Friday, May 5, 2017

මාසෙ මාරුවීම හා අවුරුද්ද මාරුවීම


අසූව දශකයේ මැද භාගයේදී පටන්ගත් රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි වූ අරගලය හා එයින් අනතුරුව සිදුවූ ක්‍රියාවලිය විසින් මා ඇතුළු බොහෝ සමකාලීන තරුණ තරුණියන්ගේ පසුකාලීන ජීවිත කඩඉම් වසර තුනකින් පසුපසට තල්ලු කළේය. වඩා විශේෂිත ලෙස කියනවානම්, අපේ වසරේ හා ආසන්න වසර හතඅටක් හෝ වැඩි ගණනක් තුළ සරසවි ප්‍රවේශ වූ සිසුසිසුවියන් බොහෝ දෙනෙකුට සිය සරසවි අධ්‍යාපනය නිමාකර ප්‍රථම උපාධියක් ලබාගැනීමට හැකි වුනේ මුලින් බලාපොරොත්තු වූවාට වඩා වසර තුනකට පමණ පසුවය. මෙය මේ කණ්ඩායම් වලට අයත් වූවන්ගේ උසස් අධ්‍යාපනය ඇරඹීම, රැකියා ඇරැඹීම, විවාහය, දරුවන් ලැබීම වැනි තවත් බොහෝ දේවල් ප්‍රමාද කිරීමට හේතු විය.

මා ඇතුළු බොහෝ දෙනෙකුට සිදුවූ පාඩුව මෙපමණක් වුවද, මේ අඳුරු යුගය පසු කරන්නට ඇතැමෙකු වාසනාවන්ත නොවූහ. තවත් අය වඩා කටුක අත්දැකීම් වලට මුහුණ දුන්හ. එවැන්නන් අතර ආරක්ෂක අංශ විසින් දිගු කලක් රඳවා ගනු ලැබූවන්, වධ බන්ධන වලට ලක් වූවන් මෙන්ම ප්‍රචාරණ කටයුතු (පෝස්ටර් ගැසීම්) හෝ විරෝධතා වලට සහභාගී වෙද්දී වෙඩි පහරට ලක්ව දිගුකලක් ප්‍රතිකාර ගන්නට වීම නිසා තමන්ගේ ජීවිත කාලයෙන් වැඩි වසර ගණනක් නාස්ති කරගන්නට සිදු වූ අයද සිටියහ.

මේ සියල්ලෝම "දිස්ත්‍රික් ක්‍රමය යටතේ අඩු ලකුණු වලින් සරසවි පිවිසුම් ලැබූ" හෝ "සරසවි විභාග සමත් වීමට තරම් දක්ෂතාවයක් නොවූ" අය නොවූහ. සරසවි විභාග වලදී කණ්ඩායමේ පළමුවැනියා වන්නට තරම් දක්ෂතා දැක්වූ, පසුව ආචාර්ය උපාධි ලබා සරසවි ඇදුරන් වන්නට සමත් වූ අයද මේ කාලයේ රාජ්‍ය විරෝධී අරගලය වෙනුවෙන් සිය ජීවිත අවදානමේ හෙළූවෝ අතර වූහ. ඔවුන්ගේ අවංක කැපකිරීම් වල අවසාන ප්‍රතිඵලය ලෙස ශුද්ධ සෘණ ප්‍රතිලාභයක් පමණක් අත් වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ.

උසස් පෙළ සමත්වීම යනු ජීවිතය "ගොඩදාගැනීමේ " අවසන් පියවර බව සිතා ගෙන සරසවි පිවිසෙන බොහෝ දෙනෙකුගේ ඒ සොඳුරු සිහිනය බිඳ වැටෙන්නේ සරසවි විභාග ගොඩදාගැනීම කලින් සිතා සිටි තරම් සරල කටයුත්තක් නොවන බව දැනගත් පසුවය. සෑම වසරකම (අඩු වශයෙන් මා පේරාදෙණිය සරසවියේ පළමු උපාධිය හැදෑරූ කාලයේදී, මා උගත් පීඨයේ) සැලකිය යුතු සිසු පිරිසකට ප්‍රථම වසර විභාගය සමත් වන්නට නොහැකි වීම හේතුවෙන් කනිෂ්ඨ කණ්ඩායමක් සමඟ සරසවි දිවියේ ඉතිරි කාලය ගත කරන්නට සිදු විය. මේ පදනම මත අපට වඩා ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් වල සිසුසිසුවියෝ ගණනාවක්ම පළමු වසර දේශන ඇරැඹෙද්දීම වාගේ අපේ කණ්ඩායම සමඟ එක් වූහ.

සරසවි සිසුවෙකුට හෝ සිසුවියකට කනිෂ්ඨ කණ්ඩායමක් සමඟ එක් වීමට සිදුවූ එකම හේතුව විභාග අසමත් වීම නොවේ. විශේෂයෙන්ම අපේ කාලයේ රටේ පැවති තත්ත්වය හේතුවෙන් විභාග වලට පෙනී සිටීමේ අවස්ථාව ගිලිහීයාම හෝ අවශ්‍ය විද්‍යාගාර පරීක්ෂණ ප්‍රමාණය සම්පූර්ණ කිරීමට නොහැකි වීම වැනි හේතු මත කනිෂ්ඨ කණ්ඩායම් සමඟ එක් වන්නට සිදුවූ දකුණේ සිංහල සිසුන් මෙන්ම උතුරේ දෙමළ සිසුහුද වූහ. නවක වද කාලය අවසන් වන්නටද පෙර ජ්‍යෙෂ්ඨ කණ්ඩායමකින් මෙසේ අපේ කණ්ඩායම සමඟ එක් වූ මගේ එක් සරසවි මිතුරෙකුට ඔහු ලක්ව සිටි "හදිසි අනතුර" නිසා පාදයේ වූ ආබාධය හේතුවෙන් ඒ වන විටද හරි හැටි ඇවිදින්නට නුපුළුවන.

මේ කියන දවසේ ඔහුත්, මමත් ඇතුළු සිසුපිරිසක් හිල්ඩා ශාලාවේ සිට ගලහ පාර දිගේ පැමිණ, සනාතන මන්දිරය හරහා අක්බාර් පාලමෙන් එගොඩ වී ගඟෙන් එගොඩට යන්නට වීරසූරිය ස්මාරකය ආසන්නයට පැමිණ සිටියෙමි. ගලහ පාරෙන් සනාතන මන්දිරය පැත්තට හැරෙන තැන, පාරෙන් උපකුලපති නිලනිවසට ප්‍රතිවිරුද්ධ පැත්තේ ජ්‍යෙෂ්ඨ සිසු කණ්ඩායමක් රැඳී සිටී. මේ සිසුන් කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් බව මා එක් වරම හඳුනාගත්තේ ඒ වන විටද ඒ කණ්ඩායමේ සිසුන්ව නවකවදය හරහා හඳුනාගෙන සිටි බැවිනි.

වරක් හඳුනාගත් සිසුන්ව දිගින් දිගටම නවක වදයට ලක් කිරීම බොහෝ විට සිදු නොවන්නක් නිසා මේ ජ්‍යෙෂ්ඨ සිසුන් දැකීමෙන් මා චකිතයට පත් නොවූවත් අපේ කණ්ඩායමේ සිටි ඔවුන් දැන නොසිටි සිසුවෙකු හෝ කිහිපදෙනෙකු ඔවුන් විසින් නවත්වා ගනු ඇති බව ක්ෂණිකව පසක් වූයේ ඒ වන විට ලබා තිබුණු සරසවි අත්දැකීම් තුලිනි. අද ස්වීප් එක ඇදෙන්නේ කාටදැයි හිත හිතා ඉන්නට වැඩි වෙලාවක් ලැබුණේ නැත. සිසු කණ්ඩායමේ අවධානය ක්ෂණිකව යොමු වුණේ අප අතර සිටි ජ්‍යෙෂ්ඨ කණ්ඩායමකින් පැමිණි සිසුවා වෙතය. ඒ ඔහු කොර ගසමින් අපහසුවෙන් ගමන් ගත් බැවිනි.

"මොකෝ බං කොර ගහන්නෙ? මාසෙ මාරුවෙලාද?"

අපේ මිතුරා හිස ඔසොවා බැලුවේය. ඔහුගේ ඇඳුමෙන් හා පාවහන් වලින් ඔහු නවක සිසුවෙකු නොවන බව එක් ව
හඳුනාගත නොහැක.

"මාසෙ නෙවෙයි මචං, අවුරුද්ද මාරුවෙලා තියෙන්නෙ!"

පැත්තක සිටි සිසු කණ්ඩායමට තමන් ඇණගත් බව ක්ෂණිකව අවබෝධ විය. නවක සිසුවෙකුගෙන් නවක වද කාලයේ මේ ආකාරයේ පිළිතුරක් අපේක්ෂා කළ නොහැකිය.

"සොරි මචං!"

ඒ වන විට අවුරුද්ද මාරු වී තිබුණේ ඔහුගේ පමණක් නොවේ. අපේත් අවුරුදු තුනක්ම මාරු වී තිබුණේය.

මාස හා අවුරුදු මාරුවීම් ඇතුළු කාලය මැනීම් පිළිබඳව ඉදිරි ලිපි වලින් දිගටම කතා කරමු!


(Image: http://transcurrents.com/tc/2009/03/police_repression_unleashed_ag.html)

10 comments:

  1. Replies
    1. අත්වැරදීමක්. වීරසූරිය ස්මාරකය විය යුතුයි.

      Delete
    2. පේරාදෙණියේ අයිතිකාරයා පාන්දරම ඇවිත් ඉන්නේ වැරදි හදන්න!

      අපිනම් පෙරා-කම්මල මේවගේ චාටර් කියල දැනන් හිටියා ඔය අයිතිකාරයා තමුන් බැච් එකේ පොර කියල කිව්වහම.

      Delete
  2. අන්තරයත් සිසුන්ට අවුරුද්ද මාරු කරවනවා නේද ?

    ReplyDelete
    Replies
    1. පහුගිය කාලේ වැඩිපුර කළේ මාස මාරු කරන එක. අවුරුදු මාරු කරන්න ඔවුන්ට කාලෙකින් අවස්ථාවක් ලැබුණේ නැහැ. සමහර විට ළඟදී ලැබෙන්න පුළුවන්.

      Delete
  3. මේ පාර අවුරුද්ද මාරුවෙයි

    ReplyDelete
    Replies
    1. යන විදිහට සෑහෙන ඉඩක් තියෙනවා.

      Delete
  4. අවුරුදු මාස ගැන කියන කොට මම හිතුවේ අර ලෝකය කැරකෙන හැටි ගැන තව ලිපියක් කියලා.
    මේකත් නරක නැහැ ලෝකේ මේ විදියටත් කැරකෙනවා,අපේ ජීවිතේ එක එක කාල වලදී ලෝකේ එක එක විදියට කැරකෙනවානේ.

    ReplyDelete
    Replies
    1. ඒ සීරීස් එකේ ලිපියක් ළඟ එනවා.

      Delete
  5. මාසේ මාරුවත් නරකම නෑ නොවැ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget