වෙබ් ලිපිනය:

Tuesday, May 23, 2017

ඔක්ස්ෆෑම් ධනවතුන් දැන් කොහේද?


පසුගිය ජනවාරි මාසයේදී බ්‍රිතාන්‍යය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයක් වන ඔක්ස්ෆෑම් ජාත්‍යන්තර සංවිධානය විසින් ප්‍රසිද්ධ කළ වාර්තාවක සඳහන්ව තිබුණු සංඛ්‍යාලේඛණයක් සමාජ ජාල වල පුළුල් ලෙස සංසරණය විය. මේ වාර්තාවෙන් පෙන්වා දුන්නේ ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අට දෙනෙකුගේ වත්කම් වල එකතුව, ලෝක ජනගහණයෙන් වත්කම් පදනම මත දුප්පත්ම මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් වල එකතුවට සමාන බවයි.

අදාළ වාර්තාව අනුව ලෝකයේ ධනවත්ම පුද්ගලයින් අටදෙනා හා ඔවුන්ගේ වත්කම් පිළිවෙලින් මෙසේ විය.

බිල් ගේට්ස් - ඩොලර් බිලියන 75
ඇමන්සියෝ ඔටේගා - ඩොලර් බිලියන 67
වොරන් බුෆේ - ඩොලර් බිලියන 60.8
කාලෝස් ස්ලිම් හෙලු - ඩොලර් බිලියන 50
ජෙෆ් බෙසොස් - ඩොලර් බිලියන 45.2
මාක් සකබර්ග් - ඩොලර් බිලියන 44.6
ලැරී එලිසන් - ඩොලර් බිලියන 43.6
මයිකල් බ්ලූම්බර්ග් - ඩොලර් බිලියන 40

මේ වාර්තාව පිළියෙළ කිරීම සඳහා ලෝක ධනවතුන්ගේ වත්කම් ලබාගෙන තිබුණේ 2016 මාර්තුවේදී ප්‍රකාශයට පත් කෙරුණු ෆෝර්බ්ස් ප්‍රකෝටිපති ලැයිස්තුවෙනි. 2017 මාර්තුවේදී මේ ලැයිස්තුව නැවතත් යාවත්කාලීන කර තිබුණේය. ඒ අනුව, මේ මාර්තුව වන විට ලෝකයේ ලොකුම ධන කුවේරයින්ගේ වත්කම් තව දුරටත් ඉහළ ගොස් තිබුණේ පහත පරිද්දෙනි. වරහන් තුළ දක්වා ඇත්තේ වසරකට පසුව ලැයිස්තුවේ ඔවුන් සිටින ස්ථානයයි.

බිල් ගේට්ස් - ඩොලර් බිලියන 86 (1)
ඇමන්සියෝ ඔටේගා - ඩොලර් බිලියන 71.3 (4)
වොරන් බුෆේ - ඩොලර් බිලියන 75.6 (2)
කාලෝස් ස්ලිම් හෙලු - ඩොලර් බිලියන 54.5 (6)
ජෙෆ් බෙසොස් - ඩොලර් බිලියන 72.8 (3)
මාක් සකබර්ග් - ඩොලර් බිලියන 56 (5)
ලැරී එලිසන් - ඩොලර් බිලියන 52.2 (7)
මයිකල් බ්ලූම්බර්ග් - ඩොලර් බිලියන 47.5 (10)

ඔක්ස්ෆෑම් වාර්තාව අනුව ලෝකයේ ජනගහණයෙන් අඩක් සතු වත්කම් වල එකතුව ඩොලර් බිලියන 426ක් විය. ඉහත සංඛ්‍යාලේඛණය ක්‍රෙඩිට් සුවිස් ආයතනය විසින් පිළියෙළ කළ වෙනත් වාර්තාවක දත්ත මත පිළියෙළ කළ බව හැර ඒ සඳහා යොදාගත් නිශ්චිත ක්‍රමවේදය සඳහන් කර නොමැත. එබැවින් එම සංඛ්‍යාලේඛණය ඔවුන්ගේ ක්‍රමය යොදාගනිමින් යාවත්කාලීන කිරීමේ හැකියාවක් නැතත්, ඉහත ක්‍රෙඩිට් සුවිස් වාර්තාව නිකුත් කර ඇත්තේ ෆෝර්බ්ස් වාර්තාව මෙන් වසර මුල නොව වසර අග නිසා එය විශාල ලෙස වෙනස් වී නැතැයි සැලකිය හැකිය.

එසේනම්, දැන් ලෝකයේ ජනගහණයෙන් බාගයකගේ වත්කම් වැඩිම වත්කම් ඇති අටදෙනෙකුගේ නොව හත්දෙනෙකුගේ වත්කම් වලට වඩා අඩුය. 2017 මාර්තුව වන විට ලැයිස්තුවේ මුල් හත් දෙනාගේ වත්කම් වල එකතුව පමණක් ඩොලර් බිලියන 468.4ක් වූ අතර මාර්තු සිට මැයි දක්වා ගතවුණු දෙමස තුළ ඔවුන් වැඩි දෙනෙකුගේ වත්කම් තවත් ඉහළ ගොස් තිබේ.

මොවුන් මේ වත්කම් උපයාගෙන ඇත්තේ රජයයන් විසින් බදු ලෙස වැඩ කරන මිනිසුන්ගේ ධනය කොල්ලකන අයුරින් අනුන්ට අයිති දේ බලහත්කාරයෙන් ලබාගැනීමෙන් හෝ කොමිස් හෝ අනිසි ලෙස කොන්ත්‍රාත් ගැනීම ආදී ලෙස එවැනි බදු මුදල් හොරා කෑමෙන් නොවේ. අලුතින් ධනය නිර්මාණය කිරීමෙනි. මේ එක් එක් පුද්ගලයා එසේ අලුතින් ධනය නිර්මාණය කළේ කෙසේද යන්න ඕනෑම කෙනෙකුට අන්තර්ජාලය පීරා පහසුවෙන් හොයා ගන්නට බැරිකමක් නැත.

වැදගත්ම කරුණ වන්නේ ලෝකයේ මිනිසුන් බිලියන 3.6කට උරුමයෙන් හෝ ඔවුන් විසින් නිර්මාණය කිරීමෙන් හිමි වී ඇති  මුළු වත්කම් ඉක්මවන තරම් ධනයක් තනි මිනිසුන් හත් දෙනෙකු විසින් නිර්මාණය කර තිබීමයි. ව්‍යවසායකයින් සුවිශේෂී මිනිසුන් හා සැමරිය යුතු විරුවන් වන්නේ ඒ නිසාය.

ඉහත පුද්ගලයින් විසින් නිර්මාණය කර ඇති වත්කම් නිසා ලෝකයේ තවත් විශාල පිරිසකගේ ජීවිත සමෘද්ධිමත් වී තිබේ. ඒ අතර සිටින්නේ ඔවුන්ට වැඩි හිමිකම් ඇති සමාගම් වලින් හෝ ඔවුන් පුණ්‍ය කටයුතු සඳහා ලබාදෙන අරමුදල් වලින් සෘජුව ප්‍රයෝජන ගන්නා අය පමණක් නොවේ. බිල් ගේට්ස් විසින් නිර්මාණය කර ඇති වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය මත දුවන මාක් සකබර්ගේ ෆේස්බුක් උපාංගයේ දවසකට පැය ගණනක් ගෙවමින් සතපහක්වත් නොගෙවා ධනවාදය විවේචනය කරන්නට මිනිසුන් විශාල පිරිසකට අවස්ථාව සැලසී ඇත්තේද ව්‍යවසායකත්වය දිරිමත් කරන ධනවාදී රටවල මිනිසුන් ලෝකයට අලුතින් දායාද කර ඇති දේ නිසාය.

ඒ සමඟම අප අනෙක් අතට විමසිය යුත්තේ ලෝකයේ මිනිසුන් බිලියන 3.6කගේ වත්කම් සාපේක්ෂව මෙතරම් අඩු ඇයිද යන්නයි. ලෝකයේ බොහෝ රටවල වත්කම් හිමිකම් වැඩි ප්‍රමාණයක් සමාජවාදයේ නාමයෙන් අදාළ රටවල රජයන්ගේ ඒකාධිකාර ලෙස පවතී. එහි ප්‍රතිඵලය ඒ රටවල මිනිසුන්ගේ පෞද්ගලික වත්කම් සීමා වීමයි. ඒ නිසා එවැනි රටවල ජීවත්වන මිනිසුන්ට බොහෝ දේ හා අදාළව රජය මත යැපෙන්නට සිදු වේ. මේ රජයයන් බොහොමයක සම්පත් බෙදීයාම් සිදුවන්නේ සීමිත පුද්ගලයින් කණ්ඩායමකගේ අභිමතය පරිදිය.

වත්පොතේ ප්‍රචාරය වන ඉහත බැනරය අනුව බිල් ගේට්ස් ඔහු සතු සියළු ව්‍යාපාර කටයුතු අද සිට නවතා ඔහු සතු ධනයෙන් දිනකට මිලියනය බැගින් වියදම් කළොත් ඔහු සතු සම්පූර්ණ ධනය අවසන් වීමට වසර 735ක් ගත වේ. දැන් දශකයක පමණ සිට මයික්‍රොසොෆ්ට් සමාගමේ අර්ධකාලීනව සේවය කරන බිල් ගේට්ස් පූර්ණකාලීනව බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනම හරහා පුණ්‍ය කටයුතු වල නිරතව සිටිමින් ඔහුගේ ධනය වියදම් කරයි. එසේ වියදම් කරන මුදල දිනකට මිලියනයකට වඩා බොහෝ වැඩි වුවත් ඔහු සතු වත්කම් එන්න එන්නම වැඩි වනවා මිස අඩු වන්නේ නැත.

බිල් ගේට්ස් වැනි ධනවතුන් නැති කර දැමීමෙන් ලෝකයේ ආදායම් විෂමතාවය අඩු කළ හැකිය. ධනවතුන් කිසිවකු නැති වූ විට ආදායම් විෂමතාවයක්ද නැත. එහෙත්, එසේ කිරීමෙන් ලෝකය වඩා යහපත් තැනක් වන්නේ නැත.

47 comments:

  1. ගේට්ස් අලුතෙන් ධනය නිර්මානය කලේ කෙසේද? ඒ පසුපස වෙනත් හේතූන් නැතිද?උදාහරනයක් හැටියට ඉලක්කම් සොයාගත්තේ කවුද?බයිනරිය සොයාගත්තේ කවුද?මේවා පවතින්නේ දිගු දාම හැටියට නොවේද?

    ReplyDelete
    Replies
    1. පාන් හදන්නට තිරිඟු පිටි අවශ්‍ය වේ. බක්කරේ විසින් එකතු කරන අගය වන්නේ පාන් ගෙඩියක වටිනාකමෙන් තිරිඟු පිටි ඇතුළු සියලු නිෂ්පාදන සාධක වල වටිනාකම අඩු කළ විට ඉතිරියයි. සංඛ්‍යා, ද්විමය සංඛ්‍යා ඇතුළු තවත් බොහෝ දේ ඉගෙන ගැනීම සඳහා බිල් ගේට්ස් විසින් ඔහුගේ කාලය හා මුදල් ආයෝජනය කර තිබේ. එය ඔහු ගෙවූ මිලකි. එසේ ලබාගත් දැනුමට ඔහු එකතු කළ දේ සඳහා ලැබී ඇති වෙළඳපොළ වටිනාකම ඔහු විසින් නිර්මාණය කළ ධනයකි. එය ඔහු විසින් නිර්මාණය කළ සම්පූර්ණ ධනයද නොවේ. එහි මුදල් කළ හැකි කොටස පමණි. වින්ඩෝස් මෘදුකාංගයක් වෙනුවෙන් එහි මිල ගෙවන සෑම කෙනෙකුම එසේ කරන්නේ ඒ මෘදුකාංගයේ පෞද්ගලික වටිනාකම ගෙවන මිලට වඩා වැඩි හෝ සමාන බැවිනි. එසේ නොවේනම් ලිනක්ස් වැනි මෘදුකාංගයක් භාවිතා කළ හැකිය. මේ අයගේ පෞද්ගලික වටිනාකමින් මිල අඩු කළ විට ලැබෙන ඉතිරියද බිල් ගේට්ස් විසින් නිර්මාණය කර ඇති එහෙත් ඔහුට මුදල් කළ නොහැකි වටිනාකමකි. මේ අයුරින්ම වින්ඩෝස් මෘදුකාංගය උපයෝගී කරගෙන ඔබ නිර්මාණය කරන දෙයක වටිනාකමින් වියදම් අඩු කළ විට ඉතිරිය ඔබ නිර්මාණය කරන දෙයකි. ධනවාදය තුළ වටිනාකම් නිර්මාණය වන්නේ ස්වේච්ඡාවෙන් සිදුකරන මිනිසුන්ගේ අන්තර්ක්‍රියා වලින් මිස තනිව සිදු කරන දේ වලින් නොවේ.

      Delete
    2. බිල් ගේට්ස් වින්ඩෝස් නිර්මානය කලේ අතීතයේ සොයා ගත් දේවල් වල දිගුවක් හැටියටය.මා වින්ඩෝස් යොදාගෙන නිර්මානයක් කලත් එයත් අයත් වන්නේ එම දිගුවටයි.ධනවාදී ක්‍රමය තුල යම් අසාධාරනයක් ඇතැයි කියන්නේ මේ තත්වය තුලය.

      Delete
    3. ඔය අතීතයේ සොයාගත් සියළු දේ ඔබ හා මා ඇතුළු ලෝකයේ මිලියන හෝ බිලියන ගණනක් ඉදිරියේ තිබුණේය. අදත් තිබේ. එහෙත්, බිල් ගේට්ස් කළ අගය එකතු කිරීම වෙනත් කිසි කෙනෙක් කර නැත. බිල් ගේට්ස්ගේ විශේෂත්වය එයයි. ධනවාදයේ වටිනාකම වන්නේ එවැනි මිනිසුන්ට ලෝකයට අගය එකතු කිරීමට බාධා නොකර දිරිමත් කිරීමයි. එහි ප්‍රතිපලයක් ලෙස අවසානයේදී බිල් ගේට්ස්ට ඇති ව්‍යවසායකත්ව හැකියාව නැති බොහෝ දෙනෙකුගේ ජීවිතද වඩා සැපවත් වේ. අසාධාරණයක් වන්නේ එවැනි පුද්ගලයින්ට ලෝකයට එකතු කළ හැකි අගය එකතු කිරීමට බාධා පැමිණවීමෙන් එවැන්නන්ගේ මෙන්ම තවත් බොහෝ දෙනෙකුගේ ජීවිත වඩා දුක්ඛිත තත්ත්වයකට ඇද දැමීමයි.

      අප ඉදිරියේ ඇති අතීතයේ සිට සොයාගත් දේ උපයෝගී කරගෙන බිල් ගේට්ස් විකුණා මුදල් කරන ආකාරයේ හෝ ඊට වඩා හොඳ නිර්මාණ අඩු මිලට විකිණීමෙන් ඔහුට තරඟයක් දී ඔහුව වැට්ටවිය හැකි අයෙක් තවමත් බිහි වී නැත. ඒ ඔහු විසින් කර ඇති අගය එකතු කිරීම එතරම්ම වැඩි නිසා එතැනින් ඉහළට අගය එකතු කිරීම අසීරු බැවිනි. ඇතැම් විට එවැනි හැකියාවන් ඇති තවත් බොහෝ දෙනෙකු ව්‍යවසායකත්වයට ඉඩක් නැති රටවල දැනටත් ඉන්නවා විය හැකිය. ඒ රටවල ව්‍යවසායකත්වයට ඉඩක් ලබා නොදීමේ වාසියද ඇමරිකාවේ ජීවත්වන බිල් ගේට්ස්ට ලැබේ.

      Delete
  2. මානව ඵලදායීතාව වර්ධනය කිරීම හැර බිල් ගේට්ස් අලුත් ධනය නිර්මාණය කළා යැයි මා සිතන්නේ නෑ.
    ඔහු රැස් කළ ධනය අපි ගෙවූ මුදල්. ඒ ප්‍රමාණය ඔහු ගේ ව්‍යවසායකත්වයේ අගයට වඩා ඉතා වැඩියි.

    සකර්බර්ග් සහ ඵලදායීතාව නම් ඉතිං අනේ මන්දා!!!

    ReplyDelete
    Replies
    1. //ඔහු රැස් කළ ධනය අපි ගෙවූ මුදල්. ඒ ප්‍රමාණය ඔහු ගේ ව්‍යවසායකත්වයේ අගයට වඩා ඉතා වැඩියි.//
      පළමුව, බිල් ගේට්ස්ගේ මේ වත්කම් කියන්නේ ඔහු වින්ඩෝස් විකුණා ලැබූ ලාභම නොවේ. එය පසුව පැහැදිලි කරන්නම්. එය පැත්තකින් තිබ්බොත්, ඔබ ලබා ගන්නා දෙයෙහි වටිනාකම ගෙවන මිලට වඩා අඩුනම් ඔබ ඇයි එවැනි අවාසිදායක තීරණයක් ගන්නේ? ඔබ ඔහුට මුදල් ගෙවන්නේ ඔබට ලැබෙන දෙය ගෙවන මුදලට වඩා වටින නිසයි. එසේ නැත්නම් ඔබ ඔබේ ධනය නිකරුණේ නාස්ති කරන අතාර්කික පුද්ගලයෙක්. ඔබ ගෙවූ මුදලට වඩා වටිනා දෙයක් ඔබට ලැබී තිබේනම් එය ඔබට ලැබී තිබෙන්නේ බිල් ගේට්ස්ගේ ව්‍යවසායකත්වය නිසා.

      Delete
    2. සකර්බර්ග් කොහොමද ධනවත් වුනේ කියන එක මට ගැටලුවක්..ෆෙස් බුක් දෙන්නෙ නිකන්නම් ඔහු මොනවයින්ද මුදල් උපයන්නේ...??

      Delete
    3. මෙය ගොඩක් වැදගත් ප්‍රශ්නයක්. මෙය ධනවත්කම මනින ආකාරය නිසා පෙනෙන දෙයක්. කෙටි පිළිතුරක් දෙන්න අමාරුයි. ඉදිරියේදී පෝස්ට් එකකින් පැහැදිලි කරන්නම්.

      Delete
    4. සෙන්නා,

      ෆේස්බුක් දෙන්නෙ නිකං, ඒක ඇත්ත.. එතකොට මේ නිකං දෙන දෙමළ පත්තරේ අරගන්න ඔබත්, මාත් ඇතුළු තවත් බිලියන ගානක් මිනිසුන් මේ ලෝකයේ ඉන්නවා.. ඒ කියන්නෙ එතැන තියෙනවා වෙළෙඳපලක්.. නිකංම නිකං වෙළෙඳපලක් නෙවෙයි, වෙළෙඳපල තුළ ඉන්න අපේ ආසාවන්, රුචි-අරුචීන්, කෑම්-බීම්, ඇඳුම්-පැළැඳුම්, මිලදී ගැනීමේ රටාවන් ආදී මේ හැම දෙයක්ම ඉතා සවිස්තරව විදහා දැක්වෙන අති දැවැන්ත වෙළෙඳපලක්.. මෙන්න මේ වෙළෙඳපල තමා මාර්ක් සකර්බර්ග් වෙළෙන්දන්ට විකුනන්නෙ.. එතැනින් තමා එයා සල්ලි හොයන්නෙ.. වර්ථමාන පාරිභෝගික සමාජයේ ඔබට විකිණිය හැකි ඉතාම වටිනා වෙළෙඳ භාණ්ඩයක් තමා දත්ත/ දැනුම..

      Delete
    5. "ඔහු රැස් කළ ධනය අපි ගෙවූ මුදල්."
      වමේ තක්කඩි අදහස්. capitalism වල full වරප්‍රසාද බුක්ති විදින ගමන් system එකට ගරහනවා.

      Delete
    6. You Didn't Build That"
      https://www.youtube.com/watch?v=6avlqqRYSzo

      Delete
    7. විද්‍යා ගවේෂණ බ්ලොග් එකේ තිබ්බ මේ ලිපියබලන්න.

      Delete
    8. ගනුදෙනුවකින් පසුව දුන් දෙයත් ගත් දෙයත් දෙකම තමන්ගේ වෙන්න බැහැ. එහෙත් සමහර අය එහෙම හිතනවා. කෙනෙක් තමන්ගේ ශ්‍රමයට නියමිත වැටුප ලබාගත්තට පස්සේ "මූ ජීවත් වෙන්නේ මගේ සල්ලි වලින්" කියා හිතන හාම්පුත්තු වගේම සේවක වැටුප් පොරොන්දු පරිදි ගෙවීමෙන් පසු හාම්පුතා ලාබයක් ලබන විට "මූ සැප විඳින්නේ අපේ මහන්සියෙන්" කියා හිතන සේවකයෝත් ලංකාවේ දුලබ නැහැ. ඒ වගේම වාහනයක් විකිනුවට පස්සේ "මගෙ කාර් එක දැන් තියෙන තැන" ගැන කතා කරන අය කොපමණ ඉන්නවද? බුද්ධාගමේ බලපෑම කොපමණ වුනත් ලංකාවේ ගොඩක් අයට අත් හැරීම හරිම අපහසු දෙයක් . මේ විදිහට හිතන අය ඇමරිකාවේ සාමාන්‍ය දෙයක් නෙවෙයි.

      Delete
    9. මෙතන වැරදි කමෙන්ට් දෙකක් තියෙනව තියෙනව ෆේස්බුක් ගැන. ගොඩක් දෙනෙකුට ෆේස්බුක් එකේ බිස්නස් මොඩලය ගැන අවබෝධයක් නෑ. ෆේස්බුක් එක මුදල් උපයන්නෙ වෙළඳ දැන්වීම් හරහා. ඔය අයිනෙ තියෙන ඇඩ් දාන ප්‍රචාරක ඉඩ තමා ෆේස්බුක් අලෙවිකරන්නෙ. ඒ වගේම පෝස්ට් ඇඩ් හැටියට පලකරන්න පුළුවන්. ඇඩ් හරහා අපිට නොමිලේ ෆේස්බුක් භාවිතා කරන්න ඉඩ සැලසෙනව. ඇඩ් ටාගට් කරන්න පුද්ගල තොරතුරු භාවිතා වෙන බව ඇත්ත. නමුත් පුද්ගල තොරතුරු විකිණීමක් සිදුවෙන්නෙ නෑ.

      Delete
    10. ඔබ හරියටම හරි Elek Tronic. මේ ගැන පැහැදිලි කර පෝස්ට් එකක් දමන්න හිතා හිටි නිසා මෙහි වැඩි විස්තරයක් ප්‍රතිචාරයක් ලෙස දැම්මේ නැහැ. ඒ වගේම, තවත් එවැනිම බොහෝ දෙනෙක් තේරුම් නොගන්නා දෙයක් වන්නේ කොටස් හිමියන්ගේ වත්කම් කියන්නේ හැමවිටම අදාළ සමාගමේ ලාබ නොවන බවයි. දිගින් දිගටම පාඩු ලැබූ ඇතැම් සමාගම් වල කොටස් දිගින් දිගටම වැඩි වූ අවස්ථා තිබෙනවා.

      Delete
  3. අරයගෙ මෙයාගේ අතේ කොච්චර සල්ලි තිබ්බත් අපිට මොකද? ඇයි ඔය කවුරුත් අපිට නිකං සල්ලි දෙන්නේ නෑනි. අපි හම්බ කරලා අපි කනවා. පලක් ඇති දෙයක් ලියන්න. දවසේ අන්තිමට සම්තින් එක අතට ගත්තා, හොද ඇල් වතුර ටිකක් නාගෙන බියර් ටින් එකක් බීලා බඩ පැලෙන්න බත් කළා හාන්සි උනා. ආයේ මොනාද ඉහටත් උඩින්. අනික් මිනිහාගේ කෙහෙම්මල් අපිට මොකද?

    ReplyDelete
    Replies
    1. //පලක් ඇති දෙයක් ලියන්න.//
      මොනාද ඇනෝ ඔය පලක් ඇති දේවල්?

      Delete
  4. රොත්ස්ෆීල්ඩ් රොකෆෙලර් වැනි අප්‍රකට නමුත් සැබෑ ධනපතියන්ගේ ධනය මේ අයට වඩා කීප ගුනයක් වැඩියි නේද. නමුත් කවදාවත් ඔවුන් ධනවතුන් ලෙස මේ වගෙ ලැයිස්තුගත කරන්නෙත් නෑ නේද.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ නෑ -

      Delete
    2. මේ අය පසුගිය සියවසේ හිටපු ලොකුම ධනවතුන් වගේම දානපතියන්. ඒ කාලයේ ඩොලර් බිලියනයක් කියන්නේ අදට සාපේක්ෂව විශාල මුදලක්. නමුත් අද ලෝකයේ බිලියනය ඉක්මවූ වත්කම් ඇති අය දෙදහසකට වඩා ඉන්නවා. ඔවුන්ගේ පරම්පරාවේ අයට හිමිවූ වත්කම් භාර වල තියෙන්නේ මම දන්න තරමින්. මේ මුදල් නිකම් තියාගෙන ඉන්නේ නැහැ. එවැනි විශාල මුදලක් හැම විටම වාගේ කොටස් වෙළඳපොළ ආයෝජනය කරනවා. එවිට එය පේනවා. මේ අයට උඩ ලැයිස්තුවේ වත්කම් සමඟ සැසඳිය හැකි ධනයක් තියෙන්න බැහැ. කෙසේවුවත්, ෆොර්බ්ස් ධනවතුන් ලැයිස්තුගත කරන ක්‍රමවේදය ඉතා සරල හා අසම්පූර්ණ එකක් කියන එක ඇත්ත. ලංකාවේ ධම්මික පෙරේරාගේ වත්කම් ඔවුන්ට ඇස්තමේන්තු කළ හැකි වුවත් වෙනත් ඇතැම් අයගේ වත්කම් නිවැරදිව ඇස්තමේන්තු කිරීමේ හැකියාවක් නැහැ.

      Delete
    3. //ෆොර්බ්ස් ධනවතුන් ලැයිස්තුගත කරන ක්‍රමවේදය ඉතා සරල හා අසම්පූර්ණ එකක් කියන එක ඇත්ත. ලංකාවේ ධම්මික පෙරේරාගේ වත්කම් ඔවුන්ට ඇස්තමේන්තු කළ හැකි වුවත් වෙනත් ඇතැම් අයගේ වත්කම් නිවැරදිව ඇස්තමේන්තු කිරීමේ හැකියාවක් නැහැ.//

      අපේ වර්තමාන මුදල් ඇමති මංගල තුමයි, චන්ද්‍රිකා නෝනයි, චතුර සේනාරත්න මහත්මයයි එකතු වුනාම ෆොර්බ්ස් ට වඩා දක්ෂයි. මහින්දට ඩොලර් බිලියන 18ක් වත් කමක් තියෙනව කියල සොයා ගෙන තිබ්බා. අකවුන්ට් එක දැක්කමයි කියලත් දිවුරල කියල තිබ්බ.

      Delete
  5. ඉකොනො,
    බොහොම හොඳ ලිපියක්.
    සාම්ප්‍රදායිකව ධනය ඉපැදුනේ භූමියෙන් ඒ තමයි ශක්තිය, ආහාර හා ඉන්ධන. ආහාර හා ඉන්ධන නිශ්පාදනය පරිභෝජනය ඉක්මවා යන විට ඒ අතිරික්ත ධනය මගින් වෙනත් අව්ශ්‍යතා නිර්මාණය වෙනවා. ඒ නිර්මානය වීම හරහා අගය එකතුකිරීම කියන දෙය ට මූල්‍ය අගයක් ලැබෙනවා.
    බිල් ගේට්ස් සකර්බර්ග් වැන්නන් කරන්නේ උපායමාර්ගිකව කරන මේ අගය එකතු කිරීම. ඒ වගේම මිනිසුන්ට අළුතින් අව්ශ්‍යතා නිර්මාණය කිරීම. ඇත්තෙන්ම මේ අව්ශ්‍යතා මිලදී ගැනීම පිණිස සැබෑ ධනය වූ ආහාර හා බල ශක්තිය වැඩියෙන් නිර්මාණය කිරීමට මිනිසාට සිදුවෙනවා. අන්න ඒ හරහා මෙවුන් රැස් කරන මේ ධනය සැබැවින්ම ලෝකය තුල ඉපැදුනු ධනයක් බවට පත්වෙනවා.
    මම දකින්නේ එහෙමයි..
    සමාජයේ අව්ශ්‍යතා නිර්මාණය කිරීම හොඳ ව්‍යවසායකයෙකුගේ ක්‍රමය. ඒත් අපි හිතන හැම දේම හරියන්නේ නැහැ හරියන දේ හමුවුනු දාට ඒකාට වරදින්නෙත් නැහැ.

    ReplyDelete
  6. ඇත්තටම ඔය කියනව වගේ ධනවතුන්ට එයාලගෙ සල්ලි සමාගම් වලින් අයින් කරගෙන වියදම් කරන්න පුලුවන්ද ?

    ReplyDelete
    Replies
    1. මම හිතනවා ඔබ පොයින්ට් එකට ආවා කියා. පැහැදිලිවම එසේ කරන්න බැහැ. මේ සමාගම් කොටස් වල වටිනාකම රැඳී තිබෙන්නේ මේ අය මත ඇති විශ්වාසය මත. ඒවා ඔවුන්ගෙන් ඉවත් කළ වහාම ඒ වටිනාකම නැති වෙනවා. පසුව වඩා හොඳින් පැහැදිලි කරන්නම්.

      Delete
  7. දක්ෂ ව්‍යවසායකයෙක් කියන්නේ රටකට සම්පතක්. මේ ලිපිය කියවද්දී මතක් වුනේ චුල්ල සෙට්ඨි සිටුවරයාගේ කතාව. අපූරු ලිපියක්. ස්තුතියි!

    ReplyDelete
  8. //බිල් ගේට්ස් වැනි ධනවතුන් නැති කර දැමීමෙන් ලෝකයේ ආදායම් විෂමතාවය අඩු කළ හැකිය. ධනවතුන් කිසිවකු නැති වූ විට ආදායම් විෂමතාවයක්ද නැත. එහෙත්, එසේ කිරීමෙන් ලෝකය වඩා යහපත් තැනක් වන්නේ නැත.// එකගය.
    අපද ඒ තැනට අනුගත විය හැකි පරිසරයක් නිර්මාණය නොවීමයි ඇති වරද

    ReplyDelete
    Replies
    1. බටහිර සමඟ හෝ ඇමරිකාව සමඟ හෝ ඉන්දියාව සමඟ තරහක් තිබේනම් කළ යුතු හොඳම දෙය වන්නේ ඔවුන්ට තරඟයක් දී ඔවුන්ගේ බලය බිඳ දැමීමයි. බැණ බැණ සිටීමෙන් හෝ කුමන්ත්‍රණ ගැන කතා කර කර සිටීමෙන් වෙන්නේ තවත් පහළට වැටීම පමණි.

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මම දාපු කමෙන්ට් එකට මොකද වුනේ

    ReplyDelete
    Replies
    1. අයින් කළේනම් නැහැ. ස්පෑම් වලත් නැහැ.

      Delete
  11. මේ මිනිසුන් ඇදහිය නොහැකි තරම් මනුස්සකිමින් පිරිපුන් අය.

    ඇත්තටම ඔයිට වඩා ධනවතුන් හිටියත්, ඇමරිකාව හා සමස්ථ ලෝකය උන්ව ප්රමෝට් කරන්නැහැ. පොළවෙන් හෝ පරම්පරාවෙන් එන කම්මැලි සල්ලි හා නරක ජීවන විලාසිතා. ඔය ලැයිස්තුවේ ඉන්න මිනිසුන් ඇත්තටම වැඩකරන මහන්සිවන හා යහපත් ජීවන විලාසිතා ඇති ෆලෝ කරාට ප්රශ්නයක් නැති අය. ඒ වගේම මේ අයගේ නිෂ්පාදන වලට විකල්ප නැහැ ඒ මත ගොඩනැගෙන අධිකාරි බලය ,රාජ්‍ය බලයන්ට වඩා ප්රබලයි.

    බිල්ගේට්ස් කියන්නේ ලෝකයේ වඩාත්ම බැලන්ස් ව්‍යාපාරය ඇති කෙනො. හැම වෙලේම බිස්නස් එක දියුනු කරගන්නේ කොහොමද කියා කල්පනා කරන බවත්, දවසකට ගන්න තියන තීරණත් එක්ක ගත්තම අදින ඇදුම මොකක්ද කියලා තිරණය කරන එක වගේ තීරණත් ගන්න වෙන එක නිකං හිසරදයක් විතරක් නිසා එකම ඇදුම(ඒ ජාතියේ ගොඩක්) අදිමින් සකර්බර්ග් කියන්නේ එයාගේ බිස්නස් එකත් බැලන්ස් කරගන්න ඕන නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ ව්‍යාපාර ගොඩනඟන බොහෝ දෙනෙක් කරන දෙයක් තමයි එය පීක් එකට පැමිණි පසු විකුණා දමන එක. මේ ව්‍යාපාර තවමත් පීක් එකට පැමිණ නැහැ. මෙතරම් උඩට ආවත් ඒවායේ නිර්මාතෘන්ගේ ශක්‍යතාවයන් තවමත් ඉතිරි වී තිබෙනවා.

      Delete
  12. අදායම් බෙදීයාමේ විෂමතා වල තියෙන ගැටළු අපි වගේ රටවල් වලට තමයි ලොකු ප්‍රශ්න ඇති කරන්නේ කියලා මම හිතනවා.මොකද අපේ වගේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ව්‍යසයකයින්,ව්‍යාපාරිකයින් ඇතැම් විට ඒ අදායම් හොයන ක්‍රමය තුල යම් යම් නීති විරෝධී තත්වයන් තිබිය හැකි නිසාවගේම තවත් අයෙකුගේ අවස්ථාවන් ඔවුන් විසින් සදාචාරාත්මක නොවන අයුරින් යොදා ගන්න පුළුවන් නිසා.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ලංකාවේ ධනවතුන් බොහොමයක් මේ ආකාරයේ අය නෙමෙයි. ආණ්ඩුවට හේත්තු වී මුදල් උපයන අය. එසේ කිරීමේදීනම් වෙනත් අයෙකුගේ ධනයක් ඔවුන් අතට යාම තමයි වෙන්නේ. එසේ නොකරන කෙනෙකුට වුනත් ඔලුව උස්සන්න දෙන්නේ නැහැ.

      Delete
    2. මනෝජ්
      සරලයි. නීතිවිරෝධි වෙන්න හේතුව වෙන්නේ, තියන නීතිත් එක්ක ගිහින් ව්‍යාපාරයක් දියුනුකරන්න තියා පවත්වාගන යන්නවත් නොහැකිකම. ලංකාවේ තියෙන්නේ ව්‍යාපාරකයන්ට ඉරිසියා වෛරකරවන්න පුරුදුකරපු සමාජයක්. ඒ වගේම අතිවිශාල රාජ්‍ය සේවයක් සාජුවම, වගේම වක්රවත් නඩත්තු කරන්නේ මේ අය.

      ලංකාවේත් ඇත්තටම ධම්මික පෙරේරාට වඩා ධනවතුන් හිටියත්, උන් දන්නවා ලංකාවේ ව්‍යාපාර ගොඩනගන එක හෝ සල්ලි අට්ටි ගහන එක අවදානම් බව, 77 වගේම 89 ත්දේශපාලනික පලිගැනිම් මත ව්‍යාපාර විනාස කලා. ඒක එතනින් නැවතීමක් නැහැ. ඉතින් මොලේ තියන ඕනම එකෙක් කරන්නේ යන්තම් පුලුවන් වෙච්චි ගමන්, අස්ථාවර ආසියාවෙන් සුරක්ෂිත තැනකට ගෙනියන එක.

      Delete
    3. "සරලයි. නීතිවිරෝධි වෙන්න හේතුව වෙන්නේ, තියන නීතිත් එක්ක ගිහින් ව්‍යාපාරයක් දියුනුකරන්න තියා පවත්වාගන යන්නවත් නොහැකිකම"
      ඕනෑම රටක නීති තියනවා ලංකාවේ ඉන්නනේ Political businesses peoples. genuine එහම ඉන්නවා නම් ගොඩක් අඩුවන්...

      Delete
  13. සුනිල් ආරියරත්න වරක්, බුදුහාමුදුරුවෝ අයිති සිංහලයන්ට විතරද? කියා ඇසුවා.
    එයට උත්තරය තමයි. ලංකාවෙදි නම් බුදුහාමුදුරුවෝ අයිති සිංහලයන්ට විතරයි.
    නමුත් අයිතිකරගැනීමේ අයිතිය ඕන එකෙක්ට තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අවස්ථා සම්බන්ධය පැහැදිලි නැහැ.

      Delete
  14. මයික්‍රොසොෆ්ට් එකේ වත්කම් ප්‍රමාණය කොපමණ වෙනව ද ? මට ඔය උඩින් තියන පෝස්ටරේ තියන දේ මුලින්ම හිතුනේ නිකන් විහිලුවක් කියලා, ගණන් හදල බැලුවම තමා ඇත්ත කියලා තේරුනේ...

    ReplyDelete
  15. Money Multiplier වගේ මේකත් සරල දෙයක් වුනාට අපිට නොපෙනෙන ලොකු වෙනසක් කරන දෙයක්.... ඉතාමත් අගෙයි ඔබේ ලිපිය ඉකොනොමට්ටෝ

    ReplyDelete
  16. බොහොම හොඳ ලිපියක්.
    ඉකොනොමැට්ටා මෙය සම්පත් බැංකුවේ නවීන Annual report - http://www.sampath.lk/images/annual_reports/ar2016.pdf

    මේකට අනුව ධම්මික පෙරේරා ට,
    ----------------------------
    Dividend per Share -Rs.18.75
    Net asset value per share -Rs. 251.38
    Market value per share at the yearend -Rs. 260.40
    No of Shares(For Mr. Dhamika) - 26463803
    Dividend per Share Monthly income -41349692 (26463803 * 18.75)/12
    Total Share income - 6891174301.20 (26463803 * 260.40)
    If He open fix deposits(Annual 10%) Monthly income - 5742645251 ((26463803 * 260.40)*10)/12
    Difference -5701295559 (5742645251 - 41349692 )

    මොකක්ද Mr ධම්මික පෙරේරා ට Stock Market වැදගත් ?

    ReplyDelete
    Replies
    1. I'll explain this in a separate post when time permits. Thanks, Ano!

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: