Thursday, February 28, 2019

කොටි නැගිටිනු දුටු ගංජා කාරයා


පහුගිය දවස් වල මත්ද්‍රව්‍ය හා අදාළ පුවත් ගණනාවක් ලංකාවේ ජනමාධ්‍ය වල පළ වුනා. ඩුබායි හෝටලයේ උපන් දින සාදයේ විස්තර ඉවර වෙන්නත් කලින් ලංකාවෙන් විශාල මත්ද්‍රව්‍ය තොග අහු වූ බව වාර්තා වුනා.

ගංජා කියන්නෙත් ලංකාවේ නීති විරෝධී මත්ද්‍රව්‍යයක්. ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්ත වල මේ වන විට ගංජා භාවිතය නීති විරෝධී සේ නොසැලකෙන නමුත් ටෙක්සාස් වගේ ගොඩක් ප්‍රාන්ත වල තවමත් ගංජා කියන්නේ නීති විරෝධී මත්ද්‍රව්‍යයක්.

සති දෙක තුනකට කලින් ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් කිට්ටුව පොලීසියකට "වගකිවයුතු පුරවැසියෙකුගෙන්" දුරකථන ඇමතුමක් ලැබී ලැබෙනවා.

"හලෝ, ඔය පොලීසියද?"

"ඔව්, පොලීසිය තමයි. මොකක්ද ප්‍රශ්නේ?"

"පොඩි ඔත්තුවක් දෙන්නයි කතා කළේ..."

"ඔව්, කියන්න."

"මේ හරියේ ගෙදරක කොටියෙක් ඉන්නවා..."

"කොටියෙක්...?"

"ඔව්, කොටියෙක් තමයි!"

කවුරු හරි කෝල් කරලා ගෙදරක කොටියෙක් නැත්නම්, මිනී මෝරෙක් ඉන්නවා කිවුවට පොලීසිය එක පාරටම කලබල වෙන්නේ නැහැනේ. බොරුවක් වෙන්න බැරිද? නැත්නම් මේ කෝල් කරන්නේ මොකක් හරි මානසික ආබාධයක් තියෙන කෙනෙක් වෙන්න බැරිද?

"තව ටිකක් විස්තර කියන්න පුළුවන්ද? කොහොමද කොටියව දැක්කේ?"

පොලීසිය වැඩිපුර විස්තර අහල බලද්දී කෝල් එක දීල තියෙන්නේ ගංජා භාවිතයට ඇබ්බැහි වී සිටින කෙනෙක්. මේ පුද්ගලයා ඔය කොටියා හිටපු ගෙදරට රිංගලා තියෙන්නේ නිවාඩු පාඩුවේ සූස්තියක් අදින්නයි. ගෙදර කවුරුවත් නැති නිසා වැඩේට හොඳ තැනක් කියලා හිතල තියෙනවා. නමුත්, ගේ ඇතුළට රිංගුවට පස්සේ....

"අම්මටසිරි! කොටියෙක් නේද...?"

දැන් මේ ඔත්තුව ලබාගත් පොලිස් නිලධාරියාට ඔය කතාව විශ්වාස කරන්න පුළුවන්ද? මේ කියන්නේ ගංජා මත වැඩිකමට දැකපු දෘෂ්ඨි මායාවක් ගැන වෙන්න බැරිද?

වැඩිදුර විස්තර ඇහුවට පස්සේ පොලිස් නිලධාරියාට තේරෙනවා මේ කතාව බොරුවක්ම වෙන්න බැරි බව. ඒ නිසා කියපු ගෙදරට ගිහින් බැළුවහම මෙන්න බඩු!

ගෙදර ළඟට ගිහින් බලද්දී කොටියගේ සද්දේ පොලිස් නිලධාරීන්ට ඇහෙනවා. කොටි ගඳත් එනවා. ඒත් උසාවි අවසරයක් නැතුව ගේ ඇතුළට යන්න බැරි නිසා ඒ අවශ්‍ය කටයුතු කරගෙන නැවත ආපහු ඇවිත් බලන කොටත් ගරාජ් එක ඇතුලෙ කූඩුවක කොටිය ඉන්නවා.

කොටියට කෑමෙන් බීමෙන්නම් අඩුපාඩුවක් කරලා නැහැ. නමුත් ව්‍යායාම මදිකම නිසා ටිකක් වැඩිපුර මහත් වෙලා. අන්තිමට කොටියට සත්ව නිවහනකට යන්න අවස්ථාව ලැබෙනවා. කොටියා පැත්තක ඉඳිද්දී ගංජා ළඟ තබා ගැනීම හෝ අනවසරයෙන් අනුන්ගේ ගෙදරකට රිංගීම මත ඔත්තුව දුන්න මනුස්සයාව අත් අඩංගුවට අරගෙනනම් නැහැ.

කොටියෙක් දැක්කා කියල කවුරු හරි කිවුවොත්, කිවුවේ ගංජා ගහපු කෙනෙක් වුනත් ටිකක් හොයල බලන එක නරකම නැහැ. නැත්නම් හිර කරලා ඉන්න අහිංසක කොටියෙක්ට නිදහස් වෙන්න තියෙන අවස්ථාව නැති වෙන්න පුළුවන්.

(Image: https://personalusenyc.wordpress.com/2012/10/02/strain-of-the-day-white-widow/)

Thursday, February 21, 2019

ඔබේ සුසුමේ සුව දැණුනේ...


පරිණාමයේ එක අවදියකදී මිනිස් ගැහැණියකගේ කුසේ දරුවෙකු පිලිසිඳ ගත හැකි හා නොහැකි අවස්ථා පිළිබඳව ඈ දෙස පිටින් බලා නිගමනය කිරීමේ හැකියාව නැතිව ගොස් තිබීම ගැනත්, ඒ හේතුව මිනිස් ගැහැණියක් හා මිනිස් පිරිමියෙක් දිගුකාලීනව එකතු කර තබන්නට හේතු වී තිබීම ගැනත් පෙර ලිපියක කතා කළා. මේ පුරුද්ද නිසා මිනිස් දරුවෙකුට වෙනත් සතුන්ට සාපේක්ෂව වැඩි කලක් දෙමවුපියන්ගේ රැකවරණය ලැබීමත්, උඩ පරම්පරාවකින් පහළ පරම්පරාවට ජාන වලට අමතරව "දැනුම" කියා දෙයක් සම්ප්‍රේෂණය වීමත් සිදුවෙන්න පටන් ගත්තා.

ඒ විදිහට පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන දැනුම් සම්භාරය ක්‍රමයෙන් විශාල වෙද්දී, මිනිස් දරුවෙකුට පිරිපුන් මිනිසෙකු වෙන එක වඩා වැඩි කාලයක් ගත වන කටයුත්තක් බවට පත් වුනා. මිනිස් දරුවන්ට දෙමවුපියන්ගේ රැකවරණය වැඩි වැඩියෙන් අවශ්‍ය වුණා. දරුවෙකුට මේ රැකවරණය වැඩිපුරම ලැබුණේ මවගෙනුයි. දරුවෙකුගේ මව කවුද කියන එක සැක සහිත දෙයක් නොවන නිසා එය එසේ වීම පුදුමයක් නෙමෙයි.

වැඩි වැඩියෙන් දරුවන් වදන හා හදන මිනිස් ගැහැණියකට තමන්ගේ හා දරුවන්ගේ පෝෂණය සඳහා අවශ්‍ය සම්පත් සොයා යන්න ප්‍රමාණවත් කාලයක් ඉතිරි වෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නයට විසඳුම වන්නේ අවශ්‍ය සම්පත් වැඩියෙන් සම්පාදනය කළ හැකි මිනිස් පිරිමියෙක්ව තෝරා ගැනීමයි. ඒ නිසා වැඩි සම්පත් ප්‍රමාණයක් සැපයිය හැකි මිනිස් පිරිමින්ට මිනිස් ගැහැණුන්ගේ ඉල්ලුම වැඩි වුනා. මුල් කාලයේදී එවැනි පිරිමින් වුනේ වඩා ශක්ති සම්පන්න හා ශරීර ප්‍රමාණයෙන් සාපේක්ෂව විශාල පිරිමින්. එවැනි පිරිමියෙකුට ගැහැණුන් සොයා ගැනීම අපහසු වුනේ නැහැ.

මිනිස් ගණනයක වැඩි ගැහැණුන් පිරිසකගේ ආකර්ශනය ලැබුවේ ගහණයේ සිටි හැඩිදැඩි පිරිමින්. ඔවුන් ගහණයේ වඩා ආකර්ශනීය මිනිස් ගැහැණු ටික මුලින්ම තෝරා ගත්තා. ඉන්පසුව ඉතිරි වූ ගැහැණුන්ට ආකර්ශනය කර ගත හැකිව තිබුණේ සම්පත් සැපයීමක් ලොකුවටම කළ නොහැකි වූ සෝමාරි පිරිමින්.

කෙසේ වුවත්, එවැනි ගැහැණුන්ට දෙවන විකල්පයකුත් තිබුණා. ඒ හැඩිදැඩි පිරිමියෙක්ගේ දෙවන බිරිඳ වීම. එහිදී සම්පත් බෙදී යාමක් සිදුවුණත් ඇතැම් විට හැඩිදැඩි පිරිමියෙකුගේ සම්පත් වලින් අඩක් සෝමාරි පිරිමියෙකු විසින් සපයන මුළු සම්පත් ප්‍රමාණයට වඩා වැඩි වූ නිසා මේ පුරුද්දේ පරිණාමික වාසියක් තිබුණා.

ඉහත හේතුව නිසා, මිනිස් ඉතිහාසයේ බොහෝ කාලයක් පුරාවටම ගණනයේ ශක්තිමත්ම මිනිසුන්ට සහකාරියන් එක් අයෙකුට වඩා සිටිද්දී, දුර්වලම මිනිස් පිරිමින්ට සහකාරියක නොලැබී යාම නිසා ඔවුන්ගේ ජාන ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය වුනේ නැහැ.

මිනිස් පිරිමියෙක් ශරීර ප්‍රමාණය අනුව මිනිස් ගැහැණියකට වඩා 15%කින් පමණ විශාලයි. එයින් පෙනෙන්නේ කාලයක් තිස්සේ දිගින් දිගටම ශරීර ප්‍රමාණයෙන් විශාල පිරිමින්ට තමන්ගේ ජාන ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්න වැඩි ඉඩක් ලැබී තිබෙන බවයි.

කාලයත් එක්ක මිනිසුන් වැඩි වැඩියෙන් දැනුමෙන් සන්නද්ධ වෙද්දී ශ්‍රමයේ ඵලදායීතාවය ඉහළ ගිහින් මිනිසුන්ගේ අතිරික්ත ශ්‍රමය ප්‍රාග්ධනය බවට පරිවර්තනය වෙද්දී, ජාන හා දැනුමට අමතරව ප්‍රාග්ධනයත් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේශනය වෙන්න පටන් ගත්තා. පසුකාලීනව ගැහැණියකට වැඩියෙන් සම්පත් සැපයිය හැකි පිරිමියෙක් වුනේ වැඩි ප්‍රාග්ධනයකට හිමිකම් කී පිරිමියෙක්. ඒ එක්කම හැඩි දැඩි පිරිමින් සතු වූ ගැහැණුන්ගේ කැමැත්ත ප්‍රාග්ධනය හිමි පිරිමි වෙත විතැන් වෙන්න පටන් ගත්තා. කෙසේ වුවත්, මෙවැනි වෙනසක් එක වර වෙන්නේ නැහැ. ඒ නිසා, හැඩි දැඩි පිරිමින්ට මිනිස් ගැහැණුන්ගේ වන ආකර්ශනය තවමත් මුළුමනින්ම ක්ෂය වී නැහැ.

ශරීර ප්‍රමාණය, ප්‍රාග්ධනය හෝ බලය තිබෙන පිරිමින් විසින් සහකාරියන් එක් අයෙකුට වඩා වැඩි ප්‍රමාණයක් අයිති කර ගැනීමත් ඒ දේවල් නොතිබුණු පිරිමින්ට සහකාරියක නොලැබී යාමත් බොහෝ සමාජ වල කාලයක් තිස්සේ සිදු වූ දෙයක්. මේ පුරුද්ද ක්ෂය වී ගිහින් එක් ගැහැණියක හා එක් පිරිමියෙකු අතර විවාහය සම්මතය බවට පත් වීම සිදු වුනේ බටහිර සංස්කෘතිය පැතිරීමට සමාන්තරවයි. මැද පෙරදිග කලාපයේ මුස්ලිම් රටවල හා බොහෝ අප්‍රිකානු රටවල අදටත් එක් පිරිමියෙක් හා ගැහැණු කිහිප දෙනෙක් අතර සිදුවන බහු විවාහ සාමාන්‍ය දෙයක්.

අද අප බටහිර සංස්කෘතිය සේ හඳුනා ගන්නා සංස්කෘතියේ මූලිකාංග බොහොමයක්ම පැරණි ග්‍රීසිය ආශ්‍රිතව බිහිවූ දේවල්. හෙලනික සංස්කෘතිය ලෝකයේ ප්‍රධාන සංස්කෘතිය බවට පත් වීම පිටුපස මහා ඇලෙක්සැන්ඩර් විසින් කර තිබෙන කාර්ය භාරය ඉතා විශාලයි.

අධිරාජ්‍යයන් බිහි කර ව්‍යාප්ත කළ වෙනත් බොහෝ පුද්ගලයින් වගේම මහා ඇලෙක්සැන්ඩර් වීරත්වයට පත් වන්නේත් "මහා" වෙන්නේත් යුද්ධයෙහි දැක්වූ සාමාර්ථය මතයි. පැරණි ග්‍රීසියේ සිට උතුරු අප්‍රිකාව, මැද පෙරදිග හා බටහිර ඉන්දියාව දක්වා විශාල ප්‍රදේශයක් ආවරණය වන අධිරාජ්‍යයක් මහා ඇලෙක්සැන්ඩර් විසින් ගොඩ නගනවා. ඇලෙක්සැන්ඩර්ගේ අකල් මරණයෙන් පසුව ඔහු විසින් ගොඩ නැගූ අධිරාජ්‍යය කෑලි වලට කැඩී ගියත් හෙලනික සංස්කෘතියේ බලපෑම ඒ ප්‍රදේශ වල තව දුරටත් ඉතිරි වෙනවා.

යුරෝපීයයන්ට යටත් වෙන්න කලින් ලංකාවේ බහුභාර්යා විවාහ වගේම බහුපුරුෂ විවාහත් අසම්මත දේවල් සේ සැලකී නැහැ. ලෝකයේ වෙනත් බොහෝ රටවල වගේම ලංකාවේත් ඒකවිවාහ ප්‍රචලිත වන්නේ ක්‍රිස්තියානි බලපෑම් එක්කයි. එහෙත්, ඒකවිවාහ කියන්නේ මුල සිටම ක්‍රිස්තියානියේ වූ අංගයක් නෙවෙයි. මෙය ක්‍රිස්තියානි සංස්කෘතියේ කොටසක් බවට පත් වෙන්නේ ක්‍රිස්තියානිය මැද පෙරදිග කලාපයේ සිට යුරෝපයට පැතිරෙද්දීයි. ඒකවිවාහ කියන්නේ ක්‍රිස්තියානිය පැතිරෙන්න පෙර හෙලනික සංස්කෘතිය තුළ ප්‍රචලිත වූ සමාජ සම්මතයක්.

කිසියම් සංස්කෘතියක් තිබෙන ප්‍රදේශයක් වෙනස් සංස්කෘතියක් තිබෙන කණ්ඩායමකගේ පාලනයට නතු වූ පමණින් දෙවන කණ්ඩායමේ සංස්කෘතිය මුල් සංස්කෘතිය වෙනුවට ආදේශ වන්නේ නැහැ. මේ වගේ අවස්ථාවක සැපයුම් සාධක වලට අමතරව ඉල්ලුම් සාධකත් බලපාන බව අමතක නොකළ යුතුයි. බොහෝ විට එවැනි ආදේශනයක් සිදුවන්නේ ආගන්තුක සංස්කෘතිකාංගයකට කිසියම් පරිණාමික වාසියක් ඇති විටයි.

ඒකවිවාහ කියන්නේ හෙලනික සංස්කෘතිය තුළ ඇති වූ විකෘතියක්. පරිණාමික අර්ථයෙන් විකෘතියක් කියන්නේ නරක දෙයක් කියන එක නෙමෙයි. සාමාන්‍ය සම්මතයට වඩා වෙනස් දෙයක් කියන එකයි. එය හොඳ හෝ නරක වෙනසක් වෙන්න පුළුවන්. මේ හොඳ හෝ නරක තීරණය කරන්නේ කාලය විසින්.

බොහෝ විකෘතීන් පරිණාමික වාසියක් නැති විකෘති. මේ කරුණ ජානමය විකෘති වලට වගේම සමාජයීය විකෘති වලටත් අදාලයි. එවැනි විකෘති වලට පැවැත්මක් නැහැ. එහෙත් ඇතැම් විකෘති පවතින තත්ත්වයට සාපේක්ෂව වඩා වාසිදායකයි.

මේ වාසිදායකකම තීරණය වන්නේත් බාහිර සාධක මතයි. උදාහරණයක් ලෙස උෂ්ණත්වය අඩුවෙන් දැනීමේ ජානමය විකෘතියක් ගැන හිතමු. කාන්තාර දේශගුණයකදී මෙය වාසියක් වුවත් ධ්‍රැවාසන්න ප්‍රදේශයකදීනම් අවාසිදායක කරුණක්. සංස්කෘතික හෝ සමාජයීය විකෘති වලටත් මේ කරුණ අදාළයි.

සමාජ සම්මතය ඒක විවාහ වූ සමාජයක් ස්වභාවිකත්වයෙන් දුරස්ථ වුවත් වඩා "සාධාරණ" සමාජයක්. එවැනි සමාජයක සමාජ ස්ථරයේ පහළින්ම ඉන්න පිරිමියෙක්ට වුවත් සහකාරියක සොයා ගැනීමට සැලකිය යුතු ඉඩකඩක් තිබෙනවා. සමාජයක බහුභාර්යා සේවනය වැඩි වැඩියෙන් ප්‍රචලිත වෙද්දී පහළ තට්ටුවේ පිරිමින්ට ගැහැණු හොයා ගැනීම වඩ වඩා අසීරු වෙනවා.

කලින් කී පරිදි ප්‍රාග්ධනය හා බලය වැඩිපුර තිබෙන පිරිමියෙකුට වැඩි සහකාරියන් පිරිසක් සමඟ පවුල් කන්න පුළුවන්. එවැනි අය වැඩි වන තරමට පහළ තට්ටුවට ඉතිරි වන ගැහැණු ප්‍රමාණය අඩු වෙනවා. සමාජයක් ලෙස වඩා සෞභාග්‍යමත් වෙද්දී ස්වභාවිකවම සම්පත් බෙදී යාමේ විෂමතාවයනුත් වැඩි වෙනවා. ඉහළ තට්ටුව සතු ප්‍රාග්ධනය හා බලය වැඩි වෙද්දී ඔවුන් විසින් ගැහැණුන්ගෙන් වැඩි කොටසක්ද අයිති කර ගන්නවා. පහල තට්ටුවේ පිරිමින්ට තනිකඩයින් වෙන්න වෙනවා.

පිරිමියෙකුට ගැහැණියක් හොයා ගැනීම අමාරු වන විට ඔවුන් එය වඩා පහසුවෙන් කළ හැකි ප්‍රදේශයකට සංක්‍රමණය වෙන්න පෙළඹෙනවා. ඒ කියන්නේ ආදායම් විෂමතා වැඩි තැනක ජීවත් වන අඩු ආදායම්ලාභී පිරිමි ගැහැණුන් සොයා ආදායම් විෂමතා අඩු ප්‍රදේශ වලට සංක්‍රමණය වෙනවා. එසේ වෙද්දී, එවැනි සමාජයකට යුද්ධයකට අවශ්‍ය සොල්දාදුවන් සොයා ගැනීම වඩ වඩා අසීරු වෙනවා. පිරිමි වැඩි සමාජයකට යුධමය වාසියක් ලැබෙනවා.

දැන් මේ සිදුවීම් වල චක්‍රීය බලපෑම පැහැදිලි විය යුතුයි. යුදමය ශක්තිය වැඩි රටක් වඩා පොහොසත් වෙද්දී ඒ රටේ ආදායම් විෂමතාවය වැඩි වෙනවා. ගැහැණු බෙදී යාමේ විෂමතාවයත් වැඩි වෙනවා. එවිට ඒ රටේ පිරිමි රටින් පිටතට සංක්‍රමනය වෙනවා. එසේ යන්නේ ආදායම් විෂමතා අඩු සාපේක්ෂව දුප්පත් රටකටයි. එවිට ඒ දුප්පත් රටේ පිරිමි ප්‍රමාණය වැඩි වී යුදමය ශක්තිය වැඩි වෙනවා. ඒ රට පෝසත් වෙනවා. නැවත ඒ රටටත් පළමු රටට සිදු වූ දෙයම වෙනවා. මේ ක්‍රියාවලිය අධිරාජ්‍යය බිහිවීමේ ක්‍රියාවලියට යම් පමණකින් තිරිංග හෙළනවා.

හෙලනික සංස්කෘතිය ඇතුලෙ සිදු වූ ඒකවිවාහ සම්මතය නම් වූ "විකෘතිය" නිසා ඉහත චක්‍රය කැඩුණා. රටේ ප්‍රාග්ධන සංචිත වර්ධනය වීම හා ආදායම් විෂමතා ඉහළ යාම සිදු වෙද්දී ඒ හේතුව නිසාම සමාජයේ පහළ ස්ථර වලට වූ පිළිගැනීම නැති වී ගියේ නැහැ. දුප්පත් මිනිහෙක්ට වුනත් ගැහැණියක් හොයා ගන්න පුළුවන් වුනා. ඔහුටත් පොහොසතෙක්ට වගේම මිනිහෙක් ලෙස සමාජයේ පිළිගැනීමක් ලැබුණා. ආර්ථික සෞභාග්‍යයට හා සමාජ සාධාරණත්වයට එක්ව පවතින්න පුළුවන් වුනා. මෙය ඒ කාලයේ වෙනත් බොහෝ සමාජ වලට සාපේක්ෂව වෙනස් තත්ත්වයක්.

ඇලෙක්සැන්ඩර් විසින් තමන්ගේ අධිරාජ්‍යය ව්‍යාප්ත කරද්දී අලුතෙන් අල්ලා ගත් ප්‍රදේශ වල ජීවත් වූ මිනිස්සු හෙලනික සංස්කෘතියේ වූ සමාජ සාධාරණත්වයට ආකර්ශනය වුනා. ඒ සමාජ සාධාරණත්වය ගැහැණුන්, ළමුන් හෝ වහලුන් දක්වා ව්‍යාප්ත නොවූ සීමිත එකක් වුවත් අඩු ආදායම්ලාභී වැඩිහිටි පිරිමියෙකුට සමාජයේ කිසියම් පිළිගැනීමක් ලැබීම ඒ කාලයේ හැටියට ලොකු වෙනසක්. ඒ නිසා සහ තවත් හේතු නිසා, ඇලෙක්සැන්ඩර් අකාලයේ මිය ගියත් හෙලනික සංස්කෘතිය අකාලයේ මැරුණේ නැහැ.

(Image: https://gkdata.gr/marriage-in-ancient-greece/)

Tuesday, February 19, 2019

කැලේ ගහක මල් පිපිලා...


කලින් ලිපියේ ලියූ කැලේ ගහක් වැටුනොත් සද්දයක් ඇහෙනවද කියන එක ගැන විස්තර කරන්න කියා පාඨකයෙක් ඉල්ලා හිටියා. ඒ කතාව ගැන වැඩි විස්තර මේ විකිපීඩියා පිටුවේ තියෙනවා. සමහර වෙලාවට ලොකුවට සද්දේ ආවත් ඇත්තටම ගහක් වැටිලා නැහැ. එහෙම වෙන්නේ කැලේ ගහක් (නො)වැටෙන වෙලාවට නෙමෙයි. මහ සෙනග මැද්දේ නගරයේ පාරක් අයිනේ තියෙන දැවැන්ත ගහක් (නො)වැටෙන වෙලාවටයි. සද්දේ හිමීට අඩු වෙලා ගියාට පස්සේ ගහ ඇත්තටම වැටෙනවා. ඒ වෙලාවට සද්දේ අහන්න කවුරුත් නැහැ. අර ඕෂල හේරත් හා දඹර අමිල හිමි දමපු මූලික අයිතිවාසිකම් නඩු වලට වෙන්නෙත් ඒ වගේ දෙයක්ද මන්දා.

කලින් ලිපියේ ලියූ ජනකතාවේ කාන්තාවට වල ඇතුළේදී නැවත සිහිය ආවට පස්සේ හොරු පෙට්ටිය ඇරපු නිසා නැවත එළියට එන්න පුළුවන් වුනා. අහම්බෙන් ඒ වගේ දෙයක් නොවුනානම් ඇය පසු දවසක කිසිවෙකු නොදැන වල ඇතුලේ ඇත්තටම මැරෙනවා. එහෙම මැරුණු අයත් ඇති. කවුද දන්නේ?

මිනිහෙක්ව මැරෙනවා කියන එක අපිට එක පාරට පේනවා වගේ නිශ්චිත භෞතික සිදුවීමක් නෙමෙයි. ඇත්තටම කියනවානම් මරණය කියන්නේ සමාජ සම්මතයක්. හැම වෙලාවෙම වගේ මිනිහෙක්ව මරා දමන්නේ "ජීවත් වන" අනෙක් මිනිස්සු විසිනුයි. එය ආර්ථික සාධක, ආචාර ධාර්මික සම්මත, සංස්කෘතික කරුණු, දැනුමේ සීමා ආදිය මත තීරණය කෙරෙන දෙයක්. අනෙක් මිනිස්සුන්ට කෙනෙක්ව ජීවත්ව තබා ගැනීම අවශ්‍ය නොවූ විට ඔහුව හෝ ඇයව මැරුණු කෙනෙක් විදිහට නම් කෙරෙනවා.

සමරිසි සේවනය ගැන ලියද්දී කියූ විදිහට මානසික හා ශාරීරික රෝග කියන්නේ සමාජ සම්මත. මේ දේවල් අර්ථ දක්වන්නේ ප්‍රකෘති මිනිස් ස්වභාවයට සාපේක්ෂව. නමුත් මේ ප්‍රකෘති මිනිස් ස්වභාවය කියන එක නිශ්චිත දෙයක් නෙමෙයි.

එක දෙයක් පැහැදිලියි. ප්‍රකෘති මිනිසෙක් ජීවත් වන මිනිසෙක් මිසක් මියගිය අයෙක් වෙන්න බැහැ. නමුත්, ප්‍රකෘති මිනිසා කියන සම්මතය වෙනස් වෙද්දී ජීවිතය හා මරණය අතර සීමාවත් වෙනස් වෙනවා. ඒ නිසා, මානසික හා ශාරීරික රෝග වගේම මරණය කියන්නෙත් සමාජ සම්මතයක්. මැරුණු මිනිහෙක් හා ජීවත් වන මිනිහෙක් අතර භෞතික වෙනස්කම් ඉරක් ඇඳලා වෙන් කරන්න බැහැ.

ලිපිය වෙනදාට වඩා කෙටියි තමයි. මගේ ලිපි වල වචන ගණන තීරණය වෙන්නේ සන්දර්භය මතයි.


(Image: https://www.emlawoffices.com/blog/fallen-tree-kills-director-new-jersey-cancer-society)

Saturday, February 16, 2019

මරණය නියතද?


මේ දවස් වල බ්ලොග් ලිපියක් ලියනවා කියන එක ගොඩක් වියදම් අධික වැඩක්. ඒ වෙනුවෙන් කාලය යොදවන්න වෙන්නේ ඊට වඩා වැදගත් වැඩ ගණනාවකින් මොකක් හෝ එකක් පැත්තකින් තියලයි. එහෙම වුනත් ඉතිං හදාගත්ත දරුවා නිකම්ම මැරෙන්න අරින්නත් බෑනේ. බ්ලොග් එක අමාරුවෙන් හරි පණ පිටින් තියා ගන්න අතරින් පතර හෝ මොනවා හරි ලියන්නේ නැතුව කොහොමද? අර කියන්නේ අවම බලය යොදවනවා කියලා. අඩු ගානේ ඒ වගේ වැඩක්වත් කරන්න එපායැ.

ඉංග්‍රීසින් ලංකාවට එන කාලේ ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ගේ ආර්ථික සෞභාග්‍යය ගැන ෆර්ගසන්ගේ ලියවිල්ලක තිබුණු දෙයක් අනුව ඒ කාලයේ ලංකාවේ මිනිස්සුන්ගේ ආහාර පරිභෝජනය ප්‍රමාණවත් වෙලා තියෙන්නේ යාන්තමින් සිරුර හා ආත්මය එකට තියා ගන්න පමණයි. ඒ කියන්නේ ඒ කාලේ ලංකාවේ මිනිස්සු කරලා තියෙන්නේ ශරීර කූඩුව එක්තැන්ව තියා ගන්න අවශ්‍ය අවම බලය එයට සපයන එක විතරයි. හැබැයි ඒ ගැන ඔවුන් කණස්සල්ලෙන් සිට නැහැ.

ෆර්ගසන්ගේ ඔය ප්‍රකාශයෙන් පේනවා ඔහු ජීවිතය කියා විශ්වාස කළේ මොකක්ද කියන එක. මිනිහෙක්ගේ ආත්මය ශරීර කූඩුව ඇතුළේ හිර කරගෙන හිටිය හැකි තාක් කල් මිනිහෙක් ජීවත් වෙනවා. ආත්මය ශරීරයෙන් පිට වී ගියාට පස්සේ මිනිහා මැරෙනවා. හැබැයි ඒ විදිහට විනාශ වෙන්නේ භෞතික ශරීරය විතරයි. ශරීරයෙන් පිටව ගිය ආත්මය වෙන තැනක ස්ථිරව තියෙනවා.

ආත්මවාදය ගොඩක් පැරණි අදහසක්. අදටත් ලෝකයේ ප්‍රධාන ආගම් ගණනාවක්ම අදහන මිනිස්සු ස්ථිර ආත්මයක පැවැත්ම විශ්වාස කරනවා. ඒ අනුව මරණය කියා කියන්නේ ඔය ස්ථිර ආත්මය සිරුරෙන් ඉවත්ම යාමයි. ඔය කියන විදිහේ ආත්මයක් කියා එකක් නැති බවත් සිරුර කියන්නේ එය හැදී තිබෙන භෞතික කොටස් පමණක්ය කියන එකත් විශ්වාස කරන අනාත්මවාදීනුත් සෑහෙන කාලෙක සිටම ඉඳලා තියෙනවා. දැනුත් ඉන්නවා.

බෞද්ධ අදහස ආත්මවාදය හා අනාත්මවාදය යන දෙකම ප්‍රතික්ෂේප කිරීම බව අවිවාදිත කරුණක්. ඔය දෙකම ප්‍රතික්ෂේප කළාම තත්ත්වය ඔය දෙකෙන් එකක් තරම්වත් සරල නැහැ. ඒ නිසා, මට තේරෙන හැටියටනම්, මේ ගැන බෞද්ධ අදහස කියා විවිධ අය ඉදිරිපත් කරන්නේ එකම අදහස නෙමෙයි. තමතමන් තේරුම් ගන්න දෙය.

හරි. ඔය ඔක්කොම පැත්තකින් තියමු. අපි එක්ක ජීවත් වූ ගොඩක් අය මිය ගිහින් තිබෙනවා. ඒ විදිහට මැරුණු අය නැවත අප අතර ජීවත්ව නොසිටින බව පැහැදිලියි. ඒ කියන්නේ මරණය කියා ආපසු හැරවිය නොහැකි සේ පෙනෙන කිසියම් සංසිද්ධියක් තිබෙනවා. ජීවත් වන සියල්ලන්ටම ඒ සංසිද්ධියට කවදා හෝ මුහුණ දෙන්න සිදුවන බව අපට පේනවා. ඒ නිසා මරණය නියතයි කියා අප කියනවා. ඔය නියත මරණය ගැන ජීවත් වන අප නිතර අහනවා.

ඇත්තටම මරණය කියා නියත දෙයක් තියෙනවද? එහෙමනම් ඒ මොකක්ද?

මම අහල තියෙන එක ජනකතාවක වඩුවෙක් ඔහුගේ තරුණ බිරිඳට ගොඩක් ආදරෙන් ඉන්නවා. එක දවසක් දර කඩන්න කැලේට යන මේ කාන්තාව නයෙක් විසින් දෂ්ඨ කරනු ලැබ මිය යනවා. ගෙදර තිබුණු අලුත ඉරපු රුක්අත්තන ලෑලි වලින් පෙට්ටියක් හදන වඩුවා තමන්ගේ මිය ගිය තරුණ බිරිඳව වල දමන්නේ ඇගේ කණකර බඩුත් එක්කයි.

පෙට්ටි වල මිනී තැන්පත් කර වල දැමීම ලංකාවේ පෙර සිටම තිබුණු පුරුද්දක් නොවන නිසා මේ කතාව ගොඩක් පරණ එකක් වෙන්න බැහැ. ඒ වගේම, මෑතක් වන තුරුම ලංකාවේ ගොඩක් ගැමියන් සතුවූ වටිනා වස්තු වුණේ ඔය කණකර බඩු ටිකයි. දරුවෙක් අසනීප වුණහම කණකර බඩු උගස් කරන එක එක යුගයක සිංහල චිත්‍රපට හා නවකතා බොහොමයක දකින්න පුළුවන් දෙයක්නේ.

ලංකාවේ පැරණි ගැමියන්ගේ තිබුණු අදහස වුනේ කෙනෙක් මැරුණට පස්සේ මැරුණු කෙනාගේ පාරිභෝගික භාණ්ඩ ප්‍රයෝජනයට ගන්න එක ටිකක් හරි මදි වගේ කියන එකයි. ඒ නිසා, ගොඩක් අය මැරුණු කෙනාගේ පැදුරු කොට්ට ඇඳ ඇතිරිලි ආදිය පන්සලකට දෙනවා. මැරුණු කෙනා ගැන නිතර මතක් වෙන එක වළක්වාගන්න කරපු දෙයක් වෙන්නත් පුළුවන්.

පාංශුකූල සිවුරක් කියන එකෙන් අදහස් වන්නේත් මිනියක් ඔතා සොහොනට විසිකළ රෙද්ද ඇතුළු පොළොවට දිරා යන්න නියමිත අපවිත්‍ර රෙදි වර්ග 23කින් එකක හෝ කිහිපයක කොටස් අරගෙන පිරිසිදුකර කෑලි මූට්ටු කර හදාගන්න සිවුරක් කියන එකනේ. දැන්නම් පාංශුකූල සිවුරු අඳින හාමුදුරුවරු නැහැ. පාංශුකූල දෙනවා කියලා කරන්නේ මතක වස්ත්‍ර පූජා කරන එකනේ.

කොහොම වුනත් රන් රිදී ඇල්ලීමෙන් වැළකී ඉන්න සපථ කර සිටින හාමුදුරු කෙනෙකුට මැරුණු කෙනාගේ කණකර බඩු දෙන්න බැහැනේ. ඒක කවුරුත් දන්නවා. ඒ නිසා, කතාවේ වඩුවා මිනියේ කණකර බඩු ගලවනවා කවුරු හරි දැක්කොත් කියයි "අරෙහෙ ගෑණි මැරිලා. ඒ අස්සේ මූට ගෑණිගේ රත්තරං බඩු වලට තණ්හාසේ!" කියල. ලංකාවේ ගොඩක් මිනිස්සු කැමති තමන් රත්තරන් වගේ වස්තු සම්පත් වලට ලොකු ආසාවක් නැති බව අනික් අයට පෙන්නන්නයි. විශේෂයෙන්ම ගෙදර මරණයක් වෙලා තියෙන වෙලාවක.

ඔහොම කිවුවට මිනියේ රත්තරන් බඩු එක්කම වලලලා දමන එක මොන අපරාදයක්ද? කොහොම හරි අන්තිම මොහොතේ මිනිය වහන්න කලින් අනිත් අයට නොපෙනෙන්න ඔය ටික ගලව ගන්න විදිහකුත් තියෙන්න ඕනැනේ. අර මිනිය තනි කරනවා කියන පුරුද්ද ඇති වෙලා තියෙන්නේ ඔය හේතුව නිසා කියනවනේ. ඕක ප්‍රසිද්ධ රහසක් නිසා අන්තිම මොහොතේ මිනියේ කණකර පාළු වෙලා කියලා දැකපු අය වුනත් ඒක ප්‍රශ්නයක් කරගෙන නැහැ.

කොහොම වුනත්, කතාවේ වඩුවානම් එහෙම කරලා නැහැ. ඔහු ඇත්තටම හිතලා තියෙන්නේ තමන්ගේ ආදරණීය බිරිඳ අහිමි වෙලා තියෙද්දී ඇගේ කණකර බඩු මොකටද කියලයි. එහෙම හිතලා රත්තරන් බඩුත් එක්කම පෙට්ටිය වල දැමූ බව ගමේ හැමෝම වගේ දැකල තියෙනවා.

රත්තරන් බඩු නිකම්ම පොළොවට පස් වෙන්න අරින්න පුළුවන්ද? බෑනේ. ඕක දැකපු ගොඩක් අය වල හාරලා රත්තරන් බඩු ගන්න එක ගැන හීන මවද්දී එයින් කීප දෙනෙක් එකතු වෙලා එදා රෑම වැඩේට බහිනවා. මේ කට්ටිය වල හාරලා පෙට්ටියේ පියන අරිනවා.

මළ කෙළියයි. මෙන්න වඩුවාගේ බිරිඳ නැගිටිනවා. කට්ටිය පණ එපා කියලා දුවනවා. වඩුවාගේ බිරිඳ ආපහු ගෙදර එනවා. ඈ ඇත්තටම මැරිලා ඉඳලා නැහැ. නයි විෂ නිසා සිහි මූර්ජා වෙලයි ඉඳල තියෙන්නේ. කතාවේ කියන හැටියට රුක්අත්තන ලීයට නයි විෂ උරාගැනීමේ හැකියාවක් තියෙනවලු. වත්තේ රුක්අත්තන පැලයක් හිටෙවුවහම නයි එන්නේ නෑ කියල කතාවකුත් මම අහල තියෙනවා. කොහොම වුනත්, හොඳ වෙලාවටයි වඩුවා ඇගේ කණකර ගලවා නොගත්තේ. නැත්නම් ඉතිං නැවත සිහිය ආවත් ඇයට නැවත ගෙදර එන්න ලැබෙන්නේ නැහැ. ඈ හිටියේ  සිහි මූර්ජා වී බව වෙනත් කවුරුවත් දන්නෙත් නැහැ. අර දාර්ශනික ප්‍රශ්නයක් තියෙනවනේ මහ කැලේ මැද්දේ ලොකු ගහක් මුලින් ඉදිරී බිම වැටුණා. නමුත්, ඒ බව කවුරුත් දන්නේ නැහැ. එහෙමනං සද්දයක් ඇහුණද කියලා.

කොයි දේ වෙන්නෙත් හොඳට කියනවනේ. ඒ කියමනට අදාළ කතාවනම් දන්නවා ඇතිනේ. ඒ මේක නෙමෙයි. කොහොම හරි අන්තිමට අර රත්තරන් හොයපු අයට පිං සිද්ධ වෙන්න වඩුවාගේ බිරිඳ නැවත ගෙදර ආවා. ඈ වඩුවා එක්ක තවත් චිරාත් කාලයක් යහතින් ජීවත් වී, දරු මුණුපුරන් රොත්තක්ම හදා ඇත්තටම මිය ගියේ ගොඩක් පස්සේ දවසකයි.

(Image: http://www.info.shalanka.com/famous-people-in-sri-lanka/actorsactresses-people-in-sri-lanka/vijaya-kumaranatunga/)

Saturday, February 9, 2019

සමරිසිතාවය විකෘතියක්ද?


දවස් කිහිපයකට කලින් අපේ පාඨකයෙක් අහල තිබුණා "ලිංගික දිශානතිය/ ආකර්ෂණය වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් ඇතිවෙන දෙයක් නිසා, සමරිසිතාවය විකෘතියක් නෙමේද?" කියලා. මේ ගැන කතා කරනවානම් මානව ජීව විද්‍යාව, මානව පරිණාමය, සමාජ පරිණාමය ආදිය ආවරණය වන තවත් කරුණු රැසක් ගැනම කතා කරලා ඉන්න වෙනවා. බාගෙට කතා කළාම ඉස්මතු වන්නේ වැරදි අදහස්. තනි ලිපියකින් අවශ්‍ය හැම දෙයක්ම කතා කරන්න බැහැ. පුළුවන් තරම් කෙටියෙන් අවශ්‍ය වැදගත්ම දේවල් ටික කතා කරන්න බලමු.

මේ ප්‍රශ්නය ඇතුළේ තවත් ප්‍රශ්න තිබෙනවා. අඩු වශයෙන් මූලික ප්‍රශ්න දෙකක්. ප්‍රශ්නය අහල තියෙන්නෙම "ලිංගික දිශානතිය/ ආකර්ෂණය වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් ඇතිවෙන දෙයක්" කියන පූර්ව උපකල්පනය ඇතුළේ ඉඳලයි. එය හැම විටම එහෙමද? එතකොට "විකෘතියක්" කියන්නේ මොකක්ද?

පරිණාමවාදී දෘෂ්ඨියකින් බලා ඉහත කී පූර්ව උපකල්පනය නිවැරදියි කියා කියන්න පුළුවන්. නමුත්, වර්ගයාගේ පැවැත්ම කියන්නේ වැඩි වැඩියෙන් දරුවන් බිහි කරන එකද?

බොහෝ සතුන් සම්බන්ධව එය එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ වර්ගයා බෝ කිරීම වෙනුවෙන් කරන්න තියෙන්නේ වැඩි වැඩියෙන් ජනිතයන් බිහි කරන එක. කොටසක් මැරෙනවා. ඒ දුර්වල අය. වඩා ශක්තිමත් කොටස ඉතුරු වෙනවා. ඔවුන් පරම්පරාව ඉදිරියට ගෙනියනවා. හදන දරුවන්ගෙන් සෑහෙන කොටසක් දරුවෝ නොහදා පොඩි කාලෙම මැරුණත් වැඩියෙන් දරුවෝ හදපු තරමට වැඩියෙන් දරුවෝ ඉතුරු වෙනවා. වැඩියෙන් දරුවෝ නොහැදුවොත් පරම්පරාව වඳ වෙලා යනවා.

මිනිස්සු සම්බන්ධව මේක වෙන්නේ මේ විදිහටම නෙමෙයි. එයට ජීව විද්‍යාත්මක හා පරිණාමික හේතු තිබෙනවා.

මිනිස් කාන්තාවකගේ කුසේ ඕනෑම වෙලාවක දරුවෙක් පිළිසඳ ගන්නේ නැහැ. එය සිදු විය හැක්කේ ඇගේ ඩිම්බකෝෂයකින්  ඩිම්බයක් නිකුත් වීමෙන් පසු පළමු පැය 24 ඇතුළත පමණයි. මේ කාලය පැය 12ක් තරම් අඩු වෙන්නත් පුළුවන්. ඩිම්බයක් නිකුත් වෙන්නේ දවස් 28කට පමණ වරක් පමණයි. ඇතැම් කාන්තාවන් හා අදාළව මේ කාල පරතරය ඊටත් වඩා වැඩියි.

පිළිසඳ ගැනීමක් වෙන්නනම්, මේ පැය 24 ඇතුළත ඩිම්බය එක්ක ශුක්‍රාණුවක් එකතු විය යුතුයි. ඒ සඳහා එක්කෝ ඒ කාලය තුළ පිරිමියෙක් ඇගේ සිරුර තුළට ශුක්‍රාණු මුදා හැරිය යුතුයි. එසේ නැත්නම්, කලින් ඈ වෙත මුදා හැරිය ශුක්‍රාණු ඒ වන විට ඇගේ ප්‍රජනන පද්ධතිය තුළ නිරුපද්‍රිතව තිබිය යුතුයි. ශුක්‍රාණු වලට සාමාන්‍යයෙන් ගැහැණියකගේ ප්‍රජනන පද්ධතිය තුළ නිරුපද්‍රිතව ජීවත් විය හැක්කේ දින 5-6ක් පමණයි. ඒ නිසා, ලිංගික ආකර්ශනය ඇති වන්නේ වර්ගයාගේ පැවැත්ම පිණිස දරුවන් බිහි කිරීම සඳහාමනම්, ගැහැණු හා පිරිමි ලිංගිකව ආකර්ශනය විය යුත්තේ ගැහැණියකගේ සිරුරෙන් ඩිම්බයක් නිකුත් වෙන්න ආසන්න දින 5-6 ඇතුළත පමණයි.

ගැහැණු හා පිරිමි අතර ලිංගික ආකර්ෂණය ඔය කියන දින 5-6ට සීමා නොවන බව අපි දන්නවා. "අවසර කල් රහස් තැන" ලිංගික ආකර්ශනයක් ඇති වෙන්නේ ගැහැණිය ඉන්නේ මාසික චක්‍රයේ පිළිසිඳ ගැනීමක් සිදුවිය හැකි අවස්ථාවකනම් පමණක් නෙමෙයි. ඒ ඇයි?

පළමුව මිනිස් ගැහැණියක් දෙස බලා ඇය සිටින්නේ දරුවෙකු හැදිය හැකි අවස්ථාවකද නැද්ද කියා පහසුවෙන් දැන ගැනීමේ හැකියාවක් මිනිස් පිරිමින්ට නැහැ. එය මිනිස් පිරිමින්ට සංවේදී වෙනවානම් ඒ ඉතාම යාන්තමිනුයි. ඒ තියා, තමන්ගේ ගර්භාෂයෙන් ඩිම්බයක් නිකුත් වෙන වෙලාව අඩු ගානේ මිනිස් ගැහැණියක්වත් හරියටම දන්නේ නැහැ.

බොහෝ ක්ෂීරපායී සතුන් හා අදාළව මේ තත්ත්වය වෙනස්. ඇතැම් වර්ග වල ගැහැණු සතුන්ගේ සිරුරෙන් ඩිම්බයක් නිකුත් වෙන්න ආසන්න වෙන විට ඇගේ යෝනි පෙදෙසේ හෝ ආසන්න පෙදෙසක පැහැය වෙනස් වෙනවා. එසේ නැත්නම් ඒ පෙදෙස ඉදිමී විශාල වෙනවා. එසේත් නැත්නම් ඒ දවස් වලට ඇගේ සිරුරෙන් කිසියම් රසායනිකයක් නිකුත් වෙනවා. පිරිමි සතුන්ට මේ වෙනස්කම් පැහැදිලිව පෙනෙනවා. නැත්නම් දැනෙනවා. ගැහැණු හා පිරිමි සත්තු අතර ලිංගික ආකර්ශනයක් ඇති වන්නේ එයින් පසුවයි. ඒ නිසා, අනෙක් හැම ක්ෂීරපායී සතාම නොවුනත් බොහෝ සත්තු ලිංගිකව ආකර්ශනය වන්නේ වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් අළුත් ජනිතයින් බිහි කළ හැකි කාල සීමාව ඇතුළත පමණයි. හැමදාම නැහැ. හැමතැනම නැහැ.

පරිණාමයේ යම් අවදියකදී මිනිස්සුන්ගේ ඉහත කී සංවේදීතාවය මුළුමනින්ම වගේ නැති වී ගිහින්. ගැහැණියකගේ සිරුර තුළ ඩිම්බයක් නිකුත් වන අවස්ථාව ඈ දෙස පිටින් බලා හඳුනා ගන්න බැහැ. එය ඇයටවත් දැනෙන්නේ නැහැ. ඒ නිසා මිනිස් ගැහැනියක් ඇගේ මාසික චක්‍රය පුරාම ලිංගිකව සක්‍රීයයි. වෙනත් ඇතැම් සතුන්ට මෙන් ගැහැණියකට ඇගේ මාසික චක්‍රයේ එක් කාලයකදී පිරිමින් ගැන උනන්දුව මුළුමනින්ම නැති වෙන්නේ නැහැ. කොහෙත්ම දරුවකු පිළිසිද නොගන්නා දවස්වලත් ඇයට පිරිමින්ව ආකර්ශනය කරගත හැකියි. මෙහි ප්‍රතිඵලය කුමක්ද?

ගැහැණියකගේ සිරුරේ දරුවෙකු පිළිසිඳ ගන්නා දවස් කිහිපය තුළ පමණක් ඇයව පිරිමියෙකුට ආකර්ශනය වුනානම් බොහෝ විට සිදු වන්නේ ඒ දවස් පහ හය ඇතුළත පමණක් පිරිමියෙකු ඈ ලඟින්ම සිට ඉතිරි දවස් වල වෙනත් සහකාරියන් පස්සේ වැටෙන එකයි. නමුත්, ගැහැණු සිරුරක දරුවෙකු හැදෙන දවස් දැන ගැනීමේ හැකියාව නැති වීම නිසා මිනිස් පිරිමි එක් ගැහැනියක් සමඟ දිගටම ඉන්නවා. මේ සංවේදීතාව නැති වී ඇති වෙනත් ඇතැම් සතුන් අතරත් මේ පුරුද්ද දැකිය හැකියි.

පරිනාමයේදී සිදුවූ මේ වෙනස්කම හේතුවෙන් මිනිස් පිරිමියෙක් එක් මිනිස් ගැහැණියක් සමඟ වැඩි කාලයක් ගත කිරීම නිසා මිනිස් දරුවෙකුට සාමාන්‍යයෙන් නිශ්චිතව හඳුනාගත හැකි ජීව විද්‍යාත්මක පියෙක් ඉන්නවා. ඒ ගැන පියාට සැක සංකා අඩුයි. මෙහි ප්‍රතිඵලයක් විදිහට මිනිස් දරුවෙකුට ඔහුගේ හෝ ඇගේ දෙමවුපියන්ගෙන් වැඩි කාලයක් පුරා විශාල රැකවරණයක් ලැබෙනවා. මැරෙන එකා මැරී ඉතුරු වෙන එකා ඉතුරුවෙන්න කියා දරුවන් තොගයක් හැදීම වගේම එසේ නොකර හදන දරුවන් ටික දෙනා ලොකු මහත් වන තුරු හොඳින් බලාගැනීමත් වර්ගයාගේ පැවැත්ම තහවුරු කළ හැකි ක්‍රමයක්. සමාජයක් සංකීර්ණ වන තරමට දෙවන ක්‍රමය වඩා සාර්ථකයි.

දැන් මෙතැනදීත් වර්ගයාගේ පැවැත්මට හේතු වෙන්නේ ලිංගික ආකර්ශනයම තමයි. නමුත්, වෙනස් ආකාරයකට. ලිංගික ආකර්ශනය නිසා පඩිපෙළ වගේ ළමයි නොහැදුනත් හැදෙන ළමයි ටික දෙනාට හොඳ රැකවරණයක් හා පුහුණුවක් ලැබෙන නිසා වර්ගයාගේ පැවැත්ම තහවුරු වෙනවා. වෙනත් ආකාරයකින් කිවුවොත් මිනිසුන් හා අදාළව ලිංගික ආකර්ෂණයේ කාර්ය භාරය වැඩි වැඩියෙන් දරුවන් වැදීමේ සිට සමාජ සම්බන්ධතා වඩා හොඳින් පවත්වා ගැනීම දක්වා වෙනස් වෙලා.

දැන් අපි වර්ගයා බෝ කිරීම පැත්තකින්ම තියලා සමාජ සම්බන්ධතා වඩා හොඳින් පවත්වා ගැනීම කියන කරුණට ආවොත් සමරිසිතාවය හරහා වුවත් ඔය වැඩේම වෙනවා. වඩා සමාජශීලී වෙනත් ක්ෂීරපායී සතුන් අතරත් මේ පුරුද්ද දකින්න පුළුවන්.

කොහොම වුනත් ජාන දිගින් දිගටම ව්‍යාප්ත වෙන්න විදිහක් නැතුව මේ වගේ පුරුද්දක් දිගටම පවතින්නේ කොහොමද කියන පරිණාමික ගැටළුව මෙතැනදී මතු වෙනවා. ඒ ගැටළුවට පිළිතුර පැහැදිළි කරන ප්‍රවාදත් කිහිපයක්ම තිබෙනවා.

එක මතයක් වන්නේ සමරිසි දරුවන් බිහි කරන කාන්තාවන් අනෙක් කාන්තාවන්ට වඩා දරුවන් බිහි කරනවා කියන එකයි. දත්ත ඇසුරෙන් මේ ප්‍රවාදයට සාක්ෂි සපයා තිබෙනවා. මේ ප්‍රවාදය අනුව සමරිසියන් දරුවන් බිහි නොකළත්, සමරිසියන් නොවන පවුලේ සහෝදර සහෝදරියන් හරහා සමරිසි ජානය ව්‍යාප්ත වෙනවා.

දෙවන ප්‍රවාදයක් අනුව සමරිසියන් බිහි කරන කාන්තාවන් ගැහැණු දරුවන් බිහි කරන්න වැඩි ඉඩක් තිබෙනවා. ඒ වගේම, සමරිසි ජානය ව්‍යාප්ත වෙන්නේ මවගෙන්. ඒ නිසා, ජානය දිගටම පවතිනවා.

ඉතිහාසය පුරා අද මෙන් සමරිසියන්ට සමරිසි ජීවිත ගෙවන්න ඉඩ නොලැබීමත්, ඔවුන්ට සමාජ බලපෑම නිසා දරුවන් හදන්න වීමත් නිසා මෙම ජානමය පුරුද්ද නැති නොවී පවතින බව තෙවන ප්‍රවාදයකින් කියවෙනවා. සමකාමී ගැහැණුන් හා අදාළව බොහෝ විට දැනටත් පවතින තත්ත්වය මෙයයි. මේ ප්‍රවාදය පමණක් සැලකුවොත් මේ පුරුද්ද පරම්පරා ගණනාවකට පසුව නැති වී යා යුතුයි.

තව හතරවන "යහපත් මාමා" ප්‍රවාදයකුත් තිබෙනවා. මේ අනුව, සමරිසියන්ට තමන්ගේම දරුවන් නැතත් ඔවුන් තම සොයුරු සොයුරියන්ගේ දරුවන් ආරක්ෂාකාරීව හා නිසි පෝෂණය ලබා ලොකු මහත් වී දරුවන් ලබන්න උපකාර කරන නිසා එම ඥාති දරුවන් විසින් දරුවන් හදන්න තිබෙන ඉඩකඩ ඉහළ යාමෙන් ජානය ව්‍යාප්ත වෙනවා.

බොහෝ සත්ත්ව ගහණ වල ගැහැණු සතුන්ගේ වැඩි ආකර්ෂණය ලබන්නේ වැඩිපුර පිරිමි ගති තිබෙන සටන්කාමී පිරිමි සතුන් වුවත්, දරුවන් ලොකු මහත් කර ගැනීමට අනෙක් සතුන්ට වඩා විශාල ආයෝජනයක් කළ යුතු මිනිස් ගැහැණුන් පිරිමින්ගෙන් යම් තරමකට ගැහැණු ගතිත් හොයනවා කියන එක මත පදනම් වූ පස්වන ප්‍රවාදයකුත් තිබෙනවා. මේ අනුව, ගැහැණුන්ගේ වැඩි ඉල්ලුම තිබෙන්නේ ගොඩක්ම පිරිමි ගති නැති, යම් තරමකට ගැහැණු ගතිත් තිබෙන පිරිමින්ටයි. එවැනි පිරිමින් දරුවන් වඩා හොඳින් රැක බලා ගන්න නිසා ඔවුන් ලොකු මහත් වී දරුවන් හදන්න තිබෙන ඉඩකඩ වැඩියි. එවැනි දරුවන්ගේ ජාන වල ගැහැණු ගතිය තවත් පොඩ්ඩක් වැඩි වූ විට ඔවුන් සමරිසියන් වෙනවා කියන එකයි පස්වන ප්‍රවාදය. සමරිසියා ගැහැණු ලක්ෂණ සහිත පිරිමියෙක් හෝ පිරිමි ලක්ෂණ සහිත ගැහැණියක් විය හැකියි.

මේ එක් ප්‍රවාදයක්වත් හරියටම පිළිගැනී නැහැ. කොහොම වුනත් මිනිස්සු අතර කාලයක් තිස්සේම සමරිසි චර්යාව පැවතී තිබෙන බවත්, ඇතැම් සතුන් අතර පවා මෙම චර්යාව තිබෙන බවත්, සමරිසි චර්යාවට ජානමය සම්බන්ධයක් තිබෙන බවත් පැහැදිලියි. අවසන් කරුණට සාක්ෂියක් ලෙස සමජාතීය නිවුන්නු දෙන්නෙක්ගෙන් එක් අයෙක් සමරිසියෙක්නම් අනෙක් කෙනාත් එසේ වෙන්න වැඩි ඉඩක් ඇති බවත්, විෂමජාතීය නිවුන්නු අතර එවැන්නක් නොපෙනෙන බවත් පෙන්වා දී තිබෙනවා.

ඒ ළඟ කරුණ විකෘතියක් කියන්නේ මොකක්ද කියන එකයි. විකෘතියක් ගැන කතා කළ හැක්කේ ප්‍රකෘතියකට සාපේක්ෂයි. හැම දෙනාටම හැම කලටම එකඟ විය හැකි එවැනි ප්‍රකෘති ස්වභාවයක් කියා එකක් තිබෙනවද?

දැන් මෙහි ප්‍රකෘතිය වන්නේ පරිපූර්ණ මිනිසෙක්. විකෘති, ශාරීරික හා මානසික රෝග ආදිය අර්ථදැක්වෙන්නේ මේ ප්‍රකෘතියට සාපේක්ෂවයි. කාලය, සංස්කෘතිය, දැනුම ආදිය එක්ක ප්‍රකෘතිය වෙනස් වෙනවා. පෙති ගෝමර, මල් ගෝමර ආදිය කාලයකදී ගැහැණියකගේ රූ සපුව විස්තර කරන ලකුණු. තවත් කාලයකදී මේවා චර්ම රෝග වෙනවා. නල දත් පිහිටීම ඇතැම් සමාජ වල ඇතැම් කාල වල සැලකෙන්නේ වාසනාවන්තකමේ ලකුණක් විදිහටයි. ලංකාවේ ජනප්‍රිය නිලියන් ගණනාවකට නල දත් පිහිටා තිබෙනවා. නමුත්, සමකාලීන ඇමරිකානුවන් මෙය සලකන්නේ අනිවාර්යයෙන්ම නිවැරදි කළ යුතු විකෘතියක් ලෙසයි. ස්වෙච්ඡතා රෝගයේ අර්ථදැක්වීම වෙනස් කිරීමෙන් පසුව එක් වරම ස්වෙච්ඡතා රෝගීන් ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගියා. සමරිසි සේවනය විකෘතියක්ද නැද්ද කියන එකත් අවසාන වශයෙන් සමාජය විසින් තීරණය කරන දෙයක්.

මේ කරුණ ගැන ලියන්න කියා ඉල්ලපු ඇනෝ සමරිසි සේවනය කෞමාර කාමයෙන් හා සත්ත්ව කාමයෙන් වෙනස් වන්නේ කොහොමද කියන ප්‍රශ්නය අහල තියෙනවා. වෙනත් බොහෝ සම්මත වගේම පසු කී කරුණු දෙක මානසික රෝග බවත්, සමරිසි සේවනය ප්‍රකෘතියේ කොටසක් බවත් තීරණය කරන්නේ සමාජය විසිනුයි. මේ සම්මතයේ පදනම වෙන්නේ සමරිසි සේවනය වැඩිහිටියන් දෙදෙනෙකු අතර කැමැත්තන් සිදුවන ගනුදෙනුවක් කියන එකයි.

සත්වකාමී පුද්ගලයෙකු ගනුදෙනුවකට කැමති වුවත් මිනිසෙකුට හෝ ගැහැණියකට මේ ගණුදෙනුවට සතෙකුගේ තිබෙන  කැමැත්ත දැනගන්න විදිහක් නැහැ. ඒ නිසා, ඒ විදිහට කැමැත්ත දෙන්න නොහැකි අල්ලපු ගෙදර සුරතලේට හදන පොමරේනියන් බල්ලා තමන්ගේ ඒකපාර්ශ්වික කැමැත්ත මත පමණක් පදනම්ව තමන්ගේ අවශ්‍යතාවය පිණිස ප්‍රයෝජනයට ගන්නා මිනිසෙකුට අවසානයේදී විකෘතියක් ඇති මිනිසෙක් සේ ලේබල් වෙන්න වගේම පොලීසි යන්නත් සිදු වෙනවා. මෙතැනදී බල්ලාගේ අයිතිවාසිකම් ගැන සමාජය සංවේදීයි. බල්ලා මිය ගියත් බල්ලාගේ අයිතිකරුවන් බල්ලා බේරාගන්න අවශ්‍ය ප්‍රතිකාර කරනවා. තමන්ගේ සතුට වෙනුවෙන් බල්ලාව යොදාගෙන ඔහුව මරණයට පත් කරන අයෙක් මානසික රෝගියෙක් හෝ අපරාධකරුවෙක් විය හැකි වුවත්, කුකුළෙක් හෝ සේනා දළඹුවෙක් මරා දැමීම විකෘතියක් සේ සැලකෙන්නේ නැහැ.

කෞමාර කාමයේදී ඇතැම් විට බාලවයස්කරුවෙකුගේ කැමැත්ත තිබෙන්න හෝ විරෝධයක් නැති වෙන්න පුළුවන්. නමුත්, මෙවැනි අත්දැකීමක් ලබන දරුවෙකුට බොහෝ විට එහි හානිකර බලපෑම් ජීවිත කාලය පුරාම අත් විඳින්න වෙන්න පුළුවන්. බාල වයස්කරුවෙකුගේ කැමැත්ත පූර්ණ කැමැත්තක් සේ සැලකෙන්නේ නැහැ. නමුත්, මෙතැනදීත් බාලවයස්කරුවෙකු කියන එක සමාජ සම්මතයක්. ඇමරිකාවේදී වෙළඳසැලකින් මත්පැන් මිල දී ගත හැක්කේ වයස අවුරුදු 21 සම්පූර්ණ වූ අයෙකුට පමණයි. නමුත්, කැනඩාවේදීනම් ප්‍රාන්තය අනුව මේ වයස් සීමාව අවුරුදු 18ක් හෝ 19ක් පමණයි.

පසුගිය දිනක වාර්තා වී ඇති පුවතක් අනුව දෙමවුපියන් විසින් ඔවුන්ගේ පහළොස් හැවිදිරි දියණියට පුවත්පතක මංගල දැන්වීම් හරහා සහකාරයෙක් තෝරා ගෙන විවාහය තීන්දු කිරීමෙන් පසුව, ඔහුගේ සොහොයුරියකගේ නිවසේ පදිංචියට ගොස් තිබෙනවා. එහිදී මේ යෝජිත යුවල අතර සම්බන්ධය කෙළවර වී තිබෙන්නේ අදාළ තරුණයා ස්ත්‍රී දූෂණ චුදිතයෙක් වීමෙන්. ඔහුගේ ආගමික පසුබිම වෙනත් එකක් වුනානම් ඔහුට මේ චෝදනාව එල්ල විය නොහැකිව තිබුණා. වැරදි, විකෘති ආදිය තීරණය කරන්නේ සමාජය විසිනුයි.

සමකාමය ජානමය හේතු මත ඇති වන්නක් වෙන්න පුළුවන්. එය එසේ නොවුනත්, එය දැනුම් තේරුම් තිබෙන වැඩිහිටියන් දෙදෙනෙකු අතර සිදුවන ගනුදෙනුවක්. එයින් දෙදෙනාම සතුටු වෙනවානම් එහි ඇති වැරැද්දක් මම දකින්නේ නැහැ. මුලින්ම කී පරිදි, වැඩිහිටි ගැහැණු හා පිරිමි අතර සම්බන්ධතා ඇති වන්නේත් දරුවන් හැදීමේ හෝ වර්ගයා බෝ කිරීමේ අරමුණින්ම නෙමෙයි. ඒ නිසා, ඒ හේතුව මත පළමුවැන්න විකෘතියක් කියා කියන්න බැහැ.

ඇතැම් විට මේ වගේ ගනුදෙනුවකදී ලිංගික ආකර්ශනය තිබෙන්නේ එක් පාර්ශ්වයකට පමණක් වෙන්න පුළුවන්. අනෙක් පාර්ශ්වයට තිබෙන්නේ කිසියම් මූල්‍යමය හෝ වෙනත් වාසියක් ලබා ගැනීමේ අරමුණ වෙන්න පුළුවන්. එය එහෙම වුනත්, එහි ඇති වැරැද්දක් නැහැ. අවසාන වශයෙන් ගනුදෙනුව සිදුවෙන්නේ දෙපාර්ශ්වයේම කැමැත්තෙන්. ගැහැණු හා පිරිමි අතරත් එවැනි ගනුදෙනු සිදු වෙන්න පුළුවන්.

මෙතැනදී කතා කළ යුතු තවත් කරුණක් වන්නේ වර්ගයා බෝ කිරීම කියන්නේ කුමක්ද කියන එකයි. බොහෝ සතුන් හා අදාළව වර්ගයා බෝ කිරීම කියා කියන්නේ තමන්ගේ ජාන ව්‍යාප්ත කිරීමයි. ඒ මගින් තමන් නැතත් තමන් වැනි වූ අයගේ පැවැත්ම තහවුරු කෙරෙනවා. කෙසේ වුවත්, මිනිසුන් හා අදාළව ගත් විට තමන් වගේ අය පවතින බව තහවුරු වෙන්නේ තමන්ගේ ජාන ව්‍යාප්ත කිරීම මගින්ම නෙමෙයි.

මිනිසෙක් මිනිසෙක් වන්නේ ඔහු හෝ ඇය ජීව විද්‍යාත්මකව හැදී තිබෙන ආකාරය පමණක් අනුව නෙමෙයි. මිනිසෙකු සතු දැනුම, මිනිසෙකුගේ සංස්කෘතිය ආදියත් මිනිසෙකුව මිනිසෙකු බවට පත් කරනවා. ඇතැම් විට මිනිසෙකුගේ "වර්ගය" තීරණය කරන ප්‍රධාන සාධක මේ දෙවැනියට සඳහන් දේවල් වෙන්න පුළුවන්. එහෙම හිතන කෙනෙක් වැඩි වැඩියෙන් දරුවන් හදන එක පැත්තකට දමලා වෙනත් ආකාරයකින් තමන්ගේ වර්ගයා බෝ කරන්න පටන් ගන්න පුළුවන්. ඒ ක්‍රියා මාර්ගයේදී තමන්ගේ ජීවවිද්‍යාත්මක දරුවන් විසින් දරුවන් හදා තමන්ගේ ජාන ඉදිරියට ගෙන යන එක වලක්වන්න පුළුවන්. එසේ කළ ඇතැම් අය තමන්ගේ "වර්ගයා" වසර දහස් ගණනක් නොනැසී පවත්වා ගන්න සමත් වී තිබෙනවා.


Tuesday, February 5, 2019

හැත්තෑ එකක කෙරුවාව


ලංකාවේ තවත් නිදහස් දින සැමරුමක් අවසන් වුණා. නිදහස් දිනයේදී බලයේ සිටින කවර හෝ ආණ්ඩුව රටේ පුරාජේරුව පෙන්වද්දී ඇතැම් අය කියන්නේ නිදහසින් පස්සේ රට අඩියක්වත් ඉස්සරහට ගිහින් නැති බවයි. සමහර අයට අනුව රට ආපස්සට ගිහින්. මේ වගේ කරුණක් ගැන නිකම්ම නිගමනයකට එන්නේ නැතුව සංඛ්‍යාලේඛණ දිහා පොඩ්ඩක් බැලුවොත් වෙලා තිබෙන දේ පැහැදිලි වෙනවා. පහුගිය අවුරුදු 71 ඇතුළත ලංකාවේ ජන ජීවිතයේ වෙනසක් වෙලා නැද්ද? වෙලානම් ඒ මොන විදිහටද?

1950දී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 110ක් පමණයි. 2017 වන විට මේ ගණන ඇමරිකන් ඩොලර් 4,065ක් වෙලා. 37 ගුණයක වැඩි වීමක්. කොහොම වුණත් 1950 ඩොලරයක් කියන්නේ 2017 ඩොලර් 10ක් පමණ නිසා ඇත්තම වැඩි වීම 3.7ක් පමණ. ඒ කියන්නේ නිදහසෙන් පසුව ලංකාවේ එක් පුද්ගලයකුගේ සාමාන්‍ය ආදායම එපමණ ගුණයකින් වැඩි වෙලා.

නිදහසෙන් පස්සේ ලංකාවේ ආදායම් මට්ටම් ඉහළ ගිය තරමටම ජනජීවිතය අනෙක් අංශ වලිනුත් යහපත් වෙලාද?

අධ්‍යාපන මට්ටම අනුව 1953දී ලංකාවේ ජනගහණයේ සංයුතිය මෙහෙමයි.

පාසැල් නොගිය- 41.8%
ප්‍රාථමික- 46.8%
ද්වීතියික- 9.8%
පශ්චාත් ද්වීතියික- 1.8%

මේ සංයුතිය 2016 වෙද්දී වෙනස් වෙලා තිබුණේ මෙහෙමයි.

පාසැල් නොගිය- 3.3%
ප්‍රාථමික- 23.5%
ද්වීතියික- 44.1%
පශ්චාත් ද්වීතියික- 29.1%

1953 හා 2016 අතර නිවාස වල තත්ත්වය වෙනස් වුනේ කොහොමද?

1953දී රටේ ගෙවල් වලින් 59.5%ක්ම වරිච්චි හෝ මැටි බිත්ති ගෙවල්. ගඩොල් බිත්ති තිබුණේ ගෙවල් වලින් 28.9%ක පමණයි. 2016 වන කොට ගෙවල් වලින් 95.5% කම බිත්ති බැඳලා තිබුණේ ගඩොල්, සිමෙන්ති බ්ලොක් ගල් හෝ කබොක් ගල් වලින්.

1953දී ගෙවල් වලින් 50.7කම තිබුණේ මැටි ගෑ ගෙබිම්. සිමෙන්ති ගෙබිම් තිබුණේ ගෙවල් වලින් 24.7%ක පමණයි. 2016 වන විට ගෙවල් වලින් 95.6කම ගෙබිම් සිමෙන්ති, ටෙරාසෝ නැත්නම් පිඟන් ගඩොල් .

1953දී ගෙවල් 56.7%ක්ම පොල් අතු සෙවිලි කළ ගෙවල්. උළු ගෙවල් තිබුණේ 27.6%ක් පමණයි. 2016 වෙද්දී ගෙවල් වලින් 91.9%ක්ම උළු, ඇස්බැස්ටෝස් හෝ කොන්ක්‍රීට් වහල සහිත ගෙවල්.

1953දී විදුලි බලය තිබුණේ ලංකාවේ ගෙවල් වලින් 4.1%කට පමණයි. 2016 වෙද්දී මේ ප්‍රතිශතය 96.9% දක්වා ඉහළ ගිහින්.

1953දී ශීතකරණයක් තිබුණේ ගෙවල් වලින් 0.9%ක පමණක් වුවත් 2016 වන විට ගෙවල් වලින් 52.9%කම ශීතකරණ තිබෙනවා.

1953දී ගෙවල් 18.5%කටම වැසිකිළි පහසුකම් තිබුණේ නැහැ. 2016 වෙද්දී මේ ප්‍රමාණය 0.4% දක්වා අඩු වෙලා.

1953දී පවුලක ආදායමෙන් 59.9%ක්ම ආහාර වෙනුවෙන් වැය කළ යුතු වුවත් 2016දී අවශ්‍ය වෙන්නේ ආදායමෙන් 34.8%ක් පමණයි. ඒ ආහාර වේලක ගුණාත්මක භාවය විශාල ලෙස ඉහළ ගොස් තිබියදී.

මේ සියල්ල මේ විදියට වෙනස් වෙද්දී රටේ ආදායම් ව්‍යාප්තියට වෙලා තියෙන්නේ මොකක්ද?

මේ 1953දී තත්ත්වය.

දුප්පත්ම 20%- සමස්ත ආදායමෙන් 5.1%
මැද 60%- සමස්ත ආදායමෙන් 38.3%
පෝසත්ම 20%- සමස්ත ආදායමෙන් 56.7%

මේ 2016දී තත්ත්වය.

දුප්පත්ම 20%- සමස්ත ආදායමෙන් 4.8%
මැද 60%- සමස්ත ආදායමෙන් 44.4%
පෝසත්ම 20%- සමස්ත ආදායමෙන් 50.8%

දුප්පත්ම අයගේ පංගුව සුළු වශයෙනුත්, පෝසත් අයගේ පංගුව වැඩියෙනුත් අඩු වෙලා. ඒ අඩුවීම් එකතු වෙලා තිබෙන්නේ ලංකාවේ රාජ්‍ය සුබසාධනයේ වාසිය ලබන මැදි ආදායම් ලබන කණ්ඩායමටයි.

කොහොම වුනත් එයින් අදහස් වෙන්නේ පහළ හා ඉහළ කණ්ඩායම් වල තත්ත්වය 1953දීට වඩා නරක බව නෙමෙයි. ඒ අයගේත් ආදායම් වැඩි වී තිබුණත් එසේ වැඩි වී තිබෙන්නේ මැදි ආදායම් ලබන්නන්ට වඩා අඩුවෙනුයි.

හරියටම කියනවනම් දුප්පත්ම 20%ගේ ආදායම 3.5 ගුණයකිනුත්, පෝසත්ම 20%ගේ ආදායම 3.3 ගුණයකිනුත් වැඩි වෙද්දී මැද 60%ගේ ආදායම 4.3 ගුණයකින් වැඩි වෙලා. කාගෙවත් ජීවන තත්ත්වය පහළ ගිහින් නැහැ.

නිදහසින් පස්සේ ලංකාවේ ජන ජීවිතයේ යහපත් අතට සිදු වී තිබෙන වෙනස්කම් වලට හේතුව ආණ්ඩුද නැද්ද කියන එක කොහොම වුනත්, මේ  අවුරුදු 71 තුළ රට එතැනමයි කියන එකත්, දුප්පතා එතැනමයි කියන එකත් දෙකම ඇස් පනාපිට පේන බොරු!

(Image: https://www.tripadvisor.co.uk/LocationPhotoDirectLink-g293962-d10258879-i190903150-Colombo_Walks-Colombo_Western_Province.html)

Saturday, February 2, 2019

ජීවිතය බේරූ ඇඟිලි තුනේ සංඥාව


යුද්ධයක් කියන්නේ මානුෂික හැඟීම් වලට වැඩිපුර ඉඩ ලැබෙන අවස්ථාවක් නෙමෙයි. යුද්ධයක ඉලක්කය වන්නේම තමන්ගේ අරමුණ ඉටුකර ගැනීම සඳහා සතුරාට හැකි තරමින් හානි කිරීමයි. ජීවිත හා දේපොළ විනාශ වීම යුද්ධයක හෝ වෙනත් අවිගත් ගැටුමක මූලික ලක්ෂණයක්.

ජවිපෙ දෙවන කැරැල්ල වෙලාවේ ජවිපෙ විසින් තමන්ගේ අරමුණ ඉටු කර ගැනීම පිණිස පොදු හා පෞද්ගලික දේපොළ විශාල  ප්‍රමාණයක් විනාශ කළා. ජීවිත විශාල ගණනක්ද නැති කළා. ජවිපෙ මර්දනය කළ ආරක්ෂක අංශ විසිනුත් ජවිපෙ හා ජවිපෙ නොවන විශාල පිරිසක් මරා දැම්මා. ජවිපෙ පළමු කැරැල්ල වෙලාවෙත් මේ දේවල් මේ විදිහටම සිදුවුණත් දෙවන කැරැල්ලේ හානි ඊට වඩා ගොඩක් වැඩියි.

ඔය ආකාරයටම උතුරේ සටන්කාමී කණ්ඩායම්, විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානය, විසින් ඔවුන්ගේ අරමුණු ඉටුකර ගැනීම පිණිස දශක තුනක් පමණ පුරා විශාල දේපොළ විනාශයක් සිදු කළා. ආරක්ෂක අංශ සාමාජිකයින් වගේම සිවිල් පුරවැසියන් විශාල පිරිසක්ද ඝාතනය කළා. තවත් විශාල පිරිසක් ආබාධිතයින් බවට පත් කළා. රජයේ ආරක්ෂක අංශ විසින් කළ මෙහෙයුම් වලදීත් එල්ටීටීඊ සාමාජිකයින් හා එම සංවිධානය සතු වූ භෞතික සම්පත් වගේම යුද්ධයට සෘජුව සම්බන්ධ නොවූ සිවිල් පුද්ගලයින්ගේ ජීවිත හා දේපොළ විශාල ප්‍රමාණයක්ද විනාශ වුණා.

ලංකාවට රස්නය දැනුණේ අඩුවෙන් වුවත්, ලෝක මට්ටමෙන් ගත් විට මෑතකාලීනව වැඩිම ජීවිත හා දේපොළ විනාශයක් සිදු වූ අවස්ථාව දෙවන ලෝක යුද්ධයයි. යුද්ධය හේතුවෙන් විනාශ වූ ජීවිත ප්‍රමාණය මිලියන 70-85 පමණ බව ඇස්තමේන්තු කර තිබෙනවා.

ජපානය දෙවන ලෝක යුද්ධයේ ප්‍රධානම පාර්ශ්වකරුවෙක්. හිට්ලර්ගේ මරණයෙන් හා ජර්මනියේ යටත් වීමෙන් පසුව යුරෝපයේ යුද්ධය අවසන් වුවත් ජපානය යටත් වුණේ තවත් මාස ගණනකට පසුවයි. ඇමරිකාව දෙවන ලෝක යුද්ධයේදී ජපානයට එරෙහිව යුද්ධ කරමින් ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ සිටි ප්‍රධානම රටක්.

කියන්න යන සිදු වීම සිදු වී තිබෙන්නේ ජපානයේ ඔකිනාවා නගරය ආසන්නයේදීයි. දෙපාර්ශ්වය අතර වූ ගැටුමකදී තුවාළ ලබා වැටී සිටින ඇමරිකන් සෙබළෙක් අධික රුධිර හානිය නිසා සිහි විසංඥ වෙන්න ආසන්නව ඉන්නවා. ජපන් සෙබළෙක් බයිනෙත්තුව උරුක් කරගෙන ඔහු වෙතට දිව එන්නේ සතුරාව ඉවරක් කර දමන්නයි. මොළයට ඔක්සිජන් සැපයුම අඩු වෙද්දී, ඇමරිකන් සෙබළාගේ හොඳ සිහිය ක්‍රමයෙන් අඩුවෙනවා. ඔහුගේ හිත ළමා කාලයට යනවා. ඔහුට මතක එපමණයි.

ඇමරිකන් සෙබළාට සිහිය එන විට ඔහු සිටින්නේ ඇමරිකන් හමුදා කඳවුරක ප්‍රතිකාර ලබමින්. ඔහුගේ සාක්කුවේ කිසියම් තුණ්ඩු කෑල්ලක් තියෙනවා. එහි ජපන් බසින් යමක් ලියා තිබෙනවා. ඔහු ජපන් බස දන්නා අයෙකු ලවා එය කියවා ගන්නවා.

"මා ඔබ වෙත ආවේ ඔබව මරා දමා ඉවරයක් කරන්නයි. ඒ එක්කම ඔබේ සිහිය නැති වී ගියේ ඔබේ අතේ ඇඟිලි වලින් බාලදක්ෂ ආචාරය සටහන් වෙද්දීයි. ඔබ කුඩා කළ මා මෙන්ම බාලදක්ෂයෙක්ව සිට ඇති බව පැහැදිලියි. ලෝකයේ කොහේ හිටියත් බාලදක්ෂයන් කියන්නේ සහෝදරයින්. මට මගේ සහෝදරයෙක්ව මරා දමන්න පුළුවන් කමක් නැහැ. මා ඔබේ තුවාල වලට සාත්තු කර ඉවත්ව යනවා. ඔබ සුවය ලබනු ඇතැයි ප්‍රාර්ථනා කරනවා."

මේ සටහන සමඟ අදාළ සෙබලාගේ නම ඇතුළු විස්තරත් තිබෙනවා.

ජපානයට පරමාණු බෝම්බ හෙලීමෙන් හා ඉන්පසුව ජපානයද යටත් වීමෙන් පසුව දෙවන ලෝක යුද්ධය අවසන් වෙනවා. පෙර කී හමුදා සෙබළා සුවය ලබනවා. ඔහුව ජපානයේ රැඳී සිටින ඇමරිකන් හමුදා අනු ඛණ්ඩයකට අනුයුක්ත කෙරෙනවා. මේ අතරවාරයේ ඔහු තමන්ගේ ජීවිතයේ බේරූ ජපන් සෙබළා ගැන සොයා බලනවා. එහිදී ඔහුට දැනගන්නට ලැබෙන පරිදි පසුව සිදු වූ සටනකදී මේ ජපන් සෙබළා මිය ගිහින්. ජපානයේ සිටින කාලය පුරා ඇමරිකන් සෙබළා විසින් ජපන් සෙබළාගේ දරු පවුලට හැකි සියළුම අයුරින් උදවු කරනවා.

පසුව මේ සිදුවීම සැමරීමට ස්මාරකයක් හදා තිබෙනවා. මා එය දැක නැහැ. කවදා හෝ එහි ගියොත් යන්න හිතාගෙන සිටින, බකට් ලිස්ට් එකේ තියෙන තැනක්. අන්තර් ජාලයෙන් සොයාගත හැකි වූ අදාළ ස්ථානයේ ඡායාරූප මෙහි තිබෙනවා.