වෙබ් ලිපිනය:

Saturday, June 23, 2018

රිස්ස යන්නට තුන් බෑ හකුරු...


ලාංකිකයින්, විශේෂයින්ම ගැමි සිංහලයින්, ආගන්තුක සත්කාරයට ප්‍රියය. ඔවුහු වෙනත් අයෙකුට උදවු කරන්නට ඉදිරිපත් වෙන්නෝ එවැනි ඉල්ලීමක් ලැබීමෙන් පසුවම නොවෙති. ස්වේච්ඡාවෙනි. ඇතැම් විට බලෙන්ම වාගේය.

ආගන්තුක සත්කාරය හුරු සංස්කෘතියක හැදුණු අයෙකුට පාරිභෝගික සත්කාරය පහසුය. පාරිභෝගික සත්කාරයෙහි දක්ෂ අයෙකුට නිදහස් වෙළඳපොළක සාර්ථක වීම පහසුය. එහෙත්, පාරිභෝගික සත්කාරයෙහි දක්ෂ වූ පමණින් කිසියම් අයෙකුට නිදහස් වෙළඳපොළක සාර්ථක විය නොහැකිය. ඒ සඳහා, මේ ගුණාංගය ලාබ වලට හැරවීමේ හැකියාවක්ද තිබිය යුතුය. අතින් කයිට් කරගෙන පාරිභෝගික සත්කාර කර නිදහස් වෙළඳපොළක් තුළ සාර්ථක විය නොහැකිය.

සිංහල සංස්කෘතිය තුළ පාරිභෝගික සත්කාරය පුහුණු කෙරෙන නමුත් පාරිභෝගික සත්කාරය ලාබ වලට හරවන්නට පුහුණු කෙරෙන්නේ නැත. කියවන්නන් හැමෝම වාගේ අසා ඇතැයි සිතන තුම්පනේ ඇත්තන්ගේ තුන් බෑ හකුරු කතාවෙන් කියැවෙන්නේද එයයි. සම්මත ආර්ථික විද්‍යා අර්ථයෙන් ගත්තොත් මෙය තාර්කික හැසිරීමක් නොවේ.

ලංකාවේ ජීවත් වෙද්දී සාමාන්‍ය දේවල් වීම නිසා විශේෂ අවධානයට ලක් නොවන්නට ඇතැයි සිතිය හැකි ඇතැම් චර්යාවන් ඇමරිකාවේ කලක් ජීවත් වී නැවත ලංකාවට පැමිණි පසු මනස ඉදිරියේ මතු වී පෙනේ. ලාබයක් උපයද්දී බොහෝ සිංහලයින්ට ඇති වන වරදකාරී හැඟීමද එවැනි චර්යාවකි. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ විදේශිකයෙකුට, විශේෂයෙන්ම සුදු හම ඇති විදේශිකයෙකුට, භාණ්ඩයක් විකුණා කවර ලාභයක් ලැබුවද සිංහලයින්ට මේ වරදකාරී හැඟීම නොදැනීමයි.

මට සහ මගේ පවුලේ අයට කන්න බොන්න නැතත් අන්තර්ජාල පහසුකම් නොමැතිව දවසක්වත් ගත කළ නොහැකි තරමට අප මේ වන විට අන්තර්ජාලයට ඇබ්බැහි වී අවසානය. ලංකාවේ ගත කරද්දී අප මුහුණ දෙන එක් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ අන්තර්ජාලය සමඟ රැඳී සිටීම ඇමරිකාවේදී තරම් පහසු නොවීමයි. ඇමරිකාවේදීනම් බොහෝ ව්‍යාපාරික හා පොදු ස්ථාන වලදී නොමිලේ වයිෆයි පහසුකම් ලබාගත හැකිය. එමෙන්ම, ලංකාවේ මේ අංශයේ සේවය කරන මගේ ඇතැම් මිතුරන් සිතන තරම් ලංකාවේ අන්තර්ජාල පහසුකම් ලබාගැනීම ලාබදායකද නැත.

මිල සාධකය තවදුරටත් ප්‍රශ්නයක් වුවත්, මගේ මිතුරෙකුගේ දැනුවත් කිරීම අනුව පෙර ගෙවුම් සම්බන්ධතාවක් සහිත ජංගම දුරකථනයක් වයිෆයි රවුටරයක් සේ සකස් කර ගැනීමෙන් මෙවර අපට එක වර උපකරණ හතර පහකින් අන්තර්ජාලයට පිවිසීම සඳහා වූ තාක්ෂණික බාධාවන්ට මුහුණ නොදී සිටිය හැකි විය. ගොඩ බැසීමෙන් අනතුරුව ගුවන් තොටුපලෙන්ම "ටුවරිස්ට් සිම්පැක්" හා අවශ්‍යනම් ජංගම දුරකථනයක් (කුලී පදනමට) ලබා ගත හැකි බව මගේ මිතුරා විසින් යෝජනා කර තිබුණු අතර ලංකාවට පැමිණෙන්නට පෙරම මගේ සොහොයුරිය විසින් දැනුම් දුන්නේ මගේ පියා ජීවත්ව සිටියදී භාවිතා කළ සිම්පත් දෙකක් සහිත ස්මාර්ට් ජංගම දුරකථනය මේ වෙනුවෙන් යොදාගත හැකි බවයි.

පසුව ඇත්තටම සිදු වී තිබුණු පරිදි මගේ පියා විසින් තෙමසකට පෙර භාවිතා කළ ජංගම දුරකථන සම්බන්ධතා මේ වන විට අක්‍රිය වී තිබිය හැකිව තිබුණු අතර එසේ වීනම්, දුරකථනය තිබුණත්, මට මේ පහසුකම ලබා ගන්නට වන්නේ අලුතින් සිම්පතක් මිල දී ගැනීමෙන් පසුවය. ගුවන් තොටුපොළේදීම සිම්පතක් ලබාගත්තේනම් මේ අවදානම මඟ හැරෙන අතරම ඒ මොහොතේ සිටම "ශිෂ්ඨාචාරය තුළ රැඳී සිටීමේ" අවස්ථාවද හිමි වේ.

ලංකාවේ සිටි කාලයේදී පෙරගෙවුම් අන්තර්ජාල සම්බන්ධතා වෙනුවෙන් වැය කෙරෙන්නට නියමිත තිබුණු (මේ වන විට වැය කර ඇති) මුදල සැලකූ විට රුපියල් දහසක පමණ මුදලක් ගෙවා "ටුවරිස්ට් සිම්පැක්" එකක් මිල දී ගැනීම කිසිසේත්ම නරක තේරීමක් සේ පෙනුණේ නැත. ඒ නිසා, පැමිණීමේ පර්යන්තයේ දිගු කොරිඩෝව පසු කර ආගමන විගමන අංශය කිට්ටුවට පැමිණි වහාම අදාළ කවුන්ටරය වෙත ගොස් "ටුවරිස්ට් සිම්පැක්" එකක් ඉල්ලා සිටියෙමි.

පෞද්ගලික සමාගමක් වෙනුවෙන් සේවය කරන වෙළඳ සේවිකාවට තවත් ගණුදෙනුවක් කර ගැනීමට කිසිදු උනන්දුවක් නැත.

"සර්, මේක මේ ටුවරිස්ට්ලට විකුණන්න තියෙන්නේ! සර්ට මේක ගන්න එක පාඩුයි. දාහක් විතර වෙනවා. එළියට ගියාම ඕනැ තැනකින් අයිඩී එක පෙන්නලා රුපියල් සීයකට සිම් එකක් ගත්තහැකි..."

ඈ කීවේ මා නොදැන සිටි දෙයක් නොවේ. මා මේ වන විට ලංකාවේ ජීවත් නොවන අයෙකු බවත්, සංචාරකයෙකු ලෙස ලංකාවට පැමිණෙන්නෙකු බවත් ඇයට පැහැදිලි කිරීමෙන් පසුවද ඇගේ ආකල්පය වෙනස් වුණේ නැත. තමන් දෛනිකව නියැලෙන ගනුදෙනු වලින් තමන්ට වැටුප් ගෙවන සමාගම අධික ලාභයක් උපයන බවත්, ඒ අයුරින් සුද්දන්ගෙන් සල්ලි කඩා ගැනීමේ වරදක් නැතත්, ලෝකයේ කොහේ හෝ ජීවත් වන සිංහලයෙක්ගෙන් එසේ සල්ලි කඩා ගැනීම නුසුදුසු දෙයක් බවත් ඇය සිතුවා විය හැකිය.

ඉන් පසු, මට අවශ්‍ය වුනේ ඩොලර් රුපියල් කර ගැනීමටය. කොටුවට ගොස් මාරු කළ විට ගුවන් තොටුපොළේදී ලැබෙනවාට වඩා රුපියල් දෙක තුනක්වත් වැඩියෙන් ලැබෙන බව මා දැන නොසිටි දෙයක් නොවූවත් මෙවර මා පැමිණියේ පියාගේ තෙමස් දානය වෙනුවෙන් ඊට දින කිහිපයකට පෙර බැවින් ඊට පෙර කොටුවට යන්නට මගේ කාල සටහනේ ඉඩක් තිබුණේ නැත. ඒ නිසා, ගුවන් තොටුපොළෙහි පිහිටි රාජ්‍ය බැංකුවක කවුන්ටරයෙන් අවශ්‍ය පමණ රුපියල් ලබා ගැනීම සඳහා මා ඒ වෙත ගියෙමි. මා රුපියල් කිරීමට අදහස් කළ ඩොලර් ප්‍රමාණය සාමාන්‍යයෙන් එහි පැමිණෙන ගනුදෙනු කරුවෙකු අත ඇති මුදලට සාපේක්ෂව වැඩි මුදලක් වූවා විය හැකිය.

මගේ අදහස වූයේ ගුවන් තොටුපොළේ පිහිටි කොයි බැංකුවෙන් මාරු කළත් ලැබෙන්නේ එකම මුදල බවත් එය කොටුවේදී මෙන් හෙට්ටු කර ඉහළ දමා ගැනීමේ හැකියාවක් නොමැති බවත්ය. ඒ නිසා, අවශ්‍ය ඩොලර් ප්‍රමාණය දී කෙළින්ම රුපියල් ඉල්ලා සිටියෙමි. මේ වන විට මහ බැංකු දත්ත අනුව ඩොලරයක විකිණුම් මිල රුපියල් 160 මට්ටමට පැමිණ නොතිබුණු අතර අදාළ රාජ්‍ය බැංකුවෙහි ඩොලරයක ගැනුම් මිල මහ බැංකුවේ දත්ත සමඟ ආසන්න වශයෙන් සැසඳුණේය.

මෙවරද කවුන්ටරයේ සිටි සේවකයාට ගණුදෙනුව කරන්නට වැඩි උනන්දුවක් නොතිබුණේය.

"සර්, සල්ලිනම් මාරු කරල දෙන්න පුළුවන්. හැබැයි රිසිට් එකක් දෙන්න විදිහක් නැහැ, සිස්ටම් එකේ අවුලක්!"

ඇතැම් විට ඔහු කීවේ ඇත්ත විය හැකිය. එසේ නැත්නම් අදාළ ගනුදෙනුව ලේඛණගත නොකර කීයක් හෝ වැඩියෙන් නැවත විකුණා ලාබයක් ලබන්නට දැමූ වංගුවක් විය හැකිය. මගේ හිත කීවේ දෙවැන්න වන්නට වැඩි ඉඩක් ඇති බවයි.

"ඇත්තද? එහෙනම් වෙන තැනකින් මාරු කර ගන්නම්!"

වැඩේ වැරදුණු බව බැංකු සේවකයාට තේරුණේය.

"සර් ඔච්චර ගානක් අඩුවට මාරු කරන්නේ අපරාදේ. මේ දවස් වල එළියේ රේට් එක හොඳටම නැගල තියෙන්නේ..."

"මම දන්නවා. ඒත් මට කොටුවට යන්න වෙලාවක් නැති නිසයි එයාපෝර්ට් එකෙන්ම ටිකක් මාරු කරන්නේ..."

"සර්, එහෙමනම් එළියේ තියෙන අපේ කවුන්ටරේට යන්න. මම කෝල් එකක් දාල කියන්නම් හොඳ රේට් එකක් දෙන්න කියල...මේ දවස් වල එළියේ රේට් එක හොඳටම නැගල තියෙන්නේ..."

බැංකු සේවකයාගේ කතාවෙන් පැහැදිලි වූ පරිදි රාජ්‍ය බැංකුවකින් වුවත් හෙට්ටු කර වැඩි මිලක් ලබා ගැනීමේ හැකියාව ඇති බව පෙනේ. ඒ අනුව, ඔහු විසින් යොමු කළ කවුන්ටරයට නොගොස් වෙනත් බැංකුවක කවුන්ටරයකට ගොස් එහි ප්‍රදර්ශනය කර තිබුණු මිලට වඩා රුපියල් දෙකක් වැඩි අනුපාතයකට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය රුපියල් කළෙමි. පසුව ඉතිරි ඩොලර් ප්‍රමාණය මාරු කරගන්නට කොටුවට යාමෙන් පසු තේරුම් ගිය පරිදි මහ බැංකුව පෙන්වන නිල විකුණුම් මිලටත් වඩා රුපියල් දෙක තුනක්ම වැඩියෙන් (නිල ගැනුම් මිලට වඩා රුපියල් හයක් පමණ වැඩියෙන්) කොටුවේදී ඩොලර් මාරු කළ හැකි තරමේ ඩොලර් ඉල්ලුමක් රට තුළ තිබුණේය.

ඒ වන විට ඩොලරයක සාමාන්‍ය විකුණුම් මිල රුපියල් 159කුත් ශත ගණනක් වුවත් කොටුවේදී මගේ ඩොලර් රුපියල් 162 බැගින් මාරු කළ හැකි විය. මෙසේ ඩොලර් මිල දී ගන්නා අතරමැදියන් අඩු වශයෙන් රුපියල් 162.50 බැගින්වත් මේ ඩොලර් විකුණනවා විය යුතුය. එසේනම්, නිල සංඛ්‍යාලේඛණ වල නොපෙනෙන, විශාල ඩොලර් ඉල්ලුමක් හා අනුරූපී සැපයුම් හිඟයක් රට තුළ තිබේ.

ගුවන් තොටුපොළේදී මුලින්ම හමු වූ බැංකු සේවකයා තමන්ගේ සේවා ආයතනයේ ලාබ ඉහළ දැමීමට මුල් තැන දුන්නේනම් මා පසුව ලැබූ වැඩි රුපියල් ප්‍රමාණය අදාළ බැංකුවේ ලාබ වලට එකතු විය හැකිව තිබුණේය. ඔහු එසේ නොකළේ මට ලාබයක් සැලසීමේ අරමුණින්ද නැත්නම් තමන්ට ලාබයක් ලබන්නට ගොස් වැරදීම නිසාද යන්න එතරම්ම පැහැදිලි නැත.

ලංකාවට පැමිණෙන බොහෝ අවස්ථා වලදී වයින් හා වෙනත් මත්පැන් බෝතල් කිහිපයක් රැගෙන එන නමුත් මෙවර එය කළේ නැත. ඒ නිසා, මිතුරන් පිරිසක් විසින් සැලසුම් කළ සාදයකට සහභාගී වීම සඳහා යන්නට පෙර සුපිරි වෙළඳ සැලකින් විදේශීය මත්පැන් බෝතලයක් මිල දී ගන්නට අදහස් කළෙමි. ඇමරිකාවේදී ගෙවන ඩොලර් මිල මෙන් තෙගුණයකටත් වඩා වැඩි රුපියල් මිලක් ගෙවිය යුතු වුවත් අවශ්‍ය භාණ්ඩය මිල දී ගැනීම ඊට වඩා වැදගත් බව සිතුණේය.

"සර්, ඔය ගාණටම මේක ගන්න පුළුවන්! ඕකට වඩා මේක ටිකක් ෂුවර්!"

"ඒ කියන්නේ මේක කලවන්ද?"

"ඒ වගෙ තමයි!"

වැඩි මිලක් ගෙවා වුවත් අවශ්‍ය භාණ්ඩය මිස වෙනත් භාණ්ඩයක් මිල දී ගන්නට මට අවශ්‍ය නැත. වෙළඳ සේවකයාටම අනුව අවශ්‍ය භාණ්ඩය සේ වෙස් ගන්වා මෙහි විකුණන්නේ අවශ්‍ය භාණ්ඩය නොවේ. ඒ නිසා, අවසානයේදී කිසිදු ගණුදෙනුවක් සිදුවුණේ නැත.

සුපිරි වෙළඳසැලෙහි සේවකයාට තමන්ගේ සමාගමේ ලාබ ඉහළ දැමීමේ අරමුණට වඩා දුඹුරු හම ඇති, සිංහල කතා කරන පාරිභෝගිකයෙකු රැවැට්ටීම නිසා ඇති වන වරදකාරී හැඟීමෙන් මිදීම වැදගත් වූවා වන්නට ඇත. පාරිභෝගිකයා සුද්දෙක් වුණානම් ඔහු වෙනස් අයුරකින් හැසිරෙන්නට ඉඩ තිබුණා විය හැකිය.

සීගිරියේ විදේශික රථගාල කිට්ටුව සිසිල් බීම විකිණූ අයෙකු ප්‍රදර්ශනය කළේද මෙවැනිම චර්යාවකි. රුපියල් හැටකට මිල කර තිබුණු සිසිල් බීම බෝතලයක් විදේශිකයින් හට රුපියල් දෙසීය බැගින් විකුණමින් සිටි ඔහු එය නියම මිලට හෝ ඔහුගේ සාමාන්‍ය විකිණුම් මිලට මට විකුණන්නට මනාප වූයේ නැත.

"සර්, මෙතන ටිකක් ගාන වැඩියි. ෆොරීනර්ස්ලට විකුණන්නේ...පහළින් අඩුවට ගන්න පුළුවන්!"

විදේශිකයින් වුවත් ඉන්දියානුවන් ගැන බොහෝ ලාංකික වෙළෙන්දන්ට තිබෙන්නේ වෙනස්ම ආකල්පයකි. ඉහත කී ෆොරීනර්ස්ලාට ඉන්දියානුවන් අයත් නැත. ලිපිය දිග්ගැසෙන නිසා ඒ ගැන කතා නොකර මෙය අවසන් කරමි.

(කාලවේලා සීමාවන් හා අන්තර්ජාල භාවිතයේ සීමාවන් නිසා ප්‍රතිචාර වලට පිළිතුරු සැපයීම පමා කරන්නට වීම ගැන කමා කෙරෙත්වා!)

(Image: http://exploresrilanka.lk/2013/10/sweet-by-nature/)

Wednesday, June 20, 2018

දැන වෙළඳාම් නොදැන ගොවිතැන්...


නිදහස් ආර්ථිකයක කාර්යක්ෂමතාවයට හේතුවන යාන්ත්‍රනය වන්නේ නිදහස් ගනුදෙනුය. නිදහස් ගනුදෙනුවකින් එහි නියැලෙන පාර්ශ්ව දෙකටම හැම විටම වාගේ සිදුවන්නේ ලාභයකි. එක් පාර්ශ්වයකට හෝ අලාභයක් වේනම් එම පාර්ශ්වයට ගනුදෙනුවෙහි නොයෙදී ඉවත් වීමට නිදහස ඇති බැවිනි. මෙය මෙසේ නොවන්නේ තොරතුරු අසමමිතියක් තිබීම වැනි විශේෂ අවස්ථා වලදී පමණි.

නිදහස් ගනුදෙනුවක සැපයුම්කරු අදාළ භාණ්ඩයේ හෝ සේවාවේ නිෂ්පාදකයා හෝ ඇයගෙන් එය මිල දී ගත් අතරමැදියෙකු වන්නට පුළුවන. සාමාන්‍ය භාවිතයේදී වෙළෙන්දන් ලෙස හැඳින්වෙන මෙවැනි අතරමැදියන් යනු නිදහස් ආර්ථිකයක පැවැත්මට විශාල ලෙස දායක වන පිරිසකි. ඔවුන්ගේ කාර්ය භාරය වන්නේ නිෂ්පාදකයෙකුගෙන් අඩු මිලට ලබා ගන්නා භාණ්ඩයක් පාරිභෝගිකයෙකුට වැඩි මිලකට විකුණා ලාභයක් ලැබීමයි.

මෙහිදී අතරමැදියාට වාසියක් ලැබෙන නමුත් එයින් අදහස් වන්නේ ඒ හේතුව නිසා පාරිභෝගිකයාට හෝ නිෂ්පාදකයාට අවාසියක් සිදුවන බව නොවේ. අතරමැදියෙකුගේ මැදිහත්වීම නිසා බොහෝ විට නිෂ්පාදකයාට මෙන්ම පාරිභෝගිකයාටද සැලසෙන්නේ වාසියකි. මෙය මෙසේ වන්නේ කිසියම් භාණ්ඩයකට පාරිභෝගිකයින් විසින් ලබාදෙන සාපේක්ෂ වටිනාකම් මිස නිශ්චිත නිරපේක්ෂ වටිනාකමක් නොමැති බැවිනි.

කිසියම් මීකිරි නිෂ්පාදකයෙකුට රුපියල් 150කට වඩා නොවටිනා කිරි හට්ටියක් කිසියම් පාරිභෝගිකයෙකු විසින් රුපියල් 250කට මිල කරන්නට ඉඩ තිබීම සාමාන්‍ය තත්ත්වයකි. මේ කිරිහට්ටිය අතරමැදියෙකු විසින් රුපියල් 175කට මිල දී ගෙන රුපියල් 200කට විකුණා රුපියල් 25ක ලාබයක් ලබන විට නිෂ්පාදකයාට රුපියල් 25ක ලාබයකුත් පාරිභෝගිකයට රුපියල් 50ක වාසියකුත් සැලසේ. අතරමැදියා මඟහැර නිෂ්පාදකයාට හා පාරිභෝගිකයාට සෘජුව ගනුදෙනු කළ හැකිනම් අතරමැදියා උපයන රුපියල් 25ද ඔවුන් දෙදෙනාගේ ලාබ වලට එකතු වන බව ඇත්තක් වුවත්, අතරමැදියෙකු නොසිටියේනම් මෙවැනි ගනුදෙනු බොහොමයක්ම සිදු වන්නේ නැත.

අතරමැදියාගේ කාර්යභාරය පිළිබඳ ශ්‍රී ලාංකික සමාජයේ, විශේෂයෙන්ම සිංහල සමාජයේ, සාම්ප්‍රදායික ආකල්පය තරමක් නිශේධනාත්මක එකකි. පෞද්ගලිකව මටද ඇතැම් අවස්ථා වලදී අඩු මිලට ලබාගන්නා භාණ්ඩයක් වැඩි මිලකට විකිණීමේදී වරදකාරී හැඟීමක් දැනී තිබේ. මෙහි මූලය භාණ්ඩයක වටිනාකම යනු එය නිපදවීම හෝ අත්පත් කර ගැනීම වෙනුවෙන් වැය කළ පිරිවැයය යන අදහසයි. එහෙත්, ඇත්තටම එම වටිනාකම පිරිවැයට වඩා වැඩි වන්නට මෙන්ම අඩු වන්නටද පුළුවන.

මාක්ස්වාදී ආර්ථික විද්‍යාවේ පදනම වන්නේ භාණ්ඩයකට එහි නිෂ්පාදන පිරිවැය මත පදනම් වූ නිශ්චිත වටිනාකමක් තිබේය යන්නයි. එය නිෂ්පාදනයේදී වැය වූ මිනිස් ශ්‍රමය අනුසාරයෙන් සූත්‍රගත කර තිබේ. එහිදී නිෂ්පාදනයේදී යොදාගත් ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභ වලට ලැබෙන්නේ අඩු වැදගත් කමකි. භාණ්ඩයක වටිනාකම පිළිබඳ සිංහල සමාජයේ සම්ප්‍රදායික අදහස මාක්ස්වාදී අදහසට කිසියම් අයුරකින් සමාන වුවත් මේ දෙකෙහි විශාල සංකල්පීය වෙනස්කමක් තිබේ. සිංහලයෝ කිසියම් නිෂ්පාදනයක් වෙනුවෙන් යොදවන ශ්‍රමය වෙනුවෙන් ප්‍රතිලාභ හිමිවිය යුතු බවද පහසුවෙන් අමතක කරති.

"කීයද මේ කිරි හට්ටියක්?"

"දෙසීයයි..."

"එකසිය හැත්තෑ පහක් ගම්මු!"

"අයියෝ නෝනා! අපිට දාන්නෙත් එකසිය අසූවට. අපි මේ පොඩි ලාබයක් තියාගෙන දෙසීයට විකුණන්නේ..."

අතරමැදියෙකු විසින් භාණ්ඩයක් මිල දී ගන්නා මිල සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙකුගේ මිල දී ගැනීමේ තීරණයට බලපෑ යුතු කරුණක් නොවේ. එහිදී වැදගත් වන්නේ තමන් ඒ වෙනුවෙන් ගෙවන්නට කැමති මිලයි. එහෙත් ලංකාවේදී එය එසේම නොවේ. අතරමැදියෙකු වැඩි ලාභයක් ලබන බව පෙනෙන විට බොහෝ ලාංකිකයින්ට දැනෙන්නේ තමන් රැවටුණේය යන හැඟීමකි. ඒ නිසා එය එසේ නොවන බව පාරිභෝගිකයින්ට ඒත්තු ගන්වන්නට බොහෝ වෙළෙන්දන්ට සිදුවේ.

මෙයට එක් හේතුවක් වන්නේ ලාංකිකයින් බොහෝ දෙනෙකුට භාණ්ඩයක ප්‍රයෝජ්‍ය වටිනාකම පිළිබඳ තමන්ගේම වූ අදහසක් නොමැති වීමයි. ඒ නිසා, බොහෝ විට ඔවුන් තමන් ගෙවන්නට කැමති උපරිම මිල නිර්ණය කරන්නේ ගනුදෙනුවෙන් අනෙකා උපයන ලාබය දෙස බලමිනි. ඒ ලාබය මානසිකව ගණනය කරන්නේ අනෙකා භාණ්ඩය මිල දී ගැනීමට වැය කළ මුදල පමණක් සලකමින් අනෙකුත් සියලු වක්‍ර වියදම් නොසලකා හරිමිනි.

මෙහිම තවත් මානයක් වන්නේ තමන් විසින් කලකට පෙර මිල දී ගත්, මේ වන විට ප්‍රයෝජ්‍ය වටිනාකමක් හෝ ලොකු වෙළඳපොළ වටිනාකමක් නැති භාණ්ඩ කීයකට හෝ විකුණා නොදමා ගොඩ ගසාගෙන සිටීමේ මානසිකත්වයයි. එසේ කරන්නේ රුපියල් දාහකට මිල දී ගත් දෙයක් රුපියල් සීයකට විකුණා දමන්නට හිත හදාගැනීම අසීරු බැවිනි. එහි අවසන් ප්‍රතිඵලය වනුයේ ලැබිය හැකිව තිබුණු රුපියල් සීයත් නොලැබී යාමයි.

(මතු සම්බන්ධයි)


ලංකාවට වාහන වැඩිද?

ගත වෙමින් පවතින්නේ මෙවර ග්‍රීෂ්ම නිවාඩුව තුළ ලංකාවේ ගෙවන අවසන් සතියයි. නිවසෙන් බැහැරව මසක කාලයක් ගෙවන විට සාමාන්‍යයෙන් කරන බොහෝ දේ මඟ හැරී යාම අසාමාන්‍ය දෙයක් නොවේ. ප්‍රමුඛතාවන් වෙනස්වීම, අන්තර්ජාල සම්බන්ධතා වල සීමාවන් ආදී විවිධ හේතු මත ඉකොනොමැට්ටාගේ වියුණු යාවත්කාලීන කිරීමද එසේ මඟ හැරුණු කටයුතු ලැයිස්තුවට එකතු වී ඇති අතර අවසන් වියුණු සටහන ලියා පළ කර තිබෙන්නේ මසකටද පෙරය.

කෙසේ වුවද, මෙවර ලංකාවේ ගත කළ මසකට ආසන්න කාලය සාපේක්ෂව ඵලදායී වූ බැව් කිව මනාය. ජීවිතයේ විවිධ කාල වලදී සමීපව ඇසුරු කළ මිතුරු මිතුරියන් රැසක් නැවත හමු වන්නට ඉඩ සැලසුණු අතර ඉදිරි දින කිහිපය තුළද එවැනි හමු ගණනාවක්  සිදුවීමට නියමිතව තිබේ. එමෙන්ම දිවයිනේ පළාත් හයක් ආවරණය කරමින් ප්‍රදේශ රැසක සංචාරය කිරීමටද මෙවර ඉඩ ලැබුණේය.

මෙවර කළ "වෙනස් දෙයක්" වූයේ සෑහෙන කලකට පසු රියැදුරෙකුගේ සේවය ලබා නොගනිමින් ලංකාවේ දී මෝටර් රථයක සුක්කානම අතට ගැනීමේ සංකීර්ණ කටයුත්තට අත ගැසීමයි. ලංකාවේ වාහන ධාවනය කිරීමේ සමාචාර විධි (etiquette) නැවත අලුතෙන් ඉගෙන ගැනීම මුලින් හිතූ තරම්ම අමාරු වුණේ නැත.

ඇමරිකාව දකුණෙන් වාහන එළවන රටකි. පොතේ හැටියට මෙන්ම ඇත්තටමද එය එසේමය. ඇමරිකාවේ පාරක වම් පැත්තේ වාහනයක් දකින්නට ලැබීම සුලභ සිදු වීමක් නොවේ.

පොතේ හැටියට ලංකාව වමෙන් එළවන රටකි. එහෙත්, වාහන එළවීමේ සමාචාර විධි අනුව පාරේ වාහනයක් ධාවනය කළ යුතු පැත්ත වාහනයේ විශාලත්වය හා එහි වටිනාකම වැනි කරුණු මත තීරණය වේ. පෞද්ගලික මෙන්ම ලංගම බස් රථ වලටත්, මිල අධික ජීප් රථ හා මෝටර් රථ ආදිය සඳහාත් බලපාන්නේ ඇමරිකානු නීතිය බව පෙනේ. ඒ වාහන වැඩි වෙලාවක් තිබෙන්නේ පාරේ දකුණු පැත්තේය. නැත්නම් පාරේ මැදය. මෙවැනි වාහනයක් හෙඩ් ලයිට් ගසා සංඥා කළ විට පාරේ වමෙන් එන වාහන පාරෙන් ඉවත් වී කාණුවට බැස ඉදිරියෙන් එන වාහනයට ඉඩ දිය යුතුය.

ත්‍රිරෝද රථ හා මෝටර් සයිකල් වැනි වැනි කුඩා වාහන වලට කැමති පරිදි පාරේ දකුණු පැත්තෙන් හෝ වම් පැත්තෙන් ගමන් කිරීමට තහනමක් නැත. අතුරු පාරවල් වලින් ප්‍රධාන පාරකට ත්‍රිරෝද රථයක් ඇතුළු කිරීමට පෙර ත්‍රිරෝද රථ රියැදුරෙකු සෑහෙන වෙලාවක් පරීක්ෂාකාරීව බලා සිටී. පාරේ වාහනයක් නැත්නම් එසේ සෑහෙන වෙලාවක් බලා සිටින එවැනි රියැදුරෙකු වාහනය පාරට දමන්නේ හරියටම වෙනත් වාහනයක් පැමිණෙන අවස්ථාවකදීය.

ලංකාවේ වාහන වල සංඥා එළි භාවිතය හොඳ තත්ත්වයක තිබේ. කොයි තරම් හොඳද කියනවානම් බොහෝ රියැදුරන් විසින් දකුණු පස සංඥා එළිය වරක් දැල්වීමෙන් පසු එය නැවත නිවා දමන්නේ ගමන අවසන් කිරීමෙන් පසුව විය යුතුය. වාහනය වමට හැරවුවත්, දකුණට හැරවුවත්, දකුණෙන් ඉස්සර කළත්, වමෙන් ඉස්සර කළත් සංඥා එළියනම් දකුණටමය. කිසියම් පාරක මංතීරු දෙකක් සලකුණු කර ඇත්නම් එයින් අදහස් වන්නේ ලොකු වාහන තුනකට ගමන් කිරීමට ඉඩකඩ ප්‍රමාණවත් බවයි. ඊට අමතරව ත්‍රිරෝද රථ වලට හා මෝටර් සයිකල් වලට මේ ලොකු වාහන අතරින් රිංගන්නට ඉඩ තිබේ.

බොහෝ දෙනෙක් කියන්නේ ලංකාවේ තිබෙන පාරවල් ප්‍රමාණයට වාහන ඕනෑවට වඩා වැඩි බවයි. මේ කතාවේ කිසියම් ඇත්තක් තිබෙන්නට පුළුවන. පසුගිය කාලයේ සැලකිය යුතු තරමේ මාර්ග සංවර්ධනයක් සිදු වී ඇතත් එයට අනුරූපව වාහන භාවිතයද ඉහළ ගොස් ඇති නිසා වාහන එළැවීමේ සමාචාර ලොකුවට වෙනස් වී නැත. එහෙත්, සාපේක්ෂව පාරවල් හොඳ හා වාහන අඩු කුරුණෑගලින් උතුරේ ප්‍රදේශ වල තත්ත්වයේ පැහැදිලි වෙනසක් දැකිය හැකිය. බෙදාගන්නට ඇති සම්පත් ප්‍රමාණය වැඩි වන විට මිනිසුන්ගේ චර්යාවන්ද වඩා හොඳ වීම සාමාන්‍ය දෙයකි.

මගේ අදහස අනුව ලංකාවේ මහාමාර්ග වල දැකිය හැකි මහා වියවුලට එකම හේතුව පාරවල් ප්‍රමාණවත් නොවීම හා වාහන ප්‍රමාණය වැඩිවීමම නොවේ. වාහන ධාවනය විධිමත් ලෙස සිදුවේනම් පවතින මහාමාර්ග පද්ධතිය මීට වඩා බොහෝ කාර්යක්ෂම සේ භාවිතා කළ හැකි බව මගේ අදහසයි.

පහත වගුවේ තිබෙන්නේ ලෝකයේ එක් එක් රටවල මහා මාර්ග වල දිග, ලියාපදිංචි වාහන සංඛ්‍යාව හා මහා මාර්ග කිලෝමීටරයකට වාහන ගණනයි. රට කුඩා වන තරමට මහා මාර්ග කිලෝමීටරයකට වාහන ගණන වැඩි වීම සාමාන්‍ය තත්ත්වයකි. මාල දිවයිනේ මහාමාර්ග කිලෝමීටරයකට වාහන 700ක් පමණ තිබේ. (වාහන ගණන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබාගත් දත්ත වන අතර වසර පහක් පමණ පැරණි දත්ත වේ. මහා මාර්ග වල දිග විකිපීඩියාවෙනි.) සිංගප්පූරුවේ 293කි. දකුණු කොරියාවේ 218ක්ද, මැලේසියාවේ 165ක්ද, ජපානයේ 75ක්ද, නේපාලයේ 68ක්ද වේ. බංග්ලා දේශයේ 61කි. චීනයේ 52කි. ඇමරිකාවේ 39කි. ඉන්දියාවේ හා පකිස්ථානයේ 35ක් පමණ වේ. ලංකාවේ 46කි.

ඉන්දියාව, පකිස්ථානය හා ඇමරිකාව වැනි ලොකු රටවලට මහාමාර්ග කිලෝ මීටරයකට ඇති වාහන ගණනට වඩා ලංකාවේ ගණන තරමක් වැඩි වුවත් ලංකාව සමඟ සැසඳිය හැකි බොහෝ රටවල් වලට සාපේක්ෂව එවැනි වැඩි කමක් පෙනෙන්නට නැත. එහෙත්, මහාමාර්ග කිලෝ මීටරයකට ඇති වාහන ගණන ලංකාවේ ගණනට වඩා වැඩි බොහෝ රටවල දැකිය නොහැකි තරමේ අවුලක් ලංකාවේ මහාමාර්ග වලදී දැකිය හැකිය. ලංකාවේ වාහන එළවීමේ සමාචාර විධිද මෙයට එක් හේතුවක් විය යුතුය.


වෙබ් ලිපිනය: