Friday, September 30, 2016

ටියුෂන් බයෝ... ටියුෂන් ඉකෝන්...


ලංකාවේ වෛද්‍ය සිසුන්ගේ සමාජ ආර්ථික පදනම පිළිබඳව සාකච්ඡා කෙරුණු පසුගිය ලිපියකට ප්‍රතිචාර ලෙස වෛද්‍ය රුවන් ජයතුංග (ට්‍රාන්ස්සිල්වේනියා), සෙරන්ඩිපිටි, රොබට් ඇතුළු කිහිප දෙනෙකුම ඔවුන්ගේ නිරීක්ෂණ හා අදහස් සමඟ දිගු කමෙන්ටු දමා තිබුණේය. ඔවුන් මතු කරන කරුණු සියල්ල ගැන පුළුල්ව කතා කිරීම ලොකු කාලයක් මිඩංගු කළ යුතු කාර්යයකි.

සෙරන්ඩිපිටිගේ තර්කය වන්නේ උසස්පෙළ තරඟය ජය ගැනීමට නැතුවම බැරි පෞද්ගලික උපකාරක පන්ති වෙනුවෙන් එක් දරුවෙකු සඳහා දෙමවුපියෙකු විසින් මසකට රුපියල් 20,000ක පමණ මුදලක් වැය කළ යුතු බවත්, එවැනි මුදලක් වැය කිරීමේ හැකියාවක් නැති පවුලක දරුවෙකුට වෛද්‍ය පීඨයකට ඇතුළු වීමේ හැකියාවක් නොමැති බවත්ය. මෙයට කිට්ටුවෙන් යන අදහසක් ඊට පෙර ලිපියකට ප්‍රතිචාර ලෙස ඉලෙක්ට්‍රොනික් විසින්ද මතු කර තිබුණේය. එසේනම්, සෙරන්ඩිපිටි හා ඉලෙක්ට්‍රොනික් කියන පරිදි පහළ සමාජ ආර්ථික මට්ටමකින් එන දරුවන් වෛද්‍ය පීඨ තුළ ප්‍රමාණවත් ලෙස නියෝජනය නොවේද? එසේ නියෝජනය නොවේනම් එයට හේතු මොනවාද?

පහත වගුවෙන් පෙනෙන පරිදි මේ තර්කයට පදනමක් තිබේ. එහි පළමු සිරස් පේළියේ ඇති දත්ත සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් 2012/13 වසර වල සිදු කළ ආදායම් හා වියදම් සමීක්ෂණය අනුව රටේ නිවාස ඒකක වල ආදායම් ව්‍යාප්තියයි. දෙවන සිරස් පේළියේ දත්ත මා පෙර සඳහන් කළ සමීක්ෂණය සඳහා ප්‍රතිචාර දක්වමින් සිය පවුලේ ආදායම් කාණ්ඩය වාර්තා කළ කොළඹ වෛද්‍ය පීඨ සිසුන්ගේ පවුල් වල ආදායම් ව්‍යාප්තියයි.



ඉහත දත්ත අනුව පෙනෙන්නේ රුපියල් ලක්ෂය ඉක්මවූ ආදායමක් ඇති පවුල් වල එක් සාමාජිකයෙකු නියෝජනය කිරීමට, කොළඹ වෛද්‍ය පීඨය තුළ වෛද්‍ය සිසුන් දෙදෙනෙකු සිටින බවයි. එහෙත්, පවුලේ ආදායම රුපියල් විසිදහසට අඩු පවුල් වල සාමාජිකයින් දෙදෙනෙකු වෙනුවෙන් කොළඹ වෛද්‍ය පීඨය තුළ සිටින්නේ එක් සිසුවෙකු පමණි. අනෙකුත් වෛද්‍යපීඨ වල සිසුන්ගේ ආදායම් ව්‍යාප්තිය රටේ ආදායම් ව්‍යාප්තියෙන් මේ තරම් වෙනස් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබේ. එමෙන්ම, වෙනත් පීඨ වල සිසුන්ගේ ආදායම් ව්‍යාප්තිය රටේ තත්ත්වයට වඩා ආසන්න විය හැකිය. එසේ වතුදු, සරසවියකට ඇතුළු වීමට පවුලේ ආදායම් මට්ටම බලපාන බව බැහැර නොකළ හැකි කරුණකි.

එසේනම්, අධ්‍යාපනය සඳහා මුදල් අය නොකරන ලංකාවේ සරසවියකට ඇතුළු වීමටද මූලික මූල්‍ය ආයෝජනයක් අවශ්‍යය. මෙයට හේතුව ටියුෂන්ද?

පළමුව, අප සොයා බැලිය යුත්තේ ටියුෂන් සඳහා ඉල්ලුම ඇති වන්නේ කෙසේද යන්නයි. සැපයුමක් ඇත්තේ ඉල්ලුමක් ඇති නිසාය.

කිසියම් සිසුවකුගේ අධ්‍යාපනය සඳහා වැය වන මුළු මුදලම එම සිසුවා/ සිසුවිය හෝ පවුලේ සාමාජිකයින් විසින් දැරිය යුතුනම් අධ්‍යාපනය සඳහා යමෙක් ආයෝජනය කරන්නේ ආන්තික ආයෝජන පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට සමාන වන මට්ටම දක්වා පමණි. ඇමරිකාවේ ඇත්තේ මෙයට ආසන්නව සමාන තත්ත්වයකි (ඇමරිකාවේද වෛද්‍ය අධ්‍යාපනය ඇතුළු උසස් අධ්‍යාපනය එක්තරා මට්ටමකට සුබසාධනය කෙරේ).

වෛද්‍ය වෘත්තීය ඇමරිකාවේ වැඩිම සාමාන්‍ය ආදායමක් ලබා ගත හැකි වෘත්තියයි. තමන්ගේ විශේෂඥතාව ඇති ක්ෂේත්‍රය අනුව, ඇමරිකාවේ වෛද්‍යවරයෙකුට වසරකට ඩොලර් 204,000-443,000 අතර සාමාන්‍ය ආදායමක් ලැබිය හැකිය. එහෙත්, වෛද්‍යවරයෙකු වීම සඳහා වැය කළ යුතු කාලය, මුදල හා වෛද්‍යවරයෙකු වීමෙන් පසු බොහෝ විට වැඩ කරන වැඩි පැය ගණන සැලකූ විට වෛද්‍ය වෘත්තිකයෙකු වීම සඳහා කරන ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ අනුපාතිකය වෙනත් වෘත්තියකට සාපේක්ෂව විශාල ලෙස වෙනස් නැත. ඒ නිසා, හැම විටම වාගේ වෛද්‍ය වෘත්තියට පිවිසීමට උනන්දු වන්නේ ඒ සඳහා අවශ්‍ය කුසලතාවන් හෝ විශේෂ කැමැත්තක් ඇති අයයි (මෙය ආනුභාවික දත්ත මත කරන ප්‍රකාශයකි). මෙය වෙනත් වෘත්තීන්ටද අදාළය.

අධ්‍යාපන පිරිවැය සම්පූර්ණයෙන්ම පෞද්ගලික ආයෝජනයක්නම් විවිධ වෘත්තියකයින් සඳහා රටේ පවතින ඉල්ලුම හා සැපයුම ස්වභාවිකවම සමතුලිත වේ. උදාහරණයක් ලෙස වෛද්‍ය වෘත්තියෙන් අනෙක් වෘත්තීන්ට වඩා වැඩි ප්‍රතිලාභ අනුපාතිකයක් ලැබෙන විට වැඩි දෙනෙක් වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීම වෙනුවෙන් ආයෝජනය කරන්නට පෙළඹේ. එවිට, වෛද්‍ය වෘත්තිකයින්ගේ සැපයුම වැඩි වී ඔවුන්ට රැකියා සොයා ගැනීම අපහසු වීමත්, ඔවුන්ගේ සාමාන්‍ය ආදායම පහළ වැටීමත් සිදුවේ. දැන් එම වෘත්
තිය සඳහා කරන ආයෝජනය තව දුරටත් වැඩි ප්‍රතිලාභ ගෙන නොදෙන නිසා වෛද්‍ය අධ්‍යාපනය සඳහා වන ඉල්ලුම අඩු වී නැවතත් වෙළඳපොළ සමතුලිත වේ. මෙය වෙනත් විෂය ක්ෂේත්‍රයන්ටද අදාළය. ඒ නිසා "රැකියා විරහිත උපාධිධාරීන්ගේ" ප්‍රශ්නයක් ඇති නොවේ.

කිසියම් රටකට කිසියම් හේතුවක් නිසා එම රටේ කිසියම් වෘත්තිකයක යෙදෙන ප්‍රමාණය ඉහත සමතුලිත ප්‍රමාණයට වඩා වැඩි කිරීමට අවශ්‍ය විය හැකිය. උදාහරණයක් ලෙස වෛද්‍ය වෘත්තියම සලකමු. එක් පුද්ගලයෙකු වඩා නිරෝගී වූ විට එම පුද්ගලයාට සම්බන්ධයක් නැති වෙනත් බොහෝ දෙනෙකුටද යම් සමාජ ප්‍රතිලාභයක් ලැබීම මේ තීරණයට පදනම් වනවා විය හැකිය. 


රජය මැදිහත් වී සමාජයේ මේ පොදු තීරණය ක්‍රියාත්මක කළ හැකි එක් ක්‍රමයක් වන්නේ වෛද්‍ය අධ්‍යාපන පිරිවැය සුබසාධනය කිරීමයි. එවිට, වෛද්‍ය අධ්‍යපනය වඩා ප්‍රතිලාභ ගෙනෙන කටයුත්තක් වන නිසා "දෙපැත්තට වැනි වැනී" සිටි ටික දෙනෙකු වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට යොමුවීමෙන් රටේ වෛද්‍ය සේවා සැපයුම සමතුලිත මට්ටමට වඩා වැඩි වේ.

ඇතැම් විට කිසියම් වෘත්තියක සැපයුම සමතුලිත ප්‍රමාණයට වඩා වැඩිවීම ස්වභාවිකවම සිදුවන්නටද පුළුවන. ඇමරිකාවේ උසස් අධ්‍යාපනය සඳහා ඉංග්‍රීසි විෂය හදාරණ අයට ලැබෙන ශුද්ධ ප්‍රතිලාභය සෘණ අගයකි. මේ අය උසස් අධ්‍යාපනය නොලැබ සිටියෝනම් ඔවුන්ට මූල්‍යමය ලෙස වැඩි වාසියක් සිදු වේ. එහෙත්, මූල්‍යමය අවාසියක් ලබමින් ඔවුන් මේ විෂය හදාරන්නේ එයින් ඔවුන්ට ලැබෙන සතුට හෝ වෙනත් එවැනි මූල්‍යමය නොවන වාසියක් වෙනුවෙන් විය යුතුය. වෛද්‍ය වෘත්තිය හා අදාළව මෙවැනි තත්ත්වයක් පැහැදිලිව පෙනෙන්නට නැත. 


ලංකාවේ උසස් අධ්‍යාපනය ඉතා විශාල ලෙස සුබසාධනය කර තිබේ. මේ නිසා රජයේ සරසවියක උසස් අධ්‍යපනය ලැබීමේ අවස්ථාව ලැබූ අයෙකු ඒ සඳහා කළ යුතු ආයෝජනයෙන් සැලකිය යුතු කොටසක් පොදු ආයෝජනයක් ලෙස සමාජය විසින් දැරීමත්, ඒ හේතුවෙන් සිසුවාගේ හෝ සිසුවියගේ පෞද්ගලික ආන්තික පිරිවැය සැලකිය යුතු ලෙස පහත යාමත් සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස, උසස් අධ්‍යාපනය මුළුමනින්ම පෞද්ගලික ආයෝජනයක් වීනම් එය නොකරන සැලකිය යුතු පිරිසක් උසස් අධ්‍යපනය ලබා ගැනීමට යොමු වේ.

ලංකාවේ උසස් අධ්‍යාපනය සුබසාධනය කිරීම සිදුවන්නේ නිදහස් වෙළදපොළ සමතුලිතතාවය වෙනස් කිරීම යුක්තියුක්ත කිරීමට ඇති සාධාරණ කරුණු සලකා බලමින් සැලසුම් සහගත ලෙස නොවේ. එය ඔහේ යන විදිහට යයි. ඒ නිසා, මෙසේ උසස් අධ්‍යපනය ලබා ගැනීම සඳහා යොමු වන ප්‍රමාණය රජයේ වෙළඳපොළ මැදිහත් වීම නිසා වැඩි වුවද අදාළ රැකියා සඳහා ඉල්ලුම සමානුරූපීව වැඩි නොවේ. ලංකාවේ රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ ඇතැම් වෘත්තිකයින් සඳහා වෙළඳපොළ ඉල්ලුම හා රටේ අවශ්‍යතාවයන් ගැලපීමට ප්‍රමාණවත් සැපයුමක් තිබියදී උසස් අධ්‍යාපනය සුබසාධනය කිරීම මඟින් කෘතීම ලෙස සැපයුම තවත් වැඩි කිරීම නිසාය.

කෙසේ වුවද, වෛද්‍ය හා ඉංජිනේරු වැනි ඇතැම් වෘත්තීන් සඳහා පවතින ඉල්ලුම ගැලපීමට හැකි තරම් සැපයුමක් සුබසාධනය යටතේ එම වෘත්තිකයින් නිෂ්පාදනය කරන රජයේ සරසවි මඟින් සිදු නොකරයි. සැපයුම ප්‍රමාණවත් නොවන නිසා මේ වෘත්තිකයින්ගේ "මිල" සමතුලිත මට්ටම් ඉක්මවා ඉහළ යයි. එවිට එම වෘත්තීන්ට පිවිසීමේ ප්‍රතිලාභ හේතු දෙකක් නිසාම ඉහළ යයි. පළමුව, නිෂ්පාදන පිරිවැය සුබසාධනය වී ඇත. දෙවනුව, සැපයුම සීමා කර ඇති නිසා තරඟකරුවන් අඩුවී ලාභ වැඩි වේ. ඉංජිනේරු, පරිගණක හා තොරතුරු තාක්ෂණ හා ගණකාධිකාරී වැනි වෙනත් ජනප්‍රිය වෘත්තීන්ට සාපේක්ෂව වෘත්තියට පිවිසීමේ විකල්ප අවස්ථා හොඳටම අඩු වෛද්‍ය වෘත්
තිය හා මේ කරුණ විශේෂයෙන්ම අදාළය. 

ඉහත පරිදි, ලංකාවේ සරසවි වල 'ජනප්‍රිය' පාඨමාලාවක් හැදෑරීම සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දුන්නත් මේ අවස්ථාව සියල්ලන්ටම හිමි නොවේ. මේ අය අතරින් සැලකිය යුතු පිරිසක් අධ්‍යාපන ආයෝජන පිරිවැය මෙතරම් (හෝ කොහෙත්ම) සුබසාධනය වී නොතිබුණද එම වැඩි (සමස්ත) පිරිවැය පෞද්ගලික ආයෝජනයක් ලෙස දරන්නට සූදානමින් සිටින අයයි. ඒ අයට සෘජුව මුදල් ගෙවා රජයේ සරසවියකට ඇතුළු වීමේ ඉඩකඩ වැඩි කර ගැනීමට නොහැකිය. එසේ නොහැකිවීම නිසා නොසන්සිඳුණු ඉල්ලුමක් ඇති වේ.

නොසන්සිඳුණු ඉල්ලුමක් ඇති විට එහි ව්‍යාපාරික අවස්ථාවක් තිබේ. ලාභ ලැබීමේ ඉඩකඩක් තිබේ. පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු මේ නොසන්සිඳුණු ඉල්ලුම සපුරමින් ලාභ ලබන ව්‍යවසායකයෝය. දැන් යමෙකුට සෘජුව මුදල් ගෙවා රජයේ සරසවියකට ඇතුළු වීමේ ඉඩකඩ වැඩි කර ගැනීමට නොහැකි වුවත්, වක්‍රව එය කර ගැනීමට ක්‍රමයක් තිබේ. ඒ අනුව, උපකාරක පන්ති සඳහා මුදල් වැය කිරීමේ හැකියාව ඇති අය ස්ව-කැමැත්තෙන් එසේ කරති.

එසේනම්, කොළඹ වෛද්‍ය පීඨය තුළ ලංකාවේ ඉහළ ආදායම් ස්ථර වල නියෝජනය කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත්තේ සහ අඩු ආදායම් ස්ථර වල නියෝජනය එලෙසම අඩු වී ඇත්තේ ටියුෂන් වියදම නිසාද?

මෙය අපි දෙවනුව කතා කරමු.


(Image: https://www.flickr.com/photos/cerno/1522828591)

7 comments:

  1. වෛද්‍ය, ඉංජිනේරු වැනි පාඨලමාලාවලට වැඩි වශයෙන් තේරෙන්නේ ලංකාවෙන් වැඩි ලකුණු ගන්න 40% ප්‍රතිඡතය අනුව විශ්ව ව්ද්‍යාලවලට ඇතුලත්වන ළමයි. එයිනුත් කොළඹ වෛද්‍යපීඨය තම preferance වල ප්‍රමුඛ ස්ඨානයක් ගන්නා නිසා එයට වැඩිවශයෙන් ඇතුලත්වන්නේ A 3 ගත්ත IQ එක වැඩි සිසුන් කියල අනුමාන කරන්න පුළුවන් . ඒ අනුව බලන කොට ඉකොන්ගේ උදාරණය(table) අණුව පව්ලේ ආදායම අනුව IQ එක වැඩිවීමක් පෙන්නුම් කරනවා ඒක සමාන්‍ය තත්වයක් නොවේ. ඒක නිසා ටියුශන්වල බලපෑම මෙතනදී පැහැදිලියි

    ReplyDelete
    Replies
    1. ටියුෂන් වල බලපෑමක් තියෙනවා තමයි. ඒත් ටියුෂන් නැති වුණත් මේ තත්ත්වය විශාල ලෙස වෙනස් වෙයි කියා මම හිතන්නේ නැහැ. මේ ගැන ඉදිරියේදී තව කතා කරන්නම්!

      //පව්ලේ ආදායම අනුව IQ එක වැඩිවීමක් පෙන්නුම් කරනවා ඒක සමාන්‍ය තත්වයක් නොවේ.//
      ආදායම වැඩි වූ පමණින් IQ එක වැඩි නොවුණත් ආදායම වැඩිවීමට IQ එකේ බලපෑමක් තියෙන නිසා මේ දෙකේ සම්බන්ධයක් තියෙනවා. දෙමවුපියන්ගේ ජාන වලින් වගේම, ඊටත් වඩා බොහෝ දුරට ගෙදර සංස්කෘතියෙන් දරුවන්ට ලැබෙන දේ ඔවුන්ගේ අනාගතයට බලපානවා.

      Delete
  2. මේ රුපියල් 20,000 කතාව ඇත්තක් ද? ඒ කියන්නේ එක උසස් පෙළ විෂයකට රුපියල් 6,600 ක්?

    මං ගෙවපු වැඩිම ටියුෂන් ගාස්තුව මාසෙකට එක විෂයකට රුපියක් 15 යි!

    ReplyDelete
    Replies
    1. දැන් වියදම් ගැන මට නිවැරදි තක්සේරුවක් නැත. අපේ කාලයේදී එය සාමාන්‍යයෙන් මසකට රුපියල් 20ක් විය. රුපියල් 25ක් ගත් තැන්ද තිබුණේය. මා ඉඳහිට ගිය ටියුෂන් පංතියේ මේ අය කිරීම කළේ දිනකට රුපියල් 5ක් ලෙස නිසා මාසයේ සති ගණන අනුව රුපියල් 20 හෝ 25 ලෙස වෙනස් විය. ඒ අනුව මාසයක ටියුෂන් වියදම රුපියල් 80-100 අතර විය. මේ වියදමද ඒ වන විට අපේ පවුලේ ආදායම අනුව දරා ගැනීමට අමාරු වියදමක් විය. මගේ ඇතැම් පාසැල් මිතුරන් සහභාගී වූ ග්රූප් පන්ති වල එක් විෂයකට රුපියල් 100ක් ලෙස මුළු වියදම රුපියල් 400ක් විය.

      Delete
  3. ටියුෂන් නොගොස් විශ්ව විද්‍යාලයට ගිය මගේ සමාන්තර හෝ ඊට පසු අයෙකුට මා දන්නේ මගේ ප්‍රිය බිරිඳ පමණි!

    ReplyDelete
    Replies
    1. මා එක් විෂයයක් සඳහා පැවැත්වුණු පුනරීක්ෂන පංතියකට ටික කලක් අතරින් පතර ගිය නිසා ටියුෂන් ගියේ නැතැයි කිව නොහැකිය. මේ පංතියට ගියේ එවකට ටියුෂන් යාම සියළුම දෙනා විසින් කළ කටයුත්තක් වීම නිසා මේ අත්දැකීම (ප්‍රධාන වශයෙන්ම ටියුෂන් සංස්කෘතිය හා අදාළව පැවති විෂය කරුණු නොවන දේ) ලබාගන්නට මට අවශ්‍ය වූ බැවිනි. මෙය සමාන කළ හැක්කේ දැන් රැල්ලට පොත් ප්‍රදර්ශනයට යාමටය. මෙයට හේතු වූයේ අධ්‍යයන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය වුවත් ඒ සඳහා අධ්‍යයන කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් මිඩංගු කිරීමට තිබුණු අකැමැත්ත (කම්මැලිකම) හා සරසවි ඉලක්කය සපුරා ගැනීම එතරම් අපහසු දෙයක් නොවන බවට වූ අධි තක්සේරුවයි. උසස් පෙළ පංති ආරම්භයේදී මෙසේ දැඩි ස්ථාවරයක සිටියත් ටික කලක් යන විට මේ හේතුව නිසා මට සති අන්තයේ ටියුෂන් යන මිතුරන් විසින් කරන වෙනත් බොහෝ දේ මිස් වන බව තේරුණේය. ඒ නිසා, ඒ වන විට මට අඩුවෙන්ම අමාරු විෂයය සඳහා පැවති පුනරීක්ෂන පන්තියකට එකතු වුනෙමි. මේ පංතියට නොයන දවසට මුදල් නොගෙවිය යුතු වීම වාසියක් විය. එතරම් ජනප්‍රිය නොවූ මේ පංතියේ ගුරුවරයා එවකට සරසවි සිසුවෙකු වූ බව මගේ අදහසයි. ඔහු ඔහුගේ විභාග දිගටම ඇනගැනීම හේතුවෙන් මා ඇතුළු වී ටික කලකින් මේ පංතිය නැවතුණේය.

      කෙසේ වුවද, සාමාන්‍යයෙන් ඒ දිනවල කළ පරිදි උසස් පෙළ විභාගයෙන් පසුව ගෙදර පැමිණ මගේ පිළිතුරු ස්වයං ඇගයීමකට ලක් කිරීමෙන් පසු පැහැදිලි වුණේ මා මෙන්ම පවුලේ, පාසැලේ, අහල පහළ සියල්ලන් බලාපොරොත්තු වූ "ඉහළ ප්‍රතිඵලය" නොලැබෙන බවයි. ඇතැම් විට ඉංජිනේරු පීඨයට යාමට නොහැකි වීමේ අවදානමක්ද පෙනුණේය. මෙය දැනුම් දීමෙන් පසු මා මෙන්ම මගේ පියාද විශාල ලෙස කලබලයට පත් විය. ඒ අනුව, අවශ්‍ය වුවහොත් දෙවන වර විභාගය ගැනීම සඳහා අගනුවර ආසන්න 'සල්ලි තිබුණු' ඥාතියෙකුගේ නිවසක නැවතී ටික කලක් (මාස එකහමාරක් පමණ) නැවත ටියුෂන් වලට ගියෙමි. ප්‍රතිඵල පැමිණි පසුව එය උසස් පෙළ පටන් ගන්නා විට හිතා සිටි ආකාරයේ "ඉහළ ප්‍රතිඵලයක්" නොවූවත්, ඉංජිනේරු පීඨයට ඇතුළු වීමේ හැකියාව සුරක්ෂිත බව තහවුරු කළ ප්‍රතිඵලයක් වූයෙන් මේ දෙවන ටියුෂන් යාමද අවසන් විය. ඉන්පසු, ටියුෂන් නවතා ව්‍යාපාරිකයෙකු වූ මේ දුර ඥාතියාගේ සේවකයෙකු ලෙස, පසුව රජයේ ඉංග්‍රීසි උපගුරු පත්වීමක් ලැබෙන තුරු, කලක් වැඩ කළෙමි.

      Delete
    2. මේ ටික ලියන්නට හිටියේ තවත් පෝස්ට් එකක් ලෙසය.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget