Tuesday, April 9, 2019

වේවැල් කෝටු සංස්කෘතිය


ගුරුවරුන් විසින් පාසැල් සිසුන්ට ශාරීරික දඬුවම් දීම හා රජයේ සරසවි වල නවක වදය කාලයෙන් කාලයට උඩට මතුවන මාතෘකා දෙකක්. පාසැල් ගුරුවරියකට උසාවියකින් දඬුවම් නියම කිරීමත් එක්ක පළමු කරුණත්, සරසවි සිසුවෙකු සිය දිවි නසා ගැනීම සමඟ දෙවන කරුණත් මැතකදී නැවතත් උඩට ආවා.

මම දකින විදිහටනම් මේ දෙකම එකිනෙකට සම්බන්ධ කරුණු දෙකක්. ඒ විතරක් නෙමෙයි, මේ කරුණු දෙකටම සම්බන්ධ තවත් තුන්වන කරුණුත් තියෙනවා. ලී ක්වාන් යූ පන්නයේ නායකයෙක් ඇවිත් රට හදයි කියා බලාපොරොත්තු වීම එවැන්නක්. නමුත්, මේ කරුණු වලදී දෙවිදිහකට ප්‍රතිචාර දක්වන අය අඩු නැහැ.

ලංකාවේ සරසවියකට නොගිය අය අතර නවක වදය වෙනුවෙන් පෙනී සිටින අය නැති තරම්. එහෙත්, රජයේ සරසවියකට ගිය ඇතැම් අය නවක වදය වෙනුවෙන් සෘජුව හෝ වක්‍රව පෙනී සිටිනවා. නමුත්, එවැනි අය හැමෝම නෙමෙයි.

නවක වදයට එරෙහිව කතා කරන ගොඩක් අය පාසැල් සිසුන්ට ශාරීරික දඬුවම් පැමිණවීම වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වගේම එවැනි ගොඩක් අය ලී ක්වාන් යූ පන්නයේ නායකයෙක් පත් කර ගැනීම වෙනුවෙනුත් පෙනී සිටිනවා. මෙතැනදී මා අවධානය යොමු කරවන්නේ කිසියම් නිශ්චිත පුද්ගලයෙක් දෙස නොවන බවත්, මේ වර්ගයේ කවුරු හෝ නායකයෙක්ට රටේ තිබෙන ඉල්ලුම ගැන පමණක් බවත් පැහැදිලිව කිව යුතුයි. විවිධ පුද්ගල චරිත ගැන අදහස් පළ වෙන්නේ ඒ ඉල්ලුම නිසයි.

රජයේ සරසවි වලට ගිය අය අතරින් ඇතැම් අය නවක වදය වෙනුවෙන් පෙනී සිටිනවා. තවත් අය නවක වදයට විරුද්ධ නොවී නිහඬව සිටිනවා. මෙයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ රජයේ සරසවි වලට ගිය ගොඩක් අය එක්කෝ සෘජුව හෝ වක්‍රව නවක වදයට සම්බන්ධව සිටි අය වීම. එසේ නැත්නම් අඩු වශයෙන් එයට විරුද්ධ නොවූ අය වීම. නමුත්, රජයේ සරසවියකට නොගිය අයෙකුට එවැනි ප්‍රශ්නයක් නැහැ. ඔවුන් මේ ප්‍රශ්නය දිහා බලන්නේ බාහිර පුද්ගලයින් ලෙසින් නිසා මෙහි තිබෙන අවුල පැහැදිලිව පෙනෙනවා.

ගුරුවරුන් විසින් දරුවන්ට දඬුවම් දීම කියන කරුණේදී රටේ ගොඩක් අයට මේ විදිහට ප්‍රශ්නය දිහා බාහිර පුද්ගලයින් සේ බලන්න බැහැ. එයට හේතුව ලංකාවේ බොහෝ දෙනෙක් ගුරුවරුන් ලෙසම නොවූවත්, අඩු වශයෙන් දෙමවුපියන් හෝ වැඩිහිටියන් ලෙස දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා ඇති අය වීමයි. මෙතැනදී මේ විදිහට දරුවන්ට වද හිංසා කරන්නේ ඔවුන්ගේ අනාගත යහපත වෙනුවෙන්ය කියන හිතුවිල්ල හෝ ප්‍රකාශය අස්සේ රිංගලා කෙනෙක්ට තමන්ගේම හිත රවට්ටගන්න පුළුවන්. "අපි අද මෙතැන ඉන්නේ අපේ ගුරුවරු අපිට ගහල හදපු නිසා" කියා කියන එකත් ඔය බොරුවේම කොටසක්.

ටික කලක සිට ලංකාවේ නීතිමය වරදක් වුවත් ගුරුවරුන්ට දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා සමාජ විරෝධීන් ලෙස නොව සමාජ ශෝධකයින් සේ පෙනී සිටින්න හැකි වී තිබෙන්නේ ගෙවල් වලදී දෙමවුපියන් හා අනෙකුත් වැඩිහිටියන් විසින්ද දරුවන්ට එවැනිම ශාරීරික දඬුවම් පැමිණවීමයි. තමන්ගේ දරුවා හදාගන්න කියා ගෙදරදී දරුවාට ශාරීරික දඬුවම් දෙන දෙමවුපියෙකුට පාසැලේදී ගුරුවරයෙකු විසින් ඒ දේම කළාම එයට විරුද්ධ වෙන්න අමාරුයි. ඒ වගේම, "දැනුම් තේරුම් තිබෙන" පාසැල් ගුරුවරුන් විසින් සිසුන්ට ශාරීරික දඬුවම් දෙන විට ගෙවල්වල වැඩිහිටියන්ටත් ඒ දේම කරන්න උත්තේජනයක් ලැබෙනවා.

සරසවි වල නවක වදය දිගින් දිගටම පවතින්න හේතු වෙන්නෙත් "අපි අද මෙතැන ඉන්නේ අපේ ගුරුවරු අපිට ගහල හදපු නිසා" කියා හිතන මානසිකත්වයමයි. නවක වදය හේතුවෙන් තමන්ට යමක් ලැබුණු බව බොහෝ සරසවි සිසුන් හිතනවා. ඒ හැඟීම ගොඩක් දෙනෙක්ට තියෙන තාක් කල් නවක වදය නැති කරන්න අමාරුයි. සරසවි නවක වදයේ වගේම ඒකාධිපති පාලකයින් අපේක්ෂා කරන මානසිකත්වයේත් මුල තිබෙන්නේ කුඩා කාලයේදී වැඩිහිටියන් හා ගුරුවරුන් විසින් දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා තමන්ට අවශ්‍ය ආකාරයට දරුවන් විනයගරුක කිරීමේ පුරුද්දයි.

මෙය කියවන අපේ පරම්පරාවේ ගොඩක් අය ඕනෑ තරම් පාසැලේදී ගුරුවරුන්ගෙන් ගුටි කා ඇති. පුළුවන්නම් එවැනි අවස්ථා දහයක් මතක් කරගන්න. මේ විදිහට ගුරුවරුන්ගෙන් වැඩිපුරම ගුටිකන්න වී තිබෙන්නේ මොන වගේ දේවල් වලටද? ගොඩක් වෙලාවට විනය සේ හැඳින්වෙන කරුණු හා අදාළවයි. කොණ්ඩය කපා නොතිබීම, අදාළ කාලයේ මෝස්තරය අනුව කලිසම කොට වීම හෝ දිග වීම, කමිසයේ උඩ බොත්තම පියවා නොතිබීම, ප්‍රමාද වී පැමිණීම, ගැහැණු ළමයින් හා අදාළව නියපොතු පාට කර තිබීම, ගවුම කොට වැඩි වීම...සරසවි නවක වදයේත් ඔය මූලික ලක්ෂණ ටික ඒ විදිහටම තියෙනවා.

විනය වැදගත් නොවන බව මා කියන්නේ නැහැ. නමුත්, එසේ විනය වැදගත් වන තැනකදී එය එසේ වැදගත් වන්නේ ඇයි කියන එක තවත් අයෙකුට පැහැදිලි කරන්න අමාරු නැහැ. බොහෝ විට ශාරීරික දඬුවම් අවශ්‍ය වෙන්නේ එවැනි විශේෂ වැදගත්කමක් නැති දෙයක් විනය කියන ලේබලය යටතේ බලාත්මක කරන විටයි. දඬුවම් ලබන අයෙක් විනයගත වෙන්නේ දඬුවමෙන් බේරෙන්න මිසක් එසේ විනයගත වීමේ වැදගත්කමක් දකින නිසා නෙමෙයි. මූලික අරමුණ දඬුවමෙන් ගැලවීම නිසා එතැන් සිටම කල්පනා කරන්නේ දඬුවමෙන් ගැලවී කලින් කළ දේ දිගටම කරන්නේ කොහොමද කියන එක ගැනයි.

දරුවන්ට ශාරීරික දඬුවම් පැමිණවීමෙන් සිදු වන්නේ කුඩා කාලයේ සිටම නිර්මාණශීලිත්වය මොට කරනු ලැබූ අණ පිළිපදින්නන් පරම්පරාවක් බිහි වීමයි. ඔවුන්ට හිතන්න අවශ්‍ය නැහැ. ඒ නිසා, තමන් වෙනුවෙන් හිතන හා තීරණ ගන්නා කවුරු හෝ ඉන්නවාට ඔවුන් කැමතියි. ඒකාධිපතියන්ට ඉල්ලුමක් එන්නේ එවැනි අයගෙනුයි.

(Image: http://conceptnewscentral.com/index.php/2016/01/18/kill-fail-lick-crime-duterte-tells-gensan-folks/)

Sunday, April 7, 2019

දියවැඩියාව සමඟ ජීවත්වීම


"මගෙ පුතා. නැති උනේ සීනි අඩුවෙලා වැටිල ඉඳල යාළු. වැඩකට ගියා උදේ පාන්දර 6.30ට විතර. යද්දි සීනි අඩුවෙලා වැටිල . දාහක් ඇස් දැකල ලඟට ගිහින් බලල නැහැ බීපු කෙනෙක් වැටිල කියල. උදේ 7 ඉඳල දවල් 2.45 වෙනකල් තද අවුවෙ ඉඳල. එක මනුස්සයයි ලඟට ගිහින් බලල තියෙන්නෙ ඒත් 2.45ට. ඒ කෙනා මට කිව්වම ඉක්මනින් ඉස්පිරිතාලෙ ගෙනිච්ච. ඒත් කෝමා වෙලා. අවුවට පිච්චිලා දියපට්ට දාල හැමතැනම. දවස් 21ක් අයි.සී.යූ. හිටිය. මං මේක කිව්වෙ ඔයාලට මගෙ යාළුවනේ කවදාවත් කෙනෙක් පාරක වැටිල හිටියොත් අහක බලන්න එපා බීපු කෙනෙක් උනත්. කවුරුහරි අසරණ කෙනෙක් වෙන්න පුළුවන්. මං දන්න හැමෝගෙන්ම කරන කාරුණික ඉල්ලීමක්. මගෙ ගමේ ඉඳල නැහැ කරුණාවන්ත අය. ඒකයි අද මගෙ දරුවට මෙහෙම දෙයක් උනේ. දරුවෙක් ගිනි අවුවෙ පිච්චි පිච්චි මැරෙනකල් බලන් ඉන්න පුළුවන් සමාජයක් නේද දැන් තියෙන්නෙ....."

ඊයේ වත්පොතේ වේගයෙන් හුවමාරු වුනු පෝස්ට් එකක්. පෝස්ට් එකත් එක්කම දැකිය හැකි ඡායාරූපයේ හා මරණ දැන්වීමේ ඉන්නේ වයස අවුරුදු 26ක ප්‍රසන්න පෙනුමැති තරුණයෙක්. ඉතා කණගාටුදායක පුවතක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. මෙය වලක්වා ගත හැකිව තිබුණු මරණයක්.

මේ තරුණයා දියවැඩියා රෝගියෙකුව සිට ඇති බව පැහැදිලියි. ඔහු හෝ පවුලේ අය ඒ ගැන දැන සිටියාද යන්න පැහැදිලි නැහැ.

ලෝක බැංකු දත්ත අනුව ලංකාවේ වැඩිහිටි ජනගහණයෙන් 10.7%ක් දියවැඩියා රෝගීන්. මීට අමතරව හඳුනා නොගත් දියවැඩියා රෝගීන්ද යම් ප්‍රතිශතයක් සිටිනවා විය යුතුයි. අප අතර සැරිසරන සෑම වැඩිහිටියන් දහ දෙනෙකුගෙන් එක් අයෙකුම දියවැඩියා රෝගියෙකුව සිටියදී සමාජයක් ලෙස ඒ තත්ත්වයට සංවේදී වීමත්, දියවැඩියා නිවාරණය ගැන සිතීම තරමටම වැදගත්.

මිනිස් සිරුරේ සීනි මට්ටම නියාමනය කිරීමේ කාර්යය සිදුවන්නේ ඉන්සියුලින් නිකුත් කිරීම හරහායි. සිරුරේ ඉන්සියුලින් නිෂ්පාදනය නිසි පරිදි සිදු නොවීම නිසා රුධිරයේ සීනි සාන්ද්‍රණය නිසි සේ නියාමනය නොවීම පොදුවේ දියවැඩියා තත්ත්වයක් ලෙස හැඳින්වෙනවා.

පළමු මාදිලියේ දියවැඩියා රෝගීන් සේ හැඳින්වෙන්නේ උපතින්ම ඉන්සියුලින් නිපදවීමේ යාන්ත්‍රණයේ ප්‍රශ්න ඇති අයයි. එහෙත්, දියවැඩියා රෝගීන් වැඩි දෙනෙකුට තිබෙන්නේ දෙවන මාදිලියේ දියවැඩියාවයි. ඔවුන් සිරුරේ ඉන්සියුලින් නිපදවීම විවිධ හේතූන් මත පසුකාලීනව දුර්වල වූ අයයි. මේ හේතු අතර ආහාර පුරුදු ඇතුළු ජීවන විලාසිතා මෙන්ම ජානමය සාධකද තිබෙනවා.

දියවැඩියාව නිසා හෘදයාබාධ, ආඝාත, ඇස් පෙනීමේ දුර්වලතා, දන්තාබාධ, වකුගඩු රෝග වැනි වෙනත් රෝග තත්ත්වයන් ඇති වීමේ අවදානමද ඉහළ යනවා. එහෙත්, ජීවන විලාසිතා වෙනස් කිරීම හා ඖෂධ මඟින් මේ අවදානම් පාලනය කළ හැකියි.

දියවැඩියා තත්ත්වය දක්වා වර්ධනය නොවූ රුධිරයේ සීනි නියාමනය පිළිබඳ අඩුපාඩු පූර්ව දියවැඩියා තත්ත්වය සේ හඳුනා ගැනෙනවා. ජීවන විලාසිතා වෙනස් කිරීම මඟින් මේ තත්ත්වය ආපසු හැරවීමට 50%ක පමණ හැකියාවක් තිබෙනවා. මෙය කළ හැක්කේ රුධිර පරීක්ෂාවක් මගින් මුල් අදියරේදී මේ තත්ත්වය හඳුනා ගැනීම මගිනුයි. ඒ නිසා, නිරෝගී අයෙකු වුවත් වසරකට වරක් දියවැඩියා පරීක්ෂාවක් කර ගැනීම හොඳ අදහසක්.

දියවැඩියා තත්ත්වය ඇති වූ පසු මුලින් සඳහන් කළ සිද්ධියේ තරුණයාට මෙන් රුධිරයේ සීනි මට්ටම පහළ ගොස් සිහි විසංඥ වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා දියවැඩියා රෝගීන් සීනි වැඩිවීම ගැන මෙන්ම සීනි අඩුවීම ගැනත් සැලකිල්ලෙන් සිටීම වැදගත්. ඒ එක්කම අප අතර සිටින අයෙකු මෙසේ සීනි අඩුව විසංඥ වීමට සැලකිය යුතු ඉඩක් තිබෙන බවත් අප අමතක කළ යුතු නැහැ.

අද අප්‍රේල් 7 ලෝක සෞඛ්‍ය දිනයයි.

(Image: https://newsd.in/world-health-day-2019-who-focuses-on-universal-health-coverage-this-year/)


Saturday, April 6, 2019

යකුන් එළවා නාගයින් සමගි කළේ කවුද? (තෙවන කොටස)


බුදුන්ගේ දෙවන ලංකාගමනය පිළිබඳ කතාවෙන් කියැවෙන්නේ පූර්ණ සූර්යග්‍රහණයක් ගැන වෙන්න පුළුවන් වගේම, පළමු ලංකාගමනය පිළිබඳ කතාවෙන් කියැවෙන්නේ චන්ද්‍රග්‍රහණයක් ගැන වෙන්නත් බැරිකමක් නැහැ. වංශ කතා අනුව පළමු ලංකාගමනය සිදුවෙන්නේ පුර පසළොස්වක දවසක රාත්‍රී කාලයේදීයි.

"ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල්  වූ රම්‍ය වූ  මහා නාග වන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව් වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප්‍රසිද්ධ විය."

"ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස්මතුයෙහි මහියංගනය ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක. ඔවුන්ට භයජනක වූ වර්ෂාවාතාන්ධාකාරාදිය මැවූ සේක."

දැන් මේ කතාවේ හැටියට වෙන්නේත් බුදුන් විසින් යක්ෂයින්ගේ හිස් මතුපිට සිට අන්ධකාරයක් මවන එකයි. පසුව අවශ්‍ය දේ සිදුවීමෙන් පසුව ගිණිගෙන දිලිසෙන්නාක් වැනි ආලෝකයක් දැකිය හැකි වෙනවා.

"ඔවුන්ගේ බියද ශීතද අන්ධකාරයද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අතුට එහි වැඩහුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලියෙන්නක් කොට හාත්පසින් විශාල කළ සේක." 

මේ ආකාරයට පෙනුනේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදුවන අවස්ථාවක පෙනෙන රතු හඳද?

විජය පැමිණියායැයි සැලකෙන කාලය හා ඊට පෙර සියවස් වල අවම වශයෙන් ලංකාවේ වෙනස් සංස්කෘතීන් දෙකක් පැවතී ඇති බව පැහැදිලියි. රට ඇතුළේ යක්ෂයින් හා මුහුදුබඩ පළාත් වල නාගයින් වශයෙන්. ලංකාවේ නාගයින් වත්මන් ඉන්දියාවේ මුහුදුබඩ පෙදෙස්වල විසූ නාගයින් සමඟ සමීප සංස්කෘතික සම්බන්ධතාවක් පවත්වාගෙන ඇති බවත් පැහැදිලියි. නමුත්, යක්ෂයින් හා නාගයින් අතර එවැනි සම්බන්ධතාවයක් තිබී ඇති බවක් පෙනෙන්නේ නැහැ.

යක්ෂයින්ගේ ප්‍රතිරෝධය හමුවේ ගංගා දිගේ රට ඇතුළට සංක්‍රමණය වෙන එක නාගයින්ට බොහෝ අසීරු කටයුත්තක්ව තිබෙන්න ඇති. එසේ තිබියදී නාගයින් ගෝකණ්ණයේ සිට මහවැලි ගඟ දිගේ ඉහළට ටිකෙන් ටික ඇවිත් මහියංගනය හරියටම ව්‍යාප්ත වෙලා හිටියා වෙන්න පුළුවන්. නමුත්, මහියංගනය ආසන්නව යක්ෂයින්ගේ බලය ලොකුවටම තියෙන්න ඇති.

වංශ කතා අනුව මහියංගනයේ යක්ෂයින් කඳුකරයට (ගිරි දිවයිනට) එළවා දමන්න හැකි වී තිබෙන්නේ බුදුන්ගේ උදවුවෙන්. නාග හා දේව ගෝත්‍රිකයින්ට යක්ෂයින් එළවා මහියංගනයේ බලය තහවුරු කරගන්න උදවු වුනේ දුරුතු පසළොස්වක පෝ දිනක සිදු වූ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්ද?

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වීම එතරම් දුලබ දෙයක් නොවන නිසා කිසියම් ඓතිහාසික සිදුවීමක් කාල නිර්ණය කර ගැනීමට එවැන්නක් පිළිබඳ දැනුමකින් ලොකු පිටිවහලක් ලැබෙන්නේ නැහැ. නමුත්, පූර්ණ සූර්යග්‍රහණයක් කියන්නේ ගොඩක් දුර්ලභ සිදුවීමක්.

බුදුන්ගේ දෙවන ලංකාගමනය සිදු වූ තැන සේ සැලකෙන්නේ නාගදීප දූපතයි. එම ස්ථානය පිහිටා තිබෙන්නේ උත්තර අක්ෂ භාග 9°36'17.8"හි හා  නැගෙනහිර දේශාංශ 79°46'07.1"හියි. ආසන්න වශයෙන් මුහුදු මට්ටමේම තිබෙන තැනක්. මේ විස්තර ඇසුරෙන් අපට බුද්ධ කාලය අයත් වන ක්‍රිස්තු පූර්ව පළමු සහශ්‍රය තුළ එහි සිට දැකිය හැකි වූ පූර්ණ සූර්යග්‍රහණ හඳුනාගත හැකියි. එම සහශ්‍රය තුළ නාගදීපයට දැකිය හැකි පූර්ණ සූර්යග්‍රහණ සිදුව තිබෙන්නේ හතරක් පමණයි. පහත තිබෙන්නේ අදාළ විස්තරයි.

-ක්‍රිස්තු පූර්ව 1055 මාර්තු 18 දින දවල් 12:51:42 සිට 12:57:05 දක්වා මිනිත්තු 5කුත්  තත්පර 23ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 480 අප්‍රේල් 19 දින උදේ 8:40:27 සිට 8:44:13 දක්වා මිනිත්තු 3කුත්  තත්පර 46ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 375 පෙබරවාරි 28 දින හවස 5:11:04 සිට 5:12:07 දක්වා මිනිත්තු 1කුත්  තත්පර 03ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 335 ජූලි 04 දින හවස 4:34:57 සිට 4:36:19 දක්වා මිනිත්තු 2කුත් තත්පර 43ක කාලයක්
-ක්‍රිස්තු පූර්ව 168 ජූලි 17 දින උදේ 9:39:18 සිට 9:44:29 දක්වා මිනිත්තු 5කුත් තත්පර 10ක කාලයක්

අශෝක රජුගේ රාජ්‍යාභිෂේකය සිදු වූ වසර ක්‍රිස්තු පූර්ව 268 හෝ ආසන්න වසරක් බව සෑහෙන තරම් නිවැරදිව හඳුනාගෙන තිබෙනවා. මහා වංශයට අනුව, විජයාගමනය හා සම්බුද්ධ පරිනිර්වාණය සිදුව තිබෙන්නේ ඊට වසර 218කට පෙරයි. මෙය බොහෝ ගැටළු සහගත හා අවිනිශ්චිත මූලාශ්‍රයක් වුවත් දැනට තිබෙන වඩාත් පිළිගත් මූලාශ්‍රයයි. ඒ අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදු වූ වසර සේ පිළිගැනෙන්නේ ක්‍රිස්තු පූර්ව 486 වසරයි. එසේනම්, දෙවන ලංකාගමනය සිදුව තිබිය යුත්තේ ඊට වසර 40කට පෙර ක්‍රිස්තු පූර්ව 526දීයි. නමුත්, මෙම කාලයට ආසන්නවම සිදුව ඇති නාගදීපයට දැකිය හැකි පූර්ණ සූර්යග්‍රහණය සිදුව ඇත්තේ ක්‍රිස්තු පූර්ව 480දීයි. එනම් බුද්ධත්වයෙන් නොව සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර පහකට පමණ පසුවයි.

සම්බුද්ධ පරිනිර්වාණය හා විජයාවතරණය සිදු වුනේ එකම දවසක කියන එක නිවැරදි තොරතුරක් සේ පිළිගැනීම ගොඩක් ගැටළු සහගත දෙයක්. මහා වංශය අනුව සම්බුද්ධ පරිනිර්වාණය සිදුවන විට මගධයේ රජු අජාසත්. එතැන් සිට ධර්මාශෝක දක්වා මගධය පාලනය කරන රජවරුන් ගණන 29ක්. නමුත් මේ වසර 218 තුළ ලංකාව පාලනය කරන්නේ රජවරුන් 8 දෙනෙක් පමණයි. ඒ අතරින් ඇතැම් රජවරුන් පිළිගත නොහැකි තරම් දිගු කලක් ජීවත් වී තිබෙනවා.

වැඩිම වුනොත් මහින්දාගමනයේ සිට නිශ්චිත ක්‍රමවේදයකට වාර්තා කෙරුණු ලංකා ඉතිහාසයේ ඊට පෙර කොටස ප්‍රතිනිර්මාණය කළ කවුරු හෝ විසින් සම්බුද්ධ පරිනිර්වාණය හා විජයාවතරණය කෘතීම ලෙස ගැලපුවා වෙන්න සෑහෙන ඉඩක් තිබෙනවා. ඒ අනුව, විජයාවතරණය සිදුවුණේ සම්බුද්ධ පරිනිර්වාණයට පසුව වෙන්නත් සැලකිය යුතු ඉඩක් තිබෙනවා. වත්මන් ඉන්දියාවේ විවිධ පෙදෙස් වල සිට සංක්‍රමනික කණ්ඩායම් පැමිණීම සම්බුද්ධ පරිනිර්වාණයටත් පෙර සිටම දිගින් දිගටම සිදු වුනා වෙන්න පුළුවන්. විජය ඇතුළු කණ්ඩායම එසේ පැමිණි එකම හෝ මුල්ම කණ්ඩායම කියා හිතන්න අමාරුයි.

ඓතිහාසික කරුණු වල නිරවද්‍යතාවය සනාථ කරගැනීමේදී හා කාල නිර්ණය කර ගැනීමේදී ප්‍රධාන වශයෙන්ම කරන්නේ ලිඛිත සාක්ෂි හා පුරා විද්‍යාත්මක සාක්ෂි ගලපන එකයි. ප්‍රශ්නයකට තියෙන්නේ පුරා විද්‍යාත්මක සාක්ෂි කාල නිර්ණය කළ හැක්කේ විශාල ඇස්තමේන්තු වරදක් එක්ක වීමයි. මේ ක්‍රමවේදයට අනුපූරයක් ලෙස ඓතිහාසික කරුණු සමඟ සූර්යග්‍රහණයක් වැනි ස්වභාවික සංසිද්ධියක් ගැලපිය හැකිනම් අන්තිම තත්පරයටම ඓතිහාසික සිද්ධි කාල නිර්ණය කළ හැකියි. කේන්ද්‍ර සටහන් ආදිය ඇත්නම් ඒවා ඇසුරෙනුත් එවැන්නක් කළ හැකියි.

නාගදීපයට පෙනෙන ලෙස බුද්ධ කාලයට ආසන්නව සිදුව තිබෙන එකම පූර්ණ සූර්යග්‍රහණය සිදුව තිබෙන්නේ ප්‍රලම්බිත ජුලියන් කැලැන්ඩරයෙන් ක්‍රිස්තු පූර්ව 480 අප්‍රේල් 19 වෙනිදා උදේ 8:40-8:44 අතරයි. මේ දවස හරියම බක් අමාවක දවසක් වීම විශේෂ කරුණක්. එවැන්නක් සිදුවෙන්න ඉඩ තිබෙන්නේ අවුරුදු දහස් ගණනකට වරක් පමණයි.ඊට අමතරව, මේ පූර්ණ සූර්යග්‍රහණය සිදුවෙන්න වසර පහකට පමණ පෙර දුරුතු පුර පසළොස්වක පෝය දවසක රෑ මහියංගණයට (උත්තර අක්ෂාංශ 7°19'11.1" හා නැගෙනහිර දේශාංශ 80°59'17.5", මුහුදු මට්ටමේ සිට මීටර 100 පමණ) පෙනෙනු පූර්ණ චන්ද්‍රග්‍රහණයක්ද සිදුවී තිබෙනවා. ඒ ක්‍රිස්තු පූර්ව 485 ජනවාරි 31 වෙනිදා මධ්‍යම රාත්‍රී 11:39 සිට 1:17 දක්වා කාලය ඇතුළතයි.

Friday, April 5, 2019

යකුන් එළවා නාගයින් සමගි කළේ කවුද? (දෙවන කොටස)


දෙපාර්ශ්වයක් එකතු වෙලා විශාල යුද්ධයකට අර අඳින වෙලාවේ අනපේක්ෂිත විදිහට එක පාරටම අහස අඳුරු වෙලා, තවත් ටික වෙලාවකින් ඉර ටිකෙන් ටික වැසී ගිහින් කළුවර වුනොත් ඇති වන තත්ත්වය හිතා ගන්න පුළුවන්ද? යුද්ධ කරන එක කොහොම වෙතත් පාර්ශ්ව දෙකම යුද්ධය අමතක කරලා තම තමන්ගේ දෙවියන් යදින්න පටන් ගන්න එකක් නැද්ද?

යම් හෙයකින් චූලෝදර හා මහෝදර පාර්ශ්වයන් සටනට ලක ලෑස්ති වෙමින් සිටිද්දී පූර්ණ සූර්යග්‍රහණයක් ඇති වෙලා අහස අඳුරු වුනානම් එවැනි තත්ත්වයක් ඇති වෙන්න බැරිකමක් නැහැ. පාර්ශ්ව දෙක විසින්ම පූජනීය සේ සැලකූ අයෙක් සිටියානම් සූර්යග්‍රහණය වෙලාවේ මේ පාර්ශ්ව දෙකම ඒ පූජනීය පුද්ගලයාගෙන් කිසියම් සහනයක් ඉල්ලා සිටින්න ඉඩ තිබෙනවා වගේම මේ අනපේක්ෂිත සිදුවීම වුනේ තමන් යුද්ධයට එළැඹි නිසා කියා හිතා යුද්ධය නවතා සමඟි වෙන්නත් ඉඩ තිබෙනවා. යුද්ධයට හේතු වූ මිණිපළඟ බෙදාගන්න අමාරු නිසා එය අර දෙපාර්ශ්වයටම පිළිගත හැකි පුද්ගලයාට පූජා කිරීම විසඳුමක්.

චූලෝදර මහෝදර සටන සිදු වෙන්න ගිහින් තියෙන්නේ අමාවක පොහොය දවසක උදය කාලයේ. සූර්යග්‍රහණයක් සිදු වෙන්නෙත් අමාවක පෝය දවස් වලටයි. ඒ වගේම නිශ්චිත කිසියම් ප්‍රදේශයකට පූර්ණ සූර්යග්‍රහණයක් පෙනෙන්නේ එය දවල් කාලයේ සිදු වුනොත්. ඒ නිසා මේ කියන දවසේ එවැනි පූර්ණ සූර්යග්‍රහණයක් සිදු වුනා වෙන්න පුළුවන්. එවැන්නක් වුනානම් ඒ පිළිබඳ සාමූහික මතකය සියවස් ගණනක් යන තුරු ඉතිරි වෙන්න පුළුවන්. හැබැයි මේ වගේ ජනශ්‍රැති පරම්පරාවෙන් පරම්පරාවට යද්දී කතාව විශාල ලෙස වෙනස් වෙනවා. දීප වංශය ලියන කාලය වෙද්දී කතාව මේ වගේ එකක්.

යථා නාගානං සංගාමං- තථා ගන්ත්වා නරුත්තමෝ 
උභෝනාගවරමජ්ජේ- ඨිතෝ සත්තානුකම්පකෝ 

නරෝත්තමයන් වහන්සේ සත්ත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් නාගයින්ගේ සංග්‍රාමය පැවති තැනට ගොස් නාගයින්ගේ පාර්ශ්ව දෙක මධ්‍යයෙහි සිටගත් බව මෙයින් කියැවෙනවා.

නභේ ගන්ත්වාන සම්බුද්ධෝ- උභෝ නාගානං උපරි 
තිබ්බන්ධකාරතමං ඝෝරං- අකාසි ලෝකනායකෝ 

ලෝකනායක සම්බුද්ධයන් පාර්ශ්ව දෙකේම නාගයින් සිටි තැන් වලට ඉහළ අහසට ගොස් තීව්‍ර, ඝෝර අන්ධකාරයක් ඇති කළ බව මෙයින් කියැවෙනවා.

අපි නිකමට හිතමු මේ පාර්ශ්ව දෙකේම සිටි නාගයින් සූර්ය වන්දනාව කළ අය කියා. එය එසේ වෙන්න හෝ නොවෙන්න පුළුවන්. එසේ වුනානම් මේ කතාවේ කියන ආකාරයේ විශාල සංග්‍රාමයකට අවතීර්ණ වෙන්න කලින් මේ අය කරන්නේ ඉර දෙවියන් වඳින එකයි. ඒ වගේ වෙලාවක එක පාරටම අහස අඳුරු වී අන්ධකාරයක් පැතිරුනොත් හිතෙන්නේ මෙය තමන් අදහන, තමන්ගේ හිස් මුදුනේ පෙනෙන්න ඉන්න, ඉර දෙවියා හා අදාළ දෙයක් බවයි. පරම්පරා කිහිපයකට පස්සේ මේ ජනශ්‍රැතිය ඉදිරියට ගෙනයන අය බුදුන් අදහන්නන් වීමෙන් පසුව සූර්ය දේවරාජයා වෙනුවට ලෝකනායක සම්බුද්ධයන් ආදේශ වීම වැන්නක් ජනශ්‍රැති විකාශනය වීමේදී සිදුවන සාමාන්‍ය දෙයක්. යම් හෙයකින් මේ කණ්ඩායම් දෙකේ හිටියේ මහින්දාගමනයට පෙර ලංකාවේ සිටි බෞද්ධයින් වීනම් (මේ ගැන පසුව කතා කරමු), ඉර නොපෙනී යාම හමුවේ මේ විදිහට සහනයක් ඉල්ලා සිටියේ බුදුන්ගෙන්ම වෙන්න වුණත් බැරිකමක් නැහැ.

අන්ධං තමං තදා හෝති- කේසර මායා ඉද්ධියා 
අන්ධකාරේන ඕනද්ධෝ- සිහිතා යා රුක්ඛෝ අහූ 

සිංහයාගේ මායා සෘද්ධි බලයෙන් අන්ධකාරය හාත්පස පැතිරී ගිය බවත්, සිංහයා සහ වෘක්ෂය අන්ධකාරය තුළ ගිලී නොපෙනී ගිය බවත් මෙයින් කියැවෙනවා. මේ ගාථාවෙහි සිංහයා (කේසර/සිහ) ලෙස හඳුන්වන්නේ බුදුන් බව පෙනෙනවා. මෙහි කියැවෙන ගස, පෙර ගාථාවක විස්තර කර ඇති පරිදි, ජේතවනාරාමයේ සිට බුදුන්ට සෙවණ සලසමින් සමිද්ධි නම් දේවතාවා විසින් රැගෙන එන එම දේවතාවා වාසය කර ඇති ගසයි.

පසුව බුදුන් ආදේශ වී තිබෙන්නේ හිරු දෙවියන් වෙනුවටනම් අඳුර පැතිරෙන්නට පෙර සිටම හිරු දෙවියන්ට වෙනත් අයෙකු විසින් සෙවණ සලසමින් සිට ඇති බව පෙනෙනවා. නාගයින් මෙසේ දකින්නේ ඉරේ සැර විශාල ලෙස අඩුවන සූර්යග්‍රහණයක  මුල් අදියර විය හැකියි.

අඤ්ඤාම​ඤ්ඤං න පස්සන්ති- තසිතා නාගා භයට්ඨිතා 
ජයංපි න පස්සන්ති- කුතෝ සංගාම කාරිතුං 

එකිනෙකාව නොපෙනෙන නිසා නාගයින් බියපත් වී හා තැතිගෙන සිටිනවා. ජයංපි න පස්සන්ති, කුතෝ සංගාම කාරිතුං? දිනනවද (නැද්ද) කියා පේන්නේ නැතුව සංග්‍රාම කරන්නේ කොහොමද?

සබ්බේ සංගාමං භින්දිත්වා- පමුඤ්චිත්වාන​ ආයුධං
නමස්සමානා සම්බුද්ධං- සබ්බේ ඨිතා කතඤ්ජලී

සියළු දෙනාම යුද්ධ කිරීම නවත්වා, ආයුධ පැත්තකට දමා අත් එකතු කර බුදුන්ට නමස්කාර කරන්න පටන් ගන්නවා.

සලෝමහට්ඨේ ඤත්වාන- දිස්වා නාගේ භයට්ඨිතේ
මෙත්ත චිත්තේන පරිත්වාන- උණ්හාරංසිං පමුඤ්චයී

මහත් බියකින් සැලෙමින් සිටින නයින් දැකීමෙන් මෙත් සිත් පහළ කරගෙන උණුසුම් රැස් දහරක් එවනවා. මේ කියන්නේ පූර්ණ සූර්යග්‍රහණයකදී ඉර මුළුමනින්ම වැසී යාමෙන් පසුව දකින්නට ලැබෙන පළමු ආලෝක රැස් දහර ගැන වෙන්න බැරිද?

ආලෝකෝව මහා ආසි- අබ්භුතෝ ලෝකහංසනෝ 
සබ්බේ පස්සන්ති සම්බුද්ධං- නභේ චදං ව නිම්මලං

ලොම් කෙළින් කරවන අද්භූත සිදුවීමක් ලෙසින් නිමල ආලෝකය අහස පුරා පැතිරෙද්දී සියලු දෙනාම සම්බුදුන් දකිනවා.

ශ්‍රද්ධාවන්ත බෞද්ධයින්ට දැනුත් ඇතැම් වෙහෙර විහාර වලින් බුදුරැස් විහිදෙන බව ඇස් දෙකටම පේන එකේ ඒ කාලේ එහෙම දෙයක් පෙනෙන්න ලොකු ඉඩක් තියෙනවා. පූර්ණ සූර්යග්‍රහණයකදී ඉර මුළුමනින්ම වැසී යාමෙන් පසුව දකින්න ලැබෙන පළමු ආලෝක දහර අතිශයින්ම විචිත්‍රයි. දියමන්ති මුද්දක් අහසේ තියෙනවා වගෙයි පෙනෙන්නේ (Diamond Ring Effect). (උඩ තිබෙන ඡායාරූපය බලන්න)

ඡහි වණ්ණේහි උපේතෝ- ජලන්තෝ නභකන්තරේ 
දස දිසා විරෝචන්තෝ- ඨිතෝ නාගා අභාසථා 

ෂඩ් වර්ණ රැසින් අහසේ දස දිශාවම දිදුළවමින් බුදුන් නාගයින්ව අමතනවා. ඉන්පසුව තමයි මිණි පළඟ බුදුන්ට පුදා නාගයින් දෙපිරිස සමඟි වෙන්නේ.

බුදුන් පැමිණි කතාව පැත්තකින් තිබ්බොත් නාගයින් කණ්ඩායම් දෙකක් අතර සටනක් සිදු වෙන්න ගිහින් කිසියම් අයුරකින් එය වැළකී යාමක් පිළිබඳ කතාවක් මෙහි තිබෙනවා. එවැනි දෙයක් ඇත්තටම සිදු වුණාද? සිදුවෙන්නට ගිය මේ සටන වැළකෙන්නට ඇත්තටම හේතු වුනේ ඒ අවස්ථාවේදී සිදු වුනු පූර්ණ සූර්යග්‍රහණයක්ද?

Thursday, April 4, 2019

යකුන් එළවා නාගයින් සමගි කළේ කවුද? (පළමු කොටස)


අද මැදින් අමාවක පෝය. ඉන්පසුව බක් මාසය ආරම්භ වෙනවා. බක් මාසය කියන්නේ ලංකාවට සංස්කෘතිකව ගොඩක් වැදගත් මාසයක්.

වංශකතා අනුව, ගෞතම බුදුන් තෙවරක් ලක්බිමට වැඩම කර තිබෙනවා. බුදුන්ගේ පළමු ලංකාගමනය සිදුව තිබෙන්නේ බුද්ධත්වය සිදුව වසරක් ඇතුළත දුරුතු පුර පසළොස්වක් පෝ දිනක මහියංගනයටයි. දෙවන ලංකාගමනය බුද්ධත්වයෙන් පස් වන වසරේ බක්මස අමාවක් පොහෝ දින උදය කාලයෙහි සිදුව තිබෙනවා. පැමිණ තිබෙන්නේ නාගදීපයටයි. වසර පහක කාලයක් ඇතුළත සිදුව තිබෙන මේ ඓතිහාසික සිදුවීම් දෙක මහා වංශ කතුවරයා විසින් වාර්තා කර තිබෙන්නේ පහත ආකාරයටයි.

"ශත්‍රැමර්දනය කරණශීලී වූ සර්වඥතම උරුවෙල් කසුප්නම් ජටිලයාගේ මහා යාගය එළඹ සිටි කල්හි තමන් නොඊමෙහි වූ ඔහුගේ ඉච්ඡා වාරය දැන උතුරුකුරු දිවයිනෙත් පිණ්ඩපාතය ගෙණවුත් අනවතප්ත නම් විල සමිපයෙහි දී වළඳා තෙමේ සවස් වේලෙහි සම්‍යක් සම්බෝධියෙන් නව වන මස දුරුතු පුර පසළොස්වක්හි ලංකාද්වීපය ශුද්ධ කරනු පිණිස ලක්දිවට පැමිණි සේක. සර්වඥයන් වහන්සේ විසින් ලංකා තොමෝ සසුන් බබලන තැනෙකැයිද යකුන් විසින් පිරුණු ලක්දිව යක්ෂයන් බැහැර කටයුතු යැයිද දන්නා ලදී. ලංකාද්වීපයෙහි මනෝරම්‍ය වූ ගං ඉවුරෙහි තුන් යොදුන් දිගු එක් යොදුන් පුළුල්  වූ රම්‍ය වූ  මහා නාග වන නම් උයනෙහි යක්ෂයන්ගේ යුද්ධ භූමියෙහි ලක්දිව් වැසි යකුන්ගේ මහා නිශාචර සමාගමය ප්‍රසිද්ධ විය."

"ඒ මහා යක්ෂ සමාගමයට පැමිණි සර්වඥතෙම එහි සමාගම මැද ඔවුන්ගේ හිස්මතුයෙහි මහියංගනය ථූපයාගේ ස්ථානයෙහි අහස්කුස වැඩ සිටි සේක. ඔවුන්ට භයජනක වූ වර්ෂාවාතාන්ධාකාරාදිය මැවූ සේක. බියෙන් පෙළුනා වූ ඒ යක්ෂයෝ නිර්භය වූ  තථාගතයන් වහන්සේගෙන් අභය ඉල්වූහ. අභයදායී වූ තථාගතයන් වහන්සේ ඉතා භයින් පීඩිත වූ ඒ යකුන්ට මෙසේ වදාළ සේක. “යක්ෂයෙනි, තොපගේ මේ භය හා දුක් මම පහකරන්නෙමි. තොපි සමගිව මෙතන්හි මට හිඳිනා තැනක් දෙන්නහු ද? නොම දෙන්නහුද?” “නිදුකානෙනි, නුඹ වහන්සේට මේ සියලුම ලක්දිව දෙම්හ. අපව අභය දුනමැනවැ”යි ඒ සියලුම යක්ෂයෝ තථාගතයන් වහන්සේට කිවූය. ඔවුන්ගේ බියද ශීතද අන්ධකාරයද නසා ඒ දුන් භූමියෙහි පත්කඩ අතුට එහි වැඩහුන් සර්වඥතෙම එතැනින් ඒ පත්කඩ ගිනිගෙන දිලියෙන්නක් කොට හාත්පසින් විශාල කළ සේක. ග්‍රීස්මයෙන් පීඩිත වූ ඒ යක්ෂයෝ බියපත්ව (ලක්දිව) අන්තයෙහි හාත්පසින් සිටියෝය. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඔවුන්ට රම්‍ය වූ ගිරිදිවයින්  මෙහි ලඟා කළ සේක. උන් එහි වන් කළ තිබුන තන්හි තැබූ සේක. සර්වඥතෙම ඒ පත්කඩ හැකුලු සේක. එකල්හි දෙවියෝ සර්වඥයන්වහන්සේ කරා පැමිණියෝය. ඒ සමාගමෙහි ශාස්තෲන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. නොයෙක් කෙළ ගණන් සත්ත්වයින්ට සෝවාන් ඵලාදියෙන් ධර්මාවබෝධ වූයේය. සංඛ්‍යාපථාතීත සත්ත්වයෝ තිසරණ පන්සිල් පිහිටියෝය."

"පස්මරුන් දිනූ මහත් කරුණා ඇත්තා වූ සියලු ලෝ වැස්සන්ගේ වැඩෙහි ඇලුනා වූ ශාස්තෘ වූ සර්වඥයින් වහන්සේ සම්‍යක් සම්බෝධියෙන් පස්වෙනි වස ජේතවන විහාරයෙහි වැඩ වසන සේක්, මහෝදර නාගය එසේම චූළෝදර නාගය යන පිරිස්  සහිත වූ න‍ාගයන්ගේ මිණි පළඟ හේතු කොට එළඹ සිටියා වු යුද්ධය දැක, බක්මස අමාවක් පොහෝ දින උදය කාලයෙහි ම උතුම් වූ පා සිවුරු ගෙණ නාගයන්ට අනුකම්පා පිණිස නාගදීපයට වැඩි සේක. එකල්හි මහත් සෘද්ධි ඇති ඒ මහෝදර නම් නාග තෙමේ මුහුද පන්සියයක් යොදුන් අයම් නාග භවනයෙහි රජ වී උහුගේ නැගණි තොමෝ කන්වඩමන් නම් පව්වෙහි නා රජහට දෙන ලද්දීය. උහුගේ පුත්‍ර තෙම චූළෝදර නමි. උහුගේ මෑණියන් පිය වූ නා රජතෙම උතුම් වූ මිණිපළඟ මෑණියන්ට දී කාලක්‍රියා  කෙළේ ය. එසේ හෙයින් මයිල් නාරජු හා බැණනුවන්ගේ යුද්ධය තෙම එළඹ සිටියේය. පර්වත වාසී වූ ද ඒ නාගයෝ මහත් සෘද්ධිමත් වූහ. සමිද්ධි සුමන නම් දෙවි තෙමේද ජේතවනයෙහි පිහිටි තමන් යහපත් භවනය වූ කිරිපලුරුක බුද්ධානුමතියෙන්ම  ගෙන ඡත්‍රාකාරයෙන් සර්වඥයන් මත්තෙහි දරන්නේ ඒ පෙර විසූ ස්ථානයට ආයේ ය. ඒ දෙවි තෙම අනතුරු බැවෙහි නාගදීපයෙහි මනුෂ්‍යයෙක් විය..."

"...මෝහාන්ධකාර නසන්නා වූ සර්වඥ තෙම එහි යුද්ධ මධ්‍යයෙහි අහසේ වැඩ හුන්නේය. ඒ නාගයන්ට භය එලවන්නා වූ  අන්ධකාරයක් මවා පෑ සේක. (සර්වඥයන් වහන්සේ) බියෙන් ‍පෙළුන ඒ (නයින්) අස්වසන්නේ ආලෝකයක් පැතිරවූ සේක. සර්වඥයන් දැක සතුටු වූ ඒ නාගයෝ සර්වඥයන් වහන්සේගේ පා වැන්දෝය. පස්මරුන් දිනූ සර්වඥ තෙම සමඟි කරන්නා වූ  ධර්මයන් ඔවුන්ට දේශනා කළ සේක. සතුටු වූ ඒ දෙදෙන ම මිණිපළඟ ‍ සර්වඥයන් වහන්සේට ප්‍රදානය කළහ. ලෝකනායක වූ ශාස්තෘ තෙම එහි බැස අස්නෙහි වැඩහිඳ, ඒ නාග රාජයන් විසින් දිව්‍යාහාරපානයෙන් සතපන ලත් සේක්,  දිය වැසි වූද ගොඩ වැසි වූද අසූ කෙළක් නයින් තුන් සරණයෙහි ද සීලයෙහි ද පිහිට වූ සේක."

අද මේ ලිපිය ලියන මා මෙන්ම මහාවංශ කතුවරයාද මේ සිදුවීම් සිදුවන කාලයේ ජීවත් වී නැහැ. සියවස් ගණනාවකට පසුව ඔහු විසින් කර තිබෙන්නේ, දැන් මා කරන්නාක් මෙන්ම, තමන්ට පරිශීලනය කරන්නට ලැබී තිබෙන මූලාශ්‍ර ඇසුරු කර ගනිමින් ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමක්. දැනටත් අපට පරිශීලනය කළ හැකි දීපවංශය සැලකෙන්නේ මේ සිදුවීම් පිළිබඳව මහාවංශයට වඩා පැරණි ඓතිහාසික මූලාශ්‍රයක් ලෙසයි. එහෙත්, දීපවංශ කතුවරයා හෝ කතුවරුන් විසින් කර තිබෙන්නේත් එවකට ඔවුන් දැන සිටි දේ ඇසුරු කරගනිමින් ඉතිහාසය ප්‍රතිනිර්මාණය කිරීමක්. ඒ නිසා, මේ ඓතිහාසික වාර්තා වල තිබෙන්නේ සැබෑවටම සිදු වූ දෙයක් ගැන විස්තරයක් බව අපට සහතිකවම කියන්න බැහැ. නමුත්, මෙවැනි ප්‍රවාද හැදෙන්න කවර හෝ පදනමක් තිබිය යුතුයි.

මහාවංශයට හා දීපවංශයට පදනම් වී තිබෙන්නේ මුඛපරම්පරාවෙන් ඉදිරියට ගෙනැවිත් තිබෙන ලංකාවේ බුද්ධ ශාසනයේ ඉතිහාසයයි. එය විධිමත් ලෙස සිදුවන්නට ඇතැයි සිතිය හැක්කේ මහින්දාගමනයෙන් පසුවයි. ඊට පෙර කොටස ඒ කාලයේදී වත්මන් ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වූ බෞද්ධ භික්ෂූන් විසින් ප්‍රතිනිර්මාණය කළ ඉතිහාසයක්. එහිදී ඔවුන් එවකට ලංකාවේ වූ ජනශ්‍රැති වලින් තොරතුරු ලබාගන්න ඇති.

දෙවනපෑතිස් කියන්නේ ඉහත කී සංක්‍රමණික බෞද්ධ භික්ෂූන්ට ලංකාවේදී සම්මුඛ වූ චරිතයක්. දැක නොතිබුණත් ඔහුගේ පියා වූ මුටසීව ගැනත් ඔවුන් ලංකාවට පැමිණෙන්න පෙර සිටම අසා තිබෙනවා. ලංකාවේදී ඔවුන්ට දෙවනපෑතිස්ගේ පියා මුටසීවව මෙන්ම දෙවනපෑතිස්ගේ පියාගේ පියා වූ පණ්ඩුකාභය ගැනත් හොඳින් දැන සිටි ඔවුන්ගේ කාලයේ ජීවත් වූ වයස්ගත පුද්ගලයින් හමු වෙන්න ඇති. එහෙත්, පණ්ඩුකාභයගේ පරම්පරාවට පෙර පරම්පරා වල අය ඒ වන විට ජීවත්ව ඉන්න ඉඩක් නැහැ.

කොහොම වුවත්, දෙවනපෑතිස් රජුගේ පරම්පරාවේ අක්මුල් හොයා යන සංක්‍රමණික භික්ෂූන්ට පණ්ඩුකාභයගේ මවගේ පියා වූ පඬුවස්දෙව් ගැනත්, පඬුවස්දෙව්ට ලංකාවට සංක්‍රමණය වීමට ඉඩකඩ සපයා දුන් ඔහුගේ පියාගේ සොහොයුරෙකු වූ විජය ගැනත් තොරතුරු හමුවුණා කියා හිතන්න පුළුවන්. බුදුන්ගේ ලංකා ගමන් වංශ කතා වල විස්තර කෙරෙන්නේ විජය ලංකාවට සංක්‍රමණය වන්නට පෙර කලෙක සිදු වූ සිදුවීම් ලෙසයි. නාගයින් හා යක්ෂයින් විජයගේ කාලයට පෙර සිටම ලංකාවේ ජීවත්ව සිට ඇති ජනකොටස් බව වංශ කතා කතුවරුන් විසින් හඳුනාගෙන තිබෙනවා.

බුදුන්ගේ දෙවන ලංකාගමනය ලෙස වාර්තා වී තිබෙන සිදුවීම ඉහත කී දේශීය ජනකොටසක් වූ නාගයින්ගේ කණ්ඩායම් දෙකක් අතර සිදුවන්නට ගිය සටනක් පිළිබඳව අවිධිමත් ලෙස කටින් කට සම්ප්‍රේෂණය වූ වාර්තා මත පදනම් වී ඇති බව සිතිය හැකියි. මෙය බක් අමාවක් පොහෝ දිනක උදය වරුවේ සිදුවන්නට ගොස්, යුද්ධයේ පාර්ශ්වකරුවන් විසින් අපේක්ෂා නොකළ හේතුවක් නිසා වැලකී තිබෙන සටනක්. ඒ ආකාරයට, යුද්ධයක් වැළැකී දෙපාර්ශ්වය සමඟි වීමට හේතු විය හැකි, ඒ හේතුව නිසාම කාලයක් කිසියම් ජන කොට්ඨාශයකගේ සාමූහික මතකයේ රැඳී තිබිය හැකි, ස්වභාවික සංසිද්ධි තිබිය නොහැකිද?

Tuesday, April 2, 2019

අර්ධ


වෙනදා වගේම ඊයෙත් ගෙදර ආපු ගමන් කෙළින්ම ගියේ පරිගණකයට. සේවා ස්ථානයේ කාර්යාල කාමරයේ සිට නිවසේ කාර්යාල කාමරය දක්වා එන්න ගතවන කාලය තුළ ලැබී තිබෙන්නට ඉඩ තිබෙන කාල-සංවේදී විද්‍යුත් ලිපි ගැන ගෙදර පැමිණි වහාම සොයා බැලීම මගේ පුරුද්දක්.

ගෙදරින් යන කොට හොඳින් වැඩ කළ පරිගණකයේ මූසිකය දැන් වැඩ කරන්නේ නැහැ. පරිගණකය අක්‍රිය කර නැවත ක්‍රියා කළත් වෙනසක් නැහැ. මූසිකය මධ්‍යම සැකසුම් ඒකකයෙන් ගලවා නැවත සම්බන්ධ කළත් තත්ත්වය එසේමයි.

මේ සතිය අපේ දරුවන්ට නිවාඩු සතියක්. ගෙදර සිටින ඔවුන්ගෙන් කෙනෙක් හෝ බිරිඳ මගේ පරිගණකය භාවිතා කළා වෙන්න පුළුවන්. ඔවුන් සියල්ලන්ටම තම තමන්ගේ ලැප්ටොප් පරිගණක තිබුණත් මගේ පරිගණකයට එන වෙලාවල් තියෙනවා.

බිරිඳගෙන් විමසුවත් ඈ කියන විදිහට මා නිවසේ නැති අතරේ ඈ හෝ දරුවෙකු මගේ පරිගණකය භාවිතා කර නැහැ. එහෙමනම් මූසිකය වැඩ නොකරන්නේ ඇයි?

තවත් හොඳින් සොයා බලද්දී පෙනුණේ මූසිකය යට ලේසර් සෙන්සරය වැහෙන පරිදි ටේප් කෑල්ලක් ඇලී ඇති බවයි. මෙවැන්නක් අහම්බෙන් වෙන්න බැරිකමක් නැතත්, ඔය වගේ පොඩි ටේප් කෑල්ලක් ලියන මේසය උඩ තියෙන්න හේතුවක් නැහැ. මෙය කවුරු හෝ විසින් හිතාමතාම කළ දෙයක්.

අපේ පොඩි එකා සමහර වෙලාවට ඔය වගේ ගොන්පාට් වැඩ කරනවා. සමහර අය අදහස් වාරණය කරන්න කරන බොළඳ වැඩ වගේ මූසිකයේ සෙන්සරය වසා මා ලියන එක නවත්වන්නවත් හිතුවද? ඔවුන් ගෙදර ඉන්න සතියේවත් පරිගණකය අමතක කර ඔවුන් එක්ක වැඩි කාලයක් ගෙවිය යුතුයි කියා සිතා එහෙම කළානම් වැරැද්දක් කියන්නත් බැහැ.

පොඩි එකා ගෙන්නලා ඇහුවහම පොර හිනාවෙනවා.

"මතක නැද්ද අද අප්‍රේල් පළමුවැනිදා!"

ගොඩක් දෙනෙක් අප්‍රේල් පළමුවැනිදාට ඔය වගේ ගොන්පාට් එකක් කරනවා. හැබැයි අප්‍රේල් පළමුවැනිදාට කරන හැමදෙයක්ම ගොන්පාට් ගොඩට දමන්න බැහැ.

ඊයේ පොල්ගහවෙල මහේත්ත්‍රාත් අධිකරණය විසින් ශක්තික සත්කුමාර නමැත්තෙකු විසින් ලියන ලද කෙටිකතාවක් හේතුවෙන් ඔහුව අප්‍රේල් 9 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වී තිබෙනවා. අප්‍රේල් විහිළුවක් වෙන්න බැහැ.

අප්‍රේල් පළමුවැනිදාවක ලංකාවේ අධිකරණයක් විසින් ලබා දී තිබෙන මේ නියෝගය නිසා මේ වන විට අදාළ කෙටි කතාවට විශාල ප්‍රචාරයක් ලැබෙමින් පවතිනවා. මමනම් මේ ලේඛකයා ගැන දැන ගත්තෙත් මේ සිද්ධියෙන් පසුවයි. අදාළ කෙටිකතාව රසිකොලොජියේ හා තවත් තැන් වල සම්පූර්ණයෙන්ම පළ කර තිබෙනවා.

ශක්තික සත්කුමාර, "අර්ධ" සහ අඳ බාලයින්ට ගිය රට! - Free Shakthika Sathkuara immediately

ට්‍රාන්සිල්වේනියා වියුණුවට අනුව මේ උසාවි තීන්දුව ලබා දී තිබෙන්නේ ICCPR නම් පනත අනුවයි.

කෙටි කතාවක් ලිවීම නිසා ලේඛකයා රිමාන්ඩ්

මොකක්ද මේ ICCPR නම් පනත?

මේ කියන්නේ 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත ගැනයි. ඒ ගැන කතා කරන්න කලින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය ගැන කතා කළ යුතුයි.

නමින්ම කියවෙන පරිදි මෙය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියක්. අදාළ සම්මුතිය කෙටුම්පත් කිරීමෙන් අනතුරුව 1966 දෙසැම්බර් 16 දින සාමාජික රටවල් වලට අත්සන් තැබීම පිණිස විවෘත කෙරුණු අතර 1976 මාර්තු 23 දින සිට ජාත්‍යන්තර සම්මුතියක් ලෙස බලාත්මක කෙරුණා. 1980 ජූනි 11 දින ශ්‍රී ලංකාවද මෙම සම්මුතියට අත්සන් තැබුවා.

ඉහත සම්මුතියට අත්සන් තබා ඇති රටවල් විසින් එම සම්මුතිය අදාළ රට තුළ ක්‍රියාත්මක කෙරෙන පරිදි නීති සම්පාදනය කළ යුතුයි. සම්මුතියට අත්සන් තබන විටත් ලංකාවේ නීති පද්ධතිය තුළ සම්මුතියේ බොහෝ කරුණු ආවරණය වුණා. 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පිළිබද පනත 2007 නොවැම්බර් 16 දින සම්මත කර ගැනුණේ එසේ ලංකාවේ නීතියෙන් නිසි පරිදි ආවරණය නොවූ දෑ ආවරණය කරගනු පිණිසයි.

මා හිතන ආකාරයට ශක්තික සත්කුමාරව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන්නේ අදාළ පණතේ තෙවන වගන්තියේ ප්‍රතිපාදන අනුව විය යුතුයි. එය මෙවැන්නක්.

3(1) කිසිම තැනැත්තෙකු විසින්, යුද්ධය පැතිරවීමට හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකළ යුතුය. 

(2) (1) වන උපවගන්තියේ සඳහන් වරදක්-
(අ) සිදු කිරීමට තැත්කරන;
(ආ) සිදු කිරීමට ආධාර හෝ අනුබල දෙන; හෝ 
(ඇ) සිදුකරන බවට තර්ජනය කරන,

සෑම තැනැත්තෙක්ම මේ පණත යටතේ වූ වරදකට වරදකරු වන්නේය.

මෙහි ඊළඟ උපවගන්ති අනුව, මහාධිකරණයක් විසින් මෙහි සඳහන් වරදකට වරදකරු කරන අයෙකුට බරපතල වැඩ ඇතිව දසවසරකට නොවැඩි සිර දඬුවම් ලබා දිය හැකියි. ඒ වගේම මෙය නීතිය අනුව ඇප දිය නොහැකි වරදක්. මහාධිකරණය විසින් අනෙක් නඩු කල් තබා මෙවැනි නඩුවක් වහාම විභාගයට ගත යුතු අතර නඩු විභාගය අවසන් වන තුරු කල් නොතබා දිගටම නඩුව ඇසිය යුතුයි.

ඉහත සඳහන් අදාළ පණතේ තෙවන වගන්තිය පාදක වෙන්නේ ජාත්‍යන්තර සම්මුතියේ 20වන වගන්තිය මතයි. එය මෙවැන්නක්.

Article 20

1. Any propaganda for war shall be prohibited by law.

2. Any advocacy of national, racial or religious hatred that constitutes incitement to discrimination, hostility or violence shall be prohibited by law.

20 වගන්තිය

1. යුද්ධය වෙනුවෙන් සිදු කෙරෙන ඕනෑම ප්‍රචාරණයක් නීතියෙන් තහනම් විය යුතුය.

2. වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදිකම් වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වලට පොළඹවමින් ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය පැතිරවීම වෙනුවෙන් පෙනී සිටීම නීතියෙන් තහනම් විය යුතුය.

මේ අනුව ලංකාවේ පණතේ 3(1) වගන්තිය ජාත්‍යන්තර සම්මුතියේ 20 වගන්තිය සමඟ සෑහෙන තරමකින් ගැලපෙනවා. නමුත්, මෙහිදී ජාත්‍යන්තර සම්මුතියේ 19 වගන්තියේ සඳහන් කරුණු දෙසත් බැලීම වැදගත්.

Article 19

1. Everyone shall have the right to hold opinions without interference.

2. Everyone shall have the right to freedom of expression; this right shall include freedom to seek, receive and impart information and ideas of all kinds, regardless of frontiers, either orally, in writing or in print, in the form of art, or through any other media of his choice.

3. The exercise of the rights provided for in paragraph 2 of this article carries with it special duties and responsibilities. It may therefore be subject to certain restrictions, but these shall only be such as are provided by law and are necessary:

(a) For respect of the rights or reputations of others;

(b) For the protection of national security or of public order (ordre public), or of public health or morals.

ඉහත වගන්තියේ අරමුණ බාධාවකින් තොරව අදහස් පළ කිරීමේ අයිතිය තහවුරු කිරීමයි. එසේ වුවත් එම වගන්තියෙන්ම අදාළ නිදහස භුක්ති විඳීමේදී අමතක නොකළ යුතු සීමාවන් පිළිබඳවද සඳහන් වෙනවා. ඒ අනුව, කිසියම් අදහස් පළ කිරීමක් නිසා වෙනත් අයෙකුගේ අයිතිවාසිකම් වලට හෝ ගරුත්වයට හානි වන අවස්ථා වලදීත්, ජාතික ආරක්ෂාවට, රටේ නීතිය හා සාමයට හෝ මහජන සෞඛ්‍යට හානිකර වන විටකදීත් එසේ අදහස් පළ කිරීමේ නිදහස සීමා වෙනවා.

සම්මුතියේ 19 වන වගන්තියේ මූලික අරමුණ වන්නේ භාෂණයේ නිදහස තහවුරු කිරීම බව ඉතා පැහැදිලියි. මේ නිදහසේ සීමාවන් ගැන සඳහන් වන්නේ ව්‍යතිරේඛ ලෙසයි. 20 වන වගන්තියෙන් විස්තර කෙරෙන්නේ ඒ ව්‍යතිරේඛ පිළිබඳවයි. ලංකාවේ නීතියේ තිබෙන්නේ දළ වශයෙන් එකම කරුණු වුනත්, එහිදී භාෂණයේ නිදහස යන්නට ප්‍රමුඛතාවය දී ඉහත කී ව්‍යතිරේඛ තත්ත්වය ගැනද කියනවා වෙනුවට ව්‍යතිරේඛ වලට ප්‍රමුඛතාවයක් ලබා දී ඇති සෙයක් පෙනෙනවා. වෙනත් විදිහකින් කිවුවොත් ලංකාවේ නීතියේ මූලික කාර්ය භාරය අදාළ තත්ත්වයන් යටතේදී භාෂණයේ නිදහස සීමා කිරීම බවට පත්ව තිබෙනවා.

ශක්තික සත්කුමාර සිද්ධියේදී මහේත්ත්‍රාත් අධිකරණය විසින් ක්‍රියා කර ඇති ආකාරයේ නීතිමය වරදක් පෙනෙන්න නැහැ. මෙවැනි සංඥය වරදකට පොලීසිය විසින් යමෙක්ව අත් අඩංගුවට ගැනීමෙන් පසුව සැකකරුව මහාධිකරණයට ඉදිරිපත් කරන තුරු ඇප දීමේ හැකියාවක් නැති බව මගේ අදහසයි. නීතිය පොඩ්ඩක් ඉගෙනගෙන තිබුණත් මා නීතිඥයෙකු නෙමෙයි. මා වැරදි වෙන්න පුළුවන්.

ලංකාවේදී යමෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම කියන්නේම ලොකු දඬුවමක්. පෙනෙන විදිහට මේ වගේ චෝදනාවක් ඉදිරිපත් වූ අවස්ථාවකදී නීතිය අනුව සිදුවිය යුතු සාමාන්‍ය දෙය එයයි. මගේ අදහස අනුව මෙහි තිබෙන්නේ නීතියේ ප්‍රශ්නයක් මිස නීතිය ක්‍රියාත්මක වී ඇති ආකාරයේ ප්‍රශ්නයක් නෙමෙයි. ඒ නිසා මෙය ඉදිරියේදී තවත් මෙවැනි නඩු ගොනු වීමට පූර්වාදර්ශයක් සපයන්න පුළුවන්. එවැනි නඩු විවිධ පැති වලට කැරකෙන්න පුළුවන්. භාෂණයේ නිදහස පිළිබඳව වගේම ලංකාවේ දේශපාලනික තත්ත්වයන්ද සැලකූ විට එහි විශාල අනතුරක් තිබෙනවා.