Wednesday, June 7, 2017

මුවාද ගෝණාද?


උඩ රූපයේ දකුණු පැත්තේ ඉන්නේ මුවෙකි. වම් පැත්තේ ඉන්නේ ගෝණෙකි. මුවාත් ගෝණාත් වෙන් කර අඳුනා ගැනීම අපහසු දෙයක් නොවේ. දැනටත් රජරට ප්‍රදේශයේ එතරම්ම දුලබ නැති මේ සතුන් දෙදෙනාගේ බැලූ බැල්මටම පෙනෙන වෙනස්කම් තිබේ.

මේ වන විට ලංකාවට පොසොන් පොහොය උදා වී තිබේ. මහා වංශය ඇතුළු ලාංකීය මූලාශ්‍ර අනුව, ධර්මාශෝක රජුගේ පුත් මහින්ද හිමි, මහින්ද හිමිගේ නැඟණිය වූ සංඝමිත්තාවන්ගේ පුත් සුමන සාමනේර, මහින්ද හිමිගේ මවගේ සොහොයුරියගේ පුත් භණ්ඩුක ඇතුළු පිරිස හා දේවානම්පියතිස්ස රජු අතර තීරණාත්මක හමුව මිස්සක පවුවේදී සිදු වුණේ පොසොන් පුර පසළොස්වක දවසකය. මේ හමුව ලංකාවේ සංස්කෘතියට විශාලම බලපෑමක් කළ තනි සිදුවීම ලෙස හැඳින්වීමේ වරදක් තිබිය නොහැකිය.

දේවානම්පියතිස්ස රජුට මිහිඳු හිමි ඇතුළු පිරිස මුණ ගැසුණේ මුව දඩයමේ ගොස් සිටියදීය. පහත රූපයේ ඇත්තේ අද දිවයින පුවත්පතේ මුල් පිටුවේ මේ අවස්ථාව නිරූපණය කර ඇති ආකාරයයි. වෙනත් පුවත්පත් වලද ආකෘතිය අනුව මෙයට සමාන චිත්‍ර දකින්නට පුළුවන. 




චිත්‍රයෙන් පෙනෙන පරිදි මිහිඳු හිමි ප්‍රමුඛ සත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මිස්සක පවුව මුදුනේ සිටී. දුනු හී ගත් දේවානම්පියතිස්ස රජු ගල පහළය. පැත්තකින් අඹ ගහකි. තවත් පැත්තකින් මුවෙක් දිවයයි.

මේ චිත්‍රය ලංකාවේ බොහෝ දෙනෙකුට කුඩා කල සිටම හුරු පුරුදු චිත්‍රයකි. බොහෝ දෙනෙක් මේ ආකෘතියේ චිත්‍රයක් ජීවිතයේ වරක් හෝ ඇඳ තිබෙන්නට පුළුවන. ඇතැම් විටක චිත්‍රයේ දේවානම්පියතිස්ස රජු දුනු හී පැත්තක දමා වැඳගෙන සිටිනවා වන්නට පුළුවන. මේ ආකෘතියේ චිත්‍ර සිය ගණනක් දැක තිබුණත් මුවෙක් වෙනුවට ගෝණෙක් සිටින චිත්‍රයක්නම් මා කවදාවත් දැක නැත.

කෙසේවුවත්, මහාවංශය අනුව මේ කතාවේ මුවෙක් නැත. දේවානම්පියතිස්ස රජු ගියේ මුව දඩයමේ වුවත් ඔහුට මුවෙක් හමුවුණේ නැත. ඔහුට මිහිඳු හිමි ඇතුළු පිරිස හමුවන්නේ ගෝණෙක් පසුපස පන්නද්දීය. මහාවංශයේ 14වන පරිච්ඡේදය ආරම්භයේ ඇති කතාව මෙවැන්නකි.

"ඒ දෙවනපෑතිස් රජ නුවර වැසියන්ට දියකෙළි විධාන කොට තෙමේ මුවදඩකෙළියට ගියේය. සතළිස් දහසක් මිනිසුන් විසින් පිරිවරණ ලදුයේ පයින්ම දුවමින් මිශ්‍රක පර්වතයට ගියේය. ඒ පව්හි වසන දෙවියා රජහට තෙරුන් දක්වනු කැමැත්තේ ගෝණ වේස ඇත්තේ තණ පඳුරක් කමින් සිටි යා සේ දැක්විය. රජතෙමේ දැක “පමා වූවා හු විදිනට යුතු නොවේ”යි සිතා දුනුදිය පෙළිය. ගෝණ තෙමේ පර්වතාන්තයට දිවිය. රජතෙමේ ලුහුබැඳ ගියේය. මෘග වෙස් ගත් ඒ දෙව්තෙමේ තෙරුන් වෙත ගොස් රජු විසින් තෙරුන් දුටු කල අතුරුදහන් වී."

කාලයත් සමඟ දැන් ගෝණා මුවා වී තිබේ. කබරගොයින් ඕනෑ තරම් තලගොයින් වෙද්දී ගෝණෙකු මුවෙක් වීම එතරම්ම විශේෂ දෙයක්ද නොවේ.


16 comments:

  1. මුවෙක් හොයන් ගිහිල්ලා හම්බවුනේ ගෝනෙක් නේ. මිහිදු මිහියන් හමුවුනේ නැත්නම් මුවා මොකද ගෝනා මොකද දඩ කෙලියනේ කියලා තිස්ස රජු විදලා දමයි.

    ReplyDelete
    Replies
    1. එහෙම වුනානම් පවුවේ දෙවියා අමාරුවේ!

      Delete
  2. මහාවංශ කතුවරයා මුව මස් නොකන නිසා හෝ වෙනත් කේස් එකක් නිසා ඇත්ත සිද්ධියේ සිටි මුවාව පොත ලියන විට ගෝණා යැයි වෙනස් කළා විය නොහැකි ද?

    ReplyDelete
    Replies
    1. රශිකයා වගේ ගොන් බිජ්ජෙක් ? මූගෙ මේ හිතළු හොඳයි අර පේරාදෙණිය ඉන්ජිනේරු පීඨයේ කලා සංගමේ බිත්ති පුවත්පත කියන කඩමාල්ලට (හැබැයි මූ හිතන් ඉන්නෙ ඒක අර ටයිම් මැගසින් එක වගේ එකක් කියල ) වයසට යන්න යන්න පරිණත නෙවෙයි, කොමිටල් ඩයල් එකක් වෙලා.

      Delete
    2. විද්දෙ ගෝණට වැදුනෙ මී හරකට!

      Delete
    3. විද්දෙ ගෝනට වුණාට මදකිපිල තියෙන්නෙ වයසක ගොනෙක්ට. මූව දැන්නම් මස් කඩේට දක්කන කාලෙ.

      Delete
    4. තිස්ස රජුව පිරිසෙන් වෙන් කරවා මිහිඳු හිමි සිටි තැනට යොමු කළ මුවා හෝ ගෝණා ලෙස වෙස් වලාගත් දෙවියා (හෝ දේව ගෝත්‍රිකයා) අශෝක රජුගේ චරපුරුෂයෙක් වෙන්නත් බැරිකමක් නෑ.

      Delete
  3. බලන්න, ඒ කාලේ රජවරු කොච්චර ෆිට් ද කියල, නුවර ඉඳල මිහින්තලේටම දුවල

    පට්ට මස් වැද්දෙක්, පෙරේතකමට නුවර ඉදන් මිහින්තලේටම දුවල

    දෙයියා පගාව අරන් රජ්ජුරුවාව රවට්ටලා.

    මිහින්තලේ ප්‍රා.ලේ. කොට්ඨාශයේ 2011 ජනගහනය 35,377 ඒ කාලේ රජ්ජුරුවෝ පස්සෙන් 40,000 දඩයමේ ගිහින්, මහාවන්සේ.

    ReplyDelete
    Replies
    1. අයියෝ මේ ඇණයා, මට දුකයි මේ වගේ සුරතල් නාම්බෙක් ගැන. දේවානම්පියතිස්ස රජ කළේ අනුරාධපුරයෙ. එහෙ ඉඳලා මිහින්තලේට කොච්චර දුරද ? අනෙක රාජධානිය නුවරට එන්න ඉස්සෙල්ලා පොළොන්නරුව, දඹදෙනිය, ගම්පොල, කෝට්ටේ, සීතාවක කියන කී තැනකට මාරු වුණාද ? මේ වගේ කිසි දෙයක් නොදන්න ගොබ්බ පාලල තමයි බුකිය පුරා ගොන් කතා වපුරන්නේ ...

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. අනෝ, පොසොන් පෝය දවසේ කේන්ති ගන්න එපා මයිත්‍රී කරන්න. කවුද ගොබ්බයා මමද, නුවර කියා ලීවේ මහනුවරට කියා සිතා කේන්ති ගත් ඔබද?

      කොළඹට නුවර නොකියන්නේ ඇයි?

      Delete
    4. \\නුවර කියා ලීවේ මහනුවරට කියා සිතා කේන්ති ගත් ඔබද? //
      තණකොළ නැහැ ගහ මුදුනේ, ඒකයි බිමට බහින්නේ. හිකිස්.

      \මිහින්තලේ ප්‍රා.ලේ. කොට්ඨාශයේ 2011 ජනගහනය 35,377 ඒ කාලේ රජ්ජුරුවෝ පස්සෙන් 40,000 දඩයමේ ගිහින්, මහාවන්සේ./
      ලංකා ඉතිහාසය ගැන මෙලෝ හසරක් නොදන්න බුඩ්ඩිමැටෙක්, ගොනා කියා මරන්ටයැ.
      පැරණි නටඹුන් රාජධානි බලන්න ගිහින් නැත්නම් ඉක්මණටම පල, කොපමණ ජනතාවක් ඒ ප්‍රදේශයේ වාසය කරන්න ඇතිද කියා අදහසක් ගන්න හැකි වේවි.
      එතකල් නොදන්න වෙඩිම් ගැන කතා නොකර ඉන්න පුරුදු වෙයන් නට් එකෝ.

      Delete
    5. මෙහි නුවර යන්න city මෙන් ජෙනරික් වචනයක්.

      මහනුවර යනු අගනුවර හෙවත් කැපිටල් සිටි යන්නයි.

      අප තවමත් මහනුවර කියන්නේ එය ලංකාවේ අවසාන රාජධානියේ අගනුවර නිසා ය කියායි මා නම් සිතන්නේ.

      Delete
  4. මුවා ගෝනා වීම තනිකරම ඉන්දියානු කුමන්ත්‍රණයක්. හැක්..

    ReplyDelete
  5. මෙහෙම කතාවක් දැනන් හිටියේ නැහැනේ.අපි අහලා තියෙන්නේ රජ්ජුරුවෝ පැන්නුවේ මුවා පස්සේ කියලා.පොතේ ගුරුවරු අපට කියාදීලා තියෙන්නේ පොතේ නැති බොරුනේ.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget