Sunday, September 11, 2016

ව්‍යවසායකයින් වී නවතින ලංකාවේ දොස්තරලා...

මේ ලංකාවේ දොස්තරලා ගැන කතාබහ වැඩි වී ඇති කාලයකි. ලංකාවේ දොස්තරලාගෙන් අතිමහත් බහුතරය වැටුප් පිණිස රජය වෙනුවෙන් සේවය කරන්නෝය. එහෙත්, මේ අයගෙන් වැඩි දෙනෙකු ඊට අමතරව කුඩා පරිමාණ ව්‍යවසායකයින් ලෙසද කටයුතු කරන අතර රජයෙන් වැටුප් ලෙස ලබා ගන්නා මුදලට වඩා වැඩි මුදලක් එමඟින් උපයති. හේතු ඇතිව මෙන්ම නැතුවද බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්වන්නේ ඔවුන්ගේ මේ දෙවන ආදායම් මාර්ගයයි.

මේ විදිහට දොස්තරලා ව්‍යවසායකයින් වෙන්නේ ඇයි?

මෙයට හේතු ඇත්තේ එකක් පමණක් නොවේ. ආර්ථික විද්‍යා කෝණයෙන් බැළුවත් එවැනි හේතු රැසක් තිබේ. වෙනත් හේතුද තිබේ. මේ ලිපියෙන් අදහස් කරන්නේ ඒ හේතු අතරින් එකක් ගැන කතා කරන්නටය. ප්‍රාරම්භයක් ලෙස මේ ප්‍රශ්නයෙන් පටන් ගනිමු.

ලංකාවේ දොස්තරලා වෙන්නේ කවුද?

ලංකාවේ දොස්තරලා වෙන්නේ උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් වැඩිම ලකුණු ගන්නා අය බව මේ ප්‍රශ්නයට ජනප්‍රිය පිළිතුරක් විය හැකිය. එහෙත්, එය සම්පූර්ණ පිළිතුරක් නොවේ.

අප ප්‍රශ්නයේ මුලට යා යුතුය.

උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් වැඩිම ලකුණු ගෙන ලංකාවේ දොස්තරලා වෙන්නේ කවුද?

ඕනෑම ගහණයක ව්‍යවසායකත්වය ඇති කිසියම් පිරිසක් සිටිති. ඔවුන්ට තමන් සතුව හෝ සමාජය සතුව ඇති සීමිත සම්පත් වඩා කාර්යක්ෂම ලෙස යොදා ගනිමින් තමාගේ, තම පවුලේ සාමාජිකයින්ගේ හෝ මුළුමහත් සමාජයේ ජීවන තත්ත්වය වඩා යහපත් කළ හැකි ක්‍රම 'පෙනේ'. මේ බොහෝ අයට මෙසේ තමන්ට 'පෙනෙන' දෙය ක්‍රියාත්මක කිරීමට ලොකු 'කැසිල්ලක්' ද තිබේ.

ව්‍යවසායකත්වය යනු වැඩි දියුණු කළ හැකි හා වැඩිදියුණු කරගත හැකි කුසලතාවයකි. ඇතැම් සමාජ ක්‍රම තුළ හා සමාජ තුළ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට වැඩි ප්‍රමුඛතාවයක් යෙදවේ. වෙනත් තැන්වල එය එසේම සිදු නොවේ. කෙසේ වුවද, මේ අයුරින් වැඩිදියුණු කළ හැකි කුසලතාවයක් වුවත් ව්‍යවසායකත්වය යනු බොහෝ විට කෙනෙකුගේ 'ඇඟේම' ඇති දෙයකි. සමාජයේ වැඩි ආදායම් ලබන ස්ථර වලින් මෙන්ම මැදි හා අඩු ආදායම් ලබන ස්ථර වලින්ද ව්‍යවසායකත්වය ඇත්තෝ බිහි වෙති.

ව්‍යවසායකත්ව කුසලතාවයන්ගෙන් පිරිපුන් අයෙකුට සාර්ථක ව්‍යාපාරිකයෙකු විය හැකිය. එහෙත්, ව්‍යාපාරයක් ඇරඹීමට ව්‍යවසායකත්වය තිබීමම ප්‍රමාණවත් නැත. ප්‍රාග්ධනය තිබීම හෝ ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ මාර්ග විවෘතව තිබීමද අවශ්‍යය. බොහෝ බටහිර රටවල ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් අහිමි, පහළ හා මැදි ආදායම් ස්ථර වලින් මතුවන ව්‍යවසායකයින්ට ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීමට මාර්ග සෑහෙන මට්ටමකට විවෘතව ඇත. (එහෙත්, එම රටවලද මෙය සර්ව සම්පූර්ණ ලෙස සිදු නොවේ.)

බටහිර රටවල ඇති ඉහත තත්ත්වය ලංකාවේ නැත. මේ නිසා බොහෝ විට ලංකාවේ ව්‍යාපාරිකයන් වන්නේ ව්‍යවසායකත්වය ඇති අය නොවේ. ප්‍රාග්ධනය හිමි අයයි. මේ අයගෙන් ඇතැම් අය ව්‍යවසායකත්ව කුසලතා අතින් ඉදිරියෙන් සිටියත් බොහෝ දෙනෙකු එතැන නැත. එවැන්නන් කරන්නේ සිය පෙර
පරම්පරාවෙන් හෝ ඊටත් පෙර පරම්පරාවෙන් උරුම වූ ප්‍රාග්ධනය ඔවුන් විසින්ම ඇරැඹු ව්‍යාපාරයක හෝ වෙනත් අළුත් ව්‍යාපාරයක ආයෝජනය කරමින් එම ප්‍රාග්ධනයේ හිමිකම වෙනුවෙන් ප්‍රතිලාභයක් ලබා ගැනීමයි.

ව්‍යවසායකත්ව කුසලතා නැති, එහෙත් සැලකිය යුතු ප්‍රාග්ධනයක් හිමි අයෙකුට ව්‍යාපාරිකයෙකු ලෙස සැලකිය යුතු ආදායමක් උපයාගත හැකි වුවත් බොහෝ විට එම ආදායම ඔහුගේ හෝ ඇයගේ එම වත්කම් ආයෝජනය කර උපයාගත හැකි උපරිම ආදායම නොවේ. ලංකාවේ බොහෝ සමාගම් වල ප්‍රතිලාභ අනුපාතය (Rate of return) භාණ්ඩාගාර බැඳුම්කර සඳහා රජය විසින් ගෙවන පොලී අනුපාතිකයටද වඩා අඩුය. වෙනත් අයුරකින් කිවහොත්, එවැන්නෙකුට සිය ව්‍යාපාරය විකුණා ලැබෙන මුදල අවදානම් රහිත (හෝ අවදානම ඉතාම අඩු) ආයෝජනයක යෙදවීමෙන් වැඩි වාසියක් ලැබිය හැකිය.

අනෙක් අතට ව්‍යවසායකත්ව කුසලතා ඇති, එහෙත් ප්‍රාග්ධනය ප්‍රයෝජනයට ගැනීමට ප්‍රමාණවත් ප්‍රවේශ මාර්ග නැති අඩු හා මැදි ආදායම් ලබන සමාජ ස්ථර වල බොහෝ දෙනෙකුට අවශ්‍ය මූලික ප්‍රාග්ධනය නොමැති වීම නිසාම රටේ ආර්ථිකයට වැඩි අගය
ක් එකතු කිරීමේ අවස්ථාව මඟ හැරේ. ප්‍රාග්ධනයේ හිමිකරුවන් අතින් ව්‍යවසායකත්වය ඇති අය අතට ප්‍රාග්ධනය භාවිතා කිරීමේ අයිතිය (ප්‍රාග්ධනයේ අයිතිය නොවේ) කාර්යක්ෂම ලෙස සම්ප්‍රේෂණය වේනම් එහි වාසිය සෘජු ලෙස එම කණ්ඩායම් දෙකටම ලැබෙනවාට අමතරව වක්‍ර ලෙස තෙවන පාර්ශ්වයන්ටද ලැබේ. ලංකාවේ සිදු නොවන්නේ මෙයයි.

ඉහත තත්ත්වය නිසා භෞතික ප්‍රාග්ධනය අහිමි අනාගත ව්‍යවසායකයෙකුට භෞතික ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීම අසීරු වුවත්, මානව ප්‍රාග්ධනය හා අදාළව තත්ත්වය එසේ නොවේ. ප්‍රමාණවත් ප්‍රවේශ මාර්ග ඇත්ද යන්න විවාදිත කරුණක් වුවත්, අඩු හා මැදි ආදායම් ස්ථර වලින් බිහිවන ව්‍යවසායකයින්ට මානව ප්‍රාග්ධනය හිමිකර ගැනීමට ප්‍රමුඛ ප්‍රවේශ මාර්ගයක් තිබේ. ඒ, නියම මිලට වඩා අඩුවෙන් ලැබෙන උසස් අධ්‍යාපනයයි.

ව්‍යවසායකත්වය ඇති, එහෙත් භෞතික ප්‍රාග්ධනය හෝ භෞතික ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ මාර්ග අහිමි, විචක්ෂණශීලී තරුණයෙකුට හෝ තරුණියකට සිය කුසලතාවයන් ප්‍රායෝගිකව සිදු කළ හැකි ආයෝජනයක් වෙත යොමු කිරීම වඩාත්ම තාර්කික තීරණය ලෙස පැහැදිලිවම පෙනේ. සිය දරුවකුට භෞතික ප්‍රාග්ධනය උරුම කරදීමේ හැකියාව අහිමි දෙමවුපියෙකුටද කළ හැකි හොඳම දෙය මෙයයි. එහෙත්, මෙසේ ආයෝජනය කළ යුත්තේ වැඩි ප්‍රතිලාභ අනුපාතිකයක් ඇති ආකාරයේ මානව ප්‍රාග්ධනයක් එකතු කර ගැනීම පිණිසය. දොස්තරලා, ඉංජිනේරුවන් වීමට ඇති ඉල්ලුම ඇතිවන්නේ මෙවැනි පසුබිමකය.

සරසවියකට ඇතුළුව උපාධියක් ලබා ගැනීම සඳහා වෙහෙසෙන ලංකාවේ තරුණයෙකු හෝ තරුණියක ඒ සඳහා ඉතා විශාල පෞද්ගලික ආයෝජනයක් කරයි. මේ අතරින්ද වැඩිම පෞද්ගලික ආයෝජනයක් කරන්නේ වෛද්‍ය උපාධිය සඳහා ඉගෙන ගන්නා සිසු සිසුවියන්ය. මා මේ කියන්නේ පාඨ ග්‍රන්ථ, නේවාසික ගාස්තු, ආහාර පාන හා ප්‍රවාහන වියදම් ආදිය සඳහා වැය වන මුදල ගැන නොවේ, එය සමස්ත පිරිවැයේ එක් කොටසක් පමණි.

උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු ලබා ලංකාවේ වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට සුදුසුකම් ලබන්නේ බුද්ධිමය කුසලතාවන් අතින් එසේ සුදුසුකම් නොලබන කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටින පිරිසකි. වෛද්‍ය පීඨයක සිටින විචාර බුද්ධියෙන් අඩුම සිසුවාත් එසේ සුදුසුකම් නොලබන විචාර බුද්ධියෙන් වැඩිම සිසුවාට වඩා ඉදිරියෙන් සිටින බව එයින් අදහස් නොවේ.

විවිධ හේතූන් මත වෛද්‍ය පීඨයට ඇතුළු වීමේ අවස්ථාව අහිමි වූ එහෙත් යම් හෙයකින් එම අවස්ථාව ලැබුනේනම් ඉතා සාර්ථක ලෙස එම පාඨමාලාව අවසන් කිරීමේ හැකියාව තිබුණු අය සිටින්නට පුළුවන. එමෙන්ම, කිසියම් 'වැරදීමකින්' වෛද්‍ය පීඨයට ඇතුළු වීමේ අවස්ථාව හිමි වූ අයද සිටින්නට පුළුවන. මෙවැනි, 'වැරදීම්' ඕනෑ තරම් තිබිය හැකි වුවත් සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයෙන් වැඩි ලකුණු ගන්නේ බුද්ධිමය කුසලතාවන් අතින් අනෙක් අයට වඩා ඉදිරියෙන් සිටින අයයි. මේ විභාගය බුද්ධිමය කුසලතාවයන් මැනීමේ පරිපූර්ණ නිර්ණායකයක් නොවූවත් හොඳ නිර්ණායකයකි.

සරසවි ප්‍රවේශයට සුදුසුකම් ලැබීමේ හැකියාව ඇති තරුණයෙකුට හෝ තරුණියකට එම අවස්ථාව යම් හෙයකින් නොලැබුණේනම් ඔහු හෝ ඇය උසස් අධ්‍යාපනය වෙනුවෙන් යොදවන වසර තුනක, හතරක හෝ පහක කාලය නිකම් ඉන්නේ නැත. විශේෂයෙන්ම, උසස් අධ්‍යාපනය කරා යොමුවන ව්‍යවසායකත්වය ඇති අයෙකු මෙම කාලය තුළ වෙනත් රැකියාවක, ස්වයං රැකියාවක හෝ ව්‍යාපාරයක නිරතව සැලකිය යුතු මුදලක් උපයනු ඇත. උසස් අධ්‍යාපනය කරා යොමුවීමේ හේතුවෙන් මේ තරුණයා හෝ තරුණිය එසේ උපයාගත හැකිව තිබුණු විශාල ආදායමක් අහිමි කරගනී. මේ ආවස්ථික පිරිවැය ඔහු හෝ ඇය සිය මානව ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමේ කාර්යයේදී සිදු කරන ආයෝජනයකි. ඒ ආයෝජනය ඉතා විශාල මුදලකි.

ලංකාවේ සරසවි සිසුන් අතරින් අධ්‍යාපනය සඳහා වැඩිම පෞද්ගලික ආයෝජනයක් කරන්නේ වෛද්‍ය සිසුන් ලෙස සැලකිය හැකිය. ඔවුහු සිය ප්‍රථම උපාධි පාඨමාලාව සඳහා වසර පහක්ද, සීමාවාසික පුහුණුව නිමකර පත්වීම් ලබන තුරු තවත් කාලයක්ද තමන්ගේ විකල්ප ආදායම් අවස්ථාවන් කැප කරමින් කරන්නෝ විශාල ආයෝජනයකි. මේ කණ්ඩායම ව්‍යවසායකත්ව කුසලතා අතින් ඉදිරියෙන්ම සිටින කණ්ඩායමක් නිසා මෙසේ ඔවුන් අහිමි කරගන්නා ආදායම සැලකිය යුතු මුදලකි.

ලංකාවේ බොහෝ තරුණ තරුණියන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වන්නට සිහින මවන්නේ එම වෘත්තීන් සඳහා ඇති නැඹුරුවට වඩා තමන් තුළ ඇති ව්‍යවසායකත්වය පිබිදවීමට ඉඩකඩක් විවර කරගත හැකි ප්‍රවේශ මාර්ගය ඇත්තේ උසස් අධ්‍යාපනය හරහා බැවිනි. මේ බොහෝ දෙනෙකු වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් වුවත් ඔවුන්ගේ ඇතුළේ ඉන්නේ ව්‍යවසායකයෙකි. ඉඩක් ලැබුණු විටම මේ ව්‍යවසායකයා එළියට පනී.

වෛද්‍යවරයෙකුට පොඩි 'කඩයක් ඇරීමට' විශාල භෞතික ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවේ. ඒ නිසා, අවශ්‍ය මානව ප්‍රාග්ධනය රැස් කරගත් වහාම ඔවුහු වැඩේට බසිති. ඉංජිනේරුවෙකුට මේ අයුරින්ම 'කඩයක් ඇරීමට' සැලකිය යුතු භෞතික ප්‍රාග්ධනයක්ද අවශ්‍ය වේ. ඒ නිසා ඔවුන්ට 'වැඩේට බහින්නට' උපාධිය ලබා වසර දහයක්, පහළොවක් බලා ඉන්නට සිදු වේ.

වැදගත් කරුණ වන්නේ මෙහිදී ඇත්තටම වෙන්නේ දොස්තරලා ව්‍යවසායකයින් වීම නොවන බවයි. ව්‍යවසායකයින් වීමේ විභවයක් සහිතව සිටි අය ඒ සඳහා ප්‍රමාණවත් ඉඩ ප්‍රස්තා නැති බැවින් දොස්තරලා, ඉංජිනේරුවන් වැනි වෘත්තිකයින් වීමයි.

41 comments:

  1. ව්‍යව...වයවසා.....ඒක කියන්න ගිහින් දිව උලුක් කරගන්නෙ නැතුව, මං මෙහෙම කියන්නම්. ප්‍රශ්ණය ඇත්තේ දොස්තරලා මුදලාලිලා වීමත්, කඩ ඇරීමවත් නොව දොස්තරලා කළු කඩ කාරයින්සේ ක්‍රියා කිරීම බව මගේ අදහසයි. තමන්ගේ කඩේට නාවොත් , වාට්‍ටුවේදී " දෙඤ්ඤම් බැටේ" කැතවැඩ සහාප සල්ලි ගෙවා කඩේ පෝලිමේ හිටියත්. රෝගියා රෝග ලක්ෂණ කියන්නත් පෙර බෙහෙත් ලියා " හා, හා ඊළඟ" මූණෙන් අප දෙස බලන විට , මට නං සිහි වෙන්නේ කොන්-දොස්තරලාය.

    දොස්තරලාට , ප්‍රභල "වෛද්‍ය සංගමයක්" ඇත , නමුත් ආචාර ධර්ම පද්ධතියක් නැත. පෞද්ගලිකව ලද ක‍ටුක අත්දැකීම් මත මෙසේ ලිව්වාට ඉතා අල්පයක් වන හොද දොස්තර මහත්ම - මහත්මීන් මෙයට අදාල නැත.

    ReplyDelete
    Replies
    1. බස්සෝ කවද්ද ඩෝ සිංහල ඉගෙනගත්තේ. බස් බස් ගගා ගහක් උඩට වෙලා ඉන්නැතුව එනවා මෙතන........

      Delete
    2. හෑ. බස්තුමා ඔම්නිබස්වෙලා

      Delete
    3. හිටපු ගමන් මයෙ හොට කසන්න ගත්තා, බැලින්නං ඇනෝමී වලියක්. ඉතිං නෑවිල්ලා කොහොමෙයි? :)

      Delete
    4. ඔය ඔබ කියන කටුක අත්දැකීම් අත් නොවිඳි කෙනෙක් ලංකාවේ නැති තරම්.

      Delete
  2. ඉතා හොඳ පැහැදිලි කිරීමක්, ඒ කියන්නේ ඒක වෙළඳ සංගමයක්.

    ReplyDelete
    Replies
    1. සෞඛ්‍ය සේවා සපයන වෙළඳපොළ ආකෘතිය ඉතා සංකීර්ණ එකක්. එහිදී වෙළඳපොළවල් ගණනාවක්ම සම්මිශ්‍රණය වෙනවා. වෛද්‍ය සේවාවන් සඳහා වන වෙළඳපොළ හා වෛද්‍ය වෘත්තිකයින් සඳහා වන වෙළඳපොළ ඒ අතරින් ප්‍රධාන කොටස් දෙකක්. මේ දෙකේදීම සුබසාධනය හා වෙනත් රාජ්‍ය මැදිහත්වීම් හරහා සැලකිය යුතු විකෘතියක් ඇති වෙනවා (නිදහස් වෙළඳපොළ තත්ත්වයන්ට සාපේක්ෂව). ඒත් එය පූර්ණ මැදිහත්වීමක් නොවන නිසා ආන්තික මිල තීරණය වීමේදී ඉල්ලුම් හා සැපයුම් සාධක වල බලපෑමත් විශාලයි. මෙහිදී වෛද්‍ය සංගමය හරහා වෛද්‍යවරුන් කාර්ටෙල් එකක් ලෙස ක්‍රියාකිරීම සිදුවන අතරම ඔවුනොවුන් අතර තරඟයටත් මුහුණ දෙනවා.

      Delete
  3. ඉකොනො,

    මම කළේත් ජීව විද්‍යා විෂයයන්. ඒ කාලේ වැඩ හතරක් තිබුණා. අපේ උසස් පෙල විභාගෙ තිබුණ වසරට පෙර වසර තමයි සාරසතුමා කියන ෆේත් වික්‍රමසුරිය (විවාහයට පෙර ගුරුසාමි) මිය අපිට සත්ව විද්‍යාව උගන්නපු අවසාන වසර. මටත් සාමාන්‍ය පෙළ වැඩ ඔක්කොටම D (අපිට සාපෙ විෂය 06 යි තිබුනෙ, පොඩි නයෙකුත් එලවන්න ඕනැනේ.)

    ඉතින්ම එහෙව්ට දීප්තිමත් ශිෂ්‍යයෙක් වුනු මට උසස්පෙළ ප්‍රතිපල වලින් පොඩි ලකුණු ගානක් අඩු වුනා වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වෙන්න. ඇත්තටම හුඟක් පොඩි ලකුණු ප්‍රමාණයක්. ඒ කියන්නේ එක වැඩකට ලකුණු විසිපහ ගානේ විතර. (සාමාන්‍යයෙන් ඒ කාලේ මෙඩිකල් කොලේජ් යන්නේ 280න් විතර)

    පස්සෙ ලෝ කොලේජ් එක හරහා කළු කෝට් එක ඇඳගෙන මාත් මුලදී කඩ දෙකක තුනක මුට්ට කරගැහැව්ව, බඩු කිරුවා, කැෂියර් වැඩේ කළා, පස්සෙ මැනේජර් වෙලා ඊටත් පස්සෙ හවුල් කාරයෙකුත් වුණා. දැන්නම් මගේම කියල පොඩි "දුවනගිරියක්" තියනව.

    හැබැයි අපේ "කළු (කෝට්) කඩ" සැලකිය යුතු ප්‍රමාණයකුත් ඔය "වෙද කඩ" වලට දෙවෙනි නෑ.

    ReplyDelete
    Replies
    1. //හැබැයි අපේ "කළු (කෝට්) කඩ" සැලකිය යුතු ප්‍රමාණයකුත් ඔය "වෙද කඩ" වලට දෙවෙනි නෑ//

      අබ්බගාත් මහතාට මගේ ප්‍රණාමය. අපි පොඩි කාලෙ , මිනිහෙක් නොයෑමට පැතිය යුතු තැන් තුනක් ගැන අසා තිබුණා
      1. පොලීසිය
      2. ඉස්පිරිතාලය
      3. උසාවිය

      ඒ ඇයි කියලා තේරුණෙ පස්සෙ දැණුම් තේරෙම් ඇති වෙන කොට.මේක ආසියාතික රටවලට ආවේනික දෙයක් වෙන්න ඕනෙ, මොකද ආසියාතික නොවන සමාජවල පොලිසිය සහ රෝහල් වල මගේ අත්දැකීම් ඉතාමක් සුහදයි. ඒ අනුව මේ ප්‍රශ්ණය ගැන ඉකොනමැට්ටාගේ සමාජ-ආර්ථික විශ්ලේෂණය නිවැරදි විය යුතුයි කියල හිතෙනවා

      Delete
    2. අම්බටසිරි!
      අපේ අබ්බගාත් ඇනෝතුමා ෆේත් නෝනා ගේ සිස්යයෙක් නේ... ඉර දැක්කා හඳ දැක්කා වගේ නේ!

      සුවර් එකටම අබ්බගාත් ඇනෝ තුමා 87 හෝ 88 කන්ඩායමේ වෙන්න ඕනෑ...

      // වෛද්‍යවරයෙකුට පොඩි 'කඩයක් ඇරීමට' විශාල භෞතික ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවේ. ඒ නිසා, අවශ්‍ය මානව ප්‍රාග්ධනය රැස් කරගත් වහාම ඔවුහු වැඩේට බසිති. //

      ආරෝග්‍යසාලා පරමා ලාබා!
      :D

      Delete
    3. නැත්නං නැත්නං ඉර දැක්කා හඳ දැක්කා වගේ තමයි සාරස තුමා,

      කළු කෝට් ඇනෝ 88 කණ්ඩායමේ වයසට වඩා තිස් හය පෝයක් විතර බාලයි කියමු. කලකට ඉස්සර සමීක්සොනයක් කොළා ලංකාවෙ දූෂිතම ආයතනේ මොකක්ද කියල හොයන්න.

      හැමෝම කැට තියල කිව්වෙ "අර ධම්මෝ භවේ රඛ්ක්ති ..." කට්ටිය කියල. ප්රොතිපලේ ආවම කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු. ඒකෙන් කියවෙන්නෙ ලංකාවෙ දූෂිතම ආයතනේ උසාවිය කියල.

      Delete
    4. @DGMB
      මිනිසෙකුගේ විනාශයට පහත අය සමග වැඩි වැඩ කියල තියනවා:
      1.Lawyers
      2.Priests
      3.Prostitutes

      Delete
    5. @ප්‍රාජේ

      හ්ම්...හොඳට මතක තියාගන්න වටින කියමනක්

      Delete
    6. AnonymousSeptember 11, 2016 at 4:46 PM
      ඔය විෂයය හය කේස් එක තිබුණේ 1988 සාපෙ කළ අයටනේ. ඒකත් අධ්‍යාපන ප්‍රතිපත්ති සකසන අය කළ පිස්සු වැඩක්. ඇනෝ උසස්පෙළ කර තියෙන්නේ 1991දී නිසා නීති විද්‍යාලයට යන්න ඇත්තේ 1993-94 වැනි කාලෙක කියා හිතනවා. ඉකොනොමැට්ටත් වැස්සට වගේ ඔතැනට ගිහින් තියෙනවා. හැබැයි විභාග තියෙන දවස් වලට විතරයි. දැන් මෙහි ඔබ විසින් පෙන්වා දී ඇත්තේත් මා කියන කරුණමයි. ඔබට වෛද්‍ය පීඨයට යන්න නොහැකි වුණා කියා ඔබ වැඩේ අතාරින්නේ නැහැ. නීති විද්‍යාලයට ඇතුළුව ඔබේ 'අවසන් අරමුණ' කරා කෙසේ හෝ යනවා.

      බස්සා:
      මිනිහෙක් බොහෝ විට වැඩි මිලක් ගෙවා භාණ්ඩයක් හෝ සේවාවක් ලබාගන්න තැනකට යන්නේ අතේ මිල මුදල් වැඩිපුර ගැවසෙන, ජීවිතය සාපේක්ෂව හොඳින් ගෙවෙන වෙලාවට. නමුත්, රෝහල, උසාවිය හා පොලීසිය යන තැන් වලට කෙනෙක් යන්නේ කුමක් හෝ ලොකු අමාරුවක වැටිලා යන එන මං නැති වූ වෙලාවට. ඒ වෙලාවේත් තමන්ගෙන් ගාණක් කඩා ගන්න කෙනා ලොකු වැරැද්දක් කරනවා වගේ පේන්න එයත් එක හේතුවක්. මෙහිම අනිත් පැත්ත වන මංගල්‍ය උත්සව සඳහා සේවා සැපයීම ගැන හිතන්න. ඡායාරූප ගැනීම, ඇඳුම් සැකසීම ආදියට සාමාන්‍යයෙන් අයකරන මිලට වඩා සැලකිය යුතු මිලක් අය කළත් ඒ අයට එතරම් බැණුම් අහන්න වෙන්නේ නැහැ. ගහෙන් වැටුණු මිනිහට ගොනා අනින කොට රිදෙනවා වැඩියි.

      Delete
    7. "ඔබ වැඩේ අතාරින්නේ නැහැ. නීති විද්‍යාලයට ඇතුළුව ඔබේ 'අවසන් අරමුණ' කරා කෙසේ හෝ යනවා."
      ඇත්තටම ඉකොන් වැඩේ අතඇරියේ නෑ. දැනට අවුරුදු හයකට විතර ඉස්සර කොළඹ විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය සම්බන්ධයෙන් ශාස්ත්‍රපති (Masters) උපාධියක් ලබනව කුසලතා (Merit) සාමාර්ථයක් සහිතව. මේක ලිව්වෙ ස්වයං වර්ණනාවකට නෙමෙයි ඉගෙනගන්න වැඩේ අතාරින්න එපා කියල අනිත් අයව දිරිමත් කරන්න. Merit Pass එකක් ලැබීම එච්චර අමාරු නැහැ. 'අවසන් අරමුණ' නොනවතින අධ්‍යයනය.

      අනෙක වෙහෙස ලදුවෙමු මේ දුර්ග මග
      එනමුදු පවන සරතැස නිව්වා නොවේද
      දිවාකර තෙමේ රජයන කල අහස
      පමා නොවී යමු ගිරිහිස දුර බැවින
      - අ.ඇ.


      Delete
  4. මේකනම් පිළිගන්න පුළුවන් පැහැදිලි කිරීමක් නෙමෙයි

    ReplyDelete
    Replies
    1. ඔබේ කමෙන්ටුව විස්තරාත්මක නැති නිසා ඔබ හිතන ආකාරය පැහැදිලි නැත.

      Delete
  5. ඉකෝ,මානව ප්‍රාග්ධනය තව සුට්ටක් පැහැදිලි කරනවද?
    //ප්‍රාග්ධනයේ හිමිකරුවන් අතින් ව්‍යවසායකත්වය ඇති අය අතට ප්‍රාග්ධනය භාවිතා කිරීමේ අයිතිය
    ලීසිං වලදී මෙය සිදු වෙනවා නේද?
    අම්බ කට්ටක් කා අවසානයේ "පෙනෙන" යහපත් දේ ලබාගත් පසු පුද්ගලයා තෘප්තිමත්ද යන්න
    සටහන අවසානයේ හිතුන දෙයක්.

    ReplyDelete
    Replies
    1. මිල මුදල්, යාන වාහන, ගෙවල්, යන්ත්‍ර සුත්‍ර ආදිය අයත් වන්නේ භෞතික ප්‍රාග්ධනය කියන කොටසට. එවැනි දේ 'කුලියට දීමෙන්' ආදායමක් උපයා ගතහැකියි. අප ලබන මූලික අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වෘත්තීය සුදුසුකම්, රැකියා පළපුරුද්ද, වර්ධනය කරගත් විශේෂ කුසලතාවයන්, පරිගණක හා ඉංග්‍රීසි ඇතුළු වෙනත් භාෂා දැනුම ආදිය සැලකෙන්නේ මානව ප්‍රාග්ධනය ලෙසයි. මානව ප්‍රාග්ධනයත් (මූලික) ශ්‍රමය හා භෞතික ප්‍රාග්ධනය මෙන්ම 'කුලියට දී' ආදායමක් ඉපැයිය හැකි දෙයක්. එමෙන්ම භෞතික ප්‍රාග්ධනය වගේම මානව ප්‍රාග්ධනයත් මහන්සියෙන් එක් රැස් කර ගත යුතු දෙයක්. කෙනෙකුට උපතින් උරුම වන්නේ කිසියම් මූලික ශ්‍රමයක් පමණයි. එය 'කුලියට දී' වැඩි අදායමක් උපයන්න බැහැ. යමෙකුට පැයක් හෝ දවසක් වැඩකර ඊට වඩා යමක් ඉපැයිය හැකිනම් ඒ මානව ප්‍රාග්ධනය සඳහා ලැබෙන කුලියත් එකතු වන නිසයි. ඔබට කලක් මහන්සි වී, ඔබ උපයන මුදල් ටික ටික ආයෝජනය කර නිවසක් තැනිය හැකියි. ඉන් පසුව එය කුලියට දෙන්න පුළුවන්. මානව ප්‍රාග්ධනය එක් රැස් කර ගැනීමට කරන ආයෝජනයකුත් එවැන්නක්.

      Delete
    2. //අම්බ කට්ටක් කා අවසානයේ "පෙනෙන" යහපත් දේ ලබාගත් පසු පුද්ගලයා තෘප්තිමත්ද// මම හිතන්නේ මෙය වැඩිපුර අදාළ වෙන්නේ පරිභෝජනය සඳහා (කල්බදු ආදිය හරහා) ණය ගන්නා අයටයි. කිසියම් ආදායමක් ඉපැයිය හැකි දෙයක් සඳහා ණය ගන්නා අය මම හිතන හැටියට සාපේක්ෂව තෘප්තිමත්.
      //ප්‍රාග්ධනයේ හිමිකරුවන් අතින් ව්‍යවසායකත්වය ඇති අය අතට ප්‍රාග්ධනය භාවිතා කිරීමේ අයිතිය//ඔවු. ඇත්තටම කල්බදු වලදී මෙය වෙනවා තමයි. නමුත්, කල්බදු පොලී අනුපාතික කෙතරම් ඉහළද? මේ දවස්වල ඇමරිකාවේ ක්‍රෙඩිට් ඉතා හොඳ තත්ත්වයේ ඇති කෙනෙක් 15 අවුරුදු නිවාස ණයක් සඳහා ගෙවිය යුතු පොලිය 2.5%යි. එසේ නැත්නම් 2.75% පමණ. ඔබ කියන අතෘප්තිමත් බවට හේතු වෙන්නේ මෙවැනි පහසුකමක් ලබාගන්න තියෙන අමාරුව සහ ගෙවිය යුතු ඉහළ පොලී අනුපාතිකයයි. අනෙක් අතට කල්බදු සමාගම පැත්තෙන් බැලුවොත් ඔවුන්ට මීට වඩා අඩු පොලියකට මේ පහසුකම දෙන්න බැහැ. එයට හේතුව ප්‍රාග්ධන (කුලී) වෙළඳපොළේ ඇති අධික ඉල්ලුමට සරිලන සැපයුමක් නැති වීමයි. නමුත්, ඇත්තටම රටේ සංඛ්‍යාලේඛණ බැලුවොත් ප්‍රාග්ධන සැපයුම (පෞද්ගලික ඉතිරි කිරීම්) ඉල්ලුමට සාපේක්ෂව සැලකිය යුතු තරම් විශාලයි. ඒත් මේ 'වැඩිපුර' ප්‍රාග්ධනය මුළුමනින්ම වාගේ රජය විසින් වැඩි පොලියක් ගෙවා ලබාගන්නා නිසා සාමාන්‍ය පුද්ගලයින්ට ඊට වඩා ඉතා ඉහළ පොලියක් ගෙවන්න වෙනවා.

      Delete
    3. ඉකෝ,වෙනදේ පැහැදිලි කලාට ස්තුතියි

      Delete
  6. මට නම් හිතෙන්නේ මෙහෙම. ලංකාවේ niche market ekak තියනවා සඛ්‍ය සේවාව විකුණන්න. ලංකාවේ විතරක් නෙමේ ලෝකේ හැම රටකම තියනවා. නිදහස් සඛ්‍ය සේවා වල පෝලිම් තියනවා. එනගලන්තේ වුනත් එහමයි. අපි මෙහෙ private health insurance ගන්නේ එකයි. වයිද්‍ය්වරු කරන්නේ ඒ niche market එකේ වෙළඳම් කරන එක. ඉංජිනේරුවන්ගේ හැම සබ්ජෙක්ට් එකටම එහෙම නැහැ. එනිසා අපට අමාරුයි. එනිසා ඉකොන් ගේ මේ ලිපියේ මුලික් අදහසටවත් මට එකඟ වෙන්න අමාරුයි.
    අනික හොඳට ලකුණු ගත නිසා ඒ අය වෛද්‍යවරු වෙලා එහෙම කරනවා කියන එකත් පිලි ගන්න බැහැ . මම දන්නා සොවියට්ඩ් දේශයේ මෙන්ම රුසියාවෙත්, පසුව එංගලන්තයේ ඉගෙන ගත ලංකවේ ලකුණු සීමාවට අහු නොවුණු වෛද්‍යවරුත් PP කරන අය ඉන්නවා. මම කියන්නේ ඕක මාකට් කන්ඩිෂන් අනුව වෙන දෙයක් කියල.

    ReplyDelete
    Replies
    1. පොඩි අකුරු පැටලීමක් තිබෙනවා. //සොවියට් දේශයේ මෙන්ම පසුව රුසියාවෙත්, එසේම එංගලන්තයේ ඉගෙන ගත් ?? යනුවෙන් වෙනස් විය යුතුයි.

      Delete
    2. //මේ ලිපියේ මුලික් අදහසටවත් මට එකඟ වෙන්න අමාරුයි.//
      ලිපියේ මූලික අදහස ව්‍යවසායකත්වය ඇති, එහෙත් ප්‍රාග්ධනය නැති අයෙකුට ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීමට ප්‍රමාණවත් අවස්ථා නැති නිසා විකල්ප මාර්ග වලින් අවසන් අරමුණ කරා ළඟා වෙන්න සිදු වෙනවා කියන එකයි. ලංකාවේ ප්‍රාග්ධනය නැති අයෙකුට ප්‍රාග්ධනය වෙත ප්‍රවේශ වීමට ප්‍රමාණවත් අවස්ථා තියෙනවා කියා ඔබ සිතනවද?

      ශිෂ්‍යත්වයක් මත සෝවියට් දේශයේ ඉගෙන ගන්නා කෙනෙකුත් සුබසාධිත තත්ත්වයන් යටතේ ලංකාවේ සරසවියක ඉගෙන ගන්නා කෙනෙකුත් අතර මේ ලිපියේ සඳහන් කරුණට අදාළව සැලකිය යුතු ආකෘතිමය වෙනසක් නැහැ. එවැන්නෙක් කරන්නෙත් විකල්ප අවස්ථාවක් හොයා ගැනීමයි.

      PP කිරීම තනිකරම ඉල්ලුම හා සැපයුම මත සිදුවන දෙයක්. මම එහි කිසිම වැරැද්දක් දකින්නේ නැහැ. වැරැද්දක් වෙන්නේ ඒ අයම කරන රජයේ රැකියාවේ වගකීම් නිසි ලෙස ඉටු නොකරන තත්ත්වයන් වලදීයි.

      Delete
  7. ව්‍යවසායකත්වය යනු මුදල් ඉපයීම පමණක්ම නොවේ. දොස්තරලා හොඳ ව්‍යවසායකයන්ද වන්නේ කොහොමද කියන එක ගැන MIT වෙබ්සයිට් එකේ හොඳ ලිපියක් මෙතන තියෙනවා.
    http://miter.mit.edu/10-reasons-why-doctors-make-great-entrepreneurs/

    ReplyDelete
    Replies
    1. පැහැදිලිවම, කැන්ඩියන්. ව්‍යවසායකත්වය යනු මුදල් ඉපයීම පමණක්ම නොවේ. තමන්ගේ කවර හෝ අරමුණක් වෙනුවෙන්, අළුත් විදිහට හිතමින්, අවදානමක් ගෙන ලඟා වන අය ව්‍යවසායකයෝය. මේ අරමුණ මුදල් ඉපැයීම හෝ වෙනත් අරමුණක් විය හැකිය. (කෙසේ වුවද, ප්‍රායෝගිකව මුදල් ඉපයීම බොහෝ ව්‍යවසායකයන්ගේ ප්‍රධාන අරමුණකි.)

      Delete
  8. ඔය ගැන හසල නෙමේ මෙලෝ දැනුමක් නැතිව හිටි මං ඔන්න ඩිංගිත්තක් විතර අල්ලගත්ත ඔය කියන වියසාය ගැන.....
    ලියූ ඉකොනොමැට්ටාටත් එම මැට්ටීටත් කොමෙන්ට් කළ සියලු මහතුන්ටත් හදපිරි ප්‍රණාමය

    ReplyDelete
  9. මගේ හොඳ මිතුරන් දෙදෙනෙකු කොළඹට නුදුරු නගරයක පුද්ගලික් හොස්පිටිතාල හිමිකරුවෝ ය. පාසල් කාලේ නම් එහෙම ව්‍යවසායකත්වයක් නොපෙනුනි. නමුත් එකෙකුට උසස් පෙල බයෝ කළත් ඒ දිනවලම casio fx-31 කැල්කියුලේටරයක් තිබුණි!

    ReplyDelete
    Replies
    1. පාසැල් කාලයේ ව්‍යවසායකත්වයක් ඇති සිසුන් හඳුනාගැනීමක් හෝ එය ප්‍රවර්ධනය කිරීමක් ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ සිදු නොවේ. ව්‍යවසායකත්වය ගැන වැඩිපුරම කතා කරන ඇමරිකාවේ අධ්‍යාපන ක්‍රමයත් මේ සම්බන්ධව විවේචනයන්ට බඳුන් වේ. casio fx-31 තිබීම මඟින් ඔබ පෙන්වීමට හදන කරුණ පැහැදිලි නැත. එම සිසුවාගේ දෙමවුපියන්ට මුදල් තිබීම, ජීව විද්‍යාව කළද ගණිතයට ඇති උනන්දුව හෝ ගණිතයට ඇති අදක්ෂතාව යන කවරක් හෝ විය හැකිය.

      Delete
  10. මිණිවන් පී තිලකරත්න ගේ කුඩා දොස්තර මහ දිසාපති කෙටිකතාව කියවා තිබේද?

    ReplyDelete
    Replies
    1. ඔව් රසික කියවා ඇත, නමුත් මතකය දුර්වලය. එතන ඇත්තේ මූලිකව සමාජ පිළිගැනීම පිලිබඳ අර්බූදයක් නොවේද? ඒ "දිසා හාමුදුරුවරු රට කෙරවූ කාලයයි." නමුත් එදාද දොස්තර හොඳ ව්‍යවසායකයකු වූවානම් මහ දිසාපති අභිබවා යාහැකිව තිබුණා යන්න මගේ අදහසයි. නමුත් ඒ 70 -77 සමයනම් එය පහසු දෙයක් නොවේ.

      අද "මහ දිසාපතිලා" වෙනුවට ඇත්තේ "දි.ලේ." ලාය. එකල ඒජන්ත හාමුදුරුවන් කාලයාගේ අවෑමෙන් ඇබිත්තයකුගේ තත්වයටත් පහල තත්වයට ඇද වැටී ඇත.

      රසික, ඔබ ටාසි විට්ටච්චිගේ "58 හදිසි අවස්ථාව" සහ K.A.S. ගුණසේකරගේ "හොරොව්පොතානේ පලවෙනි ඩීයාරෝ" කියවා තිබේද? "මහ දිසාපති" එදා සිට අද දක්වා ඇද වැටෙන හැටි තේරුම් ගැනීමට මේ පොත් ප්‍රමාණවත්ය. අද විට්ටච්චි පවසන ගුණසේන ද සොයිසලා , ඩෙරික් අලුවිහාරේලා හෝ ගුණසේකරලා පවසන මහින්ද සිල්වලා හෝ මංගල ඉලංගසිංහලා (මුල් නම ඇතැම් විට නිවැරදි නොවිය හැක.) නොමැත.

      රසික ඔබ මේ පිළිබඳව සංවාදයක් ආරම්භ කරන්නේ නම් මැනවි.

      - අබ්බගාත් ඇනෝ

      Delete
    2. මේ පොතත් මම ගොඩක් කුඩා කාලයේදීයි කියවා තිබුණේ. කතාව හොඳින් මතක තිබුණත් පොතේ කතුවරයා ලීල් ගුණසේකර වගෙයි මගේ මතකයේ රැඳී තිබුණේ. ඔහුගේ අත්සන, පෙත්සම වගේ පොතුත් ඒ කාලයේම වාගේ කියවා තිබීමත්, ඔහු මා හොඳින් දැනසිටි 'මහ දිසාපති' කෙනෙක් වීමත් මේ පැටලිල්ලට හේතු වෙන්න ඇති. තරමක් මෑතකදී කිසියම් හේතුවක් නිසා හොයා බලන විටයි මෙය මිණිවන් පී තිලකරත්නගේ බව නැවත මතක් වුණේ.

      මම හිතන්නේ මේ ගැන අබ්බගාත් ඇනෝ කියන දෙය නිවැරදියි කියා.

      Delete
  11. ඇයි ගුරුවරු.. ඒ ගොල්ලොත් හොඳ ව්‍යවසායකයො තමා.. බොරොනම් සන්නස්ගලගෙන් අහලා බලන්න...

    ReplyDelete
    Replies
    1. ටියුෂන් කිරීම තෝරා ගන්නේත් ව්‍යවසායකත්වය ඇති අය වුවත්, ලංකාවේ ව්‍යවසායකත්වය ඇති අය සමස්තයක් ලෙස ගුරු වෘත්තීය කෙරෙහි ආකර්ෂණය වෙනවා කියලා මම හිතන්නේ නැහැ.

      Delete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  14. අවුරුදු 25-27 වනතුරු ආවස්ථික පිරිවැය දරමින් ඉගෙන ගන්නා මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ව නඩත්තු කල යුත්තේ දෙමව්පියන් විසිනි. ලංකාවෙ බහුතරයක් ඉංජිනේරු සහ වෛද්‍ය ඇතුළු ඔබ කියන ආකාරයේ වැඩි ප්‍රතිලාභ අනුපාතිකයක් ඇති රැකියා ඉලක්ක කර ඉගෙනගන්නා අය සහ සාර්ථකව විශ්ව විද්‍යාලවලට ඇතුලත් වන අය බහුතරයක් මධ්‍යම පාන්තික හා ධනවත් අයගේ ළමයින් බව පෙනේ. සමීක්ෂණයකට අනුව මෙම බහුතර ප්‍රතිශතය 90% කි! මෙය නාගරික ග්‍රාමීය කියා වෙනසක් නැති බව අනුරාධපුර වැනි දිස්ත්‍රික්කයක ඉහලම කඩයිම් ලකුණු ඇති අයගේ පවුල් පසුබිම් අධ්‍යයනයෙන් සොයාගත හැකියි. සමහරුන් මගේ තාත්තා "අහිංසක" ගොවියෙකු බවට බබා පාට් දැම්මද මේ ගොවියා ගමේ පෝසත්ම ගොවියායි. සමහරවිට සල්ලි පොලියට පවා දෙන ගොවියෙකි. අවසාන නිගමනය වන්නේ ප්‍රාග්ධනය හිමි non-entrepreneur දෙමාපියන් තම entrepreneur දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ආයෝජනය කර තවත් වටයකින් වෙළඳපොළ අල්ලා ගැනීමකි. ප්‍රාග්ධනය නොමැති දෙමාපියන්ගෙ entrepreneur දරුවන්ට ලැබෙන අවස්ථාවන් තවත් සීමිත වීමකි. නිදහස් ලෙසින් හඳුන්වන බදු අධ්‍යාපනයේ අසාර්ථකත්වය මෙයින් හොඳින් පැහැදිලි වේ.

    පහත "සම්ප්‍රේෂණය" ලෙස ඔබ අදහස් කරන දෙය ගැන ලිපියක් හෝ කොමෙන්ටුවක් පලකරන්නේ නම් මැනවි.
    "....... ප්‍රාග්ධනයේ හිමිකරුවන් අතින් ව්‍යවසායකත්වය ඇති අය අතට ප්‍රාග්ධනය භාවිතා කිරීමේ අයිතිය (ප්‍රාග්ධනයේ අයිතිය නොවේ) කාර්යක්ෂම ලෙස සම්ප්‍රේෂණය වේ නම්......"

    ReplyDelete
    Replies
    1. ඔබ අසා ඇති දෙයට විස්තරාත්මක පිළිතුරක් දෙන්න බලාපොරොත්තුවෙන් හිටියත් ඒ සඳහා ඉස්පාසුවක් තවමත් ලැබුණේ නැහැ. කෙටි පිළිතුරක් උඩ සිරිබිරිස්ගේ කමෙන්ටුවට ප්‍රතිචාර ලෙස දමා තියෙනවා. හැකි වූ විටක පෝස්ට් එකක් දමන්නම්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget