Friday, June 23, 2017

මරාගෙන මැරෙන්නට පෙර...


සයිටම් විරෝධී අරගලය මරාගෙන මැරෙන සටනක් බවට පරිවර්තනය වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ. එය කණගාටුදායක තත්ත්වයකි. මේ ගැන ලිවිය යුතු බොහෝ දේ වෙනත් තැන් වල ලියැවී ඇතත්, කරුණු සිදුවේගෙන යන ආකාරය පෙනෙන විට යමක් නොලියා සිටිය නොහැකිය.

මේ අරගලයත්, අසූව දශකයේදී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ඇරඹුණු අරගලයත් අතර බොහෝ සමානකම් ඇති අතර කැපී පෙනෙන වෙනස්කම්ද තිබේ. සයිටම් විරෝධී අරගලයේ ශක්තිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ වෛද්‍යවරුන් වුවත්, එහි ගාමක බලවේගය වන්නේ විශ්ව විද්‍යාල සිසුන්ය. ඔවුන් පසුපස සිටින දේශපාලන බලවේගය පෙසපෙ විය යුතුය. එහෙත්, අරගලයට සම්බන්ධ සරසවි සිසුන්ගෙන් බහුතරය වැඩිම වුනොත් පෙසපෙට අනුකම්පාව දක්වන්නන් මිස පෙසපෙ කාඩර් වරුන් හෝ සාමාන්‍ය සාමාජිකයින් විය නොහැකිය.

අරගලය හා සම්බන්ධව සිටින වෛද්‍යවරුන් බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නය වෘත්තීය (ආර්ථික) ප්‍රශ්නයක් වුවත්, සංගමයේ නිලධාරීන්ට දේශපාලන අරමුණුද ඇති බව පෙනේ.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව පැන නැඟුණු අරගලය හා එයින් පසුව සිදුවුණු ක්‍රියාදාමය අවසන් වුණේ 1989 පමණ වෙද්දීය. පෞද්ගලික අත්දැකීම්ද ඇතුළුව මේ කාලය ගැන ලියන්නට ඕනෑ තරම් දේවල් ඇතත් කෙළවරක් නැති ලියවිල්ලක් විය හැකි මෙය අපි අනාගතයට තබමු. එතැන් සිට, මේ වන තුරු, වසර 28ක් ගෙවී ගොස් තිබේ. අද වයස අවුරුදු 35ක් වන අයෙකු ඒ වන විට අවුරුදු හතක දරුවෙකි. සයිටම් විරෝධී අරගලය වෙනුවෙන් පෙළ ගැසී සිටින සරසවි සිසුන් සියලු දෙනාම වාගේ ඒ යුගයෙන් පසුව ඉපදුණු අයයි. සයිටම් විරෝධී තරුණ වෛද්‍යවරුන්ගෙන් කොටසක්ද ඒ යුගය ගැන මතකයක් නැති අයයි.

එපමණක් නොවේ. සයිටම් විරෝධී සටන් මර්දනය කිරීමට පෙරමුණට යැවෙන පොලිස් නිලධාරීන්ද දශක හතරකට පෙර සිදුවුණු ක්‍රියාදාමය ගැන තමන්ගේම වූ අත්දැකීම් නැති අයයි. වත්මන් ක්‍රියාදාමය තවත් ඉදිරියට ඇදී ගියහොත් මර්දනය සඳහා යොදාගනු ඇත්තේද, එම යුගය ගැන අත්දැකීම් නැති බහුතරයකගෙන් සමන්විත තරුණ ආරක්ෂක හමුදා සාමාජිකයින් කණ්ඩායමකි.

සටනේ ඉදිරිපෙළ තත්ත්වය මෙසේ වුවත්, පසුපෙළ තත්ත්වය එසේ නොවේ. පසුබිමේ සිට අරගලය මෙහෙයවන්නේත්, අරගලයට ප්‍රතිපක්ෂව සිටින්නේත් අසූව දශකය ගැන මනා අත්දැකීම් ඇති අයයි. මේ දෙපිරිසම පසුගිය වර සාර්ථක වූ උපාය මාර්ගයන් නැවත අත්හදා බලන්නටත්, අසාර්ථක වූ උපාය මාර්ග ගැන සැලකිලිමත් වන්නටත් පරිස්සම් වනවා විය යුතුය. නරකම
ත්ත්වයන් යටතේ, එහි ප්‍රතිඵලය වනු ඇත්තේ වඩා දිග්ගැස්සුණු, වඩා විනාශකාරී ඝට්ඨනයකි. කොරහේ කිඹුලන් සිටිය නොහැකි වුවත් හූනන් මෙන් පෙනෙන්නේ කිඹුල් පැටවුන් වන්නට බැරි නැත.

හැත්තෑ එකේ සිට අසූ අට/ අසූ නවය දක්වා පැමිණෙද්දී සිදු වුණේද මෙවැන්නකි. පළමු අවස්ථාවේදී මාස දෙක තුනකින් අවසන් වූ ගැටුම, දෙවන අවස්ථාවේදී වසර දෙක තුනක්ම දිග් ගැසුණේය. දෙවන වර සිදු වූ ආර්ථික හා සමාජයීය විනාශය පළමු වර මෙන් කොපමණ ගුණයක්ද කියා මා මෙහි විස්තර කරන්නට යන්නේ නැත. මේ ගැටුම් දෙකේ දිගුවක් ලෙස යම් හෙයකින් සිදු විය හැකි තෙවන ගැටුමක් ලංකාවේ සමාජය විසින් පෙර අත්දැක නැති තරම් විනාශකාරී විය හැකි අතර, කාලයක් තිස්සේ ලංකාව විසින් ලබාගෙන ඇති කිසියම් ආර්ථික හා සමාජයීය ජයග්‍රහණයන් ඇත්නම් ඒ සියල්ල නැවත විශාල කාලයකට ගොඩනැගිය නොහැකි වන පරිදි ආපසු හරවනු ඇත.

පෙර නොවූ වීරූ අති විශාල ජනවරමක් ලබා ජේආර් ජයවර්ධන බලයට පත් වීමෙන් වසර දෙක තුනකට පසුව, 1980දී උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආරම්භ කෙරෙන විට, වසර කිහිපයකට පසුව එයට විරුද්ධව ඇති වූ ප්‍රතිරෝධයට සාපේක්ෂව, එයට විශාල ප්‍රතිරෝධයක් ඇති වුනේ නැත. ජේආර් ජයවර්ධන රජය විසින් එම වසරේ ජූලි මාසයේදී රාජ්‍ය සේවක වැඩ වර්ජනය මර්දනය කර තිබූ ආකාරය අනුව එවැනි ප්‍රතිරෝධයක් දැක්වීමට ලොකු ඉඩක් තිබුණේද නැත. මෙයට සාපේක්ෂව එයින් වසර කිහිපයකට පසු රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසුණු අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහි විරෝධතාවන් රට පුරාම පුළුල් මට්ටමින් සිදු විය. ඇතැම් විට පළමු අවස්ථාව වන විට ජවිපෙ සරසවි තුළ ප්‍රමුඛ බලවේගය ලෙස සංවිධානය වී නොතිබීමත්, දෙවන අවස්ථාව වන විට එසේ සංවිධානය වී තිබීමත් මෙයට හේතු වූවා විය හැකිය. අසූව දශකයේ මුල කාලයේ සරසවි ඇතුළත පැවති දේශපාලන බලතුලනය ගැන මට වැඩි අදහසක් නැත.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධය නැවත මතු වුණේ එහි ඉගෙනුම ලැබූ පළමු ශිෂ්‍ය කණ්ඩායමට කොළඹ විශ්ව විද්‍යාලයේ MBBS උපාධිය පිරිනැමීමට සූදානම් වීමත් සමඟය. මේ කාලය වන විට (උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය හැර) ලංකාවේ වෛද්‍ය පීඨ තිබුණේ හතරක් පමණි. ඒ කොළඹ, පේරාදෙණිය, කරාපිටිය (රුහුණ) හා යාපනය වෛද්‍ය පීඨයි. මගේ අදහස පරිදි ඒ වන විට කරාපිටියේ පළමු ශිෂ්‍ය කණ්ඩායම් උපාධිය ලබා පිටවී නොතිබුණු අතර යාපනය වෛද්‍ය පීඨයෙන්ද වැඩිම වුනොත් ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් වෛද්‍ය වෘත්තියට පිවිස තිබෙන්නට ඇත.

ඒ කාලයේ, වෛද්‍යවරයෙකු වීමේ සිහිනය තිබූ බොහෝ දෙනෙකුගේ ඉලක්කය වූයේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් වෛද්‍ය උපාධියක් ලබා ගැනීමයි. ලංකාවේ බටහිර වෛද්‍ය අධ්‍යාපනය ලබාදුන් පැරණිම ආයතනයක් වූ කොළඹ වෛද්‍ය පීඨයේ MBBS උපාධියට ඒ වන විට රටේ විශාල පිළිගැනීමක් තිබුණේය. පේරාදෙණියේ වෛද්‍ය උපාධියටද විශාල පිළිගැනීමක් තිබුණත් පේරාදෙණිය සිටියේ කොළඹට පිටුපසිනි. රටේ බොහෝ දෙනෙක් මෙඩිකල් කොලේජ් එක කියා දැන සිටියේ කොළඹ වෛද්‍ය පීඨයයි.

යාපනය වෛද්‍ය උපාධියට තිබුණු ඉල්ලුම ගැන මට අදහසක් නැතත්, කරාපිටිය වෛද්‍ය විද්‍යාලයේ මුල් කණ්ඩායම් වලට තේරුණු මා දැන සිටි බොහෝ දෙනෙක් ඒ කාලයේ සිටියේ කොළඹට හෝ පේරාදෙණියට යන්නට නොලැබීම ගැන කනස්සල්ලෙනි. ඔවුන් වැඩි දෙනෙකුගේ අදහස වුනේ රුහුණෙන් තමන්ට ලබාගන්නට වෙන්නේ කොළඹින් හා පේරාදෙණියෙන් ලැබෙනවාට වඩා "බාල" උපාධියක් බවයි. ඒ වන විට, රුහුණෙන් පිටවූ වෛද්‍යවරුන් රජයේ සේවය තුළ නොසිටි නිසා, අනාගතයේදී රජයේ රැකියා ලබාදීමේදී කොළඹට හා පේරාදෙණියට ප්‍රමුඛතාවය දීමෙන් අනතුරුව දුෂ්කර පත්වීම් පමණක් තමන්ට ඉතිරි වෙනු ඇතැයි වැනි අදහසක්ද ඔවුන්ට තිබුණේය. වෘත්තියෙන් පිටත, විවාහ වෙළඳපොළ වැනි තැන් වලදී හා සමාජ ජීවිතයේදීද (සිංහ හෝ රොටරි සමාජයක සාමාජිකත්වය ගැනීම වැනි) වෛද්‍ය උපාධිය ගත් තැන අනුව වෙනසක් තිබුණා විය හැකිය.

උසස් පෙළ විභාගයෙන් වෛද්‍ය විද්‍යාලයට තබා ජීව විද්‍යාව හැදෑරීම සඳහාවත් තේරෙන්නට අසමත්ව සිටියදී, මුදල් ගෙවා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වූ පිරිසකට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය පිරිනමන්නට සූදානම් වුණේ මෙවැනි පසුබිමකය. මෙය ප්‍රශ්නයක් වුණේ වෛද්‍ය ශිෂ්‍යයන්ට පමණක් නොවේ.

සරසවි සිසුන් විසින් බොහෝ විට මානසිකව උපාධි ධුරාවලිය තුළ තමන්ගේ උපාධියට තිබෙන තැන ස්ථාපනය කර ගත්තේ වෛද්‍ය උපාධියට සාපේක්ෂවය. වෛද්‍ය උපාධි අතරින්ද උඩින්ම තිබුණේ කොළඹ වෛද්‍ය උපාධියයි.
එවක බොහෝ සරසවි සිසුන් විසින් සිතූ පරිදි, උසස්පෙළ විභාගයෙන් සරසවි පිවිසුම් මූලික සුදුසුකම් සැපිරීමටද නොහැකි වූවන්ට මුදල් ගෙවා ඇතුළු විය හැකිව තිබුණු උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය හදාරන්නන් වෙනුවෙන් ලැබිය යුතුව තිබුණු උපාධිය උපාධි ධුරාවලියේ පහළින්ම තිබිය යුත්තක් විය. පසුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන ඉදිරියට ඇදී යද්දී අන්තරේට සම්බන්ධ සරසවි සිසුන් විසින් අපව දැනුවත් කළ පරිදි, රාගම වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට අවශ්‍ය මූලික සුදුසුකම උසස්පෙළ සාමාන්‍ය සාමාර්ථ තුනක් වූ අතර, එයද නැති අයත්, ගෘහ විද්‍යාව වැනි විෂයයන්ගෙන් උසස් පෙළ සමත් වූ අයද එහි ඉගෙනුම ලබමින් සිටියහ. මේ තොරතුරු වලට පදනමක් තිබුණේදැයි මා අදටත් දන්නේ නැත.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට කොළඹ සරසවියේ උපාධිය දීමේ ඇත්තටම ප්‍රශ්නයක් තිබුණේය. එය පැහැදිලි ප්‍රශ්නයක් විය.


උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි විරෝධය ඇති වන කාලය වන විටද සරසවිය සමජාතීය සිසුන්ගෙන් සැදුම්ලත් තැනක් නොවීය. වෛද්‍ය පීඨ සිසුන්ට තිබුණු රැකියා සුරක්ෂිතභාවය හා සමාජ පිළිගැනීම කලා පීඨ වල සිසුන්ට නොතිබුනේය. තනි තනිව ගත් විට වෙනස් උදාහරණ ඕනෑ තරම් පෙන්විය හැකි වුවත්, වෛද්‍ය පීඨ සිසුවෙකුගේ සාමාන්‍ය සමාජ ආර්ථික පසුබිමද, කලා පීඨ සිසුවෙකුගේ එම පසුබිමට වඩා තරමක් උඩින් තිබුණේය. මේ ආදී හේතු නිසා ඒ කාලයේ වෛද්‍ය පීඨ සිසුවෙකු ශිෂ්‍ය සටන් වෙත ආකර්ෂණය වුනේ කලාතුරකිනි. අනෙක් බොහෝ පාඨමාලා වලට සාපේක්ෂව වැඩ අධික හා අමාරු පාඨමාලාවක් හදාරමින් සිටි ඔවුන්ට ශිෂ්‍ය සටන් වලට වඩා වැදගත් වැඩ තිබුණේය. කොළඹ වෛද්‍ය පීඨය තුළ මේ තත්ත්වය විශේෂයෙන් කැපී පෙනුනේය.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය වෙනත් ශිෂ්‍ය සටන් වලින් කැපී පෙනුණු ප්‍රධාන කරුණක් වූයේ (ඇතැම් විට මුල් වරට) වෛද්‍ය පීඨ ශිෂ්‍යයින් විශාල පිරිසක් ශිෂ්‍ය සටනක් වෙත ආකර්ශනය කරගන්නට හැකි වීමයි. ඒ කාලයේ සරසවි සිසුන් වූ ඇතැම් අයගේ වචන වලින් කියන්නේනම් "මෙඩ්ඩෝ එළියට ගත්තා කියන්නේ" ශිෂ්‍ය ව්‍යාපාරයට ලබා ගත හැකිව තිබුණු විශාල ජයග්‍රහණයකි. මේ සමඟම විශ්ව විද්‍යාල ඉතිහාසය පුරාම දේශපාලන මතවාද අනුව බෙදී, විවිධ දේශපාලන පක්ෂ හෝ කල්ලි වටා එකතුව සිටි සිසු කණ්ඩායම් වලින් සමන්විත වූ ශිෂ්‍ය ව්‍යාපාරයට (යාපනය සරසවිය හැර) සමස්ත විශ්ව විද්‍යාල පද්ධතිය පුරාම ව්‍යාප්ත වුනු, ශිෂ්‍ය දේශපාලනයට අමතරව මතු පිටින් පෙනෙන වෙනත් දේශපාලනයක් නැති, තනි ශිෂ්‍ය ව්‍යාපාරයක් ලෙස හිස ඔසොවන්නට හැකි විය.

ඉහත කී ලෙස මෙඩ්ඩන්ද එළියට බැසීමට හේතු වුණේ පළමු වරට ඔවුන්ටද රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ සැකයක් මතු වීමයි. වඩාත් නිවැරදිව කියනවානම්, එවැනි සැකයක් ඔවුන් තුළ පැල කිරීමට ශිෂ්‍ය ව්‍යාපාරයේ නියමුවන්ට හැකි වීමයි. රස්සා නැතුව වේලෙන ආටන්ගේ තත්ත්වයට පත් වන්නට සිදුවීම මෙන්ම සමාජ ධුරාවලිය තුළ තමන්ගේ තැන පසු කර ඉහළට යාමේ විභවයක් ඇති පිරිසක් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතියට පිටතින් මතු වීම මෙඩ්ඩන්ට පෙනෙන්නට වූ භයංකාර සිහිනයක් විය. ඒ අනුව, සටන් පෙරමුණට මෙඩ්ඩන්ගේ දායකත්වයද ලැබුණේය.

ශිෂ්‍ය ව්‍යාපාරයේ පෙරමුණට ආ මෙඩ්ඩන් ගණන ඉතා විශාල නොවූවත් එසේ පැමිණි අයට ශිෂ්‍ය ව්‍යාපාරය තුළ විශේෂ තැනක් හිමි විය. මෙය ජවිපෙ තුළ සිටින සීමිත දෙමළ, මුස්ලිම් හෝ කාන්තා නියෝජිතයින්ට විශේෂ තැනක් ලැබෙනවාක් වැනි තත්ත්වයකි. ඒ, ශිෂ්‍ය ව්‍යාපාරයේ කටයුතු ඉදිරියට ගෙන යාමේදී මෙඩ්ඩන්ගේ සංකේතාත්මක වැදගත්කම ඉතා විශාල වූ බැවිනි. සම්ප්‍රදායික "අල පාත්ති" වූ මෙඩ්ඩන්ද සටන් පෙරමුණට පැමිණ සිටිද්දී වෙනත් පීඨයක සිසුවෙකුට මේ "ශිෂ්‍ය ව්‍යාපාරයේ උර මත පැටවුණු ඓතිහාසික වගකීම" මග හැර මෙඩ්ඩෙකුටත් වඩා අලයෙකු වීමේ හැකියාවක් නොතිබුණේය.

අසූව දශකය වන විට ලංකාවේ උපාධිධාරී බටහිර වෛද්‍යවරුන් සිටියේ අද සිටිනවාට වඩා බොහෝ අඩු ගණනකි. ඒ නිසා, ඔවුන්ට වෙළඳපොළ තරඟය ලොකු ප්‍රශ්නයක් වුණේ නැත. වෙළදපොළ තරඟය තුළ ඔවුන්ට පෙර එළියට විසිවෙන්නට නියමිතව සිටි සහකාර වෛද්‍යවරුන් වැනි වෙනත් පිරිස්ද සිටි නිසා ඔවුන්ට ළඟ පෙනෙන තර්ජනයක් නොපෙනුණේය. ඒ නිසා, වෛද්‍ය සිසුන් මුහුණ දුන් තරමේ ප්‍රශ්නයකට එවකට වෘත්තියේ නියැලෙමින් සිටි වෛද්‍යවරුන්ට මුහුණ දෙන්නට සිදු වුනේ නැත.

අද වන විට ලංකාවේ රජයේ රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන්ට වඩා පහළින් වෙනත් කණ්ඩායම් නැති අතර ඔවුන් අතර තරඟයද දශක හතරකට පෙර පැවතියට වඩා බොහෝ වැඩි වී තිබේ. ඒ කාලයේ, ලොකු වෙළදපොළ වටිනාකමක් තිබුණු සමාන්තර වෘත්තියක් වූ නීති වෘත්තියට පිවිසෙන්නට සුදුසුකම් ලබන බොහෝ දෙනෙකුට අද රැකියාවක් ලබා ගැනීම අසීරු කාර්යයක් වී තිබේ. වෛද්‍ය වෘත්තියේ නිරතව සිටින සාපේක්ෂව අකාර්යක්ෂම වෘත්තිකයින්ගේ ලාභ ආන්තික තවදුරටත් එසේම පවත්වා ගත හැක්කේ
වෙළදපොළ තරඟය කෙසේ හෝ අවම කර ගැනීමෙන් පමණි. ඒ සඳහා, වෘත්තියට අලුතෙන් පිවිසෙන ප්‍රමාණය සීමා කර ගත යුතුය.

තත්ත්වය එසේනම් රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය පුළුල් කර වැඩි පිරිසකට වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන මෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ඇයිදැයි යමෙකුට ප්‍රශ්න කළ හැකිය. සරලවම කියනවානම්, මෙය සිදු නොවන්නක් බව ඔවුහු දනිති. රජයේ විශ්ව විද්‍යාල පද්ධතිය විශාල ලෙස පුළුල් වීම ප්‍රායෝගිකව සිදු නොවන්නකි.

අනෙක් අතරට සයිටම් යනු අයිස් කන්දක ශිඛරයයි. මුදල් ගෙවා වෛද්‍ය අධ්‍යාපනය ලබාගන්නට සූදානම් පිරිස් තවත් ලංකාවේ ඕනෑ තරම් සිටිති. සයිටම් සාර්ථක වීම යනු, මේ ඉල්ලීම සපුරාලනු පිණිස තව තවත් එවැනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගණනාවක්  බිහිවීමකි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ රට තුළ වෛද්‍ය වෘත්තිකයින් සැපයුම ඉහළ ගොස් වෛද්‍ය වෘත්තියේ සුපිරි ලාභ ආන්තික නැති වීමයි. එහෙත්, තරඟය හේතුවෙන් වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් වෛද්‍ය වෘත්තිකයින් යොදන විශාල මූල්‍යමය හා මූල්‍යමය නොවන අවදානම් වෙනුවෙන්ද, ඔවුන් ගන්නා අවදානම් වෙනුවෙන්ද ලැබෙන ලාභ ආන්තික ඔවුන්ට අහිමි වීමට ඉඩක් නැත. සුපිරි ලාභ අහිමි වුවද, මෙසේ ඉතිරිවන ලාභ ආන්තික වෛද්‍යවරුන්ට තවදුරටත් සමාජ ධුරාවලිය තුළ තමන්ට හිමි තැන පවත්වා ගැනීමට තරම් ප්‍රමාණවත් වනු ඇත. තරඟය හේතුවෙන් ඇමරිකාවේ සමාජ ධුරාවලිය තුළ වෛද්‍යවරුන්ගේ ස්ථානය තර්ජනයට ලක්වී නොමැත.


ලංකාවේ සිටින වෛද්‍ය අධ්‍යාපනය ලබා ගන්නට කැමති හා ඒ සඳහා අවශ්‍ය වන සුදුසුකම් සම්පූර්ණ කිරීමේ ශක්‍යතාවයක් ඇති සියල්ලන්ටම රජයේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය පීඨ හරහා ඒ අවස්ථාව නොලැබෙන බැවින් ලංකාව තුළ වෛද්‍යවරුන් බිහිවන්නේ සිටිය යුතු ප්‍රමාණයට වඩා අඩුවෙනි. එහි ප්‍රතිඵලයක් ලෙස, ලංකාවේ වෛද්‍ය සේවාවන් සඳහා වන ඉල්ලුම සැපිරීමට තරම් ප්‍රමාණවත් වෛද්‍ය සේවා සැපයුමක් නැත. මේ හේතුවෙන් වෛද්‍ය සේවා මිල දී ගන්නා පාරිභෝගිකයින්ට නියම මිලට වඩා වැඩි මිලක් ගෙවන්නට සිදු වන අතර, වෛද්‍ය වෘත්තිකයින්ට ඔවුන් විසින් ගන්නා අවදානමට හා සිදු කරන ආයෝජනයට සරිලන නියම ලාභයට වඩා වැඩි සුපිරි ලාභයක් ලැබීමේ අවස්ථාව හිමිව තිබේ.

සයිටම් නිසා ඉහත තත්ත්වය ක්ෂණිකව විශාල ලෙස වෙනස් වීමේ ඉඩක් ඇති වී නැත. එය තවමත් රටේ විශාල පිරිසකට තෝරාගත හැකි විකල්පයක්ද නොවේ. එහෙත්, රජයේ වෛද්‍ය පීඨයක් හරහා සිය වෛද්‍ය සිහිනය සැබෑ කර ගැනීමට ඉඩක් නැති විශාල පිරිසකට එය සිය ඉලක්කය කරා ලඟා විය හැකි විකල්ප මාර්ගයකි.

සයිටම් ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් , ඒ ආකෘතියේ වෛද්‍ය විද්‍යාල තවත් බිහි වන්නට ඉඩ තිබේ. තරඟය වැඩි වීමත්, රැකියා සුරක්ෂිතතාවය පිළිබඳ අවිනිශ්චිතතාවයන් අඩු වීමත් නිසා වෛද්‍ය අධ්‍යාපනය සඳහා වැය කළ යුතු මිල තව දුරටත් පහත වැටෙන්නට ඉඩ ඇති අතර නිසි නියාමනයක් ක්‍රියාත්මක වේනම් වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පහත වැටෙන්නටද හේතුවක් නැත. එහි වාසිය අවසාන වශයෙන් ලංකාවේ වෛද්‍ය සේවා ලබාගන්නා පාරිභෝගිකයින්ට හිමි වනු ඇත. එහෙත්, වෛද්‍ය වෘත්තිකයින්ගේ සුපිරි ලාභ වලට එයින් පහරක් වැදේ.

වෛද්‍ය වෘත්තිකයෝ මෝඩයෝ නොවෙති. ඔවුන්ට ඉහත තත්ත්වය ගැන මනා අවබෝධයක් තිබේ. වෛද්‍යවරුන්ගේ සයිටම් විරෝධය මරාගෙන මැරෙන තත්ත්වයට උග්‍ර වී තිබෙන්නේ ඔවුන් විසින් අනාගතයේදී මහ ගසක් වී පැල බෝ කරන්නට නියමිත සයිට්ම් වෘක්ෂය පොරොවකින් තබා බැකෝ යන්ත්‍රයකින්වත් ඉවත් කළ නොහැකි ලෙස පැලපදියම් වන්නට පෙර නියපොත්තෙන් කඩා දැමීමට ගන්නා උත්සාහය තුළදීය.

තනි පුද්ගලයින් වශයෙන් හා කණ්ඩායමක් වශයෙන් තමන්ගේ යහපත පිණිස හේතුවන කරුණක් වෙනුවෙන් පෙනී සිටින්නට හා ඒ වෙනුවෙන් කතා කිරීමට වෛද්‍ය වෘත්තිකයින්ට අයිතියක් තිබේ. එහෙත්, රජයක් විසින් එවැනි ඉල්ලීමකට ඉඩ දිය යුත්තේ එයින් වෙනත් පුද්ගලයින්ගේ හා කණ්ඩායම් වල යහපතට බාධාවක් වන්නේදැයි සලකා බැලීමෙන් පසුවය.

සයිටම් යනු මූලික වශයෙන් ස්වේච්ඡාවෙන් මුදල් ගෙවා එහි ඉගෙන ගන්නා ශිෂ්‍යයන් හා ඔවුන්ගෙන් මුදල් ලබාගෙන වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන එහි පරිපාලකයින් අතර සිදුවන නිදහස් ගනුදෙනුවකි. තෙවන පාර්ශ්වයන්ට හානියක් සිදු නොවන තාක් කල්, රජය එවැනි නිදහස් ගනුදෙනුවකට බාධා නොකළ යුතුවා පමණක් නොව, එවැනි නිදහස් ගනුදෙනුවකට කිසියම් බාධාවක් හෝ බාධාවන් ඉවත් කර දීම රජයක මූලික වගකීමක්ද වේ.

කෙසේ වුවද, වෛද්‍ය අධ්‍යාපනයේ අරමුණ වෛද්‍ය වෘත්තිකයින් බිහි කිරීමයි. සයිටම් මඟින් බිහි කරන වෛද්‍යවරුන්ගේ ගුණාත්මක භාවයේ ප්‍රශ්නයක් ඇත්නම් එය ඔවුන්ගෙන් වෛද්‍ය සේවාවන් ලබා ගන්නා තවත් බොහෝ දෙනෙක්ගේ ප්‍රශ්නයක්ද වෙයි. මේ අනුව, සයිටම්හි ගුණාත්මක භාවය පිළිබඳව සයිටම් විරෝධීන් විසින් මතු කළ විවේචන වලට පදනමක් තිබුණේය.

සයිටම්හි ගුණාත්මක භාවය පිළිබඳව මතු කෙරුණු ප්‍රශ්න වලට රජය විසින් මේ වන විට පැහැදිලි විසඳුම් ලබා දී තිබේ. එයට අමතරව, රජයක් විසින් සිදු නොකළ යුතු මට්ටමේ මැදිහත් කිරීමක් කරමින් සයිටම්හි අයිතිය පිළිබඳව මතු කළ විවේචන වලටද විසඳුම් දී තිබේ. එහෙත්, සයිටම් විරෝධීන් එයින් සෑහීමකට පත් වී නැත. මෙය උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයේ උපාධි සහතිකය පිළිබඳ ගැටලුවට විසඳුමක් ලබා දීමෙන් පසුව එම සටන අවසන් නොවීමට හැම අතින්ම වාගේ සමානය. එවර, උපාධි සහතිකය පිළිබඳ ප්‍රශ්නයට විසඳුම් දීමෙන් පසුව උතුරු කොළඹ පෞද්ගලික විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්නා තුරුම අරගලය දිග්ගැස්සුණු අතර, සයිටම් අරගලයද සයිටම් ආයතනය රජයට පවරා ගන්නා තුරු නොනවතින 'මරාගෙන මැරෙන' සටනක් බවට මේ වන විට පරිවර්තනය වී තිබේ.

සයිටම් ආයතනය ජනසතු කරන මෙන් කෙරෙන ඉල්ලීම රටේ සීමිත පිරිසකගේ ඉල්ලීමක් මිස වැඩි දෙනෙකුගේ අවශ්‍යතාවයක් නොවේ. එහෙත්, සයිටම් විරෝධී බලවේගය පුළුල් බලවේගයකි. මේ බලවේගය සමඟ වෛද්‍ය සංගමය තුළ ගොනුවී සිටින රජයේ වෛද්‍යවරුන්, සරසවි ශිෂ්‍ය ව්‍යාපාරය මෙන්ම දේශපාලන පක්ෂ කිහිපයක්ද ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ ක්‍රියාත්මකව සිටින බව පෙනේ. කෙසේ වුවද, මේ පුළුල් එකමුතුව හමුවේ වගකිවයුතු රජයකට නම්‍යශීලී විය හැකි උපරිමයටම මේ රජය මේ වන විට නම්‍යශීලී වී තිබේ. මෙය සමාන කළ හැක්කේ උතුරේ ඊළාම් ඉල්ලීම් හමුවේ ෆෙඩරල් විසඳුමක් දෙන තැනකට රජය නම්‍යශීලී වීමෙන් පසුවද තවත් දේ ඉල්ලීමටය. රජයෙන් මස් රාත්තලම ඉල්ලද්දී රජය විසින් එය ලබාදීම තුළ සිදු වන්නට ඉඩ ඇත්තේ රජයෙන් තවත් මස් රාත්තල් දෙකක් හෝ වැඩි ගණනක් ඉල්ලා සිටීම පමණි.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලයේදී ජවිපෙ විසින් සිදුකළ කාර්යය අද කරන බව පෙනෙන්නේ පෙසපෙ විසිනි. එදා ශ්‍රීලනිපය සිටි තැන අද ඒකාබද්ධ විපක්ෂය සිටී, එදා පැරණි වාමාංශික පක්ෂ සිටි තැන අද සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණයි. එහෙත් එදා පැවති තත්ත්වය හා අද පවතින තත්ත්වය හරියටම සමාන නැත.


උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය ඇරඹෙන විට ජයවර්ධන රජය සෑහෙන කාලයක් ආණ්ඩු කර තිබුණු අතර රටේ පුළුල් හා සැඟවුණු ජයවර්ධන විරෝධයක් තිබුණේය. එයින් වෙනස්ව, මේ රජය බලයට පත්වී තවමත් වැඩි කලක් ගෙවී නැත. එසේ වුවත්, ජනප්‍රිත්වය අතින් මේ රජය සිටින්නේ එදා ජයවර්ධන රජය සිටියාට වඩා පිටුපසිනි. ජයවර්ධන රජය විසින් පැවැත්වූ මැතිවරණ සර්ව සාධාරණ ලෙස පැවැත්වුනේ නැතත්, එසේ පැවැත්වුනද බොහෝ විට ඉදිරියෙන් සිටින්නට ඉඩ තිබුණේ එජාපයයි.

වත්මන් රජයට මේ වන විට මැතිවරණයකට මුහුණ දෙන්නට තරම්වත් ආත්ම විශ්වාසයක් තිබෙන බව නොපෙනේ. කෙසේ වුවත්, මේ රජයට එරෙහිව රටේ තිබෙන බව පෙනෙන්නේ එදා ජයවර්ධන රජයට එරෙහිව තිබුණු ආකාරයේ සැඟවුණු විරෝධයක් නොව අප්‍රසාදයක් හා බලාපොරොත්තු කඩ වීමකි. ජයවර්ධන රජයට එරෙහිව ක්‍රියාත්මක වූ බලවේගය හරහා එම රජය බිඳ දමා බලයට පත් වීමට එදා ශ්‍රීලනිපය සිහින මැවුවේය. අද ඒකාබද්ධ විපක්ෂයද එවැනි සිහිනයක් තුළ ජීවත් වන බව පෙනේ.

එදා ජවිපෙ සැලසුම වුනේ ශ්‍රීලනිපය පහුරක් කරගෙන ගඟෙන් එගොඩ වී පහුර අත්හැර දැමීමයි. ඔවුහු එය ඒ අයුරින්ම කළෝය. අද සරසවි සිසුන් පිටුපස සිටින දේශපාලන නායකත්වය විසින් ඉව අල්ලනවා විය යුත්තේද එවැන්නකට වන්නට පුළුවන. මේ කණ්ඩායමට අවශ්‍ය වන්නේ සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම නොව ඒ අරගලය හරහා වඩා පුළුල් දීර්ඝකාලීන අරගලයකට මාවත් විවර කර ගැනීමට හා අවසාන වශයෙන් රාජ්‍ය බලය වෙත කෙටි මාර්ගයක් සෙවීමටය. රාජ්‍ය මර්දනය ඉක්මනින් ආරම්භ වන තරමට ඒ කටයුත්ත පහසු වේ.

එක්ටා විරෝධයක් ලෙස මතු විය හැකිව තිබුණු මේ සැලසුම්ගත අරගලය අද වන විට සයිටම් විරෝධය හරහා මතු වී තිබේ. රජය විසින් එක්ටා සැලසුම් මුලින් සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මක කළේනම් අද වෛද්‍යවරුන් පමණක් සිටින තැන වෙනත් වෘත්තීය කණ්ඩායම් ගණනාවක්ද සිටිනු දැක ගත හැකි විය යුතුව තිබුණි.

උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය හා අදාළ ඉල්ලීම් ඉටුවීමෙන් පසුව අරගලය තවත් ව්‍යාප්ත වී ඉදිරියට ගියා මිස අවසන් වුනේ නැත. ඒ අරගලය මෙන්ම එයින් පසුව සිදු වූ ලංගම වර්ජනයද ජයග්‍රහණයෙන් අවසන් විය. ඒ කාලයේ හැටියට සැලකිය යුතු මුදලක් වූ රුපියල් 2500ක අවම වැටුපක් ඉල්ලා සිදු කෙරුණු මේ වර්ජනය සම්ප්‍රදායික වර්ජන සිදුවන ආකාරයට සිදු වූවක් නොවේ. පෞද්ගලික බස්ද ඇතුළුව බස් ධාවනය සම්පූර්ණයෙන් තහනම් කරමින් හා සේවයේ යෙදෙන්නන්ට මරණ තර්ජන කරමින් (හා ඇතැම් තැන් වල ඒ මරණ තර්ජන ක්‍රියාත්මක කරමින්) සිදු කළ එකකි. මේ ආකාරයේ බස් වර්ජන එයින් පසුවද අඩුවක් නැතුව සිදු වුණේය.

මට හොඳින්ම මතක තිබෙන්නේ මගේ ඉංග්‍රීසි උපගුරු පත්වීම හා අදාළ අවසන් සම්මුඛ පරීක්ෂණය සඳහා (සහතික පෙන්වා පත්වීමේ ලිපිය ලබා ගැනීමට) ඉසුරුපායට යන්නට සිදු වුනු ආකාරයයි. දේජව්‍යා විසින් බස් ධාවනය තහනම් කර තිබුණු එදින මා සතුව එවකට තිබුණු හොඳම කමිසය හා කලිසම ඇඳගෙන සූදානම් වුවත්, කොට්ටාව හන්දිය දක්වා සැලකිය යුතු දුරක් යන්නට සිදුවුනේ පාරේ යන ලොරියකට අත දමා නවත්වාගෙන එහි පිටුපස තට්ටුවේ වාඩි වී හතර අතට පැද්දෙමින් හා ගැස්සෙමිනි. බිම වාඩි වෙන්නට එළාගත් දූවිලි පින්තාරු වුනු ලේන්සුව කොට්ටාවේදී වීසි කර දැම්මෙමි. හමුදා නිලධාරියෙකු විසින් ධාවනය කළ බසයක එතැන් සිට බත්තරමුල්ලට යන්නට හැකි විය.

ජාතික හැඳුනුම්පත අතේ නොතිබුනේනම් මේ සම්මුඛ පරීක්ෂනයට යන්නට හෝ පත්වීම ලබාගන්නට ඉඩක් නොලැබිය හැකිව තිබුණු අතර මේ දවස් වල අපේ නිවස අසල පාරවල් වල හැඳුනුම්පත් දේජව්‍යා විසින් එකතු කර ගනිමින් තිබුණේය. හැඳුනුම්පත් එකතු කරගැනීම සඳහා අපේ නිවසටද මේ අය කොයි වෙලාවක හෝ පැමිණෙන්නට ඉඩ තිබුණු නිසා අදාළ සම්මුඛ පරීක්ෂණයට පෙර රාත්‍රිය මා ගතකළේ විශාල මානසික පීඩනයකිනි. අතට ලැබුණු ගුරු පත්වීම අන්තිම මොහොතේ නැති කර ගන්නට මට අවශ්‍ය නොවීය.

මේ කාලය වන විට උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම වෙනුවෙන් ඇරඹුණු අරගලයට තවත් ඉල්ලීම් රැසක් එකතු වී තිබුණේය. පළාත් සභා අහෝසි කිරීම, ඉන්දීය "වඳුරු හමුදාව" එළවීම, ජවිපෙ තහනම ඉවත් කිරීම හා රජය ඉල්ලා අස්වීම වැනි ඉල්ලීම්ද ඒ අතර විය. මේ අරගලයෙන් ඉවත්ව සිටීමේ හෝ එයට විරුද්ධ වීමේ හැකියාවක්ද අපට නොතිබුණේය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කර නිදහස් අධ්‍යාපනය රැකගැනීම සඳහා රට පුරා පිහිටවූ දෙමවුපිය සංගම් වලට අපේ දෙමවුපියන්ටද සහභාගී වන්නට සිදු විය.

ජවිපෙ පන්ති වලට සහභාගී නොවූ හා ජවිපෙ සාමාජිකයින් නොවූ අපට නිදහස් අධ්‍යාපනය රැකගැනීම වෙනුවෙන් අලවන්නට සිදුවූ පෝස්ටර් වල තිබුණු සටන් පාඨ මොනවාද කියා අපට දකින්නට ලැබුණේ ඒවා ඇලෙවුවාටද පසුවය. ඒ කාලයේ ජීවිතය මරණයෙන් අවසන් වන්නට මෙවැනි පෝස්ටරයක් අතේ තිබී අසුවන්නට අවශ්‍ය නොවීය. ජවිපෙ කැරැල්ලට පක්ෂපාතී මතයක නොසිටි රාවය සඟරාවක් වැනි දෙයක් හෝ සරසවි ශිෂ්‍ය හැඳුනුම්පතක් වැනි දෙයක් අතේ තිබී හමුවීම වුවද ඒ සඳහා ප්‍රමාණවත් විය.

ඇතැම් ගම් වල ජීවත් වූ "දේශප්‍රේමීන්" සියලු දෙනාටම ඉන්දීය සාමසාධක හමුදා වලට වහාම රටින් ඉවත් වන්නට බල කරමින් පෙළපාලි යන්නට සිදුවුනේ අවසන් ප්‍රතිඵලය පොලිස් වෙඩි පහරට ලක් වන්නට සිදුවීම බව ඉඳුරාම දැන දැනමය. අනෙක් විකල්පය වුනේ මේ පෙළපාලි වලට සහභාගී වීම ප්‍රතික්ෂේප කර "දේශද්‍රෝහීන්" වීමයි. දේශද්‍රෝහීන් හා දේශප්‍රේමීන් හැර අතරමැදියන් සිටිය නොහැකි බව ව්‍යාපාරයේ මතය වූ නිසා ඒ විකල්පයද අනිවාර්ය මරණය කැඳවා ගත හැකි විකල්පයක් විය. පෙලපාලි සංවිධානය කළ අය පෙළපාලි වල ඉදිරියෙන් නොගියේය. එසේ ගියත්, පොලිස් හා හමුදා ඛණ්ඩයක් ළඟ එන විට පෙළපාලිය මැද සැඟවී ව්‍යාපාරය වෙනුවෙන් ආරක්ෂා වීමට තරම් ඔවුහු කුසලතා පූර්ණ වූහ. පෙළපාලි වල ඉදිරියෙන්ම ගොස් දේශප්‍රේමය පෙන්වීමේ අවස්ථාව එජාප සාමාජිකයින් ලෙස ප්‍රසිද්ධව සිටි අයට ලැබුණේය.

දැන් සයිටම් වලට පක්ෂව ලියන ඇතැම් අයව කුලී ලියන්නන් ආදී ලෙස හැඳින්වීම තුළ පෙනෙන්නේද එකල දේජව්‍යා විසින් ඔවුන්ට විරුද්ධ අදහස් දැරූවන් දේශද්‍රෝහී, හොරිකඩ, බත්බැලයන් ලෙස නම් කරමින් සිදු කළ බයිනරි බෙදීමමය.

ඒ දවස්වල ජයවර්ධන රජය හැරුණු විට ජවිපෙට එරෙහිව සිටි ප්‍රධානම කණ්ඩායම වූයේ එක්සත් සමාජවාදී පෙරමුණ තුළ ගොනුවී සිටි පැරණි වම හා ශ්‍රී ලංකා මහජන පක්ෂයයි. එහෙත්, අද වන විට පැරණි වම ලෙස සැලකිය හැකි ජවිපෙ හා පෙසපෙ සයිටම් විරෝධී සටන තුළ එක පිලක සිටිති. සයිටම් විරෝධය විශාල ක්‍රම විරෝධයක් බවට පරිවර්තනය වී රාජ්‍ය බලයට තර්ජනයක් වුවහොත්, මේ දෙපිල අතර බල අරගලය නැවත මතු වන්නට ඉඩ ඇතත් එවැන්නක් ඊට පෙර සිදුවීමේ හැකියාවක් නැත.

ජවිපෙ පැත්තෙන් බැලූ විට ඔවුන්ට අසූව දශකය තුළ හිමිව තිබූ දේශපාලන අවකාශය තුළ මේ වන විට ස්ථානගත වී සිටින්නේ පෙසපෙයයි. ඒ තත්ත්වය තුළ සයිටම් විරෝධී පිල සමඟ එකතු වීම යනු ජවිපෙ පැරණි වම මෙන් නොවැදගත් බලවේගයක් බවට පත් වීමයි. අනෙක් අතට, අරගලය තුළ වැඩි බලයක් ඇති පෙසපෙ ජවිපෙ හා සහයෝගයෙන් සිටීම තුළින් පෙනෙන්නේ ඔවුන්ගේ දීර්ඝකාලීන අභිලාශ මොනවාද යන්නයි. ඉදිරියේදී පැමිණෙන්නට ඉඩ ඇති රාජ්‍ය මර්දනයකදී ජවිපෙ සතුව ඇති පෙසපෙ සාමාජිකයින් පිළිබඳ තොරතුරු ප්‍රතිපක්ෂය අතට පත්වීමේ ඉඩකඩ සැලකූ විට පෙසපෙ සුරක්ෂිත වන්නේ ජවිපෙ සමඟ උපක්‍රමික සන්ධානයක සිටීම තුළය. සයිටම් ආයතනය රජයට පවරා ගැනීමෙන් අවසන් වන සටනකදීනම් මෙවැනි උපක්‍රමික සන්ධානයකට වඩා ජයග්‍රහණයේ වාසි ඔවුන්ට අත්පත් කරගන්නට ඉඩ නොදීම වාසිසහගතය.

සයිටම් අරගලය ඉව අල්ලන්නේ ප්‍රශ්නය ඇදගෙන යන්නට උදවු කරන මිනිස් බිල්ලකටය. ආණ්ඩුව මේ බව තේරුම් ගෙන ප්‍රවේශම්ව සිටින නමුත් කොයිවෙලාවක හෝ ආණ්ඩුවේ සිල් බිඳෙන්නට පුළුවන. එවැන්නක් සිදු වීම වලක්වා ගන්නා තාක් කල් සයිටම් විරෝධය පුළුල් අරගලයක් ලෙස ව්‍යාප්ත වීමද වලක්වා ගත හැකිය.

සයිටම් විරෝධී බලවේගය විශාල බලවේගයක් නොවූවත්, සයිටම් වෙනුවෙන් පෙනී සිටින්නට රට තුළ එතරම්වත් පිරිසක් නැත. සයිටම් යනු රටේ බහුතරයකට තිබුනත් කමක් නැති, නැතත් කමක් නැති නොවැදගත් දෙයකි. ආණ්ඩුව විසින් ත්‍රස්තවාදයට හිස නැමිය යුතු නැතත් සයිටම් යනු ආණ්ඩුව විසින් ඕනෑම මිලක් ගෙවා රැකගන්නට තරම් වටිනා දෙයක්ද නොවේ. ඒ නිසා, සයිටම් වෙනුවෙන් තවත් පරම්පරාවක් ගඟේ යවන්නට
අවශ්‍ය නැත.

(Image: http://dailynews.lk/2017/06/22/local/119731/magistrate-issues-order-against-anti-saitm-protesters)

57 comments:

  1. 88 /89 ප්‍රතිනිර්මානය වෙමින් පවතී. මෙහිදී රජය ත්‍රස්තවාදීන්ට යට වීම භයානකය. එවිට තව තව ඉල්ලීම් ඉදිරියට ගෙන විශ්ව විද්‍යාල පමනක් නොව පාසල් වලද සිසුන් පාරට බස්සා ලොකු කලබලයක් කිරීමට මෙම සිසුන් පිටුපස සිටින වරත්ත දේශපාලනය ක්‍රියා කරනු ඇත. ඉන් පසු 88/89 කාලයේ මෙන් ප්‍රචන්ඩ ක්‍රියා කරන්නට මිනී මරන්නට පටන් ගතහොත් ( එය කලබලකාරයන්ගෙ ගිනුමට දමා පසුව ඔවුන් මර්ධනය කිරීමේ අදහසින් වෙනත් පාර්ශ්වයක් කලත් ) යලි ටයර් යුගයක් බිහිවේ. ඒ නිසා රජය සහ ජනතාවද මෙය සුළුවෙන් නොතැකිය යුතුය. මන්ද සිසුන් පිටුපස සිටින දේශපාලන පක්ෂ කලින් ද රට අමු සොහොනක් කල දැණුත් කිසිදා නොසන්සිදෙන ලේ පිපාසාවකින් පෙලෙන දේශපාලන පක්ෂ මේ පිටුපස සිටිති.
    රටේම ඡන්ද ගත්තත් අඩුම තරමේ ඡන්ද 10,000 ක් ගත නොහැකි පක්ශයක් රට විනාශ කිරීම අවධානයට යොමුකල යුත්තකි. නියපොත්තෙන් කැඩිය යුතු දේ පොරවෙන් කපන්නට බලා නොසිටිය යුතුය.ප්‍රචන්ඩ ක්‍රියා කරන්නන් හා සිසුන් නොමග යවන්නන්ට එරෙහිව ජනතාව ඉදිරියට ඒම අවශ්‍යය. ප්‍රචන්ඩ ක්‍රියා කරන්නට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකලොත් මුන් ඊලගට දෙවෙනි පියවරට යනු ඇත.
    සයිටම් ප්‍රශ්නයට විද්‍යාත්මක විසදුමක් දිය යුතුය. එය කිසිසේත්ම කඩාකප්පල්කාරීන් සතුටු කිරීමක් විය යුතු නැත.

    ReplyDelete
    Replies
    1. //රටේම ඡන්ද ගත්තත් අඩුම තරමේ ඡන්ද 10,000 ක් ගත නොහැකි පක්ශයක් රට විනාශ කිරීම අවධානයට යොමුකල යුත්තකි.//

      ප්‍රශ්නය වන්නේ රට පුරා විසිරුණු 10,000ක කණ්ඩායමක් යනු මැතිවරණයකදී ප්‍රාදේශීය සභා නියෝජනයක් සඳහාවත් ප්‍රමාණවත් නොවන ගණනක් වුවත් පොදු සමාජයට වගකීමට බැඳී නොසිටින එවැනි කණ්ඩායමකට සංවිධානය වී රටක්ම අකර්මන්‍ය කිරීමට හැකියාවක් තිබීමයි. එල්ටීටීඊ සංවිධානයටද ඔවුන් අරගලයේ නිරත වුණු වැඩි කාලයකදී සාමාජිකයින් 10,000ක් හිටියේ නැත.

      Delete
    2. “Yes, I was laughing at you, because, in fear of what others might report about you, you stoned the woman when your heart revolted at the act—but I was laughing at the others, too.”
      “Why?”
      “Because their case was yours.”
      “How is that?”
      “Well, there were sixty-eight people there, and sixty-two of them had no more desire to throw a stone than you had.”
      “Satan!”
      “Oh, it’s true. I know your race. It is made up of sheep. It is governed by minorities, seldom or never by majorities. It suppresses its feelings and its beliefs and follows the handful that makes the most noise. Sometimes the noisy handful is right, sometimes wrong; but no matter, the crowd follows it. The vast majority of the race, whether savage or civilized, are secretly kind-hearted and shrink from inflicting pain, but in the presence of the aggressive and pitiless minority they don’t dare to assert themselves. Think of it! One kind-hearted creature spies upon another, and sees to it that he loyally helps in iniquities which revolt both of them. Speaking as an expert, I know that ninety-nine out of a hundred of your race were strongly against the killing of witches when that foolishness was first agitated by a handful of pious lunatics in the long ago. And I know that even to-day, after ages of transmitted prejudice and silly teaching, only one person in twenty puts any real heart into the harrying of a witch. And yet apparently everybody hates witches and wants them killed. Some day a handful will rise up on the other side and make the most noise—perhaps even a single daring man with a big voice and a determined front will do it—and in a week all the sheep will wheel and follow him, and witch-hunting will come to a sudden end.

      Delete
    3. “Monarchies, aristocracies, and religions are all based upon that large defect in your race—the individual’s distrust of his neighbor, and his desire, for safety’s or comfort’s sake, to stand well in his neighbor’s eye. These institutions will always remain, and always flourish, and always oppress you, affront you, and degrade you, because you will always be and remain slaves of minorities. There was never a country where the majority of the people were in their secret hearts loyal to any of these institutions.”
      I did not like to hear our race called sheep, and said I did not think they were.
      “Still, it is true, lamb,” said Satan. “Look at you in war—what mutton you are, and how ridiculous!”
      “In war? How?”
      “There has never been a just one, never an honorable one—on the part of the instigator of the war. I can see a million years ahead, and this rule will never change in so many as half a dozen instances. The loud little handful—as usual—will shout for the war. The pulpit will—warily and cautiously—object—at first; the great, big, dull bulk of the nation will rub its sleepy eyes and try to make out why there should be a war, and will say, earnestly and indignantly, “It is unjust and dishonorable, and there is no necessity for it.” Then the handful will shout louder. A few fair men on the other side will argue and reason against the war with speech and pen, and at first will have a hearing and be applauded; but it will not last long; those others will outshout them, and presently the anti-war audiences will thin out and lose popularity. Before long you will see this curious thing: the speakers stoned from the platform, and free speech strangled by hordes of furious men who in their secret hearts are still at one with those stoned speakers—as earlier—but do not dare to say so. And now the whole nation—pulpit and all—will take up the war-cry, and shout itself hoarse, and mob any honest man who ventures to open his mouth; and presently such mouths will cease to open. Next the statesmen will invent cheap lies, putting the blame upon the nation that is attacked, and every man will be glad of those conscience-soothing falsities, and will diligently study them, and refuse to examine any refutations of them; and thus he will by and by convince himself that the war is just, and will thank God for the better sleep he enjoys after this process of grotesque self-deception.”

      THE MYSTERIOUS STRANGER

      by Mark Twain

      Delete
    4. //Oh, it’s true. I know your race. It is made up of sheep. It is governed by minorities, seldom or never by majorities. It suppresses its feelings and its beliefs and follows the handful that makes the most noise. Sometimes the noisy handful is right, sometimes wrong; but no matter, the crowd follows it.//

      Very relevant quote, Jeewantha! That's why I always say that a society has to evolve naturally to a one in which most people can think independently and make decisions by themselves. This doesn't happen in a country like Sri Lanka and many people expect someone else to make decisions on behalf of them and simply follow the crowd. Democracy does not function well when a society is in this stage. The situation, however, is changing rapidly. In developed countries most people can make decisions on their behalf. That's something I consider a "development".

      Delete
  2. එදා ජවිපෙ සැලසුම වුනේ ශ්‍රීලනිපය පහුරක් කරගෙන ගඟෙන් එගොඩ වී පහුර අත්හැර දැමීමයි. ඔවුහු එය ඒ අයුරින්ම කළෝය. අද සරසවි සිසුන් පිටුපස සිටින දේශපාලන නායකත්වය විසින් ඉව අල්ලනවා විය යුත්තේද එවැන්නකට වන්නට පුළුවන. මේ කණ්ඩායමට අවශ්‍ය වන්නේ සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම නොව ඒ අරගලය හරහා වඩා පුළුල් දීර්ඝකාලීන අරගලයකට මාවත් විවර කර ගැනීමට හා අවසාන වශයෙන් රාජ්‍ය බලය වෙත කෙටි මාර්ගයක් සෙවීමටය. රාජ්‍ය මර්දනය ඉක්මනින් ආරම්භ වන තරමට ඒ කටයුත්ත පහසු වේ. //
    +++++++++++++++++++++++++++++++++++++===
    කල්පනාකාරී විය යුත්තේ එනිසායි. නමුත් එදාට වඩා අද වෙනස්. අද තරුනයා එදා තරුනයාට වඩා ඉදිරියෙන් ඉන්නෙ. ඒ නිසා බයිනරි අන්තවාදීන්ට ඕන ලෙසම රූකඩයක් වෙන්නෙ නෑ. සිසුන් ගැන එදා තරම් අනුකම්පාවක් අද සමාජයෙ නෑ. අද තාක්ෂනය දියුනු නිසා ඉක්මනින් තොරතුරු සමාජයට යනව.
    වාමාංශික දේශපාලනයෙ හෙළුව ෆේස්බුක් වගෙ දේවල් තුලින් උගත් මධ්‍යම පාන්තිකයන් අතරට හෝ යනවා.
    අපි සිල් ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට ගියාම ආන්ඩුව අපිව මර්ධනය කලා ඉන් පසුයි අපි අවි ගත්තෙ වගෙ බයිල වලට රැවටෙන මිනිස්සු අද අඩුයි.

    ReplyDelete
    Replies
    1. //අද තාක්ෂනය දියුනු නිසා ඉක්මනින් තොරතුරු සමාජයට යනව.//
      ඔබ කියන කරුණු නිවැරදි වුවත් මෙහි වෙනත් පැත්තක්ද තිබේ. "කීර්ති විජේබාහු" වැනි ෆේක් ප්‍රොෆයිල් එකක් හදා එකිනෙකා නොහඳුනන කණ්ඩායමක් එකම අරමුණක් වෙනුවෙන් යොදාගැනීම අද එදාට වඩා බොහෝ පහසු කටයුත්තකි. අන්තිමේදී තමන්ට නියෝග නිකුත් වුණේ කොහෙන්ද කියා හෝ සිදු කළ ක්‍රියාවේ අවසන් ප්‍රතිඵලය කුමක්ද කියා එය කළ අයවත් දන්නේ නැත. අඩු ව‍ශයෙන් සැලසුම හදා මෙහෙයවන්නා ලංකාවේ සිටීමවත් දැන් අවශ්‍ය කරුණක් නොවේ. තාක්ෂනය දියුණු වී තිබුණත් සමාජයේ ඇතැම් ලක්ෂණ එතරම් වෙනස් වී නැත.

      Delete
    2. ෆේක් ප්‍රොෆයිල් හා ෆේක් චරිත මැවීමේ විශේෂඥයින් වෙන්නේ එකල ජවිපෙ හා ජවිපෙ ජාන ඇති පෙසපෙටයි. එහෙත් පෙසපෙ මැවූ සිසු විරුවා ලහිරුට දැන් ඉතුරුවී ඇත්තේ ලංකටය පමණකි. ලහිරුව වීරයෙකු කෙරූ මෙහෙයුමට ක්සෙණිකව ලහිරුගේ කලිසම ගැලවීයාම පාලනය කල නොහැකි විය. ඒ සයිබර් අවකාෂයේ විදුලි වේගය හා පාලනය කල නොහැකි බව නිසාය.

      88/89 රජයේ ප්‍රවෘත්ති ගැටලුවක් වූ විට ජවිපෙ කලේ ආණ්ඩුවේ රූපවාහිණියේ, අයිටීඑන් එකේ ප්‍රවෘත්ති කියවන්නන් පවුල් පිටින් මරාදමන බවට තර්ජනය කොට එය නවත්වන්නට හැදීමයි. තේවිස් ගුරුගේ මෙන්ම ප්‍රේමකීර්ති ඝාතනය වුනේත් රූපවාහිණියෙන් ජනමතය වෙනස්වීම ජවිපෙ ඉවසූ නැති හෙයිනි.

      අද සෑම මිනිසෙක්ම ගැහැණියක්ම වාර්තාකාරුවෙකු, ලේඛකයෙකු, ඡායාරූප ශිල්පියෙකු විය හැකි, තමා දැනගත්දේ, කාචයට හසුකරගත් දේ නැවත ඇද්දවිය නොහැකිලෙස ලෝකයටම විසුරුවා හැරිය හැකි යුගයකය.

      එවන් යුගයක බොරුව වැපිරීම පහසුමුත්, බොරුවේ අවසානයද එමෙන්ම වේගවත්ය......ප්ලාස්ටික් හාල්, කෑම වලට දැමූ වඳ බේත්, ලහිරුගේ බොරු පෞද්ගලික කැම්පස් විරෝධතාවය ආසන්නම උදාහරණය

      Delete
    3. A good view of new cyber news media and it's immense capabilities.

      Delete
    4. ටෙරන්ස්, මට එන්න අවශ්‍ය තැන කිට්ටුවට ඔබ ඇවිත් ඉන්නවා. සයිබර් අවකාශය ඉතා පහසුවෙන් සමාජ ප්‍රගතිය ආපසු හරවන අරමුණු වෙනුවෙන් මෙන්ම සමාජ විරෝධී අරමුණු වෙනුවෙන් පවා යොදා ගනු ලැබීමේ විශාල විභවයක් තියෙනවා. මෙය දැනටත් සිදු වනවා විය හැකියි. එය එසේ සිදු වනවානම් එය ආපසු හැරවීමේ ශක්‍යතාවය තිබෙන්නේත් සමාජජාලා වලටමයි. එහෙත්, සමාජ ප්‍රගතිය ආපසු හරවන අරමුණු වෙනුවෙන් සමාජ ජාලා ක්‍රියාකාරී වන විටක අදූරදර්ශී පාලකයෙකු විසින් කිසියම් මොහොතක සමාජ ජාලා වාරණ වැනි දේකට පෙළඹෙන්න ඉඩ තිබෙනවා. එය කුමන තත්ත්වයන් යටතේදී වුවත් සිදු නොවිය යුතුයි.

      Delete
  3. එළ.

    අවාසනාවකට මෙවැනි අපක්ෂපාත සූක්ෂම විග්‍රහ‍යක් කළ හැකි අය ඉන්නේ ඉතා ටික දෙනයි. අනෙක් හැම දෙනාම බලන්නේ තම තමන් ගේ ඩොග්මැටික් ඇස්වලින්.

    මාත් හිතන්නේ සියළු පාර්ශ්ව එක්වී කොම්ප්‍රොමයිස් විසඳුමක් කරා වැඩ කළ යුතු බවයි.

    ස්තුතියි ඉකොනොමැට්ටා.

    ReplyDelete
  4. ෆුල් ෆේස් හෙල්මට් කාරයන්ටත් යට වෙච්ච ආණ්ඩුවකින් මොන වගේ විසඳුමක්ද අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් මේ ත්‍රස්තවාදී ක්‍රියා වලට එරෙහිව...

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුව මේ වන තෙක් කටයුතු කර ඇති ආකාරය ගැන මට ප්‍රශ්නයක් නැත. ඉදිරියේදී ආණ්ඩුව ක්‍රියා කරනු ඇති ආකාරය ආණ්ඩුවේ පැවැත්ම මෙන්ම රටේ අනාගතය පිළිබඳවද වන පරීක්ෂාවකි.

      Delete
  5. ෆුල් ෆේස් හෙල්මට් කාරයන්ටත් යට වෙච්ච ආණ්ඩුවකින් මොන වගේ විසඳුමක්ද අපිට බලාපොරොත්තු වෙන්න පුලුවන් මේ ත්‍රස්තවාදී ක්‍රියා වලට එරෙහිව...

    ReplyDelete
  6. සුපර්! මේකේ තියෙන සමහර කොටස් කෝට් කරලා මධ්‍යස්ත මතධාරියා මේක පබ්ලිශ් වෙන්න කලිං පෝස්ට් එකක් දැම්මේ කොහොමද :)

    ReplyDelete
    Replies
    1. ඔය මනුස්සයා කාල තරණය කරන ක්‍රමයක් හොයා ගත්තද දන්නේ නෑ. :) (ඔහු මුලින් පළ කර තිබුණේ කෙටි ලිපියක්. මගේ ලිපිය ලිවුවෙත් ඊට පස්සේ. එහි හා කාලය, අමාවක ආදී වෙනත් තැන් වල පළ වූ ලිපි ගැන කොටස් ඔහු පසුව එකතු කර තිබෙනවා.)

      Delete
  7. සුපිරි පැහැදිලි කිරීමක්...
    සයිටම් විරෝධීන්ගේ මූලික විරෝධය වූයේ ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්නයකි. එම ප්‍රශ්නයට රජය විසඳුම් ලබා දී තිබියදී ඔවුන් රෝගීන් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලූ සැඟවුණු ඇත්ත මතු විය, එනම් සයිටම් වසා දැමීමේ මූලික අරමුණයි. රජයට ඇත්තේ මෙම විරෝධීන් ජේ.ආර් හෝ ගෝඨා ක්‍රමයට මර්ධනය කිරීමයි. නැතහොත් සයිටමය රජයට පවරා ගැනීමයි. එසේ පවරා ගත්තොත් සයිටම් විරෝධීන් වීරයන්වී තවත් විරෝධතාවයන් මතුවනු ඇත. මෙය රජයට පවරාගෙන, කොතලාවල වෛද්‍ය පීඨය මෙන් මුදල් ගෙවා ඉගෙනුම ලබන ආයතනයක් කිරීමද තවත් විකල්පයකි.
    කෙසේ වෙතත් නෙවිල් මුදලාලිට කළ යුතුව තිබුණේ, මෙය විදේශ විශ්ව විද්‍යාලයක් හා ඒකාබද්ධව ආරම්භකර අවසන් වසර හා ඉන්ටර්න් කාලය එම විශ්ව විද්‍යාලයේ ගතකර, උපාධිය එම විශ්ව විද්‍යාලයෙන් ලබා දීමට කටයුතු කිරීමයි. මේ සඳහා ලංකාවේ මෙඩිකල් කවුන්සිලයේ පිලිගත් විශ්ව විද්‍යාලයක් සමග කටයුතු කළේ නම්, මේ කිසිදු විරෝධතාවයක් පැන නොනගිනු ඇත. මෙයින් බිහිවන වෛද්‍යවරු සමාජයට එකතුවී කාලයක් ගියපසු, මෙම වෛද්‍ය විද්‍යාලය සමාජගතවූ පසු, අවසන් වසරත් ලංකාවේකර, පසුව ඉන්ටර්න් අවධියත් ලංකාවේම කළ හැකිවනු ඇත.

    ReplyDelete
    Replies
    1. මෙය ආණ්ඩුවට විශාල අභියෝගයක්. ඉල්ලීම් සියල්ල ලබා දීම තවත් ඉල්ලීම් වලට පාර කපා ගැනීමක්. එයින් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මර්දනය කියන්නෙත් මේ කණ්ඩායම් බලාපොරොත්තුවෙන් සිටින දෙයක්. ඔය අන්ත දෙක විසින්ම කරන්නේ සයිටම් විරෝධය පසුපස තිබෙන සංවිධානය පෝෂණය කිරීමයි. ඒ අන්ත දෙකටම නොගොස් සිටිය හැකි තාක් කල් ඔවුන්ට පෝෂණය විය හැකි ජනතා පදනමක් හැදෙන්නේ නැහැ. ඒ නිසා කළ යුත්තේ උද්ඝෝෂණ ආදිය කරගන්න ඉඩ දී සීමාව ඉක්මවන විට නීති රාමුව තුළ කටයුතු කිරීමයි. පොදු දේපොළ හානි කිරීම් හා අදාළව ශිෂ්‍ය නායකයින්ට නඩු පවරන්නේ නැතුව වීඩියෝ බලා ඇත්තටම එය කරන අයට නඩු පවරා දඬුවම් දීමයි කළ යුත්තේ. ශිෂ්‍ය නායකයින්ට නඩු පැවරීමෙන් ඔවුන් වීරයින් වනවා පමණයි. ඒත් ගැට්ටට යන අයට නඩු පැවරීමෙන් ඔවුන්ට අනුගාමිකයින් හැදෙන එක සීමා කළ හැකියි.

      Delete
  8. ඔය උතුරුකොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහි සටන කාලේ හිටපු ප්‍රේමදාස මහත්තයගේ කටේ තිබුන වචන තුන තමයි " consultation , consensus , compromise " . කියන එක හැබැයි එතුමා අන්තිමේ දී පරාජය බාරගත්තා ඔය එකක්වත් නැතුව

    ReplyDelete
    Replies
    1. ඔහුට ඒ වෙලාවේ තිබුණේ දිගුකාලීන සැලසුමක් වෙන්නේ පුළුවන්.

      Delete
  9. ඒකා බද්දේ දිනේශ් සහ මහින්ද රාජක්‍ෂගේ ක්‍රියාකලාපය සම්පුර්ණ දේශපාලන වාසි තකා කරන ලජ්ජා විරහිත ක්‍රියාවක් . පාදනෙියට දේශපාලන උවමනාවක් තියෙනවා කියෙන එක හොඳටම පැහැදිලි වුනේ විමල් වීරවංශගේ රිමාන්ඩ් එකේ දී ලියපු පොත එලි දැක්වීමට ගිය එකෙන් . තව එකක් සියළු වෛද්‍යවරු GMOA එකේ මතයට පක්‍ෂවෙන්න බෑ. විරුද්ධ මත දරණ අය ඕන තරම් ඇති තමුත් ඒ එලියට එන්නේ නැත්තේ තම සංගමයට විරුද්ධව ගිහිං අනාගතයේ තමන්ට ප්‍රශ්ණයක් ආවොත් හව්හරනක් නැති වෙන්න පුළුවන් කියල හිතල වෙන්න පුළුවන් !

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය වෛද්‍යවරු වගේම සාමාන්‍ය ශිෂ්‍යයොත් ඉන්නේ ඔය වගේ ස්ථාවරයක විය යුතුයි. ඔය වගේ වෙලාවක රැල්ලෙන් පිට සිටීම පහසු වැඩක් නෙමෙයි. ඔය වගේ තත්ත්වයන්ට අපත් මුහුණ දී තිබෙනවා.

      Delete
  10. මේ ගැටුම් දෙකේ දිගුවක් ලෙස යම් හෙයකින් සිදු විය හැකි තෙවන ගැටුමක් ලංකාවේ සමාජය විසින් පෙර අත්දැක නැති තරම් විනාශකාරී විය හැකි අතර, // ජවිපෙ පෙසපෙ තුන්වන කැරැල්ල ගැන කිසිවක් නොකියමි. නමුත් ජවිපෙට හෝ පෙසපෙට සිවුවන කැරැල්ල ගසන්නට සිදුවන්නේ කැලෑ සතුන් සමග විය හැක. පලමු කැරැල්ලට වඩා දෙවන කැරැල්ල අති බිහිසුනු වූ ලෙසින් තුන්වන කැරැල්ල ගැන සිතන්නට වත් බැරිය. ලංකා සමාජයම නැති භංග විය හැකි බැවිනි.

    ReplyDelete
    Replies
    1. පසුගිය දෙවර සිදු නොවුණත් එවැන්නකට බාහිර මැදිහත්වීම් පවා සිදුවෙන්න විශාල ඉඩක් තිබෙනවා.

      Delete
  11. // මේ කණ්ඩායමට අවශ්‍ය වන්නේ සයිටම් ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීම නොව ඒ අරගලය හරහා වඩා පුළුල් දීර්ඝකාලීන අරගලයකට මාවත් විවර කර ගැනීමට හා අවසාන වශයෙන් රාජ්‍ය බලය වෙත කෙටි මාර්ගයක් සෙවීමටය. රාජ්‍ය මර්දනය ඉක්මනින් ආරම්භ වන තරමට ඒ කටයුත්ත පහසු වේ.// මේ කතාව මගේ ලිපියකත් ලිව්වා. නමුත් අරගල යන ක්‍රමය අනුව එහෙම වෙන්න තියන අවස්ථව මදි. මේකෙන් පෙසප ය ඇත්තටම කලේ කෙලවී ගෙන යන යහපාලන ආණ්ඩුවට පොඩි හුස්මක් දුන්න එක. හිර්ද වරදිඩ් කියන්න තවම කල් මදි.

    ReplyDelete
    Replies
    1. //මේකෙන් පෙසප ය ඇත්තටම කලේ කෙලවී ගෙන යන යහපාලන ආණ්ඩුවට පොඩි හුස්මක් දුන්න එක.//
      ඒ කතාවේ ඇත්තක් තියෙනවා.

      Delete
  12. මේ කාරණාවෙදි බලන්න ඕනේ වඩා වටින්නේ පෙෘද්ගලික විශ්ව විද්‍යාලයක්ද, සිංහල කොල්ලෙක්ගේ ජීවිතයද කියලා. සිංහගයන්ට විශේෂ වාසියක් නොවන දෙයක් වෙනුවෙන් සිංහල ජීවිතයක් කැපකිරීම අවශ්‍ය නෑ. ඒ ගැන සයිටම් වලට පක්ෂ, විපක්ශ, මධ්‍යස්ථ හැමෝම සිතා බැලිය යුතුයි.
    නිකරුනේ සිංහල ජීවිත විනාශ වෙනවා නම් ඕක වැහුවත් කමක් නෑ.

    මෙම ආණ්ඩුව බලයට ගෙනාවේ බටහිර සහ ඉන්දීය ඔත්තු සේවා විසින්. ඔවුන්ගේ ප්‍රධාන අරමුන දෙමළ ජාතිවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතකර සිංහලයන්ට මෙරට හිමිතැන අහිමි කිරීමයි. මේ වගේ කෝලාහලයක් ඇතිවීම රනිල්ට එම අරමුණ ඉටුකරගැනීමට උදව්වක්.

    ReplyDelete
    Replies
    1. //නිකරුනේ සිංහල ජීවිත විනාශ වෙනවා නම්//
      සිංහල වුවත් නැතත් මෙය ජීවිත විනාශ කර ගන්න තරම් වැදහත් කරුණක් නෙමෙයි. පෞද්ගලික අධ්‍යාපන ආයතන බිහිවීමෙන් රටට දිගුකාලීන වාසි රැසක් තිබෙනවා. එහෙත්, සමාජයෙන් විශාල ප්‍රතිරෝධයක් තියෙනවානම් සමාජය පරිණාමය වී පෞද්ගලික අධ්‍යාපන ආයතන පොදු සමාජයේ ඉල්ලීමක් වන තුරු එය ප්‍රමාද කළ යුතුයි.

      Delete
  13. මේ රජයේ ප්‍රදාන දුර්වලතාවය ගන්නා බොහෝ තීරණ නැවත නැවත වෙනස් කිරීමය.යම් තීරණයක් ක්‍රියාත්මක කිරීමෙන් පසු වෙනස් කරන වාර ගණන අනුව සිතින්නේ ඒ ගැන ඊට පෙර කිසිම විපරමක් නොකර ඇති බවය.එය සමාන වන්නේ නින්දේදී දුටු සිහිනයක් අවදිවූ සැනින් ක්‍රියාත්මක කිරිමටය.එයින් ලැබී ඇති වැරදි පුර්වාදර්ශය නිසා වන්නේ මෙම රජයේ ඕනෑම තීරණයක් ඉතා පහසුවෙන් වෙනස් කල හැකි බවට මතයක් ඇති වීමයි.කොටින්ම ආණ්ඩුවට කොන්දක් නැති බව බොහෝ අයට සිතීමට මෙය හේතුවක් වී ඇත.

    ReplyDelete
    Replies
    1. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුවකට සැලැස්මක්, ඒ සැලැස්ම ගැන විශ්වාසයක් හා සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ශක්‍යතාවය ගැන නිසි ඇගයීමක් තියෙනවනම් තීරණ වරින් වර වෙනස් කරන්න වෙන්නේ නැහැ. ජනමතයට එරෙහිව ඒකාධිපතිත්වය කරා යන එකේ විරුද්ධ පැත්ත පීඩක කණ්ඩායම් වලට අවශ්‍ය ආකාරයට තීරණ වෙනස් කිරීම නෙමෙයි.

      Delete
  14. බොහෝ දෙනෙකුගේ අදහස 88/89 නැවත නිර්මාණය වෙමින් තිබෙන බවයි. එය බියකරු අදහසකි. ඒ කාලේ උසස්පෙල පංතියේ හිටපු කෙනෙකු විධියට ඒ යුගය ගැන හොඳ අවබෝධයක් මෙන්ම මතකයක් මට තිබේ.

    එහෙත්........

    ඒ යුගය හා මේ යුගය අතර වෙනස් කම් ඇත. එකල ජවිපෙට සංවිධානය වන්නට අවකාශය තිබුනේ උතුරේ යුද්ධයට මුලුමහත් බලය රජයට යෙදවිය යුතුව තිබූ නිසාය. අද එහෙම නැත. අද ත්‍රිවිධ හමුදාව ඉතාමත් ශක්තිමත්ය. රට පුරා විහිදි කඳවුරු ජාලයකින් යුක්තය. පොලීසියද එසේමය.

    එකල දකුණේ තරුණ කැළට තිබූ දැවැන්ත අර්බුද අද දකුණේ තරුණයන්ට ඇතැයි කිව නොහැකිය. ජවිපෙට බිලිබාගත හැකිවූ තරුණ කැළ දැන් අන්තරේ මෙහෙයවන කල්ලියට බිලිබා ගැනීමට හැකියාව ඇතිදැයි සිතීම උගහටය. ඒ අනුව ගත්කල අන්තරේ නටවන බලවේග වලටද සිය ගමන යන්නට වෙන්නේ සීරුවෙනි. රටක් ආයුධ බලයෙන් පෙරලා දැමීම අද සිහිනයක්ම පමණකි. එය වන්නට නම් විශාල ජනතා සහයක් ඇති දැවැන්ත හමුදා කුමණ්ත්‍රණයකින් හැරෙන්නට වෙන මගක් නැත.

    ටී පනස් හය කිහිපයක් සොරාගෙන ගොස් රටක් හෙල්ලූ, තුන්ඩු කෑල්ලකින් රටක් අඩපනකල කාලය සැබැවින්ම අවසන් බව මගේ විශ්වාසයයි. බිහිසුණු සටන් වලට මුහුණදී ජයගත් විශාල හමුදාවකින්, විශාල ලෙස සංවර්ධනයවූ මාර්ග පද්ධතියකින්, රටම ආවරණය වන මාධ්‍ය හා සන්නිවේදන ජාලයකින් යුතු ලංකාව වැනි කුඩා රටක 88/89 කාලයේ සෙල්ලම් කරන්නට කිසිසේත්ම නොහැකිය.

    එසේම එවැනි සෙල්ලන් වලට එන විට, එය මර්දනය කල යුත්තේ කෙසේදැයි දන්න දේශපාලන මෙන්ම හමුදා නායකයන්ද රටේ සිටී. දැන් මේ නටනා කොල්ලන්ට කෙල්ලන්ට 88/89 මතක නැතත් ඒවා හොඳට මතක ඒකාලේ අඩුම ගණනේ උසස්පෙල පංතිවල සිටි, එකල 18 සම්පූණ මිනිස්සු මහා විශාල පිරිසක් මේ රටේ සිටී. රටේ ජනතාවද එදා මෙන් තුන්ඩු කෑල්ලට බයේ, පෝස්ටරේට බයේ, දේශපාලන ඝාතනයකට දෙකකට බයේ හැන්ගෙන යුගයක් නොවේ මෙය.

    එනිසා, රූකඩ නටවන්නන්ගේ සැලසුම් කුමක් වුව, ඒවා ඒ ආකාරයෙන්ම කරගත නොහැකි වනු ඇත. 88/89 යුගය නැවත කිසි දිනක මේ රටේ ප්‍රතිනිර්මාණය කල නොහැකිය යන්න මගේ අවංක විශ්වාසයයි.

    අවසාන වශයෙන් ඔය නටනා නැටුම් වලින් වාසියක් වන්නේ මහින්ද රාජපක්ෂ ඇතුලු පිරිසට නම්, රනිල් පරද්දා ප්‍රභාකරන් කරගත් දේට වඩා ඉතා ඉක්මණ් දරුණු විනාශයක් සිදුවන්නේ ඔය කල්ලියටමය.

    ReplyDelete
    Replies
    1. I am also of same view about the comparison of current issue with 88/89.

      Delete
    2. ටෙරන්ස්, ඔබ හිතන ආකාරය මේ වෙලාවේ ලංකාවේ වැඩි දෙනෙක් හිතන විදිහ කියා මම හිතනවා. ඔබේ දීර්ඝ අදහස් දැක්වීමට ස්තුතියි! එහෙත්, 88/89 කාලය ගැන ඔබේ කියවීම අංග සම්පූර්ණ බව මම හිතන්නේ නැහැ. මෙය ඔබ කොළඹ අවට සිට ඒ කාලය නිරීක්ෂණය කිරීම මත පදනම් වනවා විය හැකියි. 88/89 පැවති තත්ත්වය අද නැහැ. නමුත්, 88/89 සිදුවීම් වලට පසුබිම සැකසුනු 86 පමණ තිබුණු තත්ත්වයට කිට්ටු තත්වයක් තියෙනවා. හැබැයි ඔබ කියනවා වගේ සැලකිය යුතු වෙනස්කමුත් තිබෙනවා තමයි. ඒ කාලයේ බොහෝ දේවල් සිදුවුණු ආකාරය ගැන අප ඇහෙන් දුටු බොහෝ දේ මෙවැනි බ්ලොග් සටහනකින් විස්තර කරන්න අමාරුයි.

      //එකල ජවිපෙට සංවිධානය වන්නට අවකාශය තිබුනේ උතුරේ යුද්ධයට මුලුමහත් බලය රජයට යෙදවිය යුතුව තිබූ නිසාය. අද එහෙම නැත. අද ත්‍රිවිධ හමුදාව ඉතාමත් ශක්තිමත්ය. රට පුරා විහිදි කඳවුරු ජාලයකින් යුක්තය. පොලීසියද එසේමය.//
      //බිහිසුණු සටන් වලට මුහුණදී ජයගත් විශාල හමුදාවකින්, විශාල ලෙස සංවර්ධනයවූ මාර්ග පද්ධතියකින්, රටම ආවරණය වන මාධ්‍ය හා සන්නිවේදන ජාලයකින් යුතු ලංකාව වැනි කුඩා රටක 88/89 කාලයේ සෙල්ලම් කරන්නට කිසිසේත්ම නොහැකිය.//

      ඔබේ තර්කය 1971ට අදාළ වුවත් 1988/89ට එතරම් ගැලපෙන්නේ නැත. ඒ කාලයේදී ආරක්ෂක හමුදා වල ශක්තිය පිළිබඳ එවැනි ප්‍රශ්නයක් තිබුණේ නැත. ප්‍රශ්නය තිබුණේ ආරක්ෂක හමුදා වලට සටන් කරන්නට පෙනෙන සතුරෙක් නොසිටීමයි. සීමිත තැන් වල හැර අඩු වශයෙන් ගරිල්ලා හමුදාවක්වත් සිටියේ නැත. තමන්ගේ දරුවන් ජවිපෙ සාමාජිකයින් බව බොහෝ දෙමවුපියන්වත් දැන නොසිටියේය. එසේම ආරක්ෂක හමුදා වල සිටි අයගේ දරුවෝ හා බාල සොහොයුරන්ද, පාරම්පරික එජාප සාමාජිකයින්ගේ දරුවෝද ජවිපෙට සම්බන්ධව සිටි අය අතර සිටියේය. එහෙත් ඔවුන්ගේ පවුල් වල අය ඒ ගැන දැන සිටියේ නැත. ආරක්ෂක හමුදා වල සාමාජිකයින්ට ඉල්ලා අස්වන්නට දේජව්‍යා විසින් නියෝග කරන දවස් වන විට හමුදා වල සිටි අයගෙන් අඩක් පමණ තමන්ගේ අය බව දේජව්‍යා විසින් ප්‍රචාරය කළ දෙයයි. මෙය කෙතරම් නිවැරදිදැයි දැනගැනීමට කිසිදු ක්‍රමයක් නොතිබුණේය. හමුදාවේ හා පොලීසියේ ඇත්තටමත් ජවිපෙ විසින් සම්බන්ධතා ගොඩ නඟාගෙන තිබුණු අය සැලකිය යුතු ප්‍රමාණයක් සිටියේය. ජේවීපී කාරයා කවුද නැත්තේ කවුද කියා දන්නේ නැති නිසා බොහෝ දෙනෙකු තුළ තිබුනේ විශාල ව්‍යාකූල භාවයකි. මෙවැනි තත්ත්වයකදී සම්ප්‍රදායික හමුදා උපක්‍රම හෝ හමුදාවේ ප්‍රමාණය හෝ ආයුධ එතරම් වැඩක් නැත. ඔවුන්ට මුහුණට මුහුණ කළ හැකි වුනේ විරෝධතාකරුවන්ට වෙඩි තැබීම පමණි. නමුත් එයින් මියගියේ සාමාන්‍ය ජනතාවයි. එසේ සිදුවන විට දේජව්‍යාට සාමාජිකයින් හොයා ගැනීම තවත් පහසු විය. අන්තිමේදී දේජව්‍යා මර්දනය කෙරුණේ කෙසේද කියා මා විස්තර කරන්නට යන්නේ නැත. මෙය දැන් තත්ත්වය සමඟ සසඳනවානම් එවැන්නක් මර්ධනය කිරීමේදී ඔබේ ෆේස්බුක් යහළු ලැයිස්තුවේ සිටින අයෙක් හෝ ඔබ ශෙයා කර ඇති දෙයක් නිසා ඔබව පැහැරගෙන ගොස් මරා දැමීමක් වැනි දෙයක් සිදුවිය හැකිය.

      //එකල දකුණේ තරුණ කැළට තිබූ දැවැන්ත අර්බුද අද දකුණේ තරුණයන්ට ඇතැයි කිව නොහැකිය.// ඒ කාලයේත් ඔය කියන විදිහේ මහ ලොකු ප්‍රශ්න තිබුණේ නැත. පටන් ගෙන සෑහෙන කාලයක් යන තුරු තිබුණේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට කොළඹ උපාධිය දීමේ ප්‍රශ්නය පමණි. ඒ විරෝධයට එරෙහිව මර්දනය ආවේය. ඉන්පසු මර්දනයට එරෙහිව අරගලය ඉදිරියට ගියේය. ඉන්දීය හමුදා හා පළාත් සභා විරෝධ ආදිය එකතු වුනේ බොහෝ පසුවය.

      //එසේම එවැනි සෙල්ලන් වලට එන විට, එය මර්දනය කල යුත්තේ කෙසේදැයි දන්න දේශපාලන මෙන්ම හමුදා නායකයන්ද රටේ සිටී.// එවැන්නක් නැවත සිදුවෙනවානම් ඒ සඳහා මුල් වන අයද මෙය නොදන්නවා නොවේ. ඔවුන්ගේ උපාය මාර්ග හා ආණ්ඩුවේ ප්‍රති උපාය මාර්ග වල ප්‍රතිඵල වඩා දරුණු විය හැක්කේ එබැවිනි.

      //අඩුම ගණනේ උසස්පෙල පංතිවල සිටි, එකල 18 සම්පූණ මිනිස්සු මහා විශාල පිරිසක් මේ රටේ සිටී. රටේ ජනතාවද එදා මෙන් තුන්ඩු කෑල්ලට බයේ, පෝස්ටරේට බයේ, දේශපාලන ඝාතනයකට දෙකකට බයේ හැන්ගෙන යුගයක් නොවේ මෙය.//
      මිනිස්සු තමන්ගේ ජීවිතයට ආදරෙයි. අද වුනත් රටේ ගොඩක් මිනිස්සු ප්‍රශ්නයක් තියෙන කොට එයට ඔලුව නොදා ෂේප් වෙන එකයි කරන්නේ. 88/89 කාලයේ ජයවර්ධන රජයට විශාල විරෝධයක් තිබුණත් ඒ විරෝධය සුලුතරයක විරෝධයක්. ආණ්ඩුවට පක්ෂව හිටි ප්‍රමාණය අදට වඩා වැඩියි. නමුත්, තුන්ඩු කෑල්ලට වුනත් මිනිස්සු අවදානම් ගන්න ගියේ නැහැ.

      //88/89 යුගය නැවත කිසි දිනක මේ රටේ ප්‍රතිනිර්මාණය කල නොහැකිය යන්න මගේ අවංක විශ්වාසයයි.//
      මගෙත් අවංක විශ්වාසය එයයි. එහෙත්, එසේ වෙන්නට තිබෙන සුළු ඉඩකඩ පවා නොසලකා හැරිය යුතු නැහැ.

      Delete
  15. උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලයේ දෙවන බැච් එකේ හිටියේ මගේ සමකාලීනයන්. මගේ පන්ති සගයන් කොලඹ වෛද්‍ය පීඨයේත් උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලයේත් සිටියා. මගේ මතකය අනුව මුලින් රජයේ සිසුන් ගේ තර්කය වුණේ රාගම සිසුන්ගේ දැනීම ඔවුන්ට වඩා අඩු මට්ටමක තිබෙන නිසා ඔවුන්ටත් එකම විභාගයකට පෙනී සිටීමට සැලැස්විය යුතුබවයි. පලමු කණ්ඩායම අවසන් වසරට පෙනී සිටින විට එකම විභාගයකට පෙනී සිටීමට සැලැස්වීමට රජය සූදානම් වූවා. එසේ කලේ වෙන අයෙක් තමන්ට වඩා අඩු මට්ටමක සිටින බව යමෙක් කියනවා නම් එයට ඇති හොඳම විසඳුම දෙදෙනාටම එක මවිභාගයකට ඉඳගැනීමට සැලැස්වීම. ඒ වන විට රාගම අධ්‍යාපන තත්ත්වය ගැන හොඳින් දැන සිටි රජයේ සිසුන් මෙයින් තැති ගත්තා. එයට හේතුව අවසාන විභාග ප්‍රතිඵල අනුව මෙරිට් ලිස්ට් එක සැකසෙන නිසා. එම අවස්ථාවේ තමයි විරෝධය පටන් ගත්තේ.

    ReplyDelete
    Replies
    1. //මගේ මතකය අනුව මුලින් රජයේ සිසුන් ගේ තර්කය වුණේ රාගම සිසුන්ගේ දැනීම ඔවුන්ට වඩා අඩු මට්ටමක තිබෙන නිසා ඔවුන්ටත් එකම විභාගයකට පෙනී සිටීමට සැලැස්විය යුතුබවයි. //
      ඔබ හරි. මුලින්ම තිබුණු ඉල්ලීම එයයි. කොළඹ උපාධි සහතිකය දෙන්න බැහැ කියන ඉල්ලීම පවා ආවේ දෙවනුව. මේ සඳහා එකඟ වූ බව මිස එයින් පසුව විභාගය ඇත්තටම පවත්වන්න ඉඩ ලැබුණද කියන එක ගැන මට හරියටම මතක නැහැ. එසේ වෙන්න ඇති. එය ඒ ආකාරයෙන්ම සිදු වුනත් නැතත් පොදු විභාගයකදී එවැනි දෙයක් විය හැකියි. සාමාන්‍ය පෙල විභාග ප්‍රතිඵල ඉහළින්ම තිබුණු සියල්ලන්ම උසස්පෙළ සමත් වෙන්නේ නැහැ. ඒ වගේම උසස්පෙළ කියන්නෙත් එයින් පසු විභාග සමත් වීමේ හැකියාව ගැන එතරම් නරක නැති නිර්ණායකයක් වුවත්, සම්පූර්ණ නිර්ණායකයක් නෙමෙයි. උසස්පෙළ (හෝ වෙනත් විභාගයක) ප්‍රතිඵල ඉහළින්ම නැති කෙනෙකුට පසුව ඉදිරියට පැමිණීමේ හැකියාව තිබෙනවා.

      Delete
  16. මේ ටෙරන්ස් ආරච්චිගෙ කොමෙන්ට් එක ඉතා වැදගත්.ඒ කරුනු ඇත්ත. අද තත්වය වෙනස් තමයි

    මම ඔය කාලෙ කුඩා පාසල් සිසුවෙක්. ඉස්කෝලවල ස්ට්‍රයික් මට මතකයි. ඒ කාලෙ ලොකුවට බරක් පතලක් සමාජයට දැනුනෙ නෑ නමුත් පස්සෙ කාලෙක ඉහල පන්තිවල ලමයි එකා පිට එකා අතුරුදහන් වුනා. රටේම මහජන දේපල වනසමින් ඇදිරි නීති දමමින් රටම අකර්මන්‍ය වෙලා තිබුනෙ.ඒ යුගය ගැනනම් මතක් වෙද්දි අදටත් ඇග හිරි වැටෙනවා. ඇත්තටම මම කොමෙන්ට් දමමින් ඩේට හෝ වියදම් කරන්නෙ යළිත් එවැනි විනාශයක් වලක්වාගන්න අල්පමාත්‍ර හෝ උදව්වක් වේනම් එය කරන්නයි. රූකඩ නටවන්නන් ගෙ සිතුම් පැතුම් ඉතාම බියකරුයි. ජවිපෙ සිටි ඉතා දරුණු අන්තවාදීන් එම පක්ෂයෙන් ඉවත්ව වෙනම කල්ලියක් හදාගෙන තියනවා. යලිත් සන්නද්ධ අරගල වලට යන්න හදන දැඩි මතධාරීන් මෙල්ලකරගන්න අනුර කුමාරල දරන වෙහෙස ගැනත් අපි සිතන්න ඕන.

    1988 වසර රට පාලනය කලේ කඩාකප්පල්කාරීන්. රජය අකර්මන්‍ය වෙලා තිබුනෙ. අතරින් පතර පැහැරගැනීම් සිදුවුනා තමයි. නමුත් අසංවිධානාත්මකයි. ඒවත් වාසි වුනේ කැරලිකාරයන්ට. නමුත් රටේ සැබෑ බලය තිබුනෙ කැරලිකරුවන්ට. නියපොත්තෙන් කඩන්න තිබුන දේ පොරවෙන් කපන තුරුම සිටිය. 89 අවුරුද්දෙ තමයි රජය ප්‍රතිප්‍රහාර දෙන්න ගියෙ.

    මේ 88 අවුරුද්ද නිකම් ඇතිවුනා නෙමෙයි සිසුන්ගෙ පොඩි පොඩි ප්‍රචන්ඩ ක්‍රියා තිබුන. ඒ වගේම රහසිගතව පැවැත්වුන දහස් ගනන් අධ්‍යාපන කදවුරු වල පරිනාමයක් ලෙසයි 88 ඇතිවුනේ. ඒ වගේම හමුදාවෙන් පැනල කැරලිකරුවන්ට එක්වෙන්න සූදානම් සෙබලුත් සිටිය. මේ යුගයෙ ඉන්දියන් හමුදාව සහ උතුරෙ දිග්ගැස්සුන යුද්ධය නිසා හමුදාවෙත් අසහනයක් තිබුන. මේ සියල්ල කැරලිකරුවන්ට වාසියක් වුනා.

    නමුත් 88 අවුරුද්දෙ දැඩි ලෙස කැරලිකරුවන් මර්ධනය කලා නම් අලුත් පිරිසක් ඔවුන්ට එක් නොවෙන්න ඉඩ තිබුන. ලොකු විනාශයක් වලක්වාගන්න තිබුන. කැරලිකරුවන් මරන්න කියල කියන්නෙ නෑ. ඔය කැරලිකරුවන් මාස දෙකක් හිර කරල තිබ්බනම් එලියට එනකොට පක්ෂය ගැන කලකිරිල එන්නෙ. එහෙම වුනානම් ලොකු ඝාතනයක් කරන්න වෙන්නෙ නෑ. 71 කැරලිකරුවන් 88/89 ට ආවෙ නෑ. 88/89 දිවි බේරගත් අය ඔය පක්ෂෙ දිහා බලල බත් කන්නෙත් නෑ. 1988 අවුරුද්දෙපොඩි පොඩි විනාශයන් කරපු බස් ගිනි තියපු අය අල්ලල හිරකරගෙන අවුරුද්දක් හිටියනම් ඕක ඉවරයි. නමුත් 1988 අවුරුද්දෙ අසංවිධානාත්මකව කල මර්ධනය නිසා සංවිධානය වැඩුන. මේවට සම්බන්ධ නොවන අයත් ජී වී පී වුනා.හේතුව ගම්මාන පාලනය කලේ කැරලිකරුවන් නිසා ඔවුන්ට පොඩි ආන්ඩුව /පුංචි පොලීසිය කියල නම් පටබැදිල සමාජයෙ යම් පිලිගැනීමක් ලැබුන නිසා. එල් ටී ටී ඊ යට කොල්ලො බැදෙන්නත් මේ වීරත්වය හේතුවක් වුනා.

    අද වෙනකොට මුන්ගෙ නූල් සූත්තර ගැන ආන්ඩුවත් දැනුවත්. අත්දැකීම් තියනවනෙ. මුන් මලමිනියක් ඉල්ලුවට ආන්ඩුව මලමිනියක් දුන්නෙම නෑ. ඒ වෙනුවට ගුටි දුන්න. ඒක හොද දෙයක්. ඒ වගේම මුන් ප්‍රචන්ඩ ක්‍රියා පටන් ගන්නකොටම අල්ලගෙන නීත්‍යානුකූලව ක්‍රියා කිරීමත් වැදගත්.

    සිසුන්ගෙ දෙමවුපියන් හා පොදු සමාජය දැනුවත් කිරීමත් වැදගත්. විපක්ශයත් බොර දියේ මාලු බාන්න හොද නෑ. මොකද රූකඩ නටවන්නෙ එසේ මෙසේ කන්ඩායමක් නොවන නිසා. 89 ගැන අත්දැකීම් තියන අය විශාල පිරිසක් රටේ ඉන්නව. වාමාංශික වරත්ත දේශපාලන කල්ලියකට රට ආයෙ ගිනි ජාලාවක් කරන්න පිස්සුවක් තිබුනට රටේ ජනතාවට ආයෙත් ලේ දකින්න ඕන නෑ. 71 ,89 හා උතුරෙදි ලේ දැක්ක හොදටම ඇති.

    ReplyDelete
    Replies
    1. ඔබ ලියා ඇති දෙයට පොදු වශයෙන් එකඟයි.

      Delete
  17. මම නිරීක්ෂණය කරනවා රජය පැත්තෙන් මේ ගැටලුව ගැන නම්‍යශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන කොට GMOA ත් අන්තරේ අන්තවාදී විදියට කටයුතු කරනවා කියන එක.මොකද දෙපැත්තටම පිළිගන්න පුළුවන් විදියේ සාධරණ ක්‍රියාවලියක් රජය යෝජනා කර තිබියදීත් මේ සයිට්ම් විරෝදින් එකතු වෙන්නේ දේශපාලන අරමුණකින් බව පැහැදිලිව තියෙනවා.මොකද දැන් පුළුවන් වෙලා තියෙනවා ජවිපෙ සහා පෙරටුගාමින්ට එක කුඩයක් යටට එන්න සයිට්ම් විරෝධය ඉදිරියට දමා ගනිමින්.මොකද ජවිපෙ කවදත් තමන් එක්ක ඉඳලා වෙන් වෙලා ගිය අයව සලකන්නේ ද්‍රෝහීන් විදියට.පොදු සතුරෙක්ට එරෙහිව කටයුතු කරන කොට උනත් මේ අය සාමන්‍යයෙන් එකට එකතු වෙන්නේ නැහැ.හැබැයි දැන් එකතු වෙලා ඉන්නවා එක වේදිකාවකට.එතැනින්ම පෙනෙනවා "සයිට්ම් වසා දමනු" කියන සටන් පාඨයේ තියෙන දේශපාලනික බව.

    ReplyDelete
    Replies
    1. සයිටම් විරෝධීන් කියන්නේ සමජාතීය කණ්ඩායමක් නෙමෙයි. එහි විවිධ සංරචක හඳුනාගෙන වෙන් කිරීමයි අවශ්‍ය. වෛද්‍යවරුන් බොහෝ දෙනෙකුගේ අවශ්‍යතාවය වෘත්තීය එකක් නිසා ඔවුන්ට පිළිගත හැකි එකඟතාවයකට පැමිණීමයි මේ වෙලාවේ ප්‍රායෝගික දෙය. දේශපාලනික අරමුණු තියෙන අයගේ ඉල්ලීම් ඉටු කරන එක වඩා අසීරුයි.

      Delete
  18. දැනට ලංකාවෙ ඉන්න හොඳම chest specialist PMC ට ඇතුලත් වුන කෙනෙක්.

    අපේ රට තරම් ප්‍රතිපත්ති පස්සට ඉස්සරහට නොකඩවා වෙනස් කිරීම නිසා ආපස්සට ගිය රටක් තවත් නැතුව ඇති. කොමියුනිස්ට් කාලෙ ඉතා පරිහානියට පත් වුන රටවලුත් දැන් ලංකාවට වැඩියෙන්/ වේගයෙන් දියුණුවෙනවා. අපි පැද්දෙනවා විතරයි

    ReplyDelete
  19. http://jathikachinthanaya.blogspot.com/2017/06/manufactured-opposition.html

    ReplyDelete
  20. ඔබ GMOA හා වෛද්‍යය අධ්‍යාපනය ගැන හිතා සිටින ආකාරය වැරදියි. වෛද්‍යයවරු බහුතරයක් මෙයට විරුද්ධ වෘත්තිය ගැටලුවක් නිසා නෙවෙයි.ඇත්තටම ගත්තොත් SAITM එක හෝ එවැනි පුද්ගලික වෛද්‍යය විදුහල් වෛද්‍යයවරුන්ට වාසි දායකයි.
    SAITM හි ගුණාත්මකභාවයට රජයේ යෝජනා වෛද්‍යය අධ්‍යාපනය ගැන දන්නා කිසිවෙකුත් පිළිගන්නේ නෑ. මෙය සාමන්‍යය ගැණුම්කරුවෙකු හා නිෂ්පාදකයෙකු අතර සම්බන්ධයක් නෙවෙයි. එයින් බිද චැටෙන්නේ රටේ වෛද්‍ය ප්‍රතිපත්තියයි. මෙයට පක්ෂ කිසිවෙකු දන්නේ නෑ ලංකාවේ ආර්ථිකයට දැරිය හැකි වෛද්‍යවරු ගනන, වසරකට පුහුණු කලහැකි වෛද්‍යයවරු ගණන හා ඉදිරි වසර වල රටට එකතුවන වෛද්‍යවරු ගැන දත්තයන්.
    රාගම විදුහලේ අවසන් වසර විභාගය පිළිබද ඉයන්ගේ හා ඔබේ සටහන සම්පූර්ණයෙන්ම වැරදියි.
    GMOA දේශපාලනය ගැන ඔබේ වැටහීම සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ ගැන එයිට වැඩිය කිව නොහැකියි

    ReplyDelete
    Replies
    1. //වෛද්‍යයවරු බහුතරයක් මෙයට විරුද්ධ වෘත්තිය ගැටලුවක් නිසා නෙවෙයි. ඇත්තටම ගත්තොත් SAITM එක හෝ එවැනි පුද්ගලික වෛද්‍යය විදුහල් වෛද්‍යයවරුන්ට වාසි දායකයි.//
      වෘත්තිය ගැටලුවක් නිසා නෙවෙයිනම් මොකක් නිසාද, මචං? අවාසිදායක දෙයක් වෙනුවෙන් ඔය තරම් දඟලන්නේ ඇයි?

      //SAITM හි ගුණාත්මකභාවයට රජයේ යෝජනා වෛද්‍යය අධ්‍යාපනය ගැන දන්නා කිසිවෙකුත් පිළිගන්නේ නෑ.//
      එය වෙන්න පුළුවන්. ඒ ගැන විවාදයක් නැහැ. මේ සම්බන්ධව රජයත් නම්‍යශීලී විය යුතුයි.

      //එයින් බිද චැටෙන්නේ රටේ වෛද්‍ය ප්‍රතිපත්තියයි.// රටේ වෛද්‍ය ප්‍රතිපත්තිය කියන්නේ වෙනස් නොවී තිබිය යුතු එකක් නෙමෙයි. එය අත්තනෝමතික ලෙස වෙනස් කළ යුතුයි කියා මම යෝජනා කරන්නේ නැහැ. එහෙත්, කාලයත් සමඟ වෙනස් විය යුතුයි.

      //මෙයට පක්ෂ කිසිවෙකු දන්නේ නෑ ලංකාවේ ආර්ථිකයට දැරිය හැකි වෛද්‍යවරු ගනන, වසරකට පුහුණු කලහැකි වෛද්‍යයවරු ගණන හා ඉදිරි වසර වල රටට එකතුවන වෛද්‍යවරු ගැන දත්තයන්.//
      මෙය ඔබ විශාල ප්‍රශ්නයක් ලෙස දකින්නේ ලංකාවේ තිබෙන සමාජවාදී ආකෘතියෙන් ඔබ්බට ඔබට හිතන්න බැරි නිසා. රජයේ ඒකාධිකාරය නැත්නම් වෙළදපොල විසින් මේ ප්‍රශ්න සියල්ල විසඳනවා. රටේ වෛද්‍යවරු වැඩි වන විට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට තියෙන ඉල්ලුම ස්වභාවිකවම සීමා වෙනවා. එතැනට යන්න ගොඩක් දුර නිසා දැනට මේ දේවල් සැලකිල්ලට ගත යුතු බවට එකඟයි. එහෙත්, මෙය ප්‍රශ්නයක් වෙන්නේ සයිටම් උපාධිධාරීන් රජයේ රැකියා ඉල්ලනවානම් පමණයි නේද? අනිත් එක අධ්‍යාපනය හා රැකියාව කියන්නේ කරුණු දෙකක්.

      //රාගම විදුහලේ අවසන් වසර විභාගය පිළිබද ඉයන්ගේ හා ඔබේ සටහන සම්පූර්ණයෙන්ම වැරදියි.// වෙන්න පුළුවන්. මම ලිවුවේ මතකයෙන්. නිවැරදි දෙය වෙන එකක්නම් සටහන් කරන්න.

      //GMOA දේශපාලනය ගැන ඔබේ වැටහීම සම්පූර්ණයෙන්ම වැරදියි. ඒ ගැන එයිට වැඩිය කිව නොහැකියි// හරි දෙය වටහාගත හැකි පරිදි පැහැදිලි කළොත් පිළිගන්නම්!

      මෙහි ඇවිත් කමෙන්ට් එකක් දැම්මට ස්තුතියි! වර්ජන නිසා පොඩි නිවාඩුවකුත් ලැබෙන්න ඇතිනේ :)

      Delete
  21. ඔබේ ඇඟවීමෙන් පේන්නේ ඔබ මාව අඳුරාගත් බවයි. මම ඔයාගේ ලිපි දිගටම කියවනවා. ඇත්තටම ඒවායින් මම බොහෝ දේවල් ඉගන ගත්තා. මම දිගටම බලාගන හිටියා SAITM ගැන ඔයාගේ ලිපියක්. නමුත් ඒ පිළිබද ඔයා වැඩිපුර අධ්‍යයනය කර නෑ.
    1. මොකද්ද ඔය වෘත්තිය ගැටලුව? මට දැනගැනීමට උවමනායි ඔවුන්ට වන වාසිය විරුද්ධ වීමෙන්
    හා ඔවුන්ට නැතිවනදෑ එය ආරම්භ කිරීමෙන්.නමුත් වෛද්‍යය වරු විදිහට බොහෝ දෙනා( 95% කට වැඩිය), මම එසේ කියන්නේ මම ඇසුරු කරන වෛද්‍යවරු (සහ අපේ consultant ලාගේ වෙනම site එකක් තියෙනවා,සමහරු මම පුද්ගලිකව දන්නේ නෑ. නමුත් බහුතරයක් >95% විරුද්ධයි) හා වෛද්‍යය ආචාර්යවරු (මගේ බොහෝ ගුරුවරුද ඇතුළුව , එය ඉතා විශාල ගණනක්) විරුද්ධ වන්නේ ඔබ ඔය කියන ගැටලුව නිසා නෙවෙයි. අනිත් අතට ඉතා අතලොස්සක් වන එයට පක්ෂපාත වෛද්‍යවරු නම් එයට කැමති ඔවුන් එයින් ඔබ ඔය. අඟවන වාසි ගන්නා නිසයි. එක්කෝ ඔවුන් එහි වැඩ කරනවා. නැත්නම් ඔවුන්ගේ ළමයි ඉතා අඩු results වලට ඇතුඵවී එහි ඉගෙන ගන්නවා.
    මා ඇතුඵ මා ඇසුරු කරන වෛද්‍යය වරුනට මෙය හා පැමිණීමට නියමිත අනිත් ආයතන වලින් වන වාසිය ඉතා ඉහලයි( එයින් වෙනම කුලකයක් හැදෙනවා ඉන්දියාවේ වගේ) . නමුත් ඒවා අමතක කර ඔවුන් විරුද්ධයි. ඒ ගැන මම ඉතාම ආඩම්බර වෙනවා. නිදහස් අධ්‍යාපනය ගැන.
    2. ස්තුතියි.
    3. මේ සම්බන්ධව අදාල ආයතන වලින් ඕනෑවටත් වඩා අධ්‍යනය කර වෙනස් කිරීමට අදාල යෝජනා ඉදිරිපත් කර ඇත.
    4. සමාජවාදි ආකෘතියයි සෞඛ්‍යය ප්‍රතිපත්තිය අතර සම්බන්දය මට තේරෙන්නේ නෑ. එතකොට ඔයා internship ගැන මොකද කියන්නේ. ඒකත් පෞද්ගලික ආයතන වලට දෙන්ඩ කියලද කියන්නේ. එය රැකියාව නෙවෙයි, එයත් අධ්‍යාපනයේම කොටසක්. වෛද්‍යය අධ්‍යාපනයේ ඉතාම වැදගත්ම කඩ ඉම.
    5. අධ්‍යයනය කරන්ඩ.
    6. GMOA දේශපාලනය ප්‍රසිද්ධියේ කිව නොහැකියි. හමුවුනවිට කතාබහ කරමු. හමුවුනොත්!

    වර්ජන දවසට Hospital වල වැඩ වැඩියි. PP නම් නෑ. ඒ හින්දා පොඩි විවේකයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. //මම ඔයාගේ ලිපි දිගටම කියවනවා.//
      මෙය මා කලින් දැන සිටියේ නැහැ. මම හිතුවේ මේ ලිපිය දැක පැමිණියා කියලයි. හිතනවාට වඩා පිරිසක් බ්ලොග් සමඟ සිටින බව පෙනෙනවා. එය සතුටක්. ඒ වගේම ලිවීමේ වගකීමත් වැඩි කරනවා.

      //මම දිගටම බලාගන හිටියා SAITM ගැන ඔයාගේ ලිපියක්. නමුත් ඒ පිළිබද ඔයා වැඩිපුර අධ්‍යයනය කර නෑ.//
      ඇත්ත. සයිටම් හා එක්ටා වැනි දේවල් ගැන පුළුල් ලෙස කතා කරන්නට දැන සිටිය යුතු දේ සියල්ල මම අධ්‍යයනය කර නැහැ. විනෝදාංශයක් වෙනුවෙන් එතරම් කාලය යෙදෙවීමේ හැකියාවකුත් නැහැ. වැඩිය කතා කරන්න නොයන්නේ ඒ නිසයි. බාගෙට හදාරා කතා කරන්න මම කැමති නැහැ. ඒ වගේම බාහිර පුද්ගලයෙකු ලෙස ලංකාවේ සිදුවන නිශ්චිත දේවල් වලට පුළුල් බලපෑමක් සිදුවන දේ ලියන්නත් මම කැමති නැහැ. ඒ නිසා මම බොහෝවිට ලියන්නේ වාස්තවික සාක්ෂි ඇති සීමාව තුළ පමණයි. මෙය හෝ ලිවුවේ මේ සිදුවන සිදුවීම් විශාල විනාශයකින් අවසන් වනු දැකීම මගේ ප්‍රාර්ථනය නොවන නිසයි.

      1. සයිටම් වලට පක්ෂ වෛද්‍යවරු එසේ කරන්නේ වාසි වෙනුවෙන් කියන එකට මම එකඟයි. එහි වරදකුත් නැහැ. තමන්ට වාසි ඇති දේ වෙනුවෙන් මිනිසුන් පෙනී සිටීම අපරාධයක් නෙමෙයි. ඒ වගේම වෛද්‍යවරුන් 95%ක් සයිටම් වලට විරුද්ධයි කියා ඔබ කියන එකත් නිවැරදි විය යුතුයි. මම මේ වෙලාවේ ලංකාවේ වෛද්‍යවරයෙක්ව සිටියානම් මම ඉන්නේත් එතැනයි. නමුත්, මේ වෛද්‍යවරු එසේ කරන්නේ තමන්ට පාඩුවක් කර ගනිමින් කියන එක මට පිළිගන්න බැහැ. ඒ වගේම තමන්ගේ වාසි වෙනුවෙන් සයිටම් වලට එරෙහි වීම මට ප්‍රශ්නයකුත් නෙමෙයි. ඒ අතරම, මේ කණ්ඩායම් දෙකේම මුදල් වාසි නොවන වෙනත් දේ වෙනුවෙන් තමන්ගේ මතය ප්‍රචලිත කරන සුළු පිරිසකුත් ඉන්නවා විය හැකියි. ඔබ එයින් කෙනෙක් වෙන්නත් පුළුවන්.

      ඇතැම් වෛද්‍ය ආචාර්යවරු ඉන්නේත් පක්ෂග්‍රාහී තැනක නිසා ඔවුන් කරන විශ්ලේෂණ නිවැරදි නැහැ. උදාහරණයක් ලෙස ඉන්දික කරුණාතිලකගේ ලිපිය වැරදි තොරතුරු ගහණ ලිපියක්. ඒ ගැන ලියන්න ගත්තත් වෙනත් වැඩක හිරවුණු නිසා අවසන් කරන්න වුනේ නැහැ.

      //ඒ ගැන මම ඉතාම ආඩම්බර වෙනවා. නිදහස් අධ්‍යාපනය ගැන.// මෙහි තිබෙන්නේ මුලාවක්. මෙය කෙටියෙන් පැහැදිලි කරන්න අමාරුයි.

      3. මේකත් ඔය සමාජවාදී ආකෘතියේම ප්‍රශ්නයක්. වෛද්‍ය අධ්‍යාපනය රජය විසින් සැලසුම් කළ යුතුයි කියා ඔබ (ඇතුළු වෛද්‍යවරුන් බහුතරය) සිතනවා. ඉන්පසු රජයේ දේශපාලන අධිකාරිය විසින් එය කරන ආකාරය ගැන සෑහීමකට පත් වෙන්නේ නැහැ. මෙය රජය ඇතුලේ කොටස් දෙකක් අතර ප්‍රශ්නයක්. මෙහිදී ලංකාවේ වෛද්‍යවරු වෘත්තිකයින් කණ්ඩායමක් මෙන්ම රජයේ කොටසක්ද ලෙස එකවර කටයුතු කරනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වැඩිවන තරමට මේ බලය රජයෙන් ගිලිහී වෘත්තිකයින් අතට එනවා. (ඒ අයත් ඔය දැන් සිටින වෛද්‍යවරුන්ම තමයි) එවිට මෙවැනි ප්‍රශ්න ඇති වන්නේ නැහැ. වෘත්තියේ ගුණාත්මක භාවය වෛද්‍යවරුන්ටම පවත්වාගෙන ය හැකියි.

      4. ඉන්ටර්න්ෂිප් එක කියන්නේ ඉතා පැහැදිලිවම වෛද්‍ය අධ්‍යාපනයේ වැදගත්ම කොටස. ඒ ගැන මගේ කිසිම විවාදයක් නැහැ. නමුත්, පුළුල් ලෙස කතාකරනවානම්, අවශ්‍ය පුහුණුව ලැබෙනවානම් එය රජයේ රෝහලකම සිදුවිය යුතු නැහැ. මේ වෙලාවේ සයිටම් හා අදාලව ලංකාවේ පවතින විශේෂිත තත්ත්ව ඇත්දැයි මම අධ්‍යයනය කර නැහැ.

      ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය තනිකරම රජය විසින් මධ්‍යගතව පාලනය කළ යුතුයි කියන එකට හා සයිටම් රජයට ගත යුතුයි කියන ඉල්ලීමට මම කෙසේවත් එකඟ නැහැ. එය වෙනත් අයගේ නිදහස නැති කරන අසාධාරණ ඉල්ලීමක්. ඒ මතයට එළැඹෙන්නට සයිටම් ගැන හෝ ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය ගැන විශාල අධ්‍යයනයක් කරන්න අවශ්‍ය නැහැ.

      Delete
  22. මම ඔයාගේ ලිපි බලනවා. විශේෂයෙන්ම three wheel drivers ලා ගැන, විදේශ ගිවිසුම් ගැන ලියපු ලිපි අලුතෙන්ම economist ලගෙ පැත්තෙන් හිතන්න පුරුදු කරනවා. ඒ වගේම පහුගිය election ගැන ඔයාගේ prediction මම හිතපු විදිහ සමගත් සමපාත වුනා. මම විශ්වාස කරනවා ඔයාගේ අදහසුයි මගේ ඒවයි බොහෝ දුරට සමානයි කියලා.
    ඒ වුනාට වෛද්‍යය අධ්‍යාපනය ගැනනම් ඔබ හිතන විදිහ ගැන මම එකඟ නෑ. ඔබ internship ගැන හිතන විදිහෙන්ම ඒ ගැන හිතා ගන්ඩ පුළුවන්. අනිත් ඒවා ගැන කතා කරල වැඩක් නෑ.

    # මේ වෛද්‍යවරු එසේ කරන්නේ තමන්ට පාඩුවක් කර ගනිමින් කියන එක මට පිළිගන්න බැහැ#
    මෙම කොටසට මම එකඟ නෑ. මම විශ්වාස කරන්නේ පෞද්ගලික වෛද්‍යය විවි වලින් වෛද්‍යය වරුනට වාසි කියලයි. මට මගේ දුව, පුතා මගේම වෘත්තියට ලේසියෙන්ම ගන්ඩ පුලුවන්. එයින් පසු මගෙන් ළමයින්ට, ඔවුන්ගෙන් පසු මෙය පරම්පරාවෙ රුකියාවක් කරගන්ඩ පුඵවන්. හරියට ඉන්දියාවේ වගේ.

    # . පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වැඩිවන තරමට මේ බලය රජයෙන් ගිලිහී වෘත්තිකයින් අතට එනවා. #.

    මෙයිනුත් වෛද්‍යවරුන්ටමයි වාසිය. නමුත් වෙනසක් තියෙනවා. වෘතිකයන් ලෙස ඉන්න මුදලාලිලා ටිකක් තමයි එය හසුරු වන්නේ. ඔවුන් වැඩිපුර මුදලාලිලා. වෘත්තිකයන් නෙවෙයි. ඔවුන්ට උවමනා ලාබය, ගුණාත්මක භාවය නොවෙයි. හොදම උදාහරණය SAITM . අලුතෙන් එන ඒවා මීටත් වඩා නරකයි.

    #සයිටම් රජයට ගත යුතුයි කියන ඉල්ලීමට මම කෙසේවත් එකඟ නැහැ. එය වෙනත් අයගේ නිදහස නැති කරන අසාධාරණ ඉල්ලීමක්. #
    මම එකඟ නෑ.යම්කිසි කෙනෙකුට නිදහස තියෙනවා කියලා තමන්ට කැමති දෙයක් කරන්ඩ බෑ. එයට රටේ නීතියක් තියෙනවා. එහෙම නම් මම කැමතියි කියලා මට හොරකම් කරන්ඩත් පුලුවන් වෙන්ඩ උවමනායි.

    ඉන්දික කරුණාතිලක හා නිදහස් අධ්‍යාපනය ගැන ඔයාගේ අදහස් දැනගන්ඩ ආසාවෙන් බලාගන ඉන්නවා. නිදහස් අධ්‍යාපනය ගැන මම ආඩම්බර වෙනවා. එය නැතිනම් මම මෙතන නෑ. ඒ වගේම මම ආඩම්බර වෙනවා බහුතර වෛද්‍යයවරු ගැන. ඔවුන් මුල අමතක කර නෑ. ඒක ගැනයි මම ආඩම්බර වෙනවා කීවේ.


    #ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය තනිකරම රජය විසින් මධ්‍යගතව පාලනය කළ යුතුයි කියන එකට #
    ඒක තමයි මම කියන්නේ ඔයා වෛද්‍යය අධ්‍යාපනය ගැන දන්නෑ කියලා. විශේෂයෙන්ම ලංකාවේ එය සිදුවෙන ආකාරය. ඔබ ඔය කියන විදිහට මාග්‍රට් තැචර් වත් සමාජවාදියි.

    #මේ සිදුවන සිදුවීම් විශාල විනාශයකින් අවසන් වනු දැකීම මගේ ප්‍රාර්ථනය නොවන නිසයි.#
    මටත් විශාල බියක් තියෙනවා. එතනදි තමයි මම ඔබට හැඟචූ GMOA දේශපාලනය වැදගත් වන්නේ. එයිට වැඩිය මට ඒ ගැන කියන්ඩ බැහැ.

    ReplyDelete
    Replies
    1. //ඒ වුනාට වෛද්‍යය අධ්‍යාපනය ගැනනම් ඔබ හිතන විදිහ ගැන මම එකඟ නෑ.//
      මම හිතන විදිහ සමඟ ඔබ එකඟ විය යුතු නැතුවා පමණක් නොව මම වඩා කැමති එවැනි අය මෙහි පැමිණ කියවනවටයි. මම ලියන හැම දෙය සමඟම එකඟ වන මෝඩ අනුගාමිකයින් පිරිසක් හදාගන්න මට අවශ්‍ය නැහැ. මා ලියන හැමදේම එලෙසම පිළිගන්න කෙනෙක් වෙනුවෙන් ලිවීමෙන් වෙනත් වාසි නොතකා ලියන කෙනෙක්ට ලැබෙන ප්‍රයෝජනයකුත් නැහැ. මම මොනවා හෝ ඉගෙන ගන්නේ මා සමඟ එකඟ නොවන අය සිටින නිසායි. (එකම දේ තමන් හිතන දේ වෙනස් කරගන්න කිසිසේත්ම කැමති නැති අය අකැමැත්තෙන් හෝ තරහින් මෙහි ලියන දේ කියවන එක තේරුමක් නැති දෙයක්. මේ වාක්‍යය ලිවුවේ ඔබට හෝ ඔබ වැනි අයට නෙමෙයි.)

      //මට මගේ දුව, පුතා මගේම වෘත්තියට ලේසියෙන්ම ගන්ඩ පුලුවන්. එයින් පසු මගෙන් ළමයින්ට, ඔවුන්ගෙන් පසු මෙය පරම්පරාවෙ රුකියාවක් කරගන්ඩ පුඵවන්. හරියට ඉන්දියාවේ වගේ.//
      //මෙයිනුත් වෛද්‍යවරුන්ටමයි වාසිය. නමුත් වෙනසක් තියෙනවා. වෘතිකයන් ලෙස ඉන්න මුදලාලිලා ටිකක් තමයි එය හසුරු වන්නේ. ඔවුන් වැඩිපුර මුදලාලිලා. වෘත්තිකයන් නෙවෙයි. ඔවුන්ට උවමනා ලාබය, ගුණාත්මක භාවය නොවෙයි. හොදම උදාහරණය SAITM . අලුතෙන් එන ඒවා මීටත් වඩා නරකයි. //

      ඔබ හිතන විදිහ තේරුම් ගන්න තරමට මට මේ ගැන කතා කිරීම පහසු වෙනවා. වෛද්‍යවරුන්ට මේ කියන වාසි තිබෙන බවම තමයි මමත් කියන්නේ. ඒ ගැන ඔබට තිබෙන අවබෝධය අනෙක් වෛද්‍යවරුන්ටත් තිබෙනවානම් එය වඩාත් හොඳයි. දැන් මම මෙහි ඉතිරි කොටස ලියන්නේ වෛද්‍යවරුන්ට (වෛද්‍යවරුන්ගේ දරුවන්ට) පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නිසා මේ වාසි තිබෙන බව පිළිගන්නා අයට.

      දැන් මේ බව පිළිගන්නා අයෙක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විරුද්ධ වන්නේ ඇයි? ඔබ ලියා ඇති දෙය මම තේරුම් ගන්නා ආකාරයට ඔබ අයත් වන කුලකය මේ ගැන හිතන්නේ මෙහෙමයි.

      "මම දැන් ඉන්නේ ඉහළ මධ්‍යම පන්තියේ. ඒ නිසා, එවැනි පවුලක උපන් මගේ දරුවන්ට මෙයින් වාසියක් වෙනවා. නමුත්, මම මෙතැනට එන විට මම පහළ මධ්‍යම පාංතිකයෙක්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කියන්නේ මට ලබා ගත හැකිව නොතිබුණු අවස්ථාවක්. ඒ නිසා, මම මෙයට විරුද්ධ විය යුතුයි."

      ඕනෑම ආදායම් මට්ටමක ඉපදුණු දරුවෙකුට බාධාවකින් තොරව මූලික අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් ලැබිය යුතු බවට මම එකඟයි. මොකද අප ඉපදෙන තැන අපේ තෝරාගැනීමක් නොවන නිසා.

      නමුත්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පමණක් ඉතිරි කර රජයේ වෛද්‍ය විද්‍යාල වසා දැමිය යුතු බව කිසි කෙනෙක් යෝජනා කර නැහැ. ඒ නිසා කිසිවෙකුට දැනට තිබෙන අවස්ථාවන් අහිමි වීමක් වෙන්නේ නැහැ.

      ඉන්දියාවේ තිබෙන සමාජ ආකෘතිය අනුව සාමාන්‍ය පවුලක අයෙකුට උඩට එන්න තියෙන අවස්ථා අඩුයි තමයි. නමුත්, එය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හේතුවෙන් ඇති වූ තත්ත්වයක් නෙමෙයි.

      Delete
    2. //වෘතිකයන් ලෙස ඉන්න මුදලාලිලා ටිකක් තමයි එය හසුරු වන්නේ. ඔවුන් වැඩිපුර මුදලාලිලා. වෘත්තිකයන් නෙවෙයි. ඔවුන්ට උවමනා ලාබය, ගුණාත්මක භාවය නොවෙයි. හොදම උදාහරණය SAITM . අලුතෙන් එන ඒවා මීටත් වඩා නරකයි.//

      ඔබ හිතන විදිහට ප්‍රශ්නය මෙයයි. නමුත්, මෙය හුඹස් බියක්. (වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය හා ලාබය අතර ඇති සම්බන්ධය මට සෑහෙන්න කතා කළ හැකි මාතෘකාවක්. එය පසුවට තියමු.) දැන් ඔබ කියන විදිහට වෛද්‍යවරුන් අතර මේ විදිහට ලාබයම හොයන පිරිස් ඉන්නේ 5%ක් පමණ. 95%ක්ම ගුණාත්මකභාවය ගැන හිතන අය. මෙය ඇත්තක්නම්, ලාබ සඳහා නොවන (not-for-profit) රෝහල් අඩු වශයෙන් එකක් හෝ හැදෙන්න ඕනෑ. එසේ හැදෙන එක් රෝහලක හෝ අඩු මිලකට වැඩි ගුණාත්මකභාවයක් ඇති වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දෙනවානම් ඔබ කියන මුදලාලිලාගේ කඩ ඉල්ලුමක් නැතිව වැහෙනවා. එසේ නැත්නම්, කෙසේ හෝ ගුණාත්මකභාවය තරඟකාරී මට්ටමක පවත්වා ගනිමින් හා මිල වැඩි නොකරමින් ලාබ ගන්නට තරම් කාර්යක්ෂම වන්නට ඔවුන්ට සිදු වෙනවා. එහෙම කරනවානම් ලාබ ගැනීමේ කිසිම වැරැද්දක් තියෙන්න බැහැ. දෙවනුව, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආදිය ඇති වීමට සමාන්තරව ශිෂ්‍ය ණය ආදී ක්‍රමත් පැමිණෙනු ඇති නිසා පහළ ආදායම් කාණ්ඩ වල දරුවන්ටත් මේ අවස්ථා හිමි වෙනවා.

      //මම එකඟ නෑ.යම්කිසි කෙනෙකුට නිදහස තියෙනවා කියලා තමන්ට කැමති දෙයක් කරන්ඩ බෑ. එයට රටේ නීතියක් තියෙනවා. එහෙම නම් මම කැමතියි කියලා මට හොරකම් කරන්ඩත් පුලුවන් වෙන්ඩ උවමනායි.//

      ඒකම තමයි මෙහි ඇති ප්‍රශ්නය. සයිටම් එක රජයට ගන්නවා කියන්නේ එය බදු මුදලින් නඩත්තු වෙනවා කියන එක. ලංකාවේ වැඩිපුරම තියෙන්නේ වක්‍ර බදු. මේ බදු මුදල් කියන්න (අඩු ආදායම්ලාභීන් ඇතුළු) මිනිසුන්ගෙන් "පැහැරගන්නා" සල්ලි. අනිත් පැත්තෙන් සයිටම් එකට ගෙවන අය ගෙවන්නේ තමන් ඉපැයූ මුදල්. එසේ කරන්නේ අනාගත ලාබයක් වෙනුවෙන්. සයිටම් එකෙන් ලාබ ලබන අය මුදල් උපයන්නෙත් තවත් අයට පසුව වැඩි ආදායමක් ගන්න ඉඩක් සලසමින්. මෙහිදී සිසුන්ට හා කොටස් හිමිකරුවන්ට යන දෙකොටසටම වාසියක් ලැබුණත් රජය බදු ගන්නවා වගේ පැත්තක ඉන්න අයෙකුගේ දෙයක් ඔවුන් ගන්නේ නැහැ. සයිටම් නවත්වනවා කියන්නේ එහි කොටස් හිමියන්ට හා සිසුන්ට ලාබයක් ලබන්නට ඇති අවස්ථාව "හොරකම් කිරීමක්".

      මට හිල්ටන් එකෙන් කන්න හැකියාවක් නැහැ කියා මා වෙනත් එය එහි යන එක වැළැක්වීම සාධාරණ නැහැ. එහි යන අය වියදම් කරන්නේ මගේ සල්ලි නෙමෙයි. රටේ නීතිය තිබිය යුත්තේ හිල්ටන් එකෙන් කන්න අවශ්‍ය හා හැකියාවක් තියෙන අයට කවුරු හෝ බාධා කරනවානම් එය වැළැක්වීමටයි.

      //ඒක තමයි මම කියන්නේ ඔයා වෛද්‍යය අධ්‍යාපනය ගැන දන්නෑ කියලා. විශේෂයෙන්ම ලංකාවේ එය සිදුවෙන ආකාරය. ඔබ ඔය කියන විදිහට මාග්‍රට් තැචර් වත් සමාජවාදියි.//
      ඇමරිකාව හැර එංගලන්තය ඇතුළු හැම රටකම (මම දන්නා තරමින්) මධ්‍යගත සෞඛ්‍ය සේවා සැපයුමක් තිබෙනවා. ලංකාවේ එය නැති කළ යුතුයි කියා මම යෝජනා කරන්නේ නැහැ. නමුත්, අඩුම වශයෙන් ඇමරිකානු උදාහරණය මඟින් පෙන්වන්නේ එවැනි මධ්‍යගත "සමාජවාදී" ආකෘතියක් අනිවාර්ය දෙයක් නොවන බව. ඇමරිකාවේ සෞඛ්‍ය සේවය ලෝකයේ හොඳම සෞඛ්‍ය සේවය නොවූවත් එය ගුණාත්මක භාවය අතින් ලංකාව, චීනය වැනි රටවලට වඩා ගවු ගාණක් ඉදිරියෙනුයි තියෙන්නේ. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල වෛද්‍ය අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශයේ කිසියම් දායකත්වයක් තියෙනවා. මෙහි ඇති ප්‍රශ්නය ලංකාවේ වෛද්‍යවරු ලංකාවේ දැනට පවතින ආකෘතියට වඩා වෙනස් ආකෘතියක් පැවතිය හැකි බව නොසිතීමයි.

      අවසාන වශයෙන් පහත කොටස වඩා හොඳින් හිතට වැදීම සඳහා පෞද්ගලික උදාහරණයක් ලෙස ඉදිරිපත් කළත් කරුණාකර පෞද්ගලික ලෙස ගන්න එපා. මේ විදිහට ලියන්නේ ඔබ මිතුරෙක් වීම හා පුළුල් ලෙස හිතන පුද්ගලයෙක් වීම සලකමිනුයි. නැත්නම් මෙසේ ලියන්නේ නැහැ.

      ඔබේ දරුවෙක් ලකුණු කිහිපයකින් ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාලයකට නොතේරුනොත් (උදාහරණයක් ලෙස කෘෂි පීඨයකට තේරුණොත්), දරුවා වෛද්‍යවරයෙක් ලෙස සේවය කිරීමට විශාල උනන්දුවක් හා කැමැත්තකුත් තියෙනවනම්, ඔබට දරුවාව ඕස්ට්‍රේලියාව වැනි රටකට යවන්න සල්ලිත් තියෙනවනම් ඔබ එය කරනවද නැද්ද? එසේ නැත්නම්, වෛද්‍ය අධ්‍යාපනය හිමි විය යුත්තේ ඒ සඳහා වැඩිම දක්ෂකම් තිබෙන අයට පමණක් කියමින් ප්‍රතිපත්තිමය හේතු මත දරුවාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර කෘෂිවිද්‍යාව හදාරන්න රජයේ සරසවියකට යවනවද?

      Delete
  23. # . ඒ ගැන ඔබට තිබෙන අවබෝධය අනෙක් වෛද්‍යවරුන්ටත් තිබෙනවානම් එය වඩාත් හොඳයි. දැන් මම මෙහි ඉතිරි කොටස ලියන්නේ වෛද්‍යවරුන්ට (වෛද්‍යවරුන්ගේ දරුවන්ට) පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නිසා මේ වාසි තිබෙන බව පිළිගන්නා අයට.#
    වෛද්‍යවරු සියල්ලෝම එය දන්නවා. නමුත් බහුතරය මුල අමතක කර නැත.

    # මට ලබා ගත හැකිව නොතිබුණු අවස්ථාවක්. ඒ නිසා, මම මෙයට විරුද්ධ විය යුතුයි."#
    මොකක්ද මෙයින් අදහස් කරේ. එයට කැමති වෙන්ඩ තිබුනා රටේ සියලුම දෙනාට එය විවෟත වී තිබුණානම් . එයයි අධ්‍යාපනය සඳහා නිදහස.මම කියන්නේ මට ලැබුණු අවස්ථාව, සියලු දෙනාටම සමානව ආරක්ෂා කලයුතු බවයි,

    # නමුත්, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පමණක් ඉතිරි කර රජයේ වෛද්‍ය විද්‍යාල වසා දැමිය යුතු බව කිසි කෙනෙක් යෝජනා කර නැහැ. ඒ නිසා කිසිවෙකුට දැනට තිබෙන අවස්ථාවන් අහිමි වීමක් වෙන්නේ නැහැ. #
    ඒ ඔබ ලංකාවේ වෛද්‍යය අධ්‍යාපනය ගැන දන්න විදිහ. ටික කාලයක් තිබුනම තේරෙයි. ඒ නිසයි ඉන්දියාව උදාහරණයට ගත්තේ. ලංකාව දූෂණය අතින් ඉන්දියාවටත් පහලින්.

    # ඉන්දියාවේ තිබෙන සමාජ ආකෘතිය අනුව සාමාන්‍ය පවුලක අයෙකුට උඩට එන්න තියෙන අවස්ථා අඩුයි තමයි. නමුත්, එය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හේතුවෙන් ඇති වූ තත්ත්වයක් නෙමෙයි.#
    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් වූ අවුල අධ්‍යයනය කර බලන්ඩ.

    # වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය හා ලාබය අතර ඇති සම්බන්ධය මට සෑහෙන්න කතා කළ හැකි මාතෘකාවක්. එය පසුවට තියමු.) #
    කතා කරමු . ආශාවෙන් ඉන්නවා කියවන්ඩ.

    #ගුණාත්මකභාවයක් ඇති වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දෙනවානම් ඔබ කියන මුදලාලිලාගේ කඩ ඉල්ලුමක් නැතිව වැහෙනවා.#
    ඒ ඔබ හිතාගන ඉන්න විදිහ. අනිත් පැත්ත තමයි වෙන්නේ. ඒක තමා ඉන්දියාවෙ වුනේ. ලංකාවේ පොතේ ගුරු ආර්ථික විශේෂඥවරු මෙය හිතාමතාම අමතක කරනවා. ඔයාගේ ලිපියෙන් පසු මේ ගැන කතා කරමු.

    #සයිටම් එක රජයට ගන්නවා කියන්නේ එය බදු මුදලින් නඩත්තු වෙනවා කියන එක#
    දැන් මෙය තමා රජය යෝජනා කරන්නේ. රෝහල රජයේ වියදමින් තමා නඩත්තු කිරීමට යන්නේ. ඒ කියන්නේ අපේ සල්ලි වලින්. එය තමා වෛද්‍යය විද්‍යාලයක වියදම් අධිකම කොටස. නමුත් ලාභය මුදලාලිට.



    #මෙය ඇත්තක්නම්, ලාබ සඳහා නොවන (not-for-profit) රෝහල් අඩු වශයෙන් එකක් හෝ හැදෙන්න ඕනෑ#
    මුදලාලිලා තමා රෝහල් හදන්නේ වෛද්‍යවරු නෙවෙයි.

    # ලාබ සඳහා නොවන (not-for-profit) රෝහල් අඩු වශයෙන් එකක් හෝ හැදෙන්න ඕනෑ. එසේ හැදෙන එක් රෝහලක හෝ අඩු මිලකට වැඩි ගුණාත්මකභාවයක් ඇති වෛද්‍ය අධ්‍යාපනයක් ලබා දෙනවානම් ඔබ කියන මුදලාලිලාගේ කඩ ඉල්ලුමක් නැතිව වැහෙනවා. #
    අනියමාර්ථයේ අසම්භාව්‍යය ක්‍රියා. කවද හැදෙයිද? වැදගත්ම එක රෝහල. එය නැතිව වෛද්‍යය අධ්‍යාපනයක් ගැන කතා කිරීමට බැහැ. නමුත් ලංකාවේ >95% inward pts ලා ඉන්නේ රජයේ රෝහල්වල.


    # ගුණාත්මකභාවය තරඟකාරී මට්ටමක පවත්වා ගනිමින් හා මිල වැඩි නොකරමින් ලාබ ගන්නට තරම් කාර්යක්ෂම වන්නට ඔවුන්ට සිදු වෙනවා. එහෙම කරනවානම් ලාබ ගැනීමේ කිසිම වැරැද්දක් තියෙන්න බැහැ. #
    අනියමාර්ථයේ අසම්භාව්‍යය ක්‍රියා. කෙහොමද ගුණාත්මකභව තියා ගන්නේ.


    # ශිෂ්‍ය ණය ආදී ක්‍රමත් පැමිණෙනු ඇති නිසා පහළ ආදායම් කාණ්ඩ වල දරුවන්ටත් මේ අවස්ථා හිමි වෙනවා #
    අනියමාර්ථයේ අසම්භාව්‍යය ක්‍රියා. කවදද.?


    # ඇමරිකානු උදාහරණය මඟින් පෙන්වන්නේ එවැනි මධ්‍යගත "සමාජවාදී" ආකෘතියක් අනිවාර්ය දෙයක් නොවන බව. #
    ඇමරිකාවේ උදාහරණය ඔක්කෝටම බලන්ඩ කියන්ඩ,

    #ඒ වගේම ලෝකයේ බොහෝ රටවල වෛද්‍ය අධ්‍යාපනය සඳහා පෞද්ගලික අංශයේ කිසියම් දායකත්වයක් තියෙනවා.#
    කියන්ඩ බලන්ඩ මොනවද ඔය අමුතු රටවල් ටික.

    # මෙහි ඇති ප්‍රශ්නය ලංකාවේ වෛද්‍යවරු ලංකාවේ දැනට පවතින ආකෘතියට වඩා වෙනස් ආකෘතියක් පැවතිය හැකි බව නොසිතීමයි. #
    දැනට වඩා හොඳ රටට ගැලෙපෙන සෑම කෙනෙකුටම සාධාරණ ආකෟතියක් ආවොත් බලමු. යෝජනා කරන්ඩ.

    # ඔබේ දරුවෙක් ලකුණු කිහිපයකින් ලංකාවේ #
    ලකුණු කීපයක්? කොහොමද තීරණය කරන්නේ. තෝරන හැම cut off point එකකට පහලින් ලකුණු තියෙන්ඩ පුළුවන්නේ. ලමයින්ට එයයි උගන්වන්ඩ ඕනෑ. සෑම වෟත්තියකම වැදගත්කම කියලා දෙන්ඩ ඕනෑ. අපිට උවමනා දේ ලමයින්ගෙන් ගන්ඩ හොඳ නැහැ.මට හිතෙන විදිහට ඒ ගොල්ලෝ මෙහෙ ඉන්න එකක් නැහැ. ලංකාව හැදෙන රටක් නෙවෙයි.අනාගතයේ මොකද වෙන්නේ කියා තවම හරියට කියන්ඩ නොහැකියි.

    ReplyDelete
    Replies
    1. //නමුත් බහුතරය මුල අමතක කර නැත.//
      මට "මුලදී" මුදල් ගෙවා උපාධියක් ලැබීමට හැකියාවක් නොතිබීම නිසා එය මතක තබාගෙන සිට මුදල් ඇති අය මුදල් ගෙවා අධ්‍යාපනය ලබන්නට යාම වැළැක්වීම කුඩා කළ අපචාරයකට ලක් වූ අයෙක් "මුල මතක තබා ගෙන" වැඩිහිටියෙකු ලෙස එවැනි දේ කරනවා වගේ දෙයක්.

      //මොකක්ද මෙයින් අදහස් කරේ.//
      අදහස් කළේ උඩින් කියපු දෙය. (අර්ථය විතරක් ගන්න. කරුණාකර පෞද්ගලිකව ගන්න එපා)

      //එයට කැමති වෙන්ඩ තිබුනා රටේ සියලුම දෙනාට එය විවෟත වී තිබුණානම්//
      ඔබේ දරුවන්ට තිබෙන අනෙක් සියලුම අවස්ථාවන් රටේ හැම දරුවටම තියෙනවද? ඔබේ දරුවෙකු සපත්තු දෙකක් ඉල්ලුවහම රටේ ඉන්න සපත්තු නැති දරුවන් ගැන කියමින් ඔබ එය ප්‍රතික්ෂේප කරනවද?

      //ඒ ඔබ ලංකාවේ වෛද්‍යය අධ්‍යාපනය ගැන දන්න විදිහ. ටික කාලයක් තිබුනම තේරෙයි.//
      හුඹස් බිය.

      //පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් වූ අවුල අධ්‍යයනය කර බලන්ඩ//
      එවැනි අවුලක් ඇති වී ඇති බවක් මමනම් දන්නේ නැහැ.

      //කතා කරමු . ආශාවෙන් ඉන්නවා කියවන්ඩ.//
      ඊළඟ ලිපියේ මේ ගැන තිබෙනවා. කියවන්න ඇති කියා හිතනවා.

      //ඔයාගේ ලිපියෙන් පසු මේ ගැන කතා කරමු.//
      දැන් මේ ගැන තවත් ලිපි දෙකක් දමා තිබෙනවා.

      //ඒ කියන්නේ අපේ සල්ලි වලින්. එය තමා වෛද්‍යය විද්‍යාලයක වියදම් අධිකම කොටස. නමුත් ලාභය මුදලාලිට.//
      ඔය "අපේ" කියන කොටසට සයිටම් සිසුනුත් අයිතියි. කොහොම වුනත් මේ කරුණ ගැන මම දැඩි මතයක නැහැ. ඔබ කියන දෙයට පදනමක් තියෙන්න පුළුවන්.

      //මුදලාලිලා තමා රෝහල් හදන්නේ වෛද්‍යවරු නෙවෙයි.//
      මෙයින් ගම්‍ය වන්නේ මුදලාලිලා කියන්නේ වෛද්‍යවරුන්ට වඩා නරක පිරිසක් ලෙස ඔබ සිතන බවයි. එය වැරදි අදහසක්. දෙගොල්ලොම කරන්නේ සේවයක් සලසන එක. අනිත් එක ලංකාවේ වෛද්‍යවරුන් බහුතරයත් ව්‍යාපාරිකයෝ.

      //අනියමාර්ථයේ අසම්භාව්‍යය ක්‍රියා. කවද හැදෙයිද?//
      ඔබ කියන විධිහට රටේ ජනතාව ගැන හිතන වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් කෙසේ වුවත් අතලොස්සක් හෝ ඉන්නවනම් එය ඉතා ඉක්මණින් සිදුවිය යුතුයි. හැබැයි එහෙම අය නැත්නම් එය සිදුවන එකක් නැහැ.

      //අනියමාර්ථයේ අසම්භාව්‍යය ක්‍රියා. කෙහොමද ගුණාත්මකභව තියා ගන්නේ.//
      මෙය නිකම් කටට ආවට කියන දෙයක් නෙමෙයි. සෛද්ධාන්තික කරුණු මත හා වෙනත් තැන් වල සිදුවී ඇති දේවල් මත වගකීමක් ඇතුව කරන ප්‍රකාශයක්. වැඩි විස්තර ලියන්න ගියොත් වෙනම ලිපියක් ලියන්න වෙනවා. පසුව පළ කළ ලිපි වල යම් තරමකින් විස්තර කර තිබෙනවා.

      //අනියමාර්ථයේ අසම්භාව්‍යය ක්‍රියා. කවදද.?//
      ලංකාවේ මූල්‍ය වෙළඳපොළත් අකාර්යක්ෂම එකක් නිසා මෙයනම් ඉතා ඉක්මණින් සිදුවෙන්න ඉඩක් නැහැ. එය ප්‍රශ්නයක් තමයි. නමුත් ප්‍රශ්නයට විසඳුම තවත් ප්‍රශ්නයක් තියා ගැනීම නෙමෙයි.

      //ඇමරිකාවේ උදාහරණය ඔක්කෝටම බලන්ඩ කියන්ඩ,//
      ඇමරිකාවේ සෞඛ්‍ය සේවා වෙළදපොල හා වෛද්‍ය අධ්‍යාපනය රජයේ පාලනයකින් තොරව හොඳින් ක්‍රියාත්මක වෙනවා.

      //කියන්ඩ බලන්ඩ මොනවද ඔය අමුතු රටවල් ටික.//
      මෙහි ගොස් බලන්න.
      http://www.wdoms.org/

      //දැනට වඩා හොඳ රටට ගැලෙපෙන සෑම කෙනෙකුටම සාධාරණ ආකෟතියක් ආවොත් බලමු.//
      සයිටම් හරහා සිදුවන්නේ එවැනි වෙනසක මුල් පියවර තමයි. සයිටම් වල අඩුපාඩු ඕන තරම් තිබිය හැකි වුවත් ඒවා නිවැරදි කර ගත හැක්කේ ඒවා හදාගෙන ඒ මාර්ගයේ ඉදිරියට යාමෙනුයි.

      //අපිට උවමනා දේ ලමයින්ගෙන් ගන්ඩ හොඳ නැහැ.//
      ඔබ ප්‍රශ්නය මඟ හැර ගොස් තිබෙනවා. මම පැහැදිලිව අසා තිබෙන්නේ "දරුවා වෛද්‍යවරයෙක් ලෙස සේවය කිරීමට විශාල උනන්දුවක් හා කැමැත්තකුත් තියෙනවනම්" කියලයි. මම අසන්නේ අපට උවමනා දෙය දරුවන්ගෙන් ගැනීමක් ගැන නෙමයි. ඔවුන්ට අවශ්‍ය දෙය ලබාදීම ගැන.

      Delete
  24. #මට "මුලදී" මුදල් ගෙවා උපාධියක් ලැබීමට හැකියාවක් නොතිබීම නිසා එය මතක තබාගෙන සිට මුදල් ඇති අය මුදල් ගෙවා අධ්‍යාපනය ලබන්නට යාම වැළැක්වීම කුඩා කළ අපචාරයකට ලක් වූ අයෙක් "මුල මතක තබා ගෙන" වැඩිහිටියෙකු ලෙස එවැනි දේ කරනවා වගේ දෙයක්. #
    #අදහස් කළේ උඩින් කියපු දෙය. (අර්ථය විතරක් ගන්න. කරුණාකර පෞද්ගලිකව ගන්න එපා)#
    කිසිම අදාල තර්කයක් නෙවෙයි. රටේ සමස්ථ ජනතාවටම බලපාන ප්‍රශ්ණයක් ගැන කතා කරන කොට කිසිම අදාල නැති දෙයක් කතා කරනවා. අධ්‍යාපනයේ නිදහස උදෙසා ලෝක ප්‍රකාශණය කියවන්න.


    #ඔබේ දරුවන්ට තිබෙන අනෙක් සියලුම අවස්ථාවන් රටේ හැම දරුවටම තියෙනවද? ඔබේ දරුවෙකු සපත්තු දෙකක් ඉල්ලුවහම රටේ ඉන්න සපත්තු නැති දරුවන් ගැන කියමින් ඔබ එය ප්‍රතික්ෂේප කරනවද?#
    මෙයත් ගතානු ගතික ආර්ථික අදහස් තියෙන දේශපාලකයෙකුගේ කතාවක් වගේ. මෙතන කතා කරන්නේ සැමට සමාන අවස්ථා දෙන්ඩ කියලා. ඒකට කිසිම වියදමක් යන්නේ නෑ. අවස්ථාව අහුරලයි තියෙන්නේ.

    #ඔය "අපේ" කියන කොටසට සයිටම් සිසුනුත් අයිතියි. කොහොම වුනත් මේ කරුණ ගැන මම දැඩි මතයක නැහැ. ඔබ කියන දෙයට පදනමක් තියෙන්න පුළුවන්.#
    ඔව් ඒත් ඒ ඉතාම සුළු ප්‍රතිශතයක්. නමුත් මෙයින් අසාධාරණයට ලක් වෙන්නේ රටේ සම්පූර්ණ ජනතාව.

    #මෙයින් ගම්‍ය වන්නේ මුදලාලිලා කියන්නේ වෛද්‍යවරුන්ට වඩා නරක පිරිසක් ලෙස ඔබ සිතන බවයි. එය වැරදි අදහසක්. දෙගොල්ලොම කරන්නේ සේවයක් සලසන එක#
    ඒ ඔබ හිතන විදිහ. මම එසේ අදහස් කරේ නෑ. ඔවුන්ට තමා ආයෝජනය කිරීමට පුඑවන් එපමණයි.

    #අනිත් එක ලංකාවේ වෛද්‍යවරුන් බහුතරයත් ව්‍යාපාරිකයෝ.#
    ඒ ඔබ මෙහි වෛද්‍යවරු ගැන දන්න තරම. ලංකාවේ වෛද්‍යවරුන්ගෙන් තුනෙන් එකක් පමණයි PP කරන්නේ. ඒවත් බහුතරයක් ඉතාම සුළුවෙන්. මගේ රෝහලේ සමහර විශේෂඥ වෛද්‍යවරුනුත් සතියකට ලෙඩ්ඩු හතර පහකට වඩා බලන්නේ නැහැ. ඔවුන් යන්නේ සාමාන්‍යය බස්වල, සමහරු කිමී 200, 250 ක දුරක් ඈත සිට පැමිණෙන්නේ. අපේ වැටුප ගැන කියන්ඩ උවමනා නැහැනේ.


    #ඔබ කියන විධිහට රටේ ජනතාව ගැන හිතන වෛද්‍යවරු විශාල ප්‍රමාණයක් කෙසේ වුවත් අතලොස්සක් හෝ ඉන්නවනම් එය ඉතා ඉක්මණින් සිදුවිය යුතුයි. හැබැයි එහෙම අය නැත්නම් එය සිදුවන එකක් නැහැ.#
    මෙයත් හරියට යම්කිසි හොඳ දෙයක් කිරීමට පැමිණෙන අයට පහර දීමට බාවිතා කරන පොදු චෝදනාවක්. ඔබ විශ්වාස කරන්නේ රටේ බහුතර වෛද්‍යවරු කෝටිපතියෝ කියලද? ලාභ ලබන රෝහලක් පවත්වාගන යෑමටම කොපමන මුදලක් යට කරන්ඩ ඕනැද?



    #මෙය නිකම් කටට ආවට කියන දෙයක් නෙමෙයි. සෛද්ධාන්තික කරුණු මත හා වෙනත් තැන් වල සිදුවී ඇති දේවල් මත වගකීමක් ඇතුව කරන ප්‍රකාශයක්. වැඩි විස්තර ලියන්න ගියොත් වෙනම ලිපියක් ලියන්න වෙනවා. පසුව පළ කළ ලිපි වල යම් තරමකින් විස්තර කර තිබෙනවා.#
    මෙය තමා ඔයාගේ දුර්වලම point එක හා ඔබේ ලිපි කියවන අය නොමඟ යවනම ප්‍රකාශය. තනිකරම සෛද්ධාන්තික කරුණු මත පමණයි මෙය ඉදිරිපත් කරන්නේ. වෙනත් තැන්වල සිදුවී ඇති ඒවා පිළිබදව කිසිම සැළකිල්ලක් දක්වා නැහැ.ඔයාගේ මුල් ලිපි කියවපු කෙනෙක් විදිහට මම හිතනවා ඔයා මේක දැනගනම කරනවා කියලා. ඔබේ අනිත් ලිපි කියෙවුවා ඒවට ඇවිල්ලා උත්තර දෙන්නම්.


    #ලංකාවේ මූල්‍ය වෙළඳපොළත් අකාර්යක්ෂම එකක් නිසා මෙයනම් ඉතා ඉක්මණින් සිදුවෙන්න ඉඩක් නැහැ. එය ප්‍රශ්නයක් තමයි. නමුත් ප්‍රශ්නයට විසඳුම තවත් ප්‍රශ්නයක් තියා ගැනීම නෙමෙයි.#
    ඒ ඔබගේ කන්ඩ ඕනෑ වුනාම කබරගොයා තලගොයා කරන න්‍යාය. මෙය අකාර්යක්ෂම නෙවෙයි දූෂණයෙන් හොරකමෙන් පිරිලා. ප්‍රශ්න ගොඩක් තියෙන තැනකට තව එකක් ගෙනත් දැම්මම මොකද වෙන්නේ කියලා අමුතුවෙන් කියලා දෙක්ඩ ඕනැ නැහෙනේ.

    #ඇමරිකාවේ සෞඛ්‍ය සේවා වෙළදපොල හා වෛද්‍ය අධ්‍යාපනය රජයේ පාලනයකින් තොරව හොඳින් ක්‍රියාත්මක වෙනවා.#
    #මෙහි ගොස් බලන්න.
    http://www.wdoms.org/#
    දියුණු රටවල් බහුතරයක ඇත්තේ ලාභ අපේත්ෂාවෙන් තොර ආයතනයි. ඔබ ඒවා ඉතා නොසැලිකිළිමත් ආකාරයකට බැහැර කෙරුවත්, ඔබ අදහන ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරන රටවල් බහුතරයක් විශ්වාස කරන්නේ ගුණාත්මක බව රැකිය හැක්කේ එයින් පමණක් බවයි. ලාභ අපේක්ෂාවෙන් ඇති ඉතා අතලොස්සක්වූ ආයතන සාර්ථකවී ඇත්තේ දූෂණය ඉතාම අවමවූ සිවිල් සමාජය තදින්ම ක්‍රියාත්මක වන ඉතාම සුළු රටවල් කිහිපයක පමණයි. ඔබ හිතා මතාම එය මග හරිනවා. ඒ නිසයි මම ඒ රටවල් නම් කරන්ඩ කියලා කීවේ.

    #සයිටම් හරහා සිදුවන්නේ එවැනි වෙනසක මුල් පියවර තමයි. සයිටම් වල අඩුපාඩු ඕන තරම් තිබිය හැකි වුවත් ඒවා නිවැරදි කර ගත හැක්කේ ඒවා හදාගෙන ඒ මාර්ගයේ ඉදිරියට යාමෙනුයි.#
    මුල් පියවර පටන් ගත්ත විදිහටම හිතාගන්ඩ පුළුවන් ඉදිරියට මොකද වෙන්නේ කියලා. අඩුපාඩු හදා ගන්න තුරු ඉගෙන ගත්තු අයට මොකද කියන්නේ.


    ReplyDelete
    Replies
    1. මා සමඟ එකඟ නොවන නමුත් දිගින් දිගටම මෙහි පැමිණ අදහස් දැක්වීම ගැන ස්තුතියි! ඔබ තරමක් දැඩි මතයක සිටියදී, මේ කරුණු එකින් එකට පිළිතුරු දෙන්න ගියොත් මෙය කෙළවරක් නැතුව ඇදෙන නිසා මම එය කරන්නේ නැහැ. පසුව ලියපු ලිපි වල මේ ඇතැම් දේවල් වැඩිපුර පැහැදිලි කර තිබෙනවා. කොහොම වුනත් ඔබ සිතන ආකාරය තේරුම්ගැනීමට මම හැකිතාක් උත්සාහ කරනවා වගේම ඔබ පෙන්වන කරුණු ගැන අවධානය යොමු කරනවා. මම ලියන දේ සමඟ එකඟ නොවන අය දමන කමෙන්ට් වලට (ද්වේශසහගතව දමන ඒවා සහ අදාළ නොවන ඒවා හැර) මම අවංකවම කැමතියි. ඒ නිසා, ඔබට එකඟ නොවිය හැකි ඕනෑම දෙයක් ගැන සහ මගේ අවධානයට ලක්වී නැති පැති ඇත්නම් ඒවා ගැන සඳහන් කර ඉදිරියටත් කමෙන්ට් කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මා සම්බන්ධ ඕනෑම දැඩි විවේචනයක් කළාට ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම ඔබ වැනි දන්න කෙනෙක් එසේ කළ විට මෙය සැබෑ විවේචනයක් බව දන්නා නිසා මට කිසිම සිත් රිදීමක් නැහැ.

      Delete
  25. #ඔබ ප්‍රශ්නය මඟ හැර ගොස් තිබෙනවා. මම පැහැදිලිව අසා තිබෙන්නේ "දරුවා වෛද්‍යවරයෙක් ලෙස සේවය කිරීමට විශාල උනන්දුවක් හා කැමැත්තකුත් තියෙනවනම්" කියලයි. මම අසන්නේ අපට උවමනා දෙය දරුවන්ගෙන් ගැනීමක් ගැන නෙමයි. ඔවුන්ට අවශ්‍ය දෙය ලබාදීම ගැන.#
    ඔබ පැහැදිලිවම මෙය පටලවා තිබෙනවා. මම එයට උත්තර දී තිබෙනවා. නමුත් එය විස්තර කිරීමට යොදාගත් කෑල්ලක් අරගෙන ප්‍රශ්ණය විකෟති කර තිබෙනවා.

    #හුඹස් බිය.#
    #එවැනි අවුලක් ඇති වී ඇති බවක් මමනම් දන්නේ නැහැ.#



    1.
    https://l.facebook.com/l.php?u=http%3A%2F%2Fwww.reuters.com%2Farticle%2Fus-india-medicine-education-specialrepor-idUSKBN0OW1NM20150617&h=ATPNxn5LQpJ4gdogLtFelg1zLPpAx_o5cwbblYuIXpG5AJ3pobd6YV4UEjWAhjzCnK7xrKcov_EW6W82Vf1bFEoB86YSQUP6SRqcp23u7qSrJMU9zm1NKl2nfVKvguk8Hfel

    2.
    https://www.google.lk/url?sa=t&source=web&cd=1&ved=0ahUKEwiG9vHAr_7UAhULpo8KHXnuDBIQFggKMAA&url=http%3A%2F%2Fwww.reuters.com%2Finvestigates%2Fspecial-report%2Findia-medicine-education%2F&usg=AFQjCNG7CgKCmEOELM0ZFS9f8rYIF2zHbQ
    3.
    http://www.reuters.com/.../us-india-medicine-education...

    4.
    https://www.facebook.com/photo.php?fbid=785953001555197&set=gm.2251722388387086&type=3

    5.
    https://www.google.lk/url?sa=t&source=web&cd=1&ved=0ahUKEwinuqPhrP_UAhXJso8KHUQqB0MQFggNMAA&url=http%3A%2F%2Fwww.hindustantimes.com%2Feducation%2Fgovt-bans-32-private-medical-colleges-from-admitting-students-for-two-years%2Fstory-ZchDvW5zUjtDUJsEPUwecI.html&usg=AFQjCNEuu25garigfOPTUoAAZaImbcEzWw

    6. https://www.google.lk/url?sa=t&source=web&cd=1&ved=0ahUKEwj0sP6kqv_UAhVHQo8KHYhRCvEQFggSMAA&url=http%3A%2F%2Fwww.bbc.com%2Fnews%2Fworld-asia-india-33421572&usg=AFQjCNGhUiTRqWSYavCIAv-P886Lax5iCg

    7..
    https://www.google.lk/url?sa=t&source=web&cd=5&ved=0ahUKEwiqwoC9qP_UAhVELY8KHYf8A8EQFggZMAQ&url=http%3A%2F%2Fwww.bbc.co.uk%2Fnews%2Fuk-england-38494664&usg=AFQjCNFrdkxFM6ppsCtYZbm0NkgASeCn5w

    ReplyDelete
    Replies
    1. මහන්සි වී මේ ලින්ක් ටික හොයල දැම්මට ස්තුතියි! මේ ගැන හිතන්නම්.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget