Wednesday, May 3, 2017

වීදුරු බාගය


"කෝ, මචං? උඹේ වීදුරුවෙ බාගයක්ම හිස්නේ...හොර කරන්නෙ නැතුව ඕක පුරෝගනිං!"

ජගත්ගේ වීදුරුව දෙස බලමින් ධනුෂ්ක ජගත්ට බල කරයි.

"ඇති මචං! දැන් ගෙදර බලාගෙන ඇති පරක්කු ඇයි කියල..."

"පිස්සු කෙලින්නැතුව ඕක දාගනිං!"

ධනුෂ්ක ජගත්ගේ වීදුරුව බලෙන්ම පුරවයි.

***

"කෝ බං? උඹ බීලම නෑනේ...වීදුරුවෙන් බාගයක් තවම එහෙම්මමයි!"

තවත් ටික වෙලාවකින් ජගත්ගේ වීදුරුව දෙස බලන ධනුෂ්ක පවසයි.

***

ඉහත මනඃකල්පිත සිදුවීම බොහෝ දෙනෙකුට නුපුරුදු අත්දැකීමක් විය නොහැකිය. එක මට්ටමටම පිරුණු වීදුරුවක් එකම අයෙක් අවස්ථා දෙකකදී බාගෙට පිරී ඇති ලෙසත්, බාගෙට හිස් ලෙසත් සලකන්නට පුළුවන.

කිසියම් අයුරකින් ගාලුමුවදොර පිටිය වැනි තැනක පැවැත්වෙන මැයි රැළියක් වැනි අවස්ථාවක සහභාගිත්වය පිට්ටනියෙන් අඩක් පමණක් වීනම් බාගෙට හිස් පිට්ටනියක් ගැන ඇතැම් අය කතාකරනු අපට අසන්නට ලැබෙනු ඇත. ඒ අතරම තවත් අය ගූගල් සිතියම් වලින් පිට්ටනියේ වර්ග ඵලය මනිමින් එතරම් ලොකු පිට්ටනියකින් බාගයක් පිරුණු බව අවධාරණය කරනු ඇත.

අවස්ථාව අනුව එකම සිද්ධිය එකම පුද්ගලයා විසින් වුවද වරෙක ශුභවාදී ලෙසත්, තවත් වරෙක අශුභවාදී ලෙසත් දකින්නට පුළුවන. එසේ වුවත්, ඇතැම් පුද්ගලයින් ස්වභාවයෙන්ම වඩා ශුභවාදී ලෙස ලෝකය දකිද්දී තවත් අය බොහෝ විට වඩා අශුභවාදී ලෙස ලෝකය දකිති.

බොහෝ දෙනෙකු දන්නා "බාගෙට පිරුණු, බාගෙට හිස්" වීදුරුව ගැන පිරුළෙන් අදහස් කෙරෙන්නේ ඉහත වෙනසයි. එකම වීදුරුව අයෙක් බාගෙට පිරුණු වීදුරුවක් ලෙසත්, තවත් අයෙක් බාගෙට හිස් වීදුරුවක් ලෙසත් දකිති. පළමු වර්ගයේ අය ශුභවාදීන් ලෙසත්, දෙවන වර්ගයේ අය අශුභවාදීන් ලෙසත් සැලකේ. බොහෝ පුද්ගලයින්ට වඩා ශුභවාදී හෝ වඩා අශුභවාදී ලෙස වර්ග කළ හැකි අනන්‍ය ලෝක දැක්මක් ඇති බව කලක සිටම තහවුරු වී පැවති දෙයකි.

මෑතකාලීන පර්යේෂණ වලින් පෙනෙන්නේ මේ අනන්‍ය ලෝක දැක්ම හා පුද්ගලයෙකුගේ ජාන අතර පැහැදිලි සම්බන්ධයක් ඇති බවයි. වෙනත් අයුරකින් කිවහොත් කිසියම් පුද්ගලයෙකු ශුභවාදී හෝ අශුභවාදී ලෙස ලෝකය දැකීම ඇතුළු බොහෝ ආකල්ප ඉපදෙන විටම ඔහුගේ හෝ ඇයගේ ජාන වල ලියැවී තිබේ.

මෙයින් අදහස් වන්නේ පුද්ගලයෙකුගේ ආකල්ප ඇතුළු ලෝකදැක්ම තනිකරම ජාන මත තීරණය වන බව නොවේ. සංස්කෘතිය, විධිමත් හා අවිධිමත් අධ්‍යාපනය හා පුහුණුව තුලින් ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ ආකල්ප හා ලෝකදැක්ම වෙනස් කරගන්නට පුළුවන. එහෙත්, පුද්ගලයෙකුගේ ලෝක දැක්ම කෙරෙහි ඉතා පැහැදිලිවම ජාන වල බලපෑමක් තිබේ.

නිවුන් දරුවන් දෙදෙනෙකු හැදෙන වැඩෙන සංස්කෘතික වටපිටාව බොහෝ දුරට සමානය. එහෙත් ඔවුන්ගේ ජාන සැකසුම සමාන හෝ අසමාන විය හැකිය. ඒ නිසා, සම නිවුන් දරුවන් අතර දැකිය නොහැකි ආකල්ප වෙනසක් විෂම නිවුන් දරුවන් අතර දැකිය හැකිනම් එයින් පෙනෙන්නේ ආකල්ප කෙරෙහි ඇති ජානමය බලපෑමයි. නිවුන් දරු යුගල් යොදාගන්නා පර්යේෂණ සැලසුමකින් පුද්ගලයෙකුගේ ලෝකදැක්ම කෙරෙහි බලපාන ජාන නිශ්චිත ලෙස හඳුනාගත හැකිය.

පුද්ගලයෙකුට උපතින් හිමිවන හමේ පැහැය වැනි දේ ගැන කතා කිරීම බටහිර සංස්කෘතිය තුළ නොකළ යුතු දෙයක් ලෙස සැලකෙන්නකි. ජාන අනුව හිමිවන හමේ පැහැය වෙනස්කර ගැනීමට බැරිම නැතත් එය ප්‍රායෝගිකව ඉතාම අපහසු කටයුත්තකි.

කෙසේ වුවද, වැඩිහිටි පුද්ගලයෙකු විසින් සිදුකරන තෝරාගැනීම් හෝ එවැනි තෝරාගැනීම් වල ප්‍රතිඵල විවේචනය කිරීම සාමාන්‍යයෙන් වැරදි දෙයක් ලෙස සැලකෙන්නේ නැත. තරබාරුකම හා මත්පැන් වලට ඇති ඇබ්බැහිය තනිකරම පුද්ගලයින්ගේ තේරීම් වල ප්‍රතිඵල ලෙස කලකට පෙර සැලකුවත් එය එසේම නොවන බව දැන් අප දන්නා දෙයකි. ඒ නිසා, මෙවැනි තත්ත්වයන් වුවද දැන් බටහිර රටවල හඳුනා ගැනෙන්නේ චර්යාත්මක වැරදි ලෙස නොව රෝගී තත්ත්වයන් ලෙසය.

අළුත් පර්යේෂණ වලින් පෙනෙන්නේ මිනිසුන්ගේ ශාරීරික ලක්ෂණ හා චර්යාවන් පමණක් නොව ආකල්ප ඇතුළු ලෝක දැක්ම පවා ජාන වල බලපෑමෙන් නිදහස් නැති බවයි. මේ
ජාන බලපෑම කිසියම් පුද්ගලයෙකුට පුහුණුව තුලින් සිය ලෝක දැක්ම වෙනස් කරගත නොහැකි තරමට ප්‍රබල නැති වුවත්, එය ඇතැම් අයට කළ හැකි තරම් පහසුවෙන් වෙනත් අයට කළ නොහැකිය. වෙනත් අයෙකුගේ තේරීම් ඇතුළු චර්යාවන් හා ආකල්ප වැනිදේ වුවද විවේචනය කිරීමේදී අප සැලකිලිමත් විය යුත්තේ එබැවිනි.

18 comments:

  1. උදාහරනේ ගැලපෙන්නේ ඇල්කොහොලිස්ම් වලටද මන්ද

    ReplyDelete
    Replies
    1. ටිකක් හිතුවොත් වෙනත් දේවලටත් අදාළ කරගත හැකියි.

      Delete
  2. චන්දෙ දෙන පක්ෂේත් පරම්පරාවෙන් එන්නේ ඔය හින්ද වෙන්න ඇති.

    ReplyDelete
  3. එක මොහොතක අපි වාසියට පාවිච්චි කරන ලොජික් තවත් වෙලාවක අවාසියට පාවිච්චි වෙනව.

    ReplyDelete
    Replies
    1. අඥයවාදීව සිටිමින් වඩා නිවැරදි දේ සොයා ගැනීමට තර්කනය භාවිතා කරන විට මේ ප්‍රශ්නය මතු වන්නේ නැහැ. එහෙත්, පූර්ව නිගමන වල සිටිමින් තමන්ගේ මතය කෙසේ හෝ තහවුරු කිරීම සඳහා තර්ක ගොඩනඟන අයට මේ ප්‍රශ්නය මතු වෙනවා.

      Delete
  4. බලාගෙන ගියාම ජාන කියන්නෙ බයානක දෙයක්නෙ.

    ReplyDelete
    Replies
    1. බය හිතෙන්නෙත් ජාන නිසාම වෙන්න පුළුවන්!

      Delete
  5. ජාන වෙනස් කොට මිනිසුන් තැනිය යුතු යුගය අත ළගය. හරිද මන්දා.

    ReplyDelete
    Replies
    1. ඔබ මතුකරන කරුණ ඉතාම වැදගත් කරුණක්. ඇතැම් අය විශ්වාස කරන පරිදි ඉදිරි වසර 300-1000 තුළ හෝමෝ සේපියන්ස්ලා වඳවී යනවා. එය සිදුවෙන්නේ මහා විනාශයකින් නෙමෙයි. මිනිසුන් තමන්ව ප්‍රතිනිර්මාණය කරගන්නට පටන් ගැනීමෙන් පසු හැදෙන අළුත් මිනිසුන්ට තවදුරටත් හෝමෝ සේපියන්ස්ලා කියා කියන්න බැරි නිසයි. මෙය සිදුවිය හැකි ක්‍රම තුනෙන් එකක් වන්නේ ජාන තාක්ෂනය හරහා මිනිසුන් වෙනස් කිරීම. මේ සමඟ ස්වභාවික ජීව විද්‍යාත්මක නියාම වල බලපෑමෙන් මිනිස්සු නිදහස් වෙනවා. දැනට මෙය වැලකී තියෙන්නේ ආචාර ධාර්මික හේතු මත මිනිසුන් යොදාගන්නා ජාන වෙනස් කිරීමේ පර්යේෂණ සිදුකිරීම වලක්වා ඇති නිසයි. ඉතිහාසය විසින් පෙන්වා දී ඇති දේ දෙස ආපසු හැරී බලනවානම් මෙවැනි සුසමාදර්ශ වෙනස්කම් වලට පෙර හැමවිටම විශාල ප්‍රතිරෝධයක් පැවතුණත් කිසියම් අවසථාවක මේ සීමා බිඳෙන බවයි. එය සිදුවූ වහාම දශකයක් වැනි කෙටි කාලයක් තුළ පවා අළුත් සොයාගැනීම් රැසක් සමඟ ජාන විද්‍යාව ඉදිරියට යන්න ඉඩ තිබෙනවා. මිනිසුන් විසින් මිනිසුන් ප්‍රතිනිර්මාණය කරනවා කියන්නේ අපේ ආකල්ප, හැඟීම්, චර්යා ආදියත් අප විසින්ම තීරණය කරන බවයි. එවිට අප සතුටුවන්නේ මොන දේවල් වලින්ද කියන එක අපෙන් ස්වායත්ත ස්වභාවික දෙයක් නොවී අප විසින්ම තීරණය කරන දෙයක් බවට පත් වෙනවා. මෙහි විශාල දේශපාලනික ප්‍රශ්නයක්ද තිබෙනවා. ලෝකයේ ජීවත්වන සියළු දෙනා මේ "ඉදිරිපෙළ" සමඟ නැහැ. සරලව මිනිසා විසින් මිනිසා ප්‍රතිනිර්මාණය කරනවා කියා කීවත් ආර්ථික හා දේශපාලනික බෙදීම් නිසා අනාගත මිනිසාගේ හැඩය තීරණය කෙරෙන්නේ දැනුම හා ආර්ථික ශක්තිය අතින් ඉදිරියෙන් සිටින මිනිසුන් අතිනුයි. මේ සමඟ එම ඉදිරිපෙළ හා අනෙක් මිනිසුන් අතර ඉතා විශාල පරතරයක් හැදෙනවා. ඒ නිසා පරිසරයට වඩා උචිත ලෙස තමන්ව ප්‍රතිනිර්මාණය කරගන්නා මිනිසුන් ඉතිරි වෙද්දී එසේ නොවන මිනිසුන් වඳවී යන්න පුළුවන්.

      Delete
  6. “The optimist proclaims that we live in the best of all possible worlds; and the pessimist fears this is true.”
    ― James Branch Cabell

    ReplyDelete
  7. ගණිතය සහ දෙවැනි බසක් ඉගෙනීමේ හැකියාවට ජානවල බලපෑමක් තියෙනවද?
    මේක විදුසර පත්තරේ තිබුණ දෙයක්,
    වඩා රණකාමී පිරිමින්ට වැඩියෙන් ගැහැණු දරුවනුත්. වඩා අහිංසක පිරිමින්ට වැඩියෙන් පිරිමි දරුවනුත් ලැබෙන බව හොයාගෙන තියෙනවලු. හැබැයි මමත් ඔය තත්වය දැකලා තියෙනවා.
    මේ ගැන වැඩි විස්තර දන්නවද?

    ReplyDelete
    Replies
    1. මේවා මම බ්ලොග් එක පටන් ගන්න විට ලියන්න සිටි දේවල්. කෙසේ හෝ එය මඟ හැරුණා. ඉදිරියේදී ඉඩ ලැබෙන පරිදි ලියන්නම්!

      Delete
  8. මේ පින්තූරෙ බලන්න

    https://4.bp.blogspot.com/-eUzzqX67iJI/WQwI98Nie0I/AAAAAAAABto/0W71ec3MgWs6KRWob6ebBhaKMQXIkIGMgCLcB/s1600/unnamed.jpg

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget