වෙබ් ලිපිනය:

Showing posts with label මහ බැංකුව. Show all posts
Showing posts with label මහ බැංකුව. Show all posts

Wednesday, January 28, 2026

උද්ධමන ඉලක්කය කීයක් විය යුතුද?


ලංකාවේ කවුරුත් දන්න සාමාන්‍ය කරුණක් විදිහට ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය කාලයත් එක්ක දිගින් දිගටම ඉහළ යනවා. ඒ අතර, ඇමරිකන් ඩොලරයක මිල පහත යන අවස්ථාද තිබුණත්, දිගුකාලීනව හැම විටම මෙන් සිදු වෙන්නේ මිල ඉහළ යන එකයි. 

ඇමරිකන් ඩොලරයක මිල තීරණය වෙන්නේ ඉල්ලුම හා සැපයුම මත. විවිධ සාධක ගණනාවක් මත ඉල්ලුම හා සැපයුම තීරණය වෙනවා. මෙහි ඒ සාධක එකින් එක විස්තර කරන්න යන්නේ නැහැ. නමුත් මේ පිළිතුර මගින් දිගුකාලීනව ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය ඉහළ යන්නේ ඇයි කියන ප්‍රශ්නයට සම්පූර්ණ පිළිතුරක් ලැබෙන්නේ නැහැ. 

මේ විදිහට දිගුකාලීනව ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය දිගින් දිගටම ඉහළ යාමට හේතුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් ඉලක්ක කරන උද්ධමන මට්ටමට වඩා වැඩි උද්ධමන මට්ටමක් ඉලක්ක කිරීමයි. ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් 2%ක සාමාන්‍ය වාර්ෂික උද්ධමනයක් ඉලක්ක කරද්දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පසුගිය කාලය පුරාම ඉලක්ක කර තිබෙන්නේ ඊට වඩා වැඩි උද්ධමන මට්ටමක්.

මෙහි කතා කරන්නේ උද්ධමන ඉලක්කය ගැන මිසක් සැබෑ උද්ධමනය ගැන නෙමෙයි. 2022 ජූනි මාසයේදී ඇමරිකාවේ උද්ධමනය 9.1% දක්වා ඉහළ ගියා. 2022 සැප්තැම්බර් මාසයේදී ලංකාවේ උද්ධමනය 67.4% දක්වා ඉහළ ගියා. නමුත් ඇමරිකාවේ උද්ධමනය 9.1% දක්වා ඉහළ ගියේත්, ලංකාවේ උද්ධමනය 67.4% දක්වා ඉහළ ගියේත් අදාළ මහ බැංකු වලට එවැනි තත්ත්වයක් ඇති වනු දකින්න අවශ්‍ය වූ නිසා නෙමෙයි. යමක් ඉලක්ක කළ පමණින් හැම විටම ඒ ඉලක්ක සාක්ෂාත් කරගන්න බැහැ. 

ඇමරිකාවේ මහ බැංකුව වන ෆෙඩරල් සංචිත බැංකුව විසින් කාලයක් තිස්සේම ඉලක්ක කරන්නේ උද්ධමනය 2% මට්ටමේ තියා ගන්නයි. නමුත් ලංකාව දැනට ඉලක්ක කරන්නේ උද්ධමනය 5% මට්ටමේ තියා ගන්නයි. මේ විදිහට ඇමරිකාව ඉලක්ක කරන උද්ධමනයට වඩා වැඩි උද්ධමනයක් ඉලක්ක කරනවා කියන්නේ ඒ රටේ මුදල් ඒකකය දිගින් දිගටම ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වීමට ඉඩ සලස්වනවා කියන එක. 

ඇමරිකාව 2%ක උද්ධමනයක් ඉලක්ක කරනවා කියන්නේ හිතාමතාම ඩොලරයක වටිනාකම වසරකට 2%කින් අඩු වීමට ඉඩ සලස්වනවා කියන එකයි. ඇමරිකාව වගේම එක්සත් රාජධානිය, කැනඩාව, යුරෝ කලාපය ඇතුළු තවත් රටවල් ගණනාවක්ම 2%ක උද්ධමනයක් ඉලක්ක කරන නිසා අදාළ මුදල් ඒකක වල වටිනාකමද වසරකට 2%කින් අඩු වෙනවා. නමුත් මේ විදිහට ඒ මුදල් ඒකක වල වටිනාකම අඩු වෙද්දී ඊට සමානව ඇමරිකන් ඩොලරයේ වටිනාකමද අඩු වෙන නිසා දිගුකාලීනව ඒ මුදල් ඒකක ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙන්නේ නැහැ.  

මෙයින් අදහස් වෙන්නේ ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව විණිමය අනුපාතය ස්ථාවරව තිබෙනවා කියන එක නෙමෙයි. ඉල්ලුම හා සැපයුම අනුව දිනපතාම විණිමය අනුපාත විචලනය වෙනවා. නමුත් දීර්ඝ කාලයක් සැලකූ විට ලොකු වෙනසක් වෙන්නේ නැහැ. 

මේ සමඟ පළ කරන වගුවේ තිබෙන්නේ 1997 ජනවාරි 2 දින සහ 2026 ජනවාරි 2 දින වලදී ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම සඳහා විවිධ මුදල් ඒකක වලින් ගෙවිය යුතු වූ මුදල සහ එම මුදල් ප්‍රමාණය වෙනස් වූ අනුපාතයයි. ඇමරිකන් ඩොලරයක් මිල දී ගැනීම වසර 29කට පෙර සඳහා කැනේඩියන් ඩොලර් 1.374ක් ගෙවන්න සිදු වී තිබෙනවා. කොයි තරම් උච්ඡාවචනයන් සිදු වුනත් වසර 29කට පසුව නැවතත් එම මිල ඒ මට්ට්මටමට පැමිණ තිබෙනවා. 

ඔය අතරවාරයේ කැනේඩියන් ඩොලරයක් ඇමරිකන් ඩොලරයකට වඩා වැඩියෙන් මිල වූ අවස්ථා තිබුණා. ඇමරිකන් ඩොලරයක් සඳහා දැන් මිලට වඩා වැඩියෙන් ගෙවිය යුතු වූ අවස්ථාත් තිබුණා. ඔය වගේ විචලනයන් සිදු වුනත්, රටවල් දෙකේ වෙළඳපොළවල් විවෘතව තිබීම, විණිමය වෙළඳපොළට මහ බැංකු මැදිහත් නොවීම සහ දිගුකාලීනව රටවල් දෙකම 2%ක උද්ධමනයක් ඉලක්ක කිරීම හේතුවෙන්, දිගුකාලීනව විණිමය අනුපාතය ස්ථාවර මට්ටමක තිබෙනවා. 

ලෝකයේ ප්‍රධාන රටවල් බොහොමයක් උද්ධමනය 2% මට්ටමේ තියාගන්න ඉලක්ක කරනවා. ඒ නිසා, ඒ රටවල මුදල් ඒකක වල වටිනාකම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව කෙටිකාලීනව විචලනය වුනත් දිගුකාලීනව ලොකු වෙනසක් වෙන්නේ නැහැ. 

ඉහත වගුව දෙස බලද්දී ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව පසුගිය වසර 29ක කාලය තුළ යම් තරමකින් හෝ ශක්තිමත් වී තිබෙන්නේ චීනය, සිංගප්පූරුව සහ ස්විට්සර්ලන්තය යන රටවල මුදල් ඒකක පමණයි. මේ රටවල් තුන අනෙක් රටවල් වලට වඩා වෙනස් වන විශේෂ කරුණ වන්නේ එම රටවල් තුනේම දේශීය ඉතිරි කිරීම් අනුපාතය ඉහළ මට්ටමක තිබීමයි. මේ ගැන පෙර ලිපි වල කතා කර තිබෙන නිසා මෙම ලිපියෙහි වැඩිපුර කතා කරන්නේ නැහැ. 

ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව දිගුකාලීනව අවප්‍රමාණය වී ඇති මුදල් ඒකක දෙස බැලුවත්, බොහොමයක් මුදල් ඒකක හා අදාළව එය සැලකිය යුතු තරමේ අවප්‍රමාණය වීමක් නෙමෙයි. වගුවේ මුදල් ඒකක අතරින් වැඩිපුරම අවප්‍රමාණය වී තිබෙන්නේ ශ්‍රී ලංකා රුපියලයි. ඉන් පසුව, දකුණු අප්‍රිකාවේ, ඉන්දියාවේ සහ මෙක්සිකෝවේ මුදල් ඒකක දකින්න පුළුවන්. 

දකුණු අප්‍රිකාව මෑතක් වන තුරුම ඉලක්ක කළේ 4.5%ක පමණ (3%-6% පරාසයේ) උද්ධමනයක්. මාස කිහිපයකට පෙර දකුණු අප්‍රිකාව මෙම ඉලක්කය 3% දක්වා (2%-4% පරාසය) අඩු කර තිබෙනවා. ඉන්දියාව ඉලක්ක කරන්නේ 4%ක (2%-6% පරාසය) උද්ධමනයක්. මෙක්සිකෝව ඉලක්ක කරන්නේ 3%ක (2%-4% පරාසය) උද්ධමනයක්. මේ රටවල් තුනේ පොදු සාධකයක් වන්නේ ඇමරිකාවේ උද්ධමනය වන 2% මට්ටම ඉක්මවන උද්ධමනයක් ඉලක්ක කිරීමයි. එම රටවල මුදල් ඒකක ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව කාලයත් සමඟ දිගින් දිගටම අවප්‍රමාණය වන්නේ ඒ නිසා.

උද්ධමන ඉලක්කය 4.5%ක් වූ දකුණු අප්‍රිකාවේ මුදල් ඒකකයට සාපේක්ෂව ඇමරිකන් ඩොලරයක මිල 3.51 ගුණයකින් ඉහළ යද්දී, උද්ධමන ඉලක්කය 4%ක් වූ දකුණු අප්‍රිකාවේ මුදල් ඒකකයට සාපේක්ෂව එම මිල 2.51 ගුණයකින්ද, උද්ධමන ඉලක්කය 3%ක් වූ මෙක්සිකෝවේ මුදල් ඒකකයට සාපේක්ෂව 2.26 ගුණයකින්ද ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයක් සඳහා ගෙවිය යුතු ශ්‍රී ලංකා රුපියල් ප්‍රමාණය 5.46 ගුණයකින් ඉහළ ගොස් තිබෙන්නේ ලංකාවේ උද්ධමන ඉලක්කය ඉහත හැම රටකටම වඩා ඉහළ මට්ටමක පැවති නිසයි. 

අලුතෙන් සම්මත කරගත් මහ බැංකු පණත අනුව, 2023 ඔක්තෝබර් 3 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති අතර අත්සන් කළ ගිවිසුමක් මගින් මහ බැංකුවට 5%ක උද්ධමන ඉලක්කයක් ලබා දුන්නා. 2023 ඔක්තෝබර් 5 දින මෙම ගිවිසුමේ ප්‍රධාන කරුණු ගැසට් කර තිබෙනවා. ගැසට් නිවේදනය අනුව අදාළ ගිවිසුම අවලංගු වන දිනයක් නැතත්, මහ බැංකුවේ අනෙකුත් ප්‍රකාශන අනුව මෙම එකඟතාවය ඇති කරගෙන තිබෙන්නේ වසර තුනක කාලයක් සඳහායි. ඒ අනුව, ඉදිරි කාලයේදී අදාළ ඉලක්කය නැවත විමර්ශනය කර රජය සහ මහ බැංකුව අතර අලුත් ගිවිසුමක් අත්සන් කිරීමට නියමිතයි. 

ගිවිසුම අලුත් කරද්දී 5% උද්ධමන ඉලක්කය තවදුරටත් ඒ මට්ටමේම පවත්වා ගත යුතුද?

ක්ෂණිකව කළ හැකි දෙයක් නොවුනත්, ශ්‍රී ලංකාව විසින් දිගුකාලීනව උත්සාහ කළ යුත්තේ උද්ධමන ඉලක්කය 2% මට්ටම දක්වා අඩු කර එම ඉලක්කය පවත්වා ගෙන යාමයි. එසේ කළ හැකිනම්, ලෝකයේ ප්‍රධාන මුදල් ඒකක වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ වටිනාකම දිගුකාලීනව ස්ථාවරව තියා ගන්න පුළුවන්. එසේ කළ හැකිනම්, ඉල්ලුම හා සැපයුම වෙනස් වන ආකාරය අනුව විණිමය අනුපාතය තව දුරටත් දිනපතා වෙනස් වනු ඇති නමුත්, දැන් මෙන් දිගුකාලීනව ඩොලරයක මිල ඉහළ යාමක් සිදු වෙන එකක් නැහැ. නමුත් ඒ තත්ත්වයට යන්නනම් උද්ධමන ඉලක්කය 2% මට්ටම දක්වා අඩු කර ගත යුතුයි.

හේතු ගණනාවක් නිසා ලංකාවේ උද්ධමන ඉලක්කය එකවරම 2% මට්ටම දක්වා අඩු කරන්න බැහැ. නමුත් ඉදිරි වසර තුනක කාලය සඳහා මෙම ඉලක්කය 4% මට්ටම දක්වා අඩු කිරීම කළ නොහැකි දෙයක් නෙමෙයි. 

දැනට මහ බැංකුවට දී තිබෙන උද්ධමන ඉලක්කය 5% වන අතර එය 3%-7% පරාසය තුළ විචලනය විය හැකියි. මෙම පරාසය 2%-6% දක්වා පහතට ගන්න බැරිකමක් නැහැ. ඉන්දියාවේ උද්ධමන ඉලක්කය වන්නේද 2%-6% පරාසයම බැවින්, ලංකාවේ ඉලක්කය එම මට්ටම දක්වා අඩු කළහොත්, දිගුකාලීනව ඩොලරයක මිල තවදුරටත් (අඩු වේගයකින්) ඉහළ යනු ඇති නමුත් ශ්‍රී ලංකා රුපියල සහ ඉන්දියානු රුපියල අතර විණිමය අනුපාතය දිගුකාලීනව වෙනස් වෙන්නේ නැහැ. එහි වාසි ගණනාවක් තිබෙනවා. 

ශ්‍රී ලංකා රජය සහ මහ බැංකුව අතර තිබෙන ගිවිසුම අනුව, උද්ධමන ඉලක්කය පරීක්ෂාවට ලක් කෙරෙන්නේ කාර්තුවකට (මාස තුනකට) වරක්. 2023 ඔක්තෝබර් 3 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු අධිපති අතර අදාළ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මහ බැංකුවට ඉලක්කය තුළ සිටින්නට හැකි වූයේ 2024 පළමු කාර්තුවේදී පමණයි. 2024 දෙවන කාර්තුවේ සිට 2025 අවසාන කාර්තුව දක්වාම මහ බැංකුවට රජය විසින් ලබා දුන් ඉලක්කය ලඟා කර ගැනීමට හැකි වී නැහැ.

මෙහිදී සිදු වූයේ උද්ධමනය ඉලක්කය ඉක්මවා යාම නොව ඉලක්කයට වඩා පහතින් පැවතීමයි. ඒ නිසා, විරෝධයක් හෝ විවේචනයක් ආවේ නැහැ. එසේ වුවත්, මෙයින් පෙනෙන පළමු කරුණ වන්නේ මහ බැංකුවට උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීම තවමත් අපහසු බවයි. දෙවන කරුණනම්, ලංකාවට දිගුකාලීනව උද්ධමනය 5%ට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීමේ හැකියාවක් තිබෙන බවයි. එබැවින්, පළමු කරුණ මත පදනම්ව +/- 2% පරාසය එලෙසම තබා ගන්නා අතර ඉලක්කය 4% දක්වා අඩු කිරීම ප්‍රායෝගිකව කළ හැකි දෙයක්. 

ඉන්දියාව උද්ධමන ඉලක්කය සංශෝධනය කරන්නේ වසර පහකට වරකුයි. ඉදිරි මාස කිහිපය ඇතුළත ඉන්දියාව විසින් 2031 දක්වා වසර පහක කාලය සඳහා උද්ධමන ඉලක්කය තීරණය කිරීමට නියමිතයි. දැනට පළ වී ඇති අදහස් අනුව පෙනී යන්නේ ඉන්දියාව 4% ඉලක්කය වෙනස් නොකරනු ඇති බවයි. යම් හෙයකින් ඉන්දියාව එම ඉලක්කය අඩු කළහොත්, ඉදිරි සංශෝධනයකදී ලංකාවට ඒ ගැන සලකා බලන්න පුළුවන්. ඉදිරි වසර තුන සඳහා වන ඉලක්කය 1%කින් අඩු කළ හැකිනම් දැනට එය ප්‍රමාණවත්. 

ඉදිරි වසරේ විශේෂ තත්ත්වයක් පැවතියත්, දැනට රජයේ ඉලක්කය වන්නේ දිගුකාලීනව ප්‍රාථමික අයවැය අතිරික්තය දදේනියෙන් 2.6% මට්ටමේ පවත්වා ගැනීමයි. එයින් අදහස් වන්නේ දිගුකාලීනව බැංකු පද්ධතියෙන් රජයට ණය ලබා ගැනීමේ අවශ්‍යතාවය ක්‍රමයෙන් අඩු වන බවයි. ඒ නිසා, පෞද්ගලික අංශයේ ණය වර්ධනය ප්‍රමාණවත් තරම් ඉහළ මට්ටමක පවත්වා ගන්නා අතරම මුදල් සැපයුමේ වර්ධනය පාලනය කර ගැනීමේ හැකියාවක් සහ එමගින් අඩු උද්ධමනයක් ඉලක්ක කිරීමේ හැකියාවක් මහ බැංකුවට තිබෙනවා. මෙම තත්ත්වය තුළ 5%ක උද්ධමනයක් ඉලක්ක කිරීමෙන් වුවද, පෞද්ගලික අංශයේ ණය වර්ධනය සීමාව ඉක්මවා ඉහළ යන්න පුළුවන්. ඒ නිසා, දැනට තිබෙන 5% ඉලක්කයට වඩා 4% ඉලක්කය ගැලපෙනවා. ඒ වගේම, අවශ්‍යනම් උද්ධමනය 2% මට්ටම දක්වා අඩු මට්ටමක පවත්වා ගැනීමටද මහ බැංකුවට ඉඩ ලැබෙනවා.

ලංකාවේ උද්ධමනය කළමනාකරණය කිරීමේදී මහ බැංකුවට මුහුණ දෙන්නට වන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ඉන්ධන මිල, විදුලි ගාස්තු ආදිය වෙළඳපොළ තුළ තීරණය නොවීමයි. මෙම වෙළඳපොළවල් නිදහස් වීමේ ඉඩක් ළඟපාතක පෙනෙන්නට නොමැති පසුබිමක මේ සඳහා විකල්ප විසඳුමක් වන්නේ මිල ස්ථායිකරණ අරමුදල් පිහිටුවීමයි. එවැන්නක් සිදු විය යුත්තේ රජය පැත්තෙනුයි. පසුගිය කාලයේ මහ බැංකුවට උද්ධමන ඉලක්කය ලඟා කර ගැනීමට නොහැකි වීමට ප්‍රධාන හේතුව වූයේද මෙවැනි පාලිත මිල ගණන් වල සිදු වූ මහ බැංකුවේ පාලනයෙන් තොර වෙනස් වීමයි. පසුගිය කාලයේ එය සිදු වූයේ උද්ධමනය ඉලක්කයට වඩා අඩු වන ආකාරයකින් වුවද, එහි අනෙක් පැත්තද සිදු විය හැකියි.

ඉන්දියානු රුපියල වේගයෙන් ලෝකයේ ශක්තිමත් මුදල් ඒකකයක් බවට පත් වෙමින් තිබෙනවා. ආනයන අපනයන පැත්තෙන් වගේම ආයෝජන පැත්තෙන් බැලුවත් ලංකාවට ප්‍රායෝගිකව ප්‍රවේශ වීමට පහසු ඉන්දියාව ප්‍රධාන කලාපීය වෙළඳපොළ වෙතයි. විනිමය අනුපාතයේ ඒකමිතියක් තිබීම එය පහසු කරනවා පමණක් නොව කලාපයෙන් බාහිර පාර්ශ්වයන්ට ලංකාව ඉන්දියානු ආර්ථික කලාපයේම තවත් සංරචකයක් ලෙස දකින්නටද උදවු කරනවා. 

ඓතිහාසික විකාශනය අනුව, ලංකාවේ රුපියල සැලකිය හැක්කේ ඉන්දියානු රුපියලේ දරුවෙක් ලෙසයි. එහෙත්, ඉන්දියානු පෙකණි වැල කැපූ තැන් පටන් සිදු වී තිබෙන්නේ මේ දරුවා අයාලේ යාමයි. ලෝකයේ පවතින වත්මන් ප්‍රවණතා අනුව ලොකු පිළිගැනීමක් නොමැති මුදල් ඒකක වලට අනාගතයේදී අනිවාර්යයෙන්ම ප්‍රධාන මුදල් ඒකකයක් සමඟ යම් ආකාරයකින් ගැට ගැසෙන්නට සිදු වෙනවා. එවැනි තත්ත්වයකට මුහුණ දීම සඳහා අවශ්‍ය මූලික පියවරක් වන්නේද ශ්‍රී ලංකා රුපියල ඉන්දියානු රුපියලට සාපේක්ෂව ස්ථාවරව පවත්වා ගැනීමයි. උද්ධමන ඉලක්කය 4% දක්වා අඩු කිරීම මගින් ඒ සඳහා අවශ්‍ය මුල් පියවර තියන්න පුළුවන්.

Thursday, September 4, 2025

මහ බැංකුවක කාර්ය භාරය


මෙම ලිපි මාලාවෙහි පෙර ලිපි තුනෙහි විස්තර කළ වැදගත් කරුණු කිහිපයක් සාරාංශගත කළහොත්, පළමුව, මුදල් සැපයුම, ඉතා පැහැදිලි ලෙසම, උද්ධමනය හෝ අවධමනය කෙරෙහි බලපාන නමුත් එම සම්බන්ධය නිශ්චිත ගණිතමය සම්බන්ධයක් ලෙස ඉදිරිපත් කිරීම සියයට සියයක්ම සාර්ථක කාර්යයක් නෙමෙයි. මේ සම්බන්ධය ආකෘතිගත කිරීම පිණිස කාලයක් තිස්සේ මුදල් ප්‍රමාණ සමීකරණය ප්‍රචලිතව උපයෝගී කරගෙන ඇති නමුත් ප්‍රායෝගිකව එහි සීමාවන් ගණනාවක් තිබෙනවා.

දෙවනුව, මුදල් සැපයුම යන සංකල්පය ප්‍රායෝගිකව අර්ථදැක්වීම එන්න එන්නම වඩා අසීරු වෙමින් තිබෙනවා. ඊට හේතුව, ගෙවීම් සිදු කරන ක්‍රමවේදයන්හි මෑතකාලීනව වේගවත් පරිවර්තනයන් සිදු වී තිබීමයි. මේ තත්ත්වය තුළ ඉහත සම්බන්ධය තවත් දුර්වල වී තිබෙනවා. ජාත්‍යන්තර ගනුදෙනු ඉහළ යාම මේ තත්ත්වය තවත් සංකීර්ණ කර තිබෙනවා.

තෙවනුව, මුදල් සැපයුම කෙරෙහි මහ බැංකුවේ සෘජු බලපෑම කාලයත් සමඟ ක්‍රමක්‍රමයෙන් ක්ෂය වෙමින් පවතිනවා. වත්මන් සන්දර්භයෙහි මුදල් සැපයුම බොහෝ දුරට තීරණය වන්නේ මහ බැංකුවෙන් බැහැර වෙළඳපොළ තුළයි.  

පහත තිබෙන්නේ පසුගිය (2024) වසර අවසානයේදී ලංකාවේ පුළුල් මුදල් සැපයුමෙහි (M2b) සංයුතියයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් උද්ධමනය පාලනය කිරීම පිණිස ඉලක්ක කිරීමට උත්සාහ කරන මුදල් සැපයුම පිළිබඳ නිර්ණායකය වන්නේද, නාමික දළ දේශීය නිෂ්පාදිතයේ විචලනයන් හා වැඩිම සම්බන්ධයක් පෙන්වන්නේද මෙම M2b පුළුල් මුදල් සැපයුමයි. සියලුම අගයන් රුපියල් බිලියන වලින්.

ව්‍යවහාර මුදල් - 1,051.3 (7.3%)

ජංගම ගිණුම් තැන්පතු - 874.5 (6.1%)

ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු - 12,396.1 (86.6%)

එකතුව - 14,321.7 (100.0%)

වත්මන් සන්දර්භයේදී මේ ඕනෑම වර්ගයක මුදල් ගනුදෙනු සඳහා භාවිතා කළ හැකියි. මෙම මුදල් වර්ග අතරින් මහ බැංකුවට ඒකාධිකාරයක් තිබෙන්නේත්, මහ බැංකුව විසින් සෘජුව නිකුත් කර තිබෙන්නේත්, ව්‍යවහාර මුදල් පමණයි. එහෙත් එම ප්‍රමාණය පුළුල් මුදල් සැපයුමෙන් 7.3%ක් පමණයි. මුදල් සැපයුමෙන් 92.7%ක්ම ගොඩ නැගී තිබෙන්නේ බැංකු පද්ධතිය හා ඔවුන්ගේ පාරිභෝගිකයින් අතර සිදු වන අන්තර්ක්‍රියා වලින්. 

ලෝකයේ බොහෝ රටවල මෙන්ම ඇමරිකාව තුළද ව්‍යවහාර මුදල් භාවිතය බෙහෙවින්ම අඩු වී ඇතත්, ඩොලර් නෝට්ටු ලෝකය පුරාම ගනුදෙනු සඳහා භාවිතා කෙරෙන බැවින්, ලංකාවට සාපේක්ෂව ඇමරිකාවේ මෙම අනුපාතය තරමක් වැඩියි. ව්‍යවහාර මුදල් ප්‍රමාණය (2024 අවසානයේදී) ඇමරිකාවේ M1 මුදල් සැපයුමෙන් 12.8%ක් වූ අතර, M2 මුදල් සැපයුමෙන් 10.9%ක්ව පැවතුණා.

චීනය මේ වන විට ව්‍යවහාර මුදල් භාවිතයෙන් බොහෝ දුරට ඈත්ව සිටින රටක්. එරට ඉහත අනුපාතය 4.1%ක් පමණයි. ව්‍යවහාර මුදල් භාවිතයෙන් මුළුමනින්ම මෙන් ඈත් වී ඇති ස්වීඩනයේ මෙම අනුපාතය 1.1%ක් පමණයි. තවමත් ව්‍යවහාර මුදල් ගණුදෙනු වැඩිපුර සිදු වන ඉන්දියාවේ වුවද මෙම අනුපාතය 13.6%ක්. මේ අනුව, ලංකාවේ මෙන්ම ලෝකයේද, ව්‍යවහාර මුදල් භාවිතය පිළිබඳ වත්මන් තත්ත්වය අවබෝධ කර ගැනීම අපහසු කරුණක් නෙමෙයි.

මහ බැංකුව විසින් සංසරණයට එකතු කර තිබෙන මුදල් ප්‍රමාණය ලංකාවේ පුළුල් මුදල් සැපයුමෙන් 7.3%ක් පමණක්නම්, ඉතිරි 92.7% නිර්මාණය වූයේ කෙසේද? මෙය සිදුව තිබෙන්නේ වාණිජ බැංකු සහ ඔවුන්ගේ පාරිභෝගිකයින් අතර සිදු වන ගනුදෙනු හරහා සිදුව තිබෙන මුදල් මැවීමේ ක්‍රියාවලිය තුළිනුයි. වෙනත් රටක් සැලකුවද තත්ත්වය මෙවැන්නක්. මහ බැංකු මැදිහත් වී නියාමනයක් සිදු නොකරන්නේනම් මේ මුදල් මැවීමේ ක්‍රියාවලිය හරහා මුදල් සැපයුම අසීමිත ලෙස ඉහළ යා හැකියි. ඊට අනුරූපව උද්ධමනයද ඉහළ යා හැකියි.

මුදල් ප්‍රමාණ සමීකරණය වෙත නැවත පිවිසියහොත්, අදාළ සම්බන්ධය මෙවැන්නක් බව අප දන්නවා. 

උද්ධමනය = මුදල් සැපයුමේ වර්ධන වේගය - අපේක්ෂිත මූර්ත ආර්ථික වර්ධන වේගය

කිසියම් රටක උද්ධමනය 10%ක් හෝ ඊට වඩා අඩු මට්ටමක තිබේනම්, එයට මුදල් සැපයුම වර්ධනය වීමේ බලපෑම මෙන්ම මූර්ත ආර්ථික වර්ධනයේ බලපෑමද දායක වන ආකාරය පැහැදිලිව පෙනෙනවා. එමෙන්ම, එම මට්ටම නොඉක්මවන උද්ධමනයකට මුදල් ප්‍රවේගය වෙනස් වීම වැනි කරුණුද බලපෑ හැකියි. එහෙත්, රටක මූර්ත ආර්ථික වර්ධන වේගය 10% මට්ටම ඉක්මවන්නේ කලාතුරකින්. මුදල් ප්‍රවේගය විශාල ලෙස වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, කිසියම් රටක අධි උද්ධමන තත්ත්වයක් ඇත්නම් එයට මුළුමනින්ම මෙන් හේතු වී තිබෙන්නේ මුදල් සැපයුමේ වර්ධනය බව තේරුම් ගන්න අපහසු නැහැ. 

අධි උද්ධමනයක් (hyper inflation) සේ සැලකෙන්නේ සාමාන්‍ය මිල මට්ටම මාසයක් තුළ 50% ඉක්මවා යන තත්ත්වයක්. මෙය 12875%ක වාර්ෂික උද්ධමනයකට සමානයි. ශ්‍රී ලංකාව මුහුණ දුන් 70% මට්ටමේ උද්ධමනය ඉහළ උද්ධමනයක් වුවත් අධි උද්ධමනයක් නෙමෙයි. එය 12875% සීමාවට කිට්ටුවෙන්වත් යන්නේ නැහැ. 

උද්ධමනය මෙවැනි අධි උද්ධමන මට්ටමකට යාමේදී  මූර්ත ආර්ථික වර්ධන වේගය හෝ මුදල් ප්‍රවේගයේ වෙනස්වීම වැනි කරුණු වලින් ඒ සඳහා සිදු කෙරෙන බලපෑම නොසලකා හැරිය හැකි තරම් අඩුයි. ඒ නිසා, උද්ධමනය පාලනය කිරීමේදී අවධානය යෙදිය යුතු එකම සාධකය මුදල් සැපයුමේ වර්ධනයයි. එහෙත්, උද්ධමනය තනි අංකයක පවත්වා ගැනීමේ උත්සාහයකදී මුදල් සැපයුමේ වර්ධනය දෙස පමණක් බලමින් එය කළ නොහැකියි. 

සිම්බාබ්වේ හා වෙනිසියුලාව වැනි රටවල මෑත වකවානු වලදී අධි උද්ධමන තත්ත්වයන් ඇති වූයේ එම රටවල මහ බැංකු තිබියදීයි. එහෙත්, මහ බැංකු විසින් සිය වගකීම නිසි ලෙස ඉටු නොකිරීම මහ බැංකු ක්‍රමයේ ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකයේ බොහොමයක් මහ බැංකු විසින් උද්ධමනය සාර්ථක ලෙස පාලනය කරමින් තමන්ගේ මුදල් ඒකක පිළිබඳ විශ්වාසය නඩත්තු කිරීමට සමත්ව තිබෙනවා. 

පුළුල් මුදල් සැපයුමෙහි සංයුතිය දෙස බැලූ විට, පහසුවෙන්ම, උද්ධමනය නිසා මුදලේ වටිනාකම අඩු වන්නේය යන තර්කය බිඳ දමන්න පුළුවන්. උද්ධමනයක් ඇත්නම්, පුළුල් මුදල් සැපයුමෙහි ව්‍යවහාර මුදල් කොටසේ මූර්ත වටිනාකම අඩු වෙනවා. එහෙත් එම කොටස පුළුල් මුදල් සැපයුමෙන් 7.3%ක් පමණයි. මෙම පංගුවද ක්‍රමයෙන් අඩු වෙමින් තිබෙනවා. ව්‍යවහාර මුදල් භාවිතය නුදුරු කලකින් ලෝකයෙන් අතුරුදහන් වීමට නියමිතව ඇති දෙයක්. ස්වීඩනය වැනි ඇතැම් රටවල ව්‍යවහාර මුදල් භාවිතයක් ඇත්තේම නැහැ. 

ලංකාවේ පුළුල් මුදල් සැපයුමෙන් 86.6%ක්ම පවතින්නේ ඉතිරි කිරීමේ ගිණුම් හා ස්ථිර තැන්පතු ලෙසයි. ජංගම ගිණුම් කොටස 6.1%ක්. මා දන්නා තරමින් ලංකාවේ බැංකු ජංගම ගිණුම් වෙනුවෙන් පොලී ගෙවීමක් සිදු කරන්නේ නැහැ. එහෙත් ලෝකයේ වෙනත් රටවල් වල මේ වන විට මේ තත්ත්වයද වෙනස් වී තිබෙනවා. ජංගම ගිණුම් ශේෂද ඇතුළුව, ලංකාවේ පුළුල් මුදල් සැපයුමෙන් 12.4%ක වටිනාකම උද්ධමනය හේතුවෙන් අඩු වන්නේයැයි සැලකුවද, ඉතිරි 86.6% කොටසට මේ තර්කය අදාළ වන්නේ නැහැ. එය තීරණය වන්නේ උද්ධමනය ඉක්මවන පොලී අනුපාතයක් මෙම තැන්පතු වෙනුවෙන් ලැබෙන්නේද යන්න මතයි.

ඉතිරි කිරීම් වෙනුවෙන් උද්ධමනය ඉක්මවන පොලී අනුපාතයක් ලැබේනම්, උද්ධමනය කොපමණ වුවද, අවසාන වශයෙන් සිදු වන්නේ මුදල් වල වටිනාකම ඉහළ යාමයි. ලංකාවේ මුදල් සැපයුමෙන් 86.6%ක් හා අදාළවම තත්ත්වය මෙයයි. ඕනෑම අයෙකුට තමන්ගේ ද්‍රවශීල වත්කම් වලින් ව්‍යවහාර මුදල් ලෙස තබා ගන්නා කොටස ස්වාධීනව තීරණය කළ හැකි බැවින් උද්ධමනයේ හානිය පහසුවෙන්ම වලක්වා ගන්න පුළුවන්. 

උදාහරණයක් ලෙස මේ වන විට ලංකාවේ උද්ධමනය 1.2%ක්. එයින් අදහස් වන්නේ ව්‍යවහාර මුදල් වල හා ජංගම ගිණුම් තැන්පතු වල වටිනාකම වසරකට 1.2%කින් අඩු වන බවයි. එහෙත්, සාමාන්‍ය අගයක් ලෙස, තැන්පතු පොලිය 6.24%ක්. ඒ කියන්නේ පුළුල් මුදල් සැපයුමේ එම කොටසේ වටිනාකම 5.04%කින් ඉහළ යන බවයි. මේ අනුව, සමස්ත ප්‍රතිඵලය කුමක්ද?

මුදලේ වටිනාකම වෙනස් වීම = 5.04%*86.6% - 1.2%*13.4% =  4.2%

කෙසේ වුවද, මේ තර්කය මගින්, උද්ධමනය හමුවේ ඕනෑම අවස්ථාවක මුදලේ වටිනාකම ඉහළ යන බවක් අදහස් කෙරෙන්නේ නැහැ. එය තීරණය වන්නේ මූර්ත පොලී අනුපාතිකය මතයි. මූර්ත පොලී අනුපාතිකය යනු පොලී අනුපාතික සහ උද්ධමනය අතර වෙනසයි.

මූර්ත පොලී අනුපාතිකය සෘණ අගයක්නම්, ඒ කියන්නේ, පොලී අනුපාතිකය උද්ධමනයට වඩා අඩුනම්, උද්ධමනය නිසා සිදු වන හානිය ප්‍රතිපූරණය කර ගැනීමේ හැකියාවක් පුද්ගලයෙකුට නැහැ. ඒ නිසා, මුදලේ වටිනාකම පවත්වා ගැනීම සඳහා, වත්මන් මහ බැංකුවක් විසින් කළ යුත්තේ මූර්ත පොලී අනුපාතික අවශ්‍ය තරම් ඉහළ මට්ටමක පවත්වා ගැනීමයි. මහ බැංකු විසින් ඇත්තටම කරන්නේද එයයි.

මුදල් සැපයුම සීමා කිරීම මගින් මහ බැංකුවකට මූර්ත පොලී අනුපාතික ඉහළ යාමට ඉඩ සැලැස්විය හැකියි. කෙසේ වුවද, නාමික පොලී අනුපාතික මෙන්ම උද්ධමනයද තීරණය වන්නේ මහ බැංකුවෙන් පිටත වෙළඳපොළ තුළයි. මහ බැංකුවකට කළ හැක්කේ නියාමකයෙකු හා මැදිහත්කරුවෙකු ලෙස ඒ මත බලපෑමක් කිරීම පමණයි.

උද්ධමනය තීරණය වන්නේ මුදල් ඉල්ලුම හා මුදල් සැපයුම මතයි. මුදල් ඉල්ලුම තීරණය කරන්නේ සමස්තයක් ලෙස රටේ සියලුම පුද්ගලයින් හා ආයතන විසිනුයි. මුදල් සැපයුමෙන් වැඩි කොටසක් තීරණය කරන්නේද වාණිජ බැංකු විසිනුයි. මහ බැංකුවට සෘජුව පාලනය කළ හැක්කේ ව්‍යවහාර මුදල් කොටසයි. ඊට අමතරව ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට මුදල් සැපයුමෙහි තවත් කොටසක් පාලනය කළ හැකියි. මෙම දෙවන ක්‍රමයද ලෝකය විසින් ක්‍රමයෙන් බැහැර කරමින් යන, වෙළඳපොළ මත පදනම් නොවන, දැඩි නියාමන ක්‍රමයක්. ඇමරිකාව මේ වන විට සංචිත අවශ්‍යතාවය මුළුමනින්ම ඉවත් කර ඇති අතර, ලංකාවේ වුවද මෙම අනුපාතය 2%ක් පමණයි. 

සංචිත මුදල් ලෙස හැඳින්වෙන්නේ මහ බැංකුව විසින් නිකුත් කර ඇති ව්‍යවහාර මුදල් ප්‍රමාණයේ සහ මහ බැංකුව විසින් තබා ගෙන ඇති වාණිජ බැංකු වල අරමුදල් ප්‍රමාණයේ එකතුවයි. 2024 අවසානයේදී මුළු සංචිත මුදල් ප්‍රමාණයම M2b පුළුල් මුදල් සැපයුමෙන් 10.7%ක් පමණයි.

මුදල් ඉල්ලුම තීරණය වන්නේ මහ බැංකුවෙන් පිටතදීනම් සහ මුදල් සැපයුමෙන් 90%ක් පමණම තීරණය වන්නේද මහ බැංකුවෙන් පිටතදීනම්, පොලී අනුපාතික තීරණය වන්නේද මහ බැංකුවෙන් පිටත වෙළඳපොළ තුළ බව පැහැදිලි විය යුතුයි. මහ බැංකුවට සිදු කළ හැක්කේ එක් සැපයුම්කරුවෙකු ලෙස මෙම වෙළඳපොළ මිල මත බලපෑම් කිරීම පමණයි.

මෙය සමාන කළ හැක්කේ වී සංචිතයක් තබා ගෙන එහි උදවුවෙන් රජය විසින් සහල් මිල මත බලපෑම් කිරීම වැනි දෙයකටයි. රජයට බලපෑමක් කළ හැකි වුවත්, අවසාන වශයෙන් මිල තීරණය වන්නේ වෙළඳපොළ තුළයි. කෙසේ වුවද, වී සංචිතය අවසන් වෙද්දී රජයට මෙසේ වෙළඳපොළට බලපෑම් කිරීමේ හැකියාව නැති වෙනවා. එහෙත්, මහ බැංකුවට පහසුවෙන්ම අලුතෙන් මුදල් සංසරණයට එකතු කළ හැකි බැවින් මෙවැනි සීමාවක් නැහැ.

මුදල් සංසරණයට එකතු කිරීම මගින් මහ බැංකුවට මුදල් සැපයුම මත කොපමණ බලපෑමක් කළ හැකිද?

මුදල් ඉල්ලුම අනුව, මහ බැංකුවෙන් පිටත පාර්ශ්වයන් විසින් මුදල් සැපයුමෙහි ඔවුන්ගේ පංගුව 20%කින් වැඩි කිරීමට දායක වන්නේයයි සිතමු. ඔවුන්ගේ මෙම පංගුව 90%ක් සේ සැලකුවහොත්, මේ හේතුවෙන් මුදල් සැපයුම 18%කින් ඉහළ යනවා. මහ බැංකුව විසින් මහ බැංකුවේ කොටසද 20%කින් වැඩි කළහොත්, මුදල් සැපයුම 20%කින් ඉහළ යනවා. ඒ කියන්නේ මෙවැනි තත්ත්වයක් යටතේ මහ බැංකුවට කළ හැක්කේ සංචිත මුදල් සැපයුම පාලනය කර ගැනීම මගින් මුදල් සැපයුම වර්ධනය වන වේගය 20% සිට 18% දක්වා අඩු කිරීම පමණයි. මේ අනුව, සංචිත මුදල් සැපයුම පාලනය කර ගැනීම මගින් පමණක් මහ බැංකුවට උද්ධමනය පාලනය කිරීම සඳහා ඇති හැකියාවේ සීමාවද හඳුනා ගන්න පුළුවන්.

අනෙක් අතට රටේ මුදල් ඉල්ලුම වෙනස් නොවන සහ මහ බැංකුවෙන් පිටත පාර්ශ්වයන් විසින් මුදල් සැපයුමෙහි ඔවුන්ගේ පංගුව නොවෙනස්ව තබා ගන්නා තත්ත්වයක් සලකා බලමු. මෙවැනි තත්ත්වයක් තුළ, මහ බැංකුව විසින් සංචිත මුදල් ප්‍රමාණය 40%කින් වැඩි කළහොත්, පුළුල් මුදල් සැපයුම මත එයින් සිදුවන බලපෑම කුමක්ද? එය 4%ක් පමණයි. ඒ නිසා, මෙවැනි තත්ත්වයක් යටතේ සංචිත මුදල් සැපයුම 40%කින් ඉහළ ගියද, එයින් උද්ධමන තත්වයක් අනිවාර්යයෙන්ම ඇති වන්නේ නැහැ. 

ඇමරිකාව වෙත ගියොත්, 2008 ජූනි මාසය අවසන් වන විට සංචිත මුදල් සැපයුම ඩොලර් බිලියන 840.2ක්. 2021 දෙසැම්බර් වන විට මෙම ප්‍රමාණය ඩොලර් බිලියන 6,413.1 දක්වා ඉහළ ගිහින්. වසර 13.5ක කාලයක් තුළ 7.63 ගුණයක වර්ධනයක්. සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගය 16.24%ක්. එහෙත් මෙම කාලය තුළ පුළුල් මුදල් සැපයුම වර්ධනය වී තිබෙන්නේ 2.82 ගුණයකින් පමණයි. මෙය 8.0ක වාර්ෂික වර්ධන වේගයක්. 

ඉහත වසර 13.5ක කාලය තුළ ඇමරිකාවේ පාරිභෝගික මිල දර්ශකය ඉහළ ගොස් තිබෙන්නේ, සමස්තයක් ලෙසම, 29.1%කින් පමණයි. මෙය 1.91%ක සාමාන්‍ය වාර්ෂික වර්ධන වේගයක්. ඇමරිකාවේ මහ බැංකුව එරට හා රටින් පිටත ඩොලර් භාවිතා කරන පුද්ගලයින්ට දැනුම් දී තිබෙන්නේ උද්ධමනය සාමාන්‍ය අගයක් ලෙස 2% ආසන්නව පවත්වා ගන්නා බවයි. සංචිත මුදල් සැපයුමේ සාමාන්‍ය වර්ධන වේගය 16.24%ක් වුවද, ෆෙඩරල් සංචිත බැංකුව විසින් අදාළ කාලය තුළ උද්ධමනය සාමාන්‍ය අගයක් ලෙස පොරොන්දු වූ මට්ටම ආසන්නයේ පවත්වාගෙන ගොස් තිබෙනවා. අවසාන වශයෙන් අවශ්‍ය වන්නේ එයයි. 

මෙසේ මුදල් සැපයුමේ සාමාන්‍ය වර්ධන වේගය සහ සාමාන්‍ය උද්ධමනය අතර විශාල වෙනසක් තිබීමෙන් පැහැදිලිව පෙනෙන්නේ උද්ධමනය තීරණය කරන එකම නිර්ණායකය සංචිත මුදල් සැපයුමේ වර්ධනය නොවන්නාක් මෙන්ම මුදල් සැපයුමේ වර්ධනයද නොවන බවයි. මෙය විචල්‍ය ගණනාවක් මත තීරණය වන්නක්.

සාර්ව ආර්ථික විචල්‍යයන්ගේ හැසිරීම පිළිබඳව සාමාන්‍ය ජනයා දැනුවත්ව සිටිය යුතු වුවත්, ප්‍රායෝගිකව ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී එවැනි දැනුවත් භාවයන් ඉක්මවා යන විශේෂඥ දැනුමක් අවශ්‍ය වෙනවා. එසේ නොවන අවස්ථාද තිබුණත්, සාමාන්‍යයෙන් මහ බැංකු වල තීරණ ගන්නා අය එවැනි විශේෂඥ දැනුමක් හා පළපුරුද්දක් ඇති අයයි. ඇමරිකාවේ සංචිත මුදල් සැපයුමේ සාමාන්‍ය වර්ධන වේගය 16.24%ක් වුවද, උද්ධමනය ඉලක්ක මට්ටම වන 2% ආසන්නව පවත්වා ගැනීමට සමත්වීම මගින් ෆෙඩරල් සංචිත බැංකුව විසින් ප්‍රදර්ශනය කර තිබෙන්නේ එම විශේෂඥ දැනුමේ වටිනාකමයි. 

පුළුල් මුදල් සැපයුමෙන් විශාල පංගුවක් තීරණය වන්නේ මහ බැංකුවේ පාලනයෙන් තොරවනම්, මහ බැංකුවකට උද්ධමනය අඩු කර ගත හැක්කේ යම් සීමාවක් දක්වා පමණයි. උද්ධමනය හැදෙන්නේ වෙළඳපොළ තත්වයන් තුළයි. වෙනත් විදිහකින් කිවුවොත්, එය හොඳ නියාමනයක් නැති ධනවාදී ක්‍රමයක් තුළ නෛසර්ගිකව සිදු වන දෙයක්. මෙහිදී ධනවාදී ක්‍රමයක් යන අර්ථදැක්වීමට සීමිත හෝ නිදහස් මූල්‍ය වෙළඳපොළක් ඇති ඕනෑම ක්‍රමයක් ඇතුළත්. 

මෙම අර්ථකථනයෙන් බැහැර වන්නේ ණය දීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම එක් මධ්‍යගත ආයතනයක් හරහා පමණක් සිදු වන සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමය පමණයි. කොමියුනිස්ට් ප්‍රකාශනයේ කියවුනේත්, පැරණි සෝවියට් දේශයේ තිබුණේත්, චීනය වැනි සමාජවාදී රටවල කලකට පෙර තිබුණේත් එවැනි ක්‍රමයක්. දැනට මෙවැනි ක්‍රමයක් තිබෙන්නේ උතුරු කොරියාවේ පමණයි. මේ අර්ථයෙන්, චීනයේ දැන් තිබෙන්නේද ධනවාදී ක්‍රමයක්. 

ධනවාදී වෙළදපොළක් ප්‍රසාරණය වෙද්දී එයට අනුරූපව මුදල් ඉල්ලුමද ඉහළ යනවා. මේ ඉල්ලුම සපුරමින් ණය දීමේ ක්‍රියාවලිය හරහා මුදල් සැපයුම ප්‍රසාරණය කිරීමට පෞද්ගලික වාණිජ බැංකු කටයුතු කරනවා. අරමුණ ලාභ ලැබීමනම්, රජයට අයත් වාණිජ බැංකු විසින්ද මේ කටයුත්තට දායක වෙනවා. නියාමනයක් නොමැතිනම්, මේ ක්‍රියාවලියේ අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය ඇති වීම නොවැලැක්විය හැකියි. 

කාලයකට පෙර මුදලේ වටිනාකම රන් වටිනාකම හා ගැලපීම මගින් රජයයන් විසින් මේ නියාමනය සිදු කළා. මේ වන විට මහ බැංකු ක්‍රමය තුළ එය වඩා සාර්ථක ආකාරයකින් සිදු වෙනවා. අතරින් පතර අධි උද්ධමන තත්ත්වයන් ඇති වුවත්, සමස්තයක් ලෙස ලෝකයේ මහ බැංකු විසින් උද්ධමනය පහළ මට්ටමක පවත්වා ගනිමින් සිටිනවා. 

ඉහත විස්තර කළ පරිදි, මුදල් සැපයුමෙන් වැඩි කොටසක් තීරණය වන්නේ මහ බැංකුවෙන් පිටත බැවින් එසේ මුදල් සැපයුම වර්ධනය වන සාමාන්‍ය වේගයට වඩා ගොඩක් අඩු වේගයක් ඉලක්ක කිරීම මහ බැංකුවකට ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. ඒ නිසාම, උද්ධමනය හා අදාළවද, පවත්වා ගත හැකි ඉලක්කයට යම් සීමාවක් තිබෙනවා. මේ ඉලක්කය පහතට ගැනීම කාලයක් තිස්සේ ක්‍රමානුකූලව සිදු කළ යුතු දෙයක්. ඒ සඳහා දිගු කාලයක් උද්ධමනය ස්ථාවරව පවත්වා ගැනීම මගින් මුදල් පිළිබඳ විශ්වාසය ගොඩ නැගිය යුතු වෙනවා.

මුදල් සැපයුමෙන් වැඩි කොටසක් තීරණය වන්නේ මහ බැංකුවෙන් පිටත බැවින්, මේ තත්ත්වය තුළ අවධමනයක් වුවද ඇති විය හැකියි. උද්ධමනය මෙන් නොව, අවධමනය මහ බැංකුවකට පහසුවෙන් පාලනය කළ හැකියි. ඊට හේතුව, මුදල් සැපයුම අඩු කිරීම අපහසු කාර්යයක් වුවත්, මුදල් අලුතෙන් සංසරණයට එකතු කිරීම මගින් මුදල් සැපයුම ඉහළ දැමීම පහසු කාර්යයක් වීමයි. මහ බැංකුව ස්වාධීනනම්, රජය මගින් මහ බැංකුවක මේ හැකියාව අපහරණය නොකරන්නේනම්, උද්ධමනය ඉලක්ක මට්ටමේ පවත්වා ගැනීම පිණිස මහ බැංකුව විසින් සංචිත මුදල් වැඩි කිරීම ප්‍රශ්නයක් වන්නේ නැහැ. 

ශුන්‍ය උද්ධමන ඉලක්කයක් වෙනුවට කිසියම් පහළ තනි අංකයක උද්ධමන ඉලක්කයක් පවත්වා ගැනීමේ වැදගත්කම වනුයේ, එසේ කිරීම මගින් උද්ධමනය ඉලක්ක මට්ටම ඉක්මවන විට එය පාලනය කර ගැනීමේ යම් හැකියාවක් මහ බැංකුවකට ලැබීමයි. මෙහිදී උද්ධමනය අවශ්‍ය මට්ටමේ පවතීනම් මහ බැංකුව විසින් සාමාන්‍ය මුදල් ප්‍රමාණයක් සංසරණයට එකතු කරනවා. උද්ධමනය ඊට වඩා අඩුනම් වැඩි මුදල් ප්‍රමාණයක් එකතු කරනවා. උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා අඩුනම්, එසේ එකතු කරන මුදල් ප්‍රමාණය අඩු කරනවා. 

නමුත්, අවශ්‍ය අවස්ථාවකදී මෙසේ අලුතෙන් එකතු ක‍රන මුදල් ප්‍රමාණය අඩු කළ හැකි වන්නේ සාමාන්‍ය වශයෙන් වාර්ෂිකව මහ බැංකුව විසින් මුදල් සැපයුමට කිසියම් එකතු කිරීමක් කරන්නේනම් පමණයි. ඒ කියන්නේ, යම් මට්ටමක උද්ධමනයක් පවත්වා ගන්නේනම් පමණයි. 

සංවර්ධිත රටකට 2% වැනි උද්ධමන මට්ටමක් මේ ආකාරයෙන් නඩත්තු කළ හැකි වුවත්, ලංකාව වැනි වේගවත් ආර්ථික වර්ධනයක් ඉලක්ක කරන රටකට එවැනි පහළ ඉලක්කයක් නඩත්තු කිරීමේ හැකියාවක් නැහැ. මෙහිදී මතක් කළ යුත්තේ මුදලේ වටිනාකම පවත්වා ගත හැකි පරිදි මූර්ත පොලී අනුපාතික ප්‍රමාණවත් මට්ටමක තබා ගත යුතු වුවත්, මූර්ත පොලී අනුපාතික සීමාව ඉක්මවා වැඩි වුවහොත්, ණය වර්ධනය සීමා වීමේ බලපෑමෙන් අවසාන වශයෙන් ආර්ථික වර්ධනයද සීමා වන බවයි. 

උද්ධමන ඉලක්කය 2% වුනත්, 10% වුනත්, මහ බැංකුව විසින් එම ඉලක්කය පවත්වා ගනු ලබන්නේනම් සහ මූර්ත පොලී අනුපාතික නිවැරදිව කළමනාකරණය කරන්නේනම් එයින් මුදලේ වටිනාකම අඩු වීමක් හෝ හානියක් සිදු වන්නේ නැහැ. ඊට හේතුව, පොලී අනුපාතික මගින් මුදලේ වටිනාකම අඩුවීම ප්‍රතිපූරණය වීමයි. එහෙත්, මහ බැංකුවට ප්‍රකාශිත උද්ධමන ඉලක්කය පවත්වා ගත නොහැකි වන අවස්ථා වලදී පොලී අනුපාතික මගින් මුදලේ වටිනාකම අඩුවීම ප්‍රතිපූරණය නොවෙන්න පුළුවන්. එය එසේ වේනම්, එය මහ බැංකුවේ කාර්ය භාරය නිසි සේ සිදු නොවීමක්.

Tuesday, September 2, 2025

මුදල් සැපයුම තීරණය කරන්නේ කවුද?

උද්ධමනය, අවධමනය, සාමාන්‍ය මිල මට්ටම, දළ දේශීය නිෂ්පාදිතය, මුදල් සැපයුම වගේ ආර්ථික විද්‍යාවේදී කතා කරන ගොඩක් දේවල් වියුක්ත සංකල්ප. මේ වගේ වියුක්ත සංකල්ප ඇසුරෙන් ආර්ථික විද්‍යා ප්‍රවාද ගොඩ නගන්න පුළුවන්. ඒ ප්‍රවාද ඇසුරෙන් නිගමන වලට එළැඹෙන්නත් පුළුවන්. නමුත්, එවැනි නිගමන නිවැරදි බවක් එයින් අනිවාර්යයෙන්ම අදහස් වන්නේ නැහැ. ප්‍රවාදයක් හෝ ප්‍රවාදයක් අනුව යමින් එළැඹුණු නිගමන නිවැරදි බව තහවුරු කරගන්නනම් සැබෑ ලෝකය තුළ ඒ ප්‍රවාද පරීක්ෂාවට ලක් විය යුතුයි.

මුලින් වියුක්තව ඉදිරිපත් කෙරෙන සංකල්පයක් සැබෑ ලෝකය හා ගැලපීම සඳහා යම් නිශ්චිත අර්ථ දැක්වීමක් අවශ්‍ය වෙනවා. එසේ නොකර මිනුම් හෝ නිරීක්ෂණ ලබා ගන්න බැහැ. නිරීක්ෂණ ලබා නොගෙන ප්‍රවාදයක් සැබෑ ලෝකය තුළ පරීක්ෂාවට ලක් කරන්න බැහැ. 

වියුක්ත සංකල්පයක් සැබෑ ලෝකය තුල නිරීක්ෂණය කළ හැකි මිනුමක් සේ අර්ථ දක්වන්න උත්සාහ කරද්දී ඇති වන මූලිකම ගැටලුවක් වන්නේ අදාළ වියුක්ත සංකල්පය හා හරියටම ගැලපෙන ප්‍රපංචයක් සැබෑ ලෝකයේ දකින්න නොලැබීමයි. ඒ නිසා, වඩාත්ම ගැලපෙන තෝරා ගැනීමක් කරන්න වෙනවා. මෙය කියන තරම්ම පහසු නැහැ. බොහෝ වෙලාවට මුලින්ම තෝරා ගැනෙන හොඳම මිනුමට වඩා හොඳ මිනුම් ඇති බව පසුව පැහැදිලි වෙනවා. 

හේතු දෙකක් නිසා මෙවැන්නක් සිදු වෙන්න පුළුවන්. පළමුව, මුලින්ම තෝරාගත් මිනුම හෝ අර්ථදැක්වීම ඒ මොහොතේ වුවත් හොඳම මිනුම නොවූ නිසා. ඒ කියන්නේ විනිශ්චයේ ප්‍රශ්නයක් නිසා. දෙවනුව, එය ඇත්තටම ඒ මොහොතේ පැවති තත්ත්වයන් තුළ හොඳම මිනුම වුවත් පසුකාලීනව ඒ තත්ත්වයන් වෙනස් වීම නිසා.

මුදල් සැපයුම කියන වියුක්ත සංකල්පය ඇසුරෙන් මේ කරුණ පැහැදිලි කරන්න පුළුවන්. මුදල් සැපයුම ගැන ගොඩක් අය කතා කරනවා. කතා කරද්දී මුදල් සැපයුම වගේ වචන දෙකක් භාවිතා කරන එක ඕනෑම කෙනෙකුට කළ හැකි පහසු වැඩක්. එසේ කිරීම සඳහා මුදල් සැපයුම කියන්නේ කුමක්ද කියා නිශ්චිතව දැන ගන්න අවශ්‍යම නැහැ. නමුත් තමන් කතා කරන මුදල් සැපයුම කියන්නේ කුමක්ද කියා නිදහසේ හිතා බැලුවොත්, පහසුවෙන්ම තමන්ගේ අර්බුදය තේරුම් ගන්න පුළුවන්. ඇතැම් විට තමන් කලින් ඉගෙන ගෙන තිබෙන හෝ කට පාඩම් කර තිබෙන අර්ථ දැක්වීමක් මතක් කරගෙන අර්බුදයෙන් නිදහස් වෙන්න පුළුවන්. නමුත් මුදල් සැපයුම වගේ දෙයක් සැබෑ ලෝකය තුළ අර්ථ දක්වන එක පෙනෙන තරම්ම පහසු වැඩක් නෙමෙයි. 

ලංකාවේ සන්දර්භයට ආවොත්, අඩු වශයෙන් අසූව දශකය වන තුරු, ලංකාව තුල සිදු වන ගනුදෙනු පියවීම සඳහා තිබුණේ ප්‍රධාන ක්‍රම දෙකක් පමණයි. පළමු ක්‍රමය නෝට්ටු හා කාසි. දෙවන ක්‍රමය චෙක්පත්. නෝට්ටු හා කාසි වලින් ගෙවීමක් පියවද්දී අදාළ වත්කම වන නෝට්ටුව හා කාසිය සෘජුවම හුවමාරු වෙනවා. චෙක්පතකින් පියවීමේදී සිදු වන්නේ තරමක් වෙනස් දෙයක්. චෙක්පතක් කියන්නේ මූල්‍ය වත්කමක් නෙමෙයි. එය මූල්‍ය වත්කමකින් ගෙවීම පියවීම සඳහා තමන්ගේ බැංකුවට කරන දැනුම් දීමක්. මෙහිදී අවශ්‍ය පියැවීම සිදු කෙරෙන්නේ තමන්ගේ ජංගම ගිණුමක තිබෙන ශේෂයෙන්.

ඉහත හේතුව නිසා නෝට්ටු හා කාසිත්, ජංගම ගිණුම් තැන්පතුත්, කියන සංරචක දෙක මුදල් සැපයුමෙහි කොටස් සේ සැලකුණා. අනෙකුත් බොහොමයක් රටවල මුදල් සැපයුම අර්ථ දක්වනු ලැබුවේද සංසරණයේ ඇති නෝට්ටු හා කාසි ප්‍රමාණයේත්, ජංගම ගිණුම් තැන්පතු වලත් එකතුව ලෙසයි. 

ජංගම ගිණුම් වලට අමතරව ඉතිරි කිරීමේ ගිණුම් ආදියේත් මිනිසුන්ගේ මුදල් තිබුණා. ඒවාත් මූල්‍ය වත්කම්. එහෙත්, මෙවැනි අනෙකුත් මූල්‍ය වත්කම් මුදල් සේ සැලකීමට හේතුවක් තිබුණේ නැහැ. ඊට හේතුව ඉතිරි කිරීමේ ගිණුමක ඇති මුදල් වලින් සෘජුවම ගෙවීම් කිරීමේ හැකියාවක් නොතිබීමයි. එසේ කිරීමටනම් මුලින්ම වැඩ කරන දිනක බැංකුවට ගොස් මුදල් ලබා ගත යුතුයි. ජංගම ගිණුම් හා අදාළව මෙවැනි සීමාවක් තිබුණේ නැහැ. තමන් සතුව චෙක් පොතක් ඇත්නම්, ඕනෑම මොහොතක චෙක්පතක් ලියා එමගින් ගෙවීමක් කළ හැකියි. 

ලෝකයේ අනෙකුත් බොහොමයක් රටවල් සැලකුවත්, පසුගිය සියවසේ තුන් වන කාර්තුව පමණ දක්වා මුදල් ලෙස සැලකිය හැකි වූයේ ඉහත සංරචක දෙක පමණයි. මෙම සංරචක දෙක අතරින් පළමු සංරචකය වන නෝට්ටු හා කාසි ප්‍රමාණය තීරණය කිරීමේ හැකියාව මහ බැංකුවක් සතුයි. 

ඉතිහාසයේ යම් යුග වල විවිධ රටවල විවිධ පාර්ශ්ව විසින් කාසි හා නෝට්ටු නිකුත් කර තිබෙනවා. ඇමරිකාවේ වගේම ලංකාවේත් පෞද්ගලික වාණිජ බැංකු විසින් මුදල් නෝට්ටු නිකුත් කළ කාලයක් තිබුණා. නමුත් ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව ස්ථාපනය කිරීමෙන් පසුවත්, ලංකාවේ මුදල් මණ්ඩලය පිහිටුවීමෙන් පසුවත්, රට තුල මුදල් නෝට්ටු නිකුත් කිරීම සිදු වූයේ එක් තැනකින්. ලංකා මහ බැංකුව (පසුව ශ්‍රී ලංකා මහ බැංකුව) පිහිටුවීමෙන් පසුව, ලංකාව තුළ කාසි හා නෝට්ටු නිකුත් කිරීම සිදු කරන්නේ එම ආයතනය විසින් පමණයි. ඒ නිසා, මුදල් සැපයුමෙහි එම සංරචකය මහ බැංකුවට තීරණය කළ හැකියි.

කෙසේ වුවද, අප පෙර කතා කළ, මුදල් සැපයුමෙහි අනෙක් සංරචකය වන ජංගම ගිණුම් ශේෂය තීරණය කරන්නේ මහ බැංකුව විසින් නෙමෙයි. එම සංරචකය මත මහ බැංකුවේ සෘජු පාලනයක් නැහැ. මෙය තීරණය වන්නේ වාණිජ බැංකු වල සහ ඔවුන්ගේ පාරිභෝගිකයින්ගේ ක්‍රියාකාරකම් මතයි. සමාජවාදී රටවල හැර, මහ බැංකුවක් තිබුණු සෑම රටකම මෙන් පැවතුණේ මේ තත්ත්වයයි.

ආර්ථික විද්‍යා ආකෘති වල රටක මුදල් සැපයුම තීරණය කරන්නේ මහ බැංකුව විසින්යැයි සරලව උපකල්පනය කරනවා. එහෙත් ඇත්තටම, මහ බැංකුවක් විසින් සෘජුව තීරණය කරන්නේ මුදල් සැපයුමෙහි එක් සංරචකයක් පමණයි. මහ බැංකුවකට මුදල් සැපයුම මුළුමනින්ම තීරණය කළ හැක්කේ නියාමන කාර්යයක් පමණක් වන මහ බැංකුවක සාමාන්‍ය කාර්යයට අමතරව වාණිජ බැංකු කටයුතු හා අදාළවද මහ බැංකුවට ඒකාධිකාරයක් තිබේනම් පමණයි. සමාජවාදී රටවල එවැනි තත්ත්වයක් පැවතුණා.

කොමියුනිස්ට් ප්‍රකාශනය මගින් රජයක් නැති කොමියුනිස්ට් සමාජයක් කරා යාමේ අතරමැදි පියවරක් ලෙස සමාජවාදී රාජ්‍ය ක්‍රමයක් යෝජනා කරද්දී එහි එක් අංගයක් ලෙස රටේ සමස්ත ණය දීමේ ක්‍රියාවලිය එක් රාජ්‍ය බැංකුවක් මගින් සිදු කිරීම යෝජනා වුනා. සෝවියට් දේශය පිහිටුවීමෙන් පසුව මෙවැනි එක් මධ්‍යගත බැංකුවක් පිහිටවනු ලැබුවා. මෙම බැංකුව (එක්සත් සෝවියට් සමාජවාදී ජනරජයේ රාජ්‍ය බැංකුව) සෝවියට් මධ්‍යගත ආර්ථික සැලසුම් ක්‍රමයේ එක් ප්‍රධාන කුළුණක්ව පැවතුණා. සෝවියට් දේශය බිඳ වැටීමට ආසන්න කාලයේදී පෙරස්ත්‍රොයිකා ප්‍රතිසංස්කරණ සිදු වන තුරුම පැවතුණේ මෙම මධ්‍යගත ආකෘතියයි. 

චීනයේ මුලින් පැවතුනේද ඉහත ක්‍රමයයි. චීන මහජන බැංකුව මුල් කාලයේදී මහ බැංකු කටයුතු මෙන්ම වාණිජ බැංකු කටයුතුද මධ්‍යගත ලෙස සිදු කළා. එහෙත්, පසුව එම බැංකුවේ අනෙකුත් කාර්යයන් එකින් එක ඉවත් කිරීමෙන් පසුව, මේ වන විට එම ආයතනය සාමාන්‍ය මහ බැංකුවක් පමණයි. අනෙකුත් සමාජවාදී රටවලද මෙවැනි තත්ත්වයක් පැවතුනත්, මේ වන විට මෙවැනි මධ්‍යගත බැංකු ක්‍රමයක් (monobank system) පවතින්නේ උතුරු කොරියාවේ පමණයි. කියුබාව පවා, රාජ්‍ය අයිතිය යටතේම වුවත්, මහ බැංකු කටයුතු සහ වාණිජ බැංකු කටයුතු වෙන් කර තිබෙනවා. 

ආර්ථික විද්‍යාව යනුවෙන් අප මෙම ලිපි වල සඳහන් කරද්දී එයින් අදහස් කරන්නේ ධනවාදී ආර්ථික විද්‍යාවයි. මිල වෙනස් වීම මගින් ඉල්ලුම හා සැපයුම ගැලපීමට ඉඩකඩ ඇති ඕනෑම ආර්ථිකයක් ධනවාදී ආර්ථික විද්‍යාව ඇසුරෙන් විස්තර කළ හැකියි. එසේ නොවන ආර්ථිකයන් ලෙස වත්මන් ලෝකය තුළ හඳුනා ගත හැක්කේ උතුරු කොරියාව වැනි සීමිත රටවල් කිහිපයක් පමණයි. 

අප නිතර කතා කරන උද්ධමනය, අවධමනය, සාමාන්‍ය මිල මට්ටම, දළ දේශීය නිෂ්පාදිතය වැනි සංකල්ප වලට අර්ථයක් තිබෙන්නේ මිල වෙනස් වීම මගින් ඉල්ලුම හා සැපයුම ගැලපීමට ඉඩකඩ ඇති වෙළඳපොළ ආර්ථිකයක් තුළ පමණයි. මේ සංකල්ප කිසිවක් ශුද්ධ විද්‍යා වල ඇති සංකල්ප මෙන් විශ්වීය සංකල්ප නෙමෙයි. ඒ නිසා, මධ්‍යගත ආර්ථික සැලසුම් ක්‍රමයක් තුළ මේ වචන වලට අර්ථයක් නැහැ. උද්ධමනයක් හෝ අවධමනයක් පැවතිය හැක්කේ වෙළඳපොළ අර්ථක්‍රමයක් පවතින්නේනම් පමණයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ භාණ්ඩ හිඟය හෝ අතිරික්තය ප්‍රශ්නයක් විය හැකි නමුත් උද්ධමනය හෝ අවධමනය ප්‍රශ්නයක් වන්නේ නැහැ. 

උද්ධමනය හා අවධමනය වරින් වර ඇති වීම වෙළඳපොළ ආර්ථික ක්‍රමයක ස්වභාවික ලක්ෂණයක්. මීට හේතුව, වෙළඳපොළ ක්‍රමය තුළ අනෙක් භාණ්ඩ හා සේවාවන් වල මිල මෙන්ම මුදල් වල මිලද ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වීමයි. මහ බැංකුවක් විසින් කරන්නේ නියාමනය මගින් මෙම විචලනයන් පාලනය කිරීමයි. මුදල් වල මිල විචලනය වීම ධනවාදී ක්‍රමයේ ප්‍රශ්නයක් බැවින් මිල නියාමනයක් අවශ්‍ය වන්නේද ධනවාදී අර්ථ ක්‍රමයක් පවතින්නේනම් පමණයි. මධ්‍යගත සැලසුම් ක්‍රමයක් තුළ එම කාර්යය සඳහා මහ බැංකුවක් අවශ්‍ය වන්නේ නැහැ. එවැනි රටවල පැවති මධ්‍යගත සැලසුම් බැංකු මගින් සිදු වූයේ ඊට වඩා පුළුල් වෙනත් කාර්යයයක්. 

කාලයක්ම මුදල් සැපයුමේ ප්‍රධාන සංරචක දෙක වූ මුදල් නෝට්ටු සහ ජංගම ගිණුම් ශේෂ වලින් එක් කොටසක් මහ බැංකුවට සෘජුව පාලනය කළ හැකි වුවත්, දෙවන කොටස එසේ සෘජුව පාලනය කළ හැකි වූයේ නැහැ. එහෙත්, මුදලේ මිල නියාමනය කිරීම සඳහා එම දෙවන කොටසද කිසියම් ආකාරයකින් පාලනය කළ යුතු වුනා. මහ බැංකු විසින් මේ සඳහා ප්‍රයෝජනයට ගත් උපකරණය වූයේ සංචිත අවශ්‍යතාවයයි. මේ අනුව, නියාමන අධිකාරිය වන මහ බැංකුවට වාණිජ බැංකු මත අවම සංචිත අවශ්‍යතාවයක් නියම කිරීමට බලය ලැබුණා.

සාමාන්‍යයෙන් මෙම සංචිත අවශ්‍යතාවය පනවනු ලැබූයේ ජංගම ගිණුම් ශේෂ මතයි. ලංකාවේදී මෙය ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය සේ හැඳින්වුනා. මේ මගින්, මහ බැංකුවකට ජංගම ගිණුම් ශේෂ ප්‍රමාණය තීරණය කළ නොහැකි වුවත්, ඒ මත බලපෑමක් කිරීමට හැකි වුනා. ඒ මගින් සහ නෝට්ටු සැපයුම පාලනය කිරීම මගින් මුදල් සැපයුම මත සැලකිය යුතු බලපෑමක් සිදු කළ හැකි වුනා.

ලංකාවේ සන්දර්භයට නැවත පැමිනුණහොත්, අසූව දශකයේ මැද භාගයේදී ලංකාවට ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර හඳුන්වා දෙනු ලැබුවා. අනූව දශකයේදී මේ යන්ත්‍ර රට පුරා ව්‍යාප්ත වුනා. මේ එක්කම, මුදල් සැපයුම පිළිබඳ අර්ථකථනය ගැන නැවත සිතීමේ අවශ්‍යතාවයක් ඇති වුනා. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර පැමිණීමත් එක්කම වාණිජ බැංකු නිරන්තරව විවෘතව තිබීම වැනි තත්ත්වයක් ඇති වෙනවා. අවශ්‍ය අයෙකුට තමන්ගේ ගිණුමෙන් මුදල් ආපසු ගැනීම සඳහා බැංකුවට යන්න අවශ්‍ය වන්නේ නැහැ. ජංගම ගිණුම් වලින් වගේම ඉතිරි කිරීමේ ගිණුම් වලිනුත් අවශ්‍ය වෙලාවක මුදල් ලබා ගන්න පුළුවන්.

ඉන් පසුව, ඩෙබ්ට් කාඩ් ක්‍රමය හඳුන්වා දෙනු ලබනවා. සංකල්පීය වශයෙන් ඩෙබ්ට් කාඩ් එකකින් වෙන්නෙත් චෙක්පතකින් සිදු වන දෙයම වුවත්, මුදල් සම්ප්‍රේෂණය එසැණින් සිදු වන නිසා චෙක්පත් ගෙවීම් වල මෙන් අවදානමක් නැහැ. ඒ වගේම, ලංකාවේ බැංකුවක ජංගම ගිණුමක් විවෘත කර ගැනීම ඕනෑම කෙනෙකුට කළ හැකි දෙයක් වී තිබුණේ නැහැ. නමුත්, ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම ඩෙබ්ට් කාඩ් එකක් ලබා ගන්න පුළුවන් වුනා. 

ඊටත් පස්සේ ජංගම දුරකථන ගෙවීම්, අන්තර්ජාල ගෙවීම් ආදිය හඳුන්වා දෙනු ලැබුවා. මේ එක්ක බැංකුවට යාම කියන සංකල්පය අහෝසි වුනා. දැන් බැංකුව තියෙන්නේ තමන්ගේම අතේ. අඩු වැඩි වශයෙන් පසුගිය දශක කිහිපය තුළ මේ දේවල් ලෝකය පුරාම සමාන්තරව සිදු වුනා.

දැන් අපි ලංකාවේ මුදල් සැපයුම පිළිබඳ මිනුම් කිහිපයක් දෙස බලමු.

M0 - සංචිත මුදල් = මහ බැංකුවට සෘජුව සැපයුම පාලනය කළ හැකි මුදල් 

M1 - පටු මුදල් සැපයුම = සංසරණයේ ඇති මුදල් සහ ජංගම ගිණුම් තැන්පතු 

M2 - පුළුල් මුදල් සැපයුම = M1 + ඉතිරි කිරීමේ ගිණුම් සහ ස්ථිර තැන්පතු 

M2b - පුළුල් මුදල් සැපයුම = M2 + විදේශ විණිමය තැන්පතු වලින් කොටසක් 

මේ මිනුම් අතරින්, M1 කියන්නේ මුදල් වල සම්ප්‍රදායික අර්ථකථනය. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආදිය පැමිණීමට පෙර කාලයට ඒ අර්ථකථනය ගැලපෙනවා. ඒ කාලයේදී උද්ධමනයට හෝ අවධමනයට බලපෑවේ මේ පටු මුදල් සැපයුම. නමුත් ඒ කාලයේදී වුවත් මහ බැංකුවට සෘජුව පාලනය කළ හැකි වූයේ එම පටු මුදල් සැපයුමෙන් එක් කොටසක් පමණයි. කෙසේ වුවත්, ඒ කොටස සැලකිය යුතු කොටසක්.

මුදල් සැපයුම පිළිබඳ ඉහත අර්ථ දැක්වීම පසුකාලීනව ප්‍රමාණවත් වුණේ නැහැ. පසුකාලීනව මහ බැංකුව විසින් ඉලක්ක කළේ M2b පුළුල් මුදල් සැපයුමයි. 2010 පමණ වන තුරු M2b පුළුල් මුදල් සැපයුමේ වර්ධනය නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය එක්ක සෑහෙන තරම් හොදින් ගැලපුනා. නමුත්, සංචිත මුදල් වර්ධනය හෝ පටු මුදල් සැපයුමේ සැපයුමේ වර්ධනය එසේ ගැලපුනේ නැහැ. ඊට හේතුව එම අර්ථකතන ඒ වෙද්දී ඕනෑවට වඩා සීමාකාරී වී තිබීමයි.

මේ සමඟ පළ කරන ප්‍රස්ථාරයෙහි දැකිය හැක්කේ 1950 සිට එක් එක් දශකයේදී මුදල් සැපයුම පිළිබඳ විවිධ මිනුම් වල සහ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස් වීම. 1950 සහ 1960 දශක වලදී මුදල් සැපයුමේ වර්ධන වේගය අඩුයි. ඉන් පසු කාලයේදී එම වර්ධන වේගය වැඩියි. කවර මිනුම දෙස බැලුවත් මේ කරුණ පැහැදිලිව පෙනෙනවා. මෙය මුදල්වාදීන්ගේ තර්කය හා ගැලපෙනවා. දළ අදහසක් ලෙස මුදල්වාදීන්ගේ තර්කය නිවැරදියි. එහෙත්, වඩා විමසුම් සහගත ලෙස බලද්දී එක් එක් නිර්ණායකයේ වෙනස් හැසිරීම් දැක ගන්න පුළුවන්. 

ඔබට සිදු කළ හැකි සාමාන්‍ය නිරීක්ෂණයක් ලෙස, සංසරණයේ ඇති මුදල් ප්‍රමාණය, සංචිත මුදල් සහ පටු මුදල් සැපයුම බොහෝ දුරට එකට යන බව දකින්න පුළුවන්. එයින් අදහස් වන්නේ මහ බැංකුවේ සෘජු පාලනය යටතේ ඇති සංචිත මුදල් සැපයුම පාලනය කිරීම මගින් පටු මුදල් සැපයුම පාලනය කිරීමට මහ බැංකුවට හැකි වී ඇති බවයි. එහෙත්, පුළුල් මුදල් සැපයුමේ හැසිරීම ඊට වඩා වෙනස්. ඒ කියන්නේ පුළුල් මුදල් සැපයුම වෙනස් වී තිබෙන්නේ බොහෝ දුරට මහ බැංකුවේ පාලනයකින් තොරව කියන එකයි. විශේෂයෙන්ම 1990 හා 2000 දශක තුළ මේ තත්ත්වය දැකිය හැකියි. 1990 දශකය මුල M2b පුළුල් මුදල් සැපයුම හඳුන්වා දීමට හේතු වන්නේද පෙර භාවිතා කළ අර්ථකථන අනුව මනින මුදල් සැපයුමේ වෙනස නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය හා නොගැලපීමයි. M2b පුළුල් මුදල් සැපයුමෙහි එවැනි ගැලපීමක් දැකිය හැකිව තිබුණා.

කෙසේ වුවද, 2010 වසරෙන් පසු කාලය සැලකුවහොත් පෙනී යනු ඇත්තේ M2b පුළුල් මුදල් සැපයුමෙහි වර්ධනය වුවද නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය හා නොගැලපෙන බවයි. මීට එක් හේතුවක් වන්නේ 2010 වසරෙන් පසුව විනිමය අනුපාතය පාලනය කිරීම මගින් උද්ධමනය යටපත් කරනු ලැබීම සහ පසුව එය පුපුරා යාමයි. 2020-2024 කාලය තුළ නාමික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය, කවර මිනුම සලකා බැලුවද, මුදල් සැපයුමේ වර්ධනය ඉක්මවා යන්නක්. මෙසේ නාමික දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වී තිබෙන්නේ උද්ධමනය නිසා මිස මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය නිසා නොවන බව අප දන්නා කරුණක්. උද්ධමනයට හේතුව මුදල් සැපයුමේ වර්ධනය පමණක් නොවන බව ප්‍රස්ථාරය දෙස බලද්දී පැහැදිලිව පෙනෙනවා.

මෙතෙක් විස්තර කළ කරුණු අනුව පැහැදිලි විය යුත්තේ මුදල් සැපයුම වැඩි වීම උද්ධමනය කෙරෙහි බලපාන නමුත් එය සරල රේඛීය සම්බන්ධයක් නොවන බවයි. මුදල් සැපයුම වැඩි වීම උද්ධමනය කෙරෙහි බලපාන ප්‍රධානම හේතුව වුවත්, වෙනත් කරුණු ගණනාවක්ද ඒ කෙරෙහි බලපෑම් කරනවා. නූතන මහ බැංකුවකට උද්ධමනය පාලනය කිරීමට සිදු වන්නේ එම සියලු කරුණු විමසා බලමින් ආර්ථිකයේ සමස්ත චිත්‍රය නිරීක්ෂණය කිරීමෙන් පසුවයි. එමෙන්ම මහ බැංකුවක් විසින් මේ කාර්යය කරන්නේ සරල ආර්ථික විද්‍යා ආකෘතියක ඇති අයුරින් මුදල් සැපයුම පාලනය කිරීම මගින් පමණක් නෙමෙයි. 

පසුගිය වසර 34ක කාලය, එනම්, M2b පුළුල් මුදල් සැපයුම හඳුන්වා දීමෙන් පසුව ගත වූ කාලය සැලකුවහොත්, මහ බැංකුවට සෘජුව පාලනය කළ හැකි සංචිත මුදල් සැපයුම 4.23 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. එම කාලය තුළ M2b පුළුල් මුදල් සැපයුම 11.90 ගුණයකින් වර්ධනය වී තිබෙනවා. සංචිත මුදල් සැපයුම හා පුළුල් මුදල් සැපයුම අතර සම්බන්ධය පැහැදිලි කෙරෙන මුදල් ගුණකය ලෙස හැඳින්වෙන සංකල්පයක් තිබෙනවා. එයින් අදහස් කෙරෙනුයේ පුළුල් මුදල් සැපයුම සංචිත මුදල් සැපයුමෙහි අනුපාතයක් බවයි. මුදල් ගුණකය යනු මෙම අනුපාතයයි.

මුදල් ගුණකය නියතව පැවතියේනම් පුළුල් මුදල් සැපයුම වර්ධනය විය යුත්තේද සංචිත මුදල් සැපයුම වර්ධනය වන වේගයෙන්මයි. එහෙත් එය එසේ සිදු වී නැහැ. එයින් පෙනී යන්නේ මුදල් ගුණකයද කාලයත් සමඟ ඉහළ ගොස් ඇති බවයි. මුදල් ගුණකය කෙරෙහිද මහ බැංකුවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග බලපෑම් කරන නමුත් අවසාන වශයෙන් මුදල් ගුණකය තීරණය වන්නේ වාණිජ බැංකු වල සහ ඔවුන්ගේ පාරිභෝගිකයන්ගේ හැසිරීම මතයි. තාක්ෂනය වැඩි දියුණු වීමද මේ කෙරෙහි බලපානවා.

ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටුවන විට, 1950දී, සංචිත මුදල් ප්‍රමාණය පුළුල් මුදල් සැපයුමෙන් (M2) 54.5%ක්. ඒ කියන්නේ මුදල් සැපයුමෙන් එපමණ පංගුවක් සෘජුව පාලනය කළේ මහ බැංකුව විසින්. 1991දී M2b පුළුල් මුදල් සැපයුම හඳුන්වා දෙන විටද, එම මුදල් සැපයුමෙන් 33.3%ක්ම සංචිත මුදල්. එහෙත්, 2024 වන විට මහ බැංකුවේ සංචිත මුදල් යනු M2b පුළුල් මුදල් සැපයුමෙන් 10.7%ක් පමණයි. වෙනත් විදිහකින් කිවුවොත්, මේ වෙද්දී රටේ මුදල් සැපයුමෙන් 90%ක්ම තීරණය වන්නේ මහ බැංකුවෙන් බාහිරවයි. 

ලෝකයේ අනෙකුත් රටවල් වල ප්‍රවණතා දෙස බලද්දී වුවත් මේ තත්ත්වය හඳුනා ගන්න පුළුවන්. වර්තමාන සන්දර්භයේදී මහ බැංකුවක කාර්ය භාරය වී තිබෙන්නේ මුදල් සැපයුම නිර්ණය කිරීම නොව මහ බැංකුවෙන් බාහිරව සිදු වන මුදල් සැපයුමේ වර්ධනය නියාමනය කිරීමයි. මේ නියාමනය නිසියාකාරයෙන් සිදු වන්නේද යන්න විමසා බැලීමටනම් මුදල් සැපයුම දෙස නොව උද්ධමනය දෙස කෙළින්ම බලන්නට සිදු වෙනවා.

උද්ධමනය කියන්නේ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක සාමාන්‍ය අංගයක් මිසක් මහ බැංකු පැවතීමේ ප්‍රතිඵලයක් නෙමෙයි. උද්ධමනය යන්නට අවධමනයද ඇතුළත්. රටක මහ බැංකුවක් තිබුණත් නැතත්, වෙළඳපොළ අර්ථ ක්‍රමයක් ඇත්නම්, චක්‍රීය ලෙස උද්ධමනය සහ අවධමනය ඇති වෙනවා. මහ බැංකුවක් කරන්නේ නියාමනය මගින් මේ චක්‍රීය විචලනයන්ගේ අහිතකර ප්‍රතිඵල සීමා කර ආර්ථිකය ස්ථාවර කිරීමයි. එය එසේ සිදු නොවන්නේනම්, එයින් අදහස් වන්නේ මෙම නියාමනය නිසියාකාරයෙන් සිදු නොවන බවයි. එය එසේ සිදු වන්නේනම්, එය මහ බැංකුවක කාර්ය සාධනය පිළිබඳ දර්ශකයක්. 

Thursday, August 21, 2025

ආර්ථිකය නැවතත් අර්බුදයකට යයිද?

 


මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා දෙකක් බව මහ බැංකුව විසින් පැහැදිලි කර තිබෙනවා. ඒ සමඟම, පුළුල් මුදල් සැපයුමේ වෙනස් වීම මුදල් අච්චු ගැසීම ලෙස අර්ථ දක්වන්නේ හුදෙක්ම ඒ පිළිබඳව මූලික අවබෝධයක්වත් නොමැති බැවින් හෝ දැන දැනම මහජනතාව නොමග යැවීමේ අරමුණින් කියාත් මහ බැංකුව කියනවා. මහ බැංකුවට මෙවැනි පැහැදිලි කිරීමක් කිරීමට අවශ්‍ය වී තිබෙන්නේ රුපියල් ට්‍රිලියනය ඉක්මවන මුදල් අච්චු ගැසීමක් පසුගිය මාස වලදී සිදුව ඇති බවට විවිධ අය විසින් සිදු කරන ප්‍රචාරයයි. 

මහ බැංකුව විසින් පැහැදිලි කර ඇති පරිදි මුදල් අච්චු ගැසීම යනුවෙන් සාමාන්‍යයෙන් අදහස් වන්නේ මහ බැංකුව විසින්ම ආර්ථිකය වෙත අලුතෙන් මුදල් නිකුත් කිරීමයි. එනම් සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමයි. පුළුල් මුදල් සැපයුම (M2b) කියන්නේ ආර්ථිකයේ සමස්ත මුදල් සැපයුම නිර්වචනය කළ හැකි ආකාර වලින් එකක්. 

පසුගිය කාලයේදී රුපියල් ට්‍රිලියනය ඉක්මවන මුදල් අච්චු ගැසීමක් සිදු වී නැහැ. එහෙත් පුළුල් මුදල් සැපයුමෙහි රුපියල් ට්‍රිලියනය ඉක්මවන වැඩි වීමක් සිදු වී තිබෙනවා. මෙසේ පුළුල් මුදල් සැපයුම ඉහළ ගිය විට එය මුදල් අච්චු ගැසීමක් ලෙස අර්ථ දැක්වීම මීට පෙරද සිදුව ඇති දෙයක්. 

ආර්ථික අර්බුදයට පෙර රටේ මුදල් සැපයුම හෝ සල්ලි අච්චු ගැසීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ කරුණක් නෙමෙයි. එහෙත් ආර්ථික අර්බුදයෙන් පසුව ගිණි පෙණෙල්ලෙන් බැට කෑ ශ්‍රී ලාංකිකයින් බොහෝ දෙනෙකු කණාමැදිරින්ටද බය වීමේ මානසිකත්වයෙන් ප්‍රයෝජන ගනිමින් ඇතැම් විපක්ෂ දේශපාලනයින් විසින් මෙවැනි ප්‍රචාර සිදු කළා. එය දැනුත් සිදු වෙනවා. වෙනසකට තියෙන්නේ විපක්ෂය වෙනස් වී තිබීම පමණයි. 

මහ බැංකුව පැහැදිලි කරන පරිදිම, ඇත්ත වශයෙන්ම, මුදල් සැපයුමේ වැඩිවීම කියන්නේ අළුතෙන් මුදල් අච්චු ගැසූ ප්‍රමාණය නෙමෙයි. නමුත් මහ බැංකුව විසින් මෙහි කියා නොමැති දෙයක් වන්නේ අවසාන වශයෙන් උද්ධමනය කෙරෙහි බලපාන්නේ මුදල් සැපයුමේ වැඩිවීම බවයි. මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීම, එසේ නැත්නම් සංචිත මුදල් වැඩි කිරීම, උද්ධමනයට හේතු වන්නේ ඒ මගින් මුදල් සැපයුම වැඩි කෙරෙන නිසා. ඒ නිසා, මුදල් සැපයුම වැඩිවීම කියන්නේ සල්ලි අච්චු ගැසීමම නොවුනත්, මුදල් සැපයුම වැඩිවීම පිළිබඳව බියවීම අහේතුක නැහැ. 

දැන් මෙහිදී කතා කෙරෙන්නේ මේ ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ගත වූ කාලය තුළ සිදු වූ මුදල් සැපයුමේ වැඩි වීම පිළිබඳවයි. එම වැඩි වීම, 2024 සැප්තැම්බර් අවසානයේ සිට 2025 ජූනි අවසානය දක්වා මාස නවයක කාලය තුළ, රුපියල් බිලියන 1225.9ක්. එයින් සංචිත මුදල් වැඩිවීම රුපියල් බිලියන 136.5ක් පමණයි. පුළුල් මුදල් සැපයුමේ වැඩිවීමෙන් රුපියල් බිලියන 1,060කටම හේතු වී තිබෙන්නේ වාණිජ බැංකු විසින් පෞද්ගලික අංශයට ලබා දුන් ණය ප්‍රමාණය විශාල ලෙස ඉහළ යාමයි. 

පෞද්ගලික අංශයේ ණය මේ තරම්ම වැඩිවීමට මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියද හේතු වී තිබෙනවා. සරලව කිවුවොත් මහ බැංකුව විසින් පොලී අනුපාතික අඩු මට්ටමක පවත්වා ගැනීම. එසේ කිරීමේදී සංචිත මුදල් ඉහළ යාමක්ද සිදු වෙනවා. ඒ නිසා, රුපියල් බිලියන 1225.9කින් පුළුල් මුදල් සැපයුම ඉහළ යාම සහ රුපියල් බිලියන 136.5කින් සංචිත මුදල් ඉහළ යාම අතර පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා. 

කෙසේ වුවද, සංචිත මුදල් සැපයුම හා පොලී අනුපාතික පාලනය කිරීම මගින් පුළුල් මුදල් සැපයුමේ වර්ධනය පාලනය කිරීම මහ බැංකුවක සාමාන්‍ය කාර්යයක්. මහ බැංකුව විසින් ඒ කාර්යය කළ යුත්තේ මහ බැංකුවට ලබා දී තිබෙන උද්ධමන ඉලක්කය පවත්වා ගත හැකි ආකාරයටයි. රජයේ අයවැය හිඟය පියැවීම සඳහා සල්ලි අච්චු ගසන්නට සිදු වේනම් මහ බැංකුවකට එය කළ නොහැකියි. පසුගිය ආර්ථික අර්බුදයට පෙර සිදු වූයේ එවැන්නක්. 

දැන් මහ බැංකුවට මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී ස්වාධීනව කටයුතු කළ හැකියි. එමෙන්ම රජය විසින් අයවැය හිඟය පියවා ගැනීම සඳහා මහ බැංකුවෙන් ණය නොගන්නා ප්‍රතිපත්තියක සිටිනවා. ඒ නිසා, මහ බැංකුවට කරන්නට තිබෙන්නේ දී තිබෙන උද්ධමන ඉලක්කය හා ගැලපෙන පරිදි පුළුල් මුදල් සැපයුම පාලනය කිරීමයි. මෙය මහ බැංකුවට සෘජුව හෝ පහසුවෙන් කළ හැකි දෙයක් නොවුණත්, මහ බැංකුවට සෘජුව පාලනය කළ හැකි සංචිත මුදල් සැපයුම පාලනය කිරීම සහ පොලී අනුපාතික මත බලපෑම් කිරීම මගින් වක්‍ර ලෙස මෙය කළ හැකියි.

මහ බැංකුවට දී තිබෙන ඉලක්කය වන්නේ උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගැනීමයි. පසුගිය කාලයේම ලංකාවේ උද්ධමනය පැවතුණේ ඊට වඩා බොහෝ පහළ අවධමන පරාසයකයි. එවැනි තත්ත්වයක් තුළ  මහ බැංකුවක් විසින් සාමාන්‍යයෙන් කරන්නේ ලිහිල් මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමයි. 

ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය (2025) ජූනි මාසයේදී 0.7%ක උද්ධමනයක් වාර්තා කළත් නිල දර්ශකය වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය වාර්තා කර තිබුණේ අවධමන තත්ත්වයක්. ලිහිල් මුදල් ප්‍රතිපත්තියේ උදවුවෙන් මේ තත්ත්වය ඉදිරි මාස වලදී වෙනස් වනු ඇතත්, මහ බැංකුවේ පුරෝකථන අනුව, උද්ධමනය ඉලක්ක මට්ටමට යාමට නියමිතව ඇත්තේ 2026 මැද වන විටයි.

මෙම වසරේ පළමු කාර්තුවේ දත්ත අනුව, එම කාර්තුව තුළ, රැකියා 69,714ක් අලුතෙන් නිර්මාණය වී විරැකියා අනුපාතය 3.8% දක්වා පහත වැටී තිබෙනවා. සේවා අංශයේ පමණක් අලුත් රැකියා 258,577ක් අලුතෙන් නිර්මාණය වී ඇති අතර, කාර්මික අංශයේ රැකියා ප්‍රමාණයද 63,800කින් ඉහළ ගොස් තිබෙනවා. මේ අනුව, පෙනී යන්නේ කෘෂිකාර්මික අංශයේ රැකියා වල නියැලුණු ශ්‍රමිකයින් ලක්ෂ දෙකකට ආසන්න පිරිසක් සේවා අංශය වෙත මාරු වී ඇති ආකාරයයි. 

කෘෂිකාර්මික අංශයට සාපේක්ෂව, සේවා අංශයේ ශ්‍රමයේ ඵලදායිතාවය වැඩියි. ඒ නිසා, කෘෂිකාර්මික අංශයේ රැකියා සේවා අංශය වෙත විතැන් වෙද්දී අදාළ ශ්‍රමිකයින්ගේ ආදායම් ඉහළ යනවා. එයින් අදහස් වන්නේ රටේ ඒක පුද්ගල ආදායම වඩා වේගයෙන් ඉහළ යනවා කියන එකයි. එමෙන්ම රටේ ආර්ථිකය, විශේෂයෙන්ම කාර්මික හා සේවා අංශ, හොඳින් වර්ධනය වෙමින් පවතින බවයි. කාර්මික හා සේවා අංශ වල ගැනුම්කරුවන්ගේ දර්ශක වලින් පෙන්නුම් කරන්නේ මේ දක්වාම මේ යහපත් ප්‍රවණතාව එලෙසම පවතින බවයි.

මහ බැංකුවේ ඇස්තමේන්තු අනුව මෙන්ම අප‍ට පෙනෙන්නට ඇති පරිදිද මෙම වසරේ ආර්ථික වර්ධන වේගය 4.5% වැනි මට්ටමකට යා හැකියි. එය මූල්‍ය අරමුදලේ පුරෝකථන සැලකිය යුතු ලෙස ඉක්මවා යන හොඳ තත්ත්වයක්. මේ වර්ධනය පෙනෙන්නට තිබෙන්නේ උද්ධමන තර්ජනයක් නොමැති පසුබිමකයි. 

ලංකාවේ සේවා අංශය කියන්නේ ප්‍රධාන වශයෙන්ම තොග හා සිල්ලර වෙළඳාම, ප්‍රවාහන සේවා, බැංකු හා රක්ෂණ වැනි අංශයි. මෙවැනි අංශ වේගයෙන් වර්ධනය වෙද්දී මුදල් සංසරණයද ඉහළ යන බව සාමාන්‍ය දැනීමෙන් වුවත් තේරුම් ගත හැකි දෙයක්. එහි ප්‍රතිඵලය රටේ මුදල් ඉල්ලුම විශාල ලෙස ඉහළ යාමයි. මෙය ඓන්ද්‍රීය ඉල්ලුමක් මිස කෘතීම ඉල්ලුමක් නෙමෙයි.

රටේ මුදල් ඉල්ලුම ඉහළ යද්දී, මහ බැංකුවට අවශ්‍යනම්, දැඩි මුදල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මගින් එම ඉල්ලුම පාලනය කළ හැකියි. එයින් අදහස් වන්නේ රටේ ආර්ථික වර්ධනය මෙන්ම රැකියා ජනනයද විනාශ කරනවා යන්නයි. උද්ධමනය විශාල තර්ජනයක් වී ඇත්නම්, අකැමැත්තෙන් හෝ මෙය කරන්නට සිදු වෙනවා. එහෙත්, උද්ධමන තර්ජනයක් පේන තෙක් මානයක හෝ නැත්නම් මහ බැංකුවට මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට හේතුවක් නැහැ. 

අනෙක් පැත්තෙන් පොලී අනුපාතික ඉහළ යාම යනු රාජ්‍ය අයවැය මත පීඩනය වැඩි වී අනාගත ණය බර ඉහළ යාමයි. ඒ නිසා, දැනට ක්‍රියාත්මක මුදල් ප්‍රතිපත්තිය ආර්ථික ස්ථායිකරණ ඉලක්ක සමඟද ගැලපෙනවා. මෙය මූල්‍ය අරමුදලට ප්‍රශ්නයක් වේයැයි සිතීම තනිකරම වැරදි අදහසක්.

කෙසේ වුවත්, අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ ආර්ථිකය ප්‍රසාරණය වන්නේ දේශීය ඉල්ලුම නිසා මිස බාහිර ඉල්ලුම වැඩි වීම නිසා නොවන බවයි. ඒ නිසා, රටේ රැකියා වැඩි වී ශ්‍රමිකයින්ගේ ආදායම් ඉහළ යද්දී විදේශ විණිමය ඉපැයීමට තිබෙන උනන්දුව අඩු වීමටත්, ආනයන ඉල්ලුම ඉහළ යාමටත් ඉඩ තිබෙනවා. ඒ හරහා අනාගත අර්බුදයකට පාර කැපෙන්න බැරිකමක් නැහැ. ඒ නිසා, වැඩි අවධානයක් යොමු කළ යුත්තේ ඒ කරුණටයි.

Thursday, May 22, 2025

මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි?


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික 7.75% දක්වා 0.25%කින් පහත හෙළා තිබෙනවා. මහ බැංකුවට අනුව, මේ තීරණයට ප්‍රධාන හේතු දෙකක් පාදක වී තිබෙනවා. පළමුවැන්න මහ බැංකුවේ යාවත්කාලීන කළ පුරෝකථන අනුව, අපේක්ෂිත දිගුකාලීන උද්ධමනය ඉලක්ක මට්ටමට වඩා පහත වැටී තිබීමයි. දෙවැන්න, ලෝක ආර්ථික වර්ධන පුරෝකථන පහත වැටීම හා ඒ අනුව සමස්ත ඉල්ලුමේ බාහිර සංරචකය පහත වැටී තිබීමයි. 

අප විසින් මේ තීරණය විග්‍රහ කරන්නේ ඉහත හේතු දෙක තුළ රැඳී සිටිමින් නෙමෙයි. අපගේ අදහස වනුයේ විදේශ අංශයේ ප්‍රවණතා සහ ඒ පිළිබඳව මහ බැංකුවේ අපේක්ෂාවන් වෙනස් වීම මෙන්ම ආර්ථික වර්ධන විභවය පිළිබඳ මහ බැංකුවේ පුරෝකථන මේ තීරණය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් සිදු කර ඇති බවයි. 

අපගේ ඇස්තමේන්තු පරිදි, ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව, දැනටමත්, එනම් මෙම (2025 මැයි) මාසයේදී, අවධමන තත්ත්වය ඉවත් වී තිබිය හැකියි. එහෙත්, මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති තීරණ සඳහා සලකා බලන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයයි. එම දර්ශකය අනුව, විදුලි ගාස්තු වැඩි නොකළහොත්, අගෝස්තු මාසය තෙක්ම අවධමන තත්ත්වයක් පැවතිය හැකි වුවත්, විදුලි ගාස්තු සංශෝධනයක් ඊට පෙර සිදු වීමට ඉඩ තිබෙනවා. එය සිදු වුවත් නැතත්, අගෝස්තු මාසයේ සිට උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යාමට නියමිතයි.

මේ සමඟ පළ කරන මහ බැංකුවේම පුරෝකථන අනුව, වසරක කාලයක් ඇතුළත උද්ධමනය ඉලක්ක මට්ටම වන 5% දක්වා ඉහළ යාමට නියමිතව ඇති අතර, ඉන් පසුව යම් තරමකින් 5% සීමාව ඉක්මවන බවක් පෙනී යනවා. දැන් ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කළද එහි ප්‍රතිඵලයක් ලෙස උද්ධමනය කෙරෙහි බලපෑමක් ඇති වීමට වසරකට වඩා වැඩි කාලයක් යනවා. ඒ නිසා, මහ බැංකුවේ හේතු ඉදිරිපත් කිරීම් දෙකෙන් පළමුවැන්නට ශක්තිමත් පදනමක් නැහැ. එහෙත් අප එයින් අදහස් කරන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීම හේතු විරහිත ක්‍රියාවක් බව හෝ අයෝග්‍ය තීරණයක් බව නෙමෙයි. 

මූල්‍ය අරමුදල සමඟ ස්ථායීකරණ වැඩපිළිවෙල සකස් කරද්දී 2025 වසරේ පොලී අනුපාතික ඇස්තමේන්තු කර තිබුණේ 7.3% ලෙසයි. මෙම පොලී අනුපාතික 2028 වන විට ක්‍රමයෙන් 6.7% දක්වා පහත වැටෙනු ඇතැයිද ඇස්තමේන්තු කර තිබුණා. එම ඇස්තමේන්තු 5% උද්ධමන ඉලක්කය හා හොඳින් ගැලපෙනවා.

රටේ ණය තිරසාරත්ව ඉලක්ක වලට යාමටනම් පොලී අනුපාතික ඉලක්ක වලටද යා යුතුයි. ආර්ථික වර්ධනය හා උද්ධමනය ඉලක්ක වලට වඩා හොඳ මට්ටමක පැවති බැවින් ණය තිරසාරත්ව ඉලක්ක ඉක්මවා යා හැකි වුවත්, පොලී අනුපාතික අපේක්ෂිත මට්ටමට වඩා ඉහළින් පැවති බැවින් ලැබෙන්නට තිබුණු වාසියෙන් කොටසක් අහිමි වුනා. පසුගිය කාලය පුරා මහ බැංකුව විසින් පොලී අනුපාතික අඩු කර ගැනීමට උත්සාහ ගනිමින් සිටියත් එය ඒ තරම්ම පහසු වූයේ නැහැ.

පොලී අනුපාතික අඩු කර ගැනීමට බාධාවක්ව පැවතියේ මැතිවරණ ආශ්‍රිත දේශපාලන අවදානමයි. මැතිවරණ ආසන්න සති වලදී වෙන්දේසියට ඉදිරිපත් කළ බිල්පත් විකුණා ගැනීම අපහසු වුනා. එහෙත්, මැතිවරණ අවදානම් ඉවත් වීමෙන් පසුව දැන් නැවතත් තත්ත්වය යහපත් අතට හැරී තිබෙනවා. ඒ නිසා, එක් අතෙකින්, මහ බැංකුව විසින් ගෙන තිබෙන්නේ, කාලයක් තිස්සේම ගන්නට ගන්නට අවශ්‍ය වූ, එහෙත් ගත නොහැකි වූ තීරණයක්. හැකි පළමු අවස්ථාවේදීම මහ බැංකුව විසින් එම තීරණය ගෙන තිබෙනවා. 

මේ ආණ්ඩුව විසින්ද ස්ථායීකරණ වැඩපිළිවෙළ සඳහා අවශ්‍ය රාජ්‍යමූල්‍ය විනය පවත්වා ගනිමින් සිටින අතර ඒ සඳහා ආණ්ඩුවේ කැපවීම පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. මෙම කාරණයට මුල් තැන දෙමින් තමන්ගේ දේශපාලන අභිලාශ දෙවැනි තැනට දැමීමට පවා ආණ්ඩුව යොමු වී තිබෙනවා. එම තත්ත්වය තුළ, මේ වෙද්දී රාජ්‍යමූල්‍ය කළමනාකරණ අංශයෙන් ආර්ථික ස්ථායීතාවය කෙරෙහි අවදානමක් එල්ල වී නැහැ. 

ඉහත තත්ත්වය තුළ රාජ්‍ය අංශයෙන් මුදා හැරෙන අරමුදල් පෞද්ගලික අංශය වෙත සම්ප්‍රේෂණය වෙමින් තිබුණත්, එම අරමුදල් යොදා ගෙන ආයෝජන සිදු කිරීම සඳහා පෞද්ගලික අංශයෙන් අවශ්‍ය පමණ ඉල්ලුමක් ජනනය වී නැහැ. මෙයට එක් හේතුවක් වන්නේ ආර්ථික අර්බුදයේ මනෝ විද්‍යාත්මක බලපෑමයි. 2008 ආර්ථික අවපාතයෙන් පසුව ඇමරිකාවේ දැකිය හැකි වූයේද මෙවැනි තත්ත්වයක්.

පොලී අනුපාතික පහත වැටෙන්නට ඉඩ සලස්වමින් පෞද්ගලික අංශය දිරිමත් කිරීම මෙයට විසඳුමක් වුවත් මහ බැංකුව ඒ සඳහා මැලිව සිටියේ එමගින් ආනයන ඉල්ලුම සීමා ඉක්මවා ගොස් විදේශ අංශය අස්ථාවර වීමේ අවදානම ගැන සැලකිලිමත් විය යුතු බැවිනුයි. එය නිවැරදි තීරණයක්.

විදේශ අංශය හා අදාළව පැවති විශාලතම අවදානම වූයේ එම අංශය තුලනය වී පැවතුනේ ආනයන සීමාවන්ට යටත්ව වීමයි. නමුත් වාහන ආනයනයට නැවත ඉඩ සැලසීමෙන් පසුව තව දුරටත් මෙවැනි තත්ත්වයක් නැහැ. එමෙන්ම, වාහන ආනයනයට ඉඩ දීමෙන් පසුව විදේශ අංශය අස්ථාවර වීම තබා දැනෙන බලපෑමක් හෝ සිදු වූයේ නැහැ.

මහ බැංකු අධිපතිට අනුව, මේ වන විට ඩොලර් මිලියන 200ක පමණ වාහන ආනයනය කර ඇති අතර තවත් ඩොලර් මිලියන 250ක පමණ වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කර තිබෙනවා. ඒ වාහන ටිකත් ඉදිරියේදී ලංකාවට එයි. අවුරුද්දේ ඉතිරි මාස හත ඇතුළත තවත් ඩොලර් මිලියන 250ක වාහන රටට ආවොත් එකතුව ඩොලර් මිලියන 750ක පමණ වාහන ප්‍රමාණයක්. ඔය වාහන වලින් 200%ක බදු ප්‍රමාණයක් එකතු වුනත්, රුපියල් බිලියන 450ක පමණ බදු ආදායමක්. ඒ අනුව, අවිනිශ්චිතතාවයන් පැවතියත්, රාජ්‍ය ආදායම් ඉලක්කයට යන්න ඒ තරම්ම අමාරු බවක් පෙනෙන්න නැහැ.

අනෙක් අතට මහ බැංකුව විදේශ අංශය පිළිබඳව සැලසුම් කර තිබුණේ ඩොලර් බිලියනයක වාහන රටට ආවත් අස්ථාවරත්වයක් ඇති නොවන විදිහටයි. වාහන ආනයන ඒ මට්ටමට යන බවක් පෙනෙන්න නැහැ. වාහන ආනයන හා අදාළව රජයේ හා මහ බැංකුවේ පුරෝකථන සෑහෙන දුරකට නිවැරදි බවයි පෙනෙන්න තියෙන්නේ. 

දැනට තාවකාලිකව අත් හිටවා තිබුණත්, ට්‍රම්ප් බද්ද නිසා යම් අවිනිශ්චිතතාවයක් ඇති වී තිබෙනවා. නමුත් මේ බදු වල ප්‍රධාන ඉලක්කය වූ චීනය සමඟ යම් සම්මුතියක් ඇති වී තිබෙන තත්ත්වය තුළ බද්දේ යම් සැර බාලවීමක් සිදු වෙන්න බැරිකමක් නැහැ. ඒ ගැන නිශ්චිතව කියන්න කල් වැඩි වුනත්, සංචාරක ඉපැයීම් හා ශ්‍රමික ප්‍රේෂණ වල යහපත් වර්ධනයන් එක්ක මේ අවුරුද්දේ එක දිගට තුන්වෙනි වරටත් ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වීමේ ඉඩක් පෙනෙන්නට තිබෙනවා. 

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කළත්, ආර්ථික අර්බුදය වෙලාවේ ලබා ගත් චීන මුදල් හුවමාරු ණය සහ ඉන්දියානු ණය එහිදී සැලකිල්ලට ගත්තේ නැහැ. මේ රටවල් දෙකට ගෙවිය යුතු ණය මහ බැංකුවේ ශේෂ පත්‍රයේ තිබෙනවා. ජනාධිපති දිසානායක චීනයේ සංචාරය කිරීමට සමගාමීව චීන මුදල් හුවමාරු ණය අලුත් කිරීමක්ද සිදු වුනා. මෑතකදී ඉන්දියානු එක්සිම් බැංකුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක්ද සිදු වුනා. එම ණය සහ මහ බැංකුව විසින් ගෙවිය යුතු ආසියානු නිෂ්කාශන සංගමයේ නොගෙවූ ණය අතර සම්බන්ධයක් තියෙනවද කියන එක හරියටම පැහැදිලි නැතත්, සමස්තයක් ලෙස ඉන්දියානු හා චීන ණය ආපසු ගෙවන්න ලොකු හදිසියක් නැති තත්ත්වයක් ඇති වී තිබෙන නිසා මහ බැංකුවට සංචිත ඉලක්ක වලට යන එකත් ඒ තරම් අමාරු වැඩක් නෙමෙයි. මේ තත්ත්වයන් එක්ක, වාහන ආනයන සිදු වීම හමුවේ වුවත්, විණිමය අනුපාතය මත පීඩනයක් නැති තරම්. 

රාජ්‍යමූල්‍ය අංශයේ හෝ විදේශ අංශයේ අවදානමක් නැහැ කියා කියන්නේ මූර්ත අංශය ගැන වැඩි අවධානයක් යොදවන්න හැකියාවක් තිබෙනවා කියන එක. ගෙවුණු අවුරුද්දේ ආර්ථිකය ඇස්තමේන්තු ඉක්මවා වර්ධනය වුනා. නමුත් ඒ තත්ත්වය ඒ විදිහටම දිගටම පවතින්න විශේෂ හේතුවක් නැති නිසා, මේ අවුරුද්දේ ආර්ථික වර්ධනය පහත වැටෙන්නයි ගොඩක් ඉඩ තියෙන්නේ. පුරෝකථන හැම විටම නිවැරදි නොවුනත්, පුරෝකථන වලින් පෙනෙන්නෙත් ඒ තත්ත්වය.

රාජ්‍යමූල්‍ය අංශයේ හෝ විදේශ අංශයේ අවදානම් පාලනය වී ඇත්නම්, උද්ධමන අවදානමකුත් ළඟපාතක පෙනෙන්න නැත්නම්, මහ බැංකුවකට ආර්ථික වර්ධනයට යම් තල්ලුවක් දෙන එක ගැන හිතන්න අවකාශයක් ලැබෙනවා. පොලී අනුපාතික පහත හෙලීම මගින් ඒ සඳහා උදවුවක් කළ හැකියි. 

කාලයක් ඒ සඳහා සුදුසු මූල්‍ය වෙළඳපොළ තත්වයක් නොතිබුණත්, ඊයේ (මැයි 21) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී ඉදිරිපත් කළ රුපියල් බිලියන 157.5ක බිල්පත් ප්‍රමාණය පැවති පොලී අනුපාතික වලටම හෝ ඊටත් අඩුවෙන් විකිණී තිබෙනවා. ඊට අමතරව, වෙන්දේසියේදී නිර්ණය වූ පොලී අනුපාතික වලටම තවත් රුපියල් බිලියන 15.75ක බිල්පත් විකුණා තිබෙනවා. ඒ අනුව පෙනෙන්නේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පහත දැමීම මගින් වෙළඳපොළ පොලී අනුපාතිකද අනුරූපව අඩු කරගත හැකි මූල්‍ය වෙළඳපොළ තත්ත්වයක් නැවතත් ඇති වී තිබෙන බවයි. මහ බැංකුව විසින් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තිබෙනවා.

Wednesday, January 29, 2025

ප්‍රතිපත්ති පොලී අනුපාතික වෙනස් නොවේ!


මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින 8% මට්ටමෙහි නොවෙනස්ව තබා ගැනීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන්ම රජය විසින් විදුලි ගාස්තු අඩු කිරීම හේතුවෙන්, දැනට පවතින අවධමන තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ තවත් "දරුණු" වනු ඇතත්, එය තාවකාලික තත්ත්වයක්. මහ බැංකුවේ නිගමනය වී තිබෙන්නේද එයයි. 

මහ බැංකුව විසින් විශේෂ බලපෑමක් හෝ සංඥාවක් නොකළද, වෙළඳපොළ පොලී අනුපාතික පහත වැටෙමින් තිබෙනවා. අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී දින-91 (මාස තුන) බිල්පත් ඵලදා අනුපාතිකය 7.93% දක්වා පහත වැටී තිබෙනු දැකිය හැකියි. මේ අයුරින් වෙළඳපොළ පොලී අනුපාතික මහ බැංකුවේ ඉලක්ක පොලී අනුපාතිකයද ඉක්මවමින් 8% මට්ටමෙන් පහතට වැටී තිබෙන්නේ විශාල කාලයකට පසුවයි. දින-364 (වසර-1) ඵලදා අනුපාතිකයද 8.47% දක්වා පහත වැටී තිබෙනවා.

මේ වන විට මුදල් වෙළඳපොළෙහි අතිරික්ත ද්‍රවශීලතා තත්ත්වයක් පවතින අතර අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ පොලී අනුපාතික 7.75%-8% පරාසයේ විචලනය වෙනවා. මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව තබා ගැනීමට තීරණය කිරීමෙන් පෙනී යන්නේ මහ බැංකුව විසින් මුදල් වෙළඳපොළට තව දුරටත් ද්‍රවශීලතාවය සැපයීමට අදහස් නොකරන බවයි. 

ඉදිරි මාස කිහිපය තුළ විදේශ විණිමය වෙළඳපොළ තුළ යම් පීඩනයක් පැවතිය හැකි බැවින් මහ බැංකුවට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමේ හැකියාව සීමා වෙනවා. ඒ නිසා, ඒ ක්‍රමයට වෙළඳපොලට රුපියල් එකතු වීමද සීමා වෙනවා. 

Tuesday, December 3, 2024

මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට!


වසර තුනකටත් වඩා දිගු කාලයකට පසුව පසුගිය ඔක්තෝබර් මාසයේදී නැවතත් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට හැරී තිබෙනවා. 2021 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ වත්කම් ප්‍රමාණය එහි විදේශ බැරකම් ප්‍රමාණයෙන් පහතට වැටුනා. එයින් පසුව පසුගිය ඔක්තෝබර් මාසය දක්වාම මහ බැංකුව සතුව යම් විදේශ වත්කම් ප්‍රමාණයක් තිබුණත් මහ බැංකුවේ විදේශ බැරකම් ප්‍රමාණය පැවතුණේ ඊට වඩා වැඩි මට්ටමකයි.

ආර්ථික අර්බුදයේ උග්‍රම අවස්ථාව සේ සැලකිය හැකි 2022 ජූනි මාසය වන විට මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් හිඟයේ රුපියල් වටිනාකම බිලියන 1,686ක් දක්වා ඉහළ ගොස් තිබුණා. ඉන් පසුව, ක්‍රමයෙන් තත්ත්වය යහපත් අතට හැරුණත් නැවතත් මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ධන අතට හැරීමට සැලකිය යුතු කාලයක් ගත වුනා.

පසුගිය ඔක්තෝබර් මාසය අවසානයේදී මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 19ක් ලෙස වාර්තා වී තිබෙනවා. මෙය ආසන්න වශයෙන් ඩොලර් මිලියන 63ක පමණ මුදලක්. ඔක්තෝබර් මාසය අවසානයේදී මහ බැංකුවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,572ක් ලෙස වාර්තා වුනා. එයින් අදහස් වන්නේ මහ බැංකුවේ විදේශ බැරකම් ප්‍රමාණය ඩොලර් මිලියන 6,509ක් පමණ වූ බවයි.

මහ බැංකුවේ මෙම විදේශ බැරකම් වලට චීනයට, ඉන්දියාවට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගෙවිය යුතු මුදල් ඇතුළත් වන අතර ඇතැම් විට මහ බැංකුවේ පවත්වාගෙන යන රජය සතු විදේශ මුදල් සංචිත යම් ප්‍රමාණයක්ද මෙයට ඇතුළත්ව තිබෙනවා විය හැකියි. 

මහ බැංකුවේ සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 1,500 ආසන්න මට්ටමක පවතින අතර ඊළඟ ඉලක්කය විය යුත්තේ එම මට්ටම දක්වා ශුද්ධ විදේශ සංචිත ගොඩනගා ගැනීමයි. මෙය ඩොලර් බිලියන 5ක පමණ මුදලක්. එපමණ මුදලක් එකතු කර ගැනීම සඳහා තවත් දෙවසරක පමණ කාලයක් යා හැකියි. ශ්‍රී ලංකා රුපියල අර්බුදයට පෙර පැවති මට්ටමට ස්ථාවර වී ඇතැයි කිව හැක්කේ ඉන් පසුවයි. 

Wednesday, November 27, 2024

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය අලුත් ක්‍රමවේදයකට!


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා අලුත් ක්‍රමවේදයක් භාවිතයට ගෙන තිබෙනවා. මෙවැනි වෙනසක් කරන බව කලින්ම දැනුම් දී තිබුණා.

මෙතෙක් පැවති ක්‍රමය අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙකක් තිබුණා. ඒ නිත්‍ය ණය පොලී අනුපාතිකය හා නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකයයි. මෙතෙක් පැවති ක්‍රමය අනුව, මහ බැංකුව විසින් ඉලක්ක කළේ වෙළඳපොළ පොලී අනුපාතිකය මෙම ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙක අතර මැද මට්ටමක පවත්වා ගැනීමටයි. 

අලුත් ක්‍රමය අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දෙකක් නැහැ. තිබෙන්නේ එකක් පමණයි. මෙම පොලී අනුපාතිකය "එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය" ලෙස නම් කර තිබෙනවා. මහ බැංකුව විසින් මින් ඉදිරියට ඉලක්ක කරන්නේ වෙළඳපොළ එක්දින පොලී අනුපාතික ඉලක්කගත නිශ්චිත මට්ටමෙහි පවත්වා ගැනීමටයි. 

අලුත් ක්‍රමය හඳුන්වා දීමට සමාන්තරව මහ බැංකුව විසින් පොලී අනුපාතික පහත හෙලීමක්ද සිදු කර තිබෙනවා. ඒ අනුව, එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පවත්වා ගැනීමට අපේක්ෂා කරන්නේ 8% මට්ටමේයි. 

කෙසේ වුවත්, පෙර පැවති මහ බැංකුවේ නිත්‍ය ණය පොලී අනුපාතිකය හා නිත්‍ය තැන්පතු පොලී අනුපාතිකය තවමත් පැරණි අර්ථයෙන්ම ක්‍රියාත්මකව පවතිනවා. එහෙත්, එම පොලී අනුපාතික තව දුරටත් මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික සේ සැලකෙන්නේ නැහැ. 

මෙයින් ඉදිරියට මහ බැංකුව විසින් ප්‍රති මිල දී ගැනීම් (රිපෝ) වෙන්දේසි කරද්දී ලන්සු පිළිගන්නේ එම ලන්සු ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා අඩුනම් පමණයි. එමෙන්ම ප්‍රති විකිණුම් (රිවර්ස් රිපෝ) ලන්සු පිලිගන්නේ එම ලන්සු ප්‍රතිපත්ති පොලී අනුපාතිකයට වඩා වැඩිනම් පමණයි. 

අලුත් ක්‍රමයේදී වෙළඳපොළ එක් දින පොලී අනුපාතික මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතිකය වෙතට දෙපැත්තකින් තෙරපීමක් සිදු වෙනවා. ඒ නිසා, මහ බැංකුවට පොලී අනුපාතික පාලනය කිරීම වඩා පහසු වෙනවා. ඒ හේතුව නිසාම උද්ධමනය පාලනය කිරීමද වඩා පහසු වෙනවා.

මේ ප්‍රතිපත්ති වෙනස්කම (එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය 8% ලෙස තීරණය කිරීම) හේතුවෙන් වෙළඳපොළ පොලී අනුපාතික අඩු වශයෙන් 0.5%කින් පමණ පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කළ හැකියි. 


Wednesday, October 30, 2024

අවධමන තත්ත්වය තවත් නරක අතට!


පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකාවේ අවධමන තත්ත්වයක් වාර්තා වූ අතර, මිල මට්ටමෙහි 0.5%ක අඩුවීමක් සිදු වුනා. එනම් 0.5%ක සෘණ උද්ධමනයක් වාර්තා වුනා. ඔක්තෝබර් මාසයේදී මේ තත්ත්වය තවත් නරක අතට හැරී ඇති අතර 0.8%ක අව්ධමනයක් වාර්තා වී තිබෙනවා. අපගේ ඇස්තමේන්තුව වනුයේ මේ තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ තවත් නරක අතට හැරෙන්නට ඉඩ තිබෙන බවයි.

දිගින් දිගටම රටක අවධමන තත්ත්වයක් පැවතීම හොඳ දෙයක් නෙමෙයි. එයට හේතුව භාණ්ඩ හා සේවා මිල අඩු වී නිෂ්පාදකයින්ගේ ආදායම් පහළ ගියද, සේවක වැටුප් ඊට අනුරූපව පහත හෙළීම ප්‍රායෝගිකව අපහසු වීමයි. එය මූර්ත නිෂ්පාදනය අධෛර්ය කිරීමට හේතු වෙනවා. කෙසේ වුවද, මේ සෛද්ධාන්තික තත්ත්වය ලංකාවේ මේ මොහොතේ තත්ත්වය සමඟ එලෙසම ගැලපිය නොහැකි වන්නේ ලංකාවේ අවධමන තත්ත්වයට ප්‍රධාන වශයෙන්ම හේතු වී තිබෙන්නේ ඩොලරයක මිල පහත වැටීම වීමයි.

ඩොලරයක මිල පහත වැටී තිබීමද ස්වභාවික තත්ත්වයක් නෙමෙයි. එය සිදු වන්නේ වාහන ආනයන වාරණය කර ඇති පසුබිමකයි. සැබෑ ඩොලර් ඉල්ලුම හා ඒ මත තීරණය වන ඩොලරයක සැබෑ මිල මෙන්ම සැබෑ උද්ධමනයද දැක ගත හැකි වනු ඇත්තේ වාහන ආනයන වාරණය ඉවත් කිරීමෙන් පසුවයි. මෙය ඉතා ඉක්මණින් සිදු වීමේ ඉඩක් දැනට පෙනෙන්නට නැහැ.

වාහන ආනයන සීමා ඉවත් කිරීම හා ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වන තුරු අවධමනය මත පදනම්ව ආර්ථිකය උත්තේජනය කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, බැංකු පද්ධතිය තුළ රඳවාගෙන තිබෙන විශාල මුදල් ප්‍රමාණය පෞද්ගලික අංශයට ණය සේ ලබා දීමට පෙළඹවීම සිදු විය යුතු දෙයක්. 

පසුගිය කාලය තුළ රාජ්‍ය ආදායම් විශාල ලෙස ඉහළ යාම නිසා රජයේ ණය ගැනීමේ අවශ්‍යතාවය පහත වැටී තිබෙනවා. තව දුරටත් ණය ගැනීම වෙනම කතාවක්. මේ හේතුව නිසා බැංකු පද්ධතිය තුළ අරමුදල් අතිරික්තයක් ඇති වී තිබෙනවා. 

රජය බැංකු වලින් පෙර තරමට ණය ලබා නොගන්නේනම් එම අතිරික්ත අරමුදල් පෞද්ගලික අංශයට ණය සේ ලබා දීමට බැංකු වලට සිදු වෙනවා. එහෙත් බදු ඉහළ යාම ඇතුළු හේතු නිසා පෞද්ගලික අංශයේ ණය ඉල්ලුම තිබෙන්නේ අඩු මට්ටමකයි. ඊට අමතරව මූර්ත පොලී අනුපාතික ඉතාම ඉහළ මට්ටමක පවතිද්දී පෞද්ගලික අංශය ණය ගන්න පෙළඹෙන්නේ නැහැ.

පසුගිය සතියේදී ප්‍රමුඛ ණය දීමේ අනුපාතිකය පැවතුනේ 9.17% මට්ටමේයි. එම අනුපාතිකය බැංකු වල හොඳම පාරිභෝගිකයින්ට ණය ලබා දෙන අනුපාතිකයයි. උද්ධමනය සෘණ 0.8ක්ව තිබියදී එයින් අදහස් වන්නේ මූර්ත පොලී අනුපාතිකය 9.87%ක් තරම් ඉහළ මට්ටමක ඇති බවයි. මෙය ඉතාම ඉහළ අගයක්. යෝග්‍ය මට්ටම වන්නේ 2% වැනි මට්ටමක්. 

අද (ඔක්තෝබර් 30) දිනයේ දෛනික පදනම මත මහ බැංකුවේ තැන්පත් කළ මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 214,727ක් වන අතර දෛනික පදනම මත මහ බැංකුවෙන් ලබාගත් මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 35,268ක්. ඊයේ දිනයේදී සතියක කාලයකට ලබා දුන් රුපියල් මිලියන 60,000ක මුදලද සමඟ මහ බැංකුව විසින් තාවකාලික පදනම මත රුපියල් 95,268ක මුදලක් ලබා දෙද්දී බැංකු විසින් තාවකාලික පදනම මත රුපියල් මිලියන 214,727ක මුදලක් මහ බැංකුවේ තැන්පත් කර තිබෙනවා. 

ඇතැම් වාණිජ බැංකු තුළ මුදල් අතිරික්තයක් ඇතත් එම බැංකු තමන්ගේ අතිරික්ත අරමුදල් මුදල් හිඟ බැංකු වලට ණයට නොදී අඩු පොලියකට මහ බැංකුවේ තැන්පත් කරමින් සිටිනවා. එමෙන්ම ඒ මුදල් භාණ්ඩාගාර බිල්පත් වල ආයෝජනය කරමින් රජයට ණයට දීමක් සිදු වන්නේද නැහැ. මෙසේ ප්‍රවේශම් සහගත ප්‍රවේශයක් අනුගමනය කරන්නේ ලංකාවේ පිහිටි විදේශ බැංකුයි.

ශ්‍රී ලංකා රජය තවමත් ණය පැහැර හැර ඇති සේ සැලකෙන රටක්. එවැනි රජයක් නිකුත් කරන බිල්පත් වල ආයෝජනය කිරීමට විදේශ බැංකු ඉදිරිපත් වන්නේ නැහැ. එම බැංකු වලට ඔවුන්ගේ මවු බැංකු වල මාර්ගෝපදේශ අනුගමනය කරන්නට සිදු වෙනවා. රජයට අයිති බැංකු වලට ණයට දීමද ඔවුන් විසින් සලකන්නේ එවැනිම අවදානම් කටයුත්තක් ලෙසයි. 

මේ හේතුව නිසා සමස්තයක් ලෙස වෙළඳපොළෙහි විශාල අරමුදල් අතිරික්තයක් පැවතුනත් ඇතැම් වාණිජ බැංකු වලට සල්ලි ණයට ගන්නට මහ බැංකුව වෙතම එන්න වෙනවා. එම බැංකු වලට අවශ්‍ය අරමුදල් ලබා නොදීම බැංකු පද්ධතිය අවදානමේ හෙළීමක් වගේම මහ බැංකුවක ප්‍රධානම නිල කාර්යයකින් බැහැර වීමක්. මහ බැංකුව විසින් දැනට කරමින් සිටින්නේ මේ නිල කාර්යයයි. ඒ හැරෙන්නට වසර කිහිපයකට පෙර සිදු කළ ආකාරයෙන් ආර්ථිකය උත්තේජනය කිරීම වෙනුවෙන් මුදල් පොම්ප කිරීමක් දැනට සිදු වන්නේ නැහැ. 

වෙන ක්‍රමයකට සල්ලි අච්චු ගහනවද?

සමහර අය තවමත් හිතාගෙන ඉන්නේ "වෙන ක්‍රමයකට" සල්ලි අච්චු ගැහුවා කියලා. සල්ලි අච්චු ගහනවා කියන්නේ අලුත් මුදල් ඇමති විදිහට අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන එක නෙමෙයි. මුදල් නෝට්ටු විදිහට එළියට දමනවානම් ඒ සඳහා අවශ්‍ය කලින් අච්චු ගහපු නෝට්ටු සංචිත මහ බැංකුවේ ඇති. ආර්ථික විද්‍යාවේදී සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සල්ලි අච්චු ගහන තාක්ෂණික කටයුත්ත නෙමෙයි. ඒ නිසා, සල්ලි අච්චු ගහන වැඩේ සිද්ධ වෙන්න අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන්න අවශ්‍ය නැහැ.

ඒ වගේම, අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දැම්මත් එපමණකින් එය සල්ලි අච්චු ගැසීමක් වෙන්නේ නැහැ. අවශ්‍යනම් පරණ මුදල් නෝට්ටු වෙනුවට අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන්න පුළුවන්. එයින් සංචිත මුදල් සැපයුමේ වෙනසක් වෙන්නේ නැහැ.

කොහොමටත් සල්ලි අච්චු ගැසීම කියද්දී එයින් අදහස් වෙන්නේ රටේ සංසරණය වන කාසි හා මුදල් නෝට්ටු ප්‍රමාණයේ වැඩි වීම පමණක් නෙමෙයි. මහ බැංකුවේ තිබෙන රජයේ හෝ බැංකුවක ගිණුමකට මහ බැංකුව විසින් මුදල් බැර කළත් සල්ලි අච්චු ගැසීමක් සිදු වෙනවා. නමුත් කලින් සටහනේ පැහැදිලිව ලියපු පරිදි පසුගිය මාසයේ එහෙම දෙයක් වෙලා නැහැ. මුදල් නෝට්ටු වැඩි වී නැතත් වෙන ක්‍රමයකට හෝ සල්ලි අච්චු ගැසීමක් සිදු වී ඇත්නම් සල්ලි අච්චු ගහලා නැහැ කියලා මෙහි ලියන්නේ නැහැ. 

සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සංචිත මුදල් ප්‍රමාණය වැඩි කිරීමටයි. සංචිත මුදල් වල කොටස් දෙකක් තිබෙනවා. සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි එයින් එක කොටසක්. මහ බැංකුවේ තිබෙන බැංකු ගිණුම් වල ශේෂ අනෙක් කොටස. පහත තිබෙන්නේ ඔය කොටස් දෙකේම එකතුව පසුගිය මාසයේදී වෙනස් වූ ආකාරය.

දැන් මේ ප්‍රශ්නය අදාළ වන්නේ ජනාධිපතිවරණයෙන් පසුව ගත වුනු මාසයක පමණ කාලයටනේ. පහත තිබෙන්නේ අදාළ දත්ත.

2024 සැප්තැම්බර් 26 = රුපියල් බිලියන 1,516.0

2024 ඔක්තෝබර් 24 = රුපියල් බිලියන 1,499.9

සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි පමණක් සැලකුවොත් තත්ත්වය මෙවැන්නක්.

2024 සැප්තැම්බර් 27 = රුපියල් බිලියන 1,331.0

2024 ඔක්තෝබර් 25 = රුපියල් බිලියන 1,315.3

මේ අනුව පෙනෙනවා ඇති සංසරණයේ තිබෙන නෝට්ටු හා කාසි ප්‍රමාණය රුපියල් බිලියන 15.7කින් අඩු වී තිබෙන බව. ඒ ජනාධිපතිවරණ සමයේ මුදල් සංසරණය ඉහළ යාමේ සහ ජනාධිපතිවරණයෙන් පසුව එසේ තාවකාලිකව සංසරණයට එකතු මුදල් නැවත බැංකු පද්ධතියට පැමිණීමේ ප්‍රතිඵලය. 

සමස්තයක් ලෙස සංචිත මුදල් ප්‍රමාණය දෙස බැලුවොත් ඔය කාලය තුළ රුපියල් බිලියන 16.1ක අඩුවක් දකින්න පුළුවන්. ඒ කියන්නේ නෝට්ටු හා කාසි කොටස පැත්තකින් තියා ඉතිරි කොටස දෙස බැලුවත් රුපියල් බිලියන 0.4ක පමණ අඩු වීමකුයි සිදු වී තිබෙන්නේ. කිසිදු වැඩිවීමක් වෙලා නැහැ. ඒ කතාව එච්චරයි. 

දැන් ඊළඟ කතාව.

එතකොට economynext.com වෙබ් අඩවියේ තියෙන්නේ ඔය කතාවමද? 

නෑ. එහි තියෙන්නේ ඔය කතාව නෙමෙයි. ඉතා පැහැදිලිවම අදාළ සටහනේ මාතෘකාවේ තියෙන්නේ "Sri Lanka prints Rs100bn through open market operations" කියලයි. 

"ශ්‍රී ලංකාව විවට වෙළඳපොළ කටයුතු හරහා රුපියල් බිලියන 100ක් අච්චු ගසයි!"

ඒ ලිපියේ තියෙන්නේ මෙසේ වුවත් ප්‍රශ්නය වන්නේ එම ලිපියේ මාතෘකාව ඇතුළු ප්‍රධාන කරුණු ගණනාවක් තාක්ෂණිකව නිවැරදි නොවීමයි. 

විවට වෙළඳපොළ කටයුතු හරහා සල්ලි අච්චු ගැසීමක් වෙන්න පුළුවන්. මහ බැංකුව විසින් බැංකුවකින් මුදල් ගෙවා භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තොත් සල්ලි අච්චු ගැසීමක් වෙනවා. නමුත් මෙහිදී එවැනි දෙයක් සිදු වී නැහැ. 


දැන් මේ සටහනේ රුපියල් බිලියන 100ක සල්ලි අච්චු ගැසීම ලෙස හඳුන්වන්නේ මේ සමඟ පළ කර ඇති රූප සටහනේ රතු හා තැඹිලි පාට තීරු වලින් අවසාන එක ගැනයි. එම තීරුවෙන් රුපියල් බිලියන 106ක් පෙන්වනවා. රතු කොටස රුපියල් බිලියන 36ක් සහ තැඹිලි පාට කොටස රුපියල් බිලියන 70ක් ලෙස.

මේ රුපියල් බිලියන 106ම පසුගිය ඔක්තෝබර් 25 දින වන විට මහ බැංකුවෙන් බැංකු වලට ලබා දී තිබුණු ණය. එයින් රුපියල් බිලියන 36.16ක් දවසකට දුන් ණයක්. ඉතිරි රුපියල් බිලියන 70 ඔක්තෝබර් 22 දින සතියක කාලයකට දුන් ණයක්. මේ ණය මුදල් දෙකම මේ වන විට පියවා අවසන්. කොහොම වුනත් දවසකට වුනත් මහ බැංකුව සල්ලි ණයට දෙද්දී සිදුවන්නේ සල්ලි අච්චු ගැසීමක් කියා කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. එවැනි තර්කයකට යම් පදනමක් තිබෙනවා.

ඔය ප්‍රස්ථාරයේම දිගටම දැකිය හැකි රතු හා තැඹිලි තීරු වලින් පෙන්වන්නේ එක් එක් දින මහ බැංකුව විසින් ඔය විදිහට ණයට දී තිබුණු මුදල් ප්‍රමාණ. එයින් රතු කොටස දවසකට. තැඹිලි පාට කොටස සතියකට. ඔය ප්‍රස්ථාරය අනුවම බැලුවත් පැහැදිලිව පෙනෙන පරිදි මෙය අලුතෙන් සිදු වූ අමුතු දෙයක් නෙමෙයි. හැමදාම වගේ සිදු වෙන දෙයක්. 

මේ විදිහට බැංකුවක ඉතා කෙටිකාලීන ද්‍රවශීලතා හිඟයක් පියවා ගැනීම සඳහා මහ බැංකුව විසින් ණයට දෙන මුදල් සල්ලි අච්චු ගැසීමක් ලෙස සලකන්නේ නැහැ. මොකද ඒ සල්ලි ඉතා ඉක්මණින් මහ බැංකුවට ආපසු එන නිසා එයින් උද්ධමනකාරී බලපෑමක් ඇති වෙන්නේ නැහැ. සල්ලි ණයට දෙද්දී මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පතක් ඇපයට තියා ගන්නා නමුත් එය මිල දී ගන්නේ නැහැ. 

මේ වැඩෙන් දවසකට හරි මුදල් සැපයුම වැඩි වෙනවාද? 

ඔන්න ඔක තමයි මේ ලිපියේ තිබෙන ප්‍රධානම වැරැද්ද. සාමාන්‍යයෙන් මේ විදිහට දවසකට ණයට සල්ලි දීමේදී එළියට යන රුපියල් සංචිත මුදල් වැඩිවීමක් සේ සලකන්නේ නැහැ. නමුත් අපි මේ කොටස සංචිත මුදල් වලට එකතු කරනවානම්, ඒ විදිහටම දවසකට මහ බැංකුවේ තැන්පත් කරන මුදල් ප්‍රමාණය සංචිත මුදල් වලින් අඩු කරන්නත් වෙනවා. ඔය කියන ඔක්තෝබර් 25 දින ඒ විදිහට දවසකට මහ බැංකුවේ තැන්පත් කර තිබෙන මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 192.4ක්.

මේ වැඩේට රජයේනම් කිසිම සම්බන්ධයක් නැහැ. විවට වෙළඳපොළ කටයුතු කියන්නේ තනිකරම මහ බැංකුවේ වැඩක්. දැන් මහ බැංකුව අඩු වශයෙන් යම් මුදල් ප්‍රමාණයක් අලුතෙන් සංසරණයට එකතු කරලා තියෙනවද? ඒ නිසා, රුපියලේ වටිනාකම අඩු වෙනවද?

පැහැදිලිවම එහෙම දෙයක් මෙතැන නැහැ. වෙලා තියෙන්නේ බැංකුවට දවසකට රුපියල් බිලියන 192.4ක් තැන්පතු විදිහට එකතු වෙද්දී එම මුදල් වලින් රුපියල් බිලියන 106.2ක් ණය විදිහට දෙන එක. ඔය වැඩේට අලුතෙන් සල්ලි නිර්මාණය කරන්න අවශ්‍ය නැහැ. 

හැබැයි මේ වැඩෙන් දිගුකාලීනව මුදල් සැපයුම වැඩි වීමට බලපෑමක් වෙනවා. එය වෙන්නේ පොලී අනුපාතික පහත වැටීමේ ප්‍රතිඵලයක් විදිහට. දැනට බැංකු පද්ධතියේ රුපියල් අතිරික්තයක් තිබෙනවා. දිනපතා මහ බැංකුවේ තැන්පත් කරන්නේ ඒ සල්ලි. බැංකු වල මේ විදිහට සල්ලි එකතු වී තිබෙන්නේ පෞද්ගලික අංශය තවමත් ණය ගන්න උනන්දුවක් නැති නිසා. පොලී අනුපාතික අඩු වෙද්දී ඒ තත්ත්වය වෙනස් වෙලා පෞද්ගලික අංශයේ ණය ඉහළ ඉල්ලුම ඉහළ යන්න පුළුවන්.

පෞද්ගලික අංශයේ ණය ඉහළ යන එක නරක දෙයක් නෙමෙයි. ණය නිසා ආයෝජන ඉහළ යාම ආර්ථික වර්ධනයට හේතු වෙනවා. එහිදී economynext ලිපියේ කියන පරිභෝජන ඉහළ ගොස් ආනයන වියදම් ඉහළ යාමේ අවදානමත් තිබෙනවා. ඒ කතාව ඇත්ත. නමුත් දැනට එවැනි ප්‍රශ්නයක් නැහැ.

මේ වෙලාවේ රටේ තියෙන්නේ අවධමන තත්ත්වයක්. මහ බැංකුවේ කාර්ය භාරය 5%ක උද්ධමනයක් පවත්වා ගැනීම. එය හරිද වැරදිද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඒ නිසා, මේ වෙලාවේ කිසිම උද්ධමන අවදානමක් නැහැ. උද්ධමනය දිගුකාලීනව 5% මට්ටමේ තියා ගන්නවා කියලා හිතුවත් කෙටිකාලීන පොලී අනුපාතික 6.5% -7% වැනි මට්ටමකට පහත වැටෙන්න ඕනෑ. දැන් තියෙන්නේ විකෘති තත්ත්වයක්. අනෙක් ගොඩක් දේවල් නිවැරදි වී තිබුණත් පොලී අනුපාතික තවමත් අවශ්‍ය මට්ටමට පහත වැටිලා නැහැ.

අගෝස්තු මාසය වෙද්දී ප්‍රාථමික අයවැය අතිරික්තයෙන් සමස්ත අයවැය හිඟයෙන් බාගයක් පමණ පියැවී තිබුණා. පොලී අනුපාතික තවත් පහත වැටුනොත් අයවැය හිඟය තවත් අඩු වෙලා රජයේ ණය අවශ්‍යතාවය පහත වැටෙනවා. එවිට ඉතිරි වන සල්ලි පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා යොදාගන්න පුළුවන්. ඒ වගේම රජයේ ණය තිරසාරත්ව ඉලක්ක වලටත් ඉක්මණින් යන්න පුළුවන්. 

මේ කරන වැඩෙන් බැංකු පද්ධතිය විසින් කරන මුදල් මැවීමේ කාර්යය උත්තේජනය වීමක් වෙනවා. නමුත් මහ බැංකුව විසින් සල්ලි අච්චු ගැසීමක් ලොවෙත් වෙන්නේ නැහැ. ඒ නිසා, මහ බැංකුවට ඩොලර් ගන්න තිබෙන සල්ලි නාස්ති වීමක් වගේ දෙයක් වෙන්නෙත් නැහැ. 

Monday, October 28, 2024

මහ බැංකුව ආයෙත් සල්ලි අච්චු ගහනවද?


"මහ බැංකුව ආයෙත් සල්ලි අච්චු ගහනවද?"

වැඩ ගොඩක හිර වෙලා හිටියත් පැය කිහිපයක් ඇතුළත අවම වශයෙන් විසි දෙනෙක්වත් මේ ප්‍රශ්නය අසා තිබුණු නිසා සටහනක් දමන්න පොඩ්ඩක් කාලය වෙන් කළා. තවත් අතුරු ප්‍රශ්නත් ගණනාවක් තිබෙනවා.

අලුත් මහ බැංකු පණත අනුව සහ IMF ගිවිසුම අනුව මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න බැරිද?

මහ බැංකුවක "රස්සාවම" සල්ලි අච්චු ගහන එක. ඒ කියන්නේ මහ බැංකුවක ප්‍රධානම කාර්යය රටකට අවශ්‍ය පමණ සල්ලි අච්චු ගහන එක. ඒ නිසා සල්ලි අච්චු ගහන්නේ නැත්නම් ඒක මහ බැංකුවක් නෙමෙයි. අලුත් මහ බැංකු පණතෙන් හෝ IMF ගිවිසුමෙන් මහ බැංකුවට සල්ලි ගහන්න තිබෙන අයිතියට සීමා දමලා නැහැ. 

එහෙමනම් අලුත් මහ බැංකු පණත අනුව සහ IMF ගිවිසුම අනුව සිදු වුනේ කුමක්ද?

මෙහිදී සිදු වුනේ රටට අවශ්‍ය සල්ලි ප්‍රමාණය තීරණය කරලා ඒ සල්ලි ප්‍රමාණය අච්චු ගහන්න මහ බැංකුවට වැඩි නිදහසක් ලබා දීමයි. එහෙම කරන්න අවශ්‍ය වුනේ මීට පෙර මහ බැංකුවට නිදහසේ මේ වැඩේ කරගෙන යන්න බැරි වීම සහ ඇත්තටම රටට අවශ්‍ය නැති, ඕනෑවට වඩා වැඩි, සල්ලි ප්‍රමාණයක් රජයේ අයවැය හිඟය පියවීම වෙනුවෙන් අච්චු ගසන්න සිදු වීම. එය කෙළවර වුනේ රටට දරාගත නොහැකි මට්ටමට උද්ධමනය ඉහළ ගිහිනුයි.

රටට අවශ්‍ය සල්ලි ප්‍රමාණය තීරණය කරන්නේ කොහොමද?

මෙය තීරණය කිරීමේදී යොදා ගන්නා ප්‍රධානම නිර්ණායකය අපේක්ෂිත ආර්ථික වර්ධනය. රටේ ආර්ථිකය වර්ධනය වෙනවා කියන්නේ රටේ සිදුවන ගනුදෙනු ප්‍රමාණය ඉහළ යනවා කියන එක. එවිට ඒ ගනුදෙනු සිදු කිරීම සඳහා මුදල් වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එම මුදල් ප්‍රමාණය සල්ලි අච්චු ගැසීම මගින් රටේ ආර්ථිකයට එකතු කළ යුතුයි. එය උද්ධමනයට හේතු වෙන්නේ නැහැ.

මීට අමතරව රටේ උද්ධමනය පවත්වාගත යුතු මට්ටම රටේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් විසින් තීරණය කරනවා. එසේ තීරණය කිරීමෙන් පසුව උද්ධමනය ඒ මට්ටමේ පවත්වා ගැනීම සඳහා දිගින් දිගටම යම් නිශ්චිත ප්‍රමාණයක් සල්ලි අච්චු ගහන්න සිදු වෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවට දී තිබෙන ඉලක්කය උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගන්න එක. ඒ සඳහා යම් ප්‍රමාණයක් සල්ලි අච්චු ගහන්න වෙනවා. ආර්ථිකය 3% වේගයකින් වර්ධනය වේයැයි පෙනේනම්, උද්ධමනය 5% මට්ටමේ තියා ගැනීම සඳහා මුදල් සැපයුම වසරකට 8%කින් පමණ වැඩි කරන්න වෙනවා.

මේ විදිහට මුදල් සැපයුම වැඩි කිරීම කියද්දී එයින් අදහස් වන්නේ මුදල් සැපයුම වෙනස් වීමේ දිගුකාලීන ප්‍රවණතාව. එම ප්‍රවණතාව එසේම තිබියදී රටේ මුදල් ඉල්ලුම හා සැපයුම අනුව මුදල් ප්‍රමාණය දිනපතා විචලනය වෙනවා. මුදල් ඉල්ලුම විවිධ සාධක මත තීරණය වෙනවා. මුදල් සැපයුම තීරණය කරන්නේ මහ බැංකුව. ගොඩක් වෙලාවට සැපයුම තීරණය කරන්නේ ඉල්ලුම මත පදනම්වයි.

සල්ලි අච්චු ගැසීම කියන එකෙන් ඇත්තටම අදහස් වෙන්නේ කුමක්ද?

මෙයින් ඇත්තටම අදහස් වෙන්නේ මහ බැංකුවේ සංචිත මුදල් සැපයුම ඉහළ යාම. සංචිත මුදල් සැපයුම කියා කියන්නේ රටේ සංසරණයේ පවතින කාසි හා නෝට්ටු ප්‍රමාණයේත්, මහ බැංකුවේ ගිණුම් වල තිබෙන බැංකු වල සහ රජයේ අරමුදල් ප්‍රමාණයේත් එකතුව.

ඔය කතා පැත්තකින් තියමු. මෑතකදී සල්ලි අච්චු ගැසීමක් සිදු වෙලාද?

දැන් මේ ප්‍රශ්නය අදාළ වන්නේ ජනාධිපතිවරණයෙන් පසුව ගත වුනු මාසයක පමණ කාලයටනේ. පහත තිබෙන්නේ අදාළ දත්ත.

2024 සැප්තැම්බර් 26 = රුපියල් බිලියන 1,516.0

2024 ඔක්තෝබර් 24 = රුපියල් බිලියන 1,499.9

ඇත්තටම වෙලා තියෙන්නේ ඔය මාසයක කාලය ඇතුලත සංචිත මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 16කින් පමණ අඩු වෙන එක. ඒ කියන්නේ කලින් අච්චු ගහපු සල්ලිත් නැවත එකතු කර ගන්න එක.

සංචිත මුදල් සැපයුම වැඩි වෙන්නේ කොහොමද?

මෙය සිදු වන එක් ආකාරයක් වන්නේ මහ බැංකුව විසින් බැංකු වලින් ඩොලර් මිල දී ගැනීම. එසේ මිල දී ගැනීමෙන් පසුව අදාළ රුපියල් ප්‍රමාණය මහ බැංකුවේ තිබෙන ඒ බැංකුවේ ගිණුමට බැර කරනවා. එසේ නැත්නම් බැංකුවකින් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත් විට. බැංකුවකින් නැතුව රජයෙන් කෙළින්ම භාණ්ඩගාර බිල්පත් මිල දී ගෙන අදාළ මුදල මහ බැංකුවේ තිබෙන රජයේ ගිණුමට බැර කළ විටත් ඔය වැඩේම වෙනවා. රජයට ලැබෙන ඩොලර් මහ බැංකුවට විකුණුවත් වෙන්නේ ඕකමයි.

මේ විදිහට මහ බැංකුව විසින් ඩොලර් හෝ භාණ්ඩාගාර බිල්පත් මිල දී ගනිද්දී සංචිත මුදල් වැඩි වෙනවා වගේම ඒවා විකුණද්දී සංචිත මුදල් අඩු වෙනවා. භාණ්ඩාගාර බිල්පත් කල් පිරී මුදල් හා පොලිය ආපසු ලැබුණු විටද සංචිත මුදල් අඩු වෙනවා. 

වෙළඳපොළ තත්ත්වයන් අනුව, පසුගිය මාසයේදී මහ බැංකුව විසින් ඩොලර් විකිණුවා කියලා හිතන්න අමාරුයි. බොහෝ විට සිදු වෙන්න ඇත්තේ ඩොලර් යම් ප්‍රමාණයක් හෝ මිල දී ගැනීම කියලා මම හිතනවා. එය එසේනම්, එහිදී ඉහළ ගිය සංචිත මුදල් ප්‍රමාණය අඩු කරගෙන තියෙන්නේ භාණ්ඩාගාර බිල්පත් විකිණීම වැනි දෙයක් කරලා. හැබැයි ඩොලර් විකිණුවේ නැද්ද කියලා හරියටම දැනගන්න වෙන්නේ අදාළ දත්ත ප්‍රසිද්ධ කළාට පස්සේ. කොහොම වුනත් පසුගිය මාසයේදී සංචිත මුදල් වැඩි වීමක් වෙලා නැහැ. ඒ කියන්නේ සල්ලි අච්චු ගැසීමක් වෙලා නැහැ. 

විවට වෙළඳපොළ කටයුතු වලදී වෙන්නේ කුමක්ද?

මහ බැංකුව විසින් එදිනෙදා මුදල් ඉල්ලුමේ සිදුවන වෙනස්කම් අනුව මුදල් සැපයුම වෙනස් කරමින් පොලී අනුපාතික අවශ්‍ය මට්ටමේ ස්ථාවරව තියාගන්නේ විවට වෙළඳපොළ කටයුතු හරහා. මේක අද ඊයේ සිදු වූ දෙයක් නෙමෙයි. විශාල කාලයක සිට සිදුවන, ලෝකයේ අනෙක් රටවල මහ බැංකු විසින්ද කරන සාමාන්‍ය දෙයක්. කෙටියෙන් කිවුවොත් මහ බැංකුවේ සාමාන්‍ය රාජකාරියක්. 

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික කියා කියන්නේ මහ බැංකුව විසින් තීරණය කරන එක්දින මුදල් වෙළඳපොළේ පොලී අනුපාතික විචලනය විය හැකි පරාසය. මහ බැංකුව විසින් වරින් වර මේ පරාසය වෙනස් කරනවා. මේ දවස් වල 8.25%-9.25% පරාසය.

එක් දින මුදල් වෙළඳපොළ කියා කියන්නේ කුමක්ද?

ඕනෑම ව්‍යාපාරයක් දවස පටන් ගනිද්දී අතේ යම් කිසි මුදලක් තිබිය යුතුයි. මේක කාට වුනත් පැහැදිලි දෙයක්නේ. බැංකුවකට මේ තත්ත්වය විශේෂයි. උදේ පාන්දර පාරිභෝගිකයෙක් සල්ලි ගන්න ආවහම කවුරු හරි සල්ලි දමන්න එනකම් පොඩ්ඩක් ඉන්න කියලා කියන්න බැහැ. යම් අරමුදල් ප්‍රමාණයක් තියාගන්නම අවශ්‍යයි. හැබැයි ඒ ප්‍රමාණය තිබුනහම ඇති.

ඕනෑම දවසක බැංකු වලින් මිනිස්සු සල්ලි ආපසු ගන්නවා. තවත් අය බැංකුවට සල්ලි දමනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට දවස අවසන් වෙද්දී එක්කෝ බැංකුවේ ඕනෑවට වඩා සල්ලි එකතු වෙනවා. නැත්නම් ඊළඟ දවසේ බැංකුව අරින්න සල්ලි හිඟ වෙනවා. හැබැයි මේක දවසක ප්‍රශ්නයක්. ඊළඟ දවසේ තත්ත්වය අද එකම වෙන්නේ නැහැ. ඒක කලින් දැනගන්නත් අමාරුයි.

සාමාන්‍යයෙන් එක බැංකුවකින් එළියට යන සල්ලි දවස අවසාන වෙද්දී තවත් බැංකුවකට යනවා. එහෙම නොවෙන්නේ අවුරුදු කාලය වගේ විශේෂ අවස්ථා වලදී පමණයි. අවුරුදු කාලයේදී එළියට යන සල්ලි ආපහු එන්නේ අවුරුදු පහු වෙලා. මැතිවරණයක් කිට්ටු වෙද්දී වුනත් ඔය වගේ තත්ත්වයක් තියෙන්න පුළුවන්. නමුත් බොහෝ විට වෙන්නේ එක බැංකුවක සල්ලි තවත් බැංකුවකට යන එක.

මේ හේතුව නිසා දවස අවසානයේදී එක බැංකුවක සල්ලි හිඟ වෙද්දී තවත් බැංකුවක සල්ලි අතිරික්තයක් ඇති වෙනවා. ඊළඟ දවසේ මේ බැංකු මාරු වෙන්න පුළුවන්. කොහොම වුනත් සල්ලි හිඟ බැංකුවක් කරන්නේ සල්ලි වැඩි බැංකුවකින් දවසකට ණයක් ගන්න එක. මේ වැඩේ හැමදාම සිදු වෙනවා. එක් දින මුදල් වෙළඳපොළ කියන්නේ මේකට.

මහ බැංකුව එක් දින මුදල් වෙළඳපොළ පාලනය කරන්නේ කොහොමද?

මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වල ඉහළ සීමාව ගෙවලා බැංකුවකට මහ බැංකුවෙන් ණය ගන්න පුළුවන්. ඒ නිසා, කිසිම බැංකුවකට ඊට වඩා වැඩි පොලියකට පිටින් ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම, මෙහි පහළ සීමාවේ පොලියට මහ බැංකුවේ සල්ලි තැන්පත් කරන්න පුළුවන්. ඒ නිසා කවුරුවත් ඊට අඩුවෙන් ණය දෙන්නේ නැහැ. මේ නිසා හැම විටම පොලී අනුපාතික ඔය සීමාව ඇතුළේ රැඳෙනවා. නමුත් සීමාව ඇතුලෙ විචලනය වෙන්න පුළුවන්.

මහ බැංකුවට පොලී අනුපාතික අඩු කරගන්න අවශ්‍ය වූ විට කරන්නේ ඔය එක් දින වෙළඳපොළට සම්බන්ධ වෙලා ණයට මුදල් දෙන එක. එවිට මුදල් ඉල්ලුමට සාපේක්ෂව සැපයුම ඉහළ ගිහින් පොලී අනුපාතික පහළ බහිනවා. ඕකෙම අනෙක් පැත්තත් කරන්න පුළුවන්.

මේ විදිහට ණයට දෙන සල්ලි ඊළඟ දවසේ උදේම ආපහු මහ බැංකුවට එන නිසා එයින් මුදල් සැපයුමට වෙන්නේ තාවකාලික බලපෑමක් පමණයි. ඒ නිසා, මෙවැන්නක් සල්ලි අච්චු ගැසීමක් නෙමෙයි. සමහර විට සතියක් වැනි කාලයකට මුදල් ණයට දීමක් වෙන්නත් පුළුවන්. නමුත් සතිය අවසන් වෙද්දී ඒ සල්ලි නැවත මහ බැංකුවට එනවා.

මේ දවස් වල වෙන්නේ කුමක්ද?

මේ දවස් වල වෙළඳපොළේ මුදල් අතිරික්තයක් තිබෙනවා. ඒ කියන්නේ දවස අවසානයේ මුදල් හිඟ අය මුදල් වැඩි අයගෙන් සල්ලි ණයට ගත්තට පස්සෙත් සමස්තයක් ලෙස අතිරික්තයක් තිබෙනවා. එහෙම අතිරික්තයක් තියෙන අයට කරන්න වෙන්නේ ඒ සල්ලි 8.25% පොලියට මහ බැංකුවේ තැන්පත් කරන එක. ඒ වැඩේ ඒ විදිහටම සිදු වෙනවා. 

එවැනි අතිරික්තයක් තියෙද්දීම මහ බැංකුව විසින් 8.27% පොලියට දෛනික පදනම මත ණය දීලා තියෙනවා. විවේචනයක් ඇවිත් තියෙන්නේ ඔය ගැන. 

දැන් මේ විදිහට 8.27% පොලියට ණය ගන්නේ කවුද? මුදල් අතිරික්තයක් තිබෙන බැංකු 8.27% පොලියට ණය ගන්නේ නැහැ. මොකද එහෙම අරගෙන කරන්න වෙන්නේ 8.25% පොලියට නැවත මහ බැංකුවේ තැන්පත් කරන එක. බැංකුවක් ඒ විදිහට අතින් කාලා හරක් බලන්නේ නැහැනේ. එහෙමනම් මේ ණය ගන්නේ මුදල් හිඟයක් තිබෙන බැංකු. 

මහ බැංකුවෙන් 8.27% පොලියට ණය ගන්න පුළුවන්කම තියෙද්දී මේ වගේ මුදල් හිඟ බැංකුවකට වෙන බැංකුවකින් ඊට වඩා වැඩි පොලියකට ණය ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩෙන් වෙන්නේ යම් සීමාවක් දක්වා, අනෙක් බැංකු වලට එක්දින වෙළඳපොළේ ණය දෙන්න වඩා අමාරු වෙන එකයි. යම් සීමාවක් දක්වා කියා කිවුවේ මහ බැංකුව මේ විදිහට 8.27% පොලියට ණය දෙන්නේ යම් ප්‍රමාණයක් පමණක් නිසා. ඒ වැඩේ කෙරෙන්නේ වෙන්දේසි ක්‍රමයට. ඇත්තටම 8.27% කියන්නේ වෙන්දේසියේදී ඉල්ලුම හා සැපයුම අනුව තීරණය වෙන පොලී අනුපාතිකයක්.

දැන් මේ වැඩෙන්, එක දවසකට පමණක් වුනත්, යම් මුදල් ප්‍රමාණයක් මහ බැංකුවෙන් එළියට යනවා. නමුත්, ඒ හේතුව නිසාම කවර හෝ බැංකුවකට තවත් බැංකුවකට ණය දෙන්න තිබෙන අවස්ථාව නැති වෙන නිසා ඒ මුදල් ප්‍රමාණයට සමාන මුදල් ප්‍රමාණයක් දවසකට මහ බැංකුවේ තැන්පත් කරන්න වෙනවා. අවසාන වශයෙන් දවසකට වුනත් මුදල් සැපයුම වැඩි වෙන්නේ නැහැ. මේ වැඩෙන් සිදු වෙන්නේ පොලී අනුපාතික මත පහළට තෙරපුමක් ඇති වෙන එක පමණයි. මහ බැංකුව විසින් කරගන්න හදන්නේත් ඒක විය යුතුයි.

එහෙමනම් මේ ගැන ලොකු කතාවක් පැතිරෙන්නේ ඇයි?

ඔය වගේ දෙයක් එක තැනක දැම්මහම ඒ මත පදනම්ව නිවුස් පැටවු ගහනවා. ඒ වගේම ලංකාව කියන්නේ  සල්ලි අච්චු ගැහිල්ලක් නිසා ගිණි පෙනෙල්ලෙන් බැට කාපු රටක්නේ. ඒ නිසා කවුරු වුනත් බය වෙන එක සාධාරණයි. ඒ වගේම ඡන්දයකුත් තියෙන වෙලාවක්නේ. හැම සතියකම සාමාන්‍යයෙන් සිදු වෙන භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය උලුප්පා දක්වමින් ණය ගණන් හදනවා වගේම තවත් වැඩක්.

පහේ කෝච්චියේ ෆුට්බෝඩ් එකෙත් එක්ක සෙනඟ කියලා පොටෝ එකකුත් එක්ක නිවුස් එකක් දැම්මොත් ඒක බොරුවක් නෙමෙයි. හැබැයි ඕක තමයි හැමදාම තියෙන සාමාන්‍ය තත්ත්වය. ණය ගන්න කතාව ඒ වගේ එකක්. සල්ලි අච්චු ගහන කතාවටනම් එහෙමවත් පදනමක් තියෙන බවක් පේන්න නැහැ.

Tuesday, October 15, 2024

ඩොලරයේ මිල පහළ ගියේ ඇයි?


ජනාධිපතිවරණය පැවැත්වුණු සැප්තැම්බර් 23 සිට ඊයේ (ඔක්තෝබර් 14) දක්වා කාලය තුළ ඩොලරයක මැදි මිල රුපියල් 304.88 සිට රුපියල් 292.89 දක්වා රුපියල් 11.99කින් පහත වැටී තිබෙනවා. මෙය සැලකිය යුතු තරමේ විචලනයක්. මේ පිළිබඳව මැසිවිලි නගන යම් පිරිසක්ද දැකිය හැකියි.

විණිමය අනුපාතය පාලනය කිරීම (හෝ නොකිරීම) මහ බැංකුවේ කාර්යයක්. ඒ නිසා, මේ අයුරින් ඩොලරයක මිල පහත වැටීම ආණ්ඩුව වෙනස් වීම නිසා සිදු වූ දෙයක් සේ සලකන්න බැහැ. යම් වක්‍ර බලපෑමක් පමණක් තිබිය හැකියි.

කෙටියෙන් කිවුවොත්, මහ බැංකුවේ විණිමය ප්‍රතිපත්තිය වන්නේ ඉල්ලුම හා සැපයුම මත විණිමය අනුපාතය තීරණය වීමට ඉඩ හැරීමයි. එහෙත්, ඒ අතරම, මහ බැංකුව විසින් හේතු දෙකක් මත වෙළඳපොළට මැදිහත්වීම් කරනවා. පළමු හේතුව සංචිත ගොඩ නගා ගැනීමයි. දෙවැන්න තාවකාලික විචලනයන් පාලනය කිරීමයි.

පහත තිබෙන්නේ පසුගිය මාස වලදී මහ බැංකුව විසින් වෙළඳපොළට මැදිහත්වීම් සිදු කර තිබුණු ආකාරයයි.

2024 මැයි 

මිල දී ගැනීම් - ඩොලර් මිලියන 224.5

විකිණීම් - ඩොලර් මිලියන 32.0

2024 ජූනි 

මිල දී ගැනීම් - නැත 

විකිණීම් - ඩොලර් මිලියන 57.0

2024 ජූලි

මිල දී ගැනීම් - ඩොලර් මිලියන 121.0

විකිණීම් - නැත

2024 අගෝස්තු 

මිල දී ගැනීම් - ඩොලර් මිලියන 148.5

විකිණීම් - නැත

2024 සැප්තැම්බර් 

මිල දී ගැනීම් - ඩොලර් මිලියන 108.5

විකිණීම් - ඩොලර් මිලියන 12.5

මෙම මැදිහත්වීම් සමඟ විණිමය අනුපාතයේ හැසිරීම එකට ගත් විට අපට පෙනී යන්නේ (මේ සමඟ පළ කරන ප්‍රස්ථාරය දෙස බලන්න) මැයි මාසයේදී හා ජූනි මාසයේදී මහ බැංකුව විසින් ඩොලර් විකිණීමක් සිදු කර ඇතත්, එසේ කරද්දීම එම මාස වලදී ඩොලරයක මිල යම් තරමකින් හෝ ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම, කිසිදු විකිණීමක් කර නැති, වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම පමණක් සිදු කර ඇති, ජූලි හා අගෝස්තු මාස වලදී, එසේ කරද්දීම ඩොලරයක මිල පහත වැටී තිබෙනවා.

ඉහත නිරීක්ෂණ අනුව පෙනී යන්නේ මහ බැංකුව විසින් විචලනයන් සීමා කරනු හැර ඩොලරයක මිලෙහි දිශානතිය කෙරෙහි බලපෑම් කර නැති බවයි. 

සැප්තැම්බර් මාසය තුළ ඩොලරයක මිලෙහි සිදුව ඇති විචලනයන් දෙස බැලූ විට එම මාසය තුළ මහ බැංකුව විසින් යම් ඩොලර් ප්‍රමාණයක් විකිණීම තේරුම් ගත හැකියි. ජනාධිපතිවරණයට ආසන්න දෙසතියක කාලය තුළ ඩොලරයක මිලෙහි දිශානතියෙහි පැහැදිලි වෙනසක් දැක ගත හැකි අතර එම කාලය තුළ යම් මිල වැඩි වීමක් සිදුව තිබෙනවා. මෙය විණිමය ප්‍රවාහ වල සිදු වූ වෙනස් වීමක ප්‍රතිඵලයකට වඩා සමපේක්ෂණය නිසා සිදු වූ දෙයක් ලෙස සැලකිය හැකියි.

ජනාධිපතිවරණය ආසන්න වෙද්දී ආණ්ඩු මාරුවක් නිසා ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලියට සිදු විය හැකිව තිබුණු බාධාවන් පිළිබඳ අවදානම ඉහළ ගියා. එහෙත්, ජනාධිපතිවරණය දිනය ආසන්නයේදීම අදාළ මූලික ගිවිසුම් අත්සන් කිරීමත්, ආණ්ඩු මාරුවෙන් පසුව ඉතා ඉක්මණින්ම අලුත් ආණ්ඩුව විසින් එම ගිවිසුම් මත පදනම්ව ණය ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන බව සපථ කර සිටීමත් හේතුවෙන් මෙම අවදානම පහව ගියා.

ජනාධිපතිවරණයට ආසන්න දෙසතියක කාලය තුළ සිදු වූ ඉහත වෙනස හැරුණු විට, පසුගිය ජූලි මාසයේ සිටම දැකිය හැක්කේ ඩොලරයක මිල පහත යාමේ ප්‍රවණතාවයක්. එය එසේ සිදු වන්නේ දිගින් දිගටම මහ බැංකුව විසින් වෙළඳපොළෙන් ශුද්ධ වශයෙන් ඩොලර් මිල දී ගනිද්දීයි. මෙයින් පෙනී යන්නේ විණිමය ප්‍රවාහ වල දිගින් දිගටම පවතින වාසිදායක අසමතුලිතතාවයයි. එනම්, ඩොලර් ඉල්ලුමට වඩා ඩොලර් සැපයුම ඉහළ මට්ටමක පැවතීමයි. 

මෙම තත්ත්වය යටතේ, වාහන ආනයන සීමාවන් ඉවත් කිරීම වැනි විශේෂ වෙනසක් සිදු නොවුවහොත්, දිගින් දිගටම සිදු වන්නේ ඩොලරයක මිල පහත වැටීමයි. එහෙත්, මහ බැංකුවට මැදිහත්වීම් කරමින් එසේ ඩොලරයක මිල පහත වැටෙන වේගය පාලනය කළ හැකියි. 

තාවකාලික විචලනයන් පාලනය කිරීම සඳහා කරන මැදිහත් වීම් දෙපැත්තටම සිදු විය යුතු මැදිහත් වීම් නිසා එමඟින් වෙළඳපොළේ ස්වභාවික නැඹුරුව කෙරෙහි බලපෑමක් සිදු විය නොහැකියි. එහෙත්, සංචිත ගොඩ නගා ගැනීම පිණිස කරන මැදිහත් වීම් නිසා ඩොලරයක මිල ඉහළ යනවා. එසේ නැත්නම්, පහළ යාම පාලනය වෙනවා. ඒ කියන්නේ මහ බැංකුවට වැඩි වැඩියෙන් සංචිත එකතු කර ගනිමින් ඩොලරයක මිල පහත වැටීම පාලනය කිරීමේ හැකියාවක් ඇති බවයි.

කෙසේ වුවත්, IMF වැඩ පිළිවෙළ අනුව මහ බැංකුව විසින් සංචිත ගොඩ නගා ගැනීම සිදු වන්නේ කලින් දැනුම් දී ඇති නිශ්චිත ඉලක්කගත මට්ටමක් දක්වා පමණයි. එසේ අවශ්‍ය සංචිත ඉලක්කය වෙත යාමට යටත්ව, ඉල්ලුම හා සැපයුම මත විණිමය අනුපාතය තීරණය වීම කෙරෙහි බලපෑමක් නොකිරීම මහ බැංකුවේ විණිමය ප්‍රතිපත්තියයි. 

මෙම (2024) වසර අවසාන වන විට යා යුතු සංචිත ඉලක්කය ඩොලර් මිලියන 6,128ක් පමණයි. සැප්තැම්බර් අවසානය වන විට ඩොලර් මිලියන 5,992ක සංචිත ප්‍රමාණයක් මහ බැංකුව විසින් එක්රැස් කරගෙන අවසානයි. ඒ නිසා, වසරේ ඉතිරි මාස තුන තුළ මහ බැංකුව විසින් එකතු කරගත යුතුව තිබෙන්නේ තවත් ඩොලර් මිලියන 136ක සංචිත ප්‍රමාණයක් පමණයි. සාමාන්‍ය අගයක් ලෙස මාසයකට ඩොලර් මිලියන 45ක් පමණ. 

පසුගිය සැප්තැම්බර් මාසය තුළ මහ බැංකුවේ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 33කින් පමණක් ඉහළ ගොස් තිබීම තේරුම් ගත යුත්තේ මෙම පසුබිම තුළයි. කෙටියෙන් කිවුවොත්, සංචිත මිල දී ගැනීම මගින් ඩොලරයක මිල පහත වැටීම නැවැත්වීම සිදු නොකළ යුතු සීමාවක් ආසන්නයට මේ වන විට මහ බැංකුව පැමිණ තිබෙනවා. 

කෙසේ වුවත්, මහ බැංකුවට අවශ්‍ය ඉලක්කය ඉක්මවා සංචිත වැඩි කර නොගනිමින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම සඳහා වෙනත් මාර්ගයක්ද තිබෙනවා. ඒ මිල දී ගන්නා ඩොලර් මහ බැංකුවේ ණය ගෙවීම පිණිස යෙදවීමයි. මෙහිදී ඩොලරයක මිල පහත වැටීම සීමා වන නමුත් සංචිත ඉහළ යාමක් සිදු වන්නේ නැහැ. 

පසුගිය (2024) ජූනි මාසය අවසාන වන විට මහ බැංකුව විසින් ගෙවිය යුතුව තිබුණු විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,547ක්. එයින් ඩොලර් මිලියන 2,001ක් ගෙවිය යුතුව තිබුණේ ඉන්දියාවටයි. ඒ වසරේ පළමු මාස හයක කාලය තුළ ඩොලර් මිලියන 450ක් ඉන්දියාවට ආපසු ගෙවීමෙන් පසුවයි. ජුනි මාසය අවසන් වෙද්දී ඩොලර් මිලියන 5,654ක නිල සංචිත ප්‍රමාණයක් මහ බැංකුව සතුව තිබුණා.

මේ වන විට සංචිත ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතරම ණය ප්‍රමාණයේද යම් අඩුවක් සිදුව ඇතැයි සිතන්නට පුළුවන්. පසුගිය මාසයේදී මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 96ක් මිල දී ගෙන ඇතත්, සංචිත ඉහළ ගොස් තිබෙන්නේ ඩොලර් මිලියන 33කින් පමණයි. ඉතිරි ඩොලර් මිලියන 63 හෝ ආසන්න ප්‍රමාණයක් ණය ගෙවීම සඳහා යෙදවූවා විය හැකියි. 

වෙනත් විදිහකින් කිවුවොත් ඩොලරයක මිල පහත වැටීම සීමා කරමින් වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම සඳහා මහ බැංකුවට තවත් සැලකිය යුතු තරමේ අවකාශයක් තිබෙනවා. එසේ ලබා ගන්නා ඩොලර් ණය ගෙවීම සඳහා යෙදවිය හැකි බැවින් සංචිත ඉලක්කය ඉක්මවා යාමේ ප්‍රශ්නයක් මතු වන්නේද නැහැ. එහෙත් මහ බැංකුව දැනට විණිමය වෙළඳපොළට බලපෑම් කරමින් සිටින්නේ එහි දිශානතියෙහි ලොකු වෙනසක් සිදු නොවන අයුරිනුයි. 

Thursday, April 25, 2024

මහ බැංකුවේ 2023 වාර්ෂික වාර්තා


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙතෙක් වාර්ෂිකව ඉදිරිපත් කළ "ලොකු" වාර්ෂික වාර්තාව වෙනුවට මෙවර "කුඩා" වාර්ෂික වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එයින් එක් වාර්තාවක් රටේ ආර්ථිකය පිළිබඳව වන අතර දෙවැන්න මහ බැංකුවේ කටයුතු සම්බන්ධවයි. එමෙන්ම, මෙතෙක් මුද්‍රිත ක්‍රමයට ඉදිරිපත් කළ සංඛ්‍යාලේඛණ වගු බොහොමයක් මෙවර විද්‍යුත් ක්‍රමයට ප්‍රසිද්ධ කර තිබෙනවා.

පසුගිය 2023 වසර ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා අදාළව සුවිශේෂී වසරක්. පෙර වසර තුළ සිදු වූ දැවැන්ත කඩා වැටීමකින් පසුව වුවත්, පසුගිය වසර තුළ ලංකාවේ ආර්ථිකය නැවත සුන්බුන් මතින් නැගී සිටියා. 

පෙර වසරේදී ඩොලර් බිලියන 76.8 දක්වා පහත වැටුණු රටේ දළ දේශීය නිෂ්පාදිතය 2023 වසරේදී ඩොලර් බිලියන 84.4 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් 3,464 සිට ඩොලර් 3,830 දක්වා වැඩි වී තිබෙනවා. 

රටේ ආර්ථිකය 2.3%කින් හැකිලෙද්දී මේ අයුරින් ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ දේශීය මිල ගණන් වල ඉහළ යාමට අනුරූපව ඩොලරයක මිල ඉහළ නොයාමයි. ඊට අමතරව රටේ ජනගහණය අඩුවීමෙන්ද සුළු දායකත්වයක් ලැබී තිබෙනවා.

ඩොලරයක මිල පහළ යාමෙන් රටේ විදේශ අංශය ස්ථාවර වීම පිළිබිඹු වෙනවා. 1978 වසරෙන් පසුව මුල් වරට පසුගිය වසරේදී ජංගම ගිණුමේ ඩොලර් මිලියන 1,559ක අතිරික්තයක් වාර්තා වී ඇති අතර එය දදේනියෙන් 1.8%ක්. මූල්‍ය ගිණුමට ලැබුණු විදේශ විණිමයද ඇතුළුව වසර තුළ  ඩොලර් මිලියන 2,826ක සමස්ත ගෙවුම් ශේෂ අතිරික්තයක් වාර්තා වී තිබෙනවා.

මේ අයුරින් විදේශ අංශය ස්ථාවර වීමට රාජ්‍යමූල්‍ය කළමනාකරණයේ යහපත් දිශානතිය බොහෝ සේ උපකාරී වී තිබෙනවා. රජයේ බදු ආදායම පෙර වසරට සාපේක්ෂව රුපියල් බිලියන 2,720.6 දක්වා 55.4%කින් වර්ධනය වී ඇති අතර සමස්ත ආදායම රුපියල් බිලියන 3,048.8 දක්වා 54.0%කින් වැඩි වී තිබෙනවා. මීට සාපේක්ෂව පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් වල රුපියල් බිලියන 6.4ක සුළු අඩුවීමක් දැකිය හැකියි. මෙහි ප්‍රතිඵලයක් ලෙස වසර තුළ රුපියල් බිලියන 173.3ක ප්‍රාථමික අතිරික්තයක් වාර්තා වී තිබෙනවා. මෙය දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.6%කට සමාන මුදලක්.

කෙසේ වුවත්, පැරණි ණය වෙනුවෙන් පොලී ගෙවීම සඳහා රුපියල් බිලියන 2,455.6ක මුදලක් අවශ්‍ය වී ඇති අතර, ඉතිරි කරගත් ප්‍රාථමික අතිරික්තය ඒ සඳහා ප්‍රමාණවත් නොවන බැවින්, එම මුදලෙන් රුපියල් බිලියන 2,282.3ක්ම ගෙවා තිබෙන්නේ අළුත් ණය වලිනුයි. මෙයින් රුපියල් බිලියන 494.7ක මුදලක් විදේශ මූලාශ්‍ර වලින්ද, ඉතිරි රුපියල් බිලියන 1,787.6 දේශීය මූලාශ්‍ර වලින්ද ලබාගෙන තිබෙනවා. 

මේ අනුව, රටේ ණය ඉහළ ගොස් ඇතත්, දළ දේශීය නිෂ්පාදිතය ඊට වඩා වැඩියෙන් ඉහළ යාම හේතුවෙන් දදේනිහි ප්‍රතිශතයක් ලෙස මධ්‍යම රජයේ ණය ප්‍රමාණය 114.2% සිට 103.9% දක්වා පහත වැටී තිබෙනවා.

රුපියල් බිලියන 2,455.6ක මුදලක් පොලී ලෙස ගෙවීමට අමතරව, රුපියල් බිලියන 1,807.7ක මුදලක් වසර තුළ ණය වාරික ලෙස ආපසු ගෙවා තිබෙනවා. මේ අනුව, වසරේ මුළු ණය සේවාකරණ පිරිවැය රුපියල් බිලියන 4,263.3ක් වන අතර එයින් රුපියල් බිලියන 470.5ක් වැය වී තිබෙන්නේ විදේශ ණය වාරික හා පොලී ගෙවීම සඳහායි. 

Wednesday, April 10, 2024

ඩොලරය බැහැලා ඉවරද?


මහ බැංකුව විසින් මාර්තු මාසය ඇතුළත වෙළඳපොළෙන් ඩොලර් මිලියන 715.1ක් මිල දී ගෙන තිබෙනවා. මෙය ඉතිහාසයේදී මහ බැංකුව විසින් මාසයක් තුළ මිල දී ගත් වැඩිම ඩොලර් ප්‍රමාණය විය යුතුයි. 

පසුගිය (2023) වසර අවසන් වන විට මහ බැංකුව සතුව ඩොලර් මිලියන 4,392ක විදේශ සංචිත තිබුණත් මහ බැංකුව විසින් ඩොලර් මිලියන 6,081ක විදේශ ණය ගෙවිය යුතුව තිබුණා, මේ අතර වෙනස ඩොලර් මිලියන 1,688ක්.

මෙම වසර තුළ මහ බැංකුව විසින් ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 1,200ක් මිල දී ගෙන තිබෙනවා.

ජනවාරි - ඩොලර් මිලියන 245.3

පෙබරවාරි - ඩොලර් මිලියන 239.5

මාර්තු - ඩොලර් මිලියන 715.1

එකතුව - ඩොලර් මිලියන 1199.9

මේ අනුව, මාර්තු අවසාන වන විට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 5,592 දක්වා වැඩි විය යුතු වුවත් ඇත්තටම වැඩි වී තිබෙන්නේ ඩොලර් මිලියන 4,951 දක්වා පමණයි. ඒ අනුව, මෙම ගණන් දෙක අතර වෙනස වන ඩොලර් මිලියන 641 හෝ ඊට ආසන්න මුදලක් මහ බැංකුවේ ණය ගෙවීම සඳහා යොදවා ඇති බව පැහැදිලියි.

ඉහත ප්‍රමාණයට සමාන ණය මුදලක් මහ බැංකුව විසින් ආපසු ගෙව්වේනම් මේ වන විට මහ බැංකුවේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 5,440 දක්වාත් ශුද්ධ විදේශ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 488 දක්වාත් අඩු වී තිබිය යුතුයි. IMF තෙවන වාරිකයද ලැබෙන නිසා, එම අඩුවද මේ (2024 අප්‍රේල්) මාසය තුළ ආවරණය වනු ඇතැයි සිතිය හැකියි.

රජය විසින් මෙම වසර අවසන් වන තුරු වාහන ආනයනයට ඉඩ දෙන බවක් පෙනෙන්නට නැහැ. මෙය දේශපාලනික තීරණයක්. දේශපාලන තීරණ බොහෝ විට හසුරුවනු ලබන්නේ ජනමතය විසිනුයි.

ආර්ථික අර්බුදය අවස්ථාවේ උද්ධමනය 70% මට්ටමට ගියත් ඉන් පසුව 5% සීමාවෙන්ද පහළට වැටුණා. මේ හේතුවෙන් ජනමතයේ යම් වෙනසක් සිදුවුවත්, විශාල වෙනසක් සිදු වූයේ නැහැ. බොහෝ දෙනෙකුගේ චෝදනාව හා කණස්සල්ලට හේතුව වූයේ උද්ධමනය අඩු වුවද ඉහළ ගිය බඩු මිල අඩු නොවීමයි. 

උද්ධමනය ඉහළ යද්දී යම් පිරිසකගේ, විශේෂයෙන්ම භාණ්ඩ හෝ සේවාවන් නිපදවන අයගේ, ආදායම්ද ඉහළ යනවා. උද්ධමනය අඩු වූ විට එම ආදායම්ද එසේ ඉහළ ගිය මට්ටමෙන් පහළට වැටෙන්නේ නැහැ. එහෙත්, බඩු මිල අඩු වුවහොත්, විශේෂයෙන්ම රටේ නිපදවන බඩු වල මිල අඩු වුනොත්, භාණ්ඩ හෝ සේවාවන් නිපදවන අයගේ ආදායම්ද පහත වැටෙනවා. 

උද්ධමනය අඩු වුවද ඉහළ ගිය බඩු මිල අඩු වී නැති බව චෝදනාවක් සේ ඉදිරිපත් කරන්නේ මාසික වැටුප් ලබා ගන්නා අයයි. ඔවුන්ගේ වැටුප් උද්ධමනයට අනුරූපව ඉහළ ගියේ නැහැ. ඊට අමතරව ඒ අතරින් වැඩි වැටුප් ලබන අයට බදු ලෙසද වැඩි මුදලක් ගෙවන්නට සිදු වී තිබෙනවා. මෙම පිරිස රටේ ජනමතය හසුරුවන, දේශපාලන බලයක් ඇති පිරිසක්. ඒ නිසා, දේශපාලනය හරහා ප්‍රායෝගිකව ඔවුන්ගේ ඕනෑ එපාකම් ඉටු වෙනවා. 

ඩොලරයක මිල පහත වැටෙන්නට සැලැස්වීමෙන් ආනයනික බඩු මිල පහත දැමිය හැකියි. වාහන ආනයනය කල් දැමීමෙන් ඩොලරයක මිල දිගින් දිගටම පහත වැටෙන්නට ඉඩ සැලැස්විය හැකියි. මහ බැංකුව විසින් ඩොලර් මිලියන 715.1ක අති විශාල විදේශ විණිමය ප්‍රමාණයක් වෙළඳපොළෙන් ඉවත් කර ගැනීමෙන් පසුවද මාර්තු මාසය තුළ ඩොලරයක මිල රුපියල් 9කින් පමණ පහත වැටී තිබෙනවා. 

විශාල ලෙස ඉහළ ගොස් ඇති සංචාරක ඉපැයීම් හා ශ්‍රමික ප්‍රේෂණ ඉදිරි මාස වලදීද ඒ ආකාරයෙන්ම ගලා නොඒමට හේතුවක් නැහැ. ඒ නිසා, වාහන ආනයනයට ඉඩ දෙන තුරු ඩොලරයේ ගමන පල්ලමටම තමයි. මෙය ආණ්ඩුවට දේශපාලනික ලෙසද වාසිදායක නිසා මැතිවරණ පැවැත්වෙන තුරු ඔය ප්‍රවණතාව වෙනස් නොවෙන්න පුළුවන්.

Thursday, March 28, 2024

මහ බැංකුව පොලී අඩු කළේ ඇයි?


දින දෙකකට පෙර (මාර්තු 26) මහ බැංකුව විසින් ප්රතිපත්ති පොලී අනුපාතික 0.5%කින් අඩු කළා. ඒ අනුව, මහ බැංකුවේ ප්රතිපත්ති පොලී අනුපාතික 8.5%-9.5% දක්වා පහතවැටී තිබෙනවා. මහ බැංකුව පොලී අනුපාතික අඩු කළේ ඇයි? එහි බලපෑම් මොනවාද?

රටක මහ බැංකුවේ ප්‍රධාන වගකීම උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගැනීම. ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉලක්කය වන්නේ උද්ධමනය 4%-6% සීමාව තුළ පවත්වා ගැනීමයි. ඒ කියන්නේ සාමාන්‍ය අගයක් ලෙස 5% මට්ටමේ.

උද්ධමනය 5% මට්ටමේ තබා ගැනීම සඳහා පොලී අනුපාතික දිගුකාලීනව 7%-8% වැනි මට්ටමක තබා ගැනීම ප්‍රමාණවත්. එවිට උද්ධමනයට වඩා 2%-3%කින් වැඩි පොලියක්, ඒ කියන්නේ 2%-3% පරාසයේ මූර්ත පොලී අනුපාතිකයක් පවත්වා ගැනෙනවා.

මූර්ත පොලී අනුපාතික ගොඩක් වැඩිනම් එය ආර්ථික වර්ධනය කෙරෙහි සෘණාත්මක ලෙස බලපානවා. ඒ නිසා, මහ බැංකුවක් විසින් සාමාන්‍යයෙන් මූර්ත පොලී අනුපාතික ඕනෑවට වඩා ඉහළ මට්ටමක තියා ගන්නේ නැහැ. හැබැයි උද්ධමන ඉලක්ක වලට යන්න බැරි වීමේ අවදානම ගනිමින් මූර්ත පොලී අනුපාතික ඕනෑවට වඩා පහළ යන්න දෙන්නේත් නැහැ.

ප්‍රතිපත්ති පොලී අනුපාතික සීරුමාරු කිරීම මගින් මහ බැංකුවක් උත්සාහ කරන්නේ ඔය අන්ත දෙක අතර තුලනයක් පවත්වා ගැනීම. ඒ කියන්නේ උද්ධමනය අඩු හා ස්ථාවර මට්ටමක පවත්වා ගන්නා අතරම හැකි උපරිම ආර්ථික වර්ධන වේගය පවත්වා ගැනීම. සමහර අවස්ථා වලදී ඔය දෙකෙන් එකක් ගැන වැඩිය නොහිතා අනෙක් එක ගැන පූර්ණ අවධානය යොදවන්න වෙනවා.

මහ බැංකුවේ ඉලක්කය උද්ධමනය 4%-6% සීමාව තුළ පවත්වා ගැනීම ලෙස පවතිද්දී උද්ධමනය 70% තරම් ඉහළ මට්ටමකට ගියාම මහ බැංකුවට එහි වගකීම් ඉටු කිරීමට තිබෙන හැකියාව පිළිබඳ විශ්වාසනීයත්වය බරපතල ලෙස බිඳ වැටෙනවා. ඒ වගේ අර්බුදයකින් පස්සේ මහ බැංකුවකට ආර්ථික වර්ධනය ගැන ලොකුවට නොහිතා, උද්ධමනය පාලනය කිරීමට මහ බැංකුවට තිබෙන හැකියාව පිළිබඳව විශ්වාසනීයත්වය ගොඩ නගන්න වෙනවා.

ඉතා කෙටි කලක් තුළ උද්ධමනය ඉලක්ක මට්ටම දක්වා අඩු කර ගැනීම මගින් මහ බැංකුව විසින් නැවතත් එහි ප්‍රතිරූපය ගොඩ නගා ගත්තා. නමුත් කලින් මහ බැංකුව අනාගත්ත අනාගැනිල්ල නිසා පොඩි එහා මෙහා වීමකින් මහ බැංකුවේ ප්‍රතිරූපය නැවත බිඳ වැටෙන්න පුළුවන්. ඒ නිසා, මහ බැංකුව දැන් කටයුතු කරන්නේ ගිණි පෙණෙල්ලෙන් බැට කෑ පසු කණාමැදිරියන් ගැනත් පරිස්සම් වෙන ප්‍රවේශයකින්. මහ බැංකු වැටුප් ප්‍රශ්නයේදී වුනත් වැරැද්දක් වී තිබෙන බව තේරුම් ගෙන වැඩි කතා නැතිව එය හදාගන්න යොමු වීමෙන් පෙනෙන්නේ මේ පරිස්සමයි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී උද්ධමනය 1.3% දක්වාම අඩු වුනා. නමුත්, මහ බැංකුව හදිස්සි වෙලා පොලී අනුපාතික ඕනෑවට වඩා අඩු කළේ නැහැ. ඊට හේතුව වැට් වැඩි කිරීම වැනි හේතු නිසා මේ අවුරුද්දේ මුල් මාස වලදී උද්ධමනය නැවතත් යම් තරමකින් ඉහළ යන බව පෙනෙන්නට තිබීම. හිතපු විදිහටම 2024 ජනවාරි මාසයේදී උද්ධමනය 6.4% මට්ටමට ගියා.

විදුලි ගාස්තු අඩු කිරීම හා එළවළු මිල විශාල ලෙස පහත වැටීම නිසා මේ (2024 මාර්තු) මාසයේ උද්ධමනය 0.9% දක්වාම පහත වැටිලා. මේ තත්ත්වයත් එක්ක වසර තුළ උද්ධමනය 4%-6% සීමාවෙන් උඩට යාමේ අවදානමක් පෙනෙන්න නැහැ.

අනෙක් අතට මාස ගණනක් තිස්සේ වර්ධනය වෙමින් පැවති පෞද්ගලික අංශයට දෙන ණය ප්‍රමාණය ජනවාරි මාසයේදී තරමක් පහත වැටී තිබුණා. කාර්තු හයක් තිස්සේ එක දිගට හැකිලුනු ආර්ථිකය නැවත වර්ධනය වෙන්න පටන් ගත්තේ මේ ණය වර්ධනයේද උදවුවෙන්. ඒ නිසා, ඒ තත්ත්වය දිගටම පවත්වා ගැනීම සඳහා මූර්ත පොලී අනුපාතික යම් තරමකින් පහත වැටෙන්න ඉඩ අරින්න වෙනවා. උද්ධමන අවදානම පහළ ගොස් ඇති නිසා මහ බැංකුවට ඒ සඳහා ඉඩක් ලැබී තිබෙනවා. බොහෝ විට වසරේ ඉදිරි කාලයේදී මහ බැංකුව විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතික තවත් අඩු කරන්න ඉඩ තිබෙනවා.

උද්ධමනය අඩු වෙන්න ප්‍රධාන හේතුවක් වුනේ විදුලි ගාස්තු අඩු කිරීම. විදුලි ගාස්තු අඩු කළ හැකි වුණේ ඩොලරයක මිල පහළ ගොස් නිෂ්පාදන පිරිවැය අඩු වූ නිසා. ඒ අනුව, පොලී අනුපාතික පහළ යාම කෙරෙහි ඩොලරයක මිල අඩු වීම වක්‍ර ලෙස බලපා තිබෙනවා.

මේ වෙද්දී ඩොලරයක මිල තිබෙන්නේ රුපියල් 300 සීමාව ආසන්නයේ. ඉදිරියේදී ඩොලරයක මිලට කුමක් වෙයිද?

මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය කළමනාකරුවන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා. ඒ අනුව පෙනී යන්නේ බොහෝ විට මේ වන විට වාණිජ ණයහිමියන් සමඟ මූලික එකඟතාවයක් ඇති කර ගෙන අවසන් බවයි. මේ අනුව, වසර මැද වන විට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වීමට ඉඩ තිබෙනවා.

ඩොලරයක මිල දවසින් දවස අඩු වෙමින් තිබෙන්නේ මහ බැංකුව විසින් දිගින් දිගටම වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගනිමින් සිටිද්දීයි. සංචාරක පැමිණීම් හා ශ්‍රමික ප්‍රේෂණ වල වර්ධනය හමුවේ මහ බැංකුව විසින් එසේ මැදිහත්වීම් නොකරන්නට ඩොලරයක මිල මීට වඩා වේගයෙන් පහත වැටෙනවා. මහ බැංකු අධිපතිවරයා විසින් ඉඟි කර තිබුණේ මෙසේ වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීම නිසා මාර්තු මාසය අවසානයේදී විදේශ සංචිත ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ඉදිරි කාලයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තෙවන වාරිකයද සංචිත වලට එකතු වීමට නියමිතයි. මේ සියල්ලට අමතරව, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් වූ පසු රටට එන විදේශ විණිමය ප්‍රවාහ තවත් ඉහළ යන්නට ඉඩ තිබෙනවා.

ඉහත තත්ත්වයන් තුළ දැනට ලංකාවේ විදේශ අංශය තුළ පීඩනකාරී තත්ත්වයක් පෙනෙන්නට නැහැ. ඒ නිසාම, විණිමය අනුපාතය මගින් උද්ධමනය පහළට තෙරපීමත්, එයට ප්‍රතිචාර ලෙස මහ බැංකුව මුදල් ප්‍රතිපත්ති තව දුරටත් ලිහිල් කිරීමත් අපේක්ෂා කළ හැකියි. සරලව කිවුවොත් පොලී අනුපාතික තව දුරටත් පහළ යාම අපේක්ෂා කළ හැකියි.

වෙබ් ලිපිනය: