Thursday, November 9, 2017

සයිටම් අහෝසි කිරීම ආණ්ඩුවේ පරාජයක්ද?


සයිටම් වෛද්‍ය පීඨය සම්පූර්ණයෙන්ම වසා දැමීමට ආණ්ඩුව තීරණය කර තිබේ. සයිටම් විරෝධී ව්‍යාපාරය ක්‍රමිකව ගොඩ නැඟුණු හා විකාශනය වුනු ආකාරය අනුව මේ අවස්ථාවේදී ආණ්ඩුවට කළ හැකිව තිබුණු හොඳම දෙය මෙන්ම කළ යුතුව තිබුණු දෙයද මෙයයි. මේ තීරණය නිසා දීර්ඝකාලීනව ඇතැම් අහිතකර ප්‍රතිඵල ඇති වෙනු ඇතත්, මේ තීරණය වෙනුවට ගත හැකිව තිබුණු විකල්ප තීරණ නිසා ඇති විය හැකිව තිබුණු ප්‍රතිඵල ඊට වඩා අහිතකරය.

සයිටම් වෛද්‍ය පීඨය ආරම්භ කළේ වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසුව නොව පසුගිය ආණ්ඩුව කාලයේදීය. එහෙත්, සයිටම් ගැටලුවට මුහුණ දෙන්නට වූයේ වත්මන් ආණ්ඩුවටය.

මේ ආණ්ඩුව ප්‍රතිපත්තිමය වශයෙන් නිදහස් වෙළඳපොළ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් හා කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටින අතර ඒ අරමුණ වෙනුවෙන් සැලකිය යුතු දෙයක් කරයි. එවැනි ප්‍රතිපත්තියක සිටින ආණ්ඩුවකට පෞද්ගලික ව්‍යවසායකයෙකු විසින් උසස් අධ්‍යාපන සේවාවන් මුදලට විකිණීමට විරුද්ධ වීමේ හැකියාවක් නැත. ඒ නිසා, ආණ්ඩුව මුල සිටම සිටියේ සයිටම් වෛද්‍ය පීඨය වසා නොදමන ස්ථාවරයකය. කෙසේ වුවද, සයිටම් විරෝධය හමුවේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මුල සිටම කිසියම් නම්‍යශීලී බවක්ද පෙන්නුවේය. සයිටම් විරෝධය වර්ධනය වී මේ අයුරින් සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමෙන් අවසන් වීමට එම නම්‍යශීලී භාවයද හේතුවක් විය. පසුගිය ආණ්ඩුවේ පාලකයින් බලයේ සිටියානම් සයිටම් විරෝධය මේ තරම් දුරදිග යන්නේ නැත.

වත්මන් ආණ්ඩුවේ නම්‍යශීලී භාවය ප්‍රදර්ශනය වුනේ සයිටම් ප්‍රශ්නයේදී පමණක් නොවේ. අයවැය යෝජනා වල සිට එක්ටා දක්වා විවිධ අවස්ථා වලදී තමන්ගේ මුල් ප්‍රතිසංස්කරණ යෝජනා අකුලා ගනිමින්, ආණ්ඩුව විසින් පැහැදිලිව ප්‍රදර්ශනය කළේ තමන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් මහා ලොකු මිලක් ගෙවන්නට තමන් සූදානම් නැති බවයි.

බොහෝ දෙනෙක් මේ තත්ත්වය තේරුම් ගන්නේ ආණ්ඩුවේ කොන්ද පණ නැතිකම ලෙසිනි. එහෙත්, ඇත්තටම එය පවතින දේශපාලන බලතුලනයේ ප්‍රතිඵලයකි.

එක පැත්තකින් ආණ්ඩුව සමඟ රටේ විශාල පිරිසක් නැත. අනෙක් පැත්තෙන් වත්මන් ආණ්ඩුව කියන්නේ සමජාතීය කණ්ඩායමක් නොව එකිනෙකා සමඟද ප්‍රශ්න ඇති කණ්ඩායම් කිහිපයක එකතුවකි. ඒ නිසා, වත්මන් ආණ්ඩුවට තමන් වඩා සුදුසුයැයි හිතන ප්‍රතිපත්ති කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් නැත. එය නරක තත්ත්වයක්ද නොවේ.

සයිටම් විරෝධීන් අතර කණ්ඩායම් ගණනාවක් සිටි අතර ඒ කණ්ඩායම් වලට සයිටම් වෛද්‍ය පීඨයට විරුද්ධ වීමට ඔවුන්ගේම හේතු තිබුණේය. මේ අතරින් රජයේ වෛද්‍යවරුන්ට වෘත්තීය ප්‍රශ්නයක් තිබුණු අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඔවුන්ට නායකත්වය දුන්නේය. අනාගත වෛද්‍යවරුන් වෙන්නට සිටි වෛද්‍ය පීඨ සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමවුපියන්ටද තිබුණු ප්‍රශ්නය මෙහිම දිගුවකි. මේ වෘත්තීය ප්‍රශ්නය විවිධ මාන තිබුණු එකකි. තමන්ගේ වෘත්තීය ප්‍රශ්න හෝ පෞද්ගලික ශුභ සිද්ධිය වෙනුවෙන් කතා කිරීමට හා සාමකාමී ලෙස අරගල කිරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් ඇති අතර එසේ කිරීම නරක දෙයක් නොවේ.

සයිටම් වෛද්‍ය පීඨය සාර්ථක ව්‍යාපෘතියක් වූවානම් තවත් එවැනි වෛද්‍ය පීඨ ගණනාවක් ලංකාවේ ඇති විය හැකිව තිබුණේය. ලංකාවේ වෛද්‍ය වෘත්තිකයින්ගේ පැත්තෙන් බැලූ විට ඔවුන්ගේ වෘත්තිය හා අදාළව ඉදිරියේදී කොහොමටත් ඇතිවන්නට නියමිත ඇතැම් ගැටළුකාරී තත්ත්වයන් මේ හේතුවෙන් උග්‍ර විය හැකිව තිබුණේය. සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කර දැමීම යනු තවත් කලකට ලංකාවේ එවැනි පෞද්ගලික වෛද්‍ය පීඨ ඇති වීම වලක්වාගැනීමක්ද විය.

අනෙක් අතට, ආණ්ඩුවට හෝ සයිටම් වෛද්‍ය පීඨයට සම්බන්ධයක් නැති, සයිටම් වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනෙක් එසේ කළේද මේ හේතුව නිසාමය. උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කිරීමෙන් පසු දශක දෙකකටත් වැඩි කාලයක් යන තුරු ලංකාවේ වෙනත් පෞද්ගලික වෛද්‍ය පීඨයක් ආරම්භ වූයේ නැත. සයිටම් වෛද්‍ය පීඨය අහෝසි කිරීමෙන් පසු තවත් දිගු කාලයකට ලංකාවේ පෞද්ගලික වෛද්‍ය පීඨයක් ආරම්භ නොවනු ඇත.

සයිටම් විරෝධය සමඟ සිටි ප්‍රධානම දේශපාලන බලවේග දෙක ජවිපෙ හා පෙසපෙයි. මේ පක්ෂ දෙකම මාක්ස්වාදී සමාජවාදී පක්ෂයි. අධ්‍යාපන සේවා සැපයීම රාජ්‍ය ඒකාධිකාරයක් ලෙස තබාගැනීම සමාජවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයකි. ඒ නිසා, ඔවුන්ටද සයිටම් විරෝධී ව්‍යාපාරය සමඟ එකතු වන්නට හේතු තිබුණේය. තමන් විශ්වාස කරන මතවාදයක් වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සක්‍රිය මැදිහත්වීමක් කරන්නට දේශපාලන පක්ෂයකට අයිතියක් තිබේ.

මෙයට අමතරව මේ අරගලය තුළ සිටි ප්‍රධානම බලවේගය සරසවි සිසුන්ය. ඔවුන්ගෙන් වෛද්‍යපීඨ සිසුසිසුවියන් හා පෙසපෙ ජවිපෙ පක්ෂ දෙකේ ක්‍රියාකාරීන් ඉවත් කළහොත් ඉතිරි අයට මේ කටයුත්තෙන් ලැබුණු සෘජු වාසියක් නැත. අඩුම වශයෙන් මේ කොටස, ඔවුන් විශ්වාස කළ පරිදි, නිදහස් අධ්‍යාපනය රැක ගන්නට ඉදිරිපත් වූවෝය. බොහෝ දෙනෙක් සිතන පරිදි සරසවි සිසුන් යනු පෙසපෙට හෝ ජවිපෙට අවශ්‍ය පරිදි නැටවිය හැකි පිරිසක් නොවේ. එම පක්ෂ වලට සරසවි සිසුන්ගේ සහයෝගය ලබාගත හැක්කේ හා ඔවුන්ට නායකත්වය දිය හැක්කේ ඒ සඳහා අවශ්‍ය පසුබිමක් නිර්මාණය වී ඇති විටකදී පමණි.

කවර ආකාරයකින් හෝ සයිටම් විරෝධය තුළ විශාල පිරිසක් එකතු වී සිටියේය. මේ බොහෝ දෙනෙකු ඉතා සක්‍රිය මැදිහත්වීමක්ද කළේය. එයට සාපේක්ෂව සයිටම් වෙනුවෙන් පෙනී සිටින්නට මුල සිටම විශාල පිරිසක් සිටියේ නැත. සයිටම් සිසුන් හා දෙමවුපියන් හැරුණු විට එසේ පෙනී සිටි අයද තනි පුද්ගලයින් මිස සංවිධානාත්මක කණ්ඩායමක් නොවූ අතර, ඔවුන් බොහෝ දෙනෙකුට පොදුවේ අධ්‍යාපනයේ නිදහස මිස සයිටම් වෛද්‍ය පීඨය වැදගත් දෙයක් වූයේ නැත.

සයිටම් විරෝධය සංවිධානාත්මක බලයක් ලෙස මතු වී දිගින් දිගටම ඇදෙන විට ආණ්ඩුවට එය නොසලකා සිටිය හැක්කේ සයිටම් වෙනුවෙන් හෝ පොදුවේ අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන්ද එවැනිම සංවිධානාත්මක දේශපාලන බලයක් මතු වේනම් පමණි. එවැන්නකට නායකත්වය දීමේ ශක්‍යතාවයක් තිබුණු කණ්ඩායම් දෙකක් සිටියේය. ඒ එජාපය හා ශ්‍රීලනිපයයි. මේ පක්ෂ දෙකටම සිය ප්‍රතිපත්ති අනුව සයිටම් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාවක් තිබුණේය.

ශ්‍රීලනිපයේ රාජපක්ෂවාදී බලවේග සයිටම් විරෝධය හරහා ආණ්ඩුව අසීරුවට පත්වනු බලා සිටි අතර ඔවුන්ට සයිටම් වෙනුවෙන් පෙනී සිටින්නට අවශ්‍ය නොවීය. තමන් පෙනී සිටින ප්‍රතිපත්ති ජනතාව වෙතට ගෙනයාමේ දක්ෂතාවයක් නැති ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්ව දෙකටද එවැන්නක් කළ නොහැකි විය.

සයිටම් විරෝධීන්ගේ පීඩනය ක්‍රමයෙන් වැඩි වෙද්දී ආණ්ඩුවට ගත හැකි ක්‍රියාමාර්ග දෙකක් තිබුණේය. පළමුවැන්න අනම්‍යව සිටීමයි. දෙවැන්න යම් පමණකින් නම්‍යශීලී වීමයි. මේ දෙකෙන් ආණ්ඩුවේ තේරීම වූයේ දෙවැන්නයි. මේ නම්‍යශීලිත්වයේ ප්‍රතිඵලය වූයේ  "දැන් ටිකක්. පසුව ඉතිරි ටික" ක්‍රමයට සයිටම් විරෝධී සටන දිගටම ඇදී යාමයි. ආණ්ඩුව විසින් සයිටම් අහෝසි කරන බව නිවේදනය කරන විටත් සයිටම් වලින් ඉතිරිව තිබුණේ වලිග කෑල්ලක් පමණි. ඒ කෑල්ල තියා ගැනීම සඳහා ලොකු මිලක් ගෙවන්නට ආණ්ඩුව යොමු නොවන බව පැහැදිලි කරුණක් විය.

ආණ්ඩුව මුල සිට දැඩි ප්‍රතිපත්තියක සිටියේනම් ප්‍රතිඵලය වඩා හොඳ එකක් විය හැකිව තිබිණැයි කිව නොහැකිය. අරගලයේ මුල් අවස්ථාවේදී කිසිවක් නුදුන්නේනම් ආණ්ඩුවට සිදුවන්නේ බලය යොදා අරගලය මර්දනය කිරීමේ විකල්පය තෝරා ගන්නටය. සයිටම් විරෝධය තුළ සිටි කණ්ඩායම් සියල්ලේම නොවූවත් ඇතැම් කණ්ඩායම් වල ඉලක්කය වූයේ එවැනි තත්ත්වයකි. ආණ්ඩුව එය හඳුනා ගත්තේය. නොඉවසිලිමත් පොලිස් නිලධාරියෙකු අතින් තුවක්කුවක් පත්තු වූවානම් තත්ත්වය බොහෝ වෙනස් විය හැකිව තිබුණේය.

සයිටම් විරෝධී අරගලය අවසාන අදියරේදී තිබුණු තැන අනුව සයිටම් අහෝසි කරන තුරු එය අවසන් වන්නට ඉඩක් නොතිබුණේය. ඒ නිසා, ඒ වෙලාවේද ආණ්ඩුවට තෝරා ගත හැකිව තිබුණේ දරුණු මර්දනයකට යාම හා සයිටම් අහෝසි කිරීම යන විකල්ප දෙකෙන් එකකි. සයිටම් අහෝසි කිරීමේ නරක ප්‍රතිඵල තිබුණත්, විරෝධය මර්දනය කරන්නට යාමේ ප්‍රතිඵල ඊට වඩා හානිකර විය හැකි බව ආණ්ඩුව නිවැරදිව තේරුම් ගත්තේය. එවිට ඉතිරි වන්නේ සයිටම් අහෝසි කිරීමේ විකල්පය පමණි. එය හැකි ඉක්මණින් කළ තරමට හානිය අවමය.

ආණ්ඩුවේ තීරණය මේ වෙලාවේ ගත හැකිව තිබුණු හොඳම තීරණයයි. එමෙන්ම, පසුව වලිග කෑලි ඉතිරි කර නොගෙන තීරණය හැකි ඉක්මණින් ක්‍රියාත්මක කර ප්‍රශ්නය අවසන් කිරීමටද ආණ්ඩුව සැලකිලිමත් විය යුතුය. සයිටම් අහෝසි කිරීමෙන් පසුව වෛද්‍යවරුන්ට හා වෛද්‍ය සිසුන්ට ප්‍රශ්නය ඇදගෙන යන්නට අවශ්‍යතාවයක් නැති වේ. ආණ්ඩුවේ පැත්තෙන් සයිටම් විරෝධීන්ට වෙනත් විරෝධතා නිමිති ලබාදීමක්ද කර නැත. කෙසේ වුවත්, ආණ්ඩුව සයිටම් විරෝධය හමුවේ නැමීම තවත් එවැනි විරෝධතා වලට පූර්වාදර්ශ සපයන්නට ඉඩ තිබේ.

මතුපිටින් පෙනෙන පරිදි සයිටම් සටනින් දේශපාලනික වාසියක් ලැබුණේ ජවිපෙට හා පෙසපෙටය. මේ පක්ෂ දෙකෙන් මැතිවරණයදී බලයක්ව සිටින්නේ ජවිපෙයයි. ජවිපෙය එල්ලුණේ පෙසපෙ හා සරසවි සිසුන් විසින් ඇදගෙන ගිය අරගලයක වුවත් අවසන් වශයෙන් මැතිවරණයකදී මෙහි වැඩි වාසිය ලබන්නේ ජවිපෙයි.

පළාත් සභා ඡන්දය නුදුරු දිනක පැවැත්වෙන්නට නියමිතව ඇති අතර මෙය පොදුජන පක්ෂය, එජාපෙ හා ශ්‍රීලනිප අතර තුන් කොන් සටනක් විය හැකිය. ඇතැම් විට එජාපෙ හා ශ්‍රීලනිප එක්ව තරඟ කරන්නටද ඉඩ තිබේ. මේ දෙකෙන් කුමක් වුවත්, ආණ්ඩුවේ පක්ෂ දෙකට පොදුජන පක්ෂයෙන් දැඩි තරඟයක් එල්ල වීමට නියමිත අතර එතරම් හොඳ නැති මැතිවරණ ප්‍රතිඵලයක් ආණ්ඩුව අස්ථාවර කරන්නට වුවද පුළුවන.

ජවිපෙ වඩා ජනප්‍රිය වීම යනු ආණ්ඩු විරෝධී ඡන්ද වැඩි ප්‍රමාණයක් ජවිපෙ විසින් ලබාගැනීමයි. ජවිපෙ විසින් ආණ්ඩු විරෝධී ඡන්ද වැඩියෙන් ආකර්ෂණය කරගන්නා තරමට ආණ්ඩුවේ පක්ෂ දෙකට පොදුජන පක්ෂය අභිබවන්නට ඇති ඉඩකඩ වැඩිවෙයි. ඒ නිසා, මේ වෙලාවේ සයිටම් අහෝසි කිරීමෙන් වක්‍ර ලෙස ආණ්ඩුවටද දේශපාලන වාසියක් ලැබී තිබේ.

18 comments:

  1. ඇතැම් ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ පෞද්ගලික පරාජයන් ලෙස මිසක සයිටම් අහෝසි කිරීම ආණ්ඩුවේ පරාජයක් ලෙස මම දකින්නේ නැහැ. ඉකොන් මෙම ලිපිය ලියන්නෙත් එම මතයේම ඉඳගෙන බවයි හැඟෙන්නේ. ඔබ දක්වා ඇති කරුණුම ආණ්ඩුවට තමන්ගේ වාසියට අනාගත දේශපාලන වේදිකාවක ඉදිරිපත් කරන්න පුළුවන්. නම්‍යශීලී ප්‍රතිපත්තිය, බහුතරයකට වාසි සැලසෙන ලෙස ප්‍රශ්න විසදීම වැනි කරුණු අලංකාරව ගෙන හැර පාන්න පුළුවන්. කරුණු ඉදිරිපත් කිරීමේදී අති දක්ෂ පාඨලි වැනි කථිකයෙක්ට මෙම ප්‍රශ්නය කණපිට පෙරළීම එතරම් අපහසු නොවනු ඇතියි මා සිතනවා.

    මගේ පෞද්ගලික මතය නම් සයිටම් අහෝසි නොකළ යුතු බවයි. පෙර වැරදි කුමක් වුවත් මා සිතනා ආකාරයට කල යුතුව ඇත්තේ ප්‍රමිතිය ඉහල නංවා මනා කළමනාකාරිත්වයක් සහිතව විනිවිද භාවයකින් මෙය පවත්වාගෙන යාමයි. උදාහරණයක් ලෙස රජයේ විශ්ව විද්‍යාල වල තොරතුරු තාක්ෂණ උපාධි වලට සමගාමීව SLIIT ආයතනය පවත්වාගෙන යාම සඳහන් කරන්න පුළුවන්.

    කාලෝචිත වගේම සමබර ලිපියක්!

    ReplyDelete
  2. සයිටම් එකේ වෛද්‍ය පීඨය අහෝසි කරලා, NIBM වගේ සෙමිගවමන්ට් විදියට කරනවා කියලනේ ආණ්ඩුව කලින් කිව්වේ. දැනුත් ඉතිං එකමනි කරන්නේ. සයිටම් අහෝසි කරනු කියලා කට්ටිය කෑගහව්වා. ආණ්ඩුව සයිටම් එකේ වෛද්‍ය පිඨය අහෝසි කිව්වා, ඊළගට වෙනින් ආයතනයකට අනුබද්දව හෝ NIBM වගේ කරනවා කියලනි කියන්නේ.

    ඔබ ලංකාවේ නැති නිසා ඔබ මේ ගැන තේරුම් අරං ඉන්නේ වෙනින් අන්දමකට. ඇත්තටම බැලුවොත් උනේ සයිටම් අහෝසි කරනු කියන සටන් පාඨය අහෝසි උන එක විතරයි. අන්තරේටත් කොයි මොහොතේ හෝ මේ නැටුම ඉවරකරන්න වෙනවා, මොකද මෙඩිකල් සිසුන් දැන් වසරකට කිට්ටු කාලයක් ගෙදර. ළමයිට එපා උනා අන්තිමට.

    (මම ජපුර වෛද්‍ය පීඨයේ අවසන් වසර සිසුවෙක්. අපි සදුදා ඉදන් ආයේ ක්ලිකල් යන්න හදන්නේ.)

    ReplyDelete
  3. හුණු බිජ්ජකින් පමණක් සෑහි ' මාරාන්තික' උපවාසය නවතා දැමීම ගැන උපවාසයට සහභාගී වූ පස් දෙනාට පමණක් නොව අන්තරේට ද පෙරටුගාමී සහෝදරවරුන්ටද ජනතා විමුක්ති පෙරමුණේ නායක කාරකාදින්ටද අපි මුව නොසැහෙන සේ ස්තුති කරමු .හුණු බිජ්ජ නම් වෙන යමක් නොව හර්ෂද සිල්වාගේ ලිපියයි .එම ලිපියෙන්ද හර්ෂද සිල්වා කිව්වේ වෙන කිසිවක් නොව 2017 -10-29 දින ප්‍රවුර්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙන් ආණ්ඩුව කියා සිටි කි දේමය .

    සයිටමය අහෝසි කොට මුදල් අය කරන එහෙත් ලාභ අපේක්ෂා නොකරන ආයතනයක් පිහිටුවන බව එදා ආණ්ඩුව කිවේය . හර්ෂද සිල්වා ගේ ලිපියෙන් යලි තහවුරු කළේ ද එයමය. එකම වෙනස නම් කලින් නිකුත් කළ දීර්ඝ ලිපිය ප්‍රවුර්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා අත්සන් කර තිබිම වන අතර මේ කෙටි ලිපිය හර්ෂද සිල්වා නියෝජ්‍ය ඇමතිවරයා අත්සන් කර තිබීමය

    උපවාසය ආරම්භ කළ විට මා කිවේ මස් රාත්තලම ඉල්ලන්නට ගොස් විජේවීරත් ප්‍රභාකරනුත් කෙලවා ගත් බවය . එබැවින් අන්තරේ විසින් මස් රාත්තලම ඉල්ලන්නට යාම පරාජයට මාවත බවය . වෛද්‍ය සංගමය ආණ්ඩුවේ ස්ථාවරය පිළිගෙන නිහඬ වුයේ මස් රාත්තලම ඉල්ලන්නට ගොස් තියෙන දෙකත් ගැලවෙන්නට ඉඩ තිබෙන බව දැන සිටි නිසාය .

    එහෙත් කොල්ලන්ට එවැනි බුද්ධියක් නැත . උන්ට උවමනා වන්නේ සටන්ය. දවාලයේ පෙළපාලි ගොස් හැන්දෑවට ගෙදර ගිය විට බත් පිඟාන මේසය මත තිබේ. අඳින්නට කමිසය අම්මා විසින් සෝදා තිබේ. සපත්තු දෙක නංගිට කියා පොලිෂ් කරගත හැක .පසුදා පෝස්ටර් අලවන්නට යන්නට රුපියල් දෙතුන් සීයක් ඉල්ලා කෙඳිරි ගෑවීට බැනුම් කප්පරක් සමග තාත්තාගෙන් එය ලැබෙන්නේය . තේ බොන්නට දවල්ට කන්නට මහා පොළ ශිෂ්‍යත්වයෙන් ගතමනාව ලැබෙන්නේය . එබැවින් ඔවුහු ඉගනීම දෙකට දමා තමන්ගේ පක්ෂ නායකයන් හෝ ශිෂ්‍ය නායකයන් කියන කියන දේ කරන්නට සැදී පැහැදී සිටිති .

    ඔවුන්ට මොලේ පෑදෙන්නේ ගෙදර බත් පිඟාන නැතිවූ දවසටය .

    උපවාසයක් ඇරඹුවද ඊට මහජන සහය නොමැති බව අන්තරේ ලොක්කන්ටත්, පෙරටුගාමින්ටත් , ජවිපෙටත් තේරුම් ගන්නට හැකිවුයේ දවස් දෙකක් ගත වීමෙන් පසුවය . එබැවින් ඔවුන්ට ඕනා වුයේ උපවාසය නවත්තන්නට කුමක් හෝ ගැලවිජ්ජාවකි . ආණ්ඩුවේ ස්ථාවරය අලුත් වචන වලින් ලියා හර්ෂද සිල්වා දුන් විට එය බාර ගෙන ජාම් බේරා ගන්නවා හැර වෙනත් විකල්පයක් ඔවුන්ට නොවිය.

    සයිටමය ජනසතු කරන තුරු සටන් කරන්නට ගොස් සටන අවසන් උනේ එසේය . මාස එකොළහක් තිස්සේ පන්ති වර්ජනය කළ සිසුන්ට සිදුවූ පිරිමැසිය නොහැකි පාඩුවට වග කියන්නට කිසිවෙකු නැත . රටට සිදුවූ හානියට වග කියන්නට කෙනෙක් නැත .දොස්තර වර්ජන නිසා මිය ගිය රෝගීන්ට පන දෙන්නට කෙනෙක් නැත
    එහෙත් එක ශිෂ්‍ය ජීවිතයක් හෝ අහිමි නොවී මෙය මෙසේ අවසන් වීම සියලු පාර්ශවයන් ලැබූ ජයග්‍රහණයකි .

    සුදු කුකුලා බ්ලොග් අඩවිය-

    ReplyDelete
  4. සමබර ලිපියක්.ඊයේ රාත්‍රීයේ මෙම පුවත දකින විටම මේ ගැන ඔබගෙන් ලිපියක් බලපොරොත්තු උනා.

    ReplyDelete
  5. මේක ඇත්තටම මේ මුදල් ගෙවා ඉගෙනගෙන වෛද්‍ය උපාධිය හැදෑරීමට ඉඩ තිබුන පීඨය ස්ථිරව වසා දැමීමක් නම් එය, ආණ්ඩුවේ පරාජයකට වඩා ලංකාවේ දීර්ඝ කාලීනව ජීවත් වන්නට බලා සිටින මිනිසුන්ගේ පරාජයක් වගේ.

    සයිටම් අහෝසි කරනවා කීවට එය වෙනත් අර්ධ රාජ්‍යය ආයතනයකට අනුබද්ධ කර මුදල් ගෙවා ඉගෙනගෙන වෛද්‍ය උපාධිය හැදෑරීමට ඉඩ දීමක් වෙන්නත් පුළුවන්.

    මං නම් හිතන්නේ ජවිපෙට වෙන්නේ අවාසියක් මිසක් වාසියක් නොවෙයි. ජවිපෙ පැරණි හණමිටි අදහස් වලින් අලුත්වෙලා නා කියන එක නැවත පෙන්නුවා. ඔවුන්ගේ "අපේ දැක්ම" පරතිපත්ති වලට පිට පැනල පෙරටුගාමීන් එක්ක සිල්ලර රේස් එකක් දුවපු එකයි ජවිපෙ කලේ. ජවිපෙ ගැන නව බලාපොරොත්තු තබා සිටි අයට ජවිපෙ දුන්න පණිවිඩය ඔවුන්වෙනස් වෙලා නැතෙයි කියන එක. ජවිපෙට ඒක වාසියක් වෙන්න ලොකු ඉඩක් නෑ.

    ReplyDelete
  6. Dear Econo,

    The quoted part below is copied from a comment by Mr. Lankika Sithuwili in another blog; FYI

    //බොහෝදෙනා සිතනවා වෛද්‍යවරු වැඩි නම් රටේ මිනිසුන් ගේ සෞඛ්යය හොදවෙනවා කියල නමුත් ඔබ ඇමරිකාව බලන්න විශාල වියදමක් කලත් ප්‍රයෝජන නැත්තේ ඇයි ?

    https://articles.mercola.com/sites/articles/archive/2014/03/15/bad-american-health-care-system.aspx

    මෙන්න බලන්න http://www.huffingtonpost.co.uk/dr-raj-persaud/when-doctors-go-on-strike_b_1513689.html දොස්තරවරු උද්ගෝෂණ කරන විට රෝගීන් මියයාම අඩු වෙයි, මෙන්න ලෝකය පිළිගත් තොරතුරු.//

    Do you agree with this?

    ReplyDelete
    Replies
    1. "බොහෝදෙනා සිතනවා වෛද්‍යවරු වැඩි නම් රටේ මිනිසුන් ගේ සෞඛ්යය හොදවෙනවා කියල නමුත් ඔබ ඇමරිකාව බලන්න විශාල වියදමක් කලත් ප්‍රයෝජන නැත්තේ ඇයි ?"

      දැන් මේ ප්‍රකාශයේම ගැලපීමක් නැහැනේ, ඇනෝ. වෛද්‍යවරු ගණන හා මිනිසුන්ගේ සෞඛ්‍යය අතර සම්බන්ධතාවය ගැන සොයාබලන්න අවශ්‍යනම් සංසන්දනය කළ යුත්තේ රටේ ජනගහණයෙන් යම් ප්‍රමාණයකට සිටින වෛද්‍යවරුන් ගණන සහ සෞඛ්‍යය පිළිබඳ කිසියම් දර්ශකයකුයි. සෞඛ්‍යය වෙනුවෙන් දරන වියදම කියන එක වෙනම කරුණක්.

      සෞඛ්‍ය සේවා වෙළඳපොළ ගත් විට ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ අනෙක් සියලුම රටවල් වලින් වෙනස්. සමාජවාදී රටවල පමණක් නොවෙයි සාමාන්‍යයෙන් ධනවාදී රටවල් ලෙස සැලකෙන බටහිර යුරෝපීය සංවර්ධිත රටවල් හැම එකකම වාගේ රජය යටතේ පාලනය වන හා බදු වලින් පිරිවැය ආවරණය කරන මධ්‍යගත සෞඛ්‍ය සේවයක් තියෙනවා. එවිට රටේ වෛද්‍යවරු ගණන තීරණය කරන්නේ කිසියම් සැලසුම්කරුවකු විසිනුයි. එහෙත් ඇමරිකාවේ සෑහෙන දුරකට එය සිදුවන්නේ වෙළෙඳපොළ සමතුලිතතාවය අනුවයි. වෙළෙඳපොළ සමතුලිතතාවය මත නිර්ණය වන්නේ රටකට සිටිය යුතු ප්‍රසස්ථම වෛද්‍යවරුන් ගණනයි. (සෑහෙන දුරකට කියා කීවේ ඇමරිකාවේ වුවත් වෛද්‍ය අධ්‍යාපනය ඇතුළු උසස් අධ්‍යාපන සේවා හා සෞඛ්‍ය සේවාවන් යම් තරමකින් බදු මුදලින් සුබසාධනය වන නිසයි. එය අපි පැත්තකින් තියමු.) මෙසේ ප්‍රසස්ථ මට්ටමට වෛද්‍යවරු සිටිනවා කියන එකෙන් කියන්නේ වෛද්‍යවරුන් ගණන තවත් වැඩි කළොත් සෞඛ්‍ය දර්ශක පහළට යනවා කියන එක නෙමෙයි. එවැන්නක් විය හැක්කේ යම් හෙයකින් වෛද්‍යවරුන් ගණන ඉතාම විශාල ලෙස වැඩි වුවහොත් පමණයි. වෛද්‍යවරුන් ගණන දැන් සිටින ප්‍රමාණයට වඩා තවත් වැඩි කළොත් සෞඛ්‍ය දර්ශක ඉහළට යන්න තිබෙන ඉඩකඩ වැඩියි. එහෙත්, එසේ සෞඛ්‍ය දර්ශක ඉහළ දමා ගැනීම නිසා ලැබෙන ප්‍රතිලාභ ඒ සඳහා වැය කළ යුතු මිලට වඩා අඩුයි. ප්‍රසස්ථ මට්ටම කියා කියන්නේ සෞඛ්‍ය දර්ශක තවත් ඉහළ දැමීමෙන් ලැබෙන වාසි වලට වඩා ඒ සඳහා වැය කළ යුතු මිල යාන්තමින් අඩුවෙන් ඇති මට්ටමයි.

      සමාජවාදී (පැරණි සමාජවාදී) රටවල ජනගහණයේ නිශ්චිත ප්‍රමාණයකට සිටින වෛද්‍යවරුන් ගණන මේ ප්‍රසස්ථ මට්ටමට වඩා වැඩියි. එතරම්ම නොවූවත් ධනවාදී රටවල් ලෙස සැලකෙන බටහිර යුරෝපීය සංවර්ධිත රටවල් බොහොමයක, විශේෂයෙන්ම සමාජ ප්‍රජතන්ත්‍රවාදී රටවල තත්ත්වයත් එවැනියි. ජනගහණයේ නිශ්චිත ප්‍රමාණයකට සිටින වෛද්‍යවරුන් ගණන අනුව ඇමරිකාවට වඩා ඉදිරියෙන් සිටින රටවල් අඩු වශයෙන් 50ක්වත් තිබෙනවා. බටහිර යුරෝපීය සංවර්ධිත රටවල් ගණනාවක්ම ඒ අතර තිබෙනවා.

      දැන් මේ ඇමරිකාවේ සෞඛ්‍ය දර්ශක සසඳන එය එසේ සසඳන්නේ ලංකාව වැනි රටවල් සමඟ හෝ අඩු වශයෙන් සමාජවාදී රටවල් සමඟ නෙමෙයි. බටහිර යුරෝපීය සංවර්ධිත රටවල් සමඟයි. එවැනි සැසඳීම් වලදී ඇමරිකාවට වඩා ඉදිරියෙන් සිටින බොහොමයක් රටවල ජනගහණයේ නිශ්චිත ප්‍රමාණයකට සිටින වෛද්‍යවරුන් ගණන ඇමරිකාවේ එම ප්‍රමාණයට වඩා වැඩියි. ඒ නිසා මේ තර්කය වැරදි එකක්.

      //දොස්තරවරු උද්ගෝෂණ කරන විට රෝගීන් මියයාම අඩු වෙයි, මෙන්න ලෝකය පිළිගත් තොරතුරු//
      කරුණු වශයෙන් ගත්තොත් මෙය නිවැරදියි. ලෝකයේ වෛද්‍ය වර්ජන සිදුවූ අවස්ථා ගණනකදී රෝගීන් මිය යාම අඩු වී තිබෙනවා. නමුත්, මේ දත්ත දෙස බලා වෛද්‍යවරුන් නැත්නම් රෝගීන් මිය යාම අඩු වනු ඇති බව කීම නිවැරදි නොවන, ඉතා සරල අදහසක්. මතක හැටියට මේ ගැන කලිනුත් ලිවුවා.

      වෛද්‍යවර්ජන වල හානිකර ප්‍රතිඵල දිගුකාලීනයි. එහෙත් හේතු ගණනාවක් නිසා කෙටිකාලීනව රෝගීන් මියයාම අඩුවන බව පෙනෙන්න පුළුවන්. ලෝකයේ වෛද්‍යවර්ජන කිසිවක් විශාල ලෙස දිග් ගැස්සී නැහැ. ඒ වගේම වෛද්‍ය වර්ජන සිදුවන සෑම විටකදීම වගේ අත්‍යවශ්‍ය සේවාවන් දිගටම සැපයීම සිදු වී තිබෙන නිසා අසාධ්‍ය රෝගීන් මිය යාම ඉහළ යන්නේ නැහැ. දෙවනුව, එවැනි අවස්ථාවක වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් වෙනදාටත් වඩා විශේෂ සැලකිල්ලකින් කටයුතු කරන්න ඉඩ තිබෙනවා. තෙවනුව, වෛද්‍ය වර්ජන සිදුවන විට හදිසි නැති ශල්‍ය කර්ම කල් යනවා. මෙවැනි ශල්‍ය කර්ම නිසා සමස්තයක් ලෙස අපේක්ෂිත ආයු කාලය වැඩිවුණත් කිසියම් ක්ෂණික මරණ ප්‍රමාණයක් සිදු වෙනවා. වෛද්‍ය වර්ජන නිසා එවැනි මරණ කල් යනවා. උදාහරණයක් ලෙස වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය රෝගියෙක්ට එය නොකළා කියා ක්ෂණිකව මරණයට පත් වන්නේ නැහැ. එහෙත්, ශල්‍ය කර්මය කළොත් එය අසාර්ථක වී මිය යාමට කිසියම් සම්භාවිතාවක් හා ආයු කාලය දිගුවීමට විශාල සම්භාවිතාවක් තිබෙනවා. වෛද්‍ය වර්ජනය නිසා මෙවැනි ශල්‍ය කර්ම කල් යනවා. ඇතැම් රෝගීන්ගේ සෞඛ්‍යය ඒ කාලය තුළ ශල්‍ය කර්මය කිරීමට නුසුදුසු මට්ටමට පිරිහෙන්න පුළුවන්. ඒ නිසා දිගුකාලීනව අයහපතක් වුවත් කෙටිකාලීනව යහපතක් වී ඇති බව දත්ත අනුව පෙනෙන්න පුළුවන්.

      Delete
    2. දොස්තර වර්ජන නිසා ලෙඩ්ඩු මැරෙනවද?http://economatta.blogspot.com/2017/06/blog-post_26.html

      Delete
  7. ලංකාවේ සමාජය දේශපාලනිකව වර්ග 5කට බෙදිය හැකියි.
    1.සිංහල බෞද්ධයන්
    2.වතු දෙමළු
    3.උතුරු-නැගෙනහිර දෙමළු
    4. මුස්ලිම්වරු
    5. දෙමළ නොවන කතෝලික/ක්‍රිස්තියානින්

    සයිටම් විරෝධය මඟින් වුනේ මහ ජාතියේ මතය සුළු ජාතිය මත පැටවීමක්.

    ReplyDelete
  8. සයිතම් වෛද්‍ය පිඨයට විරුද්ධ වුවන්ගෙන් සුළු පිරිසයි "මුදලට අධ්‍යාපනය විකිණීමට" විරුද්ධවිම කියන ප්‍රතිපත්තියට අනුව අවංකව සිටියේ .බොහෝ අයට තිබුනේ පුද්ගලික හේතු . නමුත් ඒවා එලිපිට කතාකලේ නෑ. උදාහරණයක් විදියට මේ ලෙස වෛද්‍යවරු වැඩිවීම නිසා අනාගත රැකියා සුරක්‍ෂිත භාවය පිළිබඳ භීිතිකාවක් වෛද්‍ය සිසුන් තුල සහ ඔවුන්ගේ දෙමව්පියන් ඇතිකලා. පිටරට උපාධි අරං එන අය විභාගය විශාල ලෙසERPM(Act16) අසමත් වීම්( අසමත්කරනවා ද?) නිසා ඔවුන්ගෙන් එතරම් තර්ජනයක් ඇතිනෙවන බවත් ලමුත් ලංකාව තුල මේ ලෙස පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිවුවොත් රජයේ වෛද්‍ය විද්‍යාල වලින් පිටවෙන අයට ප්‍රශ්න ඇතිවන බවත් මතයක් තිබුනා. කෙළඹ ෙඬෙද්‍ය පිඨයේ එක්තරා මහාචර්යවරයෙක් ප්‍රසි්ද්ධියෙමෙ ප්‍රකාශ කලා ලංකාවට තවත් වෛද්‍ය පිඨ ඇතිකිරීමේ අවශ්‍යතාවයක් නැති බවට.

    ReplyDelete
  9. මගේ අදහසත් තරමක් දුරට මෙයයි. ආණ්ඩුවේ බල අරගලය්දී ජනාධිපති දෙපැත්තේ හිටියේ. ට්‍රාවිස් යැව්වා. නැව ගණන් යන්නේ. තෙල් ප්‍රශ්නේ අර්ජුන ති කරපු. මංගලගේ අයවැයට කපන්න් කරපුව. ඒ අස්සේ රනිල් අකිල එක්ක සයිටම් ප්‍රශ්නේ විසඳුවා වහනවා කියල. නමුත් ප්‍රමිතිගත වෙනත් ආයතනයක් හදනවා කියල වෙනම කියනවා අයවැයේ. පෙසපය, අන්තරය හා ජවිපෙ මුන බේරගත්ත. සයිටම් දුන්නේ මහින්ද. නෙවිල් යුඇන්පී එකෙන් ශ්‍රීලනිප ගිය පොරක් ඉනිෂලි. ඉඅති රනිල්ට ඔය වගේ ප්‍රතිපත්තියක් නවන එක ලොකු දෙයක් නෙමෙයි. 60000 මැරුණට පස්සේ ප්‍රේමදාස මහතත් ඕකම කලේ.

    ReplyDelete
  10. තව අවුරුදු 5ක් යන්ට ඉස්සර වෛද්‍ය උපාධි දෙන පෞද්ගලික ආයතනයක් එනවා. රජය දැන් දන්නවා එන්ට පුළුවන් විරෝධතා මොනවාද ඒවාට මුහුණ දෙන්නෙ කොහොමද සහ ඒවගේ ආයතනයකට එන්ට ඉඩ දෙන්නනම් කලයුත්තේ මොනවද කියන එක.

    ReplyDelete
  11. ආණ්ුඩුවට කරන්න තියෙන්නේ උතුරු පලාතේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්ු හදන්න.

    ReplyDelete
  12. කිසිම පරාජයක් නෑ. එසේ නොකළහොත් ඉදිරියට ප්‍රශ්ණ ගොඩකට රජයට මුහුණ දෙන්න වෙනවා
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විශ්නු දෙයියෝ බටකොල කෑව සින් එක මතක්වුනා. වෛද්‍ය සිෂ්‍යයෝ මාස 10ක් බටකොල කෑවනේද?

      Delete
  13. මේසන් බාසුන්නැහේගේ , විදුලි කාර්මිකයාගේ , වඩු කාර්මිකයාගේ, ප්රමිතිය හදන්න ඕනැද? එපාද ?

    ReplyDelete
  14. දොස්තරලා බයයි තමන් හදාගෙන යන මහපොළොවට උඩින් ඉන්න හදන ලෝකය පුද්ගලික වෛද්‍ය පීඨ වලින් බිහිවන වෛද්‍ය වරුන් නිසා නැති වෙනවට.රෝහලකට ගියාම රෝගීන්ට කුණු මාලු සේ සලකන වෛද්‍යවරු ඕනෑ තරම් ඉන්නවා.මෙය වෙනස් විය යුතුයි ඔවුන් ද රජයේ සේවකයින් ය.ඔවුන්ට රැකියාවක් තිබේ ඒ රෝගීන් සුවපත් කිරීමයි.ඔවුන් වෛද්‍යවරු වීම නිසා අන් රජයේ සේවකයින්ට නැති සියලු පහසුකම් තමන්ට ලැබිය යුතු යැයි සිතන්නනේ නම් එය ඔවුන්ගේ මනෝ ව්‍යාධියකි.
    එසේ නම් ඔවුන් වෙනත් රැකියාවක් කරන ඒක තමා හොඳ.

    ReplyDelete
  15. #සෞඛ්‍ය සේවා වෙළඳපොළ ගත් විට ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ අනෙක් සියලුම රටවල් වලින් වෙනස්. සමාජවාදී රටවල පමණක් නොවෙයි සාමාන්‍යයෙන් ධනවාදී රටවල් ලෙස සැලකෙන බටහිර යුරෝපීය සංවර්ධිත රටවල් හැම එකකම වාගේ රජය යටතේ පාලනය වන හා බදු වලින් පිරිවැය ආවරණය කරන මධ්‍යගත සෞඛ්‍ය සේවයක් තියෙනවා. එවිට රටේ වෛද්‍යවරු ගණන තීරණය කරන්නේ කිසියම් සැලසුම්කරුවකු විසිනුයි.
    එහෙත් ඇමරිකාවේ සෑහෙන දුරකට එය සිදුවන්නේ වෙළෙඳපොළ සමතුලිතතාවය අනුවයි. වෙළෙඳපොළ සමතුලිතතාවය මත නිර්ණය වන්නේ රටකට සිටිය යුතු ප්‍රසස්ථම වෛද්‍යවරුන් ගණනයි. (සෑහෙන දුරකට කියා කීවේ ඇමරිකාවේ වුවත් වෛද්‍ය අධ්‍යාපනය ඇතුළු උසස් අධ්‍යාපන සේවා හා සෞඛ්‍ය සේවාවන් යම් තරමකින් බදු මුදලින් සුබසාධනය වන නිසයි. එය අපි පැත්තකින් තියමු.)#

    රටකට අවශ්‍යය වෛද්‍යවරු ගණන තීරණය කිරීමේදී ජනගහනයට අමතරව තවත් විවිධ තත්වයන් බලපාන අතර එම රටේ ආර්ථික තත්වය එයින් ඉතාම වැදගත්. විශේෂයෙන්ම වෛද්‍ය අධ්‍යාපනයේ ඇති සුවිශේෂී කරුණුවලට අනුව ඉතා දියුණුයැයි සැළකෙන රටවල් පවා එය තියුණු නියාමනයකට යටත් කරනවා. සමහර කාලයන්ට, මෙය ඉතා තදින් ක්‍රියාත්මක කර වෛද්‍යවරු වැඩිපුර පුහුණු වීම පාලනය කරන අතර සමහර කාලයන්හි පුහුණුව වැඩිකර ඉදිරියේ ඇතිවෙන අවදානම පාලනය කරනවා ( "bust and boom " cycles)
    මෙය දියුණු ආර්ථික තත්වයක් ඇති, ඉල්ලුමට අනුව සැපයුම තුලනය වෙනවයි කියලා අදහන ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බොහෝ රටවල් අයත් OECD සංවිධානයේ වෛද්‍යය අධ්‍යාපනය පිළිබද දත්ත හා ඔවුන් අනුගමනය කරන ක්‍රම වේදයන් හැදෑරීමෙන් අවබෝධ කරගත හැකියි.
    ඔවුන් වෛද්‍ය විද්‍යාල වලට ඇතුලත් වන සිසුන් ප්‍රමාණය නිරතුරුවම numerus clausus
    ( closed number ) කියන මූලධර්ම මත පාලනය කරනවා. මෙම පාලනයට විවිධ හේතු තියෙනවා.
    1. සිසුන් ප්‍රායෝගිකව පුහුණු කිරීමට ඇති සීමිත රෝහල් හා අනෙකුත් සීමිත පහසුකම්.
    2. වෛද්‍යය අධ්‍යාපනයට අධික ලෙස වියදම් කිරීමට සිදුවීම.
    3. අධික ලෙස වෛද්‍යය වෘත්තියට පුද්ගලයින් පැමිණිම වැලැක්වීමට. රැකියා නොමැති වෘත්තිකයින් සෑදිමට රටෙහි මුදල් අනවශ්‍ය ලෙස යෙදවීමෙන් හා ඉතා දීර්ඝ පාඨමාලාවකට අනවශ්‍ය ලෙස සිසුන් ඇතුළු කිරීමෙන් රටෙහි ආර්ථිකයට නරක ලෙස බලපෑම් කිරීම.

    එම රටවල් වල වෛද්‍ය අධ්‍යාපනයට වසරකට එකතු කරන සිසුන් ගණන හා මුළු සිසුන් ගණන අධ්‍යයනය කලොත් ලංකාව සිටින තැන නරක නැති බව හා ගැටලුව ඇත්තේ වෙනත් පාඨමාලා තුල බව ඕනෑම මට්ටමේ පුද්ගලයෙකුට අවබෝධ කර ගැනීමට පුළුවනි.

    පහත link එකට ගිහින් 101 පිටුව බලන්ඩ.

    http://www.keepeek.com/Digital-Asset-Management/oecd/social-issues-migration-health/health-workforce-policies-in-oecd-countries_9789264239517-en#page101

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget