Wednesday, June 21, 2017

වසන්තයත් ඉවරයි!



අද (ජූනි 21) උත්තරාර්ධගෝලයේ රටවලට ගිම්හාන සූර්ය නිවෘත්තිය සිදුවන දිනයයි. මේ අනුව, උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ රට වල වසන්ත සෘතුව අදින් අවසන් වී ග්‍රීෂ්ම සෘතුව ආරම්භ වෙයි. ඒ සමඟම සූර්යයා දක්ෂිණායනය අරඹන නිසා මෙතෙක් කල් ක්‍රමයෙන් දීර්ඝ වුනු දවසක කාලය හෙට සිට නැවතත් ක්‍රමයෙන් කෙටි වන්නට පටන් ගනී. අද උත්තරාර්ධගෝලයේ රටවල දිවාකාලය වැඩිම දවසයි. ඇමරිකාවේ නිවුයෝර්ක් වැනි නගරයකට අද දිවා කාලය පැය 15කට වඩා වැඩිය. දක්ෂිණාර්ධගෝලයේ රටවල සිදුවන්නේ හරියටම මෙහි විරුද්ධ පැත්තයි.

බටහිර රටවල වර්ෂය සෘතු හතරකට බෙදේ. ඒ, වසන්ත (Spring), ග්‍රීෂ්ම (Summer), හේමන්ත (Fall/ Autumn) හා ශිශිර (Winter) වශයෙනි. මේ එක් සෘතුවක කාලය ආසන්න වශයෙන් මාස තුනක් වුවත් බටහිර සෘතු ග්‍රෙගෝරියන් කැලැන්ඩරයේ හෝ වෙනත් කැලැන්ඩරයක මාස සමඟ හරියටම සමපාත නොවේ. එමෙන්ම, මේ බෙදීමද ජනප්‍රිය වී ඇත්තේ සියවස් පහකට පමණ පෙරය. ඊට පෙර, වසන්ත හා හේමන්ත සෘතු වලට ලොකු වැදගත්කමක් ලැබී නැත.

ඉන්දියානු කලාපයේ දින දර්ශන වල සෘතු හයක් තිබේ. ඒ, ග්‍රීෂ්ම, වර්ෂා, සරත්, හේමන්ත, ශිශිර හා වසන්ත ලෙසිනි. ඒ නිසා සෘතුවක කාලය ආසන්න වශයෙන් මාස දෙකකි. ඉන්දියානු කලාපයේ ග්‍රීෂ්ම සෘතුව, වසන්ත සෘතුව ආදී ලෙස හඳුන්වන්නේ  බටහිර එසේ හඳුන්වන සෘතුවම නොවේ.

මේ අයුරින් වර්ෂයක කාලය සෘතු හයකට බෙදීම ඉන්දියානු කලාපයේ ඉතා පැරණි භාවිතයක් වන අතර වර්ෂයකාලය මාස වලට බෙදා නම් කිරීමටද පෙර අතීතයට දිව යන්නකි. ත්‍රිපිටකයේ බොහෝ තැන් වල කාලය ගැන සඳහන් වන්නේ කිසියම් සෘතුවක පෙර (පූර්ව) හෝ පසු (පශ්චිම) මාසය වශයෙනි. දීපවංශයේ දකින්නට හැක්කේද මේ භාවිතාවයි. මහාවංශයේ සිංහල පරිවර්තනයක් මිස එහි පාලි ගාථා සහිත ග්‍රන්ථයක් මා සතුව නැති බැවින් එහි මාස සඳහා පරිවර්තනයේදී යොදාගෙන ඇති නම් මුල් ගාථා වල තිබෙන්නේ කෙසේදැයි මා දන්නේ නැත.

වේදය පිළිගත් ආස්තිකයන්ට සාපේක්ෂව බුදු හිමියන් විසින් කාලය එතරම් වැදගත් දෙයක් ලෙස සලකා නැත. උතුරු ඉන්දියාවේ කාලගුණ රටා අනුව වැඩි අපහසුවක් නැතිව හඳුනාගත හැකි සෘතු හා හඳේ කලාව වෙනස්වීම අනුව "හේමන්ත සෘතුවේ පශ්චිම මාසය" වැනි භාවිතාවක් වඩා ප්‍රායෝගික වන්නට ඇත.

පැරණි ඉන්දියානු කැලැන්ඩර වල සෘතු හා මාස අතර සෘජු සම්බන්ධයක් තිබේ. ඒ අනුව, සෘතුවකට මාස දෙකකි. බෙංගාලයේ  හැර උතුරු ඉන්දියාවේ අනෙක් ප්‍රදේශ වල මෑතකාලීනව භාවිතා වී ඇති දිනදර්ශන අනුව ග්‍රීෂ්ම සෘතුවේ පළමු මාසය චෛත්‍ර මාසය වන අතර දෙවන මාසය විශාඛ මාසයයි. එහෙත්, බෙංගාලි දින දර්ශනයේ ග්‍රීෂ්ම සෘතුවේ පළමු මාසය විශාඛ මාසයයි. දෙවන මාසය ජ්‍යෙෂ්ඨ මාසයයි.

උතුරු ඉන්දියාවේ පැහැදිලිව පෙනෙන්නට ඇති සෘතු භේද දකුණු ඉන්දියාවේදී හෝ ලංකාවේදී එසේ නොපෙනේ. ඒ අනුව, දකුණු ඉන්දියාවේ සෘතු සඳහා භාවිතා වන නම් උතුරු ඉන්දියානු (සංස්කෘත) නම් වලින් බිඳී ආ නම් නොවේ. මඳ උණුසුම්, දැඩි උණුසුම්, අඳුරු, ශීතල, මුල් මිහිදුම්, පසු මිහිදුම් යන අදහස් ඇති නම් වලින් මේ සෘතු හැඳින්වේ. ලංකාව මෙහිදී තමන්ට වඩා සමීප දකුණු ඉන්දියානු සෘතු බෙදීම් අනුව ගොස් නැති අතර, දීපවංශයේ ඇති තොරතුරු අනුව ලංකාවේ භාවිතය බෙංගාලයේ වත්මන් භාවිතයට සමානය.

බුද්ධ කාලයේදී වර්ෂය ආරම්භ වී ඇත්තේ වසන්ත විෂුවය ආසන්න දිනක වුවත් එය හරියටම වසන්ත විෂුවය සිදු වන දින සිදු වී ඇති බවක් නොපෙනේ. ඒ වෙනුවට අවුරුද්දේ ආරම්භය ලෙස සලකා ඇත්තේ වසන්ත විෂුවය දිනට ආසන්න අමාවක (අමාන්ත ක්‍රමයේදී) හෝ පුර පසළොස්වක (පූර්ණාන්ත ක්‍රමයේදී) පෝයට පසුව එන දිනයයි. දැනට ඉන්දියානු කලාපයේ භාවිතා වන චෛත්‍ර, විශාඛ ආදී ලෙස නැකැත් වල නම් මත පදනම් වන මාස වල නම් ඒ කාලයේ වේදය උගත් අය විසින් භාවිතා කරන්නට ඇතත් සාමාන්‍ය ව්‍යවහාරයේ නොතිබුණා විය හැකිය.

වේද ග්‍රන්ථ වල මුලින්ම සඳහන් වන මාස නම් කර තිබී ඇත්තේ නැකැත් අනුව නොවේ. මුලින්ම භාවිතා වී ඇති මාස වල නම් වනුයේ මධු, මාධව, ශුක්‍ර, ශුචි, නාභ, නාභත්ස්‍ය, ඉෂා, ඌර්ජා, සහස්, සහස්‍ය, තපස්, තපස්‍ය යන ඒවාය. වසර කිහිපයකට වරක් යෙදී ඇති අධික මාසය අම්හස්පත්‍ය ලෙස නම් කර තිබේ. මධු හා මාධව යනු වසන්ත සෘතුවේ පළමු හා දෙවන මාසයි. මේ නම් අදාළ සෘතුව සමඟ හොඳින් ගැලපේ. මධු මාසය අවසන් වී මාධව මාසය ඇරඹෙන දිනට ආසන්න දිනක් සමඟ වසන්ත විෂුවය සමපාත විය. ඉෂා හා ඌර්ජා යන නම් අදාළ මාස සඳහා ලංකාවේ භාවිතා වන ඉල් හා උඳුවප් යන නම් වලට යාන්තමින් සමානය.

වෛදික යුගය ආරම්භයේදී භාවිතා වී ඇති ඉහත මාස වල නම් ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වී පසුව ඒ වෙනුවට දැනට භාවිතා වන නැකැත් වල නම් ආදේශ වී ඇත. බුද්ධ කාලය වන විට මධු, මාධව ආදී නම් භාවිතයේ තිබී නැත. ක්‍රිස්තු පූර්ව පළමු සියවසෙහිදී පමණ ලියැවුණු ග්‍රන්ථයක චෛත්‍ර හා විශාඛ යනු පෙර මධු හා මාධව ලෙස හඳුන්වා ඇති මාසම බව සඳහන්ව තිබේ. ග්‍රීසිය හරහා රාශි චක්‍රය ඉන්දියාවට පැමිණ ඇත්තේත්, කාලය මැනීමට මූලික වශයෙන් යොදාගත් ශාස්ත්‍රයක් වූ  ජ්‍යෝතිෂය ක්‍රමයෙන් අනාවැකි කීමේ ශාස්ත්‍රයක් ලෙස රූපාන්තරණය වී ඇත්තේත් පසුකාලීනවය.

කාලගුණ චක්‍රය මත පදනම් වූ සෘතු ක්‍රමය හා මධු, මාධව ආදී මාස ක්‍රමය වෙනුවට නක්ෂත්‍ර තාරකා මත පදනම් වූ චෛත්‍ර, විශාඛ ආදී මාස ක්‍රමය ආදේශ වන කාලය වන විට වසන්ත විෂුවය සමග සමපාත වී ඇත්තේ සූර්යයා බෙරණ නැකතින් කැති නැකතට සම්ප්‍රාප්ත වීමයි.

කාලගුණ චක්‍රය පදනම් වන්නේ නිවර්තන වසර සමඟ වුවත් නක්ෂත්‍ර තාරකා වල චලනය පදනම් වන්නේ නක්ෂත්‍ර වර්ෂය මතය. මේ දෙක එකක් නොවේ. නක්ෂත්‍ර අවුරුද්දක් නිවර්තන අවුරුද්දකට වඩා විනාඩි විස්සකින් පමණ දිග වැඩි නිසා කාලයක් යද්දී වසන්ත විෂුවය සිදු වන දිනය කැලැන්ඩරයට අනුව වෙනස් වෙයි. ඒ අනුව සියවස් ගණනක් යද්දී චෛත්‍ර මාසය එළැඹෙන්නට පෙර වසන්තය එළැඹී තිබේ. ක්‍රිස්තු වර්ෂ පස්වන සියවස පමණ වෙද්දී වසන්ත විෂුවය සිදු වී ඇත්තේ සූර්යයා රේවතී නැකතෙන් අස්විද නැකතට යාමට ආසන්නවය. එනම්, සූර්යයා බෙරණ නැකතින් කැති නැකතට සම්ප්‍රාප්ත වීමට දින 27කට පමණ පෙරය.


පස්වන සියවස වන විට රාශි චක්‍රය ග්‍රීසිය හරහා ඉන්දියාවට පැමිණ තිබුණු අතර ඒ කාලයේදී වසන්ත විෂුවය මේෂ සංක්‍රාන්තිය සමඟ සමපාත විය. එවකට භාවිතයේ පැවති නැකැත් ක්‍රමය අනුව, සූර්යයා රේවතී නැකතින් අස්විද නැකතට යාමද වසන්ත විෂුවය හා මේෂ සංක්‍රාන්තිය සමඟ සමපාත විය. මේ අනුව, කැති නැකත තෙවන නැකත වී අස්විද නැකත පළමු නැකත බවට පත් විය.

වසන්ත විෂුවය හා මේෂ සංක්‍රාන්තිය එක වර සිදු වී ඇත්තේ ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු වර්ෂ 543 මාර්තු 19 වන දින විය හැකි බව පසු ගණනය කිරීමෙන් සොයාගත හැකිය. ඒ වන විටද භාවිතයේ තිබී ඇති සූර්ය සිද්ධාන්තයේ කාලය මැනීමේ ක්‍රමවේදයන් ආර්යභට්ට විසින් සංස්කරණය කරන්නට ඇත්තේ ඒ වසරේදී වන්නට පුළුවන. ආර්යභට්ට ජීවත් වී ඇති ලෙස සැලකෙන්නේ ක්‍රිස්තු වර්ෂ 476-550 අතරදීය. රාශි චක්‍රය, නැකැත් චක්‍රය හා සෘතු චක්‍රය පසුගිය සියවසට පෙර අවසන් වරට සමචක්‍රීය කර ඇත්තේ ඒ කාලයේදීය.

මේ අනුව, ක්‍රිස්තු වර්ෂ 543දී වසන්ත විෂුවය සූර්යයා රේවතී නැකතෙන් අස්විද නැකතට ගමන් කිරීම සමඟ සමපාත වී තිබිය යුතුය. එසේනම්, වසන්ත විෂුවය සූර්යයා බෙරණ නැකතෙන් කැති නැකතට ගමන් කිරීම සමඟ සමපාත වී තිබිය යුත්තේ ඊට වසර 1905කට පමණ පෙර එනම් ක්‍රිස්තු පූර්ව 1362දී පමණය. නිවර්තන වසර මත පදනම් වූ මධු, මාධව ආදී මාස වෙනුවට නක්ෂත්‍ර වසර මත පදනම් වූ චෛත්‍ර, විශාඛ ආදී මාස භාවිතයට පැමිණෙන්නට ඇත්තේ ඒ කාලයේදීය.
 

ක්‍රිස්තු පූර්ව පළමු සියවස වන විට හිපාර්කස් විසින් වසර දහස් ගණනක් තිස්සේ බැබිලෝනියානුවන් විසින් සටහන් කර තිබුණු ග්‍රහ පිහිටීම් පිළිබඳ වාර්තා අධ්‍යයනය කිරීමෙන් වසර 26,000ක පමණ චක්‍රයක් ලෙස සිදුවන සූර්යයාගේ පූර්වායනය ගැන දැන සිටියේය. මේ දැනුම ඉන්දියාවටද නොලැබෙන්නට හේතුවක් නැත. කෙසේ වුවද, ඉන්දියානු ජ්‍යෝතිෂ්‍යය ක්‍රිස්තු වර්ෂ 543 පමණ සිට සූර්යයාගේ පූර්වායනය නොසලකා හැරියේය. දින දර්ශනය සෘතු මාරුවීම් සමඟ සමපාත කරනවාට වඩා කාලය නිවැරදිව මැනීම ඔවුන්ට වැදගත් වූවා විය හැකිය.

සෘතු විපර්යාස නිවර්තන වර්ෂය මත පදනම් වීමත්, මේෂ සංක්‍රාන්තිය නක්ෂත්‍ර වර්ෂය මත පදනම් වීමත් නිසා වසන්ත විෂුවය හා මේෂ සංක්‍රාන්තිය අතර පරතරය එන්න එන්නම වැඩි වේ. ග්‍රෙගෝරියන් කැලැන්ඩරය සැලසුම් කර ඇත්තේ වසන්ත විෂුවය මාර්තු 21 ආසන්න දිනක සිදුවන පරිදි නිවර්තන වසර අනුව නිසා ග්‍රෙගෝරියන් කැලැන්ඩරයට සාපේක්ෂව  මේෂ සංක්‍රාන්තිය වසරින් වසර ඉදිරියට ගොස් මේ වන වන විට දින 24ක පමණ පරතරයක් ඇති වී තිබේ. දැන් වසන්ත විෂුවය සිදු වන්නේ සූර්යයා මීන රාශියේ, එසේත් නැත්නම් උතුරුපල් නැකතේ සිටියදීය. සායන හා නිරයන ගණනය කිරීම් අතර මේ වන විට ඇති ඉහත දින 24ක පමණ වෙනස ගිම්හාන හා ශිශිර සූර්ය නිවෘත්තීන් වලටද බලපායි. 


බටහිර ක්‍රමයට ග්‍රීෂ්ම සූර්ය නිවෘත්තිය සමඟ ග්‍රීෂ්ම සෘතුව ඇරඹෙන නමුත් ඉන්දියානු (සායන) ක්‍රමයට එදින ග්‍රීෂ්ම සෘතුව අවසන් වී වර්ෂා සෘතුව ආරම්භ වේ. ලංකාවේ (හා ඉන්දියාවේ) භාවිතා වන නිරයන ජ්‍යෝතිෂ ක්‍රමය අනුව ග්‍රීෂ්ම සෘතුව අවසන් වන්නේ සූර්ය නිවෘත්තියෙන් දින 24කට පමණ පසුව සිදුවන කටක සංක්‍රාන්තියත් සමඟය. ඒ අනුව, මැයි 15 ආසන්න දිනක ඇරඹුණු ලංකාවේ ග්‍රීෂ්ම සෘතුවට අයත් මාස දෙකෙන් දෙකෙන් අඩකටත් වඩා මේ වන විට ගෙවී අවසන්ය. ලංකාවේ ග්‍රීෂ්ම සෘතුව ජූලි 15 පමණ අවසන් වී වර්ෂා සෘතුව ආරම්භ වේ.

ඉන්දියාවෙන් ආනයනය කර ඇති (ජ්‍යෝතිෂයේදී භාවිතා වන) සෘතු ලංකාවේ කාලගුණ රටා සමඟ ගැලපෙන්නේ නැත. ග්‍රීෂ්ම හා වර්ෂා සෘතු මාරු වුනානම් ලංකාවේ කාලගුණ රටාවට වඩා ගැලපේයැයි සිතේ.

ගිම්හාන සූර්ය නිවෘත්තියෙන් පසුව එලඹෙන සිවු මාසයක කාලය එනම් වර්ෂා හා සරත් සෘතු දෙක ඉන්දියානු ආගම් වල විශේෂ කාලයක් ලෙස සලකා තිබේ. බෞද්ධ භික්ෂුන්ගේ වස් කාලය යෙදෙන්නේත් මේ මාස හතර තුළය. මේ මාස හතර අවසානයේ පැරණි ඉන්දියාවේ චතුමාස කෞමුදී ලෙස හැඳින්වුණු විශාල උත්සවයක් පැවැත්වී තිබේ. ශ්‍රී මහා බෝධිය රැගෙන එන්නට පැළලුප් නුවරට ගිය ලංකා නියෝජිත පිරිස එහි ගොස් ඇත්තේද ඒ උත්සවය පැවැත්වෙද්දීය. කඨින පෙරහැර හා උත්සව පැවැත්වෙන්නේද මේ චතුමාස කෞමුදී මහෝත්සවය පවත්වා ඇති දිනමය.

12 comments:

  1. අවු 99කට පස්සෙ අමෙරිකාවට ආපු සූර්යග්‍රහනය බැලුවද ඉකෝන්

    ReplyDelete
    Replies
    1. මෙය පෙනෙන්නේ අගෝස්තු 17 දිනයි, ඇනෝ. චන්ද්‍රග්‍රහණයක් මෙන් නොව සූර්යග්‍රහණයක් පෙනෙන්නේ පෘථිවියේ ඉතා පටු තීරුවකට පමණයි. මෙය ඇමරිකාව හරහා ගියත් එසේ යන්නේ අප සිටින හරියට වඩා පහළින්. ඒ නිසා පූර්ණ සූර්යග්‍රහණය බලන්නනම් පැය හතරක් පහක් දකුණට යන්න ඕනෑ. අවාසනාවට මෙය අපේ ග්‍රීෂ්ම නිවාඩු අවසන් වී වැඩ අධිකම වන දවසක්. ඒ නිසා යන්න වෙන්නේ නැහැ. වැඩ නවත්වා එළියට යන්න කාල සටහනේ පැයක දෙකක ඉඩක් තබාගෙන සිටින නමුත් මට මෙය දකින්න හැකි වනු ඇත්තේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙස පමණයි.

      Delete
  2. Happy summer holidays Econ! What state do you guys live in?

    ReplyDelete
  3. මං දන්නව අධික ශීත කාලෙ හැමදේටම (ස්නෝ ෆයිට්ස් , ස්කීන්, ස්කේටින් හැර :-D ) අමාරුයි, වියදම්, කරදරයි කියලා.
    ඒත් ඇඳුම්, ගමන් බිමන්, වැඩ, කාලය, සමහරවිට කෑම බීම, වෙනස් වෙන සෘතු තියවනම් මං ආසයි. ලංකාවෙ අව්වයි වැස්සයි විතරක් තියන එකට වඩා සෘතු හතරක් තියන එක ඉන්ටරෙස්ටින් කියල

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ දැන් බටහිර රටවල මිනිස්සු වැඩිපුරම වැඩ කරන්නේ ශීත කාලයේ කියලයි. එළියට බැහැල වෙන දේවල් කරන්න අමාරු නිසා ඒ කාලයේ හිතේ දෙගිඩියාවක් නැතුව ඇතුලෙ සිට කරන දෙයක් කළ හැකියි. පැහැදිලිව පෙනෙන සෘතු භේදයක් තිබීම පිළිවෙලකට වැඩ කරන්න උත්තේජනයක් සපයනවා. ගෙදර වැඩ වුනත් එහෙමයි. ග්‍රීෂ්ම කාලය ඇතුළත ඇතැම් අලුත්වැඩියා කටයුතු, ගස් කප්පාදු කිරීම, වල් මැරීම, මල්/තණකොළ හිටවීම, ගරාජ් අස් කිරීම හා කෘමි මර්දනය වැනි දේ නොකළොත් නැවත වසරක් යන තුරු කරන්න අවස්ථාවක් එන්නේ නැහැ. සංචාරයේ යෙදීම් වුනත් එහෙමයි. ලංකාවට සාපේක්ෂව මෙහි මම කැමතිම දේවල් අතරින් උඩින්ම තියෙන එකක් මෙහි ඇති පැහැදිලි සෘතු වෙනස්වීම්.

      Delete
  4. ලංකාවේ කඳුරට ට මම අත් දැකපු සෘතු තුනක් බලපෑවා.. සීත/ වැසි සෘතුව ඔක්තෝබර් අන්තිම වගේ ඊසානදිග මෝසමත් එක්ක පටන් අරගෙන ජනවාරි අග වගේ වෙනකොට ඉවර වෙනවා.. ඒක තමයි අමාරුම සහ බයානකම (කඳු නාය යාම් නිසා) කාලය.. ඊළඟට එන්නේ වසන්ත කාලය.. ගස්වැල් කොළ දළු ගෙඩි එක්ක හිනාවෙන සෞම්‍ය කාලගුණය.. මාස තුන හතරක් තියෙනවා මැයි අන්තිම වගේ වෙනකම්.. ඊට පස්සේ පායන කාලේ.. ජූනි ජූලි වෙනකොට වතුර පාරවල් හිඳිලා ගංගාවල පතුල පේන්න ගත්තම අගෝස්තු සැප්තැම්බර් කියන්නේ පට්ට වහක්.. සමහර වෙලාවට බොන්නවත් මදි ලැබෙන වතුර සලාකය.. නාන්න රෙදි හෝදන්න ගඟවල් හොයා හොයා යන්න වෙන්නේ.. ඒ වගේම රස්නේ.. ධුවිලි.. එතකොට වැස්සක් දකින්නත් ආසයි.. ඒ හැබැයි ආපහු වැසි කාලේ පටන්ගෙන වැහි දෙක තුනක් වැටෙනකම් විතරයි.. ඔය රුටින් ඒකත් දැන් වෙනස් වෙලා (ලු).. කලක් වෙලාවක් නෑ හිටපු ගමන් වහිනවා.. හිටපු ගමන් පායනවා.. :/

    ReplyDelete
    Replies
    1. මට වැඩිපුර පුරුදු තෙත් කලාපයේ රටාවත් මෙයට කිට්ටුයි. වියලි කලාපයේ රටාව තරමක් වෙනස් මම හිතන්නේ.

      Delete
  5. */උතුරු ඉන්දියාවේ පැහැදිලිව පෙනෙන්නට ඇති සෘතු භේද දකුණු ඉන්දියාවේදී හෝ ලංකාවේදී එසේ නොපෙනේ/*

    ඇමෙරිකාවෙත් (උතුර සහ දකුණු අන්තය සැලකු විට) එය එසේමද?

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ඔවු, ඇනෝ. විශාල වෙනසක් තිබෙනවා. එංගලන්තය වැනි (ඇමරිකාවට සාපේක්ෂව) කුඩා රටක තිබෙන පැහැදිලි ලෙස බෙදුණු සෘතු හතර ඇමරිකාවේ ගොඩක් තැන් වල නැහැ. (එහිත් ස්කොට්ලන්තය පැත්තට යන කොට තත්ත්වය වෙනස්) මම කලක් ජීවත් වුනු උතුරට වෙන්න තිබුණු නගරයක සිටි මිතුරෙක් විහිළුවට කිවුවේ එහි ඇත්තේ සෘතු තුනක් බවත් ඒවා ශීත සෘතුව, අධි ශීත සෘතුව හා මඳ ශීත සෘතුව බවත්. අන්තිම එක හැර කතාවේ පොඩි ඇත්තකුත් තිබෙනවා. සමහර අවුරුදු වල නොවැම්බර් වල සිට එකතු වන හිම අප්‍රේල් අවසන් වන තුරුම දිය වෙන්නේ නැහැ. වසන්ත හා හේමන්ත කාලගුණය සතියකින්, නැත්නම් වැඩිම වුනොත් දෙකකින් අවසන් වෙනවා. හැබැයි අගෝස්තු වලදී එළියට බහින්න බැරි තරම් උණුසුම් සති දෙකක පමණ කාලයකුත් එනවා. එයින් වෙනස්ව, දකුණේ ඇති ඇතැම් තැන් වලට කවදාවත් හිම දකින්න ලැබෙන්නේ නැහැ. ටිකක් විතර ලංකාවේ වගේ. මම දැන් ඉන්න හරියේනම් සෘතු හතරම පැහැදිලිව තිබෙනවා. එය මා මේ නගරයට කැමති වෙන්න ප්‍රධාන හේතුවක්.

      Delete
  6. ලංකාවෙ දැන් තියෙන්නෙ සෘතු දෙකයිනේ.. ඒ ගංවතුර සෘතුව සහ නියං සෘතුව..කාලෙකට පස්සේ මේ අවුරුද්දේ ඔය සෘතු දෙකම එකට ආවා.. :D

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට රටේ දෙපැත්තක ඔය දෙකම තියෙනවා නේද?

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

There was an error in this gadget