Thursday, June 8, 2017

සුදුසු අසුන කුමක්ද?

බුද්ධාගම ජාත්‍යන්තර ආගමක් බවට පත් වීමේ වෘත්තාන්තයේ කථානායකයා වනුයේ අශෝක අධිරාජයාය. ඇතැම් විචාරකයින්ට අනුව, අශෝක සමයේ බුදුදහම නිසා ලෝකයට සිදුවූ බලපෑම බුදු හිමියන් ජීවත්ව සිටි සමයේ සිදු වූ බලපෑමටද වඩා වැඩිය.

අශෝක රජුගේ රාජ්‍යප්‍රාප්තියෙන් පසු ගෙවුණු පළමු තෙවසර තුළ ඔහු බෞද්ධයෙකු නොවීය. ලාංකික මූලාශ්‍ර අනුව අශෝක රජු බෞද්ධයෙකු වීමේ හැරුම් ලක්ෂ්‍යය වන්නේ නීග්‍රෝධ සාමනේරයන් හමුවීමයි.

දීපවංශයේ හයවන පරිච්ඡේදයේ ඇති විස්තරය සමඟද සැසඳෙන, මහාවංශයේ පස්වන පරිචේඡේදයේ මේ සිදුවීම විස්තර වන්නේ මෙසේය.

"ඒ රජහු පියතෙම බ්‍රහ්මපාක්ෂික වූ සැට‍දහසක් බ්‍රාහ්මණයින් වැලඳ වීය. ඒ ධර්මාශෝක රජතෙමේද තුන්හවුරුද්දක් ඔවුන්ටම දන් දුන්නේය."

"කාලයෙක්හි සිවුමැදුරු ගත වූ ඒ රජතෙම විථියෙහි වඩනා වූ උපසමිත සංසුන් ඉඳුරන් ඇත්තා වූ ඒ නීග්‍රෝධ සාමණේරයන් දැක සිත පැහැදවූයේය."

"එහෙයින් ඒ සාමණේරයන් කෙරෙහි පිහිටි ප්‍රේම ඇති ඒ රජ තෙම, ඉතා යුහුසුලු වූයේ ඔහු කැඳවූයේය. හෙතෙම සංසුන් පැවතුම් ඇත්තේ ම ළඟට පැමිණියේය. රජතෙම “දරුව, සුදුසු අස්නෙක හුනමැනවැ”යි කීයේය. හෙතෙම අන්‍ය වූ  ශ්‍රමණයෙකු නොදැක සිංහාසනය කරා පැමිණියේය. ඒ සාමණෙරයාණන් පර්‍ය්‍යංකය​ කරා එන කල්හි රජතෙම “අද මේ සාමණෙරතෙම මාගේ ගෙයි ස්වාමි වන්නේය”යි සිතුයේය. හෙතෙම රජහු අත අල්වා පර්‍ය්‍යංකය​ට නැංගේ රාජ පර්‍ය්‍යංකයෙහි සේසත යට වැඩහුන්නේය."


ලක්ෂ ගණනක් මිනිසුන් මරා රජ වී, තවමත් බෞද්ධයෙකු වී නැති අශෝක රජුගේ සිංහාසනයේ ඉඳගන්නට තරම් ධෛර්යයක්
නීග්‍රෝධ සාමණේරයන්ට ලැබුණේ බෞද්ධ භික්ෂුවක් වූ නිසාමද?

අශෝක ඔහුගේ පියා වූ බින්දුසාර රජුගේ වැඩිමල් පුතා නොවේ. බින්දුසාර රජුගේ වැඩිමල් පුතා වූයේ සුමනයි. ඒ අනුව උරුමයෙන් රජකම හිමි වුනේද සුමනටය.

බින්දුසාර රජු අශෝක වෙත ලබා දී තිබුණේ අවන්ති ප්‍රාන්ත රාජ්‍යයේ උප රජකමයි. අශෝක යුද්ධයෙහි දැක්වූ දක්ෂතාවය නිසා අවන්තියෙහි කැරලි මර්දනය කරමින් එහි පාලනය පවත්වා ගැනීම සඳහා බින්දුසාර රජු ඔහුව තෝරාගත්තා විය හැකිය. රූමත් සිටු දියණියක වූ මහින්දගේ හා සංඝමිත්තාවන්ගේ මවව අශෝකට හමුවන්නේද ඈ ජීවත් වූ විදිශා නගරය පසු කරමින් උදේනි නුවර අගනුවර කරගත් අවන්ති රාජ්‍යයට යන අතරතුරේදීය.

මිහිඳු හිමිගේ මව අශෝක රජු ප්‍රාන්ත රජකම කරන කාලයේදී  ඔහු සමඟ උදේනි නුවර ජීවත් වී ඇතත් මිහිඳු හිමි ලංකාවට පැමිණෙන කාලයේ ජීවත්ව සිට ඇත්තේ අශෝක රජු වාසය කළ පාඨලීපුත්‍ර නගරයේ නොවේ. ඇගේ ගම් පළාතේය. මිහිඳු හිමි ලංකාවට එන්නේද පළමුව පාඨලීපුත්‍ර නගරයේ සිට සිය මවගේ ගම් පළාතට පැමිණ "නිසි කල එළැඹෙන තුරු" එහි කල් මැරීමෙන් පසුවය.

කෙසේවුවද, පිය රජු ලබාදුන් අවන්ති රාජ්‍යයෙන් අශෝක සෑහීමකට පත් නොවේ. ඔහුට අවශ්‍ය වන්නේ මුළු දඹදිවටම සක්විති වන්නටය.

"ඒ අශෝක කුමාර තෙම පියාණන් විසින් දෙනලද උදේනි රට රාජ්‍යය හැර බින්දුසාර රජහු රෝගාතුර කල්හි පාටලීපුත්‍ර  නගරයට පැමිණියේය. පුරය තමා අයත් කොට ගෙන පියා මළ කල්හි වැඩිමහල් සහෝදරයා මරා පුරවරයෙහි රාජ්‍යය ගත්තේය."


මෙසේ රජකම උරුමව සිටි සිය වැඩිමල් සොයුරා මරා බින්දුසාර රජුගෙන් ඔහුට හිමිවන්නට තිබුණු රජකම අශෝක විසින් පැහැර ගන්නා විට, සුමන රජු රජවීනම් අග මෙහෙසිය වන්නට නියමිතව සිටි ඔහුගේ බිරිඳ සුමනාවන් සිටින්නේ ගැබ්බරවය. පණ බේරාගැනීම සඳහා ඇය සැඩොල් ගමකට පලායයි. එසේ පලාගොස් රහසිගතව ජීවත් වන අතර ඇය පුතෙකු වදයි.

"සුමන නම් කුමාරය‍ාගේ සුමනා නමවු ගර්භිණී වූ දේවී තොමෝ ඒ පුරයෙන් නික්ම නැගෙණහිර දොරින් පිට සැඩොල් ගමට ගියාය."

සුමන කුමරා මරා දමනු ලැබූ බැවින් බින්දුසාර රජුගේ රාජ්‍යයේ නියම උරුමක්කාරයා වන්නේ මෙසේ සැඩොල් ගමකදී උපත ලබන ඔහුගේ පුතාය. ඇතැම් විට අශෝක රජුගෙන් මේ දරුවාගේ ජීවිතයට අනතුරක් වේයැයි බියෙන්, ආරක්ෂාව තකා  ඔහුගේ මව දරුවාව කුඩා කාලයේදීම පැවිදි කරන්නට සිතුවා වන්නට පුළුවන.

මහා වරුණ හිමියන් විසින් සත් හැවිරිදි වියේදී මේ දරුවාව පැවිදි කරවයි. ඉන්පසුව මේ සාමණේර හිමියන් ජීවත් වන්නේ නුවරින් දකුණු දෙසය. සිය මව ජීවත්වන සැඩොල්ගම පිහිටියේ නුවරින් නැගෙනහිර දෙස නිසා ඔහුට මව බලන්නට යන්න්ටනම් නුවර දකුණු දොරින් ඇතුල්ව නුවර හරහා ගොස් නැගෙනහිර දොරෙන් පිටවෙන්නට සිදුවේ.

මෙසේ ගමන් කරද්දී රජ මැදුරේ කවුළුවකින් බලා සිටින අශෝක අධිරාජයාගේ අවධානය මේ හිමියන් වෙතට යොමුවේ. ඒ අනුව, මේ සාමණේර හිමියන්ව රජ මැඳුරට කැඳවාගෙන එන්නට ඇමතියෙකු පිටත් කෙරේ.

රජ මැදුරට පැමිණෙන සාමණේර හිමියන්ට සුදුසු අසුනක අසුන් ගැනීමට ඇරයුම් කෙරෙන අතර ඔහු ඒ සඳහා සුදුසුම අසුන තෝරාගනී. ඒ සිය පියාට හිමි විය යුතුව තිබුණු, පියාව ඝාතනය කර ඔහුගේ බාල සොයුරා විසින් පැහැරගත්, තමන්ට උරුමයෙන් හිමි අසුනයි. තමන්ට නිසි තැන අසුන් ගනිමින් අශෝක අධිරාජයාගේ අසුන සුදුසු අසුනක් වන්නේ ඔහුට නොව තමන්ට බව නීග්‍රෝධ සාමණේර විසින් අශෝක රජුට මතක් කරයි.

අශෝක හා නීග්‍රෝධ සාමණේර හමුව වංශ කතා වල ඇති ආකාරයේ අහඹු සිදුවීමක් නොවන්නට පුළුවන. එය අශෝක රජුගේ පශ්චාත් යුද සංහිඳියා ව්‍යාපෘතියේ කොටසක් වූවා විය හැකිය.

17 comments:

  1. චණ්ඩාශෝක ධර්මාශෝක වෙලා සංහිඳියාව ඇරඹුවාට හැම රජාටම ඒ උගත් පාඩම තේරුණේ නෑ!

    ReplyDelete
    Replies
    1. අශෝක යුද්ධයෙන් වගේම ධර්මයෙනුත් තමන්ට අවශ්‍ය දේ කර ගත්තා.

      Delete
  2. /* ලක්ෂ ගණනක් මිනිසුන් මරා රජ වී, තවමත් බෞද්ධයෙකු වී නැති අශෝක රජුගේ සිංහාසනයේ ඉඳගන්නට තරම් ධෛර්යයක් සුමන සාමණේරයන්ට ලැබුණේ බෞද්ධ භික්ෂුවක් වූ නිසාමද? */

    මෙතැන සුමන නොව නීග්‍රෝධ විය යුතුයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔව්, රසික. එය හැදුවා. ස්තුතියි!

      Delete
  3. බුදු හාමුදුරුවෝත් ලොකු අසුනක් පාව්ච්චි කළාද? තැනකට ගියාම තියන උසස්ම ආසනයේ වාඩි වෙන්න කියලා සංඝයාවහන්සේලාට උපදෙස් දීලා තියනවාද ?

    ReplyDelete
    Replies
    1. දන්න තරමින් දෙකටම පිළිතුර "නැහැ".

      Delete
  4. The Emperor Ashoka (304 BC- 232 BC) of India experienced a depressive reaction soon after the Kalinga War after witnessing deaths and destruction. He felt disheartened for his military actions and completely renounced violence and embraced Buddhism.

    ReplyDelete
  5. යුරෝපයේ හුඟක් රටවල රාජාණ්ඩු කාලෙ royal succession ගැන පිලිගත් ක්‍රමවේදයක් තිබුනා. ඒක ඉඳල හිටල බිඳල first in line නැතුව ඊට පහල හෝ පිට අය රජවුනා.
    පුතෙක් හිටියත් බාල සහෝදරයා රජවුන අවස්ථා (හුඟවෙලාවට regent ඒත් එහෙම නොවන අවස්ථාත් තිබුනා ) යුරෝපයේ වගේම ආසියාවෙත් තිබුනා

    ඉන්දියාවෙ පිලිගත් succession විදිහ වුනේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. මම දන්න තරමින් නිසි කුලයක බිසවකගෙන් උපන් වැඩිමල් පුතාට යන එක තමයි වඩාත්ම ප්‍රචලිත ක්‍රමය. මහින්ද හා සංඝමිත්තාවන්ගේ මව සිටු කුලයේ නිසා මහින්දට අවස්ථාවක් ලැබෙන්න තිබුණේ අඩු ඉඩක්. කෙසේවුවත්, බාල සොයුරාට, වැඩිමල් නොවන දරුවන්ට, වෙනත් අයට ගිය අවස්ථා ඕනෑ තරම් තියෙනවා.

      Delete
  6. Qatar issue 1ka gana liyanna puluwanda? (kind request)

    ReplyDelete
    Replies
    1. I second that, expecting detailed explanation from you with economic impact, both worldwide & Sri Lankan Economy. Could you please explain this Mr. Econo?

      Delete
    2. I am not an expert on this issue. But, I'll write a note with my personal observations and views.

      Delete
  7. හෙහ් හෙහ් අසෝකට චුටි ටොක්ක ඇනලා එහෙනං නීග්‍රෝධ සාමණේර

    ReplyDelete
  8. //බින්දුසාර රජුගේ වැඩිමල් පුතා වූයේ සුමනයි. //

    According to the Indian epics & historians, his name was "Susheema" & Ashok had many elder brothers like Sugathra etc. He had kulled many of them except youngest one named Vitashok as I remember, whom a monk. Ashok's first wife Devi is a Buddhist woman & she gave birth to Mahendra & Sanghmithraa whom become Buddhist clergy later. Ashok had an affair with Kalinga princess Kaurvakie. But his main queen had another name like Asandhimithra as Indian legends. Many more wives.

    ReplyDelete
    Replies
    1. Yes, He is Susheem according to Ashokavadana. Other names related to his biography are different.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget