Monday, May 29, 2017

පංතියෙන් දොට්ට දැම්ම මොට්ටපාලලා...

පසුගිය බ්‍රහස්පතින්දා (මැයි 25) හාර්වඩ් සරසවියේ 366 වන උපාධි ප්‍රදානෝත්සවය පැවැත්වුනේය. මේ උපාධි ප්‍රදානෝත්සව උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේ මීට වසර පහළොවකට පෙර සිසුවෙකු ලෙස හාර්වඩ් සරසවියට ඇතුළු වුවද සිය උපාධිය සම්පූර්ණ නොකර දෙවසරකට පසුව හාර්වඩ් සරසවියෙන් පිටවූ අයෙකි. මේ පුද්ගලයා වෙනකකු නොව පසුගිය මාර්තු මාසය අවසන් වන විට වත්කම් හිමිකම් අනුව ලෝකයේ පස්වැනියා වූ මාර්ක් සකර්බර්ග්ය. මේ උපාධි ප්‍රදානෝත්සවයේදී මාර්ක් සකර්බර්ග් නීතිය පිළිබඳ සම්මාන ආචාර්ය උපාධියකින්ද පිදුම් ලැබීය.

මෙය මේ ආකාරයේ දෙයක් සිදුවූ පළමු අවස්ථාව නොවේ. මෙයට දශකයකට පෙර, 2007 වසරේදී, හාර්වඩ් සරසවියේ 356 වන උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වූයේද හාර්වඩ් සරසවියට ඇතුළු වී සිය උපාධිය සම්පූර්ණ නොකර පිටවූ අයෙකි.  ඔහු දැන් වසර ගණනක සිට වත්කම් හිමිකම් අනුව ලෝකයේ ඉහළින්ම සිටින බිල් ගේට්ස්ය. බිල් ගේට්ස්ද එම වසරේදී නීතිය පිළිබඳ සම්මාන ආචාර්ය උපාධියකින්ද පිදුම් ලැබීය.


බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග් වැනි අය සිය ප්‍රථම උපාධි සම්පූර්ණ නොකර සරසවියෙන් පිටවීම ඇතැම් අය දකින්නේ වැඩිදුර අධ්‍යාපනයේ හෝ උපාධි වල එතරම් වැදගත්කමක් නැතැයි යන අරුතිනි. එහෙත්, එය නිවැරදි නොවේ. මේ දෙදෙනාගෙන් එක් අයෙක්වත් තමන්ගේ සරසවි විභාග සමත්වීමේ නොහැකියාව නිසා හාර්වර්ඩ් සරසවියෙන් විසිවුණු "පංතියෙන් දොට්ට දමනු ලැබූ මොට්ටපාලලා" නොවේ.

බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග් විසින් ඔවුන්ගේ ප්‍රථම උපාධි සම්පූර්ණ නොකිරීම දෙස බැලිය යුත්තේ අධ්‍යපනයේ අරමුණ කුමක්ද යන්න විමසමිනි. එක් එක් පුද්ගලයා අධ්‍යාපනයෙන් අපේක්ෂා කරන විවිධ විශේෂ අරමුණු තිබුණත් පොදුවේ අධ්‍යාපනය විසින් කරන කාර්ය භාරය වනුයේ කිසියම් පුද්ගලයෙකුට සිය අනාගත ජීවිතය වඩා සාර්ථක කරගැනීමට තල්ලුවක් දීමයි.

සාර්ථකත්වය යනු කුමක්ද යන්නද විවාදිත කරුණක් වුවත් බොහෝ දෙනෙකු පිළිගන්නා අයුරින් බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග් යනු සාර්ථක පුද්ගලයින්ය. මේ අර්ථයෙන් මොරටු සරසවියේ ජාතික තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමට තේරී එය සම්පූර්ණ නොකළ ධම්මික පෙරේරාද ජීවිතය සාර්ථක කරගත් පුද්ගලයෙකි.

අධ්‍යාපනයේ පළමු කාර්යභාරය ලෙස සැලකිය හැක්කේ පුද්ගලයෙකුගේ කුසලතා ඔප්නැංවීමයි. මෙය විධිමත් මෙන්ම අවිධිමත් අධ්‍යාපනය හරහාද සිදුවේ. දෙවනුව, අධ්‍යපනය තුළින් යමෙකුට තමන්ගේ දැනුම, කුසලතා හා හැකියාවන් පිළිබඳව වෙනත් අයට සංඥා කළ හැකිය. මේ සඳහා විධිමත් අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය වේ.

ව්‍යවසායකයෙකු යනු තමන්ගේ හැකියාවන් පිළිබඳව විශ්වාසය තබන පුද්ගලයෙකි. එවැන්නෙකුට මේ හැකියාවන් වෙනත් අයට ප්‍රදර්ශනය කිරීම එතරම්ම වැදගත් දෙයක් නොවේ. එහෙත්, තමන්ගේ කුසලතාවන් වෙනත් අයෙකුගේ අරමුණු ඉටුකිරීම වෙනුවෙන් අලෙවිකරන අයෙකුට සිය ශ්‍රමය වෙනුවෙන් නිසි ප්‍රතිලාභ ලබාගැනීමටනම් ඒ කුසලතා පිළිබඳව ප්‍රමාණවත් අයුරින් සංඥා කරන්නට සිදුවේ. විධිමත් අධ්‍යාපන සුදුසුකම් තිබීම මේ කටයුත්තට පිටිවහලකි.

සිය උපාධි පාඨමාලා සම්පූර්ණ කරන්නට පෙරම සාර්ථකත්වය කරා පියවර තැබූ බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග්ට එය කරන්නට තමන්ගේ කුසලතා වෙනත් අයට සංඥා කිරීමට උදවු වන ප්‍රථම උපාධි සහතිකය අතට ලැබෙන තුරු කල් මරන්නට අවශ්‍ය නොවීය. සාර්ථක ව්‍යවසායකයින් වන්නට ඉඩ සලසන මූලික ගුණාංග ලෙස සැලකිය හැකි සහජ කුසලතාවන් මෙන්ම අධිෂ්ඨානය හා කැපවීමද ඔවුන් සතුව මුල සිටම පැවතුණේය.

සහජ කුසලතාවන්, අධිෂ්ඨානය හා කැපවීම තිබුණු පමණින්ම බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග් දැන් සිටින තැනට පැමිණෙන්නට සියල්ලන්ට නුපුළුවන. ඒ සඳහා, යම් තරමකින් වාසනා ගුණයක්ද අවශ්‍ය වේ. මේ දෙදෙනාටම ඒ වාසනා ගුණයද නොඅඩුව තිබුණේය. දෙදෙනා අතරින්, වාසනාව අතින් මාක් සකර්බර්ග් වඩාත් ඉදිරියෙන් සිටී.

ලෝකයේ ආදායම් විෂමතාවය පිළිබඳ ප්‍රශ්නයක් තිබේ. එහෙත්, එයට හේතුව බිල් ගේට්ස් හා මාර්ක් සකර්බර්ග් වැනි අය ධනවතුන් වී සිටීම නොවේ. ඔවුන් ධනය උපයාගෙන ඇත්තේ වෙනත් අය සතු දේ සූරාකෑමෙන්ද නොවේ. මුල සිටම මහන්සියෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් තමන් විශ්වාස කරන අරමුණක් වෙනුවෙන් කැපවීමෙනි.

සැබෑ ප්‍රශ්නය වන්නේ සහජ කුසලතාවන්, අධිෂ්ඨානය හා කැපවීම ඇති තවත් බොහෝ දෙනෙකුට බිල් ගේට්ස්ලා හෝ මාර්ක් සකර්බර්ග්ලා වන්නට නොහැකි වීමයි. මේ දෙදෙනා උපතින් ප්‍රකෝටිපතියන් නොවූවත් ආහාර, නිවාස වැනි මූලික පහසුකම් පවා නොතිබුණු දුප්පතුන්ගේ දරුවෝද නොවූහ. ඔවුන්ගේ දෙමවුපියෝ වෘත්තිකයෝ වූහ. මාර්ක් සකර්බර්ග්ගේ පියා දන්ත වෛද්‍යවරයෙකු වූ අතර මව මනෝවෛද්‍යවරියකි. බිල් ගේට්ස්ගේ පියා නීතිඥවරයෙකි. මව ව්‍යාපාර කටයුතුවලද යෙදුනු සමාජ ක්‍රියාකාරිනියකි.

බිල් ගේට්ස්ට හා මාර්ක් සකර්බර්ග්ට ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් ලැබුණේ වඩා හොඳ ජාන, ගෘහස්ථ  වාතාවරණයක් හා මාර්ගෝපදේශනයක් පමණක් නොවේ. ඔවුන්ගේ දෙමවුපියන් සතුව සිය දරුවන් වැඩිහිටියන් වන තුරු "අඩුපාඩුවක් නොදැනෙන්නට" හදන්නට තරම් ප්‍රමාණවත් වත්කම්ද තිබුණේය. ඔවුන් ව්‍යවසායකයින් ලෙස අවදානම් ගෙන අසාර්ථක වූවානම් "කන්න බොන්න නැතුව මැරෙන්නේ" නැත. එහෙත්, ඇමරිකාව ඇතුළු ලෝකයේ විවිධ රටවල ජීවත්වන තවත් බොහෝ දෙනෙක් සම්බන්ධව තත්ත්වය මෙසේම නොවේ. ආදායම් විෂමතාවය ප්‍රශ්නයක් වන්නේ එතැනදීය.




(Image: http://www.moweble.com/bill-gates-vs-mark-zuckerberg-where-do-they-differ.html)

7 comments:

  1. සත්තකින්ම ඔවුන් ව්‍යාපාර කර අසාර්ථක වූවා නම් කන්න බොන්න නැතිව මැරෙන්නේ නැත.

    මෙහි අනෙත් පැත්තක්ද ඇත. කන්න බොන්න නැති නිසාම ව්‍යාපාර අවදානම ගැනීමට සිදුවීම නිසා සාර්ථක ව්‍යාපාරිකයන් වූ අයද ඇත.

    ReplyDelete
    Replies
    1. ව්‍යාපාර ක්ෂේත්‍රයේ ඉහළටම පැමිණි ජූලි වර්ජකයින් වැනි අය සැලකූ විට ඔබ කියන එක හරි.

      Delete
  2. වාසනාව යන්න වැදගත් සාධකයක් ලෙස ඔබ සලකන බව පෙනේ.

    වාසනාව = පෙර පින ද?

    ReplyDelete
    Replies
    1. මම මෙයින් අදහස් කරන්නේ තමන්ගේ තෝරාගැනීම් හෝ තීරණ වල ප්‍රතිඵලයක් ලෙස නොව වෙනත් අයගේ තීරණ හෝ ස්වභාවික සංසිද්ධි නිසා යමෙකුට ලැබෙන අහඹු වාසි (හෝ අවාසි). බිල් ගේට්ස් සාර්ථක ව්‍යාපාරයක් ගොඩනැංවීමේ අරමුණක් මුල සිටම තිබුණු කෙනෙක්. ඔහු ඒ වෙනුවෙන් නිශ්චිත සැලසුමකට අනුව ක්‍රියා කළා. එයට සාපේක්ෂව ෆේස්බුක් එක ඉතා වේගයෙන් ජනප්‍රිය වීම තනිකරම මාක් සකර්බර්ග්ගේ සැලසුම් නිසාම සිදු වුනු දෙයක් නෙමෙයි. යමෙක් මහන්සියෙන් හා කැපවීමෙන් වැඩ කරනවානම් සාර්ථක වීමට විශාල සම්භාවිතාවක් තිබුනත් එය එකට අඩුයි. ඒ වගේම සමහර අයට "පොට්ට චාන්ස්" වදින වෙලාවලුත් තිබෙනවා.

      Delete
  3. ෆේස් බුක් සාර්තක වීම හුදු වාසනාවක් නෙමේ නේද? වැල යන පැත්ත බල බල මැස්ස ගහන්න දක්වපු උනන්දුව, කැපවීම නිසා වෙන්න පුලුවන් වැඩේ නැගල ගියේ...

    ReplyDelete
    Replies
    1. ඔබ කියන එක ඇත්ත. මෙය කෙසේවත් හුදු වාසනාවක් නෙමෙයි. මාක් සකර්බර්ග් විසින් කළේ ඉල්ලුමක් පැවති දෙයක් හඳුනාගෙන එය සැපයීමයි. වාසනාව වන්නේ එය කළ තවත් අය අතරින් ඔහු හැදූ දෙය වඩා ජනප්‍රිය වීමයි.

      Delete
    2. Yeah true. It remind me the good old Hi5, WAYN (where are you now) etc. Only Facebook become a hit (superhit) since 2007. Why?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget