Monday, September 5, 2016

වටු කිරිල්ලිය හා ඇගේ බිත්තරය


කුඩා කාලයේදී ඇසූ වටු කිරිල්ලියගේ කතාව විචාරක විසින් නැවත මතක් කර දී තිබේ. මෙය ඔහුට මෑණියන් විසින් කුඩා කාලයේදී කියාදුන් අයුරින්ම අපූරුවට සටහන් වී තිබේ.

ඔහුගේ ලිපියේ ඇති ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ යන එක දිගට කියාගෙන යන කොටස විචාරක විසින් 'අටුවක් ගෙනෙන්, පුටුවක් ගෙනෙන්, තට්ටු හතක බුලත් ගෙනෙන්’ කියා වෙනස් කළේනම් ඔහුගේ මව මේ කතාව ඔහුට කියාදුන් රිද්මය එසේම සිතේ මැවෙන්නේ නැත.

පසුගිය සියවසේ මැද පමණ දක්වාම වටු කිරිල්ලියගේ කතාව වැනි ජනකතා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වුණේ මෙසේ අම්මලා, ආච්චිලා හෝ වෙනත් වැඩිහිටියන් විසින් කුඩා කාලයේ දරුවන්ට කියා දුන් කතා ඒ දරුවන් වැඩිහිටියන් වී වෙනත් දරුවන්ට කියා දීමෙනි. මවගේ හා පියාගේ සොයුරු සොයුරියන් රැසක් ඇතුළු බොහෝ වැඩිහිටියන්ගෙන් කුඩා කාලයේදී මෙවැනි කතා අසන්නට මා වාසනාවන්ත වී ඇතත්, මා මෙන් විස්තෘත පවුලක ඇසුර ලැබීමේ වාසනාව අහිමිව වැඩුණු මගේ දරුවන්ට මේ කතා බොහෝ විට අහන්නට ලැබී ඇත්තේ මගෙන් පමණි.

විචාරක විසින් ඔහුගේ මවගෙන් අසාගත් පරිදි මේ කතාවේ ඉන්නේ වඩු කිරිල්ලියක වුවත් මා අසා ඇති පරිදි කතානායිකාව වටු කිරිල්ලියකි. වඩු කිරිල්ලියක් සාමාන්‍යයෙන් (විචාරකගේ ලිපිය සමඟ පළ කර ඇති) ඇගේ අපූරු කූඩුවෙන් පිටත බිත්තර නොදමන බැවින් මේ කතාව වඩා ගැලපෙන්නේ පොළොව ආශ්‍රිතව බිත්තර දමන වටු කිරිල්ලියකටය. කටින් කට සම්ප්‍රේෂණය වෙද්දී වටු කිරිල්ලිය ඉතා පහසුවෙන් වඩු කිරිල්ලියක වන්නට ඇත.

මේ කතා මුලින්ම කාගේ හෝ හිතේ මැවුණු අදහසකින් හෝ ඇසූ දුටු දෙයකින් පටන්ගෙන පසුව කාලයක් තිස්සේ තවත් බොහෝ දෙනෙකු අතින් පෝෂණය වුණු 'කතා' ලෙසම සැලකිය හැකි කතා වුවත්, ඒ කතා සැලකිල්ලෙන් විමසන විට අපේ පැරණි ජන සමාජය ගැන අදහසක් ගත හැකිවාක් මෙන්ම කතාවේ කෙළින්ම කියා නැති දේවල් ගැන කතා කරන්නටත් බැරිකමක් නැත. උදාහරණයක් ලෙස කතාවේ වස්තු බීජය හේනක් මැද පිහිටි අතරින් පතර ගස් වැවුණු ගල්තලාවක පැල්මක් අතර සිරවී තිබුණු වටු බිත්තරයක් හෝ කිහිපයක් දැක එය ගන්නට වෙනත් අයෙකුගෙන් උදවු ඉල්ලන කාන්තාවක් විය හැකිය. මේ කතාවේ ගල් වඩුවාගෙන් මෙන්ම, ඌරාගෙන්ද, ගිණි ගොඩෙන්ද, වතුර වලෙන්ද, අලියාගෙන්ද, කටුස්සාගෙන්ද සංකේතවත් වන්නේ සමාජයේ ජීවත්වන විවිධ දක්ෂතා හා දුර්වලතා ඇති මිනිසුන් විය හැකිය.

සමාජයක ජීවත් වන විවිධ පුද්ගලයින්ට විවිධ දක්ෂතා තිබේ. අයෙකුට බිත්තර නිෂ්පාදනය කිරීමටත්, තවත් අයෙකුට ගල් කඩන්නටත්, වෙනත් අයට බල ශක්ති ප්‍රභව සැපයීමට, ගිණි නිවීමට, ජල කළමනාකරණයට හා ජල කලමණාකරන උපාංග පාලනයට වැනි වෙනස් කටයුතු වලට විශේෂ ප්‍රාගුණ්‍යයක් තිබිය හැකිය. කිසියම් පුද්ගලයෙකු හෝ රටක් තමන්ට මෙසේ විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති කටයුත්තක නිරත වූ විට වැඩි ඵලදායිතාවයකින් නිෂ්පාදන කාර්යයෙහි යෙදිය හැකිය. සමාජයක් ඉදිරියට යන්නේ මෙසේ එක් එක් තැනැත්තා තමන්ට වඩාත් හොඳින් කළ හැකි දේ කරන අතරම භාණ්ඩ හා සේවා හුවමාරුව (හෝ වෙළඳාම) හරහා එක් ඒකකයක් ලෙස සම්බන්ධ වූ විටය.

කිසිවෙකු තමන්ගේ කාර්යය තනිව කිරීමට උත්සාහ ගන්නේනම් තමන්ට විශේෂ ප්‍රාගුණ්‍යයක් නැති කටයුතු වලද නිරත වන්නට සිදුවේ. එවිට තමන්ට විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති කටයුතු අතපසු වන නිසා එය අකාර්යක්ෂමතාවයන්ට හේතු වේ. ඒ නිසා වටු කිරිල්ලියගේ බිත්තරය ගල් දෙබොක්කාවේ හිර වූ විට එය තමන් විසින්ම ගන්නට කාලය යොදවනවාට වඩා ඒ පිළිබඳ  විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති ගල් වඩුවාගේ සේවය ලබා ගැනීම හොඳ තීරණයකි.

කෙසේ වුවද, ගල් වඩුවා වටු කිරිල්ලියට නොමිලේ සේවය සපයන්නට කැමති නැත. බිත්තර ඉවත් කිරීමට වටු කිරිල්ලියට උදවු කිරීමෙහි ආවස්ථික පිරිවැයක් තිබේ. එය වටු කිරිල්ලිය විසින් නොසැපයේනම් වටු කිරිල්ලියට අඩු මිලකට (නොමිලේ) සේවය කිරීමට ඉදිරිපත් වීම ගල් වඩුවා දකින පරිදි තාර්කික තීරණයක් නොවේ. ඒ නිසා ඔහු සිය මිල ඉල්ලා සිටී.

‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’

මෙය සැලකිය යුතු මිලකි. මේ සියල්ල ඉතා මෑත කාලයක් දක්වා සාමාන්‍ය ලාංකිකයෙකුගේ සුඛෝපභෝගී භාණ්ඩයි. අටුව යනු පැරණි ගම්බද නිවසක සබ්බ සකල මනාවම සුරක්ෂිත ලෙස ගබඩා කර තබන තැනයි. උදාහරණයක් ලෙස අටු කොස් කියන්නේ එසේ ගබඩා කර තබාගෙන පසුව ආහාරයට ගන්නා කොස්ය. සාමාන්‍ය ගැමියෙකුට අටු දෙකක ගබඩා කරන්නට තරම් දේවල් නැත. ඒ නිසා ගල් වඩුවාට දෙන්නට වැඩිපුර අටුවක් නැත. තියෙන එකම අටුව ඉල්ලීම මස් රාත්තලම ඉල්ලීමකි.

පුටුවද එවැනිම සුඛෝපභෝගී භාණ්ඩයකි. බොහෝ පැරණි ගැමි නිවෙස් වල බංකු, මැහි මිස පුටු නොතිබුණේය. පුටුවක් තිබුණේනම් ඒ ගමේ හාමුදුරුවන් වැඩිය විට සුදු රෙද්දක් එලා අසුන් ගන්නට දෙන්නට හෝ ගම් ප්‍රධානියෙකු පැමිණුනු විට මකුළු දැල් පිස දමා වාඩි වෙන්නට දෙන්නටය. එය පෙර කී අටුව මෙන් අත්‍යවශ්‍ය භාණ්ඩයක් නොවීය. බොහෝ ගෙවල් වල පුටුවක් නොතිබුණේ පුටුවක් හදාගන්නටවත් ආර්ථික ශක්තියක් නොතිබුණු බැවිණි. ඇතැම් වඩුවන්ගේ ගෙවල් වල පවා පුටු නොතිබුණේය. ඒත් සමහර අයනම් තමන්ට අත්‍යවශ්‍ය උපාංගයක් වන අටුව කඩා හෝ පුටුවක් හදා අනුන්ට පෙනෙන්නට ප්‍රදර්ශනය කරන අවස්ථා ඒ කාලයේදීත් තියෙන්නට ඇත.

තුන් වැන්න බුලත් තට්ටු හතයි. බත මෙන්ම බුලතද සෞභාග්‍යයයේ සංකේතයි. අල, බතල, කොස්, දෙල්, කුරහන් වැනි විවිධ ආහාර රැසක් අතර බත් යනු 'පොෂ්' කෑමකි. අමුත්තෙකු නිවසට පැමිණි විට නිවසේ ඇති අටුව හා පුටුව ප්‍රදර්ශනය කිරීම මෙන්ම කොස්, දෙල්, කුරහන් වලින් නොසලකා බතක්ම උයා දීමත්, බුලත් පිරුණු හෙප්පුවක් පෙන්වීමත් කළ හැක්කේ ප්‍රමාණවත් තරම් සල්ලියක් අතේ ඇති අයෙකුටය. හෙප්පුවේ ඇති බුලත් කල් තබා ගත නොහැකිය. ඒ නිසා තට්ටු හතක් උසට බුලත් පුරවන්නට වෙන්නේ ජයට ගන්නා මඟුලක් වැනි අමුත්තන් රැසක් ගෙදරට එන වෙලාවකටය.

අතේ පිච්චිය නැති, එදා වේල සරි කරගැනීමට දඟලන බහුතර ගැමියන්ට 'අටුවක්, පුටුවක් හා තට්ටු හතක බුලත්' යනු සිහිනෙන් දිව ගෑ සුවඳකි. වටු කිරිල්ලියගෙන් ගල් වඩුවා ඉල්ලන්නේ මෙවැනි ඉහළ මිලකි. මෙයින් ජනකතාකරුවා විසින් අහිංසක වටු කිරිල්ලියට දරා ගත නොහැකි මිලක් ගල් වඩුවා ඉල්ලන බව අතිශයෝක්තියට නඟමින් පවසයි. වටු කිරිල්ලිය ඒ මිල ගෙවීමට සූදානම් නැත. ඒ නිසා ගනුදෙනුවක් සිදු නොවේ. එහෙත්, ඇය බලාපොරොත්තු අත් නොහරී. අඩුවෙන් වැඩේ කරගත හැකි තැනක් සොයමින් 'ෂොප් කරයි'.

ඈ ඌරා, ගිණි ගොඩ, වතුර වල හා අලියා යන වෙනත් සැපයුම්කරුවන් සිවුදෙනෙකු වෙතම යන නමුත් ඔවුන් බලාපොරොත්තු වන අවම මිලද ඇය ගෙවන්නට කැමති මිලට වඩා වැඩිය. ඒ නිසා ගණුදෙනුවක් සිදු නොවේ.

කෙසේවුවද, අවසානයේ වටු කිරිල්ලිය සිය බලාපොරොත්තු ඉටු කරගනී. කටුස්සා ඇයට දරා ගත හැකි මිලකට (කිසිවක් අය නොකරම) ඇයට අවශ්‍ය දෙය ඉටු කර දීමට ඉදිරිපත් වේ. ඇතැම් විට, කටුස්සාට අලියාගෙන් 'ඇරියස් එකක් ඇල්ලීමට' තිබුණු අවශ්‍යතාවය සමඟ වටු කිරිල්ලියගේ අවශ්‍යතාවය සම්පාත වූවා විය හැකිය. එසේ නැත්නම්, නිකම්ම ඔළුව වන වන පැත්තකට වී සිටි කටුස්සාගේ ශ්‍රමයේ ආවස්ථික පිරිවැය ශුන්‍ය වූවා විය හැකිය. එසේත් නැත්නම්, සරලවම කටුස්සා අනුන්ට උදවු කිරීමෙන් තමන්ට සතුටක් ලැබිය හැකි අයෙකු වූවා විය හැකිය.

වටු කිරිල්ලිය අන්තිමේදී ඇගේ වැඩේ 'කොහොම හරි' ගොඩ දා ගත්තේය. ඒත්, ඒ කිසිදු පිරිවැයක් නොදරමින් නොවේ. සැපයුම්කරුවන් හය දෙනෙකු හමුවෙමින්, මිල හෙට්ටු කරමින් ඇය විසින්ද සැලකිය යුතු සෙවුම් පිරිවැයක් (search cost) දරා තිබේ. 



[ලිපියට අදාළ නොවන, අපහාසාත්මක හා සම්මත අසභ්‍ය වචන අනවශ්‍ය පරිදි යොදාගැනෙන කමෙන්ට් පළ නොකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. එවැනි කමෙන්ට් පළවී ඇතොත් ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි එම කමෙන්ට් ඉවත් කරනු ලැබේ.]

(Image: http://orientalbirdimages.org/)

49 comments:

  1. දරුවනේ, අපේ බෑණන්ඩියව දවසකින් දෙකකින් දැක්කෙ නැහැ. ඊට කලියෙන් නම් ගංජා ගහලා පිස්සෙක් වගේ කුණුහරුප කියව කියවා හිටියා. දැන් ඔය කොහේ හරි පත බෑවිලා ඇති. ඔහෙලා වැරදිලාවත් දැක්කොත් හෙම බෙල්ලෙන් අල්ලලා වතුර බාල්දියක ඔබලා, සිහිය ආවයින් පස්සෙ ගෙදර එක්ක එන්ඩ ඕනැ කොලුවනේ. දුව බලාගෙන ඉන්නවා ඌ එනකල්.

    ReplyDelete
    Replies
    1. ‘අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන’ එතකොට බෑණන්ඩිව සොයලා දෙන්නම්.... :D

      Delete
    2. මං අනුමානෙට හිතන්නෙ අපේ බැන හොරිවිල වෙද ගෙදරවත්වත් ගියාදෝ කියල. තට්ටු හතක බුලත් කොහොම උනත් වෙදගෙදර යද්දි වෙද පඬුරු තියන්න බුලත් අතක් අරන් යන එකයි පුරාණ සිරිත. හැබැයි ඉතිං අපේ බෑන වෙදමහත්තයට ගම්මිරිස් කොළ අතක තියල ක්‍රෙඩිට් කාඩ් එක දෙයිද දන්නෑ. එහෙව් රැඩිකල් පුතය.

      Delete
    3. ඕව මාමලගෙම වැරදි. මෙතන දෙගල් අස්සෙ හිරවෙච්ච වටු බිජු හොය හොය ඉන්න වෙලාවේ පොඩ්ඩක් එළියට බැහැල බෑණ ගැන හොයල බැලුවනං නරකද? අන්තිමට බෑණ අමාරුවේ වැටුනහම කොන්ඩම් තියරිය දානව මිසක් ඔය බෑණට ගංජ අරන්දෙන කේවට්ටයෝ, මිත්‍ර ප්‍රතිරූපකයෝ කවුරුවත් උදවුවට එන්නේ නැහැ.

      Delete
  2. ඒ කතාවේ තියන ආර්තික විද්‍යාව නිකමටවත් ඔලුවට ආවේ නෑනේ මේක කියවනකම්...

    මේ කතා නිකම් සරළ කතා වගේ පෙනුනට, පැ‍රැන්නන් විසින් මොකක් හෝ ගැඹුරු දෙයක් සරලව මතක තබා ගැනීමට මෙහෙම කතා ගෙතුවත් වෙන්න පුළුවන්..

    ReplyDelete
  3. ඉකෝන්, ඔබ හරියටම මේ කතාවේ ආදර්ශය හා අර්ථ කථනය දී තිබෙනවා. දැන් මට පහසුයි. මම කරන්නේ කතාවේ ආදර්ශය, අර්ථය දැනගැනීමට කැමති අය මෙන්න මේක බලන්න කියලා මේ ලිපියට ලින්ක් එකක් දීමයි.

    ReplyDelete
  4. නියම පැහැදිලි කිරීමක්. ඇරියස් එක නිසා වැඩේ ගොඩ ගියා.

    ReplyDelete
  5. "..There is Price for Free..."

    ReplyDelete
  6. ජන කතාවක් මෙහෙම විද්‍යාත්මක දැනුම් පද්ධතියකින් පැහැදිලි කරද්දි හරිම 'මෙව්වා' එකක් දැනෙනවා....

    ReplyDelete
    Replies
    1. ජනකතා වල මතුපිටින් පේනවට වඩා දේවල් හැංගිලා තියෙනවා.

      Delete
  7. විචාරකගේ කතාව කියවන විට මට ආ ගැටළුව නම් යම් ලෙසකින් කටුස්සාද අටුවක් ගෙන, පුටුවක් ගෙන, තට්ටු හතක බුලත් ගෙන කීවානම් ?

    ReplyDelete
    Replies
    1. හැක්. දෙනවා එහෙනම් ඕකට 'කළුකුඩු බස්නේ'

      Delete
    2. මේක ගොඩක් හොඳ ප්‍රශ්නයක්. හැම වෙලාවෙම ඔය වගේ කටුස්සෝ සෙට් වෙන්නේ නැහැ. එහෙම වෙලාවට බිත්තර ගල් අස්සෙමයි. ආර්ථිකයක් හිර වුනහම එය ගොඩදාන්න ඇතුළෙන් හෝ පිටින් උත්තේජනයක් අවශ්‍ය වෙනවා. එතකොට වෙන්නේ මේ වගේ තත්ත්වයක්.

      https://economatta.blogspot.com/2015/07/blog-post_15.html

      Delete
  8. ආර්ථික විද්‍යාව මේ වගේ රස කතා මගින් කියලා දෙනවා නම් කොච්චර හොඳයිද කියලා හිතුනා. වඩු කුරුල්ලෝ කියලා ජාතියක් ඇත්තටම ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. Econ, Glad to see you are continuing with your usual inspiring writing where you introduce and explain the economic principles through simple stories.

      @ Medusa;
      Yes, both "Wadu Kurulla (Weaver Bird) and Watu Kurulla (Quail) are available in Sri Lanka.

      Delete
    2. මෙඩුසා මෙන්න මේවා බලන්න. මට පුදුම හිතුනා ඔබ වඩු කුරුල්ලා ගැන දන්නේ නැතිවීම ගැන.

      https://en.wikipedia.org/wiki/Baya_weaver

      http://www.zoom.lk/forums/showthread.php?t=21139

      Delete
    3. අසූව දශකයේ මුල් කාලයේ අපේ නිවස පිටුපස තිබුණු වෙලක් අයිනේ වඩු කුරුල්ලන් කූඩු හදන ගහක් තිබුණා. එහි කොයි වෙලේත් වඩු කුරුළු කූඩු හත අටක්ම තිබුණා.

      Delete
  9. අාර්ථිකය මොන දේටත් ගැට ගැහෙන අපුරුව ඔබගේ විස්තර කිරීමෙ ්දක්ෂතාවයෙන් එළි බහින හැටි හරි අපුරුයි ඉකොන්.. මෙන්න මගේ පිප්ටි සෙන්ට්ස්

    ReplyDelete
  10. වටු කිරිල්ලිය තමන්ගේ වැඩේ කරගන්න නොදැනුවත්වම යම් මිලක් වැයකරලා තියෙනවා.

    //මිල හෙට්ටු කරමින් ඇය විසින්ද සැලකිය යුතු සෙවුම් පිරිවැයක් (search cost) දරා තිබේ.//

    සමහර විට අපි හිතනවා නිදහස් අධ්‍යාපනය,නිදහස් සෞඛ්‍ය වගේ දේවල් නොමිලේ රජයෙන් ලැබෙන්නේ කියලා.නමුත් අපි නොදැනුවත්වම හෝ බදු මගින් එව්වාට මිලක් ගෙවලා තියෙනවා වගේ.

    ReplyDelete
    Replies
    1. සෞඛ්‍යය හා අධ්‍යාපනය වෙනුවෙන් සෘජු හා වක්‍ර ලෙස බදු ගෙවන බව ටිකක් වැඩිපුර පැහැදිලි දෙයක්නේ, මනෝජ්. එතරම් පැහැදිලි නැත්තේ වෙනත් 'ආවස්ථික පිරිවැය'. සරසවියට ගොස් 'නොමිලේ' අධ්‍යාපනය ලබන කෙනෙක් එසේ නොකළානම් බොහෝ විට වෙනත් රැකියාවක් කර ආදායමක් උපයනවා. සරසවි යන නිසා ඔහුට හෝ ඇයට ඒ රැකියාව කරන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා ලැබිය හැකිව තිබුණු ආදායමක් නැතුව යනවා. මෙයත් අධ්‍යාපනය සඳහා වැය කරන මිලේ කොටසක්. ඒ වගේම ඔබ දන්නවනේ 'නොමිලේ' ලැබෙන සෞඛ්‍ය සේවාවක් ලබා ගැනීමට රජයේ රෝහලකට ගිය විට සිදුවන රස්තියාදුව. මෙසේ නාස්තිවන කාලයත් පිරිවැයේ කොටසක්.

      Delete
  11. ඔබේ ලියවිල්ල විශිෂ්ටයි. මෙවැනි ලියවිලි සිංහල බ්ලොග් වල ඇති මිණිකැට වැනි බව පෙනේ.

    ReplyDelete
    Replies
    1. කණගාටුවට කාරණයනම් මිණිකැට දිය යට පවතිද්දී ගොමරිටි මතුපිට පාවීමයි. නමුත් ඒ මිණිකැට වලට ආවේණික ස්වභාවයයි. එසේම හිස් බඳුනකින් නැගෙනුයේ බොල් හඬක් පමණි. එය හිස් බඳුන් වලට පොදු ස්වභාවයකි.

      Delete
    2. ගොතලන්ගේ ගො අකුරෙන් කියවෙන්නේ ගොමරිටි කියන එකද?

      Delete
    3. ඒ පිළිබඳව මම නොදනිමි. පුද්ගලික චරිත වැදගත් නොවේ. භාෂාව යනු චින්තනයේ මෙවලම යැයි ටෝල්ස්ටෝයි කියා ඇත. ඒ අනුව අයෙකු භාවිතා කරන භාෂාවේ තත්වය ඔහුගේ චින්තනය පිළිබිඹු කෙරෙන කැඩපතක් වැනිය.

      සේකර "ප්‍රබුද්ධ" හිදී නිර්මල මනස සමාන කරනුයේ කැඩපතකටය. "ලබාගන්නා නමුදු තබා ගන්නේද නැත". මා බ්ලොග් රචකයකු නොව ඒ අවකාශය තුළ හුදු නිර්නාමිකව අදහස් දක්වන්නෙකි. බ්ලොග් රචකයන් වන ඔබට මා ආරාධනා කරන්නේ බ්ලොග් අවකාශය තුළ පැවති ගී රැල්ල වැනිම කව් රැල්ලක් ද අරඹන ලෙසය.

      එවිට ඇනෝලා යන අහවල්ලුන් වන අපටද ඒ මල් වට්ටියට අතගසා ඒ පිනෙන් මතු භාවයේදී බ්ලොග් ලෝකයේ "බ්‍රාහ්මණ වංශයේ" ජනිතව "බ්ලොග් සසුනේ" පැවිදිව කැමති කර්මස්ථානාචාර්යවරයකු වෙතින් කමටහන් ලැබ බවුන් වඩා නිර්වානාවබෝධය ලැබිය හැකිය.

      නමුත් එහිදී ද රිලවුන්ගෙන් බණ අසා ජේතවනාරාමයට ගල්ගැසූ මානවකයන්ගෙන් පැවත එන්නන්ගෙන් පෙර කළ අකුසල කර්මයක් නිසා ගල් පහරවල් කෑමට සිදුවේද යන්න පැවසීමට තවම කල් වැඩිය.

      නමුත් රිලවුන්ද රිලවුන්ගෙන් බණ අසන මානවකයන්ද ඇතුලු සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා ! දුකින් මිදෙත්වා ! නිවන් දකිත්වා !

      Delete
    4. මගේ අදහස නම් කෙනෙකු බ්ලොග් ලියන්නේ හෝ බ්ලොග් වලට ප්‍රතිචාර ලියන්නේ නිර්නාමිකවද ප්‍රොෆයිල් එකකින්ද යන අදහසට වඩා වැදගත් වන්නේ ලියන දෙය බවයි. නිර්නාමිකයන්ට "ඇනෝ" වචනය මම කිසිවිටක යොදන්නේ ද නැත. තමුන් අසුවල් ඇනෝ ලෙසින් තමුන් විසින් තමුන් හදුන්වාගන්නා අවස්ථාද තිබේ. මේ අනුව පෙනෙන්නේ "ඇනෝ" යන වචනය අතත්‍ය අනන්‍යතාවයන් සඳහාද යොදාගන්න බවයි. මෙසේ බැලූ විට නම් මමද ඇතුළු බ්ලොග් ලියන බොහොමයක් "ඇනෝ" ලා බව පිටත සිට බලන අපට පෙනේ. ඒ නිසා ඔබ කියන "ඇනෝ" ලා මට නම් අසවලුන් නොවේ.

      ප්‍රොෆයිල් වලින් ලීවද නිර්නාමිකව ලීවද නොසුදුසු දේ නොසුදුසු දේම වේ. අද පුවත්පතක දුටුවේ; වේදිකාවේ අසභ්‍ය වචන කියූ රැප් ගායකයාට එරෙහිව ගායක ගායිකා සංගමය කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුව පොලිසියට ගෙන්වා කරුණු කටඋත්තරයක් ගෙන අධිකරණයට කරුණු වාර්තා කෙරෙන බවයි. අන්තර්ජාලය සම්බන්ධ නීති දැනට මේ තරම් තදින් ක්‍රියාත්මක නොවුනද එසේ වෙන දිනය වැඩි ඈතක නොවෙන බැවින් දැන් සිටම එම පුරුදු ඇතිකිරීම වඩා සුදුසු විය හැකිය.

      බ්ලොග් ලිවීමට පෙර මමද නිර්නාමිකව අදහස් දැක්වුවෙමි තර්ක කලෙමි. නමුත්, ඒ අදහස් කියවූ ඉයන් මට බැණ වැදුනේ නැත. ඒ වෙනුවට ඔහු සහ අරුණ බ්ලොග් ලියන ලෙස මා හට ආරාධනාවක් කළේය. ඒ අනුව මට හැකි පමණින් බ්ලොග් ලිපි කිහිපයක් ලියුවෙමි. ඉයන්ගේ සහ අරුණගේ ආදර්ශයට අනුව මමද ඔබට ආරාධනා කරන්නේ හැකි පමණින් කවි හෝ ඔබට දක්ෂතාවයක් දැනුමක් ඇති දේ ගැන බ්ලොග් එකක් ලියන ලෙසටයි.

      බ්ලොග් වලට පුද්ගලික දේ ගෙනෙනවාට හෝ බ්ලොග් පුද්ගලික ජීවිතයට ගන්නවාට හෝ මගේ නම් එතරම් මනාපයක් නැත. එය හුදෙක් මගේ අකැමැත්ත පමණකි

      Delete
    5. "...අද පුවත්පතක දුටුවේ; වේදිකාවේ අසභ්‍ය වචන කියූ රැප් ගායකයාට එරෙහිව ගායක ගායිකා සංගමය කරන ලද පැමිණිල්ලකට අනුව ඔහුව පොලිසියට ගෙන්වා කරුණු කටඋත්තරයක් ගෙන අධිකරණයට කරුණු වාර්තා කෙරෙන බවයි...."

      එකට අපේ බ්ලොග් සංවිධාන, කුණුහරුප කිව්ව එකාව නේද හොඳම බ්ලොග් කාරයට තොඉරලා තියෙන්නේ?

      Delete
    6. ඔබලා කරන ගොමරිටි හා මිණිකැට සංසන්දනයේ මෙවැනි පැත්තකුත් තියෙනවා. අපි බොහෝ දෙනෙක් මිණිකැට වටින සේ සලකන්නේ, එසේ නැත්නම් මිණිකැට මිල අධික වී තියෙන්නේ, මිණිකැට දුලබ නිසා. පොළොවේ සැඟවී ඇති මිණිකැට මතු කර ගැනීම පිරිවැය අධික, අසීරු කටයුත්තක්. ඒ නිසා මිණිකැට සැපයුම ඉතා සීමිතයි. එහෙත්, මිණිකැට වලට ඇති ඉල්ලුම ඉතා වැඩියි. ඒ නිසා මිල ඉහළයි.

      ගොමරිටි සම්බන්ධව තත්ත්වය වෙනස්. ගොමරිටි මිණිකැට වලට සාපේක්ෂව පහසුවෙන් එකතු කර ගත හැකියි. ඒ නිසා, ඉල්ලුමට සාපේක්ෂව සැලකිය යුතු සැපයුමක් තියෙනවා. ඇතැම් විට ඉල්ලුමටත් වැඩිය. ඒ නිසා ගොමරිටි වල වටිනාකමක් නැහැ. මිල ශුන්‍යයි හෝ ඉතා අඩුයි.

      දැන් පොළොවේ සැඟවී ඇති මිණිකැට ඉබේම මතුවී හැමතැනම පාවෙන්නත්, ගොමරිටි පොළොව ගැඹුරේ සැඟ වෙන්නත් පටන්ගත්තොත් මොකද වෙන්නේ? අර තත්ත්වය තනිකරම කණපිට ගහනවා. එවිට කිසිවකු තවදුරටත් මිණිකැට වටිනා සේ සලකන්නේ නැහැ. ඒ අතර දුලබ ගොමරිටි වල වටිනාකම ඉහළ යනවා. එහෙම වුනොත් ඔය ප්‍රස්තා පිරුළ 'අගනා ගොමරිටි පොලොව යට සැඟවෙද්දී මිණිකැට හැමතැනම පාවෙනවා' කියා වෙනස් වෙයි.

      Delete
  12. 'සතුරාගේ සතුරා මාගේ මිතුරාය' කියල කියමන් හැදෙන්නෙ ඔය ආවස්ථික පිරිවැය ශූන්‍ය කෙනෙක් හොයාගත්තාම ලැබෙන ලාභය නිසා වෙන්න ඇති.හැබැයි ඒ සඳහා සෑහෙන සර්ච් කොස්ට් එකක් නම් දැන් රටවල් ගෙවනව නෙව.. හෙහ් හෙහ්.. අපූරුයි.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සතුරාගේ සතුරා තියරි එකේදී වෙන්නේ දෙදෙනෙකුගේ අවශ්‍යතා සම්පාත වීම. ආවස්ථික පිරිවැය හැමවිටම මැනෙන්නේ අනෙක් හොඳම විකල්පයේ පිරිවැයට සාපේක්ෂව. මෙතැනදී අනෙක් විකල්පය පිරිවැයක් නොව උපයෝගීතාවයක් ජනනය කරන දෙයක් නිසා ආවස්ථික පිරිවැයක් නැහැ.

      Delete
  13. ගල් වඩුවා, ඌරා, ගිණි ගොඩ, වතුර වල හා අලියා ගැන මගෙ පොඩි ගෞරවයක් තියෙනව. කතාවෙ හැටියට වඩු කිරිල්ලි අස්වාමික කෙනෙක්. උදව් ඉල්ලද්දී ගල් වඩුවා, ඌරා, ගිණි ගොඩ, වතුර වල හා අලියා අටුවක්, පුටුවක් සහ තට්ටු හතක බුලත් පමණයි ඉල්ලන්නෙ. ඒක ගාස්තුවක්.

    අද කාලෙ අස්වාමික හරි සස්වාමික හරි කිරිල්ලියක් කාගෙන් හරි උදව්වක් ඉල්ලුවොත් එයින් සැලකියයුතු සංඛ්‍යාවක් ගාස්තු වෙනුවට වෙනත් දේ බලාපොරොත්තු වෙනව. සමහරු ගාස්තුවයි අර දේවලුයි දෙකම.

    කටුස්ස මොනව ලබාගත්තද දන්නෙ නෑ. විචාරකතුමා ඒ හරිය කැපුවවත්ද? කොහොමත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට කටුස්සා එක්ක යාලු මිත්‍රකම් තියෙන්න පුළුවන්. මොකද camouflaging එයාල ඉගනගත්තේ කටුස්සගෙන්ලු.

    හමුදාවෙ කටුස්සො ඉන්නවද විචාරකතුමා? මං මේ ඔබතුමාව "කෝට් මාෂල්" උගුලකට අහුකරන්න හදනව නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. වටු කිරිල්ලී කියන්නේ අමාරුවෙන් කුටුම්භය (බිජු) රකින අස්වාමික කාන්තාවක් කියන එක හොඳ පැහැදිළි කිරීමක්.

      Delete
  14. තව කෙනකුගේ පොස්ට් එකක් හරහා ඒ ලිපියට වටිනාකමක් දෙමින් ඔබ කරන පැහදිලි කිරීම එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! විචාරකගේ කතාව මාව සැණෙකින් ළමා කාලයට ගෙනගියා.

      Delete
  15. මේ පැහැදිළි කිරීම ඉතා සිත් ගන්නා සුළුයි...

    ReplyDelete
  16. විචාරකතුමා ඉදිරිපත් කළ ජනකතාව ඔස්සේ ඔබ සිදු කරන සමාජ කියවීම ඉතාම වටිනවා. අපේ ජනශ්‍රැතියේ වන දැනුම් පද්ධතිය නිරාවරණය කරන ඔබේ මෙම කියවීම අලුත් අැසක් නිර්මාණය කිරීමක්. අපේ සාම්ප්‍රදායික මුල් අමතක නොකළ, ඒවා දෙස අලුත් ප්‍රවේශයකින් බලන ඔබ වැනි බුද්ධිමතුන් රටටත්, බ්ලොග් කලාවටත් මහඟු සම්පතක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ප්‍රභාත්! මම හිතන්නේ සම්ප්‍රදායික වූ පමණින් විමසීමක් නැතුව අනවශ්‍ය දේ බදාගෙන සිටීම වගේම සම්ප්‍රදායික වූ පමණින්ම විමසීමකින් තොරව බැහැර කිරීම යන අන්ත දෙකෙන්ම අප මිදිය යුතු බවයි.

      Delete
  17. ඉස්සෙල්ල දැක්කේ මේ ලිපිය.. පස්සේ ගිහින් විචාරකගේ එකත් කියෝලා ආවා.. දැන් නම් කතාව ක්‍රිස්ටල් ක්ලියර්.. ස්තුතියි ඉකොන් :) දැන් මේ කතාව මෙහෙම පැහැදිලි කරලා දීමේ ඉකොන් ගේ ආවස්තික පිරිවැය සමපාත වෙන්නේ මොකකටද? මේ දවස්වල වැඩක් නැතුව ඔලුව වන වන ඉන්නවා වෙන්න බෑනේ.. :)

    ReplyDelete
    Replies
    1. මේ දවස් වල ආවස්ථික පිරිවැයනම් ඇත්තටම හොඳටම වැඩියි. පසුගිය සිකුරාදා සාමාන්‍යයෙන් කවදාවත් නොවන පරිදි රැකියාවට සම්බන්ධ මා හැමවිටම නොවරදවා කරන දෙයකුත් අමතක වුණා. හරිනම් කමී අහන්න තිබුණේ එවැනි ආවස්ථික පිරිවැයක් ඉක්මවන වාසිය කුමක්ද කියන එකයි.

      Delete
  18. විචාරකතුමා ගේ ඔත්තුවකින් ආවේ. අපුරු බ්ලොග් එකක්. ඉකෝන් මෙහෙම කියල දුන්න නං ඉස්කෝලේ... අපිට ඉගැන්නුවේ ඉකෝන් එපා කරවලා.. ඔන්න අපිට හම්බවුන ගුරුවරු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, ඇලෙක්ස්! ගුරුවරුන්ට හොඳින් ඉගැන්වුවත් නැතත් ලැබෙන්නේ එකම දෙය නිසා මේ විකල්ප දෙක අතර වෙනසක් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත් හොඳින් ඉගැන්වූයේ නැහැ කියා කිසිදු පිරිවැයක් නැහැ. ඒ නිසා ඉගැන්වීමෙන් පෞද්ගලිකව ලොකු තෘප්තියක් ලබන කෙනෙකුට හැර වෙනත් අයෙකුට ඒ වැඩේට මහන්සි වීම සඳහා උත්තේජනයක් ඇති වෙන්නේ නැහැ. එවැනි අයම පෞද්ගලික ටියුෂන් කරන විට ප්‍රවේශය වෙනස්.

      Delete
  19. විචාරකතුමාගේ ජන කථාවට ඉහලම විග්‍රහයක්. ස්තූතියි ඉකෝ....

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget