වෙබ් ලිපිනය:

Wednesday, July 31, 2024

පොලී අනුපාතික හා ජනාධිපතිවරණ අවදානම


වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත පොලී අනුපාතික තීරණය වන ආකාරය ගැන කලින් සටහන් කිහිපයක් පළ කළා. දිගටම කියවන අයට මතක ඇති. ඒ මාතෘකාව කතා කරලා ඉවර නැහැ. විශේෂයෙන්ම රජය ණය ගැනීම, මහ බැංකුව සල්ලි අච්චු ගැසීම, බැංකු වල මැදිහත්කාර භූමිකාව වගේ දේවල් නිසා ඒ සමතුලිතතාවය වෙනස් වෙන්නේ කොහොමද කියන එක කතා කළ යුතු දේවල්. ලියන්නනම් තව කොයි තරම් දේවල් තියෙනවද?

හැබැයි මූලික කරුණක් විදිහට පොලී අනුපාතික තීරණය වෙන්නේ රටේ ඉතිරි කරන්නෝ හා ණය දෙන්නෝ අපේක්ෂා කරන පොලී අනුපාතික අනුවයි. ඒ අපේක්ෂිත පොලී අනුපාතික තීරණය වෙන්නේ අනාගතයේ මුහුණ දෙන්න විය හැකි අවදානම් වලට සාපේක්ෂව. සාමාන්‍ය මූලධර්මයක් විදිහට අවදානම් වැඩි වන බවක් පෙනෙද්දී අපේක්ෂිත පොලී අනුපාතික ඉහළ යනවා. එවිට වෙළඳපොළ පොලී අනුපාතිකත් ඉහළ යනවා. 

ඉහත ප්‍රස්ථාරයේ පෙන්වා තිබෙන්නේ 2022 ජනවාරි මාසයේ සිට ගත වූ වසර දෙකහමාරක පමණ කාලය තුළ බැංකු වල බරිත සාමාන්‍ය තැන්පතු පොලී අනුපාතය සහ බරිත සාමාන්‍ය ණය පොලී අනුපාතය වෙනස් වූ ආකාරය. මුලින් අඩු මට්ටමක තිබී, පසුව විශාල ලෙස ඉහළ ගොස්, නැවතත් ක්‍රමයෙන් පහත වැටෙමින් තිබෙන ආකාරය එහි පැහැදිලිව දකින්න පුළුවන්. තෝරාගත් මාස කිහිපයක පොලී අනුපාතික පහත තිබෙනවා.

2022 ජනවාරි:

බරිත සාමාන්‍ය තැන්පතු පොලී අනුපාතය = 6.58

බරිත සාමාන්‍ය  ණය පොලී අනුපාතය = 9.76


2022 දෙසැම්බර්:

බරිත සාමාන්‍ය තැන්පතු පොලී අනුපාතය = 23.07

බරිත සාමාන්‍ය  ණය පොලී අනුපාතය = 26.20


2023 දෙසැම්බර්:

බරිත සාමාන්‍ය තැන්පතු පොලී අනුපාතය = 11.06

බරිත සාමාන්‍ය  ණය පොලී අනුපාතය = 14.38


2024 මැයි:

බරිත සාමාන්‍ය තැන්පතු පොලී අනුපාතය = 7.32

බරිත සාමාන්‍ය  ණය පොලී අනුපාතය = 12.09

පොලී අනුපාතික පහත වැටී තිබුනත්, එක පැත්තකින් තවමත් 2022 ජනවාරි මට්ටමට පහත වැටී නැහැ. අනෙක් පැත්තෙන් පොලී අනුපාතික සහ උද්ධමනය අතර විශාල පරතරයක් තිබෙනවා. ඒ නිසා, පොලී අනුපාතික, විශේෂයෙන්ම ණය පොලී අනුපාතික, තවත් පහළට වැටිය යුතුයි. මහ බැංකුව විසින්ද පොලී අනුපාතික පහතට ගන්න උත්සාහ කරමින් ඉන්න බව පේනවා.

පොලී අනුපාතික පහතට වැටෙන එක සීමා වෙන්න හේතු ගණනාවක් බලපානවා. එකක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරද්දී ලබා දුන් පොලී අනුපාතික නිසා වෙළඳපොළ පොලී අනුපාතික වල යම් අවම සීමාවක් ලකුණු වී තිබීම. මේක දිගුකාලීනව බලපාන දෙයක්. විශේෂයෙන්ම බැඳුම්කර වෙළඳපොළ කෙරෙහි තිබෙන අධිකාරී බලය හරහා ලංකාවේ පොලී අනුපාතික කෙරෙහි විශාල බලපෑමක් කළ හැකි සේවක අර්ථසාධක අරමුදලට රජයට අඩුවෙන් ණය දීලා පොරොන්දු වී තිබෙන ප්‍රතිලාභ ගෙවන්න බැහැ. පොලී අනුපාතික ඉහළින් තියෙද්දී මෙය සීමාකාරී සාධකයක් නොවුනත් දැන් එහෙම වෙලා.

දෙවැන්න දිගුකාලීන ප්‍රශ්නයක් බවට පත් විය හැකි තාවකාලික ප්‍රශ්නයක්. ඒ ජනාධිපතිවරණය නිසා ඇති වී තිබෙන අවදානම.

වත්පොත් සටහන් ආකෘතියට නොගැලපෙන නිසා එක සටහනක් සමඟ එක රූප සටහනකට වඩා නොදා ඉන්න මම උත්සාහ කරනවා. ඒ නිසා, ඉදිරි සටහනක් සමඟ පළ කරන්න සිතා ඉන්න රූප සටහනක පැහැදිලිව පෙන්වා දෙනු ලැබීය හැකි පරිදි, පසුගිය වසරේදී පොලී අනුපාතික ක්‍රමයෙන් පහත වැටීම රජයේ ආදායම් හා වියදම් අතර පරතරය ක්‍රමයෙන් පහත වැටීම සහ ඒ හේතුවෙන් ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු වීමට අනුරූපයි.

මැතිවරණයෙන් පසුවත් රාජ්‍යමූල්‍ය කළමනාකරණය දැන් විදිහටම සිදු වෙයිද? එහෙම නැත්නම් පීල්ල මාරු වෙයිද? පොලී අනුපාතික වෙළඳපොළට සම්බන්ධ වන අය මේ දේවල් ගැන බරපතල විදිහට හිතනවා.

අද (ජූලි 31) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට රුපියල් බිලියන 170ක බිල්පත් ඉදිරිපත් කළත්. පසුගිය සතියේ පැවති මිලට විකුණාගන්න ලැබී තියෙන්නේ රුපියල් බිලියන 126.4ක බිල්පත් ප්‍රමාණයක් පමණයි. 

දැන් මහා භාණ්ඩාගාරය යම් රුපියල් ප්‍රමාණයක් සංචිත විදිහට තියාගෙන ඉන්න නිසා මේ වගේ දෙයක ක්ෂණික බලපෑමක් නැතත්, බිල්පත් අවශ්‍ය පමණ විකුණ ගන්න බැරි වෙනවා කියන්නේ රජය විසින් පසුගිය මාස වලදී කරගෙන ආ මහ බැංකුවෙන් ගත් ණය ආපසු ගෙවීමේ ක්‍රියාවලියට බාධා වෙනවා කියන එකයි. ඒ එක්ක මහ බැංකුවට ආපසු එන රුපියල් ප්‍රමාණය සීමා වෙනවා. ඒ හරහා මහ බැංකුවට වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගැනීමේ හැකියාවත් සීමා වෙනවා. 

සමහර විට මෙතැන තියෙන්නේ පොහොට්ටු කඳවුර දෙකට බෙදීම නිසා මැතිවරණ ප්‍රතිඵලය කෙරෙහි සිදු විය හැකි බලපෑම හේතුවෙන් ඇති වූ ක්ෂණික වෙළඳපොළ කම්පනය වෙන්න පුළුවන්. නමුත් පේන විදිහට ඒ දෙකට බෙදීමේ බලපෑම ක්‍රමයෙන් තුනී වෙමින් යනවා. 

මෙය දිගටම කියවන අයට වරින් වර කියා තිබෙන පරිදි, ලියන ඇතැම් සටහන් මා ඇතැම් විට පළ කරන්නේ නැහැ. එසේ දෙවරක් සිතා පළ නොකළ සටහන් සිය ගණනක් කෙටුම්පත් ලෙස තිබෙනවා. පසුගිය දින දෙකේදී ලියූ සටහන් දෙකකුත් ඒ නොපළ සටහන් වලට එකතු වී තිබෙනවා. මේවා සමහරක් ටිකක් නිර්මාණාත්මක පැත්තට බර වෙච්ච ඒවා. පහත තියෙන්නේනම් ඒවායින් එකක් නෙමෙයි. 

අසූව දශකයේදී ජනප්‍රිය වූ දේශපාලන යාන් එකක් නැවත මතක් කරන්නනම්. මේ යාන් එකේ, ඒ දවස් වල ප්‍රසිද්ධ දේශපාලනඥයෝ තුන් දෙනෙක් ගමනක් යනවා. අපි ඒ අයගේ නම් නැතිව කතාව විතරක් මතක් කර ගනිමු. ඔහොම ඇවිදගෙන යද්දී පාර මැද්දේ ලොකු අශූචි ගොඩක් පේන්න තියෙනවා. පළමු දේශපාලනඥයා ඈත තියාම මේක දැකලා තමන් පසුපසින් එන දේශපාලනඥයන් දෙන්නාට මේ ගැන අවවාද කරනවා.

"පාරේ ඉස්සරහා ගූ ගොඩක්!"

දැන් ඔහොම කියන්නේ ඕක පාගගන්නේ නැතිව අයින් වෙලා යන්න. පළමු දේශපාලනඥයා එහෙම කරනවා.

දැන් දෙවැන්නාගේ වාරය. දෙවැන්නට පළමුවැන්නාව ඒ තරම් ෂුවර් නැහැ. මොකද මනුස්සයා රටේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ නූල් සූත්තරකාරයෙක් විදිහටයි. 

දෙවැන්නා අශූචි ගොඩට කිට්ටු වෙනවා. බිමට නැමිලා ළඟටම නහය කිට්ටු කරනවා. ඔන්න දැන් ඔය දෙවන දේශපාලනඥයාට අශූචි ගොඩේ "සුවඳ" ඉතාම හොඳින් දැනෙනවා.

"ඔව්. ගූ ගොඩක් තමයි!"

දෙවැන්නාත් අයින් වෙලා යනවා. 

ඊළඟට තුන් වැන්නාගේ වාරය. ඔය තුන් වැන්නා හැමදාම කවුරු හෝ කියන හෝ කරන ඕනෑම දෙයක් ගැන සැකෙන් බලමින් විවේචනය කරමින් හිටපු මනුස්සයෙක්. ඈත තියාම අශූචි ගොඩ පේනවා වුනත් ඒක අශුචි ගොඩක් කියලා අනෙක් දෙන්නාම තහවුරු කරලා කිවුවත් මේ මනුස්සයාට ඕක පිළිගන්න අමාරුයි. දෙවැන්නා වගේම ඔහුත් දෙකට නැවිලා, රැවුලේ අශූචි තැවරෙන ගානටම නහය ළඟටම කිට්ටු කරලා බලනවා. කතා දෙකක් නැහැ පට්ට ගඳයි. හැබැයි මනුස්සයාට ඒත් ෂුවර් නැහැ. 

අන්තිමට තුන් වැනියා මේක තමන්ගේම ක්‍රමයකට පරීක්ෂා කරන්න තීරණය කරනවා. ඔහු කරන්නේ අශූචි ගොඩට ඇඟිල්ලක් ගහලා ඇඟිල්ල අරගෙන දිවේ තියලා බලන එක. 

"ඔව්. ඔව්. ගූ ගොඩක් තමයි!"

(මේක පරණ කතාවක්. දැන් ජීවත් වන කාටවත් සම්බන්ධයක් නැහැ.)

ඉතිං මේ කතාවෙන් ගන්න තිබෙන ආදර්ශය තමයි ගූ ගොඩ ගූ ගොඩක් කියන එක අන්තිමේදී කාට වුනත් පිළිගන්න වෙනවා කියන එක. ඒ නිසා, කවුරුවත් ගූ ගොඩ පාගගන්නේ නැහැ. ලංකාවේ අනාගතය ගැන මම ශුභවාදීව බලන්නෙත් ඔන්න ඔය නිසා.

4 comments:

  1. ඔන්න නොකියපු ටික මම එකතු කරනවා.
    "රනිල් දින්නොත් හැබැයි අවදානම නැතිව යනවා."

    ReplyDelete
  2. ගොථා අභ ගූ ගොඩට චන්දේ දෙන්න එපා කිව්වා කිව්වා ඇහුවද නෑ නේ. නෑ නේ

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: