Saturday, February 16, 2019
මරණය නියතද?
මේ දවස් වල බ්ලොග් ලිපියක් ලියනවා කියන එක ගොඩක් වියදම් අධික වැඩක්. ඒ වෙනුවෙන් කාලය යොදවන්න වෙන්නේ ඊට වඩා වැදගත් වැඩ ගණනාවකින් මොකක් හෝ එකක් පැත්තකින් තියලයි. එහෙම වුනත් ඉතිං හදාගත්ත දරුවා නිකම්ම මැරෙන්න අරින්නත් බෑනේ. බ්ලොග් එක අමාරුවෙන් හරි පණ පිටින් තියා ගන්න අතරින් පතර හෝ මොනවා හරි ලියන්නේ නැතුව කොහොමද? අර කියන්නේ අවම බලය යොදවනවා කියලා. අඩු ගානේ ඒ වගේ වැඩක්වත් කරන්න එපායැ.
ඉංග්‍රීසින් ලංකාවට එන කාලේ ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ගේ ආර්ථික සෞභාග්‍යය ගැන ෆර්ගසන්ගේ ලියවිල්ලක තිබුණු දෙයක් අනුව ඒ කාලයේ ලංකාවේ මිනිස්සුන්ගේ ආහාර පරිභෝජනය ප්‍රමාණවත් වෙලා තියෙන්නේ යාන්තමින් සිරුර හා ආත්මය එකට තියා ගන්න පමණයි. ඒ කියන්නේ ඒ කාලේ ලංකාවේ මිනිස්සු කරලා තියෙන්නේ ශරීර කූඩුව එක්තැන්ව තියා ගන්න අවශ්‍ය අවම බලය එයට සපයන එක විතරයි. හැබැයි ඒ ගැන ඔවුන් කණස්සල්ලෙන් සිට නැහැ.
ෆර්ගසන්ගේ ඔය ප්‍රකාශයෙන් පේනවා ඔහු ජීවිතය කියා විශ්වාස කළේ මොකක්ද කියන එක. මිනිහෙක්ගේ ආත්මය ශරීර කූඩුව ඇතුළේ හිර කරගෙන හිටිය හැකි තාක් කල් මිනිහෙක් ජීවත් වෙනවා. ආත්මය ශරීරයෙන් පිට වී ගියාට පස්සේ මිනිහා මැරෙනවා. හැබැයි ඒ විදිහට විනාශ වෙන්නේ භෞතික ශරීරය විතරයි. ශරීරයෙන් පිටව ගිය ආත්මය වෙන තැනක ස්ථිරව තියෙනවා.
ආත්මවාදය ගොඩක් පැරණි අදහසක්. අදටත් ලෝකයේ ප්‍රධාන ආගම් ගණනාවක්ම අදහන මිනිස්සු ස්ථිර ආත්මයක පැවැත්ම විශ්වාස කරනවා. ඒ අනුව මරණය කියා කියන්නේ ඔය ස්ථිර ආත්මය සිරුරෙන් ඉවත්ම යාමයි. ඔය කියන විදිහේ ආත්මයක් කියා එකක් නැති බවත් සිරුර කියන්නේ එය හැදී තිබෙන භෞතික කොටස් පමණක්ය කියන එකත් විශ්වාස කරන අනාත්මවාදීනුත් සෑහෙන කාලෙක සිටම ඉඳලා තියෙනවා. දැනුත් ඉන්නවා.
බෞද්ධ අදහස ආත්මවාදය හා අනාත්මවාදය යන දෙකම ප්‍රතික්ෂේප කිරීම බව අවිවාදිත කරුණක්. ඔය දෙකම ප්‍රතික්ෂේප කළාම තත්ත්වය ඔය දෙකෙන් එකක් තරම්වත් සරල නැහැ. ඒ නිසා, මට තේරෙන හැටියටනම්, මේ ගැන බෞද්ධ අදහස කියා විවිධ අය ඉදිරිපත් කරන්නේ එකම අදහස නෙමෙයි. තමතමන් තේරුම් ගන්න දෙය.
හරි. ඔය ඔක්කොම පැත්තකින් තියමු. අපි එක්ක ජීවත් වූ ගොඩක් අය මිය ගිහින් තිබෙනවා. ඒ විදිහට මැරුණු අය නැවත අප අතර ජීවත්ව නොසිටින බව පැහැදිලියි. ඒ කියන්නේ මරණය කියා ආපසු හැරවිය නොහැකි සේ පෙනෙන කිසියම් සංසිද්ධියක් තිබෙනවා. ජීවත් වන සියල්ලන්ටම ඒ සංසිද්ධියට කවදා හෝ මුහුණ දෙන්න සිදුවන බව අපට පේනවා. ඒ නිසා මරණය නියතයි කියා අප කියනවා. ඔය නියත මරණය ගැන ජීවත් වන අප නිතර අහනවා.
ඇත්තටම මරණය කියා නියත දෙයක් තියෙනවද? එහෙමනම් ඒ මොකක්ද?
මම අහල තියෙන එක ජනකතාවක වඩුවෙක් ඔහුගේ තරුණ බිරිඳට ගොඩක් ආදරෙන් ඉන්නවා. එක දවසක් දර කඩන්න කැලේට යන මේ කාන්තාව නයෙක් විසින් දෂ්ඨ කරනු ලැබ මිය යනවා. ගෙදර තිබුණු අලුත ඉරපු රුක්අත්තන ලෑලි වලින් පෙට්ටියක් හදන වඩුවා තමන්ගේ මිය ගිය තරුණ බිරිඳව වල දමන්නේ ඇගේ කණකර බඩුත් එක්කයි.
පෙට්ටි වල මිනී තැන්පත් කර වල දැමීම ලංකාවේ පෙර සිටම තිබුණු පුරුද්දක් නොවන නිසා මේ කතාව ගොඩක් පරණ එකක් වෙන්න බැහැ. ඒ වගේම, මෑතක් වන තුරුම ලංකාවේ ගොඩක් ගැමියන් සතුවූ වටිනා වස්තු වුණේ ඔය කණකර බඩු ටිකයි. දරුවෙක් අසනීප වුණහම කණකර බඩු උගස් කරන එක එක යුගයක සිංහල චිත්‍රපට හා නවකතා බොහොමයක දකින්න පුළුවන් දෙයක්නේ.
ලංකාවේ පැරණි ගැමියන්ගේ තිබුණු අදහස වුනේ කෙනෙක් මැරුණට පස්සේ මැරුණු කෙනාගේ පාරිභෝගික භාණ්ඩ ප්‍රයෝජනයට ගන්න එක ටිකක් හරි මදි වගේ කියන එකයි. ඒ නිසා, ගොඩක් අය මැරුණු කෙනාගේ පැදුරු කොට්ට ඇඳ ඇතිරිලි ආදිය පන්සලකට දෙනවා. මැරුණු කෙනා ගැන නිතර මතක් වෙන එක වළක්වාගන්න කරපු දෙයක් වෙන්නත් පුළුවන්.
පාංශුකූල සිවුරක් කියන එකෙන් අදහස් වන්නේත් මිනියක් ඔතා සොහොනට විසිකළ රෙද්ද ඇතුළු පොළොවට දිරා යන්න නියමිත අපවිත්‍ර රෙදි වර්ග 23කින් එකක හෝ කිහිපයක කොටස් අරගෙන පිරිසිදුකර කෑලි මූට්ටු කර හදාගන්න සිවුරක් කියන එකනේ. දැන්නම් පාංශුකූල සිවුරු අඳින හාමුදුරුවරු නැහැ. පාංශුකූල දෙනවා කියලා කරන්නේ මතක වස්ත්‍ර පූජා කරන එකනේ.
කොහොම වුනත් රන් රිදී ඇල්ලීමෙන් වැළකී ඉන්න සපථ කර සිටින හාමුදුරු කෙනෙකුට මැරුණු කෙනාගේ කණකර බඩු දෙන්න බැහැනේ. ඒක කවුරුත් දන්නවා. ඒ නිසා, කතාවේ වඩුවා මිනියේ කණකර බඩු ගලවනවා කවුරු හරි දැක්කොත් කියයි "අරෙහෙ ගෑණි මැරිලා. ඒ අස්සේ මූට ගෑණිගේ රත්තරං බඩු වලට තණ්හාසේ!" කියල. ලංකාවේ ගොඩක් මිනිස්සු කැමති තමන් රත්තරන් වගේ වස්තු සම්පත් වලට ලොකු ආසාවක් නැති බව අනික් අයට පෙන්නන්නයි. විශේෂයෙන්ම ගෙදර මරණයක් වෙලා තියෙන වෙලාවක.
ඔහොම කිවුවට මිනියේ රත්තරන් බඩු එක්කම වලලලා දමන එක මොන අපරාදයක්ද? කොහොම හරි අන්තිම මොහොතේ මිනිය වහන්න කලින් අනිත් අයට නොපෙනෙන්න ඔය ටික ගලව ගන්න විදිහකුත් තියෙන්න ඕනැනේ. අර මිනිය තනි කරනවා කියන පුරුද්ද ඇති වෙලා තියෙන්නේ ඔය හේතුව නිසා කියනවනේ. ඕක ප්‍රසිද්ධ රහසක් නිසා අන්තිම මොහොතේ මිනියේ කණකර පාළු වෙලා කියලා දැකපු අය වුනත් ඒක ප්‍රශ්නයක් කරගෙන නැහැ.
කොහොම වුනත්, කතාවේ වඩුවානම් එහෙම කරලා නැහැ. ඔහු ඇත්තටම හිතලා තියෙන්නේ තමන්ගේ ආදරණීය බිරිඳ අහිමි වෙලා තියෙද්දී ඇගේ කණකර බඩු මොකටද කියලයි. එහෙම හිතලා රත්තරන් බඩුත් එක්කම පෙට්ටිය වල දැමූ බව ගමේ හැමෝම වගේ දැකල තියෙනවා.
රත්තරන් බඩු නිකම්ම පොළොවට පස් වෙන්න අරින්න පුළුවන්ද? බෑනේ. ඕක දැකපු ගොඩක් අය වල හාරලා රත්තරන් බඩු ගන්න එක ගැන හීන මවද්දී එයින් කීප දෙනෙක් එකතු වෙලා එදා රෑම වැඩේට බහිනවා. මේ කට්ටිය වල හාරලා පෙට්ටියේ පියන අරිනවා.
මළ කෙළියයි. මෙන්න වඩුවාගේ බිරිඳ නැගිටිනවා. කට්ටිය පණ එපා කියලා දුවනවා. වඩුවාගේ බිරිඳ ආපහු ගෙදර එනවා. ඈ ඇත්තටම මැරිලා ඉඳලා නැහැ. නයි විෂ නිසා සිහි මූර්ජා වෙලයි ඉඳල තියෙන්නේ. කතාවේ කියන හැටියට රුක්අත්තන ලීයට නයි විෂ උරාගැනීමේ හැකියාවක් තියෙනවලු. වත්තේ රුක්අත්තන පැලයක් හිටෙවුවහම නයි එන්නේ නෑ කියල කතාවකුත් මම අහල තියෙනවා. කොහොම වුනත්, හොඳ වෙලාවටයි වඩුවා ඇගේ කණකර ගලවා නොගත්තේ. නැත්නම් ඉතිං නැවත සිහිය ආවත් ඇයට නැවත ගෙදර එන්න ලැබෙන්නේ නැහැ. ඈ හිටියේ සිහි මූර්ජා වී බව වෙනත් කවුරුවත් දන්නෙත් නැහැ. අර දාර්ශනික ප්‍රශ්නයක් තියෙනවනේ මහ කැලේ මැද්දේ ලොකු ගහක් මුලින් ඉදිරී බිම වැටුණා. නමුත්, ඒ බව කවුරුත් දන්නේ නැහැ. එහෙමනං සද්දයක් ඇහුණද කියලා.
කොයි දේ වෙන්නෙත් හොඳට කියනවනේ. ඒ කියමනට අදාළ කතාවනම් දන්නවා ඇතිනේ. ඒ මේක නෙමෙයි. කොහොම හරි අන්තිමට අර රත්තරන් හොයපු අයට පිං සිද්ධ වෙන්න වඩුවාගේ බිරිඳ නැවත ගෙදර ආවා. ඈ වඩුවා එක්ක තවත් චිරාත් කාලයක් යහතින් ජීවත් වී, දරු මුණුපුරන් රොත්තක්ම හදා ඇත්තටම මිය ගියේ ගොඩක් පස්සේ දවසකයි.
(Image: http://www.info.shalanka.com/famous-people-in-sri-lanka/actorsactresses-people-in-sri-lanka/vijaya-kumaranatunga/)
Labels:
ආකල්ප,
ආගම් හා දර්ශන,
ජනකතා,
මරණය,
සමාජ චර්යා
Subscribe to:
Post Comments (Atom)
මං හිතන්නේ කණකර තිබුනත් වඩු බිරිඳ ආපසු ගෙදර ඒවි. කට්ටිය පණ එපා කියලා දුවන්නේ මිනියට පන ආපු නිසා. එහෙම උදවිය අදටත් හොයන්න අමාරු නෑ.
ReplyDeleteමිනිය තනි කරණ චාරිත්‍රයක් මම අහලා නෑනේ.. මිනිය තනි කරන්න එපා කියලනේ කියන්නේ... ඒකනෙ හැම වෙලේම ළඟට වෙලා කවුරු හරි ඉන්නෙ..
ReplyDeleteඅන්තිමට මිනිය එළියට ගන්න කලින් පොඩි වෙලාවකට හැමෝටම එළියට යන්න කියල මිනිය තනි කරන සිරිතක් තියෙනවා නේද? හැම ප්‍රදේශයකම තියෙන සිරිතක්ද කියල දන්නේ නැහැ.
Deleteඅපේ පැත්තෙ එහෙම එකක් නෑ.මම ඔය ඇහුවමයි..
Deleteමගේ මව් පාර්ශවයේ සීයා ගේ අවමගුල දා එලෙස කළ යුතු යැයි එතැන සිටි (පවුලේ නොවන අයෙකු පවසා සියලු දෙනාවම නිවසෙන් පිටට යැවුවා. මා නම් එළියට ගියේ නෑ. මොකද වෙන්නේ යැයි බලන්නට නිවස තුල ම සිටියා. මේ අවමගුල රත්නපුර ප්‍රදේශයේ කලවානේ.
Deleteඒ සිරිත ගම්පහ අපේ පියාගේ ගම් ප්‍රදේශයේ දී මා කිසි දිනක දැක නෑ.
අඩුකුලේ යැයි සම්මත ජනතාව අතර පවතින සිරිතක් තමයි මේක සෙන්නා.
Deleteතනි කිරීමට වඩා මා දැකලා තියෙන්නේ පවුලේ අයට පමණක් මිනිස සමග ගත කිරීමට යම් වෙලාවක් ලබාදීම. ඔබ කියූ කාරණය ඒ විදියෙනුත් ඉටු කරගන්න පුළුවන්.
Delete++++++
ReplyDeleteරුසියාවේ නම් කනත්තේදී පෙට්ටිය ඇරලා වටේ රැස්වෙලා ඉන්න කාටත් පෙන්න කෝට් එකත්, සපත්තුවල අඩියත් බ්ලේඩ් වලින් කපල පලුදු කරනවා, යුරෝපයේ ඇමරිකාවේ කොහොමද?
ReplyDeleteඅන්දන ඇඳුම්වල උඩ පැත්ත විතරයි නේද තියෙන්නේ?
Deleteඉකොනෝ, මොකද පෝස්ට් එකක් ලියන්නත් බැරි තරමට මූඩ් එක බැහැලා වගේ.......... ඔයා හරි. හදාගත්තු බ්ලොග් දරුවා වගේම, උපතින්ම ගෙනෙන ආත්මයත් ජීවත් කරවන්නම ඕනේ. ඒකට ඉතින් හිත සතුටු වෙන දේවල් එපැයි කරන්න. හැමෝටම ලියන්නත් බැරි එකේ පුළුවන් අය ඒක කරන්නම ඕනේ. එක-එක්කෙනා ලෝකෙට ඇවිත් ඉන්නේ එක-එක කොටස් කරන්න කියලයි මට හිතෙන්නේ.
ReplyDelete//ලංකාවේ ගොඩක් මිනිස්සු කැමති තමන් රත්තරන් වගේ වස්තු සම්පත් වලට ලොකු ආසාවක් නැති බව අනික් අයට පෙන්නන්නයි.// එක එහෙම වුණත් වැඩිවිය පත්වෙන්න කිට්ටු ගැහැනු දරුවෙකු ඉන්නවානම් ඉක්මනට එයාට පලන්දවලා තියෙන රත්තරන් බඩු ගලවනවා. ඒවා රෙදි නැන්දට දෙන්න වෙන හින්දා!
ඉකොනෝ කියලා තියෙන ජනකතාව පදනම් කරගෙන තමයි, ටෝනි රණසිංහ - ජීවරාණි කුරුකුලසූරිය ප්‍රධාන චරිත රැඟූ 'ගොපලු හඬ' ෆිල්ම් එක හදා තිබුණේ.(මගේ නාමලී - බැඳී ආදරේ, හරූන් ලන්ත්රාගේ ෆේමස් සින්දුව තියෙන්නෙත් ඒ චිත්‍රපටයේ.
මටත් සිහිවුනේ ඒ චිත්‍රපටයයි!
Deletehttps://www.youtube.com/watch?v=DtqOaFpAbpU
ReplyDelete