Saturday, November 4, 2017

සෝවියට් දේශයේ ආදායම් විෂමතා තිබුණේ නැද්ද? (දෙවන කොටස)


සෝවියට් දේශයේ ආදායම් විෂමතා තිබුණේ නැද්ද? (පළමු කොටස)

සෝවියට් දේශය විසින් ඉලක්ක කළේ සමාජයේ විවිධ ස්ථර අතර හා රටේ විවිධ ප්‍රදේශ අතර ආදායම් විෂමතා අවම වූ සමාජයක් හැදීමටය. එහෙත්, සෝවියට් දේශයට අයත් වූ විවිධ රටවල් අතර සැලකිය යුතු තරමේ ආදායම් විෂමතා තිබී ඇති බව අපි පෙර කොටසින් පෙන්වා දුන්නෙමු. එයට අමතරව සෝවියට් දේශයේ විවිධ අධ්‍යාපන මට්ටම් වල සිටි ශ්‍රමිකයන් අතර මෙන්ම ගැහැණු හා පිරිමි අතරද සැලකිය යුතු තරමේ ආදායම් විෂමතා තිබී ඇත.

සෝවියට් දේශය බිඳ වැටෙන්නට පෙර සෝවියට් රජය විසින් රටේ පවුල් වල ආදායම් පිළිබඳ පුළුල් සමීක්ෂණ සිදු කර ඇතත් මේ සමීක්ෂණ දත්ත අඩු වශයෙන් සාමාන්‍ය සෝවියට් පර්යේෂකයින්ට හෝ භාවිතා කිරීමට ඉඩ ලැබුණේ නැත. සෝවියට් රජය විසින් ප්‍රසිද්ධ කළේ සැලකිල්ලෙන් තෝරාගත් සාරාංශ දර්ශක පමණි. එහෙත්, සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව ඇතැම් පර්යේෂකයින්ට මේ දත්ත විශ්ලේෂණය කිරීමට අවස්ථාව සැලසුණේය.

ඇමරිකා එක්සත් ජනපදය වැනි ධනවාදී රටක වැඩිදුර අධ්‍යාපනය ලබා ගන්නා අයෙකුට වැඩි ආදායමක් ඉපැයීමේ අවස්ථාව තිබේ. එහෙත්, එවැන්නෙකු වැඩිදුර ආයෝජනය පිණිස යොදවන්නේ තමන්ගේ පෞද්ගලික ධනය නිසා මේ ප්‍රතිලාභ හෝ එයින් කොටසක් ඒ අමතර ආයෝජනය සඳහා ලැබෙන ප්‍රතිලාභ ලෙසද සැලකිය හැකිය. සෝවියට් දේශය වැනි අධ්‍යාපනය සඳහා පෞද්ගලිකව ආයෝජනය කළ යුතු නැති සමාජවාදී රටකදී මේ තර්කය ධනවාදී රටකදී එතරම්ම වලංගු නැත. එහෙත්, කාලය හා ශ්‍රමය වශයෙන් හෝ වැඩිදුර අධ්‍යාපනය ලබන්නෙකු විසින් දරන, ශිෂ්‍යයන්ට රජයෙන් ලබාදෙන ප්‍රතිලාභ වලින් ආවරණය නොවන, කිසියම් ආවස්ථික පිරිවැයක් තිබිය හැකිය. එවැනි ආවස්ථික පිරිවැයක් වෙනුවෙන් ලැබෙන ප්‍රතිලාභ පසුකාලීන වැටුප් වෙනසක් ලෙස පිළිබිඹු විය හැකිය.

සෝවියට් ආර්ථිකය මධ්‍යගත ලෙස සැලසුම් කෙරුණේ මාක්ස් හා එංගල්ස් ආදීන්ගේ අදහස් මත පදනම්වය. මේ අදහස් අනුව, කවර හෝ ප්‍රයෝජනවත් නිෂ්පාදන කාර්යයක් වෙනුවෙන් යෙදවෙන ශ්‍රමය සමාන ලෙස සැලකුනේය. ගැහැණු පිරිමි භේදයක් නොසලකා ශ්‍රමයට සමාන ලෙස සැලකීම සෝවියට් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින්ද තහවුරු කර තිබුණු ප්‍රමුඛ ඉලක්කයක් විය. එහෙත්, ප්‍රයෝගිකව මෙය මෙලෙසින්ම සිදු වී නැත.

සමස්තයක් ලෙස සෝවියට් දේශය තුළ සරසවි අධ්‍යාපනය ලැබූ අයෙකු ප්‍රාථමික මට්ටමට වඩා අධ්‍යාපනය නොලැබූ අයෙකුට වඩා 46.2%කින් වැඩි වැටුපක් 1984 වසරේදී උපයා තිබේ. 1989 වසරේදීද මේ අනුපාතය 45.7% මට්ටමේ තිබී ඇත. උපාධිධාරී පිරිමියෙකු හා ගැහැණියක අතර සාමාන්‍ය වැටුප් වෙනස 1984දී 24.3%ක්ද, 1989දී 26.9%කි. මීට අඩු අධ්‍යාපන මට්ටමක සිටින පිරිමි හා ගැහැණු අතරද මෙවැනිම ආදායම් වෙනස්කම් දැකිය හැකිය. උපාධිධාරී පිරිමියෙකු ප්‍රාථමික මට්ටමට වඩා අධ්‍යාපනය නොලැබූ ගැහැණියක මෙන් දෙගුණයක පමණ ආදායමක් උපයා තිබේ. වැඩි අධ්‍යාපනයක් ලැබූ අය ලැබූ වෙනත් වරප්‍රසාද වල වෙනස (උදාහරණයක් ලෙස වඩා හොඳ නිවාස) සැලකූ විට විෂමතාවයන් මීටත් වඩා වැඩි විය යුතුය. එමෙන්ම ඇතැම් සෝවියට් ජනරජ වල පැවතී ඇති ආදායම් විෂමතා සමස්තයක් ලෙස සෝවියට් සංගමයේ ආදායම් විෂමතාවයටද වඩා බොහෝ වැඩිය.

පහත වගු සෝවියට් නිල සංඛ්‍යාලේඛණ උපුටා දක්වන හෙන්රික් ෆ්ලැකියර්ස්කිගේ 1992 පර්යේෂණ පත්‍රිකාවෙනි. 





9 comments:

  1. මාතේගේ සින්ඩියෙන් එලෙව්වම පස්සේ මේක කොමෙන්ට් නැතුව වේලෙන නිසා කොමෙන්ට් එකක් දැම්මේ. මොකද ඔහේ හෙන පව් නී.

    ReplyDelete
    Replies
    1. ලොකු දෙයක්, ඇනෝ! කමෙන්ට් එකක් නැතුව හතර අතේ කල්පනා කර කර ඉන්නකොට තමයි යාන්තම් ඇනෝගේ කමෙන්ට් එක වැටුණේ.

      Delete
  2. තජිකිස්ථානය වගේ රටවල් දැන් ඇෆ්ඝනිස්තානය වගේ අන්ත දුප්පත් නුගත් රටවල් හැටියට තිබුනේ. අර ගුරු ගීතය කතාව වගේ. මම පස්සේ බ්ලොග් ලිපියක් ලිව්වා ඒවගේ ගැහැණු පැහැර ගැනීම් අපි හිටිය 80 අගත් වුනා කියල හිත ගත හැකිනේ. ඉතින් විෂමතාවය හරි. ලැට්වියා වගේ රටවල් ඒ කාලෙත් හොඳයි. ඔය ඔන්දට් බලන් යුරෝපීය ජාතින් වඩා ධනවත් සෝවියට් දේශය තුල වුණත්. රුසියාවේ තමයි වැඩිපුර ධනය/ තෙල් . දියමන්ති, අනිකුත් සම්පත් වැඩිපුර තිබුනේ. ජොර්ජියාව හා උක්රයිනය ආහාර නිෂ්පාදනය, බෝල්ටික් රටවල තාම ඉලෙක්ට්‍රොනික් වැඩ වලට අවශ්‍ය චිප්ස් නිපදවන කම්හල් තිබුනේ.

    අර ධයපන කතාවේ මෙහෙම වැරැද්දක් තිබෙනවා. අධ්‍යාපනය ලැබූ අය වැඩි පඩියක් ගත්තේ ඈත පෙදෙස් වල වැඩට ගියොත් සයිබිරියා ව වගේ නැත්නම් හමුදාවේ රහසිගත වැඩ වලදී. නැත්නම් ඉංජිනේරු, දොස්තර පඩි රුබල් 120-180 දක්වා. අප ශිෂය්ධාර රුබල් 90 එක්ක බලන්න, හොඳටම මදි. නමුත් තෙල් හා මයිනින් ආකර කම්කරුවන්ගේ පඩිය රුබල් 350 වගේ වුණා.

    හැබැයි මෙහෙම දෙයකුත් තියනවා. ඇමෙරිකාවේ නොතිබුන.

    අධ්‍යාපනය නොමිලේ. රෝහල් සේවාව, බෙහෙත් , වෛද්‍ය සේවා නොමිලේ. සියල්ලක්ම. මම රුසියාවේ රෝහල් වල ඉඳල තිබෙනවා. ඒවා පිරිසිඳුයි , බෙහෙත් තියනවා වෛද්‍යවරු හොඳයි. අනික ඔය ඇමෙරිකන් විශ්ලේෂණයේ පඩිය විතරක් හෙව්වට ඔය දුන් අනිත් සහනාධාර ගැන කියන්නේ නැහැ.

    නිවස දීමේදී තෙල් ආකර දියමන්ති කම්හල හා ආයුධ නිෂ්පාදන කම්හල් අසල නිවාස , පාසැල් ආදිය ඔක්කොම නොමිලේ දෙනවා.

    මම ඊයේ පෙරේද මෙහෙ ප්‍රෝග්‍රෑම් එකක් බැලුව. ජෝර්ජියාව , සමහර පළාත් අන්ත දුප්පත්. සෝවියට් කාලේ හදල දීපු ගෙවල් තවම එහමම මයි . විදුලිය, ජලය ඇතුළු කිසිම දෙයක් නැහැ .

    දැන් තේරෙනවද මන්ද ඇයි ඊයු එකේ ප්‍රශ්නේ කියල. වඩා වැඩ කරන රටවල මිනිසුන්ගේ මුදලින් අඩුවෙන් වැඩ කරන මිනිසුන්ගේ රටවල් නඩත්තු කරනවා. ඇමෙරිකාවේ ඕක වෙන්නේ නැහැ. කවුරුත් වෙන අයව තමන්ගේ වියදමින් නඩත්තු කරන්නේ නැහැ. කර ගන්න බැරිනම් නැතිවෙලා පලයන් කියල අත හැර දමනවා මිසක්.

    ඊට අමතර සෝවියට් දේශයේ නිලධාරිවාදය ගැන ඕන තරම් කතා කරලා තිබෙන නිසා ඒ කතා කරන්නේ නැහැ.


    ReplyDelete
    Replies
    1. //අනික ඔය ඇමෙරිකන් විශ්ලේෂණයේ පඩිය විතරක් හෙව්වට ඔය දුන් අනිත් සහනාධාර ගැන කියන්නේ නැහැ.//
      මේ අධ්‍යයන පදනම් වී තිබෙන්නේ සෝවියට් සංගමය බිඳ වැටෙන්න පෙර ඔවුන් විසින්ම පිළියෙළ කළ සංඛ්‍යාලේඛණ මතයි. ආදායම් විෂමතාවයන් හැකිතාක් අඩු කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කයක් වූ නිසා ප්‍රසිද්ධ නොකළත් සෝවියට් රජය විසින් ඒ හා අදාළ සංඛ්‍යාලේඛණ පිළියෙළ කර තිබෙනවා. එසේ කිරීමේදී සාමාන්‍යයෙන් බටහිර රට වලදී ආදායමට එකතු නොකරන, රජය මඟින් ලබා දෙන වෙනත් පහසුකම් වල ඇස්තමේන්තු වටිනාකමත් ඔවුන් ආදායමේ කොටසක් ලෙස එකතු කර තිබෙනවා. ඒ බව පර්යේෂණ පත්‍රිකාවේ මුලදීම පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

      //දැන් තේරෙනවද මන්ද ඇයි ඊයු එකේ ප්‍රශ්නේ කියල. වඩා වැඩ කරන රටවල මිනිසුන්ගේ මුදලින් අඩුවෙන් වැඩ කරන මිනිසුන්ගේ රටවල් නඩත්තු කරනවා. ඇමෙරිකාවේ ඕක වෙන්නේ නැහැ. කවුරුත් වෙන අයව තමන්ගේ වියදමින් නඩත්තු කරන්නේ නැහැ.//
      ඇත්තටම කියනවනම් යුරෝපයට වඩා ඇමරිකාවේ මෙය වෙනවා. (මම මෙය කියන්නේ කරුණක් ලෙස මිස හොඳක් හෝ නරකක් ලෙස නෙමෙයි) වඩා වැඩි ආදායමක් උපයන ඇමරිකන් ප්‍රාන්ත වල වියදමෙන් එතරම් ආදායමක් නූපයන ප්‍රාන්ත සුබසාධනය වෙනවා. නමුත්, බොහෝ ඇමරිකානුවන් ප්‍රාන්තවාසීන් ලෙස නොව ඇමරිකානුවන් ලෙස හිතන නිසා මෙහි එතරම් ගැටලුවක් වී නැහැ. එහෙත්, මෙය ප්‍රශ්නයක් සේ දකින අය ඉන්නවා. උදාහරණයක් වශයෙන් කැලිෆෝර්නියාව ස්වාධීන විය යුතුයි කියා හිතන අය. යුරෝපීය සංගමයේ තියෙන ප්‍රශ්නය වන්නේ යුරෝපයේ රටවල වැසියන්ගේ ජාතික අනන්‍යතාවය යුරෝපීය අනන්‍යතාවයට වඩා ප්‍රබල වීමයි. ඒ නිසා, බොහෝ දෙනෙක්ට තේරෙන්නේ තමන්ගේ දෙය කොහෙවත් ඉන්න පිරිසකට දෙන බවයි. ආර්ථික විද්‍යාව පැත්තෙන් කියනවනම් මෙහි ඇති ප්‍රශ්නය එකම මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන අතර වෙනස් රාජ්‍යමූල්‍ය (ෆිස්කල්) ප්‍රතිපත්ති අනුගමනය කිරීමට යාමේ අවුලයි.

      Delete
    2. ඒ පිලිතුරට එකඟ වෙන් පුළුවන්. සෝවියට් දේශය රටක් වශයෙන් විශාලයි. රුසියාවේ සම්පත් විකුණලා ලැබිච්ච සල්ලි යෙදෙව්වේ අනිත් රටවල් නඩත්තු කරන්න. ආර්ථික වශයෙන්ම ඒ පිළිවෙත අසමත්. මානුෂික වශයෙන් හොඳයි කිව්වත් දැන් ඔබේ ලිපියෙනුත් පේනවනේ තජිකිස්ථානයේ වැඩි දියුණුවක් උනේ නැහැ කියල.

      Delete
  3. මේ ලිපියෙන් හා කලින් ලිපියෙන් වගේම අජිත් අයියා මේ සෝවියට් දේශය ගැන ලියා තිබෙන ලිපි තුලින් නොදත් බොහෝ දේ දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝජ්

      Delete
    2. දැන් ඔයා වැඩිය ලියන්නේ නැහැ නේද මල්ලි

      Delete
    3. ඔව් අජිත් අයියේ කාලෙකින් ලිව්වේ නැහැ.හැබැයි එත් ලියලා තියෙන එව්වා කියවනවා.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget