම ය..
    ගඟ දෙපස පදිංචි උනා පමණක් නොව ගඟ ද හාරා වැලි ගන්නෙමු. ගඟ දෙපස ගොඩ කර ඉඩම ලොකු කර ගන්නෙමු.
    නිදහසේ ගලා ගිය ජල කඳක කෝචෝක් කරන්නෙමු...
    හැම නියං කාලයට ම මේ කෝචෝක් ඉවසා වදාරන ගඟ, උඩ පැත්තට වැස්ස පටන් ගත් විට
    රිටන් එක දෙන්නේ අර කෝචෝක් කරපු අයට මිස අපට නොවේ..

    වසර මිලියන ගණනක් ම තිස්සේ වසරක් පාසා ගංවතුර ගැලුවේ ය.
    ගංවතුර වගේ ම ආණ්ඩු ද ආවේ ය ගියේ ය..
    ගංවතුර ගැලූ විට අපි නියං ආධාර බෙදුවේ ද බෝට්ටුවලින් ගොස් ය.
    හැම අවුරුද්දක ම ආපදා කළමනාකරණයෙන් අවවාද දුන්නේ ය. අනතුරු ඇඟෙව්වේ ය.
    ගැලුවා ට පසු බෝට්ටු ද දුන්නේ ය. එකෙක් දෙන්නෙකුට වන්දි ද දුන්නේ ය.
    ඊට පසු පස්සා පැත්තේ අතපිහදාගෙන ඊ ළඟ අවුරුද්ද වනතෙක් ගොරොද්දේ අදිමින් නිදා ගත්තේ ය..
    ඊ ළඟ අවුරුද්දේත් මේක ම වන්නේ ය...!!
    තව වසර මිලියන ගණනක් ම ඔය සන්තෑසිය වන වග සහසුද්දෙන් ම අපට තේරී අවසන් ය..
    ඒ නිසා දැන් අවශ්‍යවන්නේ බඩ යනවාට අමුඩ ගැසීම නොවේ.
    ගංවතුර නවත්වන්නට ගඟ වසා දැමීම ද නොවේ.
    ස්ථිරසාර විසඳුම් ය.
    අපි ආණ්ඩු හිටං පත්කරගන්නේ ඒකට ය..
    නැත්තං එහි ඉන්නා කෙලමෝල්ලුන්ට මිලියන ගණන් වාහන අරං දෙන්නට නොවේ ය...!!

    ReplyDelete
  4. https://www.facebook.com/The-Theory-Of-Human-Instincts-1449859808601539/?ref=aymt_homepage_panel

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget