Sunday, October 2, 2016

දෙකේ පංතියේ පාඩම

මා හෝඩියේ පන්තියේ හෙවත් පළමු ශ්‍රේණියේ ඉගෙන ගන්නා කාලයේදීම මට දෙවන ශ්‍රේණියේ පෙළපොත්ද ලැබුණු බව පෙර ලිපියේ ලිවුවෙමි. එහෙත්, පාසැල් වැඩ වලට අවශ්‍ය වුනේ එම ශ්‍රේණියට අදාළ පෙළ පොත්ය. අපේ  පළමු ශ්‍රේණියේ සිංහල පොතේ මුල් පිටුවේ "අම්මා" යන වචනය සමඟ අම්මෙක්ගේ රූපයක්ද, දෙවන පිටුවේ "අයියා" යන වචනය සමඟ අයියෙක්ගේ රූපයක්ද ඉන් පසුව "අම්මා අන්න අයියා" වැනි වචන තුනක් සමඟ ගැහැණු ළමයෙකු සිය මවට අයියාව පෙන්වන රූපයක්ද තිබුණේය. මේ ලියන්නේ දැන් මගේ මතකයේ ඇති දෙයයි. එය නිවැරදි නොවන්නට පුළුවන.

පළමු ශ්‍රේණියේදී අප බොහෝ විට කළ දෙයක් වූයේ ගුරුවරියගේ අණින් අසුනින් නැඟිට මේ පෙළ පොතෙහි අදාළ පිටුව කියවීමයි. මේ කටයුත්ත මට කිසිදු අපහසුතාවයක් නැති දෙයක් වුවත් ඇතැම් සිසුන් මෙය කළේ "අ-ම්-මා ... අ-යි-යා..." ලෙස අමාරුවෙන් අකුරු අමුණමිනි. කිසියම් සිසුවකු හෝ සිසුවියක අකුරක් කියවිය නොහැකිව හිරවන විට ගුරුවරිය උදවු කළේය. මේ "පාඩම කියවීම" කිසියම් සිසුවකු විසින් නැඟිට හඬ නඟා කරද්දී අනෙක් සිසු-සිසුවියෝද තමන්ගේ පෙළ පොත බලාගෙන මේ වචන හෙමින් හෝ හඬ නැඟෙන පරිදි කියවූහ. බොහෝ දින වල මෙසේ "පාඩම කියවීමේ" අවස්ථාව මට ලැබුණු බව දැන් සිහි කරන විට මට දැන් සිතෙන්නේ මේ කටයුත්ත සඳහා කවර හෝ හේතුවක් නිසා අනෙක් සිසුන්ට වඩා වැඩි අවස්ථාවක් මට ලැබෙන්නට ඇති බවයි.

පල් හෝඩියේ පොල් ගාමින් දෙකට යන්න බඩගාන සිසුවෙකුට තමන් සිටින තැන වේ තුඹසක්නම් දෙකේ පංතිය සමනල කන්දකි. ඒ වයසට සාපේක්ෂව බලන විට මෙය අධ්‍යාපන ඉනිමඟේ ඉතා ලොකු පියවරකි. මෙයට වඩා ලොකු පියවරක් ලෙස සැලකිය හැකි පෙර පාසැල් සිසුවකු පාසැලක පළමු ශ්‍රේණියට මුලින්ම ඇතුළු වීම මගේ අත්දැකීමක් නොවූයේ පෙර පාසැල් අත්දැකීම මට කිසිදා නොලැබුණු දෙයක් වූ බැවිනි. ඒ අනුව, පළමු ශ්‍රේණියේ ගත කළ අවසන් කාලයේදී අපි දෙකේ පංතියේ "අයියෙකු" වීම ගැන සිහින මවමින් සිටියෙමු.

මේ දවස් වල මගේ හෝඩියේ පංතියේ "යමක් දන්නා කියන" මිතුරෙකුගෙන් මට දැනගන්නට ලැබුණු වැදගත් තොරතුරක් වූයේ දෙකේ පංතියේදී හෝඩියේදී මෙන් පොත බලාගෙන පාඩම කියවන්නට නොලැබෙන බවයි. ඔහුගෙන් මා දැනගත් පරිදි දෙකේ පංතියේදී පාඩම කියවිය යුත්තේ පොත නොබලා කටපාඩමිනි. මේ තර්කානුකූල කතාව අවිශ්වාස කරන්නට කිසිදු හේතුවක් නොතිබුණේය. හෝඩියේ පංතියේ කරන දෙයම කරන්නටනම් දෙකේ පංතියට පාස් කරන්නේ මොකටද?

මේ වටිනා තොරතුර මට ලබා දුන් මිතුරා අපේ විදුහලේම ඉගැන්වූ ගුරු යුවලකගේ දරුවෙකි. ඒ නිසා ඔහු සතුව මෙවැනි  "අභ්‍යන්තර තොරතුරු" පිළිබඳ දැනුමක් තිබෙන්නට පුළුවන. දෙමවුපියන් දන්නා දේ දරුවෝද, මාමලා දන්නා දේ බෑනලාද දැන සිටින්නට වැඩි ඉඩක් තිබේ. ඒ නිසා, පළමු ශ්‍රේණියෙන් දෙවන ශ්‍රේණියට යන්නට පෙර ගතවුණු දෙසැම්බර් නිවාඩුවේදී මේ අභ්‍යන්තර තොරතුරෙන් නිසි ප්‍රයෝජන ගන්නට මම සැලසුම් කළෙමි.

දෙකේ පොත එකේ පොත මෙන්  "අම්මා අන්න අයියා" ආකාරයේ ලොකු අකුරු වලින් මුද්‍රිත කෙටි වචන හා සෑම පිටුවකම චිත්‍ර පිරී තිබුණු පොතක් නොවීය. එහි අකුරු කුඩා වූ අතර දිග වාක්‍ය සහිත ඡේද තිබුණේය. කළු සුදු රේඛා චිත්‍ර රැසක් තිබුණත් ඒ පිටු දෙකකට හෝ තුනකට එකකි. මේ පොත මුළුමනින්ම කට පාඩම් කිරීමනම් ලේසිපාසු කටයුත්තක් නොවීය. කෙසේවුවද, දෙකේ පංතියට උසස් වීමක් ලැබූ මා එම උසස්වීමට සුදුසු බව කෙසේ හෝ පෙන්විය යුතුය. ඒ නිසා, දෙකේ පොතේ පළමු පාඩම කටපාඩම් කරගන්නට නිවාඩු කාලය තුළ මහත් පරිශ්‍රමයක් දැරුවෙමි. එහෙත්, බොහෝ විට මතක තබා ගත හැකිවූයේ ඡේද දෙකක් හෝ තුනක් පමණි. එතනින් එහාට පාඩම් කරගන්නා විට මුල් ඡේද අමතක වේ.

මුළු පාඩමම මතක තබා ගැනීම කෙසේවත් කළ නොහැකිය. අන්තිමේදී මම අවදානමක් ගත්තෙමි. පළමු ශ්‍රේණියේදී සිදු වූ පරිදිම පාඩම කියවීමේ අවස්ථාව මුලින්ම මට ලැබෙනු ඇතැයි උපකල්පනය කර මුල් ඡේද හොඳින් කටපාඩම් කරගත්තෙමි. සාමාන්‍යයෙන් එක් සිසුවෙකුට කියවන්නට ලැබෙන්නේ ඡේද කිහිපයක් පමණක් නිසා "වැඩේ මාට්ටු වෙන්නට පෙර" ටෝකනය වෙනත් සිසුවෙකුට පාස් වනු ඇත.

දෙවන ශ්‍රේණියේ පළමු පාසැල් දිනය ඇරඹුනේය. මා පුරෝකථනය කළ පරිදිම පාඩම කියවීමේ පළමු අවස්ථාව මට හිමි විය. (අළුත් ගුරුවරියක යටතේ මෙය කෙසේ සිදුවීදැයි මට දැන් සිතාගත නොහැකිය.) පෙරළා තිබුණු පොත මත අත තබාගෙනම පොතෙන් දෑස් ඉවත් කර උඩ බලාගෙන මම පාඩමේ පළමු හා දෙවන ඡේද කියෙවුවෙමි.

ගෙදරදී පාඩම් කර පැමිණියද තෙවන ඡේදය හරියටම මතක් නොවේ. ගුරුවරිය පාඩම කියවීම නවත්වන්නට සන් කරන පාටක්ද නැත. දැන් ඉතිං මොකද කරන්නේ?

ගුරුවරියගේ අවධානය ඇත්තේ මා දෙස නොවන බව මට එක් වනම පසක් විය. මම ක්ෂණිකව පාඩම් පොත දෙස බලා තෙවන ඡේදය මතක් කර ගත්තෙමි. එහි මුල් වචන "හොරෙන් බලා ගැනීමෙන්" පසු එම ඡේදයද පහසුවකින් තොරව කියවූයෙමි. ගුරුවරිය තවමත් කියැවීම නවත්වන්නට සන් නොකරයි.

නැවතත් හොරෙන් පොත දෙස බැළුවෙමි. ඉතුරු ටිකනම් පොත නොබලා කියවන්නට කොහෙත්ම නොහැකිය. දැන් ගුරුවරියගේ අවධානයද මා වෙතය. වෙන දෙයක් වෙන්නට ඇර පොත දෙස බලාගෙන ගුරුවරියගේ දෑස දෙස නොබලා පාඩමේ ඉතිරි ටික කියවූයෙමි. දැන් දැන් වැඩේ මාට්ටු වී වේවැල් පාරක් කන්නට වෙතැයි සිතුවත් එවැන්නක් වන පාටක් නැත. ගුරුවරිය මෙය නොදැක්කා වන්නටත් නුපුළුවන. එසේනම්, මගේ මිතුරාගෙන් ලැබුණු "අභ්‍යන්තර තොරතුර" නිවැරදි එකක් නොවේද?

ගුරුවරිය අවසානයේදී පාඩම කියවීම නවතන්නට සන් කළේ "බොහොම හොඳයි!" එකක්ද සමඟිනි. එහෙමනම්, දෙකේ පංතියේ ඉගෙන ගැනීමත් හෝඩියේ පංතියේදී හිතාගෙන සිටි තරම් මහා ලොකු දෙයක් නොවේ.

ඉන් පසුව, මම මෙසේ දෙකේ පංතියේ පෙළපොත කටපාඩම් නොකළෙමි. එහෙත්, අවශ්‍ය වූ විට අවශ්‍ය දෙයක් වැඩි අමාරුවක් නැතිව කටපාඩම් කරගත හැකි තරමේ ස්මරණ ශක්තියක් මට දිගටම තිබුණේය. ඒ ස්මරණ ශක්තිය ලැබුණේ සතත අභ්‍යාසය නිසාද නැත්නම් ජීව විද්‍යාත්මක හෝ වෙනත් පාරිසරික වාසියක් නිසාද යන්න මා හරියටම දන්නේ නැත. මේ සියල්ලේ එකතුවක් නිසා වියහැකිය.


මීළඟ ලිපිය: සමනලකන්ද හා වේ තුඹස 

(Image: www.livemint.com)

18 comments:

  1. එක කතාවක් ලියන්න ගියාම වෙනත් බැක්ග්‍රවුන්ඩ් කතා, අතුරු කතා රාශියක් සිහියට එනවා නේද?
    මටත් ඔහොම වෙලා, අන්තිමේ දී මුලින් ලියන්න ගිය කතාව නොලියපු අවස්ථා තියෙනවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් වෙලාවට ඒක වෙනවා. දැන් වුනෙත් ඒකයි. මුලින් ලියන්න හිතපු දේ ලියන්න ගියොත් පෝස්ට් එක දිග වැඩි වෙනවා.

      Delete
  2. දෙකේ පොතේ කවි හෙම මතක නැද්ද ?

    මෙන්න මා උගත් පොතේ කවියකින් කොටසක්.

    මෙන්න අපේ පූසී
    ඉල්ලනවා දෝසී
    ඌට ටිකක් වීසි
    කරන්න කෝ සීසී
    එහෙම දෝසි වීසී
    කරන්නේ නෑ සීසී
    ඕනෑ නම් දෝසී
    දෙන්න ඕනැ කාසී

    ReplyDelete
    Replies
    1. දෙකේ පොතේ කවි සෑහෙන කාලයක් මතක තිබුණා. දැන්නම් මතක් කරගන්න අමාරුයි.

      Delete
    2. දෙකේ පන්තියේ කවි තාම මතකද?.. මට නම් මතක තුනේ පන්තියේ (මම හිතන්නේ තුනේ) ඉඳන් ඉහලට කවි විතරයි...
      මී කිරි...කඳු ගැන දිග කවි පන්තියක්...

      //අළුත් ගුරුවරියක යටතේ මෙය කෙසේ සිදුවීදැයි මට දැන් සිතාගත නොහැකිය.//
      ඉකොනෝ ට තිබිල තියෙන්නේ 'කියවන' මුණක් වෙන්න ඕනේ. ! :D

      Delete
    3. දැන් හරියටම මතක නැතත් "කවුද පාඩම කියවන්නේ?" කියා ඇසු විට වහා ඉදිරිපත් වූවා වන්නට පුළුවන.

      Delete
  3. ඉකොනොමැට් දැනුත් ඔය හොරෙන් බලන වැඩේ කරනවද? :P

    මට නම් කවි නෙමේ මතක තියෙන්නේ. ලමයි එක්ක රන්ඩු කරපු හැටි :D

    ReplyDelete
    Replies
    1. දැන් හොරෙන් තියා කොහොමවත් පොතක් දිහා බලන්න වෙලාවක් හොයා ගන්න අමාරුයි.

      Delete
  4. හැබැයි මේ සීරිස් එක ඔය වේ තුඹසින් එළියට එකම්මම කරගෙන ගියත් පාඩුවක් නෑ. අවුල තියෙන්නේ අතරමගදි පිරමිඩ් කේස් වලට මාට්ටු වෙන එකනේ.. හැක්..

    ReplyDelete
    Replies
    1. වේ තුඹස් පිරමිඩ් වගේ පේන්නත්, පිරමිඩ් වෙන්නත් පුළුවන්!

      Delete
  5. මටනම් මතක පංතියේ එව්න් දුන්න වෙනත් ලනු ගැන විතරයි. ඒවත් ඔය 4, 5,6 වගේ පන්තිවලදී අපේ කාලේ ළමයි පංතියෙන් පන්තියට ඉබේ යවන්නේ නෑ. සමහර ළමයි හිටපු පන්තියේම අවුරුද්දක් ආපහු ඉන්නවා . ඒක නිසා වයසින් වැඩි ළමයි කීප දෙනෙක් අනිවාර්යයෙන්ම පන්තියේ ඉන්නවා. අපි ඒගෙල්ලන්ට කතාකලේ නම කියල . අයිය මල්ලි කියන එක අපේ කාලේ තිබ්බේ නෑ ! උන් තමයි ලනු දෙන්නේ !

    ReplyDelete
    Replies
    1. මම මේක ලණුවක් කියලම හිතන්නේ නැහැ. සමහර විට ඔහු හිතාගෙන සිටි දේ වෙන්න ඇති. හෝඩියේ පන්තියේ හිටපු තවත් ළමයෙක්ගේ තාත්තා මහජන සෞඛ්‍ය පරීක්ෂක. එයාගෙන් දවසකට කලින් ලැබුණු 'ඉන්සයිඩ් ඉන්ෆොර්මේෂන්' නිසා හැමදාම වැක්සීන් දෙන්න එන දවසේ උදේට බඩේ අමාරුවක් හැදුණා.

      Delete
  6. කවුද අප්පා දෙකේ පන්තියෙදි පොතක් කටපාඩම් කරන්න දෙන්නෙ!

    ReplyDelete
    Replies
    1. බ්‍රයිටෙක් කියල හිතන් ඉන්න මැට්ටෙක්. මට පෙන්නේ පොඩි කාලේ මූව හොඳට මඩෝල තියෙනවා පන්තියේ අනිත් උන්

      Delete
    2. රාජ්: ඔය ටික දැනගත්තේ දෙකේ පංතියට ගියාට පස්සෙනේ!

      AnonymousOctober 3, 2016 at 9:45 AM: ඒකනේ, ඇනෝ. ඒ දවස්වල ඕක තේරුණේ නෑනේ! දැනුත් වෙන්නේ ඔය ටිකම තමයි කියලා තේරෙන්න තවත් කල් යයි.

      Delete
  7. මට නම් එකේ පන්තියේ,දෙකේ පන්තියේ ටීචර්ලාගේ නම් වත් මතක නැහැ.මොන්ටිසෝරි ටීචර්ගේ නම නම් මතකයි.

    ReplyDelete
    Replies
    1. මට මොන්ටිසෝරි යාමේ අවස්ථාව ලැබුණේ නැහැ. ඒත්, ගෙදර මවගේ හා පියාගේ බාල සොයුරු-සොයුරියන් ඇතුළු කිහිප දෙනක්ම මූලික දේ ඉගෙන ගන්න උදවු කළ නිසාත්, විෂය බාහිර වැඩ කරන්න එකතු වෙන්න පිරිසක් සිටි නිසාත් එයින් ලොකු පාඩුවක් වුණේ නැහැ.

      Delete
  8. අර දෙකේ පන්තියේ යාලුවා නම් හොඳ අණ්ඩයෙක්

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget