Thursday, November 16, 2017

ආහාර නාස්තිය අඩුකර කුසගිණි නිවිය හැකිද?



දිවා ආහාරය ගන්නා වෙලාවට මා සිටින්නේ සේවා ආයතනයේනම් මට ඒ සඳහා යා හැකි තැන් කිහිපයක් තිබේ. මේ එක් තැනක් අපේ ආයතනයෙන්ම නඩත්තු කෙරෙන, බුෆේ ක්‍රමයට ආහාර ලබා ගත හැකි තැනකි. ආහාර ගෙන අවසන් වීමෙන් පසු පිඟන්, කෝප්ප, හැඳි, ගෑරුප්පු ආදිය කැරකෙන රාක්කයක තැබීම සඳහා කවුළුවක් පැත්තක තිබේ. එතැනින් ඒවා දීසි හෝදන යන්ත්‍රයකට යනවා විය යුතුය. එසේනම් ඊට පෙර පිඟන් වල ඇති ඉතිරි වූ ආහාර ඉවත් කෙරෙන ක්‍රමයක්ද තිබෙනවා විය යුතුය. මේ කටයුත්ත මුළුමනින්ම ස්වයංක්‍රීයව සිදු නොවනවා වන්නටද පුළුවන.

පසුගිය සතියේ දිනෙක දිවා ආහාරය ගෙන පිඟන් ආදී අඩුම කුඩුම ටික මේ රාක්කයේ තබන්නට යන විට දකින්නට ලැබුණේ අතරමඟ මේසයක් තබාගෙන ඉඳුල් පිඟන් කෝප්ප එකතු කරමින් සිටි දෙතුන් දෙනෙකි. මේ අය රාක්කයේ තබන්නට පෙර කෑම ගෙන අවසන් වූ පිඟන් ඉල්ලාගෙන ඒවායේ වූ ඉතිරි කෑම භාජනයකට එකතු කරමින් සිටියහ. ඒ පොලිස් කොත්තු හදන්නට නොවේ. ආහාර නාස්තිය පිළිබඳ සමීක්ෂණයක කොටසක් වශයෙනි. ඔවුහු මෙසේ එකතු කරගත් ආහාර කැබලි කිරා බලමින් අතේ වූ ඉලෙක්ට්‍රොනික උපකරණයක් මඟින් පැත්තක වූ ඉලෙක්ට්‍රොනික පුවරුවක එදින ඒ වන විට ඉවත දමා තිබුණු ආහාර රාත්තල් ගණන යාවත්කාලීන කරමින් සිටියහ.

සතිය පුරාම මේ කටයුත්ත මෙසේ සිදු වූ අතර නාස්ති වන ආහාර ප්‍රමාණය ඉලෙක්ට්‍රොනික තිරයෙහි දකින්නට ලැබෙන විට බොහෝ දෙනෙකුට අවශ්‍ය පමණට වඩා ආහාර බෙදා නොගන්නට පෙළඹීමක් ඇති වූවා නිසැකය. (ඉකොනොමැට්ටානම් කොහොමටත් පිඟානේ ඇති කරපිංචා කොළයක්වත් ලේසියකට ඉතිරි කරන්නේ නැත.)

ඇමරිකාවේ ඉතා විශාල ආහාර නාස්තියක් සිදු වේ. 2010 වසරේ ඇස්තමේන්තු අනුව වසර තුළ එක් අයෙකු විසින් නාස්ති කර ඇති ආහාර ප්‍රමාණය සාමාන්‍ය වශයෙන් රාත්තල් 218.9කි. රාත්තල් බිලියන 133ක් වන මේ ආහාර ප්‍රමාණයේ මුළු වටිනාකම ඩොලර් බිලියන 161.6ක් වන අතර නිෂ්පාදනය කරන මුළු ආහාර ප්‍රමාණයෙන් 31%කි. 2030 වසර වන විට මෙසේ නාස්ති වන ආහාර ප්‍රමාණය 50%කින් අඩු කර ගැනීම ඇමරිකාවේ ජාතික ඉලක්කයකි.

ලංකාව ඇතුළු ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් වල පමණක් නොව ඇමරිකාවේද ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්න ඇති විශාල පිරිසක් ජීවත් වෙති. ආහාර ප්‍රශ්නය අපේ කාලයේදී හෝ ඊට පෙර ලංකාවේ ඉපදුණු බොහෝ දෙනෙකුට නොතේරෙන දෙයක් නොවූවත්, අපේ දරුවන්ට මෙහි බරක් පතලක් හරියටම නොතේරේ. ඒ නිසා, ආහාර පරිභෝජනය නොකර ඉවත දමන විට අපට දැනෙන වරදකාරී හැඟීම ඔවුන්ට නොදැනේ. ඇමරිකාවේ බොහෝ දෙනෙකුගේ තත්ත්වයද එසේම වන්නට පුළුවන.

ඇතැම් අය කියන්නේ මේ ආහාර නාස්තියට හේතුව ඇමරිකානු රජය විසින් බදු මුදල් යොදවමින් ආහාර නිෂ්පාදනය සුබ සාධනය කිරීම හා ඒ හේතුවෙන් මිල නියම මට්ටමට වඩා අඩුවෙන් පැවතීම බවයි. එහෙත්, ඒ තර්කය නිවැරදියැයි මා සිතන්නේ නැත.

ඇමරිකාවේ වසරකට ඩොලර් බිලියන 25ක පමණ මුදලක් කෘෂිකාර්මික නිෂ්පාදන සුබසාධනය පිණිස වැය කරන නමුත් ඒ මුදල් මුළුමනින්ම වාගේ වැය කෙරෙන්නේ මහා පරිමාණයෙන් වගා කෙරෙන ඉරිඟු, තිරිඟු, සෝයා බෝංචි, හාල් සහ කපු වෙනුවෙනි. එහෙත්, නාස්ති වන ආහාර වැඩි ප්‍රමාණයක් මේවා නොවේ. එමෙන්ම, මේ අරමුදල් බොහෝ විට වැය කෙරෙන්නේද මිල ස්ථාවරව තබා ගැනීමේ අරමුණින් මිස මිල අඩු කිරීමේ අරමුණින් නොවේ.

පාරිභෝගිකයින් විසින් මිල දී ගැනීමෙන් පසු ආහාර නාස්ති කිරීමට මනෝවිද්‍යාත්මක සාධකයක්ද හේතු වේ. ආහාර හිඟයක් යනු ඕනෑම මිනිසෙකුට විශාල ලෙස බිය ගෙන දෙන කරුණකි. එයට පරිණාමික හේතු තිබේ. ඒ නිසා, යම් ප්‍රමාණයක් ඉවත දමන්නට සිදු වුවත්, ආහාර ප්‍රමාණවත් නොවීමේ අවදානම ගැන සිතමින් යටි හිතේ ඇති ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ පරිණාමික බිය පහවන තුරු ආහාර තමා සතුව තබා ගන්නට බොහෝ මිනිස්සු පෙළඹෙති.

මෙහි ප්‍රතිඵලය වන්නේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර තමන් සන්තකයේ තබා ගැනීමට පෙළඹීමක් ඇති වීම හා ඒ හේතුවෙන් ආහාර සඳහා පරිභෝජන අවශ්‍යතාවය ඉක්මවන ඉල්ලුමක් ඇති වීමයි. ඒ ඉල්ලුම සැපයෙන තරමට ආහාර නිෂ්පාදනය වන අතර මේ නිසා ආහාර නාස්තියේ අවසාන ප්‍රතිඵලය වන්නේ පරිභෝජනයට අවශ්‍ය පමණට වඩා ආහාර නිෂ්පාදනය වීමයි. එය ආහාර මිල අඩු වීමටද හේතු වනවා වන්නට පුළුවන.

ලෝකය පුරා සාගින්නෙන් පෙළෙන විශාල පිරිසක් සිටිති. කුසට අහරක් නැතිව හාමතේ මියයන අය මෙන්ම පවුල් පිටින් සිය දිවි නසා ගන්නා අවස්ථාද තිබේ. මෙය ප්‍රශ්නයකි.

ලෝකය පුරා විශාල පිරිසක් මෙසේ සාගින්නෙන් පෙළෙද්දී තවත් විශාල පිරිසක් ආහාර නාස්ති කරති. මෙයද ප්‍රශ්නයකි.

කෙසේවුවත්, පිරිසක් විසින් ආහාර නාස්ති කිරීම හා තවත් පිරිසක් සාගින්නෙන් පෙළීම වෙනස් ප්‍රශ්න දෙකක් මිස එකම ප්‍රශ්නයේම කොන් දෙකක් නොවේ. වෙනත් අයුරකින් කියනවානම්, ඉහත විස්තර කළ ආහාර නාස්තිය අඩු කළා කියා ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්නයට මුහුණ දී සිටින අයට යහපතක් සැළසෙන්නේ නැත.

වෛද්‍ය රුවන් එම් ජයතුංග විසින් මෑතකදී සිදුකළ කියුබානු සංචාරයක් අළලා ඔහු විසින් ලියා ඇති ලිපියක කොටසක් මෙසේය

"සංචාරකයන්ට හෝටල් වල ආහාර හිඟයක් නැත​. එහෙත් අප හෝටල් වලදී   සොසේජස්, කුකුල් මස්, හරක් මස්, රිබ්ස්, චීස්, යන ආහාර යහමින් කන විට කියුබානු වේටර් වරුන් සහ වේටර්වරියන් ගේ වේදනාකාරී දෙනෙත් මා දුටුවෙමි. තවද ආහාර බොහෝ සෙයින් බෙදා ගෙන නොකා ඉවත දමන සංචාරකයන් පොදුවේ කරන්නේ අපරාධයක් බව මා පසක් කලෙමි. මේ සංචාරකයන් ඉවත දමන බිත්තර , මස් හෝ සොසේජස් පවුලක සතියක සලාකය බව ඔවුන් නොදනිති. මා සමග කතා කල එක් වේටර්වරියක් පැවසුවේ ඇය ජීවත් වන්නේ පස් හැවිරිදි පුතා සහ වියපත් වූ මව සමග බවයි. මවට විශ්‍රාම වැටුපක් ලැබේ. එහෙත් සලාකයට ලැබෙන ආහාර පවුලේ යැපීමට ප්‍රමාණවත් නැත​. මේ නිසා ඇය අසීරුවෙන් හෝ මුදල් සොයාගෙන කළු කඩයෙන් හාල් සහ මස් මිලදී ගෙන ළමයාගේ කුසගිනි නිවන්නීය​."

රුවන්ට මෙන්ම බොහෝ දෙනෙකුට එකවරම දැනෙන්නේ කුස නොපිරුණු කියුබානු වේටර්වරුන් සහ වේටර්වරියන් වේදනාකාරී දෙනෙතින් බලා සිටිද්දී, ආහාර බොහෝ සෙයින් බෙදාගෙන නොකා ඉවත දමන සංචාරකයන් විසින් පොදුවේ කරන්නේ අපරාධයක් බවයි. එහෙත්, ඇත්ත තත්ත්වය එහි අනිත් පැත්තයි. සංචාරකයින් තමන්ට කන්නට හැකි තරම් පමණක් ආහාර බෙදාගෙන ඉතිරිය හෝටලයේ ඉතිරි කළා කියා මේ වේටර්වරුන්ගේ හා වේටර්වරියන්ගේ කුසවල් පිරෙන්නේ නැත. එහෙත්, මේ සංචාරකයින් විසින් ආහාර මිල දී ගෙන නාස්ති කර දමන හැම විටකම හෝටලයේ ආදායම හා ලාභ වැඩි වේ. කියුබාවට විදේශ විණිමය ලැබේ. කියුබානු වේටර්වරුන් සහ වේටර්වරියන්ගේ රැකියා සුරක්ෂිතතාවය හා ඒ හරහා ලැබෙන ආහාර සුරක්ෂිතතාවය ඉහළ ගොස් ඔවුන්ගේ ජීවන තත්ත්වය වඩා යහපත් වේ.

මේ අයුරින්ම මුදල් ගෙවා ආහාර මිල දී ගැනීමෙන් පසු එම ආහාර වලින් කොටසක් කුණු බක්කියට දමන ඇමරිකානුවෙක් ඒ ආහාර වල නිෂ්පාදන පිරිවැය හා සැපයුම් දාමයේ සිටින විවිධ පුද්ගලයින්ගේ හෝ ආයතන වල ලාභ වෙනුවෙන් මුදල් ගෙවා අවසන්ය. ඒ නිසා ආහාර පරිභෝජනය කළත්, නාස්ති කළත් වෙනත් අයෙකුට පාඩුවක් සිදු නොවේ. මෙවැනි පාරිභෝගිකයින් විසින් පරිභෝජනය නොකර ඉවත දමන ආහාර වෙනුවෙන් වැය කරන මුදල යනු අවශ්‍ය වූ විට අවශ්‍ය ආහාර ළඟ නොතිබීම නිසා දැනෙන ආහාර සුරක්ෂිතතා අවදානම අඩු කර ගැනීම වෙනුවෙන් ගෙවන මිලකි.

මේ අයුරින්ම, සැපයුම් දාමයේ අවසන් අදියර වන පාරිභෝගිකයින් වෙත පැමිණෙන්නට පෙර සිල්ලර වෙළදසැල් වලදීද ආහාර නාස්ති වේ. එසේ වන්නේ සිල්ලර වෙළඳසැල් වල සාමාන්‍ය ඉල්ලුමට වඩා තොග ගොඩ ගසාගෙන සිටින බැවිනි. සිල්ලර වෙළඳසැල් හිමියන් එසේ කරන්නේ ආහාර මිල දී ගන්නට පාරිභෝගිකයෙකු පැමිණි විට වෙළඳසැලේ භාණ්ඩ නැති වීමේ අවදානම අවම කිරීමටය. අවශ්‍ය ප්‍රමාණයට පමණක් තොග තබා ගත් විට සිදුවන්නේ ඉල්ලුම සුළුවෙන් හෝ වැඩි වූ විට වෙළඳසැලෙහි භාණ්ඩ හිඟයක් ඇති වීමයි. එවැනි වෙළඳසැලක් පාරිභෝගිකයින්ට ආකර්ෂණීය තැනක් නොවේ. පාරිභෝගිකයින්ට අවශ්‍ය වන්නේ අවශ්‍ය වෙලාවට අවශ්‍ය ද්‍රව්‍යය මිලදී ගත හැකි තැනකි.

පාරිභෝගිකයින්ට හිඟයකින් තොරව භාණ්ඩ සැපයීමට යාමේදී සිල්ලර වෙළඳසැලකට සාමාන්‍ය ඉල්ලුමට වඩා තරමක් වැඩියෙන් භාණ්ඩ ගබඩා කරන්නට සිදුවන අතර මේ භාණ්ඩ වලින් කොටසක් විකුණන්නට පෙර කල් ඉකුත් වේ. එසේ නාස්ති වන භාණ්ඩ වල මිලද වක්‍ර ලෙස ගෙවන්නේ පාරිභෝගිකයින් විසිනි. එය ඔවුන් විසින් අවශ්‍ය වෙලාවට අවශ්‍ය දෙය මිල දී ගන්නට තිබීම සහතික කර ගැනීම සඳහා ගෙවන මිලකි.

සිල්ලර වෙළඳසැල් වලදී හා මිලදී ගැනීමෙන් පසු නිවසේදී නාස්ති වන ආහාර සඳහාද පරිභෝගිකයින් විසින් සෘජුව හෝ වක්‍රව මුදල් ගෙවන බැවින් එම ආහාර පරිභෝජනය කළද නොකළද සිදුවන්නේ සමස්ත ඉල්ලුම ඉහළ යාම නිසා නිෂ්පාදනයද ඉහළ යාමයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මිල වෙනස් වන්නේ කෙසේද යන්න තීරණය වන්නේ යොදාගන්නා නිෂ්පාදන තාක්ෂනය මතය. ආහාර නිෂ්පාදනය සඳහා යොදාගන්නා මූලික සම්පත් එතරම්ම සීමාකාරී නොවන ඇමරිකාව වැනි රටක නිෂ්පාදන පරිමාව ඉහළ යන විට නිෂ්පාදන ඒකකයක් සඳහා පිරිවැය පහළ යාමට විශාල ඉඩකඩක් තිබේ. ඒ නිසා, නාස්ති කරන්නට ආහාර මිල දී ගැනීමේ ශුද්ධ ප්‍රතිඵලය මිල අඩුවීම විය හැකිය. ඒ නැතත්, නාස්ති කරන ආහාර වෙනුවෙන් ගෙවන මුදල් තවත් බොහෝ දෙනෙකුගේ ආදායමක් වන නිසා එයින් විශාල පිරිසකගේ කුසගිණි නිවන්නට උදවුවක් වනවා විය හැකිය. එහෙත්, මේ ආහාර නාස්තිය අඩු කිරීමෙන් කාගේවත් කුසවල් පිරෙන්නේ නැත.

කෙසේවුවද, මෙයින් අදහස් කරන්නේ ආහාර නාස්ති කිරීම හොඳ දෙයක් බව හෝ ආහාර සුරක්ෂිතතාවය ප්‍රශ්නයක් නොවන බව නොවේ. මේ දෙක අතර පෙනෙන ආකාරයේ සම්බන්ධයක් නැති බවයි.

ආහාර නාස්ති කිරීමේ ඇති ලොකුම ප්‍රශ්නය කුණු ප්‍රශ්නයයි. මීතොටමුල්ල සිද්ධියෙන් පසුව ඇතැම් අය කිවුවේ "ලංකාවේ මෙහෙම වුනත්, පිටරට වලටනම් කුණු කියන්නේ සම්පතක්" බවයි. එහෙත්, කුණු වලින් වත්පොතේ ඇතැම් අය කියන ආකාරයට ආදායම් ඉපැයිය නොහැකිය. කුණු කියන්නේ කොහොමත් කුණුය.

ප්ලාස්ටික්, ලෝහ, වීදුරු වැනි බොහෝ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කළත් තවමත් ඇමරිකාවේ කුණු වලින් විශාල කොටසක් අවසන් වශයෙන් යන්නේ ලෑන්ඩ්ෆිල් සයිට් වලටය. මෙසේ ලෑන්ඩ්ෆිල් සයිට් වල වලලා දමන කුණු වලින් සැලකිය යුතු කොටසක් ඉවත දැමූ ආහාරයි. මේ හේතුවෙන් මෙන්ම විශාල ලෙස ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය නිසාද සැලකිය යුතු තරමේ පාරිසරික ප්‍රශ්න ඇති වේ. ආහාර නාස්තියේ ඇති ලොකුම ප්‍රශ්නය මේ පාරිසරික ප්‍රශ්නයි.

ආහාර නාස්ති වනු දැක බලා සිටින්නට බැරිකම පෞද්ගලිකව මටද තිබෙන ප්‍රශ්නයකි. කුඩා කල සිට රැගෙන ආ මේ පුරුද්දේ ප්‍රතිඵලය වන්නේ කිසියම් ආහාරයකින් සුළු ප්‍රමාණයක් ඉතිරි වී ඇති විට කන්නට ඇත්තටම අවශ්‍ය නැතත්, අහක යන නිසා කා දමන්නට සිතීමයි. එහෙත්, මේ පුරුද්දෙන් නරකක් මිස හොඳක් වන්නේ නැත. එක පැත්තකින් නාස්තිවනවා කියා සිරුරට අවශ්‍ය නොවන කැලරි ප්‍රමාණයක් ඇතුළු කර ගැනීමෙන් සෞඛ්‍යයට නරක බලපෑමක් වේ. අනෙක් පැත්තෙන් මේ අන්තිම ආහාර කොටස කුණු බක්කියට නොදා සිටියා කියා හාමතේ සිටින කිසිවකුට යහපතක් සැලසෙන්නේද නැත. සිදුවන එකම යහපත ලෑන්ඩ්ෆිල් සයිට් එකකට යන කුණු වලින් ටිකක් අඩු වීම පමණි.

සාගින්නෙන් පෙළෙන අය ගැන කණගාටුවක් ඇත්නම් කළ යුත්තේ ආහාර අපතේ යැවීම සීමා කිරීම නොව එවැන්නන් වෙත ආහාර ලැබෙන පරිදි කිසියම් සක්‍රිය මැදිහත්වීමක් කිරීමයි. ඇමරිකාවේ බොහෝ තැන් වල මේ ආකාරයේ ආහාර එකතු කිරීම් සිදු වේ. සුපිරි වෙළඳසැලක එවැන්නක් සිදුවන විට පාරිභෝගිකයෙකුට කිසියම් කල් තබාගත හැකි ආහාර වර්ගයක් හෝ කිහිපයක් තමන්ට අවශ්‍ය අනෙකුත් බඩු සමඟ මිල දී ගෙන පැත්තක තිබෙන පෙට්ටියකට දැමිය හැකිය. එවිට, සුපිරි වෙළඳසැල විසින් මේ ආහාර අවශ්‍ය පුද්ගලයින් වෙත බෙදා හරී. මෙය බොහෝ විට සිදු කරන්නේ ආහාර බැංකුවක් හරහාය. ඇමරිකාවේ බොහෝ ගම් හා නගර වල ක්‍රියාත්මක වන මෙවැනි ආහාර බැංකු පවත්වාගෙන යන්නේ ස්වේචඡා සේවකයින් විසිනි. එවැනි තැනකට යන අයෙකුට අඩුආදායම්ලාභීන්ට රජයෙන් ලබා දෙන ආහාර සලාක ලබා ගන්නා විටකදී මෙන් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාවයක් හෝ නැත.

(Image: https://followgreenliving.com/food-waste-generation-care/)

36 comments:

  1. මේ කොමෙන්ට් එක කලින් පොස්ට් එක ගැන. සොරි.

    මෙන්න සයිටම් වල ශේෂ පත්‍රයට අලුතෙන් එකතු වෙන ඒවා.

    http://www.lankadeepa.lk/main_picture/%E0%B7%83%E0%B6%B8-%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F-%E0%B6%B4%E0%B7%93%E0%B6%A8-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7-%E0%B7%83%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%92%E0%B6%9A-%E0%B6%B4%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80-%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F-%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/11-520375

    මට නම් එක වචනෙන් කියනවා කියන්න තියෙන්නේ "සාදු" කියල තමයි.

    ReplyDelete
    Replies
    1. මේ ගැන මම වැඩි දෙයක් දන්නේනම් නැහැ. හැබැයි මේ වගේ ඉල්ලීමක වැරැද්දක් නැහැ නේද?

      Delete
  2. සමාජවාදී ක්‍රමය කොහොමත් වෙනස්, කස්ටමර්ලා අඩුවෙන් කෑවා/හෝ නාස්තිකල කියා රජයෙන් පාලනය වන හෝටලයක පිරිවැය අඩුවෙන්නේ නෑ, ඒ ආහාර සේවකයන්ගේ ආහාරමාර්ගය හෝ මල්ල තුලින් ඉවතට යැවෙනවා, ඌරු කොටුවලට යැවෙන ඒවායේ ප්‍රතිලාබ එන්නේ හෝටලයේ සේවකයන්ට නොවේ, නියෝග නිකුත් කරන පක්ෂ ලේකම් සභාපති වරුන්ටයි. සේවකයන්ගේ මල්ලෙන් ඉවත ගියොත් තමයි පෞද්ගලික වීදි ආහාර කඩ පවත්වාගෙන යන්න ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. සමාජවාදී ක්‍රමයක් යටතේ එවැනි දේ විය හැකියි.

      Delete
  3. http://home.bt.com/news/odd-news/all-you-can-eat-restaurant-to-fine-diners-for-leftovers-11364135946971

    ReplyDelete
    Replies
    1. This is a good price discrimination strategy. Those who want to waste food can bear its cost while others don't need to contribute.

      Delete
  4. කෑම නාස්තිය හා භුක්ති විදීම සම්බන්ධ චීනුන්ගේ හා ජපනුන්ගේ ක්‍රියාවලියට මම කැමතියි. දැං ලංකාවේ වැඩිපුරම ඉන්නේ චීන්නුද මන්දා. උන් කන්න දෙයක් ගත්තොත් ඉතුරු කරන දෙයක් නෑ. ජපනා නං පොඩි කාලෙ ඉදලම තමන්ට කන්න පුලුවන් ප්‍රමාණය විතරක් ගන්න පුරුදු කරනවා නේ. (බොන්න ගියාම තමයි ප්‍රශ්නේ)

    ReplyDelete
    Replies
    1. අමතක උනා. ලංකාවෙත් කොළඹ වෙන්න ඕන. යම් පුද්ගලයෙක් හිිටියා ඉතිරි වෙන කෑම ගැන පණිවිඩේ දුන්නම ඇවිත් එකතු කරන් ගිහින් අවශය අයට බෙදල දෙන. තාම ඒක කරනවද මන්දා. බොහෝ රටවල් වල මේ සදහා වන සංවිධාන තියෙනවා. ඇමරිකාවෙත් තියෙනවා නේද ඉකෝ අමතර ආහාර ඉවත් කිරීමේ ක්‍රම වේද ගණනාවක්..

      Delete
    2. ඇමරිකාවේ සුපිරි වෙළඳසැල් වල කල් ඉකුත් වෙන්න ආසන්න ආහාර බොහෝ විට ආහාර බැංකු වලට යවනවා. එංගලන්තයේ සුපිරි වෙළඳසැල් වල මා දුටු දෙයක් තමයි මෙවැනි ආහාර ඉතාම සුළු මුදලකට අලෙවි කිරීම. අපත් ඒ දවස් වල පුරුදු වී සිටියා මෙය කරන වෙලාවට ගොස් අඩු මිලට පාන්, පළතුරු ආදිය ගන්න. මෙයින් ඔවුන්ට අන්තිමට වෙන්නේ පාඩුවක්. නමුත්, ඇමරිකාවේ එසේ කරනු මම දැක නැහැ. මිල එසේම පවතිද්දී ආහාර නැති අයට ආහාරත් ලැබෙනවා.

      Delete
  5. "එවැනි තැනකට යන අයෙකුට අඩුආදායම්ලාභීන්ට රජයෙන් ලබා දෙන ආහාර සලාක ලබා ගන්නා විටකදී මෙන් තමන්ගේ අනන්‍යතාවය තහවුරු කිරීමේ අවශ්‍යතාවයක් හෝ නැත."
    මේ වගේ දෙයක් කරගෙන යද්දී ප්‍රායෝගිකව ප්‍රශ්න ඇතිවෙන්නේ නැද්ද?
    අනවශ්‍යය විදිහට බඩු ලබා ගැනීම වගේ

    ReplyDelete
    Replies
    1. කොහේ හෝ ආහාර බැංකුවක පෝලිම් ඇති වූ විට එය නිවුස් එකක්. එයින් අදහස් වන්නේ සාමාන්‍යයෙන් එවැනි පෝලිම් නැති බවයි. නැතිවම බැරි වෙලාවක ඉල්ලගෙන කෑවත් සාමාන්‍යයෙන් ඇමරිකානුවන් අනුන්ගෙන් ඉල්ලාගෙන කන එක ගැන ආඩම්බර වන්නේ නැහැ. ඒ වගේම, අඩු ආදායම්ලාභීන්ට ප්‍රමාණවත් තරමේ ආහාර සහනාධාරයක් රජයෙනුත් ලැබෙනවා. ආහාර බැංකු වල පෝලිම් ඇති වූ විට කවුරු හෝ පිරිසක් එකතු වී ආහාර එකතු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමත් සිදුවෙනවා.

      Delete
  6. කෑම නාස්තියට කෙලින්ම අදාල නැතත් මම නිතර දකින දෙයක් ගැන කියන්න හිතුනා. අපේ සංස්කෘතියේ ලක්‍ෂණයක් නේ ඔය නිකං කෑම දෙන එක , මලගෙවල් බන ගෙවල් සහ මගුල් ගෙවල් වල. ගොඩක් දෙනෙක් විශාල බත් පිඟානක් මුලින්ම බෙදාගන්නවා ඊට පස්සේ මේසේ තියෙන හැම දේම හැන්ද, දෙක ගානේ බෙදාගන්නවා . අන්තිමට බෙදාගත්ත ඒවයින් බාගයක්වත් කන්නේ නෑ!.

    ReplyDelete
    Replies
    1. මෑතක් වන තුරුම ලංකාවේ ගොඩක් දෙනෙක්ට හිතේ හැටියට කන්න අවස්ථාවක් තිබුණේ නැහැ. අහුවුණු වෙලාවට හැකිතරම් කන එක එහි ප්‍රතිඵලයක්. ආදායම් මට්ටම් ඉහළ යාමත් සමඟ මෙය ක්‍රමයෙන් වෙනස් වෙමින් තිබෙනවා. ඇමරිකාවේ අඩු ආදායම්ලාභීන් අතර ස්ථුලතාවය වැඩි වීමටත් මෙය හේතුවක්. මිනිස්සු කියන්නේ ඉතාම මෑතක් වන තුරු, ඉතිහාසය පුරාම වැඩිපුර බඩගින්නේ හිටපු සත්ත්ව වර්ගයක්. පරිණාමයේදී ඉතිරි වී තිබෙන්නේ අහුවුණු වෙලාවට පුළුවන් තරම් කන්න පුරුදු වූ අයගේ දරුවන්. ඒ නිසා මෙය මිනිසුන්ගේ පරිණාමික පුරුද්ද්දක්.

      Delete
  7. /* ඉකොනොමැට්ටානම් කොහොමටත් පිඟානේ ඇති කරපිංචා කොළයක්වත් ලේසියකට ඉතිරි කරන්නේ නැත */

    අක්බාර් එකේ පුරුද්ද ද?

    ReplyDelete
    Replies
    1. මෙයනම් අක්බාර් යුගයටත් වඩා පරණ පුරුද්දක්!

      Delete
  8. මරු! මම එක දෙයක් අහන්න කැමතියි ඉකොනොමැට්ටා. අපි හිතමු අපි ගෙදර වැඩිපුර පෙට්‍රල් තියාගන්නෙ නෑ අවශ්‍ය වෙලාවට කාරෙකට ගහන එක විතරයි කරන්නෙ කියලා. එතකොට මම මාසෙකට පෙට්‍රල් ලීටර් සීයක් පාවිච්චි කරනවා කියමු. පස්සෙ මම තීරණය කරනවා මෑතකදි වුනා වගේ හිඟයක් ආවොත් ගන්න ගෙදර පෙට්‍රල් ලීටර් විසිපහක් ජෙරී කෑන්වල දාලා අරන් තියන්න. දැන් ඒ මාසෙ විතරක් මගෙ ඉල්ලුම ලීටර් එකසිය විසිපහක් වෙනවා කියමු. නමුත් ඉන් පස්සෙ මාසවල මගෙ ඉල්ලුම ආයෙම අර පරණ ලීටර් සීයෙ නියත අගයක් නෙවෙයිද?

    ReplyDelete
    Replies
    1. පිළිතුරනම් ඔව්. නමුත්, ඔබ මෙය ඇහුවේ ඇයි කියන එක මට එතරම් පැහැදිලි නැහැ. මෙය ඇහුවේ ආහාර වලට සම්බන්ධවනම් මෙහි ඇති වෙනස වියලි ආහාර හැර අනෙකුත් ආහාර පෙට්‍රල් මෙන් නොව වඩා ඉක්මණින් නරක් වීමයි. ඒ නිසා, දිගුකාලීනවත් ඉල්ලුම වැඩි විය හැකියි.

      Delete
    2. මම මේක ඇහුවෙ මේකයි ඉකොනොමැට්ටා

      "...බිය පහවන තුරු ආහාර තමා සතුව තබා ගන්නට බොහෝ මිනිස්සු පෙළඹෙති.

      මෙහි ප්‍රතිඵලය වන්නේ පරිභෝජනයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර තමන් සන්තකයේ තබා ගැනීමට පෙළඹීමක් ඇති වීම හා ඒ හේතුවෙන් ආහාර සඳහා පරිභෝජන අවශ්‍යතාවය ඉක්මවන ඉල්ලුමක් ඇති වීමයි. ඒ ඉල්ලුම සැපයෙන තරමට ආහාර නිෂ්පාදනය වන අතර මේ නිසා ආහාර නාස්තියේ අවසාන ප්‍රතිඵලය වන්නේ පරිභෝජනයට අවශ්‍ය පමණට වඩා ආහාර නිෂ්පාදනය වීමයි..."

      මෙන්න මේක තාවකාලික දෙයක් නේද කියලා අහන්නයි පෙට්‍රල් උදාහරණෙ ගත්තෙ. නමුත් මම ඇහුවෙ කෑම ගැන තමයි.

      Delete
    3. ඔබ අහන්න ඇත්තේ මෙය කියා හිතුනා. බොහෝ විට නාස්ති වෙන්නේ කල් තබා ගත නොහැකි අමු ආහාර. පාරිසරික ප්‍රශ්න වලට හේතු වෙන්නෙත් මෙවැනි අමු ආහාර කුණු බක්කි වලට යාමයි. වියලි ආහාර හා අදාළව ඔබ කියන කරුණ බොහෝ දුරට නිවැරදියි.

      Delete
    4. ඔය සෝවියට් දේශයේ වුනා වගේ. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා අහර අරගෙන තියා ගන්නවා. පස්සේ එන එවුන්ට නැහැ.

      Delete
  9. වෙනදා සේම නව දැක්මක් ඇති ලිපියක් . ස්තුතියි

    ReplyDelete
  10. //ඇමරිකාවේ ඉතා විශාල ආහාර නාස්තියක් සිදු වේ. 2010 වසරේ ඇස්තමේන්තු අනුව වසර තුළ එක් අයෙකු විසින් නාස්ති කර ඇති ආහාර ප්‍රමාණය සාමාන්‍ය වශයෙන් රාත්තල් 218.9කි// මම අහලා තියන කතාවක් තමයි (දත්ත නැහැ ඔප්පු කරන්න) ඇමෙරිකාවේ ඉවත දමන ආහාර වලින් අප්‍රිකානු මහාද්වීපයේ කුසගින්න තුරන් කල හැකි බව. ඔබ කියන අදහසට මදක් විරුද්ද්ධයි වගේ එක.
    http://www.bbc.co.uk/news/business-28092034

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අජිත් ඔබේ ලින්ක් වල තිබෙන දේ මම කියන දෙයට විරුද්ධ නැහැ. මේ වගේ ප්‍රශ්න වලට අවධානය යොමු කර ගැනීමේ අදහසින් ලියන ආකාරය නිසා ඇතැම් විට ජනගත වෙන්නේ වෙනත් අදහසක්.

      ඔබේ ලින්ක් එකේ ඇති පරිදි "If the amount of food wasted around the world were reduced by just 25% there would be enough food to feed all the people who are malnourished, according to the UN." මම සංඛ්‍යාලේඛණ පරීක්ෂා කළේ නැතත් මෙය නිවැරදියි කියා හිතනවා. නමුත්, මෙහි තියෙන්නේ සැසඳීමක් පමණයි. මේ වාක්‍යයේ අදහස වන්නේ නාස්ති වන ආහාර ප්‍රමාණය මන්දපෝෂණයෙන් පෙළෙන අයගේ ආහාර අවශ්‍යතාවය මෙන් සිවු ගුණයක් තරම් විශාල බවයි. එසේ වූ පමණින් මේ ආහාර නාස්තිය අඩු වුණා කියා මන්දපෝෂණයෙන් පෙළෙන අයගේ බඩවල් පිරෙන යාන්ත්‍රණයක් කොහෙවත් නැහැ. නමුත් මෙවැනි දේ බොහෝ මාධ්‍ය වල වාර්තාවන්නේ නාස්තිය අඩුවුවහොත් ස්වභාවික ලෙසම මන්දපෝෂණ ප්‍රශ්නය විසඳෙන බව හැඟෙන පරිදියි.

      මේ අයුරින් ඇමරිකාවේ හා යුරෝපයේ නාස්ති වන ආහාර නිෂ්පාදනය වන්නේම නාස්ති කිරීම සඳහා ආහාර මිල දී ගන්නා අය ඉන්න නිසයි. ඔවුන් එසේ ආහාර මිල දී ගෙන නාස්ති නොකළානම් අවශ්‍ය මිල ගෙවන්න කෙනෙක් නැති නිසා මේ ආහාර ප්‍රමාණය නිෂ්පාදනය වෙන්නේ නැහැ. ඒ නිසා ඒ ආහාර වෙන කෙනෙක්ට ලැබෙන්නෙත් නැහැ. ඒ වගේම අප්‍රිකාවේ මන්දපෝෂණයෙන් පෙළෙන අයටත් ආහාර මිලදී ගෙන එයින් කොටසක් නාස්ති කරන්න තරම් මුදල් තිබුණානම් ඒ මුදල් වෙනුවෙන් කවුරු හෝ ආහාර නිෂ්පාදනය කරනවා. (පාරිසරික ප්‍රශ්න වැඩි විය හැකියි)

      මන්දපෝෂණයෙන් පෙළෙන අයගේ ප්‍රශ්නය විසඳෙන්නනම් ආහාර මිල දී ගත හැකි තරමට ඒ අයගේ ආදායම් වැඩි විය යුතුයි. හොඳම හා තිරසාරම විසඳුම එයයි. නැත්නම්, මුදල් ඇති අය ස්වේච්ඡාවෙන් තමන්ගේ මුදල් වැය කර එවැනි අයගේ ආහාර සම්පාදනය කළ යුතුයි. එයත් සිදුවෙනවානම් අවුලක් නැති විසඳුමක්. තෙවන විකල්පය වන්නේ මුදල් ඇති අයගේ මුදල් බලෙන් ගෙන මුදල් නැති අය සුබසාධනය කිරීමයි. එය තිරසාර විසඳුමක් නෙමෙයි. කවර අයුරකින් හෝ මුදල් යොදවන්න කිසිවෙක් නැත්නම් නිෂ්පාදනයක් සිදුවෙන්නේ නැහැ.

      Delete
  11. utting food waste by a quarter would mean enough for everyone, says UN
    https://www.theguardian.com/environment/2015/aug/12/cutting-food-waste-enough-for-everyone-says-un

    ReplyDelete
  12. හැමදාම ඔබ ඉතා මැනවින් අදහස් ගොනුකොට සාරවත් ලිපියක් ඉදිරිපත් කරනවා. ආහාර තමන්ගේ කුසට ප්‍රමාණවත් තරමින් පරිභෝජනය නිසා කෑම කඩයක නම් ඉක්මනින්ම ඉතිරිවන අමුද්‍රව්‍ය ප්‍රමාණය බලාගත හැක. මිනිසුන් 'හාල් සිල්ලර' ගෙදර ගෙනිහින් වන අපතේ යාම් අඩු කරගැනීමේ බලපෑම එකවරටම බලාගත නොහැක. නමුත් ටිකෙන් ටික එය ගණනය කරගත හැක. උයන ප්‍රමාණය විකිණෙන්නෙ නැතිකොට කඩ හිමියා හෙමිහිට තමන් මිළට ගන්නා ප්‍රමාණය අඩු කරයි. මේ විදියට මේ ක්‍රියාවලිය ආපසු හැරවීමෙන් ඉතිරිවන සම්පත් විවිධ සැලසුම් මගින් බඩගින්නේ ඉන්නා අය අඩු කරගැනීමට පාවිච්චිකරන්න පුලුවන් ක්‍රමයක් හදාගන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. මෙවැනි සැලසුම් මධ්‍යගත ලෙස හදන්න උත්සාහ කළ බොහෝ තැන් වල අවසානයේදී සිදු වී තිබෙන්නේ කබලෙන් ලිපට වැටීමක් පමණයි, ඇනෝ. රුවන් විසින් ලියා ඇති කියුබාවේ විස්තරයම උදාහරණයක්. නමුත් පුද්ගලයින්ට මුල් වී ඇතැම් දේ කළ හැකියි. දැන් ඔය මාස ගණනකට පෙර පැමිණි ගංවතුර අවස්ථාව බැලුවත් මෙය ඉතා හොඳින් සිදුවුනානේ.

      Delete
  13. ඔබ කියුබාවේ මන්දපොෂණයක් ඇති ය කියන ප්‍රතිචාරයක් ලැබුන. එය මෙහි නැහැ.
    /කියුබාව වැනි රටක මන්දපෝෂණයෙන් මිදෙන්න තරම්වත් නිෂ්පාදනයක් සිදු නොවන්නේ ඇයි කියන එකයි// මේ කතාවටම මම විරුද්ධ නිසා. කියුබාවේ රුවන් කියන්නේ එයාල කන ඉධිහ වේටර් ල බලන් හිටිය පෙරේත කමින් වගේ කියල. ඔහුට එහෙම කියන්න පුළුවන්. අපි කන දිහා ලංකාවේ වේටර් ලත් බලනවා. ඔවුන් පෙරේත කමින්ද බලන්නේ. ඔය හෝටල් වල වැඩ කරන අයට ඒ කෑම හුඟක් වෙලාවට දෙනවා. සෝවියට් දේශයේ හෝටල් වල රස්සා හොයන්න කැමති ගොඩක් අය හිටිය.
    ඔය රටවල් දෙකම මන්දපෝෂණය තිබුනේ නැහැ. හේතුව සලක ක්‍රමයට පෝලිමේ ඉන්දල් අ හෝ කෑම දුන්න බඩගින්නේ නොහිටින්න. හොඳ කෑම නොවෙන්න පුළුවන්. ඒක ඇත්ත. රුවන් කියන සුඛෝපභෝගී ආහාර නැහැ. මම මේ කියුබන් ක්‍රමය හොඳයි කියනවා නෙවි. අපි විවේචනයක් කරන විට සාධාරණ විය යුතු නිසා.
    https://youthandeldersja.wordpress.com/2015/03/12/unicef-cuba-has-0-child-malnutrition/

    ReplyDelete
    Replies
    1. ප්‍රතිචාරය ලියා ආපසු කියවමින් ඉන්න විට පෝස්ට් වුන නිසා එවෙලේම එය ඩිලීට් කර එඩිටඩ් වර්ෂන් එක දැම්මා. මුල් වර්ෂන් එක ඊමේල් එකට එන්න ඇති. කොහොම වුනත් මේ කොටස ඩිලීට් කළේ කමෙන්ට් එකට ප්‍රතිචාරයක් ලෙස ඕනෑවට වඩා දේ පළ කළ යුතු නැති නිසා මිස වැරදි නිසා නෙමෙයි.

      එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩ සටහනේ වෙබ් අඩවියට අනුව කියුබාවේ ආහාර අවශ්‍යතාවයෙන් 70-80% පමණ ආනයනය කළ යුතුයි. ඒ නිසා, රටේ ජනතාවට මන්දපෝෂණයෙන් මිදෙන්න අවශ්‍ය මූලික කැලරි ප්‍රමාණය ලබාගන්න අවශ්‍ය තරමටවත් ආහාර කියුබාව තුළ නිෂ්පාදනය නොවන බව බොරුවක් නෙමෙයි. රටේ කොටසකට ආහාර මදි වෙන්න හේතුව ඉතිරි අය ඔවුන් නිපදවන දෙය සූරාකෑමනම්, එවැනි සූරාකෑමක් නැති තැනක ආහාර හිඟයක් තියෙන්න විදිහක් නැහැනේ.

      ඒ වගේම එහිම ඇති දත්ත අනුව, කියුබාවේ වසර 2ට අඩු දරුවන්ගෙන් 31.6%කුත්, මාස 6ට අඩු දරුවන්ගෙන් 39.6කුත් රක්තහීනතාවයෙන් පෙළෙනවා. ලින්ක් එක පහතින්.

      http://www1.wfp.org/countries/cuba

      //ඔය රටවල් දෙකම මන්දපෝෂණය තිබුනේ නැහැ.//

      ඔය අජිත් විසින් ලින්ක් එක දමා තිබෙන වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකේ ලියා තිබෙන්නේ "According to the document, the percentage of underweight children in different region of the world are...Cuba has no such problems, it is the only country in Latin America and the Caribbean that has eliminated severe child malnutrition, thanks to government efforts to improve the nutrition of people, especially those most vulnerable." කියා වුවත් ඒ බව සඳහන්යැයි බ්ලොග්කරු කියන යුනිසෙෆ් වාර්තාවේ තියෙන්නේ "Cuba, for example, has reduced its underweight prevalence from 9 per cent to 4 per cent in just four years (1996–2000)." කියලයි. "eliminate" කළානම් 4%ක්වත් තියෙන්න විදිහක් නෑනේ. අජිත් වැනි අය පවා ලින්ක් එක ක්ලික් කර වාර්තාව නොකියවන නිසයි මෙවැනි අය මෙසේ ලියන්නේ. (කොහොම වුණත් 4% මට්ටම කියන්නේ නරක මට්ටමක් නෙමෙයි. මෙය ලතින් ඇමරිකාවේ සාමාන්‍ය අගය වන 7%ට වඩා අඩුයි. ප්‍රශ්නය වන්නේ දිගටම එය ඒ මට්ටමේ තබාගන්න අපහසු වීමයි.)

      ලෝක බැංකු දත්ත අනුව කියුබාවේ මන්දපෝෂණයෙන් පෙළෙන ප්‍රමාණය 5%ක් (https://data.worldbank.org/indicator/SN.ITK.DEFC.ZS?locations=CU) මම දන්නා තරමින් කියුබාවේ 2000න් පසු සංඛ්‍යාලේඛණ නෑ. මම හිතන විදිහට මේ 5% කියන්නේ අවසන් වරට ලබාගත් 2000 ඇස්තමේන්තුවයි. ඉන්පසු වසර 17 තුළ කියුබාවේ ආර්ථිකයේ වෙනස් වුනේ මොන පැත්තටද කියන එක රහසක් නෙමෙයි කියලයි මම හිතන්නේ. කියුබාවේ අලුත් තත්ත්වය මම ඇස් දෙකින් දැක නැති නිසා එසේ දැක ඇති කෙනෙක් කියන දෙයට යම් බරක් තියන්න වෙනවා. රුවන් කියන්නේ ධනවාදය ගැන විශ්වාසය තබන කෙනෙක්වත්, සමාජවාදය මුළුමනින්ම බැහැර කරන කෙනෙක්වත් නෙමෙයි. ඔහු ලියා ඇති හැම දෙයක් සමඟම මම එකඟ වෙන්නේ නැහැ. ඒ වුණත්, රුවන් විසින් ඔහු දුටු දේ හා ඔහුට දැනුණු හැඟීම් නිවැරදිව වාර්තා කර තිබෙනවා කියා මම හිතනවා.

      //ඔය හෝටල් වල වැඩ කරන අයට ඒ කෑම හුඟක් වෙලාවට දෙනවා.//
      එහෙම හිතල කෑම ඉතුරු කළොත් එදාට ඉතිරිවන කෑම සේවකයින්ට ලැබෙයි. නමුත්, මෙය හැමදාම වෙනවනම් හෝටල් පාලකයින් විසින් අනිවාර්යයයෙන්ම උයන කෑම ප්‍රමාණය සීමා කරනවා.

      කියුබාවේ වගේම අනෙක් සමාජවාදී රටවලත් තිබෙන/තිබුණු ප්‍රශ්නය වන්නේ පෞද්ගලික ප්‍රතිලාභ නැති විට බොහෝ දෙනෙක් නිෂ්පාදනය සඳහා දිරිමත් නොවීම නිසා සමස්ත නිෂ්පාදනය අඩු වීමයි. කවුරු හෝ නිපදවන විට බෙදාගන්න ආකාරය ගැන වාද විවාද කළ හැකි වුවත් වතුර පමණක් තිබෙන ආඬි හත් දෙනාගේ කැඳ හැලියක් සමානව බෙදුවා කියා කාටවත් වැඩක් වෙන්නේ නැහැ. හැලියට හාල් දමන්න කවුරු හෝ සිටිය යුතුයි.

      Delete
    2. එහෙනම් ප්‍රශ්නයක් නැහැ.
      /කියුබාවේ වගේම අනෙක් සමාජවාදී රටවලත් තිබෙන/තිබුණු ප්‍රශ්නය වන්නේ පෞද්ගලික ප්‍රතිලාභ නැති විට බොහෝ දෙනෙක් නිෂ්පාදනය සඳහා දිරිමත් නොවීම නිසා සමස්ත නිෂ්පාදනය අඩු වීමයි// ඔව් එක ඇත්ත.එක මම අත්දුටු දෙයක් රුසියාවේදී. මම ට්‍රේනින් වලට ගිය කම්හල් වල කම්කරුවන් වැඩිය වැඩ කලේ නැත්තේ ලාභය යන්නේ පක්ෂ නිලධාරීන්ට කියල. කියුබාවේ දැන් තත්වය ටිකක් අමාරු ඇති කියල මමත් හිතනවා. කියුබාවේ GDP එක ඩොලර් බිලියන් 87.13 2015 දී ගුගල් , ලංකාවේ 81.32 ඩොලර් බිලියන්. නිදහස් සෞඛ්‍ය සේවා රටවල් දෙකේම තියනවා. ආහාර සලාක ක්‍රමයට උනත් උන් අල හරි කනවා. සෝවියට් දේශයේ මම දැක්කෙත් ඒක. ප්‍රශ්නේ ඉතින් එහෙම සිස්ටම් එක්ක ඉන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක.

      Delete
  14. ජා ඇල පැත්තේ ඉස්සර වැඩ කරද්දී මං දැක්කා කෑම කඩවල ඉතිරි කෑම එකතුකරන පිරිස්..ඒ අය ඒ කෑම ඌරන්ට දෙනෝ.. මේ පොලිතින් පාවිච්චිය නිසා ඉවතලන කෑම සතෙක්ටවත් කන්න අමාරුයි ..කෑම වෙනමම ඉවතලනවනම් ඌරන්ට යොමු කිරීම හෝ පෝර හදන්න දානෙක ලේසී..

    ReplyDelete
  15. "සංචාරකයන්ට හෝටල් වල ආහාර හිඟයක් නැත​. එහෙත් අප හෝටල් වලදී සොසේජස්, කුකුල් මස්, හරක් මස්, රිබ්ස්, චීස්, යන ආහාර යහමින් කන විට කියුබානු වේටර් වරුන් සහ වේටර්වරියන් ගේ වේදනාකාරී දෙනෙත් මා දුටුවෙමි. තවද ආහාර බොහෝ සෙයින් බෙදා ගෙන නොකා ඉවත දමන සංචාරකයන් පොදුවේ කරන්නේ අපරාධයක් බව මා පසක් කලෙමි. මේ සංචාරකයන් ඉවත දමන බිත්තර , මස් හෝ සොසේජස් පවුලක සතියක සලාකය බව ඔවුන් නොදනිති. මා සමග කතා කල එක් වේටර්වරියක් පැවසුවේ ඇය ජීවත් වන්නේ පස් හැවිරිදි පුතා සහ වියපත් වූ මව සමග බවයි. මවට විශ්‍රාම වැටුපක් ලැබේ. එහෙත් සලාකයට ලැබෙන ආහාර පවුලේ යැපීමට ප්‍රමාණවත් නැත​. මේ නිසා ඇය අසීරුවෙන් හෝ මුදල් සොයාගෙන කළු කඩයෙන් හාල් සහ මස් මිලදී ගෙන ළමයාගේ කුසගිනි නිවන්නීය​."

    මේ මොංගල් මැන්ටල් දොස්තර කියනා රුවන් කියන ඒවා 50% විතරක් hari කියලා හිතවට කමක් නැ මේකා කෙලින්නේ පට්ට පල් බොරු මෙයයි රජිත ඇමතියි දෙකම එකයි කියන්නේ උගත් දොස්තරවරු කියලා කතාවෙන් තේරෙනවා මුන්ගේ හුජ්ජ ජන්ගියෙන් ලික් වෙනවා කියලා පම්පස් ඇන්දත්

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget