ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය 2,425,000ක් බව මම කලින් කිවුවනේ. මෙයින් බෝග වගාවේ නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 1,261,000ක්. ආහාර පිණිස "වගා කරන" මාළු හා ඉස්සන් ආදියද ඇතුළත්ව සත්ව ගොවිපොළ වල සේවය කරන ශ්‍රමිකයින් ප්‍රමාණය 762,000ක්. ධීවර කර්මාන්තයේ හා දඩයමේ නිරත ප්‍රමාණය 62,000ක්. වන වගාවේ හා දැව කැපීමේ නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 166,000ක්. ඉහත කී කර්මාන්ත හා අදාළ කිසියම් සහායක සේවාවක නිරත ශ්‍රමිකයින් ප්‍රමාණය 174,000ක්.
ඇමරිකාවේ මුළු ජනගහණය මිලියන 330ක් පමණ වෙනවා. එයින් ශ්‍රම බලකායට අයත් පිරිස 157,538,000ක්. මේ අනුව, ඇමරිකාවේ කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රමිකයන් ප්‍රමාණය රටේ ජනගහනයෙන් 0.7%ක් හා ශ්‍රම බලකායෙන් 1.5%ක් පමණයි.
ඇමරිකාව ශුද්ධ ලෙස ආහාර අපනයනය කරන රටක්. පසුගිය 2019 වසරේදී ඇමරිකාවේ කෘෂිකාර්මික අංශය ඉපැයූ ශුද්ධ අපනයන ආදායම, එනම් අපනයන ආදායමෙන් ආනයන වියදම් අඩු කළ පසු ශේෂය, ඩොලර් 5,618,060,868ක්. ඩොලර් බිලියන වලින් 5.6ක්. (මුළු කෘෂිකාර්මික අපනයන ආදායම ඩොලර් බිලියන 136.7ක්).
ඒ වගේම, ඇමරිකාවේ නිෂ්පාදිත ආහාර වලින් පසු අස්වනු අදියරේ සිට සිල්ලර වෙළඳසැල් දක්වා පැමිණෙන ආහාර ප්‍රමාණයෙන් 31%ක් පමණ නාස්ති වෙනවා. 2010 ඇස්තමේන්තුවකට අනුව ඉහත කී නාස්ති වූ ආහාර වල වටිනාකම ඩොලර් බිලියන 161.6ක්.
ඇමරිකාව රටේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීමේ අරමුණින් විවිධ සුබසාධන වැඩ සටහන් ගණනාවක් ක්‍රියාත්මක කරනවා. පසුගිය වසරේදී අඩු ආදායම්ලාභී පවුල් 17,964,000කට ආහාර මුද්දර වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් බිලියන 60.4ක්. අඩු ආදායම්ලාභී පවුල්වලින් පැමිණෙන දරුවන් මිලියන 29.6කගේ දිවා ආහාර වෙනුවෙන් වැය කර ඇති මුදල ඩොලර් බිලියන 14.2ක්. පාසැල් දරුවන් මිලියන 14.8කගේ උදේ ආහාර වෙනුවෙන් තවත් ඩොලර් මිලියන 4.6ක් වැය කර තිබෙනවා. අඩු ආදායම්ලාභී ගර්භණී හා කිරිදෙන මවුවරුන් මිලියන 6.4කට ආහාර ආධාර ලෙස තවත් ඩොලර් බිලියන 5.2ක් වැය කර තිබෙනවා. මීට අමතරව හදිසි ආපදා ආහාර ආධාර, ළමා නිවාස හා මහළු නිවාස සඳහා ආහාර ආධාර, රතු ඉන්දියානු ආහාර ආධාර වැඩ සටහන් ඇතුළු තවත් ආහාර ආධාර වැඩ සටහන් ගණනාවක් ඇමරිකාවේ ක්‍රියාත්මක වෙනවා. මෙසේ ආහාර සුරක්ෂිතතාව ඉලක්ක කළ සුබසාධන වැඩ සටහන් වෙනුවෙන් පමණක් වැය කර තිබෙන මුදල අවම වශයෙන් ඩොලර් බිලියන 92.7ක්.
මේ ඇමරිකාවේ ආර්ථිකය සාමාන්‍ය මට්ටමට වඩා ගොඩක් හොඳින් තිබුණු 2019 වසරේ තත්ත්වයයි. පෙර වසර වල මේ වියදම් මීට වඩා ගොඩක් වැඩියි. මේ වසරේදී නැවත මේ වියදම් විශාල ලෙස ඉහළ යයි.
ඒ වගේම මේ රාජ්‍ය අංශයේ දායකත්වය ඇති ආහාර ආධාර වැඩ සටහන් පමණයි. ඇමරිකාවේ හැම ලොකු කුඩා නගරයකම වගේ රාජ්‍ය මැදිහත්වීමක් නැති ආහාර බැංකු ක්‍රියාත්මක වෙනවා. එවැනි තැනකට යන කෙනෙකුගෙන් සාමාන්‍යයෙන් ප්‍රශ්න කරන්නේ නැහැ. ආහාර බැංකු 200ක් හරහා ආහාර ආධාර බෙදන එක් රාජ්‍ය නොවන සංවිධානයක් පමණක් පසුගිය වසර තුළ මිලියන 40කට වැඩි පිරිසකට ආහාර වේල් බිලියන 4.2ක් බෙදා දී තිබෙනවා. මා පෞද්ගලිකව දන්නා පරිදි මෙවැනි වැඩ සටහන් ක්‍රියාත්මක කරන ආගමික හා ආගමික නොවන ආයතන විශාල ප්‍රමාණයක් තිබෙනවා.
ඇමරිකාවේ ආහාර නාස්තියට එක් හේතුවක් වන්නේත් මේ ආකාරයට විවිධ සුබසාධන වැඩ සටහන් යටතේ මුදලක් නොගෙවා ආහාර ලබා ගැනීමේ අවස්ථාව බොහෝ දෙනෙකුට හිමිව තිබීමයි. තමන්ගේ අතින් මුදල් යන විට ආහාර නාස්තිය වලක්වා ගන්න කෙනෙක් උනන්දු වුවත් නොමිලේ ආහාර ලැබෙන විට ඒ උනන්දුව අඩු වෙනවා. ආහාර නාස්තිය අනුමත නොකළත්, මෙවැනි සුබසාධන වැඩ සටහනක ප්‍රමුඛ ඉලක්කය වන්නේ ආහාර අවශ්‍ය අය වෙත ප්‍රමාණවත් හා සුදුසු ආහාර ලැබෙන බව සහතික කිරීම මිස ආහාර නාස්තිය අඩු කිරීම නෙමෙයි. එය ද්වීතියික ඉලක්කයක්.
මෙහි "සුදුසු" කියන වචනය ගැනත් යමක් කිව යුතුයි. ආහාර වෙනුවෙන් තමන්ගේ මුදල් වැය කරන කෙනෙක් තමන්ගේ ආහාර රුචියට වැඩි ප්‍රමුඛත්වයක් දෙනවා. එහෙත්, මුදල වැය කරන්නේ වෙනත් අයෙකු වූ විට යම් තරමකින් මුදල වැය කරන තැනැත්තාගේ රුචිකත්වය ඉස්මතු වීමක් වෙනවා. එහිදී වඩා රසවත් ආහාර වලට සාපේක්ෂව වඩා පෝෂ්‍යදායී ආහාර වලට වැඩි බරක් වැටෙනවා. මෙය යම් තරමකින් ආහාර නාස්තියට හේතු වෙනවා. විශේෂයෙන් එළවලු හා පළතුරු හා අදාළව.
ඇමරිකාවේ රජය, පාරිභෝගිකයින් හා ව්‍යාපාරික ආයතන විසින් ආහාර මිල දී ගැනීම වෙනුවෙන් 2018 වසරේදී වැය කර තිබෙන මුදල ඩොලර් බිලියන 1,710ක්. 2019 වියදමද මේ ආසන්න මුදලක් විය යුතුයි. මේ ආහාර මුළුමනින්ම වාගේ ඇමරිකාව ඇතුළත නිපදවුණු ආහාර කියා කියන්න පුළුවන්.
ඇමරිකාව විසින් 2019 දී ඩොලර් බිලියන 131.0ක ආහාර හා වෙනත් ප්‍රාථමික කෘෂිකාර්මික නිෂ්පාදිත ආනයනය කර ඇතත්, ඇමරිකාවේ කෘෂිකාර්මික අපනයන වලින් උපයා ඇති ආදායම ඊට වඩා වැඩියි. ඒ නිසා, ඇමරිකාව ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක නොසිටියත් ආහාර වලින් ස්වයංපෝෂිත රටක්. මෙය ආනයන තරඟයට බිය නොවී කාර්යක්ෂමතාවය තුළින් අත්පත් කරගත් තත්ත්වයක්. එසේ නැතිව ආණ්ඩුව විසින් ගොවියා ආනයන වලින් ආරක්ෂා කර, සහනාධාර දී, හෝ මධ්‍යගත සැලසුම් හරහා අත් කරගත් ජයග්‍රහණයක් නෙමෙයි. (ඇමරිකා චීන වෙළඳ යුද්ධය වැනි කරුණු පසුවට ඉතිරි කරමු.)
ඇමරිකාවේ කෘෂිකාර්මික අංශයේ වෙළඳ ශේෂය ධන අගයක් වනවාක් මෙන්ම ඇමරිකාවේ කෘෂි ආර්ථිකයට සාපේක්ෂව ඉතා සුළු අගයක්. ඊට සාපේක්ෂව ආහාර සුබසාධන වැඩසටහන් වල හා ආහාර නාස්තියේ බලපෑම ගොඩක් වැඩියි.
ඇමරිකාවේ ජීවත් වන ආහාර මිල දී ගැනීමේ හැකියාවක් ඇති අයගේ මුළු ආහාර ඉල්ලුම සැපයීමට, එවැනි හැකියාවක් නැති අය වෙනුවෙන් තිබෙන ආධාර වැඩසටහන් හරහා ඇති කෙරෙන අමතර ඉල්ලුම සැපයීමට මෙන්ම, සැලකිය යුතු නාස්තියක් දරා ගැනීමටද ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනයක් ඇමරිකාව තුළ සිදු වෙනවා. මේ වෙනුවෙන් දායක වෙන්නේ ඇමරිකාවේ ශ්‍රම බලකායෙන් 1.5%ක පිරිසක් පමණයි. ඒ කියන්නේ රටේ ශ්‍රම බලකායෙන් 98.5%කටම කෘෂිකාර්මික අංශයේ රැකියා අහිමි වෙලා. ඒ අය පාරට වැටිලද?
රටේ ශ්‍රම බලකායෙන් 1.5%ක් පමණක් රටට අවශ්‍ය ආහාර ප්‍රමාණය නිෂ්පාදනය කරද්දී අනෙක් පිරිස රැකියා නැතිව නිකම් ඉන්නවානම් අවසාන වශයෙන් රට හිටපු තැනමයි. අර ලබා ගත්තු කෘෂිකාර්මික අංශයේ ඉහළ ඵලදායීතාවයෙන් ටික දෙනෙකුට යහපතක් වී ඇතත් (හෝ එසේ පෙනෙන්නට තිබුණත්) සමස්තයක් ලෙස රට හිටපු තැනමයි. අන්තිමට සිදු වෙලා තියෙන්නේ රටේ ආදායම් විෂමතාවය වැඩි වෙන එක පමණයි.
නමුත්, මෙය මේ විදිහට සිදු වෙන්න විධිහක් නැහැ. රටේ 98.5%ක් රැකියා නැතිව සිටියොත් ඉතිරි 1.5% විසින් හදන ආහාර මිල දී ගන්න ඒ අයට හැකියාවක් නැහැ. ඒ නිසා ආහාර වලට ඉල්ලුමක් නැහැ. ඉල්ලුමක් නැති නිසා ආහාර හදන අයට ඒ ආහාර විකුණගන්න බැහැ. ඒ නිසා ආදායමකුත් නැහැ. ඒ නිසා, මේ වගේ තත්ත්වයක් පවතින්නනම් අනිවාර්යයෙන්ම ඉතිරි 98.5% විසින් වෙන කවර හෝ රැකියාවක් කළ යුතුයි. නිෂ්පාදනයක් කළ යුතුයි. ආදායම් ඉපැයිය යුතුයි.
පසුගිය 2019 වසරේ ඇමරිකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 21,427ක්. නමුත්, එයින් කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල නිෂ්පාදිතය ඩොලර් බිලියන 169.2ක් පමණයි. ඒ කියන්නේ, දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.8%ක් පමණයි. කෘෂිකර්ම, වන, ධීවර හා දඩයම් අංශ වල සේවය කරන ශ්‍රම බලකායෙන් 1.5%ක් වූ මිලියන 2.4ක පිරිස ඩොලර් බිලියන 169.2ක අගය එකතු කිරීමක් කරන අතරතුර මිලියන 155.1ක ඉතිරි ශ්‍රමිකයින් පිරිස විසින් ඩොලර් බිලියන 21,257ක අගය එකතු කිරීමක් කරලා තිබෙනවා. එහෙමනම් වඩා කාර්යක්ෂම කොයි කණ්ඩායමද?
ධනවාදී තරඟය හමුවේ ඇමරිකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉතිරි වී සිටින්නේ ඒ වැඩේට වඩාත්ම කාර්යක්ෂම පිරිසනේ. ඒ කියන්නේ කෘෂිකර්මයෙන් ඉවත් වෙලා තියෙන්නේ සාපේක්ෂව අකාර්යක්ෂම පිරිසක්. මෙය හරියටම නිවැරදි නැතත් දැනට අපි පහසුවට එහෙම කියමුකෝ. නමුත්, එසේ එළියට ගිය ශ්‍රමිකයින් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඉතිරි වූ පිරිස මෙන් දෙගුණයක දායකත්වයක් ආර්ථිකයට ලබා දෙන්න සමත් වී තිබෙනවා. සමස්තයක් ලෙස කෘෂිකාර්මික අංශයේ එක් ශ්‍රමිකයෙන් ඩොලර් 70,000ක අගය එකතු කිරීමක් කරද්දී කෘෂිකාර්මික නොවන අංශයක ශ්‍රමිකයෙක් ඩොලර් 137,000ක අගය එකතු කිරීමක් කරනවා. මේක වුනේ කොහොමද?
මිනිස්සු එකිනෙකා වෙනස්. ඒ අයගේ කුසලතා වෙනස්. වෙළඳපොළ පුළුල් වෙනවා කියා කියන්නේ හැම දෙනෙක්ම හැම දෙයක්ම කරන තැන ඉඳලා එක් එක් පුද්ගලයා තමන් වඩා කැමතිම, වඩා දක්ෂම දේ කරන තැන දක්වා ආර්ථිකය පරිණාමය වීමක්. මිනිහෙක් එක වැඩකදී කාර්යක්ෂම නොවුනත් කවර හෝ වැඩකදී කාර්යක්ෂම වෙනවා.
මේ ශ්‍රම විභජනය සමාජවාදීන් පවා එකඟ වෙන දෙයක්. හැම දෙයක්ම තමන් තනිවම කර ගන්න යාම අකාර්යක්ෂම බව සමාජවාදීන් විසිනුත් බොහෝ දුරට අවිවාදිතව පිළිගන්නවා. සමාජවාදයේ ප්‍රශ්නය මෙය සැලසුම්සහගතව කළමණාකරණය කරන්න යාමයි. ඔවුන් අසාර්ථක වන්නේ එතැනදී. මේ කියන පරිණාමය ස්වභාවිකව සිදු වන තරම් ප්‍රශස්ත ලෙස සැලසුම් කරන්න ප්‍රායෝගිකව කිසිවෙකුට හැකියාවක් නැහැ. බාධාවක් නැත්නම් නිදහස් වෙළඳපොළ විසින් අපූරුවට ඒ කාර්යය කරනවා.
(Images: https://www.koreatimes.co.kr/www/common/printpreviews.asp?categoryCode=103&newsIdx=262692)


