Saturday, October 8, 2016

වෙදමහත්තුරුන්ගෙන් උරුම වුණු පීපී ඉල්ලුම

ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ට ඔවුන්ගේ පූර්වගාමීන් වූ වෙද මහත්වරුන්ගෙන් උරුම වූ දේවල් කිහිපයක් ගැන මම පෙර ලිපියකින් කතා කළෙමි. ඔවුන්ට වෙද මහත්වරුන්ගෙන් උරුම වී තිබෙන්නේ ගුරු මුෂ්ඨි, වැඩිපුර බෙහෙත් දීම හා කියවිය නොහැකි කසාය සීට්ටු පමණක් නොවේ. දොස්තරලාට ලැබෙන සමාජ ගෞරවයට මෙන්ම පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර (පීපී) සඳහා වන ඉල්ලුම වෙනුවෙන්ද දොස්තරලා වෙද මහත්වරුන්ට ණයගැති විය යුතුය.

පෙර ක
වෙද මහත්තුරු පීපී කළේ නැත. එහෙමනම් මේ කතාවේ තේරුම කුමක්ද?

ඒ දවස්වල වෙද මහත්තුරු මුදල් අයකර පීපී කළේ නැත. එහෙත්, අද පීපී කරන දොස්තරලාගෙන් ඉටුවන කාර්යය එදා වෙද මහත්තුරුන්ගෙන් ඉටුවුණේය.

ලංකාවේ අතිමහත් බහුතරයක් තවමත් වෛද්‍යවරයෙකු හමුවන්නේ රෝග නිවාරණ ප්‍රතිකාර හෝ වෛද්‍ය පරීක්ෂණ සඳහා නොවේ. කිසියම් රෝගයක රෝග ලක්ෂණ පහළ වීමෙන් පසුව රෝගය සුව කර ගැනීම සඳහාය. කලකට පෙර කෙසේ වුවත් දැන් බටහිර රටවල බොහෝ විට සිදුවන්නේ මෙහි අනිත් පැත්තයි.

කිසියම් රෝගයක රෝග ලක්ෂණ පහළ වීමෙන් පසු හැකි ඉක්මණින් වෛද්‍යවරයෙකු හමු වීමට සිදුවේ. බටහිර රටක මෙසේ තමාගේ පවුලේ වෛද්‍යවරයා වුවද අවශ්‍ය වෙලාවක හදිසියේ හමුවීමේ හැකියාවක් ඇත්නම් ඒ ඉතා සීමිතවය. ඒ සඳහා කල් ඇතුව වෙලාවක් වෙන් කර ගත යුතුය. කෙසේ වුවද හදිසි ප්‍රතිකාර සඳහා වෙනත් විකල්ප තිබේ. එහෙත්, ලංකාවේදී කුමන දුෂ්කරතා මධ්‍යයේ වුවත් තමන්ට අවශ්‍ය වෛද්‍යවරයෙකු හෝ විශේෂඥ වෛද්‍ය වරයකු දවස තුළම වුවද හමුවීමට විශාල ඉඩකඩක් තිබේ.

පෙර ගම් වල සිටි වෙද මහත්තුරුන්ට රෝගියෙකුට ප්‍රතිකාර කිරීමට වෙලාවක් අවේලාවක් නොතිබුණේය. මධ්‍යම රාත්‍රියේ වුවද රෝගියෙකු රැගෙන විත් දොරට තට්ටු කරන විට වෙද මහත්තයා එය කරදරයක් ලෙස සැලකුවේ නැත. රෝගියා වෙද මහත්තයා වෙත රැගෙන එන්නට තරම් මට්ටමක නොසිටියේනම් වෙද මහත්තයා හුළු අත්තක් පත්තු කරගෙන රෝගියා සිටින තැනට ගියේය. මෙය වෙද මහත්තයෙකුගෙන් බලාපොරොත්තු වුණු සාමාන්‍ය දෙයකි. ඒ වෙනුවෙන් ඔහුට (හෝ ඇයට) සමාජයේ ගෞරවය හිමි විය.

මුලින්ම රජයේ පත්වීම් ලබා ග්‍රාමීය රෝහල් වලට හෝ ඩිස්පැන්සරි වලට ගිය ඇපෝතිකරි වරුන්ට හෝ උපාධිධාරී වෛද්‍යවරුන්ට හමුවුනේ මේ වෙද මහත්තුරුන්ට පුරුදු වී සිටි සමාජයකි. ඒ නිසා, ඒ අයට අටපහ රස්සාව කර හවසට ගෙදරට වී නිදහසේ ඉන්නට ලැබුණේ නැත. රෝගියෙකු රැගෙන පිරිසක් පැමිණ ගෙදර දොරට තඩිබාන විට මධ්‍යම රාත්‍රියේ වුවද දොර විවෘත නොකළේනම් වෛද්‍යවරයෙකුට ග්‍රාමීය පෙදෙසක පැවැත්මක් නොතිබුණේය. ඇතැම් විට මේ වෛද්‍යවරයාට සිය ඩිස්පැන්සරිය විවෘත කර කිසියම් ඖෂධයක් රැගෙන එන්නට විය.

මෙය දිගින් දිගටම වන විට හදිසියේ රාජකාරි වේලාවෙන් පසුව ගෙදරට එන රෝගියෙකුට ප්‍රතිකාර කිරීම සඳහා බෙහෙත් ටිකක් ඩිස්පැන්සරියෙන් ගෙදර ගෙනවිත් තබා ගැනීමත්, මෙය මහා පරිමාණයෙන් කළ නොහැකි වන විට මූලික බෙහෙත් වර්ග මිලදී ගෙන ගෙදරම තබා ගන්නට වීමත්, ඒ බෙහෙත් වල හා තමන්ගේ කාලයේ වටිනාකම වෙනුවෙන් මුදලක් අය කරන්නට වීමත් එකින් එක සිදුවන තාර්කික සිදුවීම් පෙළකි.

අද වන විට එදාට වඩා බෙහෙවින් කාර්ය බහුලව සිටින ශ්‍රී ලාංකිකයින්ගේ රාජකාරි වේලාවෙන් පසුව වෛද්‍යවරයෙකු හමුවීම සඳහා ඇති ඉල්ලුම ඉතා විශාලය. විනාඩි කිහිපයක හමුවක් වෙනුවෙන් කෙතරම් රස්තියාදු වන්නට සිදු වුවත්, දවසක් හෝ  වරුවක් නිවාඩු දැමීමට සාපේක්ෂව එහි ආවස්ථික පිරිවැය එතරම් විශාල නැත. බොහෝ දෙනෙකු 'බැණ බැණ වුවත්' පොඩි ලෙඩකට පවා වෛද්‍යවරයෙකු වෙත යන්නේ ඒ නිසාය.

අනෙක් අතට දවසේ සාමාන්‍ය පැය ගණන සේවය කිරීමෙන් අනතුරුව විවේකයෙන් සිටීම සඳහා හෝ සිය පවුලේ සාමාජිකයින් සමඟ ගත කිරීම සඳහා වැය කළ හැකි තමන්ගේ පෞද්ගලික කාලය කාලය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදවන වෛද්‍යවරයෙකුගේ කාලයේ ආවස්ථික පිරිවැය ඉතා අධිකය. ඒ අතරම, වෛද්‍යසේවා සැපයුම සීමිතය. ඒ නිසා, ඉල්ලුම හා සැපයුම සමතුලිත වන්නටනම් වෛද්‍යවරයාට දිනකට වැය කළ හැකි සීමිත කාලය විශාල රෝගීන් ගණනක් අතර බෙදී යා යුතුය. දොස්තරලාට උඩින් පල්ලෙන් ලෙඩුන් බලන්නට වීම මෙහි ප්‍රතිඵලයයි.


මීළඟ ලිපිය: දොස්තරලාගේ කාර් පිස්සුවේ රහස!

21 comments:

  1. හය්යෝ, ඉකොනොමැට්ට පැහැදිලි කරදෙන තුරු මේ සරල දෙවල් වත් නොතේරුණු හැටියක්. දැං ඉතින් දොස්තර මහත්තුරුන්ට බැනල කොහොමෙයි,
    අපේ මිනිස්සුන්ටත් නහය තෙත්වුන ගමන් දොස්තර මහත්තුරු බලන්න දුවන්න වෙන එකක් නෑ, එහෙම අවශ්තාවල ගන්න පුළුවන් බෙහෙත් වර්ග සහ පිළිවෙත් ගැන සරල විදිහට කියා දෙනවනම්, ඒත් වෛද්‍ය උපාධියක් නැති අපතයෝ ඒවගේ දේවල් අල්ලගනීවි කියන බයටනේ බෙහෙත් තුණ්ඩුවත් කියවන්න බැරිවෙන්නම ලියන්නේ.

    ReplyDelete
    Replies
    1. බටහිර වෙදකම ජනප්‍රිය වෙන්න කලින් පැවති වෛද්‍ය ක්‍රමයේ අත් බේත් ගැන දැනුමක් කාටත් වගේ තිබුණා. වෙද මහත්තයා ලඟට ගියේ ඒවායින් ගොඩදාන්න බැරි වුනාම. ඒත් බටහිර වෙදකමේ එවැනි අත්බේත් ගැන ලංකාවේ තියෙන්නේ ඉතාම සීමිත දැනුමක්. ගොඩක් අය දන්නේ වේදනා නාශක ගැන විතරයි.

      බටහිර රටක ජීවිතය ඇරැඹු මුල් කාලයේ මෙය මටත් ලොකු ප්‍රශ්නයක් වුණා. ලංකාවේ වගේ හදිසියකට හන්දියේ දොස්තර ගාවට දුවන්න බැහැ. මා දැන සිටි එකම විකල්පය ඉමර්ජන්සි යන එක.

      බොහෝ සාමාන්‍ය රෝගී තත්ත්වයන් සඳහා මූලික බෙහෙත් (non-prescription drugs) මෙහි 24 පැයම විවෘතව ඇති සුපිරි වෙළඳසැලක ෆාමසි සෙක්ෂන් එකෙන් ගත හැකියි. එවැනි බෙහෙත් වර්ග විශාල ගණනක් තියෙනවා. හදිසියේ දතක් කැඩුනොත් දන්ත වෛද්‍යවරයෙකු වෙත යන තුරු ගොඩ දාගැනීමට රෙපයාර් කිට් වැනි දේ පවා. ලංකාවේ රෝගීන්ගෙන් 80%ක් පමණම (මම නිකමට ලියන ගණනක්, සංඛ්‍යාලේඛණයක් හෝ ආනුභවික දත්තයක් නෙමෙයි) වෛද්‍යවරයෙකු ළඟට යන රෝගී තත්ත්වයන් සඳහා මෙවැනි මූලික ප්‍රතිකාර තමන්ටම කර ගත හැකියි.

      මම ළඟදී දැක්කා එක් වෛද්‍යවරයෙකු වත්පොතේ කියා තියෙනවා ඔවුන් කියවන්න බැරිවෙන්න බෙහෙත් ලියන්නේ ලංකාවේ මිනිස්සු බෙහෙත දැනගත්තහම එය දිගින් දිගටම ගන්න ඉඩ තියෙන නිසා කියා. (ඒ කියන්නේ ඔවුන් ගැන තියෙන අනුකම්පාව හෝ හොඳ හිත නිසානේ) එහෙමනම් එවැනි කෙනෙක් කියවන්න බැරි බෙහෙතක් වැරදියට කියවා වැරදි බෙහෙතක් ගන්නත් පුළුවන්. වෛද්‍යවරුන්ට මේ හා අදාළව ඇත්තටම 'සේවයක් කරන්න' අවශ්‍යනම් ඔවුන් කළ යුත්තේ තමන්ගේ දැනුම හැකිතාක් සමාජගත කිරීමයි. එවිට මිනිස්සු වෛද්‍යවරයෙකු වෙත යායුතු අවස්ථාව හා නොයා යුතු අවස්ථාව වෙන් කර හඳුනාගනියි.

      එහෙත් බොහෝ දෙනෙක් එයට කැමති නැහැ. ඒ, එවිට ඔවුන්ට තියෙන ඉල්ලුම අඩුවෙයි කියන බයට. නමුත් ඇත්තටම එයින් එවැන්නක් වෙන්නේ නැහැ. දැනුම වැඩිවන විට මිනිස්සු වැඩිපුර නිවාරණ ප්‍රතිකාර සඳහා වෛද්‍යවරුන් හමුවෙයි. එවිට වෛද්‍යවරුන්ට තමන්ගේ කාලය කළමණාකරනය කරගැනීම පහසු වන නිසා ඔවුන්ගේ ජීවිත අද තරම් අවුල් ජාලාවක් (mess) වෙන්නේ නැහැ. ඒ වගේම වැඩි වෙලාවක් රෝගීන් සමඟ ගත කර තමන්ගේ කාලයේ හා සේවයේ නියම වටිනාකම ලබාගන්නත් පුළුවන් වෙයි.

      වෛද්‍ය රුවන් ජයතුංගනම් ඔහුගේ විෂය ක්ෂේත්‍රය හා අදාළ දැනුම සමාජගත කිරීම සඳහා වටිනා කාර්ය භාරයක් කරනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය හා අදාළ වෙනත් කිහිප දෙනෙක්ද එසේ කරනවා. මෙවැනි දෙයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනත් අනු ක්ෂේත්‍ර වල ඉන්න අයටත් කළ හැකිනම් එය බොහෝ වටිනවා.

      Delete
    2. "...වෛද්‍ය රුවන් ජයතුංගනම් ඔහුගේ විෂය ක්ෂේත්‍රය හා අදාළ දැනුම සමාජගත කිරීම සඳහා වටිනා කාර්ය භාරයක් කරනවා..."

      ඇත්තටම? මට නම් ඔහුගේ නිගමන වල ඒකපාර්ශවික නොගැඹුරු බවක් දැනෙනවා. තවත් ඔහුගේ නිගමනයට අභියෝග වන comments ඔහු ඉවත් කරනවා. He has turned into just a people-pleaser.

      Delete
    3. ඇනෝ, මම මෙහිදී විශේෂයෙන්ම කතා කරන්නේ ඔහු හදාරා ඇති, සාමාන්‍ය පුද්ගලයෙකුගේ දැනුමේ කොටසක් නොවන විෂය කරුණු පිළිබඳවයි. මම හිතන විදිහට සිය ක්ෂේත්‍රයේ විෂය කරුණු බෙදාගැනීම අතින් ඔහු බොහෝ ඉදිරියෙන් ඉන්නවා. විෂයට අදාළ ඔහුගේ පෞද්ගලික විශ්ලේෂණ හා විෂයට අදාළ නොවන වෙනත් දේ සමඟ වෙනත් අය එකඟ වීමට හෝ නොවීමට පුළුවන්. කමෙන්ට්ස් ඉවත් කිරීම ගැන මම දන්නේ නැහැ. ඔහු මගේ කමෙන්ට්ස් කිසිවක් ඉවත් කර නැහැ. (හැබැයි මම එවැනි අභියෝගාත්මක කමෙන්ටු දමලත් නැහැ. සාමාන්‍යයෙන් මම වෙනත් අයගේ බ්ලොග් වල එවැනි කමෙන්ට් දමන්නේ ඉතාම සීමිතව.)

      Delete
  2. මා ඉන්නා ප්‍රදේශයේ අපේ ජීපීව නම් සාමාන්‍යයෙන් එදින ම හමුවිය හැකියි වෙලාව වෙන්කර ගෙන. දැන් මෙහේ ගෲප් ප්‍රැක්ටිසස් තියෙනවා ජීපීලා තුන් හතර දෙනෙකු ඉන්න. ඒවායේ තවත් ලේසියි. කෝල් කරන්න අවශ්‍ය නෑ.

    ඉමර්ජන්සි යෑම නං වාතයක් ඇත්තටම ඉමර්ජන්සියක් නොවේ නම්.

    ReplyDelete
    Replies
    1. ඕස්ට්‍රේලියාවේ තත්ත්වය ගැන මට දැනුමක් නැහැ. ඇමරිකාවට සාපේක්ෂව වෛද්‍යවරුන්ගේ අනුපාතය සැලකිය යුතු ලෙස වැඩි නිසාත්, ඔබ සිටින්නේ නාගරික ප්‍රදේශයක නිසාත් එවැනි තත්ත්වයක් තිබීම තේරුම්ගත හැකියි. (නැත්නම් රසික ඉන්න ප්‍රදේශයේ හැමෝම වගේ ගොඩක් සෞඛ්‍ය සම්පන්න නිසා වෙන්නත් පුළුවන්!)

      Delete
    2. අනිත් එක රසිකටනම් අපොයින්ට්මන්ට් නැතුව 'පවුලේ වෛද්‍යවරියගෙන්' වෛද්‍ය උපදෙස් ගන්න පුළුවන්කමත් තියෙනවනේ!

      Delete
  3. වෙද මහත්වරුන්ගෙන් පීපී පුරුද්ද ආවැයි කිව්වට අද පීපී කරණ කරණ දොස්තර මහත්තුරු අඟල් හයක් උඩින් නොවැ ඇවිදින්නෙ...ලෙඩ්ඩු මලත් ස්ට්‍රයික් කරන්න වුනත් ඒ ගොල්ලො පැකිලෙන්නෑ....

    ReplyDelete
    Replies
    1. //ලෙඩ්ඩු මලත් ස්ට්‍රයික් කරන්න වුනත් ඒ ගොල්ලො පැකිලෙන්නෑ//
      සෙන්නා, ලෙඩ්ඩු හෝල්සේල් මැරෙන තත්ත්වයට වර්ජනයක් ඇදගෙන යන එක වෛද්‍යවරුන්ට හෝ වෛද්‍ය සංගමයට කවදාවත් කරන්න බැහැ. එය කිසිදිනක වෙන එකකුත් නැහැ. වර්ජන කරන හැම වෙලාවෙම අයිසීයූ වැනි තැන් වල අසාධ්‍ය රෝගීන් බැලීම සඳහා සුළු පිරිසක් හෝ වෛද්‍ය සංගමයේ අනුදැනුම ඇතුව සේවයේ යෙදෙනවා. මම හිතන හැටියට ඉතාම අසාධ්‍ය ලෙඩෙක් ඕපීඩී එකට ආවොත් බලනවා. මෙය කියන විදිහට වෛද්‍ය වරුන්ගේ මානුෂික ගුණාංග හෝ ආචාර ධර්ම නිසාම සිදු වන දෙයක් නෙමෙයි. එය ඔවුන්ගේ ක්‍රමෝපායයේ කොටසක්.

      දොස්තරලා මෝඩයෝ නෙමෙයි. අතරින් පතර වර්ජනයේ වක්‍ර ප්‍රතිඵලයක් ලෙස ලෙඩෙක් මැරුණොත් මිස ඔවුන් ලෙඩෙක් මැරෙන්න දෙන්නේ නැහැ. එහෙම කිසියම් ලෙසක මැරුණත් එය සඟවනවා මිස වෙනත් ඇතැම් වෘත්තීය සටන් කණ්ඩායම් හෝ ශිෂ්‍ය සංවිධාන මෙන් ඔවුන් තමන්ගේ අගය ඉස්මතු කිරීමට හා රජයට වරද පැටවීමට ඒ මරණ මාකට් කරන්නේ නැහැ. බොහෝ විට වෙන්න ඉඩ තියෙන්නේ එවැනි මරණයක් යටගසා සැඟවීමයි. ඔවුන්ට අවශ්‍ය බරපතල නොවන රෝගීන්ව අපහසුතාවයට ලක් කර රජය පීඩනයට පත් කිරීමයි. ඉතා සරලවම කියනවනම් මේ තමයි ඔවුන්ට ප්‍රසස්තම ප්‍රතිඵල ලබා ගත හැකි උපාය මාර්ගය.

      රෝගීන් සැලකිය යුතු ගණනක් මැරෙන තරමට වර්ජනයක් ඇදගෙන යනවා කියන්නේ රන් බිජු දමන කිකිළියගේ බඩ පැලීමක්. එහෙම කළොත් ඒ ඔවුන් සාර්ථක වන අන්තිම වර්ජනයයි. ඇත්තටම ඒ වර්ජනයමත් අසාර්ථක වෙන්න බොහෝ ඉඩ තියෙනවා. තවමත් කොපමණ වර්ජන කළත් වෛද්‍යවරුන්ට රටේ සොෆ්ට් කෝර්නර් එකක් තියෙනවා. ඔය සමාජ ජාල වල දොස්තරලාට බණින අය හැමෝම දොස්තර කෙනෙක් ගාවට ගියාම පූස් පැටවු වෙනවා. නමුත්, වර්ජනයක් අර මට්ටමට ගියොත් දොස්තරලාට සමස්තයක් ලෙස අර ගෞරවය නැති වෙලා ඔවුන් කොන්දොස්තරලා ගානට වැටෙනවා. එය කරගන්න ඔවුන් කවදාවත් කැමති වෙන්නේ නැහැ. එවැන්නක් අවසන් වෙන්නේ සුසමාදර්ශීය වෙනසකින්.

      මෙය විදුලිබල මණ්ඩලයේ සේවය කරන ඉංජිනේරුවන් වැනි ඒකාධිකාරයක් ඇති, අත්‍යවශ්‍ය සේවයක් සපයන වෙනත් වෘත්තීය කණ්ඩායම් වලටත් අදාළයි.

      Delete
  4. ඩිස්පැන්සරිය වැහුවට පස්සේ හදිසියක් වුනොත් කතා කිරීම සඳහා ෆෝන් නොම්මර දීලා තියෙන තැනුත් තියෙනවා. බලාගෙන යනකොට දොස්තරලා පව්නේ. හිත වෙනස් කරන්න හිත හදාගත්තා:)

    ඊලඟ පෝස්ට් එක එනකල් ආසාවෙන් බලාගෙන ඉන්නවා. දොස්තරලා විතරක් නෙමේ කාර් පිස්සුව තියෙන තවත් අය ඉන්නවා. සමහරු කැමති lamborghini වගේ ඒවාවලට :P

    ReplyDelete
    Replies
    1. ෆෝන් නොම්මර ලැබෙන්නේ තරුණ ගැහැණු ළමුන්ට විතරද? නැත්නම් හැමෝටමද?

      Delete
  5. එතකොට එහෙමයි මේක සිද්ද වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  6. ඇත්තෙන්ම ඉකෝ ලංකාවෙන් ආවට පස්සේ මුහුණ දුන්න ලොකු ප්‍රශ්නයක් කොහොමද අපි පුරුදු වෙලා ඉන්න විදිහට දොස්තරගෙන් බෙහෙත් ගන්නේ කියන එක..විශේෂයෙන් බබාට. මෙහෙ විදිහත් එක්ක සාමාන්‍ය කෙනෙකුට හොඳ අවබෝධයක් තියනවා දොස්තර ලඟට යන්න කලින් තමන්ටම කරගන්න පුලුවන් දේවල් ගැන.. අපේ ඒ දැනුම හරිම අඩුයි, ටික ටික ඉගෙන ගන්නවා..

    ReplyDelete
    Replies
    1. මේ වන විට මෙවැනි ගොඩක් දැනුම් අන්තර්ජාලයේ තියෙනවා. හැබැයි නිවැරදි පිළිගතහැකි තැන් තෝරාගන්න ඕනෑ, මායෝ ක්ලිනික් වැනි. http://www.mayoclinic.org/symptoms.

      ඒ වගේම වසර ගණනක පුහුණුවක් හා අත්දැකීම් ඇති වෛද්‍යවරයෙකුගේ තීරණ ගැනීමේ හැකියාවත් සාමාන්‍ය කෙනෙකුගේ එම හැකියාවත් අතර පරතරය අවතක්සේරු කළ යුතු නැහැ.

      Delete
  7. //රෝගියෙකු රැගෙන පිරිසක් පැමිණ ගෙදර දොරට තඩිබාන විට මධ්‍යම රාත්‍රියේ වුවද දොර විවෘත නොකළේනම් වෛද්‍යවරයෙකුට ග්‍රාමීය පෙදෙසක පැවැත්මක් නොතිබුණේය. ඇතැම් විට මේ වෛද්‍යවරයාට සිය ඩිස්පැන්සරිය විවෘත කර කිසියම් ඖෂධයක් රැගෙන එන්නට විය.// මේ දේ මේ විදිහටම කරන්න වුනා මට මම කරපු එකම පි පි එකේදී. මම නැවතිලා හිටියේ පි පි එක ළඟමයි. රෑ දොළහට ඇදුම වැඩිවී ලෙඩෙක් ගෙනාවා මම හිටපු ගෙදරට දුවලා ගිහින් ( මගේ පි. පි එකට) නෙබියුල්යිස්ර් එක ගෙනැත් නෙබියුල්යිස් කරා .. හොඳටම අමාරුවෙලා ගෙනා ලෙඩා එකෙන් සුව වුනා. මිනිස්සු මගේ ගෙදර අයිති කාරයාට පින් දුන්නලු හදිස්සියකට දොස්තර මහත්තයෙක් ගමට ගෙනාවට . මෙන්න අපි පි.පි කරපු විස්තරේ මුල් හරිය http://helmalu.blogspot.com.au/2016/09/blog-post_28.html

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලේ බේත් ගත්තු දොස්තර මහත්තයෙක් හිටියා. මහ රෑ එයාගෙ ගෙදරට කවුද, හදිසි ලෙඩෙක් අනේ දොර අරින්න කියලා දොරට තඩි බාලා. දොර ඇරලා බලපුවම හොරු සෙට් එකක් ලු.. දොස්තර මහත්තයව ෆුල් සුද්ධ කරලා පු‍ටුවක ගැට ගහලා උන් යන්න ගිහින්.. එදා ඉඳන් මහ රෑට ලෙඩෙක් මලත් දොර ඇරියේ නෑ ඒ දොස්තර මහත්තෙයා...

      Delete
    2. මම හිතන්නේ ප්‍රධාන නගරයකින් ටිකක් ඇතුළට ගිය විට පැවති තත්ත්වය ඔය කවිඳු කියන විදිහයි. දැන් මෙවැනි ප්‍රදේශ ක්‍රමයෙන් අඩුවෙමින් ඇති. ඇත්තටම හොරෙක් වුණත් සෙන්නා කියන විදිහේ දෙයක් කරන්න දෙවරක් හිතුවා. (එක අතකින් එය වෘත්තීය හොරෙක්ගේ ක්‍රමෝපායයේ කොටසක්) රෑ තිස්සේ දොර අරින්න අකැමැත්තට (හෝ බයට) ඔය වගේ කතාවක් බොරුවට පතුරවපු වෛද්‍යවරියක් ගැනත් මම දන්නවා. (කලින් සිටි නගරයේදී එසේ වූ බව) දැන්නම් ලංකාවේ හොරුන් කියන්නේ විශාලම ප්‍රශ්නයක්. දැන් ඉන්නේ කිසිම ආචාර ධර්මයක් නැති හොරු. (හොරුන්ටත් ආචාර ධර්ම තියෙනවා. මගේ පොකට් එක ගැසූ අවස්ථා දෙකේදීම හැඳුනුම්පත ගෙදරටම ලැබුණා.)

      Delete
  8. අද අපේ රටේ දේශීය වෛද්‍ය වරුත් පෞද්ගලික සේවයේ යෙදීමෙන්, බටහිර විශේෂඥ වෛද්‍යවරුන් සමානව හෝ, සමහරවිට ඊටත් වඩා දෛනික ආදායමක් හොයනවා. සමහරෙකුගේ දෛනික ආදායම රු ලක්ෂ 2 ට වැඩියි.

    ReplyDelete
    Replies
    1. එය එසේ විය හැකියි. මම හිතන්නේ දේශීය වෛද්‍යවරුන් අතරෙනුත් වැඩිම ජනප්‍රිය අය වෙත යන්න ලොකු පෝලිමක් තියෙන බව. වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම හෝ/හා වෛද්‍ය වරුන්ගේ ප්‍රතිකාර උපදෙස් වල ඵලදායිතාවන් (effectiveness) සැසඳිය හැකි නිර්ණායක ගැන දැනුමක් තබා අඩුවශයෙන් එවැනි නිර්ණායකවත් නැති තත්ත්වයක් යටතේ මිනිස්සු තීරණ ගන්නේ වෛද්‍යවරයෙකුට පවතින ඉල්ලුම ඔහුගේ ප්‍රතිකාර වල ඵලදායිතාවය පිළිබඳ ඉඟියක් ලෙස සලකමිනුයි.

      Delete
  9. සෙනග විස්සකට පමණ වැඩියි.වෙලාව සවස හයට පමණ. වෛද්‍යවරයාගේ නිල නිවසේ ගේට්ටුව වසා ඇත.පොඩි දරුවන් වඩා ගත්තවුන්ද සිටී. ඩොක්ටර් බොහෙත් දෙන්නෑලු. ගැහැණියක් කීවාය. වෛද්‍යවරයා මොන මොනවදෝ උස්සන තම කාරයට පටවනු පෙනේ. මා බිරිඳත් සමග ගේට්ටුවෙන් පැන දොස්තර නිල නිවසට සේන්දු විය. පය පැටලී මගේ දණහිස පතුරු ගොස් රුධීරය වහනය විය.
    අනේ පුතේ මං මේ මියුසිකල් ෂෝ එහෙකට යනවා.....අර අර ඩොක්ට ගාවට යන්නකො...මට පරක්කු වෙනව පුතේ....ඔහු බැගෑපත් විය...හා ඩොක්ට...අපි නැවතත් ගිය පාරෙන්ම ආවෙමු....

    තුන්වෙනි පන්තියේ අපි කම්කරුවො අපි.....වෙලාවකට හිතෙනවා කොච්චර නිදහස් මිනිස්සුද කියල

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget