Tuesday, April 25, 2017

අරුන්දතී ගුවන් විදුලි වැඩසටහන


ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර සිට භාෂා පණහකින් විකාශනය කෙරෙන EB4 ගුවන් විදුලි සේවයේ ශ්‍රී ලාංකික (සිංහල) සේවය ඉදිරිපත් කරන සඳැල්ල වැඩ සටහනේ අද තේමාව වූයේ අරුන්දතියයි. මේ FM නාලිකාවේ ඉරිදා දිනවල උදයේ පැයක් හා අඟහරුවාදා දිනවල රාත්‍රියේ පැයක් ලෙස සිංහල වැඩසටහන් විකාශනය වේ. බ්‍රිස්බේන් වේලාවෙන් පස්වරු දහයේ සිට පැයක කාලයක් විකාශනය වූ අද සඳැල්ල වැඩසටහන සඳහා අරුන්දතිය තේමා කරගැනීමට හේතු වී තිබුණේ දින කිහිපයකට පෙර ඉකොනොමැට්ටාගේ බොජුන්හලේ පළ කෙරුණු "වික්ටර්ගේ අරුන්දතී හා ජෝතිපාලගේ අරුන්දතීලා" නම් වූ ලිපියයි.

වැඩසටහන ඇරඹුණේ ඉකොනොමැට්ටාගේ ලිපියේ කතා නොකළ, මෑතකදී විකාශනය කෙරී ඇති අරුන්දතී ටෙලිනාට්‍යයේ තේමා ගීතයෙනි.

"අරුන්දතී සලුපටින් මිදී
මා ලඟට ලංව එවී
ඔය රහස් කතා ඇස් පියන් වසා
ඇස් වලට තුරුළු වේවී..."


මේ ගීතය ප්‍රචාරය කිරීමෙන් පසුව වැඩසටහන් සම්පාදකයෝ ඔවුන්ගේ අසන්නන් වෙනුවෙන් ඉකොනොමැට්ටාගේ බොජුන්හල හා ඉකොනොමැට්ටාව හඳුන්වා දීමෙන් අනතුරුව වැඩසටහනට ඉකොනොමැට්ටාව සම්බන්ධ කර ගත්තේය. මේ සඳහා මුල් වුනේ EB4 ගුවන් විදුලි සේවයේ ශ්‍රී ලාංකික කණ්ඩායමේ සාමාජිකයෙකු වන, මා පෞද්ගලිකව නොහඳුනන තිසරයි.

මෙහිදී ඉකොනොමැට්ටා පලකළ අදහස් බොහොමයක් බ්ලොග් ලිපියේ ලියා ඇති නිසා නැවත ලිවිය යුතු නැත. මෙහිදී කියැවුණු, මුල් ලිපියේ නැති එක් විශේෂ කරුණක් වන්නේ අරුන්දතී තාරකාව හෝ එය අයත්වන සප්තාර්ශී තාරකා මණ්ඩලය ඕස්ට්‍රේලියාවේ දකුණු වෙරළ තීරයේ පිහිටි මෙල්බර්න් හෝ සිඩ්නි වැනි නගරයකට නොපෙනෙන බවයි. ඒ, ඒ නගර වල සිටින අය මරණයට ආසන්නව සිටින නිසා නොවේ. සප්තාර්ශී තාරකා මණ්ඩලය පිහිටා ඇත්තේ පොළොවේ උතුරු දෙසට වන්නට නිසාය.

මා හිතන පරිදි, බ්‍රිස්බේන් වැනි තරමක් උතුරට වන්නට පිහිටි නගරයක සිට වුවද මේ තාරකා මණ්ඩල නොපෙනුණත්, ඕස්ට්‍රේලියාවේ වඩා උතුරට වන්නට ඇති පෙදෙසක සිට මේ තාරකා දැකිය හැකිය. මේ අයුරින්ම ඕස්ට්‍රේලියානු ජාතික කොඩියේ ඇති දකුණු කුරුසිය උත්තරාර්ධගෝලයේ සමකයෙන් ඈත පෙදෙස් වලට නොපෙනේ.

දැන් නොපෙනුණත් වසර දෙදහසකට පමණ පෙර දකුණු කුරුසිය ඉර බසින වෙලාව ආසන්නව සමකයෙන් උතුරේ පිහිටි ජෙරුසලම ඇති ප්‍රදේශයට පමණක් නොව දකුණු යුරෝපයේ වතිකානුව තිබෙන ප්‍රදේශයටද පෙනී තිබේ. මේ පෙදෙස් වල ක්‍රිස්තියානිය පැතිරෙන්නට පෙර පැවති ජනශ්‍රැති අනුව දෙවියන් (හිරු) හැන්දෑවේ කුරුසියේ හැපී මිය යන අතර නැවත පසුදා උදේ උත්ථානය වේ. කෙසේවුවද, පොළොවේ පූර්වායනය නිසා වසර දෙදහසකට පමණ පෙර ඔවුන්ට දකුණු කුරුසිය නොපෙනී ගියේය.

ඉකොනොමැට්ටාට අදහස් දැක්වීමට ඉඩ සැලසීමෙන් පසුව වැඩ සටහනේ ඉතිරි කොටස තුළ ඔවුහු අරුන්දතී ගැන ලියැවුණු සිංහල ගී ගැන කතා කළහ. ඒ ගී අතර විජය කුමාරතුංගයන් ගයන මේ මියුරු ගීයද තිබුණේය.

"කරඹ යායේ ළවැලි පාරේ මගේ හද දිනු අරුන්දතී
වැව පුරා රතු නෙළුම් පිපුණේ ඔබ බලන්නයි අරුන්දතී.."


වැඩ සටහන අවසාන වුණේ ඉකොනොමැට්ටාගේ මුල් සටහන සමඟද පළවුණු එච් ආර් ජෝතිපාලයන් ගයන "දොළොස්මහේ පහණ වාගෙ" ගීතයෙනි. මේ ගීතයේ රචකයා මා නොදන්නා නමුත් එහිද අරුන්දතී තාරකාවට සම්බන්ධයක් ඇති බව පෙනේ. ගීත රචකයා මෙහිදී කිසියම් තරුණියකට අරුන්දතී ලෙස අමතන්නේ ඇය තනිව ගමන් නොයා මල්ලී සමඟම ගමන් බිමන් යන නිසා සමච්චලයටය.

අරුන්දතී තේමා කරගත් සඳැල්ල වැඩසටහනට ඔවුන්ගේ http://www.4eb.org.au/4eb-ondemand වෙබ් අඩවියට ගොස් "Sri Lankan" වැඩ සටහන තේරීමෙන් ඉදිරි සතියක කාලය තුළ (ඊළඟ වැඩසටහන විකාශනය කෙරෙන තුරු) සවන් දිය හැකිය.

අපට පෙනෙන තරු!

ඕස්ට්‍රේලියානු කොඩියේ දකුණු කුරුසියට වමෙන් ඇති, පොදු රාජ්‍ය මණ්ඩලීය තරුව ඕස්ට්‍රේලියානුවන්ගේ සාමූහික විඥානයේ ඇති, එහෙත් අහසේ දැකිය නොහැකි තරුවකි. මේ අයුරින්ම ඇමරිකාවේ ජාතික කොඩියේ ඇති තරු පණහේ රටාවත්, යුරෝපීය සංගමයේ කොඩියේ ඇති තාරකා දොළොසේ රටාවත්, චීන කොඩියේ තරු පහේ රටාවත් බොහෝ දෙනෙකු හඳුනන නමුත් ඒ තරු රටා අහසේ දැකිය නොහැකිය. ඒ තරු රටා පවතින්නේ මිනිසුන්ගේ සාමූහික විඥානයේය.

එසේනම්, ඕස්ට්‍රේලියානු කොඩියේ ඇති දකුණු කුරුසිය එහිම ඇති පොදු රාජ්‍ය මණ්ඩලීය තරුවෙන් වෙනස් මිනිසුන්ගේ සාමූහික විඥානය තුළ නිර්මාණය වූවක් නොවූ, මිනිසාට පිටින් ඇති යථාර්තයක්ද? මෙය එසේනම් මේ එකම තරු රටාව ඕස්ට්‍රේලියානු, නවසීලන්ත හා පැපුවා නිවුගිනි ජාතික කොඩි වල වෙනස් ලෙස පෙනෙන්නේ ඇයි?

ඔබට කිසිවකු කඩදාසියක් හා පැන්සලක් අතට දී තරුවක් අඳින්නටයැයි කිවුවොත් ඔබ බොහෝ විට අඳිනු ඇත්තේ මුළු පහක් ඇති
ආකාරයේ තරුවකි.  ඕස්ට්‍රේලියානු කොඩියේ එප්සිලෝන් කෘෂියස් මේ ආකාරයේ මුළු පහේ තරුවකි. නවසීලන්ත, ඇමරිකන් හා චීන ආදී ලෝකයේ බොහෝ ජාතික කොඩි වල ඇති තරු මෙවැනි මුළු පහේ ඒවාය. 

මුළු පහේ තරුවක් පැන්සල නොඋස්සා ඇඳිය හැකිය. ඒ සඳහා පුහුණුවක් නැති අය පහසුවට මුළු හයේ තරු අඳිති. සමකෝණී ත්‍රිකෝණ දෙකක් එකිනෙක මත උඩු හා යටිකුරු ලෙස ඇඳීමෙන් 🔯 ආකාරයේ මුළු හයේ තරුවක් ඇඳිය හැකිය. ඊශ්‍රායෙල් ජාතික කොඩියේ තරුව මෙවැන්නකි. ඇතැම් අයෙක් ✴ ආකාරයේ තරුවක් වුවද අඳින්නට බැරිකමක් නැත.

කෙසේවුවද, ඕස්ට්‍රේලියානු කොඩියේ පොදු රාජ්‍ය මණ්ඩලීය තාරකාව හා දකුණු කුරුසියේ ප්‍රධාන තරු වැනි මුළු හතේ තරු හෝ මැලේසියා ජාතික කොඩියේ ඇති ආකාරයේ මුළු දහහතරේ තරු කිසිවකු විසින් අඳින්නට සැලකිය යුතු ඉඩක් නැත. ලෝකයේ රටවල් වලින් තුනෙන් එකක පමණ ජාතික කොඩිවල කිසියම් තරු සලකුණක් ඇතත් ඒවායින් වැඩි ගණනක් මුළු පහේ තරුය. තරුවක් කී විට අප බොහෝ දෙනෙකුට එක් වර සිහියට එන්නේ මේ මුළු පහේ තරුවයි.

එහෙත්, මේ ආකාරයේ මුළු පහේ හෝ මුළු හයේ තරු අහසේ නැත. එවැනි තරු පියවි ඇසින් හෝ දුරේක්ෂයකින් දැකිය නොහැකි අතර, විශේෂ උපක්‍රමයක් යෙදුවොත් මිස ඡායාරූප ගත කිරීමටද නොහැකිය.

අප බොහෝ දෙනෙක් ⭐ආකාරයේ සලකුණක් තරුවක් ලෙස හඳුනාගන්නේ අප කුඩා කාලයේ සිට එසේ සිතන්නට අපට පුහුණු කර ඇති බැවිනි. එවැනි ඉගැන්වීමක් නොලැබූ අයෙකු අහසේ තරුවක් මේ ආකාරයෙන් දකින්නට හෝ අඳින්නට ඇත්තේ ඉතා සීමිත ඉඩකි.

මේ ආකාරයෙන්ම අහසේ තරු රටාවක් වලසෙකු හෝ නඟුලක් ලෙස හෝ කුරුසියක් ලෙස දකින්නට පුහුණු වූ පසු අපට ඒවා එසේ පෙනේ. එළුවෙකු හෝ මාළු දෙන්නෙක් මෙන් දකින්නට පුරුදු වූ විට එසේ පෙනේ. සෘෂි වරුන් හත් දෙනෙකු ලෙස දකින්නට පුරුදු වූ විට එසේ පෙනේ. අප දකින බොහෝ දේවල් අපට එසේ පෙනෙන්නට අපේ ඉන්ද්‍රිය පද්ධතිය මෙන්ම අප ලබා ඇති අධ්‍යාපනයද හේතු වේ.

අපේ ඉන්ද්‍රිය පද්ධතිය හරහා අප දකින ලෝකය හැම විටම සමාන නැත. එය මිනිසුන් ලෙස අපට සාමූහිකව ක්‍රියා කිරීමට බාධාවකි. එහෙත්, අපේ අධ්‍යාපනය නිසා අපට උරුම වන වියුක්ත සංකල්ප සමඟ අපේ ඉන්ද්‍රිය පද්ධතියට ගෝචර වන දේ ගලපා ගැනීමෙන් මිනිසුන් බොහෝ දෙනෙකුට බාහිර ලෝකය එකම අයුරින් දකින්නට පුළුවන්කම ලැබේ. සංස්කෘතිය ගොඩ නැඟෙන්නේ මෙසේ බොහෝ දෙනෙකුට ලෝකය එකම අයුරින් දකින්නට ඇති හැකියාව මතය.

මෙසේ අධ්‍යාපනය හරහා අප දකින ලෝකය හැම විටම අපේ ප්‍රත්‍යක්ෂය සමඟ ගැලපීම අවශ්‍යම කරුණක් නොවේ. ඒ නිසා, ඕස්ට්‍රේලියානු කොඩියේ ඇති මුළු හතේ තරු තුලින් මෙන්ම, නවසීලන්ත කොඩියේ මුළු පහේ තරු තුලින්ද අපට දකුණු කුරුසිය දැකිය හැකිය.


(Image: http://www.fansshare.com/gallery/photos/13813394/buddy-handleson-wendell-and-vinnie-seeing-stars-image/?displaying)

Sunday, April 23, 2017

තාරකා තියෙන්නේ කොහේද?

අද අප බොහෝ දෙනෙක් දන්නා තරමින් අහසේ පෙනෙන තාරකා බොහොමයක් තියෙන්නේ ආලෝක වර්ෂ ගණනක් දුරිනි. ආලෝක වර්ෂයක් යනු ආලෝකය වර්ෂයක් තුළ ගමන් කරන දුරයි. ආලෝකයේ වේගය එය ගමන් කරන මාධ්‍යය අනුව වෙනස් වුවත්, රික්තකයක් තුළදී නියතයක් වන බව සාමාන්‍යයෙන් පිළිගැනේ.

1975දී පැවැත්වුණු කිරුම් මිනුම් පිළිබඳ 15වන මහා සමුළුවේදී ආලෝකයේ වේගය තත්පරයට මීටර 299,792,458 බවට එකඟත්වයකට පැමිණුනත්, මේ එකඟත්වයට හේතුවුණේ ඒ වන විට දැන සිටි දේවල්ය. රික්තකයක් කොයි තරම් හිස්ද, ආලෝකය සෑදී ඇති ෆෝටෝන වලට ස්කන්ධයක් තිබේද, ඕනෑම සමුද්දේශ රාමුවකට සාපේක්ෂව ආලෝකයේ වේගය නියතද වැනි ප්‍රශ්න අපි දැනට පැත්තකින් තියමු. 1983දී පැවැත්වුණු කිරුම් මිනුම් පිළිබඳ 17වන මහා සමුළුවේදී මීටරයක් යනු ආලෝකය රික්තකයක් තුළ තත්පරයෙන් 1/299,792,458ක කාලයක් තුල ගමන් කරන දුර ලෙස අර්ථ දක්වා ඇති නිසා ආලෝකයේ වේගය තත්පරයට මීටර 299,792,458ක් බව රුපියලකට සතසීයක් තිබීම තරම්ම නොවූවත් සෑහෙන දුරට සත්‍යයකි.

වඩා වැදගත් ප්‍රශ්නය ආලෝකය ආලෝක වර්ෂයක දුර ගමන් කිරීමට ගතවන කාලය කුමක්ද යන්නයි. අවුරුද්දක් කීම ප්‍රමාණවත් පිළිතුරක් නොවන්නේ අවුරුදු ඇත්තේ එකක් පමණක් නොවන බැවිනි. ලංකාව පමණක් ගත්තද, සිංහල අවුරුද්ද ගණනය කිරීමේදී හා හින්දු ආගමික උත්සව වල දින තීරණය කිරීමේදී යොදාගන්නා නක්ෂත්‍ර අවුරුද්ද, පෝය ගණනය කිරීමට යොදාගන්නා චන්ද්‍ර-සූර්ය අවුරුද්ද, පාස්කුව ගණනය කිරීමට යොදාගන්නා නිවර්තන අවුරුද්ද, ඉස්ලාම් ආගමිකයින් විසින් උපවාස කාලය තීරණය කිරීමට භාවිතා කරන චන්ද්‍ර මාස දොළහේ අවුරුද්ද හා සිවිල් දින දර්ශනයට පාදක වන ග්‍රෙගෝරියන් අවුරුද්ද එකිනෙකට සමාන නැත. ඒ නිසා ආලෝකයේ වේගය නියතයක් ලෙස සැලකුවත් ආලෝක වර්ෂය නියත වීමටනම් නියත අවුරුද්දක්ද අවශ්‍ය වේ. මේ නියත අවුරුද්ද ඉහත අවුරුදු එකක්වත් නොවන අතර දවස් 365.25ක ජුලියන් අවුරුද්දයි. දවසක කාලය නියතද යන ප්‍රශ්නයත් අපි පැත්තකින් තියමු.

මේ එකක්වත් විශාල ප්‍රශ්න ලෙස සැලකිය යුතු නොවන්නේ නාසා ආයතනයට අනුව අභ්‍යකාශ විද්‍යාවේදී (ඉතා ඈතින් ඇති තාරකා වලට දුර මැනීම වැනි කරුණු වලදී) නියම ගණනට වඩා දහගුණයක් විශාල හෝ දහගුණයකින් අඩු අගයක් හොඳ මිනුමක් ලෙස සලකන බැවිනි. ඒ මිනුම් වරද කෙසේවුවත්, අහසේ අපට පෙනෙන තාරකා බොහොමයක් තිබෙන්නේ ආලෝක වර්ෂ සියගණනක් දුරිනි. ආලෝක වර්ෂයක් යනු කිලෝමීටර 9,460,730,472,580.80 කි. ආලෝක වර්ෂයක් ඈතින් තිබෙන තාරකාවක් අපට පෙනෙන්නේ ජුලියන් වසරකට හෙවත් දින 365.25කට පසුවය. (මේ අයුරින්ම, අපට නැගෙනහිර ක්ෂිතිජයෙන් ඉර පායනු පෙනෙන්නේද ඉර "ඇත්තටම පායා" විනාඩි අටකට පමණ පසුවය.)

ඉරෙන්, හඳෙන් හා බ්‍රහස්පති වැනි ග්‍රහයන්ගෙන් කෙසේ වුවත්, මේ තරම් ඈතින් තිබෙන තාරකා වලින් පෘථිවියට බලපෑමක් තිබෙන්නට ඇති ඉඩකඩ ඉතාම සීමිතය. හොලිවුඩ් චිත්‍රපටයක මෙන්, ඔළුව ලොකු, කන් දිග ඒලියන් කෙනෙක් හෙට උදේ දොරට තට්ටු කර ලංකාවේ කුණු ප්‍රශ්නයට විසඳුමක් කියාදී යන්නට ඇති ඉඩකඩ මුළුමනින්ම බැහැර කළ නොහැකි වුවත්, එසේ වෙන්නට ඇති ඉඩකඩ විය නොහැකි තරමටම ඉතාම සීමිතය. මෙතැනදී "ඉතාම සීමිතය" යන්න මගේ පෞද්ගලික විශ්වාසයක් පමණක් වන අතර වෙනත් අයෙකු එසේ නොසිතන්නට පුළුවන.

ඒ ආකාරයේ බලපෑමක් නැතත් මේ ඈතින් තිබෙන තාරකා පොළොවේ ජනජීවිතයට කොයිතරමට බලපාන්නේද යන්නට ඇති හොඳම සාක්ෂිය ලෝකයේ රටවල් වලින් තුනෙන් එකක පමණ ජාතික කොඩි වල විවිධ තරු සලකුණු තිබීමයි. මේ රටවල් අතර පළමුවෙනි, දෙවෙනි හා තෙවෙනි ලෝක ලෙස කලකට පෙර හැඳින්වූ ධනවාදී, සමාජවාදී හා අඩු ආදායම් රටවල්ද, ක්‍රිස්තියානි, කතෝලික, ඉස්ලාම්, බෞද්ධ, යුදෙවු හා අදේවවාදී රටවල්ද ඉතා හොඳින් නියෝජනය වේ.

පෙර ලිපියෙන් කතාකළ ඕස්ට්‍රේලියානු ජාතික කොඩියේ දක්නට ඇති දකුණු කුරුසිය උදාහරණයකි. රටවල් පහකම ජාතික කොඩිවල මේ දකුණු කුරුසියට තැනක් ලැබී තිබේ.

ඕස්ට්‍රේලියානු කොඩියේ තිබෙන්නේ දකුණු කුරුසියට අයත් තරු පහ පමණක් නොවේ. එහි හයවන තරුවක්ද තිබේ. මුළු හතකින් යුතු මේ තරුව හැඳින්වෙන්නේ පොදු රාජ්‍ය මණ්ඩලීය තාරකාව වශයෙනි. එහි මුළු හයකින්, ඕස්ට්‍රේලියාවේ මුල් ප්‍රාන්ත හයත් හත්වන මුල්ලෙන් පසුව එකතු වූ හෝ එකතු විය හැකි ප්‍රාන්තත් සංකේතවත් කරයි. මේ තාරකාව දකුණු කුරුසියට අයත් ඇල්ෆා කෘෂියස් හා බීටා කෘෂියස් ආදී තාරකා මෙන් අහසේ දැකිය නොහැකි, ඕස්ට්‍රේලියානුවන්ගේ (හා වෙනත් අයගේ) පොදු ජන විඥානයේ ඇති තරුවකි. ඕස්ට්‍රේලියානු කොඩියේ ඇති, අහසේ දැකිය නොහැකි, මේ තරුව ඕස්ට්‍රේලියානුවන් බහුතරයක් පොදු රාජ්‍ය මණ්ඩලීය තරුව ලෙස හඳුනනවා විය යුතුය.

බොහෝ රටවල ජාතික කොඩි හා ප්‍රාදේශීය කොඩි වල තිබෙන තරු ඇත්තටම තිබෙන්නේ ඒ රටවල ජීවත්වන මිනිසුන්ගේ සාමූහික විඥානය තුළ මිස අහසේ නොවේ. ඒ නිසා, තරු වලින් පොළොවට ඇති බලපෑම තීරණය වන්නේ ඒ තරු වලට ඇති ආලෝක වර්ෂ ගණන මතද නොවේ.


(Images: www.ausflag.com.au)

Saturday, April 22, 2017

දකුණු කුරුසිය



ලංකාව වැනි සමකය ආසන්න රටක සිට දැකිය හැකි රෑ අහසේ තරු රටා සියල්ල සමකයෙන් ඈත රටක සිට දැකිය නොහැකිය. උතුරු ඇමරිකාවේදී රාත්‍රී කාලය පුරාවටම අහසේ දැකිය හැකි "බැස නොයන" ධ්‍රැව තාරකාව ඕස්ට්‍රේලියාවේ සිට දැකිය නොහැක. සප්තාර්ශි තාරකා මණ්ඩලයද ඕස්ට්‍රේලියාවේ දකුණු වෙරළේ පිහිටි ප්‍රධාන නගර වලට නොපෙනේ. මේ අයුරින්ම, දක්ෂිණ ධ්‍රැවය ඉහළින් ඇති, ඕස්ට්‍රේලියානු අහසින් බැස නොයන ඇතැම් තාරකා මණ්ඩල ඇමරිකාවේ උතුරු ප්‍රාන්තයක සිට දැකිය නොහැකිය. දකුණු කුරුසිය එවැනි තාරකා මණ්ඩලයකි.

උතුරු අර්ධගෝලයේදී ධ්‍රැව තාරකාව නාවිකයින්ට මඟ පෙන්වා ඇති අයුරින්ම, දකුණු කුරුසිය වසර දහස් ගණනක් පුරා දකුණු අර්ධගෝලයේ යාත්‍රා කළ නාවිකයින්ට මඟ පෙන්වා තිබේ.

දකුණු කුරුසිය කුරුසියක හැඩයට පෙනෙන ප්‍රධාන තාරකා හතරකින්ද, සාපේක්ෂව කුඩා පස්වන තාරකාවකින්ද සමන්විත කුඩා තාරකා මණ්ඩලයකි. ප්‍රධාන තාරකා හතර ඇල්ෆා කෘෂියස්, බීටා කෘෂියස්, ගැමා කෘෂියස් හා ඩෙල්ටා කෘෂියස් ලෙස හඳුන්වන අතර කුඩා තාරකාව එප්සිලෝන් කෘෂියස් ලෙස හැඳින්වේ.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පැපුවා නිවුගිනි, සමෝවා හා බ්‍රසීලය යන ලෝකයේ රටවල් පහක ජාතික කොඩිවල දකුණු කුරුසිය දකින්නට ලැබේ. නවසීලන්ත කොඩියේ දැකිය හැක්කේ ප්‍රධාන තාරකා හතර පමණි. 





 (Image: http://scienceblogs.com/startswithabang/2012/06/15/its-my-______-in-a-box/)

Friday, April 21, 2017

විශ්වාස කළ යුත්තේ කවර අනාවැකිද?

රසික විසින් අවධානයට ලක් කර තිබුණු, මෙල්බර්න් නගරයේ පළවන සිංහල සඟරාවක් වන සිහනද මාසිකයේ පලවූ ස්ටැන්ලි ධර්ම කුමාර නම් වූ ජ්‍යෝතිර්වේදියෙකුගේ ලිපියක් ගැන පසුගිය සටහනෙන් අපි කතා කළෙමු. ලිපිය සමඟ පළකර තිබුණු බිල් ශෝටන්ගේ කේන්ද්‍ර සටහන නිවැරදි නොවන බවත්, එය බිල් ශෝටන් ඉපදෙන්නට වසර 13කට පමණ ලංකාවේ ඉපදුණු අයෙකුගේ කේන්ද්‍ර සටහනක් බවත් අපි පෙන්වා දුන්නෙමු.

ඉකොනොමැට්ටාගේ ලිපිය අවශ්‍යනම් ඕනෑම කෙනෙකුට අදාළ සඟරාවේ සංස්කාරක වෙත යොමු කරන්නට පුළුවන. එමෙන්ම, අදාළ කේන්ද්‍ර සටහන නිවැරදියැයි ලිපියේ මුල් ලේඛකයා හෝ වෙනත් අයෙකු කියනවානම් ඒ බව තහවුරු කරන ලෙස අපි අභියෝග කරමු.

මේ ලේඛකයා විසින් ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල්ගේ නිවැරදි කේන්ද්‍රයත්, බිල් ශෝටන්ගේ ලෙස ඔහු ඉදිරිපත් කර ඇති වැරදි කේන්ද්‍රයත් උපයෝගී කරගනිමින්, මේ දෙදෙනාගේ පසුගිය ජීවිත සිදුවීම් පිළිබඳව රසිකගේ වචන වලින් "සාමාන්‍යයෙන් අන්තර්ජාලයෙන් සොයා ගත හැකි" "අප සැම දන්නා පුද්ගලික විස්තර" පැහැදිලි කරයි. ඉන් අනතුරුව, මේ කේන්ද්‍ර අනුසාරයෙන් ඕස්ට්‍රේලියාවේ අනාගතය ගැන අනාවැකි කියයි.

මෙහිදී මා මුලින්ම කිව යුත්තේ අන්තර්ජාලයන් කවුරුත් දන්නා තොරතුරු හොයාගෙන ඒවා ජ්‍යෝතිෂ සිද්ධාන්ත ඇසුරින් පැහැදිලි කිරීම පිළිබඳව මගේ මූලික විරෝධතා නොමැති බවයි. දැනට සිදුවී ඇති දේවල් අන්තර්ජාලයෙන් සොයා නොගෙන ඒවා කවර හෝ ශාස්ත්‍රයක සිද්ධාන්ත ඇසුරෙන් පුරෝකථනය කරන්නට යාම තේරුමක් නැති දෙයකි.

මේ වන විට සිදු වී ඇති අතීත සිදුවීම් තමන්ගේ වෘත්තීය විෂයයට අදාළ සිද්ධාන්ත මඟින් පැහැදිලි කිරීම සෑම වෘත්තිකයෙකුම වාගේ කරන දෙයකි. එය අමාරු වැඩක් නොවේ. අමාරු කටයුත්ත අනාගතය පුරෝකථනය කිරීමයි. මේ දෙවැනි කටයුත්ත  ආර්ථික විද්‍යාඥයින් ඇතුළු සමාජ විද්‍යාඥයින්, ස්වභාවික විද්‍යාඥයින්, දේශපාලනඥයින්, ව්‍යවසායකයින් ඇතුළු බොහෝ දෙනකු අමාරුවේ දමයි.

පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයට පෙර සංඛ්‍යාන මූලධර්ම මත ඉදිරිපත් කර තිබුණු බොහෝ අනාවැකි නිවැරදි නොවූ අතර, 2008 අවසානයේ ඇරඹුණු ලෝක ආර්ථික අවපාතය නිවැරදිව පුරෝකථනය කිරීමට බොහෝදෙනෙකුට නොහැකි විය. එහෙත්, යමක් සිදුවීමෙන් පසු "පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා" ඉදිරිපත් කරන අයගෙන්නම් අඩුවක් නැත.

හොඳම ආසන්න උදාහරණය මීතොටමුල්ලේ කුණු කන්ද නායයාමයි. අනතුර සිදුවීමෙන් පසුව ඒ ගැන පැහැදිලි කරන්නට ඕනෑ තරම් පිරිස් සිටිති. සෑම වසරකම මහ බැංකු වාර්තාවේ පසුගිය වසරේ සිදුවූ සිදුවීම් ඉතා පැහැදිලිව විවරණය කර තිබෙනු දැකිය හැකි වුවත්, එළඹෙන වසර ගැන පළ කරන අනාවැකි ඒ තරමටම නිවැරදි වන්නේ නැත. වෛද්‍යවරයෙකුට රෝගයක නිධානය පැහැදිලි කළ හැකි වුවත්, ප්‍රතිකාර වල සඵලතාවය ගැන කිවහැක්කේ අනාවැකියක් පමණි. කාල් මාක්ස්ගේ දාස් කැපිටාල් ග්‍රන්ථයේ මිනිස් සමාජයේ පරිණාමය සිත්ගන්නා සුළු ලෙස පැහැදිලි කර තිබුණත්, අනාගතය ගැන එවැනි නිරවද්‍යතාවයකින් අනාවැකි කියැවී නැත.

අතීතයේ සිදුවී ඇති දේ තමතමන් විශ්වාස කරන සිද්ධාන්ත අනුව පැහැදිලි කිරීමට බොහෝ දෙනෙකුට පුළුවන් වුවත්, අනාගතය හරියටම නිවැරදිව පුරෝකථනය කරන්නට කිසිවෙකුට නොහැකිය. බොහෝ ජ්‍යෝතිර්වේදීන් සිය වාසියට හරවාගන්නේ මේ කරුණයි.

කිසිවෙකුට හරියට අනාවැකි කිව නොහැකිනම් අපි අනාවැකි විශ්වාස කළ යුතු නැද්ද?

අනාවැකි ප්‍රයෝජනවත් වීම සඳහා ඒවා සියයට සියයක් නිවැරදි විය යුතු නැත. මා සිටින නගරය ඇතැම් කාල වල (කාලගුණය උණුසුම්ව තිබී සිසිල් වන්නට පටන් ගනිද්දී හා සිසිල්ව තිබී උණුසුම් වෙන්නට පටන් ගනිද්දී) ටෝර්නෙඩෝ අවදානමට මුහුණදෙයි. මෙවැනි තර්ජනයක් ඇති වූ විට අවදානම ඉවත්වන තුරු බිම්මහලකට හෝ එවැනි ආරක්‍ෂිත තැනකට වී සිටිය යුතු බව නිර්දේශයයි. එහෙත්, මෙවැනි අවවාදයක් නිකුත් වුවද, ටොර්නේඩෝවකින් මා අනතුරට ලක්වීමට ඇති ඉඩකඩ ඉතාම අඩුය.

කෙසේ වුවද, මේ අවදානම සියයට එකක් වුවද මා මේ "අනාවැකි" නොසලකා හරින්නේ නැත. ඒ යම් හෙයකින් ටොර්නේඩෝවක් පාත් වුනොත් විය හැකි හානිය, පැයක් හෝ දෙකක් බිම්මහලට වී සිටීමේ අපහසුතාවයට වඩා බොහෝ වැඩි බැවිනි.

මේ අයුරින්ම "අනාවැකි අනුව" ප්‍රතිශක්තිකරණ එන්නත් ගැනීමෙන් මා අතුරු ආබාධයකට ලක්වීමට සුළු ඉඩක් තිබුණත්, වෙනත් අනාවැකි අනුව එයින් වැළැක්වෙන හානිය ඊට වඩා වැඩි නිසා මා බොහෝවිට ඒ සඳහා පැකිලෙන්නේ නැත.

අනෙක් අතට අනාවැකියක් නිවැරදි වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි වීම අනාවැකි කීමට යොදාගත් සිද්ධාන්තයේ නිරවද්‍යතාවය තහවුරු කරන්නේද නැත. තැඹිලි වල්ලක කඹය ගැට ගසා ගැටයට යටින් තැඹිලි වල්ල කැපූ විට එය බිම වැටෙන බව ගුරුත්වාකර්ෂණය ඇසුරින් හරියටම වාගේ නිවැරදිව පැහැදිලි කළ හැකිය. එහෙත්, ගුරුත්වාකර්ෂණය ගැන ජීවිතේට අසා නැති අයෙකුටද තැඹිලි වල්ල බිම වැටෙන බව හරියටම කියන්නට පුළුවන.

එසේනම් වැඩකට නැති හා ප්‍රයෝජනවත් අනාවැකි වෙන්කර ගන්නේ කොහොමද?

අදාළ විෂය ගැන ප්‍රාමාණික දැනුමක් ඇති සරසවි ඇදුරන් මෙන්ම මීතොටමුල්ල අවට ජීවත් වූ ලොකු අධ්‍යාපනයක් ලබා නොතිබුණු සාමාන්‍ය මිනිස්සුද කුණු කන්ද නාය යා හැකි බව කලින්ම කියා තිබුණේය. එසේනම්, අර සරසවි ඇදුරාගේ අනාවැකියේ ඇති වෙනස කුමක්ද?

කිසියම් සිද්ධාන්තයක් යොදාගෙන කියන අනාවැකියක්, එවැනි සිද්ධාන්තයක් යොදා නොගෙනද පළ කළ හැකිනම් ඒ සිද්ධාන්තය නිවැරදි වුවද නොවුවද එහි ප්‍රායෝගික වටිනාකමක් නැත.

ඇතැම් ඖෂධ ලබා ගන්නා රෝගීන්ගෙන් කිසියම් පිරිසක් සුවවන නමුත්, එසේ සුවවීමට හේතුව ඖෂධය බව එමඟින් තහවුරු නොවේ. ඖෂධය නොගත්තද, එම රෝගීන් සුව විය හැකිව තිබුණා විය හැකිය. අළුත් බටහිර ඖෂධ වල සඵලතාවය සොයාගැනීම සඳහා සිදුකරන සසම්භාවී පාලිත පරීක්ෂණ වලදී කරන්නේ මෙසේ රෝගීන්ගෙන් යම් පිරිසක් සුවය ලබන්නේ ඖෂධය නිසාද යන්න සොයා බැලීමයි.

ඉහත කී ආකාරයේ පරීක්ෂණයකදී, රෝගීන් නියැදියක් අහඹු ලෙස කොටස් දෙකකට බෙදා එක්‌ කොටසකට නියම බෙහෙතත් ඉතිරි කොටසට නියම බෙහෙත මෙන්ම පෙනෙන "බොරු බෙහෙතකුත්" (placebo drug) ලබා දේ. බොරු බෙහෙත ගත් අයගේත් රෝග සුවවේනම් ඇත්ත බෙහෙත ගත් අයගේ රෝග සුවවී ඇත්තේද බෙහෙත නිසා නොවන බව නිගමනය කළ හැකිය. මෙය ප්ලසීබු ප්‍රතිඵලයක් (placebo effect) ලෙස හැඳින්වේ.

සිහනද සඟරාවේ පළ වී ඇති බිල් ශෝටන්ගේ ජීවිත තොරතුරු පිළිබඳ ජ්‍යෝතිෂ විවරණයද හොඳ ප්ලසීබු පරීක්ෂණයකි. 1967 වසරේ ඉපදී ඇති බිල් ශෝටන්ගේ ජීවිතයේ සත්‍ය සිදුවීම් සියල්ල අදාළ ලේඛකයා විසින් 1954 වසරේදී උපන් අයෙකුගේ කේන්ද්‍රයක් ඇසුරින් ඉතා හොඳින් විස්තර කර තිබේ.

මේ කේන්ද්‍රය බිල් ශෝටන්ගේ ඇත්ත කේන්ද්‍රය සමඟ කිසිසේත්ම නොගැලපෙන අතර ඇත්ත කේන්ද්‍රයේ ලග්නය, නැකත හෝ මහ දශා ආදිය ගෙවෙන කාල ආදී කිසිවක් ප්ලසීබූ කේන්ද්‍රයේ තොරතුරු සමඟ නොගැලපේ. ඒ අනුව, එම කේන්ද්‍ර සටහන සමඟ ගැලපෙන 1954 ඔක්තෝබර් 7 දිනය අහඹු දිනයක් ලෙස සැලකිය හැකිය. එසේනම්, ඕනෑම අහඹු වෙලාවකට ගැලපෙන කේන්ද්‍ර සටහනක් භාවිතයෙන් බිල් ශෝටන්ගේ ජීවිත විවරණය මේ ආකාරයෙන්ම කිරීමට බැරි විය නොහැකිය.

කෙසේ වුවද, මැල්කම් ටර්න්බුල්ගේ කේන්ද්‍ර සටහන පෙනෙන අයුරින් නිවැරදිය. එහෙත්, අහඹු දිනයක අහඹු වෙලාවකට හැදූ කේන්ද්‍ර සටහනක් යොදාගනිමින් වුවද කිව හැකි දේවල් ඇත්ත කේන්ද්‍ර සටහන යොදාගෙන විවරණය කිරීම තේරුමක් නැති දෙයකි.


(Image: https://dodona777.wordpress.com/2016/03/09/bill-shorten-and-july-2-2016-election/)

Thursday, April 20, 2017

ඕස්ට්‍රේලියාවේ අනාගතය කෙසේද?

පසුගිය සිංහල අවුරුදු දින රසික විසින් "ඕස්ට්‍රේලියාවේ අනාගතය ලංකාවේ ජ්‍යොතිශ්‍යයෙන් කීම හෙවත් විනෝද සමය" නමින් ලිපියක් පළ කර  "ඉකොනොමැට්ටා බ්ලොග්කරු මේ ලිපිය කියවා ප්‍රතිචාරයක් දක්වතැයි" බලාපොරොත්තු වන බව සටහන් කර තිබුණේය.

රසිකගේ විචාරයක්ද සමඟ පළ කර තිබුණු මේ ලිපිය මෙල්බර්න් නගරයේ පළවන සිංහල සඟරාවක් වන සිහනද මාසිකයේ පලවූවක් බව ඔහු සඳහන් කර තිබුණේය. ස්ටැන්ලි ධර්ම කුමාර නම් වූ මේ ලිපියේ රචකයා විසින් ඕස්ට්‍රේලියාවේ වත්මන් අගමැති වන මැල්කම් ටර්න්බුල්ගේත්, විපක්ෂ නායක බිල් ශෝටන්ගේත් උපන්දින, වේලාවන් හා ස්ථාන අනුව කේන්ද්‍ර සටහන් සාදා එම කේන්ද්‍ර සටහන් අනුසාරයෙන් ඔවුන්ගේ ජීවිත වල පසුගිය කාල පරිච්ඡේද වල සිදුවී තිබුණු දේ ජ්‍යෝතිෂ සිද්ධාන්ත අනුව පැහැදිලි කර තිබුණු අතර, එයින් අනතුරුව ඕස්ට්‍රේලියාවේ අනාගතය ගැන අනාවැකිද ගණනාවක්ද ඉදිරිපත් කර තිබුණේය.

මා කලින් පැහැදිලි කර ඇති ආකාරයට කේන්ද්‍ර සටහනක් යනු පොළොවේ කිසියම් තැනක සිට, කිසියම් නිශ්චිත වෙලාවක ඉර, හඳ ඇතුළු ග්‍රහයින් දැකිය හැකි ආකාරයේ සිතියමකි. මේ සිතියම යම් සීමාවන් යටතේ අනන්‍ය සටහනක් නිසා එම සටහන ප්‍රති-ඉංජිනේරුකරණය කර කේන්ද්‍රයට අදාළ උපන් වේලාව හා ස්ථානය (ආසන්නව) සොයාගන්නටද පුළුවන.

මැල්කම් ටර්න්බුල්ගේ කේන්ද්‍ර සටහනේ මුද්‍රණ දෝෂයක් විය හැකි අඩුපාඩුවක් හැර වැරැද්දක් පෙනෙන්නට නොතිබුණත්, බිල් ශෝටන්ගේ කේන්ද්‍ර සටහන ලිපියේ පළකර තිබුණු උපන්දිනය හා වෙලාව සමඟ නොගැලපෙන බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබුණේය. උපන්දිනය වැරදියට මුද්‍රණය වී තිබීමට ඉඩ ඇති නිසා විකිපිඩියාව බැලූ විට පෙනුණේ උපන්දිනය ඇත්තටම වැරදි බවයි. පසුව, තව දුරටත් ඒ ගැන සොයා බලා එහි කමෙන්ටුවක් දැම්මෙමි. කමෙන්ටුවේ අදාළ කොටස (වෙනත් වචන වලින්) මෙසේය.

"බිල් ෂෝටන්ගේ කේන්ද්‍රය තනිකරම වැරදිය. 1967.2.12 දින ග්‍රහ පිහිටීම් මෙසේ විය නොහැක. විකිපීඩියා අනුව ඔහු ඉපදී ඇත්තේ 1967.5.12 දිනය. මේ ග්‍රහ පිහිටීම් එදිනටද වැරදිය."

"බිල් ෂෝටන්ගේ කේන්ද්‍රය ලෙස මෙහි ඉදිරිපත් කර ඇති කේන්ද්‍රය 1954 ඔක්තෝබර් 7 ලංකාවේ වේලාවෙන් පස්වරු 10:45ට (22:45 පැය) ලංකාවේ උපන් කෙනෙකුගේ වීමට ඉතාම ඉහළ සම්භාවිතාවක් තිබේ."

ඉහත ඉහළ සම්භාවිතාව 99% ඉක්මවන බව මට ස්ථිරවම කියන්නට පුළුවන. මා මෙය මේ තරම් ස්ථිරව කියන්නේ සාමාන්‍යයෙන් ජ්‍යෝතිර්වේදීන් අතේ ඇති පොත්පත් හෝ ලිත් ආදී කිසිවක් මා සතුව නොතිබියදීය.

මා මේ නිගමනයට පැමිණි ආකාරය, කේන්ද්‍රය යනු කුමක්දැයි මා විසින් පැහැදිලි කරමින් ලියා ඇති පසුගිය ලිපි කියැවූ අයෙකුට ඉතා පහසුවෙන් තේරුම් කළ හැකිය.

පළ කර ඇති කේන්ද්‍ර සටහන අනුව බිල් ශෝටන්ගේ ලග්නය මිථුන ලග්නයයි. එහි හතරවන කොටුවේ රවි හෙවත් සූර්යයා සිටින බව ලකුණු කර තිබේ. එයින් අදහස් වෙන්නේ ඉර උදාවෙන්නට පොළොව වටයකින් 4/12=1/3ක් හෙවත් තවත් අංශක 120ක් පමණ කැරකෙන්නට තිබෙන බවයි. එසේනම්, උපන් වෙලාව රාත්‍රී 10-12 අතර විය යුතුය.

මිථුන ලග්නයෙන් හතර වන ලග්නය කන්‍යා ලග්නයයි. පොළොව ඉර වටා යන ගමනේදී කන්‍යා ලග්නයට අයත් ප්‍රදේශයේ ඉර පිහිටන්නේ ආසන්න වශයෙන් සැප්තැම්බර් 14- ඔක්තෝබර් 14 අතර කාලයේය.

කේන්ද්‍රය සමඟ පළකර ඇති බිල් ශෝටන්ගේ උපන්දිනය වන පෙබරවාරි 12 හෝ විකිපීඩියා අනුව උපන් දිනය වන මැයි 12 දින ඉර පිහිටන්නේ පිළිවෙලින් මකර හා මේෂ රාශි වලය. එමෙන්ම උදේ 10.45ට උපන් කෙනෙකුගේ කේන්ද්‍රයේ ඉර තිබිය යුත්තේ හතර වන කොටුවට ප්‍රතිවිරුද්ධ දහවන කොටුවේය. ඒ නිසා මේ කේන්ද්‍රය වැරදි බව ඉතා පැහැදිලිය.

උඩින් ඇති මැල්කම් ටර්න්බුල්ගේ කේන්ද්‍රයේ සෙනසුරු හෙවත් ශනි ලකුණු කර ඇත්තේ එහි ලග්නය වන මකර සිට දහවන රාශිය වන තුලා රාශියේය. බිල් ශෝටන්ගේ ලෙස ඉදිරිපත් කර ඇති කේන්ද්‍රයේ ලග්නය වන මිථුන රාශියේ සිට පස්වන රාශියද තුලා රාශියයි. එහි ශනි සිටී. එමෙන්ම කේන්ද්‍ර දෙකේම ශනි සිටින රාශියට කොටු හතරක් පසුපසින් ගුරු හෙවත් බ්‍රහස්පති සිටී. ඉරේ සිට ඈතින්ම පිහිටි බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයන් දෙදෙනා කේන්ද්‍ර දෙකේම ලකුණු කර ඇත්තේ එකම රාශි වලය.

සෙනසුරු ග්‍රහයාට ඉර වටා වටයක් යාමට ආසන්නව වසර 30ක් ගත වේ. බ්‍රහස්පති ග්‍රහයාට ඒ සඳහා වසර 12ක් පමණ ගතවේ. ඒ නිසා මේ ග්‍රහයින් දෙදෙනාට එක් රාශියක් පසු කිරීමට පිළිවෙලින් වසර 2.5ක් හා වසරක් පමණ ගත වේ. ඒ නිසා මේ ග්‍රහයන් දෙදෙනාම එකම රාශියක සිටිය හැක්කේ වසර 60කට වරකි. බිල් ශෝටන්ගේ හා මැල්කම් ටර්න්බුල්ගේ උපන්දින අතර වසර 60ක වෙනසක් තිබිය නොහැකිය. එසේනම්, ඒ මේ කේන්ද්‍ර දෙකේ ග්‍රහ පිහිටීම් එකම වසරක පැවති පිහිටීම් බව සෑහෙන දුරට විශ්වාස කළ හැකිය. ඒ වසර 1954 වසරයි.

ඉරේ පිහිටීම අනුව මේ කාලය 1954 සැප්තැම්බර් 14- ඔක්තෝබර් 14 බව තීරණය කළ හැකිය. ආසන්න වශයෙන් මාසයක් තුළ හඳ පොළොව වටා වටයක් යන නිසා හඳේ පිහිටීම (උපන් නැකත හා මහා දශා ශේෂය) අනුව දිනය හා වෙලාව හරියටම හොයාගන්නට පුළුවන. ඒ අතරම උපන් ලග්නය අනුව, උපන් වෙලාව රාත්‍රී 10-12 අතරද විය යුතුය.

පෙර ලිපි වලින් විස්තර කර ඇති පරිදි, කේන්ද්‍රයක ලග්නය තීරණය වන්නේ ඉර උදාවේ සිට ගත වුනු පැය ගණන අනුවය. මේ කේන්ද්‍රයේ ලග්නයට අදාළ වෙලාව ඉර උදාවේ සිට පැය 22-24 පමණ ගතවූ පසු කාලයකි. කෙසේවුවද, ලෝකයේ විවිධ තැන් වලට ඉර පායන්නේ එකම වෙලාවක නොවන නිසා එකම අවස්ථාවේ ලෝකයේ විවිධ තැන්වලට අදාල ලග්න සමාන නැත. 

මෙල්බර්න් වලට ඉර පායන්නේ ලංකාවට ඉර පායන්නට පැය හයකට කිට්ටු කාලයක් කලින්ය. ඒ අනුව ලංකාවට උදාවන ලග්නයක් පැය හයකට පමණ පෙර මෙල්බර්න් නගරයට උදාවේ. පැය හතරක් තුළ හඳේ පිහිටීම සැලකිය යුතු තරමින් වෙනස් වේ.

ඒ නිසා ඉහත මාසය තුළ ඉරේ හා හඳේ පිහිටීම් කේන්ද්‍රයේ දක්වා ඇති පරිදි වන අවස්ථාවක් මෙල්බර්න් නගරයට අදාළව සිදු නොවේ. එහෙත්, ලංකාවට අදාළව සිදුවේ.

ඒ නිසා මේ කේන්ද්‍රය නිවැරදිව හදා ඇති එකක්නම් 1954 ඔක්තෝබර් 7 ලංකාවේ වේලාවෙන් පස්වරු 10:45ට (22:45 පැය) ලංකාවේ උපන් කෙනෙකුගේ එකකි.

මෙහිදී උපයෝගී කරගත් මූලධර්මය GPS වලදී යොදාගන්නා මූලධර්මයමය. භූ-ස්ථායී නොවූවත් ග්‍රහයින් පොළොව වටා නිශ්චිත පථයක යන චන්ද්‍රිකා සේ සැලකිය හැකිය. මේ ග්‍රහයින්ගේ පිහිටීම් නිවැරදිව දන්නා නිසාත්, ඒවා චලනය වන්නේ එකම වේගයකින් නොවන නිසාත් හරියට හැදූ කේන්ද්‍රයක් යනු ඉතාම නිවැරදි GPS එකකි.



(අනාවැකි කොටස ගැන වෙනම කතා කරමු.)

Wednesday, April 19, 2017

පාර කියන තාරකා...

හඳේ මූණ එතරම් පිරී නැති රැයක අහස බලන අයෙකුට සමන් පිච්ච මල් ඉහිරුණු නිල් තණකොළ පිට්ටනියක් ලෙස හෝ වෙනත් අයුරකින් දිස්වන තරු පිරි අහස එක වරම පෙනෙන්නේ අපිළිවෙලකට ඇඳි සිතුවමක් ලෙසිනි. අහසේ ඇති තාරකා අතර රටාවක් හෝ පිළිවෙලක් ආධුනික තාරකා නිරීක්ෂකයෙකුට එක් වර නොපෙනේ. එහෙත්, දිගින් දිගටම මේ කටයුත්ත කරන්නේනම් අහසේ ඇති තරු රටා මෙන්ම ඒ තරු චලනය වන රිද්මයන්ද හඳුනා ගත හැකිය.

තරමක පුහුණුවක් ලැබූ පසු පහත පළමු රූප සටහනේ ඇති තරු සිතියම වැන්නක් බලා දෙවන රූප සටහනේ ඇති සප්තාර්ශි තාරකා මණ්ඩලය වැනි තාරකා මණ්ඩල හඳුනාගන්නට පුළුවන. 



රාශි චක්‍රය ලෙස හඳුනාගන්නේ ඉහත සිතියමේ කහ පැහැයෙන් ලකුණු කර ඇති තාරකා මණ්ඩල දොළොසයි. මේ තාරකා මණ්ඩල වල සිංහල හා බටහිර නම් හා සංකේත පහත පරිදිය. සිංහල නම් හැදෙන්නේ සංස්කෘත නම් වලින් වන අතර සංස්කෘත නම් (කර්කටක යන්න කටක වීම හැර) බොහෝ දුරට සිංහල නම් වලට සමානය.

1. මේෂ  (Aries) එළුවා
2. වෘෂභ (Taurus) ගවයා
3. මිථුන (Gemini) යුවලක්
4. කටක (Cancer) කක්කුට්ටා
5. සිංහ (Leo) සිංහයා
6. කන්‍යා (Virgo) කන්‍යාව
7. තුලා (Libra) තරාදිය
8. වෘශ්චික (Scorpio) ගෝනුස්සා
9. ධනු (Sagittarius) දුනුවායා
10. මකර (Capricorn) මකරා
11. කුම්භ (Aquarius) කලය
12. මීන (Pisces) මාළු දෙන්නා


මේ රාශි තාරකා මණ්ඩල වල ඇති විශේෂත්වය වන්නේ පොළොව සිය අක්ෂය වටා කැරකෙන හා ඉර වටා භ්‍රමණය වන තලයට ආසන්නව මේ තාරකා මණ්ඩල පිහිටා තිබීමයි. රාශි තාරකා මණ්ඩල වලට සාපේක්ෂව සප්තාර්ශි තාරකා මණ්ඩලය වැනි තාරකා මණ්ඩල පිහිටා ඇත්තේ උතුරිනි.

මේ සුවිශේෂී පිහිටීම නිසා පොළොව සිය අක්ෂය වටා භ්‍රමණය වන විට මේ තාරකා නැඟෙනහිරින් උදාවී, අහසේ මුදුන් වී, බටහිරින් බැස යන සේ පෙනේ. මෙය සෑම තාරකා මණ්ඩලයකටම පොදු දෙයක් නොවේ. පහත රූප සටහනේ, වැඩි දෙනෙකු ඉගෙන ගෙන ඇති සූර්ය කේන්ද්‍රීය ආකෘතිය යොදාගනිමින් මේ රාශි තාරකා මණ්ඩල වල පිහිටීම පෙන්වා තිබේ.




මෙහිදී විශේෂයෙන් මතක තබාගත යුතු කරුණක් වන්නේ ආලෝක වර්ෂ ගණනාවක් ඈතින් පිහිටි මේ තාරකා වලට සාපේක්ෂව ඉර හා පොළොව අතර ඇත්තේ නොසලකා හැරිය හැකි තරම් ආසන්න දුරක් බවයි. ඒ නිසා, ඉර වටා පොළොව කැරකෙන තලයේ සිටින්නේනම් ඉරේ සිට බැලුවද, පොළොවේ සිට බැලුවද මේ තාරකා රටා වෙනස්ව පෙනෙන්නේ නැත.

මේ රූප සටහනෙන් පැහැදිලි වන පරිදි, වසරේ කිසියම් දිනක උදේ ඉර පායන්නට ආසන්න වන විට ඉර කෙළින් පෙනෙන්නට තිබෙන්නේ ඉරෙන් පොළොවට ප්‍රතිවිරුද්ධ පැත්තේ ඇති තාරකා රටාවයි. මේ අනුව, මාර්තු 14- අප්‍රේල් 14 අතර දිනක ඉර උදාවන විට ඔබට නැගෙනහිර ක්ෂිතිජයේ දකින්නට ලැබෙන්නේ මීන රාශි තාරකා මණ්ඩලයයි. අප්‍රේල් 14- මැයි 14 අතර ඉර උදාවන විට එහි ඇත්තේ මේෂ රාශි තාරකා මණ්ඩලයයි. මෙය ආසන්න වශයෙන් දින 30.5කට පමණ වරක් වෙනස් වන අතර වසරක කාලයක් තුළ චක්‍රීය ලෙස සිදුවේ.

බටහිර ජ්‍යෝතිෂයේදී ලග්නය ලෙස හඳුනාගන්නේ මෙසේ පොළොව ඉර වටා භ්‍රමණය වීමේදී පොළොවට විරුද්ධ දිශාවේ ඇති රාශි තාරකා මණ්ඩලයයි. ඒ ක්‍රමයට, කිසියම් මාසයක් තුළ උපදින අයට හිමි වන්නේ එකම ලග්නයයි. ඒ, පොළොවේ සිට ඉර පිහිටි දිශාවේ ඇති තාරකා රාශියයි.

කෙසේ වුවද, පෙරදිග ක්‍රමයට ලග්නය තීරණය කිරීමේදී පොළොව ඉර වටා ගමන් කිරීම මෙන්ම පොළොව සිය අක්ෂය වටා භ්‍රමණය වීම ගැනද සලකයි. මේ රූප සටහනෙන් පෙනෙන පරිදි, පොළොව සිය අක්ෂය වටා කැරකෙන නිසා පොළොව මත කිසියම් තැනක සිටින කෙනෙකුට දවසක් තුළ රාශි තාරකා දොළහම අහසේ නිශ්චිත තැනක දකින්නට හෝ පවතින බව නිගමනය කරන්නට පුළුවන.

පෙරදිග ක්‍රමයට, ලග්නය යනු පොළොවේ සිටින නිරීක්ෂකයෙකුට තමන් සම්මුඛව නැගෙනහිර ක්ෂිතිජයෙහි දැකිය හැකි තාරකා රාශියයි. ඉර උදාවන වෙලාවේ මෙය පොළොවේ සිට බලන විට ඉර පිහිටි දිශාවේ ඇති රාශියයි. ඉර බසින විට මෙය පොළොවේ සිට බලන විට ඉරට විරුද්ධ දිශාවේ ඇති රාශියයි. 


මේ විස්තරය ඉදිරිපත් කිරීමෙන් පසු කිව යුතු වැදගත්ම දෙය, පැහැදිලි කිරීමේ පහසුවට, අරුන්දතී තාරකාව පෙන්වන ක්‍රමයට විස්තර කළත්, ලග්නයක් හෝ රාශියක් යනු මේ වන විට ලිපි කිහිපයකින්ම විස්තර කරමින් පැවසූ පරිදි අහසේ පෙනෙන්නට තිබෙන මේ තාරකා රාශි මණ්ඩල නොවේ.

ලග්න හෝ රාශි යනු ප්‍රත්‍යක්ෂ කළ නොහැකි, සෘජුව නිරීක්ෂණය කළ නොහැකි, සංකල්ප ඇසුරින් ගොඩ නඟා ඇති වියුක්ත ප්‍රවාදයකි. ඇඟිල්ල දිගු කර පෙන්විය හැකි අහසේ ඇති රාශි තාරකා මණ්ඩල යනු මේ වියුක්ත සංකල්පය තේරුම් ගැනීම පහසු කිරීමට යොදාගෙන ඇති සංකේත හෙවත් හැඟවුම්කාරක පමණි.


වසර දහස් ගණනකට පෙර නිරීක්ෂණ ඇසුරින් මේ වියුක්ත ප්‍රවාද ගොඩනඟා ඇත්තේ අද බටහිර විද්‍යාවේ ප්‍රවාද ගොඩනඟන ආකාරයටමය. රාශියක් යනු ඇත්තටම අපට පෙනෙන අහස මනඃකල්පිත ලෙස කොටස් දොළහකට බෙදූ විට ලැබෙන එක් කොටසකි. ඒ අනුව, අහසේ මීන රාශියට හා මේෂ රාශියට අයත් කොටස් වෙන් කරන මනඃකල්පිත බෙදුම් ඉරක් තිබේ. ඉර වටා යන පොළොව සිංහල අවුරුදු දා මේ මනඃකල්පිත බෙදුම් ඉර පසු කරයි. වසරක් තුළ එවැනි බෙදුම් ඉරි දොළහක් පහු කරයි.

තාරකා අවශ්‍ය වන්නේ මේ එක් කොටසක් හඳුනා ගැනීම සඳහාය. එක් එක් කොටසක් හඳුනාගැනීම සඳහා ඒ කොටස නියෝජනය කරන කිසියම් තාරකා මණ්ඩලයක් යොදාගෙන තිබේ. තාරකා මණ්ඩල යනු ප්‍රවාදයේ කොටසක් නොවන නිසා ප්‍රවාදය තේරුම් ගත් පසු තාරකා අවශ්‍ය වන්නේද නැත. ඒ නිසා, මේ රාශියක් තුළ අදාළ තාරකා මණ්ඩලය ඇත්තටම තිබෙනවාද යන්නද එතරම්ම  වැදගත් කරුණක් නොවේ.

Tuesday, April 18, 2017

වික්ටර්ගේ අරුන්දතී හා ජෝතිපාලගේ අරුන්දතීලා

ජාන වලින් එන බලපෑමක් නිසා හෝ පුරුද්ද නිසා හෝ වෙනත් කවර හෝ හේතුවක් නිසා සමහර අයට බොහෝ වෙලාවටත්, බොහෝ අයට සමහර වෙලාවටත් රාත්‍රීය උදාවී බොහෝ වෙලාවක් අවදිව සිටින්නට සිදුවේ. රෑ බෝ වී ඇතත් නිදිමත අහලකවත් නැත්නම් මොකද කරන්නේ?

මේ වගේ වෙලාවට පොඩ්ඩක් මිදුලට බැස අහස නිරීක්ෂණය කරන එක එතරම් නරක පුරුද්දක් නොවේ.

"නින්ද නේන රාත්‍රියේ
මේ පාළු කාන්සියේ
පායා අරුන්දතී තරුවෙන්
එන්න කාන්තියේ..."

එච් ආර් ජෝතිපාල ගයන මේ ගීතයේ මුල් හින්දි තනුවට ගී පද ලියා ඇත්තේ අජන්තා රණසිංහයන් විසිනි. ගීතය ලියැවුණු පසුබිම මෙහි තිබේ.  



මුල් හින්දි ගීතය ඇරඹෙන්නේ මෙසේය. 

"චෞද්හවිං කා චාන්ද් හෝ
යා ආෆ්තාබ් හෝ
ජෝ භී හෝ තුම්, ඛුදා කී කසම්, ලාජ්වාබ් හෝ...

चौदहवीं का चाँद हो, या आफ़ताब हो
जो भी हो तुम खुदा कि क़सम, लाजवाब हो...

ඔබ පසළොස්වක සඳද?
නැත්නම් ඉරද?
ඔබ කවුරු වුවත්, දෙයියම්පල්ලා, ඔබට සමාන කළ හැකි කිසිවෙක් නෑ..."

සිංහල ගීතයේ මෙන්ම හින්දි ගීතයේද පදවැල් මිහිරිය. එහෙත්, අරුත් සමාන නැත. හින්දි ගීතයේ පසළොස්වක සඳ හා ඉර වෙනුවට, අජන්තා රණසිංහ විසින් අරුන්දතී තාරකාව ගීතයට එකතු කර තිබේ.



නින්ද නේන රාත්‍රියේ අහසේ සිටි අරුන්දතිය ගැන කතා කළ එච් ආර් ජෝතිපාලයන් විසින්, වෙසක් මහේ දොසක් නොමැති නැකතක් බලා ගෙට කැන්දාගෙන එන්නට බලාපොරොත්තුවෙන් සිටි පොළොවේ සිටි අරුන්දතියක්ද විය.

"දොළොස්මහේ පහණ වාගේ පැලට එළිය දුන්න
මවයි පියයි සනස්සමින් සන්තෝසෙන් ඉන්න
අරුන්දතී මල්ලි මොටද ගමන් බිමන් යන්න
අදින් පස්සේ මේ පාරෙන් ඔබ තනියම යන්න..."


මේ අරුන්දතී තාරකාව ගැන අමරදේවයෝද ගැයූහ.

"තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා.."

මේ මියුරු ගීයේ පදමාලාවද අජන්තා රණසිංහයන්ගේය. 



අරුන්දතී තාරකාව ගැන ගී ලියා ඇත්තේ අජන්තා රණසිංහ පමණක් නොවේ. වික්ටර් රත්නායක ගයන අරුන්දතී තාරකාව සේ ගීතය සුනිල් ආරියරත්නයන්ගේ වියමනකි.

"අරුන්දතී..තාරකාව සේ දිලී දිලී
නුවන් පෙතී..විදා බලා නොව මැලී මැලී
බ්‍රහස්පතී.. නැණින් යොවුන් සිත් බැඳී බැඳී
දවස්පතී..රුවින් සිනාසෙයි නැගී නැගී..."

මේ ගීතයේ අරුන්දතී තාරකාව සමඟ පැත්තකින් බ්‍රහස්පති ග්‍රහයා හා දවස්පති හෙවත් සූර්යයාද පෙනෙන්නට සිටී.


ඉර, හඳ, බ්‍රහස්පති ඇතුළු ග්‍රහයන්, දොළොස්මහ හා වෙසක් මහ මෙන්ම නැකැත් ගැනත් අපි බොහෝ දෙනෙකු දනිතත් අහසේ තාරකා අතර දිදුලන අරුන්දතී තාරකාව ගැන වැඩි දෙනෙක් නොදන්නවා විය හැකිය.

අරුන්දතී තාරකාව රෑ අහසේ පෙනෙන සිය දහස් ගණනක් තාරකා අතරින් තවත් එක් තාරකාවකි. වැඩි දීප්තියක් නැති, කුඩා තාරකාවක් වන අරුන්දතී තාරකාව තනිව ගත් කළ එහි විශේෂත්වයක් නැත. එහෙත්, ඒ සමීපයේම ඇති වඩා දීප්තිමත් වශිෂ්ඨ තාරකාව හේතුවෙන් මේ කුඩා තාරකාවට වසර දස දහස් ගණනක් තිස්සේ ලෝකයේ සෑම ප්‍රධාන ශිෂ්ඨාචාරයකම වාගේ වැදගත් තැනක් ලැබී තිබේ. වශිෂ්ඨ තාරකාව සප්තාර්ශී තාරකා මණ්ඩලයට අයත් තාරකා හතෙන් එකකි. ඉතිරි තාරකා මරිචි, පුලස්ති, පුලහ, අංගීරස, අත්‍රි හා ක්‍රතු ලෙස හැඳින්වේ.



ඇත්තටම ආලෝක වර්ෂ 0.5-1.5 පමණ ඈතින් පිහිටියත්, පොළොවට පෙනෙන පරිදි, වසර දහස් ගණනක් තිස්සේ ඈත් නොවී එක ලඟින්ම හිඳින වශිෂ්ඨ තාරකාව හා අරුන්දතී තාරකාව සදා වෙන් නොවී පෙමින් බැඳී සිටින ආදරබර යුවලක් ලෙසත්, සාර්ථක විවාහයක සංකේතයක් ලෙසත් ලොව පුරා විවිධ සංස්කෘතීන්හි හඳුනා ගෙන තිබේ. ලොකු විශේෂත්වයක් නැති බිරිඳකට බලවත් සැමියෙකු නිසා ලැබෙන ආකර්ෂණය වැනි ආකර්ෂණයක් වශිෂ්ඨ තාරකාව නිසා අරුන්දතී තාරකාවට ලැබී තිබේ. අනෙක් අතට, එක සේ දීප්තිමත් සප්තාර්ශි තරු අතරින් සමීප සහකාරියක් සිටින එකම තරුව වන වශිෂ්ඨ තාරකාවටද අරුන්දතී තාරකාව නිසා විශේෂ අවධානයක් ලැබී තිබේ.

සප්තාර්ශී තාරකා අතරින් පුලහ හා ක්‍රතු තාරකා දෙස බලා ඒ එල්ලේම ඉහළට ඇස ගෙන ගිය විට ධ්‍රැව තාරකාව හමුවේ. ආසන්න ලෙස පොළොවේ උත්තර ධ්‍රැවය කෙළින් පිහිටි ධ්‍රැව තාරකාව වසර දස දහස් ගණනක් තිස්සේ නාවිකයින්ට හා කාන්තාර වල සංචාරය කරන්නට මඟ පෙන්වා ඇත. එහි පිහිටීම හේතුවෙන් පොළොව භ්‍රමණය වෙද්දී මේ තාරකාව ස්ථිර තැනක පවතින සේ පෙනේ. ලෝකයේ විවිධ සංස්කෘතීන්හි සප්තාර්ශී තාරකා මණ්ඩලය ගැන ඇති ජනශ්‍රැති පිළිබඳව සිදු කර ඇති අධ්‍යයනයකට අනුව මේ සියළු ජනශ්‍රැති වසර 13,000කට පමණ පෙර එකම මූලයකින් ඇරැඹී තිබේ.




ඇමරිකාවේ හතළිස් නවවන ප්‍රාන්තය වන ඇලස්කාවේ කොඩියේ තිබෙන්නේ මේ සප්තාර්ශී තාරකා මණ්ඩය හා ධ්‍රැව තාරකාව අහසේ දිදුලන ආකාරයයි. එහෙත්, එහි අරුන්දතී තාරකාව දැකිය නොහැක. 


සප්තාර්ශී තාරකා මණ්ඩලය බටහිර රටවල මහ වලහා ලෙසත්, බිග් ඩිපර් ලෙසත්, අර්සා මේජර්  (Ursa Major) ලෙසත් හැඳින්වේ. වශිෂ්ඨ තාරකාව බටහිරදී මිසාර් ලෙසත් අරුන්දතී තාරකාව ඇල්කෝර් (Mizar and Alcor) ලෙසත් ඒවායේ අරාබි නම් අනුව හැඳින්වේ. මේ තාරකා මණ්ඩලය ආධුනික තාරකා නිරීක්ෂකයින් අහස අධ්‍යනය කිරීම අරඹන විට මුලින්ම වාගේ හඳුනා ගන්නා තාරකා මණ්ඩලයකි.

සමකය කෙළින් නොව වඩා උතුරෙන් පිහිටි අරුන්දතී තාරකාව රාශි චක්‍රයේ හෝ නැකැත් චක්‍රයේ කොටසක් නොවේ.

සමහර බරපතල දේවල් වෙනත් අයෙකුට එකවර කී විට නොතේරේ. එවිට හොඳ ගුරුවරයෙකු කරන්නේ මුලින්ම තේරුම් ගැනීම අපහසු නැති සරල දෙයක් කියා දීමයි. එය ධාරණය කරගත් පසු තරමක් ගැඹුරු දෙයක්ද, එයත් ධාරණය කරගත් පසු වඩාත් ගැඹුරු දෙයක්ද කියා දෙන්නට පහසුය. මේ ප්‍රවේශය සංස්කෘත බසින් හඳුන්වන්නේ අරුන්දතී තාරකාව පෙන්නන්නාක් මෙන් (අරුන්ධතී දර්ශන්‍යායඃ) යනුවෙනි. ලොකු දීප්තියක් නැති අරුන්දතී තාරකාව යමෙකුට පෙන්වීමටනම් පළමුව සප්තාර්ශි
තාරකා මණ්ඩලය (Ursa Major constellation) පෙන්විය යුතුය. ඉන්පසුව, වශිෂ්ඨ තාරකාවද, එයට ඇස හුරුවූ පසු ඒ ලඟින්ම ඇති දීප්තියෙන් අඩු අරුන්දතී තාරකාවද දැකිය හැකිය.

යමෙක් මිය යන්නට ආසන්න වන විට අරුන්දතී තාරකාව නොපෙනී යන බව බොහෝ ආසියාතික රටවල ඇති විශ්වාසයකි. මේ කතාවේ ඇත්තක් තිබේ. එතරම් දීප්තිමත් නැති අරුන්දතී තාරකාව නොපෙනේනම් හෝ එය වශිෂ්ඨ තාරකාවෙන් වෙන් කර හඳුනාගත නොහැකි තරමට බොඳ වී පෙනේනම් එයින් පෙනෙන්නේ පිනක් දහමක් කරගන්නට කාලය හරි බවයි. මේ පිනක් දහමක් කතාව එක් එක් අය තේරුම් ගන්නේ වෙනස් ආකාරයෙන් නිසා, තමන්ගේ මරණයෙන් පසුව ඉතිරි වන ලෝකය වෙනුවෙන් යමක් කිරීම ලෙස එය පුළුල් ලෙස අර්ථ දක්වන්නට මා වඩා කැමතිය. කෙසේ වුවත්, දැන් ලේසර් ප්‍රතිකර්ම ආදියෙන් ඇස් පෙනීම දියුණු කරගෙන වැඩි කලක් අරුන්දතී තාරකා දකින්නට බොහෝ දෙනෙකුට ඉඩ සැලසී තිබේ.



(Image: https://soundcloud.com/vimasuma-com/victor-rathnayaka-to-release-a-cd-with-hindi-songs-vimasumacom)

Monday, April 17, 2017

පුංචි බණ්ඩෝ පුංචි බණ්ඩෝ නිදිමතදෝ...

මගේ පෙර ලිපියකින් විස්තර කළ පරිදි ඇමරිකාවේ මා ජීවත් වන ප්‍රදේශයේ පොදු පාසැල් වර්ග හතරක් තිබේ. මේ වර්ග කිරීම කර ඇත්තේ ශ්‍රේණි අනුවය. ඒ නිසා, මගේ දරුවෝ පාසැල් දෙකක උගනිති.

මේ පාසැල් දෙකම පැවැත්වෙන්නේ දවසකට එකම පැය ගණනක් වුවත් පාසැල් ආරම්භ හා අවසන් වෙන්නේ එකම වෙලාවට නොවේ. එයට හේතුව මෙසේ පාසැල් වේලාවන් වෙනස් කිරීමෙන් එකම පාසැල් බස් රථ කට්ටලය දෙවරක් සිසුන් ප්‍රවාහනය සඳහා යොදා ගත හැකිවීමයි. මේ සැලසුම අනුව, මගේ එක් දරුවෙකුගේ පාසැල් බසය උදේ 6:44ටත්, අනෙක් දරුවාගේ පාසැල් බසය 8:31ටත් පැමිණේ. මේ බස් රථ නැවතුම තිබෙන්නේ අපේ නිවසේ සිට මීටර සියයක පමණ දුරිනි.

උදේ 8:31 වන විට සාමාන්‍යයෙන් ඉර පායා, කාලගුණය තරමක් උණුසුම් වී ඇතත් පාසැල් පැවැත්වෙන වාර දෙකේ වැඩි කාලයක් තුළ 6:44 යනු කළුවර හා ශීතල වේලාවකි. දැන් සති දෙකක පමණ සිට කාලගුණය උණුසුම් වී ඇතත්, පෙර සති වල මේ වෙලාවේ වැඩි වෙලාවක් එළිමහනේ සිටීම කළ හැකි දෙයක් නොවීය. ඒ නිසා, මාද ඇතුළු අපේ අසල්වැසියන් කරන්නේ බස් රථය පැමිණෙන මොහොත වන තුරු දරුවන් වාහනයේ තබාගෙන සිටීමයි. මේ සඳහා දරුවා මෙන්ම මාද අඩු වශයෙන් උදේ හයටවත් අවදි විය යුතුය.

උදේ හය කියන්නේ සාමාන්‍යයෙන් අවදි වන්නට අමාරු වෙලාවක් නොවේ. එහෙත්, ප්‍රශ්නය තියෙන්නේ රෑ මැදියමද පසුවී පැය කිහිපයක් යන තුරු අවදි වී සිටීමට මා දිගු කලක සිට පුරුදු වී සිටීමයි. මේ පුරුද්ද මගේ දරුවන්ටද තිබේ. උදේට අයිපෑඩයේ එලාම් ඔරලෝසුව කණ ළඟින් කෑගසද්දීත් පොරෝණයට ගුලිවී සිටින්නට කැමති දරුවා අප ඉඩදෙනවානම් රෑ දෙක තුන වන තුරු වුවද කිසි අපහසුවක් නැතිව අවදිව සිටී. පාසැල් පැවැත්වෙන දවස් වලට පෙර ඔවුන් කලින් නිදාගන්නට යන්නේ ඉතාම අකැමැත්තෙනි.

සාමාන්‍ය සමාජ සම්මතය වන්නේ රාත්‍රී කාලයේ හොඳින් නිදාගෙන, දවල් කාලයේ නිද්‍රාශීලී නොවී සිටිය යුතු බවයි. පරාභව සූත්‍රය හරහා පෙන්වන නින්ද පිළිබඳ බෞද්ධ අදහසද මෙයට කිට්ටුය. "ඉක්මගිය යෞවන වයසේ ඉන්නා පුරුෂයෙක් තිඹිරි ගෙඩි වැනි පියොවුරු ඇති තරුණ දැරියක් ආවාහ කොට ගෙන ඇය පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් නො නිදා ගත කරයි ද එය පිරිහීමට කාරණයක් වේ" යැයි කියන අතරම "යම් මිනිසෙක් නිද්‍රාශීලී වේද, සභාශීලී වේද, උත්ථානවීර්‍ය්‍ය නැත්තේද, උපතින් අලස වේද, ක්‍රෝධය ලක්ෂණ කොට ඇති වේද,  එය පිරිහීමට දොරක් වේ" යැයි කියන්නේ එබැවිනි.

රාත්‍රියේ වැඩි වෙලාවක් අවදිව සිටීමින්, දවල් වන තුරු නිදාගන්නා නිශාචර ජීවිතය ඇතැම් අයගේ පුරුද්දකි. එහෙත් කලින් නින්දට ගොස් පාන්දරින් අවදි වී දවස අරඹන්නට පුරුදු වී සිටින්නෝද සිටිති. වඩා හොඳ පුරුද්ද ලෙස, අඩු වශයෙන් ලංකාවේ, සැලකෙන්නේ දෙවැන්නයි.

පොළොව සිය අක්ෂය වටා කැරකෙන වේගය අනුව අපේ සමාජ ජීවිතය හා ඔරලෝසු සැලසුම් වී ඇතත්, අපේ අභ්‍යන්තර යාන්ත්‍රණය පරිණාමිකව සැලසුම් වී ඇත්තේ හරියටම මේ ඔරලෝසුවට ගැලපෙන පරිදි නොවේ. මුල් කාලයේදී කල පර්යේෂණයක ප්‍රතිඵල අනුව, අපේ අභ්‍යන්තර ජීව විද්‍යාත්මක ඔරලෝසුවට අනුව දවසක් පැය විසිපහක් පමණ වන බව සිතා සිටියත්, හාර්වඩ් පර්යේෂකයින් පිරිසක් විසින් පසුව මේ කාලය වඩා නිවැරදිව මනිමින් පැය 24 කුත් මිනිත්තු 11ක් ලෙස හඳුනා ගත්තේය. සාමාන්‍ය අගය මෙසේ වෙද්දී, විවිධ පුද්ගලයින්ගේ ජීව විද්‍යාත්මක දවස විනාඩි 16කින් පමණ අඩු වැඩි වන බව ඔවුන්ගේ පර්යේෂණ ප්‍රතිඵල අනුව පෙනී ගියේය. ඒ අනුව, වැඩි දෙනෙකුගේ ජීව විද්‍යාත්මක දවස පැය 24කට වඩා දිගය.

නිවුයෝර්ක්හි රොකර්ෆෙලර් සරසවියේ පර්යේෂකයින් පිරිසක් විසින් සතියකට පමණ පෙර පළ කළ පර්යේෂණයකට අනුව, ඇතැම් අයගේ ජීව විද්‍යාත්මක දවස වඩා දිගු වීමට එක්තරා ජානයක් හේතුවේ. උපතින් මේ ජානය උරුම වී ඇති අයට වේලාසන අවදිවීම අනෙක් අයට වඩා අපහසුය. කෙසේවුවද, මේ ජානය තිබුණේ ඔවුන්ගේ පර්යේෂණ නියැදියෙන් 0.6%කට පමණි.

මත්පැන් ඇබ්බැහිය, තරබාරුකම, ලිංගික රුචිකත්වයන් වැනි සමාජ සම්මත අනුව වැරදි පුරුදු වල ප්‍රතිඵල ලෙස හඳුනාගන්නා වෙනත් බොහෝ දේ වලට මෙන්ම දවල් වන තුරු නිදාගැනීමට ඇති කැමැත්තටද ජීව විද්‍යාත්මක පදනමක් තිබේ. ටික කලකට පෙර සිතා සිටියාට වඩා බොහෝ දේවල් අප ඉපදෙන විටම අපේ ජාන වල ලියැවී තිබේ.

කෙසේ වුවද, මෙයින් අදහස් වන්නේ අපට අපේ ජාන වලින් ගැලවීමක් නැති බව නොවේ. පුහුණුව තුලින් අපේ ජාන තෙරපුම පාලනය කර ගැනීමට අපට පුළුවන.

අපේ ජාන යනු අපේ පූර්වජයින්ගේ ජීවන විලාසිතා වල ප්‍රතිඵලයකි. අපේ වත්මන් ජීවන විලාසිතා විසින් අනාගත පරම්පරා වලට අප උරුම කරන ජාන තීරණය කරයි.

Sunday, April 16, 2017

අවුරුදු නැකැත් හා මීතොටමුල්ලේ ඛේදවාචකය


අවුරුද්ද දවසේ, මේෂ සංක්‍රාන්තිය සිදු වීමට පෙර, මම මගේ පියාට දුරකථන ඇමතුමක් ගත්තෙමි. ලෝක ගෝලයේ හරියටම අනිත් පැත්තේ පිහිටි ඇමරිකාවේ සිට ලංකාවේ සිටින්නෙකුට කතා කිරීමේදී දෙපාර්ශ්වයටම අපහසුවක් නොවන පරිදි මෙය කිරීමට හැක්කේ උදේ හා හැන්දෑවේ සීමිත කාල පරාසයන් දෙකක් තුළ පමණි. එදින මා සේවය සඳහා නිවසින් බැහැර යායුතු දිනයක් වූ අතර රාත්‍රී කාලයේද නවය පසුවන තුරු කාලසටහන පිරී තිබුණු බැවින් දුරකථන ඇමතුම සඳහා වෙන් කළ හැකි වූයේ උදය කාලයේ සුළු වේලාවක් පමණි.

මා ලංකාවට කතා කරන විට මේෂ සංක්‍රාන්තිය සිදුවී නොතිබුණා පමණක් නොව, නොනගතයද ඇරැඹී නොතිබුණේය. මෙවර අවුරුදු නැකැත් සම්බන්ධව ගැටළුකාරී තත්ත්වයක් පැවති බව මම ඒ වන විට සමාජ ජාල හරහා දැනුවත්ව සිටියෙමි. පෞද්ගලිකව මට වැදගත් කරුණක් නොවූවත්, මගේ පියා මා දන්නා කාලයේ සිට අවුරුදු නැකැත් වැරැද්දුවේ නැති අයෙකු වූ නිසා මම ඔහුගෙන් මේ අවුරුද්දේ නැකැත් වේලාවන් ගැන විමසුවෙමි.

"මේ පාර ආණ්ඩුව මහා අවුලක් කරගෙනනේ තියෙන්නේ. ලොකු පුතා පොඩ්ඩක් දන්න නිසා කියන්නේ. අටේ චන්ද්‍රයා නීච කරල නැකත හදල තියෙන්නේ. මෙහෙම නැකැත් හදන්නේ මිනී පෙට්ටි උස්සන්න."

ජීවිතයේ නවවන දශකය ගෙවන මගේ පියා සමඟ මෙවැනි දේවල් ගැන වාදකර මා දැන් ඔහුගේ හිත රිදවන්නේ නැත. "දැන්" කියා කීවේ බොහෝ කාලයක් එවැනි දේ කර ඇති බැවිනි.

මා කුඩා කාලයේ සිටම අපේ ගෙදර අවුරුදු චාරිත්‍ර හරියටම වෙලාවට සිදු කෙරුණේය. මෙය අද දක්වාම එසේම සිදුවේ. මේ කියන්නේ මගේ දෙමවුපියන් ජීවත්වන නිවස ගැන මිස දැන් මා ජීවත්වන නිවස ගැන නොවේ.

සාමාන්‍යයෙන් අපේ ජීවිත වලට කුඩා කාලයේදී වුවත් වැඩිපුර ඇඟිලි නොගැසූ මගේ පියා මේ චාරිත්‍ර අනුගමනය කළ යුතු බවට අපට නීති පනවා නොතිබුණත්, අඩු වශයෙන් අවුරුද්ද දවසේවත් නැකැත් පිළිපදිනු දැකීමෙන් සතුටු විය. මේ කාලයේදී අපට ඇසුරු කිරීමට ලැබුණු අපේ අසල්වැසි හෝ ඥාති නිවෙස් බොහොමයක අවුරුදු "සැමරීමට" මිස නැකැත් පිළිපැදීමට ප්‍රධාන තැනක් නොලැබුණේය. ඒ අතින්, මත්පැන් සාද ආදිය පවත්වමින් අවුරුද්ද සැමරුවේ නැති අපේ ගෙදර තරමක් වෙනස් විය.

අපේ ගෙදර තිබුණු මේ සුවිශේෂී තත්ත්වයට අමතරව, හැමදාමත් පොදු තැනක් වූ, තවමත් එසේම වන අපේ ගෙදර අවුරුද්ද දවසේද පොදු තැනක්ම විය. අපේ වෙනත් ඥාතීන් හෝ පවුලේ මිතුරන් කවුරු හෝ කිහිප දෙනෙකු සෑම අවුරුදු කාලයකම වාගේ අපේ නිවසේ ගත කළේය. අවුරුදු නැකැත් වෙලාවට මේ ටීම් එකට තවත් අසල්වැසියෝ කිහිප දෙනෙක්ද එකතු වූහ.

නොනගතය වෙලාවේ ආහාර ගැනීම අපට තහනම් කර තිබුණේ නැත. එහෙත්, මේ වෙලාවේ අපට වෙනදා මෙන් පිඟානට බෙදා බත් එකක් ලැබුණේ නැත. ගෙදර කුස්සියෙන් කාගෙවත් අතින් කෑම නොලැබුණත් අවශ්‍යනම් මේසය මත වූ රසකැවිල්ලක් හෝ කෙසෙල් ගෙඩියක් භුක්ති විඳීමට අපට බාධාවක් තිබුණේ නැත.

නොනගතය ලැබීමට නියමිතව තිබුණේ කෑම ගන්නා වෙලාවකට ආසන්නවනම් අපේ බත් පිඟන් වෙනදාට වඩා කලින්ම මේසයට ආවේය. මෙවැනි අවස්ථා වල මම බොහෝ විට හිතාමතාම ආහාර ගැනීම ප්‍රමාද කළෙමි.

"තාම කෑවේ නෑ නේද? කාල හිටියනම් හරිනේ?"

මගේ කාමරයට ඔළුව දැමූ දෙමවුපියන්ගෙන් කෙනෙකු එසේ කීවේ නොනගතය ලබන්නට ආසන්න බව කෙළින්ම ප්‍රකාශ නොකරමිනි. ඒ, එසේ කීවේනම් ලැබිය හැකිව තිබුණු ප්‍රතිචාරය දැනගෙන සිටි නිසාය. එහෙත්, මේ එන්නේ මොකාටදැයි දැන සිටි බැවින් මේ කියන කාලයේදී මා බඩගින්න තිබුණත් එය ඉවසාගෙන නොනගතය ලබන තුරුම බලා සිටියේ නොනගතය වෙලාවේ ආහාර අනුභව කොට සම්මතය බිඳීමෙන් සතුටක් ලැබීමටය.

නොනගතය තුළ ඒ අයුරින් ක්‍රියා කළත්, අඩුම වශයෙන් ගැටවර වියට පෙර කාලයේදී, පොතක පිටු කිහිපයක් කියවීමෙන් වැඩ අල්ලා පියාගේ අතින් ලැබෙන තල, හකුරු, ගිතෙල් වැනි මොනවා හෝ මිශ්‍ර කිරිබත් ගුලියක් කා දෙමවුපියන්ට වැඳීමනම් නොකර සිටි දෙයක් නොවේ. ඒ, මෙසේ වැඳුම් ලබන වැඩිහිටියන් සියළු දෙනාම කිසියම් මුදලක් අතේ තැබූ නිසාය. මේ මුදල් රැගෙන බොහෝ විට කළේ, පැරදී මුදල් අවසන් වන තුරු කැට ගැසීමයි. ඇතැම් අවුරුදු වල කලින්ම මුදල් ඉවර කරගෙන ගෙදර පැමිණ බුම්මාගෙන සිටින විට තවත් කීයක් හෝ අත මිට මෙලවුණේය.

මෙයට අමතරව පවුලේ වැඩිමලා වූ මට අපේම පවුලේ අනෙක් අයත්, මගේ පියාගේ අතින් අවුරුදු බත් ගුලිය කන්නට බලාසිටි ඥාති, හිතමිත්‍ර, අසල්වැසි කණ්ඩායමක් අතරින් පෝලිමේ මුල් තැන ලැබීමේද පොඩි ගතියක් තිබුණේය.

සම්මතය කඩා වැඩිහිටියන්ගේ හිත රිදවීමේ අරමුණින් හිතාමතා නැකැත් වැරැද්දීම ආසන්න වශයෙන් පාසැල් කාලය අවසන් වන තුරු කළත්, ඉන්පසුව මා එසේ කර නැත. නැකැත් වෙලාවට සිය දරුවන් සියළු දෙනාටම බත් කටක් කවන්නට ලැබීමෙන් මගේ පියා විශාල ලෙස සතුටු වූ අතර ඒ සතුට බිඳින්නට මට අවශ්‍ය නොවීය. මට පෙර විවාපත් වූ මගේ බාල සොයුරා ඇතැම් වසර වල අවුරුදු දවස ඔහුගේ බිරිඳගේ මහගෙදර ගත කිරීම ගැන වුවද මගේ පියා පහන් සිතකින් පසු නොවුණේය. ඒ නිසා, හැකි හැම විටකම අවුරුදු දවස මගේ දෙමවුපියන්ගේ නිවසේ ගතකිරීමට මම උත්සාහ කළෙමි.

රටින් බැහැරව සිටියදීද, හැකි හැම විටෙකම අළුත් අවුරුද්දේ වැඩ අල්ලන වෙලාවට ගෙදරට දුරකථන ඇමතුමක් දීමට මම උත්සාහයක් දැරුවෙමි. ඒ, ඒ වෙලාවේ ලංකාවේ අපේ ගෙදර සිදුවන දේ සිතින් මවාගෙන නොස්ටැල්ජික් වීමට නොවේ. එසේ කිරීමෙන් මගේ මුල් පවුලේ සමීපතමයින් බොහෝ දෙනෙකු සතුටු වූ බැවිනි.

බොහෝ විට මේ දුරකථන ඇමතුම දිගු එකක් වූයේ, අපේම පවුලේ අයට අමතරව ඒ අවුරුද්දේ මගේ මහගෙදර අවුරුදු නැකැත් ඇල්ලූ, සාමාන්‍යයෙන් මා දුරකථනයෙන් කතා නොකරන, වෙනත් ඥාතීන්, හිතමිතුරන් කිහිප දෙනෙකු සමඟද කථා කරන්නට මේ අවස්ථාවේදී ඉඩ සැලසෙන බැවිණි. කෙසේ වුවත්, මේ අවුරුද්දේ අවුරුදු නැකැත් යෙදී තිබුණු ආකාරය හා ඒ කාලය තුළ මා ඉතා කාර්ය බහුලව සිටීම නිසා මෙය කරන්නට ඉඩක් නොතිබුණේය. මෙවර අවුරුදු නැකැත් වලට කලින්ම ගෙදරට කතා කළේ එබැවිනි.

පියා සමඟ කළ කතාවෙන් පැහැදිලි වූ පරිදි ඔහු මෙවර ආණ්ඩුවේ නැකැත් වලට වැඩ ඇල්ලීමට සූදානම්ව නොසිටියේය. මට තේරුණු විදිහට ඔහු වැඩ අල්ලන්නට ලෑස්ති වී සිටියේ කලක් ලේක්හවුස් ආයතනය විසින් පළ කරන
ජ්‍යෝතිෂ පුවත්පත්කද ප්‍රධාන කතෘ වරයාව සිටි පියසේන රතුවිතාන විසින් සකස් කළ නැකැත් වලටය. අවුරුදු නැකැත් සම්බන්ධව මගේ පියා මට කියූ කරුණු වලට බොහෝ සමාන කරුණු සතියකට පෙර පියසේන රතුවිතාන මහතා විසින් දිවයින පුවත්පතට ප්‍රකාශ කර තිබුණේය.

අද ඉරිදා මගේ නිවාඩු දිනයක් බැවින් හා මෙවර අවුරුදු නැකැත් වේලාවේ ගෙදරට කතාකරන්නටද නොහැකි වූ බැවින් ගෙදරට දුරකථන ඇමතුමක් ගත්තෙමි. මේ වේලාවේ මගේද හදවත දැඩි ලෙස සසල කළ පුවතක් වූ මීතොටමුල්ලේ ඛේදවාචකය ගැන මගේ පියා අදහස් පළ කළේ අවුරුදු නැකැත් වල පැවති අවුල ඒ සමඟ සම්බන්ධ කරමිනි. මා ඔහු සමඟ තර්ක කරන්නට නොගිය බව කිවයුතු නොවේ.

කෙසේවුවද, මීතොටමුල්ලේ ඛේදවාචකය ආණ්ඩුවේ අවුරුදු නැකැත් හැදිල්ලෙන් සම්පූර්ණයෙන් පරිබාහිර සිදුවීමක් නොවේ. මේ දෙක අතර පැහැදිලි සම්බන්ධතාවයක් තිබේ.

නැකැත් යනු ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජීවිත වල අවියෝජනීය කොටසකි. ඒ අයට නැකැත් කියන්නේ මොනවාද කියා මුල සිට කියා දෙන්නට අවශ්‍ය නැත. එහෙත්, මා කුඩා කාලයේදී මෙන්ම දැනුත් නැකැත් සතපහකට ගණන් නොගන්නා විශාල පිරිසක්ද ලංකාවේ සිටිති. මේ අය, වෙනුවෙන් මුලින්ම මේ නැකැත් යන වචනය පිළිබඳ ඉතා කෙටි පැහැදිලි කිරීමක් කළ යුතුය.

නැකැත් යන සිංහල වචනයෙන් මෙන්ම නක්ෂත්‍ර යන සංස්කෘත වචනයෙන්ද අඩුම වශයෙන් එකිනෙකට සම්බන්ධ වුවත් වෙනස් තේරුම් තුනක් හෝ හතරක් මතු කරයි. නක්ෂත්‍ර යන වචනය සම්භාව්‍ය සංස්කෘතය බිහිවන්නට පෙර එහි මුල් ස්වරූපය වූ වෛදික සංස්කෘත භාෂාවේද භාවිතා වී ඇති වචනයකි. ලිඛිත භාෂාවක් නොවූ, සම්භාව්‍ය සංස්කෘත භාෂාවේ මෙන් දැඩි ව්‍යාකරණ නීති නොතිබුණු, වෛදික සංස්කෘත භාෂාව භාවිතා වුණේ බ්‍රාහ්මී අක්ෂර මාලාව දියුණු වීමටද බොහෝ කලකට පෙරය. මේ භාෂාව නැගෙනහිර ඉරානීය භාෂා ප්‍රභේදයට අයත් ඉතා පැරණි මළ භාෂාවක් වන අවෙස්තා භාෂාවෙන් බිඳී ආවකි. ශරතුෂ්ත්‍ර ආගමික ගාථා ලියා ඇත්තේ මේ අවෙස්තා භාෂාවෙනි.

නක්ෂත්‍ර යන වචනයේ පළමු අදහස තාරකාව යන්නයි. ජ්‍යෝතිෂයේදී තාරකා අහසේ ස්ථිර තැන් වල පිහිටා ඇති සේ සලකා එම තාරකා වලට සාපේක්ෂව ඉර, හඳ හා ග්‍රහයින්ගේ පිහිටීම් හඳුනා ගැනේ. "න
ක්‍ෂරති න සරති ඉති ක්‍ෂත්‍රඃ"  (न क्षरति न सरति इति नक्षत्रः) ලෙස විස්තර කෙරෙන පරිදි (අනෙකුත් තාරකා වලට සාපේක්ෂව) චලනය නොවන්නේද, (දීර්ඝ කාලයක්) ආලෝකය නැති වී නොයා ස්ථිරව පවතින්නේද නක්ෂත්‍ර නම් වේ. මේ අර්ථය අනුව, අහසේ පෙනෙන සියළුම තාරකා නක්ෂත්‍ර නමින් හැඳින්විය හැකිය. නැකැත් යන සිංහල වචනය වර්තමානයේදී මේ මුල් අර්ථයෙන් නොයෙදේ.

දෙවන අර්ථය අනුව මේ වචන අහසේ හඳුනාගත් සුවිශේෂී තාරකා හෝ තාරකා රාශි විසි හතක් වෙනුවෙන් භාවිතා වේ. මේ තාරකා වල සිංහල නම් එකවර පෙනෙන්නට තිබෙන අරුතින් තේරුම් ගැනීම අපහසු වුවත් ඒවායේ මුල් සංස්කෘත නම් වෛදික සාහිත්‍යය සමඟ මනාව ගැලපේ. 


ඇතැම් වචන අදාළ තාරකා පන්තියේ හැඩයට සම්බන්ධය. උදාහරණයක් ලෙස විසා යන නැකතේ නමත්, වෙසක් යන මාසයේ නමත් දෙකම හැදී ඇත්තේ විශාඛ යන වචනය මුල් වීමෙනි. විශාඛ යන්නෙන් දහස් වන්නේ ගසක අතු වලින් බෙදුණු රිකිල්ලකි (ශාඛ → විශාඛ). අදාළ තාරකා පන්තියේ මේ හැඩය අදත් හඳුනාගන්නට පුළුවන.

තෙවනුව, රාශි චක්‍රය ලෙස අපට දැකිය හැකි අහස කොටස් 12කට බෙදා ඇති පරිදිම නක්ෂත්‍ර හෝ නැකැත් ලෙස හඳුන්වන කොටස් 27කටද බෙදා තිබේ. මේ නැකැත් හා ලග්න අතර ඇති සම්බන්ධයද, නැකැත් සංකල්පය විකාශනය වූ ආකාරයද දීර්ඝ ලෙස විස්තර කළ යුතු බැවින් මා එය දැන් කරන්නේ නැත. මේ තෙවන අර්ථදැක්වීම අනුව නක්ෂත්‍ර හෝ නැකැත් යනු කාලය මනින ඒකකයකි.

අවුරුදු නැකැත් ගැන කතා කරන විට අදහස් කරන අර්ථය ඉහත අරුත් තුනටම වඩා වෙනස්ය. මෙයින් අදහස් කරන්නේ කිසියම් කටයුත්තක නිරතවීම සඳහා ශුභ මුහුර්ථයක් යන්නයි.

මේෂ සංක්‍රාන්තිය යනු නිශ්චිත වෙලාවක සිදුවන භෞතික සිදුවීමකි. ඒ නිසා, ගණනය කිරීමේ වැරැද්දක් නැත්නම් මේෂ සංක්‍රාන්තිය සිදුවන වෙලාව පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් මතු නොවේ. මේ අයුරින්ම, කිසියම් පුද්ගලයෙකුගේ කේන්ද්‍රයේ ඇති බොහෝ තොරතුරු පදනම් වන්නේද නිශ්චිත භෞතික කරුණු මත නිසා කේන්ද්‍ර සටහනක් සැදීම ජ්‍යෝතිෂය විශ්වාස කිරීමට හෝ නොකිරීමට සම්බන්ධයක් නැති තාක්ෂණික කටයුත්තකි. එය පරිගණ
වැඩසටහනක් යොදා ගනිමින් ඉතා පහසුවෙන් කළ හැකිය.

එහෙත්, ශුභ මුහුර්ත සෑදීම යනු භෞතික සිදුවීම් වන ග්‍රහ චලන මත පාදක වුවත්, ඉහත ආකාරයේ තාක්ෂණික කටයුත්තක් නොව විශ්වාස මත පදනම් වන්නකි. නැකැත් හැදීමේ ක්‍රමවේදය ජ්‍යෝතිෂ සිද්ධාන්ත මත පදනම් වූවත් එම සිද්ධාන්ත වල නිරවද්‍යතාවය කිසිවෙකු විසින් පර්යේෂණාත්මකව තහවුරු කර නොමැත. ඒ නිසා ඒ සිද්ධාන්ත පිළිගන්නා අය එසේ කිරීමේ පදනම වන්නේ මේ සිද්ධාන්ත දීර්ඝ කාලයක් තිස්සේ යොදාගෙන තිබීම හා පැරණි පොත් වල සටහන්ව තිබීමයි.

ජ්‍යෝතිෂයේ  තාරකා විද්‍යාත්මක කොටස බටහිර විද්‍යාව සමඟ ගැලපෙනවා පමණක් නොව බටහිර විද්‍යාව දියුණු වන විට ඒ සමඟ වෙනස් වේ. එසේ ගතික ලෙස වෙනස් නොවන සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත සමඟ සම්බන්ධ කොටස පදනම් වන්නේ සම්ප්‍රදායික දැනුම් මත නිසා විවිධ ගුරුකුල අතර පොදුවේ එකඟ වන කරුණු මෙන්ම මතභේදද තිබේ.

සිංහල අවුරුදු උත්සවය දීර්ඝ කාලයක් තිස්සේ ලංකාවේ පැවැත්වී ඇති උත්සවයක් වුවත්, ඓතිහාසිකව මේ උත්සවය පැවැත්වී ඇත්තේ එය අද පැවැත්වෙන ආකාරයෙන්ම නොවේ. අවුරුදු උත්සවයට සමගාමීව සිදුවී ඇති එක් වැදගත් දෙයක් වන්නේ චන්ද්‍ර දින දර්ශනය හා සූර්ය දින දර්ශනය අතර රිද්මය පවත්වා ගැනීමයි (synchronize). මේ ගැනද වැඩි විස්තර බොහෝ ලිවිය යුතු වුවත් දැනට නොලියමි. 


සිංහල අවුරුදු නැකැත් සීට්ටුවේ පළමුවෙන්ම ඇත්තේ අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා සඳ බැලීම හා අභිනව සූර්ය වර්ෂය සඳහා සඳ බැලීමයි. දිවා රාත්‍රී වෙනස නිසා දවස වෙනස් වීමත්, හඳේ රටාව අනුව මාසය වෙනස් වීමත් ඕනෑම කෙනෙකුට පහසුවෙන් හඳුනාගත හැකි වුවත් දැන් මෙන් අයිපෑඩ් තබා මුද්‍රිත දින දර්ශන හෝ නොතිබුණු කාලයේ අවුරුද්ද මාරුවීම ඒ තරම් පහසුවෙන් දැන ගත නොහැකිය. මාසයක් පුරා පැවැත්වුණු සිංහල අවුරුදු උත්සවය හේතුවෙන් අවුරුද්දක් ගත වුනු බව පහසුවෙන් මතකයේ රඳවා ගත හැකි විය.

ජුලියන් කැලැන්ඩරය හඳුන්වා දීමට පෙර අපරදිග රටවලද දින දර්ශනය දේශපාලනික කරුණක් වූ අතර අවුරුද්දක් ගෙවුණු බව හරියටම දැන ගැනීමට සාමාන්‍ය මිනිසුන්ට ක්‍රමයක් නොතිබුණේය. මෙහි වාසිය ගත් පාලකයෝ දින දර්ශනය ගණනය කළ පූජකයින්ට සන්තෝෂම් දී තමන්ගේ අභිමතය පරිදි අවුරුද්දේ දිග අඩු වැඩි කළහ. ජුලියන් කැලැන්ඩරය හඳුන්වාදීමට පෙර බටහිර දින දර්ශන වල තිබුණේ මාස දහයක් පමණි. ඉන්පසුව එළඹුණු මාස දෙකක පමණ දීර්ඝ ශීත කාලයට නමක් තිබුණේ නැත. පෙරදිග දින දර්ශන වල ඒ තරම්ම අවුලක් නොතිබුණත් ඒවායේද ප්‍රශ්න තිබුණේය. ඒ කොටසද පසුවට තබමු.

මාසයක් පුරා පැවැත්වුණු අවුරුදු සැමරීම දැන් දිනකට හෝ දෙකකට කෙටි වී තිබේ. මේ සමඟම ඒ දින දෙක තුළ සිදු කරන කටයුතු වලට වැඩි වැදගත්කමක් ලැබී ඇත. නව සඳ බැලීම, රැකියා සඳහා පිටත් වීම වැනි දේ සඳහා සුබ නැකැත් අවුරුදු නැකැත් සීට්ටුවේ ඇතත් ඒවා භාවිතා කරන අය සිටින්නේද යන්න සැකයකි.

අවුරුදු දහස් ගණනක් පුරා ලංකාවේ සිංහල අවුරුදු උත්සවය සමරන්නට ඇතත් අද මෙන් රටම එක නැකතකට වැඩ ඇල්ලීමේ සිරිතක් ඉතිහාසයේ තිබුණේ නැත. එය දේශපාලනික හේතු මත මෑතකදී එකතු වූ දෙයකි. ඓතිහාසිකව මෙය අද මෙන් රජය විසින් කරන මධ්‍යගත කටයුත්තක් නොව ගම් මට්ටමින් විමධ්‍යගත ලෙස සිදුවූ කටයුත්තක් විය. කුල ක්‍රමය මත සංවිධානය වී සිටි ගම් වල සිටි නැකතියෝ අවුරුදු මාසය ඇරඹෙන්නට පෙර ගමේ ගෙවල් වලට නැකැත් සීට්ටුව බෙදා ගෙන ගියේය. එහි හිලවුවට ඔහුගේ මල්ලට වී සේරු කිහිපයක් වැටුණේය.

කේන්ද්‍රය යනු නිශ්චිත මොහොතක් හා නිශ්චිත ස්ථානයක් අනන්‍ය ලෙස හඳුනාගැනීමට උපකාරී වන සටහනකි. ඒ නිසා ඒ මත පදනම්ව හදන නැකැත්ද, එකම සිද්ධාන්ත අනුගමනය කළත් රටක හැම තැනකටම සමාන වන්නේ නැත. ලංකාව වැනි රටක මේ වෙනස්කම් විශාල නොවුණත්, උතුරේ හා දකුණේ ඉර පායන වෙලාවල් හරියටම සමාන නැත. ගමේ නැකතියා නව සඳ බැලිය යුතු දවස ඇතුළු නැකැත් හැදුවේ මේ කරුණු සැලකිල්ලට ගැනීමෙනි. ඒ නිසා එකම දින රටේ සියල්ලන්ටම නව සඳ බලන්නට නොහැකි වීම වැනි දේ ප්‍රශ්නයක් වුනේ නැත.

1854 හෝ ආසන්න වසරකදී ඈපා පංචාංග ලිත මුද්‍රණය කිරීමට පටන් ගැනීමත්, පසුව ඈපා බිත්ති ලිත මුද්‍රණය කිරීමට පටන් ගැනීමත් සමඟ අවුරුදු නැකැත් සම්බන්ධව කිසියම් ඒකාධිකාරයක් ඇති වෙන්නට පටන් ගත්තත් වසර පණහකට හැටකට පෙර කාලයේත් ඇතැම් ගම්වල නැකැත් සීට්ටු බෙදා හැරුණේය. 1975 පමණ කාලයේදී දෛවය, ශ්‍රීධර ආදී වෙනත් පංචාංග ලිත් කරලියට ආවත් ඈපා ලිතට අවුරුදු නැකැත් සම්බන්ධව වූ ඒකාධිකාරිය නැති වුණේ නැත. රජයේ ගුවන් විදුලියේ ඒකාධිකාරය හරහා ගම්වල පැවති විමධ්‍යගත නැකැත් සීට්ටු ක්‍රමය නැත්තටම නැති වී ගියේය. කෙසේ වුවද, 1980 දශකයේ පමණ සිට වෙනත් පංචාංග ලිත් ඈපා ලිතට තරඟයක් දෙන්නට පටන්ගත්තේය.

ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලයේ කිසියම් වසරක අවුරුදු නැකැත් සම්බන්ධව ලංකාවේ විශාල පිල් බෙදීමක් ඇති වුණේය. මේ අවුරුද්දේ ප්‍රධාන පංචාංග ලිත් දෙකකින් නැකැත් සීට්ටු දෙකක් ඉදිරිපත් කළ අතර කණ්ඩායම් දෙක අතර විශාල විවාදයක් ඇති විය. පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නොතිබුණු මේ යුගයේ අවුරුදු නැකැත් ජනගත කිරීමේ ඒකාධිකාරය හිමිව තිබූ රජයේ ගුවන් විදුලිය හා රූපවාහිණියද මේ වෙලාවේදී ප්‍රශ්නයකට මුහුණ පෑවා වන්නට පුළුවන.

දේශපාලනඥයින් බලා සිටින්නේ මේ ජාතියේ ප්‍රශ්නයක් එන තුරුය. ලේසියෙන් ගොඩ දැමිය හැකි මේ වගේ ප්‍රශ්නයක් අල්ලාගත් විට සැබෑ ප්‍රශ්න ගණනාවක් අමතක කර තමන් මහා ලොකු සේවයක් කරන බව පහසුවෙන් රටට ඒත්තු ගන්වන්නට පුළුවන. මේ කාලයේ සංස්කෘතික ඇමතිවරයා වූ වි.ජ.මු. ලොකු බණ්ඩාර විසින් ඒ අනුව රාජ්‍ය නැකැත් කමිටුවක් පිහිටුවා අවුරුදු නැකැත් හැදීමේ කටයුත්ත බදු ගෙවන ජනතාවගේ මුදලින් සිදුකරන රජයේ කටයුත්තක් බවට පත් කළේය. අද දක්වාම ඒ තත්ත්වය නොවෙනස්ව පවතී.

ලොකු බණ්ඩාර ඇමතිවරයාගේ මුල් අකුරු ඒ දවස්වල ඇතැම් අය කියෙවුවේ "විජ්ජාවෙන් ජනතාව මුලාකරන" යනුවෙනි. ඔහුට පෞද්ගලිකව කෙසේවුවත් පොදුවේ ලංකාවේ මෙන්ම වෙනත් රටවලද බොහෝ දේශපාලනඥයින්ට මේ යෙදුම ගැලපේ. රටේ වෙනත් මිනිසුන්ට තමන්ට හොඳම දෙය තෝරා ගැනීමට හැකියාවක් නැති බවත්, ඔවුන්ට හොඳම දේ තෝරා දෙන්නට දන්නේ තමන් බවත් ඔවුහු සිතති. ඒ වෙනුවෙන් ඔවුන් තමන්ගේ සුඛෝපභෝගී ජීවිතය නඩත්තු කළ යුතු බවද ඔවුහු සිතති. දේශපාලනඥයින් නොවන බොහෝ දෙනෙක්ද මේ අයුරින්ම සිතමින් තමන්ට තනිව හෝ සාමූහිකව කරගත හැකි දේ වෙනත් අය කර දෙන තුරු බලා සිටින නිසා එහි මිලද එය කර දෙන දේශපාලනඥයින්ට ගෙවීමට ඔවුන්ට සිදුවේ. පොඩි අවුලකට තියෙන්නේ එසේ නොසිතන අයටද මේ මිල ගෙවන්නට වී තිබීමයි.

රටේ සාමාන්‍ය ජනතාව දුම්වැටි භාවිතා කිරීමෙන් සිදුවන සෞඛ්‍යමය හානි ගැන නොදන්නා බැවින් දේශපාලනඥයෝ ඒ බව ඔවුන්ට පැහැදිලි වන පරිදි මිල වැඩි කරති. ඔවුන් ආරක්ෂාකාරී නොවන වාහන භාවිතා කරන නිසා එය වැළැක්වීමට ආනයන බදු වැඩි කරති. ඔවුන් ඖෂධ වෙනුවෙන් වැඩිපුර මුදල් වියදම් කරන නිසා මිල අධික ඖෂධ වෙළඳපොළට පැමිණීමේ ඉඩකඩ අහුරා ඒ තත්ත්වය වළක්වති. නිවැරදි අවුරුදු නැකැත් සීට්ටුව තෝරාගැනීමට මේ නැකැත් පිළිපදින අයට නොතේරෙන බැවින්, නැකැත් විශ්වාස නොකරන අය ඇතුළු සියළු දෙනා රජය නඩත්තු කිරීමට ගෙවන බදු මුදල් වැය කරමින් ඔවුන්ට නැකැත් තෝරා දෙති. මේ අතර ඔවුන් ජනතාව වෙනුවෙන් ගොඩගසන කුණු කඳු වලට යටවී මිනිස්සු මිය යති.


(Image: http://www.dailymail.co.uk/news/article-4414116/16-killed-Sri-Lankan-rubbish-mountain-collapse.html)

Saturday, April 15, 2017

සෙනසුරු, බ්‍රහස්පති හා ඇමරිකාවේ දේශපාලනය


ලංකාවේ බොහෝ දෙනෙකු සූර්යයාගේ මේෂ සංක්‍රාන්තිය සමරමින් කාර්ය බහුල වී සිටියදී, මේෂ සංක්‍රාන්තියට දෙතුන් පැයකට පෙර, ඇමරිකාවේ නාසා ආයතනය විසින් සෙනසුරු හා බ්‍රහස්පති ග්‍රහයන්ගේ චන්ද්‍රයන් වෙත නුදුරු දිනක සිදුවිය හැකි නෑදෑ ගමන් ගැන ඉඟි පළ කරමින් විශේෂ පුවත් සාකච්ඡාවක් පැවැත්වුවේය.

සෙනසුරු ග්‍රහයාගේ කක්ෂයේ සිට තොරතුරු එවන මිනිසුන් රහිත කැසිනි අභ්‍යවකාශ යානය හා හබල් දුරේක්ෂය උපකාරයෙන් ලබාගත් අළුත් තොරතුරු මේ සාකච්ඡාවට පදනම් විය. මෙහිදී අනාවරණය කෙරුණු ප්‍රධාන කරුණ වූයේ ජලය යනු අපේ සූර්ය ග්‍රහ මණ්ඩලයේ පෘථිවියට පමණක් විශේෂ වූ දුලබ දෙයක් නොවන බවයි.

කැසිනි අභ්‍යවකාශ යානය මඟින් සෙනසුරුගේ එන්සලඩස් චන්ද්‍රයා මත ජීවය පවතින බවට සාක්ෂි කිසිවක් සොයාගෙන නැතත්, ජීවය පැවතීමට අවශ්‍ය මූලික තත්ත්වයන් ගණනාවක් එහි පවතින බව හඳුනාගෙන තිබේ. පෘථිවියේ ඇති ආකාරයේ කාබනික ජීවයක පැවැත්ම සඳහා ද්‍රව තත්ත්වයේ පවතින ජලය, ආහාර ලෙස සුදුසු ශක්ති ප්‍රභවයක් හා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්, පොස්පරස් හා සල්ෆර් යන මූලද්‍රව්‍ය තිබිය යුතුය.

එන්සලඩස් චන්ද්‍රයා මත පොස්පරස් හා සල්ෆර් මූලද්‍රව්‍ය හැර අනෙකුත් අවශ්‍ය සාධක ඇති බව හඳුනාගෙන ඇති අතර චන්ද්‍රයාගේ මධ්‍යයේ මේ මූලද්‍රව්‍ය දෙකද ඇති බව නාසා විද්‍යාඥයෝ සිතති. එහි පෘෂ්ඨයේ සිට ඉහළට විදින වාෂ්ප විශ්ලේෂණය කිරීමෙන් පසුව එම වාෂ්ප වල 98%ක් ජලයද, 1%ක් හයිඩ්‍රජන් වායුවද, ඉතිරිය කාබන් ඩයොක්සයිඩ්, මීතේන් හා ඇමෝනියා ආදිය අඩංගු මිශ්‍රණයක් බවද හඳුනාගෙන තිබේ.

කැසිනි අභ්‍යවකාශ යානය සෙනසුරු වෙත යවන විට එන්සලඩස් මත ජීවය ඇති බව සොයා බැලීමේ අදහසක් නොවූ අතර එහි පෘෂ්ඨයෙහි වාෂ්ප විදින තැන් (Plumes) ඇති බව එහි යන තුරුම නොදැන සිටි දෙයකි.

මේ අතර, හබල් දුරේක්ෂය මඟින් ලබා ගත් ඡායාරූප අනුව බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මත
මෙසේ වරින් වර සැතපුම් ගණනක් ඉහළට වාෂ්ප විදින නිශ්චිත උණුසුම් ස්ථාන ඇති බව හඳුනාගෙන තිබේ. ආතර් සී ක්ලාක්ගේ විද්‍යා ප්‍රබන්ධ කිහිපයකමද බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මත ජීවය පැවතිය හැකි බවට අදහස් පළ කෙරී තිබිණි.

මාස කිහිපයකට පෙර නාසා ආයතනය විසින් ආලෝක වර්ෂ 40ක දුරින් ජීවය පැවතීමේ ඉඩකඩ ඇති ග්‍රහලෝක තුනක් සහිත සූර්යයෙකු හඳුනාගත් බව නිවේදනය කළේය.  ආලෝක වර්ෂ හතළිහක් විශ්වයේ ප්‍රමාණයට සාපේක්ෂව ළඟ දුරක් වුවත්, දැන් අපට ජීවය ඇති බවට සාක්ෂි ලැබී ඇත්තේ අපේම අසල්වාසී ගෙදරකිනි.

සූර්ය ග්‍රහ මණ්ඩලයේ වෙනත් ග්‍රහයෙකු වෙත යානයක් යැවීම ග්‍රහයන්ගේ සාපේක්ෂ චලනයන් සියුම් ලෙස හදාරමින් සිදු කළ යුතු සංකීර්ණ කාර්යයකි. කෙසේ වුවද, ග්‍රහයින්ගේ පිහිටීම් සැලකිය යුතු තරමින් නිවැරදිව හඳුනා ගැනීම මිනිසුන්ට වසර දහස් ගණනකට පෙරද  කරන්නට හැකි වූ දෙයකි. කැසිනි වැනි යානා සෙනසුරුගේ චන්ද්‍රයින් වෙත යැවීමට හැකි වී තිබෙන්නේ මේ දැනුම අවුරුදු දහස් ගණනක් තිස්සේ දියුණු කළ සියළු විද්‍යාර්ථීන්ගේ කැපකිරීම් නිසාය. 


අභ්‍යවකාශ නිරීක්ෂණය යනු වසර දහස් ගණනකට පෙරද වසර ගණනාවක පුහුණුවක් ලබා ප්‍රගුණ කළ යුතු විද්‍යාවක් විය. එවැනි කැප කිරීමක් කිරීමට මේ කටයුතු වල නිරත වූ ආදි විද්‍යාර්ථින්ට ලැබුණු මහජන සහයෝගය හා රාජ්‍ය අනුග්‍රහයද උදවු වෙන්නට ඇත.

තාරකා විද්‍යාවට සාපේක්ෂව මිනිසාගේ සම්භවය ගැන අපේ දැනුම බොහෝ අළුත් දැනුමකි. ජීවය බිහිවීම පැහැදිලි කිරීමට අවුරුදු දහස් ගණනක් තිස්සේ ගොඩ නැඟුණු විවිධ ප්‍රවාද අතර තාරකා විද්‍යා ප්‍රවාද වල තරම් ඒකමිතියක් දකින්නට නොලැබුනේය. එන්සලඩස් හා යුරෝපා චන්ද්‍රයින් මත අප ජීවය සොයන්නේද ජීවයේ සම්භවය පිළිබඳව වඩා හොඳින් තේරුම් ගැනීමටය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති වීමෙන් පසුව නාසා ඇතුළු බොහෝ පර්යේෂණ ආයතන වලට සපයන අරමුදල් කපා හැරීමට යෝජනා කර ඇතත් නාසාහි ග්‍රහලෝක අධ්‍යයන අංශය වෙනුවෙන් ලබාදෙන අරමුදල් ඩොලර් බිලියන 1.6 සිට 1.9 දක්වා වැඩි කර තිබීම විශේෂත්වයකි. මේ අරමුදල් වලින් කොටසක් බ්‍රහස්පතිගේ යුරෝපා චන්ද්‍රයා මත ජීවය ඇත්දැයි පිරික්සීම සඳහා වෙන් කෙරෙනු ඇත.



Image: http://www.politicalgarbagechute.com/donald-trump-says-president-hed-annex-jupiter/

Friday, April 14, 2017

සේනක බිබිලේ බොරුකාරයෙක්ද?



මේ වන විට පසුගිය 2016 වසර සඳහා වන ශ්‍රී ලංකා දුම්කොළ සමාගමේ වාර්ෂික වාර්තාව ප්‍රකාශයට පත් කර තිබේ.

වාර්තාව අනුව පසුගිය වසරට සාපේක්ෂව දුම්කොළ සමාගමේ වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 121,525 දක්වා 14%කින්ද, ශුද්ධ ආදායම රුපියල් මිලියන 31,747 දක්වා 22%කින්ද, බදු ගෙවීමට පෙර ලාභය රුපියල් මිලියන 21,219 දක්වා 17%කින්ද, බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 12,559 දක්වා 18%කින්ද, ශුද්ධ වත්කම් රුපියල් මිලියන 3,485 දක්වා 21%කින්ද වැඩි වී තිබේ.

දුම්කොළ සමාගම විසින් වසර තුළ රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය රුපියල් මිලියන 89,777ක් වන අතර මෙය පසුගිය වසරට වඩා රුපියල් මිලියන 9,386ක වැඩි වීමකි. දුම්කොළ සමාගමේ ඇස්තමේන්තු අනුව රජයේ සමස්ත බදු ආදායමෙන් 7%ක් ගෙවා ඇත්තේ දුම්කොළ සමාගමයි. 


රජය වාර්ෂිකව දුම්වැටි හා මත්පැන් මත අයකරන බදු වැඩි කළත්, එසේ කිරීමේදී බදු ආදායම් අඩු වන මට්ටමට බදු අනුපාතික ඉහළ නොදැමීමට සැලකිලිමත් වේ. මෙතෙක් කල් කිසිදු වසරක් තුළ මෙය වෙනස් ආකාරයකින් සිදුවූ බවක්, එනම් බදු අනුපාතික වැඩි කර රජයේ බදු ආදායම් අඩු කරගත් බවක්, මා දන්නේ නැත.

ලංකාවේ සිටින දුම්බොන්නන් ගණන මිලියන දෙකක් ලෙස සැලකුවහොත්, පසුගිය වසර තුළ එක් දුම් බොන්නෙකුගෙන් රජය විසින් රුපියල් 45,000ක පමණ මුදලක් එකතු කරගෙන තිබේ. මේ බොහෝ දෙනෙක් පහළ හා පහළ මැදි ආදායම්ලාභීන් විය යුතුය. බලාගෙන ගියාම  දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වැඩ වලින් සෑහෙන කොටසක් කරන්නේද ලංකා දුම්කොළ සමාගමයි.

අද පළවී ඇති ලංකා සී නිවුස් පුවතකට අනුව "යහපාලන රජය ආරම්භ කළ වැඩපිළිවෙල හේතුවෙන් දුම්පානය සියයට 48 කින් අඩු වී" ඇති බව සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න විසින් පවසා තිබේ. ඖෂධ සමාගම් සමඟ සටන් කරන්නේය යන පදනමින්, පසුගිය නෙළුම්යාය බ්ලොග් සම්මාන ප්‍රදානෝත්සවයේදී ඇමති රාජිත සේනාරත්නව හඳුන්වා දී තිබුණේ නූතන සේනක බිබිලේ වශයෙනි.

ඇත්ත මෙන් හැඟෙන්නට ඉංග්‍රීසි මූලාශ්‍ර උපුටා දක්වමින්, සිංහල පාඨකයින්ට ඒ මූලාශ්‍ර වල නැති බොරු ඉදිරිපත් කරන ලංකා සී නිවුස්හි පළවන දේවල් එතරම් විශ්වාසනීය නැත. කෙසේවුවද, යම් හෙයකින් රාජිත සේනාරත්න ඉහත ප්‍රකාශය කළේනම් එහි පදනම ගැටළු සහගතය. ඇතැම් විට, මේ කියන අඩුව සිදුවී ඇත්තේ ඉතාම මෑතකදී වන්නට පුළුවන.

එසේ නැත්නම්, ලාංකිකයින් දුම්වැටි මිලදී ගත්තද දුම්පානය නොකර ඒවා ගෙවල්වල ගබඩා කර තබා ගැනීමට පුරුදු වී ඇත්දැයි කියා අප දන්නේ නැත. දුම්වැටි වලට ඇති ඉල්ලුම ලේසියකට නැති නොවන නිසාත්, මිල ඉතාම වේගයෙන් දිගින් දිගටම වැඩි වන නිසාත් දුම්වැටි වල මුදල් ආයෝජනය කිරීමත් නරක
නැත!

පසු සටහන:
වැඩිදුර සොයා බැලීමේදී පෙනී ගිය පරිදි ඇත්තටම සිදුවී ඇත්තේ බදු ඉහළ දැමීමට පෙර වෙළඳ නියෝජිතයින් ලෙසින් විශාල ලෙස තොග මිල දී ගෙන ගබඩා කර ගැනීමයි. මාස ගණනකට අවශ්‍ය තොග කලින්ම මිලදී ගෙන අවසන් නිසා බදු වැඩි කිරීමෙන් පසු අලෙවිය පහත වැටී තිබේ. මේ තොග අවසන් වීමෙන් පසු අලෙවිය නැවත පෙර මට්ටමට පැමිණෙනු ඇත.


(Image: http://www.sundaytimes.lk/160925/news/vital-drug-prices-to-come-down-at-last-209805.html)

Thursday, April 13, 2017

මේෂ සංක්‍රාන්තිය දැක තිබේද?

මෙය ලියන විට සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට පැමිණ සුළු වේලාවක් ගතවී තිබේ. මේ අවස්ථාව විශේෂ සිද්ධියක් ලෙස සලකා සමරන ලොව පුරා ජීවත්වන බොහෝ අය ඒ සඳහා දැන් සූදානම් වනවා විය යුතුය. මේ සමරන අය අතරින් කී දෙනෙක් මීන රාශිය හෝ මේෂ රාශිය දැක තිබේද?

පසළොස්වක පෝය යාන්තම් පහුවුනා පමණක් නිසා මේ දවස් වල අහසේ වැඩිපුර තාරකා දැකිය නොහැකිය. ඒ නිසා අද හෝ හෙට අහස දෙස බලා මීන රාශිය හෝ මේෂ රාශිය හඳුනා ගත හැකි නොවනු ඇත. එහෙත් තව දෙසතියකින් පමණ ඉර පායන්නට කිට්ටුව නැගෙනහිර ක්ෂිතිජය දෙස බැලුවොත් මීන රාශිය හඳුනාගැනීමට හැකි වනු ඇත.




© T. Credner & S. Kohle, AlltheSky.com

ඉහත පළමු ඡායාරූපයෙන් පෙනෙන්නේ මීන රාශිය ලෙස හඳුනාගන්නා තාරකා රටාවයි. හඳුනාගැනීමේ පහසුව සඳහා අදාළ තාරකා ඉරිවලින් යා කර තිබේ. මේ තාරකා රටාව නූලකින් බැඳුණු මාළුන් දෙදෙනෙකු ලෙස මුලින්ම බැබිලෝනියානුවන් විසින් හඳුනා ගනු ලැබූ අතර මීන යන සංස්කෘත නම මෙන්ම ඒ සඳහා බටහිර භාවිතා වන ලතින් නමද (Pisces) මාළුවා/ මාළු යන අරුත සපයයි.



මේ තාරකා එක් පොකුරක් ලෙස පොළොවට මෙසේ පෙනුණත් ඒවා ඇත්තටම තියෙන්නේ එකිනෙකට ආලෝක වර්ෂ ගණනක් දුරිනි. එම තාරකා වලින් දහයකම හඳුනාගත් ග්‍රහලෝක තිබේ. මීන රාශි මණ්ඩලයේ දීප්තිමත්ම තාරකාව වන ඊටා පිසියම් (Eta Piscium) ආලෝක වර්ෂ 294ක් ඈතින් පිහිටා ඇති කහ යෝධයෙකි. ඉර මෙන් 26 ගුණයක් විශාල, 3.5-4 ගුණයක ස්කන්ධයක් ඇති එහි දීප්තිය ඉරේ දීප්තිය මෙන් 316 ගුණයකි [1].

දෙවෙනියට දීප්තිමත්, ඉර මෙන් දහ ගුණයක් විශාල හා 61 ගුණයක් දීප්තිමත් ගැමා පිසියම් තාරකාවද කහ යෝධයෙක් වන අතර ආලෝක වර්ෂ 138ක් දුරින් පිහිටා ඇත. ආලෝක වර්ෂ 106ක් දුරින් පිහිටා ඇති ඔමේගා පිසියම් ඉර මෙන් 20 ගුණයක් විශාල වන අතර, අයෝටා පිසියම් තරුව ආලෝක වර්ෂ 44.73ක් දුරින් පිහිටා ඇති ඉරට වඩා තරමක් විශාල තරුවකි.

මේ තාරකා පද්ධතියේ ඉතිරි තාරකා ඔමික්රොන් පිසියොන්, ඇල්ෆා පිසියම්, එප්සිලෝන් පිසියම්, ඩෙල්ටා පිසියම්, තීටා පිසියම්, නියු පිසියම්, බීටා පිසියම් (අරාබි බසින් ෆුම් අල්-සම්මක් හෙවත් මාළු කට), කප්පා පිසියම්, ලැම්ඩා පිසියම්, සීටා (zeta) පිසියම්, 19 පිසියම් (TX පිසියම්), 107 පිසියම්, 96G පිසියම්, 54 පිසියම්, 6G පිසියම් හා වැන් මානන්ගේ තරුව ලෙස නම් කර තිබේ. තාරකා රටාවේ ෂඩාශ්‍රය සැදී ඇත්තේ ගැමා, කප්පා, ලැම්ඩා, අයෝටා, තීටා හා 19 පිසියම් තරු හයෙනි. ආලෝක වර්ෂ 148ක් ඈතින් පිහිටි සීටා පිසියම් (ζ Psc) යනු ජ්‍යෝතිෂයේදී රේවතී නැකත ලෙස හඳුනාගන්නා තාරකාවයි.



මේෂ රාශියට අදාළ තරු රටාව සාපේක්ෂව ඉතා සරල එකකි. මෙය බැබිලෝනියානුවන් විසින් මුලින්ම ගොවියෙකු ලෙස හඳුනාගත් නමුත් පසුව ගොවියා එළුවෙකු විය. 

මේ තාරකා මණ්ඩලයේ හඳුනාගත් ග්‍රහලෝක සහිත තාරකා පහක් තිබේ. මෙහි ප්‍රධාන තාරකා ඇල්ෆා ඒරියටිස්, බීටා ඒරියටිස්, ඩෙල්ටා ඒරියටිස්, ගැමා ඒරියටිස්, සී ඒරියටිස් හා එප්සිලෝන් ඒරියටිස් ලෙස හැඳින්වේ. බීටා හා ගැමා ඒරියටිස් ලෙස හැඳින්වෙන්නේ පළමු නැකත වන අස්විද නැකත ලෙස ජ්‍යෝතිෂයේදී හඳුනාගන්නා තාරකාවන්ය. 35 ඒරියටිස්, 39 ඒරියටිස් හා සී ඒරියටිස් හෙවත් 41 ඒරියටිස් ලෙස හැඳින්වෙන්නේ දෙවන නැකත වන බෙරණ නැකත ලෙස ජ්‍යෝතිෂයේදී හඳුනාගන්නා තාරකාවන්ය. 

අරාබි බසින් රාස්-අල්-හමාල් (එළු හිස) ලෙස හැඳින්වෙන ඇල්ෆා ඒරියටිස් තරුව ආලෝක වර්ෂ 66ක් දුරින්ද, බීටා ඒරියටිස් ආලෝක වර්ෂ 59.6ක් දුරින්ද, ගැමා ඒරියටිස් ආලෝක වර්ෂ 160ක් දුරින්ද, ඩෙල්ටා ඒරියටිස් ආලෝක වර්ෂ 168ක් දුරින්ද, සී ඒරියටිස් හෙවත් බෙරණ තරුව ආලෝක වර්ෂ 160ක් දුරින්ද, එප්සිලෝන් ඒරියටිස් ආලෝක වර්ෂ 293ක් දුරින්ද පිහිටා තිබේ.

මීන හා මේෂ රාශි ඇතුළු රාශි දොළහත්, නැකැත් ලෙස සිංහලෙන් හඳුන්වන නක්ෂත්‍ර තාරකා මණ්ඩල විසිහතත් අහසේ ස්ථානගත වී ඇති ආකාරය අනුව නැගෙනහිර ක්ෂිතිජයෙන් චක්‍රීය රටාවකට මතු වේ. අද වැනි හඳ එළිය වැඩි දවසක නොහැකි වුවත්, තවත් සති දෙකකින් පමණ අහස නිරීක්ෂණය කළොත් මේ රාශි දොළහ මෙන්ම නැකැත් විසිහතද හඳුනාගැනීමට බැරිකමක් නැත.

මේෂ රාශිය මෙන්ම මීන රාශියද අපට පියවි ඇසින් නිරීක්ෂණය කළ හැකිය. සූර්යයාද අපට නිරීක්ෂනය කළ හැකිය. එහෙත්, මේෂ සංක්‍රාන්තිය අපට පොළොවේ එක් නිශ්චිත තැනක සිට එසේ නිරීක්ෂණය කළ නොහැක. අද මේෂ සංක්‍රාන්තිය සිදු වන විට මා සිටින නගරයට හවස් කාලයයි. ඒ වෙලාවේ ඉර අහසේ පෙනෙන්නට තිබුණත්, ඉර එළිය නිසා මීන රාශිය හෝ මේෂ රාශිය පියවි ඇසින් දැකිය නොහැක. ලංකාවට මේෂ සංක්‍රාන්තිය සිදු වුණේ රාත්‍රී කාලයේදීය. ඒ වෙලාවේ, මීන හා මේෂ රාශි මෙන්ම ඉරද තිබුණේ පොළොවේ අනෙක් පැත්තේ නිසා මේෂ සංක්‍රාන්තිය දෑසින් දකින්නට කෙසේවත් ඉඩක් නැත.

වසර දහස් ගණනකට පෙර ජීවත් වූ විද්‍යාර්ථින්ටද මේෂ සංක්‍රාන්තිය පියවි ඇසින් දැකිය නොහැකි විය. එහෙත්, දිවා කාලයේ ඉරේ ගමනත්, රාත්‍රී කාලයේ තාරකා වල ගමනත් නිරීක්ෂණය කිරීමෙන් මේෂ සංක්‍රාන්තිය සිදුවන වෙලාව හරියටම නිගමනය කිරීමට ඔවුන්ට හැකි විය. වසර දෙදහසකට පමණ පෙර ඔවුන්ට එසේ කිරීමට හැකි වීම අපූරු දෙයකි.


මේෂ සංක්‍රාන්තිය සමරන සියල්ලන්ටම සුබ අළුත් අවුරුද්දක්!

(Image: pinrest.com)

Wednesday, April 12, 2017

පහන් තරුව ඔබ...

මේ ලිපිය සමඟ පළවන්නේ දැන් ටික වෙලාවකට කලින් ගත් ඡායාරූප තුනකි. දිනය අප්‍රේල් 11 ලෙස සටහන්ව ඇත්තේ කැමරාවේ දිනය නිවැරදිව සකස් කර නැති බැවිනි. නිවැරදි දිනය අප්‍රේල් 12 විය යුතුය. එමෙන්ම, ඡායාරූප ගත් කැමරාව හොඳ එකක් නොවීමත්, ඉකොනොමැට්ටා හොඳ ඡායාරූප ශිල්පියෙකු නොවීමත් නිසා මේ ඡායාරූපනම් කිසිම කමකට නැත.



අද උදේ 6.45ට පමණ එළියට බහින විට නැගෙනහිර අහසේ ක්ෂිතිජයට ඉහළින් දීප්තිමත්ව දකින්නට ලැබුණු පහන් තරුව හෙවත් සිකුරු ග්‍රහයා මනරම් දසුනක් විය. සැලකිල්ලෙන් බැලුවොත් පළමු ඡායාරූපයේ මැද තරමක් දකුණට වන්නට කුඩා තිතක් ලෙස ඔබට සිකුරු ග්‍රහයා දැකිය හැකිය.

අද අපට ඉර උදාවුණේ උදේ 7.10 ටය. නැවත නිවසට පැමිණ කැමරාව එළියට ගෙන ඉහත පළමු ඡායාරූපය ගන්නා විට උදේ 6.50ට පමණ විය. ඒ අනුව, ඒ වන විට අපේ ඉර උදාව සිදුවීමට මිනිත්තු 20ක් පමණ තිබුණේය. පොළොව මිනිත්තු 20ක් තුළ අංශක 5ක් පමණ භ්‍රමණය වෙයි. ඒ නිසා ඉර උදාවීමටනම් පොළොව තවත් අංශක 5කින් භ්‍රමණය විය යුතුය. වෙනත් විදිහකින් කියනවානම් මේ වෙලාවේ ඉර තිබිය යුත්තේ නැගෙනහිර ක්ෂිතිජයට අංශක 5ක් පමණ පහළිනි.

අප දන්නා පරිදි, ඉර මේ දවස්වල ගමන් කරන්නේ මීන රාශියේය. තවත් දින දෙකකින් ඉර මේෂ රාශියට ගමන් කිරීමට නියමිතය. මේ එක් රාශියකට අංශක 30ක් අයත් වේ. මේෂ රාශියේ මුල සිට ගණන් ගත් විට මීන රාශියට අයත් වන්නේ අහසේ අංශක 330-360 අතර කොටසයි.

ඉර තවමත් මීන රාශියේ ගමන් කළත් මේ වන විට එහි අවසන් කොටසට පැමිණ සිටී. ඉර ආසන්න වශයෙන් දිනකට එක් අංශකයක් ගමන් කරන අතර දින දෙකකින් මේෂ රාශියට සම්ප්‍රාප්ත වීමට නියමිත නිසා මේ වන විට ඉන්නේ 358වන අංශකයේ හෙවත් මීන රාශියේ 28 වන අංශකයේය.

මේ දවස් වල සිකුරු ග්‍රහයා සිටින්නේද මීන රාශියේය. එහෙත්, මීන රාශියේ මුලම හරියේ දෙවන අංශකයේය. එනම්, ඉරට අංශක 26ක් දුරින් 332 අංශකයේය. පළමු ඡායාරූපය ගත්තේ ඉර උදාවීමට මිනිත්තු 20කට පෙර හෙවත් ඉර නැගෙනහිර ක්ෂිතිජයෙන් මතුවීමට අංශක 5ක් තිබියදීය. ඒ අනුව, මේ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජයේ තිබුණේ 353 වන අංශකය හෙවත් මීන රාශියේ 23 වන අංශකයයි.

මීන රාශියේ 28වන අංශකයේ සිටි ඉර මේ වන විටද තිබුණේ ක්ෂිතිජයට පහළින් වුවත්, මීන රාශියේ දෙවන අංශකයේ සිටි සිකුරු ඒ වන විට නැගෙනහිර ක්ෂිතිජයෙහි අංශක 21ක් ගමන් කර අවසන්ය. ඒ අනුව, පළමු ඡායාරූපයේ සිකුරු ග්‍රහයා දක්නට ලැබෙන්නේ නැගෙනහිර ක්ෂිතිජයේ සිට අංශක 21ක් ඉහළිනි.

මේ ඡායාරූපය ගෙන ආපසු හැරෙන විට දකින්නට ලැබුණු අනෙක් මනහර දසුන බටහිර ක්ෂිතිජයෙහි ගිලී යන්නට පෙර අහසේ බැබළෙමින් සිටි පූර්ණ චන්ද්‍රයාය. ඊයේ බක් පුර පසළොස්වක දිනයයි. පුර පසළොස්වක දින හඳ තිබෙන්නේ පොළොවෙන් ඉරට ප්‍රතිවිරුද්ධ පැත්තේය. එනම් ආසන්න වශයෙන් අංශක 180ක දුරිනි. 




ආසන්න ලෙස වසරක් තුළ නක්ෂත්‍ර තාරකා හරහා වටයක් සම්පූර්ණ කරන ඉර දවසකට ගමන් කරන්නේ එක් අංශකයක් වුවත්, මසකට පමණ වරක් වටයක් සම්පූර්ණ කරන හඳ දිනකට අංශක 12කට මඳක් වැඩියෙන් ගමන් කරයි. ඊයේ 180 වැනි අංශකය අවසානයේ දැකිය හැකි වූ හඳ අද පෙනෙන්නේ 193 වන අංශකය එල්ලේය. මෙය හත්වන රාශිය වන තුලා රාශියේ 23 වන අංශකයයි.

මෙහි දෙවන ඡායාරූපය ගත්තේද පළමු ඡායාරූපය ගත් වහාම, උදේ 6.50ට පමණය. ඒ වෙලාවේ නැගෙනහිර ක්ෂිතිජයේ තිබුණේ 353 වන අංශකය හෙවත් මීන රාශියේ 23 වන අංශකයයි. ඒ නිසා බටහිර ක්ෂිතිජයේ තිබුණේ එයට ප්‍රතිවිරුද්ධ 173 වන අංශකය හෙවත් හයවන රාශිය වන කන්‍යා රාශියේ 23 වන අංශකයයි. ඒ නිසා, 193 වන අංශකයේ වූ හඳ තිබෙන්නේ බටහිර ක්ෂිතිජයට අංශක 20ක් ඉහළිනි.

ඡායාරූප ගන්නා වෙලාවේ සිකුරු ග්‍රහයා හා හඳ අහසේ දෙපැත්තේ ආසන්නව සමාන ඉහළකින් පෙනුණේ සිකුරු ග්‍රහයා නැගෙනහිර ක්ෂිතිජයේ අංශක 21ක් ඉහළිනුත්, හඳ බටහිර ක්ෂිතිජයේ අංශක 20ක් ඉහළිනුත් පැවති නිසාය. හඳ හා සිකුරු අතර අංශක 139ක කෝණයද මේ වෙලාවේ ඉතා පැහැදිලිව නිරීක්ෂණය කළ හැකි විය. මේ කෝණය එළෙසම පැවතෙද්දී, සිකුරු ග්‍රහයා ක්‍රමයෙන් නැගෙනහිර අහසේ ඉහළට නැඟීමත්, හඳ බටහිරින් බැස යාමත් ඡායාරූපය ගැනීමෙන් පසුව නිරීක්ෂණය කළ හැකි වුවත්, ඉර උදාව ආසන්න වෙද්දී ඉර එළිය හේතුවෙන් සිකුරු ග්‍රහයා නොපෙනී ගියේය.

හරියටම උදේ 7.10ට ඉර උදාව සිදු වූ අතර තෙවන ඡායාරූපය ගත්තේ ඒ මොහොතේය.




උදෑසන ව්‍යායාම පිණිස හෝ වෙනත් කටයුත්තක් සඳහා ඇවිදින්නට යන අයෙකුට අහස නිරීක්ෂණය කිරීම නරක විනෝදාංශයක් නොවේ. මෙය ලෝකයේ පැරණිම විනෝදාංශයක් ලෙසද සැලකිය හැකිය. මේ දවස්වල අනෙකුත් ග්‍රහයින්ද නිරීක්ෂණය කිරීම එතරම් අමාරු නැති අතර, විශේෂයෙන්ම බ්‍රහස්පති හා සෙනසුරු ග්‍රහයින් ඉර බැස යාමෙන් පසුව හඳ ආසන්නව දකින්නට පුළුවන.


පසු එකතු කිරීම:

අද අපේ ඉර බැස්සේ පස්වරු 8.20ටය. අද උදේ 358 වන අංශකයේ වූ ඉර බටහිර ක්ෂිතිජයෙන් බැස යන විට නැගෙනහිර ක්ෂිතිජයෙහි ඇත්තේ 178 අංශකයයි. ඉර බැස පැයකට පසු මා අහස නිරීක්ෂණය කරන විට තවත් අංශක 17කින් පමණ රාශි චක්‍රය භ්‍රමණය වී ඇති නිසා නැගෙනහිර ක්ෂිතිජයේ ඇත්තේ 195 අංශකය හෙවත් තුලා රාශියේ මැදයි. බටහිර ක්ෂිතිජයෙහි ඇත්තේ 15 අංශකය හෙවත් මේෂ රාශියේ මැදයි.

මේ දිනවල කන්‍යා රාශියේ 23 වන අංශකයේ හෙවත් මේෂ රාශියේ මුල සිට 173වන අංශකයේ සිටින බ්‍රහස්පති ග්‍රහයා නැගෙනහිර ක්ෂිතිජයේ සිට අංශක 22ක් ඉහළින් ඉතා පැහැදිලිව දැකිය හැකිය. වෘෂභ රාශියේ මුල, 30 වන අංශකයේ සිටින අඟහරු ග්‍රහයාද බටහිර ක්ෂිතිජයේ අංශක 15ක් ඉහළින් රතු පැහැයෙන් දැකිය හැකිය. පියවි ඇසින් ඉතා පැහැදිලිව  හැකි වුවත් මගේ කැමරාව එතරම් හොඳ එකක් නොවන නිසා මේ ග්‍රහයින් දෙදෙනා ඡායාරූප වල පැහැදිලිව සටහන් වී නැත.

මීන රාශියේ හා මේෂ රාශියේ ඡායාරූප ගැනීමට බලාපොරොත්තු වුවත් පසළොස්වක පෝය අවසන් වුනා පමණක් නිසා අහසේ තරු රටා බොහොමයක් පැහැදිලිව දර්ශනය නොවේ.

ඔබ මේ ගැන උනන්දුවක් දක්වනවානම් හෙට දිනයේද ඉර පායන්නට ආසන්නව නැගෙනහිර ක්ෂිතිජයෙන් තරමක් ඉහළින් සිකුරු ග්‍රහයාද, ඉර බැස ගොස් පැයකට පමණ පසුව නැගෙනහිර ක්ෂිතිජයෙන් තරමක් ඉහළින් බ්‍රහස්පති ග්‍රහයාද, බටහිර ක්ෂිතිජය ආසන්නව රතු පැහැයෙන් අඟහරු ග්‍රහයාද දැක ගන්නට පුළුවන් වනු ඇත. තාරකා මෙන් නිවී නිවී නොදැල්වෙන බැවින් හා ප්‍රමාණයෙන් සාමාන්‍ය තාරකාවකට වඩා විශාල නිසා (පොළොවට පෙනෙන පරිදි) මේ ග්‍රහයින් පහසුවෙන් හඳුනාගත හැකිය. අඟහරු ග්‍රහයා ප්‍රමාණයෙන් විශාල නොවූවත් එහි වෙනස් පැහැය නිසා හඳුනාගත හැකිය. 



දෙවන පසු එකතු කිරීම:

අද උදේ ඉර උදාව ආසන්නව 193 අංශකයේ තිබුණු හඳ පැය 16කට පමණ පසුව ඉහත ඡායාරූපය ගන්නා විට 200 වන අංශකයට පැමිණ ඇත. ඉර බැස ගොස් දෙපැයක් ගෙවී ඇති බැවින් දැන් නැගෙනහිර ක්ෂිතිජයේ ඇත්තේ 208 වන අංශකයයි. ඒ අනුව, නැගෙනහිර ක්ෂිතිජයට අංශක 8ක් පමණ ඉහළින් හඳ දර්ශනය වේ. මේ වන විට බ්‍රහස්පති ග්‍රහයා දැකිය හැක්කේ අංශක 35ක් ඉහළිනි. ඡායාරූපයේ පැහැදිලිව සටහන් වී නැත. තවත් දෙපැයක් පමණ බලා සිටියහොත් සෙනසුරු ග්‍රහයාද දැකගන්නට පුළුවන් විය හැකිය.

Monday, April 10, 2017

වරාය සමඟ ඉඩම් තොගයක්!

පෙර ලිපියෙන් කතා කළ පරිදි, ඇමරිකා එක්සත් ජනපදය භූමි ප්‍රමාණය අනුව ලෝකයේ පස්වන විශාලතම රට නොවී තෙවන විශාලතම රට වන්නේ 1867 වසරේදී අක්කරය ඩොලර් සත දෙකකටත් අඩුවෙන් ඇලස්කාව මිල දී ගැනීම හේතුවෙනි. රුසියාවෙන් ඇලස්කාව මිල දී ගැනීම ඇමරිකාව විසින් සිදු කළ මේ ආකාරයේ පළමු හෝ එකම ගනුදෙනුව නොවේ.

ඇමරිකා එක්සත් ජනපදය අද වන විට දැකිය හැකි විශාල රට බවට පත් වීමේදී ඇලස්කාව මිලදී ගැනීමට වඩා බොහෝ වැඩි බලපෑමක් සිදුවුණේ 1803 වසරේදී ප්‍රංශයෙන් ලුවිසියානා බිම් පෙදෙස් මිලදී ගැනීමයි. අක්කරයක් ඩොලර් සත තුනකටත් අඩුවෙන් ලංකාව මෙන් 33 ගුණයක් විශාල මේ බිම් පෙදෙස මිල දී ගැනීමට ඇමරිකාව ප්‍රංශයට ඩොලර් මිලියන 15ක් ගෙවුවේය.

මේ මිල අද වටිනාකම අනුව ඩොලර් මිලියන 309ක් පමණ වන අතර ඒ අනුව එක් අක්කරයක් වෙනුවෙන් අද වටිනාකම අනුව ඇමරිකන් සත 58ක් පමණ ගෙවා තිබේ. මේ අනුව, ලුවිසියානා ගනුදෙනුවේදී අක්කරයකට ගෙවා ඇති මිල ඇලස්කාවේ අක්කරයට ගෙවා ඇති මිල මෙන් දෙගුණයක් පමණ වේ. මේ මිලදී ගැනීම නිසා එවකට ඇමරිකාව සතු වූ භූමි ප්‍රමාණය දෙගුණ විය.

ලුවිසියානා ගනුදෙනුව නිසා ඇමරිකාව සතු වූ බිම් පෙදෙස් අද ඇමරිකාවේ ප්‍රාන්ත 15ක හා කැනඩාවේ පළාත් දෙකක විසිරී තිබේ. මේ ගනුදෙනුව මේ ආකාරයෙන් සිදුවීම ඇමරිකාව බලාපොරොත්තු නොවූ, හදිසියේ ලැබුණු වාසියකි.

දාහත්වන සියවසේ අවසානයේ සිට දහඅට වන සියවසේ මැද දක්වා මිසිසිපි නදියේ දෙපස විශාල ප්‍රදේශයක පැතිරුණු වත්මන් ඇමරිකා එක්සත් ජනපදයේ හා කැනඩාවේ විශාල ප්‍රදේශයක් පැවතියේ ප්‍රංශයේ අණසක යටතේය. ඒ වන විට උතුරු ඇමරිකාවේ ප්‍රධානම යුරෝපීය බලය වූයේ ප්‍රංශයයි. මේ බිම්
පෙදෙස ප්‍රංශයේ ලුවී රජු නමින් ලුවිසියානා ලෙස නම් කෙරී තිබුණේය.

බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ඇතුළු රටවල් ගණනාවක් අතර සිදුවුණු හත් අවුරුදු යුද්ධය නිමා කරමින් 1763දී අත්සන් කෙරුණු පැරිස් සම්මුතියේ ප්‍රතිඵලයක් ලෙස කැනඩාවේ හා මිසිසිපි නදියෙන් නැගෙනහිර බිම් පෙදෙස් බ්‍රිතාන්‍යයටත්, මිසිසිපි නදියෙන් බටහිර බිම් පෙදෙස් හා නිව් ඕර්ලියන්ස් නගරය ස්පාඤඤයටත් අයිති විය. ඇමරිකාවේ මුල් ජනපද බ්‍රිතාන්‍යයෙන් නිදහස් වෙද්දී මිසිසිපි නදියෙන් නැගෙනහිර කොටස් බොහොමයක් ඇමරිකාව සතු විය. මිසිසිපි නදිය භාවිතා කර නිදහසේ භාණ්ඩ ප්‍රවාහනය කිරීමට ඇති හැකියාව මෙන්ම එවකට ස්පාඤඤය සතු වූ නිවු ඕර්ලියන්ස් වරාය ඇමරිකාවේ වර්ධනය වෙමින් පැවති වෙළඳ කටයුතු සඳහා ඉතාම වැදගත් විය. මේ වරාය භාවිතා කිරීම අදාළව ඒ වන විටද ප්‍රශ්න මතුවී තිබුණි.

ප්‍රංශ විප්ලවය අවසානය වී 1799දී නැපෝලියන් බලයට පත් වීමෙන් පසුව ස්පාඤඤය හා ප්‍රංශය අතර රහසිගතව අත්සන් කෙරුණු සැන් ඉල්දෙෆොන්සෝ සම්මුතිය අනුව ලුවිසියානා බිම්පෙදෙස් නැවතත් ප්‍රංශය සතු විය. උතුරු ඇමරිකානු භූමිය තුළ නැවතත් ප්‍රංශ බලය ගොඩනැඟීමට නැපෝලියන්ට වූ අපේක්ෂාවන් හා විභවය ඇමරිකාව කනස්සල්ලට පත් කළේය.

ඩොලර් මිලියන දහයක මුදලකට නිවු ඕර්ලියන්ස් නගරය හා උතුරු ෆ්ලොරීඩාවේ ප්‍රංශය සතුවූ බිම් පෙදෙස් මිල දී ගැනීම සඳහා උත්සාහයක් දැරීමට ඇමරිකන් ජනාධිපති තෝමස් ජෙෆර්සන් විසින් (පසුව ඇමරිකන් ජනාධිපති ධුරයට පත් වූ) ජේම්ස් මොන්රෝව ප්‍රංශයට පිටත් කර හැරියේය. මේ වන විට සෙන්ට් ඩොමිනික්හි (වත්මන් හයිටි) පැවති කැරැල්ල මර්දනය කිරීමට අසමත්ව උතුරු ඇමරිකාවේ සිය බලය නැවත ගොඩ නැඟීම පිළිබඳ වූ ප්‍රංශයේ අපේක්ෂා බිඳ වැටී තිබුණේය.

නිවු ඕර්ලියන්ස් නගරය විකිණීමට ප්‍රංශය එකඟ වනු ඇතැයි ඇමරිකාව විශ්වාසයෙන් නොසිටි අතර, අදාළ හෙට්ටු කිරීම් සාර්ථක නොවීනම් ගත යුතු ද්වීතියික ක්‍රියාමාර්ගය ලෙස මේ වන විට ඇමරිකාවේ දිගුකාලීන මිතුරෙකු වූ ප්‍රංශය අතහැර  බ්‍රිතාන්‍යය සමඟ සන්ධානයකට යාම ගැන පවා තීරණය කර තිබුණේය.

කෙසේවුවද, සිදුවුණේ බලාපොරොත්තු නොවූ දෙයකි. ප්‍රංශය මිලියන පහළොවක මුදලකට ඔවුන් සතුව පැවති මුළු ලුවිසියානා බිම්පෙදෙසම ඇමරිකාවට විකිණීමට ඉදිරිපත් විය. ජේම්ස් මොන්රෝව යවා තිබුණේ නිවු ඕර්ලියන්ස් ආශ්‍රිත සාපේක්ෂව කුඩා බිම් පෙදෙසක් මිලදී ගැනීමට පමණක් වුවත්, අදහාගත නොහැකි තරම් වාසිදායක මේ ගනුදෙනුව ගැන නැපෝලියන්ගේ අදහස් වෙනස් වෙන්නට පෙර එය ඉක්මණින්ම අහවර කෙරුණේය.

බ්‍රිතාන්‍යය ආක්‍රමණය කර යටත් කරගැනීමේ අරමුණින් විශාල හමුදාවක් හැදීමට හා පුහුණු කිරීමට නැපෝලියන් විසින් මේ මුදල වියදම් කළත් ඒ ආක්‍රමණය කිසිදා සිදුවුණේ නැත. ඇමරිකාවට ඉතා වාසිදායක මිලකට විශාල බිම් පෙදෙසක් ලැබුණත් ප්‍රායෝගිකව ඇමරිකාවට ලැබුණේ ප්‍රංශය සතු වූ 'නිරවුල්' ඉඩමක් නොවේ.

ඉතා සුළු පෙදෙසක ජනපද පිහිටුවාගෙන සිටි යුරෝපීයයන්ගෙන් බදු අයකර ගැනීමේ අයිතිය ඇමරිකාවට ලැබුණත්, ඉතිරි බිම් පෙදෙස් ස්වදේශීය ඉන්දියානුවන් සමඟ සම්මුතියෙන් හෝ බලහත්කාරය යොදවා අයිතිකර ගත යුතු විය. මේ බොහෝ බිම්පෙදෙස් ප්‍රංශයෙන් මිලදී ගැනීමෙන් අනතුරුව, අයිතිවාසිකම් කී ස්වදේශීය ඉන්දියානු ගෝත්‍ර එකකින් හෝ ඇතැම් විට වැඩි ගණනකින් ඇමරිකාවට නැවත නැවතත් මිලදී ගැනීමට සිදුවී තිබේ.


කොහොම වුණත්, නිවු ඕර්ලියන්ස් වරායේ වටිනාකම සලකා එය මිලදී ගැනීමට සැලසුම් කළ ඇමරිකාවට අන්තිමේදී අර කළුහාමිගේ කතාවේදී මෙන් වරායට අමතරව අක්කර මිලියන 530ක්ද ඉතා අඩු මිලකට මිලදී ප්‍රංශයෙන් ගන්නට හැකි වෙද්දී ප්‍රංශය විසින් මේ ඉඩම් විකුණා ලබාගත් මුදල් නිකරුණේ නාස්ති කර දැම්මේය.
There was an error in this gadget