Friday, November 3, 2017

සෝවියට් දේශයේ ආදායම් විෂමතා තිබුණේ නැද්ද? (පළමු කොටස)


දින කිහිපයකට පෙර අජිත් පැරකුම් ජයසිංහගේ w3lanka වියුණුවේ පැරණි සෝවියට් දේශයේ කොටසක් වූ වත්මන් තජිකිස්තානය ගැන අවධානය යොමු කර තිබුණේය. ලිපියේ ප්‍රධාන මාතෘකාව ජනප්‍රිය තජිකිස්තාන ගායිකාවක වන නොසියා කරමටුල්ලෝ සහ කලකට පෙර ඝාතනය කරනු ලැබ ඇති ඇගේ පියා ගැන කතා කිරීම වුවත්, වසර පහකටත් පෙර රයිගම හන්දිය වියුණුවේ පළ වී තිබූ ලිපියකින් කොටසක් උපුටා ගනිමින් තජිකිස්තානයේ වත්මන් තත්ත්වය කෙරෙහිද එහි අවධානය යොමු කර තිබුණේය.

වසර පහක් කියන්නේ මිනිසෙකුගේ ජීවිත කාලය සැලකූ විට දිගු කාලයකි. එවැනි කාලයක් තුළ බ්ලොග් ලිපියක සඳහන් කරුණු පමණක් නොව, ලේඛකයෙකු හෝ වෙනත් පුද්ගලයෙකු සිතන පතන ආකාරය පවා සැලකිය යුතු ලෙස වෙනස් විය හැකිය. ඒ නිසා, එවැන්නක් ගැන කතා කළ යුත්තේ සැලකිල්ලෙනි. කෙසේ වුවද, රුසියාවේ ඔක්තෝබර් විප්ලවයට සියවසක් පිරෙන්නට දින කිහිපයක් ඉතිරිව ඇති මේ වෙලාවේ, මේ ඔක්තෝබර් විප්ලවයේ ප්‍රතිඵල ගැන කතා කරන්නට ප්‍රවේශයක් වශයෙන් තජිකිස්තානය ගැන වසර පහකට පෙර රයිගම හන්දියේ ලියැවී ඇති දේ යොදා ගත හැකිය.

රයිගම හන්දිය ලේඛකයා මෙන්ම මමත් සෝවියට් සමුහාණ්ඩු ගැන මුලින්ම දැනගත්තේ මුදල් නොගෙවා ගෙන්වා ගත හැකිවූ සෝවියට් දේශය සඟරා වලිනි. ඔහු මෙන් මා තජිකිස්තානයට හෝ අසල්වැසි රටකට තාවකාලිකව සංචාරය කර හෝ නැත. එහෙත්, ඇමරිකාවේ ජීවත් වන තජිකිස්තාන සංක්‍රමනික මිතුරු මිතුරියන් කිහිප දෙනෙක්ම ලඟින් ඇසුරු කර ඇති නිසා තජිකිස්තාන කෑම ගැන ඔහු කියන දේ සමඟ මටද එකඟ විය හැකිය. රට ගැන සමස්තයක් ලෙස මා නොදන්නා නමුත් තජිකිස්තාන සංක්‍රමනිකයින් වන මගේ මිතුරු මිතුරියන්නම් පුළුල් දැක්මක් ඇති සුන්දර මිනිසුන්ය.

වැල් වටාරම් අතහැර ලිපියේ සාරාංශය වෙත ගියහොත් අද තජිකිස්තානය කියන්නේ ශ්‍රමික ප්‍රේෂණ වලින් හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය මඟින් යැපෙන දුප්පත් රටකි. ලෝක බැංකු දත්ත අනුව පසුගිය වසරේ තජිකිස්තානයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 796ක් පමණක් විය. එම වසරේ ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 3635 ක් විය. සියවස් තුන්කාලක් සමාජවාදී සෝවියට් සංගමයේ කොටසක් වූ රටක අද තත්ත්වය එහෙමය.

පැරණි සෝවියට් සංගමයේ සාමාජික රටවල් අතරින් අද වන විට අඩුම ඒක පුද්ගල ආදායමක් ලබන්නේ තජිකිස්තානය වුවත් භූගෝලීය ලෙස සෝවියට් සංගමයේ පරිධියේ පිහිටා තිබුණු තවත් රටවල් ගණනාවක තත්ත්වයද එතරම්ම සතුටුදායක නැත. කිර්ගිස්තානය, මොල්දෝවා, උස්බෙකිස්තානය හා යුක්රේනය වැනි තවත් පැරණි සෝවියට් රටවල් ගණනාවක් අද වන විට ඒක පුද්ගල ආදායම අනුව සිටින්නේ ලංකාවට වඩා පසුපසිනි. එහෙත්, සැලකිය යුතු ඒක පුද්ගල ආදායමක් ලබන ලැට්වියාව, ලිතුවේනියාව හා එස්ටෝනියාව වැනි රටවල්ද ඒ අතර තිබේ.

පැරණි සෝවියට් දේශයේ කොටස් වූ රටවල් අතර මේ තරම් ආදායම් විෂමතාවයක් දකින්නට හැකි වී තිබෙන්නේ කෙසේද?

ධනවාදය විවේචනය කරන්නට පැහැදිලි හේතුවක් හොයා ගන්නට අමාරු බොහෝ සමාජවාදීන් පුන පුනා කියන්නේ ධනවාදය ආදායම් විෂමතාවන්ට හේතුවන බවයි. එමෙන්ම, සමාජවාදය මාකටිං කිරීමට වැඩිපුරම යොදාගන්නා තර්කය වන්නේද එමඟින් ආදායම් විෂමතා අඩුවන බවයි.

මේ තර්කය පදනමක් නැති එකක්ම නොවේ. ආදායම් විෂමතා නැති කිරීම ලිබරල් ධනවාදයේ ඉලක්කයක් නොවේ. සියල්ලන්ටම සමාන ආදායම් උපයන්නට ඉඩ සැලසීම සමාජවාදීන්ගේ ඉලක්කයකි. ලිබරල් ධනවාදීන්ගේ ඉලක්කය වන්නේ සියල්ලන්ටම ආදායම් උපයන්නට සමාන ඉඩ සැපයීමයි. මේ දෙකෙන් පළමු ඉලක්කයට වඩා දෙවැන්න කාර්යක්ෂම බව තවදුරටත් න්‍යායාත්මක කරුණක් පමණක් නොවේ. ඉතිහාසය විසින් තහවුරු කර ඇති දෙයකි.

වඩා අකාර්යක්ෂම වුවත් දෙවන ඉලක්කය වඩා සාධාරණ බව සමාජවාදීහු සිතති. මිනිසකුගේ මූලික අවශ්‍යතා ගැන සැලකූ විට සමාජවාදීන්ගේ සිතීමට පදනමක් තිබේ. ඇමරිකා එක්සත් ජනපදය වැනි සංකල්පීය ධනවාදයකට වඩාත්ම ආසන්න රටක පවා ළමුන්, ගර්භණී කාන්තාවන්, ආබාධිතයින්, වයස්ගත අය හා අඩු ආදායම්ලාභීන් වැනි කොටස් වල ආහාර, සෞඛ්‍යය හා අධ්‍යාපනය ආදිය සුබසාධනය වෙනුවෙන් සැලකිය යුතු තරමේ සම්පත් සම්ප්‍රේෂනයක් සිදුවීමෙන් පෙනෙන්නේ 'අනිත් එකා මැරුණත් මගේ ලාභය' කියා සිතීම සාමාන්‍ය මිනිස් ස්වභාවය නොවන බවයි. ප්‍රශ්නයක් මතුවන්නේ සම්පත් සමසේ බෙදීම ඉලක්ක කර ගනිමින් වැඩිපුර සම්පත් උපයන අයගේ ධනය බලහත්කාරයෙන් පැහැර ගන්නට යාමේදීය.

ආදායම් ඉපයීමේ හැකියාව අතින් සියලු මිනිස්සු සමාන නොවෙති. එසේ සමාන වේනම් බලහත්කාරයෙන් සමාජවාදයක් බිහි කරන්නට අවශ්‍ය නොවේ. පවතින අමුද්‍රව්‍ය යොදාගනිමින් සම්පත් නිර්මාණය කිරීම ඇතැම් අයට වෙනත් අයට වඩා කාර්යක්ෂම ලෙස කළ හැකිය.

සැමට සමානව සම්පත් බෙදී යාම තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම පුද්ගලයින් විසින් නිපදවන සම්පත් වලින් කොටසක් අකාර්යක්ෂම පුද්ගලයින් අතට කිසියම් ආකාරයකින් සම්ප්‍රේෂණය කළ යුතුය. මේ සම්ප්‍රේෂණය වීම යම් පමණකින් ස්වභාවික ලෙසම සිදුවන නමුත්, සම්පත් සමානව  බෙදෙන මට්ටමට එය ස්වභාවික ලෙස සිදු වන්නේ නැත. වැඩිපුර සම්පත් නිපදවීමේ හැකියාව ඇති අයෙකු එයින් කොටසක් වෙනත් අය සමඟ ස්වේච්ඡාවෙන් බෙදාගන්නට කැමති විය හැකි වුවත් එයට සීමාවක් තිබේ. ඒ මට්ටමෙන් ඔබ්බට සම්පත් සම්ප්‍රේෂණයක් සිදු කළ හැක්කේ බලහත්කාරයෙන් පමණි.

මිනිස්සු යනු ස්වභාවික ලෙසම ස්වඅභිමතාර්ථය පතන්නෝය. මහන්සියෙන් තොරව වෙනත් අයෙකු උපයන දෙයක් ලබා ගත හැකිනම් එයට අකැමති අය නැත. සම්පත් සමානව බෙදී යන ක්‍රමයක් ඇත්නම් අකාර්යක්ෂම පුද්ගලයින්ට වඩා කාර්යක්ෂම පුද්ගලයින්ගේ මහන්සියේ ප්‍රතිඵලයෙන් කොටසක් පැත්තක සිට ලබා ගන්නට පුළුවන. ඒ නිසා, කාර්යක්ෂම පුද්ගලයින්ගේ මහන්සියේ ප්‍රතිඵල අකාර්යක්ෂම පුද්ගලයින් විසින් සූරාකන එවැනි ක්‍රමයකට කැමති අකාර්යක්ෂම පුද්ගලයින් කොටසක් කොයි සමාජයේත් සිටිති. එහෙත්, මේ පිරිස බහුතරය නොවන බව පෙනෙන්නේ බහුතර මිනිසුන්ගේ කැමැත්තෙන් බිහි කළ හෝ පවත්වාගෙන ගිය සමාජවාදී රජයක් ලෝකයේ කොහේවත් තිබී නොමැති වීමෙනි.

ධනවාදී ආර්ථිකයක ආදායම් සමසේ බෙදීම ඉලක්ක නොකෙරෙන්නේ එසේ කිරීමෙන් වඩා කාර්යක්ෂම කොටස් අධෛර්යමත් කෙරෙන බැවිනි. වැඩි ආදායම් ඉපදවීමේ ඉඩකඩ වඩා කාර්යක්ෂම වීමට පුද්ගලයෙකුව පොළඹවයි. වැඩි දෙනෙකු වැඩි ආදායම් උපයන විට රටක සමස්ත ආදායම ඉහළ යයි.

සෝවියට් දේශය විසින් ඉලක්ක කළේ මෙසේ වඩා කාර්යක්ෂම පුද්ගලයින්ට වැඩි ලාභ ලබන්නට ඉඩ සැලසීම මඟින් සමස්ත නිෂ්පාදිතය ඉහළ නංවා ගැනීම නොවේ. සියළු නිෂ්පාදන සාධක රජය යටතේ තබා ගනිමින් (සෝවියට් ව්‍යවස්ථාවේ 10 වගන්තිය) රටේ භෞතික හා භෞතික නොවන ශ්‍රමය සපයන පුද්ගලයින් අතරත්, ගම් හා නගර ඇතුළු ප්‍රදේශ අතරත් විෂමතා නැති කරමින් (සෝවියට් ව්‍යවස්ථාවේ 19 වගන්තිය) සමජාතීය සමාජයක් හැදීමයි. සෝවියට් සංගමයට රටවල් 15ක් අයත්ව තිබූ අතර ව්‍යවස්ථාවේ 36 වන වගන්තියෙන් මේ සියලු රටවල වැසියන්ට සමාන ලෙස සැලකීම තහවුරු කර තිබුණේය. මේ අනුව, බැලූ බැල්මටම පෙනෙන්නේ සෝවියට් සංගමයේ සාමාජික රටවල් අතර ඒ කාලයේ ආදායම් විෂමතා තිබෙන්නට ඉඩක් නැති බවයි. එසේනම්, මේ රටවල් අතර අද පවතින ආදායම් විෂමතාවයට හේතුව සෝවියට් සංගමය බිඳී යාමද?

පහත වගුවේ ඇත්තේ පැරණි සෝවියට් සංගමයේ සාමාජික රටවල් වල පසුගිය වසරේ ඒක පුද්ගල ආදායමයි. සියලු සංඛ්‍යාලේඛණ ඉදිරිපත් කර ඇත්තේ ඇමරිකන් ඩොලර් වලිනි. මූලාශ්‍රය ලෝක බැංකුවයි.


වගුවෙන් පෙනෙන පරිදි පැරණි සෝවියට් සංගමයේ රටවල් අතරින් මේ වන විට ඒක පුද්ගල ආදායම අනුව රුසියාවට වඩා ඉදිරියෙන් ඉන්නේ රටවල් තුනක් පමණි. අනෙක් රටවල් සියල්ලම ඉන්නේ රුසියාවට වඩා පසුපසිනි. ඒ රටවලට එහෙම වුණේ රුසියාවෙන් වෙන් වූ නිසාද?

උඩ සිතියම දෙස බැලුවොත් එහි කොල පැහැයෙන් ලකුණු කර ඇති බෝල්ටික් රටවල් තුනේ ඒක පුද්ගල ආදායම රුසියාවේ ඒක පුද්ගල ආදායම මෙන් දෙගුණයකට ආසන්න වන අතර කහ පැහැයෙන් දක්වා ඇති රටවල ආදායම රුසියාවේ ආදායමට වඩා විශාල ලෙස අඩු නැත. එහෙත්, රතු පැහැයෙන් ලකුණු කර ඇති පරිධියේ රටවල ඒක පුද්ගල ආදායම් රුසියාවේ ඒක පුද්ගල ආදායමෙන් අඩකටත් අඩුය.

සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුවත් එහි සාමාජිකයින්ව සිටි රටවල් රුසියාව සමඟ වූ සම්බන්ධය අත හැර දැම්මේ නැත. පැරණි සෝවියට් සංගමයේ රටවල් පහළොවෙන් තුනක් හැර ඉතිරි රටවල් සියල්ලම රුසියානු පොදුරාජ්‍ය මණ්ඩලය එසේත් නැත්නම් ස්වාධීන පොදු රාජ්‍ය මණ්ඩලය ලෙස (CIS) එකට සිටියේය. රුසියානු පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ එකතු නොවූයේ පැරණි සෝවියට් සංගමයේ රටවල් අතරින් රටවල් තුනක් පමණි. ඒ බෝල්ටික් කලාපයේ පිහිටි ලැට්වියාව, ලිතුවේනියාව හා එස්ටෝනියාව යන රටවල් තුනයි.

මේ බෝල්ටික් රටවල් තුන කියා සිටියේ සෝවියට් සංගමය විසින් බලහත්කාරයෙන් සිය රටවල් ඈඳා ගත්තා මිස තමන් කැමැත්තෙන් සෝවියට් සංගමය සමඟ එක්ව නොසිටි බවයි. මේ අනුව, රුසියාව සමඟ පැවති සම්බන්ධතාව තවදුරටත් පවත්වා ගැනීමට මේ රටවල් තුනට අවශ්‍ය වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් ඉලක්ක කළේ යුරෝපීය සංගමයට එකතු වීමටය.

අදවන විට රුසියානු පොදු රාජ්‍ය මණ්ඩලයට එකතු නොවූ මේ රටවල් තුනේ ඒක පුද්ගල ආදායම් වල සාමාන්‍යය ඇමරිකන් ඩොලර් 15,524කි. රුසියානු පොදු රාජ්‍ය මණ්ඩලය සමඟ සිටි රටවල ඒක පුද්ගල ආදායම් වල සාමාන්‍යය ඇමරිකන් ඩොලර් 3,481කි.

කෙසේ වුවද, පැරණි සෝවියට් සංගමයේ රටවල් අතර මේ වන විට පෙනෙන්නට තිබෙන ආදායම් විෂමතාවයට එකම හේතුව එම රටවල් සෝවියට් සංගමයෙන් නිදහස් වීමෙන් පසු කටයුතු කළ වෙනස් ආකාරයන් නොවේ. සෝවියට් සංගමය ලෙස එකතු වී සිටි කාලයේද මේ රටවල් අතර සැලකිය යුතු ආදායම් විෂමතා තිබුණේය.

ආදායම් විෂමතා නැති කරන්නට කෙතරම් උත්සාහ කළත් සෝවියට් සංගමයට ඒ ඉලක්කය පවා සපුරා ගන්නට ලැබුණේ එක්තරා මට්ටමකට පමණි. සෝවියට් සංගමය විසින් ප්‍රසිද්ධ කළ නිල ප්‍රකාශන වල මේ හා අදාළ සංඛ්‍යාලේඛණ සෘජුවම ඉදිරිපත් කර නොතිබුණත්, අදාළ කරුණ විමසා බලන්නට ප්‍රමාණවත් දත්ත එම තොරතුරු අතරේ සැඟවී තිබුණේය.

ඇතැම් පර්යේෂකයින් විසින් සෝවියට් සංගමයේ නිල සංඛ්‍යාලේඛණ විශ්ලේෂණය කරමින් සංගමය බිඳ වැටෙන්නට ආසන්නව එහි සාමාජික රාජ්‍ය අතර පැවති ආදායම් විෂමතා ගැන අධ්‍යයනයන් සිදුකර විමර්ශිත ජර්නල වල පළ කර තිබේ. හෙන්රික් ෆ්ලැකියර්ස්කිගේ 1992 අධ්‍යයනයත් (International Journal of Sociology, Vol. 22, No. 3), ඇලෙක්සීව් හා ග්ලැඩීගේ 1993 අධ්‍යයනයත් සෝවියට් සංගමය බිඳ වැටුණු අලුත එසේ සිදු කළ අධ්‍යයන පිළිබඳ උදාහරණයි.


ඇලෙක්සීව් හා ග්ලැඩීගේ 1993 පර්යේෂණ පත්‍රිකාවේ 2A වගුව අනුව, 1988දී තජිකිස්තාන වැසියන්ගෙන් 58.6%කගේ මාසික ආදායම රූබල් 75කට වඩා අඩු වූ අතර උස්බෙකිස්තානයේ මේ ප්‍රතිශතය 44.7%ක්ද, කිර්ගිස්තානයේ 37.1%ක්ද විය. නමුත්, ලැට්වියාව, ලිතුවේනියාව හා එස්ටෝනියාව යන රටවල රූබල් 75කට වඩා අඩු ආදායම් ලැබූ අය සිටියේ පිළිවෙලින් 3.2%ක්, 3.6%ක් හා 3.9%ක් පමණි. අනෙක් අතට ලැට්වියාවේ 28.3%ක්ද, ලිතුවේනියාවේ 24%ක්ද, එස්ටෝනියාවේ 33.6%ක්ද රූබල් 200 ඉක්මවන මාසික ආදායමක් ලබද්දී තජිකිස්තානයේ එම ආදායම් මට්ටම ඉක්මවූ අය සිටියේ 1.4%ක් පමණි.

අද වන විට විශාලනය වී තිබෙන්නේ සෝවියට් සංගමය පැවති කාලයේද එහි සාමාජික රටවල් අතර තිබුණු හා විවිධ ආදායම් ස්ථර අතර තිබුණු (ලිපියේ විස්තරාත්මක ලෙස කතා කර නැති) ආදායම් විෂමතාවයන්ය. සමාජවාදී ප්‍රතිපත්ති අනුගමනය කරමින් සෝවියට් සංගමය විසින් විවිධ ආදායම් ස්ථර අතර ආදායම් විෂමතා අඩු කරගත් බව සැබෑවක් වුවත්, සංඛ්‍යාලේඛණ මඟින් පෙනෙන පරිදි සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති අනුගමනය කළ ඇතැම් ස්කැන්ඩිනේවියානු රටවල්ද ඒ තරමටම හෝ ඊටත් වැඩියෙන් ආදායම් විෂමතාවය අඩුකරගෙන තිබීම විශේෂත්වයකි.

සෝවියට් සංගමය ක්‍රියාත්මකව පැවති කාලයේදීද එහි පරිධියේ වූ මධ්‍යම ආසියානු රටවල තත්ත්වය මධ්‍යයේ වූ රටවල තරම් යහපත්ව තිබී නැත. එපමණක් නොව, තජිකිස්තානයේ අද පෙනෙන්නට ඇති විශාල අවිධිමත් ආර්ථිකයේ ඉතිහාසයද සෝවියට් සංගම් යුගයට දිව යන්නකි. සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු එහි සාමාජික රටවල සිට ඇමරිකා එක්සත් ජනපදයට සංක්‍රමණය වූවන් යොදාගනිමින් සිදු කළ සංගණනයකට අනුව (Berkeley-Duke Project on the Second Economy in the U.S.S.R.) පෙනෙන්නේ ඒ වන විටද සෝවියට් සංගමයට අයත්ව තිබුණු මධ්‍යම ආසියාතික රටවල විශාල අවිධිමත් ආර්ථිකයක් තිබී ඇති බවයි. එහෙත්, සෝවියට් සංගමයට අයත් වූ බෝල්ටික් රටවල එවැනි තත්ත්වයක් තිබී නැත.

අවිධිමත් ආර්ථිකයේ බලපෑමද සැලකූ විට සෝවියට් සංගමයේ පැවති ආදායම් විෂමතාවයන් ඉහත පර්යේෂණ පත්‍රිකා වල පෙනෙනවාටත් වඩා වැඩි විය යුතු බව අදාළ විශ්ලේෂකයින්ගේ අදහසයි. මේ සමාජවාදීන් විසින් උත්කර්ෂයට නංවන සමාජවාදයේ එකම යහපත හා අදාළව වුවද පැවතී ඇති තත්ත්වයයි.

7 comments:

  1. 'අවිධිමත් ආර්ථිකයේ බලපෑමද සැලකූ විට සෝවියට් සංගමයේ පැවති ආදායම් විෂමතාවයන් මෙහි පෙනෙනවාටත් වඩා වැඩි විය යුතු බව විශ්ලේෂකයින්ගේ අදහසයි.'

    ඇත්තෙන්ම කිව්වොත් ඔබගේ සමස්ථ ලිපියම පුස්සක් බව ඉහත ජේදය මගින් පෙන්විය හැක. ඔය කියනා විශ්ලේකයන් යනු කවරෙක්ද? බටහිර ධනවාදී රටවල විශ්ලේෂකයන් නොවේද? ඒ අයගේ විශ්ලේෂණ සමබර බව පිළිගත හැකිද?

    ReplyDelete
    Replies
    1. පැහැදිලි මදි බව පෙනෙන නිසා ඔන්න අදාළ වාක්‍යය ටිකක් වෙනස් කළා.

      "අවිධිමත් ආර්ථිකයේ බලපෑමද සැලකූ විට සෝවියට් සංගමයේ පැවති ආදායම් විෂමතාවයන් ඉහත පර්යේෂණ පත්‍රිකා වල පෙනෙනවාටත් වඩා වැඩි විය යුතු බව අදාළ විශ්ලේෂකයින්ගේ අදහසයි."

      Delete
  2. ඔක්තෝබර් විප්ලවයට පමණක් නොවේ ප්‍රතිවිප්ලවයටත් හෙට අනිද්දා අවුරුදු සීයක් පිරෙනවා.
    ;-)

    ReplyDelete
  3. ලැට්වියාව, ලිතුවේනියාව හා එස්ටෝනියාව ට සෝවියට් දේශයේ වෙනත් සමුහාණ්ඩු වලට වැඩ හොඳ ජිවන තත්වයක් තිබුනට අමතරව ඒවායේ නිෂ්පාදන තත්වයෙන් වඩා උසස් (එමෙන්ම මිලෙන් වැඩි)ලෙස සලකුනා,අපි කවුරුත් උත්සහ කලේ එස්ටෝනියාවේ හදපු සෙට් එකක් ගන්න.

    සෝවියට් දේශයේ කොමිනිස්ට් නායකයන්ට සහ සාමාන්‍ය ජනයට වැසුනු නගර (යුද මුලස්ථාන සහ කේ ජි බි වාසස්ථාන)වලට වෙනමම ප්‍රමුඛ සැපයුම් ජාලයක් තිබුනා. රටේ හොඳම නිෂ්පාදන හිගයකින් තොරව මිලට ගැනීමේ හැකියාවක් ඔවුනට තිබුන. සමහර පොඩි කේ ජි බි කාරයෝ රටේ හිග උපකරණ (කැමරා, සිඩි ප්ලේයර්, සොඋන්ඩ් සිස්ටස්ම්)වෙනත් නගර වලට ගෙන ගොස් වැඩි මිලට වික්ක :)

    ReplyDelete
    Replies
    1. එවැනි වෙනස්කම් තිබෙන්නට ඇති බව සිතාගත හැකියි!

      Delete
  4. හොන්ඩ අලිපියක් . මට මිස් වෙලා දෙවෙනි එකත් කියවල අදහසක් කියන්නම්. තජිකිස්ථානය, කිර්ගිසිය්ව ගැන කියනවා නම් මේ ලිපියත් කියවන්න.
    https://kolambagamaya.blogspot.co.uk/2017/10/4.html
    අග කතාවක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ ලිපිය එය පළවූ කාලයේම කියෙවුවා. සෝවියට් දේශයේ විවිධ ජනරජ අතර තිබුණු ඇතැම් වෙනස්කම් මුල සිටම තිබුණු, සෝවියට් යුගයේදීත් නැති කළ නොහැකි වූ, දැනටත් තිබෙන වෙනස්කම් බවයි මගේ අදහස. ඒ නිසා, තජිකිස්තානය වැනි තැන් වල සෝවියට් යුගයේදී ඔබේ ලිපියේ කියා තිබෙන දේවල් සිදුවුණා විය හැකියි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget