Saturday, October 1, 2016

මගේ පළමු ටියුෂන් පංතිය


මා කුඩා කාලයේදී ලංකාවේ ටියුෂන් සංස්කෘතිය අද තරමට "පිස්සුවක්" වී තිබුණේ නැත. ඒ කාලයේදී මා තේරුම් ගත් ආකාරයට ටියුෂන් ගැනීම "වැඩ බැරි ළමයින්ගේ" වැඩකි. මෙය එතරම් නම්බුකාර දෙයක් නොවීය.

කුඩා පන්ති වල සිසු-සිසුවියන් සඳහා පැවැත්වෙන ටියුෂන් පන්ති එකල අද මෙන් සුලභව හෝ ජනප්‍රියව නොපැවතියේ වුවද ඒවා නොතිබුණාම නොවේ.

මට මේ ආකාරයෙන් මුලින්ම "ටියුෂන් ගන්නට" සිදු වුණේ මා දෙවන ශ්‍රේණියේ සිටියදීය. ඒ, මා ඒ කාලයේදී පාසැල් වැඩ වලින් අනෙක් සිසු-සිසුවියන්ට වඩා පිටුපසින් සිටි නිසා නොවේ. ඇත්තටම කියනවානම් එයට වක්‍රව හේතු වුණේ මා ඒ කාලයේදී පාසැල් වැඩ වලින් අනෙක් සිසු-සිසුවියන්ට වඩා ඉදිරියෙන් සිටීමයි.

මමත්, මගේ සොයුරු සොයුරියනුත්, විශේෂයෙන්ම පහළ පන්ති වලදී, අපේ පන්ති වල අනෙක් බොහෝ සිසුන්ට වඩා ඉදිරියෙන් සිටියෙමු. එහෙත්, ඒ අප අනෙක් සිසු-සිසුවියන් නොකළ මහා අමුතු දෙයක් කළ නිසා නොවේ. පාසැල අවසන්ව නිවසට පැමිණි පසු අපි සාමාන්‍යයෙන් පාසැලෙන් දෙන ගෙදර වැඩක් කරනු හැර වෙන අමුතු කිසිවක් නොකළෙමු. ඉතිරි කාලය බොහෝ විට කෙළි දෙලෙන් ගත කළෙමු. කිසියම් වෙනසක් පැවතියේනම්, ඒ ඉතා අඩු වයසකින් සාක්ෂරතාවය ලබාගත් අප කුඩා කල සිටම කියවීම සඳහා වැඩි කාලයක් යෙදවීමයි.

කෙසේ වුවද, අපේ ඇතැම් ඥාතීන් සිතුවේ අපේ ගෙදර ළමයින්ට ඉගෙනීමෙන් ඉදිරියට යාමට උදවුවන කිසියම් "මැජික් එකක්" ඇති බවයි. මේ නිසා, අප කුඩා කාලයේ සිටම දිගින් දිගටම අපේ ඥාති සොයුරන් හෝ සොයුරියන් කෙනෙකු, දෙදෙනෙකු හෝ තිදෙනෙකු පාසැල් යනු පිණිස අපේ ගෙදර නැවතී සිටියේය. ඇතැම් විට, ඥාතීන් නොවූ අයද මෙසේ අපේ ගෙදර නැවතී සිටියේය.

මුලින්ම, මට අවශ්‍යතාවයක් නැතිවම, මෙසේ ටියුෂන් ගන්නට වුනේ ඒ කාලයේ අපේ ගෙදර නැවතී සිටි මගේ වයසේම ඥාති සොයුරෙකු පාසැල් විෂයයන්ට දුර්වල බව ඔහුගේ දෙමවුපියන් සිතූ බැවිනි. පාසැලේ ශ්‍රේණිය අනුව යමින් මගේ වයසේම කිවුවත්, එකම පාසැලේ සමාන්තර පන්ති වල සිටි අප දෙදෙනාගේ උපන් දින අනුව ඇත්තටම ඔහු මට වඩා වසරකින් වැඩිමල් නොවූයේ දින ගණනකනි.

දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අප දෙදෙනාට ටියුෂන් දීමට පැමිණියේ මා දැන් සිතන පරිදි එවකට වයස විස්සක් හෝ විසි දෙකක් පමණ වූ මුස්ලිම් තරුණියකි. මේ කාලයදී අපට මුස්ලිම් අය "අමුතු සත්තු" ලෙස පෙනුණේ නැත. මගේ ඥාති සොයුරාට තනිවම ටියුෂන් දෙනවා වෙනුවට ඔහුටත් මටත් එකට ටියුෂන් දීමේ කිසියම් වාසියක් අපේ වැඩිහිටියන් දැක්කා විය හැකිය.

මේ කාලය වන විට පාසැල් පොත් නොමිලයේ දීම ඇරඹී නොතිබුණේය. ඒ නිසා, පවුලේ වැඩිමලා වූ මා වෙනුවෙන් මගේ දෙමවුපියන්ට පාසැල් පොත් අළුතින්ම  ගන්නට සිදු වී තිබුණේය. එසේ වුවද, පාසැල් යන්නට වසරකට හෝ දෙකකට පෙරම පළමු ශ්‍රේණියේ පාසැල් පොත් මට ලැබුණේය. පාසැල් යාම අරඹන විට මා ස්වයං අධ්‍යයනයෙන් හෝ වෙනත් වැඩිහිටියන්ගේ උදවුවෙන් මේ පෙළ පොත් සම්පූර්ණයෙන් හදාරා අවසානය.

කෙසේ වුවද, පාසැලට ඇතුළු වන විට මට අළුත් පෙළ පොත් ගන්නට උවමනා විය. පළමු ශ්‍රේණියේ පෙළ පොත් ඒ වන විටද මා සතු වූ බැවින්, පළමු ශ්‍රේණියට ඇතුළත් වන අවස්ථාවේදී  මට දෙවන
ශ්‍රේණියේ පෙළපොත් සියල්ල ලැබුණේය. මෙය පුරුද්දට ගොස්, දෙවන ශ්‍රේණියට ඇතුළත් වන විට මට මගේ දෙමවුපියන් විසින් මිල දී ගනු ලැබ තෙවන ශ්‍රේණියේ පෙළපොත් සියල්ල ලැබී තිබුණේය.

පාසැලේදී මේ පෙළපොත් උගන්වන විට මා ඒවා වරක් අධ්‍යයනය කර අවසන්ව තිබූ බැවින් දෙවන වරට කරන පාසැල් වැඩ "ගේමක් නැති හා බෝරිං" කටයුත්තක් විය. මෙවැනි තත්ත්වයක සිටි මට මගේ පළමු ටියුෂන් පන්තියේදී තවත් වරක් මේ "බෝරිං" දෙය කිරීම එතරම් ප්‍රසන්න කටයුත්තක් නොවීය.

අපේ ටියුෂන් ගුරුවරිය කැඳවා තිබුණේ අපට ගණිතය හා සිංහල භාෂාව ඉගැන්වීමටය. ඇය වරකට පැය දෙකක් පමණ මේ වෙනුවෙන් ගත කළාය. එහෙත්, මගේ ඥාති සොයුරාට පැය දෙකක් ගතවන ගණිත හා සිංහල අභ්‍යාස අවසන් කරන්නට මට පැය බාගයක්වත් ගත වුණේ නැත. ඒ නිසා, මගේත් මගේ ටියුෂන් ගුරුවරියගේත් අන්‍යොන්‍ය අවබෝධයෙන්, ඉතිරි කාලය තුළ මම වෙනත් දේ ඉගෙන ගත්තෙමි.

මේ වෙනත් දේ අතර මගේ දෙමවුපියන්ගේද අනුමැතිය මත ඉගෙනගත් පළමු දෙය වූයේ ඉංග්‍රීසි භාෂාවයි. අපේ කාලයේදී රජයේ  පාසැල්  වල ඉංග්‍රීසි විෂයය ඉගැන්වීම ඇරඹුණේ තෙවන ශ්‍රේණියේදී නිසා මේ වන විට ඉංග්‍රීසි භාෂාව මගේ පාසැල් විෂයයක් නොවීය. එහෙත්, තෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොත මා සතු විය.

ඇත්තටම මේ තෙවන ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතද මා වැඩිහිටියන්ගේ උදවු ඇතිව මේ වන විට හදාරා තිබුණේය. මගේ ගුරුවරිය මට ලබා දුන්නේ ඊට වඩා වැඩි මට්ටමක ඉංග්‍රීසි දැනුමකි.

කවුරුත් දන්නා දෙයක් ලෙස ඒ දවස් වල මා සිතා සිටි සිංහල භාෂාවට අමතරව ඉංග්‍රීසි හා දෙමළ යන භාෂා දෙකම හොඳින් දැන සිටි මේ ටියුෂන් ගුරුවරිය මට පෙනුණේ වීරවරියක ලෙසිනි. මගේ වැඩිහිටි ඥාතීන් බොහෝ දෙනෙකුට ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවයත්, මගේ මවගේ පියාට එයට අමතරව පාලි හා යම් තරමක සකු බස් දැනුමකුත් තිබුණත් මේ කිසිවකුට සැලකිය යුතු දෙමළ දැනුමක් නොතිබුණේය. ඔවුන්ගේ දැනුම කිසියම් කුලී වැඩකට පැමිණෙන දෙමළ කම්කරුවෙකු සමඟ හුවමාරු කරගන්නා වචන කිහිපයකට සීමා විය.

මගේ පළමු ටියුෂන් පන්තිය ඇරඹෙන විට මගේ දෙමළ දැනීම දෙමළෙන් ලියැවුණු යමක් යාන්තම් කියවීමේ හැකියාවට සීමා විය. මේ හැකියාව තනිකරම ස්වයං අධ්‍යයනයේ ප්‍රතිඵලයක් විය. එය කළේ, කිරිපිටි, සබන්, සිගරැට් ආදියේ දවටන වල සිංහල, දෙමළ හා ඉංග්‍රීසි තෙබසින්ම මුද්‍රණය කර තිබුණු වෙළඳ නාම සැසඳීමෙනි. මේ කටයුත්ත වැඩිදුර ගෙන යාමට උදවු කරගත හැකි කිසිදු වැඩිහිටියෙකු අපේ ගෙදර හෝ අපේ විස්තෘත පවුලේ සිටියේ නැත.

ගණිතය, සිංහල හා ඉංග්‍රීසි ඉගෙනීමෙන් පසුව ඉතිරිවන කාලය මම දෙමළ ඉගෙනීමට යෙදෙවුවෙමි. "ට්‍රැක් එකෙන් පිට යාමට" තරමක් අදිමදි කළත් මගේ පෙරැත්තයෙන් බේරෙන්නට බැරි නිසාත්, ටියුෂන් පංතියේ නියමිත වැඩ කොටස මා ඕනෑවටත් වඩා හොඳින් කරන නිසාත් මගේ මේ පළමු ටියුෂන් ගුරුවරිය මේ සඳහා අවසානයේදී එකඟ කරවා ගත හැකි විය.

මගේ පියා ලැබූ ස්ථාන මාරුවක් සමඟ අපට පදිංචිය වෙනස් කරන්නට වූයෙන් මගේ මේ පළමු ටියුෂන් පංතිය දෙතුන් මසකට වඩා පැවතුණේ නැත. මගේ ඥාති සොයුරාද අපේ පදිංචිය වෙනස් කිරීමට සමාන්තරව වෙනත් පාසැලකට හා වෙනත් "බෝඩිමකට" ගියේය.

මගේ පළමු ටියුෂන් පංතියට මෙසේ නැවතීමේ තිත වැටීමෙන් පසුව, මා නැවතත් ටියුෂන් පන්තියකට ගියේ වසර හත අටකටම පසුවය. කෙසේ වුවද, ඊට බොහෝ පෙර මම ටියුෂන් දීම පටන් ගත්තෙමි. මා වෘත්තීය ටියුෂන් ගුරුවරයෙකු වූයේ හයවන ශ්‍රේණියේ සිටියදීමය. ඒ ගැන මා මීට පෙරද සඳහන් කර තිබේ.



(Image: http://sashikaenglish.blogspot.com/2012/12/how-about-sinhala-tamil-english.html)

15 comments:

  1. මම නම් හිතන්නේ අර 'මැජික් කතාව' ඇත්ත. :)

    //අප දෙදෙනාගේ උපන් දින අනුව ඇත්තටම ඔහු මට වඩා වසරකින් වැඩිමල් නොවූයේ දින ගණනකනි.//

    මේක වෙන විදියකට කීවොත්?

    දෙමළ ඉගෙනන තිබුණා නම් හොඳයි කියලා හිතුනු වාර අනන්තයි. ඒත් ඉංග්‍රීසි හන්දා ඒ අවස්තාව නැතිවෙනවා.

    ReplyDelete
    Replies
    1. //මේක වෙන විදියකට කීවොත්?//
      මම අපේ පන්තියේ (සහ සමාන්තර පන්ති වල) සිටි වයසින් අඩුම සිසුවෙක්. මගේ ඥාති සොයුරා වයසින් වැඩිම කෙනෙක්. මේ නිසා සමාන්තර පන්ති වල හිටියත් ඔහු මට වඩා වසරක් පමණ වැඩිමල්. මේ වයසේදී අපේ වයසට සාපේක්ෂව වසරක් කියන්නේ ලොකු කාලයක්.

      මම දෙමළ ඉගෙන ගන්න පටන් ගත්තේ මේ තරම් අඩු වයසකදී වෙලත්, ඒ සඳහා දිගටම ලොකු උනන්දුවක් තිබිලත් මට අවශ්‍ය මට්ටමට එම භාෂාව හදාරන්න හැකි වුණේ නැහැ. එයට හේතුව ප්‍රයෝගික භාවිතයක් නැතුව භාෂාවක් වැඩිදුර ප්‍රගුණ කිරීම ඉතා අසීරු දෙයක් නිසා. පසු අවදියකදී ඉංග්‍රීසි භාෂාව හා අදාළවත් මම මෙවැනි තත්ත්වයකට මුහුණ දුන්නා.

      Delete
  2. මෙච්චර බ්‍රයිටෙක් කොහොමද එතකොට මැට්ටෙක් වුනේ ? :D

    අර ගුරුවරිය ගැන කියනකොට "මුස්ලිම්" තරුණියක් කියලා විශේෂ කර දැමීමෙන්ම අපේ බෙදීම පටන් ගන්නවා ඉකොන්.. ඒ ගුරුවරිය සිංහල කෙනෙක් වුනානම් ඔබ "සිංහල" විශේෂණය යොදන්නෙ නෑනේ.. එහෙම යෙදීම අනවශ්‍යයි...

    ReplyDelete
    Replies
    1. //ඒ ගුරුවරිය සිංහල කෙනෙක් වුනානම් ඔබ "සිංහල" විශේෂණය යොදන්නෙ නෑනේ..//
      සිංහල ගුරුවරියක් දෙමළ භාෂාව ඉගැන්වීම මවු බස දෙමළ වූ ගුරුවරියක් එය කිරීමට වඩා විශේෂ දෙයක් නිසා මේ ගුරුවරිය සිංහල වුනානම් මෙහිදී මා එම විශේෂණය යොදනවා. මා හිතන්නේ භාෂාවක් ඉගෙන ගැනීමේදී එම බස මවුබස වූ අයෙකුට ආදේශකයක් වීම වෙනත් අයෙකුට ඉතා අපහසු දෙයක් බවයි.

      Delete
    2. මෙච්චර බ්‍රයිටෙක් කොහොමද එතකොට මැට්ටෙක් වුනේ ? ++++

      Delete
    3. මුල් කාලයේ ලැබුණු බොහෝ දේ ඒ අයුරින්ම දිගටම ලැබුණේ නැත. ජේආර්ගේ ආණ්ඩු කාලය තුළ රජයේ සේවකයින්ගේ සමාජ ආර්ථික තත්ත්වයේ සිදු වූ වෙනස්කම්, ආදායම් මාර්ගයක් ලෙස ඉඩකඩම් වල වැදගත්කම අඩු වීම වැනි හේතුත් මා දෙවන ශ්‍රේණියේ සිටියදී සිදුවුණු අපේ ජීවිත උඩුයටිකුරු කළ සිදුවීමකුත් නිසා බොහෝ දේ නරක අතට වෙනස් විය. මා තෙවන ශ්‍රේණියට යන විට පෙළ පොත් වෙනස් කළ නිසා මගේ පියාට නැවතත් තෙවන ශ්‍රේණියේ පෙළපොත් මිල දී ගන්නට විය. (මේ අළුත් තුනේ සිංහල පොත "හේ" "ඕ තොමෝ" වැනි යෙදුම් නොතිබුණු වඩා සරල "කොහෙත්ම ගේමක් නැති" පොතක් විය.) හතරේ හා පහේ පන්ති වලදී නියමිත පොත් ටික ලැබුණේද පාසැල් වාරය ඇරඹී සති ගණනක් ගෙවුණු පසුවය. කෙසේ වුවද, මේ කිසිවක් නිසා මා මගේ අධ්‍යාපන ඉලක්ක අත හැර නොදැම්මෙමි.

      Delete
  3. රසවත්... will give a comment again when i sit with a pc

    ReplyDelete
    Replies
    1. මගේ පළමු ටියුෂන් පන්තිය පැවැත්වුණු කාලයේ PC එකක් යනු තැපැල්පතක් හෙවත් පෝස්ට්කාඩ් එකකි. ඒ කාලයේ පළාත් සභා පිහිටුවා නොතිබුණු අතර ජනාධිපති නීතිඥයින් ගැන දැන නොසිටියෙමි.

      Delete
  4. මා ජීවිතේටම ටියුශන් ගොස් ඇත්තේ මාස 6ක උසස් පෙළ පුණරීක්‍ෂණ පන්තියකට පමණි. පළමුවර උසස් පෙළ අසමත්වු මා එම පන්තියේ පිහිටෙන් දිස්ත්‍රක්කයේ දෙවෙනියා ලෙස උසස්පෙළ සමත්විය. එම ටියුශන් මාස්ටර්ලා නොහිටින්ට මට කුමක්විය හැකිව තිබුනිදැයි නොදනිමි.

    ReplyDelete
    Replies
    1. මා ඉතා සීමිතව ටියුෂන් පංති වලට ගොස් ඇතත් එයින් විභාග ප්‍රතිඵල වලට බලපෑමක් වී නැහැ.

      Delete
  5. දෙමළ හැදෑරීම දිගටම කරගෙන නොගිය එක නම් අපරාධයක්. දෙමළ දැනුම අඩුවීම ගැන අපි කොපමණ දුක් වෙනවද.

    ReplyDelete
    Replies
    1. භාෂාවක් මුල් බස සේ වහරන අය ඇසුරේ නොසිට භාෂාවක් ප්‍රගුණ කිරීම ප්‍රායෝගිකව ඉතාම අමාරු වැඩක්. අනික් අතට, භාවිතය තිබේනම් මාස කිහිපයකින් වුවත් විදෙස් බසක් සෑහෙන දුරකට ප්‍රගුණ කළ හැකියි.

      Delete
  6. /* ඔවුන්ගේ දැනුම කිසියම් කුලී වැඩකට පැමිණෙන දෙමළ කම්කරුවෙකු සමඟ හුවමාරු කරගන්නා වචන කිහිපයකට සීමා විය. */

    නමුත්, ඇත්තටම ඒ කම්කරුවන්ට හොඳට (උපදෙස් ලබා, සේවය කර. පඩි ගැනීම සඳහා අවශ්‍ය ප්‍රමාණයට) සිංහල පුළුවනි නේද? ඔය දෙමලෙන් වචනයක් දෙකක් ඒ අය සමග කීම ඇත්තටම අනවශ්‍ය දෙයක් නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇත්තටම එහෙම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ වුණත්, මේ අය සමඟ දෙමළෙන් දන්නා වචන ටික කතා කිරීම අපේ වැඩිහිටියන් (ඥාති හිතවත් ගෙවල් ගණනාවක) සාමාන්‍යයෙන් කළ දෙයක්. එවිට ඔවුනුත් දෙමළෙන්ම පිළිතුරු දුන්නා. නමුත්, සරසවියේදී අපේ දෙමළ මිතුරන් සමඟ දෙමළෙන් කතා කළ විට ඔවුන් බොහෝ විට පිළිතුරු දුන්නේ සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්. මේ ගැන මා ඇතැම් දෙමළ මිතුරන්ට (මගේ පළමු රූම්මේට්ලා වූයේත් මුලතිවු වලින් ආ දෙමළ සිසුවෙක් හා දෙමළ මුල් බස වූ මුස්ලිම් සිසුවෙක්) විරෝධය පළ කළ විට ඔවුන් කීවේ සිංහල ඉගෙන ගැනීම ඔවුන්ට අත්‍යවශ්‍ය කටයුත්තක් වුණත් දෙමළ ඉගෙන ගැනීම අපට එතරම් අවශ්‍ය කටයුත්තක් නොවන බවයි.

      Delete
  7. දෙකේ පන්තියේදි ටුෂන් ගියා නම් ඉකෝන්මැට්ස් 80 දශකයේ හෝ පසුව ඉපදුනු කෙනෙක් වෙන්න ඕන

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget