වෙබ් ලිපිනය:

Monday, June 26, 2017

දොස්තර වර්ජන නිසා ලෙඩ්ඩු මැරෙනවද?


වෛද්‍යවරුන්ගේ සේවා වර්ජන සිදුවන අවස්ථා වලදී මරණ ප්‍රමාණය ඉහළ යන බව බොහෝ දෙනෙකුගේ අදහසයි. එය බැලූ බැල්මටම ඉතා තර්කානුකූල අදහසකි. එහෙත්, පර්යේෂණ අධ්‍යයන විශාල ගණනකින් පෙනී ගොස් ඇත්තේ එහි අනිත් පැත්තයි. වෛද්‍ය වර්ජනයක් සිදුවන බොහෝ අවස්ථා වලදී ඇත්තටම සිදු වී ඇත්තේ මරණ අනුපාතිකය පහත වැටීමයි.

මේ කරුණ අධ්‍යයනය කර පළ කර ඇති පර්යේෂණ පත්‍රිකා පිළිබඳ විමර්ශනයක් 2008 වසරේදී සෝෂල් සයන්ස් ඇන්ඩ් මෙඩිසින් විමර්ශිත ජර්නලයේ පළ විය. එහිදී, විමර්ශනයට ලක් කෙරුණු පර්යේෂණ පත්‍රිකා හතෙන් හතරකින්ම පෙන්වා දී තිබුණේ වෛද්‍ය වර්ජන නිසා මරණ අනුපාතිකය අඩු වන බවයි. වෛද්‍ය වර්ජන හේතුවෙන් මරණ අනුපාතිකයට බලපෑමක් නොවන බව ඉතිරි පර්යේෂණ පත්‍රිකා තුනෙන් පෙන්වා දී තිබුණේය. ඉන් පසුව පළ කෙරුණු පර්යේෂණ පත්‍රිකා වලින්ද ඉහත කරුණ තව දුරටත් තහවුරු කර තිබුණු අතර වෛද්‍ය වර්ජන නිසා මරණ අනුපාතිකය ඉහළ යන බව මෙතෙක් පෙනී ගොස් ඇත්තේ එක් පර්යේෂණ අධ්‍යයනයකදී පමණි.

එසේනම්, දොස්තරලා වර්ජනය කිරීම ලෙඩ්ඩුන්ට හොඳද?

වෛද්‍ය වර්ජනයක් සිදු වන විට වහාම සිදු කළ යුතු නැති ශල්‍ය කර්ම සිදු නොවේ. මෙවැනි ඇතැම් ශල්‍ය කර්මයක් කිරීමෙන් පසු පළමු දෙසතියක පමණ කාලය තුළ රෝගියා මිය යාමට සැලකිය යුතු ඉඩකඩක් තිබේ. වෛද්‍ය වර්ජනය නිසා එවැනි මරණ සිදු වීම කල් යයි. ඒ හේතුවෙන් කෙටිකාලීනව මරණ අනුපාතිකය පහත වැටේ. ඇතැම් පර්යේෂණ පත්‍රිකා වල පෙන්වා ඇති පරිදි වෛද්‍ය වර්ජනයක් අවසන් වූ පසු මරණ අනුපාතිකය ඉහළ යයි. මේ නිරීක්ෂණය ඉහත පැහැදිලි කිරීම සමඟ සැසඳේ.

ලංකාවේ මෙන්ම වෙනත් බොහෝ රටවලද වෛද්‍ය වර්ජන සිදු කරන අවස්ථා වලදී අසාධ්‍ය ලෙඩුන් සඳහා දිගටම ප්‍රතිකාර සිදු කෙරේ. වෙනත් විදිහකින් කියනවානම් වර්ජනය තිබුණා කියා මැරෙන්නට යන බව පෙනෙන අසාධ්‍ය ලෙඩෙක් මැරෙන්නට හැරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් නොවේ. මරණ අනුපාතිකය පහත නොවැටීමට මෙයද හේතුවකි.

වෛද්‍ය වර්ජන නිසා මරණ අනුපාතිකයට ඇති බලපෑම දිගුකාලීන එකකි. මෙවැනි අවස්ථාවක අසාධ්‍ය නොවන රෝගීන්ගේ රෝග විනිශ්චය කිරීම් සිදු නොවන බැවින් එවැනි දේ කල් දැමේ. මේ හේතුව නිසා, බොහෝ රෝගීන්ගේ එකවර පෙනෙන්නට නැති රෝග තත්ත්වයන් හඳුනා ගනු ලැබීම ප්‍රමාද වේ. එහි අවසන් ප්‍රතිඵලය මරණය වන්නට පුළුවන. කෙසේ වුවද, වෛද්‍ය වර්ජන වල කෙටිකාලීන බලපෑම ගැන මිස දිගුකාලීන බලපෑම ගැන පුළුල් අධ්‍යයනයන් සිදු කෙරී නැත.


(Image: https://www.thelocal.de/20120110/40021)

15 comments:

  1. වර්ජනේ අඛණ්ඩනම්........... සතියක් දෙකක් ඇදුනොත් ඔය පර්යේෂණ ප්‍රතිපල වෙනස්වෙයි කියලා හිතෙනවා........

    ReplyDelete
    Replies
    1. සති ගණනක් ඇදුනු වෛද්‍ය වර්ජන ගණනාවක් ගැන අධ්‍යයනය කර තිබෙනවා. නිරීක්ෂණ වල වෙනසක් නැහැ.

      Delete
  2. අඛන්ඩ වර්ජනයක්, ලෙඩුන්ට කෙසේ වෙතත් දොස්තර වරුන්ට අනතුරුදායක වීමේ අවධානමකුයි තියෙන්නේ. එක ලෙඩෙකු හෝ වර්ජනය නිසා මිය ගියා කියා කියවුනොත් බොහොම බරපතල ප්‍රතිපල ගෙනදේවි, එනිසා වෙනදට වඩා වගකීමකින් ක්‍රියාකරන්න වෙනවනේ.

    ReplyDelete
    Replies
    1. පැහැදිවම. මම හිතන්නේ මෙය මරණ වැඩි නොවීමට එක් ප්‍රධාන හේතුවක්.

      Delete
  3. ලංකාවේ වෛද්‍ය වර්ජන වලදී බාහිර රෝගී සහ සායන පමනක් නොපැවැත්වෙන බවනේ කියන්නේ . මම පහුගිය දවස්වල රෑපවාහිණී පුවත් වල දැක්කා සායන වලට නියමිත දිනයේ දී පැමිනි රෝගීන් වෛද්‍ය වර්ජනය නිසා බෙහෙත් නොමැතිව ආපසු යන දර්ශන. අපි හිතමු දියවැඩියා රෝගියෙක් මෙහෙම බෙහෙත් ගන්න බැරුව ආපසු ගියා කියල . ඔහුට තම දියවැඩියාව පාලනය කරගන්න අවශ්‍ය බෙහෙත් අනිවාර්යයෙන්ම ගන්න වෙනවා . බෙහෙත් නැතිව ඊලඟ සායන දිනයක් එනතෙක් ඔහු සිටියොත් සීනි පාලනය නොවී වෙනත් රෝගයකින් ඔහු මයෙ යන්න පුළුවන් නේද ? සල්ලිදීල බෙත් ගන්න වත්කමක් නැත්නම් ? හුඟක් රජයේ රෝහල් වලට එන්නනේ අන්ත දුප්පත අය නේද?

    ReplyDelete
    Replies
    1. ඔබ හරි. වෛද්‍ය වර්ජන වල හානිය කෙටිකාලීනව නොපෙනුණත් දීර්ඝකාලීනව විශාල හානියක් සිදුවනවා විය යුතුයි.

      Delete
  4. මේකත් හරියට ට්‍රැෆික් පොලිස් නැති පාරවල් වල ට්‍රැෆික් නෑ වගේ කේස් එකක් නේ.

    ReplyDelete
    Replies
    1. තරමක් දුරට සමානයි. ට්‍රැෆික් සිද්ධියේදී වෙන්නේ reverse causality කියන එක. ට්‍රැෆික් පොලිස් නිලධාරීන් යොදවන්නේ ට්‍රැෆික් වැඩි තැන් වලටයි. ට්‍රැෆික් නැති තැන් වලට පොලිස් නිලධාරීන් යොදවන්නේ නැහැ. ඒ වගේම රෝහලකට යන්නේ රෝගී අය. නිරෝගී අය යන්නේ නැහැ. ඒ නිසා වෛද්‍ය ප්‍රතිකාර ගන්නා අයට වඩා නොගන්නා අය වඩා සෞඛ්‍ය සම්පන්නයි. එහෙත් එයින් පෙන්වන්නේ වෛද්‍ය ප්‍රතිකාර නොගැනීම නිසා ඔවුන් සෞඛ්‍ය සම්පන්නව සිටින බව නෙමෙයි. ඉන්දික කරුණාතිලකගේ විශ්ලේෂණයේ පවා මේ වරද තිබෙනවා.

      Delete
  5. ශ්‍රී ලංකාවේ රජයේ රෝහල් වල වැඩිම රෝගී මරණ සංඛ්‍යාවක් සිදුවෙන්නේ දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි,මාර්තු වගේ මාස වල. ඒ කියන්නේ රජයේ වෛද්‍ය පීඨ වලින් අධ්‍යාපනය ලබා, නව ඉන්ටර්වරු ලෙස පත්වීම් ලබා රෝහල් වලට අලුත් වෛද්‍යවරු, වරියන් පැමිණෙන සමයේ. මරණ සිදුවන්නේ කාගේ අතින්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනි. ඩොක්ටර් රුවන් ජයතුංග මේ ගැන ලියලා තිබ්බා කලින්. (මගේ පවුලම ඩොක්ටර්ස්ලා, ඒකයි මාත් දන්නේ මේක.)

    ReplyDelete
    Replies
    1. මෙය විය හැකි දෙයක් වුවත් අදාල නිරීක්ෂණය මත හරියටම නිගමනය කළ හැකි දෙයක් නෙමෙයි. ඕනෑම රටක උපත් හා මරණ සිදුවන seasonal රටාවක් තිබෙනවා. වසරේ හැම දවසකම සිදුවන්නේ එකම උපත්/ මරණ ගණන නෙමෙයි. ඇතැම් මාස වල මරණ වැඩියි. එයට කාලගුණ හා සංස්කෘතික සාධක ඇතුළු විවිධ හේතු බලපානවා. ඔබ කියන හේතුවත් බලපානවා විය හැකියි. මෙය දත්ත තිබේනම් පරීක්ෂා කර තහවුරු කළ හැකි දෙයක්.

      Delete
  6. සෞඛ්‍ය අමත්‍යංශයට සිදු වෙච්චි පාඩුව ශිෂ්‍යයින්ගේ දෙමව්පියන් පරිප්පු,සිනි වලින් ගෙවා දමාවි කියා රාජිත සේනාරත්න ප්‍රකාශ කෙරුවා.ඒ ප්‍රකාශය එක්ක මට මතක් වුනේ වරක් ඉකොනෝමැට්ටගේ අඩවියේ පාඨකයෙක් කියලා තිබ්බ "වක්‍ර බදු" කතාව.නව මුදල් ඇමති මංගල කියා තිබුනා "සෘජු" බදු ප්‍රතිශතය වැඩි කොට "වක්‍ර" බදු ප්‍රතිශතය අඩු කරන්න අදහස් කරන බව.
    ඔබට හැකි නම් සතපහේ හෝ මේ සෘජු බදු ,වක්‍ර බදු ගැන පොස්ට් එකක් පැහැදිලි කර දමන්න.

    ReplyDelete
  7. Docters wrong. They do mahinda want things. docters do Mahinda contracts.

    ReplyDelete
  8. සියලුම වෘතිකයන් වර්ජනය කරත් ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට වර්ජනයේ යෙදෙන්න නොහැකියි. ඒ ඔවුන්ගේ සේවා විනය අනුවයි. අනෙකුත් වෘතිකයන්ටත් එවැනි සේවා විනයක් හැදුවානම් ගැටලු මග හරවා ගත හැකියි. දොස්තර වර්ජනය මෙතරම් උග්‍ර ලෙස යෙදුනත් හේතුව සොයා බැලීමේදී සිටම් ශිෂ්‍යයන් රජයේ රෝහල වලට පැමිණියහොත් වන මරණ අනුපාතිකයේ වැඩිවීම ගණනය කල නොහැකිය.

    ReplyDelete
    Replies
    1. සයිටම් ශිෂ්‍යයන් නෙමෙයි, රජයේ වෛද්‍ය විද්‍යාල ඉන්ටන්වරුන් අතිනුත් මරණ සිදුවෙනවා. ඉන්ටර්න් ඉන්නා වසර තුලයි වෛද්‍යවරයෙක් ලෙස හැඩ ගැහෙන්නේ. ඔබ විචාරක මහතාගේ කොළඹ වෛද්‍ය පිඨයේ අධයාපනය ලැබූ දියණිය විය යුතුයි.කුහක වෙන්න එපා. විචාරක මහතාගේ ප්‍රොෆයිල් එකෙන් මේ වගේ මෝඩ අදහස් දාන්නත් එපා. රාගම පුද්ගලික වෛද්‍ය පීඨය තිබුන කාලේ අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් සහ ඊට සමකාලීන රජයේ සිසුන් අද සිටිනා මට්ටම හොයලා බලන්න.



      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: