Wednesday, October 5, 2016

ඇයි මේ ටියුෂන්?

මා ප්‍රාථමික පංති වල ඉගෙන ගත් හැත්තෑව දශකයේදී, අද මෙන් ටියුෂන් රැල්ලක් නොතිබුණත් ඒ කාලයේත් ටියුෂන් නොතිබුණා නොවේ. මා සිතන ආකාරයට විශාල පරිමාණයේ ටියුෂන් පංති මුලින්ම ජනප්‍රිය වූයේ විද්‍යා විෂයයන්ගෙන් දෙවන හෝ තෙවන වරට උසස් පෙළ විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි අය අතරය. මේ අය වෙනුවෙන් පාසැල් පංති නොපැවැත්වීමත්, විද්‍යා විෂයයන් කලා විෂයයන් මෙන් "පාඩම් කිරීමෙන්" පමණක් සමත් වන්නට අපහසු වීමත් මෙයට හේතු වන්නට ඇත. සරසවි ප්‍රවේශය වඩා තරඟකාරී වූ කොළඹ දිස්ත්‍රික්කයේ ටියුෂන් මීට වඩා ජනප්‍රියව තිබෙන්නට ඇත.

අසූව දශකය වන විටත් ඇතැම් දිස්ත්‍රික්ක වල ඇතැම් විෂය ධාරා යටතේ සරසවි ප්‍රවේශය සඳහා අවශ්‍ය වූයේ ලකුණු එකසිය අසූවේ මූලික සුදුසුකම සැපිරීම පමණි. විශේෂයෙන්ම මේ තත්ත්වය පැවතියේ ගණිත විෂය ධාරාව හා අදාළවය. අසූව දශකයේ මැද පිට පිට වසර දෙකක්ම දිවයිනේ භෞතික විද්‍යා පීඨ වල පැවති පුරප්පාඩු ගණන පුරවන්නට අවශ්‍ය තරම් පිරිසකට මේ මූලික සුදුසුකම ලබා ගැනීම අපහසු විය. ඒ නිසා එක් වසරකදී සරසවි ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට අවශ්‍ය ලකුණු මට්ටම 180 සිට 160 දක්වා පහත හෙළීමත්, තවත් වසරකදී පෙර වසර 5ක කාලය තුළ උසස් පෙළ ලියූ සිසුන්ට අයදුම් කිරීමට ඉඩදීමත් සිදුවිය. මෙවැනි තත්ත්වයක් යටතේ ටියුෂන් පංති වල කාර්ය භාරය වූයේ සිසුවෙකුට හෝ සිසුවියකට වෙනත් සිසු-සිසුවියන් සමඟ තරඟ කරන්නට උදවු කිරීම නොව ඔවුන්ව අවශ්‍ය පරිසාධන මට්ටම දක්වා ඔසොවා තැබීමයි. ජීව විද්‍යා හා කලා වැනි අනෙකුත් විෂය ධාරාවන්ගේ තත්ත්වය මෙවැනිම නොවූවත් ඒවායේද පැවතියේ අදට සාපේක්ෂව අඩු ඉල්ලුම් සැපයුම් පරතරයකි.

සරසවි ප්‍රවේශ සුදුසුකම් ලබන සිසුන් ගණන වසරින් වසර වැඩි වෙද්දී එයට සමානුපාතිකව අවස්ථාවන් වැඩි වුණේ නැත. ඒ නිසා සරසවි පිවිසුම එන්න එන්නම අමාරු කාර්යයක් වී අනෙකුත් සිසු-සිසුවියන් සමඟ කළ යුතු අමාරු තරඟයක් බවට පත් විය. සරසවි ප්‍රවේශ සුදුසුකම් ලබන සිසුන් අතරින් එම අවස්ථාව හිමි වුණේ ලකුණු වැඩියෙන්ම ගන්නා (දළ ප්‍රකාශයක් ලෙස) "වඩාත්ම දක්ෂ" කොටසටය. දෙවන පෙළ සිසුන්ට මේ අවස්ථාව අහිමි විය. ඔවුන්ට සරසවි වරම් ලබා ගත හැකි වූයේ අර පළමු පෙළ සිසුන් කෙසේ හෝ අභිබවා යාම මඟිනි. මුදල් වැය කර ලබා ගන්නා ටියුෂන් වලින් මේ තල්ලුව ලැබුණේය.

උසස් අධ්‍යාපන අවස්ථා සඳහා විශාල ඉල්ලුම් සැපයුම් පරතරයක් ඇති විට දෙවන පෙළ සිසුවෙකු ටියුෂන් වලින් උත්තේජනයක් ලැබීම යනු පළමු පෙළ සිසුවෙකුගේ අවස්ථාව අහිමි වීමයි. ඒ නිසා දැන් පළමුපෙළ සිසුන්ටද ටියුෂන් යන්නට සිදුවේ. එවිට, මේ පළමුපෙළ සිසුවා නැවතත් දෙවන පෙළ සිසුවාට වඩා ඉදිරියෙනි. අවසාන වශයෙන් සියල්ලන්ම ටියුෂන් තරඟය තුළ හිර වුණත් ලැබෙන ප්‍රතිඵලය මුල් ප්‍රතිඵලයට වඩා විශාල ලෙස වෙනස් නැත. කෙසේවුවද, ටියුෂන් යාමෙන් දෙවන පෙළ සිසුවෙකුට සරසවි ප්‍රවේශයට ඉඩක් ඇර ගැනීමට කිසිම ඉඩක් නැත්නම් ඔහු (හෝ ඇය) මේ තරඟයෙන් ඉවත් විය යුතුය. එය එසේ සිදු නොවන්නේ ඒ සඳහා සුළු හෝ ඉඩක් ඇති බැවිනි. අනෙක් අතට, පළමු පෙළ සිසුවෙකුට ටියුෂන් නොගියත් සරසවි වරම් අහිමි වීමේ අවදානමක් නැත්නම් ඔහුට හෝ ඇයට ටියුෂන් යාමේ අවශ්‍යතාවයක් නැත. එය එසේද සිදු නොවේ. ඒ, ටියුෂන් නැත්නම් එවැන්නෙකුට දෙවන පෙළ සිසුන් හමුවේ පරදින්නට වන නිසාය.

ටියුෂන් සඳහා වැය කෙරෙන යම් නිශ්චිත මුදලක් "වාසිදායක මුදලක්" වන්නේ කවර තත්ත්වයන් යටතේද? මෙය තීරණය වන්නේ සරසවි වරම් අහිමි වීමේ ආවස්ථික පිරිවැය හා ටියුෂන් වලින් සරසවි පිවිසුමට ඉඩකඩ විවර කරදීමේ සම්භාවිතාව මතය. පළමුවැන්න ඉතා විශාලනම්, දෙවැන්න කුඩා වුවත් ටියුෂන් පවතිනු ඇත. රජයේ වෛද්‍ය පීඨ වරම් අහිමි වූ අයෙකුට වෙනත් අයුරකින් ඒ අවස්ථාව ලබා ගැනීමේ පිරිවැය ලක්ෂ 50ක් යැයි සිතමු. දෙවසරක ටියුෂන් වියදම ලක්ෂ 5ක් යැයි සිතමු. එසේනම්, සරසවි වරම් ලැබීමේ 10%ක ඉඩකඩ වෙනුවෙන් ලක්ෂ 5ක් වැය කර ටියුෂන් යාම නරක අදහසක් නොවේ.

එවැනි විකල්ප අවස්ථාවක් නැත්නම් තත්ත්වය කුමක්ද? දැන් සැසඳීම කළ යුත්තේ රජයේ වෛද්‍ය පීඨයකට යාම හා පෞද්ගලික වෛද්‍ය පීඨයකට යාම යන විකල්ප දෙක අතර නොවේ. වෛද්‍යවරයෙකු වීම හා නොවීම යන විකල්ප දෙක අතරේය. වෛද්‍ය උපාධියක් ලබා ගැනීම නිසා ජීවිත කාලය තුළ අපේක්ෂා කළ හැකි ආර්ථික වාසිය ලක්ෂ 100ක් යැයි සිතමු. එසේනම්, සරසවි වරම් ලැබීමේ 5%ක ඉඩකඩ වෙනුවෙන් වුවද ලක්ෂ 5ක් වැය කර ටියුෂන් යාම වාසිදායකය.

සරසවි ප්‍රවේශය වඩා තරඟකාරී වන තරමට හා ඒ සඳහා වෙනත් විකල්ප අඩු වන තරමට සරසවි වරම් ලැබීමේ සුළු ඉඩක් වෙනුවෙන් වුවද ටියුෂන් සඳහා මුදල් වැය කරන්නට පිරිස් එකතු වන නිසා ටියුෂන් ඉල්ලුම තව තවත් වැඩිවේ. රජයේ සරසවි වෙනුවට මිල අඩු විකල්ප ඇති වන තරමට ටියුෂන් සඳහා ඉල්ලුම අඩු වනු ඇත.


ඊළඟ ලිපිය: වෙදමහත්තුරුන්ගෙන් උරුම වුණු පීපී ඉල්ලුම

(Image: www.sltt.lk- edited by economatta)

27 comments:

  1. /* තවත් වසරකදී පෙර වසර 5ක කාලය තුළ උසස් පෙළ ලියූ සිසුන්ට අයදුම් කිරීමට ඉඩදීමත් සිදුවිය. */

    මෙයට හේතුව නම් අධ්‍යාපන මට්ටම්වල බිඳ වැටීමක් නොවේ. මේ එක්තරා ආණ්ඩු මාරුවක් සමග ඇරඹුණු පාසල් අධ්‍යාපනයේ වෙනස් කමට අවසාන ඵලයයි!

    ReplyDelete
    Replies
    1. පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමේ වයස වැඩි කළ නිසා කිසියම් හේතුවකින් පෙර වසරේ ඇතුළත් වීමට නොහැකි වුණු අයෙකු හැර එක අවුරුද්දක පාසැල් වලට ඇතුළු වන්නට කිසිවෙකු නොසිටීම නේද? හැබැයි ඒ ආසන්න අනික් වසර වලදීත් අදට සාපේක්ෂව සෑහෙන්න අඩු තරඟයක් තිබුණේ. ඉල්ලුමට සාපේක්ෂව සැපයුමත් සැලකිය යුතු ලෙස වැඩි වී තිබීම සැලකූ විට ටියුෂන් වලින් තරඟය වැඩි කිරීමට සැලකිය යුතු දායකත්වයක් දක්වා ඇති බව පේනවා.

      Delete
  2. දෙවන පෙළ සිසුන් ටියුෂන් යමේදී, පළමු පෙළ සිසුවාට ඇති විය හැකි ආපදාව වළක්වා ගැනීමට පළමු පෙළ සිසුවාද ටියුෂන් යාමට පටන් ගනී. එවිටද සිදු වන්නේ නැවතත් පළමු පෙළම ඉදිරියෙන් සිටීමය යන්න ඔබේ තර්කයයි. නමුත් දෙවන පෙළ සිසුන් අමතර පන්ති සඳහා යොමු වන්නේ, ඔවුන් පළමු පෙළට වඩා අදක්ෂ නිසා යැයි ඔවුන් දන්නා නිසාය. නමුත් ඔවුන්ගේ මනා කැපකිරීම හා උනන්දුව මත පළමු පෙළ පසු කිරීමට ඔවුන්ට හැකියාවක් ඇතිය යන්න මගේ හැඟීමයි.

    ReplyDelete
    Replies
    1. ඒ සඳහා කිසියම් සම්භාවිතාවක් තියෙනවා. නැත්නම් ටියුෂන් පවතින්න හේතුවක් නැහැනේ. ඒ වුණත් මේ සම්භාවිතාව ගොඩක් විශාලයයි මම හිතන්නේ නැහැ. මොකද පළමු පෙළ වැඩි දෙනෙකුත් ප්‍රති-ප්‍රතිචාරයක් ලෙස මේ මනා කැපකිරීම හා උනන්දුව දක්වනවා. එසේ නොකරන ටික දෙනෙක් තමයි හැලෙන්නේ.

      Delete
  3. //සරසවි ප්‍රවේශය වඩා තරඟකාරී වන තරමට හා ඒ සඳහා වෙනත් විකල්ප අඩු වන තරමට සරසවි වරම් ලැබීමේ සුළු ඉඩක් වෙනුවෙන් වුවද ටියුෂන් සඳහා මුදල් වැය කරන්නට පිරිස් එකතු වන නිසා ටියුෂන් ඉල්ලුම තව තවත් වැඩිවේ.//

    දොස්තර, ඉන්ජිනේරු, බැංකු රැකියා තනතුරු දේවත්වයෙන් හිතන ආකල්පයත් මේකට හේතුවක් නේද?
    ආකල්පමය වෙනසක් තුලින් මේ වෙනස කරන්න පුළුවන් වේවි නේද?

    ReplyDelete
    Replies
    1. මේ 'දේවත්වයෙන් හිතන' ආකල්පයට ඉල්ලුම් සැපයුම් වෙනස නිසා ඇතිවන වාසිදායක තත්ත්වයත් බලපානවා. හැම හන්දියකම බැංකු ශාඛා හතරක්වත් තියෙන ඇමරිකාවේ බැංකුවක ටෙලර් රැකියාව (පාරිභෝගික සේවා සැපයීම සඳහා කවුන්ටර වල සිටින අය) අවම වැටුප් ලබන රැකියාවක්. වෛද්‍ය වෘත්තිය හා අදාළව ඓතිහාසික තත්වයනුත් බලපානවා. ඊළඟ ලිපියේ ඒ ගැන පොඩ්ඩක් ස්පර්ශ කරනවා.

      Delete
  4. ටියුෂන් යන ඔක්කොගෙම සිහිනය සරසවි යාමද ? මම හිටපු කාලෙ නම් අපේ සෙට් එකේ සරසවි යාමේ සිහිනය තිබුණෙ අතලොස්සකට පමණයි. සමහරුන්ගෙ අදහස උසස් පෙළ හොඳින් සමත්වී බැංකුවකට, නැත්නම් පෞද්ගලික ආයතනයක රස්සාවකට පැන ගැනීම. සමහරුන්ට විදේශ සරසවි යාමට ඕනෙකමක් තිබුණා. සමහරු සුදුසුකම් ලබලත් සරසවි ගියෙ නෑ. අනිත් එක ඔය දිස්ත්‍රික්ක කෝටා එකෙන් සරසවි එන ගමේ ගොඩේ ගොබිලයො කළේ ජෙප්පොන්ට සෙට් වෙලා සරසවිය විනාශ කරන එකනෙ. මම ඒ කාකෙ හිතුවෙම විශ්ව විද්‍යාල කියන්නෙ විප්ලව කරන තැන් කියල.

    ReplyDelete
    Replies
    1. I think you might did Arts for AL's. But the story completely differs for Mathematics & bio science streams. Commerce students too, trends to select government uni's except someones do professional studies in marketing, mgt, accounting banking insurance etc. Anyway I studied at Royal College Colombo & the circumstances in remote areas might be different from ours.

      Delete
    2. For your infor, I studied Mathematics at Royal College.

      Delete
    3. I did maths as well at RC. Didn't go to tuition at all. but then last 6 months to A/L went to Bandaras' revision class for maths. Only because all of the top guys (top set) from our class went to tuition. I could go to Colombo uni to do Physical Science.

      Delete
    4. රොබර්ට්:

      //සමහරුන්ගෙ අදහස උසස් පෙළ හොඳින් සමත්වී බැංකුවකට, නැත්නම් පෞද්ගලික ආයතනයක රස්සාවකට පැන ගැනීම.//

      ඔහොමවත් අරමුණක් නැතුව මුල සිටම තමන්ට ලැබෙන්නේ එෆ් හතරක් බව දැනගෙන හා එය වෙනස්කරන්න ලොකු මහන්සියක් නොවී සිටින ගමන්ම ලොකු මුදලක් ටියුෂන් වලට වැය කළ අයත් මගේ පන්තියේ සිටියා. ඔවුන් ටියුෂන් ගියත් පාසැලේ හෝ ටියුෂන් පන්තියේ වැඩ කිසිම උනන්දුවකින් කළේ නැහැ. ඔවුන්ට අවශ්‍ය වුනේ තමන්ගේ දෙමවුපියන්ගේ සිහින නඩත්තු කරගන්න ඉඩදී එහි පිරිවැයත් ඔවුන්ටම පාස් කර අවුරුදු දෙක ෆන් එකක් ගැනීම පමණයි. මෙසේ කළ කිහිප දෙනෙකුගේම දෙමවුපියන් ව්‍යාපාරිකයෝ.

      Delete
    5. අජිත්:

      ඔය ඉන්නේ තව අය කොළඹ දිස්ත්‍රික්කයෙන්ම. ඔබේ වසරේ කොළඹින් භෞතික විද්‍යා පීඨයකට තේරීමට අවශ්‍ය ලකුණු ගණන වෙනත් බොහෝ දිස්ත්‍රික්ක වල ඉංජිනේරු පීඨයට තේරීමට ප්‍රමාණවත් ලකුණු ගණනක්. දැන් ඔබ කියන කරුණ තමයි මගේ පොයින්ට් එක. ඔබට අන්තිමට හෝ ටියුෂන් යන්න වෙන්නේ අනිත් 'ටොප් ගයිස්ලා' එසේ කරන නිසා.

      මමත් කුණු ඇළ අයිනේ පංසලේ බණ්ඩාරගේ පංතියට ඉතා කෙටි කලක් ගියා.

      Delete
  5. මගේ උසස්පෙල පන්ති්‍යේ සඟයින් නම් දෙවන වසරේ දී නුගේගොඩ පංතිවලට ගියේ පාසැලේ දී උගන්වා නොතිබුනු පාඩම් කොටස් ඉගෙනගන්නයි, දුෂකර පලාතක උන් අපිට එක්කො විශයට නියමිත ගුරුවරු හිටියේ ටික කාලයයි,ගොඩක් වෙලාවට ට්‍රාන්සර ආපු රජයේ උසස් නිළධාරීන්ගේ බිරින්දෑවරු, එයාලට ප්‍රෙග්නන්ට් ලීව් හේමත් ගන්න තිබුනනේ. අපට තිබුනු උසස් පෙල අභියෝගය නම් පේල් නොවීමයි.

    ReplyDelete
    Replies
    1. දැන් දුශ්කර පලාත්වල ප්‍රදාන නගරවල ටියුෂන් ක්ලාස් තියෙනවා නේද?

      Delete
    2. දැන් දුශ්කර පලාත්වල ප්‍රදාන නගරවල ටියුෂන් ක්ලාස් තියෙනවා නේද?

      Delete
    3. //අපට තිබුනු උසස් පෙල අභියෝගය නම් පේල් නොවීමයි.//
      ගොඩක් පිට පළාත් වල තිබුණේ එවැනි තත්ත්වයක්. ගණිත විෂය ධාරාව හැදෑරු අයට රසායන විද්‍යාව අසමත් වුවත් එකතුව 180 සහ රසායන විද්‍යාවට අවම ලකුණු 25ක් ගැනීම වැනි විකල්පයකුත් තිබුණා.

      //දැන් දුශ්කර පලාත්වල ප්‍රදාන නගරවල ටියුෂන් ක්ලාස් තියෙනවා නේද?//
      මම හිතන්නේ දශක ගණනක සිටම තිබුණා.

      Delete
  6. ටියුෂන් යාම වාසිදායකය

    ReplyDelete
    Replies
    1. ඉල්ලුමක් තියෙන්නේ එයින් අපේක්ෂිත වාසියක් තියෙන නිසයි. නමුත් හැමෝම ටියුෂන් යනවිට ටියුෂන් වලින් අවසන් ප්‍රතිපලය වෙනස් කර ගැනීමේ හැකියාව සීමිතයි. එහෙත් මේ සීමිත හැකියාවේ ආර්ථික වටිනාකම ඉතාම විශාල නිසා ඉල්ලුම ඉතා අධිකයි.

      Delete
  7. හොද විග්‍රහයක්....නමුත් මේ වෙද්දී ටියුශන් ඔය කියන තාර්කික කිරා මැනීමේ අවදිය පහු කරලා ස්තාවර වෙලා ඉවරයි.දැන් ඒක උදේට දත් මදිනවා වගේ කල යුතුම දෙයක් වෙලා.තමාගේ දරුවා ටියුශන් නොගිහින් වටේ පිටේ අනික් ලමයි ටියුශන් යන එක දෙමව්පියන්ට ලොකු මානසික පීඩනයක්.

    ReplyDelete
    Replies
    1. //නමුත් මේ වෙද්දී ටියුශන් ඔය කියන තාර්කික කිරා මැනීමේ අවදිය පහු කරලා ස්තාවර වෙලා ඉවරයි.//
      පැහැදිලිවම. අවශ්‍ය මූලබීජ තත්ත්වයන් ඇති විට ටික කලකින් එවැනි සමතුලිතතාවයක් ඇති වෙනවා. එවිට එක් අයෙකුට පමණක් ඒ රැල්ලෙන් මිදෙන්න බැහැ. මෙය නැවත වෙනස් වෙන්නනම් පළමුව ඒ මූලබීජ තත්ත්වයන් වෙනස් විය යුතුයි.

      Delete
  8. ටියුෂන් හෝ ඒ ලෙවල් ගැන කතා කරද්දී ගොඩක් දෙනෙකුට අමතක වෙන දෙයක් තමයි z ස්කෝර් එක නිසා විශ්ව විද්‍යාල වලට තේරෙන්නේ බහුතරයකට අපහසු විෂයකට වැඩි ලකුණක් ලබා ගන්නා කෙනෙක් බව. උදාහරණයක් විදියට ගණිත විෂයන් හදාරන කෙනෙකු සදහා රසායන විද්‍යාවට ගන්නා ලකුණුත්, විද්‍යා විෂයන් හදාරන කෙනෙකු සදහා භෞතික විද්‍යාවට ගන්නා ලකුණුත් තමයි බලපාන්නේ.

    ඒත් ඉංජිනේරු විද්‍යාව හදාරන අයෙකුට රසායන විද්‍යා දැනුමත් වයිද්‍ය විද්‍යාව හදාරන අයෙකුට භෞතික විද්‍යා දැනුමත් ඉතා විශාල වශයෙන් අවශ්‍ය වන්නේ නැහැ (විශ්ව විද්‍යාල අධ්‍යයන සමයේ හෝ පසුව).

    ඒ කියන්නේ අන්තිමට ඉංජිනේරු හෝ වයිද්‍ය විද්‍යාව හැදෑරීමට පැමිණෙන බහුතරය ගණිත හෝ ජීව විද්‍යා විෂයන්හි (අති) දක්ෂයන් නොව, රසායන හෝ භෞතික විද්‍යා විෂයන්හි (අති) දක්ෂයන් බව.

    ටියුෂන් වලිනුත් මේ ඉල්ලුමට අදාල දේ තමයි සපයන්නේ.

    ReplyDelete
    Replies
    1. "ඒත් ඉංජිනේරු විද්‍යාව හදාරන අයෙකුට රසායන විද්‍යා දැනුමත් වයිද්‍ය විද්‍යාව හදාරන අයෙකුට භෞතික විද්‍යා දැනුමත් ඉතා විශාල වශයෙන් අවශ්‍ය වන්නේ නැහැ" Whatttttt....
      If you don't know there is an entire filed for chemical and/or material engineering.

      Delete
    2. //ටියුෂන් වලිනුත් මේ ඉල්ලුමට අදාල දේ තමයි සපයන්නේ.//
      මේ කරුණු මම වැඩිය දන්නේ නැති වුනත්, ඔබ කියන විදිහට මෙහි තියෙන්නේ ක්‍රමෝපායික හැසිරීමක්. පවතින තත්ත්වය යටතේ අවසන් අරමුණ ඉටු කරගැනීමට වඩාත්ම පහසු දෙය සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවී ඇති බවයි ඔබ කියන දේ අනුව පෙනෙන්නේ.

      නෝර්මල් කර්ව් එකේ හැඩය අනුව විෂය තුනටම සාමාන්‍ය අගයේ සිට එකම දුරකින් සිටින කෙනෙක්ට වඩා විෂය දෙකකින් ටික ටික අඩුවී එකකින් වැඩි ගණනක් (සාමාන්‍ය අගයට සාපේක්ෂව) ගන්න කෙනෙක්ට වැඩි z-ස්කෝර් එකක් ගන්න පුළුවන්. හැබැයි මෙය ටිකක් සංකීර්ණ දෙයක්.

      අපි මෙහෙම හිතමු. සමස්තයක් ලෙස ගණිත විෂය කරන අයට රසායන විද්‍යාව අමාරුයි. නමුත්, කර්ව් එක හැදෙන්නේ ගණිත හා ජීව විද්‍යා විෂය ධාරා දෙකම කරන අයගේ එකතුවෙන් (මම මෙය ලංකාවේ සිදුවන හැටි හරියටම දන්නේ නැහැ. මේ මම හිතන හැටි). ඒ නිසා, රසායන විද්‍යාව ගන්න සිසුන් අතර ඉන්න ගණිත විෂය හදාරන උප කුලකයේ පැතිරීම (distribution of the pdf) වමට විතැන් වූ එකක්. එවැනි තැනක සිට වක්‍රයේ දකුණු අන්තයට යාම ගණිත සිසුවෙකුට ගණිත විෂයකින් දකුණු අන්තයට යනවාට වඩා අසීරු දෙයක්. එහෙමනම් හොඳම ක්‍රමෝපාය වෙන්නේ රසායන විද්‍යාවට හොඳ ලකුණක් ගන්න අතර ගණිත විෂය දෙකට හැකිතාක් වැඩිම ලකුණු ගැනීමයි.

      නමුත්, මම මේ ලිපියෙනුත් කියා ඇති ආකාරයට උසස් පෙළ ලියන අය අතරින් අතිමහත් බහුතරයකට ටියුෂන් ගියත් සරසවි ප්‍රවේශයට ලොකු ඉඩක් නැහැ. එහෙමනම්, සැබෑ තරඟය තියෙන්නේ සීමිත පිරිසක් අතර. මේ අය සමස්තයට වඩා දක්ෂ සිසුන් නිසා ඒ උප කුලකයේ ලකුණු පැතිරී තිබෙන්නේ දකුණට විතැන්ව. වෙනත් ලෙසකින් කිවුවොත් 'දක්ෂ' ගණිත සිසුන්ගේ රසායන විද්‍යා ලකුණු සාමාන්‍යය ජීව විද්‍යා සිසුන්ද ඇතුළත් සමස්ත වක්‍රයේ සාමාන්‍යයට වඩා වැඩියි. එවිට ගණිත සිසුවෙකුට රසායන විද්‍යාවට වැඩි බරක් දැමීමේ වාසියක් තියෙනවා. (ඒ වගේම ජීවවිද්‍යා සිසුවෙකුට භෞතික විද්‍යාව හා අදාළව එවැනි තත්ත්වයක් තියෙනවා.) ඔබේ නිරීක්ෂණය නිවැරදිනම් ඇත්තටම වෙන්නේ මේ දෙවැන්න. ඒ කියන්නේ ටියුෂන් යන සිසු සිසුවියන් බහුතරයකට ටියුෂන් ගියත් සරසවි යන්න ලැබෙන ඉඩකඩ ඉතාම සීමිතයි.

      (මේ කමෙන්ට් මූලික සංඛ්‍යාන දැනුමක් නැති අයට නොතේරෙන්න පුළුවන්.)

      Delete
  9. මම මුල ඉඳන්ම ටියුෂන් වලට විරුද්ධයි. සල්ලි නැටි එකා මොකද කරන්නේ/ දැන් මිනිස්සු කරන්නේ ණය වෙලා හරි ටියුෂන් යන එක. හැමෝම ටියුෂන් යනවා නම් ඔය ඉස්කෝල මොකටද? ඉස්කෝල ටික වහල දාල ටියුෂන් ක්ලාස් විතරක් ඇරියම හරිනේ? දැන් හැම කොළඹ හා තදාසන්න නගර හැම එක්කම ළමයි ටියුෂන් යනවනේ. සමහරු 3 පන්තියේ ඉඳන්? කන්නගර ඇති කරපු නිදහස් අධ්‍යාපන කියන එක ලංකාවේ පජාත කරලා තියෙන්නේ. ඒකයි මම පෞද්ගලික විශ්ව විද්‍යාල වලට සහ නය මුදල් දීම මත ගෙවල ඉගෙන ගන්න ඉඩ සලස්වන්න කියන්නේ. සල්ල දීල අන්තිම අමාරුවෙන් ඉගෙන ගෙන අන්තිම අවසන් කදුල්ලේදී විතරක් නවත් වන්නේ මොකටද?

    ReplyDelete
    Replies
    1. //මම මුල ඉඳන්ම ටියුෂන් වලට විරුද්ධයි. සල්ලි නැටි එකා මොකද කරන්නේ/ දැන් මිනිස්සු කරන්නේ ණය වෙලා හරි ටියුෂන් යන එක.//
      අවශ්‍ය ඉල්ලුම් සාධක පවතින තාක් මේ තත්ත්වය කෘතිමව වෙනස් කරන්න බැහැ. ඔබ පසුව කියා ඇති කරුණු වලට එකඟයි.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget