Wednesday, June 20, 2018

දැන වෙළඳාම් නොදැන ගොවිතැන්...


නිදහස් ආර්ථිකයක කාර්යක්ෂමතාවයට හේතුවන යාන්ත්‍රනය වන්නේ නිදහස් ගනුදෙනුය. නිදහස් ගනුදෙනුවකින් එහි නියැලෙන පාර්ශ්ව දෙකටම හැම විටම වාගේ සිදුවන්නේ ලාභයකි. එක් පාර්ශ්වයකට හෝ අලාභයක් වේනම් එම පාර්ශ්වයට ගනුදෙනුවෙහි නොයෙදී ඉවත් වීමට නිදහස ඇති බැවිනි. මෙය මෙසේ නොවන්නේ තොරතුරු අසමමිතියක් තිබීම වැනි විශේෂ අවස්ථා වලදී පමණි.

නිදහස් ගනුදෙනුවක සැපයුම්කරු අදාළ භාණ්ඩයේ හෝ සේවාවේ නිෂ්පාදකයා හෝ ඇයගෙන් එය මිල දී ගත් අතරමැදියෙකු වන්නට පුළුවන. සාමාන්‍ය භාවිතයේදී වෙළෙන්දන් ලෙස හැඳින්වෙන මෙවැනි අතරමැදියන් යනු නිදහස් ආර්ථිකයක පැවැත්මට විශාල ලෙස දායක වන පිරිසකි. ඔවුන්ගේ කාර්ය භාරය වන්නේ නිෂ්පාදකයෙකුගෙන් අඩු මිලට ලබා ගන්නා භාණ්ඩයක් පාරිභෝගිකයෙකුට වැඩි මිලකට විකුණා ලාභයක් ලැබීමයි.

මෙහිදී අතරමැදියාට වාසියක් ලැබෙන නමුත් එයින් අදහස් වන්නේ ඒ හේතුව නිසා පාරිභෝගිකයාට හෝ නිෂ්පාදකයාට අවාසියක් සිදුවන බව නොවේ. අතරමැදියෙකුගේ මැදිහත්වීම නිසා බොහෝ විට නිෂ්පාදකයාට මෙන්ම පාරිභෝගිකයාටද සැලසෙන්නේ වාසියකි. මෙය මෙසේ වන්නේ කිසියම් භාණ්ඩයකට පාරිභෝගිකයින් විසින් ලබාදෙන සාපේක්ෂ වටිනාකම් මිස නිශ්චිත නිරපේක්ෂ වටිනාකමක් නොමැති බැවිනි.

කිසියම් මීකිරි නිෂ්පාදකයෙකුට රුපියල් 150කට වඩා නොවටිනා කිරි හට්ටියක් කිසියම් පාරිභෝගිකයෙකු විසින් රුපියල් 250කට මිල කරන්නට ඉඩ තිබීම සාමාන්‍ය තත්ත්වයකි. මේ කිරිහට්ටිය අතරමැදියෙකු විසින් රුපියල් 175කට මිල දී ගෙන රුපියල් 200කට විකුණා රුපියල් 25ක ලාබයක් ලබන විට නිෂ්පාදකයාට රුපියල් 25ක ලාබයකුත් පාරිභෝගිකයට රුපියල් 50ක වාසියකුත් සැලසේ. අතරමැදියා මඟහැර නිෂ්පාදකයාට හා පාරිභෝගිකයාට සෘජුව ගනුදෙනු කළ හැකිනම් අතරමැදියා උපයන රුපියල් 25ද ඔවුන් දෙදෙනාගේ ලාබ වලට එකතු වන බව ඇත්තක් වුවත්, අතරමැදියෙකු නොසිටියේනම් මෙවැනි ගනුදෙනු බොහොමයක්ම සිදු වන්නේ නැත.

අතරමැදියාගේ කාර්යභාරය පිළිබඳ ශ්‍රී ලාංකික සමාජයේ, විශේෂයෙන්ම සිංහල සමාජයේ, සාම්ප්‍රදායික ආකල්පය තරමක් නිශේධනාත්මක එකකි. පෞද්ගලිකව මටද ඇතැම් අවස්ථා වලදී අඩු මිලට ලබාගන්නා භාණ්ඩයක් වැඩි මිලකට විකිණීමේදී වරදකාරී හැඟීමක් දැනී තිබේ. මෙහි මූලය භාණ්ඩයක වටිනාකම යනු එය නිපදවීම හෝ අත්පත් කර ගැනීම වෙනුවෙන් වැය කළ පිරිවැයය යන අදහසයි. එහෙත්, ඇත්තටම එම වටිනාකම පිරිවැයට වඩා වැඩි වන්නට මෙන්ම අඩු වන්නටද පුළුවන.

මාක්ස්වාදී ආර්ථික විද්‍යාවේ පදනම වන්නේ භාණ්ඩයකට එහි නිෂ්පාදන පිරිවැය මත පදනම් වූ නිශ්චිත වටිනාකමක් තිබේය යන්නයි. එය නිෂ්පාදනයේදී වැය වූ මිනිස් ශ්‍රමය අනුසාරයෙන් සූත්‍රගත කර තිබේ. එහිදී නිෂ්පාදනයේදී යොදාගත් ප්‍රාග්ධනය වෙනුවෙන් ලැබිය යුතු ප්‍රතිලාභ වලට ලැබෙන්නේ අඩු වැදගත් කමකි. භාණ්ඩයක වටිනාකම පිළිබඳ සිංහල සමාජයේ සම්ප්‍රදායික අදහස මාක්ස්වාදී අදහසට කිසියම් අයුරකින් සමාන වුවත් මේ දෙකෙහි විශාල සංකල්පීය වෙනස්කමක් තිබේ. සිංහලයෝ කිසියම් නිෂ්පාදනයක් වෙනුවෙන් යොදවන ශ්‍රමය වෙනුවෙන් ප්‍රතිලාභ හිමිවිය යුතු බවද පහසුවෙන් අමතක කරති.

"කීයද මේ කිරි හට්ටියක්?"

"දෙසීයයි..."

"එකසිය හැත්තෑ පහක් ගම්මු!"

"අයියෝ නෝනා! අපිට දාන්නෙත් එකසිය අසූවට. අපි මේ පොඩි ලාබයක් තියාගෙන දෙසීයට විකුණන්නේ..."

අතරමැදියෙකු විසින් භාණ්ඩයක් මිල දී ගන්නා මිල සාමාන්‍යයෙන් පාරිභෝගිකයෙකුගේ මිල දී ගැනීමේ තීරණයට බලපෑ යුතු කරුණක් නොවේ. එහිදී වැදගත් වන්නේ තමන් ඒ වෙනුවෙන් ගෙවන්නට කැමති මිලයි. එහෙත් ලංකාවේදී එය එසේම නොවේ. අතරමැදියෙකු වැඩි ලාභයක් ලබන බව පෙනෙන විට බොහෝ ලාංකිකයින්ට දැනෙන්නේ තමන් රැවටුණේය යන හැඟීමකි. ඒ නිසා එය එසේ නොවන බව පාරිභෝගිකයින්ට ඒත්තු ගන්වන්නට බොහෝ වෙළෙන්දන්ට සිදුවේ.

මෙයට එක් හේතුවක් වන්නේ ලාංකිකයින් බොහෝ දෙනෙකුට භාණ්ඩයක ප්‍රයෝජ්‍ය වටිනාකම පිළිබඳ තමන්ගේම වූ අදහසක් නොමැති වීමයි. ඒ නිසා, බොහෝ විට ඔවුන් තමන් ගෙවන්නට කැමති උපරිම මිල නිර්ණය කරන්නේ ගනුදෙනුවෙන් අනෙකා උපයන ලාබය දෙස බලමිනි. ඒ ලාබය මානසිකව ගණනය කරන්නේ අනෙකා භාණ්ඩය මිල දී ගැනීමට වැය කළ මුදල පමණක් සලකමින් අනෙකුත් සියලු වක්‍ර වියදම් නොසලකා හරිමිනි.

මෙහිම තවත් මානයක් වන්නේ තමන් විසින් කලකට පෙර මිල දී ගත්, මේ වන විට ප්‍රයෝජ්‍ය වටිනාකමක් හෝ ලොකු වෙළඳපොළ වටිනාකමක් නැති භාණ්ඩ කීයකට හෝ විකුණා නොදමා ගොඩ ගසාගෙන සිටීමේ මානසිකත්වයයි. එසේ කරන්නේ රුපියල් දාහකට මිල දී ගත් දෙයක් රුපියල් සීයකට විකුණා දමන්නට හිත හදාගැනීම අසීරු බැවිනි. එහි අවසන් ප්‍රතිඵලය වනුයේ ලැබිය හැකිව තිබුණු රුපියල් සීයත් නොලැබී යාමයි.

(මතු සම්බන්ධයි)


4 comments:

  1. ඉකොනො,

    හොඳ පෝස්ට් එකක් සහ කදිම මාතෘකාවක්, කෙසේ නමුත් ආර්ථික විද්‍යාව විධිමත්ව හදාරා නැති තාක්ෂණික අංශයට සම්බන්ධ මා දන්නා / වැටහෙන පරිදි හිමිකම් (ඇසෙට්ස්) හා ආර්ථික සම්පත් (රිසෝසස්) බෙදා හැරීම තීරණය කරණු ලබන හා සංවිධානය කරණු ලබන ක්‍රම වේදයන් (මෙතඩ්ස්) සහ සම්මතයන් (ස්ටෑන්ඩර්ඩ්ස්) ආර්ථික ක්‍රමයකින් සකස් වෙනවා නේද?

    මෙහිම එක් අන්තයකින් සියලු සම්පත් පෞද්ගලික අංශයට (පුද්ගලයන් හා පුද්ගලික සමාගම්) හිමි වන අතර නිෂ්පාදනය පෞද්ගලික ව්‍යවසාය ව්‍යුහය මඟින් සිදු කරනු ලබයි. පෞද්ගලික රුචිය පමණක් අදහස් කළද සැමවිටම සමාජ රුචියම ප්‍රවර්ධනය කරමින් යන මෙම ක්‍රමය ඇඩම් ස්මිත් විසින් විධිමත්ව ඩිෆයින් කළා කියායි මා නම් අසා තිබෙන්නේ. (භාණ්ඩ නිෂ්පාදනය හා බෙදා හැරීම සම්බන්ධව ඈත අතීතයේ සිට කෞටිල්‍ය -අර්ථ් ශාස්ත්‍ර / සන් ත්සු -ආට් ඔෆ් වෝ - වැනි පොත්, නිකොලා මකියාවල්ලි ඇතුලු විවිධාරාක පුද්ගලයින්ගේ විවිධාකාර මායාකාරී මති මතාන්තර පැවතුනත් වෙල්ත් ඔෆ් නේශන්ස් වැනි පොත් හරහා විධිමත් ඩිෆිනිශන් ඉදිරිපත් කලේ ස්මිත් නේද?

    ඒ වගේම ඉකොනො අනෙක් අන්තයෙන්, අනෙකුත් සමාජ අරමුණු අතර ධනයේ පවතින ජනප්‍රිය විෂමතාවය පිළිබඳ අදහස් අනුව එම විෂමතාවය අවම කිරීමේ අපේක්ෂාවෙන් යුක්ත, සියලු සම්පත් සඳහා පොදු හිමිකාරීත්වයක් පවතින කාහ්ල් මාහ්ක්ස් හා ව්ලාදිමීර් ඉල්යිස්ච් උල්‍යනොෆ් (ලෙනින්) වැනි පිරිස් විසින් අනුගමනය කර සමාජගත කරනු ලැබූ (ශුද්ධ) කොමියුනිස්ට් ආර්ථික ක්‍රමවේදය දකින්නට හැකියි.

    මගේ දැනුමේ හැටියට නම් මූලික හා පොදු ආර්ථික ක්‍රම මේවායි;

    01. සම්ප්‍රදායික ආර්ථිකය (පැරණිම හා සම්ප්‍රදායික ආර්ථික ක්‍රමයයී

    02. නිදහස් වෙළෙඳපල ආර්ථිකය (ධනවාදය වැනි බොහෝ නිදහස් ක්‍රම සඳහා පදනම)

    03. සැලසුම්ගත ආර්ථිකය (සමාජවාදය වැනි බොහෝ මැදිහත්වීම් සහිත ක්‍රම සඳහා පදනම)

    04. මිශ්‍ර ආර්ථික ක්‍රමය (වෙළෙඳපල ප්‍රවේශයේ ඇතැම් ලක්ෂණ හා සැලසුම් ගත ප්‍රවේශයේ ඇතැම් ලක්ෂණ ඇතුළත් මැද පිළිවෙතක් අනූගමනය කරන ආර්ථික ක්‍රමය - ලංකාවේ දැනට ඇත්තේ මෙය නේදා

    05. සහභාගීත්ව ආර්ථිකය - පාටිසිපේටර්ය් එකොනොමික්ස් (නව අර්ථ ක්‍රමයකට මෑත දී වූ යෝජනා - දශක ගණනක් තුළ සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රියාත්මක වූ සාම්ප්‍රදායික සංවර්ධන උපාය මාර්ග මඟින් ඇති වූ ග්‍රාමීය සංවර්ධනය බලාපොරොත්තු වූ ඉලක්ක කිසිසේත්ම සපුරා ගෙන නැත. සාම්ප්‍රදායික සංවර්ධන ක්‍රමවේදයේ දී රජය විසින් සැලසුම් සකස් කිරීම‍‍, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීම් සිදු කළ අතර ඉලක්ක ජනතාව සහභාගි වූයේ ප්‍රතිලාභීන් ලෙස පමණි.මෙම සංවර්ධන ක්‍රමවේදය ඌණ සංවර්ධිත රටවල දිළිඳුකම අවම කර ගැනීම සඳහා දායක නොවී ය.

    -to be cont'd

    ReplyDelete
    Replies
    1. Cont'd...

      මේ නිසාම 1970 දශකයේ දී ලෝක ආර්ථිකය විශ්වකරණය (ග්ලෝබලයිzසේශන්) වීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ රටවල් එම ආර්ථික ක්‍රියාවලියට ගැළපෙන පරිදි තම රටවල රාජ්‍ය තන්ත්‍රයේ ව්‍යූහගත වෙනස්කම් (ස්ට්‍රක්චරල් ඇඩ්ජස්ට්මන්ට්ස්) සිදු කළත් මෙම ව්‍යූහගත වෙනස්කම්වල ප්‍රතිඵල වූයේ රජයේ සුබසාධන වියදම් කපා හැරීම, පෞද්ගලිකරණය යනාදී ක්‍රියාවලීන් ය. සුබසාධන වියදම් කපා හැරීම තුළින් දිළිඳුභාවය තව තවත් උග්‍ර විය. එබැවින් මෙම අභියෝගය ජය ගැනීම සඳහා දිළිඳු පිරිස උදෙසා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය දැඩි ලෙස මතු විය. අතිශය සීමිත සම්පත් වලින් ඉතා වැඩි පිරිසකට ප්‍රතිලාභ සැලසීමට හැකිවන පරිදි විකල්ප සංවර්ධන ක්‍රමවේදයන් සොයා බැලීමට සංවර්ධනවේදීන් උත්සුක වීමේ ප්‍රතිඵලයක්ලෙස 1970 දශකයේ සිට ඌණ සංවර්ධිත රටවල් සහභාගිත්ව සංවර්ධන ක්‍රමවේදය අනුගමනය කිරීමට පෙළඹුණි.)

      වටිනා ආර්ථික සම්පත් ඉතා සීමිත මිනිස් අවශ්‍යතා අසීමිත ලෝකයේ ස්කෙයාර්සිටි හෙවත් හිඟකම මඟින් කුමක් නිපදවිය යුතුද, කෙසේ නිපදවිය යුතුද, කවුරුන් සඳහා නිපදවිය යුතුද වැනි මූලික ආර්ථික ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතුය. ආර්ථික ක්‍රමයක් යනු මෙම මූලික ප්‍රශ්නවලට පිළිතුරු සොයා දෙන ක්‍රමවේදයක් විය යුතු වුවත් විවිධ ආර්ථික ක්‍රම විවිධ ආකාරයෙන් මේවාට පිළිතුරු ලබා දුන්නත් මේ ආර්ථික ක්‍රම සියල්ල මහා මායකාරී මුලාවකට අප ඇද දමා දැන් ලොව සියල්ලන්ම දැවැන්ත් පඹගාලක පටලා ඇතිබවක් හැඟෙයි මටනම්.

      ඒ වගේම ඉකොනො ප්ලෑන්ඩ් ඉකොනොමික්ස් හෙවත් සැලසුම්ගත ආර්ථික ක්‍රමයක් (ඍජු ආර්ථික ක්‍රමයක්) තුල රජය (ආණ්ඩුව) විසින් පාලනය කරනු ලබන ආර්ථික විධාන මත ක්‍රියාත්මක වන ආර්ථික පද්ධතිය මධ්‍යම සැළසුම්ගත ආර්ථික පද්ධති (සෙන්ට්‍රලයිස්ඩ්) හෝ විධාන හෝ පාලන ආර්ථික (ඇඩ්මිනිස්ට්‍රේටිව් කමාන්ඩ් ඉකොනොමික්ස්) ක්‍රමයක් නිසා මෙහි රජය / ආණ්ඩුව ආර්ථිකයේ බොහෝ අංශයන් පාලනය කරන අතර රාජ්‍ය පරිභෝජනය මෙන්ම ආදායම් බෙදීයාම පිළිබඳ පවා තීරණ ගනු ලබයි. ආර්ථික සැලසුම්කරුවන් විසින් නිෂ්පාදනය කලයුත්තේ කුමක්ද යන්න තීරණය කරන අතර එම නිෂ්පාදනයන් නිපදවීම සඳහා ව්‍යවසායකයින්ව මෙහෙය වීම සිදු කරයි. සැලසුම්ගත ආර්ථිකයන් වෙළඳපළ ආර්ථිකයෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර වෙළඳපොළ ආර්ථිකයේදී පෞද්ගලික සාධක හිමිකරුවන් තමන්ගේ හා පාරිභෝගිකයන්ගේ ලාභදායීත්වය සැළකිල්ලට ගනිමින් නිෂ්පාදනය, බෙදා හැරීම, මිල කිරීම හා ආයෝජනය පිළිබඳ තීරණ ගනු ලබයි. මෙහිදී ඔවුන් හුදෙක් සාර්ව ආර්ථික සැළසුම් (මැකො Macro ඉකොනොමික් පොලිසීස්) මත නොරැඳී කටයුතු කරයි. සැළසුම්ගත ආර්ථිකයක සරල භාවිතකරණය බලහත්කාරී නොවන බලපෑම්/ සහනාධාර දීමනා මෙන්ම බදු හා රාජ්‍ය මැදිහත්වීම මඟින් නියෝජනය කරයි. මෙම ක්‍රමය ඇතැම් ආර්ථිකඥයන් සැළසුම්ගත වෙලඳපළ ආර්ථිකය ලෙසද හඳුන්වයි.

      ප්ලෑන්ඩ් ඉකොනොමික්ස් වල සැලසුම්ගත ආර්ථිකයට රජයට අයත් ව්‍යාපාර, රජය විසින් මෙහෙයවන පෞද්ගලික ව්‍යාපාර හා මෙම අංශ දෙකටම අයත් ව්‍යාපාර අයත්ය. සැලසුම් ආර්ථිකය හා විධාන ආර්ථික (ඇඩ්මිනිස්ට්‍රේටිවෙ කමාන්ඩ් ඉකොනොමි ) බොහෝ විට සමාන අරුත් ගෙන දුන්නත් විධාන ආර්ථිකයේදී නිෂ්පාදනය මහජනයා සතුයි. සැලසුම් ආර්ථිකය යනු රජය විසින් නිෂ්පාදනය බෙදා හැරීම මිල හා අනෙකුත් අංශ පාලනය කරන ආර්ථික ක්‍රමයකි. නමුත් විධාන ආර්ථිකය සැලකීමේදී අනිවාර්යයෙන්ම කර්මාන්ත අයිතිය මහජනයා සතුවිය යුතු නේද? මේ අනුව විධාන ආර්ථික ක්‍රමයද සැලසුම් ආර්ථිකයක් වන අතර මෙම ආර්ථිකයන් අතර ඍජු වෙනසක් නැත. (උදා. දෙවන ලෝක යුධ සමයේ ඇමෙරිකානු ආර්ථිකය නැතහොත් ජර්මන් ජාතික සමාජවාදීන්ගේ (නාට්සි වාදීන්ගේ) ආර්ථික ක්‍රමය පුළුල්ව ගත් කල සැලසුම් ආර්ථිකයන් ලෙස හැඳින්විය හැකිය. නමුත් ඒවා තියරිටිකලි අත්‍යාවශ්‍යයෙන්ම විධාන ආර්ථිකයන් විය යුතු නැත. එසේ නමුත් මහජන අයිතිය සතු සෝවියට් සමූහය විධාන ආර්ථිකයකි)

      කලක් ලොව හොඳම ආර්ථිකයට හිමිකම් කියූ සෝවියට් රුසියාව වැනි වැදගත් සැලසුම් ආර්ථිකයන් (සෙන්ට්‍රල් ප්ලෑන්ඩ් සෝවියට් ඉකොනොමික් මොඩල්), චීනය එමෙන්ම ඉන්දියාව තම ආර්ථික ක්‍රමය ප්‍රතිසංස්කරණය කිරීමට 1981න් පසු කටයුතු කළා. 1980 හා 1990 ආරම්භයේදී ‍සැලසුම් ආර්ථිකයක‍ට හිමිකම් කියූ බොහෝ ප්‍රධාන රටවල් වෙළඳපොළ පාලන නීති රීති බොහෝමයක් ඉවත් කරමින් හා සීමා කරමින් වෙළඳපොළ මුල්කරගත් ආර්ථිකයක් දෙසට යොමු වුණා. මේ අනුව මිල නිෂ්පාදනය හා බෙදා හැරීමේ තීරණ ගැනීම පෞද්ගලික අංශයට පවරා ඇත. වර්තමානයේ බොහෝ ආර්ථිකයන් වෙළඳපොළ ආර්ථිකයන් හෝ මිශ්‍ර ආර්ථිකයන් වුවත් ක්‍යුයුබා, උතුරු කොරියා, ම්‍යන්මාර් වැනි රටවල්වල අදත් සැලසුම් ආර්ථිකයන් නේද ඇත්තේ?

      -to be cont'd

      Delete
    2. Cont'd...

      නිර්මාණය කිරීමේ දි හා එහි වෙනස්කම් ඇති කිරීමේදී සැම සමාජයක් විකල්ප අරමුණු හා තීරණ අතරින් තේරීම් සිදු කරනු ලබයි. මේ බොහෝ අරමුණු, කාර්යක්ෂමතාවය, වර්ධනය, ස්වාධිනත්වය හා සමානත්වය වැනි ප්‍රියඋපදවන ඒවා ලෙස දැකිය හැකිය.

      රටක සමාජ ක්‍රමයේම කොටසක් ලෙස ආර්ථික මොඩල් එක සැලකිය හැකි අතර එහිම ව්‍යුත්පන්න ලෙස නීති ක්‍රමය, දේශපාලන ක්‍රම (පොලිටික්ස්) මෙන්ම සංස්කෘතික ක්‍රමද ඩිවෙලොප් මෙනවා. ඇතැම් චින්තන/ අදහස්/ දේශපාලන ක්‍රම හා ඇතැම් ආර්ථික ක්‍රම, අතර නිරතුරුවම දැඩි සහසම්බන්ධතාවයක් තිබෙන බවක්ද පෙනේ. මේ ගැන අප මිත්‍ර ඉකොනොට විස්තරාත්මක විග්‍රහයක් ඉදිරිපත්කළ හැකිද? වෙනත් පෝස්ට් එකකින්වත්?

      Delete
  2. ඉකොනොමැට්ටා,

    දක්ෂිණ අධිවේගී මාර්ගයේදී සිදුවූ හදිසි අනතුරක් (20 June 2018) නිසා ඕස්ට්‍රෙලියානු ජාතික මවක හා දියණියක මරුමුවට පත්වී එම පවුලේ පියා හා පුතු බරපතල තුවාල ලබා රෝහල් ගත වූ සිද්ධිය ගැන වැඩිදුර තොරතුරු මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. (මෙහෙම වාහන හැප්පෙන්නෙ රාජපක්ෂ කාලෙ අදිවේගී මාර්ග හදපු නිසා).

    මෙසේ මියගියේ කොලින් ලුවිස් (37) මව හා පොපී ගේබ්‍රියල් නමැති ඇගේ සිව් හැවිරිදි දියණියයි. තුවාල ලද පුතුට වයස 2 කි. මෙම පවුල ඕස්ට්‍රෙලියානුවන් වුවද කලෙක සිටම වාසය කර ඇත්තේ දෝහා (Qatar රාජ්‍යයේ) ය. සිද්ධියෙන් තුවාල ලද පැට්‍රික් කොලින්ස් ගුවන් සේවා සමාගමකට අනුබද්ධව දෝහාහි සේවය කරමින් සිටින්නෙකි. ඔහු ඕස්ට්‍රෙලියාවේ මෙල්බන් නුවර උපන්නෙකු වන අතර සිද්ධියෙන් මියගිය ඔහුගේ බිරිය කොලින් ලුවිස් බ්‍රිස්බෙන්හි උපන්නෙකි.

    ඔවුන් පවුල පිටින් වරින්වර ශ්‍රී ලංකාවේ සංචාරය ප්‍රිය කරන අය වන අතර මෙවර ඔවුන්තෝරාගෙන තිබුනේ දකුණු පළාතේ සංචාරයකි. තංගල්ලේ හෝටලයක් කල් ඇතිව වෙන් කරගෙන ඊයේ පාන්දර දෝහා සිට ඔවුන් කටුනායක ගුවන් තොටුපළට පැමිණ හෝටලය බලා ගමන් ගනිද්දී මෙම අනතුර සිදුවිය.

    මොවුන් පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති මියගිය කොලින්ගේ සොයුරා ජේම්ස් කුරියර් මේල් පුවත්පතට මෙසේ කියා ඇත.

    "ඉතාම ආදරයෙන් ජීවත්වූ අහිංසක පවුලක්. ශ්‍රී ලංකාව ගැන ඔවුන් නිතරම කතාවෙනවා. නිවාඩුවක් ලැබුණ ගමන් ශ්‍රී ලංකාවෙ සංචාරයක් යාම තමයි සිරිත. සාමකාමී රටක් කිසි කරදරයක් නැතිව හොඳ නිවාඩුවක් ගත කරන්න පුළුවන් කියල තමා කියා තිබුනෙ. මෙහෙම අනතුරක් සිදුවීම ගැන හිතාගන්නවත් බෑ"

    ඔසී වල ඉන්න ලාංකික සංක්‍රමණික කුහකයෝ මේ ගැන "ලස්සනයි ලස්සනයි ගගා මුන් ඔය අපායට රිංගල එක්කො රේප් වෙලා එනව. එහෙම නැත්තම් මිනීපෙට්ටියෙන් ගෙදර එනව"/ "සුද්දෝ මගෙනුත් එනව අහන්න ලැංකාව ලස්සනයිලු නේද ගගා.මම දෙනව ගූගල් එකේ සර්ච් කරලම රේප් වෙච්ච ගෑණුන්ගෙ විස්තර. ඊට පස්සෙ එන්නෙ නෑ ලස්සන අහන්න." වැනි කුණුකතා කියලත් තිබුණ.

    ලංකාව අපායක් නං සුද්දෝ අරහෙම කියල තියෙන්නෙ ඇයි?

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.