වෙබ් ලිපිනය:

Wednesday, July 31, 2024

දැන් රැල්ල කොයි පැත්තටද?


මේ ලිපිය ලියන්නේ ලංකාවේ වේලාව අනුව අගෝස්තු මාසය එළැඹුනාට පසුවයි. ඒ අනුව, ජනාධිපතිවරණ දිනයට තව තියෙන්නේ දින 51ක් පමණයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා ව්‍යවස්ථානුකූලව අවශ්‍ය අවම කාලය දින 52ක්. ඒ කියන්නේ, මේ මොහොතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියත් මහ මැතිවරණය පවත්වන්න වෙන්නේ ජනාධිපතිවරණ දිනයට පස්සේ. 

මහ මැතිවරණය තියන්න වෙන්නේ ජනාධිපතිවරණ දිනයට පසුව වුනත්, අවශ්‍යනම් පාර්ලිමේන්තුව විසුරුවා හරින එක ජනාධිපතිවරණ දිනයට කලින් කරන්න පුළුවන්. එහෙම නොකළත්, ජනාධිපතිවරණයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණයි. 

මේ වන විට රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස ඇතුළු අපේක්ෂකයින් හය දෙනෙකු ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර තිබෙනවා. අනුර කුමාර දිසානායක තරඟයට එන බව කලක සිටම රහසක් නොවූ කරුණක්. මේ වෙද්දී ප්‍රසිද්ධ වී තිබෙන තොරතුරු අනුව පොහොට්ටුව විසින් ඔවුන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි. අපේක්ෂකයා කවුද කියන එක තවමත් රහසක්. 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී ඡන්දය භාවිතා කිරීමේ අපේක්ෂාව පිළිබඳව සමීක්ෂණයක් කරමින් කලක සිටම මාස්පතා ඔවුන්ගේ ඇස්තමේන්තු ප්‍රසිද්ධ කරනවා. මේ ඇස්තමේන්තු අනුව පසුගිය මාස ගණනාවක් තිස්සේම ඉදිරියෙන් හිටියේ මාලිමා කඳවුරයි.

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළිබඳව අවසන් වරට නිකුත් කළ ඇස්තමේන්තු පාදක වන්නේ මැයි මාසයේ පැවති ජනමතය මතයි. ජූනි මාසයේ පැවති ජනමතය මත පදනම් වූ ඇස්තමේන්තු තවමත් ප්‍රසිද්ධ කර නැතත්, එම ඇස්තමේන්තු ඉදිරි දින කිහිපය ඇතුළත ප්‍රසිද්ධ කරනු ලැබීමට නියමිතයි. ජූනි මාසයේ පැවති ජනමතය අනුව මහ මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ ඇස්තමේන්තු මේ වන විට ප්‍රසිද්ධ කර තිබෙනවා. එම ඇස්තමේන්තු අනුව අපේක්ෂිත ප්‍රතිඵලය පහත පරිදියි.

සජබ - 38%

ජාජබ/ජවිපෙ - 26%

පොහොට්ටුව - 16%

එජාප - 7%

දෙමළ රාජ්‍ය පක්ෂය - 3%

මුස්ලිම් කොංග්‍රසය - 2%

කම්කරු කොංග්‍රසය - 2%

ශ්‍රීලනිපය - 1%

වෙනත් - 4%

මෙම ප්‍රතිඵලය තුළ කැපී පෙනෙන කරුණ වන්නේ සජබ හා ජාජබ/ජවිපෙ අතර පරතරය 12%ක් දක්වා සජබට වාසිදායක ලෙස වෙනස් වී තිබීමයි. මාසයකට පෙර සජබ හා ජාජබ/ජවිපෙ සිටියේ එකම මට්ටමකයි. 

මේ අනුව පෙනී යන්නේ පසුගිය මාසය වන විටද මාලිමා රැල්ල බැස ගොස් තිබී ඇති බවයි. අනුර කුමාර විසින් ජනාධිපතිවරණයේදී ලබා ගන්නට ඉඩ තිබෙන ඡන්ද ප්‍රතිශතය මෙහි සඳහන් ජාජබ/ජවිපෙ ඡන්ද ප්‍රතිශතයට වඩා වැඩි විය හැකියි. ඒ සුළු ජාතික හා "වෙනත්" ඡන්ද එකතු වීමෙන්. එහෙත් එසේ එකතු වීමෙන් පසුවද අනුර කුමාර දිසානායකගේ ඡන්ද ප්‍රතිශතය 33.3% සීමාව නොඉක්මවිය හැකි බවකුයි දැන් පෙනෙන්නට තියෙන්නේ.

මේ 33.3% සීමාව ඉතා වැදගත් සීමාවක්. අනුර කුමාර දිසානායක විසින් 33.3%කට නොඅඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතහොත්, ඉතිරි අපේක්ෂයින් අතරින් උපරිම වශයෙන් එක් අයෙකුට මිසක් දෙදෙනෙකුට ඔහුව ඉක්මවා ඡන්ද ලබා ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා, අවම වශයෙන් තරඟයේ දෙවෙනියා වෙන්න පුළුවන්. නමුත් යම් හෙයකින් 33.3% සීමාවෙන් පහළට වැටුනොත් එවැනි සහතිකයක් හෝ නැතිව යනවා. එම තත්ත්වය තුළ දෙවැනි තැනද අහිමි වීමේ අවදානමට මාලිමාවට මුහුණ දෙන්න වෙනවා. මෙහි වෙනසක් වෙන්නනම් ඉදිරි දින 51 ඇතුළත අලුත් වටයක මාලිමා රැල්ලක් පැමිණිය යුතුයි.

සජබ මේ වන විට වේගයෙන් ජාජබ/ජවිපෙ පසු කර ගොස් ඇති අතර සුළු ජාතික ඡන්දද සමඟ සජිත්ගේ ජූනි මාසයේ ප්‍රතිශතය 40% මට්ටමට ආසන්න හෝ තරමක් වැඩි විය හැකියි. එසේ වුවද, ඔහු තවමත් සිටින්නේ 50% සීමාවට වඩා බොහෝ දුරිනුයි. 

මේ සමීක්ෂණ දත්ත එකතු කරගෙන තිබෙන්නේ "සුබ ආරංචිය" එන්නට පෙරයි. ඒ වගේම, ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් වෙන්නට පෙරයි. ඒ අනුව, ජූලි මාසයේදී තත්ත්වය වෙනස් වී ඇත්නම් එසේ වෙනස් වී තිබෙන්නේ රනිල්ට හා එජාප-පොහොට්ටු කඳවුරට වාසිදායක ලෙස විය යුතුයි. 

ජූනි සමීක්ෂණ ප්‍රතිපල අනුව එජාප-පොහොට්ටු කඳවුරේ ප්‍රතිශතය 23%ක්. මේ වන විට මේ කඳවුර දෙකට බෙදී ඇතත්, පොහොට්ටු ඡන්ද වලින් සැලකිය යුතු කොටසක් හා සුළු ජාතික ඡන්ද සැලකිය යුතු ප්‍රමාණයක් එකතු කර ගැනීමේ හැකියාවක් රනිල් සතුව තිබෙන නිසා මේ වෙද්දී රනිල්ට දෙවන තැනට පැමිණීම පිළිබඳව යම් බලාපොරොත්තුවක් ඇති කර ගත හැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ වගේම, සජිත් සමඟ පැවති තරඟය මේ වන විට අනුර සමඟ තරඟයක් බවට පත් වී තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ යම් හෙයකින් අනුර පසු කර රනිල්ට දෙවන තැනට පැමිණිය හැකි වුවහොත්, සජිත්ට වඩා කෙතරම් පසුපසින් සිටියත්, දෙවන මනාප එකතු වෙද්දී සජිත්ට තරඟයක් දීමේ හැකියාවක් ඇති වීමයි. 

කෙසේ වුවත්, රනිල්ට කෙතරම් දුරක් යා හැකිද යන්න පොහොට්ටුවේ ප්‍රවේශය මත වෙනස් විය හැකි දෙයක්. රනිල්ට, සජිත්ට හෝ අනුරට ලබා ගත නොහැකි යම් පොහොට්ටු ඡන්ද ප්‍රමාණයක් තිබෙනවා. එම ඡන්ද ප්‍රමාණය පොහොට්ටු අපේක්ෂකයෙකු විසින් ලබා ගැනීම රනිල්ට අවාසියක් නොවෙතත්, පොහොට්ටු අපේක්ෂකයෙකු විසින් රනිල්ට ලබා ගත හැකි ඡන්ද වලින් යම් ප්‍රමාණයක්ද ලබා ගැනීමට ඉඩ තිබෙනවා. අනෙක් පැත්තෙන් රනිල්ට "රනිල් රාජපක්ෂ" ලේබලය ගලවා ගැනීමේ වාසිය ලැබෙනවා. මේ සියළු තත්ත්වයන් එක්ක මෙවර ජනාධිපතිවරණ තරඟය දවසින් දවසම උණුසුම් වන බවකුයි පේන්න තියෙන්නේ. 

15 comments:

  1. හැම ලියන්නෙකුටම මිලක් තියෙනව

    ReplyDelete
    Replies
    1. හැම කමෙන්ට්කරුවෙක්ටම මිලක් නැහැ!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. "හැම ලියන්නෙකුටම මිලක් තියෙනව"

      මේක පට්ට පල් බොරුවක්...

      Delete
    4. මැතිවරනෙ ඉවරවෙනකන් දවස් දෙකකටවත් එක ලිපියක් දාන එකද ඇග්‍රීමන්ට් එක?

      Delete
    5. @සෙන්නා
      උඹටනම් රුපියල් දහයක් විතර තමයි හම්බවෙන්නෙ.

      Delete
    6. ඒකත් මදැයි...🤣

      Delete
  2. ලියන්නෝ ලියති තම තම මතවාද
    කියවන්නෝ කියති තමනගෙ අදහස්ද
    නිවැරදි එව්වයින් කොයි කොයි ඒවාද
    තෝරා ගන්න දස්සයි පාඨකයාද

    ReplyDelete
  3. මෙම ප්‍ර්‍රමන ගිය මාසයට සාපේක්ෂව සජබේ % කීයක වර්ධනයක් ද? ජාජබවේ % කීයක පසුබැසීමක්ද?

    ReplyDelete
  4. මම මේ බයේ ඉන්නේ ඉකොනෝ රනිල් දිනයි කියලා කියයිද කියලා.
    එහෙම උනොත් නං අනිවා රනිල් පැරදි.

    ඉකොනෝ කියන්නේ තිස්ස අත්තනායක වගේ පොරක්නේ

    ReplyDelete
  5. මේ ප්‍රස්ථාරේ යටින් කුඩා අකුරෙන් ලියලා තියෙන දේ හැටියට, ඔය දත්ත 2021 ඔක්තෝබර් සිට. 2024 ජුනි මාසේ නියැදිය 446. ඒක සාම්පල් එක ඇතිද?

    ReplyDelete
  6. අන්න පීටර් බෲවර් ජනාධිපතිවරණයට ඇප තියල... සැප්තැම්බර් 21න් පස්සෙ රනිල් කියන්නෙ ඉතිහාසයක් විතරයි.... ඉලක්කං ධන රින වීම එකම හේතුවද මිනිස්සුන්ට තීරණ ගන්න?

    ReplyDelete
  7. 1977 රනිල් වික්‍රමසිංහගේ සිට 2024 රනිල් රාජපක්ෂ දක්වා ඉතිහාසය....

    ReplyDelete
  8. ජනා පිනාගෙ රැල්ලෙ වලිලු. 😂😂😂.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: