වෙබ් ලිපිනය:

Saturday, November 18, 2017

ලංකාවේ දුප්පත්තු සහ ඇමරිකාවේ දුප්පත්තු


ටික දවසකට පෙර ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තුමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබුණු 2016 ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජන ප්‍රතිශතය 4.1% දක්වා අඩු වී තිබේ. සංඛ්‍යාත්මක ලෙස මේ ප්‍රමාණය 843,913 කි. වසර 20කට පෙර ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළුණු ජන ප්‍රතිශතය 28.8%ක් වූ අතර එම මට්ටමට සාපේක්ෂව වත්මන් තත්ත්වය ඉතා හොඳ මට්ටමකි. මෙයින් පෙනෙන්නේ රටේ ජාතික ආදායම වැඩි වෙද්දී එහි ප්‍රතිඵල ක්‍රමයෙන් අඩු ආදායම්ලාභී ස්ථර වෙතද ගලා එන ආකාරයයි.

පසුගිය 2016 වසරේදී ඇමරිකාවේ දරිද්‍රතාවයෙන් පෙළුණු ජන ප්‍රතිශතය 12.7%ක් විය. පසුගිය වසර පණහක පමණ කාලය තුළ මේ ප්‍රතිශතය විශාල ලෙස වෙනස් වී නැත. සංඛ්‍යාත්මක ලෙස මේ ප්‍රමාණය මිලියන 40.6 කි. ලංකාවේ මුළු ජනගහණය මෙන් ආසන්න වශයෙන් දෙගුණයකි.

එසේනම්, ඇමරිකාවේ දිළිඳුකම ලංකාවේ දිළිඳුකමට වඩා අතිශයින්ම වැඩිද?

ඇතැම් අය හිතාගෙන ඉන්නේ ඇමරිකාවේ සල්ලි තියෙන අයට පීනනන්ට සල්ලි තියෙද්දී සල්ලි නැති විශාල පිරිසක් මූලික පහසුකම් පවා නැතිව දුක් විඳිමින් සිටින බවයි.

දිළිඳුකම පිළිබඳ සංඛ්‍යාලේඛණ සංසන්දනය කරද්දී එය ඉතා සැලකිල්ලෙන් කළ යුතුය. කිසියම් රටක දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස් හඳුනාගැනීම සඳහා යොදාගන්නා සම්මත ආදායම් මට්ටමක් තිබේ. මෙය රටින් රටට වෙනස් වේ. කිසියම් රටක් ගත්තද එය වසරින් වසර වෙනස් වේ.

ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කයේ දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයින් ගණන හඳුනා ගැනීම සඳහා මේ අයුරින් යොදාගන්නා සම්මත ආදායම් මට්ටම ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් මාසයකට වරක්  යාවත්කාලීන කරයි. 2017 අගෝස්තු මාසයේදී කොළඹ දිස්ත්‍රික්කයේ දරිද්‍රතා මට්ටම ලෙස සැලකුණේ මසක ආදායම රුපියල් 4475 ඉක්මවන්නේද යන්නයි. මොනරාගල දිස්ත්‍රික්කය සඳහා යොදාගත් ආදායම් මට්ටම රුපියල් 3912ක් විය. ලංකාවම පොදුවේ ගත් විට රුපියල් 4305ක් විය.

ඇමරිකාවේ මේ අයුරින් දරිද්‍රතාවයෙන් පෙළෙන අය හඳුනා ගැනීම සඳහා යොදාගන්නා ආදායම් මට්ටමද ප්‍රාන්ත, නගර ආදිය සඳහා වෙන වෙනම ගණනය කරන අතර විවිධ නිල කටයුතු සඳහා මහාද්වීපික ඇමරිකාව සඳහා (හවායි හා ඇලස්කා හැර ඉතිරි ප්‍රාන්ත) පොදුවේ යොදාගන්නා මට්ටමක්ද තිබේ. මෙය ගණනය කරන්නේ ලංකාවේ මෙන් පුද්ගලයෙකු පදනම් කරගෙන නොව පවුලක් පදනම් කර ගනිමිනි. 2017 වසර සඳහා තනි පුද්ගල පවුලක දරිද්‍රතා සීමාව වසරකට ඩොලර් 12,060ක්ද, ද්විපුද්ගල පවුලකට ඩොලර් 16,240ක්ද, ත්‍රිපුද්ගල පවුලකට ඩොලර් 20,420ක්ද, සිවුපුද්ගල පවුලකට ඩොලර් 24,600ක්ද විය.

ඇමරිකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන්නන් ලෙස හඳුනා ගැනෙන්නේ වාර්ෂිකව ඉහත ආදායම් මට්ටම් නූපයන පවුල් වල සාමාජිකයින්ය. සාමාන්‍ය ඇමරිකානු පවුලක සාමාජිකයින් ගණන 2.58ක් පමණ වුවත් ලංකාවේ ඒ ගණන 4කට ආසන්න නිසා සැසඳීමක් කිරීමට ඩොලර් 24,600 මට්ටම යොදාගත්තොත් මෙය ඩොලර් 2,050ක මාසික ආදායමකි. එනම් රුපියල් 314,716ක පමණ මාසික ආදායමකි. මේ ආදායම් මට්ටම සැලකුවහොත් ලංකාවේ 95%ක් පමණම දිළින්දන් ලෙස සැලකිය හැකිය.

ධනවාදී රටක් වුවත් ඇමරිකාවේ අඩුආදායම්ලාභීන් වෙනුවෙන් සුබසාධන වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වේ. ඒ අතර නොමිලේ හෝ සහන මිලකට ලැබෙන ආහාර, සෞඛ්‍ය පහසුකම්, නිවාස, දුරකථන, පෙර පාසැල් අධ්‍යාපනය, දිවාසුරැකුම් පහසුකම් ආදිය ඇතුළත්ය. මෙවැනි පහසුකම් ලබාදීමේදී සාමාන්‍යයෙන් පදනම් කරගන්නේ ඉහත කී දරිද්‍රතා ආදායම් මට්ටමයි.

ආහාර සහනාධාරය සැලකුවොත්, දරිද්‍රතා ආදායම් සීමාව මෙන් 130%ක් නොඉක්මවන පවුල් වලට ෆෙඩරල් ආහාර සහනාධාර ලැබේ. මේ මට්ටමට අහු නොවන පවුල් වලටද ඇතැම් ප්‍රාන්ත රජයන් විසින් ආහාර සහනාධාර ලබා දේ. උදාහරණයක් වශයෙන් වොෂින්ටන් ප්‍රාන්තයේ දරිද්‍රතා ආදායම් සීමාව මෙන් 200%ක් නොඉක්මවන පවුල් වලට ආහාර සහනාධාරය ලබාගත හැකිය. සිවු දෙනෙකු සිටින පවුලකට මේ සීමාව මසකට ඩොලර් 4100කි. මෙය සැලකිය යුතු තරම් ඉහළ ආදායම් මට්ටමකි. සෞඛ්‍ය සහනාධාරය වැනි වෙනත් සහනාධාර හා අදාළවද ඇත්තේ මෙවැනිම තත්ත්වයකි.

පසුගිය අගෝස්තු මාසයේදී ෆෙඩරල් ආහාර සහනාධාරය ලබා ගත් ඇමරිකානුවන් ගණන මිලියන 41.3කි. තවත් ඇමරිකානුවන් හා ඇමරිකාවේ සිටින විදේශිකයින් විශාල පිරිසක් ප්‍රාන්ත රජයන්ගේ අරමුදල් වලින් ආහාර සහනාධාරය ලබාගන්නට ඇත. ආහාර සහනාධාරය වෙනුවෙන් ඇමරිකන් ෆෙඩරල් රජය විසින් පමණක් ඩොලර් බිලියන 70ක පමණ මුදලක් වාර්ෂිකව වැය කරයි. කුඩා දරුවන්, ගර්භණී මවුවරුන් වැනි වෙනත් විශේෂිත කණ්ඩායම් ඉලක්ක කරගත් ආහාර සහනාධාර වැඩ සටහන් ආදිය සඳහා වැය කරන මුදල්ද එකතු කළ විට ඇමරිකාවේ ආහාර සහනාධාර වෙනුවෙන් වාර්ෂිකව වැය කරන බදු මුදල් ප්‍රමාණය ලංකාව හෝ හෝ කියුබාව වැනි රටක සමස්ත දළ දේශීය නිෂ්පාදිතයට ආසන්න වශයෙන් සමානය.

ත්‍රිපුද්ගල පවුලකට ඩොලර් 511 ක් පමණ දක්වා මුදලක්ද, සිවු පුද්ගල පවුලකට ඩොලර් 649 ක් පමණ දක්වා මුදලක්ද මාසිකව ආහාර සහනාධාර ලෙස ලබාගත හැකිය. මේ සහනාධාරය ලබාගැනීම සඳහා ඩෙබිට් කාඩ්පතක්‌ ලබා දෙන අතර මාස්පතා සහනාධාර මුදල ගිණුමට ස්වයංක්‍රීය ලෙස බැර කෙරේ. සුපිරි වෙළඳසැල් ආදියේදී මේ කාඩ්පත වෙනත් ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් මෙන් භාවිතා කළ හැකිය. එහෙත්, එයින් මිලදී ගත හැක්කේ ආහාර ද්‍රව්‍ය පමණි. මත්පැන්, දුම්වැටි ආදිය හෝ ආහාර නොවන වෙනත් දේ එම කාඩ්පතෙන් (සාමාන්‍යයෙන්) මිල දී ගත නොහැකිය. මේ ආහාර සහනාධාරය ඇමරිකාවේදී වුවද සැලකිය යුතු මුදලකි. සහනාධාර කාඩ්පතකින් ගෙවීම් කරන විට බදු මුදල් බිල් පතෙන් ඉවත් වීම නිසා ගෙවන්නට වෙන්නේද වෙනත් අය ගෙවනවාට වඩා අඩු මුදලකි.

ඇමරිකාවේ අඩුආදායම්ලාභී පවුල්වලට ලබාදෙන ඉහත ආහාර සහනාධාරය හැරුණු විට වයස අවුරුදු පහට අඩු දරුවන්ට හා ගර්භණී මවුවරුන්ට කිරි, බිත්තර, ධාන්‍ය ආදී නිශ්චිත ආහාර ද්‍රව්‍ය ගණනාවක් ලබාදෙන වෙනත් වැඩසටහනක්ද තිබේ. ඇමරිකාවේ ආහාර බැංකු ඉදිරිපිට දිගු පෝලිම් දකින්නට නැත්තේ ආහාර අවශ්‍ය බොහෝ දෙනෙකුට මෙවැනි සහනාධාර ලැබෙන බැවිනි.

ඇමරිකාවේ ධනය උපයන්නන් විසින් ගෙවන බදු මුදල් යොදවා ලබා දෙන නිර්ලෝභී ආහාර සහනාධාර නිසා අඩුආදායම්ලාභී පවුල් වල ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ගැටලුව විසඳෙන නමුත් එහි අහිතකර ප්‍රතිඵලද තිබේ. අඩුආදායම්ලාභීන්ගේ ස්ථුලතාවය හා වෙනත් බෝ නොවන රෝග විශාල ලෙස ඉහළ යාම, ආහාර නාස්තිය ඉහළ යාම හා රැකියා නොකර සිටින්නට පෙළඹීම එයින් කිහිපයකි.

25 comments:

  1. Canadian low income families receive similar social welfare financing, but they are not limited only for the food, but it is for all expenses including house rent. This amount( the amount has to be verified) is hardly enough for monthly family expenses. The agency responsible for social welfare constantly follow up receivers income and encourage and help to find suitable employment. however lazy people just depend on social welfare money and most of them suffering addiction problems too.

    ReplyDelete
  2. ඇමරිකන් ජනාධිපතිතු ධුරන්දර ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. අපි එතුමාට සදා නය ගැතියි. එතුමා මේ වෙහෙසෙන්නේ ලෝකය ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමටයි. එම නිසා අප සියලු දෙනා එයට සහයෝගය දැක්විය යුතුවේ.

    ReplyDelete
  3. What about purchasing power parity? It would have been better if you could mention about OPP adjusted income.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. For a better comparison (as I know) the official poverty line in SL is based on the cost of a minimum calorie diet. In US, it is 3 times the cost of a diet rich in all required nutrients. The SL calculation is based on the typical diet of a still relatively poor income group in SL.

      Delete
    3. You are correct. I did not discuss that to keep the post shorter. Converting USD to Rupees using the nominal exchange rate is not correct due to PPP differences. But, even if we adjust for PPP (which is complex) the differences are very large. PPP differences are very large in some sectors like housing and health. But, in food and energy categories (overall) US and SL price differences are not that large.

      //This is the same as November 19, 2017 at 9:15 AM comment. Somehow, some of the published comments have got deleted.//

      Delete
  4. පසුගිය හැට වසර තුල ඩිට්‍රොයිට් හි ජනගහනය 63 % කින් අඩුවී තිබෙන බවට වාර්තා වේ. වීථි ලාම්පු වලින් 40 % අක්‍රිය ය​. නිවාස හැත්තෑ අට දහසක් පමණ නිවැසියන් ගෙන් තොර අතර ඩොලර් 500 කට වූවද නිවසක් මිලට ගත හැකිය​. ළමා ජනගහනයෙන් 60 % දරිද්‍රතාවයෙන් පෙලේ. විරැකියාව , දුගී බව , අපරාධ ඉහලයාම් යනාදී සමාජ ගැටළු වලින් ඩිට්‍රොයිට්වාසීන් පීඩා විඳිති . එහෙත් ඩිට්‍රොයිට් රිවර් ෆ්‍රන්ට් වැනි ප්‍රදේශ වල ධනවතුන් ජීවිතය වින්දනය කරති. ආදායම් විශමතාවන් පැහැදිලිව පෙනේ. ආර්ථික අවපාතය මාරුතය ඔවුන් වෙත ලඟාවී නොමැති හැඩය​. අලංකාර නිවාස , අලංකාර මාවත් , සැඳෑ සාද දක්නට තිබේ. දුගී ඩිට්‍රොයිට් සහ ධනවත් ඩිට්‍රොයිට් වෙන් කරන අදිසි බර්ලින් තාප්පයක් තිබේ කියා මට සිතේ.

    ධනවාදයේ සියළු අයහපත් ලක්‍ෂණ මම ඩිට්‍රොයිට් හිදී දුටුවෙමි. මයිකල් මුවර් පැවසූ අනාවැකි ක්‍රමක් ක්‍රමයෙන් තත්‍ය වෙමින් පවතියි. එය භයානකය. සැබවින්ම එය භයානකය.
    ප්‍රජා පීඩක සමාජවාදය නිසා මස් රාත්තලක්, සීනි කිලෝවක් ගැනීමට පෝලිම් වල පැය ගනන් සිටි මිනිසුන් මගේ මතකයට නැගේ. හිමෙන් පිරි පාරවල් වල ඔවුන් පෝලිම් ගැසී සිටින්නේ අතෘප්තිමත්වය​. පර්තින්නය හෙවත් පක්‍ෂ සාමාජිකයන් පෝලිම් වල නැත​. ඔවුන් ගේ නිවෙස් වල අත්‍යාවශ්‍ය භාණ්ඩ තිබේ. පීඩාවට පත් වී සිටින්නෝ සාමාන්‍ය ජනතාවය​.

    ජීවිතයේ එදිනෙදා අවශ්‍ය වන භාණ්ඩ හිඟ වන විට මිනිසුන් නොසන්සුන් වෙති. ඔවුන් ලෙනින්ට , ස්ටාලින්ට , කෘශෙව්ට , බ්‍රෙෂ්නෙව්ට , ගර්බශෝව්ට බනිති. සාප කරති. ඒ අතරවාරයේ පෝලිම පනින්නෙකු ආ විට සියළුදෙනාගේම කෝපය ඔහු හෝ ඇය වෙත යොමු කෙරේ. මෙසේ පැය තුන හතරක් පෝලිමේ සිට පාරිභෝගික භාණ්ඩයක් මිලට ගත් විට මිනිසුන් මොහොතකට ජීවිතයේ ඒකායන සතුට විඳිති. එහෙත් ඊලඟට එලැඹෙන මොහොතේදී එම සතුට අතුරුදහන් වේ. හෙටත් පෝලිමේ සිටිය යුතුය​.

    සමාජවාදය යටතේත් ධනවාදය යටතේත් මිනිසුන් විඳවනවා මම දිටිමි. මෙම සමාජ ආර්ථික විඳවීම් අවසන් කරන තෙවැනි මානුශිකවාදී ක්‍රමයකට අප යා යුතුය​.

    ReplyDelete
    Replies
    1. මේ ආකාරයේ අදිසි බර්ලින් තාප්පයක් දැන් මා ජීවත්වන නගරයේද තිබේ. එක පැත්තක පාසැල් ඇමරිකාවේ හොඳම පාසැල්ය, අපරාධ ඇත්තේම නැති තරම්ය. පවුලක මධ්‍යන්‍ය ආදායම ඉතා ඉහළය. නිවාස ඉතා හොඳ මට්ටමක තිබේ. සහනාධාර වලින් ජීවත් වන අය ඉතා අඩුය. අනිත් පැත්තේ එහි අනිත් පැත්තයි. බොහෝ දෙනෙක් සහනාධාර වලින් ජීවත් වෙති. පාසැල් වල රේටින් ඉතාම අඩුය. අපරාධ සුලභය. නිවාස කුඩා ඒවාය.

      නමුත් මෙයට හේතුව දෙපැත්තට දෙවිදියකට සැලකීම නොව දෙපැත්තේ ජීවත්වන මිනිසුන්ගේ වෙනසයි. වැඩිපුරම සුබසාධනය වන්නේ 'නරක පැත්තේ' ඇති නරක පාසැල්ය. ඒවායේ රේටින් අඩු වී තිබෙන්නේ ලබාදෙන පහසුකම් අඩු නිසා හෝ ගුරුවරුන් නරක නිසා නොවේ. ඉගෙනුම ලබන දරුවන්ගේ පසුබිම නිසාය. ඒ පැත්තේ පාසැලකට යන දක්ෂ දරුවෙකුට ඉතා පහසුවෙන් කැපී පෙනෙන්නට පුළුවන. 'හොඳ පැත්තේ' තරඟය වැඩි නිසා එය ඉතා අසීරුය. ඕනෑම කෙනෙකුට නරක පැත්තේ සිට හොඳ පැත්තට පැමිණ පදිංචි වෙන්නට කිසිදු බාධාවක් නැත. වැඩි ආදායම් උපයන්නට කුසලතා ඇති අය එසේ කරති. හොඳ පැත්තේ සිටින කුසලතා අඩු අය තමන්ගේ නිවාස විකුණා අඩු පිරිවැයකින් ජීවත් විය හැකි "නරක පැත්තට" යති. විශාල නගරයක මෙය දිගින් දිගටම සිදුවන නිසා අන්තිමේදී යහපත් ජීවන තත්ත්වයක් පවත්වා ගන්නා අය එක පැත්තකටත් අනෙක් අය වෙනත් පැත්තකටත් ලෙස බෙදී යයි. යහපත් ජීවන තත්ත්වයක් පවත්වා ගන්නා අය වැඩිපුර ජීවත් වන තැනක් වඩා හොඳ තැනක් වේ. අපරාධකාරයින් වැඩිපුර ඉන්නා තැනක ඉතිරිවන්නේ හෝ එවැනි තැනකට එන්නේ එවැනිම අය නිසා එය නරක තැනක් වේ. මෙය කෘතීම ලෙස පාලනය නොකළොත් ඕනෑම ලොකු නගරයක සිදුවන දෙයකි.

      ඩිට්‍රොයිට් යනු ඇමරිකාවේ විශාල නගර අතරින් දරිද්‍රතාවය වැඩිපුරම සංකේන්ද්‍රනය වී ඇති නගරය බව මගේ අදහසයි. එසේ නැත්නම් එවැනි නගර අතර ඉහළින්ම ඇති නගරයකි. 2016 දත්ත අනුව, එහි දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රතිශතය 35.7%කි. මෙය ඇමරිකාවේ සාමාන්‍යය මෙන් තෙගුණයක් පමණ වේ. ඩිට්‍රොයිට්හි දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රමාණය මෙතරම් ඉහළ ගොස් ඇත්තේ ඇයිද යන්න ඔබේ ප්‍රතිචාරයේ ඇති කරුණුම සැලකිල්ලෙන් විමසුවහොත් පැහැදිලි විය යුතුය.

      රැකියා ජනනය කිරීමට ව්‍යවසායකයින් අවශ්‍ය වේ. ව්‍යවසායකයෝ රටේ සෑම නගරයකම එකම අනුපාතයට බිහි නොවෙති. ඒ නිසා, විරැකියාව අඩු වීමටනම් එක්කෝ ව්‍යවසායකයින් වැඩිපුර ශ්‍රමිකයින් සිටින තැන් වලට පැමිණිය යුතුය. එසේ නැත්නම් ශ්‍රමිකයින් රැකියා ඇති තැන් වලට යා යුතුය. ඇමරිකාවේ පුරවැසියන්ට හා එහි ජීවත් වන අනෙකුත් අයට මේ දෙකටම බාධාවක් නැත. තමන් ජීවත් වන නගරයේ රැකියා අවස්ථා අඩුවන විට බොහෝ දෙනෙක් විසින් කරන්නේ රැකියා තිබෙන තැනකට සංක්‍රමණය වීමයි. වෙනත් නගරයකට ගොස් රැකියාවක් සොයාගැනීම වඩා පහසුවන්නේ වැඩි කුසලතාවන් ඇති අයට හා වැඩි උනන්දුවක් ඇති අයටය. ඔවුන් නගරයෙන් පිට වී ගිය විට ඉතිරිවන්නේ රැකියාවක් කිරීමට උනන්දුව අඩු, කුසලතා අඩු, සහනාධාර වලින් යැපෙන්නට කැමති අයයි. එවැනි අය වැඩිපුර ඉතිරි වූ වී වැඩි ආදායම් උපයන අය නගරයකින් ඉවත් වූ විට ඉතිරි වන අයගේ ආදායම් අඩු නොවූවත් (ඔවුන්ගේ ආදායම් ඉහළ යන විටක පවා) මධ්‍යන්‍ය ආදායම හා දරිද්‍රතා අනුපාතය විශාල ලෙස ඉහළ යා හැකිය.

      උදාහරණයක් වශයෙන් නගරයක දරිද්‍රතා අනුපාතය ඇමරිකාවේ සාමාන්‍යය වන 12.7% ලෙස සැලකුවොත් මෙහි 100 දෙනෙකුගෙන් 13ක් දිළින්දෝය. දැන් නගරයේ 63%ක් වෙනත් නගරයකට සංක්‍රමණය වුවහොත්, එසේ ගියේ දිළින්දන් නොව ඉතිරි අයනම් දැන් නගරයේ ඉන්නේ 37 දෙනෙකි. එවිට දරිද්‍රතා අනුපාතය 35%ක් වෙයි.

      Delete

    2. නගරයක ආර්ථික කටයුතු පහළ ගොස් බදු ආදායම් අඩු වූ විට වීථි ලාම්පු නඩත්තු කිරීම වැනි දේවලට මුදල් වැය නොකිරීමේ වැරැද්දක් මටනම් නොපෙනේ. එවැනි දේ සඳහා වැය කිරීමට ඉතිරිව සිටින දුප්පතුන්ගෙන් බදු වැඩියෙන් අය කිරීම මට අනුවනම් අමානුෂිකය. නමුත්, නගර අලංකරණය සඳහා තව දුරටත් බදු ගෙවන්නට කැමති අය සිටින පැති වල ඔවුන්ගෙන් මුදල් අය කර නගර අලංකරණය නොකර සිටින්නට හේතුවක්ද මට නොපෙනේ.

      වැදගත්ම කරුණ වන්නේ ඇමරිකාවේ දරිද්‍රතාවය වැඩිපුරම සංකේන්ද්‍රනය වී ඇති තැනක ජීවන තත්ත්වය සමාජවාදී හෝ ධනවාදී නොවන වෙනත් රටකට සාපේක්ෂව කෙතරම් නරකද යන්නයි. ඇමරිකාවේ මධ්‍යස්ථ ගෘහස්ථ ආදායම වසරකට ඩොලර් 59,039ක් වෙද්දී, ඩිට්‍රොයිට්හි මධ්‍යස්ථ ගෘහස්ථ ආදායම ඩොලර් 28,099ක් පමණි. මෙය ඇමරිකාවේ සාමාන්‍යයට වඩා අඩකින් අඩුය. එහෙත්, රුසියාවේ මධ්‍යස්ථ ගෘහස්ථ ආදායමට වඩා 70%කින් වැඩිය. චීනයේ මෙන් 2.75 ගුණයක් පමණද, ලංකාවේ මෙන් 5 ගුණයක් පමණද වේ.

      ඇමරිකාවේ දරිද්‍රතාවයෙන් පෙළෙන අය ගණනය කරද්දී ඔවුන්ට රජයෙන් ලැබෙන විශාල ආහාර සහනාධාරය ඇතුළු අනෙකුත් සහනාධාර රැසක වටිනාකම එකතු කරන්නේ නැත. එහෙත්, ලංකාව ඇතුළු බොහෝ රටවල ආදායමට මේ සහනාධාරද ඇතුළත්ය. ඩිට්‍රොයිට්හි මෙන්ම මා ජීවත් වන නගරයේද පෝසත් පැත්ත හා දුප්පත් පැත්ත අතර කැපී පෙනෙන වෙනසක් තිබුණත් ඔබ දැක ඇති ප්‍රජාපීඩක සමාජවාදය තිබුණු රටවලට සාපේක්ෂව ඩිට්‍රොයිට්හි දිළින්දන් ආහාර පෝලිම් වල රස්තියාදු වන්නට හෝ ආහාර සුරක්ෂිතතාවය ගැන වදවෙන්න්ට අවශ්‍ය නැත. මගේ ලිපියේ විස්තර කර ඇති ආකාරයේ ආහාර සහනාධාර ඔවුන්ට ලැබේ. මෙයට හොඳම නිදසුන වන්නේ ඩිට්‍රොයිට් යනු ඇමරිකාවේ ස්ථුලතාවය වැඩිම නගරයක් වීමයි.

      සාමාන්‍යයෙන් ආහාර හා සෞඛ්‍යය යන මූලික අවශ්‍යතා හැරුණු විට ඊළඟ මූලික අවශ්‍යතාවය නිවාසයි. ඇමරිකාවේ අඩුආදායම්ලාභීන්ට සියල්ලන්ටම ආහාර හා සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලැබුණත් නිවාස සහනාධාර ලැබෙන්නේ සීමාසහිතවය. සාමාන්‍ය ඇමරිකානුවෙකුගේ ආදායමෙන් විශාල මුදලක් වැය වන්නේ නිවාස වියදම් (කුලී හෝ ණය වාරික) වෙනුවෙනි. ඩිට්‍රොයිට් අඩුආදායම්ලාභීන්ගේ ආදායම් පහළ යද්දී නිවාස මිලද ඉතා විශාල ලෙස පහළ යාමෙන් පෙනෙන්නේ ඔවුන්ගේ නිවාස වියදම් දැරීමේ ප්‍රශ්නය ධනවාදී ක්‍රමය විසින් ස්වභාවික ලෙසම විසඳා ඇති ආකාරයයි.

      ධනවාදයේ ඇති ප්‍රශ්න වලට විසඳුම් හොයන්නට පෙර එවැනි ප්‍රශ්න ඇත්නම් ඒවා පැහැදිලිව හඳුනාගත යුතුය. මෙහිනම් එසේ විසඳුම් හෙවිය යුතු ප්‍රශ්නයක් මට නොපෙනේ.

      Delete
  5. "ඒත් දෙවියන් ඉතා ඉක්මනින් දුප්පත්කමට විසඳුමක් ලබා දෙනවා. වාසි ප්‍රයෝජන ගැන හිතන මිනිස් ආණ්ඩු දෙවියන් නැති කරනවා. ඒ වෙනුවට හැමදෙනාටම එක හා සමානව සලකන, අවශ්‍යතා අඩුවක් නැතුව සපයන දේවආණ්ඩුවක් පිහිටුවනවා."

    "දේවආණ්ඩුව යටතේ මේ පොළොව සැබෑ පාරාදීසයක් වෙනවා. හැම කෙනෙකුටම ඇති තරම් කෑම බීම තියෙයි. හැමෝටම තමන්ගෙම කියලා ගෙයක් තියෙයි. දුප්පත් කියන කිසිම කෙනෙක් එදාට නැහැ."

    එහෙමනම් ඉතිං ප්‍රශ්නයක් නෑනේ. බලා ඉන්න තමයි තියෙන්නේ!

    ReplyDelete
  6. උතුරු හා දකුණු කොරියා සංසන්දනය කලොත්.
    එකක දුප්පත්තු හොඳ රෙස්ටොරන්ට් එකක කන්න අපහසු පිටරට යන්න සල්ලි නැති අය.
    අනික් රටේ දුප්පත්තු කන්න නැතුව ඉන්න අය.

    ReplyDelete
    Replies
    1. රටේ පෝසත්තු ඉන්නකම් කියන්න පුළුවන් දුප්පත්කමට හේතුව පේන්න ඉන්න පෝසත්තු කියා. පෝසත්තු නැති කළාට පසුවත් දුප්පත්කම තියෙන කොට ටික කලක් යනකම් රටේ පේන්න නැති "අධිරාජ්‍යවාදීන්" හෝ "ඇමරිකාව" වැනි වැනි සතුරෙක්ට වැරැද්ද දමන්න පුළුවන්. එහෙත්, දිගින් දිගටම මේ බොරුව කරන්න අමාරුයි.

      Delete
  7. දුප්පත් කමත් කොයි තරං සාපේක්ෂද?? ඔය යූටියුබ් වල තියෙන kindness වීඩියෛා් වල ගෙවල් නැති, කන්න නැති අයට සල්ලි දුන්නම කන්නේ හැම්බේකන්. අපේ අයට දුන්නම කන්නේ පාං කෑල්ලක්.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාවේ සම්මත "දුප්පතුන්ගේ කෑම වට්ටෝරුවේ" අඩංගු දේ පසුව දමන්නම්. අඩුම වශයෙන් එහි අඩංගු දේ මිල දී ගන්න අවශ්‍ය මුදල තමයි රජයෙන් ගෙවන්නේ.

      Delete
  8. //වසර 20කට පෙර ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙළුණු ජන ප්‍රතිශතය 28.8%ක් වූ අතර එම මට්ටමට සාපේක්ෂව වත්මන් තත්ත්වය ඉතා හොඳ මට්ටමකි. //

    //පසුගිය 2016 වසරේදී ඇමරිකාවේ දරිද්‍රතාවයෙන් පෙළුණු ජන ප්‍රතිශතය 12.7%ක් විය. පසුගිය වසර පණහක පමණ කාලය තුළ මේ ප්‍රතිශතය විශාල ලෙස වෙනස් වී නැත.//

    ලංකාවේ දරිද්‍රතාවයෙන් පෙලෙන පිරිස අඩු වෙන කොට ඇමරිකාවේ එම පිරිස එහෙමම ඉන්නවා කියන එකද මේ කියවෙන්නේ.මේ විදියට බැලුවොත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් ලංකාව තුල ක්‍රියාත්මක කිරීමේ කිසියම් ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා කියන්නත් පුළුවන් නේද ?

    මෙහෙත් ඉන්නවා දේශපාලන හිතවත්කම් මත සමෘද්ධිය වගේ එව්වා ගන්න මධ්‍යම ආදායම් ලබන අය එහෙම.

    ReplyDelete
    Replies
    1. පැහැදිලි ලෙසම පසුගිය කාලය තුළ ලංකාවේ දිළිඳුකම අඩු වී තිබෙනවා. නමුත්, එයට හේතුව අඩුආදායම්ලාභීන්ට සහනාධාර දීම නෙමෙයි. රටේ රැකියා විරහිතභාවය අඩුවීම. මෙයට වැඩිපුරම දායක වුණු දෙයක් ලෙස ඇඟලුම් කර්මාන්තය පෙන්විය හැකියි. විදෙස් රැකියා තවත් එකක්. කාන්තාවන් වැඩියෙන් ශ්‍රම බලකායට එක්වන තරමට පවුල් වල ආදායම් ඉහළ ගොස් දරිද්‍රතාවය අඩුවෙනවා. ඒ වගේම තේ කර්මාන්තයේ ශ්‍රමිකයින්ගේ ජීවන තත්ත්වය තවමත් එතරම් හොඳ නැතත් සාපේක්ෂව ඉහළ ගොස් තිබෙනවා. අඩුආදායම්ලාභීන්ගේ මූලික අවශ්‍යතා සියල්ල සුබසාධනය කළ විට ඉන්න තැනින් ගැලවෙන්න ලොකු උනන්දුවක් ඇති වන්නේ නැහැ. ඇමරිකාවේ තත්ත්වය ලොකුවට වෙනස් නොවන්න එය හේතුවක්.

      Delete
  9. ලංකාවේ සංඛ්‍යා ලේඛන හරි කියලද ඔබතුමා කියන්නේ... ඕවා දැක්කම මට ලෝකයා ගැන දුකයි. මොකද මේ ලංකාව ලෝකයාව රවටන හැටි දැකලා..

    ReplyDelete
    Replies
    1. ලිපිය කියෙවුවොත් ඔබට පැහැදිලි ඇතිනේ, අරු, ලංකාවේ දරිද්‍රතාවය මැනීම සඳහා යොදාගන්න නිර්ණායකය කුමක්ද කියන එක. එම නිර්ණායකය අනුව ලංකාවේ සංඛ්‍යාලේඛණ නිවැරදියි කියා මම හිතනවා.

      Delete
    2. මට නම් ඇත්තටම ආර්ථික විද්‍යාව වත් දේශපාලනය ගැන වත් හරි අවබෝධයක් නැහැ. ඒත් මං තේරෙන කරන දෙයක් තියනවා, යුද්ධය අවසන් වීමෙන් පසුව, රජයට අවශ්‍යයි ලංකාවේ ජනතාව සතුටින් ඉන්නවා කියලා ලෝකයට පෙන්නන්න.. ඒත් ඇත්තම කතාව බදු වැඩි වෙලා, භාණ්ඩ වල මිල වැඩි වෙලා. දුගීන්ට මෙන්ම මධ්‍යම පාන්තිකයන්ට ජීවත් වීම ඉතා අපහසුයි.. අනික ලංකාවේ මධ්‍යම පාන්තිකයා වාහනයක් ගන්න කොපමන උත්සහ කලත් ඒක අපහසුයි... ඔය දත්ත කොයි තරම් නිවැරදිද කියන එක මට නම් හිතෙන්නේ කාටවත් වග කියන්න අමාරුයි කියලා...

      Delete
  10. ලංකාවේ සංඛ්‍යා ලේඛන හරි කියලද ඔබතුමා කියන්නේ... ඕවා දැක්කම මට ලෝකයා ගැන දුකයි. මොකද මේ ලංකාව ලෝකයාව රවටන හැටි දැකලා..

    ReplyDelete
  11. මටනම් මේ ලිපිය කියෙව්වම හිතුනේ ලංකාවේ සාමාන‍ය හොඳ ජීවන තත්වයකින් ජීවත් වෙන අපි ලෝකය ඉදිරියේ පට්ට හිඟන්නෝ නේද කියන එකයි.

    ලංකාවේමිනිසුන්ගේ පරිභෝජනය තුල කිරි චීස් බටර් සකස් කල මස් වැනිදෑ වෙනුවට ග්‍රෑම් 100 කිරි පිටි පැකට්, වියලි හාල් මැස්සෝ, ඉඳහිට ඇස්ට්‍රා මාගරීන් වැනිදෑ පවතින්නේ ඇයි කියන ප්‍රශ්නෙට ඉතා හොඳ පිළිතුරක් ඉකොනෝ මේ ලිපියෙන් දීලා තියෙනවා.
    ලංකාවේදී පීසා කේ එෆ් සී මැක්ඩොනල්ඩ් පට්ට පොශ් වෙන්නේ ඇයි කියන එකට පිළිතුරක් තියෙනවා.

    ඒත් ලංකාවේ හා ඉන්දියාවේ ජීවන වියදම සසඳා බැලීමේදී මේකේ අනිත් පැත්ත් හැරෙනවා.

    ඉන්දියාවේ ලංකාවට සාපේක්ශව වඩා අඩු ආදායම් ලබන්නෙකුගේ පවා ආහාර වාට්ටෝරුවනම් ලංකාවට වඩා ඉතා ඉහලයි.
    අල කිලෝව
    පාන් පිටි කිලෝව
    හාල් කිලෝව
    ළුුනු කිලෝව
    එලවළු කිලෝව
    මේ ඕනෙ එකක් ලංකා මුදලින් රු 50.00 ඉක්මවන්නේම නැති තරම්.
    ඉන්දියාවේදී නම් ලංකා රු 20,000 ක් උපයන්නෙකුටත් හොඳින් කාබී හිටියෑකි.
    අනේ ඒත් ලංකාවේදී...?

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කරුණ ඇත්ත. ඉන්දියාවේ සාමාන්‍ය ආදායම් මට්ටම අඩු වුවත් ආහාර මිල ලංකාවට වඩා ගොඩක් අඩුයි. විශේෂයෙන්ම ඉන්දියානුවන් කිරි නිෂ්පාදන සෑහෙන තරම් ආහාරයට ගන්නවා. ලංකාවේ කිරි නිෂ්පාදන සාමාන්‍ය පවුලකට පරිභෝජනය කරන්න බැරි තරම් මිල අධිකයි. එය අමතක කළත්, රට වටකර මුහුද තියෙද්දී, මාළු පවා විකිණෙන්නේ බොහෝ දෙනෙක්ට මිල දී ගන්න අසීරු මිලකටයි. අප කුඩාකල වැඩිපුර කෑවේ ලතින් ඇමරිකානු රටවලින් ආ මාළු. දැන් තත්ත්වය ටිකක් හොඳයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: