Monday, September 19, 2016

දොස්තරලා සනීපෙන්ද?


මානව ඉතිහාසය සංක්‍රමණිකයන්ගේ ඉතිහාසයකි. වෙනත් ප්‍රවාද ඇතත්, නැගෙනහිර අප්‍රිකාවේ බිහිවුණු හෝමෝ සේපියන්ස් සේපියන්ස්ලා අතරින් පාරුවකින් රතු මුහුද තරණය කර මැද පෙරදිගට සංක්‍රමණය වූ කුඩා කණ්ඩායමක් හේතුවෙන් ලෝකයේ ඉතිරි පෙදෙස් වල මිනිස් ආධිපත්‍යය පැතුරුණු බව බොහෝ ප්‍රචලිත මතයකි.

මිනිස්සු මෙන්ම අනෙක් සත්තුද සංක්‍රමණය වෙති. තමන්ට හුරුපුරුදු වටපිටාවෙන් වෙනත් පෙදෙසකට සංක්‍රමණය වීම අවදානමක් දැරිය යුතු කටයුත්තකි. මිනිසුන් මෙන්ම වෙනත් සතුන්ද මේ අවදානම ගන්නේ එහි ඇති වාසි ගන්නා අවදානමට තරම් වේනම් පමණි. මේ අවදානම හා වාසි ගණනය කරන්නේ තමන්ගේ පවතින දැනුමට සාපේක්ෂව වීම වෙනම කරුණකි.

සංක්‍රමණයෙන් බලාපොරොත්තු වන වාසිය 'සනීපෙට' ජීවත් වීමයි. මේ වචනයෙන් අප බොහෝ විට අදහස් කළේ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වීම පමණක් නොවේ. හොඳ කෑම බීම කමින් හෝ වඩා ප්‍රශස්ත දේශගුණයක් ඇති පෙදෙසක ජීවත් වීමද සනීපෙට ජීවත්වීමකි. ළමා රක්ෂණ නීති හඳුන්වාදීමට පෙර යුගයේ දරිද්‍රතාවයෙන් පෙළුණු ගම්බද පවුලක දරුවෙකු හෝ දැරියක කොළඹ බංගලාවක මෙහෙකාරකමට එවීමට දෙමවුපියන් කැමති වුනේ ළමයා බඩ කට පිරෙන්නට කෑම කා සනීපෙන් සිටිනු ඇතැයි යන අපේක්ෂාවෙනි. මුහුදුබඩ පළාතක කෙනෙක් නිවාඩුවකට නුවරඑළි හෝ වෙනත් සීතල පැත්තක සංචාරය කළේ සනීප ගන්නටය.

අදටත් ලංකාවේ බොහෝ දෙනෙකුට වෙනත් රටකට සංක්‍රමණය වීමේ සිහිනයක් තියෙන්නේ එසේ කිරීමෙන් ලංකාවේදී කළ නොහැකි 'සනීපෙට ජීවත් වීමක්' කළ හැකියැයි ඔවුන් සිතන නිසාය. පවතින සීමිත සම්පත් සඳහා පුද්ගලයින් අතර තරඟය අඩු තැන්වල සනීපෙට ජීවත් වීම සඳහා වැඩි ඉඩකඩක් තිබේ. මේ තරඟය අඩු වීමට සම්පත් වඩා සුලභ වීම, තරඟකරුවන් අඩුවීම හෝ මේ දෙකරුණම හේතු විය හැකිය.

ලංකාවේ 'සනීපෙට ජීවත් වීමට' ඇති ඉඩකඩ ඉතා වැඩිනම් සංක්‍රමණය පුද්ගලයෙකුගේ තෝරාගැනීමක් වීමට ඇත්තේ අඩු ඉඩකි. එසේනම්, උසස්පෙළ තරඟය ජයගෙන, වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වී, අවසානයේ දොස්තරලා වී, සමාජයේ වෙනත් බොහෝ කණ්ඩායම් වලට නැති වරප්‍රසාද 'කෙක්කෙන් හෝ කොක්කෙන්' ලබා ගනිමින්, සනීපෙට ජීවත් වනවාක් මෙන් පෙනෙන ලංකාවේ දොස්තරලාට සංක්‍රමණික අභිප්‍රායයන් නැද්ද?

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනය (Post Graduate Institute of Medicine) හරහා 1980 අප්‍රේල් මස සිට 2009 ජූනි මාසය දක්වා වැඩිදුර ඉගෙනීම සඳහා විදේශගත වූ වෛද්‍යවරුන් 1,915ක් අතරින් 215 දෙනෙකු (11%ක්) නැවත ආපසු පැමිණ නැත. මොවුන්ගෙන් අඩකට වැඩි පිරිසකගේ ගමනාන්තය වී ඇත්තේ ඕස්ට්‍රේලියාවයි. කෙසේ වුවද, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු රජය සමඟ අත්සන් කළ බැඳුම්කර පියවා හෝ පියවීම අරඹා තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වසර, සිවුවන වසර හා පූර්ව-සීමාවාසික පුහුණුව ලබන 'වෙන්ඩ දොස්තරලා' 374 දෙනෙකු යොදාගෙන සිදු කළ සමීක්ෂණයකට අනුව මේ නියැදියෙන් 89 දෙනෙකු (23.8%) විදෙස් රටකට සංක්‍රමණය වීමට බලාපොරොත්තුවෙන් සිටිති. මොවුන්ගෙන් තුනෙන් එකක් පමණ (34.8%) ලංකාවේදී පශ්චාත් උපාධියක් ලබාගැනීමෙන් පසුවත්, තවත් 46%ක් සීමාවාසික පුහුණුව අවසන් කළ වහාම හෝ තවත් අවුරුද්දක් දෙකක් ලංකාවේ සේවය කර ආරම්භක ප්‍රාග්ධනයක් සොයා ගැනීමෙන් පසු පශ්චාත් උපාධි සඳහා නොරැඳී විදේශගත වීමට සූදානමෙන් සිටිති. කිසියම් දිනක ලංකාවේ සේවය කිරීමේ අවස්ථාවද නැති කරගනිමින් සීමාවාසික පුහුණුව නොලබාම රටින් පිටවීමට බලා සිටින කිහිපදෙනෙක්ද (6.7%) මේ අතර සිටිති. මේ වෙන්ඩ දොස්තරලාගේ ජනප්‍රියම ගමනාන්ත වන්නේ ඕස්ට්‍රේලියාව, ඇමරිකා එක්සත් ජනපදය හා එංගලන්තයයි.

ඉහත කී ලෙස රටින් පිට වීමට තීරණය කර සිටින කණ්ඩායමට අමතරව තවත් සැලකිය යුතු පිරිසක් (32.4%) දෙපැත්තට වැනි වැනී සිටින අයයි. ලංකාවේ සිටීමට තීරණය කර ඇති අයගෙන්ද 17.3%ක් මුලින් සංක්‍රමණය වීමේ අදහසින් සිට පවුලේ ඥාතීන් හා සමීපව සිටීමේ උවමනාව ප්‍රධාන වෙනත් හේතු මත මුල් අදහස වෙනස් කරගත් අයයි.

මේ තොරතුරු අනුව පෙනෙන්නේ ලංකාවේ දොස්තරලා ඉන්නේත් ඒ තරම්ම සනීපෙන් නොවන බවයි.

(Image: http://articles.economictimes.indiatimes.com/2011-08-20/news/29909305_1_indian-doctors-physicians-of-indian-origin-british-association)

35 comments:

  1. මගේ යාලුවෙක් සනීපෙට මළා.

    ReplyDelete
  2. ඕස්ට්‍රේලියාවේ සිටින ලංකාවේ උගත් වෛද්‍ය උපාධිදාරීන්ගෙන් සැලකිය යුතු කොටසක් ඉංජිනේරුවන් ගේ බිරින්දෑවරු ය.

    ReplyDelete
    Replies
    1. මම හිතන විදිහට අපේ කාලය වන විටත් ඔබ කියන ආකාරයේ පෞද්ගලික හේතූන් මත හැර ලංකාවේ වෛද්‍ය උපාධිධාරීන් රටින් පිටට සංක්‍රමණය වීමේ ප්‍රවණතාවයක් තිබුණේ නැත. එහෙත්, දැන් රට තුළ තරඟකාරිත්වය වැඩි වීම හෝ වෙනත් හේතු මත එවැනි ප්‍රවණතාවයක් වර්ධනය වෙමින් පවතින බව පෙනේ.

      Delete
    2. "...ලංකාවේ උගත් වෛද්‍ය උපාධිදාරීන්ගෙන් ..."
      උපාධි නොමැති ඩොකාලත් සිටිත්ද?

      Delete
    3. ඇපෝතිකරිලා වැනි අයද සිටිති. දැන් බොහෝ දුරට වෛද්‍යවරයෙකු යනු උපාධිධාරියෙකි.

      https://economatta.blogspot.com/2016/09/blog-post_16.html

      Delete
  3. අපූරු පැහැදිලි කිරීමක් .හැබැයි අපි ඉල්ලන ඒවා දෙන්නෙ නැත්නම් රට යනවා කියල බය කරන්න හදන පිරිසකුත් ඔය අතර ඉන්නවා !

    ReplyDelete
    Replies
    1. 'ඉල්ලන ඒවා' දුන්නත් රටින් පිටවන පිරිසක් ඉන්නවා. ඒ වගේම නුදුන්නත් ඉන්න පිරිසකුත් ඉන්නවා. මේ කණ්ඩායම් දෙක ඉතා විශාලයි. වෛද්‍යවරුන්ගේ පෞද්ගලික තීරණයක් වන සංක්‍රමණය වීම හෝ නොවීම වෛද්‍ය සංගමයට පාලනය කරන්න බැහැ. හැබැයි තවත් සීමිත පිරිසකට ඔය 'ඉල්ලන ඒවා' මඟින් ඔවුන්ගේ පෞද්ගලික සංක්‍රමණය වීමේ තීරණයට වක්‍ර බලපෑමක් වෙනවා. ඒ නිසා කතාවේ පොඩි ඇත්තක් තියෙනවා. මේ අයුරින් වෛද්‍යවරුන්ගේ සංක්‍රමණය වීමේ තීරණයට නිශේධනාත්මක බලපෑමක් කිරීම මඟින් ලැබෙන වාසිය ඒ සඳහා ගෙවන මිලට වටිනවද කියන එක කියන්න තරමට හැදෑරීමක් මම කරලා නැහැ.

      Delete
  4. අපූරු පැහැදිලි කිරීමක් .හැබැයි අපි ඉල්ලන ඒවා දෙන්නෙ නැත්නම් රට යනවා කියල බය කරන්න හදන පිරිසකුත් ඔය අතර ඉන්නවා !

    ReplyDelete
  5. මෙතන පොඩි අවුලක් තියනවා නේද ඉකෝන්, ඔය අවසාන නිගමනයට එන්න පුළුවන් ලංකාව දොස්තරලාට 'සනීපයෙන්' ඉන්න බැරි රටක් කියල පූර්ව නිගමනයකට ආවොත් විතරයි නේද? සෑම දොස්තර කෙනෙකුටම සංක්‍රමණය වීම කියන්නේ කරන්න පුලුවන් දෙයක් විදිහට සැලකුවොත් මෙතනින් වැඩි පිරිස ලංකාවේ ඉන්න තීරණය කරලා තියෙන්නේ නේද? ඒ කියන්නේ දොස්තරලාට ලංකාව සනීපයි කියන එකද?

    ReplyDelete
    Replies
    1. වැඩි පිරිසකට තවමත් ලංකාව 'සනීපයි' කියන එක ඇත්ත. එයට එකතු කළ යුතු දේ ලෙස, (1) පවතින ප්‍රවණතාවය අනුව මේ 'සනීපය' අඩු වෙමින් පවතිනවා. (2) රටින් පිටවන පිරිස බොහෝ විට ඉතිරි වන පිරිසට වඩා (සාමාන්‍ය වශයෙන්) කුසලතා පිරිපුන් අය (3) ලංකාවේ තියෙන මේ 'සනීපය' මේ මට්ටමින් පවත්වා ගැනීම සඳහා ඔය බොහෝ දෙනෙක් අකැමති දේවල් කරන්න වෙනවා. ඒවා නැත්නම් සනීපය අඩුවෙනවා.

      Delete
  6. මම හිතන්නෙත් තිසර කියන විදිහට ලංකාවේ ජොස්තර නෝනා මහත්තුරුන්ට ලංකාව සනීප තැනක්.

    පිටරටක ගිහින් හම්බකරන්න පුලුවන් තරමට වඩා, සනීපෙන් ඉන්න පුලුවන් තරමට වඩා සනීප තැනක්.

    ෆේස් බුක් එකේ තිබ්බා ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් වලින් ලෙඩ්ඩු සීයක් (100) දවසකට බලනවා කියලා (මගේ පුද්ගලික අත්දැකීමෙන් කියන්නේ මේක වෙන්නත් පුලුවන් බලන ස්පීඩ් එකට අනුව). ඒක ඇවරේජ් 50ක් කිව්වත් එක ලෙඩෙක්ගෙන් අය කරන 1,800න් 1,000ක් ඩොක්ටර්ට දුන්නත් දවසකට රුපියල් 50,000ක් මාසේ දවස් 30න් 20ක් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කලොත් ලක්ශ 10යි (1,000,000)

    මැද පෙරදිග රටක (එමීරයේ කියමු) දොස්තර කෙනෙක්ට මාසිකව දිරාහ්ම්ස් 35,000ක විතර පඩියක් ලැබේවි කියලා උපකල්පනය කරන්න පුලුවන් ඒ කියන්නේ 35,000 x 39 = 1,365,000

    කෑම බීම, ගෙවල් කුලී, ළමයින්ගේ ස්කූල් ෆීස් (ළමයි දෙන්නෙක් ඉන්නවා කියලා හිතුවොත්) සහ අනෙක් වියදම් මස්සිකව 15,000ක් ගෙව්වාම 35,000න් 20,000යි (රුපියල් 780,000)යි ඉතුරු.

    එහෙම බැලුවාම නොමිලේ පාසැල්, සමාජ ගරුත්වය, වාහන පර්මිට් සහ අනෙක් ෆැක්ට්ස් ගනනය කලාම ලංකාව අනිවා ඩෙෆා සනීප තැනක් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. //ෆේස් බුක් එකේ තිබ්බා ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් වලින් ලෙඩ්ඩු සීයක් (100) දවසකට බලනවා කියලා (මගේ පුද්ගලික අත්දැකීමෙන් කියන්නේ මේක වෙන්නත් පුලුවන් බලන ස්පීඩ් එකට අනුව). ඒක ඇවරේජ් 50ක් කිව්වත් එක ලෙඩෙක්ගෙන් අය කරන 1,800න් 1,000ක් ඩොක්ටර්ට දුන්නත් දවසකට රුපියල් 50,000ක් මාසේ දවස් 30න් 20ක් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කලොත් ලක්ශ 10යි (1,000,000)//

      ඔබේ ගණනය කිරීමේ ලොකු වැරැද්දක් මම දකින්නේ නැහැ. නමුත් මේ ගණනය කිරීම අදාළ වන්නේ කොළඹ අවට හෝ වෙනත් ප්‍රධාන නගරයක් ආශ්‍රිතව සිටින විශේෂඥ වෛද්‍යවරුන්ටයි. ඒ අයගෙනුත් වැඩිම ඉල්ලුමක් ඇති පිරිසට. විශේෂඥ වෛද්‍යවරයෙක් කියන්නේ වෛද්‍ය විද්‍යාලයේ මූලික කට්ට කෑමෙන් පසුවත් තවත් කට්ටක් කාපු කොටසක්. එසේ කර ඇති ආයෝජනයත්, දැනට රෑ තිස්සේ වැඩි පැය ගණනක් වැඩ කරමින් කන කට්ටත් එක්ක බැලුවහම මාසෙකට මිලියනයක් කියන්නේ සුවිශේෂී තත්ත්වයක් නෙමෙයි. මීට වඩා හොයන ටියුෂන් ගුරුවරුත් ඉන්නවා. ඒ වගේම වෙනත් වෘත්තීය ක්ෂේත්‍ර වල මීට වඩා අඩු මහන්සියකින් මෙවැනි වැටුපක් (ලංකාව තුළ) උපයන අයත් ඉන්නවා.

      වෛද්‍යවරුන්ගේ ආදායමේ ලොකු විෂමතාවයන් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරුන් නොවන කෙනෙකුට මෙවැනි ආදායමක් ලැබිය නොහැකියි. ඒ වගේම ඉන්න ප්‍රදේශය අනුවත්, පවතින තරඟය අනුවත් ආදායම වෙනස් වෙනවා. පටන් ගන්න කොට ගොඩක්ම අමාරුයි. මෙය නීතිඥ වෘත්තීය වැනි වෙනත් වෘත්තීන්ටත් අදාළයි. එක නඩුවට පනස්දාහ ගන්න නීතිඥවරු හිටියත්, ආධුනික නීතිඥ වරයෙකුට ජ්‍යෙෂ්ඨ නීතිඥ වරයෙකු විසින් ගෙවන මුදල රුපියල් දහ පහළොස් දාහක් වැනි ඉතාම සොච්චම් මුදලක්. මෙයට හේතුව තරඟය වැඩි වීමයි. ඒ නිසා, දැන් නීතිඥයින් ලෙස සුදුසුකම් ලබන සැලකිය යුතු පිරිසක් එම වෘත්තියේ නොයෙදී ඉන්නවා. වෛද්‍ය වෘත්තිය හා අදාළ තරඟයත් එන්න එන්නම වැඩි වෙනවා. ගොඩක් අය අල්ලලා ඉන්නේ තමන්ගේ රජයේ රැකියාව හා ඒ ආශ්‍රිත වරප්‍රසාද නිසා.

      Delete
  7. යුරෝපයේ සහ ඔස්ට්‍රේලියාවේ තත්වය අනුව සලකලා බැලුවාම නම් ඇත්තෙන්ම පින්තූරය මීට වඩා වෙනස් වෙන්න පුලුවන්.

    යනවා නම් ඔවුන් ගේ බලාපොරොත්තුවත් ඒ රටවල් නම් ලංකාවේ රැඳී සිටින්නේ ඇත්තෙන්ම තම්න්ගේ මව් රටට එහි ජනතාවට සේවය කරන්න තියෙන ආත්මීය හැඟීම නිසා වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. //ජනතාවට සේවය කරන්න තියෙන ආත්මීය හැඟීම නිසා//
      ප්‍රධානම හේතුව තමන්ගේ පවුල් සබඳතා. මෙය වෙනත් වෘත්තිකයින්ටත් අදාළයි. දෙවනුව, සංක්‍රමණය යනු අභියෝගාත්මක දෙයක්. විදේශයකට යාමෙන් පසු මුල සිටම වාගේ පටන් ගත යුතුයි. අළුතෙන් විභාග කළ යුතුයි. අවශ්‍ය සුදුසුකම් සම්පූර්ණ කරන තුරු විශාල මුදලක් අවශ්‍යයි. ගොඩක් අයට එවැනි මුදලක් නැති නිසා සුළු රැකියා කරන්න වෙනවා. ලංකාවේ සාපේක්ෂව හොඳ සමාජ තත්ත්වයක සිට යන කෙනෙකුට එයට මානසිකව හැඩගැහෙන්න අමාරුයි. ඒ වගේම, භාෂා දැනුම පිලිබඳ ගැටළු තියෙනවා (ඉගෙනගන්නේ ඉංග්‍රීසියෙන් වීම වෙනම කරුණක්). විශේෂයෙන්ම සංක්‍රමණය කිරීමට අවශ්‍ය මූලික ප්‍රාග්ධනයවත් ගොඩක් අයට ආරම්භයේදී නැති නිසා මුදලක් එකතු කරගන්න වෙන්නේ PP කිරීමෙන්. එසේ PP එක යම් මට්ටමකට හදා ගත්තට පසුව ආදායම සාපේක්ෂව හොඳ වෙන නිසා යන අදහස නැති වෙනවා.

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. ඉංග්‍රීසි කතාකරන්න බයේ කැලැ පැනලා ඉන්න දොස්තරලාත් සිටීති.

    ReplyDelete
    Replies
    1. ඉංගිරිස් නැතුව දොස්තර විභාග පාස් වෙන්න පුළුවන්ද...

      Delete
    2. ඔව්, මෙයත් ලංකාවේ රැඳී සිටින්න ප්‍රධාන හේතුවක්. ඉංග්‍රීසියෙන් අධ්‍යයන කටයුතු කිරීම සහ ඉංග්‍රීසි කතා කරන රටක වැඩ කිරීම කරුණු දෙකක්.

      Delete
  10. If you think about your kids, you should migrate somehow. It's getting worse and worse for common people.

    ReplyDelete
    Replies
    1. Yes, education in SL is becoming a bigger mess day by day. A main plus factor in the Western countries I know is the public school system which doesn't constrain my personal decisions as in SL.

      Delete
  11. දොස්තරලට කොහොම වෙතත් ලෙඩ්ඩුන්ට නම් හොඳටෝම සනීපයි. ඒහෙන් ආයුර්වේදෙත් වැහිලා නේද? ඒ ගැන වැඩිය කවුරුත් සද්ද නැත්තේ ඒවා ලෝකල් නිසා වෙන්න ඇති.

    ඒ පිලිබඳව ලංකා සිතුවිලි ලිපියක් ලියා තිබුනා.

    ReplyDelete
    Replies
    1. අයුර්වෙදේ ලොකු දොස්තර නෝනා (ලොකුම කෙනාද කොහෙද) කෙනෙක් ප්‍රයිවෙට් වැඩ කරන්න තැනක් දාගෙන ඉන්නවා, බෙහෙත් කරන්නේ කාන්තාවන්ට...
      ගර්භාෂ ආශ්‍රිත ගැටළු වලට බෙහෙත් කරනවා වැඩිපුර...
      දවසකට ගිහින් ඩොක්ටර් චැනල් කරන්න සහ ට්‍රිට්මෙන්ට් කරන්න 10,000/- ක් 15,000/- ක් යනවා දෙයියනේ කියලා...
      බටහිර ක්‍රමේට ඔපරේසොන් කරලා ගොඩ දාගන්න බැරි ඒවා එතනින් ගොඩ දානවා...
      ඒ වගේ බෙහෙත් නිකන් කරගන්න එක ලෙඩ්ඩුන්ගේ ශරීරෙට හොඳ නැහැ කියල වෙන්න ඇති ආයුර්වේදේ වහල තියෙන්නේ, නැද්ද ලොකු අයියේ...
      එහෙම නැත්තන් ලොකු මැඩමුත් එයාගේ හොද්ද බොර වෙන්න තියෙන සම්භාවිතාව වැඩිවෙයි කියල කට වහගෙන ඉන්නවද දන්නෙත් නැහැ...

      Delete
    2. මේ ගැන වැඩි දෙයක් දන්නේ නැහැ. බලන්න ඕනෑ.

      Delete
  12. ළමයින්ව හොඳ ඉස්කෝලෙකට දාගන්න සංක්‍රමණය වෙනවා නේ කවුරුත්. දොස්තරලත් මිනිස්සුනේ. අපටත් අසනීප වුණාම හොයාගෙන යන නිසා ඔන්නොහෙ යන්න අරින්න.

    ReplyDelete
    Replies
    1. වෛද්‍යවරයෙකුගේ හෝ වෙනත් ඕනෑම කෙනෙකුගේ සංක්‍රමණය වීමේ තීරණය පෞද්ගලික (නැත්නම් පවුලේ) තීරණයක්. එහි කිසිම වැරැද්දක් නැහැ. මෙහිදී සාමාන්‍යයෙන් කවුරුත් වගේ සලකා බලන කරුණු අතර දරුවන්ගේ අධ්‍යාපනය මූලික කරුණක්. ලංකාවේ අධ්‍යාපනය හා අදාළ විශාල ගැටළු තියෙන බව කවුරුත් වාගේ පිළිගන්න කරුණක්නේ. වෛද්‍යවරු රටින් පිටතට සංක්‍රමණය වීම වැළැක්විය යුතුයි කියා කවුරු හරි හිතනවානම් එය කළ යුත්තේ ඒ සඳහා මුල් වන හේතු නැති කිරීම මඟිනුයි. එසේ කිරීමේදී එය වෙනත් අයට ප්‍රශ්නයක් විය යුතුත් නැහැ.

      Delete
  13. ලංකාවේ PP කරන දොස්තරලා හුඟක් හම්බ කරනවා. මෙහෙ ආපු දොස්තර යාළුවෙක් මයි කිවේ. "මොකට එංගලන්තේ ඉන්නවද. මෙහෙ දොස්තරලට සලකන්නේ නැහැ. ලංකාවේ එහෙම නෙමේ. මිනිස්සු සලකනවා. අනික සල්ලි හොයන්නත් අමාරු නැහැ. "එහෙම කියල ආපහු ගියා.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන තත්ත්වය බොහෝ දෙනෙකුට අදාළ විය හැකි වුවත් තවත් සැලකිය යුතු පිරිසකට අදාළ නැහැ. PP කියන්නේ කල්චර් එකක්. PP වලින් සාර්ථක වීමත් වෘත්තීය වෛද්‍යවරයෙකු ලෙස සාර්ථක වීමත් එකක්ම නෙමෙයි. ඔය PP කල්චර් එකට අනුගත වෙන්න අමාරු දොස්තරලත් ඉන්නවා. ඒ වගේම, 'මිනිස්සු සලකනවා' කියන එක වටිනා දෙයක් වෙන්නේ පුද්ගල ස්වභාවය අනුව. මෙය සංක්‍රමණිකයන්ට නොලැබෙන, ලංකාවේ හිටියොත් ලැබෙන දෙයක් ලෙස ඉයන්ගේ ලිපියකත් සඳහන් කර තිබුණා. කතාව ඇත්ත. ඒත් එය වටින්නේ එහි අගයක් ඇති කෙනෙකුටයි. පෞද්ගලිකව මම ගත්තොත් (අඩු සැලකිලි වලින් වගේම) වැඩි සැලකිලි ලැබෙන විට මම දැඩි අපහසුතාවයට පත් වෙනවා. මෙය මම ඉතාම අකැමැති දෙයක්. මට මේ බටහිර රටවල ගෙවන ජීවිතයේ වටිනාම කොටසක් වන්නේ මමත් කාටවත් වඩා අඩුත් නැති, වැඩිත් නැති සාමාන්‍ය පුද්ගලයෙක් වීම. ඊළඟට ලංකාවේ තැනකට ගියාම ඕනෑ වැඩක් 'කතා බහ කරලා' කරගන්න පුළුවන්. (හදිසියේ ට්‍රැෆික් කේස් එකක් කියමු). මගේ පුද්ගලික ස්වභාවය අනුව මම මෙවැනි දේට කැමති නැහැ. මෙවරත් සුළු වැඩකට ගොස් දවසක්ම පෝලිම් වල රස්තියාදු වුණා. ඒත්, ඒ ආයතනයේ ඉහළම තැන්වල දන්න අය හිටියා. මා මෙය නොකරන නිසා වෙනත් අය එසේ කිරීම මාව අපහසුතාවයට ලක් කරනවා. මා පෞද්ගලිකව ලංකාවට සාපේක්ෂව මෙහි අගය කරන බොහෝ දේවල් මුදල් නොවන දේ. දැන් කෙසේ වෙතත් ආරම්භයේදී මා ගත්තේ මුදල් පැත්තෙන් බැලුවොත් අවාසිදායක තීරණයක්. දොස්තරලා ගැන කියන්න තියෙන්නෙත් මෙවැනිම දෙයක්. ලංකාවේ ඉන්නේ සහ සංක්‍රමණය වෙන්නේ එකම පුද්ගල ස්වභාව තියෙන අය නෙමෙයි. විශේෂඥ වරයෙකු වී PP ආදායම ඉහළ දමාගැනීමට පශ්චාත් උපාධි හදාරන කෙනෙකුට ලංකාව හොඳ තැනක්. ඒත්, තමන්ගේ ක්ෂේත්‍රයේ වැඩිදුර ඉගෙනීමේ ශාස්ත්‍රාලීය අධ්‍යාසයන් තියෙන කෙනෙකුට ඒ සඳහා වැඩි ඉඩකඩක් ඇති රටක් ආකර්ශනීය විය හැකියි. සමාජයේ වෙනස අගයන හා සමාජ ධුරාවලියේ උඩින් සිටීම වැදගත් ලෙස නොසලකන හෝ දරුවන්ගේ අනාගතය ගැන හිතන (වැඩි බරක් දෙන) අයත් ඒ අතර ඉන්න පුළුවන්.

      Delete
  14. ලංකාවෙ දොස්තරලට තියෙන තැන දියුණු රටවල නෑ. දොස්තර කියන්නෙත් තවත් එක් වෘත්තියක් විතරනෙ, ඒ නිසා දොස්තරලට කවුරුත් වැඳගෙන ඉන්නෙ නෑ. ඔය මාන්නාධිකකමෙන් පිරිච්ච ලංකාවෙන් සංක්‍රමණය වෙච්ච දොස්තරලා මට හම්බවෙලා තියෙනවා. සමහරු ලංකාවෙ හිටපු විධියට නර්ස්ගෙ ඉඳන් පහල හැම සේවකයන්ගෙන්ම විශේෂ සැලකිලි බලාපොරොත්තු වුණාට, කවුරුත් ගණන් ගන්නෙ නැති නිසා, දරා ගන්න බැරුව යන්න යනවා. සමහරුනම් හැඩ ගැහෙනවා. හැබැයි ඔය අනිත් වෘත්තිකයන් සංක්‍රමණය වෙනවා වගේ නෙවෙයි, ඩොකාලට එන්න අමාරුයි, ආවත් එන රටේ ලයිසන් එක හදා ගන්න සෑහෙන්න කට්ටක් කන්න ඕනෙ. ගොඩක් ඩොකාල සංක්‍රමණය වෙන්නෙ තමන්ගෙ සැමියා නැත්නම් බිරිඳගෙ skill එකෙන්., නැත්නම් පස්චාත් උපාධිය කරන්න. අනික පිටරටක PP කරන එක ඊට වඩා අමාරුයි, විශේෂයෙන් ආසියාතික කළු හම නිසා. PP එකට සෙනග එන්න නම්, සෑහෙන දක්ෂයෙක් වෙන්න ඕනෙ. ඒ නිසා ඔය එන ගොඩක් අය තමන්ගෙ රෝහලේ රැකියාව කරගෙන ඉන්නවා. රෝහලෙත් අපේ අයට දෙන්නෙ චාටර් වැඩ, night shift, emergency වගේ ඒවා. හැබැයි හැමෝම එහෙම නෑ කියන්නත් ඕනෙ. හොඳ දක්ෂයො ඉන්නවා මේ රටවලත් නම රන්දපු. එහෙම බලනකොට ඩොකාලට ලංකාව තියෙන්නෙ පුදුම සැපක්. නර්ස් ඩොක්ටර් කිව්වෙ නැත්නම් ස්ට්‍රයික් කරයි. ඒකනෙ මොන ආණ්ඩුව ආවත් හැමෝවම අල්ලෙ නටවන්නෙ. ලංකාව කට්ට කනව කියලනෙ කියන්නෙ, ඉතින් කියව කියව ඉන්නෙ නැතුව තමන්ගෙ හැකියාවෙන් ලොකු පඩියකට යන්න පුළුවන්නෙ දියුණු රටකට. අපි වගේ කොම්පියුටර් ඔබ ඔබ ඉන්න උනුත් පිටරට පැන ගන්න එකේ, ඩොකාල නොයන්නෙ ඇයි කියල හොයන්න සමීක්ෂණයක් කරන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. වෛද්‍යවරු හම්බකරන ගොඩක් ඒවාට බදු ගෙවන්නේ අඩුවෙන් කියල දන්නවද? බදු ගහන්න පටන් ගත්තොත් ඉතින් ආයි ස්ට්‍රයික් කරයි.

      Delete
    2. //ඩොකාල නොයන්නෙ ඇයි කියල හොයන්න සමීක්ෂණයක් කරන්න වටිනවා//
      සමීක්ෂණ ප්‍රතිඵල අනුව හේතු මේවාය.
      need to stay with family (86.75%); intention to serve country (69.54%); and being comfortable with the local setting (60.93%).

      Delete
  15. මේ යන විදිහටනම් බොහොම ඉක්මනට දොස්තරලා කොන් වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. තාවකාලිකව මොනවා වුනත් වෛද්‍ය වෘත්තීය සඳහා වන ඉල්ලුම සහ සැපයුම අතර වෙනස පවත්වාගත හැකිතාක් කල් එය සිදු නොවනු ඇත.

      Delete
  16. උත්‍තරය
    a. ETCA
    b. SAITM
    c. PRIVATE HOSPITALS WITH FOREIGN DOCTORS
    d. PRIVATIZATION OF GOVERNMENT MEDICAL INSTITUTIONS

    ReplyDelete
  17. මස් රාත්තල ඉල්ලන වෘත්තීය සමිති සහ වඳුරු ඇමතින්ට දැලිපිහි ලබාදීම් වගේ දේවල් නිසා යමක් කමක් ඇති,හැකි කෙනෙක් ආයෙ මේ රටේ රැඳෙන්නෙ නම් නෑ.එතකොට දෙයක් කරනකොට විරුද්ධ වෙන්න කවුරුත් ඇත්තෙත් නෑ. බැරිකම වහගන්න දඟලන්න ඕනත් නෑ.. ඒ නිසා ප්‍රශ්නත් නෑ...
    අන්න ඒ ආකාරයට ප්‍රශ්න වලින් තොර රටකට යන ගමනේ දොස්තරලා අසනීප කොරන්න බැරි නම් උන්ගෙ දරුවන් හරි අසනීප කොල යුතුමය.
    ජයවේවා..!!

    ReplyDelete
  18. මස් රාත්තල ඉල්ලන වෘත්තීය සමිති සහ වඳුරු ඇමතින්ට දැලිපිහි ලබාදීම් වගේ දේවල් නිසා යමක් කමක් ඇති,හැකි කෙනෙක් ආයෙ මේ රටේ රැඳෙන්නෙ නම් නෑ.එතකොට දෙයක් කරනකොට විරුද්ධ වෙන්න කවුරුත් ඇත්තෙත් නෑ. බැරිකම වහගන්න දඟලන්න ඕනත් නෑ.. ඒ නිසා ප්‍රශ්නත් නෑ...
    අන්න ඒ ආකාරයට ප්‍රශ්න වලින් තොර රටකට යන ගමනේ දොස්තරලා අසනීප කොරන්න බැරි නම් උන්ගෙ දරුවන් හරි අසනීප කොල යුතුමය.
    ජයවේවා..!!

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget