Monday, June 19, 2017

ක්‍රීඩා ඇමති නැත්නම් ක්‍රීඩාව ඉවර වෙයිද?


ඔලිම්පික් පදක්කමක් දිනා ගැනීම රටක් වශයෙන් මෙන්ම ක්‍රීඩකයෙකුට පෞද්ගලිකවද ලබා ගත හැකි විශාලම ජයග්‍රහණයකි. ලංකාව වෙනුවෙන් මෙතෙක් කිසිදු ක්‍රීඩකයෙකු විසින් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගෙන නැත. එදා මෙදාතුර පැවති ඔලිම්පික් තරඟාවලි වලින් ලංකාවට රිදී පදක්කම් දෙකක් පමණක් හිමි වී තිබේ.

ලංකාව වෙනුවෙන් මුලින්ම ඔලිම්පික් පදක්කමක් දිනා ගනු ලැබුවේ එංගලන්ත සම්භවයක් තිබුණු ලාංකිකයෙකු වූ ඩන්කන් වයිට් විසිනි. කළුතර, ලත්පඳුරේදී උපත ලැබූවකු වූ ඩන්කන් වයිට් විසින් 1948 ලන්ඩන් ඔලිම්පික් තරඟාවලියේදී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනාගත්තේය. ඉන් පසුව, මහරගම ගුරු විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපනය පිළිබඳ දේශකයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු පසුව නයිජීරියාවේ සරසවි දෙකකද දේශකයෙකු ලෙස කටයුතු කිරීමෙන් පසුව එංගලන්තයේ පදිංචියට ගොස් මිය යන තුරු එහි ජීවත් වී තිබේ.

ලංකාව වෙනුවෙන් දෙවන ඔලිම්පික් පදක්කම හිමි කර දුන්නේ සුසන්තිකා ජයසිංහයි. 2000 වසරේ පැවති සිඩ්නි ඔලිම්පික් තරඟයේදී ඇය ලෝකඩ පදක්කමක් දිනාගත්තාය. වසර හතකට පසුව මේ තරඟයේදී ඇයට වඩා ඉදිරියෙන් සිටි මේරියන් ජෝන්ස් විසින් තහනම් උත්තේජක භාවිතා කර ඇති බව තහවුරු වීම නිසා සුසන්තිකාගේ ලෝකඩ පදක්කම රිදී පදක්කමක් විය. මේරියන් ජෝන්ස්ට ඈ විසින් දිනාගෙන තිබුණු ඔලිම්පික් රන් පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් දෙකක් අහිමි වූ අතර ඔලිම්පික් තරඟ වාරණයක්ද පැනවුණු අතර පසුව සයමසක සිර දඬුවමක්ද හිමි විය.

සුසන්තිකා ජයසිංහගෙන් පසුව වෙනත් කිසිවකු විසින් ලංකාව වෙනුවෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගෙන නැත.

ඔලිම්පික් තරඟ වලදී වැඩිම දස්කම් දක්වා ඇති රට ඇමරිකා එක්සත් ජනපදයයි. ශිශිර ඔලිම්පික් තරඟාවලිද ඇතුළුව, ඇමරිකාව විසින් ලබාගෙන ඇති ඔලිම්පික් පදක්කම් ගණන 2,800 ඉක්මවන අතර එය මුළු පදක්කම් ගණනින් හයෙන් එකක් පමණ වේ. සෝවියට් දේශය බිඳ වැටෙන්නට පෙර එරට ඇමරිකාවට හොඳ තරඟයක් දුන්නේය. එහෙත් ඔලිම්පික් තරඟාවලි වැඩි ගණනකදී වැඩිම පදක්කම් හිමි කරගෙන ඇත්තේ ඇමරිකාවයි. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව ඇමරිකාව දෙවැනි තැනට වැටුනේ බෙයිජිං තරඟාවලියේදී පමණි.

ඇමරිකා එක්සත් ජනපදය ලංකාව මෙන් 16 ගුණයක ජනගහනයක් සිටින රටකි. ඒ නිසා, ඇමරිකාව ලංකාවට වඩා ඔලිම්පික් පදක්කම් ගැනීම තේරුම් ගත හැකිය. එහෙත්, ඇමරිකාව ඔලිම්පික් තරඟයකදී සාමාන්‍යයෙන් පදක්කම් 100ක් පමණ දිනාගනිද්දී ලංකාවට කලාතුරකින් හැර එක් පදක්කමක් හෝ දිනාගන්නට නොහැකි වීම විමසිය යුතු කරුණකි.

වැඩිපුර ඔලිම්පික් පදක්කම් ගැනීම සඳහා ලංකාව කළ යුත්තේ කුමක්ද? ක්‍රීඩා ඇමති මාරු කළ යුතුද? ක්‍රීඩා ඇමතිව දිරිගැන්වීම සඳහා ඔහුට තවත් වාහන කිහිපයක් ලබා දිය යුතුද? ක්‍රීඩා අමාත්‍යංශයට වෙන්කරන ප්‍රතිපාදන වැඩි කර තවත් නිලධාරීන් බඳවා ගත යුතුද? එසේ නැත්නම්, ඔලිම්පික් තරඟ වලදී ඉදිරියෙන්ම සිටින ඇමරිකාව වැනි රටක් කර
දේ අනුගමනය කළ යුතුද?

ඇමරිකන් රජය ක්‍රීඩාව දිරිගැන්වීම සඳහා කොපමණ මුදලක් හා නිලධාරීන් පිරිසක් වෙන් කරනවාද?

සතයක්වත් නැත. ඇමරිකාවේ ක්‍රීඩා ඇමතිලා හෝ ලේකම්ලා නැත. ක්‍රීඩා අමාත්‍යංශයක් හෝ දෙපාර්තමේන්තුවක්ද නැත. රජයේ වෙනත් ආයතනයක් යටතේ ඒ කටයුතු සිදුවන්නේද නැත. අඩු වශයෙන් ඇමරිකන් රජය විසින් ඇමරිකන් ක්‍රීඩකයින් විසින් උපයන ත්‍යාග මුදල්ද ඇතුළු ආදායමෙන් රටේ අනෙක් අයගෙන් අය කරන බදු මුදල අය නොකර සිටින්නේ හෝ නැත.

ඇමරිකාවේ ඔලිම්පික් ක්‍රීඩකයින් පුහුණු කරන හා ඔවුන්ට ත්‍යාග මුදල් ඇතුළු මූල්‍යමය ආධාර සපයන "ටීම් යූඑස්ඒ" යනු ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතනයකි.
ඇමරිකාවේ ජාතික ඔලිම්පික් කමිටුව ලෙස ක්‍රියා කරන්නේද  රජයට සම්බන්ධයක් නැති මෙම ආයතනයයි. හමුදා සාමාජිකයින් වෙනුවෙන් කරන ඇතැම් කටයුතු වෙනුවෙන් ලබාගන්නා මුදල් හැර එම සංවිධානයට රජයෙන් කිසිදු මුදලක් නොලැබේ. එහෙත්, පසුගිය වසරේදී පමණක් ඩොලර් මිලියන 212.9ක් එම සංවිධානය විසින් ක්‍රීඩාව වෙනුවෙන් වැය කර තිබේ. මේ වියදම් වලට ක්‍රීඩකයින්ගේ සරසවි අධ්‍යාපන වියදම් පියවීම වැනි සුබසාධන කටයුතු සඳහා වන වියදම්ද ඇතුළත්ය.

"ටීම් යූඑස්ඒ" යනු ලාභ ලැබීම අරමුණු කර නොගත් ආයතනයක් වුවත්, එයින් අදහස් වන්නේ ඔවුන් පාඩු ලබන බව නොවේ. තමන් සතු විකාශන අයිතිය ඇතුළු අයිතීන් විකිණීමෙන් එම ආයතනය විසින් වසර තුළ ඩොලර් මිලියන 293.9ක ආදායමක් උපයා ඇති අතර මහජන ආධාර හා වත්කම් ආයෝජන ආදායම් ආදියද ඇතුළුව ඩොලර් මිලියන 350.6ක සමස්ත ආදායමක් ලබා තිබේ. පරිපාලන වියදම් ආදිය ඇතුළු සියලු වියදම් ඉවත් කිරීමෙන් පසුව ඩොලර් මිලියන 77.9ක ලාභයක් එම ආයතනයේ ප්‍රාග්ධන වත්කම් වලට වසර තුළදී එකතු වී තිබේ.

ක්‍රීඩාව යනු පහසුවෙන් වැය කරන මුදලට වඩා ආදායම් ඉපයිය හැකි ක්ෂේත්‍රයකි. ඒ නිසා, රටක් ක්‍රීඩා අංශයෙන් ඉදිරියට ගෙනයාම සඳහා මහජන මුදල් වැය කිරීම හෝ රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යම කරුණක් නොවේ.

ඩන්කන් වයිට්ගේ කාලයේදී නොතිබුණත්, සෑහෙන කලක සිට ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශයක් තිබෙන අතර මහජන මුදලින් ක්‍රීඩා ඇමතිවරයෙකු හා විශාල නිලධාරීන් පිරිසක් නඩත්තු කෙරේ. ක්‍රීඩා අමාත්‍යංශයේ වියදම් වෙනුවෙන් 2017 වසර සඳහා රුපියල් මිලියන 4,484ක් වෙන් කර ඇති අතර දළ වශයෙන් ලංකාවේ එක් පවුලක් ක්‍රීඩා අමාත්‍යංශය නඩත්තු කිරීම සඳහා පමණක් රුපියල් 900ක් පමණ මේ වසරේදී වැය කිරීමට නියමිතය. මෙය හාල් කිලෝ දහයක්, මස් හෝ මාළු කිලෝවක්, කිරිපිටි කිලෝවක පැකැට්ටුවක්, අලුත් කමිසයක්, චීන අවන්හලකින් කෑම වේලක් නැත්නම් අරක්කු බෝතලයක් වැනි දෙයක් වෙනුවෙන් වැය කළ හැකි මුදලකි.

ක්‍රීඩා අමාත්‍යංශය නඩත්තු කිරීම සඳහා පමණක් ලංකාවේ පවුලකට තමන්ට මිලදී ගත හැකිව තිබුණු හාල් කිලෝ දහය, මස් හෝ මාළු කිලෝව, කිරිපිටි කිලෝවක පැකැට්ටුව, අලුත් කමිසය, චීන කෑම වේල නැත්නම් අරක්කු බෝතලය කැප කරන්නට සිදුවන අතර ඒ වෙනුවෙන් ඔවුන්ට ලැබෙන්නේ මොනවාද යන්න විමසා බැලිය යුතු දෙයකි.

පසුගිය වසර හැට නවයක කාලය තුළ ලබාගත් එකම ඔලිම්පික් පදක්කම දිනාගත් සුසන්තිකා ජයසිංහ විසින්ද කිහිප වරක් කර ඇති චෝදනාවක් වන්නේ රජය ඇය වෙනුවෙන් ප්‍රමාණවත් දෙයක් කර නැති බවයි. ඇතැම් විට ලංකාවේ ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් රජය විසින් කිසිවක් නොකළද මේ කාලය තුළ අහඹු ලෙස එක් ඔලිම්පික් පදක්කමක් ලංකාවට හිමි වන්නට ඉඩ තිබුණු බව අපට බැහැර කළ නොහැකිය.

සුසන්තිකා විසින් රජයෙන් දිගින් දිගටම වරප්‍රසාද ඉල්ලීම අනුමත කළ නොහැකි වුවත්, ඇගේ ඉල්ලීමේ පදනමක් නැතුවාම නොවේ. ක්‍රීඩා අමාත්‍යංශය නඩත්තු කිරීම සඳහා ලංකාවේ වෙනත් පවුල් මෙන්ම ඇයද දායක වී තිබේ. මේ පවුල් වලින් වැඩි දෙනෙකුට තමන් වැය කළ මුදල වෙනුවෙන් ප්‍රතිලාභයක් නොලැබෙන හා ලබාගන්නට ඉඩක් නැති පසුබිමක අඩු වශයෙන් ඒ වෙනුවෙන් හෙට්ටු කිරීමේ හැකියාවක් ඇති සුසන්තිකා විසින් හෝ එය කිරීම පෞද්ගලිකව කෙසේවෙතත් රටේ රජයෙන් බැහැරව සිටින පුද්ගලයින්ගේ නියෝජිතයෙකු ලෙස සැලකූ විට තමන්ට අයිති දෙයක් ඉල්ලා සිටීමකි.

ක්‍රීඩාව වෙනුවෙන් කිසිදු රාජ්‍ය මැදිහත්වීමක් නොකරන හා පොදු අරමුදල් වැය නොකරන ඇමරිකාව ක්‍රීඩාව අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටවීම අහම්බයක් නොවේ. රාජ්‍ය මැදිහත්වීම් නිසා හැමවිටම පාහේ ප්‍රායෝගිකව සිදුවන්නේ වඩාත්ම සුදුස්සාට තැන නොලැබී යාමයි. රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවය පිළිබඳ ප්‍රශ්නයේ කොටසක් වන මෙය ක්‍රීඩා ඇමති මාරු කිරීමෙන් හෝ ක්‍රීඩා අමාත්‍යංශයට වැඩිපුර ප්‍රතිපාදන ලබා දීමෙන් විසඳිය හැකි ප්‍රශ්නයක් නොවේ.


රාජ්‍ය මැදිහත්වීම් අවම වන තරමට දක්ෂයින්ට ඉහළට පැමිණීමට ඇති අවකාශ පුළුල් වනු ඇති අතර ක්‍රීඩාවට ලැදි අයට එවැන්නන්ට සෘජුවම උදවු කිරීමටද අවකාශ සැලසෙනු ඇත. ඒ සඳහා අතරමැදියෙකු ලෙස රජය යොදාගත් විට අවසාන වශයෙන් සිදුවන්නේ කොහේවත් ඉන්නා පිරිසක් නඩත්තු කිරීමේ බර මහජනයාට දරන්නට සිදුවීම පමණි.

මෙය ලංකාවේ දැවැන්ත රාජ්‍ය යාන්ත්‍රණයේ අකාර්යක්ෂමතාවය පිලිබඳ එක් උදාහරණයක් පමණි. රජය මගින් කරන වෙනත් බොහෝ කටයුතු වල තත්ත්වයේද වැඩි වෙනසක් නැත.

(Image: http://dailynews.lk/2016/08/09/sports/89913)

23 comments:

  1. ක්‍රීඩාවේ එකම අරමුණ පදක්කම් ලබා ගැනීම නම ඔබගේ තර්කය 100% නිවැරදියි.

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් ක්‍රීඩාවේ නම් වෙනත් අරමුණු තිේ‍රනවා.

      1. ඵළදායී කාලය නාස්ති කිරීම
      2. සකර්බර්ග්ට ආදායම ලබා දීම

      Delete
    2. ක්‍රීඩා අමාත්‍යංශය පවත්වාගෙන යාම වෙනුවෙන් මේ අවුරුද්දේ ලංකාවේ සාමාන්‍ය පවුලක් විසින් වැය කරන රුපියල් 900 වෙනුවෙන් ඒ අයට ඊට වඩා වටිනා දෙයක් ලැබෙනවනම් කරුණාකර ඒ මොනවාද කියා කියන්න. මේ ලැබෙන දේවල් ආණ්ඩුව විසින් ක්‍රීඩාව වෙනුවෙන් මොනවත් නොකළානම් නොලැබෙන දේ විය යුතුයි. (මෙය මෙවැනි එකම අමාත්‍යංශය නෙමෙයි. අනිත් ඒවටත් මම එනවා.)

      Delete
    3. ක්‍රීඩාවේ අරමුණ නිරෝගී ශක්තිමත් තරුණ පරපුරක් බිහිකිරීම. පාසැල් මට්ටමින් පසු දිස්ත්‍රික් මට්ටමින් සහ සමස්ථ දිවයින මට්ටමින් පවත්වන ක්‍රීඩා තරඟ ආදිය මෙහෙයවන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය. ඇත්තටම ඔවුන්ට මීට වඩා කාර්‍යභාරයක් ඉටුකල හැකියි. ප්‍රධානම ප්‍රශ්ණය නම් කිසිම අමාත්‍යාංශයකට ලඟා විය හැකි ඉලක්ක නොමැතිකම. එසේ ඉලක්ක තිබෙනවානම් ප්‍රධානම ඉලක්කය විය යුත්තේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ සමඟ ඒකාබද්ධව සියළුම පාසැල් සහ විශ්ව විද්‍යාල ශිශ්‍යයෙක්ම අඩුම තරමේ එක් ක්‍රීඩාවක නියැලීම අනිවාර්‍ය කිරීම. ඇමෙරිකාව වගේ රටවල විශ්ව විද්‍යාල ක්‍රීඩා ඉහලම මට්ටමක තිබෙනවා. අනික විශ්ව විද්‍යාල වලට ඇතුලත් වන ප්‍රතිශතයත් වැඩි නිසා වයස් කාණ්ඩයක වැඩි දෙනෙක් මේ සඳහා යොමුවෙනවා. මෙමඟින් නිරෝගී පරපුරක් බිහිවෙනවා. එම නිසා ක්‍රීඩාවේ අරමුණ පදක්කම් දිනීමම නෙමෙයි. ලංකාව ගැන ගත්තොත් ජාත්‍යන්තර මටටමේ ක්‍රීඩකයන් සාපේක්ෂව අඩු වුණත් කලාපීය මට්ටමේ ක්‍රීඩා වලින් අපි තරමක් හෝ සාර්ථකයි.

      Delete
    4. මම දන්න විදිහට රටේ ඇති ක්‍රීඩාංගන නඩත්තු කරන්නත් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබෙන ප්‍රතිපාදන යෙදවෙනවා. ඒවා සාමාන්‍ය මහජනයාට ප්‍රයෝජනයට. එක දෙයක් තියෙන්නේ දියුණු රටවල් වලට් සාපේක්ෂව තුන්වන ලෝකයේ රටවල අයට ක්‍රීඩා සඳහා ඉතිරිවන කාලය අඩුයි. රැකියාවට සහ ආපසු ප්‍රවාහණයට ගතවන කාලය, අති තරඟකාරී විභාග නිසා ඇතිවී ඇති ටියුෂන් වැනි දේවල් නිසා ශිෂ්‍යන්ට ක්‍රීඩා සඳහා ඉතිරිවන කාල මඳකම යන ඒවාත් අපේ රටේ ක්‍රීඩා වල යෙදෙන ප්‍රමාණය සීමා වීමට හේතු. මේ සියල්ලම රටක ක්‍රීඩ වල යෙදෙන ප්‍රමාණය සහ එම යෙදෙන්නන්ගේ මට්ටම තීරණය වෙනවා. එම නිසා අමාත්‍යාංශයක වියදම සාධාරණද යැයි බැලීම පදක්කම් වලින් මැනීම නම් ගැලපෙන්නේ නැහැ. මම කිව්වේ එයයි.

      Delete
    5. //ක්‍රීඩාවේ අරමුණ නිරෝගී ශක්තිමත් තරුණ පරපුරක් බිහිකිරීම.//
      හරි. දැන් ක්‍රීඩා අමාත්‍යංශය නඩත්තු කිරීම නිසා එවැන්නක් නොතිබුණු 1972ට වඩා පෙර කාලයට වඩා, එහෙමත් නැත්නම් තරුණ පරපුර නිරෝගී හා ශක්තිමත් කිරීම සඳහා ආණ්ඩුවට සල්ලි නොගෙවන රටකට වඩා ලංකාවේ තරුණ පරපුර නිරෝගී හා ශක්තිමත් වෙලා තියෙනවා කියන්න තියෙන නිර්ණායක මොනවාද?

      //මෙමඟින් නිරෝගී පරපුරක් බිහිවෙනවා. එම නිසා ක්‍රීඩාවේ අරමුණ පදක්කම් දිනීමම නෙමෙයි.//
      ක්‍රීඩාවේ අරමුණ පදක්කම් දිනීම කියා මම කියන්නේ නැහැ. නමුත් පදක්කම් කියන්නේ ඔබ කියන පරිදි 'තරුණ පරපුර නිරෝගී හා ශක්තිමත්' වෙලාද කියන එක මැනිය හැකි එක් නිර්ණායකයක්. දෙවනුව, පදක්කම් කියන්නේ ක්‍රීඩා අමාත්‍යංශය විසින් තමන් විසින් කළ දෙයක් ලෙස පෙන්වන දෙයක්. තරුණ පරපුර නිරෝගී හා ශක්තිමත් වුන බවක් ඔවුන් පෙන්වා නැහැ. තෙවනුව, "Formulation of new strategies and implementation of programmes to harness the potential of sports in building the image of Sri Lanka internationally" කියන එක ක්‍රීඩා අමාත්‍යංශයේ කාර්යයක් ලෙස ඔවුන් පෙන්වන එකක්. ඔවුන් පවුලකින් රුපියල් 900ක් ගන්නේ එසේ කරන බව කියමින්. ක්‍රීඩා අමත්‍යාංශය පිහිටුවීමෙන් පසුව ඔලිම්පික් තරඟයකදී ලංකාවේ ජාතික ගීය වාදනය වී ඇත්තේ එක් වරක් පමණක්නම්, එය ක්‍රීඩා අමාත්‍යාංශ නොතිබුණු කාලෙත් සිදු වූ දෙයක්නම් සහ එයට මුල් වූ තැනැත්තිය විසින්ද ක්‍රීඩා අමාත්‍යංශය විසින් කළ දෙයක් නෑ කියනවනම් ක්‍රීඩා හරහා ජාත්‍යන්තර ප්‍රතිරූපය හැදීම වෙනුවෙන් ආණ්ඩුව ගත් සල්ලි වලට හරියන දෙයක් කළාද කියන ප්‍රශ්නය පැහැදිලිවම තියෙනවා.

      //ලංකාව ගැන ගත්තොත් ජාත්‍යන්තර මටටමේ ක්‍රීඩකයන් සාපේක්ෂව අඩු වුණත් කලාපීය මට්ටමේ ක්‍රීඩා වලින් අපි තරමක් හෝ සාර්ථකයි.//
      ක්‍රීඩා අමාත්‍යංශය සල්ලි එකතු කරගන්නේ "Formulation of new strategies and implementation of programmes to harness the potential of sports in building the image of Sri Lanka in the Asia Pacific region" කියල නෙමෙයිනේ. ඒ කියන්නේ ඔවුන් ගත් සල්ලි වලට කාර්ය සාධනයක් කර නැහැ. කලාපයේ ලැබුණු දේවල් වලටත් ක්‍රීඩා අමාත්‍යංශයේ දායකත්වය වෙනම විමසිය යුතු දෙයක්.

      //අනික විශ්ව විද්‍යාල වලට ඇතුලත් වන ප්‍රතිශතයත් වැඩි නිසා වයස් කාණ්ඩයක වැඩි දෙනෙක් මේ සඳහා යොමුවෙනවා. මෙමඟින් නිරෝගී පරපුරක් බිහිවෙනවා.//
      අවුරුදු සීයකට කලින් ඇමරිකාවේ එවැනි තත්වයක් තිබුණේ නැහැ. නමුත් ඒ කාලයේත් ඔලිම්පික් තරඟ වලදී ඇමරිකාව ඉදිරියෙන් හිටියා.

      //මම දන්න විදිහට රටේ ඇති ක්‍රීඩාංගන නඩත්තු කරන්නත් ක්‍රීඩා අමාත්‍යාංශයට ලැබෙන ප්‍රතිපාදන යෙදවෙනවා. ඒවා සාමාන්‍ය මහජනයාට ප්‍රයෝජනයට.//
      ගම් වල ක්‍රීඩාංගන නඩත්තු කිරීම කරන්නෙත් ක්‍රීඩා අමත්‍යංශයෙන්නම් බලය විමධ්‍යගත කිරීම ගැන කරන කතා විහිළුවක් නේද? එක වටයකදී පළාත් සභා ආදිය සාධාරනීකරනය කිරීමට මධ්‍යම ආණ්ඩුවේ කටයුතු ඒවාට දමනවා. ඉන් පසුව, ඇමති තනතුරු සාධාරනීකනය කිරීමට ඒවා ආපහු ගන්නවා. අවසානයේ සිදුවී තිබෙන්නේ සාමාන්‍ය ජනතාව රජය නඩත්තු කිරීමට වැය කරන මුදල වැඩිවීම පමණයි.

      //එම නිසා අමාත්‍යාංශයක වියදම සාධාරණද යැයි බැලීම පදක්කම් වලින් මැනීම නම් ගැලපෙන්නේ නැහැ. මම කිව්වේ එයයි.//
      පදක්කම් එක් නිර්ණායකයක් පමණයි කියන එකට මම එකඟයි. වියදම සාධාරණ බව පෙන්වන වෙනත් මොනවා හෝ නිර්ණායක තියෙනවනම් ඒ ගැන කතා කළ හැකියි.

      //එසේ ඉලක්ක තිබෙනවානම් ප්‍රධානම ඉලක්කය විය යුත්තේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ සමඟ ඒකාබද්ධව සියළුම පාසැල් සහ විශ්ව විද්‍යාල ශිශ්‍යයෙක්ම අඩුම තරමේ එක් ක්‍රීඩාවක නියැලීම අනිවාර්‍ය කිරීම.//
      අනිවාර්ය හමුදා සේවය වගේනේ. හරියටම ප්‍රශ්නය තියෙන්නේ ඔන්න ඔතනයි. ජේආර්ගේ සිට යූඑන්පී කාරයන් බොහෝ දෙනෙක් සිතන්නෙත් පොල්පොට්, හිට්ලර්, ස්ටාලින්, ලී ක්වාන් යූ ආදීන් හිතූ විදිහටයි. ඉයන් එය මෙහි කෙළින්ම ලියා තිබෙනවා. ලංකාවේ යූඑන්පී ආණ්ඩු වාමාංශික ආණ්ඩු වලින් වෙනස් නොවෙන්නේ මෙතැනදීයි. නිරෝගීව ඉන්න හැටි රටේ මිනිස්සු දන්නේ නෑ. රටේ මිනිස්සු නිරෝගීව හා ශක්තිමත්ව ඉන්න මොකද කරන්න ඕනෑ කියන එක දන්නේ අපි. ඒක අපිට නොමිලේ කියාදෙන්න බැහැ. ඒ නිසා අපි එක් පවුලකින් රුපියල් 900ක් අය කර ගන්නවා. දැන් 900 ගෙවල අපි කියන විදිහට ගිහින් පැයක් එක්සයිස් කරන්න. නැත්නම් වෙඩි තියනවා. ඕක කරන්නනම් ඉතිං ගෝඨාභය වගේ කෙනෙක් තමයි හරියන්නේ. සිංගප්පූරුව වැනි තැන් වල සාර්ථක වී තිබුණත් ඔය ආකෘතිය පසුගිය අවුරුදු 69 තුළ ලංකාවේ සාර්ථක වී නැහැ.

      Delete
    6. ලංකාවේ ප්‍රශ්නය වාමාංශික නොවන පක්ෂ වල අයත් රාජ්‍යමූලික මධ්‍යගත චින්තනය ඇතුලෙම හිරවී සිටීමයි. එසේ සිටීම ඔවුන්ට පෞද්ගලිකව වාසියි. මෙයින් එළියට යන තුරු ලංකාවේ ආර්ථිකයට ගොඩ යාමක් නැහැ. ඕක කරන්නනම් ජේවීපී එක වගේ පක්ෂයක් වඩා හොඳ වෙයි. මොකද එවිට ක්‍රමයේ අකාර්යක්ෂමතා තිබුණත් ක්‍රමය පවත්වාගෙන යන පුද්ගලයින්ගේ අකාර්යක්ෂමතා හරි ටිකක් අඩුවෙයි. වැය කළ සම්පත් ප්‍රමාණයට වටිනවද කියන එක වෙනම කරුණක් වුවත් ක්‍රීඩාවට රජය මැදිහත් වුනු සමාජවාදී රටවල් අඩු වශයෙන් පැහැදිලිව පෙනෙන කාර්ය සාධනයක් පෙන්වූවා. මධ්‍යගත චින්තනයෙන් එළියට යන්න රනිල් 2001දී උත්සාහ කළත් දැන් ඔහු එදා සිටි තැන නැහැ.

      Delete
    7. Never expected a comment like the one before last from someone like you.

      Delete



    8. //අනිවාර්ය හමුදා සේවය වගේනේ. හරියටම ප්‍රශ්නය තියෙන්නේ ඔන්න ඔතනයි. ජේආර්ගේ සිට යූඑන්පී කාරයන් බොහෝ දෙනෙක් සිතන්නෙත් පොල්පොට්, හිට්ලර්, ස්ටාලින්, ලී ක්වාන් යූ ආදීන් හිතූ විදිහටයි. ඉයන් එය මෙහි කෙළින්ම ලියා තිබෙනවා.// i am refering to this part

      Delete
    9. //විශ්ව විද්යාල ශිශ්යයෙක්ම අඩුම තරමේ එක් ක්රීඩාවක නියැලීම අනිවාර්ය කිරීම.//
      If you believe that a university student, who is a matured adult, who has the legal right to marry, vote, consume alcohol or smoke if (s)he wishes, is not capable of deciding whether (s)he should spend his/her time doing a sport or not, and therefore (s)he should pay some dictator to make that decision on her/his behalf, yes, you’re obviously not different from the people in above list with respect to the way you think about this matter, and sorry, there’s no way that I can endorse your view.

      Delete
    10. ඉකෝගේ මෙම අදහසට මමත් එකඟයි.
      ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ක්‍රීඩාවේ උන්නතියට, අමාත්‍යාංශය නඩත්තුව වෙනුවෙන් මහජනතාව වියදම් කරන මුදලට සාපේක්ශව කිසිවක් සිදුවී නැති බව ඉතා පැහැදිලිය.
      ක්‍රීඩාවෙන් අන්තරජාතික මට්ටමට ලඟා වූයේ ක්‍රිකට් ක්‍රීඩාවත් සුසන්තිකාත් පමනි. ක්‍රිකට් දියුනු වුනේ ගාමිනි දිසනායකලා, අර්ජුන ලා වැනි මිනුස්න් නිසාය. ඒ ඔවුන් ක්‍රීඩා ඇමති කම දැරූ කාලයේ නොව වෙනත් තනතුරු දරමින් කල සේවයන් වලිනි. සුසන්තිකා ආවේ ඇගේ අප්‍රතිහත ධෛර්‍ය හා දක්ශ තාව නිසාය.

      ක්‍රීඩා අමත්‍යාංශයෙන් අමාත්ය තුමා, එතුමාගේ පවුල, වටේ සිටින හෙන්චන්ය්යන් සහ උන්ගේ පවුල් වෙනුවන් වියදම් කල පසු ඉතිරි මුදලින් , වැඩිම මුදලක් වෙන් වන්නේ ජාතික මට්ටමේ පාසල් වෙනුවෙනි.

      ඉයන් ගේ තර්කය ඇත්ත නම් සුසන්තිකාලා බිහි විය යුත්තේ ජාතික පාසල් වලින් මිස ක්‍රීඩා පිට්ටනියක් වත් නැති ඈත පලාත් වලින් නොවේ. එමෙන්ම එක සුසන්තිකා කෙනෙගෙන් නොනැවතී කඩින් කඩ හෝ තවත් සුසන්තිකාල බිහි විය යුතුය.

      ඇත්තෙන්ම අපි මේ කරන්නේ ඇමතියෙක් සහ පවුලක් නඩත්තු කරන අතරම, ඇමතිකමක් නොළබුවේ නම් ජීවිතයට රටින් එළියට යන්නට හැකියාවක් නැති ඇමතියාට සහ පවුලට ලෝකයේ ලොකු ලොකු හෝටල් වල නැවතී ඔලිම්පික්, ලෝක කුසලාන වැනි තරඟ නැරඹීමට අපි මුදල් දී, එම තර්‍රන්ග නිවසට වී රූපවහිනියෙන් නැරඹීමයි.

      Delete
  2. /* කළුතර, ලත්පඳුරේදී උපත ලැබූවකු වූ ඩන්කන් වයිට් විසින් 1948 ලන්ඩන් ඔලිම්පික් තරඟාවලියේදී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනාගත්තේය. ඉන් පසුව, මහරගම ගුරු විද්‍යාලයේ */

    මට නම් කෙලින්ම මතක් වුනේ W3Lanka පැරාවයි.

    මොකද පැරාත් ලත්පදුරට නුදුරු මතුගම, මහරගම ගුරු විදුහලේ ඉගෙන ගෙන තියෙනවා, ක්‍රීඩා ගුරුවරයෙකු ලෙසත් වැඩ කරලා තියෙනවා.

    ;-)

    ReplyDelete
    Replies
    1. රිදී පදක්කම විතරයි එහෙනම් අඩු!

      Delete
  3. //ඇමරිකාවේ ක්‍රීඩා ඇමතිලා හෝ ලේකම්ලා නැත. ක්‍රීඩා අමාත්‍යංශයක් හෝ දෙපාර්තමේන්තුවක්ද නැත// ඒකනේ ඇමරිකාවේ කිසි දියුණුවක් නැත්තේ. ඒකට මෙහෙ. සීනි ඇමතිලා හිටියනේ. ගංවතුර ඇමති, නායයාම් ඇමති වගේ ඒවා ඉස්සරහට එන්න තියෙනවා.

    ReplyDelete
    Replies
    1. තව ටිකක් කල් යද්දී ක්‍රීඩා අමත්‍යංශයත් කඩලා ක්‍රිකට් ඇමති, වොලිබෝල් ඇමති, චග්ගුඩු ඇමති ආදීන් පත් කරන්න ඉඩ තියෙනවා.

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මෙන්න ඉකොනොමට්ටා තුමා මෑත කාලයේ ඉස්මතුකිරීමට තැත්කරන අදහසට ගැලපෙන් ප්‍රවෘතියක්.

    ගෝල්ඩන් කී වන්දි වෙනුවෙන් රජයෙන් මිලියන 3500ක්

    දැන් සුසන්තිකාවයි, ප්‍රින්ස් උදයවයි පැත්තකදාලා ලියමුකො වැඩි තන්හාවට සල්ලි හොයන්න ගිය දනපතින්ගේ පාඩුව බදුගෙවන ජනතාව පියවිය යුතුද කියලා. මේවා බිලියනගණන් හොඳේ!

    ReplyDelete
    Replies
    1. මේ වෙනුවෙන් මහජන මුදල් වැය කිරීම මා අනුමත කරන්නේ නැත. එහෙත්, ඔබ විසින් සුසන්තිකාව හා ප්‍රින්ස්ව ඔබ කියන "දනපතින්ගෙන්" වෙන් කරන නිර්ණායකය පැහැදිලි නැත. ඔබ දමා ඇති ලින්ක් එක අනුව තැන්පතුකරුවන් 9000කට රුපියල් මිලියන 3500ක් වන්දි ගෙවන්නට තීරණය කර තිබේ. මේ අනුව, එක් අයෙකුට ලැබෙන සාමාන්‍ය මුදල රුපියල් 388,889කි. ලක්ෂ හතරකට අඩු මුදලක් මූල්‍ය ආයතනයක තැන්පත් කිරීමට හැකි අයෙක් ලක්ෂ 250ක පෞද්ගලික රෝහල් බිලක් ගෙවිය හැකි අයෙකුට වඩා "දනපතියෙකු" වන ආකාරය කරුණාකර පැහැදිලි කරන්න පුලුවන්ද?

      Delete
    2. මා මෙහිදී 'දනපතියන්' ලෙස හැදින්වුයේ දනය ඉපයීමේ අරමුණින් සාමානය පොලි අනුපාතය ඉක්මවා වැඩි පොලියක් ලැබීමට වැඩි අවධානමක් යටතේ ආයෝජනයකළ පුද්ගලයන්ටයි.

      එසේම මා මෙහිදී රු මිලියන 3500 'දනපති' තැන්පත්කරුවන් 9000 අතර සමසේ බෙදාදෙනු ඇතැයි යන ඔබගේ උපකල්පනය පිළිගන්නේ නැහැ.. මෙය බොහෝවිට මේ දනපතියන්' ආයෝජයන්ය මුදලේ ප්‍රතිශතයක් විය යුතුයි. මට මතක අයුරු, වැඩිම ආයෝජනය රු මිලියන 800ක් හා අඩුම ආයෝජනය රු. 9000ක්. තවත් මහේල ජයවර්ධන මිලියන 200-300 ආයෝජනයක කරතිබූ බව මතකයි.

      Delete
    3. //තැන්පත්කරුවන් 9000 අතර සමසේ බෙදාදෙනු ඇතැයි යන ඔබගේ උපකල්පනය පිළිගන්නේ නැහැ//
      සමසේ බෙදාදෙනු ඇති බව මම කියන්නෙත් නැහැ. ලොකු තැන්පතු ඇති අය ටික දෙනෙක් ඉන්නවා කියන්නේ රුපියල් 9000 සිට සුළු තැන්පතු කළ විශ්‍රාමිකයින් වැනි අයත් සෑහෙන දෙනෙක් මේ ගොඩේ සිටින්නට ඉඩ ඇති බවයි. කොහොම වුනත්, ඒ කරුණ පැත්තකින් තිබ්බොත් ඔබ මතු කරන මූලික විරෝධතාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි. ගෝල්ඩන් කී වැනි (මම දන්නා තරමින්) මහා බැංකුව අනුමත නොකළ ආයතනයක මුදල් තැන්පත් කළ අයට හානි පූරණයක් කිරීම මහජන මුදල් නාස්ති කිරීමකට අමතරව වැරදි පූර්වාදර්ශයක්. මහ බැංකුව අනුමත කළ ආයතනයක් බිඳ වැටුණු විට හානි පූරණය කිරීමේ පදනමක් තිබෙනවා.

      Delete
  6. ලංකාවෙ තියන අති බහුතරයක් අමාත්‍යංශ ඒව ඕනෙ කමට පිහිටපුව නෙමේ, මුක්කු ගහන කාලකණ්නියෙකුට ඇම්ති පට්ටමක් දෙන්න ඕනා හින්දා හදපු ඒවා විතරයි.. උන් ඒවයෙන් කරන්නෙ රටට සේවයක් කරණ එක නෙමේ තමන්ගෙ බඩවඩා ගන්න එක.. මේවා ඉතින් ඕනැම අන්දයෙකුට වුනත් පේන දේවල්..

    ReplyDelete
    Replies
    1. වෙනම එකින් එක ගත් විට නොපෙනුනත් මේ හැම රජයේ ආයතනයකම ඇති අකාර්යක්ෂමතාවයන් එකතු කළ විට එය රටේ ආදායම් උපදවන අයට විශාල බරක්. කිසියම් ආයතනයක් නඩත්තු කිරීම සඳහා පවුලක් හෝ පුද්ගලයෙක් විසින් ගෙවන මුදලට වඩා වැඩි දෙයක් ආපසු නොලැබෙනවානම් එවැනි ආයතන නඩත්තු කළ යුතු නැහැ.

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget