වෙබ් ලිපිනය:

Showing posts with label දේශීය ණය. Show all posts
Showing posts with label දේශීය ණය. Show all posts

Thursday, September 21, 2023

දේශීය ණය ප්‍රශස්තකරණය මුළුමනින්ම අවසන්!


දේශීය ණය ප්‍රශස්තකරණ වැඩ පිළිවෙළෙහි තෙවන හා අවසන් අදියර ලෙස මහ බැංකුව සතු වූ භාණ්ඩාගාර බිල්පත් හා අත්තිකාරම් ණය වෙනුවට දිගුකාලීන රාජ්‍ය සුරැකුම්පත් ලබා දීම මේ වන විට අවසන් වී තිබෙනවා. මේ යටතේ වර්ග 10කින් රුපියල් බිලියන 2,492.3ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයක් මහ බැංකුව වෙත ලබා දී ඇති අතර එම බැඳුම්කර 2029 සිට 2038 දක්වා එක් එක් වසර තුළ කල් පිරෙනවා. 

මීට අමතරව, මේ වසරේ කල් පිරෙන රුපියල් බිලියන 220.8ක තවත් භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් වෙනුවට ඉදිරි වසරේදී කල් පිරෙන බිල්පත් ලබා දී ඇති අතර එම බිල්පත් කල් පිරීමේදී ලැබෙන ආදායම සංචිත තර කර ගැනීම සඳහා ඩොලර් මිල දී ගැනීමට යෙදවීම සැලසුම විය හැකියි.  

මේ හා සමගම රජයට අලුතෙන් ණය ගැනීම සඳහා වන අවශ්‍යතාවය විශාල ලෙස පහළ යනවා. එය ඉක්මණින්ම පොලී අනුපාතික කෙරෙහි යම් සාධනීය බලපෑමක් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. අද දිනයේ ප්‍රකාශයට පත් කෙරුණු ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, ගෙවුණු අගෝස්තු මාසයේ උද්ධමනය 2.1% දක්වා පහත වැටී ඇති අතර එයද මේ සඳහා උපකාරී වනු ඇතැයි සිතිය හැකියි. 

කෙසේ වුවද, රටේ ආර්ථිකය නැවත නිසි මාර්ගයට අවතීර්ණ කර ගැනීම සඳහා අවශ්‍යම දෙය වන විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය තවමත් අවසන් වී නැහැ. එය අවසන් වන තුරු සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් තව දුරටත් ඉතිරි වෙනවා. 

මේ මාසයේදී උද්ධමනය තව දුරටත් පහත වැටෙනු ඇති අතර ඉන් පසුව උද්ධමන ප්‍රවණතාව වෙනස් වී ක්‍රමයෙන් ආපසු හැරීමට නියමිතයි. දැනට උද්ධමනය පවතින්නේ දිගුකාලීනව පැවතිය හැකි මට්ටමට වඩා පහළ මට්ටමකයි. එහෙත් පොලී අනුපාතික දැනට පවතින්නේ දිගුකාලීනව පැවතිය යුතු මට්ටමට වඩා ඉහළ මට්ටමකයි.

Sunday, September 10, 2023

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම- අලුත්ම තත්ත්වය


මෙම ලිපිය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළව පසුගිය සතිය තුළ සිදු වූ දේවල් පිළිබඳව මෙන්ම මෙම සතිය තුළ සිදු විය හැකි දේවල් පිළිබඳව කෙරෙන සමාලෝචනයක්. ලිපියෙන් බොහෝ දුරට කෙරෙන්නේ දැනටමත් පොදු අවකාශයේ ඇති තොරතුරු සාරාංශගත කර නැවත ඉදිරිපත් කිරීමක්.

පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පණතේ පළමුවන උපලේඛනය සංශෝධනය කෙරුණා. ඒ අනුව, සේවා නියුක්තයන්ගේ භාර අරමුදල (ETF), අනුමත කරනු ලැබූ අර්ථසාධක හෝ විශ්‍රාම වැටුප් අරමුදල්, හා අනුමත කරනු ලැබූ සමාපන අරමුදල් (termination funds) මත අය කෙරෙන ආදායම් බදු අනුප්‍රමාණය 30% දක්වා වැඩි කෙරුණු අතර, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වන අරමුදල් සඳහා අදාළ වන ආදායම් බදු අනුප්‍රමාණය තවදුරටත් 14% ලෙසම පවත්වාගනු ලැබෙනවා. මෙම වෙනස්කම් 2023 සැප්තැම්බර් 1 දින සිට ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. 

ඉහත සංශෝධනය මේ වන විට රටේ නීතිය බවට පත් වී අවසානයි. ඒ අනුව, අදාළ සංශෝධනයේ පසුබිම කුමක් වුවත්, සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කරන ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු වෙනත් ඕනෑම අයෙකුට එම නීතියට යටත්ව කටයුතු කිරීමට සිදු වෙනවා. 

ඉහත නීතිය අනුව, "දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වීම" යන්නෙන් අදහස් වන්නේ සුදුසුකම් ලත් අරමුදලක් සතුව තිබෙන 2023 වසර තුළ කල් පිරෙන සුදුසුකම් ලත් බැඳුම්කර අතරින් එක් එක් ශ්‍රේණියේ බැඳුම්කර වලින් අවම වශයෙන් 50%ක් සහ 2024-2032 කාලය තුළ (එම වර්ෂ දෙකද ඇතුළුව) කල් පිරෙන බැඳුම්කර සියල්ල අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අර්පණය කිරීම සහ එම අර්පණයන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් පිළිගනු ලැබීමයි.

ඉහත සඳහන් සුදුසුකම් ලත් අරමුදල් යන්නට සේවක අර්ථසාධක අරමුදලද ඇතුළත්. අර්පණයන් ඉදිරිපත් කිරීම සඳහා හෙට (සැප්තැම්බර් 11) දින පස්වරු 4 දක්වා කාලය ලබා දී ඇති අතර පසු දින (සැප්තැම්බර් 12) ප්‍රතිඵල නිවේදනය කෙරෙනවා. 

සේවක අර්ථසාධක අරමුදලෙහි භාරකරු වන ශ්‍රී ලංකා මහ බැංකුවට එම අරමුදල් වලට "අත නොතබා" සිටිය නොහැකියි. ඔවුන්ගේ වගකීම වනුයේ සාමාජිකයින්ට වැඩිම ප්‍රතිලාභ ලැබෙන පරිදි මෙම අරමුදල් ආයෝජනය කිරීම සහ එම ආයෝජන කල් පිරෙන විට එලෙසම නැවත නැවත ආයෝජනය කිරීමයි. 

මහ බැංකුව විසින් ඉදිරිපත් කර තිබෙන ඇස්තමේන්තු අනුව, ඉහත සඳහන් බදු සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙස 2038 දක්වා වන කාලය තුළ සේවක අර්ථ සාධක අරමුදලේ බැඳුම්කර ආයෝජන වල වටිනාකම 21.6%කින් අඩු වෙනවා. ඒ අනුව, සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ 7.7% දක්වා අඩු වෙනවා. එහෙත්, "දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වීම" මගින් ඉහත අලාභය 4.8% දක්වා අඩු කරගත හැකි අතර සාමාන්‍ය වාර්ෂික ප්‍රතිලාභ 9.1% මට්ටමෙහි පවත්වා ගත හැකියි.

මහ බැංකුවේ ගණන් බැලීම් අනුව සේවක අර්ථසාධක අරමුදල දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා ඵලදායී ලෙස සහභාගී වීමට නියමිත බව ඉතාම පැහැදිලියි. ඇතැම් බාහිර විශ්ලේෂකයින් විසින් මේ අයුරින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා සහභාගී වීම සේවක අර්ථසාධක අරමුදලට අවාසිදායක බව පෙන්වීමට උත්සාහ කර ඇතත් අපගේ අදහස වනුයේ එම ඇස්තමේන්තු දෝෂ සහගත බවයි. එමෙන්ම, මෙම බැඳුම්කර හුවමාරු ක්‍රියාවලිය නිසා අරමුදලේ බැඳුම්කර ආයෝජන වල වටිනාකම 47%කින් අඩු වන බවද එම බාහිර විශ්ලේෂකයින් විසින් පෙන්වා දී තිබෙනවා.

ණය හුවමාරුව සඳහා අර්පණයන් ඉදිරිපත් වී, එම අර්පණයන් සියල්ලම හෝ කොටසක් මහ බැංකුව විසින් භාර ගැනීමෙන් අනතුරුව සැප්තැම්බර් 14 දින බැඳුම්කර හුවමාරුව සිදු වෙනවා. එහිදී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා සහභාගී වන ආයතන එදින අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර වර්ග 12ක හිමිකරුවන් බවට පත් වෙනවා. ඔවුන්ට පසු දින සිටම මෙම බැඳුම්කර වෙනත් අයට විකිණීම සඳහා අර්පණය කළ හැකියි. වෙනත් අයට මෙම අලුත් බැඳුම්කර මිල දී ගැනීම සඳහා අර්පණය කළ හැකියි. ඒ අනුව, දෙපාර්ශ්වයේ එකඟත්වය මත මෙම බැඳුම්කර විකිණීම හා මිල දී ගැනීම මගින් හුවමාරු කරගත හැකියි. 

ඉහත සඳහන් පරිදි අලුතෙන් නිකුත් කෙරෙන බැඳුම්කර වල මිල වෙළදපොළ තුළ තීරණය වෙද්දී එම බැඳුම්කර වෙනුවෙන් අනාගතයේදී ලැබෙන මුදල් ප්‍රවාහ වල වත්කම් වටිනාකමද වෙළඳපොළ තුළ නිර්ණය වී දෘශ්‍යමාන වෙනවා. ඒ අනුව, සේවක අර්ථසාධක අරමුදලට හෝ වෙනත් එවැනි අරමුදලකට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හේතුවෙන් සිදු වූ පාඩුව නිශ්චිත ලෙස ගණන් බැලීමට ඉඩ සැලසෙනවා. ඒ නිසා, එම පාඩුව මහ බැංකුවේ ඇස්තමේන්තුව වන 4.8% වඩා කිට්ටු වේද එසේ නැත්නම් වෙරිටේ රිසර්ච් ඇස්තමේන්තුවට (47%) වඩා කිට්ටු වේද යන්න දැක බලාගැනීම සඳහා බලා සිටිය යුත්තේ වැඩිම වුනොත් තවත් දෙසතියකට නොවැඩි කාලයක් පමණයි. එම පාඩුව දැක ගැනීමෙන් පසුවම ඒ ගැන වැඩිපුර කතා කරමු. 

පාඩුව කොපමණ වුවත්, අපේක්ෂිත පාඩුවක් සිදු වන බව පොදු පිළිගැනීමයි. එමෙන්ම, මෙවැනි පාඩුවක් නොවැලැක්විය හැකි වූ බවද පොදු පිළිගැනීමක්. එහෙත්, මේ පාඩුවේ බර සේවක අර්ථසාධක අරමුදල ඇතුළු "සුදුසුකම් ලත් අරමුදල්" මත පමණක් නොපටවා සියලු බැඳුම්කර හිමියන් අතර බෙදා හැරිය යුතු වූ බව සැලකිය යුතු පිරිසකගේ අදහසක්. 

මෙම අදහස දැරූ ඇතැම් අය සාධාරණත්වය සොයා අධිකරණය වෙත ගියා. එවැනි එක් අයෙක් චතුරංග අබේසිංහ. ඔහු මෙම ලිපියේ මුලින්ම සඳහන් කළ බදු සංශෝධනයෙන් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වන බව සඳහන් කරමින් අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළා (S.C. (SD) No.63/2023). ස්වස්තිකා අරුලිංගම් හා ජයන්ත දෙහිඅත්තගේ විසින් තවත් මෙවැනිම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අතර (S.C. (SD) No.6412023) පෙත්සම් දෙකෙහි කරුණු වල සමානත්වය සලකා බලමින් මෙම පෙත්සම් දෙකම එක වර විභාගයට ගැනුණා. පෙත්සම් දෙකෙහිම වග උත්තරකරු වූයේ නීතිපතිවරයායි. 

ජනාධිපති නීතිඥ බුවනෙක අළුවිහාරේ ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වූ ඉහත මූලික අයිතිවාසිකම් නඩුවට මැදිහත්කරුවෙකු ලෙස පෙත්සමක් ඉදිරිපත් කරමින් ලංකා බැංකුවද සම්බන්ධ වුනා. මහ බැංකු අධිපති විසින් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා. මෙහිදී සලකා බලනු ලැබූ මූලික කරුණ වූයේ බැඳුම්කර හිමියන් අතරින් තෝරාගත් පිරිසකට පමණක් වෙනස් ලෙස සැලකීම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙහි සඳහන් නීතිය ඉදිරියේ සියල්ලන්ටම සමාන ලෙස සැලකිය යුතුය යන මූලධර්මය කඩ වී ඇත්ද යන්නයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් පසුව ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය විසින් තීරණය කළේ ඉහත බදු සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය හෝ වෙනත් කිසිදු වගන්තියක් උල්ලංඝනය වී නොමැති බවයි. ඒ අනුව, අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කර ගත හැකි බවයි. මෙය මේ වන විට සිදු වී තිබෙනවා.

මෙම නඩුව වැදගත් නඩුවක් සේ සැලකිය හැකියි. එහිදී ඉදිරිපත් වූ හා සලකා බලනු ලැබූ කරුණු අප කෙටියෙන් විමසා බලමු.

තෝරාගත් පිරිසකට පමණක් බද්දක් පැනවීම නීතිය ඉදිරියේ සියල්ලන්ටම සමාන ලෙස සැලකිය යුතුය යන මූලධර්මය උල්ලංඝනය කිරීමක්ද?

අධිකරණයේ මතය අනුව, නීතිය ඉදිරියේ සියල්ලන්ම සමාන ලෙස සැලකිය යුතුය යන්නෙන් අදහස් වන්නේ සියලුම නීති වල සියලුම කොටස් වලින් සියලුම පුද්ගලයින් එක ලෙස ආවරණය විය යුතු බව නොවේ. තර්කානුකූල හේතුවක් මත කිසියම් නීතියක් මගින් පුද්ගල වර්ගීකරණයක් කිරීම සඳහා රාජ්‍යය සතු බලය එමගින් ඉවත් නොකරයි.

Article 12(f) of the Sri Lankan Constitution does not insist that every piece of legislation must have universal application and it does not take away from the State the power to classify persons for the purposes of legislation, but the classification must be rational.

මෙහිදී අදාළ නීතිය පරීක්ෂාවන් දෙකක් සමත් කළ යුතුයි. පළමුවැන්න, මෙහිදී සිදු කෙරෙන වර්ගීකරණය පැහැදිලිව හඳුනාගත හැකි වෙන් කිරීමක්ද යන්නයි. දෙවැන්න, එසේ වෙන් කිරීම මගින් කිසියම් නීතියකින් අපේක්ෂා කරන අරමුණ ඉටු වේද යන්නයි. 

කිසියම් පුද්ගලයෙකු මත බද්දක් පැනවීමේදී එසේ කිරීම සඳහා අනෙකුත් සියල්ලන් මතද එවැනිම බද්දක් පැනවිය යුතු නැති බව තීතිය තුළ මැනවින් ස්ථාපනය වී ඇති මූලධර්මයකි. ඒ නිසා, බද්දක් පැනවීමේදී පුද්ගල වර්ගීකරණය මගින් වෙනස් කොට සැලකීම ඒ හේතුව නිසාම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් සිදු නොකරයි.

මේ අනුව, අධිකරණය විසින් සලකා බැලිය යුතු වූයේ මෙම නීතියේ උපකාරයෙන් බැංකු, ප්‍රාථමික අලෙවිකරුවන් හා අනෙකුත් බැඳුම්කරහිමියන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙන් බැහැර කිරීම සඳහා තර්කානුකූල හේතු තිබේද යන්නයි.

මහ බැංකු අධිපති විසින් අධිකරණය වෙත කර ඇති කරුණු දැක්වීම අනුව විශාල විනාශයක් වලක්වා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළ යුතු වන අතර පෙත්සම්කරුවන් විසින් මෙය නොපිළිගනිමින් කරුණු ඉදිරිපත් කර නැහැ. මෙම කරුණු අප විසින් පෙර විස්තර කර ඇති රටේ ආර්ථික අර්බුදය පිළිබඳ සවිස්තරාත්මක කරුණු බැවින් මා මෙම කරුණු නැවත විස්තර කරන්නේ නැහැ.

බැංකු, ප්‍රාථමික අලෙවිකරුවන් හා අනෙකුත් බැඳුම්කරහිමියන් මත පැටවෙන බර සුදුසුකම් ලත් අරමුදල් මත පැටවෙන බර හා සසඳමින් ලංකා බැංකුව විසින් පහත කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර පෙත්සම්කාර පාර්ශ්ව වෙතින් මෙම කරුණු වලට ප්‍රතිපක්ෂව කරුණු ඉදිරිපත් කිරීමක් සිදු වී නැහැ. 

බැංකු වලට සිදුව ඇති හා සිදු වන පාඩුව:

-බැංකු විසින් දැනටමත් 50% ඉක්මවන බදු ගෙවයි. මේ අනුව, බැංකු වල ලාබයෙන් එම බැංකු විසින් ලබා ගන්නා ලාබයටද වඩා වැඩි කොටසක් රජය විසින් දැනටමත් ලබා ගනී. 

-මේ හරහා බැංකු විසින් රජයේ රාජ්‍යමූල්‍ය ස්ථායීකරණ වැඩ පිළිවෙළට සහාය වී ඇත.

-මහ බැංකුවේ නියමය මත වසංගත සමයේදී බැංකු විසින් ණයහිමියන්ට ණය ආපසු ගෙවන කාලය කල් දමන්නට ඉඩ දී ඇත. 

-බැංකු වල ආපසු නොලැබෙන ණය අනුපාතය විශාල ලෙස ඉහළ ගොස් තිබේ. ඒ නිසා, සුළු වෙනසකින් රටේ මූල්‍ය ස්ථායීත්වය බිඳ වැටිය හැකියි.

-බැංකු පද්ධතිය හොඳින් ක්‍රියාත්මක නොවුනහොත් රටේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමද අපහසු වේ.

-රටේ බැංකු ගිණුම් මිලියන 57.2ක් ඇති අතර එම බැංකු ගිණුම් වල ඇති අරමුදල් සුරක්ෂිතව පවත්වා ගැනීම ඉතා වැදගත්ය.

-බැංකු පද්ධතිය බිඳ වැටුනොත් සිදු වන්නේ ඉතා විශාල විනාශයකි.

-සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම නිසාත්, ඉදිරියේදී ස්වෛරිත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම නිසාත්, බැංකු වලට විශාල පාඩුවක් සිදු වේ.

ප්‍රාථමික අලෙවිකරුවන් සහ අනෙකුත් සමාගම්:

-මොවුන් දැනටමත් 30%ක ආදායම් බද්දක් ගෙවයි. ඒ හරහා, රජයේ රාජ්‍යමූල්‍ය ස්ථායීකරණ වැඩ පිළිවෙළට සහාය වී ඇත.

-ඔවුන් සතු මුළු බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 153ක් පමණක් වන අතර රක්ෂණ සමාගම් සතුව තවත් රුපියල් බිලියන 322ක බැඳුම්කර ඇත. මෙම ප්‍රමාණය රුපියල් බිලියන 8,722ක මුළු බැඳුම්කර ප්‍රමාණයට සාපේක්ෂව සුළු ප්‍රමාණයක් වුවත් එම ප්‍රමාණය ආයතන 380ක් අතර බෙදී ගොස් ඇත. මෙම බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ණය සේවා අවශ්‍යතාවයට සිදුවන නොගිණිය හැකි තරමේ බලපෑමට සාපේක්ෂව අදාළ පරිපාලන කටයුතු වෙනුවෙන් විශාල කාලයක් යොදවන්නට සිදුවන නිසා මෙම කණ්ඩායම් ඇතුළත් කර ගැනීමෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාද වේ. එම ප්‍රමාදය නිසා සිදු වන අවාසියට සාපේක්ෂ ලැබෙන වාසිය ප්‍රමාණවත් නැත. 

-එමෙන්ම, ආර්ථිකය සංකෝචනය වීම නිසා ඉහත සමාගම් වලටද සැලකිය යුතු පාඩුවක් සිදු වී ඇත.

සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාර අරමුදල:

-දැනට ගෙවන්නේ 14%ක බද්දක් පමණයි.

-මෙම අරමුදල් වල ඇති තැන්පතු ක්ෂණිකව ඉවත් කරගැනීමේ අවදානම නීති මගින් වලක්වා ඇති නිසා ද්‍රවශීලතා අවදානමක් නැත.

-මෙම අරමුදල් ස්වෛරිත්ව බැඳුම්කර වල හෝ සංවර්ධන බැඳුම්කර වල ආයෝජනය කර නොමැති බැවින් එම බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමේදී පාඩුවක් සිදු නොවේ. 

මෙම සංසන්දනයන්ට හා තොරතුරු එරෙහිව පෙත්සම්කාර පාර්ශ්ව විසින් කරුණු ඉදිරිපත් කිරීමක් කර නැහැ. ඒ අනුව, "සුදුසුකම් ලත් අරමුදල්" වලට වෙනස් ලෙස සැලකීම සඳහා රජයට තර්කානුකූල හේතු ඇති බවත්, එසේ කිරීමෙන් ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු නොවන බවත් අධිකරණයේ මතයයි.

From the foregoing reasons that we have adumbrated in the determination, we proceed to hold that neither the Bill nor any of its provisions is inconsistent with Article 12 or any provisions of the Constitution. 

Saturday, August 12, 2023

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය තවත් කල් යයි!


දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර ලෙස භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කරනු ලැබීම තව දුරටත් කල් යන බවකුයි පෙනෙන්නට තිබෙන්නේ. දැනට නිකුත් ඇති භාණ්ඩාගාර බැඳුම්කර දිගුකාලීන බැඳුම්කර හා හුවමාරු කර ගැනීමට අවශ්‍ය අයට ඒ සඳහා අයදුම් කිරීම සඳහා ලබා දී තිබුණු කාලය මේ වන විට දෙවන වරටද දීර්ඝ කරනු ලැබ ඇති අතර මේ අනුව එම අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අගෝස්තු 28 දින දක්වා කාලය ලැබෙනවා. අගෝස්තු 29 දින ප්‍රතිඵල නිවේදනය කෙරෙනු ඇති අතර අගෝස්තු 31 දින බැඳුම්කර හුවමාරුව සිදු වීමට නියමිතයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු අදියර ලෙස සංවර්ධන බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා සැලකිය යුතු අයදුම්පත් ප්‍රමාණයක් ලැබී තිබුණු අතර ඒ අනුව මුළු සංවර්ධන බැඳුම්කර ප්‍රමාණයෙන් 94%ක් අගෝස්තු 15 දින හුවමාරු වීමට නියමිතයි. මුල් නිවේදනය අනුව මෙය සිදු විය යුතුව තිබුණේ ජූලි 31 දින වුවත් පසුව එම දිනය අගෝස්තු 15 දක්වා කල් දමනු ලැබුවා.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියරේදී නම් කර ඇති නිශ්චිත භාණ්ඩාගාර බැඳුම්කර වලට හිමිකම් කියන ඕනෑම ආයතනයකට එම බැඳුම්කර හුවමාරු කරගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි වුවත්, මෙහිදී ප්‍රධාන වශයෙන්ම ඉලක්ක කර තිබෙන්නේ විශ්‍රාම පාරිතෝෂික අරමුදල් සතු බැඳුම්කරයි. අනෙක් බොහෝ බැඳුම්කරහිමියන්ට විශ්‍රාම පාරිතෝෂික අරමුදලකට මෙන් දීර්ඝ කාලයක් තමන්ගේ මුදල් හිර කර තැබීමට අපහසු බැවින් ඔවුන් මේ හුවමාරුව සඳහා ඉල්ලුම් කිරීමට විශාල උනන්දුවක් දැක්වීමේ ඉඩක් නැහැ.

විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් විසින් ඉල්ලා සිටිනු ලැබුවහොත් අදාළ බැඳුම්කර අනිවාර්යයෙන්ම හුවමාරු කෙරෙනවා. එහෙත්, අනෙකුත් බැඳුම්කර හිමියන්ගේ ඉල්ලීම් හා අදාළව එවැනි සහතිකයක් නැහැ. එම ඉල්ලීම් පිළිගන්නේද යන්න එකින් එක වෙන වෙනම සලකා බැලීමට නියමිතයි. 

ඉහත අයදුම් කිරීම් සඳහා මුලින්ම ජුලි 25 දින දක්වා කාලය ලබා දුන් අතර පසුව එම දිනය අගෝස්තු 11 දක්වා දීර්ඝ කරනු ලැබුවා. ඊයේ (අගෝස්තු 11) මෙම දිනය දෙවන වරටද දීර්ඝ කර තිබෙනවා. මෙයට හේතුව ලෙස සඳහන්ව ඇත්තේ ණයහිමියන් විසින් එසේ කරන මෙන් ඉල්ලා සිටීමයි. ඇතැම් විට අදාළ බදු සංශෝධන සිදු වීමේදී වූ ප්‍රමාදය මෙම කල් යාමට හේතු වූවා විය හැකියි. 

Wednesday, June 28, 2023

අවසන් බලාපොරොත්තුව


මේ ගෙවෙන්නේ රජය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබ, ඒ හේතුවෙන් රටේ මිනිසුන්ගේ හා ආයතන වල තැන්පතු අහිමි වී, පොලී කප්පාදු වී, ස්ථිර තැන්පතු ආපසු ලැබෙන කාලය දිගු වී, රටේ බැංකු ටික කඩා වැටී, ලෝක විනාසය සිදු වන තුරු බලා සිටි අයගේ අවසන් බලාපොරොත්තුවද අවසන් වීමට පෙර ගෙවෙන අවසන් පැය කිහිපයයි. 
අදාළ තොරතුරු ප්‍රකාශයට පත් වූ වහාම ඒ ගැන වැඩි විස්තර කතා කරමු. එතෙක්, අප විසින් මේ ගැන පසුගිය මාස ගණනාවක් මුළුල්ලේ ලියා පළ කර ඇති සටහන් හා පාඨක ප්‍රතිචාර සඳහා ලබා දී ඇති පිළිතුරු කියවා ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

මේ මොහොතේ දැවෙන ප්‍රශ්නය වන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ බිල්ලා මිය යාමෙන් පසුව ලබන සතියේ සිට ප්‍රයෝජනයනට ගැනීම සඳහා  මැවිය හැකි අලුත් බිල්ලා කුමක්ද යන්නයි. 

ඒ අතරම, වසර දෙකහමාරක පමණ කාලයක් තිස්සේ ඉකොනොමැට්ටාගේ බොජුන්හල ප්‍රධාන වියුණුව සඳහා වත්පොත තුළ වූ වාරණයද මේ වන විට ඉවත්ව ඇති බව සතුටින් දැනුම් දෙමු. මේ අනුව, නැවතත් වියුණුවෙහි පළ කර ඇති ලිපි වත්පොත හරහා බෙදා ගත හැකියි. මෙම කාලය තුළ අපව දිරිමත් කරමින් සහයෝගය දැක්වූ සියල්ලන්ට අපගේ ස්තුතිය. 

ලොකු විනාසයක් වන තුරු බලා සිට ඒ පිළිබඳ බලාපොරොත්තු සුන් කර ගන්නට සිදු වන අයගේ සබන් බුබුළු කඩා වැටීම පිළිබඳව අප කණගාටුවට පත් වන අතර එවැනි අය තවදුරටත් මානසික ආතතිය වැඩි කර නොගෙන මේ දින කිහිපය විවේකයෙන් ගත කරන මෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම එවැනි අයගේ  මානසික ආතතිය තව දුරටත් වැඩි නොකරන මෙන් අනෙක් අයගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. 

Wednesday, May 17, 2023

ණය සීමාව වැඩි කළේ ඇයි?

මෑතකදී රජයට නිකුත් කළ හැකි උපරිම භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් ට්‍රිලියනයකින් ඉහළ දැම්මා. මෙයින් අදහස් වන්නේ කුමක්ද?

භාණ්ඩාගාර බිල්පත් කියන්නේ ලංකාවේ කාලයක් තිස්සේ භාවිතා කෙරෙන ණය උපකරණයක්. රජය විසින් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්නේ 1923 අංක 8 දරන දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ. මේ පණත වරින් වර සංශෝධනයට ලක්ව ඇතත් නිදහස ලබන්න පෙර සිටම පැවති පණතක්. 

මෙම පණතේ 2(1) වගන්තිය අනුව මුදල් විෂය භාර ඇමතිවරයාට පුළුවන් කිසියම් උපරිමයකට යටත්ව, භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් රජයට අවශ්‍ය ණය ලබා ගැනීම සඳහා භාණ්ඩාගාරයේ අදාළ නියෝජ්‍ය ලේකම් වරයාට නියෝග කරන්න. භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ණය ගැනීම ඇතුළු රාජ්‍ය මූල්‍යනය පිළිබඳ බලය තිබෙන්නේ ව්‍යවස්ථාදායකයට. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට. ඒ නිසා, මේ බලය මුදල් ඇමති වරයාට ලැබෙන්නේ පාර්ලිමේන්තුවෙන්. නමුත්, දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතේ 2(1) වගන්තිය අනුව, පාර්ලිමේන්තුව විසින් මේ අනුමැතිය දෙන්නේ යම් උපරිම සීමාවකට යටත්ව. ඒ නිසා, නීතිය අනුව, ඊට වඩා වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න බැහැ. 

ඉහත සීමාව කවදාවත් ප්‍රායෝගිකව ප්‍රශ්නයක් වෙලා නැහැ. නමුත් අප දන්නා පරිදි රජය විසින් දිගින් දිගටම අයවැය හිඟයක් පවත්වා ගනිද්දී වැඩි වැඩියෙන් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න වෙනවා. ඔහොම ගිහින් යම් අවස්ථාවක රජය විසින් නිකුත් කර තිබෙන භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය ඔය අනුමත උපරිම සීමාවට කිට්ටු වෙනවා. එවිට විෂය භාර ඇමතිවරයා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර සම්මත කරගෙන උපරිම සීමාව වැඩි කර ගන්නවා. කලට වෙලාවට ඔය වැඩේ නොකළොත් භාණ්ඩාගාර බිල්පත් නිකුත් කරන්න යද්දී නීතිමය/ තාක්ෂනික ප්‍රශ්නයක් ඇති වෙලා ලොකු අවුලක් වෙන්න පුළුවන්. ලංකාවේ කවදාවත් එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. (ඇමරිකාවේනම් මේ දවස් වල ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා.)

2021 ජුනි මාසය වන තුරු මෙම සීමාව රුපියල් බිලියන 2000ක්. එම මාසයේදී අදාළ සීමාව රුපියල් බිලියන 3000 දක්වා වැඩි කළා. ඉන්පසුව, පසුගිය 2022 වසරේ ජූනි මාසයේදී මෙම සීමාව රුපියල් බිලියන 4000 දක්වාත්, නැවත 2022 නොවැම්බර් මාසයේදී රුපියල් බිලියන 5000 දක්වාත් ඉහළ දමනු ලැබුවා. දැන් මෙම සීමාව රුපියල් බිලියන 6000 දක්වා ඉහළ දමා තිබෙනවා. 

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළ හැකි උපරිම සීමාව ඉහළ දැමූ පමණින් එපමණ භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරෙනු ඇති බවක් අදහස් වන්නේ නැහැ. එයින් අදහස් වන්නේ නැවත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගන්නා තුරු ඊට වඩා වැඩියෙන් බිල්පත් නිකුත් කළ නොහැකි බව පමණයි. එහෙත්, වඩා වැඩියෙන් බිල්පත් නිකුත් නොකරන්නේනම් සීමාව ඉහළ දැමීමේ අවශ්‍යතාවයක් නැහැ. සීමාව ඉහළ දමන්නේම පරණ සීමාව ඉක්මවා බිල්පත් නිකුත් කිරීමට අවශ්‍ය නිසයි. 

පසුගිය සතිය අවසන් වන විට (මැයි 11) රුපියල් බිලියන 4,840ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිකුත් කර තිබුණා. උපරීම සීමාව වැඩි නොකළේනම්, රටේ නීතිය අනුව තව දුරටත් නිකුත් කළ හැකිව තිබුණේ රුපියල් බිලියන 160ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. මේ වගේ වෙලාවක නොව සාමාන්‍ය තත්ත්වයකදී වුවත් මෙවැනි සීමිත නීතිමය අවකාශයක් තිබීම රාජ්‍යමූල්‍ය කළමනාකරණය සාමාන්‍ය පරිදි කිරීමට බාධාවක්. ඒ වගේම, සතිපතා හෝ මාස්පතා සීමාව වැඩි කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර ගැනීමද තේරුමක් නැති වැඩක්. එකවර තරමක් වැඩි ප්‍රමාණයකින් සීමාව ඔසොවන්නේ ඒ නිසා. 

කෙසේ වුවත් මෙවැනි උපරිම නීතිමය සීමාවක් තිබීම නරක දෙයක් නෙමෙයි. එයින් යම් පාලනයක් සිදු වෙනවා. 

පෙරේදා (මැයි 15) රුපියල් බිලියන 103.6ක බැඳුම්කර ප්‍රමාණයක කල් පිරුණා. ඒ වගේම, පසුගිය සතියේ (මැයි 12) රුපියල් බිලියන 305.7ක විශාල භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් කල් පිරුණා. අනිද්දා (මැයි 19) තවත් රුපියල් බිලියන 305.7ක බිල්පත් ප්‍රමාණයක් කල් පිරෙනවා (මෙම ගණන් දෙක සමාන වීම අත්වැරැද්දක් නෙමෙයි.) මේ ටික එකතු කළොත් රුපියල් බිලියන 715.0ක අති දැවැන්ත මුදලක්. මැයි 12-19 කාලය තුළ රජය විසින් මෙම බිල්පත් හා බැඳුම්කර පියවිය යුතුයි. මේ වෙනුවෙන් 23% පොලියට බිල්පත් මිල දී ගත්තොත්, ඒ වෙනුවෙන් රුපියල් බිලියන 879ක බිල්පත් අලුතෙන් නිකුත් කරන්න සිදු වෙනවා. එවිට දැනට නිකුත් කර ඇති බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 268කින් පමණ වැඩි වෙනවා. එසේ නැත්නම් අනෙක් විකල්පය බිල්පත් අඩුවෙන් නිකුත් කර අඩුව පිරවීමට බැඳුම්කර අලුතෙන් නිකුත් කිරීමයි.

මගේ අදහසනම් මේ වෙලාවේ බැඳුම්කර අඩුවෙන් නිකුත් කර බිල්පත් වැඩියෙන් නිකුත් කළ යුතු බවයි. එසේ යෝජනා කරන්නට හේතු කිහිපයක් තිබෙනවා. 

පළමුව, සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් විය යුතුයි. එවිට මූල්‍ය වෙළඳපොළ අවිනිශ්චිතතා විශාල ලෙස දුරු වී පොලී අනුපාතික මත වන අවදානම් අධිභාරය ඉවත් වෙනවා. මෙය සිදු නොවුවහොත් විශාලම අවුලක් වන නිසා පොලී අනුපාතික ගැන කතා කරන එකේවත් තේරුමක් නැහැ. අපේක්ෂිත පරිදි වැඩේ වෙයි කියලා දැනට හිතමු.

දෙවන කරුණ සැප්තැම්බර් වන විට උද්ධමනය විශාල ලෙස පහත වැටීමයි. ඒ වන විට මෙම අගය තනි අංකයක් වෙන්න පුළුවන්. යම් එහා මෙහා වීමක් හැරුණු විට මෙය නියත වශයෙන්ම සිදු වීමට නියමිත නමුත් ඒ පිළිබඳ වෙළදපොල විශ්වාසය තවමත් ගොඩ නැගී නැහැ. තව සති හයකින් මේ විශ්වාසය ගොඩ නැගෙයි. ඇතැම් විට ඊට පෙර දේශීය ණය ගැන පැහැදිලි ප්‍රකාශයක් ආවොත් එහි බලපෑමත් පොලී අනුපාතික වලට එයි. මේ තත්ත්වයන් එක්ක සැප්තැම්බර් පමණ වන විට පොලී අනුපාතික විශාල ලෙස අඩු විය යුතුයි.

දැන් කෙටිකාලීන භාණ්ඩාගාර බිල්පත් නිකුත් කළොත් එම බිල්පත් වසරක් ඇතුළත කල් පිරෙන නිසා ඉන් පසුව අඩු පොලියකට නැවත නිකුත් කළ හැකියි. සය මාසික බිල්පත් නිකුත් කළොත් වාසිය තවත් වැඩියි. බැඳුම්කර නිකුත් කළොත් දැන් තිබෙන ඉහළ පොලී අනුපාතිකය දිගටම ගෙවන්න සිදු වෙනවා. වැඩියෙන් බිල්පත් නිකුත් කරන්නනම් උපරිම සීමාව අනිවාර්යයෙන්ම ඉහළ දමන්න වෙනවා. දැන් එය කර ඇති නිසා මේ වැඩේට බාධාවක් නැහැ.

අද (මැයි 17) වෙන්දේසියේදී රුපියල් බිලියන 180ක බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කර තිබෙනවා. මෙම ප්‍රමාණය විශාල ප්‍රමාණයක්. පසුගිය සතියේදීද මීට ආසන්න බිල්පත් ප්‍රමාණයක් නිකුත් කෙරුණා. කෙසේ වුවත්, මෙම ප්‍රමාණය කල් පිරුණු බිල්පත් ප්‍රමාණයට වඩා අඩු නිසා මුළු බිල්පත් ප්‍රමාණය වැඩි වී නැති විය හැකියි. ඇතැම් විට මීට අමතරව මහ බැංකුව සතු වූ කල් පිරුණු බිල්පත් නැවත ආයෝජනය කළා වෙන්නත් පුළුවන්. කල් පිරුණු බිල්පත් වලින් මහ බැංකුවේ කොටස හරියටම දන්නේ නැතත් එම පංගුව සැලකිය යුතු පංගුවක් විය යුතුයි.

පොලී අනුපාතික වලද යම් පහත යාමක් පෙන්නුම් කරනවා. අදාළ දත්ත පහත වගුවේ ඇති නිසා නැවත සටහන් කරන්නේ නැහැ.

අලුතෙන් නිකුත් කරන බිල්පත් වල පොලී අනුපාතික අඩු වීමේදී පහත වැටෙන්නේ එම බිල්පත් වල පොලිය පමණක් නෙමෙයි. වෙළඳපොළේ දැනට තිබෙන බිල්පත් හා බැඳුම්කර වල පොලී අනුපාතිකද ඒ හා පහත වැටෙනවා. ඒ නිසා, පොලී අනුපාතික පහත වැටෙන එක සෙමින් සිදුවන ක්‍රියාවලියක්. පොලී අනුපාතික සුළුවෙන් පහත වැටෙද්දී වුවත් දිගුකාලීන බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ යනවා. 

ණය සීමාව ඉහළ දමා ඇති නිසා මහ බැංකුව තව සල්ලි අච්චු ගසයිද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අත්සන් කර ඇති ගිවිසුමෙන් මහ බැංකුව විසින් රජයට ලබා දිය හැකි ශුද්ධ ණය ප්‍රමාණය පිළිබඳව උපරිම සීමාවන් නියම කර තිබෙනවා. පහත තිබෙන්නේ එම සීමාවන්.

2022 අවසානයේදී රජයට ලබා දී තිබුණු ශුද්ධ ණය ප්‍රමාණය - රුපියල් බිලියන 2,834යි.

2023 මාර්තු අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,890යි.

2023 ජූනි අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,890යි.

2023 සැප්තැම්බර් අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,840යි.

2023 දෙසැම්බර් අවසානයේදී තිබිය හැකි උපරිම ප්‍රමාණය - රුපියල් බිලියන 2,740යි.

මේ අනුව, උපරිම සීමාව ක්රමයෙන් පහත වැටෙන බව පැහැදිලි විය යුතුයි. රුපියල් බිලියන 2,890 කියන්නේ ජනවාරි අවසාන වෙද්දී තිබුණු ඇත්ත ගණන. එම ගණන ජූනි අවසන් වන තුරු වැඩි වෙන්න බැහැ. ඉන් පසුව, සැප්තැම්බර් IMF විමර්ශනය වෙද්දී අඩු වශයෙන් රුපියල් බිලියන 50කින් අඩු වෙන්න ඕනෑ. වසර අවසන් වන විට තවත් රුපියල් බිලියන 100කින් අඩු වෙන්න ඕනෑ. ඕකයි එකඟතාවය.

මෙම සීමා ඉක්මවා යාමට ලංකාවේ නීතියෙන් බාධාවක් නැතත් එසේ සීමා ඉක්මවා ගියහොත් රජයට සහ මහ බැංකුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගනුදෙනු බේරාගන්නට සිදු වෙනවා. 



Tuesday, May 16, 2023

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කොයි තරම් අමාරුද?


කලින් සටහනෙන් පෙන්වන්න අදහස් කළ ප්‍රධානම කාරණය යම් ආකාරයක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළත් ඒ හේතුවෙන් බැංකු පද්ධතිය අස්ථාවර නොවන බවයි. ලංකාවේ බැංකු කඩා වැටෙනවානම් එසේ කඩා වැටෙන්න වැඩිම ඉඩක් තිබුණු කාලය දැන් පහු වෙලා. 

පොලී අනුපාතික වේගයෙන් ඉහළ යන කාලයක් කියන්නේ බැඳුම්කර ආයෝජකයින්ට නරක කාලයක්. එවැනි කාලයකදී ඔවුන් කලින් අඩු කූපන් පොලියකට මිල දී ගෙන තිබෙන බැඳුම්කර වල මිල විශාල ලෙස පහත වැටෙනවා. කල් පිරීමේ කාලය වැඩි වන තරමට සහ පොලී වෙනස වැඩි වන තරමට මිල පහත වැටීමද වැඩියි.

මෙවැනි මිල පහත වැටීම් "සිදු නොවූ/ සිදු විය හැකි අලාභ - unrealized losses" ලෙස අදාළ ආයෝජකයින්ගේ ශේෂ පත්‍ර වල රැඳී තිබෙනවා. මෙවැනි සිදු විය හැකි අලාභයක් ඇත්ත අලාබයක් වෙන්නේ යම් හෙයකින් ඔය වගේ වෙලාවක බැඳුම්කරයක් විකුණන්න සිදු වුනොත්.

මේක මේ වගේ දෙයක්. කවුරු හෝ කෙනෙක් ඉඩමක් මිල දී ගැනීමෙන් පසු ඉඩමේ මිල විශාල ලෙස පහත වැටෙනවා. ඔය වගේ වෙලාවක ඉඩම විකුණුවොත් විශාල පාඩුවක් වෙනවා. නමුත්, කොහොම හරි අල්ලගෙන හිටියොත් පසුව මිල වැඩි වූ වෙලාවක ලාබයක් තියාගෙන විකුණන්න පුළුවන්. හැබැයි සල්ලි හදිස්සියක් වුනොත් බල බල ඉන්න බැහැ. පාඩුවට විකුණන්න වෙනවා.

සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතනයකට මේ වගේ සල්ලි හදිස්සි ඇති වෙන්නේ නැහැ. දායක මුදල් ආපසු ගෙවන්න අවශ්‍ය මුදල් ප්‍රමාණයට වඩා වැඩියෙන් හැම විටම මෙන් අලුත් දායක මුදල් ලැබෙනවා. ඒ නිසා පරණ වත්කම් විකුණන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් බැංකු වල තත්ත්වය වෙනස්. සමහර වෙලාවට බැංකුවට එන සල්ලි වලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් තැන්පතුකරුවන් විසින් ඉල්ලා සිටින්න පුළුවන්. 

වාණිජ බැංකු සුරැකුම්පත් ආයෝජන කරන්නේම ඔය වගේ සල්ලි හදිස්සියකදී විකුණන්න බලාගෙන. නමුත්, පෙර කී අයුරින් වෙළඳපොළ මිල ගොඩක් අඩු වී ඇති වෙලාවක සුරැකුම්පත් විකුණන්න වුනොත් ලොකු පාඩුවක් දරාගන්න වෙනවා. මුළු කතාවම ගත්තොත් වඩා සංකීර්ණ වුනත්, මෑතකදී ඇමරිකාවේ බැංකු කිහිපයක් බංකොලොත් වුනේ ඔය විදිහට පාඩුවට සුරැකුම්පත් විකුණන්න වීම නිසා. 

ලංකාව හා අදාළව මේ විදිහට සුරැකුම්පත් වල මිල පහළ ගිය අදියර දැන් ඉවරයි. දැන් තියෙන්නේ මේ චක්‍රයේම අනෙක් පැත්ත. ඒ කියන්නේ කලින් මිල දී ගත් සුරැකුම්පත් වල මිල වේගයෙන් ඉහළ යන අදියර. මේ වගේ කාලයක සුරැකුම්පත් සඳහා ලැබෙන්න තිබෙන මුදලින් යම් කොටසක් නොලැබී ගියත්, බැංකු සිටින්නේ කලින් හිටියාට වඩා වාසිදායක සහ ස්ථායී තැනක. ඒ නිසා, යම් ණය කප්පාදුවක් සිදු වුනත් බැංකු වලට අවුලක් වෙන්නේ නැහැ. කතාව ඕකයි.

මෙයින් අදහස් කළේ අනිවාර්යයෙන්ම ණය හෝ පොලී කප්පාදුවක් වෙයි කියන එක නෙමෙයි. බොහෝ විට එහෙම නොවෙන්න පුළුවන්. ඒ ඇයි කියන එක දැන් තව දුරටත් විස්තර කරන්නම්.

ඔය දේශීය ණය ප්‍රතිව්‍යුහකරණ බිය එක්ක 13% කියන අංකය සම්බන්ධයි. යෝජිත වැඩ පිළිවෙළ අනුව, 2027-2032 කාලයේ දළ ණය අවශ්‍යතාවය (GFN) දදේනියෙන් 13% ඉක්මවන්න බැහැ. එයින් විදේශ ණය සේවාකරණය 4.5% ඉක්මවිය නොහැකියි. විදේශ ණය වලට 4.5%ක් වෙන් කළාට පස්සේ දේශීය ණය සේවාකරණය සඳහා ඉතුරු වෙන්නේ 8.5%ක් පමණයි කියන එකත් එක්ක තමයි ඔය බය ඇවිත් තියෙන්නේ. නමුත්, හේතු කිහිපයක් නිසා තත්ත්වය මේ තරම්ම නරක නැහැ.

පළමුව, 4.5% කියා කියන්නේ උපරිම සීමාවක්. වැඩපිළිවෙළේ ඉලක්ක තිබෙන්නේ ඊට වඩා තරමක් පහළින්. ඒ නිසා, 8.5%ට වඩා ටිකක් උඩට යන්න පුළුවන්. ඊටත් වඩා වැදගත් කරුණ මේ වෙද්දී දදේනියෙන් 2.3%ක ප්‍රාථමික අතිරික්තයක් පවත්වා ගැනීම. එම අතිරික්තයෙන් ණය හා පොලී සියල්ල ගෙවන්න බැරි වුනත් යම් කොටසක් ගෙවන්න පුළුවන්. ඒ නිසා, දේශීය ණය සේවාකරණය වෙනුවෙන් දදේනියෙන් වැඩි ප්‍රතිශතයක් වෙන් කරන්න පුළුවන්.

පහළින් තියෙන්නේ දේශීය (රුපියල්) ණය සේවාකරණ වියදම් හා අදාළව අරමුදල විසින් ඉදිරිපත් කර තිබෙන ඉලක්ක.

2022 - 21.5%

2023 - 21.3%

2024 - 14.5%

2025 - 13.1%

2026 - 14.9%

2027 - 13.0%

2028 - 11.1%

2029 - 11.9%

2030 - 10.0%

2031 - 10.2%

2032 - 10.2%

2033 -  9.8%

ඔය කාලය තුළ නාමික දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වන ආකාරය පුරෝකථනය කර තිබෙන්නේ පහත ආකාරයටයි.

2023 - 26.0%

2024 - 12.3%

2025 - 8.3%

2026 - 8.4%

2027 - 8.3%

2028 - 8.3%

2029 - 8.3%

2030 - 8.3%

2031 - 8.3%

2032 - 8.3%

2033 - 8.3%

මේ අනුව දදේනි ඇස්තමේන්තු පහත තිබෙනවා.

2022 - රුපියල් බිලියන 24,148

2023 - රුපියල් බිලියන 30,426

2024 - රුපියල් බිලියන 34,169

2025 - රුපියල් බිලියන 37,005

2026 - රුපියල් බිලියන 40,113

2027 - රුපියල් බිලියන 43,443

2028 - රුපියල් බිලියන 47,049

2029 - රුපියල් බිලියන 50,954

2030 - රුපියල් බිලියන 55,183

2031 - රුපියල් බිලියන 59,763

2032 - රුපියල් බිලියන 64,723

2033 - රුපියල් බිලියන 70,095

ඉහත ගණන් ඇසුරෙන් අපට රුපියල් ණය හා පොලී ආපසු ගෙවීම වෙනුවෙන් වෙන් කළ හැකි මුදල් ප්‍රමාණ හොයාගන්න පුළුවන්. 

2022 - රුපියල් බිලියන 5,192

2023 - රුපියල් බිලියන 6,481

2024 - රුපියල් බිලියන 4,954

2025 - රුපියල් බිලියන 4,848

2026 - රුපියල් බිලියන 5,977

2027 - රුපියල් බිලියන 5,648

2028 - රුපියල් බිලියන 5,222

2029 - රුපියල් බිලියන 6,063

2030 - රුපියල් බිලියන 5,518

2031 - රුපියල් බිලියන 6,096

2032 - රුපියල් බිලියන 6,602

2033 - රුපියල් බිලියන 6,869

කලින් ලිපියේ සඳහන් කළ පරිදි, 2023 අප්‍රේල් අවසානයේදී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය රුපියල් බිලියන 4,761ක්. රුපියල් බිලියන 9,136ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කර තිබුණත් ඒ සියල්ල එක වර කල් පිරෙන්නේ නැහැ. කල් පිරෙන්නේ මේ විදිහට.

2023 මැයි-දෙසැම්බර් අතර - රුපියල් බිලියන 915යි 

2024 - රුපියල් බිලියන 1,195යි 

2025 - රුපියල් බිලියන 1,218යි 

2026 - රුපියල් බිලියන 1,102යි 

2027 - රුපියල් බිලියන 1,454යි 

2028 - රුපියල් බිලියන 950යි 

2029-2032 අතර - රුපියල් බිලියන 1,484යි 

2033-2045 අතර - රුපියල් බිලියන 819යි 

භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය වඩා විශාල වුනත්, කිසියම් වසරක කාලයක් සැලකුවොත් දේශීය ණය සේවාකරණයෙන් ලොකුම කොටස බිල්පත්. රුපියල් බිලියන 4,761ක් වන බිල්පත් ප්‍රමාණයෙන් රුපියල් බිලියන 2,724ක්ම අරගෙන තියෙන්නේ මහ බැංකුව. ඔය ප්‍රමාණය සමීකරණයෙන් ඉවත් වුන ගමන් ප්‍රශ්නය සෑහෙන්න සරල වෙනවා. ඒ නිසා, මම හිතන විදිහට බැඳුම්කර වල කූපන් පොලී හෝ මුහුණත අගය අඩු කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ. ඊට අමතරව දැනට නිකුත් කර තිබෙන බැඳුම්කර නියම දවසට ගෙවන එකත් කරන්න බැරි දෙයක් නෙමෙයි. 

බරපතල ප්‍රශ්නය විදේශ ණය. ඒ ප්‍රශ්නය විසඳගන්න පුළුවන්නම් දේශීය ණය ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. ප්‍රස්ථාරයෙන් පෙනෙන පරිදි මෙය බොහෝ දුරට තිබෙන ණය වැඩි කර නොගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. 

Monday, May 15, 2023

වැල් පාලම දිගේ එගොඩ බලා...


කාල වේලාව හොයා ගන්න ගොඩක්ම අමාරු වුනත්, ටික දවසකින් ලිපියක් පළ නොකළ නිසා අප සමඟ රැඳී සිටින පාඨකයින් වෙනුවෙන් රටේ ආර්ථිකයේ වත්මන් තත්ත්වය ගැන යම් යාවත්කාලීන කිරීමක් කරන්නම්. 

වැඩි විස්තර වලට යන්න කලින් කියන්න යන දේ ගැන ඉතා කෙටියෙන් කිවුවොත්, ශුභවාදී ලෙස හැම දේම හොඳින් විසඳී අවසන් බව සිතා ඇහැ කණ පියාගත හැකි වාතාවරණයක් තවමත් ඇති වී නැහැ. තවමත් ගෙවෙන්නේ අවිනිශ්චිත, අවදානම් කාලයක්. ඒ වගේම, අවශ්‍ය දේවල් ප්‍රායෝගිකව සිදු විය හැකි වේගයෙන් සිදු වෙමින් තිබෙන නිසා, අශුභවාදී වීමට හේතුවක් පෙනෙන්නත් නැහැ. 

තවමත් ඉන්නේ වැල් පාලමේ මැද වුනත්, එගොඩ බලා ගමන හෙමින් හෙමින් සිදු වෙමින් තිබෙනවා. මේ ගමන කලබලයෙන්, ඕනෑවට වඩා හදිස්සියෙන් යා හැකි ගමනක් නෙමෙයි. ඒ වගේම, වැල් පාලම මැද සිට සිරි නරඹමින් කාලය ගත කරන්නත් බැහැ. හැකි වේගයෙන්, නොනැවතී ගමන යා යුතුයි.

පසුගිය සතිය අවසන් වෙද්දී ප්‍රධාන වාණිජ බැංකු වල ඩොලරයක ගැනුම් මිල රුපියල් 304 දක්වා පහත වැටී තිබුණු බව ඔබ නිරීක්ෂණය කරන්න ඇති. මෙයින් කරුණු දෙකක් පිළිබිඹු වෙනවා. පළමුව, බැංකු පද්ධතිය තුළ ඩොලර් මිල දී ගැනීම සඳහා වන ඉල්ලුම ඉක්මවා ඩොලර් ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා. දෙවනුව, බැංකු පද්ධතිය තුළ ඇති අතිරික්ත ඩොලර් මිල දී ගනිමින් මිල පහත වැටීම වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් විශාල උත්සාහයක් ගන්නා බවක් පෙනෙන්න නැහැ.

දෙවැන්න සිදු වන්නේ යෝජිත සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි කොටසක් ලෙසයි. අදාළ වැඩපිළිවෙළ අනුව විණිමය වෙළඳපොළ කෙරෙහි මහ බැංකුව විසින් කරනු ඇත්තේ සීමිත හා නිශ්චිත මැදිහත් වීමක් පමණයි. ඒ නිසා, වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත විණිමය අනුපාතය සැලකිය යුතු තරමකින් ඉහළට හෝ පහළට විචලනය විය හැකියි. මේ වන විට රුපියල කෙටිකාලීනව තවතවත් අවප්‍රමාණය වීමේ ප්‍රවණතාවක් පෙනෙන්නට නැහැ. 

ඉහත තත්ත්වයට හේතුව ආනයන වියදම් වලට සාපේක්ෂව ඩොලර් ලැබීම්, විශේෂයෙන්ම ශ්‍රමික ප්‍රේෂණ, ඉහළ ගොස් තිබීමයි. කෙසේ වුවත්, එය සිදු වන්නේ ආනයන සීමා මුළුමනින්ම ඉවත්ව නොමැති පසුබිමකයි. ආනයන සීමා ක්‍රමයෙන් ඉවත් වෙද්දී මේ තත්ත්වය වෙනස් වී ඩොලරයක මිල නැවතත් ඉහළ යාමට නියමිතයි. එසේ වුවත්, එම ඉහළ යාම ක්‍රමිකව මිස එක වර වේගයෙන් සිදු වන එකක් නැහැ. 

මහ බැංකුව විසින් දැනට ඩොලරයක මිල පහත වැටීමට ඉඩ සලසමින් සිටින්නේ, ආනයන සීමා ඉවත් කිරීමෙන් පසුවද ඩොලරයක මිල ගොඩක්ම ඉහළ සීමාවකට නොයාම අපේක්ෂා කරමින් විය හැකියි. දැනට රුපියල් 313 සීමාවේ තිබෙන අන්තර් බැංකු එතැන් වෙළඳපොළේ මැදි මිල 15%කින් පමණ ඉහළ ගියත්, එය කාලයක් රැඳී තිබුණු රුපියල් 360 සීමාව ඉක්මවන්නේ නැහැ. 

මෙය ආනයන සීමා ඉවත් කළ පසු ඩොලරයක මිල රුපියල් 360ක් වනු ඇතැයි ව්‍යංගයෙන් කීමක් නෙමෙයි. සමාන්තර ලෙස බැංකු පද්ධතිය තුළට වෙනත් ක්‍රම වලින් ඩොලර් ගලා ඒම නිසා රුපියලෙහි අවප්‍රමාණය වීමක් නොවෙන්න වුනත් පුළුවන්. විණිමය අනුපාතය ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වන්නට ඉඩ හැරීමෙන් පසුව එය කවර ආකාරයෙන් වෙනස් වෙයිද කියා කිසිවෙකුට හරියටම කියන්න බැහැ. එහෙම කියන්න පුළුවන්නම්, එය ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වන්නක් ලෙස සලකන්න බැහැ. 

කොහොම වුනත් වැදගත්ම කරුණ විණිමය අනුපාතය ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වන්නට ඉඩ හැරීම ප්‍රතිපත්තියක් සේ පිළිගෙන ඒ අනුව කටයුතු කරමින් සිටීමයි. මෙම ප්‍රතිපත්තිය වෙනස් නොකරන තාක් ලංකාවට එදිනෙදා අවශ්‍යතා සඳහා විදේශ විණිමය නොමැති වීමේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. එහෙත්, පරණ ණය හා පොලී ගෙවීමේ ප්‍රශ්නය තවදුරටත් ඉතිරි වෙනවා. තවතවත් ණය නොගෙන උපයන විදේශ විණිමයෙන් එදිනෙදා වියදම් පිරි මසා ගත හැකි වුවත්, පරණ ණය හා පොලී ගෙවීමට තරම් මුදලක් ඉතිරි කර ගැනීම කිසිසේත්ම කළ නොහැක්කක්. ගොඩ ගැසී තිබෙන විදේශ ණය කන්දරාව ඒ තරම්ම විශාලයි.

සාර්ව ආර්ථික වැඩපිළිවෙල තුළ සිදුවන අනෙකුත් වැදගත්ම දෙය රජයේ එදිනෙදා ආදායම් හා වියදම් ගලපනු ලැබීමයි. මේ අනුව, රජයට අලුතෙන් ණය ගන්නට අවශ්‍ය වන්නේ පරණ ණය හා පොලී ගෙවීමට පමණයි. මේ ආකාරයෙන් රජයේ අයවැය හා රටේ අයවැය ගලපා ගැනීම ක්‍රීඩාව මුළුමනින්ම වෙනස් කිරීමක් (game changer).

මේ වෙනස කොයි තරම් වැදගත් වෙනසක්ද කියන එක මේ විදිහට විස්තර කරන්න පුළුවන්. කිසිසේත්ම සිදු නොවන හා කළ නොහැකි, තනිකරම පරිකල්පනීය අදහසක් වුවත්, අපි නිකමට හිතමු මේ මොහොතේ සිට රජයේ ණය හා රටේ ණය ආපසු ගෙවීම මුළුමනින්ම නැවැත්තුවා කියා. සියළුම ණයහිමියෝ මේ වැඩේට කැමති වුනා කියලත් හිතමු. ඉන් පසුව, රජයට උපයන ආදායම් වලින් යම් මුදලක් ඉතිරි කර ගන්න පුළුවන් වගේම රටට උපයන විදේශ විණිමය වලින් යම් මුදලක් ඉතිරි කර ගන්නත් පුළුවන්. 

මේ වගේ පරිකල්පනීය තත්ත්වයක් යටතේ රජයට හෝ රටට නැවතත් කාගෙන්වත් ණය ගැනීමේ ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. රජයට අඩු වශයෙන් රට ඇතුළෙන් හෝ ණය ගන්න අවශ්‍ය වන්නේ නැහැ. ඒ වෙනුවට, සිංගප්පූරුව මෙන්, අයවැය අතිරික්තය ආයෝජනය කර ආදායම් උපයන්න පුළුවන්. එම ආදායම් ඉහළ යද්දී බදු අඩු කරන්න පුළුවන්. ඒ වගේම, අතිරික්තය විදේශ සංචිත බවට පත් කර විදේශ විණිමය උපයන්න පුළුවන්. ඒ හරහා, අපනයන තරඟකාරිත්වයද පවත්වා ගනිමින්, රුපියල ශක්තිමත් වෙන්න ඉඩ සලස්වන්න පුළුවන්.

ඔය ඔක්කොම වෙන්නේ ප්‍රාථමික අයවැය අතිරික්තයක් හා ජංගම ගිණුමේ (පොලී වියදම් හැර) අතිරික්තයක් පවත්වා ගැනීමත් එක්ක. ඒ හැර, වෙන කිසිම දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඔය දෙක මුල සිටම කළානම්, අද ලංකාව මේ දැන් තිබෙන ලංකාව නෙමෙයි. ඊට වඩා ගොඩක් දියුණු රටක්. 

හැබැයි ලංකාව මුල සිටම එහෙම කළේ නැහැනේ. ඒ නිසා, දැන් ඔය වැඩේ පටන් ගත්තා කියලා මෙතෙක් එකතු වූ ණය කන්දරාවේ ප්‍රශ්නයෙන් ගැලවෙන්න බැහැ. මේ මොහොතේ සිට රජයේ ණය හා රටේ ණය ආපසු ගෙවීම මුළුමනින්ම නැවැත්වූ පරිකල්පනීය තත්ත්වයක් යටතේ කියලා කිවුවේ ඒ නිසා. එහෙම දෙයක් කරන්න පුළුවන් පරිකල්පනීය ලෙස පමණයි. හේතු ගණනාවක් නිසා සැබෑ ලෝකයේ ඒ වගේ දෙයක් කරන්න ඉඩක් නැහැ. 

හැබැයි අර කලින් කියපු දේවල් දෙක නොකර පරිකල්පනීය ලෙස වුවත් ඔය වගේ දෙයක් ගැන හිතන්න බැහැ. මොකද ප්‍රාථමික අයවැය හිඟයක් පවත්වා ගන්නා තුරු, ජංගම ගිණුම් හිඟයක් පවත්වා ගන්නා තුරු, එදිනෙදා රට දුවවන්න වුනත් අලුතෙන් තව තව ණය ගන්න වෙනවා. කලින් ගත්ත ණය ආපසු ගෙවමින් මිස අලුතෙන් තවත් ණය ගන්න බැහැ. ඒ නිසා, ණය නොගෙවන එක ගැන පරිකල්පනීය ලෙසවත් හිතන්න බැහැ. දැන් තත්ත්වය ක්‍රීඩාව මුළුමනින්ම වෙනස් කිරීමක් වෙන්නේ ඒ නිසා. 

කලින් තත්ත්වය තුළ ණය ලංකාවේ හා ලංකාවේ රජයේ ප්‍රශ්නයක්. මේ අලුත් තත්ත්වය තුළ එය ණයහිමියන්ගේ ප්‍රශ්නයක්. අලුත් සන්දර්භයේදීත් වෙනත් විවිධ හේතු නිසා ණය ප්‍රශ්නය තවදුරටත් ලංකාවේ හා ලංකාවේ රජයේ ප්‍රශ්නයක් වුනත්, කලින් වගේ ණය නැතිව හුස්ම ගන්නවත් බැරිකමක් දැන් නැහැ. 

හැබැයි මේ "වෙනත් විවිධ හේතු" පහසුවෙන් පැත්තකට දැමිය හැකි හේතු නෙමෙයි. බරපතල හේතු. පළමු ප්‍රශ්නය ජාත්‍යන්තර නීති. විදේශ ණය වලින් සැලකිය යුතු කොටසක් ලබා ගෙන තියෙන්නේ වෙනත් රටක නීතිය යටතේ. ඒ නිසා, ලංකාවට හිතුමනාපෙට ණය පැහැර හරින්න බැහැ. මෙය කළ හැකි එකම ක්‍රමය ණය හිමියන්ගේ එකඟත්වය ඇතිව කිසියම් ආකාරයක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කරන එක. 

දේශීය නීතිය යටතේ ලබා ගෙන තිබෙන ණය වලට ඉහත ප්‍රශ්නය නැහැ. නමුත්, රටේ බැංකු පද්ධතිය අස්ථාවර වීම වගේ කාරණා ගැන සලකා බැලිය යුතු නිසා, මේ ණය වුනත් හිතුමතේට පැහැර හරින්න පුළුවන්කමක් නැහැ. 

ඉහත සන්දර්භය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දැවැන්ත අභියෝගය ලංකාව හමුවේ තිබෙනවා. සමීකරණයේ විසඳන්න අමාරුම කොටස මුල කොටස. ඒ කියන්නේ වෙනත් රටක නීතිය යටතේ ලබාගෙන තිබෙන ණය. දෙවන ප්‍රශ්නය මතු වන්නේ එම ප්‍රශ්නය විසඳන්න යාමේදී මතු වන අතුරු ප්‍රශ්නයක් විදිහටයි.

යෝජිත ස්ථායීකරණ වැඩ පිළිවෙළ අනුව ලංකාවට 2023-2027 ඩොලර් මිලියන 14,087ක ණය සහනයක් අවශ්‍ය වෙනවා. ඒ 2022දී පැහැර හැර තිබෙන ඩොලර් මිලියන 2,824ට අමතරව. එකතුව ඩොලර් මිලියන 16,911ක්. මෙම මුදල ලංකාවේ ආර්ථිකයට සාපේක්ෂව ඉතාම විශාල මුදලක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඔය ණය සහනය නැතුව ලංකාවට වැල් පාලමෙන් එගොඩ වෙන්න බැහැ. 

ලංකාවේ ආර්ථිකය ස්ථායී කිරීම සඳහා ණය සහන දීමෙන් උදවු වෙන්න ණයහිමියෝ කැමති වෙලා තිබෙනවා. ඉහත කී ණය සහනය අවශ්‍ය බවත් පිළිගෙන තිබෙනවා. නමුත්, තමන් මේ පාඩුවෙන් කොයි තරමක් දරා ගන්නවාද කියන එක ගැන තවමත් එකඟත්වයක් නැහැ. 

මේක ගිලෙන්න යන නැවක් ගිලෙන එක බේරාගන්න බර අඩු කරන්න යද්දී මතු වන ආකාරයේ ප්‍රශ්නයක්. මොන විදිහකින් හෝ බර අඩු කරගන්න කාටත් අවශ්‍යයි. මොකද නැව ගිලුනොත් කාටවත් බේරුමක් නැහැ. හැබැයි තමන්ගේ ගොඩ තියාගෙන අනෙක් අයගේ ගොඩවල් මුහුදට දමලා බර අඩු කරගන්න පුලුවන්නම් කවුරු වුනත් කැමතියි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තිබෙන අභියෝගය ඕකයි. 

පසුගිය වසරේ පැහැර හැරපු කොටසත් එක්ක ඩොලර් මිලියන 16,911ක් කියන එකෙන් ඒ කියන දෙයට වඩා දෙයක් අදහස් වෙන්නේ නැහැ. 2027 දක්වා මේ මුදල ආපසු ගෙවන්නේ නැහැ. එච්චරයි. ඊට පස්සේ වෙන්නේ කුමක්ද කියන එක ණයහිමියෝ  කතා කරලා බේරගන්න අවශ්‍ය දෙයක්. නමුත් එහෙමයි කියලා 2028 සිට ඔය ණය පරණ ඇරියස් එක්ක ගෙවන්න පුළුවන්කමකුත් නැහැ. සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ ඇතුළේම 2028-2032 කාලයේ විදේශ ණය සේවාකරණය පිළිබඳ දදේනියෙන් 4.5%ක උපරිම සීමාවකුත් තිබෙනවා. ඒ නිසා, වැඩේ කෙළවරක් වෙද්දී ණයහිමියන්ට කවර හෝ පාඩුවක් විඳ දරා ගන්නම වෙනවා.

මේ වන විටත් ද්විපාර්ශ්වික ණයහිමියෝ එක කණ්ඩායමක් විදිහට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන කතා කරමින් ඉන්නවා. චීනය, සවුදි අරාබිය හා ඉරානය එහි ඉන්නේ නිරීක්ෂකයින් විදිහට. අපි දැනට වැඩි විස්තර කතා නොකර වැඩි තොරතුරක් ලැබෙන තුරු බලා සිටිමු. 

දේශීය ණය ප්‍රධාන වශයෙන්ම ප්‍රශ්නයක් වෙන්නේ දදේනියෙන් 13%ක් වන උපරිම ණය සේවාකරණ සීමාව එක්ක. එයින් 4.5%ක් විදේශ ණය සේවාකරණය සඳහා වෙන් කළොත් දේශීය ණය සේවා කරණය වෙනුවෙන් උපරිම වශයෙන් වෙන් කළ හැක්කේ දදේනියෙන් 8.5%ක් පමණයි. මේ ඉලක්කයට යන්න දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න වෙයිද? එහෙම කළොත් අතුරු ප්‍රශ්න ඇති වෙයිද? 

මේක ප්‍රශ්නයක් වෙන්නේ පොලී අනුපාතික දිගටම ඉහළ මට්ටමක තිබීමේ අවදානමත් එක්ක. මගේ පෞද්ගලික අදහසනම් සැප්තැම්බර් මාසය පමණ වන විට පොලී අනුපාතික විශාල ලෙස අඩුවෙයි කියන එක. නමුත්, එහෙම නොවුනොත් තත්ත්වය ගැනත් අපි සලකා බලමු. 

අප්‍රේල් අවසානය වෙද්දී නිකුත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය (මුහුණත වටිනාකම) රුපියල් බිලියන 4,761ක්. භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 9,136ක්. දේශීය ණය කියන්නේ මේ කොටස් දෙක පමණක් නොවුනත්, මේ කොටස් දෙක ගැන පමණක් කතා කළොත්, එකතුව රුපියල් බිලියන 13,897ක්. රජය එදිනෙදා වියදමට තවත් ණය නොගත්තත්. මේ ණය හා පොලිය ගෙවීම සඳහා දිගින් දිගටම ණය ගන්න වෙනවා. එහෙම අවශ්‍ය නොවන්නේ අර කලින් කියපු ආකාරයේ පරිකල්පනීය තත්ත්වයක් යටතේ පමණයි.

දැන් මම කලින් කිවුවා වගේ මෙතැන තිබෙන මූලික ප්‍රශ්නය විදේශ ණයනේ. දේශීය ණය කියා කියන්නේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරගන්න යද්දී මතුවෙන අතුරු ප්‍රශ්නයක් පමණයි. දේශීය ණය ප්‍රශ්නයක් වෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ පොලී අනුපාතික දැන් මට්ටමේම තියෙනවද එහෙම නැත්නම් විශාල ලෙස අඩු වෙනවද කියන එකත් එක්ක. මේ වෙද්දී එක් අවුරුදු බිල්පත් පොලී අනුපාතිකය 23%ක් පමණ. මේ අනුපාතිකය මේ මට්ටමේම තිබුණොත්, දැනට නිකුත් කර තිබෙන බිල්පත් වල පොලී ගෙවන්න පමණක් අලුතෙන් බිල්පත් නිකුත් කර ගෙන ගියොත්, ණය සේවාකරණ අවශ්‍යතාවය (බිල්පත් හා පමණක් අදාළව) ඉහළ යන්නේ මේ විදිහටයි. 

2023 - රුපියල් බිලියන 4,761යි 

2027- රුපියල් බිලියන 10,897යි 

2032 - රුපියල් බිලියන 30,679යි 

මම හිතන්නේ ණය තිරසාරත්වය නැති වීම කියා කියන්නේ කුමක්ද කියලා මේ ගණන් දිහා බැලුවහම පැහැදිලි වෙනවා. රජය රජයේ වියදම් වෙනුවෙන් අලුතෙන් එක සතයක්වත් ණය ගත්තේ නැතත් දැනට නිකුත් කර තිබෙන රුපියල් බිලියන 4,761ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණය 2032 වෙද්දී රුපියල් බිලියන 30,679ක් වෙනවා. පොලී අනුපාතික 23% මට්ටමේ දිගටම තිබුනොත්, භාණ්ඩාගාර බැඳුම්කර ඇතුළු අනෙකුත් දේශීය ණයත් ඔය වගේම අනුපාතයකින් වැඩි වෙනවා. 

ඔය තත්ත්වය හරි තියෙන්නේ මෑතකදී පොලී අනුපාතික සැලකිය යුතු ලෙස අඩු වූ නිසා. පසුගිය වසර අවසන් වෙද්දී පොලී අනුපාතික තිබුණේ 30% වගේ මට්ටමක. 30% පොලී අනුපාතික ඒ විදිහට දිගටම තිබුණානම් තත්ත්වය වෙනස් වෙන්නේ කොහොමද? 

2023 - රුපියල් බිලියන 4,761යි 

2027- රුපියල් බිලියන 13,598යි 

2032 - රුපියල් බිලියන 50,488යි 

පේනවනේ කොයි තරම් භයානක තත්ත්වයක්ද තිබුණේ කියලා.

හැබැයි ඔය කියපු ආකාරයේ අවදානමක් ඇති වෙන්නේ පොලී අනුපාතික අඩු නොවුනොත්. පොලී අනුපාතික පසුගිය වසර ආරම්භයේදී පැවති 8% මට්ටම දක්වා අඩු වුනොත් දිගුකාලීන චිත්‍රය විශාල ලෙස වෙනස් වෙනවා.

2023 - රුපියල් බිලියන 4,761යි 

2027- රුපියල් බිලියන 6,477යි 

2032 - රුපියල් බිලියන 9,517යි 

පේනවනේ වෙනස! පොලී අනුපාතික 30% මට්ටමේ තිබුනානම් 2032 වෙද්දී රුපියල් ට්‍රිලියන 50 ඉක්මවන, දැන් තිබෙන 23% පොලී අනුපාතික යටතේ වුවත් රුපියල් ට්‍රිලියන 30 ඉක්මවන භාණ්ඩාගාර බිල්පත් ණය ප්‍රමාණය පොලී අනුපාතික 8% මට්ටමට ගත්ත ගමන් රුපියල් ට්‍රිලියන 9.5 මට්ටම දක්වා පහත වැටෙනවා. මීට වඩා තරමක් සංකීර්ණ වුනත් භාණ්ඩාගාර බැඳුම්කර ඇතුළු අනෙකුත් ණය පිළිබඳ කතාවත් ඔය වගේ එකක්. 

පොලී අනුපාතික ඉහළ මට්ටමක දිගටම තිබුණොත්, 2027-2032 කාලයේදී දේශීය ණය සේවාකරණය දදේනියෙන් 8.5% සීමාවට ගේන එක ඉතාම අමාරු වැඩක්. එහෙම කරන්නනම් සැලකිය යුතු ණය හා පොලී කප්පාදුවක් කරන්න වෙනවා. නමුත්, පොලී අනුපාතික 8% මට්ටමට ආපු ගමන් තත්ත්වය වෙනස් වෙනවා. මගේ අදහස අනුව, ණය හෝ පොලී කප්පාදු නොකර ණය කළඹ ප්‍රශස්තකරණය කිරීම මගින් පමණක්, අවශ්‍ය ඉලක්කයට යා හැකි වෙනවා. ප්‍රශ්නය වන්නේ පොලී අනුපාතික කොයි තරම් ඉක්මණින්, කොයි තරම් පහළට ගන්න පුළුවන්ද කියන එකයි. 

භාණ්ඩාගාර බිල්පතක් උපරිම වශයෙන් වසරක් ඇතුළත කල් පිරෙනවා. ඒ විදිහට කල් පිරෙද්දී අදාළ මුදල ආපසු ගෙවීම සඳහා අලුතෙන් බිල්පත් විකුණන්න වෙනවා. ඒ විකුණන බිල්පත් 8%ක පමණ පොලී අනුපාතිකයකට විකුණාගන්න පුළුවන්නම් වැඩේ අහවරයි. 

නමුත්, භාණ්ඩාගාර බැඳුම්කර හා අදාළ තත්ත්වය සංකීර්ණයි. ඒවා කල් පිරෙන්න වසර ගණනක් යනවා. ඒ නිසා, අදාළ කාලය තුළ දිගටම මුලින් පොරොන්දු වූ පොලිය ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් පොලිය කප්පාදු කරන්න වෙනවා. උදාහරණයක් විදිහට ඇතැම් බැඳුම්කර සඳහා 2026 වසර තෙක් 22.5%ක කූපන් පොලී ගෙවිය යුතුයි. තවත් ඇතැම් බැඳුම්කර වලට 2029 දක්වා 20%ක කූපන් පොලියක් ගෙවිය යුතුයි. 2032 දක්වා 18%ක කූපන් පොලියක් ගෙවන්න එකඟ වී නිකුත් කරපු බැඳුම්කරත් තිබෙනවා. යම් පොලී කප්පාදුවක් කළේ නැත්නම්, මේ ඉහළ පොලී අනුපාතික දිගටම ගෙවන්න සිදු වෙනවා. ඒ නිසා, බැඳුම්කර පොලී අනුපාතික ඉක්මණින් පහළට ගන්න එක බිල්පත් පොලී පහළට ගන්න එකට වඩා ටිකක් සංකීර්ණයි.

හැබැයි ඔය විදිහට භාණ්ඩාගාර බැඳුම්කර වල කල් පිරීමේ කාලය ගොඩක් දිගු වීම නිසාම ලැබී තිබෙන විශාල වාසියකුත් තිබෙනවා. දැන් වෙළඳපොළේ තිබෙන භාණ්ඩාගාර බිල්පත් සියල්ලම මෙන් ඉහළ පොලී අනුපාතිකයකට නිකුත් කර ඇති ඒවා වුනත්, භාණ්ඩාගාර බැඳුම්කර සියල්ලම ඉහළ පොලී අනුපාතිකයක් යටතේ නිකුත් කරපුවා නෙමෙයි. ඉහළ පොලී අනුපාතික වලට භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරන්න සිදු වුනේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ණය පැහැර හැරීමට ආසන්න කාලයක සිට. තවත් පොඩ්ඩක් පස්සට ගියොත් විණිමය අනුපාතය අත හැරීමෙන් පසුව. ඊට පෙර නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කරලා තියෙන්නේ අඩු පොලියකට. දැනට වෙළඳපොළේ තිබෙන භාණ්ඩාගාර බැඳුම්කර වලින් වැඩි කොටසක් මේ විදිහට කලින් නිකුත් කරපුවා. 

හරියටම ගණන් කතා කළොත්, අප්‍රේල් අවසානයේදී වෙළඳපොළේ තිබුණු රුපියල් බිලියන 9,136ක භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රමාණයෙන් 81%ක් පමණම 2022ට පෙර නිකුත් කරපුවා. 2022න් පසුව නිකුත් කර තිබෙන්නේ මුළු බැඳුම්කර ප්‍රමාණයෙන් 19%ක් පමණයි. අලුතෙන් නිකුත් කළ බැඳුම්කර වල කූපන් පොලිය 20%කට ආසන්න වුනත්, පරණ බැඳුම්කර වලට ගෙවිය යුතු කූපන් පොලිය ආසන්න වශයෙන් 10%ක් පමණයි. ඒ නිසා, තවත් කාලයක් ඉහළ පොලියක් ගෙවන්න වීමේ ප්‍රශ්නය තිබෙන්නේ ඔය මෑතකදී නිකුත් කළ 19%ක කොටස හා අදාළව පමණයි. 

2022ට පෙර නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර (ISIN):

මුළු ප්‍රමාණය (මුහුණත අගය) = රුපියල් බිලියන 7,378.9යි 

බරිත සාමාන්‍ය කූපන් පොලී අනුපාතිකය = 10.18%යි

බරිත සාමාන්‍ය විකුණුම් මිල (රුපියල් 100ක මුහුණත අගයක්) = රුපියල් 95.43යි 

බරිත සාමාන්‍ය ඵලදා අනුපාතය = 10.71%යි 

බරිත සාමාන්‍ය කල් පිරීමේ කාලය (2023 අප්‍රේල් 30 සිට) = දින 1,620යි 


2022 සිට නිකුත් කළ භාණ්ඩාගාර බැඳුම්කර (ISIN):

මුළු ප්‍රමාණය (මුහුණත අගය) = රුපියල් බිලියන 1,756.8යි 

බරිත සාමාන්‍ය කූපන් පොලී අනුපාතිකය = 19.48%යි

බරිත සාමාන්‍ය විකුණුම් මිල (රුපියල් 100ක මුහුණත අගයක්) = රුපියල් 77.97යි 

බරිත සාමාන්‍ය ඵලදා අනුපාතය = 25.08%යි 

බරිත සාමාන්‍ය කල් පිරීමේ කාලය (2023 අප්‍රේල් 30 සිට) = දින 1,607යි 


කල් පිරීමේ කාලය අතින් මෑතකාලීන බැඳුම්කර සහ පරණ බැඳුම්කර අතර ලොකු වෙනසක් නැහැ. ඊට හේතුව මෑතකාලීන බැඳුම්කර බොහොමයක් මැදිකාලීන බැඳුම්කර වීමයි. ප්‍රධාන වෙනස තිබෙන්නේ කූපන් පොලී අනුපාතයේ සහ ඊටත් වැඩියෙන් ඵලදා අනුපාතයේ. මේ වෙනසට හේතුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානම වෙනුවෙන් කලින්ම එහි මිල අය කරගෙන තිබීමයි. 

මගේ අදහස වන්නේ දේශීය ණය හා සම්බන්ධව කටයුතු කරන ආකාරය අදාළ කටයුත්තෙහි නිරත කණ්ඩායම විසින් මේ වන විටද බොහෝ දුරට තීරණය කර අවසානව තිබිය හැකි බවයි. එවන් තත්ත්වයක් තුළ අප විසින් මෙහි ලියන දෙයක කිසිදු තේරුමක් නැතත්, මගේ අදහසනම් 2022න් පසුව නිකුත් කළ බැඳුම්කර වල පමණක් කූපන් පොලී සහ මුහුණත වටිනාකම අඩු කරමින් සිදු කරන ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වඩාත්ම ඵලදායී මෙන්ම සාධාරණ බවයි. එසේ කිරීමෙන් කිසිවෙකුට කිසිදු පාඩුවක් සිදු නොවන අතර සිදු විය හැක්කේ පොලී අනුපාතික පහත වැටීමේදී ලැබිය හැකි අධික ලාබය සීමා වීමක් පමණයි. එමෙන්ම එවැන්නක් කිරීමෙන් රටේ මූල්‍ය පද්ධතිය තවත් ස්ථායී වනු මිස අස්ථායී වීමක් සිදුවන්නේද නැහැ. 

පහත බැඳුම්කර දෙක සංසන්දනය කිරීම මගින් මෙය පැහැදිලි කළ හැකියි.

බැඳුම්කරයේ අංකය (ISIN): LKB00526A159 

නිකුත් කළ දිනය: 2021 ජනවාරි 15

කල් පිරෙන දිනය: 2026 ජනවාරි 15

පොලී අනුපාතය: 6.75%

විකිණුම් මිල: රුපියල් 98.83

දැන් විකිණිය හැකි මිල: රුපියල් 62.66


බැඳුම්කරයේ අංකය (ISIN): LKB00426E154 

නිකුත් කළ දිනය: 2022 මැයි 15

කල් පිරෙන දිනය: 2026 මැයි 15

පොලී අනුපාතය: 22.5%

විකිණුම් මිල: රුපියල් 82.18යි 

දැන් විකිණිය හැකි මිල: රුපියල් 86.45යි 


මාස 16ක කාල පරතරයක් තුළ නිකුත් කර තිබෙන ඉහත බැඳුම්කර දෙකෙහි කල් පිරීම් දින අතර වෙනස මාස හතරක් පමණයි. නමුත්, පළමුවැන්න සඳහා 6.75%ක කූපන් පොලියක් ගෙවද්දී දෙවැන්න වෙනුවෙන් 22.5%ක කූපන් පොලියක් ගෙවන්නට සිදු වී තිබෙනවා. ඊට අමතරව දෙවැන්න විකුණා තිබෙන්නේ රුපියල් 86.45ක මිලකටයි. ඒ නිසා, රුපියල් 86.45ක ආයෝජනයක් වෙනුවෙන් වසරකට රුපියල් 22.50ක් ලැබෙනවා. කල් පිරීමේදී රුපියල් 100ක් ලැබෙනවා. මෙය 27.4%ක පොලියක්. 

පළමුවැන්න විකුණා තිබෙන්නේද වට්ටම් මිලකට වුවත් එම වට්ටම එතරම් විශාල නැහැ. ඒ නිසා, සැබෑ පොලිය (ඵලදා අනුපාතය) 6.8%ක් පමණයි. 

සාමාන්‍ය මූලධර්මයක් ලෙස බැඳුම්කරයක් මිල දී ගැනීමෙන් පසුව පොලී අනුපාතික ඉහළ ගියහොත් එම බැඳුම්කරයේ වටිනාකම (විකිණිය හැකි මිල) පහත වැටෙනවා. පසුගිය වසරේ අප්‍රේල් පමණ සිට පොලී අනුපාතික විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් ඒ වන විට නිකුත් කර තිබුණු බැඳුම්කර සියල්ලේම මෙන් මිල ගණන් විශාල ලෙස පහත වැටුණා. ඉහත පළමුවැන්න එක් උදාහරණයක් පමණයි. පහත තිබෙන්නේ තවත් කිහිපයක්. 

බැඳුම්කරයේ අංකය (ISIN): LKB02032A016 

නිකුත් කළ දිනය: 2022 ජනවාරි 1

කල් පිරෙන දිනය: 2032 ජනවාරි 1

පොලී අනුපාතය: 8%

විකිණුම් මිල: රුපියල් 81.64

දැන් විකිණිය හැකි මිල: රුපියල් 41.80


බැඳුම්කරයේ අංකය (ISIN): LKB02032A016 

නිකුත් කළ දිනය: 2013 නොවැම්බර් 1

කල් පිරෙන දිනය: 2033 නොවැම්බර් 1

පොලී අනුපාතය: 9%

විකිණුම් මිල: රුපියල් 69.47

දැන් විකිණිය හැකි මිල: රුපියල් 42.25


බැඳුම්කරයේ අංකය (ISIN): LKB03043F011

නිකුත් කළ දිනය: 2013 ජූනි 1

කල් පිරෙන දිනය: 2043 ජුනි 1

පොලී අනුපාතය: 9%

විකිණුම් මිල: රුපියල් 65.49

දැන් විකිණිය හැකි මිල: රුපියල් 42.25

ඉහත බැදුම්කරයක් කල් පිරෙන තෙක් තබා ගතහොත් මුහුණත අගය වන රුපියල් 100ක මුදල ලැබෙනවා. ඒ දක්වා වාර්ෂිකව අදාළ කූපන් පොලියද ලැබෙනවා (ණය ප්‍රතිව්‍යුහගත නොකළහොත්). එහෙත් යම් හෙයකින් සල්ලි හදිස්සියකට දැන් මේ බැඳුම්කරයක් විකුණන්නට සිදු වුවහොත් විකිනිය හැක්කේ එහි මුහුණත වටිනාකමෙන් 42%ක පමණ මුදලටයි.

ලංකාවේ භාණ්ඩාගාර බිල්පත් වැඩි ප්‍රමාණයක් අයිති සේවක අර්ථසාධක අරමුදලට සහ වාණිජ බැංකු වලටයි. සේවක අර්ථසාධක අරමුදලට සල්ලි හදිස්සි ඇති වෙන්නේ නැතත්, බැංකු වලට සල්ලි හදිස්සි වලට මුහුණ දෙන්න සිදු වෙනවා. එහෙම සල්ලි හදිසියක් වී ඔය වගේ බැඳුම්කරයක් විකුණන්න සිදු වුවහොත් එයින් විශාල පාඩුවක් සිදු වෙනවා. පොලී අනුපාතික අවදානම කියා කියන්නේ ඕකට. මෑතකදී ඇමරිකාවේ බැංකු කිහිපයක් කඩා වැටුණේ ඔය ප්‍රශ්නය නිසා. 

ඇමරිකාවේ බැංකු වලට තිබුණු ප්‍රශ්නය ලංකාවේ බැංකු වලටත් තිබෙනවා. ඊටත් වඩා ගොඩක් දරුණුවට. පසුගිය වසරේ දෙවන කාර්තුවේ සිටම. රුපියල් 100ක බැඳුම්කරයක් රුපියල් 42කට විකුණනවා කියා කියන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ණය වලින් 58%ක් ක්ෂණිකව කපා හරිනවා වගේ වැඩක්. නමුත්, ලංකාවේ බැංකු එකක්වත් කඩා වැටුණේ නැහැ. එහෙම කඩා නොවැටුණේ කිසිම බැංකුවකට ඔය විදිහට පාඩුවට බැඳුම්කර විකුණන්න සිදු නොවූ නිසා. 

ලංකාවේ බැංකු වලට පාඩුවට බැඳුම්කර විකුණන්න සිදු නොවුණේ සල්ලි හදිස්සි නොතිබුණු නිසා නෙමෙයි. සල්ලි හදිස්සි වෙන අවස්ථා වල අවුලක් නැතුව මහ බැංකුවෙන් ණය ගන්න හැකි වූ නිසා. රුපියල් 100ක බැඳුම්කරයක් මහ බැංකුවේ ඇපයට තියලා අවශ්‍ය අරමුදල් තාවකාලිකව ණයට ගන්න පුළුවන්නම් බැඳුම්කරය පාඩුවට විකුණන්න වෙන්නේ නැහැ. 

ඔය කියපු දේ සිද්ධ වෙන්නේ පොලී අනුපාතික ඉහළ යන කාල වකවානු වල. හැබැයි දැන් ලංකාවේ පොලී අනුපාතික ඉහළ ගිය කාලය ඉවරයි. දැන් වෙන්නේ පොලී අනුපාතික පහළ යන එක. පොලී අනුපාතික පහළ යද්දී කලින් වැඩි පොලියකට මිල දී ගත් බැඳුම්කර වල මිල ඉහළ යනවා. උදාහරණයක් විදිහට 2022 මැයි 15 දින නිකුත් කළ, පෙර තොරතුරු සඳහන්,  2026 මැයි 15 කල් පිරෙන 22.5% බැඳුම්කරයක් දැන් රුපියල් 86.45කට විකුණන්න පුළුවන්. මේ මිල වුවත් මුහුණත අගයට වඩා අඩුයි තමයි. නමුත්, මිල දී ගෙන තිබෙන්නේ රුපියල් 82.18කට නිසා දැන් විකිණුවත් පාඩුවක් නැහැ. 

මේ වගේ වෙලාවක 2022ට කලින් නිකුත් කරපු බැඳුම්කර වල මුහුණත වටිනාකම හෝ කූපන් පොලිය කපා හැරියොත් වෙන්නේ හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා වැටුනා වගේ වැඩක්. රුපියල් 100 රුපියල් 42ට විකුණන්න වෙලා තියෙද්දී ඒකෙනුත් කොටසක් කපා ගත්තොත් කාට කියන්නද?

හැබැයි මළ නොතලා රොන් ගන්න ක්‍රමයට 2022න් පස්සේ නිකුත් කළ බැඳුම්කර වෙනුවෙන් ගෙවිය යුතු මුදලින් යම් කොටසක් කපා හරින්න බැරිකමක් නැහැ. අදාළ ආයෝජකයින්ට පාඩුවක් සිදු නොකරමින් ඔය වැඩේ කරන්න වුනත් යම් ඉඩකඩක් තිබෙනවා. අඩුවශයෙන් කෙටිකාලීනව පාඩුවක් නොවන විදිහට වැඩේ කරන්න පුළුවන්. 

මේකට හේතුව පොලී අනුපාතික පහත වැටෙද්දී බැඳුම්කර වල මිල විශාල ලෙස ඉහළ යාම. ඒ නිසා, පොලී අනුපාතික පහත දමා ගත හැකි එකම ක්‍රමය යම් ආකාරයක ණය (මුහුණත අගය හා/හෝ කූපන් පොලී) කපා හැරීමක්නම්, ඒ වැඩේ කිරීමෙන් අවසාන වශයෙන් වෙන්නේ යහපතක්. හැබැයි ඔය වැඩේ නොකර ස්වභාවික ලෙසම පොලී අනුපාතික පහත වැටෙනවානම් ඒක තමයි සිදු විය හැකි හොඳම දෙය. මැදිහත්වීමක් කළ යුත්තේ ඒ වැඩේ වෙන්නේම නැත්නම් පමණයි. 

අපි හිතමු පොලී අනුපාතික ක්ෂණිකව 8% මට්ටම දක්වා පහත වැටුනා කියලා. එහෙම වුනොත් දැන් රුපියල් 86.45ට විකිණෙන, රුපියල් 82.18ට මිල දී ගෙන තිබෙන, 2026 මැයි 15 කල් පිරෙන 22.5% බැඳුම්කරයක මිල ක්ෂණිකව රුපියල් 138.01 දක්වා ඉහළ යනවා. දැන් රුපියල් 76.49ට විකිණෙන, රුපියල් 62.03ට මිල දී ගෙන තිබෙන, 2032 ජූලි 1 කල් පිරෙන 18% බැඳුම්කරයක මිල ක්ෂණිකව රුපියල් 163.87 දක්වා ඉහළ යනවා. ඒ නිසා, කූපන් පොලියෙන් හරි මුහුණත අගයෙන් හරි යම් කොටසක් කපා හැරියත් සැලකිය යුතු ලාබයක් ගන්න පුළුවන්. පොලී අනුපාතික නිකම්ම අඩු වුනොත් ඔය ලාබය ගෙඩිය පිටිං. 

ඔය වගේ විශාල ලාබයක් ලැබිය හැකි තත්ත්වයක් ඇති නොවුනත්, පොලී අනුපාතික ඉහළ යද්දී, 2022ට කලින් නිකුත් කර තිබෙන බැඳුම්කර වල වටිනාකමත් ඉහළ යනවා. නමුත්, එහිදී බොහෝ දුරට වෙන්නේ මේ වෙලාවේ කඩා වැටී තිබෙන මිල යථා තත්ත්වයට පත් වීමක්. 

දැන් රුපියල් 41.80ට විකිණෙන, උඩින් විස්තර ලියා ඇති, 2032 ජනවාරි 1 කල් පිරෙන 8% බැඳුම්කරය ගත්තොත්, පොලී අනුපාතික 8% වූ ගමන්ම මෙහි මිල එහි මුහුණත අගය වන රුපියල් 100 වෙනවා. දැන් රුපියල් 42.25ට විකිණෙන, 2033 නොවැම්බර් 1 කල් පිරෙන 9% බැඳුම්කරයක මිල රුපියල් 106.99 වෙනවා. ඒ කියන්නේ පොලී අනුපාතික 8% මට්ටමට අඩු වුනොත්, ඇතැම් පරණ බැඳුම්කර වලින් වුනත් පාඩුවක් නොවෙන්න සුළු කප්පාදුවක් කළ හැකි තත්ත්වයක් ඇති වෙනවා. නමුත් අලුත් බැඳුම්කර වල මෙන් මේ පරණ බැඳුම්කර වලින් ලොකු කප්පාදුවක් කරන්න බැහැ. සුළු කප්පාදුවක් කළා කියලා ලොකුවට ණය අඩු වෙන්නෙත් නැහැ. 

දේශීය ණය කප්පාදුවකින් රජයට ලබා ගත හැකි වාසියට සාපේක්ෂව පොලී අනුපාතික පහත වැටීමෙන් ලැබෙන වාසිය ඉතාම දැවැන්ත වාසියක්. ඒ නිසා, ණය හෝ පොලී කප්පාදුවක් කරන්න අවශ්‍ය වෙන්නේ පොලී අනුපාතික පහත නොවැටුනොත් පමණයි. එවැනි කප්පාදුවක් කළත්, පොලී අනුපාතික අඩු කර ගැනීම සඳහා සංකේතාත්මක කප්පාදුවක් කළාම හොඳටම ඇති. උදාහරණයක් විදිහට පොඩි කූපන් පොලී වලට අත නොතියා, 22.5% වගේ ලොකු කූපන් පොලී වලින් පමණක් කොටසක් කපා හරින්න පුළුවන්. 

වැදගත්ම කරුණ ඔය විදිහේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකින් බැංකු පද්ධතියට කිසිම පාඩුවක් නොවීම. ඇත්තටම කිවුවොත් වෙන්නේ දැනට තියෙන අවදානමත් නැති වෙන එක. උදාහරණයක් විදිහට, 2032 ජූලි 1 කල් පිරෙන 18% බැඳුම්කරයක කූපන් පොලිය 9% දක්වා අඩු කරලා, ඊට අමතරව තව 10%ක හෙයාකට් එකකුත් දැම්මා කියා හිතමු. ඔය වැඩේ කරද්දී ඵලදා අනුපාතිකය 8% මට්ටමට වැටෙනවානම්, බැඳුම්කරයක මිල (මුහුණත වටිනාකම රුපියල් 100ක් වෙනුවෙන් දැන් ලැබෙන රුපියල් 90 සහ 9% දක්වා අඩු කළ කූපන් පොලී අනුපාතිකයේ වටිනාකම) තව දුරටත් රුපියල් 101.49ක් වෙනවා. මෙහි දැන් මිල රුපියල් 75.49ක් පමණක් බවත්, මුල් ගැණුම් මිල රුපියල් 62.03ක් පමණක් බවත් සැළකු විට අවසාන වශයෙන් ඔය පොලී කපා හැරීමෙන් හා හෙයාකට් එකෙන් පසුවත් වාසියක් මිස පාඩුවක් වෙලා නැහැ. 

සමස්ත කතාව සාරාංශගත කළොත්, පොලී අනුපාතික අඩු වූ ගමන් වාණිජ බැංකු ඇතුළු අනෙකුත් මූල්‍ය ආයතන වල වගේම සේවක අර්ථසාධක අරමුදලේත් වත්කම් වල වෙළඳපොළ අගය එක පාරටම ඉහළ ගිහින් දැනට තිබෙන අවදානම් නැති වෙලා යනවා. පොලී අනුපාතික පහළට ගන්න යම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් කළත් එයින් වෙන සුළු අවාසියට වඩා ලැබෙන වාසිය වැඩියි. ඒ නිසා, වැඩේ ඉක්මන් වන තරමට බැංකු වලට හා අනෙකුත් ආයතන වලට නැවතත් ලාබ උපයන්න පටන් ගන්න පුළුවන්. ස්ථිර තැන්පතු ආදී බැංකු වල වගකීම් හා අදාළව කිසිම අවුලක් වෙන්නේ නැහැ. එහෙම අවුලක් වුනොත් වෙන්නේ මේ තියෙන තත්ත්වය දිගටම තිබුණොත්. 


Wednesday, January 18, 2023

පොලී අනුපාතික තවත් පහළට!

පෙර සතියේ පළ කළ සටහනක අප විසින් ඉදිරිපත් කළ පුරෝකථනය සනාථ කරමින් අද දිනයේ (ජනවාරි 18) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික පැහැදිලිව පෙනෙන පරිදි පහත වැටී තිබෙනවා.

දින-91 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 55

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 86.2

විකිණූ පොලී අනුපාතිකය = 30.08

පෙර සතියේ පොලී අනුපාතිකය = 31.15%

දෙසතියකට පෙර පොලී අනුපාතිකය = 32.01%


දින-182 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 20

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 54.8

විකිණූ පොලී අනුපාතිකය = 29.07%

පෙර සතියේ පොලී අනුපාතිකය = 31.37%

දෙසතියකට පෙර පොලී අනුපාතිකය = 32.02%


දින-364 බිල්පත් 

වෙන්දේසි කළ ප්‍රමාණය = රුපියල් බිලියන 20

ලංසු ප්‍රමාණය = රුපියල් බිලියන 53.7

විකිණූ පොලී අනුපාතිකය = 28.25%

පෙර සතියේ පොලී අනුපාතිකය = 29.04%

දෙසතියකට පෙර පොලී අනුපාතිකය = 29.16%

පසුගිය දෙසතියක කාලය සැලකූ විට දින-91 බිල්පත් පොලී අනුපාතික 2%කින් පමණත්, දින-182 පොලී අනුපාතික 3%කින් පමණත්, දින-364 පොලී අනුපාතික 1%කින් පමණත් පහත වැටී ඇති බව ඔබට පෙනෙනු ඇති. මේ රටාව කියාපාන්නේ කුමක්ද?

පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ දීමෙන් අනතුරුව, පසුගිය මාස ගණනාවක් පුරා, රජයට අවශ්‍ය අරමුදල් දේශීය වෙළඳපොළෙන් සපයා ගත හැකි වුනත්, බොහෝ දුරට එසේ අරමුදල් සපයාගත හැකි වූයේ තෙමසක කාලයකට පමණයි. වෙනත් අයුරකින් කිවුවොත්, දින-91 බිල්පත් විකුණාගත හැකි වූ තරමට දින-182 හෝ දින-364 බිල්පත් විකුණාගත හැකි වූයේ නැහැ. මෙයට හේතුව වූයේ බිල්පත් ආයෝජකයින් විසින් මාස තුනකට වඩා වැඩි කාලයකට සල්ලි හිර කිරීම අවදානම් කටයුත්තක් සේ දැකීමයි. 

බිල්පත් ආයෝජකයින්ගේ දෘෂ්ඨි කෝණයෙන් ඉහත හැසිරීමට හේතු දෙකක් තිබුණා. හේතු කියා කිවුවත් එකිනෙකට සම්බන්ධ කරුණු දෙකක්. 

පළමුවැන්න, පොලී අනුපාතික අඩුවනු ඇති බවක් ඔවුන් විශ්වාස නොකිරීම. පොලී අනුපාතික අඩුවන බව පෙනෙන්නේනම් වඩා වාසිසහගත තීරණය දිගු කලකට මුදල් ආයෝජනය කරමින් පවතින ඉහළ පොලී අනුපාතික වල වාසිය දිගුකාලීනව තහවුරු කර ගැනීමයි. අනෙක් අතට පොලී අනුපාතික තවත් ඉහළ යා හැකි බව පෙනේනම් වඩා වාසිදායක තීරණය වන්නේ කෙටි කලකට මුදල් ආයෝජනය කරන එකයි. පොලී අනුපාතික නොවෙනස්ව පවතිනු ඇති බව පෙනෙන්නේ වුවද වඩා වාසිදායක කෙටි කලකට මුදල් ආයෝජනය කරන එකයි. 

දෙවන සාධකය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානමයි. දින-91 වැනි කෙටි කලකදී මෙවැන්නක් සිදු වීමේ අවදානම අඩු වුවත්, සල්ලි හිර කර තබන කාලය වැඩි වෙද්දී අවදානම ඉහළ යනවා. 

ඉහත හේතු දෙක නිසා රජයට අවශ්‍ය පමණ ණය ලබා ගත හැකි වුවත්, එසේ ණය ලබා ගත හැකි වූයේ මාස තුනක කාලයකටයි. ඒ නිසා, ඉතා කෙටි කාලාන්තර තුළ නැවත නැවත ණය ගැනීමට සිදු වී තිබුණා.

ඉහත තත්ත්වයන් තවමත් මුළුමනින් වෙනස් වී නැහැ. එහෙත්, බිල්පත් ආයෝජකයින්ගේ හැසිරීමේ යම් වෙනසක් පැහැදිලිව දක ගත හැකියි. මේ වන විට, දින-91 බිල්පත් කෙරෙහි පමණක් වූ අවධානය ක්‍රමයෙන් දින-182 බිල්පත් කෙරෙහි යොමු වෙමින් තිබෙනවා. දින-182 බිල්පත් පොලී අනුපාතික වඩා වැඩියෙන් පහත වැටීමට හේතුව මෙයයි.

වෙළඳපොළ විසින් මේ සංඥාව ග්‍රහණය කර ගැනීමට සමාන්තරව බොහෝ දෙනෙකු විසින් දිගුකාලීන ආයෝජන මගින් ඉහළ පොලී අනුපාතික වල ප්‍රතිලාභ තහවුරු කර ගැනීමට උත්සාහ කිරීම අපේක්ෂා කළ හැකි වුවත්, අනෙක් පැත්තෙන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානම මෙය වළක්වනවා. ඒ නිසා, වසර ගණනාවක කාලයකට රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීම කෙසේ වෙතත්, දින-364 දක්වා වන රාජ්‍ය සුරැකුම්පත් වල ආයෝජනය කිරීම සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් අදාළ පොලී අනුපාතික තව දුරටත් අඩුවේයැයි සිතිය හැකියි. 

පෙර සටහනෙන් විස්තර කළ පරිදි, ෆිච් රේටිං ආයතනය වැනි ආයතන දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානමක් දකිනවා. ඔවුන් එවැනි නිගමනයකට එළැඹෙන්නේ පවතින ඉහළ පොලී අනුපාතික එළෙසම පවතිනු ඇතැයි යන පදනම මතයි. එහෙත්, පොලී අනුපාතික අඩු වෙමින් පවතින අතර පොලී අනුපාතික අඩු වෙද්දී දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාවය හා එයින් ලැබිය හැකි වාසිද අඩු වෙනවා. 

පොලී අනුපාතික තිබිය යුතු මට්ටම තීරණය කරන ප්‍රධාන සාධකයක් වන්නේ උද්ධමනයයි. එහෙත්, මෙහිදී අදාළ වන්නේ දැනට පවතින උද්ධමනය නෙමෙයි. සුරැකුම්පතක් නිකුත් කරන දින සිට කල් පිරෙන දිනය දක්වා කාලය තුළ පවතිනු ඇතැයි අපේක්ෂිත උද්ධමනයයි. මේ වසර අවසානය වන විට අඩුම වශයෙන් 15% දක්වාත්, බොහෝ විට තනි අංකයක් දක්වාත් උද්ධමනය අඩු වීමට නියමිතව ඇති නිසා දින-364 පොලී අනුපාතිකයද අඩු වශයෙන් 15% මට්ටම දක්වා අඩු විය යුතු වුවත්, වෙළඳපොළ උද්ධමන අපේක්ෂාවන් තවමත් අඩු වී නැති නිසාත්, ණය ප්‍රතිව්‍යුහකරණය කිරීම පිළිබඳ බිය නිසාත්, පොලී අනුපාතික නිවැරදි වීමට යම් කාලයක් ගත විය හැකියි. යම් කාලයක් යා හැකි වුවත්, දේශීය ණය ප්‍රතිව්‍යුහකරණය නොකර වැඩේ ගොඩින් බේරා ගැනීමට හැකි වන තරම් ඉක්මණින් එය සිදු නොවන්නට හේතුවක් නැහැ.

කෙසේ වුවත්, මේ අයුරින් පොලී අනුපාතික පහළ යනු ඇත්තේ රජය විසින් දිගටම මූල්‍ය විනය පවත්වා ගන්නේනම් පමණයි. සල්ලි අච්චු නොගසන තත්ත්වයක් යටතේ රජයට වියදම් කරන්න වෙන්නේ ආදායම් එකතු වන තරමටයි. මෙහිදී රජයේ ගෙවීම් ප්‍රමාද වීම නොවැලැක්විය හැකියි. සැපයුම්කරුවන්ගේ ගෙවීම් ආදිය කාලයක් තිස්සේම ප්‍රමාද වෙමින් ඇති අතර, මේ වෙද්දී සමෘද්ධි දීමනා, රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම්ද ප්‍රමාද වෙමින් තිබෙනවා. රජයට තත්ත්වය කළමනාකරණය කරගත හැකි වනු ඇත්තේ කවර හෝ රාජ්‍ය වත්කම් විකුණා යම් මුදලක් සොයා ගැනීමෙන් පමණයි. එවැනි දේ නොකර පොලී අනුපාතික අවශ්‍ය පමණ අඩු කර ගැනීම අසීරුයි. පොලී අනුපාතික අවශ්‍ය පමණ අඩු වන තුරු දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නට වීමේ අවදානම පහව යන්නේ නැහැ. යන පාර හරි වුනත් ගමනාන්තය තිබෙන්නේ තව බොහෝ දුරයි.

Sunday, January 15, 2023

ෆිච් පන්දුවෙන් බැංකු දැවී යයිද?


ෆිච් රේටින් ආයතනය විසින් ලංකාවේ ප්‍රධාන බැංකු දහයක ශ්‍රේණිගත කිරීම් පහළ දමා තිබෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති. මෙයින් අදහස් වන්නේ කුමක්ද?

මුලින්ම අපි ශ්‍රේණිගත කිරීම් පහළ ගොස් ඇති ආකාරය දෙස බලමු.

- ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව හා සම්පත් බැංකුව යන බැංකු පහේ ණය ශ්‍රේණි AA- සිට A දක්වා කට්ට දෙකකින් පහළ දමා තිබෙනවා. ඔබ දන්නා පරිදි මෙම බැංකු පහ ලංකාවේ ප්‍රධානම වාණිජ බැංකු පහයි.

- කාගීල්ස් බැංකුවේ ණය ශ්‍රේණිය A+ සිට A දක්වා එක් කට්ටයකින් පහළ දමා තිබෙනවා.

- ඩීඑෆ්සීසී බැංකුවේ ණය ශ්‍රේණිය A+ සිට A- දක්වා කට්ට දෙකකින් පහළ දමා තිබෙනවා.

- ජාතික සංවර්ධන බැංකුව, සෙලාන් බැංකුව හා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව යන බැංකු තුනේ ණය ශ්‍රේණි A සිට A- දක්වා එක් කට්ට්යකින් පහළ දමා තිබෙනවා. 

ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු 24ක් තිබෙනවා. එම බැංකු අතරින් 12ක්ම විදේශ බැංකු. ඉන්දියන් බැංකු 3ක්, පකිස්ථාන බැංකු දෙකක්, චීන බැංකුවක්, සවුදි අරාබි බැංකුවක්, මැලේසියන් බැංකුවක් හා ජාත්‍යන්තර බැංකු 4ක් මෙයට අයත්. යුනියන් බැංකුව ශ්‍රී ලාංකික බැංකුවක් වුවත්, මේ වන විට එහි වැඩි කොටස් අයිතිය හිමි ඇමරිකානු සමාගමකටයි. දේශීය බැංකු සේ සැලකිය හැක්කේ ඉතිරි බැංකු 11 පමණයි. එම බැංකු 11 අතරින් බැංකු දහයකම ශ්‍රේණිගත කිරීම් ෆිච් රේටින් ආයතනය විසින් පහළ දමා තිබෙනවා.

කෙසේ වුවද, රටේ ප්‍රධාන වාණිජ බැංකු පහේ සහ කාගීල්ස් බැංකුවේ ණය ශ්‍රේණිය තවමත් A මට්ටමේ තිබෙනවා. තවත් බැංකු හතරක ණය ශ්‍රේණිය A- මට්ටමේ තිබෙනවා. පෑන් ඒෂියා බැංකුවේ ණය ශ්‍රේණිය මේ අවස්ථාවේදී පහත දමා නැතත්, එම ණය ශ්‍රේණිය පෙර සිටම තිබුණේ BBB- මට්ටමේ. 

ඉහත ණය ශ්‍රේණිගත කිරීම් වලින් අදහස් වන්නේ කුමක්ද?

ෆිච් රේටින් ආයතනය විසින් ඉහත ශ්‍රේණිගත කිරීම් කර තිබෙන්නේ අදාළ වාණිජ බැංකු වල අවදානම ලංකාවේම අනෙකුත් ආයතන වල අවදානම් හා සසඳමින් නිසා මෙම ශ්‍රේණිගත කිරීම් විදේශ බැංකු වල ශ්‍රේණිගත කිරීම් හා සංසන්දනය කළ නොහැකියි. වෙනත් අයුරකින්, මෙම ශ්‍රේණිගත කිරීම් වලින් පිළිඹිඹු වන්නේ රට තුළ සිටින අයෙකුට මුහුණ දෙන්නට සිදු විය හැකි අවදානමේ තරම කියා කියන්නත් පුළුවන්. ණය ශ්‍රේණි පහත දමා තිබුණත්, දැනට තිබෙන මට්ටමෙන් වුවද විශාල අවදානමක් පෙන්නුම් කරන්නේ නැහැ.

ෆිච් රේටින් ආයතනයේ A සහ A- මට්ටම් වලින් අදහස් කෙරෙන්නේ ණය ආපසු නොලැබීමේ අවදානම ඉතා අඩු (very low default risk) නැතත්, අඩු (low default risk) බවයි. ඒ වගේම ණය ආපසු ගෙවීමේ ධාරිතාව ශක්තිමත් බවයි. එහෙත් බාහිර කම්පන හේතුවෙන් මෙම ධාරිතාවට බලපෑමක් සිදු විය හැකි බවයි.

ලංකාවේ බැංකු වල ණය ආපසු ගෙවීමේ ධාරිතාවට බලපෑමක් සිදු විය හැකි ප්‍රධානම ආකාරයක් වන්නේ රජය විසින් දේශීය ණය ගෙවීම පැහැර හරිනු ලැබීමයි. එවැන්නක් සිදු නොවන තාක් බැංකු පද්ධතිය සුරක්ෂිත බව මෙම විශ්ලේෂණයෙන් අදහස් කෙරෙනවා. කෙසේ වුවත්, ෆිච් රේටින් ආයතනය විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනු ලැබීමේ අවදානමට යම් බරක් තබනවා. 

මීට පෙර, දෙසැම්බර් මාසයේදී, ෆිච් රේටින් ආයතනය විසින් ශ්‍රී ලංකා රජයේ දේශීය ණය අවදානම් ශ්‍රේණිය CCC සිට CC දක්වා පහත හෙළනු ලැබුවා. එයින් අදහස් වන්නේ එම ආයතනයේ තක්සේරුව අනුව, දේශීය ණය පැහැර හරිනු ලැබීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක ඇති බවයි (Very High Levels of Credit Risk). එම ආයතනය එසේ සිතන්නේ ඇයි?

දෙසැම්බර් මාසයේදී නිකුත් කෙරුණු ෆිච් රේටින් නිවේදනය අනුව, උද්ධමනය පහත වැටෙමින් පවතින අතර පොලී අනුපාතික එහි උපරිම මට්ටමට ළඟා වී අවසන්. කෙසේ වුවත්, ආදායම් වැඩි කර ගෙන, වියදම් සීමා කර, අයවැය හිඟය අඩු කර ගැනීම මගින් ණය බර අඩු කර ගැනීම රජයේ ප්‍රකාශිත ඉලක්කය වුවත්, එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ශක්‍යතාවය පිළිබඳව ෆිච් රේටින් ආයතනය එතරම් විශ්වාසයක් තබන්නේ නැහැ. ඒ නිසාම, ඔවුන්ට පෙනෙන පරිදි, රජය යම් අවස්ථාවක දේශීය ණය ගෙවා ගත නොහැකිව හිර වීමට නියමිතයි.

ෆිච් රේටින් ආයතනය විසින් මෙහිදී රජය සතුව ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා අවශ්‍ය වන දේශපාලන සහයෝගය නොමැති වීම ප්‍රශ්නයක් ලෙස දකිනවා.

"Political Risks Weigh on Fiscal Outlook: Political instability could threaten reform implementation. The government's parliamentary position appears strong, but the government lacks public support. This increases the risk of further destabilising protests if economic conditions do not improve or reforms generate public opposition. President Wickremesinghe was prime minister in the previous administration under President Rajapaksa, who was brought down by protests. Parliament and the government also remain dominated by politicians who are affiliated with the Rajapaksa family."

ෆිච් රේටින් ආයතනය විසින් රජයේ සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි ප්‍රශ්නයක් දකින්නේ නැහැ. එහෙත්, සරල වචන වලින් කියනවානම්, ෆිච් රේටින් ආයතනය විසින් කියන්නේ මහජන සහයෝගය නැති, රාජපක්ෂ හිතවාදී ආණ්ඩුවට මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මහජන සහයෝගය නොලැබෙන නිසා වැඩේ වෙන්නේ නැති බවයි. 

මේ නිගමනය හරි වුනත්, වැරදි වුනත්, ෆිච් රේටින් ආයතනය වැනි ආයතනයක නිගමන වලට ලෝකයම සංවේදීයි. ඒ නිසා, එවැනි ආයතන මේ විදිහට හිතද්දී ලංකාවට වැටී සිටින වලෙන් ගොඩ එන්න අමාරුයි. ඒ හේතුව නිසාම, කුමක් හෝ මැතිවරණයක් පවත්වා ආණ්ඩුව සමඟ ජනතාව සිටින බව නොපෙන්වුවහොත්, ආණ්ඩුවට මේ වන විට හිර වී සිටින තැනින් එළියට යාමට අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය නොලැබෙන්න පුළුවන්. 

පැවැත්වීමට නියමිතව ඇත්තේ පළාත් පාලන මැතිවරණයි. යම් හෙයකින් එජාප-පොහොට්ටු සන්ධානයට ජනමතය තවදුරටත් තමන් සමඟ තිබෙන බව මෙම මැතිවරණය හරහා පෙන්විය හැකිනම්, එතැන් සිට සියල්ල සුමට ලෙස සිදු විය හැකියි. එහෙත්, මැතිවරණ ප්‍රතිඵලය ආණ්ඩුවට වාසිදායක වීමට තිබෙන ඉඩකඩ කොපමණද?

පළාත් පාලන මැතිවරණ වලින් ආණ්ඩුව පරාජය වී, දැනට යෝජිත ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළම ලොකු වෙනසක් නැතිව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් සෘජුව පෙනී සිටින වෙනත් පාර්ශ්වයක් ඉදිරියට ආවොත්, ජාත්‍යන්තර සහයෝගය එම කඳවුරට ලැබීම අනිවාර්යයෙන්ම සිදු වනු ඇති අතර එය සිදු වනු ඇත්තේ මහ මැතිවරණයක් පවත්වා එම කඳවුර ආණ්ඩු බලය ලබා ගැනීමෙන් පසුවයි. එතෙක්, පවතින තත්ත්වයෙහි ප්‍රගතියක් සිදු නොවෙන්න පුළුවන්. 

යම් හෙයකින් පළාත් පාලන මැතිවරණ වල ජනමතය දැනට යෝජිත වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම වෙනුවෙන් සෘජුව පෙනී නොසිටින පාර්ශ්වයන් වෙත යොමු වුවහොත් කුමක් සිදු විය හැකිද? 

පෙර කී පරිදි, ජාත්‍යන්තර ඇසින් ආණ්ඩුව තුළ දකින ප්‍රශ්නය ආණ්ඩුවේ වැඩ පිළිවෙළ පිළිබද ප්‍රශ්නයක් නෙමෙයි. එය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලන සහයෝගය නැතිකම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා, වැඩ පිළිවෙළ නැතිව දේශපාලන සහයෝගය පමණක් තහවුරු කරගත් පමණින් කිසිවක්ම සිදු වන්නේ නැහැ. එවැනි තත්ත්වයක් තුළ ජනතාවගේ පැත්තෙන් "දඩුවම්" කාලය "දැඩි දඬුවම්" කාලයක් වනු හැර වෙනත් දෙයක් වීමේ ඉඩක් නැහැ. 

Thursday, November 24, 2022

දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න වෙයිද?


මේ ප්‍රශ්නය කිහිප දෙනෙක් විසින්ම වරින් වර අසා ඇති, හරියකට පිළිතුරක් දෙන්න ඉඩ නොලැබුණු, ප්‍රශ්නයක්. ප්‍රසිද්ධියේ ප්‍රශ්නය අහපු අයට අමතරව යම් පිරිසක් විසින් මේ ප්‍රශ්නය හෝ කිට්ටුවෙන් යන ප්‍රශ්න පෞද්ගලිකවත් අහල තියෙනවා. පෞද්ගලිකව අහපු ප්‍රශ්න පහත ආකාරයේ ප්‍රශ්න.

"මා ලඟ අමාරුවෙන් එකතු කරගත්ත රුපියල් xxxක මුදලක් තියෙනවා. මේ සල්ලි ආයෝජනය කිරීම (බැංකුවක දැමීම/ භාණ්ඩාගාර බිල්පත් වල දැමීම) සම්බන්ධව ඔබ දෙන උපදෙස කුමක්ද?"

පොදු යහපත සලසා මේ සටහන් ලිවුවත්, මේ ලේඛකයා විසින් ඉහත ආකාරයේ පෞද්ගලික උපදේශන සපයන්නේ නැහැ. තමන්ගේ සල්ලි ගැන තීරණ ගැනීම එක් එක් පුද්ගලයා විසින් සැලකිල්ලෙන් හිතාමතා කළ යුතු දෙයක්. ආයෝජනයක ප්‍රතිලාභ එක්කම ඒ හා බැඳුණු අවදානම්ද තිබෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. කොහොම වුනත්, අප ලියන දේවල් වලින් ඇතැම් විට මේ ප්‍රතිලාභ හා අවදානම් කිරා බැලීමේදී යම් උදවුවක් වෙන්න පුළුවන්. 

ගොඩක් අය ඉහත ආකාරයේ ප්‍රශ්න අහන පසුබිම කුමක්ද?

උද්ධමනය නිසා අපිට හරිම අමාරුයි, අතේ සතේ නැහැ කියා පෙන්නගෙන හිටියත් ලංකාවේ ගොඩක් අය අතේ සල්ලි තිබෙනවා. ණය වෙලා හිරවෙලා ඉන්නේ රජය මිසක් රටේ මිනිස්සු නෙමෙයි. රටේ මිනිස්සුන්ගෙනුත් කොටසක් ණය වෙලා, හිර වෙලා බව ඇත්ත. නමුත් සමස්තයක් ලෙස ගත්තහම මිනිස්සු අතේ ණය වලට වඩා සල්ලි තියෙනවා. උද්ධමනය ඇති වෙන්නේම මිනිස්සු අතේ අතිරික්ත මුදල් තිබෙන නිසා. 

රට ණය වුනාට ඒ ණය වලට හරියන තරමේ වත්කම් රටේ නැහැ කියන බොරුව ගැන මම කලින් සටහනක පැහැදිලි කළා. ක්‍රෙඩිට් සුවිස් ඇස්තමේන්තු අනුව, 2001 වසර අවසානයේදී ලංකාවේ නිවාස ඒකක සතු වූ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 31ක් පමණයි. අවුරුදු විස්සකට පස්සේ, 2021දී, ඔය ප්‍රමාණය ඩොලර් බිලියන 401ක් වෙලා. ඒ කියන්නේ ඩොලර් බිලියන 370ක වැඩිවීමක්. ඔය කාලය තුළ විදේශ ණය වැඩිවීම ඩොලර් බිලියන 42ක් පමණයි. 

එහෙම තත්ත්වයක් තුළ ණය ගෙවාගන්න බැරි වී තිබෙන්නේ හේතු තුනක් නිසා. එකක් ඔය වත්කම් රටේ වත්කම් වුනත් රජයේ වත්කම් නෙමෙයි. රටේ වත්කම් රජයේ වත්කම් වෙන්නේ බදු හරහා. පසුගිය කාලය මුළුල්ලේම රජය විසින් වියදම් කළ තරමට බදු එකතු කරගෙන නැහැ. වියදම් කළේ කා වෙනුවෙන්ද, මොනවටද කියන එක වෙනම කතාවක්. දෙවන හේතුව ඔය වත්කම් සියල්ලම ද්‍රවශීල වත්කම් නොවීම. උදාහරණයක් විදිහට නිවාස ඒකක වල වත්කම් වලින් සැලකිය යුතු කොටසක් ගෙවල්, ඉඩම්, වාහන වගේ මූර්ත වත්කම් මිසක් මූල්‍ය වත්කම් නෙමෙයි. තුන්වෙනි කරුණ, තිබෙන මූල්‍ය වත්කම් ප්‍රමාණය වුනත්, රුපියල් වත්කම් මිසක් ඩොලර් වත්කම් නෙමෙයි. විදේශ ණය ගෙවා ගන්න බැරි වෙන්න ප්‍රධානම හේතුව ඔය තුන්වන කාරණාව.

දේශීය ණය ගැන කතා කරද්දී ඉහත තුන්වන කරුණ අදාළ නැහැනේ. නමුත්, දෙවන කරුණ සෑහෙන දුරකට අදාළයි. රජයට රටේ තිබෙන මූර්ත වත්කම් වලින් කොටසක් බදු හෝ ණය විදිහට ලබාගන්න බැරිකමක් නැතත්, ඒ වැඩේ අමාරු වැඩක්. මූල්‍ය වත්කම් වලින් කොටසක් බදු හෝ ණය විදිහට ලබාගන්න එක ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. රටේ මිනිස්සු අතේ මූල්‍ය වත්කම් කොපමණ තියෙනවද? 

සංචිත මුදල් ප්‍රමාණය හා මුදල් සැපයුම අතර වෙනස මම පෙර සටහනක පැහැදිලි කළා. සංචිත මුදල් කියන්නේ ප්‍රධාන වශයෙන්ම කාසි හා නෝට්ටු. හැබැයි කාසි හා නෝට්ටු පමණක් නෙමෙයි. මහ බැංකුවේ ගිණුම් වල තිබෙන කාගේ හෝ සල්ලිත් සංචිත මුදල්. 

සාමාන්‍ය මිනිස්සුන්ට මහ බැංකුවේ ගිණුම් විවෘත කරන්න බැහැනේ. මහ බැංකුවේ ගිණුම් විවෘත කරන්න පුළුවන් බැංකු වලට. ඒ නිසා, මහ බැංකුවේ ගිණුම් වල තිබෙන සල්ලි කියා කියන්නේ ප්‍රධාන වශයෙන්ම වාණිජ බැංකු වල සල්ලි. මීට අමතරව මහ බැංකුවේ තවත් ගිණුම් තිබෙනවා. එයින් සමහරක් රජයේ ගිණුම්. මේ ගිණුම් ගැන මම විශේෂයෙන් සඳහන් නොකළේ සාමාන්‍යයෙන් ඔය ගිණුම් වල ශේෂය අයිරා (overdraft) වී තිබෙන නිසා. තාක්ෂනික ලෙස නිවැරදි වෙන්නනම් සංචිත මුදල් අර්ථ දක්වද්දී මහ බැංකුවේ තිබෙන රජයේ ගිණුම් වල ශේෂයන්ද එකතු කළ යුතුයි.

හැබැයි, කලින් සටහනක පැහැදිලි කළ පරිදිම, ගණුදෙනු සඳහා රට ඇතුළේ භාවිතා කෙරෙන මුදල් ප්‍රමාණය ඉහත කී සංචිත මුදල් ප්‍රමාණය පමණක් නෙමෙයි. එම ප්‍රමාණය ඉහත ප්‍රමාණයට වඩා ගොඩක් වැඩියි. ඒ, බැංකු පද්ධතිය විසින් ණය දීමේ ක්‍රියාවලිය තුළ සංචිත මුදල් ප්‍රමාණය ගුණනය වීමක් සිදු වෙන නිසා. මෙහි ප්‍රතිඵලයක් විදිහට මහ බැංකුව විසින් නිකුත් කරන රුපියලක් අවසානයේදී රුපියල් දහයක් වගේ ගණනක් වෙන්න පුළුවන්. මුදල් ගුණකය කියා කියන්නේ මේ අනුපාතයට. ඒ විදිහට ගුණනය වීමෙන් පසු මුදල් ප්‍රමාණ M1, M2, M2b, M4 ලෙස හැඳින්වෙනවා. මේවාට පොදුවේ මුදල් සමස්ත කියාත් කියනවා. පහළ තියෙන්නේ මහ බැංකු වෙබ් අඩවියෙන්ම උපුටාගත් ලංකාවේ මුදල් සමස්ත වල අර්ථදැක්වීම්.

"ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුදල් සමස්ත මොනවා ද?

ශ්‍රී ලංකාවේ භාවිත කරන මුදල් සමස්තවල ප්‍රධාන නිර්වචන පහත පරිදි වේ.

සංචිත මුදල්/ පදනම් මුදල්/ අධිබලැති මුදල් (M0) - ව්‍යවහාර මුදල් (මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකු වෙතැති ව්‍යවහාර මුදල්), ශ්‍රී ලංකා මහ බැංකුව වෙතැති වාණිජ බැංකු තැන්පතු සහ මහ බැංකුව වෙතැති රාජ්‍ය නියෝජිත ආයතනවල තැන්පතු ඇතුළත් වේ.

පටු මුදල් (M1) - මහජනයා වෙතැති ව්‍යවහාර මුදල් සහ වාණිජ බැංකුවල පවත්වාගෙන යනු ලබන මහජනයා සතු ඉල්ලුම් තැන්පතුවලින් සමන්විත වේ.

පුළුල් මුදල් (M2) - පටු මුදල් සැපයුම (M1) සහ මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු ඇතුළත් වේ.

පුළුල් මුදල් (M2b) - පටු මුදල් සැපයුම (M1), මහජනයා සතු වාණිජ බැංකු වෙතැති කාලීන සහ ඉතිරි කිරීමේ තැන්පතු සහ වාණිජ බැංකු වෙතැති විදේශ ව්‍යවහාර මුදල් තැන්පතුවලින් කොටසක් ඇතුළත් වේ.

පුළුල් මුදල් (M4) - පුළුල් මුදල් සැපයුම (M2b) සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම් වෙතැති මහජනයා සතු කාලීන හා ඉතිරිකිරීමේ තැන්පතු ඇතුළත් වේ."

ඔය ටික මගේ වචන වලින්ම ලිවුවනම් වඩා හොඳින් තේරෙයි. නමුත්, මුදල් සමස්ත අර්ථ දක්වන්නේ මහ බැංකුව විසින් නිසා  මහ බැංකුවේ නිර්වචනම යොදා ගන්න එක කෝකටත් හොඳයිනේ.

හරි. දැන් ඔය තියෙන්නේ නිර්වචන. පහළින් තියෙන්නේ 2022 සැප්තැම්බර් අවසානයේදී  M0, M2b, M4 මුදල් සමස්ත වල ප්‍රමාණය.

සංචිත මුදල් (M0) - රුපියල් බිලියන 1,379 යි.

පුළුල් මුදල් (M2b)  - රුපියල් බිලියන 12,051 යි.

පුළුල් මුදල් (M4)  - රුපියල් බිලියන 14,540 යි.

සරලව කිවුවොත්, පළමු කොටස නෝට්ටු හා කාසි සහ මහ බැංකුවේ තිබෙන බැංකු වල සල්ලි. සැප්තැම්බර් අවසානයේ ගණන හරියටම දන්නේ නැතත්, 2022 ජූනි අවසානයේදී කාසි හා නෝට්ටු විදිහට මිනිස්සු අතේ තිබුණු මුදල් ප්‍රමාණය පමණක් රුපියල් මිලියන 797,471ක්. ලංකාවේ ගෙවල් ගණන වන මිලියන 5.1න් බෙදුවොත්, එක ගෙදරක සාමාන්‍ය වශයෙන් ගත්තහම කාසි හා නෝට්ටු වලින්ම රුපියල් 156,000කට වඩා තිබිය යුතුයි. 

ගොඩක් ගෙවල් වල ඔය සල්ලි ප්‍රමාණය නැතුව ඇති. හැබැයි මෙය තමයි සාමාන්‍ය ගණන. ඒ කියන්නේ, එක ගෙදරක මේ ගණන නැත්නම්, වෙන ගෙදරක ඒ අඩු ප්‍රමාණයත් තියෙනවා. මතක තියා ගන්න මේ බැංකු වල තියෙන සල්ලි අත ඇරලා. කෑෂ් වලින්ම ගෙවල් වල තිබෙන කොටස පමණයි. 

මිනිස්සු අතේ තිබෙන සල්ලි වලට බැංකු වල තියෙන සල්ලිත් එකතු කරලා ගණන තමයි දෙවන ගණන. නමුත් එහි තියෙන්නේ වාණිජ බැංකු වල තියෙන සල්ලි පමණයි. ජාතික ඉතිරි කිරීමේ බැංකුව වගේ වාණිජ බැංකු නොවන බැංකු වල දමා තියෙන සල්ලි එහි නැහැ. ලියාපදිංචි මූල්‍ය සමාගම් වල දමපු සල්ලිත් නැහැ. ඒ ටික ඔක්කොම එකතු කළාම ගණන තමයි රුපියල් බිලියන 14,540 යි.

දැන් මේ ගණන රටේ නිවාස ඒකක ගණනින් බෙදුවහම ගාන කීයද? රුපියල් ලක්ෂ 28.5ක්! ඒ කියන්නේ බැංකු වල දමපුවත් එක්ක සාමාන්‍ය වශයෙන් එක ගෙදරක තිබෙන සල්ලි ප්‍රමාණය රුපියල් ලක්ෂ 28.5ක්. ලක්ෂ එකහමාරක් පමණ කෑෂ් වලින්. ඉතුරු ලක්ෂ 27 බැංකු ගිණුම් වල!

මේවා ඇස්තමේන්තු නෙමෙයි. බැංකු ලේඛණ වල ඔය රුපියල් බිලියන 14,540න් හැම සතයක්ම අයිති කාටද කියන එක පැහැදිලිව සටහන් වෙලා තියෙනවා. කෑෂ් වලින් තියෙන සල්ලි තියෙන්නේ කා ළඟද කියන එකනම් හරියටම හොයාගන්න බැහැ. හැබැයි ගාණ හරියට සතේටම දන්නවා. 

මේ ගණනට EPF, ETF ආදියේ තියෙන මිනිස්සුන්ගේ සල්ලි නැහැ. මිනිස්සු තමන්ගේ නමට භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල දමපු සල්ලි නැහැ. කොටස් වෙළඳපොළ ආයෝජනය කරපු සල්ලි නැහැ. තිලිණි ප්‍රියමාලිලා වගේ අය ළඟ ආයෝජනය කරපු සල්ලි නැහැ. ඒ කියන්නේ මූල්‍ය වත්කම් වලින් වුනත් කොටසක් විතරයි මේ ගණන ඇතුළේ තියෙන්නේ. ගෙවල්, වාහන වගේ මූර්ත වත්කම් කොහොමටවත් නැහැ. 

පසුගිය සතිය අවසාන වෙද්දී (2022 නොවැම්බර් 16) රජය විසින් නිකුත් කර තිබුණු මුළු භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ප්‍රමාණය රුපියල් බිලියන 12,480ක්. එයින් විදේශිකයින් සතු වූ ප්‍රමාණය රුපියල් බිලියන 25ක් පමණයි. ඒ කියන්නේ, ඉතිරි රුපියල් බිලියන 12,455 රටේම සල්ලි. එයින් මහ බැංකුව සතු වූ කොටස රුපියල් බිලියන 2,571ක්. ඒ ටිකත් අඩු කළාම රුපියල් බිලියන බිලියන 9,884ක්.

දැන් ඔය සල්ලි කාගේ සල්ලිද? එක්කෝ රටේ මිනිස්සුන්ගේ සල්ලි කෙළින්ම භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරපුවා. එහෙම නැත්නම්, රටේ මිනිස්සුන්ගේ සල්ලි බැංකුවක දැම්මට පස්සේ එම බැංකු විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරපුවා. එහෙමත් නැත්නම්, EPF එක විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වල ආයෝජනය කරපු රටේ මිනිස්සුන්ගේම සල්ලි. 

රජයට ඔය සල්ලි ආපසු නොගෙවා ඉන්න අවශ්‍යනම් එය ගොඩක් අමාරු වැඩක් නෙමෙයි. වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත කළාම වැඩේ ඉවරයි. විදේශ ණය වගේ ජාත්‍යන්තර නීති වලින් බැඳීමක් නැහැ. නමුත්, සාමාන්‍යයෙන් රජයකට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අඩු වශයෙන් වෙනත් විකල්ප දෙකක් තියෙනවා. එකක් බදු වැඩි කරන එක. අනෙක් එක සල්ලි අච්චු ගහන එක.

දැන් බොහෝ දුරට බදු වැඩි කරලා ඉවරයි. බදු තවත් වැඩි කරයි කියලා මම හිතන්නේ නැහැ. කියන විදිහට සල්ලි අච්චු ගහන්නෙත් නැහැ. එහෙමනම්, ඒත් ඔය ණය ප්‍රශ්නයක් නැතිව ගෙවන්න පුලුවන්ද? 

අපි නැවතත්, කලින් සටහනේ කතා කළ, යෝජිත 2023 අයවැය ඇස්තමේන්තු වෙත යමු. 

පොලී ගෙවීම් හැර වසරේ රාජ්‍ය වියදම - රුපියල් බිලියන 3,665 යි.

දේශීය ණය හා පොලී ගෙවීම් - රුපියල් බිලියන 3,586 යි.

විදේශ ණය හා පොලී ගෙවීම් - රුපියල් බිලියන 629 යි.

එකතුව - රුපියල් බිලියන 7,879 යි. 

අපේක්ෂිත ආදායම - රුපියල් බිලියන 3,433යි.

පියවා ගත යුතු හිඟය - රුපියල් බිලියන 4,446යි.


දැන් මේ හිඟය පියවා ගන්න යන්නේ කොහොමද? 

විදේශ ණය හා ආධාර - රුපියල් බිලියන 619 යි.

දේශීය මූලාශ්‍ර - රුපියල් බිලියන 3,827 යි. 

ආසන්න වශයෙන් බැලුවොත්, විදේශ ණය හා ආධාර ගන්න යන්නේ විදේශ ණය හා පොලී ගෙවීම් සඳහා. මේ වැඩේ කොහොමටත් මේ විදිහට කරන්නම වෙනවා. සල්ලි අච්චු ගහලා හෝ දේශීය වෙළඳපොළෙන් රුපියල් ණයට අරගෙන විදේශ ණය හා පොලී ගෙවීම් කරන්න බැහැනේ. වැදගත් දෙය ඊට වඩා වැඩියෙන් විදේශ ණය ගන්නේ නැති එක. 

ඒ කියන්නේ දේශීය මූලාශ්‍ර වලින් අරමුදල් සම්පාදනය කර ගන්න යන්නේ ප්‍රාථමික අයවැය හිඟය පියවීමට, දේශීය ණය ආපසු ගෙවීම් වලට හා දේශීය ණය වල පොලී ගෙවීම් වෙනුවෙන්. දැනට රජයට සෘජු ලෙස හෝ වක්‍ර ලෙස දේශීය ණය දීලා තියෙන්නේ (මහ බැංකුව හැරුණු විට), අතිරික්ත අරමුදල් තියෙන අයනේ. මේ අයට ඔය සල්ලි ආපසු මුදල් කරන්න හදිස්සියක් නැහැ. ඒ නිසා, පොලී අනුපාතික ප්‍රමාණවත් මට්ටමක තිබෙන තුරු, ආපසු ලැබෙන ණය හා පොලිය නැවත ආයෝජනය කරන්න මේ ණයහිමියෝ පැකිලෙන්නේ නැහැ. ඒ නිසා, රජයට එම මුදල් ප්‍රමාණය හොයාගන්න එක කිසිම අමාරුවක් නැති වැඩක්. ඊට පස්සේ තව අඩු රුපියල් බිලියන 241ක් පමණයි. 

දේශීය මූලාශ්‍ර වලින් එකතු කර ගැනීමට අදහස් කරන රුපියල් බිලියන 3,827න් රුපියල් බිලියන 3,586ක්ම ඔය විදිහට ලේසියෙන්ම හොයා ගත්තට පස්සේ (rollover කළාට පස්සේ), ඉතුරු රුපියල් බිලියන 241 හොයා ගන්න එක මහා ලොකු අමාරු වැඩක් නෙමෙයි. ගොඩක් වෙලාවට ඔය ප්‍රමාණයට වඩා වැඩි මුදලක් මිනිස්සු ඉතිරි කරනවා. රජයේ වත්කම් විකුණා සල්ලි හොයා ගැනීමේ විකල්පයත් තියෙනවා. ඔය මොකක්වත් හරිගියේ නැත්නම් ඔය වගේ ප්‍රමාණයක් සල්ලි අච්චු ගහන්න වුනත් පුළුවන්. එහි හානියක් තිබුණත් සාපේක්ෂව අඩු හානියක්. මේ හේතු නිසා දැනට පවතින තත්ත්වයන් තුළ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් වෙන එකක් නැහැ කියන එකයි මගේ අදහස.

හැබැයි අවදානම් නැතුව නෙමෙයි. ප්‍රධානම අභියෝගය ඇස්තමේන්තු වල තියෙන තරමට බදු ආදායම් එකතු නොවීමේ අවදානම. ලංකාවේ සාමාන්‍යයෙන් ඇස්තමේන්තු වල තියෙන තරමට බදු ආදායම් එකතු වෙන්නේ නැහැ. මේ පාරත් ඔය වැඩේ වෙනවා කියන්නේ ඇස්තමේන්තුවට වඩා අයවැය හිඟය වැඩි වෙනවා කියන එක. එහෙම වුනා කියලත් ණය ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යම නැහැ. දෙවන අවදානම විදේශ ණය ප්‍රතිව්‍යුහගත කරන්න යද්දී මෙය කොන්දේසියක් ලෙස ඉදිරිපත් වීමේ හැකියාව. ඒ අවදානමටත් මම ගොඩක් බර තියෙන්නේ නැහැ. 

වෙබ් ලිපිනය: