වෙබ් ලිපිනය:

Showing posts with label දේශපාලනය. Show all posts
Showing posts with label දේශපාලනය. Show all posts

Thursday, May 8, 2025

බොරු හොඳ වෙයිද? හොරු බොඳ වෙයිද?

 

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය තරමක් අපූරු ප්‍රතිඵලයක්. හැම පාර්ශ්වයකට වගේම තමන් ජයගෙන තිබෙන බවට ප්‍රසිද්ධියේ තර්ක කරන්න පුළුවන් කිසියම් ඉඩක් ඉතිරි වී තිබෙනවා. නමුත් මේ පාර්ශ්ව බොහොමයකට පෞද්ගලිකව සතුටු වෙන්න පුළුවන් තරම් හොඳ ප්‍රතිඵලයක් ලැබී නැහැ. 

මැතිවරණයක් කොයි තරම් සාමකාමීව හෝ සාධාරණව පැවැත්වුවත්, ඡන්දදායකයින් තමන්ගේ තීරණය ගන්නේ විශාල අවිනිශ්චිතතාවයක් එක්කනම් හෝ ආවේගශීලිවනම් මැතිවරණ ප්‍රතිඵලයෙන් පිළිබිඹු වෙන්නේ යම් විකෘතියක් සහිත ජනමතයක්. පසුගිය ජාතික මැතිවරණ වලදී මේ තත්ත්වයන් දෙකම අඩු වැඩි වශයෙන් බලපෑම් කළා. නමුත් මේ පළාත් පාලන මැතිවරණ පැවැත්වුණේ ඡන්දදායකයින්ට නිවී සැනසිල්ලේ සිතා බලා තීරණයක් ගන්න පුළුවන් වටාපිටාවක. ඒ නිසා, මේ ප්‍රතිඵලයේ වටිනාකම වැඩියි.

ඡන්දය දීමේ ප්‍රතිශතය අඩු වීම නිසා ඉහත කරුණ නිශේධනය වෙන්නේ නැහැ. ඡන්දය නොදීමත් ඡන්දදායකයෙකුට ගත හැකි තීරණයක්. එයින් අදහස් වන්නේ තමන් විසින් අනෙකුත් ඡන්දදායකයින්ගේ තීරණය කවර එකක් වුනත් එය පිළිගන්නවා කියන එකයි. ඒ වගේම, මහ මැතිවරණය එක්ක බලද්දී අඩුව ලක්ෂ හතක් පමණයි. 

අඩු වෙලා තියෙන්නේ මාලිමාවේ ඡන්ද. මාලිමාවේ ඡන්ද ලක්ෂ හැටනවයෙන් තුනෙන් එකකට වඩා අඩු වෙලා තිබෙනවා. කල්මුණේ ප්‍රාදේශීය සභාව නැති වීමේ බලපෑම සැලකුවත්, ලක්ෂ 23 ඉක්මවන අඩු වීමක්. එයින් ලක්ෂ 16ක් පමණම අනෙකුත් පක්ෂ අතර බෙදී ගිහින් තිබෙනවා.

මාලිමා ඡන්ද වලින් ලක්ෂ හයක් පමණම එකතු කරගෙන තිබෙන්නේ පොහොට්ටුව විසින්. සජබ ලක්ෂ තුනක් පමණ එකතු කරගෙන තිබෙනවා. ඉතිරි ඡන්ද ලක්ෂ හත අනෙකුත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් එකතු කරගෙන තිබෙනවා.

බැලූ බැල්මටම මෙය ආණ්ඩුවේ පරාජයක්. නමුත් මහ මැතිවරණයේදී ආණ්ඩුවට ලැබුණු ඡන්ද මාලිමාවේ නොවන මාලිමා ඡන්ද. මාස හයකට පසුව ඒ ඡන්ද ඒ විදිහටම ලැබෙයි කියලා එම පක්ෂයේ නායකයින්වත් විශ්වාස කළා කියලා මම හිතන්නේ නැහැ. එවැනි විශ්වාසයක් තිබුණානම් මැතිවරණ ව්‍යාපාරයට ඔය තරම්ම බර දමන්න හේතුවක් නැහැ. 

ජනාධිපතිවරණය පැවැත්වෙද්දී රටේ මිනිස්සු හිටියේ විශාල අවිනිශ්චිතතාවයක. ඒ එක්කම මහ මැතිවරණය තියද්දී මේ අවිනිශ්චිතතාවය අවසන් වෙලා තිබුණේ නැහැ. ඒ අනුව බලද්දී, මාස හයකට පසුවත් මාලිමාව විසින් මහ මැතිවරණ ඡන්ද වලින් තුනෙන් දෙකක් ලබා ගැනීමට සමත් වීම ඔවුන්ගේ ජයග්‍රහණයක් කියා කියන්නත් පුළුවන්. පොහොට්ටුවෙන් කැඩී ආ මේ ඡන්ද ස්ථිර ලෙස මාලිමාවේ නැවතී ඇති බවකුයි එයින් පෙනෙන්නේ.

අනෙක් අතට මේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල සහ කලින් පැවැත්වුණු ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණ ප්‍රතිඵලය අතර විශාල සමානකමක් තිබෙනවා. මේ කරුණට වැඩි දෙනෙක් බර තබා තිබෙන බවක් මම දැක්කේ නැහැ. මෙහි පළකරන සිතියම් වල සහ ප්‍රතිඵල විශේලේෂණ වල ඇල්පිටියත් එකතු කරලයි තියෙන්නේ.

ජාතික මැතිවරණ වලට සාපේක්ෂව පළාත් පාලන මැතිවරණ වලදී ඡන්දය භාවිතා කිරීමේ පෙළඹුම අඩු වීම සාමාන්‍ය කරුණක්. මේ විදිහට පළාත් පාලන මැතිවරණ වලදී ඡන්දය භාවිතා නොකරන පිරිස අහඹු පිරිසක් නෙමෙයි. ඒ නිසාම, පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල මත පදනම්ව ජාතික මැතිවරණ ප්‍රතිඵල ගැන පුරෝකථනය කරන එකේ අවුලක් තිබෙනවා. ජාතික මැතිවරණයකදී මේ ඡන්ද වැටෙද්දී සමස්ත ප්‍රතිඵලයේ සංයුතියත් වෙනස් වෙන්න පුළුවන්. 

එයින් අදහස් කරන්නේ ඒ ඡන්ද ටික මාලිමාවට වැටෙනවා කියන එක නෙමෙයි. එහෙම කියන්න හෝ එහෙම නෙමෙයි කියන්න පුළුවන්කමක් නැහැ. නමුත් මේ ගොඩේ තියෙන්නේ මැතිවරණ ප්‍රතිඵල වෙනස් කළ හැකි තීරක ඡන්ද. ඊට සාපේක්ෂව, පළාත් පාලන මැතිවරණයකදී භාවිතා වෙන්නේ ස්ථිර ඡන්ද. 

චිත්‍රයෙන් මාලිමාව ඉවත් කරලා ඉතිරි කොටස දිහා බැලුවොත්, අරගලයට පෙර පැවති දේශපාලන සංයුතිය නැවතත් ගොඩ නැගෙමින් තිබෙනවා. ප්‍රධාන පක්ෂ දෙක වූ පොහොට්ටුව සහ සජබ දෙවන හා තෙවන තැන් වල සිටින අතර එම පක්ෂ තමන්ගේ ඡන්ද පදනම් වර්ධනය කර ගනිමින් සිටිනවා. ඒ වගේම, වාර්ගික දේශපාලන පක්ෂ විසින්ද තමන් පෙර සිටි තැනට එමින් තිබෙනවා. ඒ අතරම, ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ දෙක වූ එජාපය සහ ශ්‍රීලනිපයද තවමත් මියගොස් නැහැ. 2020දී මාලිමාව සිටි මට්ටමේ ඒ පක්ෂ දෙකම ඉන්නවා. 

සර්වජන බලයද ඡන්ද ලක්ෂයකට වඩා එකතු කරගෙන ඉදිරියට පැමිණ ඇතත්, එම පක්ෂය සිටින්නේ ඉහත පක්ෂ සියල්ලටම පසුපසින්. එම පක්ෂයේ ඡන්ද ප්‍රමාණවත් වන්නේ මහ මැතිවරණයකදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ගැනීමට පමණයි. ඡන්ද ප්‍රමාණය වර්ධනය කර ගැනීම ගැන කතා කරනවානම්, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂද සැලකිය යුතු වර්ධනයක් පෙන්වා තිබෙනවා. 

සජබ හා පොහොට්ටු ඡන්ද වර්ධනය වී ඇතත්, එම කණ්ඩායම් දෙකම තවමත් සිටින්නේ මාලිමාවට වඩා සැලකිය යුතු තරම් පසුපසින්. පොහොට්ටු ඡන්ද වල විශාල වර්ධනයක් දැකිය හැකි වෙතත්, එම කණ්ඩායමට කිසිදු පළාත් පාලන ආයතනයක මුල් තැනට පැමිණීමට හැකි වී නැහැ. ඊට සාපේක්ෂව, සජබ ආයතන යම් ප්‍රමාණයක පළමු තැනට පැමිණ තිබෙනවා. එහෙත්, ඒ එක් තැනක හෝ බහුතරය ලබා ගැනීමට සජබ සමත්ව නැහැ.


දකුණේ පළාත පාලන ආයතන විශාල ප්‍රමාණයක පළමු තැනට පැමිණ සිටින්නේ මාලිමාව වුවත්, එම ආයතන වලින් අඩක පමණ බලය පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය ලබා ගැනීමට ඔවුන් සමත්ව නැහැ. පළාත් පාලන ආයතනයක බලය පිහිටුවීම සඳහා මන්ත්‍රී ධුර ගණනින් හරි අඩකට සහ එකකට නොඅඩු නියෝජනයක් අවශ්‍ය වෙනවා. කෙසේ වුවත්, මේ ප්‍රශ්නය මාලිමාවටද වඩා බරපතල සේ බලපා තිබෙන්නේ ඇතැම් තැන් වල මුල් තැනට පැමිණ සිටින අනෙකුත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් වලටයි.

ඇතැම් අය මේ තත්ත්වයට හේතුව අලුත් මැතිවරණ ක්‍රමය බව සිතන බවක් පේනවා. නමුත් පැරණි මැතිවරණ ක්‍රමය ක්‍රියාත්මක වීනම්, බහුතරය නොමැති පළාත් පාලන ආයතන ගණන මීටත් වඩා වැඩි විය හැකිව තිබුණා.

පැරණි ක්‍රමයේදී මුල් තැනට පැමිණෙන පක්ෂයට ප්‍රසාද ආසන දෙකක් ලබා ගැනීමේ හැකියාව තිබුණා. එහෙත් එහි වාසිය ලබා ගෙන පළාත් පාලන ආයතනයක බහුතර බලය හිමි කර ගත හැක්කේ 50% සීමාවට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත හැක්කේනම් පමණයි. එම මට්ටමේ ඡන්ද ප්‍රතිශතයක් ඇති සෑම අවස්ථාවකදීම අලුත් ක්‍රමය යටතේද මුල් තැනට පැමිණි පක්ෂයට බහුතර බලය ලැබී තිබෙනවා. 

අලුත් ක්‍රමය යටතේ ප්‍රසාද මන්ත්‍රී ධුර නොලැබෙතත්, කොට්ඨාශ ජයග්‍රහණ මත පදනම්ව අමතර මන්ත්‍රී ධුර හිමි වෙනවා. මේ ක්‍රමයට බොහෝ විට අමතර මන්ත්‍රී ධුර දෙකකට වඩා ලබා ගත හැකියි. එවැනි අමතර මන්ත්‍රී ධුර වලින් වැඩිම ප්‍රමාණයක් ලබා ගෙන තිබෙන්නේ මාලිමාවයි. 

දැනට දැකිය හැකි ප්‍රවණතා අනුව පෙනී යන්නේ අරගලයට පෙර පැවති ද්විපක්ෂ දේශපාලන වාතාවරණය වෙනුවට, කඳවුරු තුනක් වටා ශ්‍රී ලාංකික ඡන්දදායකයා පෙළ ගැසෙමින් සිටින බවයි. ඒ පෙර සිටම ඉදිරියෙන් සිටි ලිබරල් සහ ජාතිකවාදී කඳවුරු දෙක සහ මේ මොහොතේ ඉදිරියෙන් සිටින සමාජවාදී කඳවුරයි. මේ අනුව, ඉදිරි කාලයේදී බොහෝ විට එජාපය හා සජබය නැවත සන්ධානගත වීමත්, සර්වජන බලය නැවත පොහොට්ටු කඳවුරට එකතු වීමත් සිදු විය හැකියි. ශ්‍රීලනිපයට ඔය කඳවුරු දෙකෙන් ඕනෑම එකකට එකතු වීමේ හැකියාව තිබෙනවා. 

ලිබරල් සහ ජාතිකවාදී කඳවුරු දෙක අතරින් දැනට ඉදිරියෙන් සිටින්නේ සජබ ප්‍රමුඛ ලිබරල් කඳවුර වුවත්, එම කඳවුර විසින් සමත්ව තිබෙන්නේ සම්ප්‍රදායික එජාප ඡන්ද ප්‍රමාණය ආකර්ෂණය කර ගැනීමට පමණයි. ඒ නිසා, මාලිමා ඡන්ද පදනම දුර්වල වෙද්දී ශක්තිමත් වීමේ වැඩි විභවයක් තිබෙන්නේ පොහොට්ටු කඳවුරටයි. කෙසේ වුවත්, දේශපාලන ආස්ථානාවලියේ මධ්‍යය ආසන්නයේ ස්ථානගත වීම මගින් අනෙක් කඳවුරු දෙකට ඡන්ද විතැන් වන්නට නොදී රඳවා ගැනීම මාලිමාවේ උපාය මාර්ගය බව පෙනෙනවා. මාලිමාව පසුගිය ජාතික මැතිවරණ ජයග්‍රහණය කළේද මෙම උපාය මාර්ගය අනුගමනය කරමිනුයි. 

බහුතර බලය කිසිදු පක්ෂයකට හෝ කණ්ඩායමකට නොමැති පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා සන්ධාන ගොඩ නගා ගන්නා ආකාරය විමසිල්ලෙන් බලා සිටිය යුතු දෙයක්. එහිදී, බොරු හොඳ වෙයිද නැත්නම් හොරු බොඳ වෙයිද?

Tuesday, November 12, 2024

දේශපාලන මාලිමාව

ඔබ දරන දේශපාලනික අදහස් අනුව, ද්විමාන සමාජ-ආර්ථික දේශපාලන අවකාශය තුළ ඔබ මතවාදී ලෙස ස්ථානගත වී සිටින ආකාරය දැන ගැනීමට ඔබට අවශ්‍යද?

The Political Compass වෙබ් අඩවියෙන් මෙම පරීක්ෂණය කර ගත හැකියි.

(https://www.politicalcompass.org/test)

මෙහි සිංහල සංස්කරණයක් පහත සබැඳියේ තිබෙනවා. මේ හා අදාළ ඔබේ ප්‍රතිචාර දැන ගැනීමට කැමතියි.

(https://pihituma.blogspot.com/2024/11/maliwawa.html)

Wednesday, July 31, 2024

දැන් රැල්ල කොයි පැත්තටද?


මේ ලිපිය ලියන්නේ ලංකාවේ වේලාව අනුව අගෝස්තු මාසය එළැඹුනාට පසුවයි. ඒ අනුව, ජනාධිපතිවරණ දිනයට තව තියෙන්නේ දින 51ක් පමණයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ව්‍යවස්ථානුකූලව අවශ්‍ය අවම කාලය දින 52ක්. ඒ කියන්නේ, මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් මහ මැතිවරණය පවත්වන්න වෙන්නේ ජනාධිපතිවරණ දිනයට පස්සේ. 

මහ මැතිවරණය තියන්න වෙන්නේ ජනාධිපතිවරණ දිනයට පසුව වුනත්, අවශ්‍යනම් පාර්ලිමේන්තුව විසුරුවා හරින එක ජනාධිපතිවරණ දිනයට කලින් කරන්න පුළුවන්. එහෙම නොකළත්, ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. 

මේ වන විට රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස ඇතුළු අපේක්ෂකයින් හය දෙනෙකු ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර තිබෙනවා. අනුර කුමාර දිසානායක තරඟයට එන බව කලක සිටම රහසක් නොවූ කරුණක්. මේ වෙද්දී ප්‍රසිද්ධ වී තිබෙන තොරතුරු අනුව පොහොට්ටුව විසින් ඔවුන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි. අපේක්ෂකයා කවුද කියන එක තවමත් රහසක්. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අපේක්ෂාව පිළිබඳව සමීක්ෂණයක් කරමින් කලක සිටම මාස්පතා ඔවුන්ගේ ඇස්තමේන්තු ප්‍රසිද්ධ කරනවා. මේ ඇස්තමේන්තු අනුව පසුගිය මාස ගණනාවක් තිස්සේම ඉදිරියෙන් හිටියේ මාලිමා කඳවුරයි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳව අවසන් වරට නිකුත් කළ ඇස්තමේන්තු පාදක වන්නේ මැයි මාසයේ පැවති ජනමතය මතයි. ජූනි මාසයේ පැවති ජනමතය මත පදනම් වූ ඇස්තමේන්තු තවමත් ප්‍රසිද්ධ කර නැතත්, එම ඇස්තමේන්තු ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රසිද්ධ කරනු ලැබීමට නියමිතයි. ජූනි මාසයේ පැවති ජනමතය අනුව මහ මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ ඇස්තමේන්තු මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. එම ඇස්තමේන්තු අනුව අපේක්ෂිත ප්‍රතිඵලය පහත පරිදියි.

සජබ - 38%

ජාජබ/ජවිපෙ - 26%

පොහොට්ටුව - 16%

එජාප - 7%

දෙමළ රාජ්‍ය පක්ෂය - 3%

මුස්ලිම් කොංග්‍රසය - 2%

කම්කරු කොංග්‍රසය - 2%

ශ්‍රීලනිපය - 1%

වෙනත් - 4%

මෙම ප්‍රතිඵලය තුළ කැපී පෙනෙන කරුණ වන්නේ සජබ හා ජාජබ/ජවිපෙ අතර පරතරය 12%ක් දක්වා සජබට වාසිදායක ලෙස වෙනස් වී තිබීමයි. මාසයකට පෙර සජබ හා ජාජබ/ජවිපෙ සිටියේ එකම මට්ටමකයි. 

මේ අනුව පෙනී යන්නේ පසුගිය මාසය වන විටද මාලිමා රැල්ල බැස ගොස් තිබී ඇති බවයි. අනුර කුමාර විසින් ජනාධිපතිවරණයේදී ලබා ගන්නට ඉඩ තිබෙන ඡන්ද ප්‍රතිශතය මෙහි සඳහන් ජාජබ/ජවිපෙ ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි විය හැකියි. ඒ සුළු ජාතික හා "වෙනත්" ඡන්ද එකතු වීමෙන්. එහෙත් එසේ එකතු වීමෙන් පසුවද අනුර කුමාර දිසානායකගේ ඡන්ද ප්‍රතිශතය 33.3% සීමාව නොඉක්මවිය හැකි බවකුයි දැන් පෙනෙන්නට තියෙන්නේ.

මේ 33.3% සීමාව ඉතා වැදගත් සීමාවක්. අනුර කුමාර දිසානායක විසින් 33.3%කට නොඅඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත්, ඉතිරි අපේක්ෂයින් අතරින් උපරිම වශයෙන් එක් අයෙකුට මිසක් දෙදෙනෙකුට ඔහුව ඉක්මවා ඡන්ද ලබා ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා, අවම වශයෙන් තරඟයේ දෙවෙනියා වෙන්න පුළුවන්. නමුත් යම් හෙයකින් 33.3% සීමාවෙන් පහළට වැටුනොත් එවැනි සහතිකයක් හෝ නැතිව යනවා. එම තත්ත්වය තුළ දෙවැනි තැනද අහිමි වීමේ අවදානමට මාලිමාවට මුහුණ දෙන්න වෙනවා. මෙහි වෙනසක් වෙන්නනම් ඉදිරි දින 51 ඇතුළත අලුත් වටයක මාලිමා රැල්ලක් පැමිණිය යුතුයි.

සජබ මේ වන විට වේගයෙන් ජාජබ/ජවිපෙ පසු කර ගොස් ඇති අතර සුළු ජාතික ඡන්දද සමඟ සජිත්ගේ ජූනි මාසයේ ප්‍රතිශතය 40% මට්ටමට ආසන්න හෝ තරමක් වැඩි විය හැකියි. එසේ වුවද, ඔහු තවමත් සිටින්නේ 50% සීමාවට වඩා බොහෝ දුරිනුයි. 

මේ සමීක්ෂණ දත්ත එකතු කරගෙන තිබෙන්නේ "සුබ ආරංචිය" එන්නට පෙරයි. ඒ වගේම, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වෙන්නට පෙරයි. ඒ අනුව, ජූලි මාසයේදී තත්ත්වය වෙනස් වී ඇත්නම් එසේ වෙනස් වී තිබෙන්නේ රනිල්ට හා එජාප-පොහොට්ටු කඳවුරට වාසිදායක ලෙස විය යුතුයි. 

ජූනි සමීක්ෂණ ප්‍රතිපල අනුව එජාප-පොහොට්ටු කඳවුරේ ප්‍රතිශතය 23%ක්. මේ වන විට මේ කඳවුර දෙකට බෙදී ඇතත්, පොහොට්ටු ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් හා සුළු ජාතික ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් එකතු කර ගැනීමේ හැකියාවක් රනිල් සතුව තිබෙන නිසා මේ වෙද්දී රනිල්ට දෙවන තැනට පැමිණීම පිළිබඳව යම් බලාපොරොත්තුවක් ඇති කර ගත හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ වගේම, සජිත් සමඟ පැවති තරඟය මේ වන විට අනුර සමඟ තරඟයක් බවට පත් වී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ යම් හෙයකින් අනුර පසු කර රනිල්ට දෙවන තැනට පැමිණිය හැකි වුවහොත්, සජිත්ට වඩා කෙතරම් පසුපසින් සිටියත්, දෙවන මනාප එකතු වෙද්දී සජිත්ට තරඟයක් දීමේ හැකියාවක් ඇති වීමයි. 

කෙසේ වුවත්, රනිල්ට කෙතරම් දුරක් යා හැකිද යන්න පොහොට්ටුවේ ප්‍රවේශය මත වෙනස් විය හැකි දෙයක්. රනිල්ට, සජිත්ට හෝ අනුරට ලබා ගත නොහැකි යම් පොහොට්ටු ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. එම ඡන්ද ප්‍රමාණය පොහොට්ටු අපේක්ෂකයෙකු විසින් ලබා ගැනීම රනිල්ට අවාසියක් නොවෙතත්, පොහොට්ටු අපේක්ෂකයෙකු විසින් රනිල්ට ලබා ගත හැකි ඡන්ද වලින් යම් ප්‍රමාණයක්ද ලබා ගැනීමට ඉඩ තිබෙනවා. අනෙක් පැත්තෙන් රනිල්ට "රනිල් රාජපක්ෂ" ලේබලය ගලවා ගැනීමේ වාසිය ලැබෙනවා. මේ සියළු තත්ත්වයන් එක්ක මෙවර ජනාධිපතිවරණ තරඟය දවසින් දවසම උණුසුම් වන බවකුයි පේන්න තියෙන්නේ. 

Friday, July 26, 2024

දින පණස් හතක තරඟයේ ආරම්භය


මේ වෙද්දී ජනාධිතිවරණ දිනය ප්‍රකාශයට පත් වී අවසන්. අද (ජූලි 26) සිට දින 57කින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා. එය තුන් කොන් සටනක් වන ලකුණුයි දැනට පෙනෙන්නට තියෙන්නේ.

රනිල් වික්‍රමසිංහ ඇතුළු අපේක්ෂයින් හතර දෙනෙකු විසින් පළමු දිනයේදීම ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස කලින් සිටම තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කරලා ඒ වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කරමින් සිටිනවා. නිල අපේක්ෂකයින් ලෙස තවත් අපේක්ෂකයින් ගණනාවක් ඉදිරිපත් වනු ඇතත්, තරඟය තිබෙන්නේ අනුර, සජිත් හා රනිල් අතර බව පැහැදිලි කරුණක්. 

මේ ජනාධිතිවරණය පැවැත්වෙන්නේ සුවිශේෂී තත්ත්වයක් තුළයි. පළමුව, මිනිස්සුන්ට ඇඟටම දැනෙන, ඉතිහාසයේ නොවූ විරූ ආර්ථික අර්බුදයක් ඇවිත්, ඒ ආර්ථික අර්බුදයේ පීඩනය හමුවේ මිනිස්සු පාරට බහිනවා. ඔවුන්ගේ ප්‍රධානම ඉල්ලීම ලෙස එවකට බලයේ සිටි ජනාධිපතිවරයාට ඉල්ලා අස් වෙන්න සිදු වෙනවා. නමුත් ඒ විදිහට පාරට බහින මිනිසුන්ට ආර්ථික අර්බුදයට පැහැදිලි විකල්ප විසඳුමක් හෝ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු පිළිබඳව පොදු අදහසක් නැහැ. අවසාන වශයෙන්, අරගලයේ ප්‍රතිඵලයක් විදිහට, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත් වෙනවා.

දෙවනුව, රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරය දරද්දී පුළුල් ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළක් සාර්ථක ලෙස ක්‍රියාත්මක වී රටේ ආර්ථිකය නැවතත් යහපත් දිශාවකට තල්ලු වෙනවා. විදේශ සංචිත වර්ධනය වී රුපියල ශක්තිමත් වෙනවා. ඩොලරයක මිල පහළ යනවා. ඉතිහාසය අනුව බැලුවත්, ලෝකයේ අනෙක් රටවල් හා සසඳා බැලුවත්, ඉහළම මට්ටමක තිබුණු උද්ධමනය ඉතාම අඩු මට්ටමකට පහත වැටෙනවා. උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් මුලින් ඉහළ දමනු ලබන පොලී අනුපාතික තනි අංකයකට එනවා. හැකිළුණු ආර්ථිකය නැවත වර්ධනය වෙනවා. ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ "වැඩ කරන" බව මුලින් ගොඩක් අයට නොතේරුණත් එය බොහෝ දෙනෙකුට දැනෙන්න ගන්නවා. ජනාධිතිවරණය පැවැත්වෙන්නේ රට ලොකු අගාධයකට වැටිලා නැවත ඒ අගාධයෙන් එළියට පැමිණ සිටින පසුබිමක. 

ජනමතසමීක්ෂණ ප්‍රතිඵල අනුව, ජනාධිතිවරණ සටන තුළ කාලයක් තිස්සේම ඉදිරියෙන් සිටියේ මුලින්ම සටනට අවතීර්ණ වූ අනුර කුමාර දිසානායක. මේ ජනමතසමීක්ෂණ කිසිවක් සර්ව සම්පූර්ණ නොවුනත්, 3%කට ආසන්න ඡන්ද පදනමක සිටි මාලිමාව ඒ ඡන්ද පදනම විශාල ලෙස වර්ධනය කරගෙන සිටින බව පැහැදිලි කරුණක්. ජනාධිපතිවරණ ජයග්‍රහණයක් ගැන ලොකුවටම බලාපොරොත්තු තියාගෙන ඉන්න බව පේන්නේ මාලිමාවට සහයෝගය දක්වන අයයි. ඒ බලාපොරොත්තු කඩ වුවහොත් එය ඔවුන්ට විශාල කම්පනයක් වෙන්න පුළුවන්. 

තමන්ගේ ඡන්ද පදනම විශාල ලෙස වැඩි කරගෙන සිටියත් මාලිමාව 50% සීමාවට ඇවිත් නැහැ. මම හිතන්නේ එම පක්ෂයේ ඉහළ ස්ථරයට මේ පිළිබඳ සෑහෙන තරමට නිවැරදි තක්සේරුවක් තිබෙනවා. තුන් කොන් සටනකදී දෙවන හා තෙවන මනාප වලටද වටිනාකමක් ලැබෙන නමුත් මාලිමාවට දෙවන හා තෙවන මනාප පිළිබඳ බලාපොරොත්තුවක් නැති නිසා ඔවුන් උත්සාහ කරන්නේ කෙසේ හෝ පළමු වටයේදීම අවශ්‍ය ප්‍රතිශතය ලබා ගන්නයි. ඔවුන්ට එවැනි ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍ය වන තවත් හේතුත් තිබෙනවා. 

ජවිපෙ කියා කියන්නේ සංවිධාන ශක්තිය අතින් සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වලට වඩා ගවු ගණනක් ඉදිරියෙන් සිටි පක්ෂයක්. ජවිපෙ ඒ ලක්ෂණය මාලිමාව ඇතුළටත් සාර්ථක ලෙස පොම්ප කර තිබෙනවා. මාලිමාව පැත්තට නැඹුරු වෙන කෙනෙක්ව ඒ පක්ෂය ලේසියෙන් අත අරින්නේ නැහැ. මොනවා හෝ වගකීම් දී ඔවුන්ව ඇද බැඳ තියා ගන්නවා. ඒ හරහා ඔවුන් තමන් වෙත අලුතෙන් එකතු වූ කණ්ඩායම් කෙසේ හෝ රඳවා තබා ගැනීමට උත්සාහ කරනවා. ඒ අතරම, කොට්ඨාශ මට්ටමින් දත්ත එකතු කරමින් හා එම දත්ත මත පදනම්ව ඉලක්ක සකස් කර ගනිමින් ඉදිරි දින 57 තුළ 50% ඉලක්කය වෙත යාමට උත්සාහ කරමින් සිටිනවා.

කෙසේ වුවත්, මාලිමාව වටා මෙසේ විශාල පිරිසක් එක්රැස් වීමට හේතු වූයේ ඔවුන්ගේ සංවිධාන ශක්තිය නෙමෙයි. විශාල පිරිසක් ප්‍රධාන පක්ෂ දෙක සමඟම කලකිරීමයි. ඒ කලකිරීමට ප්‍රධානම හේතුව වූයේ ආර්ථික අර්බුදය. ආර්ථික අර්බුදයට හේතුව සුළු පිරිසක් විසින් රටේ ධනය හොරකම් කර ගැනීම ලෙස සලකමින්, හොරකම් නොකරන පිරිසක් බලයට පත් කර ගෙන, ඒ මගින් තමන්ගේ ජීවන මට්ටම සුඛිත මුදිත කර ගැනීමට ඔවුන් මාලිමාව වටා එක්රැස් වී සිටිනවා. ඔවුන්ව දිගටම තමන් වෙත රඳවා ගන්නට මාලිමාවේ සංවිධාන උපක්‍රම පිටිවහල් වී ඇතත්, ඒ උපක්‍රම වල උදවුවෙන් අලුත් පිරිස් මාලිමාව වෙත එකතු කර ගැනීම පහසු කාර්යයක් නෙමෙයි. ඒ සඳහා අවශ්‍ය වූ වාස්තවික තත්ත්වයන් මේ වන විට අහෝසි වෙලා.

ජනමතසමීක්ෂණ ප්‍රතිඵල අනුව, දිගින් දිගටම දෙවන තැන සිටියේ සජිත් ප්‍රේමදාසයි. පසුගිය මාස වලදී සජිත් හා අනුර අතර තිබුණේ ජනමතසමීක්ෂණයේ ප්‍රකාශිත මිනුම් වරදටද වඩා අඩු පරතරයක්. සංඛ්‍යානය අනුව, එයින් අදහස් වන්නේ සජිත් අනුරට වඩා ඉදිරියෙන් සිටින්නටද සැලකිය යුතු සම්භාවිතාවක් ඇති බවයි. අනුරට මෙන් නොව සජිත්ට දෙවන මනාප සැලකිය යුතු ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාවක්ද තිබෙන නිසා, මුල් වටයේදී අනුර පළමු තැනට ආවත් බොහෝ දුරට එහි තිබෙන්නේ සජිත්ට වාසිදායක තත්ත්වයකුයි. ජනාධිපති වීම සඳහා 50%ක ඡන්ද අනිවාර්යයෙන්ම අවශ්‍ය නොවෙතත්, මාලිමා කණ්ඩායම 50%ක් ලබා ගැනීමට ඉලක්ක කරන එක් ප්‍රධාන හේතුවක් වන්නේ මේ තත්ත්වයයි. 

මාලිමාවේ ඉහළ ස්ථරයේ සිටින අයගේ ප්‍රකාශ අනුව, ඔවුන් මුල සිටම මෙන් මේ ජනාධිතිවරණය දෙස බලා තිබුණේ තුන් කොන් සටනක් ලෙස නොව අපේක්ෂකයින් දෙදෙනෙකු අතර තරඟයක් ලෙසයි. මාලිමාවේ පැත්තෙන් බැලු විට මේ ප්‍රවේශයේ වැරැද්දක් නැහැ. කෙසේ වුවත්, ඔවුන් බොහෝ අවස්ථා වලදී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස සජිත් වෙනුවට රනිල්ව හඳුනාගෙන තිබුණු බවක් පෙනී ගියා. ඒ රනිල් අඩු වශයෙන්  තමන්ගේ ජනාධිතිවරණ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කර නොතිබුණු පසුබිමකයි. 

මාලිමාව විසින් තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස රනිල්ව හඳුනා ගැනීම එක පැත්තකින් නිවැරදියි. රටේ ජනතාවගේ තක්සේරුව හරියටම දැන ගන්න ලැබෙන්නේ ජනාධිතිවරණයෙන් පසුව වුවත්, පසුගිය දෙවසරකට නොඅඩු කාලය තුළ රටේ ක්‍රියාත්මක වූ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වල ප්‍රතිඵල මේ වන විට ඇස් පනාපිට පෙනෙන්නට තිබෙනවා. මේ ජනාධිතිවරණයේදී කිසිදු අපේක්ෂයෙකුට සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය මග හැර යාමේ හැකියාවක් නැහැ.

මේ වන මේ සාර්ව ආර්ථික ප්‍රතිපත්තියෙහි කොටස් රටේ නීතිය බවටද පත් කර අවසන්. ඒ අනුව, රනිල් වික්‍රමසිංහට යම් හෙයකින් නැවතත් ජනාධිපති විය හැකි වුවහොත් එම සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය දිගටම ක්‍රියාත්මක වන බව පැහැදිලියි. 

සජබ ආර්ථික ප්‍රතිපත්තිය දැනට ක්‍රියාත්මක ආර්ථික ප්‍රතිපත්තියෙන් විශාල ලෙස වෙනස් වන්නේ නැහැ. ඒ නිසා, එම පක්ෂයට මේ ආර්ථික ප්‍රතිපත්තිය බරපතල ලෙස විවේචනය කිරීමේ හැකියාවක් නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස, මිනිස්සුන්ගේ පැත්තෙන්, රනිල්ගේ හා සජිත්ගේ ආර්ථික ප්‍රතිපත්ති අතර ලොකු වෙනසක් නැතිව යනවා. එය ජනතාව කොයි අයුරකින් විනිශ්චය කරයිද යන්න පැහැදිලි නැහැ. 

මෙයින් වෙනස්ව මාලිමාව ජනතාව වෙත යන්නේ දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ විවේචකයෙකු ලෙසයි. එහිදී ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා ලෙස ඉස්මතු වන්නේ දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වල "හිමිකාරත්වය" වෙනුවෙන් පෙනී සිටින රනිල් වික්‍රමසිංහ මිස පැත්තක සිට "කොඩියක් වනන" සජිත් ප්‍රේමදාස නෙමෙයි. 

යම් හෙයකින් 50% ඉක්මවන ජනවරමක් ලබා ගත හැකිනම්, මාලිමාවට රටේ ආර්ථිකය හා සම්බන්ධව ඔවුන්ගේ "විද්‍යාගාර පරීක්ෂණ" සිදු කිරීම සඳහා සදාචාරත්මක හැකියාවක් මෙන්ම ප්‍රායෝගික හැකියාවක්ද ලැබෙනවා. ගෝටාබය රාජපක්ෂටද මෙවැනි "විද්‍යාගාර පරීක්ෂණ" සිදු කළ හැකි වූයේ ඒ සඳහා අවශ්‍ය ජනවරම ඔහුට ලැබී තිබුණු නිසා. වත්මන් සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටින අපේක්ෂකයින් විසින් වෙන වෙනම හෝ 50% ඉක්මවන ජනවරමක් ලබාගතහොත්, ඔවුන් කිසිවෙකුට බලයට පත් විය නොහැකි වුවද, අවශ්‍ය සදාචාරත්මක හා ප්‍රායෝගික හැකියාව මාලිමාවට ලැබෙන්නේ නැහැ. 

රනිල් වික්‍රමසිංහ කියන්නේ චරිත ලක්ෂණ අතින් ලංකාවේ සාමාන්‍ය දේශපාලනඥයෙකුට වඩා බොහෝ වෙනස් අයෙක්. මේ චරිත ලක්ෂණ වලට ලංකාවේ බොහෝ දෙනෙක් කැමති නැහැ. එමෙන්ම අවසන් වරට පැවති මහ මැතිවරණයේදී ඔහුට තමන් තරඟ කළ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වීම සඳහා අවශ්‍ය අවම ඡන්ද ප්‍රමාණය හෝ ලබාගත හැකි වූයේ නැහැ. එවර කොළඹ දිස්ත්‍රික්කයෙන් සජිත් ප්‍රේමදාස මනාප 305,744කුත්, අනුර කුමාර දිසානායක මනාප 49,914කුත් ලබා ගනිද්දී රනිල් වික්‍රමසිංහ විසින් ලබාගත්තේ මනාප 30,875ක් පමණයි. 

ජනප්‍රියත්වය ගිලිහී සිටි රනිල් වික්‍රමසිංහව මුලින් ජනප්‍රියව සිටියත් පසුව එම ජනප්‍රියත්වය අහිමි කරගෙන සිටි පොහොට්ටු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපති ලෙස පත් කර ගනිද්දී විපක්ෂ කඳවුර තුළ ඔහුගේ ජනප්‍රියත්වය තවත් පහළට වැටුනා වගේම ඔහුව රාජපක්ෂ පවුලේ ආරක්ෂකයෙකු ලෙස ලේබල් වීමක්ද සිදු වුනා. "රනිල් රාජපක්ෂ" යන්න ප්‍රචලිත යෙදුමක් බවට පත් වුනා. එහෙත්, මීට සමාන්තරව පොහොට්ටු කඳවුර තුළ රනිල්ට යම් වීරත්වයක්ද ආරෝපණය වෙන්නට පටන්ගෙන තිබෙනවා. ජනමතසමීක්ෂණ තුළ රනිල්ගේ ප්‍රතිශතය වේගයෙන් 15% දක්වා ඉහළ යාමෙන් පිළිබිඹු වන්නේ එයයි. 

කෙසේ වුවත්, ජනාධිපතිවරණය ජයගැනීම තවමත් ඔහුට ඉතා දුරස්ථ ඉලක්කයක්. මේ සඳහා රනිල් වික්‍රමසිංහ විසින් කඩුළු තුනක් පැනිය යුතුයි. ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඇප තැන්පත් කිරීමෙන් පෙනී යන්නේ ඔහු ආත්ම විශ්වාසයෙන් යුතුව පළමු කඩුල්ල ආසන්නයට පැමිණ සිටින බවයි.

රනිල් වික්‍රමසිංහ අපේක්ෂයෙකු ලෙස ඉදිරිපත්ව සිටින පසුබිමක වෙනත් පොහොට්ටු අපේක්ෂයෙකු සඳහා තවදුරටත් විශාල ඉඩක් ඉතිරි වී නැහැ. යම් හෙයකින් පොහොට්ටු අපේක්ෂයෙකු තරඟයට පැමිණියහොත් එවැන්නෙකු විසින් ලබා ගැනීමට ඉඩ තිබෙන ලජ්ජාසහගත ඡන්ද ප්‍රතිශතය අදාළ අපේක්ෂකයාට සහයෝගය දීමට ඉදිරිපත් වන පොහොට්ටු දේශපාලනඥයින්ට ඉදිරි මහ මැතිවරණයකදී තේරී පත් වීමට තිබෙන හැකියාව කෙරෙහිද බලපෑම් කිරීම නොවැලැක්විය හැකියි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර අවම වශයෙන් දින 52ක් යන තුරු මහ මැතිවරණයක් නොපැවැත්වෙන බැවින්, ජනාධිපතිවරණයකට පෙර මහ මැතිවරණයක් පවත්වනු ලැබීමේ ඉඩක් නැතත් අනුර හෝ සජිත් ජයගතහොත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. යම් හෙයකින් රනිල් ජයගත්තද මේ තත්ත්වයේ වෙනසක් නොවිය හැකියි. ඒ නිසා, පොහොට්ටු මන්ත්‍රීවරුන්ට නැවත මැතිවරණයකට යාම පිළිබඳව මේ මොහොතේ සිතන්නම වෙනවා.

රනිල්ට සහයෝගය ඉල්ලමින් ජනතාව වෙත යන පොහොට්ටු මන්ත්‍රීවරයෙකුට කියන්නට මොකක් හෝ කතාවක් තිබෙන නමුත් වෙනත් පොහොට්ටු අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටින අයෙකුට කියන්නට එවැනි කතාවක් නැහැ. අනෙක් අතට, යම් හෙයකින් රනිල් ජනාධිතිවරණය ජයගතහොත්, එළැඹෙන මහ මැතිවරණයකදී ඔවුන්ට යම් වාසිදායක තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා, පොහොට්ටු මන්ත්‍රීවරුන් තමන් වටා පෙළගස්වා ගැනීම මේ මොහොතේදී රනිල් වික්‍රමසිංහට අසීරු කාර්යයක් නෙමෙයි.

කෙසේ වුවත්, පොහොට්ටු අපේක්ෂයෙක් තරඟයට ආවොත් රනිල් හා එම අපේක්ෂකයා අතර පොහොට්ටු ඡන්ද බෙදී යන බැවින් රනිල්ටද වඩා අසීරු තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු වෙනවා. 

දෙවන හා තෙවන කඩුළු පැනීම ඒ තරම්වත් පහසු නැහැ. දෙවන වටයේදී රනිල් වික්‍රමසිංහට තරඟකරන්නට වෙන්නේ සජිත් ප්‍රේමදාස සමඟයි. ඒ තරඟය ජයගත හැකිනම් අනුර කුමාර දිසානායක සමඟ අවසන් තරඟය ඊට වඩා පහසු එකක්. 

සජිත් ප්‍රේමදාස හා රනිල් වික්‍රමසිංහ අතර තරඟය අනුර කුමාර දිසානායකට වාසිදායක එකක්. ඒ නිසාම, මාලිමාව මේ තරඟයට ඉඩ දී පැත්තකට වී බලා සිටින්නට ඉඩ තිබෙනවා. දැනට ඉදිරියෙන් සිටින සජිත්ගේ ඡන්ද රනිල් වෙත විතැන් වන තරමට එහි වාසිය අනුරට ලැබෙන නමුත් යම් හෙයකින් රනිල් සජිත් ඉක්මවා ඉදිරියට පැමිණියහොත් ඒ වහාම තත්ත්වය කණපිට හැරෙනවා. දින 57ක් තුළ එවැන්නක් නොවෙන්න පුළුවන්.

කෙසේ වුවත්, තනිතනිව තීරණ ගන්නා විශාල ඡන්දදායකයින් පිරිසක් මේ මොහොතේ ඉන්නවා. එය විශේෂ තත්ත්වයක්. මේ ගොඩක් අය ඉන්නේ යම් අර්බුදයකයි. ඒ එක පැත්තකින් පුද්ගලයෙක් ලෙස රනිල්ව "පෙන්නන්න බැරි" වුනත් තමන්ට අවශ්‍ය සාර්ව ආර්ථික වැඩපිළිවෙළ වෙනුවෙන් සෘජුව පෙනී සිටින බවක් පෙනෙන්නේද රනිල් තුළින්ම වීම තුළයි. 

ආර්ථික ස්ථායිකරණ වැඩපිළිවෙළ වෙත නැවත ආවොත්, එය මේ අයුරින් සාර්ථක කර ගත හැකි වූයේ ඒ සඳහා වක්‍ර ලෙස හෝ ලැබුණු පුළුල් මහජන සහයෝගය නිසයි. ගොඩ ගන්නට බැරි අගාධයක් වෙත තල්ලු වෙමින් තිබුණු ආර්ථිකය නැවත ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමේ දැවැන්ත කාර්ය භාරය පසුපස ප්‍රධාන චරිත තුනක් සිටිනවා. ඒ නන්දලාල් වීරසිංහ, මහින්ද සිරිවර්ධන හා රනිල් වික්‍රමසිංහයි. තවත් අය හිටියත් මුලටම ඉන්නේ මේ තුන් දෙනා. අර්බුදයෙන් පසුව තමන්ගේ නායකත්ව හැකියාවන් පෙන්නූ දේශපාලනඥයින් කිහිප දෙනෙක් ලැයිස්තුවේ ඊළඟ ස්ථාන වලට දමන්න පුළුවන්. 

නන්දලාල් වීරසිංහ මහ බැංකුව භාර ගැනීම සමාන කළ හැක්කේ ගිණි නිවන භටයෙක් ගිණිගෙන දැවෙන ගොඩනැගිල්ලක් ඇතුළට රිංගන එකටයි. එහි අවදානමට සාපේක්ෂව ඔහුට ලැබුණු පෞද්ගලික ප්‍රතිලාභයක් ඇතැයි මා සිතන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත් වෙන විටත් මහ බැංකුව පැත්තෙන් සිදු විය යුතු මූලික දේවල් වෙලා.

ඊළඟට අනෙක් දෙදෙනාට සාපේක්ෂව අඩුවෙන් අවධානයට ලක් වන මහින්ද සිරිවර්ධනගේ කාර්ය භාරය. විස්තර කරන්න යන්නේ නැතත් මේකත් දැවැන්ත එකක්. 

හැබැයි දේශපාලන නායකත්වය සහ සහයෝගය නොලැබුනානම් ඔය දෙපැත්තෙන්ම සිදු වූ දේවල් එක සීමාවකදී හිර වෙනවා. එතැනින් එහාට යන්නේ නැහැ. ඇත්තටම රනිල් ජනාධිපති වෙන කොටත් මේ හිරවීම සිදු වෙලා. 

දැන් මෙතැනදී කෙනෙක්ට අහන්න පුළුවන් පහසු ප්‍රශ්නය රනිල් වෙනුවට වෙන කෙනෙක් ඔය තැන හිටියානම් ඔය දේවල් ඔය විදිහටම වෙන්නේ නැද්ද කියන එක. ගොඩක් වෙලාවට නොවෙන්න පුළුවන්. මොකද මේ වගේ අවදානමක් ගන්න ලොකු ආත්ම විශ්වාසයක් අවශ්‍යයි. 

අපි දේශපාලනඥයෝ පැත්තකින් තියමුකෝ. පසුගිය දෙවසර තුළ ක්‍රියාත්මක වූ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ සාර්ථක වන බව පැහැදිලිව කටක් ඇරලා කියපු "විද්වත්තු" කී දෙනෙක් හිටියද? 

එහෙම අය කවුරුවත් හිටියේ නැහැ කියලා නෙමෙයි මම කියන්නේ. එවැනි විද්වතුන් යම් ප්‍රමාණයක් හිටියා. ඒ වගේම, දේශපාලනඥයෝ, සමාජ ක්‍රියාකාරීන් යම් ප්‍රමාණයක් හිටියා. ඒ අය, පෞද්ගලික වාසි නොබලා, මඩ කාගෙන නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටියා. නමුත් ගොඩක් හිටියේ එහෙම ගටක් නැති අය. 

නන්දලාල් වීරසිංහට හා මහින්ද සිරිවර්ධනට මේ ගට ආවේ ඔවුන්ගේ දැනුම හා පුහුණුව එක්ක ලැබී තිබුණු දුර දැකීමේ හැකියාව තුළින් බව තේරුම් ගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහට ඒ ගට ආවේ කොහොමද කියලා මම දන්නේ නැහැ. හැබැයි කොහොම හරි අවශ්‍ය ගට රනිල්ට තිබුණා.

මේක සෘජුව සංසන්දනය වෙන්නේ සජබ එක්ක. මොකද මාලිමාව කොහොමත් හිටියේ වෙනම ලයින් එකක. නමුත් සජබ යෝජිත වැඩපිළිවෙළ හා රනිල් ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙළ අතර වෙනස හොයන එක අර ඉස්සර රිවිරැස පත්තරේ තිබුණු ගුරුගෝල වෙනස හොයනවා වගේ වැඩක්. 

මේ වැඩපිළිවෙළ හෝ ඊට ආසන්නව සමාන වැඩපිළිවෙළක් වෙනුවෙන් පෙනී ඉන්න සජබට හැකි වුනත්, අභියෝගය භාර අරගෙන ක්‍රියාත්මක කරන්න ගටක් සජබට තිබී නැති බව මෑතකදී අලි සබ්‍රි විසින් කරපු එළිදරවු කිරීම් වලින් පැහැදිලි වෙනවා. අදාළ පාර්ශ්ව කිසිවක් අලි සබ්‍රි කියපු දේවල් ප්‍රතික්ෂේප කරලා නැහැ. 

දැන් මේ ජනාධිපතිවරණයේදී ජනතාව අතරට යන කිසිදු අපේක්ෂකයෙකුට ආර්ථිකය සම්බන්ධ තමන්ගේ අපේක්ෂිත ප්‍රතිපත්ති මග හැර යන්න බැහැ. (මේක ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ කියන පදනම මත මාලිමාව ඉලක්ක කර කරන විවේචනයක් නෙමෙයි. දන්නා තරමින් මාලිමාව ජනාධිපතිවරණයට කලින් ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්තිය එළියට දාන්නයි ඉන්නේ.) රනිල්ගේ ප්‍රතිපත්තිය මේ වෙද්දී නීතියක් කරලත් ඉවරයි. එතකොට වෙනත් කෙනෙකුට ඒක ඒ විදිහටම ක්‍රියාත්මක කරනවද නැත්නම් වෙනස් කරනවද කියලා පැහැදිලිව කියන්න වෙනවා. වෙනස් කරනවානම් ඒ කොහොමද කියලත් පැහැදිලිව කියන්න වෙනවා.

විශේෂයෙන්ම සජබ ගත්තහම, සජබ සතුව වෙනස් ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ. පොඩි පොඩි වෙනස්කම් පෙන්නන්න බැරිකමක් නැතත් ඒවා අර ගුරුගෝල වෙනස්කම් වගේ ඒවා පමණයි. මිනිස්සුන්ගේ පැත්තෙන් එකම ප්‍රතිපත්තිය. එතකොට මිනිස්සුන්ගේ පැත්තෙන් මතු වෙන ප්‍රශ්නය මේ එකම ප්‍රතිපත්තිය තමන් කැමති සජිත් ලවා ක්‍රියාත්මක කරගන්නවද නැත්නම් තමන් අකැමැති එහෙත් අවුරුදු දෙකක් තිස්සේ මේ වැඩේ හරියට කරලා තිබෙන රනිල් ලවා කර ගන්නවද කියන එක. මේක මාලිමා කඳවුරෙන් පිට ඉන්න අයගේ ප්‍රශ්නයක්.

රනිල්ගේ උපන් ගෙයි ගති ඉදිරි දවස් පනස් හතේදී වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා, රනිල්ගේ උපන් ගෙයි ගති සෙට් වෙන්නේ නැති අයට ඉදිරි දවස් පනස් හතේදී රනිල්ව සෙට් වෙන එකක් නැහැ. නමුත් මේ අයගෙන් කොටසක් හෝ තමන්ට රනිල්ව සෙට් වෙන්නේ නැත්තේ ඇයි කියන එක ගැන නැවත වරක් හිතන්න ඉඩ තිබෙනවා. ඔය තත්ත්වයන් එක්ක සජබ ඡන්ද යම් ප්‍රමාණයක් ඉදිරි දවස් 57 තුළ ගැලවිලා රනිල්ගේ පැත්තට ඇවිත් රනිල් දෙවන ස්ථානයට තල්ලු වෙන්න ඉඩක් තිබෙනවා. හැබැයි තවමත් ඒක වෙලා නැති නිසා තවමත් වාසිය තිබෙන්නේ සජිත්ට. 

මාලිමාව පැත්තෙන් ගත්තොත් කතාව වෙනස්. මාලිමාව පෙනී සිටින්නේ විකල්ප වැඩ පිළිවෙලක් වෙනුවෙන්. ඒක මොකක්ද වගේ දේවල් ඒ තරම් වැදගත් නැහැ. වැදහත් දේ බහුතර ජනතාව හිතන්නේ කොහොමද කියන එකයි. 

දැන් පවතින වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරනවානම් ඊට වඩා හොඳ වැඩපිළිවෙලක් ඒ වෙනුවෙන් ආදේශ කරනවා කියන එක මිනිස්සුන්ට ඒත්තු ගන්වන්න මාලිමාවට සිදු වෙනවා. දැනට මාලිමාව එක්ක න්නේ එහෙම විශ්වාසයක් තියෙන අය. නමුත් තමන්ගේ ඡන්ද පදනම තවත් පුළුල් කරගන්න උත්සාහ කරද්දී මාලිමාවට අභිමුඛ වෙන්නේ එහෙම විශ්වාසයක් නැති කණ්ඩායමක්. ඒ අයට දැනට ක්‍රියාත්මක වැඩ පිළිවෙලේ සාර්ථකත්වය ඇස් පනාපිට පේනවා. ඒ නිසා, තමන්ගේ බවුන්ඩරිය එහාට තල්ලු කර ගන්න එක මාලිමාවට ලේසි වැඩක් වෙන්නේ නැහැ.

ඔය තත්ත්වයන් එක්ක මේ මොහොතේදී මම දකින්නේ පැහැදිලි තුන් කොන් සටනක්. ඔය සටනෙන් සජිත්, අනුර වගේම රනිල් වුනත් ඉස්සරහට එන්න පුළුවන්. 

Thursday, July 18, 2024

ජනාධිපති හටන


තවමත් නිල වශයෙන් ලංකාවේ ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කර නැහැ. නමුත් රටේ පවතින නීතිය අනුව, තවත් මාස තුනක් ඇතුළත (ඔක්තෝබර්ජ 16 දිනට පෙර) ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි. 

නීතිය අනුව, ඊයේ (ජූලි 17) සිට, ඕනෑම මොහොතක මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ හැකියි. මැතිවරණ කොමිසමේ සභාපතිට අනුව මේ මාසය අවසන් වීමට පෙර එම කාර්යය සිදු වීමට නියමිතයි. ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව උපරිම වශයෙන් දින 63ක කාලයක් ඇතුළත එම මැතිවරණය පැවැත්විය යුතුයි. ඒ අනුව, අනපේක්ෂිත දෙයක් සිදු නොවුවහොත්, සැප්තැම්බර් මාසයේ අවසාන සති දෙක ඇතුළත ජනාධිපතිවරණය පවත්වනු ලැබීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.

මෙම ජනාධිපතිවරණය පිළිබඳව මීට පෙර කිසිදු ජනාධිපතිවරණයකට පෙර නොපැවති තරමේ උනන්දුවක් දැකිය හැකියි. ඊට පැහැදිලි හේතු තිබෙනවා. ඒවා කවුරුත් දන්න නිසා වීස්තර කරන්න අවශ්‍ය නැහැ. 

ආර්ථිකය ගැන කතා කරද්දී මෙන් නොව දේශපාලනය ගැන කතා කරද්දී මත ගැටුම් වලට වැඩියෙන් මුහුණ දෙන්න වෙනවා. විශේෂයෙන්ම මැතිවරණයක් ආසන්න වෙද්දී. ඉදිරියේදී මේ තත්ත්වය තවත් වර්ධනය වීමට නියමිත නිසා දේශපාලනයට සම්බන්ධ මාතෘකා ගැන කතා කරන එක කල් දමන එකේ තේරුමක් නැහැ. 

ලේඛකයා දේශපාලන විශ්ලේෂකයෙක් නොවුනත්, දේශපාලන විශ්ලේෂණ කියන්නෙත් ආර්ථික විශ්ලේෂණ වලම කොටසක්. ආර්ථික විද්‍යාව කියා කියන්නේ පුද්ගල චර්යාවන් ගැන හදාරන විද්‍යාවක්. සමහර අය හිතාගෙන ඉන්න විදිහට මුදල් ගැන හෝ ලාබ ගැන පමණක් හදාරන විද්‍යාවක් නෙමෙයි. ආර්ථික විද්‍යාවේදී මුදල් ගැන හැදෑරීමක් සිදු වෙන්නෙත් පුද්ගල චර්යාවන් ගැන හැදෑරීමේ දිගුවක් වීදිහටයි. ආර්ථික විද්‍යාවේදී ගොඩක් වෙලාවට වෙළඳපොළ ගැන කතා කරන්නේ වෙළඳපොලක් කියන්නේ පුද්ගල චර්යාවන්ගේ පිළිබිඹුවක් නිසා.

ජනාධිපතිවරණයක් හෝ වෙනත් මැතිවරණයක් කියා කියන්නෙත් හරියටම පුද්ගල චර්යාවන්ගේ පිළිබිඹුවක්. ඒ නිසා, ආර්ථික විද්‍යාවේ මූලධර්ම යොදාගෙන ජනාධිපතිවරණයක් ගැනත් විශ්ලේෂණය කරන්න පුළුවන්. ඊට අමතරව, මැතිවරණ ප්රතිඵල පුරෝකථනය කිරීම්දී යොදා ගන්නේ ආර්ථිකමිතියේදීද යොදා ගන්නා සංඛ්‍යානමය ආකෘති හා ක්‍රමවේද. ඒ නිසා, ඔය විෂයයන් ගැන තිබෙන පොඩි පුහුණුව අනුසාරයෙන් සහ ප්‍රසිද්ධ අවකාශයේ තිබෙන තොරතුරු යොදා ගනිමින් ජනාධිපතිවරණය ගැන යම් විශ්ලේෂණයක් කරන එක අමාරු වැඩක් නෙමෙයි.

මේ ජනාධිපතිවරණයේදී උදෙන්ම අවදි වූ කුරුල්ලෙක් ඉන්නවා. ඒ අනුර කුමාර දිසානායක. හරියටම කිවුවොත් අනුර කුමාර දිසානායක උදෙන්ම අවදි වූ කුරුල්ලෙකුත් නෙමෙයි. අවදි වෙන්න නිදා ගන්න ඕනෑනේ. ජනාධිපතිවරණය හා අදාළව අනුර කුමාර දිසානායක කියන්නේ රෑ එළිවන තුරු නිදි වරා අවදිව සිටින කුරුල්ලෙක්. උදෙන්ම අවදි වූ කුරුල්ලා කියා කියන්න පුළුවන් දෙවනුව පිටියට බැහැපු සජිත් ප්‍රේමදාසටයි. 

මැතිවරණ සමීක්ෂණ ලංකාවට සාමාන්‍ය දෙයක් නෙමෙයි. නමුත් මෙවර එක් ආයතනයක් විසින් මාස ගණනාවක් පුරා ජනාධිපතිවරණය පිළිබඳව සමීක්ෂණයක් සිදු කරනවා. එහි ප්රතිඵල අනුව ඉදිරියෙන්ම සිටින්නේ අනුර හා සජිත්. රනිල් වික්‍රමසිංහ දුරස්ථ තෙවන ස්ථානයක ඉන්නවා.

බොහෝ දෙනෙක් රනිල් වික්‍රමසිංහව ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස හඳුනාගෙන ඇතත් ඔහු තවමත් ඒ බව පැහැදිලි ලෙස නිවේදනය කර නැහැ. ජනාධිපතිවරණ තරඟය තුළ රනිල් වික්‍රමසිංහ කියන්නේ තවමත් අවදි නොවූ කුරුල්ලෙක්. සමහර විට හොරට නිදාගෙන ඉන්න කුරුල්ලෙක් වෙන්නත් පුළුවන්. 

ප්‍රමුඛ අපේක්ෂයින් දෙදෙනා අතර නැතත්, මේ මොහොතේ අපේක්ෂයෙක් විදිහට වැඩි අවධානයක් යොමු වී තිබෙන බව පෙනෙන්නේ රනිල් වික්‍රමසිංහ වෙතයි. මොකක් හෝ ගේමක් ගසා ඔහු අනෙක් අපේක්ෂකයින් අභිබවා ඉදිරියට එනු ඇතැයි ඔහුට කැමැත්තක් දක්වන අය හිතාගෙන ඉන්නවා. ඒ වගේම, ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ ඉන්න මාලිමා කණ්ඩායමත් රනිල්ව අභියෝගයක් විදිහට භාරගෙන තිබෙනවා. රනිල් වික්‍රමසිංහගේ හැසිරීම් අනුව වුනත් ජනාධිපතිවරණය ජයගැනීම පිළිබඳ යම් විශ්වාසයක් පේන්න තිබෙනවා. මේ තත්ත්වය සමීක්ෂණ වාර්තා සමඟ ගැලපිය හැක්කේ කොහොමද?

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ජනමත සමීක්ෂණ මත පදනම් වූ අලුත්ම (2024 ජූනී 24 දත්ත මත පදනම්ව, 2024 මැයි මාසය සඳහා ඉදිරිපත් කළ) ඇස්තමේන්තුව අනුව, ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ශක්තිය පහත පරිදියි.

අනුර කුමාර දිසානායක - 39%

සජිත් ප්‍රේමදාස - 38%

රනිල් වික්‍රමසිංහ - 15%

පොහොට්ටුවේ අපේක්ෂකයා - 7%

පළමු ප්‍රශ්නය මේ ඇස්තමේන්තු කොයි තරම් නිවැරදිද?

කෙටි පිළිතුර ජනාධිපතිවරණ ප්‍රතිඵලයේ දිශානතිය පිළිබඳව අදහසක් ගන්න තරම් නිවැරදියි. නමුත් හරියටම නිවැරදි නැහැ. 

මේ විදිහට ඉදිරිපත් කර තිබෙන්නේ අදාළ ආයතනය විසින් එකතු කරගත් "අමු" සමීක්ෂණ ප්‍රතිඵල නෙමෙයි. ඒවා ඇසුරෙන් එම ආයතනය විසින් සකස් කළ ඇස්තමේන්තු. එවැනි ඇස්තමේන්තු සකස් කළ හැකි සංඛ්‍යානමය ආකෘති හා ක්‍රමවේද පරිපූර්ණ නැහැ. අදාළ ආයතනයට අනුවම මෙම ඇස්තමේන්තු වල 1%-4% අතර වරදක් තිබිය හැකියි. මගේ පෞද්ගලික අදහසනම් ඉහත ඇස්තමේන්තු වල ඇස්තමේන්තු වරද ඊටත් වඩා වැඩි විය යුතු බවයි.

පහත තියෙන්නේ ඉහත ආයතනය විසින් තෙමසකට පෙර, 2024 මාර්තු 24 දත්ත මත පදනම්ව, 2024 පෙබරවාරි මාසය සඳහා ඉදිරිපත් කළ ඇස්තමේන්තු. 

අනුර කුමාර දිසානායක - 53%

සජිත් ප්‍රේමදාස - 34%

පොහොට්ටුවේ අපේක්ෂකයා - 7%

රනිල් වික්‍රමසිංහ - 6%

මෙම ඇස්තමේන්තු හා අලුත් ඇස්තමේන්තු සංසන්දනය කළහොත් පෙනී යන්නේ අනුර කුමාර දිසානායකගේ ඡන්ද ප්‍රතිශතය තෙමසක් තුළ 15%කින් පහත වැටී රනිල් වික්‍රමසිංහගේ ඡන්ද ප්‍රතිශතය 9%කින් ඉහළ ගොස් ඇති බවයි. සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ප්‍රතිශතයද 4%කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ වුවත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් අලුත් ඇස්තමේන්තු ප්‍රකාශයට පත් කරද්දී පෙර ඉදිරිපත් කළ ඇස්තමේන්තුද සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, 2024 පෙබරවාරි මාසයේදී පැවති මහජන කැමැත්ත පහත ආකාරයෙන් වෙනස් වී තිබෙනවා. 

අනුර කුමාර දිසානායක - 46%

සජිත් ප්‍රේමදාස - 38%

රනිල් වික්‍රමසිංහ - 8%

පොහොට්ටුවේ අපේක්ෂකයා - 8%

මේ අනුව පැහැදිලි වන පරිදි, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කළ ඇස්තමේන්තු අනුව අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාස අතර ඒ වන විට 18%ක පරතරයක් තිබුණත්, දැන් ඔවුන් කියන විදිහට ඒ වෙද්දී ඇත්තටම තිබී ඇති පරතරය එයින් තුනෙන් එකක් එනම් 6%ක් පමණයි!

ඉහත ඇස්තමේන්තු වල ඇස්තමේන්තු වරද 1%-4% මට්ටමට වඩා වැඩි බව තේරුම් ගැනීමට මේ වෙනස වුවද ප්‍රමාණවත් විය යුතුයි. මෙය එම ආයතනය විසින් හිතාමතා කළ වරදක් කියා මා කියන්නේ නැහැ. මෙය මෙවැනි සංඛ්‍යානමය ආකෘති ඇසුරෙන් පුරෝකථන සිදු කිරීමේදී සාමාන්‍යයෙන් සිදු විය හැකි දෙයක්. 

මෙම ඇස්තමේන්තු වැනි වෙනත් ඇස්තමේන්තුද තිබේනම් අප‍ට එක් සංඛ්‍යානමය ආකෘතියක තිබිය හැකි වැරදි වෙනත් සංඛ්‍යානමය ආකෘතියක් සමඟ සසඳන්න පුලුවන්. එහෙත් ලංකාවේ වෙනත් මෙවැනි ජනමත සමීක්ෂණ සිදු වන්නේ නැහැ. 

අඩුපාඩු තිබුණත්, මෙම සමීක්ෂණ ප්‍රතිඵල අනුව දැනට ජනමතය වෙනස්වන ආකාරය ගැන අදහසක් ගන්න පුළුවන්. මාලිමාවට තිබුණු සහයෝගය අඩුවෙමින් තිබීම සහ සජිත්ගේ හා රනිල්ගේ ජනප්‍රියතාවය ඉහළ යමින් තිබීම එසේ පැහැදිලිව හඳුනාගත හැකි එක් ප්‍රවණතාවක්.

සුදත්ත තිලකසිරි විසින් රට පුරා කරගෙන යන අවිධිමත් සමීක්ෂණ මාලාවෙන්ද ඉහත ප්‍රවණතා පිළිබිඹු වෙනවා. ඊට අමතරව, වෙරිටේ රිසර්ච් ආයතනය මගින් සිදු කරන සමීක්ෂණ මාලාවක ප්‍රතිඵලය අනුව රජයේ ප්‍රතිපත්ති අනුමත කරන ප්‍රමාණය කෙටි කලක් තුළ කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. එය සෘජුව ජනාධිපතිවරණය හා සම්බන්ධ වූ සමීක්ෂණයක් නොවුනත්, ඉහත සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ හා සුදත්ත තිලකසිරිගේ සමීක්ෂණ ප්‍රතිඵල හා ගැලපෙනවා. විධිමත් ක්‍රමවේදයක් නොවුනත්, පෞද්ගලිකව ඇසුරු කරන විවිධ දේශපාලනික අදහස් දරන නියැදියක් හා කතා කරද්දී නිරීක්ෂණය වන ඔවුන්ගේ ජනමතයද මේ ප්‍රවණතා පෙන්නුම් කරනවා. ඒ නිසා, වඩා හොඳ ඇස්තමේන්තුවක් නොමැති තත්ත්වයක් යටතේ විශ්ලේෂණයක් සඳහා පාදක කරගන්නට වෙන්නේ සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ අලුත්ම ඇස්තමේන්තුවයි. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ ක්‍රමවේදයේ තිබෙන ප්‍රධානම අඩුපාඩුවක් සේ සැලකිය හැක්කේ "හතරටම නැති" කොටස බැහැර කර තිබීමයි. සුදත්ත තිලකසිරිගේ අවිධිමත් සමීක්ෂණ අනුව, යම් අඩුවීමක් දැකිය හැකි වුවත්, මෙම කොටස මේ වන විටද අවම වශයෙන් 25%ක් පමණ වෙනවා. එම කොටස ඉවත් කළ විට දැකිය හැක්කේ පහත තත්ත්වයයි.

අනුර කුමාර දිසානායක - 29%

සජිත් ප්‍රේමදාස - 28%

රනිල් වික්‍රමසිංහ - 11%

පොහොට්ටුවේ අපේක්ෂකයා - 5%

වෙනත් - 25%

මෙම ඇස්තමේන්තු වල ඇස්තමේන්තු වරද සැලකිය යුතු තරම් විශාල විය හැකි වුවත්, පහත නිරීක්ෂණ නිවැරදි නොවන තරමට විශාල විය නොහැකියි. එම නිරීක්ෂණ මේවායි.

1. දැනට පවතින තත්ත්වය තුළ කිසිදු අපේක්ෂකයෙකුට මුළු ඡන්ද ප්‍රමාණයෙන් 50%ක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. එයින් අදහස් වන්නේ දෙවන හා තෙවන මනාප ගණන් කරන්නට සිදු විය හැකි බවයි.

2. ඉදිරියෙන් සිටින අපේක්ෂකයින් දෙදෙනා වන්නේ අනුර කුමාර දිසානායක හා සජිත් ප්‍රේමදාසයි. රනිල් වික්‍රමසිංහ ඔවුන් දෙදෙනාට කිට්ටුවක නැහැ.

දැනට පවතින තත්ත්වය තුළ රනිල් වික්‍රමසිංහට දෙවන වටයට යාමේ හැකියාවක් නැහැ. ජනාධිපති ධුරයට පත් විය හැක්කේ දෙවන වටයට යා හැකි අපේක්ෂකයන් දෙදෙනාගෙන් අයෙකුට පමණයි.

කෙසේ වුවත්, රනිල් වික්‍රමසිංහට නැවත ජනාධිපති වීමේ අපේක්ෂාවක් ඇති බව පෙනෙනවා. සජිත් ප්‍රේමදාසට හා අනුර කුමාර දිසානායකටද එවැනි අපේක්ෂා තිබෙන බව පැහැදිලි හා ප්‍රකාශිත කරුණක්. ඔවුන්ගෙන් අයෙකු අභිබවා පළමු අපේක්ෂයින් දෙදෙනා අතරට පැමිණීමේ හැකියාවක් රනිල් වික්‍රමසිංහට තිබේද?

මේ සඳහා රනිල් වික්‍රමසිංහට යම් හැකියාවක් තිබුණේනම් එය වේගයෙන් ක්ෂය වෙමින් යනවා. එයට ප්‍රධානම හේතුව ඔහු තවමත් තමන්ගේ අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කර තරඟයට අවතීර්ණ වී නොසිටීමයි. කෙසේ වුවත්, එය ඔහුට තනිව කළ නොහැක්කක්. යම් හෝ බලාපොරොත්තුවක් තියා ගන්නටනම් ඔහුට කළ එළි බසින්නට වෙන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවේ පූර්ණ සහයෝගය ලබන අපේක්ෂකයෙකු ලෙසයි.

එජාපය කියන්නේ පසුගිය මහ මැතිවරණයේදී 2% මට්ටමට වැටුණු පක්ෂයක්. මාලිමාව හා සජබය හා සසඳන විට එජාපය සතුව මේ වන විට රට පුරා ව්‍යාප්ත වූ සංවිධාන යාන්ත්‍රණයක් නැති තරම්. ඒ නිසා, පොහොට්ටුවේ පූර්ණ සහයෝගය නොමැතිව මුල් තැන් දෙකෙන් එකකට පැමිණීම රනිල් වික්‍රමසිංහට හිතන්නවත් බැරි දෙයක්. පොහොට්ටුවේ පූර්ණ සහයෝගය ලැබුනහොත් තත්ත්වය වෙනස් වෙනවා. එහෙත්, එය අනිවාර්ය අවශ්‍යතාවයක් මිසක් ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නෙමෙයි. 

ලංකාවේ ඡන්දදායකයින් බහුතරය සාමාන්‍යයෙන් ඡන්දය භාවිතා කරන්නේ "හානිය අවම කර ගැනීමේ" පදනම මතයි. "වාසි බලාගෙන" ඡන්දය භාවිතා කිරීම අදාළ වන්නේ ඡන්දදායකයින්ගෙන් සීමිත කොටසකට පමණයි.

මේ හේතුව නිසා, ප්‍රධාන පක්ෂ දෙක අතර ඡන්ද බෙදී ගොස් තිබුණු දිගු කාලය තුළ බොහෝ විට සිදු වුනේ දිනන්නට ඉඩ නැති පක්ෂයට සහයෝගය දැක්වූ සැලකිය යුතු පිරිසක් ඡන්දය දීමෙන් වැළකීම තුළ අනෙක් පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය ඉහළ යාමයි. එසේ ඡන්දය නොදී සිටීම මගින් තමන් මුලින් සහයෝගය දැක්වූ පක්ෂයෙන් කැඩෙන කොටස් වෙනත් පක්ෂයක් වෙත ආකර්ෂණය වීම යම් කාලයකට පසුව සිදු වූ දෙයක්. පාවෙන ඡන්දදායකයින් කියන්නේ මේ චක්‍රය මැතිවරණ චක්‍රයට වඩා කෙටි කාලයකින් සම්පූර්ණ කරන අයයි.

ඉහත හේතුව නිසා ඡන්ද ප්‍රචාරණ කටයුතු වලදී බොහෝ විට ප්‍රමුඛ උපාය මාර්ගය වන්නේ ප්‍රතිවිරුද්ධ පිලේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම නොව තමන්ගේ පිලේ සිටින ඡන්දදායකයින් දිගටම රඳවා ගැනීමයි. මෙය සාර්ථක උපාය මාර්ගයක්. 

කාලයක් තිස්සේ සිදු වුනේ කුමක් හෝ නිසා තමන්ගේ පිලෙන් තාවකාලිකව ඉවත් වන ඡන්දදායකයින්ගෙන් කොටසක් අනෙක් ප්‍රධාන පක්ෂය වෙත විතැන් වීමයි. නමුත් මෙවර කෙටිකලක් තුළ ප්‍රධාන පක්ෂ දෙකම අසාර්ථක වීම නිසා පොහොට්ටුවෙන් විතැන් වූ සැලකිය යුතු කොටසක් මාලිමාව වෙත විතැන් වුනා. මාලිමාව දිගින් දිගටම වෙර දරන්නේ එම පිරිස දිගටම තමන් සමඟ රඳවා ගැනීමටයි.

මාලිමාව වෙත විතැන් වී ඇති පිරිසට අමතරව යම් පොහොට්ටු ඡන්ද ප්‍රමාණයක් සජබ වෙතද විතැන් වී ඇති අතර රනිල්ගේ 15% (හෝ 11%) කියන්නේද වැඩි වශයෙන්ම පොහොට්ටු ඡන්දයි. මේ ඡන්ද ජනධිපතිවරණයකදී රනිල් වික්‍රමසිංහට ලැබෙනු ඇති නමුත් ඉන් පසුව පැවැත්වෙන මහ මැතිවරණයකදී එජාපයට ලැබේයයි සිතිය නොහැකියි. කෙසේ වුවද, ඔය කිසිම ගොඩකට ගොස් නැති, පොහොට්ටු ඡන්දද සැලකිය යුතු ප්‍රමාණයක් තවමත් තිබෙන බව මගේ අදහසයි.

සුදත්ත තිලකසිරිගේ සමීක්ෂණ වලදී "වෙනත්" ගොඩට වැටෙන ඡන්ද සියල්ලම නොවුනත් එයින් සැලකිය යුතු කොටසක් පොහොට්ටු ඡන්දයි. මේ අයට තිබෙන ප්‍රශ්නය තමන් තවමත් පොහොට්ටුව සමඟ බව කටක් ඇර ප්‍රසිද්ධියේ කියන්නට බැරි තරමේ සමාජ පීඩනයක් තවමත් තිබීමයි. මීට අමතරව, සුදත්ත තිලකසිරිගේ සමීක්ෂණ වලදී මෙන්ම සෞඛ්‍ය ප්‍රතිපත්ති සමීක්ෂණ ආයතනයේ ජනමත සමීක්ෂණ වලදීදීද අන්තර්ජාලය හෝ ජංගම දුරකථන පරිශීලනය නොකරන, වයස්ගත හා ග්‍රාමීය කොටස් ප්‍රමාණවත් තරමින් නියෝජනය වෙන්නේ නැහැ. එම කණ්ඩායම් අතර තවමත් පොහොට්ටුව සමඟ රැදී සිටින පිරිස් සිටින්නට වැඩි ඉඩක් තිබෙනවා. 

දැනට අකර්මන්‍ය වී තිබුණත් පොහොට්ටුව සතුව රට පුරා පැතිරුණු සංවිධාන ජාලයක් තිබෙනවා. එහි පහළ ස්ථරයට රෙද්දක් ඇඳගෙන ජනතාව වෙත යාමට තිබුණු නොහැකියාව මේ වෙද්දී රනිල් වික්‍රමසිංහ විසින් යම් තරමකින් නැති කර තිබෙනවා. එම යාන්ත්‍රණය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් සක්‍රිය වුවහොත්, රනිල් වික්‍රමසිංහ හා ඉදිරි පෙළ අපේක්ෂකයින් දෙදෙනා අතර පරතරය විශාල ලෙස අඩුවිය හැකියි. එසේ වුවද, සජබයෙන් ලොකු පළුවක් කඩා නොගෙන රනිල් වික්‍රමසිංහට දෙවන තැනට යාමේ හැකියාවක් නැහැ. ඒ වගේම, පොහොට්ටු වැඩපිළිවෙළ ඇතුළේ ඔය පහළ ස්ථරයට ලබා ගත හැකිව තිබුණු පෞද්ගලික වාසි රනිල්ගේ වැඩපිළිවෙළ ඇතුළේ පෙනෙන්නට නැති පසුබිමක පොහොට්ටු යාන්ත්‍රණය රනිල් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න තිබෙන ඉඩකඩ අඩුයි. 

රටේ ආර්ථිකය කෙටි කලක් තුළ ස්ථාවර කිරීම සඳහා රනිල් වික්‍රමසිංහගෙන් ලැබුණු දායකත්වය සුවිශේෂී එකක්. මෙය අදට වඩා විශාල ලෙස අගය කෙරෙනු ඇත්තේ අනාගතයේදී. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අතේ දැනට තිබෙන බැටන් පොල්ල වෙනත් අයෙකු අතට ඉක්මණින් මාරු වන තත්වයක් යටතේදී. කෙසේ වුවත්, මේ දායකත්වය පහසුවෙන් ඡන්ද බවට හැරවෙනු ඇතැයි රනිල් වික්‍රමසිංහ සිතන්නේනම් එය මුලාවක්.

රටේ ආර්ථික අර්බුදයට හේතුව හොරකම් පමණක් නොවන බව සිතන ප්‍රමාණය ඉහළ ගොස් ඇතත්, හොරු එළවීම ප්‍රමුඛ අභිප්‍රාය කරගත් විශාල පිරිසක් තවමත් රටේ ඉන්නවා. මාලිමාව වටා එකතු වූ පිරිස් තවමත් බොහෝ දුරට මාලිමාව සමඟ රැඳී ඉන්නවා. මේ අයගෙන් යම් කොටසක් මාලිමාව ජයගනු ඇතැයි පෙනුණු පසුබිමක "හානි අවම කර ගැනීමේ" ප්‍රවේශයෙන් මාලිමාව වටා එකතු වූ අයයි. මාලිමාව සම්බන්ධව බොහෝ දෙනෙකු හිතන ආකාරය සහ එම පක්ෂයේ ඇතැම් ක්‍රියාකාරීන් හැසිරෙන ආකාරය අනුව මාලිමාව ජයගන්නා බව පෙනේනම්, ඒ පැත්තට හේත්තු වෙන එක කෝකටත් හොඳ බව ලංකාවේ සැලකිය යුතු පිරිසක් හිතන ආකාරයයි.

මාලිමාව අභිබවා සජිත් ප්‍රේමදාස ඉදිරියට පැමිණෙන බව පෙනෙන පසුබිමක ඔවුන්ගෙන් කොටසක් මාලිමා කඳවුරෙන් හෙමින් සැරේ ලිස්සා යා හැකි අතරම එහි අනෙක් පැත්ත වුවහොත් මාලිමා රැල්ල ඉහළ යන්නත් පුළුවන්. ඒ අනුව, සජබ ඡන්ද රනිල්ගේ පැත්තට විතැන් වුවහොත් එයින් වක්‍ර ලෙස මාලිමාවට වාසියක්ද සිදු වෙනවා. කෙසේ වුවත්, දැනට පවතින තත්ත්වය තුළ අනුර කුමාර දිසානායකට (හෝ වෙනත් අපේක්ෂයෙකුට) 50% සීමාවට පැමිණීමේ හැකියාවක් පෙනෙන්න නැහැ. 

අනුර කුමාර දිසානායක විසින් මුළු ඡන්ද ප්‍රමාණයෙන් අවම වශයෙන් තුනෙන් එකක් ලබාගතහොත් රනිල් හා  සජිත් අතර බෙදී යන්නේ ඡන්ද ප්‍රමාණයෙන් තුනෙන් දෙකකට අඩු කොටසක්. ඒ අනුව, ගණිතමය ලෙස අනුර කුමාර දිසානායකව අභිබවිය හැක්කේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට පමණයි. මේ ගලඋඩ සටන තුළ දැනට ඉදිරියෙන් සිටින්නේ සජිත් බැවින් ඔහු රනිල්ට ඉදිරියට පැමිණීමට අවස්ථාවක් දීමේ ඉඩක් නැහැ. සජිත් රනිල්ට වඩා ඉදිරියෙන් සිටින තාක් සජබ සමඟ සිටින පිරිස් රනිල් කරා විතැන් වන්නේ නැහැ. එවැන්නක් සිදු විය හැක්කේ පොහොට්ටුව සක්‍රිය වී එහි උදවුවෙන් රනිල් සජිත්ගේ මට්ටමට ආසන්න වුවහොත් පමණයි. එසේ වුවහොත්, සජබ සමඟ සිටින පිරිස් රනිල්ගේ පිලට මාරු වීම ගැන දෙවරක් හිතන්නේ නැහැ. නමුත් රනිල් කඳවුරට මාස තුනක් ඇතුළත මේ තරම් පිම්මක් පනින එක ලේසි වැඩක් නෙමෙයි.

අනුර කුමාර දිසානායකට කැමැත්තක් දක්වන බොහෝ දෙනෙකු පළමු වටයේදීම ඔහුව තෝරාගන්නා බැවින් දෙවන වටයකදී ඔහුට ලබා ගත හැක්කේ සුළු ඡන්ද ප්‍රමාණයක් පමණයි. නමුත් රනිල්ට ඡන්දය දෙන සැලකිය යුතු පිරිසක් සජිත්ට දෙවන මනාපයක් දීමට ඉඩ තිබෙනවා. ඒ නිසා, අනුර කුමාර දිසානායකට ජනාධිපති වීමටනම්, පළමු වටයේදී සජිත්ට වඩා සැලකිය යුතු ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඉදිරියෙන් ඉන්නට සිදු වෙනවා. මෙම පරතරය කුඩා එකක්නම්, පළමු වටයේදී අනුර කුමාර දිසානායක ජය ගත්තද දෙවන වටය ජයගෙන ජනාධිපති වනු ඇත්තේ සජිත් ප්‍රේමදාසයි.

රනිල් වික්‍රමසිංහ පොහොට්ටු අපේක්ෂකයා වුවද ඔහුට ආකර්ෂණය කරගත නොහැකි පොහොට්ටු ඡන්ද යම් ප්‍රමාණයක් තිබෙනවා. හරියටම කිවුවොත් වාම ජාතිකවාදී ඡන්ද. රනිල්, සජිත් හා අනුර අතරින් මේ ඡන්ද ආකර්ෂණය කර ගැනීමේ වැඩි විභවයක් තියෙන්නේ අනුරටයි. දිලිත් වැනි අපේක්ෂකයෙකු ඉදිරිපත් වීම තුළ එම ඡන්ද මාලිමාව කරා යාමට නොදී රඳවා ගැනීමට හැකි අතර එහි වාසිය ලැබෙන්නේද සජිත්ටයි. 

සියලුම තත්ත්වයන් සලකා බැලූ විට, ජනාධිපතිවරණය ජයගැනීම රනිල් වික්‍රමසිංහට දුරස්ථ ඉලක්කයක්. එවැනි තත්ත්වයක් තුළ ඔහු තරඟයට පිවිසෙයිද? එසේ නැත්නම් ධම්මික පෙරේරා වැනි අයෙකු පොහොට්ටු අපේක්ෂයා ලෙස කරලියට එයිද? 

බැඳුම්කර ණයහිමියන් එක්ක මූලික එකඟතාවයක් ඇති කරගෙන අවසන්ව ඇතත්. මේ වගේ අවිනිශ්චිත පසුබිමක බැඳුම්කර හුවමාරු නිකුතුවක් සඳහා ඉල්ලුම්පත් කැඳවුවහොත් බැඳුම්කරහිමියන්ගෙන් කොටසක් පස්ස ගහන්න ඉඩ තිබෙනවා. ඒ නිසා, මේ වැඩේ මැතිවරණ අවසන් වන තුරු කල් දැමිය යුතු බව අදාළ ජාත්‍යන්තර උපදේශකයින් හා අනෙකුත් මැදිහත්කාර පාර්ශ්වයන් විසින් යෝජනා කරන්න ඉඩ තිබෙනවා. එහෙම වුනොත්, ඒ වැඩෙත් සිදු වනු ඇත්තේ ජනාධිපතිවරණයෙන් පස්සේ. 

Wednesday, April 3, 2024

මාලිමාව ආවොත් මොකක් වෙයිද?


මම හිතන්නේ, දැනට සිදු කෙරෙන ජනමත සමීක්ෂණ වල ප්‍රතිඵල අනුව, මාලිමාව ආවොත් මොකක් වෙයිද කියන එක තව දුරටත් මග හැර යා නොහැකි ප්‍රශ්නයක්. තවම මැතිවරණයක් ප්‍රකාශයට පත් කර නැහැ වගේම, ඇතැම් කණ්ඩායම්, විශේෂයෙන්ම එජාප හා පොහොට්ටු කඳවුරු, මැතිවරණ සටනට සෘජුව අවතීර්ණ වෙලා නැහැ. ඒ නිසා, ඉදිරි කාලයේදී ජනමතයේ විය හැකි වෙනස්කම් ගැන දැන්ම පූර්ව නිගමන වලට එන්න අමාරු වුනත්, ජනමත සමීක්ෂණ වල ප්‍රතිඵල අනුව මේ වන විට මාලිමා කණ්ඩායම ඉදිරියෙන් ඉන්නවා.

මාලිමා කඳවුර සමඟ එකතු වී හෝ එකතු වෙමින් සිටින අති මහත් බහුතරය එසේ කරන්නේ "ඒ අයටත් අවස්ථාවක් දීලා බලමු" කියන ප්‍රවේශයෙන් මිසක් ප්‍රතිපත්ති ප්‍රකාශ දිහා බලලා නෙමෙයි. එසේ වුනත්, මාලිමා ප්‍රතිපත්ති පිළිබඳව රටේ සැලකිය යුතු සංවාදයක් ඇති වී තිබෙනවා.

මේ වගේ සංවාදයක් ඇති වෙන්න හේතු දෙකක් තිබෙනවා. එකක් මාලිමා කඳවුරේ ඇතැම් අය විසින් මෙතෙක් කිසිම කෙනෙක් ලඟ නොතිබුණු අරුම පුදුම වැඩ පිළිවෙළක් ඔවුන් ළඟ තිබෙන බව පෙන්වන්න උත්සාහ කිරීම සහ ඇතැම් විට ඇත්තටම විශ්වාස කිරීම. දෙවන හේතුව එම කඳවුරට විරුද්ධ අයට ඇති වී තිබෙන සහේතුක බිය. මේ බියට හේතුව ජවිපෙ අතීත ක්‍රියාකාරකම් සහ ලෝකයේ වෙනත් සමාජවාදී පක්ෂ විසින් කර තිබෙන දේවල්.

මාලිමා ප්‍රතිපත්ති ලෙස සාකච්ඡාවට භාජනය වෙන්නේ 2019 මැතිවරණය ඉලක්ක කරගෙන එළිදැක්වූ ප්‍රතිපත්ති සහ ඉන් පසුව ආර්ථික අර්බුදය මුවවිටට පැමිණ තිබියදී 2021 වසර අවසානයේදී ඉදිරිපත් කළ "කඩිනම් ප්‍රවේශය". මේ ප්‍රතිපත්ති පැරණි සෝවියට් දේශයේ තිබුණු මධ්‍යගත සැලසුම් ක්‍රමය, මධ්‍යගත සැලසුමක් යටතේ වෙළඳපොළ හසුරුවන චීන ක්‍රමය සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය එකතු කරලා හදපු අච්චාරුවක් කියලා ගොඩක් අය කියන කතාව බොරුවක් නෙමෙයි. දේශපාලන පක්ෂයක් සම්ප්‍රේෂනීය අවදියක සිටිද්දී ඒ වගේ ප්‍රතිපත්ති අච්චාරුවක් හැදෙන එක සාමාන්‍ය තත්ත්වයක්.

ඇතැම් මාලිමා නායකයින් සඳහන් කර තිබුණු පරිදි ඔවුන් විසින් මේ වන විට ඉදිරි මැතිවරණ ඉලක්ක කරගෙන ඉහත ප්‍රතිපත්ති ප්‍රකාශන සංශෝධනය කරමින් ඉන්නවා. එසේ තිබියදී හිතාමතාම ඊට කලින් මේ විචාරය සිදු කරන්නේ සංශෝධිත ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න කලින් එවැන්නක් කිරීම වඩා යෝග්‍යයැයි අප සිතන නිසා. කණ්ඩායමක් විසින් කාලය යොදවා ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කළාට පස්සේ කාලයක් යන තුරු නැවත ඒවා සංශෝධනය කරන්න තිබෙන ඉඩකඩ අඩුයි. 

හැම දෙයක්ම වැරදි පැත්තෙන් ගන්නේ නැත්නම්, මේ වගේ විචාර දිහා බලලා අඩුපාඩු හදාගන්න ඔවුන්ට අවස්ථාවක් තිබෙනවා. "කලින් කියන්න තිබුණානේ" කියන විවේචනයට ඉඩ නොතබා දැන්ම මේ විචාරය කරන්නේ සංශෝධිත ප්‍රතිපත්ති වල අඩුපාඩු අඩු කරගැනීමට ඉඩක් ඉතිරි කරමිනුයි.

ඉහත කී ප්‍රතිපත්ති ප්‍රකාශ වල ඉලක්කය වූ 2019 ජාතික මැතිවරණ වලදී හෝ ඊට පෙර ජවිපෙට ආණ්ඩු බලය ලබා ගැනීමේ ප්‍රායෝගික ඉඩක් තිබුණේ නැහැ. එවැනි ඉඩක් තිබුණා කියලා ඔවුන් විශ්වාස කළා කියලත් මම හිතන්නේ නැහැ. අධි තක්සේරුවක හිටියත්, මාලිමාව හැදීමෙන් පසුව 2019 ඉලක්කය වුනේ ඡන්ද ප්‍රමාණය 15%-20% වගේ මට්ටමකට ඔසොවා ගන්න එක කියලයි මම හිතන්නේ. 

නමුත් දැන් තත්ත්වය වෙනස්. අර අන්දරේගේ හෝ නස්රුදීන්ගේ හෝ දෙන්නාගේම කතාවකට අනුව ලොකු ගලක් උස්සලා කරෙන් තිබ්බොත් එය ගෙනිහින් දෙන්නම් කිවුවා කියනවනේ. ඒ වගේ නිකමට කිව්වට පස්සේ හදිසියෙවත් මිනිස්සු එකතු වෙලා ගල උස්සලා කරෙන් තිබ්බොත් මොකද වෙන්නේ? 

ඔය වගේම, මිනිස්සු මාලිමාවට ආණ්ඩු බලය ලබා දුන්නොත් කිවුවා වගේම කරන්නත් වෙනවා. එම පක්ෂය විසින් දැනට ප්‍රසිද්ධ කර තිබෙන ප්‍රතිපත්ති ප්‍රකාශන සංශෝධනය කරද්දී "කිවුවා වගේම කරන්නත් වෙන එක" ගැන බරපතල ලෙස හිතන්න ඉඩ තිබෙන නිසා දැනට ඉදිරිපත් කර තිබෙන ලියැවිලි මීට වඩා ප්‍රායෝගික ලියැවිලි බවට පත් වෙයි කියා මම විශ්වාස කරනවා. 

මම මේ විචාරය තුළ මාලිමාවේ දේශපාලන ප්‍රතිපත්ති හෝ එම දේශපාලන ප්‍රතිපත්ති මත පදනම් වූ ආර්ථික ප්‍රතිපත්ති විවේචනය කරන්න ප්‍රමුඛතාවය දෙන්නේ නැහැ. ඒවා අනුමත කිරීම හෝ නොකිරීම ඡන්දදායකයින්ගේ වැඩක්. ප්‍රධාන වශයෙන්ම මම අවධානය යොමු කරන්නේ ආර්ථික ප්‍රතිපත්ති වල සංගත භාවය (consistency) වෙතයි. සංගත නැති ප්‍රතිපත්ති පැකේජයක් සමස්තයක් ලෙස ක්‍රියාත්මක කළ නොහැකියි.

සංගත නැහැ කියන්නේ ප්‍රායෝගිකව කරන්න බැහැ කියන එකම නෙමෙයි. ප්‍රායෝගික නැති ප්‍රතිපත්ති සංගත වෙන්න පුළුවන්. නමුත් සංගත නැත්නම් කිසිසේත්ම ප්‍රායෝගිකව කරන්න බැහැ. 

අවුරුද්දකට බිත්තර 250ක් දමන කිකිළියෙක් දමන බිත්තර ප්‍රමාණය 300 දක්වා වැඩි කරනවා කිවුවොත් එය සමහර විට ප්‍රායෝගික නැති වෙන්න පුළුවන්. නමුත් කෙනෙක්ට ප්‍රායෝගික නැති සේ පෙනෙන දෙයක් වෙනත් අයෙකුට ප්‍රායෝගික වෙන්න පුළුවන්. හැබැයි ඔය විදිහට කිකිළියෙක් දමන බිත්තර ප්‍රමාණය 300 දක්වා වැඩි කිරීම මගින් රටේ බිත්තර පරිභෝජනය දෙගුණ කරනවා කිවුවොත් ඒක කොහොමටවත් කරන්න බැරි දෙයක්. මොකද බිත්තර 500ක් නැතිව ඒ වැඩේ කොහොමටවත් කරන්න බැහැ.

සාර්ව ආර්ථික ප්‍රතිපත්ති වල සංගත භාවය පරීක්ෂා කරන එක ඉහත උදාහරණය වගේ සරල නැහැ. ඒ සඳහා විචල්‍ය විශාල ප්‍රමාණයක අන්තර් සම්බන්ධය ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි. විශාල කාලයක් වෙළඳපොළ ප්‍රතික්ෂේප කරන දේශපාලන දර්ශනයක් එක්ක ගොඩ නැගුනු පක්ෂයක් වෙළඳපොළ පැත්තට පොඩි හැරවුමක් ගනිද්දී ඒ සඳහා අවශ්‍ය මානව සම්පත් එක පාරටම හොයා ගන්න අමාරු වීම පුදුමයට කරුණක් නෙමෙයි. නමුත්, 2019 සිට වසර පහක කාලයක් තුළ මාලිමාව විසින් උගත් පාඩම් හා එකතු කරගත් අමතර මානව සම්පත් නැති වෙන්න හේතුවක් නැහැ. 

දැනට ඉදිරිපත් කර තිබෙන ප්‍රතිපත්ති ආර්ථික ක්‍රම තුනක අච්චාරුවක් වුනත්, ඇත්තටම ඒවා වැඩියෙන්ම බර චීන ක්‍රමයට. මධ්‍යගත සැලසුම් ක්‍රමයේ ලක්ෂණ දැකිය හැක්කේ ඉතාම අඩුවෙන්. ඒ කොටස් ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ කෘෂිකර්ම ප්‍රතිපත්තියේ. ඒවා පැරණි පක්ෂයේ දැඩි මතධාරීන් වෙනුවෙන් ඉතිරි කරපු සීනි තැවරුම් පමණයි කියන එකයි මගේ අදහස. මම මේ කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල තිබෙන දේවල් ගැන මිසක් ඇතැම් ජවිපෙ නායකයින් විසින් වරින් වර කියන දේවල් ගැන නෙමෙයි. පක්ෂයක් විශාල වෙද්දී එහි සාමාජිකයින්ගේ හා නායකයින්ගේ අදහස් පරාසය පුළුල් වීම සාමාන්‍ය තත්ත්වයක්.

රජය විසින් රටේ නිෂ්පාදන බලවේග වල පාලනය මුළුමනින්ම මෙන් ලබා නොගෙන මධ්‍යගත සැලසුම් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්න බැහැ. වර්තමාන ලෝක තත්ත්වය සහ ලංකාවේ ආර්ථික තත්ත්වය සැලකූ විට ඡන්දයකින් පත් වෙන ආණ්ඩුවකට ඒ තරම් දුර යාමේ හැකියාවක් නැහැ. සමගි පෙරමුණු ආණ්ඩුව ගියේ එහෙම යන්න පුළුවන් උපරිම දුර. ඒ ගියේ අදට වඩා ගොඩක් වෙනස් ලෝක තත්ත්වයක් තිබියදී. අද වෙද්දී ඒ මට්ටමේ මධ්‍යගත සැලසුමක් ආරක්ෂා කර ගත හැකි ලෝක තත්ත්වයක් නැහැ.

ප්‍රශ්නය තියෙන්නේ චීන, වියට්නාම් ආර්ථික ක්‍රම වුනත් ක්‍රියාත්මක කරන්නේ මැතිවරණ වලින් බලයට පත් වූ ආණ්ඩු විසින් නොවීමයි. මැතිවරණයකින් බලයට පත් වන ආණ්ඩුවකට ඒ තරම් දුරක් යන එක වුනත් විශාල අභියෝගයක්. ඒ නිසා, දැනට යෝජිත 2019 ප්‍රතිපත්ති වුනත් වඩා ප්‍රායෝගික අන්තයකට තල්ලු වීමේ ඉඩකඩ වැඩියි.

සමහර දොරවල් වලින් ඇතුළු වුනාට පස්සේ ආපසු හැරෙන්න බැහැ. කූඩුවක දමලා හදන සතෙක්ට එළියට යන්න දුන්නට පස්සේ නැවත කූඩුවටම එන්න පුළුවන් වුනත්, කාලයක් එළියේ ඉඳලා පුරුදු වුනාට පස්සේ කැමැත්තෙන් නැවත කූඩුවේ හිර වෙන්නේ නැහැ. ආර්ථිකයක් ක්‍රියාත්මක වෙන ආකාරය අත් දැකීමෙන් තේරුම් ගත්තට පස්සේ ඒ අවබෝධය ආපසු හැරෙන්නේ නැහැ. මෙය පුද්ගලයින්ට වගේම දේශපාලන පක්ෂයකටත් පොදු කරුණක්. ධනවාදය මානුෂික කරන බව කියමින් හැරවුමක් ගත්ත ශ්‍රීලනිපය නැවත ආපසු හැරුණේ නැහැ. 

ජවිපෙ කියන්නේ අවි බලයෙන් රාජ්‍ය බලය පැහැරගෙන තමන්ගේ පරමාදර්ශ මත පදනම් වූ රාජ්‍යයක් හැදීම සඳහා පිහිටුවා ගත් පක්ෂයක්. ඒ සඳහා කළ උත්සාහයන් දෙවරක්ම අසාර්ථක වුනා වගේම විශාල විනාශ වලින් කෙළවර වුනා. ඔය අතරවාරයේ වරින් වර එම පක්ෂය මැතිවරණ වලට ඉදිරිපත් වුනත් එසේ කළේ මැතිවරණයක් ජයගෙන ආණ්ඩුවක් පිහිටවීමට නොවන බව රහසක් නෙමෙයි. ගොඩක් වෙලාවට ඒ ටීම් එක ප්‍රධාන අරමුණ වෙනුවෙන් ආරක්ෂා කරගෙන බී ටීම් එකක් මැතිවරණ වලට ඉදිරිපත් කරන එකයි කළේ. 

කොහොම වුනත්, "සෙල්ලමට කරපු" ඔය වැඩේ කෙළවර වුනේ ජවිපෙ ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් වෙලා. මෑතකාලීනව ගොඩක් අවස්ථා වලදී මැතිවරණ මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ක්‍රමය ආරක්ෂා කර ගැනීම සඳහා සම්ප්‍රදායික දේශපාලන කඳවුරු දෙකේ පක්ෂ වලටත් වඩා වැඩියෙන් ජවිපෙ මැදිහත් වෙලා තිබෙනවා. අරගලය වෙලාවේනම් නැවත පොඩ්ඩක් පාරෙන් එළියට පැන්නා. හැබැයි ඊට පස්සේ වුනත් නොපැවැත්වුණු පළාත් පාලන මැතිවරණ සඳහා මාලිමා අපේක්ෂකයින් තෝරා ගනිද්දී අනෙක් දේශපාලන පක්ෂ වල නැති විවෘත ප්‍රවේශයක් නිරීක්ෂණය වුනා.

ජනමතය පිළිබඳව දැනට කළ හැකි නිරීක්ෂණ අනුව, අවාසිදායකම තත්ත්වයක් යටතේ වුනත්, මාලිමා කණ්ඩායමට ප්‍රධාන විපක්ෂය වෙන්න පුළුවන්. මාලිමා කණ්ඩායම බලයට ආවොත් හෝ ප්‍රධාන විපක්ෂය වුනොත් මාලිමාව ඇතුළේ ජවිපෙ දිය වී යන එක වලක්වන්න බැහැ. ඒක හරියට මැතිවරණ දේශපාලනය ඇතුළේ ජවිපෙ පැරණි විභවයන් නැති වෙලා ගියා වගේ වැඩක්. 

ජවිපෙ විසින් විවිධ සන්ධාන හැදීම අලුත් දෙයක් නෙමෙයි. නමුත් මීට කලින් ජවිපෙ විසින් හදපු සන්ධාන කිසිවක් ආර්ථික-දේශපාලන දැක්ම හා අදාළව ඔවුන්ගේ ආරම්භක පරමාදර්ශ වලින් බැහැර වුනේ නැහැ. මාලිමාව හැදීමත් එක්ක ඒ දේ වුනා වගේම ඒ වෙනස සාර්ථක වී තිබෙන බව ඇස් පනා පිට පේන දෙයක්. තවමත් පරණ හොල්මන් වරින් වර පේන්න ගන්නවා තමයි. නමුත් ඒවා නොපෙනී යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. 

ජාජබ 2019 මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන අනුව (ආර්ථික, 4 පිටුව), 2025 වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 8000ක් කරනවා. නමුත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශය හදන්නේ 2019දී. ඒ වන විට තිබුණු අලුත්ම සංඛ්‍යාලේඛණ අනුව, 2018දී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 4,102ක්. නමුත්, 2023 වන විට රටේ ඒක පුද්ගල ආදායම බොහෝ විට ඩොලර් 4000ට වඩා අඩුයි. ඉතා පැහැදිලිවම රටේ ඒක පුද්ගල ආදායම අවුරුදු දෙකකින් දෙගුණ කරන්න බැහැ. ඒ නිසා, ඒ වගේ දෙයක් අල්ලගෙන මාලිමා ප්‍රතිපත්ති විවේචනය කරන එක විහිළුවක්. නමුත්, වසර හයක කාලයක් ඇතුළත ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 8000ක් කරන්න පුළුවන්ද කියන එක තව දුරටත් වලංගු ප්‍රශ්නයක්. 

අප මාලිමා ප්‍රතිපත්ති දෙස සමස්තයක් ලෙස බලනු මිස තැනින් තැනින් කෑලි අරගෙන විවේචනය කරන්න යන්නේ නැහැ. ඒ වගේම, මේ ප්‍රතිපත්ති ප්‍රකාශන 2019දී සකස් කළ ඒවා බව අමතක කරන්නෙත් නැහැ. 

මීට අමතරව, දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශන පූර්ණ සාර්ව ආර්ථික වැඩපිළිවෙලකට ආදේශකයක් ලෙස අප සලකන්නේ නැහැ. මෙතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් විසින් එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කරලත් නැහැ. ඒ නිසාම, දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශන අංග සම්පූර්ණ නොවීම අප විසින් ප්‍රශ්නයක් සේ සලකන්නේ නැතත්, ඇතැම් අය මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශන සම්බන්ධව එසේ සිතා සිටින නිසාත්, ප්‍රතිපත්ති අංග සම්පූර්ණ නොවුනත් සංගත විය යුතු නිසාත් යම් විචාරයක් සිදු කිරීම යෝග්‍යයයි සිතනවා. 

රටක සාර්ව ආර්ථික ප්‍රතිපත්තියේ විදේශ අංශය පිළිබඳ කොටස හා අදාළව රජයකට කළ හැකි බලපෑම සීමිතයි. ගොඩක් දේවල් තීරණය වන්නේ රටෙන් පිටත ලෝක තත්ත්වයන් අනුවයි. ඒ වගේම, මුදල් හා මූල්‍ය අංශය සම්බන්ධ ප්‍රතිපත්ති තීරණය කරන්නේ මහ බැංකුවයි. එම ප්‍රතිපත්ති වලට බලපෑම් කළ හැක්කේ මහ බැංකුවේ කටයුතු වලට රජය බලපෑම් කරන්නේනම් පමණයි. ලංකාව වැනි රටක රජයට මූර්ත අංශය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කළ හැකි වුවත්, සෝවියට් පන්නයේ මධ්‍යගත සැලසුමකට නොයන්නේනම් රටේ මූර්ත අංශයේ වර්ධනයන් බොහෝ දුරට තීරණය කරන්නේ පෞද්ගලික අංශයයි. මාලිමා ආණ්ඩුවක් ආවත් මේ තත්ත්වය විශාල ලෙස වෙනස් වීමේ ඉඩක් නැහැ.

ඉහත පැහැදිලි කළ පරිදි, ආණ්ඩුව වෙනස් වූ පමණින් රටක මුදල් හා මූල්‍ය, විදේශ හා මූර්ත අංශයන්ගේ වර්ධනයන් සම්බන්ධව මුළුමනින්ම බලපෑම් කළ හැකි වන්නේ නැහැ. එහෙත්, රාජ්‍යමූල්‍ය අංශය සම්බන්ධ පාලනය තනිකරම තිබෙන්නේ රජය අතේ. අනෙක් අංශ වලට බලපෑම් කළ හැක්කේ ඒ හරහා වක්‍ර ලෙසයි. මේ හේතුව නිසාම, රාජ්‍යමූල්‍ය අංශය සම්බන්ධව කිසියම් දේශපාලන පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශන වල සඳහන්ව ඇති දේ එලෙසින්ම සිදු වීමේ ඉඩක් තිබෙනවා. මහින්ද චින්තන ප්‍රතිපත්ති මේ සඳහා උදාහරණයක්. මෙය මාලිමාවේ ප්‍රකාශිත නිල ප්‍රතිපත්ති වලටත් අදාළයි.

මෙයින් අදහස් කරන්නේ මාලිමා ආණ්ඩුවක් විසින් කියා ඇති දේ එලෙසම කරනු ඇති බවට අප‍ට සහතික විය හැකි බව නෙමෙයි. ඔවුන්ට අවශ්‍යනම් සහ ප්‍රතිපත්ති පැකේජය සංගතනම්, එසේ කිරීමේ තාක්ෂණික හැකියාවක් ඇති බවයි. කරන්නට අවශ්‍ය වුනත් ආර්ථිකයේ අනෙකුත් අංශ හා සම්බන්ධව රජයකට ඒ මට්ටමේ බලපෑමක් කළ නොහැකියි.

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය යනු, කෙටියෙන්, රජයේ ආදායම් හා වියදම්. සමස්තයක් ලෙස මාලිමා ප්‍රතිපත්ති තුළ දැකිය හැක්කේ රාජ්‍ය වියදම් වැඩි කිරීමේ ප්‍රවේශයක්. එසේ වැඩි කෙරෙන වියදම් ආවරණය කර ගැනීම පිණිස ආදායම් සැලකිය යුතු ලෙස වැඩි කර ගැනීමේ ඉලක්කයක්ද තිබෙනවා. මෙය සාමාන්‍යයෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික-දේශපාලන ක්‍රමයකදී සිදු වන දෙයයි. 

මේ සමඟම මතක් කළ යුතු තවත් දෙයක් වන්නේ ආසන්න වශයෙන් 2019 සිට ජවිපෙ විසින් තමන්ගේ ප්‍රතිපත්ති වල අනෙකා ලෙස නවලිබරල්වාදය තෝරාගෙන ඇති බවයි. මෙය බොහෝ දුරට නැති පිදුරු පඹයෙකු හදා ඒ නැති පිදුරු පඹයාට පහර දීමේ ප්‍රවේශයක්. නවලිබරල්වාදය ලෙස පොදුවේ සැලකෙන්නේ රජය කුඩා කර බදු අඩු කිරීමේ ප්‍රවේශයයි. එහෙත් මෙතෙක් ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති දෝලනය වුනේ බදු ආදායම් වලට සාපේක්ෂව විශාල රජයක් නඩත්තු කරමින් ණය වීමේ සිට අයවැය හිඟය අඩු කර ගැනීම ඉලක්ක කරගෙන බදු වැඩි කිරීම දක්වා වන පරාසය තුළයි. ඒ නිසා, ජවිපෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශය සඳහා විශාල වෙනස්කම් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. මෙහිදී බොහෝ විට සිදු විය හැක්කේ වෙනස්කම් කිරීමට වඩා වෙනස්කම් නොකර සිටීමයි. විශේෂයෙන්ම දැනට ඉතිරිව තිබෙන රාජ්‍ය ව්‍යවසාය හා අදාළව.

මාලිමා ප්‍රතිපත්ති හදන විට ලංකාවේ රාජ්‍ය අයවැය තුලනය වෙමින් තිබුණේ කොහොමද? 

පහත තිබෙන්නේ 2018 රාජ්‍ය අයවැයෙහි සාරාංශයක්. සියල්ල දදේනිහි ප්‍රතිශත ලෙස. (මේ සංඛ්‍යාලේඛණ පසුව සංශෝධනය වුනත්, මාලිමා ප්‍රතිපත්ති හදද්දී ප්‍රකාශිතව තිබුණේ මේ සංඛ්‍යාලේඛණයි.)

ආදායම =13.4%

පොලී හැර වියදම = 12.7%

ප්‍රාථමික අයවැය ශේෂය = 0.6%

පොලී වියදම = 5.9%

අයවැය ශේෂය = (-5.3%)

මෙම සංඛ්‍යාලේඛණ අතරින් රටේ ආර්ථික ස්ථාවරත්වය හා අදාළව වඩාත්ම වැදගත් වන්නේ අයවැය ශේෂයයි. මෙම ශේෂය හිඟයක්නම් අඩුව පුරවන්නට සිදු වන්නේ ණය ගැනීම මගිනුයි. මේ හා සම්බන්ධ මාලිමා ප්‍රතිපත්තිය වූයේ කුමක්ද? 

"අයවැය හිඟය 5% සීමාවේ පවත්වා ගැනීම" (ආර්ථික, 18 පිටුව). 

මෙයින් අදහස් වන්නේ මාලිමා ආණ්ඩුවක් යටතේද පැවති අයවැය හිඟය ආසන්න වශයෙන් එම මට්ටමේ නඩත්තු කරනවා කියන එකයි. පහත පෙන්වා ඇත්තේ 2018ට ආසන්න පෙර වසර වල අයවැය හිඟයයි. මැතිවරණ වසරක් වූ 2015 වසරේදී මෙම හිඟය වැඩි වූ අතර අනෙකුත් වසර වලදී 5% සීමාවට තරමක් ඉහළින් පැවති බව නිරීක්ෂණය කළ හැකියි. එම අනෙකුත් වසර වලදීද ඉලක්කය වූයේ මෙම හිඟය 5% හෝ අඩු මට්ටමක පවත්වා ගැනීමයි.

2012 - 5.6%

2013 - 5.4%

2014 - 5.7%

2015 - 7.6%

2016 - 5.3%

2017 - 5.5%

2018 - 5.3%

අයවැය හිඟය 5% සීමාවේ පවත්වා ගැනීම යන්නේ අදහස් වන්නේද එම සීමාව දක්වා අළුතෙන් ණය ලබා ගන්නට සිදු වන බවයි. මීට අමතරව, පැරණි ණය ගෙවීම සඳහා විශාල ණය ප්‍රමාණයක් අලුතෙන් ගන්නට සිදු වෙනවා. මෙය විශේෂයෙන් සඳහන් කළ යුතුව තිබෙන්නේ මාලිමා ආණ්ඩුවක් පැමිණි විට රජය අලුතෙන් ණය නොගෙන පරණ ණයද ගෙවාගෙන යනු ඇතැයි සිතාගෙන සිටින බොහෝ දෙනෙක් සිටින නිසයි.

කෙසේ වුවත්, පවතින සාර්ව ආර්ථික තත්ත්වයන් තුළ, ආණ්ඩුව කාගේ වුනත්, තවත් කාලයක් යන තුරු දිගින් දිගටම ණය නොගෙන ඉන්න බැහැ. ඒ නිසා, මාලිමා ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්ව තිබෙන මෙම ඉලක්කයේ වරදක් නැහැ. ඒ වගේම, එම ඉලක්කය හා අනෙකුත් ආණ්ඩු යටතේ පැවති අයවැය ශේෂ ඉලක්ක අතර ලොකු වෙනසකුත් නැහැ.

කොහොම වුනත්, මැතිවරණ අවුරුද්දක් වූ 2019දී රජයේ වියදම් ඉහළ ගියා. ඒ වගේම, කවුරුත් දන්න "බදු කැපිල්ලෙන්" පස්සේ රජයේ ආදායම් විශාල ලෙස අඩු වුනා. මේ හේතු නිසා 2021 වන විට අයවැය හිඟය 11.7% දක්වා ගියා. ඊට පස්සේ සිදුවුණු දේවල් තවම අමතක නැහැනේ. 

අයවැය හිඟය 11.7% වගේ මට්ටමකට යනවා කියන්නේ, අනෙකුත් පැවති තත්ත්වයන් එක්ක, ණය තිරසාරත්වය නැති වෙනවා කියන එක. ඒ කියන්නේ, පැවති ආණ්ඩු වල වගේම මාලිමාවේද ප්‍රකාශිත ප්‍රතිපත්තිය වූ, ණය අරගෙන ණය ගෙවන එක වුනත් තව දුරටත් කරගෙන යන්න බැහැ කියන එක. ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වුනේ ඒ නිසා. මීට සමාන්තරව සකස් කළ IMF වැඩ සටහන අනුව රජයේ අයවැය හිඟය පහත ආකාරයෙන් ටිකෙන් ටික අඩු වී යා යුතුයි.

2023 - 8.0%

2024 - 6.4%

2025 - 5.0%

2026 - 4.8%

2027 - 4.7%

2028 - 4.2%

මේ ඉලක්ක සහ මාලිමාවේ 2019 ප්‍රතිපත්තිය වූ "අයවැය හිඟය 5% සීමාවේ පවත්වා ගැනීම" යන්න අතර ලොකු නොගැලපීමක් නැහැ. ඒ නිසා, මාලිමාවට පහසුවෙන්ම දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ රාජ්‍ය අයවැය ඉලක්ක සමඟ එකඟ වෙන්න පුළුවන්. 

හැබැයි මාලිමාව ඔය අයවැය ඉලක්කයට යන්න ඉඩ තියෙන්නේ දැන් වැඩ පිළිවෙළේ ක්‍රමයටම නෙමෙයි. මාලිමාවේ ආදායම් ඉලක්කය වගේම වියදම් ඉලක්කත් වඩා වැඩියි. 

"රජයේ ආදායම වැඩි කිරීමට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස රජයේ ආදායම 20-25% දක්වා මට්ටමට ගෙන ඒම සඳහා විධිමත් සැලැස්මක් සකස් කොට ක්‍රියාත්මක කිරීම" (ආර්ථික, 17 පිටුව)

මේ ඉලක්කය IMF වැඩ සටහනේ ආදායම් ඉලක්ක වලට වඩා වැඩි ඉලක්කයක්. IMF වැඩ සටහනේ රාජ්‍ය ආදායම් ඉලක්ක පහත පරිදියි.

2023 - 11.0%

2024 - 13.3%

2025 - 14.9%

2026 - 15.0%

2027 - 15.1%

2028 - 15.3%

මේ අනුව, මාලිමාවේ ඉලක්කය තවත් 5%-10%කින් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමයි. එවිට, අයවැය හිඟය 5% සීමාවේ තියාගෙන 25%-30% දක්වා වියදම් වැඩි කරන්න පුළුවන්. නමුත් IMF වැඩ සටහන අනුව වියදම් ඔය තරමට වැඩි වෙන්නේ නැහැ. එම වියදම් ඇස්තමේන්තු පහත පරිදියි. 

2023 - 19.0%

2024 - 19.73%

2025 - 19.9%

2026 - 19.9%

2027 - 19.6%

2028 - 19.4%

දැන් මාලිමාව ඔය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන හැටියට රාජ්‍ය ආදායම 20-25% දක්වා වැඩි කරගත්තොත්, අයවැය හිඟය 5% සීමාවේ තියාගෙන වියදම් වැඩි කරන්න ඉඩක් ලැබෙනවනේ. එම වියදම් වැඩි වීම මොන විදිහට වෙයිද?

මාලිමා ආර්ථික ප්‍රතිපත්ති යටතේ අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් රාජ්‍ය වියදම් වැඩි කරන ආකාරය නිශ්චිත ලෙස සඳහන් කරලා තියෙනවා. එම වැඩි කිරීම් සාධාරණීකරණය කරමින් දීර්ඝ ලෙස හේතු දක්වලාත් තිබෙනවා. ඒ වගේම, අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් වැඩිපුර මුදල් වැය කිරීම (චීන සමාජවාදී ක්‍රමයේ කොහොම වුනත්) සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රමයක විශේෂ ලක්ෂණයක්. මේ හේතු සියල්ල නිසා මාලිමාව තවමත් මේ ඉලක්ක වල ඉන්නවා කියලා අපට හිතන්න පුළුවන්. 

"ක්‍රමිකව සහ සැලසුම්සහගතව දළ ජාතික නිෂ්පාදිතයෙන් අවම වශයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කිරීම" (කඩිනම්, පිටුව 12)

"සෞඛ්‍යය සඳහා දළ ජාතික නිෂ්පාදනයෙන් අවම වශයෙන් 5%ක්" (කඩිනම්, පිටුව 13).

මාලිමාවේම සංඛ්‍යාලේඛණ අනුව, 2017දී සෞඛ්‍යය වෙනුවෙන් රජය වැය කර තිබෙන්නේ 1.48%ක් පමණයි (සෞඛ්‍යය, පිටුව 8). මෙම ප්‍රතිශතය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බවත් එහි සඳහන්. 

මුදල් අමාත්‍යංශයේ දත්ත අනුව ඉහත ප්‍රකාශය නිවැරදියි. 2022දී රජය සෞඛ්‍යය වෙනුවෙන් රුපියල් බිලියන 308.5ක් වැය කර තිබෙන අතර එය දදේනියෙන් 1.28%ක් පමණයි. ඒ වගේම පාසැල් අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 298.1ක් සහ උසස් අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් බිලියන 75.6ක් ලෙස රුපියල් බිලියන 373.7ක් වැය කර තිබෙනවා. මෙම මුදල දදේනියෙන් 1.55%ක්. ඒ අනුව, අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් රජය විසින් 2022 වසරේදී වැය කර තිබෙන්නේ දදේනියෙන් 2.83%ක් පමණයි (මෙම මුදල දදේනියෙන් 2.83%ක් පමණක් වුනත් රාජ්‍ය ආදායමෙන් 34%කට වඩා වැඩියි. එය වෙනම කතාවක්).

දැන් මාලිමාව මෙම වියදම 11% (= 5% + 6%) දක්වා වැඩි කරන්නයි යන්නේ. ඒ කියන්නේ තව 8.2%කින් පමණ. අපි මේ වැඩේට 2028 වසර දක්වා කල් යනවා කියා හිතමු. ආණ්ඩුවකට ඔය වගේ දෙයක් හදිසියේ කරන්න බැහැනේ. දැනට අපේක්ෂිත 2028 රාජ්‍ය වියදම 19.4%ක් පමණයි. ඕකට තව 8.2%ක් එකතු කළ විට රාජ්‍ය වියදම 27.6% දක්වා ඉහළ යනවා. ආර්ථිකය ස්ථාවරව තියාගන්න 2028දී අයවැය හිඟය 4.2%කට සීමා කරන්න වෙනවා. ඒ අනුව, අවම වශයෙන් 23.4% දක්වා රාජ්‍ය ආදායම් වැඩි කරගන්න වෙනවා.

මාලිමාවේ ඉලක්කය රාජ්‍ය ආදායම් 20%-25% දක්වා වැඩි කර ගන්න එකනේ. අපි මෙම පරාසයේ උපරිම සීමාව වන 25% ගනිමු. අධ්‍යාපනය සහ සෞඛ්‍යය හා අදාළ ඉලක්ක වලට යන්න පමණක් වුනත් රාජ්‍ය ආදායම 23.4% දක්වා වැඩි කරගන්න වෙනවා. ප්‍රශ්නයක් නැහැනේ. තව 1.6%ක් දක්වා වියදම් වැඩි කරගන්න පුළුවන්. හැබැයි මාලිමා ප්‍රතිපත්ති වල වියදම් යන වැඩ තව මහ ගොඩක් තියෙනවා. 

ප්‍රතිපත්ති ප්‍රකාශ වල තිබෙන හැම දෙයකටම අනිවාර්යයෙන්ම වියදම් යන්නේ නැහැ. දැනට තිබෙන සම්පත් යොදාගෙන කළ හැකි දේවල් ගොඩක් තිබෙනවා. ප්‍රායෝගිකව කරන්න පුලුවන්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. හැබැයි සමහර දේවල් කරන්න අනිවාර්යයෙන්ම අමතර මුදල් අවශ්‍ය වෙනවා. පහත තියෙන්නේ එවැනි දේවල් කිහිපයක්. 

රාජ්‍ය ආයෝජන සහිතව නිෂ්පාදන කර්මාන්ත ශාලා 100ක් පිහිටුවීම (ආර්ථික, පිටුව 5)

නවීන තාක්ෂනය හා උපාංග සහිතව කිරි නිෂ්පාදන කර්මාන්තශාලා තුනක් ආරම්භ කිරීම (ආර්ථික, පිටුව 6) 

කොළඹ වරායට ප්‍රමුඛත්වය දෙමින් සියලු ප්‍රධාන වරාය නවීකරණය කිරීම (ආර්ථික, පිටුව 6) 

නැවු ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය සඳහා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම (ආර්ථික, පිටුව 6) 

ත්‍රිකුණාමලය තෙල් ටැංකි නවීකරණය (ආර්ථික, පිටුව 7) 

සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය කිරීම සහ නව පිරිපහදු අංගනයක් ඉදි කිරීම (ආර්ථික, පිටුව 7) 

පවුල් ලක්ෂ 6ක් සඳහා සමෘද්ධි දීමනාව වැඩි කිරීම (ආර්ථික, පිටුව 9)

සමෘද්ධි පවුල් වල උසස්පෙළ සමතුන්ට වසරක් ඇතුළත රැකියා හෝ රැකියා අවස්ථා ලබා දීම (ආර්ථික, පිටුව 9)

රාජ්‍ය බැංකු වලින් ලබා ගෙන තිබෙන සුළු පරිමාණ ණය කපා හැරීම (ආර්ථික, පිටුව 10)

කාන්තා ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රාග්ධනය සහිතව ක්ෂුද්‍ර පොකුරු සමාගම් 15,000ක් ඇති කිරීම (ආර්ථික, පිටුව 11)

මස් නිෂ්පාදනය කරන ආයතන වලට අවශ්‍ය යෙදවුම් අඩු මිලට ලබා දීම (ආර්ථික, පිටුව 12)

මහා පරිමාණ වෙළඳ හා හුවමාරු මධ්‍යස්ථාන 24ක් ඇති කිරීම (ආර්ථික, පිටුව 13)

විදුලි බස් පද්ධතියක් ඇති කිරීම, මාර්ග ඇති කිරීම, දුම්රිය විදුලිනය සහ සැහැල්ලු දුම්රිය පද්ධතියක් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වල ඇති කිරීම (ආර්ථික, පිටුව 28)

කෘෂිකාර්මික හා අනෙකුත් කර්මාන්ත සඳහා අවශ්‍ය සුළු උපකරණ දේශීයව නිපදවීම සඳහා මූල්‍ය පහසුකම් (ආර්ථික, පිටුව 5)

4% අඩු පොලියට කෘෂිකාර්මික ණය ලබා දීම (කෘෂි, පිටුව 5)

ඒකාබද්ධ කෘෂිබිම් සංවර්ධනය සහ අස්වනු නෙලීම සඳහා යන වියදමෙන් 50%ක් රජය මගින් දැරීම (කෘෂි, පිටුව 6)

වී සඳහා සහතික මිලක් සහ දිරි දීමනා (කෘෂි, පිටුව 6)

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහන ණය (කෘෂි, පිටුව 6)

ශීතන පහසුකම් සහිත ප්‍රවාහන ජාලයක් (කෘෂි, පිටුව 19)

ඒකාබද්ධ ගොවිබිම් ආසන්නයේ රජයේ වියදමින් තට්ටු නිවාස (කෘෂි, පිටුව 10)

බහුජාතික සමාගම් වෙත ලබා දී ඇති ඉඩම් නැවත පවරා ගැනීම (කෘෂි, පිටුව 10)

මහා වාරිමාර්ග පද්ධතිය කඩිනමින් පිළිසකර කිරීම (කෘෂි, පිටුව 9)

කුඩා වැව් දසදහසක් ප්‍රතිසංස්කරණය කිරීම (කෘෂි, පිටුව 9)

කෘෂිකර්ම උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් 2000ක් (කෘෂි, පිටුව 9)

කිරි වලට සහතික මිලක් (කෘෂි, පිටුව 12)

ඔය තිබෙන්නේ කරන්න යන දේවල් වලින් කොටසක්. මේ දිග ලැයිස්තුවේ තිබෙන දේවල් කරන්න කොයි තරම් මුදලක් වැය වෙනවාද කියා මම ඇස්තමේන්තු කරන්න යන්නේ නැහැ. නමුත්, දදේනියෙන් 1.6%කින් එනම් රුපියල් බිලියන 400-450කින් පමණ, මේ හැම දෙයක්ම කරන්න බැරි බව අමුතුවෙන් කිව යුතු නැහැ. කුඩා වැව් දසදහසක් ප්‍රතිසංස්කරණය කිරීම වැනි සමහර දේවල් අඩු වියදමකින් සංදර්ශනාත්මක ලෙස පමණක් කරන්න ඉඩ තිබුණත් ගොඩක් දේවල් එහෙම කරන්න බැහැ. සෘජුවම අරමුදල් වෙන් කරන්න සිදු වෙනවා. 

ඒ කියන්නේ, රාජ්‍ය ආදායම 25% මට්ටමට වැඩි කර ගත්තත්, අධ්‍යාපනය හා සෞඛ්‍යය වෙනුවෙන් ඉලක්කගත වියදම් වෙන් කළාට පස්සේ ඔය ලැයිස්තුවේ තිබෙන දේවල් වලින් කළ හැක්කේ සුළු ප්‍රමාණයක් පමණයි. එහෙම නැත්නම්, එක්කෝ අධ්‍යාපනය හා සෞඛ්‍යය සඳහා වියදම් අඩු කරන්න වෙනවා. නැත්නම් අයවැය හිඟය වඩා වැඩි කරගෙන තව තව ණය වෙන්න වෙනවා. එහෙම කරන්න ගියොත් නැවත ණය තිරසාරත්වය නැති වී ආර්ථිකය කඩා වැටෙන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

ඔය ටික කරන්නත් රාජ්‍ය ආදායම 25% මට්ටමට වැඩි කර ගත යුතුයිනේ. පසුගිය වසර වල කරපු බදු වැඩි කිරීම් වලින් පසුව සහ ඉදිරියේදී පැනවීමට නියමිත ධන බද්ද වැනි අලුත් බදු වලින් පසුවත් රාජ්‍ය ආදායම වැඩි වීමට නියමිත 15.3% මට්ටම දක්වා පමණයි. මෙය තවත් 10%කින් පමණ වැඩි කර ගැනීම සඳහා තිබෙන යෝජනා මොනවාද?

රාජ්‍ය ආදායම වැඩි වෙන යෝජනා කෙසේ වුවත් අඩු වන යෝජනානම් ගණනාවක් තිබෙනවා. පහත තිබෙන්නේ ඒවායින් කිහිපයක්.

ආහාර, ඖෂධ, සෞඛ්‍ය සේවා ආදිය වැට් බදු වලින් නිදහස් කිරීම (ආර්ථික, පිටුව 17)

භාණ්ඩ හා සේවා නිෂ්පාදනයට පුද්ගලික අංශය සහභාගී කර ගැනීම සඳහා බදු සහන (ආර්ථික, පිටුව 5)

නවෝත්පාදන හා අංකුර නිෂ්පාදකයන් සඳහා බදු සහන (ආර්ථික, පිටුව 5)

කෘෂිකාර්මික හා අනෙකුත් කර්මාන්ත සඳහා අවශ්‍ය සුළු උපකරණ දේශීයව නිපදවීම සඳහා බදු සහන (ආර්ථික, ආර්ථික, පිටුව 5)

සියලු කෘෂි යන්ත්‍රෝපකරණ බදු වලින් නිදහස් කිරීම (කෘෂි, පිටුව 5)

වක්‍ර බදු 40% දක්වා අඩු කිරීම (ආර්ථික, පිටුව 17)

අනවශ්‍ය අතරමැදි ක්‍රියාකාරකම් ඉවත් කිරීම (ආර්ථික, පිටුව 14)

විදේශ ශ්‍රමිකයන්ට බදු සහන (ආර්ථික, පිටුව 23)

මේ හැම දෙයකින්ම වෙන්නේ රාජ්‍ය ආදායම අඩු වීමයි. ඊට අමතරව, බදු අනුපාතික වැඩි නොකිරීම (ආර්ථික, පිටුව 17) ගැනද සඳහන් කර තිබෙනවා. 

රාජ්‍ය ආදායම් වැඩි වෙන යෝජනාත් එකක් දෙකක් තිබෙනවා.

බලශක්ති භාවිතය මත පරිසර බදු (ආර්ථික, පිටුව 28)

වාහන නගර වලට ඇතුළු වීමේදී අවහිරතා බද්දක් (ආර්ථික, පිටුව 29)

මීට අමතරව, වරණ තීරු බදු (ආර්ථික, පිටුව 5 හා 15) ගැන සඳහන්ව තිබෙන අතර රාජ්‍ය ආදායම කෙරෙහි එම බදු වල බලපෑම අවිනිශ්චිතයි. මෙම බදු හා අදාළ ප්‍රතිපත්තිය ආරක්ෂණවාදයයි. එනම්, බදු වැඩි කිරීම මගින් රටේ නිපදවා ගත හැකි දේ ආනයනය කිරීම සීමා කර බදු සහන හරහා අපනයන දිරි ගැන්වීමයි. වරණ තීරු බදු මගින් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ ඉලක්කයක් ගැන නිශ්චිතව සඳහන් කර නැහැ. 

ඉතා පැහැදිලිවම ඉහත ප්‍රතිපත්ති වලින් සිදු වන්නේ රාජ්‍ය ආදායම කීයකින් හෝ අඩු වීමයි. එසේනම්, රාජ්‍ය ආදායම වැඩි කර ගැනීමේ උපාය මාර්ගය කුමක්ද?

එක් උපාය මාර්ගයක් විය හැක්කේ රාජ්‍ය ව්‍යවසාය වලින් ආදායම් ලැබීමයි. එහෙත්, විවිධ තැන් වල සඳහන්ව ඇති දේවල් අනුව පෙනෙන්නේ මාලිමාව විසින් රාජ්‍ය ව්‍යවසාය බොහොමයක් පවත්වාගෙන යාමේ අරමුණ ලාබ ලැබීම නොවන බවයි. ඊට අමතරව, දැනට පෞද්ගලික අංශය විසින් කරන කටයුතු වලට රාජ්‍ය අංශය වැඩියෙන් මැදිහත් වීමේ ප්‍රතිඵලය වන්නේ පෞද්ගලික අංශයේ ලාබ අඩු වී රජයේ බදු ආදායම් අඩු වීමයි. 

මම මේ විචාරයේදී මාලිමාවේ දේශපාලන ප්‍රතිපත්ති හෝ ඒ සමඟ ගැට ගැසී ඇති ආර්ථික ප්‍රතිපත්ති විචාරයකට ලක් කරලා නැහැ. ඒවා ඒ විදිහටම ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාවය පිලිබඳව පමණයි විමසා බලා තියෙන්නේ. ඒ වගේම, චෙරි පික් නොකර මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල තිබෙන රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තියට අදාළ නිශ්චිත දේවල් හැම එකක්ම වගේ අරගෙන තිබෙනවා. එහෙම ගත්තට පස්සේ පැහැදිලිව පෙනෙන පරිදි, වියදම් වැඩි වෙන දේවල් තියෙන තරමට ආදායම් වැඩි වෙන දේවල් නැහැ. ආදායම් අඩු වෙන දේවල්නම් තියෙනවා. 

මෙම ප්‍රකාශන වල සඳහන්ව නැතත්, අයවැය හිඟය වැඩි නොකර තියා ගන්න පුළුවන් වෙන ක්‍රම නැද්ද?

වේදිකා වල කාලයක් තිස්සේ කියපු විදිහටනම් විදේශ රටවල හංගලා තිබෙන සල්ලි ආපහු රටට අරගෙන ඇවිත් මේ හිඟය පියවගන්න පුළුවන්. මේ හා අදාළව ලොකු ගණන් හිලවු ඉදිරිපත් කරමින් ඒ දවස් වල කිවුවේ "මේ අයිස් කන්දේ ශිඛරය විතරයි" කියලා. හැබැයි දැන් විමසිල්ලෙන් කල්පනා කරලා බැලුවොත් ඔය කතාව හෙමිහිට ජන විඥානයෙන් අමතක වෙන්න ඇරලා කියලා තේරෙන්නේ නැද්ද? ආණ්ඩු බලය ලැබීමේ "අවදානම" නැති තාක් ඔය වගේ කතා කියන්න පුළුවන්. 

ඊළඟ කතාව නොගෙවූ බදු අය කර ගැනීම. මේ කතාවනම් පදනමක් තිබෙන කතාවක්. නියම විදිහට බදු එකතු වෙනවානම් රජයේ බදු ආදායම මීට වඩා වැඩි විය යුතුයි. නමුත් මේ ප්‍රමාණය කොපමණද? දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%කට පමණ සමාන අමතර බදු ප්‍රමාණයක් වාර්ෂිකව එකතු කර ගන්න පුලුවන්ද? එහෙම කරන්න පුළුවන්නම් ඔය රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති සෑහෙන දුරකට ක්‍රියාත්මක කරන්න පුළුවන්.

බදු පදනම වැඩි කර ගැනීමේ හා බදු දැල ශක්තිමත් කර ගැනීමේ වැඩ පිළිවෙලක් දැනටත් ක්‍රියාත්මකව තිබෙනවා. සියල්ලන්ටම බදු අංක ලබා දීම, වාහන මිල දී ගැනීම හා ඉඩම් මිල දී ගැනීම වැනි අවස්ථා වලදී බදු ගොනු විවෘත කිරීම වගේ විවිධ උපක්‍රම ක්‍රියාත්මක කරලා තමයි බදු ආදායම 2028 වන විට 15.3% මට්ටමට උස්සා ගන්න හදන්නේ. ඒ මට්ටමට යන එකත් විශාල අභියෝගයක්. එහෙම තියෙද්දී 25% වගේ මට්ටමකට යනවා කියන්නේ ප්‍රායෝගිකව ඉතාම අසීරු වැඩක්. 20% වුනත් ලේසි නැහැ.

මේ වැඩේ කරන්න හදන්නේ වක්‍ර බදු වැඩි නොකර බවත් අමතක නොකළ යුතුයි. 2022 වසරේදී එකතු කරගත් සෘජු බදු (ආදායම් බදු) ප්‍රමාණය දදේනියෙන් 2.2%ක් පමණයි. බදු ආදායමෙන් 60%ක් පමණ සෘජු බදු වලින් ගන්න යනවා කියන්නේ වක්‍ර බදු ආසන්න වශයෙන් දැන් තියෙන මට්ටමේම තියාගෙන සෘජු බදු 15% පමණ දක්වා වැඩි කරන්න වෙනවා කියන එකයි. ඒ කියන්නේ හය හත් ගුණයකින් එම බදු ආදායම් වැඩි කරගන්න වෙනවා. 

දැනට සෘජු බදු ගොඩේ වැඩිපුරම තියෙන්නේ සමාගම් මත අය කරන බදු. පළමුව, සමාගම් වල ලාබය මුළුමනින්ම, ඒ කියන්නේ 100%ක්ම බදු විදිහට අය කර ගත්තත් ඔය තරම් බදු ආදායමක් එකතු වෙන්නේ නැහැ. සමාගම් බදු අනුපාතය දැනටත් 30%ක්. ඔය අනුපාතය දෙගුණයක් කළත් බදු ආදායම දෙගුණ වෙන එක පමණයි වෙන්නේ. මේ කතා කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ගැන නිසා දළ දේශීය නිෂ්පාදිතය වැඩි කරගන්නවා කියන එක පිළිතුරක් නෙමෙයි.

දෙවනුව, සමාගම් බදු වැඩි කළ විට ඒ බදු පාරිභෝගිකයා මත පැටවෙන එකයි වෙන්නේ. ඒ නිසා, එයත් වක්‍ර බද්දක් වගේම වෙනවා. හරියටම සෘජු බදු කියා කියන්න පුළුවන් පුද්ගල ආදායම් බදු වලටයි. පුද්ගල ආදායම් බදු නොගෙවන අයව බදු දැලට අල්ලා ගන්න එක කළ යුතුම දෙයක් වුනත්, ඒ වැඩෙන් රාජ්‍ය ආදායම් වැඩි කරගත හැකි සීමාවක් තියෙනවා. ඊට අමතරව පුද්ගල ආදායම් බදු විශාල ලෙස වැඩි කර ගැනීමේ දේශපාලන ශක්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයකුත් තිබෙනවා. ඒ ගැන අපි කතා නොකර ඉමු. 

මේ කතා කළේ රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති ගැන පමණයි. රටක ආර්ථික ප්‍රතිපත්ති සැලසුම් කරද්දී සංගත ලෙස හදන්න ලේසිම රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති කොටස. ඒ සඳහා කළ යුත්තේ ආදායම් හා වියදම් ඇස්තමේන්තු නිවැරදිව ගැලපීම පමණයි. එතැනින් එහාට විදේශ අංශය, මුදල් හා මූල්‍ය අංශය හා මූර්ත අංශය හා අදාළ ප්‍රතිපත්ති සංගත ලෙස සකස් කරන එක වඩා සංකීර්ණයි. රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය හරියට හදා නොගෙන ඒවා ගැන කතා කරන එකේවත් තේරුමක් නැහැ. 

රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්තිය හරියට හදාගත්තත් ඔය ප්‍රකාශන වල ලොකු ඉඩක් වෙන් කර තිබෙන විදේශ අංශය සම්බන්ධ ප්‍රතිපත්ති වල අසංගතතා මීට වඩා ගොඩක් වැඩියි. ඒ නිසාම, ඔය පැකේජ් එකත් එක්ක එහි සඳහන් මූර්ත අංශයේ ඉලක්ක වලට යාම කළ නොහැකි දෙයක්. ප්‍රායෝගික නැති නිසා නෙමෙයි. කොහොමටවත්ම යන්න බැරි තරම් අසංගත නිසා. මේ අසංගතතා විස්තර කරන එක රාජ්‍යමූල්‍ය අංශයේ ප්‍රතිපත්ති වල අවුල පෙන්වන තරම්ම සරල නැහැ. ඒ නිසා, එම අවුල තේරුම් ගන්න අමාරු කෙනෙකුට එතැනින් එහාට විස්තර කරන එකේ තේරුමක් නැහැ.

දැනට ප්‍රසිද්ධ කර තිබෙන 2019 මැතිවරණ ඉලක්ක කරගත් සහ මාලිමාව හදද්දී එහෙන් මෙහෙන් කෑලි එකතු කර හදා තිබෙන ප්‍රතිපත්ති ඉදිරි මැතිවරණ ඉලක්ක කර සංශෝධනය කරද්දී මීට වඩා සංගත ලෙස එම ප්‍රතිපත්ති සකස් වනු ඇතැයි අපි හිතමු. එම ප්‍රතිපත්ති වල අවුල් ඇත්නම් ඒවා වඩා නිශ්චිත ලෙස පෙන්වා දීම එතෙක් කල් දමමු. මොකද මේ ලියා තිබෙන දේවල් වෙනස් වෙන්න පුළුවන්නේ. 

අලුත් ප්‍රතිපත්ති ආවට පස්සෙත් එහෙම වෙනස්කම් වෙලා නැත්නම්, ඔය විදිහටම වියදම් කරන ක්‍රම ගැන මිසක් ආදායම් එන විදිහ ගැන පැහැදිලි විස්තරයක් නැත්නම්, වෙන්නේ කුමක්ද?

ඒක කියන්න ඒ තරම් අමාරු නැහැ. ආණ්ඩුවකට මුලින්ම කරන්න වෙන දේ රාජ්‍ය අයවැය හදන එක. හැබැයි ඔය වැඩේ කරන්නේ දේශපාලනඥයෝ නෙමෙයි. මුදල් අමාත්‍යංශයේ ඉන්න වෘත්තිකයෝ. මුදල් ඇමතිවරයා විසින් ඔය වගේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මල්ලක් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අතට දීලා ඊට ගැලපෙන පරිදි අයවැය හදන්න කිවුවහම ඒ අය මෙම ලිපියේ විස්තර කළ අසංගත බව කරුණු සහිතව පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ ඔය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග එකින් එක අකුළා ගෙන අයවැය තුලනය වන පරිදි ගැලපීම් කරන්න වෙනවා. අන්තිමට අයවැය යෝජනා වලට දමන්න වෙන්නේ අඩු වශයෙන් ඉලක්ක කරන්න හෝ පුළුවන් දේවල් පමණයි.

ඉදිරි අවුරුදු වලදී කවර හෝ ආණ්ඩුවකට මුහුණ දෙන්න වෙන විශේෂී තත්ත්වය අයවැය හිඟය හිතුමනාපෙට වැඩි කරන්න බැරි වීම. එහෙම කරන්න ගියොත් ඉතා කෙටි කලක් තුළ ආර්ථිකය නැවත අර්බුදයට යනවා. ඒ කියන්නේ ආණ්ඩුවත් අර්බුදයට යනවා. ඒ නිසා, ප්‍රායෝගිකව රජයේ වියදම් වැඩි කරන්න පුළුවන් වෙන්නේ ආදායම් වැඩි කර ගැනීමට සමාන්තරව පමණයි. 

ලිපියේ පැහැදිලි කළ පරිදි ආදායම් වැඩි කරගන්න එක හිතන තරම් ලේසි නැහැ. එහෙම ක්‍රමයක් මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල විස්තර කරලත් නැහැ. ඒ කොටස මග ඇරලා, ආදායම් වැඩි කර ගන්නවා කියන උපකල්පනය යටතේ වියදම් කරන හැටි විස්තර කරන එකයි ප්‍රධාන වශයෙන්ම කරලා තියෙන්නේ. ඒ නිසාම, ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන වල මොනවා තිබුණත්, අවශ්‍ය අරමුදල් නැති නැති නිසා ඒ ගොඩක් දේවල් ලේසියෙන් හෝ හදිසියෙන් කරන්න වෙන්නේ නැහැ. හැබැයි මේ තත්ත්වය නරක තත්ත්වයක් කියලා මම හිතන්නේ නැහැ.

කලින් කිවුවා වගේම මාලිමාව වටේට එකතු වෙන ගොඩක් අයට ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන වලින් වැඩක් නැහැ. ඒ ගොඩක් අය හොයන්නේ නිදහසේ හොඳින් කාලා ඇඳලා ඉන්න පුළුවන් තත්ත්වයක්. ඒක වෙන්නේ කොහොමද කියන එක ඔය ගොඩක් අයට ප්‍රශ්නයක් නෙමෙයි. දැන් ක්‍රියාත්මක වැඩ පිළිවෙළේ මූලික ඉලක්ක වලින් පිට පැන්නේ නැත්නම් ලොකු අවුලක් හදාගන්නේ නැතිව බේරෙන්න පුළුවන්. රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය කිරීම හෝ නොකිරීම වගේ දේවල් මූලික ඉලක්ක නෙමෙයි. 

දැනට රටේ ආර්ථිකය ගමන් කරන දිශානතිය ගැන ගොඩක් අයට අවුලක් නැහැ. ගොඩක් අය කියන කුලකයට මාලිමාව එක්ක මේ වන විට ඉන්න අයත් ඇතුළත්. ඒ අයට තිබෙන අවුල මේ දේවල් රනිල් විසින් හෝ පොහොට්ටු ආණ්ඩුවක් යටතේ කෙරෙන එක පමණයි. ඔය දේවල්ම මාලිමාව ඇවිත් කළොත් ඒ අය ප්‍රශ්නයක් කර ගන්න එකක් නැහැ. නමුත් ට්‍රැක් පැනලා හැම දේම අනාගත්තොත් ජනමතය ආණ්ඩුවට විරුද්ධව යන එක කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි.

ඉහත හේතුව නිසා, මාලිමා නංගිව ඉස්සරහට දමලා පරණ ජේවීපී අක්කාම වැඩේට බහියි කියන කතාවට මම ලොකු බරක් තියන්නේ නැහැ. අනිවාර්යයයෙන්ම එවැනි අපේක්ෂා තිබෙන අය කණ්ඩායම ඇතුළේ නැති වෙන්න බැහැ. නමුත් එහෙම අය ජනමතය එක්ක වෙනස් වුනේ නැත්නම් ඒ අයට කණ්ඩායමෙන් ගැලවිලා යන්න වෙන ඉඩකඩ වැඩියි. ජවිපෙ මැතිවරණ දේශපාලනයට ආවට පස්සේ වුනෙත් ඔය වගේම දෙයක්නේ. 

ඔය මාලිමාව දිනුවොත් විය හැකි දේ ගැන මම හිතන දේ. ජනමත සමීක්ෂණ ප්‍රතිඵල වල දැන් ඉන්න තැන දිහා බලද්දී ගොඩක් අසීරු ඉලක්කයක් වගේ පෙනෙන දෙයක් වුනත් එජාප-පොහොට්ටු සන්ධානයක් විසින් ආණ්ඩුවක් පිහිටුවලා මාලිමාව ප්‍රධාන විපක්ෂය වුනා කියා හිතමු. එහෙම වුනොත් ඒ ආණ්ඩුවට මුහුණ දෙන්න වෙන්නේ වඩා අමාරු දේශපාලන අභියෝගයකට. 

මාලිමාව දිනලා මේ යන පාරට ගොඩක් වෙනස් නැති පාරක ගියොත් එජාපය එක්ක සන්ධානයකට යාමේ ඉඩක් නැති පොහොට්ටුවේ කොටසකට හැර විපක්ෂයේ අනෙක් පාර්ශ්ව වලට ඒ ගැන ලොකු විරෝධයක් දක්වන්න බැහැ. නමුත් මාලිමාව ප්‍රධාන විපක්ෂය වුනොත් ඒකේ අනෙක් පැත්ත වෙන්නේ නැහැ. එහෙම වුනොත් ඔවුන්ගේ සම්ප්‍රදායික විරෝධතා දේශපාලනයට පියාපත් එන එකයි වෙන්නේ. ඒ නිසා, මාලිමාව දිනුවත් පැරදුනත් දක්ෂිණාංශික අදහස් දරන අය අපේක්ෂා කරන ප්‍රතිසංස්කරණ ලේසියෙන් කෙරෙන එකක් නැහැ.

Monday, March 25, 2024

සුදාගේ ජනමත සමීක්ෂණ


සුදත්ත තිලකසිරි, එහෙමත් නැත්නම් සුදා, විසින් නගරයන් නගරයට යමින් "ජනමත සමීක්ෂණ" මාලාවක් පවත්වා ගෙන යනවා. මේ වැඩේ කරන්නේ "විද්‍යාත්මක ක්‍රමවේදයකට" නෙමෙයි. ඔහුට එවැනි පුහුණුවකුත් නැතුව ඇති. හැබැයි විද්‍යාත්මක ක්‍රමවේදයකට කරන ජනමත සමීක්ෂණයකදී වගේම මේ වගේ අවිධිමත් ජනමත සමීක්ෂණයකිනුත් අප වැනි අයට ලංකාවේ ජනමතය ගැන අදහසක් ගන්න ඉඩක් ලැබෙනවා. 

සුදත්ත තිලකසිරිගේ දේශපාලන පක්ෂපාතීත්වයන් මම මේ කාරණයේදී ප්‍රශ්නයක් කර ගන්නේ නැහැ. එවැනි පක්ෂපාතීත්වයන් නැති අය හොයන එක වෙළඳපොළ ක්‍රියාකාරීත්වය හරියට තේරුම් ගත්ත සමාජවාදියෙක් හොයනවා වගේ අමාරු වැඩක්. සුදත්ත පැහැදිලිව කියන්නේ ඔහුගේ ජනමත සමීක්ෂණ වීඩියෝ එඩිට් නොකර එලෙසම ප්‍රසිද්ධ කරන බවයි. ප්‍රසිද්ධ කර තිබෙන වීඩියෝ දෙස බැලූ විට ඒවා එඩිට් කර ඇති බවක් පෙනෙන්නේ නැහැ.

මේ වන විට සුදත්ත විසින් පිටකොටුවේ, නුගේගොඩ, මහරගම, හම්බන්තොට හා තිස්සමහාරාමයේ ඔහුගේ සමීක්ෂණය සිදු කර තිබෙනවා. මේ එක් තැනකින්වත් ලංකාවේ ජනමතය හරියටම නියෝජනය වෙන්නේ නැහැ. ඒ වගේම මේ තැන් අහඹු ලෙස තෝරා ගත් තැන් නෙමෙයි. එහෙත්, මෙවැනි තැන් කිහිපයක ජනමතයේ පොදු රටාවන් යම් දුරකට සාධාරණීකරණය (generalize) කරන්න පුළුවන්. වැදගත්ම කාරණය සුදත්ත තිලකසිරි විසින් "අමු දත්ත" එකතු කර ඒවා එලෙසම ප්‍රසිද්ධ කිරීමයි.

මේ වගේ අමු දත්ත වලින් යම් විශ්ලේෂණයක් නොකර සෘජුව ජනමතය ඇස්තමේන්තු කරන්න බැහැ. එසේ වුවත්, අමු දත්ත හෝ විශ්ලේෂණ ක්‍රමවේදය විස්තරාත්මකව ප්‍රසිද්ධ නොකර ඉදිරිපත් කරන ඇස්තමේන්තු වලට වඩා මම මේ වගේ අමු දත්ත වලට පෞද්ගලිකව කැමතියි. 

අමු දත්ත පරිශීලනය කරද්දී විශ්වාසය තියන්න වෙන්නේ එම අමු දත්ත පිළියෙල වන ක්‍රමවේදය ගැන පමණයි. මෙහිදී එය සියයට සියයක්ම මෙන් පාරදෘශ්‍ය ලෙස සිදු වී තිබෙනවා. එයින් වෙනස්ව, අමු දත්ත හෝ විශ්ලේෂණ ක්‍රමවේදය විස්තරාත්මකව ප්‍රසිද්ධ නොකර ඉදිරිපත් කරන ඇස්තමේන්තු විශ්වාස කරද්දී අමු දත්ත පිළියෙල වන ක්‍රමවේදය ගැන වගේම ඒවා විග්‍රහ කර ඇස්තමේන්තු සකස් කර තිබෙන ක්‍රමවේදය ගැනත් අන්ධ ලෙස විශ්වාස කරන්න සිදු වෙනවා. මම පෞද්ගලිකව මේ වගේ අමු දත්ත වලට වඩා කැමති ඒ නිසා.

සුදත්ත මෙහිදී ප්‍රතිචාර දක්වන්නන්ගෙන් අහන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඉඩ තිබෙන අපේක්ෂකයින් හතර දෙනෙකුට තිබෙන කැමැත්ත පිළිබඳවයි. අපේක්ෂකයින් හතර දෙනා අනුර, සජිත්, රනිල් සහ නාමල්. ආකෘතිය අනුව මෙය සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ (Institute for Health Policy හෙවත් IHP) අනුරූපී සමීක්ෂණයට බොහෝ දුරට සමානයි. ඒ නිසාම, මෙම සමීක්ෂණ ප්‍රතිඵල එම ආයතනයේ සමීක්ෂණ ප්‍රතිඵල මත පදනම් වූ ඇස්තමේන්තු සමඟ සංසන්දනය කළ හැකියි. ප්‍රධානම වෙනස සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් නාමල් වෙනුවට ඔහුගේ පක්ෂයේ "කවර හෝ අපේක්ෂකයෙක්" විකල්පය ලෙස ඉදිරිපත් කරමින් වඩා විවෘත ලෙස ප්‍රශ්නය ඇසීමයි.

පහත තිබෙන්නේ සුදත්තගේ මහරගම හා හම්බන්තොට සමීක්ෂණ ප්‍රතිඵල. මම මේ ස්ථාන දෙක තෝරා ගත්තේ එම ස්ථාන දෙක හා අදාළ සමීක්ෂණ ප්‍රතිඵල වීඩියෝවේම සාරාංශගත කර ඉදිරිපත් කර තිබෙන නිසා. මුල් සමීක්ෂණ තුන දිහා බැලුවත් ප්‍රධාන රටාවන්ගේ ලොකු වෙනසක් පේන්න නැහැ. 

හම්බන්තොට ප්‍රතිඵලය 

අනුර - 67 (34%)

සජිත් - 38 (19%)

රනිල් - 2 (1%)

නාමල් - 1 (1%)

වෙනත් - 91 (46%)

එකතුව - 199 (100%)


මහරගම ප්‍රතිඵලය 

අනුර - 93 (33%)

සජිත් - 38 (14%)

රනිල් - 17 (6%)

නාමල් - 5 (2%)

වෙනත් - 125 (45%)

එකතුව - 278 (100%)


ඉහත "අමු දත්ත" අපට සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "සකස් කළ ඇස්තමේන්තු" සමඟ සංසන්දනය කළ හැකියි. 

අනුර - 50%

සජිත් - 33%

රනිල් - 9%

පොහොට්ටු අපේක්ෂකයා - 8%

එකතුව - 100%


සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "සකස් කළ ඇස්තමේන්තු" සහ සුදාගේ අමු දත්ත අතර සමානතා කිහිපයක්ම හඳුනා ගන්න පුළුවන්.

- ජනාධිපතිවරණ අපේක්ෂකයෙක් විදිහට අනුර කුමාර දිසානායක ඉදිරියෙන් ඉන්නවා. එය ඉතාම පැහැදිලියි. 

- අනුර කුමාර දිසානායක ඉන්න තැනට කිට්ටුවක නැතත්, දෙවැනි තැන ඉන්නේ සජිත්.

- රනිල් හෝ පොහොට්ටු අපේක්ෂකයෙක් කිට්ටුව පාතක නැහැ.


කෙසේ වුවත්, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "සකස් කළ ඇස්තමේන්තු" සහ සුදාගේ අමු දත්ත අතර කැපී පෙනෙන වෙනස් කමක් තිබෙනවා. ඒ තමයි සුදාගේ "අමු දත්ත" අනුව, විශාල පිරිසක් ඉහත කිසිවකු වෙනුවෙන් තවමත් සෘජු  කැමැත්තක් පළ කරන්නේ නැති බව. හම්බන්තොට හා මහරගම නියදි අනුව එම ප්‍රමාණය 45%ක් තරම් විශාලයි.

මෙහිදී වැදගත්ම කාරණය "වෙනත්" කියා විකල්පයක් සුදා විසින් ඉදිරිපත් නොකිරීමයි. වෙනත් පිළිතුරු ප්‍රතිචාර ලෙස ලැබෙන්නේ එවැනි පසුබිමක. ඒ තත්වය තුළ, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයටද මේ ආකාරයේ "වෙනත් පිළිතුරු" ප්‍රතිචාර ලෙස නොලැබෙන්නට හේතුවක් නැහැ. අහඹු දුරකථන අංක වලට ඇමතීමෙන් පසුව ඔවුන් විසින් ජනමතය විමසන්නේද සුදා අසන ආකාරයේ ප්‍රශ්නයක් අසමිනුයි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ඔවුන් විසින් එකතු කරගත් අමු දත්ත ප්‍රසිද්ධ කර නැහැ. ඔවුන් ඔවුන්ගේ "සකස් කළ ඇස්තමේන්තු" ඉදිරිපත් කර තිබෙන්නේ එකතු කරගත් අමු දත්ත වල "හිස්තැන් පිරවීමෙන්" පසුවයි. හරියටම කිවුවොත්, ප්‍රතිචාර දක්වන්නන්ගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ-ආර්ථික තත්ත්වය වැනි කරුණු මත පදනම්ව ඔවුන්ගේ "ලබා නොදුන් ප්‍රතිචාරය" ඇස්තමේන්තු කිරීමෙන් පසුවයි. එම "සකස් කළ ඇස්තමේන්තු" වල "වෙනත්" ගොඩක් නැත්තේ ඒ නිසා. ඒ කොටස අපේක්ෂකයින් හතර දෙනා අතර බෙදී ගිහින්. සුදාගේ "අමු දත්ත" අනුසාරයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "අමු දත්ත" පිළිබඳවද අදහසක් ගන්න පුළුවන්.

මේ ආකාරයේ "හිස් තැන් පිරවීමකදී" වෙන්නේ අපේක්ෂකයෙකු වෙනුවෙන් කැමැත්ත පළ කළ කණ්ඩායමේ රුචිකත්වයන් එසේ නොකළ කණ්ඩායම මතද ආදේශ වීමයි. එහිදී උපකල්පනය කෙරෙන්නේ  වයස, ස්ත්‍රී පුරුෂ භාවය, සමාජ-ආර්ථික තත්ත්වය වැනි කරුණු සමාන වේනම් රුචිකත්වයන්ද සමාන විය යුතු බවයි. ප්‍රස්තුත සන්දර්භය තුළ මෙම උපකල්පනයේ අඩුපාඩු ගණනාවක් තිබෙනවා. 

සුදාගේ වීඩියෝ වලින් "වෙනත්" කණ්ඩායම සිටින තැන පැහැදිලිව දැන ගන්න පුළුවන්. එම කණ්ඩායමේ වැඩි පිරිසක් සෘජු ලෙසම ඉහත අපේක්ෂකයින් සියලු දෙනාවම ප්‍රතික්ෂේප කරනවා. එම තත්ත්වය තුළ ඔවුන් කිසියම් අපේක්ෂකයෙකුට කැමැත්ත පළ කරන කණ්ඩායමෙන් වෙනස් වෙනම පිරිසක්. 

සම්ප්‍රදායික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් අරගලය තුළ සිටි පිරිස් අතරද පැහැදිලි ලෙස කණ්ඩායම් දෙකක් හඳුනා ගත හැකි වුනා. එයින් එක් කණ්ඩායමක් මෙතෙක් රට පාලනය කළ ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කළ, එහෙත් ජවිපෙ සම්බන්ධව එවැනි විරෝධයක් නොතිබුණු පිරිසක්. අනෙක් කණ්ඩායම, විකල්පයක් ගැන අදහසක් නොමැතිව වුවත්, ජවිපෙද ඇතුළුව සියලුම පැරණි දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් "225ම එපා" කියූ පිරිසක්. මගේ විග්‍රහය අනුව සුදාගේ අමු දත්ත වල "වෙනත්" ගොඩේ ඉන්නේ මේ මොහොතේදී ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන, එහෙත් ජවිපෙ ගොඩට එකතු වීමටද හිත හදාගෙන නැති පිරිසක් බවයි. ඒ නිසා, එම ප්‍රතිශතය අනුර, සජිත්, රනිල් හා පොහොට්ටුව අතර අනුපාතිකව බෙදා දැමීම නිවැරදි උපකල්පනයක්යැයි මා සිතන්නේ නැහැ. 

එක පැත්තකින් මේ 45% විසින් පෙන්නුම් කරන්නේ දැනට නැති විකල්පයකට තිබෙන දේශපාලන අවකාශය. එහෙත්, වෙනත් ප්‍රබල විකල්පයක් ඉදිරි ජාතික මැතිවරණ වලට පෙර අලුතෙන් ගොඩ නැගීමේ ඉඩක් පෙනෙන්නට නැති නිසා එම ගොඩ දැනට තිබෙන විකල්ප අතර බෙදී යා යුතුයි. එය මොන විදිහට වෙයිද?

සිදු විය හැකි එක් දෙයක් වන්නේ මේ කණ්ඩායම කිසිවෙකුට ඡන්දය නොදී සිටීමයි. එසේ වුවහොත්, පවතින විකල්ප සතු ප්‍රතිශත ඉහළ ගොස් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ සකස් කළ ඇස්තමේන්තු වලට කිට්ටු ප්‍රතිඵලයක් ලැබෙනවා. එහෙත්, ජාතික මැතිවරණයකදී 45%ක පිරිසක් ඡන්දය නොදීමේ ඉඩක් නැහැ. එම ප්‍රමාණය, සුළු පක්ෂ අපේක්ෂකයින්ගේ ඡන්ද හා අවලංගු ඡන්දද ඇතුළත්ව, වැඩිම වුනොත් 20%ක් වෙයි. ඉතිරි 25%කට නොඅඩු කොටස ඉදිරියේදී ප්‍රධාන පක්ෂ වල අපේක්ෂකයින් අතර බෙදී යාමට නියමිතයි.

මේ ගොඩේ බොහෝ දුරට ඉන්නේ ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දී බලාපොරොත්තු කඩ කරගත් අයයි. එම කඳවුරට ආකර්ශනීය සේ පෙනෙන අලුත් මූණකට මෙම ප්‍රතිශතයෙන් යම් කොටසක් ආකර්ශනය විය හැකියි. එම ගොඩෙන් තවත් කොටසක් රැල්ල තිබෙන පැත්තට ගසා ගෙන යන්න පුළුවන්. වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්. 

පසුගිය ජනාධිපතිවරණයේදී මහරගම ආසනයේ ඡන්ද වලින් 66%ක් පමණ ගෝඨාභය විසින් ලබා ගනිද්දී අනුර කුමාර 5%ක් පමණ ලබා ගත්තා. එම මැතිවරණ ප්‍රතිඵලය අනුව යමින්, වලංගු ඡන්ද ප්‍රමාණය 83%ක් සේ සැලකුවහොත්, සුදාගේ අමු දත්ත අනුව, මේ වන විට අනුර කුමාර විසින් ආකර්ෂණය කරගෙන තිබෙන්නේ ගෝඨාභය ලබාගත් 66% ප්‍රතිශතයෙන් 35%ක් පමණයි. නාමල්ගේ 2% ඉවත් කළ විට, එයින් 29%ක්ම තවමත් තිබෙන්නේ "වෙනත්" ගොඩේ. සජිත් විසින් ලබා ගත් 27% ප්‍රතිශතයෙන් 10%ක් පමණද දැන් එම ගොඩේ නැහැ. එයින් 7%ක් පමණ රනිල්ගේ ගොඩේ තිබෙනවා. ඒ අනුව, අවසාන වශයෙන් ප්‍රධාන පක්ෂයක අපේක්ෂකයෙකුට (ජවිපෙද ඇතුළු) ලැබිය හැකි ඡන්ද ප්‍රමාණයෙන් තුනෙන් එකකට ආසන්න ප්‍රමාණයක් තවමත් තිබෙන්නේ අවිනිශ්චිත අවකාශයකයි.

සමස්ත චිත්‍රය දෙස බැලූ විට අනුර කුමාර තවමත් සිටින්නේ 50% සීමාවට පහළින්. එහෙත් වෙනත් කිසිවකු ඔහුගේ ළඟපාතකවත් නැහැ. 

සමීක්ෂණ ප්‍රතිඵල වලින් ඔබ්බට ගියොත්, ජවිපෙ හැමදාම මෙන් ඔවුන් ගැන අධි තක්සේරුවක සිටියා. ඒ නිසා, ජවිපෙ ප්‍රකාශ පැත්තකින් තිබ්බත්, බැසිල් හා රනිල් වැනි ප්‍රතිපක්ෂයේ නායකයින්ගේ ප්‍රකාශ වලින් ජවිපෙ සම්බන්ධව ඔවුන්ගේ තක්සේරුව කුමක්දැයි පැහැදිලි වෙනවා. දැනට පවතින තත්ත්වය තුළ ජවිපෙ ගොඩ ඉක්මවීමටනම් අනෙකුත් ප්‍රධාන පක්ෂ සියල්ලටම මෙන් එකතු වෙන්නට සිදු වෙනවා. එක පැත්තකින් එය සිදු වීමේ ප්‍රායෝගික ඉඩකඩ ගොඩක් අඩුයි. අනෙක් පැත්තෙන් එවැන්නක් සිදු වුවහොත් එයින්ද ජවිපෙට වක්‍ර වාසි කිහිපයක්ම ලැබෙනවා. 

අනෙක් ප්‍රධාන පක්ෂ සියල්ල එකතු වී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කළහොත්, ජවිපෙට ඔවුන්ගේ ජනප්‍රිය "හොරු ඔක්කොම එකගොඩේ" තර්කය ඉදිරියට ගෙන යාම පහසු වෙනවා. ඒ වගේම, අනෙක් සියලු කණ්ඩායම් වලට එකතු වෙන්නට සිදු වන තරමට ජවිපෙ ශක්තිමත්ය යන අදහස ඉස්මතු වෙනවා. අඩු වශයෙන් මේ හේතු දෙක නිසා දැනට පිටිය සකස් වී තිබෙන්නේ කවර තත්ත්වයක් යටතේ වුවද ජවිපෙට වාසිදායක ලෙසයි.

කෙසේ වුවත්, උතුරු නැගෙනහිර හා කඳුකර දෙමළ ඡන්ද වල හැසිරීම වැනි වෙනත් සාධක නිසා ජනාධිපතිවරණයකදී අනුර කුමාර ඉදිරියට ආවත් ඔහු ලබා ගන්නා ඡන්ද ප්‍රමාණය 50% නොඉක්මවන්න පුළුවන්. එසේ වුවහොත් දෙවන මනාපය ගණන් කරන්නට සිදු වෙනවා. දැනට පවතින ජවිපෙ හා ජවිපෙට එරෙහි බෙදීම අනුව, ජවිපෙට දෙවන මනාප ලොකුවට ලැබෙන්න ඉඩක් නැහැ. කෙසේ වුවත්, එවැනි තත්ත්වයකදී වුවද ඉදිරියෙන් සිටීමට බැරිකමක් නැති පරතරයක් දැනට ජවිපෙ විසින් පවත්වා ගෙන යනවා. 

ප්‍රසිද්ධ කර නොමැති, එහෙත් නිසි ක්‍රමවේදයකට එකතු කර ගෙන ඇති සේ උපකල්පනය කළ හැකි, සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ "අමු දත්ත" නිවැරදි බවත්, එහෙත් ඔවුන් විසින් ප්‍රසිද්ධ කර තිබෙන "සකස් කළ ඇස්තමේන්තු" සඳහා පාදක කරගෙන තිබෙන උපකල්පන නිවැරදි නොවන බවත් සලකා, එම ඇස්තමේන්තු වල කිසියම් අපේක්ෂකයෙකුගේ ගොඩට එකතු කර තිබෙන ඡන්ද වලින් 30%ක් "වෙනත්" ගොඩට දැම්මොත් ලැබෙන්නේ මෙවැනි ප්‍රතිඵලයක්.

අනුර - 35%

සජිත් - 23%

රනිල් + පොහොට්ටුව  - 12%

වෙනත් - 30%

එකතුව - 100%

මේ අනුව, අනුරට පළමු වටයෙන් ජනාධිපතිවරණය ජය ගැනීමටනම් "වෙනත්" ගොඩේ ඡන්ද වලින් 15%ක් පමණ එකතු කර ගන්නට සිදු වෙනවා. සජිත්ටනම් 27%ක් පමණ එකතු කර ගන්නට සිදු වෙනවා. එජාප/ පොහොට්ටු කඳවුරේ අපේක්ෂකයෙකුද සිටියදී එවැන්නක් ප්‍රායෝගිකව ඉතාම අසීරු ඉලක්කයක්. රනිල්ට, පොහොට්ටු කඳවුරේ පූර්ණ සහයෝගය ඇතුව වුවද, එවැනි ඡන්ද ප්‍රතිශතයක් ඉලක්ක කිරීමේ ඉඩකඩක් දැනට පෙනෙන්නට නැහැ. 

රනිල්ට තිබෙන එක් වාසියක් වන්නේ සජිත්ගේ ඡන්ද වලින් සැලකිය යුතු කොටසක "දෙවන මනාපය" ලබා ගත හැකි වීමයි. එහෙත්, එය වාසියක් වන්නේ සජිත් අභිබවා දෙවන ස්ථානයට පැමිණිය හැකිනම් පමණයි. දැනට එවැනි තත්ත්වයක් පෙනෙන්නට නැහැ. රනිල් + පොහොට්ටු කඳවුරේ දෙවන මනාප වලින් යම් කොටසක් සජිත්ට ලබා ගත හැකි වුවත්, එම ප්‍රමාණයේ උදවුවෙන් අනුර කුමාර සමඟ දැනට තිබෙන පරතරය ඉක්මවිය හැකිද යන්න සැක සහිතයි. දෙවන මනාපයක් ලබා ගත හැකි තරමට සජබ ඡන්දදායකයින්ට රනිල්ව ආකර්ශනීය වුවත්, පොහොට්ටු ඡන්දදායකයින්ට සජිත් ඒ ආකාරයෙන් ආකර්ශනීය නැහැ. 

මේ තත්ත්වය තුළ ආණ්ඩුව මුලින් ජනාධිපතිවරණයක් පවත්වයිද? එසේ නැත්නම් මහ මැතිවරණයකට යයිද?

දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ සම්බන්ධව රටේ විශාල පිරිසකගේ ප්‍රසාදයක් ඇති බව හෝ අඩු වශයෙන් විරුද්ධත්වක් නැති බව පෙනෙන්නට තිබෙනවා. එහෙත්, ඉතා සීමිත පිරිසක් හැර, ඒ ගොඩෙන් වැඩි පිරිසක් මෙම වැඩ පිළිවෙළ වෙනුවෙන් විවෘතව පෙනී සිටීමට සූදානම් බවක් පෙනෙන්නට නැහැ. මීට ප්‍රධානම හේතුව එම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන දේශපාලන කඳවුරේ පරමාදර්ශ සහ වැඩ පිළිවෙළේ පරමාදර්ශ අතර තිබෙන ප්‍රතිවිරෝධයයි. 

දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ බොහෝ දුරට රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපය විසින්  කාලයක සිටම පෙනී සිටි වැඩ පිළිවෙලයි. නමුත් පොහොට්ටු කඳවුර සමඟ සිටියේ එවැනි වැඩ පිළිවෙලකට ප්‍රතිපක්ෂව කාලයක් තිස්සේ මොළ ශෝධනය කරනු ලැබූ පිරිසක්. ඒ නිසා, දැන් ඔවුන් මෙම වැඩ පිළිවෙලට කැමැත්තක් දක්වන්නේ හෝ අකැමැත්තක් නොදක්වන්නේ "වෙන කළ හැකි හැකි දෙයක් නැති නිසා" මිස ඇඟෙන්ම නෙමෙයි.

අනෙක් පැත්තෙන් සජබ විසින් දිගටම පෙනී සිටියේ මෙම වැඩ පිළිවෙලට බොහෝ දුරට සමාන වැඩ පිළිවෙලක් වෙනුවෙන් වුවත් දැන් මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ ඔවුන්ට ප්‍රතිවිරුද්ධ කඳවුර විසින් නිසා ඔවුන් කරන්නේ මෙම වැඩ පිළිවෙළේ අඩුපාඩු උලුප්පන එකයි. 

ඉහත තත්ත්වය තුළ දැනට ක්‍රියාත්මක සාර්ව ආර්ථික වැඩ පිළිවෙළ ලංකාවේ දේශපාලනය තුළ, හරියකට අම්මෙක් අප්පෙක් නැති, "අවජාතක" වැඩ පිළිවෙලක් බවට පත් වී තිබෙනවා. එම වැඩ පිළිවෙළ ගැන ස්වාධීනව විමසා බලා නිගමනයකට පැමිණිය හැකි නාගරික මධ්‍යම පාන්තිකයින් සුළු පිරිසක් හැරුණු විට, එය වැඩ කරන බව "ඇඟෙන් දැනෙන" බොහෝ දෙනෙකු සිටින්නේ කාලයක් තමන් සිර වී සිටි දේශපාලන සිර කූඩු වල සීමාවෙන් බැහැර වී එම වැඩ පිළිවෙළ වෙනුවෙන් පෙනී සිටිය නොහැකි තත්ත්වයකයි. මෙය කණගාටුදායක සිරකරුවාගේ උභතෝකෝටිකයක් (prisoner's dilemma). 

සාර්ව ආර්ථික වැඩ පිළිවෙළෙහි "අයිතියට" උරුම කිව හැකි රනිල් වික්‍රමසිංහට ජනාධිපතිවරණයක් ජයගැනීමේ ඉඩක් දැනටනම් පෙනෙන්නට නැහැ. ජවිපෙට ප්‍රතිපක්ෂ කණ්ඩායම් අතර ඉදිරියෙන්ම සිටින සජබ ජනාධිපතිවරණ අපේක්ෂකයා විය හැකි සජිත් ප්‍රේමදාසට අවස්ථාව දී එජාප-පොහොට්ටු කඳවුර පැත්තකට වීමේ ඉඩක්ද නැහැ. එසේ වුවද, එම කඳවුරේ ඡන්ද සියල්ල සජිත්ට ආකර්ශනය කරගත නොහැකියි. සජිත්ට සාපේක්ෂව අනුර කුමාරට එම ඡන්ද ආකර්ෂණය කර ගැනීම පහසුයි. 

කෙසේ වුවත්, සරත් ෆොන්සේකා හෝ පාඨලී වැනි, සජබ හා එජාප/පොහොට්ටු කඳවුරු දෙකටම මැදින් සිටින අපේක්ෂකයෙකුට අනුර කුමාරට තරඟයක් දෙන්න පුළුවන්. එසේ නැත්නම් අලුත්ම මුහුණක් කරලියට එන්න පුළුවන්. ජවිපෙ විරෝධී කඳවුර එවැනි තේරීමක් කරයිද?

ජවිපෙ විරෝධී කණ්ඩායම් වල දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් මෙවැනි ක්‍රියා මාර්ගයක අවදානම් දෙකක් තිබෙනවා. පළමුව, යම් හෙයකින් මෙසේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමෙන් පසුවද ජවිපෙ ජය ගතහොත්, ඉන් පසු පැවැත්වෙන මහ මැතිවරණයකදී ජවිපෙ විශාල ජයග්‍රහණයක් ලැබීම නොවැලැක්විය හැකියි. කෙසේ වුවත්, එසේ නොකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලයද මෙයම නිසා එම කඳවුරේ පැත්තෙන් බැලූ විට මෙවැන්නක් නරක අදහසක් වන්නේ නැහැ. 

මහ මැතිවරණයක් මුලින්ම පැවැත්වීමෙන් ඉහත අවදානම ඉවත් කරගත හැකියි. බැසිල් රාජපක්ෂගේ ස්ථාවරය බව පෙනෙන්නේ එයයි. මෙය පොදුවේ පොහොට්ටුවේ ස්ථාවරය විය හැකියි. මුලින් පැවැත්වෙන්නේ මහ මැතිවරණයක්නම්, එජාප, පොහොට්ටු හා සජබ කණ්ඩායම් වෙනම තරඟ කිරීම ප්‍රශ්නයක් වන්නේ නැහැ. ජවිපෙ තනි කණ්ඩායමක් ලෙස මුල් තැනට පැමිණියද මන්ත්‍රී ධුර වලින් බහුතරය නොලැබෙන්නට පුළුවන්. ඒ නිසා, ජවිපෙ විරෝධී කණ්ඩායම් වලට පශ්චාත් මැතිවරණ සන්ධානයක් සදා ගැනීමේ අවස්ථාව තිබෙනවා. නමුත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්නේ මේ ස්ථාවරයේද?

මෙහිදී ජවිපෙ විරෝධී කණ්ඩායම් වල දෘෂ්ඨි කෝණයෙන් බැලුවොත් දැකිය හැකි දෙවන අවදානම සැලකිල්ලට ගන්න වෙනවා. කවර ක්‍රමයකින් හෝ ජවිපෙ විරෝධී කණ්ඩායම් වල ආණ්ඩුවක් පිහිටුවන්නේනම්, එම ආණ්ඩුව 2015 යහපාලන ආණ්ඩුවටත් වඩා කැඳ හැලියක් වීම නොවැලැක්විය හැකියි. එවැනි ආණ්ඩුවකට නොකරම බැරි ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ කරමින් වැඩි කාලයක් පවතින්නට බැහැ. ඒ, ජවිපෙ විසින් ආණ්ඩුවක් නොපිහිටුවද, ජවිපෙ අනිවාර්යයෙන්ම ඉතා ප්‍රබල විපක්ෂයක් බවට පත් වන නිසයි. ඒ නිසා, අවසාන වශයෙන් සිදු වන්නේ යම් කාල පමාවකින් පසුව ජවිපෙ ජයග්‍රහණයකට පාර කැපෙන එක පමණයි.

මෙවැන්නක් වුවද, බැසිල් රාජපක්ෂ වැනි අයෙකුගේ දෘෂ්ඨි කෝණයෙන් නරක තත්ත්වයක් නොවන්නට පුළුවන්. ඒ මගින් යම් කාලයක් හෝ බලය රඳවා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. එහෙත්, ස්වකීය පෞද්ගලික අභිලාශ වලට වඩා දෘෂ්ඨිවාදී අභිලාශ වෙනුවෙන් පෙනී සිටින අයෙකු සේ හඳුනා ගත හැකි රනිල් වික්‍රමසිංහ හිතන්නේ මේ විදිහටද?

පමා වී හෝ ජවිපෙ බලයට පැමිණීම නොවැලැක්විය හැකි සේ පෙනේනම් එය කලින්ම සිදු වන්නට ඉඩ හැරීම ඇතැම් විට රනිල් වික්‍රමසිංහ වැනි අයෙකුගේ තේරීම වන්නට ඉඩ තිබෙනවා. එය එසේනම්, ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පවත්වන්නට අවශ්‍යතාවයක් නැහැ.

තුන් වන විකල්පයක් විය හැක්කේ මැතිවරණ සාමාන්‍ය පරිදි නොපවත්වා "ජිල්මාට් එකක්" දැමීමයි. පළාත් පාලන මැතිවරණ අත්දැකීම අනුව එවැන්නක් සිදු නොවිය හැකි දෙයක් නෙමෙයි. කෙසේ වුවත්, එවැන්නක් කෙරෙහි යොමු වීම දේශපාලනික ලෙස ප්‍රතිඵලදායක වන්නේ ජනමතය පසුව ආණ්ඩුව වෙත නැඹුරු වීමේ ශක්‍යතාවක් ඇත්නම් පමණයි. ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ කරමින් එවැනි තත්ත්වයක් අපේක්ෂා කළ නොහැකියි. 

මේ හේතු නිසා, ජනමතය තිබෙන්නේ මාලිමාව පැත්තේනම්, එම ජනමතයට ඉඩ දීමට රනිල් වික්‍රමසිංහ විසින් ඉඩ හරින්නට ඉඩකඩ වැඩියි. එවිට තමන් හා එකතු වෙන ජනතාව දිගටම තමන් සමඟ රඳවා ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්න වෙන්නේ මාලිමාවටයි. ඒ සඳහා ආර්ථික ස්ථාවරත්වය දිගටම පවත්වා ගත යුතු වෙනවා. 

මාලිමාව මේ අභියෝගය යම් දුරකට හඳුනාගෙන ඇති බව පෙනෙනවා. ඔවුන් මේ අභියෝගයට මුහුණ දෙන එක් ආකාරයක් වන්නේ නාමික විරෝධයක් පමණක් පෙන්වමින් පවතින ආණ්ඩුවට ජනප්‍රිය නොවන ප්‍රතිසංස්කරණ කලින්ම සිදු කිරීමට ඉඩ හැරීමයි. එය අත පුච්චා නොගෙන කොස් ඇට පුච්චා ගත හැකි ක්‍රමයක්. එහෙත්, එය ප්‍රමාණවත් උපාය මාර්ගයක් නෙමෙයි. ඉදිරි ජාතික මැතිවරණ ජය ගෙන ආණ්ඩුවක් හදන්නේ කවර පාර්ශ්වයක් වුවත්, තමන් පැළඳ ගත් ඔටුන්න කටු ඔටුන්නක් බව පෙනී යන්නට වැඩි කාලයක් ගත වන එකක් නැහැ. 

Monday, January 1, 2024

මේ අවුරුද්ද කොහොම වෙයිද?


ව්‍යවහාර වර්ෂ ක්‍රමය අනුව, ඕස්ට්‍රේලියාව පැත්තෙන් පටන් අරගෙන ඇමරිකාව දක්වාම දැන් 2024 අලුත් අවුරුද්ද උදා වෙලා අවසන්. ඕස්ට්‍රේලියාව පැත්තටනම් දැන් ජනවාරි දෙවෙනිදා වුනත්, මෙය ඇමරිකාවට අලුත් අවුරුද්ද උදා වීමෙන් පසුව ලියන පළමුවන සටහන. ලොව පුරා විසිරී සිටින අපව කියවන පාඨකයින්ගේත්, නොකියවන සමස්ත ලෝක වාසී ජනතාවගේත් ජීවන තත්ත්වය වඩා යහපත් වන සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමින් ලිපිය පටන් ගනිමු. 

පසුගිය වසරේ පළමු ලිපිය ලෙස පළ කර තිබෙන්නේ යූටියුබ් වීඩියෝවක්. එහි පැහැදිලි කර තිබෙන්නේ වසර තුළ උද්ධමනය අඩු වන විදිහ. පසුගිය වසර ආරම්භ වන විට තිබුණු ලොකුම ප්‍රශ්නය එයයි. 2022 වසර අවසන් වුනේ උද්ධමනය 57.2% ලෙස සටහන් කරමින්. මේ වගේ ඉහළ මට්ටමක තිබුණු උද්ධමනය වසර මැද වන විට, විශේෂයෙන්ම දෙවන කාර්තුව තුළ, විශාල ලෙස අඩු වන ආකාරය අප විසින් එම වීඩියෝවෙන් පැහැදිලි කළා. ඒ වෙලාවේ බොහෝ දෙනෙක් පිළිගන්න මැලි වුනත්, එය එලෙසම සිදු වුනා. 2023 වසර අවසන් වුනේ උද්ධමනය 4.0% ලෙස සටහන් කරමින්.

උද්ධමනයේ හැසිරීම ගැන අප විසින් මෙවැනි නිවැරදි පැහැදිලි කිරීම් කළේ උද්ධමනය එහි උපරිම මට්ටමට ආසන්න වෙමින් තිබුණු 2022 වසර මැද සිටයි. මේ අයුරින්ම, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව රටේ බැංකු පද්ධතිය කඩා නොවැටෙන බවත්, විණිමය අනුපාතය නිදහස් කිරීමෙන් පසුව ඩොලරයක මිල විශාල ලෙස ඉහළ නොයන බවත් අප විසින් කරුණු සහිතව පෙන්වා දුන්නා. ඒ දේවල් ඒ විදිහටම සිදු වුනා. අප මේ දේවල් පෙන්වා දුන්නේ ආර්ථික විද්‍යා සිද්ධාන්ත මත පදනම්ව මිස මේ දේවල් මෙසේ සිදු වන බව කීමේ දේශපාලනික බලපෑම් ගැන සලකමින් නෙමෙයි. 

දේශපාලනය පැත්තකින් තිබ්බොත්, ලංකාවේ ආර්ථික ස්ථායීතාවය හා අදාළව ගෙවුණු වසර සුවිශේෂී වසරක්. එම වසර විශාල ආර්ථික අර්බුදයකින් පසුව, සාර්ව ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කරගැනීම මගින් අළු ගසා නැගී සිටි වසරක් ලෙස හදුන්වන්න පුළුවන්. ලංකාවේ ආර්ථිකය කඩා වැටී රට බංකොලොත් වන තැන දක්වා තල්ලු කළ නිදන්ගත රෝග දෙක වුනේ රජය විසින් ආදායම ඉක්මවා වියදම් කිරීම සහ රටේ විදේශ විණිමය වැය විදේශ විණිමය ලැබීම් වලට වඩා වැඩි වීමයි. මේ ප්‍රශ්න දෙක රජයේ ප්‍රාථමික අයවැය හිඟයෙන් සහ රටේ ජංගම ගිණුමේ හිඟයෙන් නිරූපණය වෙනවා.

ප්‍රාථමික අයවැය හිඟයක් පැවතීම සහ ජංගම ගිණුමේ හිඟයක් පැවතීම 1956න් පසු ලංකාවේ පැවති සාමාන්‍ය තත්ත්වයයි. 1955 වසරෙන් පසු, ප්‍රාථමික අයවැය අතිරික්තයක් පවත්වා ගනු ලැබුවේ 1992, 2017 හා 2018 වසර තුන තුළ පමණයි. එහෙත්, එම වසර වල ජංගම ගිණුමේ තිබුණේ හිඟයක්. එමෙන්ම, 1956 වසරෙන් පසුව, ජංගම ගිණුමේ අතිරික්තයක් තිබුණේ 1965 හා 1977 වසර දෙකේදී පමණයි. එහෙත්, එම දෙවසර තුළ ප්‍රාථමික අයවැය ශේෂය හිඟයක්ව පැවතුණා. ශ්‍රී ලංකා මහ බැංකුව පිහිටවූ 1950 වසරෙන් පසුව, මෙම ගිණුම් දෙකේම අතිරික්තයක් තිබී ඇත්තේ 1954 හා 1955 වසර දෙකේදී පමණයි. 

ඉන් පසුව පළමු වරට 2023 පළමු මාස නවය තුළ එක වර ප්‍රාථමික අයවැය ගිණුමේ මෙන්ම ජංගම ගිණුමේද අතිරික්ත වාර්තා වී තිබෙන අතර වසර අවසානය වන විටද මෙම තත්ත්වයන් මෙලෙස පවත්වා ගැනීමේ හැකියාව පෙනෙන්නට තිබෙනවා. ඒ අනුව, 2023 වසර සාර්ව ආර්ථික ස්ථායීතාවය අතින් 1955න් පසුව හොඳම වසරයි.

කෙසේ වුවද, ස්ථායීතාවය යනු සාර්ව ආර්ථික ඉලක්ක වල ප්‍රමුඛතා දෙකකින් එකක් පමණයි. ස්ථායීතාවය තරමටම හෝ ඊටත් වඩා වැඩියෙන් වැදගත් වන්නේ ආර්ථික වර්ධනයයි. වසරේ දෙවන අර්ධය තුළ ආර්ථික වර්ධනයක් සටහන් වනු ඇති නමුත් ගෙවුණු 2023 වසර සමස්තයක් ලෙස සටහන් වනු ඇත්තේ ආර්ථිකය හැකිළුණු වසරක් ලෙසයි. ස්ථායීතාව පවත්වා ගන්නා අතරම, මෙසේ හැකිළුණු ආර්ථිකය නැවත වර්ධනය කර ගැනීම 2024 වසරේ ප්‍රධාන ආර්ථික අභියෝගයයි. 

අපගේ ඇස්තමේන්තුව වනුයේ ඉහළ දමා ඇති බදු හමුවේ වුවද මෙම 2024 වසර තුළ ලංකාවේ ආර්ථිකය යම් තරමකින් වර්ධනය වනු ඇති බවයි. එහෙත්, ඉහළ බදු වල බලපෑම නිසා එම වර්ධනයේ බලපෑම ඉදිරි වසර තුළදී රටේ ජනතාවට නොදැනෙන්න පුළුවන්. මෙයට හේතුව ආර්ථික වර්ධනය නිසා රටේ ආදායම වැඩි වෙද්දී එසේ වැඩි වන ආදායමෙන් විශාල කොටසක් බදු ලෙස රජය විසින් ලබා ගැනීමයි. 

ලෝක දේශපාලනය දෙස බැලුවත්, ලංකාවේ දේශපාලනය දෙස බැලුවත්, 2024 වසර තීරණාත්මක වසරක්. 2024 නොවැම්බර් 5 වනදා ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයින් තෝරා ගන්නේද මහජන ඡන්දයෙන් බැවින් ප්‍රධාන තරඟකරුවන් කවුදැයි හරියටම දැන ගැනීමට මාස ගණනාවක් බලා ඉන්නට සිදු වනවා. එහෙත්, මෙය වත්මන් ජනාධිපති බයිඩන් හා හිටපු ජනාධිපති ට්‍රම්ප් අතර තරඟයක් වීමට විශාල ඉඩක් තිබෙනවා. මේ දෙදෙනාම බොහෝ වයස්ගත පුද්ගලයින් වීම විශේෂත්වයක්.

මෙම 2024 වසර ලංකාවේද මැතිවරණ වසරක්. වසර තුළ ජනාධිපතිවරණය මෙන්ම මහ මැතිවරණයද පැවැත්වීමට නියමිතයි. එහෙත්, ඇමරිකාවේ මෙන් නොව, බලයේ සිටින කණ්ඩායමේ අභිමතය පරිදි ලංකාවේ මැතිවරණ දින නියම වන නිසා මුලින් පැවැත්වෙන්නේ මේ මැතිවරණ දෙකෙන් කුමක්ද යන්න අවිනිශ්චිතයි. එමෙන්ම, මැතිවරණ සන්ධාන වටා පක්ෂ හා කණ්ඩායම් පෙළ ගැසෙන ආකාරයද තවමත් අවිනිශ්චිතයි.

කෙසේ වුවත්, මේ අවිනිශ්චිතතාවය ප්‍රධාන වශයෙන්ම තිබෙන්නේ ආණ්ඩු බලය හොබවන රනිල්-රාජපක්ෂ කඳවුර හා අදාළවයි. විපක්ෂයේ ජවිපෙ/ජාජබ කඳවුර මෙන්ම සජබ කඳවුරද පැහැදිලිව හඳුනා ගත හැකියි. දැනට ආණ්ඩු බලය හොබවන කණ්ඩායම තුළ සිටින එජාප-රනිල් පාර්ශ්වය පෙනී සිටින්නේ මේ වන විටද ක්‍රියාත්මක සාර්ව ආර්ථික ප්‍රතිපත්ති දිගටම ඉදිරියට ගෙනයාම වෙනුවෙනුයි. රට බංකොලොත් වීම දක්වා තල්ලු කෙරුණු ප්‍රතිපත්ති වෙනුවෙන් තව දුරටත් පෙනී සිටින සුළුතරයක් රාජපක්ෂ කඳවුර තුළ සිටියත්, නැවතත් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ජනතා අනුමැතිය ලැබේයැයි සිතන්නට අසීරුයි.

දැනට රජය විසින් ක්‍රියාත්මක කරන්නේ සජබ විසින් මුල සිටම පෙනී සිටි සාර්ව ආර්ථික වැඩ පිළිවෙළයි. ඒ නිසා, දැනට ක්‍රියාත්මක වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යාම සජබ විසින්ද කරන්නට වඩාත්ම ඉඩ තිබෙන දෙයයි. බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වී තිබෙන්නේ ජවිපෙ/ජාජබ බලයට පැමිණියහොත් කුමක් වේද යන්නයි.

පෞද්ගලිකව මා මෙහි විශාල අවදානමක් දකින්නේ නැහැ. රාජ්‍ය ව්‍යවසාය ආදිය හා අදාළව එජාප-සජබ කඳුවුරු වලට වඩා වෙනස් තැනක සිටියත්, සාර්ව ආර්ථික තුලනය පවත්වා ගැනීම හා අදාළව ඔවුන්ගේ ප්‍රතිපත්ති නරක තැනක ඇතැයි මා සිතන්නේ නැහැ. රජය කුඩා නොකර එලෙසම පවත්වා ගන්නා බවක් ඔවුන් කියන නමුත් එම රජය නඩත්තු කළ හැකි ආදායමක් උපයා ගන්නා බවද ඔවුන් විසින් හැම විටම කියන නිසා ජවිපෙ-ජාජබ ප්‍රතිපත්ති වලින් සාර්ව ආර්ථික තුලනය නැති වීමේ අවදානමක් පෙනෙන්නට නැහැ. ඒ නිසා, දේශපාලන අවිනිශ්චිතතා හමුවේ වුවද, 2024 ශ්‍රී ලංකා ආර්ථිකය පිළිබඳ මගේ දැක්ම සුබවාදී දැක්මක්.

වෙබ් ලිපිනය: