වෙබ් ලිපිනය:

Friday, January 15, 2021

අඹ ගසක් හා මේ අඹ ගස


මම මුලින්ම ශ්‍රමය වෙනුවෙන් මුදල් උපයන්න පටන් ගත්තේ හතරවන ශ්‍රේණියේ සිටියදී. ඒ කියන්නේ වයස අවුරුදු නවයක කාලයේදී. මෙය අර්ධකාලීන රැකියාවන් කර මුදල් සෙවීමක් කියා කියන්න පුළුවන්. වෙනත් අය වෙනුවෙන් කඩේ ගොස් ඒ වෙනුවෙන් කිසියම් මුදලක් ලබා ගැනීම සැලකුවොත්නම් මේ කාලය තවත් අවුරුදු දෙකක් පසුපසට ගෙන යන්න වෙනවා. කඩේ යාම කියා කිවුවේ එම වචනයෙන් කියැවෙන ප්‍රධාන දෙය මිසක් අද අර්ථයෙන් වෙනත් අයට විවිධ ආකාරයෙන් කඩේ යාම් නෙමෙයි. මේ විදිහට අවුරුදු හතක කාලයේදී සිට කඩේ යාම වෙනුවෙන් යම් මුදලක් ලබා ගැනීමත් ශ්‍රමය වෙනුවෙන් මුදල් ඉපැයීමක් කියා කිව හැකි වුවත්, මා මුලින්ම සඳහන් කළේ දවසකට පැය ගණනක් එක දිගට ඊට වඩා තරමක් "වෘත්තීය" වූ යම් කටයුත්තක යෙදී මුදල් ඉපැයීම ගැනයි.

පරිගණක භාවිතයක් නොතිබුණු ඔය කාලයේ ගණක යන්ත්‍ර (කැල්කියුලේටර) භාවිතාවද එතරම් ප්‍රචලිතව තිබුණේ නැහැ. සමහර විට ලංකාවේ ගණක යන්ත්‍ර භාවිතය වුවත් ටිකෙන් ටික ප්‍රචලිත වෙන්න ඇත්තේ හැත්තෑ හතෙන් පසුව වෙන්න ඇති. මේ වයසේදී මට පොඩි පහේ ගණනක් නිවැරදිව මනසින් හදන්න පුළුවන්කම තිබුණා. උදාහරණයක් විදිහට ඉලක්කම් තුන හතරක ගණනක් ඉලක්කම් දෙකක ගණනකින් වැඩි කරමින් එකතුව හොයන එක වගේ පොඩි දෙයක්. සමහර විට මූලික මට්ටමේ ගණක යන්ත්‍රයක් තිබුණත් එයට වඩා ඉක්මණින් හා නිවැරදිව මනසින් පිළිතුර හොයා ගන්න පුළුවන්. ගණක යන්ත්‍රයට වරදින්නේ නැතත් ගණක යන්ත්‍රය භාවිතා කරන පුද්ගලයාට වරදින එක දුලබ දෙයක් නෙමෙයි. 

ඔය විදිහට මනසින් ගණන් හැදීමේ හැකියාව උපතින්ම ලැබුණු එකක් නෙමෙයි. ප්‍රගුණ කළ එකක්. එය පෙර භවයකින් හෝ අදෘශ්‍යමාන බලවේගයක උදවුවෙන් ලැබුණු දෙයක් කියා මම කවදාවත්ම විශ්වාස කළේ නැහැ. හැබැයි අඥේයවාදී ලෙස හිතා බැලුවොත් එවැනි සම්බන්ධයක් නොතිබුණු බව සහතික කර කියන්න පුළුවන්කමකුත් නැහැ. කොහොම හරි මේ හැකියාව අඩු වයසකදී අර්ධකාලීන රැකියාවක් කර යම් මුදලක් හොයා ගන්න උපකාරී වුනා. ඊටත් වඩා වැදගත් කරුණනම් ඔය හැකියාව එම අර්ධකාලීන රැකියාව තුළ දිගින් දිගටම භාවිතා කරද්දී අදාළ කුසලතාවය තව තවත් වර්ධනය වුනා. 

ඔය ආකාරයෙන්ම මම පෞද්ගලිකව මුහුණ දුන් තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමේ උපක්‍රමයක් විදිහට දිගින් දිගටම ප්‍රයෝජනයට ගැනීම නිසා මගේ මතක තබා ගැනීමේ කුසලතාවයත් කුඩා කාලයේදී හොඳින් වර්ධනය වුනා. ඔය හැකියාවන් දෙකම පාසැලේ අධ්‍යයන කටයුතු කරද්දී උපකාරී වුනා. මා මුහුණ දුන් බොහෝ විභාග වලට දවසකට හෝ දෙකකට පෙර සූදානම් වීමෙන් පසුව හොඳ ප්‍රතිඵල ලබා ගෙන තිබෙනවා. ඒ කියන්නේ, කලින් කාලයක් තිස්සේ හදාරා තිබුණු විෂයයක් විභාගයට පෙර දවසක් දෙකක් පුනරීක්ෂණය කළා කියන එක නෙමෙයි. සමහර වෙලාවට විෂයට අත ගැහුවේම විභාගයට දවසකට හෝ දෙකකට කලින්. 

ලංකාවේ ගොඩක් අය වගේම මමත් සෑහෙන කාලයක් හිතාගෙන හිටියේ විධිමත් අධ්‍යාපනයේ අරමුණ කිසියම් විභාගයක් සමත් වී අදාළ සහතිකය හෝ සුදුසුකම ලබා ගැනීම බවයි. ඒ නිසා, මට අවශ්‍ය නොවූ දේවල් හැදෑරීම සඳහා කාලය නාස්ති කරමින් එම දැනුම කාලයක් තිස්සේ ගබඩා කරගෙන තියා ගැනීමේ අරමුණක් මට තිබුණේ නැහැ. මම කළේ ධාරිත්‍රකයක් විද්‍යුත් ශක්තිය ගබඩා කරගෙන නැවත මුදා හරිනවා වගේ විභාගයට පෙර දිනයේ අවශ්‍ය දේවල් ගබඩා කරගෙන විභාගයෙන් පසුව විසර්ජනය කර දැමීමයි. අත්වැඩ, සරඹ, නැටුම්, සංගීතය වැනි කුසලතා මත පදනම් වූ විෂයයන් හැර අනෙක් විෂයයන්හිදී මේ උපක්‍රමය බොහෝ විට සාර්ථක වුනා.

සාමාන්‍ය පෙළ විභාගය මට මුල සිටම ලොකු අභියෝගයක් ලෙස පෙනුණේ නැහැ. මා උපකාරක පන්ති කිසිවකට ගියේ නැතුවාක් මෙන්ම ඇත්තටම කියනවානම් විෂයයන් වැඩි ප්‍රමාණයක් හා අදාළව පාසැලේ ගුරුවරුන්ගෙන්ද ඉගෙනගත් දෙයක් නැහැ. ඔවුන් බොහෝ විට කළේ පෙළ පොත් වල තිබෙන දෙයින් තෝරාගත් කොටසක් නැවත වමාරන එකයි. ඒ වමාරන දේ අභ්‍යාස පොතක පිටපත් කරගෙන නැවත කියවනවාට වඩා මුල් පෙළ පොතම කියවන එක වඩා කාර්යක්ෂම බව පහළ පන්ති වල සිටියදීම මට තේරී තිබුණා. සාමාන්‍ය පෙළ විභාගයේ විභාග ලකුණු තීරණය කරන්නේ විෂය භාර ගුරුවරයා හෝ ගුරුවරිය නොවූ නිසා ඔවුන්ව බයිපාස් කර යාමේ වාසියක් මිස කිසිම පාඩුවක් පෙනෙන්නට තිබුණේ නැහැ. එහෙත් වාර විභාග වලදී ලකුණු දෙන්නේ ඔවුන් නිසා ඔවුන්ව අමනාප කර නොගෙන සිටින්නටද සිදු වුනා. ඒ වගේම, විභාග වලට වැඩක් තිබුණත් නැතත්, ඇතැම් ගුරුවරුන්ගෙන් පෙළ පොත් වල නැති මා කැමති ආකාරයේ දැනුම්ද ලැබුණා. මට සාපේක්ෂව හොඳ ගුරුවරු වුනේ ඒ අයයි. මේ සමහර ගුරුවරු පොදු සම්මතය අනුව හරියට උගන්නන්නේ නැති ගුරුවරු විදිහට සැලකුණු අය.

සාමාන්‍ය පෙළ විභාගයේ අනෙකුත් සියලුම විෂයයන් මට අභියෝගයක් නොවූවත් විශාල අභියෝගයක් වූ එක් විෂයයක් තිබුණා. ඒ ඉංග්‍රීසි භාෂා විෂයයයි. මොන තරම් උත්සාහ කළත් ඉංග්‍රීසි භාෂා විෂය සඳහා විශිෂ්ඨ සාමාර්ථයක මට්ටමට යාම පහසුවෙන් කළ හැකි දෙයක් බව පෙනෙන්න තිබුණේ නැහැ. පෙළ පොත කියවා ඒ මට්ටමෙන් එහාට යන්න පුළුවන්කමක් නොතිබුණා වගේම, ඉංග්‍රීසි විෂය ඉගැන්වූ ගුරුවරියගෙන් ඊට වඩා ඉහළට යන්න උදවුවක් ලැබුණේත් නැහැ. වෙනත් විදිහකින් කිවුවොත්, ඉංග්‍රීසි භාෂා විෂය කියන්නේ මා සාමාන්‍ය පෙළ දක්වා උගත් විෂයයන් අතරින් මට බැරිම විෂයයයි. සම්මත පෙළ පොත් නොතිබුණු නිසා සාමාන්‍ය පෙළ විෂයයන්ට සාපේක්ෂව උසස්පෙළ විෂයයන්නම් හිතුවාට වඩා අමාරු වුනා. ඉංග්‍රීසි විෂය පිළිබඳ දැනුම වැඩි කරගැනීම සඳහා මම අනවරත උත්සාහයක නිරත වුනා. තවමත් නිරත වෙනවා.

මෙහෙම හිටපු මට රජයේ පූර්ණකාලීන ඉංග්‍රීසි උපගුරු පත් වීමක් ලැබුණා. මෙය වයස අවුරුදු නවයක වයසේ සිට අර්ධකාලීන රැකියා කරමින් සිටි මා නිරත වූ පළමු පූර්ණකාලීන රැකියාව නොවූවත්, ඒ වන විටත් මා වයසින් මෙන්ම ශරීර ප්‍රමාණයෙන්ද එතරම් පරිණතව සිටියේ නැහැ. සේවයට වාර්තා කිරීම සඳහා පාසැලට ගිය පළමු දින මුල් ගුරුතුමිය, අනෙක් ගුරුවරු හා සිසුන් ඇතුළු හැම දෙනෙක්ම හිතුවේ මා පාසැලට අලුතෙන් ඇතුළු වීමට පැමිණි සිසුවෙකු බවයි. මට වඩා දෙතුන් වසරකින් පමණක් බාල වූ ඇතැම් සිසුන් පෙනුමෙන් මට වඩා මුහුකුරා ගොස් සිටියා. ඉංග්‍රීසි ඉගෙන ගන්න කාලයක් තිස්සේ දැඩි උත්සාහයක් දරමින් සිටි මට ඉංග්‍රීසි භාෂාව හෝ ඉගැන්වීම පිළිබඳ කිසිදු පුහුණුවක් නොලබා ඉංග්‍රීසි උගන්වන්න සිදු වුනා. මා කළේ කණෙක් අන්ධයෙක්ට ඉගැන්වීමක් මිස අන්ධයෙක් කණෙක්ට ඉගැන්වීමක් නොවූ නිසා මගෙන් උගත් සිසුන් ගැන මට කණගාටුවක් නැහැ. අදටත් මා විධිමත් ලෙස හෝ අවිධිමත් ලෙස උගන්වන විෂයයන් පිළිබඳව මා දන්නා දේට වඩා නොදන්නා දේ ඉතා විශාලයි. ඒ දේවල් මා තවමත් ඉගෙන ගනිමින් ඉන්නවා. 

ඇමරිකාවට එන විට මගේ ඉංග්‍රීසි දැනුම ලංකාවේදී ඉංග්‍රීසි ඉගැන්වූ කාලයේ තිබුණු දැනුමට වඩා ගොඩක් වැඩි වුනත් එම දැනුමත් ඉතා සීමිත දැනුමක්. දැන් කියලාත් මහා ලොකු ඉංග්‍රීසි දැනුමක් නැහැ. ඒ දැනුම ඇමරිකාවට ප්‍රමාණවත්. හැබැයි මම ලංකාවේ හිටියානම් බොහෝ විට මගේ ඉංග්‍රීසි දැනුම ලංකාවට ප්‍රමාණවත් වෙන එකක් නැහැ. ඇමරිකාවේදී ඉංග්‍රීසි වරදින එක ලංකාවේදී තරම් ප්‍රශ්නයක් නෙමෙයි.

ඉංග්‍රීසි භාෂාව භාවිතයේදී මට අල්ලා ගන්න ගොඩක්ම අමාරු වූ දෙයක් වුනේ "the" භාවිතයයි. "the" දැමිය යුත්තේ හෝ නොදැමිය යුත්තේ මොන තැන් වලද? දැන් ඉංග්‍රීසියෙන් ලියද්දී පුරුද්ද නිසා බොහෝ විට හරියන නමුත් තවමත් මෙය වරදින එක දුලබ දෙයක් නෙමෙයි. සිංහලෙන් "table" හා "the table" අතර වෙනසක් නැහැ. ඒ නිසා, සිංහලෙන් හිතලා ඉංග්‍රීසියට පරිවර්තනය කරන කෙනෙකුට කාලයක් පුහුණු නොවී හරියට "the" යොදන එක අභියෝගයක්. ඉංග්‍රීසි නොවන වෙනත් ඇතැම් භාෂා මවු භාෂාව වූ අයට මේ ප්‍රශ්නය නැහැ. මවු භාෂාව සිංහල වූ අයට මෙය ප්‍රශ්නයක්. ලංකාවේ ඉපදුනත් ඉංග්‍රීසියෙන් හිතන අයට මෙය ප්‍රශ්නයක් නොවනවා වෙන්න පුළුවන්. සමහර විට මා තරම් අදක්ෂ නැති වෙනත් අයටත් මෙය අල්ලා ගැනීම මට මෙන් ප්‍රශ්නයක් වී නැතුව ඇති.

මෙහි තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාව නිවැරදිව භාවිතා කිරීම පිළිබඳ සරල ප්‍රශ්නයක් පමණක් නෙමෙයි. මෙය ඊට වඩා සංකීර්ණ ප්‍රශ්නයක්. ඉංග්‍රීසියෙන් "table" කියා කියන්නේ සිංහලෙන් "මේසය" කියන එක නෙමෙයි. මම මේ කියන්නේ උඩැක්කියක හැඩයක් තිබෙන ආසනයක් කෙනෙක් පුටුවක් සේ හඳුනා නොගන්නේයැයි නලින් ද සිල්වා මගේ ලෝකයේ කියපු දෙය නෙමෙයි. මම මගේ ලෝකය කියවා අවුරුදු තිස් ගණනක් වන නිසාත්, පොත දැන් මා ළඟ නැති නිසාත්, නලින් ද සිල්වා මෙය කිවුවේ මගේ ලෝකයේ කියන එක වැරදි වෙන්න පුළුවන්. ඒක ඒ තරම් වැදගත් කරුණක් නෙමෙයි.

ඉංග්‍රීසියෙන් "table" කියා කියන විට එයින් අදහස් වෙන්නේ වියුක්ත සංකල්පයක්. එහෙත්, සිංහලෙන් "මේසය" කියන එක සංයුක්ත අදහසක්. "මේසය" කියා කියන විට සිංහල බස මවුබස වූ අප බොහෝ විට එය තේරුම් ගන්නේ කිසියම් නිශ්චිත මේසයක් ලෙසයි. වෙනත් අයෙකුගේ හිතේ මැවෙන්නේ හෝ නොමැවෙන්නේ මොනවාද කියන එක මට දැනගන්න විදිහක් නැහැ. මට කරන්න පුළුවන් එය මගේ හිතේ මවා ගන්න පමණයි. මම හිතන විදිහට "මේසය" කියා කියන විට බොහෝ විට සිංහලයෙක්ගේ හිතේ මැවෙන්නේ නිශ්චිත මේසයක්. මේ නිශ්චිත මේසය ඉංග්‍රීසියෙන් "table" කියා හඳුන්වන්න බැහැ. එය "the table" විය යුතුයි.

මම මේ ඉදිරිපත් කරන අදහස සමහර විට මීට කලින් නලින් ද සිල්වා විසින් හෝ වෙනත් අයෙක් විසින් ඉදිරිපත් කර තිබෙන අදහසක් වෙන්න පුළුවන්. පහුගිය කාලයේ සිංහලෙන් ලියැවී තිබෙන බොහෝ දේ මා කියවා නැහැ. හැබැයි මේ ගැන වෙනත් කිසිවෙකු කතා කර තිබෙනු මම දැක නැහැ. වෙනත් කිසිවෙකු එවැන්නක් කියා තිබෙන බවක් කිසිවෙකු විසින් නොපෙන්වුවහොත් මෙය සලකන්න වෙන්නේ ඉකොනොමැට්ටාගේ අලුත් අදහසක් විදිහටයි. කැමති කෙනෙක්ට රෝයල්ටි ගෙවා හෝ නොගෙවා අදහස ප්‍රයෝජනයට ගත හැකියි. අප මීට පෙර ලියූ බොහෝ දේද වෙනත් අය මූලාශ්‍රය ගැන සඳහනක් පවා නැතිව භාවිතා කර තිබෙන නමුත් අප රෝයල්ටි ඉල්ලා නඩු දමා නැහැ. නැත්නම් මෝඩ අදහසක් බව පෙන්වා දිය හැකියි. කොහොමටත් අපි ලියන දේවල් හරියන්නේ ඉතාම කලාතුරකින්. ඒ හරියන්නෙත් බටහිර මැදිහත්වීමක් වුනොත් විතරයි. 

ඉංග්‍රීසියෙන් හිතන කෙනෙකුට සංයුක්ත අදහසක් හිතට එන්නේ "the table" ලෙස හැඳින්වුවොත් පමණයි. "table" ලෙස හැඳින්වුවොත් එන්නේ වියුක්ත අදහසක්. "table" කියා කියන්නේ ලෝකයේ කොහේවත් තිබෙන මේසයක් නෙමෙයි. එයින් අදහස් වන්නේ ලෝකයේ තිබෙන මේස ලෙස හඳුනාගන්නා සියලුම දේවල් වලට තිබෙන පොදු ගුණ සමුදායක්. මේ අදහස පහසුවෙන් සිංහලෙන් විස්තර කරන්න බැහැ. මේ අඩුපාඩුව නිවැරදිව හඳුනා නොගත්තොත් සිංහලයෙක්ට කවදාවත් ඉංග්‍රීසියෙන් "table" කියන අදහස ග්‍රහණය කර ගන්න බැහැ.

අපි බොහෝ දෙනෙක් ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගෙන තිබෙන්නේ වෙනත් විෂයයක් ඉගෙන ගන්න විදිහටයි. එහෙම නැති අයත් ඇති. මේසයට ඉංග්‍රීසියෙන් කියන්නේ "table" කියා අපි පොඩි කාලයේදීම ඉගෙන ගන්නවා. ටී-ඒ-බී-එල්-ඒ ටේබල් කියලා කටපාඩම් කරනවා. ඕක ටාබ්ලේ නොවී ටේබල් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් මතු වුනත්, ඒ ප්‍රශ්නයට විසඳුමක් කාගෙන්වත් නොලැබෙන හින්දා ඒක ඉංග්‍රීසි භාෂාවේ වැරැද්දක් කියලා හිත හදා ගන්නවා. එහෙම වැරදි නැති සිංහල භාෂාව ගැන ආඩම්බරයක් ඇති කර ගන්නවා. ඊට පස්සේ ඉතිං "table"නම් මේසයම තමයි. ඕක ඉස්සරහින් සමහර වෙලාවට සුද්දා "the" දාන්නේ ඇයි කියන එක අපට හිතා ගන්න බැහැ.

ඉංග්‍රීසියෙන් "table", "chair", "tree", "man" වගේ යෙදුම් යොදන්නේ වියුක්ත සංකල්ප විස්තර කරන්න. මේ වචන වල තේරුම සිංහලෙන් මේසය, පුටුව, ගහ, මිනිහා කියන එකම නෙමෙයි. ගහ කියා කියූ විට සිංහලයෙක් හිතා ගන්නේ නිශ්චිත ගහක් ගැන මිසක් සියලුම ගස් වල පොදු ගුණාංග වල එකතුවක් ගැන නෙමෙයි. ඉංග්‍රීසියෙන් "tree" කියා කියන්නේ මේ පොදු ගුණාංග ටිකට. ඒ පොදු ගුණාංග ටික චිත්තරූපයක් විදිහට හිතින් මවා ගන්න බැහැ. අපට පුළුවන්කම තියෙන්නේ ඔය පොදු ගුණාංග තිබෙන සියලුම සාමාජිකයින් අතරින් එක් සාමාජිකයෙක්ව හෝ සාමාජිකයින් කිහිප දෙනෙක්ව චිත්තරූප විදිහට හිතෙන් මවා ගන්නයි. ගණිතයේ භාෂාවෙන් කිවුවොත් "tree" කියන වියුක්ත අදහස සමඟ ආසන්න ලෙස සමපාත කළ හැකි සියලුම සාමාජිකයින් ඇතුළත් සර්වත්‍ර කුලකයේ එක් සාමාජිකයෙකු හෝ සාමාජිකයින් කිහිප දෙනෙක්ව හිතෙන් මවා ගන්න.

මේ විදිහට අපි හිතින් මවා ගන්නේ එක්කෝ අපි කවදා හෝ දැක තිබෙන එක් නිශ්චිත ගහක චිත්තරූපයක්. එහෙම නැත්නම් අපි කවදා හෝ දැක තිබෙන ගස් වල ලක්ෂණ ඇසුරෙන් හිතින් මවා ගන්න එක් නිශ්චිත ගහක චිත්තරූපයක්. ඒ කියන්නේ "tree" කියන වියුක්ත අදහස අපිට හිතෙන් මවා ගන්න පුළුවන් වෙන්නේ එක්කෝ "the tree" එකක් විදිහට. එහෙම නැත්නම් "a tree" එකක් විදිහට. දැන් මේ "a tree" කියන අදහස "ගහක්" ලෙස පහසුවෙන් සිංහලට පරිවර්තනය වන නිසා සිංහලයෙක්ට මේ අදහස තේරුම් ගන්න අමාරුවක් නැහැ. කොයි ගහද කියලා දන්නේ නැහැ. මොකක් හරි ගහක්. අර කියන්නේ නමනම් දන්නේ නැහැ. හැබැයි මනුස්සයෙක්.

අවුල තියෙන්නේ "the tree" සහ "tree" වෙන් කර ගන්න යන කොට. මිහිඳු හිමි තිස්ස රජුගෙන් "මේ ගස කුමක්ද?" කියා අසන විට ඒ අසන්නේ නිශ්චිත ගසක් ගැනයි. මිහිඳු හිමි මේ ප්‍රශ්නය ඇහුවේ මොන භාෂාවෙන්ද කියා මම නිශ්චිතව දන්නේ නැහැ. වත්මන් සිංහල භාෂාවෙන් වෙන්න බැහැ. කොහොමටවත්ම ඉංග්‍රීසි භාෂාවෙන්නම් වෙන්න බැහැ. මහින්දාගමනය සිදු වුනේ වත්මන් කාලයේදීනම් ඔය ප්‍රශ්නය ගොඩක් වෙලාවට අහන්න ඉඩ තිබුණේ ඉංග්‍රීසි භාෂාවෙන්. එහෙම වුනානම් ප්‍රශ්නය මොන වගේ එකක් වෙයිද?

ආමන්ත්‍රණ කොටස ඉවත් කළොත්, සමහර විට "What is this tree?" වගේ එකක් වෙයි. මෙහි "tree" කියන එක වියුක්ත අදහසක්. සිංහල අදහස "ගස" කියන එක. ප්‍රශ්නය අහන කොටසම මිහිඳු හාමුදුරුවෝ මේ ගස "ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගෙන. තිස්ස රජුගෙන් අහන්නේ ඒ නිශ්චිත සාමාජිකයා කවුද කියලයි.

තිස්ස රජු හෝ ඔහුගේ භාෂා පරිවර්තකයා ඔය ප්‍රශ්නයට ඉංග්‍රීසියෙන් මොන විදිහට පිළිතුරු දෙයිද? "This is a mango tree" විදිහට පරිවර්තනය කළොත් මෙහි "a" යෙදුමෙන් අවිනිශ්චිත බවක්, නොදැනුමක් අවධාරණය වෙනවා. සිංහලෙන් අපි "ක්" එකතු කරන්නේ මේ නොදැනුම හඟවන්න. "මෙය අඹ ගසක්."

මේ පිළිතුර නිශ්චිත පිළිතුරක් නෙමෙයි. එහෙත් එම පිළිතුරෙන් අවිනිශ්චිතතාවය අඩු කරනවා. හරියට කෝවිඩ් වලට එන්නතක් ලබා ගත්තහම වගේ. "ගස" කියන අදහස වගේම "අඹ ගස" කියන අදහසත් වියුක්ත අදහසක්. මිහිඳු හාමුදුරුවෝ මේ ගස "ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගෙන ප්‍රශ්නය ඉදිරිපත් කරද්දී තිස්ස රජු එම ගසම "අඹ ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගන්නවා. ඒ හැර මේ නිශ්චිත ගස කුමක්ද කියන ප්‍රශ්නයට තිස්ස රජු විසින් පිළිතුරක් දෙන්නේ නැහැ. 

"හිමියනි, මේ ගස අපගේ දීර්ඝකාලීන කල්‍යාණ මිත්‍ර, ඔබ වහන්සේගේ පියාණන් වූ අශෝක රජුගේ රුක් රෝපණ සංකල්පය අනුව, මගේ විධානයෙන්, අමාත්‍ය සේනයන්ගේ මෙහෙයවීමෙන්, සිටුවර පරාක්‍රමයන්ගේ ධන පරිත්‍යාගයෙන් හා ගම් වැසියන්ගේ ශ්‍රම දායකත්වයෙන් මීට වසර කිහිපයකට පෙර මගේ පියා වූ මුටසීව රජුගේ අතින් රෝපණය කරනු ලැබූ අඹ පැලයක්." වගේ පිළිතුරක් දුන්නානම් එසේ පිළිතුරු දෙන්නේ මේ ගස නිශ්චිතව හඳුනාගෙන. එහෙත්, තිස්ස රජුට මේ ගස තවත් එක් අඹ ගසක් මිස සුවිශේෂී නිශ්චිත අඹ ගසක් නෙමෙයි. තිස්ස රජු මේ අඹ ගස නිශ්චිත ලෙස හඳුනා ගන්නේ නැහැ. 

තිස්ස රජු මේ අඹ ගස නිශ්චිත ලෙස හඳුනා ගන්නේ නැතත් එය අඹ ගසක් ලෙස හඳුනා ගන්නවා. ඒ කියන්නේ මේ ගස "ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගන්නවාට අමතරව "අඹ ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙසද හඳුනා ගන්නවා. "අඹ ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස "ගස" ලෙස හඳුන්වන වියුක්ත අදහස සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගත හැකි තවත් වියුක්ත අදහසක්. මේ උදාහරණයෙන් පැහැදිලි වන පරිදි, කිසියම් වියුක්ත අදහසක් සමඟ ගැලපිය හැකි සාමාජිකයින්ගෙන් අයෙක් ලෙස හඳුනා ගන්නා දේ අතර වෙනත් වියුක්ත අදහස්ද තිබිය හැකියි. ඇතැම් විට වියුක්ත අදහස් පමණක්ම වුවත් තිබිය හැකියි.

යමෙකුට "ගස" හෝ "අඹ ගස" කියන වියුක්ත අදහස් චිත්තරූප ලෙස හිතේ මවාගන්න පුලුවන්ද? එය කළ නොහැකියි. අපට හිතෙන් මවා ගත හැක්කේ සැබෑවටම පවතින හෝ නොපවතින නිශ්චිත ගසක්. එහෙත් අවශ්‍යනම් අපට ගතික චිත්තරූපයක් හෝ චිත්තරූප කිහිපයක් හිතෙන් මවාගෙන මේ වියුක්ත අදහස් තේරුම් ගන්න උත්සාහ කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට "ගස" කියන වියුක්ත අදහස සමඟ අප දැක තිබෙන අඹ ගසක් අපට මතක් වෙනවා. ඒ එක්කම මේ අඹ ගස ගතික ලෙස පොල් ගහක්, කොස් ගහක් ආදී වශයෙන් සෑම ක්ෂණයකදීම වෙනස් වෙනවා. එහෙමත් නැත්නම් විවිධ ගස් තිබෙන කැලෑවක චිත්තරූපයක්. අපි මේ ගස් සියල්ල දෙස සමස්තයක් ලෙස බලමින් "ගස" කියන වියුක්ත අදහස තේරුම් ගන්නවා. හැබැයි ඔය වගේ අනුමාන කරන්න වෙන්නේම චිත්තරූප ඇසුරෙන් අදහසක් තේරුම් ගන්න යනවානම් පමණයි. අපට "ගස" කියන වියුක්ත අදහස හිතේ මවාගන්න චිත්තරූපයක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වන්නේ නැහැ. උපතේ සිට කිසි දිනක ඇස් නොපෙනුණු අයත් ඉතා හොඳින් ලෝකය තේරුම් ගන්නවා. එවැනි අයෙකුගේ හිතේ ඇස් පෙනෙන අයෙකු දකින ආකාරයේ චිත්තරූප මැවෙන්න විදිහක් නැහැ. 

"මේ අඹ ගස හැර තවත් අඹ ගස් තියෙනවා ද?"

"ඇත, ස්වාමීනි."

"ඒ අඹ ගස් හැර තවත් ගස් තියෙනවා ද ?"

"ඇත ස්වාමීනි..බොහෝ ඇත."

"ඒ ගස් සියල්ල හැර තවත් ගස් තියෙනවා ද ?"

"ඇත ස්වාමීනි..ඒ මෙම අඹ ගසයි."

මෙහි අවසාන පියවර දක්වාම තිස්ස රජු විසින් කිසිම ගසක් නිශ්චිත ලෙස හඳුනාගෙන නැහැ. තිස්ස රජු දන්නේ "ගස" හා "අඹ ගස" කියන වියුක්ත සංකල්ප ගැන පමණයි. ඒ ගස් කිසිවක් තිස්ස රජුගේ මනසේ මිස මහ පොළොවේ නැහැ (nowhere). නමුත්, අන්තිමට "ඇත ස්වාමීනි" කියා කියන්නේ මේ දැන් මේ මෙතැන (now,here) තිබෙන අඹ ගසක් ගැනයි. ඒ අඹ ගසත් ඇත්තටම තිබෙන එකක්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. ඉංග්‍රීසියෙන්නම් ඔය මැද කොමාවේ වෙනසනේ. කොහොම වුනත් අනෙක් සියලුම ගස් වියුක්ත සංකල්ප පමණයි. ප්‍රශ්න වටය අවසානයේදී නිශ්චිත අඹ ගසක් දැන්, මෙතැන තිබෙන බව තිස්ස රජු දකිනවා. රහත් වී සිටි මිහිඳු හිමිටනම් එතැන අඹ ගසක් නැති බව පෙනෙන්න ඇති. 

මේ ප්‍රශ්න වටය අවසානයේදී තමන් විසින් මෙහි දකින අඹ ගස සැබෑවටම තිබෙන අඹ ගසක් සේ දකින්නට හෝ පෙනෙන්නට හේතු වෙන ක්‍රියාවලිය ගැන අදහසක් තිස්ස රජුට ඇති වුනාද නැද්ද කියා මම දන්නේ නැහැ. මිහිඳු හිමි විසින් පළමු ප්‍රශ්නය අසද්දී තිස්ස රජුට මෙහි දැන් තිබෙන නිශ්චිත අඹ ගස පිළිබඳව සුවිශේෂී වූ දැනුමක් තිබුණේ නැහැ. ඒ නිසා, එය ඔහුට තවත් එක් අඹ ගසක් පමණයි. අඹ ගසක් පෙර කවදාවත් දැක නොතිබුණානම් තිස්ස රජුට මේ ගස තවත් ගසක් පමණයි. එහෙම වුනානම් පිළිතුරු දෙන්න වෙන්නේ "නමක් ගමක්නම් දන්නේ නැහැ. හැබැයි ගහක්" කියලයි.

ගස වගේම අඹ ගසත් වියුක්ත සංකල්ප. ඒ වියුක්ත සංකල්ප වලට හේතුව දැනුමයි. අඹ ගස ගැන දැනුමක් නැත්නම් මනසේ අඹ ගසක් හැදෙන්නේ නැහැ. ගස ගැන දැනුමක් නැත්නම් මනසේ අඩු වශයෙන් ගසක් හෝ නැහැ. අඹ ගස හෝ ගස දකින්න උදවු වෙන්නේ දැනුමයි. එහෙත් දැන් මෙතැන තිබෙන නිශ්චිත අඹ ගසක් පිළිබඳව එවැනි දැනුමක් තිස්ස රජුට නැති නිසා එය ඔහු දෑසින් දැක්කත් එම අඹ ගස පිළිබඳ නිශ්චිත හෝ වියුක්ත සංකල්පයක් ඔහුගේ මනසේ නැහැ. ඒ නිසා, තිස්ස රජු මිහිඳු හිමිගේ පළමු ප්‍රශ්නයට පිළිතුරු දෙන අවස්ථාවේදී එම අඹ ගස නිශ්චිත අඹ ගසක් ලෙස දකින්නේ නැහැ.

මෙහි දැන් තිබෙන අඹ ගස තිස්ස රජු මීට පෙර දැක හඳුනාගෙන නැහැ. ඒ නිසා, මිහිඳු හිමි විසින් පළමු ප්‍රශ්නය අහන විට තිස්ස රජුට එම අඹ ගස ගැන නිශ්චිත දැනුමක් නැහැ. ඔහුට පුළුවන්කම තිබෙන්නේ තමන්ගේ දැනුම උපයෝගී කරගෙන "ගස" කියන වියුක්ත අදහස ඇතුලේ තිබෙන අවිනිශ්චිතතාවය "අඹ ගස" දක්වා අඩු කිරීම පමණයි. සාමාන්‍යයෙන් දැනුම ලබා ගැනීමේ ක්‍රියාවලිය කියන්නේ මෙයයි. 

දැනුම වැඩි වැඩියෙන් ලබා ගනිද්දී අපට වඩා අවිනිශ්චිත දේ අඩුවෙන් අවිනිශ්චිත සේ පෙනෙන්නට ගන්නවා. ඒ සමඟම අපට වඩා හොඳින් ලෝකය තේරුම් ගැනීම සඳහා වඩ වඩා දැනුම ලබා ගැනීමේ ලෝභයක් ඇති වෙනවා. ඒ අනුව අප වැඩි වැඩියෙන් දැනුම සොයා යනවා. අප එකිනෙකා විසින් සොයා යන දැනුම වගේම දැනුම සොයා යන ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. එහෙත් අපි කවුරුත් අපේම ක්‍රමයකට නිරන්තරයෙන් දැනුම සොයා යනවා. මෙය එක් ආකාරයක තණ්හාවක්.

මේ ක්‍රියාවලිය නවතින්නේ කොහොමද? යමෙක් යමක් නිශ්චිත සේ දැනගත් බව "දැනගත්" වහාම තවදුරටත් දැනුම සොයා යාමේ ලෝභය තුනී වී යනවා. සමස්තයක් ලෙස නෙමෙයි. යම් නිශ්චිත කරුණක් හා අදාළව. උදාහරණයක් විදිහට යම් කෙනෙකුට වියලි කැස්සක් හැදුනහම ඒ කෝවිඩ්ද කියා සැකයක් ඇති වෙනවා. මේ අවිනිශ්චිතතාවය විසින් දැනුම සොයා ගොස් අවිනිශ්චිතතාවය අඩු කර ගැනීමේ ලෝභයක් ඇති වෙනවා. මේ කාරණාවේදී දැනුම තිබෙන්නේ පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵලය. 

පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය පරම සත්‍යයක් ලෙස විශ්වාස කරන අයෙකු විසින් තමන් නෙගටිව්ද පොසිටිව්ද කියා දැනගත් වහාම එම පුද්ගලයාට සාපේක්ෂව නොදැනුම නැති වී යනවා. දැන් තමන්ට කෝවිඩ් තිබෙන බව හෝ නොතිබෙන බව නිශ්චිතවම දන්නා නිසා තවදුරටත් අවිනිශ්චිත භාවයක් නැහැ. අවිනිශ්චිතතාවය අඩු කර ගැනීම සඳහා දැනුම සොයා යාමේ ලෝභයක් නැහැ. නමුත්, පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය සැක කරන අයෙකුගේ අවිනිශ්චිතතාවය අඩු වනවා මිස නැති වෙන්නේ නැහැ. ඒ නිසා, දැනුම සොයා යාමේ ලෝභයත් අඩු වෙන්නේ නැහැ.

පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලය පරම සත්‍යයක් ලෙස විශ්වාස කරන අයෙකුගේ ලෝභය කෙළවර වන්නේ මෝහයකින්. තමන්ගේ නොදැනුම පිළිබඳ සැකය දුරු වූ වහාම දැනුම සොයා යාමේ ලෝභය අවසන් වී එය මෝහයක් බවට හැරෙනවා. වැඩිපුර සැක නොකරන කෙනෙක් ඉතා පහසුවෙන් හැම දෙයක්ම "දැන ගන්නවා". දිගින් දිගටම සැක කරන පුද්ගලයා දිගින් දිගටම දැනුම සොයා යනවා. යම් දැනුමක් නිශ්චිත දැනුමක් සේ හඳුනාගත් වහාම අදාළ කරුණ පිළිබඳව දැනුම සොයා යාමේ ලෝභය මෝහයක් බවට හැරෙනවා දැනුම කියන දෙයම සැක කරන්නට පෙළඹෙන තුරු දැනුම සොයා යාමේ ලෝභය අවසන් වන්නේ නැහැ.

"ඒ ගස් සියල්ල හැර තවත් ගස් තියෙනවා ද ?"

"ඇත ස්වාමීනි..ඒ මෙම අඹ ගසයි."

පළමු ප්‍රශ්න වටය අවසන් වී, ලෝකය වටේ ගොස් ආපසු මුලින් පටන් ගත් අඹ ගස ළඟටම එන විට තිස්ස රජුට හමු වන්නේ කලින් දැන සිටි අඹ ගසක්. පළමු ප්‍රශ්නය අසද්දී එම අඹ ගස ගැන සුවිශේෂී දැනුමක් නොතිබුණත් දැන් එවැනි දැනුමක් තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් කියනවානම් පළමු ප්‍රශ්නය අහද්දී තිස්ස රජු ඉදිරියේ තිබුණේ "a mango tree" එකක් වුවත් දැන් එහි තිබෙන්නේ "the mango tree" එකක්. එම නිශ්චිත අඹ ගස පිළිබඳ සංකල්පයක් ඒ වෙද්දී තිස්ස රජුගේ මනසේ තිබෙනවා. අවසන් ප්‍රශ්නයට පිළිතුරු දෙන විට ඔහු දකින්නේ තමන්ගේ මනසේ තිබෙන නිශ්චිත අඹ ගසක්. තිස්ස රජුගේ මනසේ කලින් නොතිබුණු දැනුමක් වූ එම නිශ්චිත අඹ ගස පිළිබඳ දැනුම අලුත් සංකල්පයක් ලෙස ඔහුගේ මනසේ පැලපදියම් වීමෙන් පසුව ඔහුට එම දැනුම පිළිබඳව තවදුරටත් සැකයක් නැහැ. එය පරම සත්‍යයක්, ඇත්තටම පවතින දෙයක් බවට පත් වෙනවා. 

දෙවන ප්‍රශ්න වටයත් මේ විදිහටම යනවා. මුල් වටය නිශ්චිත අඹ ගහකින් අවසන් වුනා වගේම දෙවන වටය "මම" නම් වූ නිශ්චිත පුද්ගලයාගෙන් අවසන් වෙනවා. අර නිශ්චිත අඹ ගහ වගේම දැන් නිශ්චිත පුද්ගලයෙක් ඉන්නවා. නිශ්චිත අඹ ගහ ගැන දැනුමක් තිස්ස රජුට කලින් තිබුණේ නැතත්, මමනම් වූ පුද්ගලයා ගැන නිශ්චිත දැනුමක් තිස්ස රජුට මුල සිටම තිබෙනවා. පළමු වටයේ පළමු ප්‍රශ්නයට අනුරූප ප්‍රශ්නයක් දෙවන වටයේදී මිහිඳු හිමි විසින් අහන්නේ නැත්තේ ඒ නිසයි. පළමු වටයේදී මෙන් දෙවන වටයේදී තිස්ස රජු විසින් "මම"නම් වූ පුද්ගලයා පිළිබඳව අලුත් දැනුමක් සංස්කරණය කර ගන්නේ නැහැ. මමනම් වූ පුද්ගලයෙකු ඇත්තටම සිටින බව තිස්ස රජුගේ දැනුමක්. එහෙමනම් මේ දෙවන වටයේ තේරුම කුමක්ද?

මිහිඳු හිමිගේ ප්‍රශ්න ගැන නලින් ද සිල්වාගේ ප්‍රචලිත ප්‍රවාදයක් තිබෙනවා. ඒ නිසා, නලින් ද සිල්වා ඉල්ලුවේ නැතත්, නලින් නැට්ටන් මිහිඳු හිමිගේ ප්‍රශ්න ගැන කතා කිරීම වෙනුවෙන් රෝයල්ටි ඉල්ලන්න පුළුවන්. ධර්මසේන හිමි වෙනුවෙන් එහෙමත් ඉල්ලයිද දන්නේ නැහැ. මම කියන කතාව නලින් ද සිල්වාගේ කතාව නෙමෙයි. එයට විරුද්ධ කතාවකුත් නෙමෙයි. එයට සම්බන්ධයක් නැති වෙනම කතාවක්.

තමන් යමක් හරියටම දන්නවා කියන අදහස ඇතුළේ හැම විටම වගේ තිබෙන්නේ මුලාවක්. මම කියන පුද්ගලයා ඇත්තටම ඉන්න බව තිස්ස රජු දන්නවා. ඒ පිළිබඳව තිස්ස රජුට කිසිම සැකයක් නැහැ. එවැනි කෙනෙක් ඇත්තටම සිටිනවාද කියන එක ගැන තිස්ස රජු තුළ සැකයක් ඇති කරන්න මිහිඳු හිමිට අවශ්‍යයි. මම කියන අදහසම මුලාවක් බව පැහැදිලි කරන්න අවශ්‍යයි. එහෙත් එය පහසු වැඩක් නෙමෙයි. ඒ නිසා මිහිඳු හිමි වඩා පහසු අඹ ගහෙන් පටන් ගන්නවා. පළමු ප්‍රශ්න වටය අවසන් වෙද්දී තිස්ස රජුගේ මනසේ නැති අඹ ගහක් ඇති අඹ ගහක් බවට පත් වෙනවා. මේ ගැන තිබෙන දැනුම එක්ක මම කියන පුද්ගලයා හැදුනේත් මේ විදිහටම වෙන්න බැරිද කියන සැකය මිහිඳු රජුට ඇති වෙන්න පුළුවන්. එවැන්නක් ඒ වෙලාවේම වුනාද නැද්ද කියා මම දන්නේ නැහැ.

සිංහල භාෂාව තුළ නිශ්චිත ගහක් හා ගහ කියන වියුක්ත අදහස වෙන් කර හඳුනාගත හැකි නිශ්චිත ක්‍රමයක් නැහැ. ඒ වෙනස හඳුනාගන්න වෙන්නේ භාෂාව භාවිතා කිරීමෙනුයි. ගහ කියා කියන්නේ ඔය දෙකෙන් කුමක් හෝ වෙන්න පුළුවන්.

"ගහ කපන්නයි ආවේ" කියලා කවුරු හරි කියන කොට මේ කියන්නේ ටික දවසකට කලින් ඇවිත් කපලා දමන්න කියපු නිශ්චිත ගහක් ගැන බව අහන කෙනා බොහෝ විට දන්නවා. දන්නේ නැත්නම් "මොන ගහද?" කියලා අහයි. එහෙම අහන්නේත් මේ අහන්නේ කුමක් හෝ නිශ්චිත ගහක් ගැන බව දන්නා නිසා. එසේ වුවත්, "ගහ දන්න කෙනාට කොළ කඩා පාන්න එපා" කිවුවහම කවුරුවත් "මොන ගහද?" කියලා අහන්නේ නැහැ. මේ කියන්නේ ගහ කියන වියුක්ත සංකල්පය ගැන මිසක් නිශ්චිත ගහක් ගැන නොවන බව අහන පුද්ගලයා දන්නවා.

සමහර වෙලාවට වචන භාවිතය එකම වෙන්නත් පුළුවන්. කවුරු හරි "මනුස්සයා අන්තිම භයානක සතෙක්!" කියා කිවුවොත් ඒ කියන්නේ කවුරු හරි නිශ්චිත මනුස්සයෙක් ගැන වෙන්න පුළුවන් වගේම මනුස්සයා කියන වියුක්ත අදහස ගැන වෙන්නත් පුළුවන්. මේ ප්‍රකාශය කරන්නේ ධර්ම දේශනාවකට හරි වෙනත් දේශනාවකට හරි සවන් දුන්නට පස්සේනම් ඔය කියන්නේ "මනුස්සයා" කියන වියුක්ත අදහස ගැන වෙන්න පුළුවන්. එහෙත්, මේ ප්‍රකාශය කරන්නේ කවුරු හරි මනුස්සයෙක් ගෙදර ඇවිත් ආපහු ගියාට පස්සේනම් ඔය කියන්නේ ඒ මනුස්සයා ගැනයි. 

ඉංග්‍රීසි භාෂාවේ මේ පැටලිල්ල නැහැ. එක්කෝ "man". නැත්නම් "the man". භාෂාවේ ඔය අවුල නැති නිසා ඉංග්‍රීසි භාෂාව මුල් බස වූ අයෙක් වියුක්ත සංකල්ප හා සංයුක්ත නිරීක්ෂණ පටලවා ගන්නේ අඩුවෙන්. සිංහලයින්ට වියුක්තව හිතන්න අමාරු වෙන්න පොදුවේ ආගමට හෝ සංස්කෘතියට වඩා භාෂාවේ මේ අවුල බලපානවා. 


26 comments:

  1. ඉකොනොමැට්ටාට අද මා ඩෙන්මාර්කය ගැන කියන්නම්, මෙහෙම රටවල් ලෝකයේ තියෙනවද කියල දැනගන්නත් එක්ක, මොකද ලංකාවෙ ඉඳලා ඕස්ට්‍රේලියාවට නැත්නම් එංගලන්තෙ හරි ඇමරිකානු එක්සත් ජනපදයට යන හුඟ දෙනෙක් හිතන්නෙ එහෙම සමාජක්‍රමයක් ප්‍රායෝගික නැහැ කියල.

    සැබැවින්ම ඩෙන්මාකය කියන්නෙ ලංකාවට වඩා කුඩා සමස්ථ භූමි ප්‍රමාණයක් තියෙන , ප්‍රධාන විශාල දූපත් 4 කින් සහ තවත් මධ්‍යම සහ කුඩා සියළු දූපත් 408 ක් තියෙන රටක් වුණත් ඩෙන්මාර්කයට කිසිම ස්වභාවික සම්පතක් නැහැ එහි ඉතාම සරු ලංකාවෙ නුවරඑළියෙ වගේ කළු පැහැති පස හැරුණ කොට.

    භූ විෂමතා ලක්ෂණ අනුව ඩෙන්මාර්කය තරමක උස් පහත් බිම් හැර දළ වශයෙන් ඉතාම පැතලි රටක්.. ඒ කියන්නෙ ලංකාවේ වගේ කැත කඳු , නිම්න , දියඇලි වගේ විගඩම් නැහැ.. නමුත් රටේ හැම තැනම හරිම නීට් 100% මනා පිළිවෙලට නඩත්තු කරල මාරම මාර පට්ට ලස්සන රටක්. කොටින්ම නුවරඑලියෙ වැව අයිනටත් වඩා දහස් ගුණයක් සුපිරි වගේ.. හැම තැනම එකම හැඩති ගස් වලින්, විදුලි පහන් වලින් සහ මනා නඩත්තුවෙන් සුන්දර කරල.. ඩෙන්මාර්ක් වල කොහේ ගියත් එකම විදියට මාර සුන්දරත්වයක් තියෙනවා.
    මේ ඩෙන්මාර්කයේ අගනුවර කොපන්හේගන්, සෙසු සියළුම නගර එකම ප්‍රමාණයට දියුණුයි.. හැම නගරයකකම තියෙන ප්‍රධාන වෙලඳ සැල් එකම වර්ගයේ.. රටේ කොයි නගරයට ගියත් ප්‍රධාන වශයෙන් තියෙන්නෙ එකම වෙලඳසැල් ජාලයක්.. අවශේෂ වෙලඳසැල් තියෙන්නෙ ඉතාම අඩුවෙන්..එයට එක හේතුවක් ඩෙන්මාක් ජාතිකයන් වෙලදාම් කරන්න තියෙන කැමැත්ත ඉතාම අඩුයි. ඔවුන් කැමති රැකියා කරන්න සහ ගොවිතැනට.

    හැබැයි ඩෙන්මාකයෙ ෂොපින් කරන්න කොයි නගරයට ගියත් කිසිම වෙනසක් නැහැ.

    ඩෙන්මාර්ක් නිවාස තියෙන්නෙ බොහෝ දුරට නගරය ආශ්‍රිතව. නගරයෙන් 3-4 km ගිය තැන ඉඳල ඊලඟට තියෙන්නෙ ගොවි බිම්..
    මෙහි බොහෝ ගෙවල් හරිම කුඩායි. විශාල ගෙවත්තක් සහ කාමර දෙක තුනක් සහ එක නාන කාමරයක් සහිත ලස්සන කුඩා ගෙවල්.. ලංකාවේ වගේ මහා විශාල නිවාස ඉතාම අඩුයි.. ඒ වගේම තට්ටු නිවාස වල ජීවත් වෙන අයත් ඉන්නවා.. නමුත් සැලකිය යුතු ප්‍රමානයකට තමන් නගරයේ ජීවත්වන නිවසට අමතරව කැලෑවක මුහුදු අයිනක හෝ ගොවි බිමක පිහිටි කුඩා සරල සමර් (ගිම්හාන) නිවසකුත් තියෙනවා නිවාඩුවට යන්න. ඒ වගේම තමන්ටම ලොකු බෝට්ටුවක් විනෝදයට මුහුදු යන්න තියෙන අයත් බොහෝයි.

    ඔය වගේ අතිවිශිෂ්ට දේවල් ගොඩාරියක් අතරේ අතිවිශේෂම දෙය ඩෙන්මාකයේ තියෙන සමානාත්මතාවය. මුලින්ම ඩෑනිෂ් භාෂාව ඉගෙන ගනිද්දි අපිට මුලින්ම ඉගැන්නුව වචනය ligehed /සමානාත්මතාවය.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඩෙන්මාර්ක් රටේ ඔය ලංකාවේ නැත්නම් ඕස්ට්‍රේලියාවේ වගේ Mr. Mrs. Dr. Madam . Sir . ගරු. (Hon) වැනි යෙදුම් මොනම අවස්ථාවකවත් පාවිච්චි කරන්නෙ නැහැ. ලියුම් කවරයක ලිපිනයක් ලියන්නවත් භාවිතා කරන්නෙ නැහැ. කිසිම රැකියා ප්‍රධානියෙකුට හෝ පාසැල් ගුරුවරයෙතුටවත් සර් මැඩම් කියල අමතන්නෙ නැහැ. හැම කෙනෙකුටම අමතන්නෙ මුල් නමින් පමණයි. නොදන්න නොහදුනන කෙනෙකුට පවා ලිපි ශීර්ෂයක අමතන්නෙ ආදරණීය .... ඊලඟට මුල් නම .. පමණයි. රටේ නායකයට පවා මුල් නම පමණයි.
      ඔබ කියයි ගුරුවරුන්ට ගරු නොකර කොහොමද ලමයි හැදෙන්නෙ.. නැහැ .. මෙහි ගුරුවරු සහ ලමයි අතර තියෙන්නෙ පුදුම ආදරණීය බැඳීමක්.. බය නැති, නීති රෙගුලාසි වලින් යටපත් නොවුන දරුවො පාසැලෙන්ම ස්වයං විනය පුහුණු වෙනව.

      ඒ වගේම වැඩිහිටියන්ට හා සමාන ගෞරවයක් දරුවන්ට දක්වන නිසා ඔවුන්ගෙ පෞර්ෂවය ඉහලයි. උදාහරණයට ප්‍රතිකාර ගන්න මගේ ලඟට මව හෝ පියා සමඟ කුමන වයසක දරුවෙක් ආවත් මම මුලින්ම ආචාර කරල මාව හදුන්වල දෙන්නෙ දරුවට.. ඕනෑම තැනකදි කවුරුත් එහෙමයි.

      ඩෙන්මාර්ක් වල රාජකාරි ස්ථානයකදි අපි කවුරුත් එක සමානයි. රෝහල පිරිසිදු කරන්නා, රෝගීන් ඇතුළු හැමෝම විශේෂඥ වෛද්‍යවරයාට පවා නමින් කතා කරන්නෙ.. කවුරුත් කෑම කන්නෙ එකම කැන්ටිමේ..රෝහලේ නිල ඇඳුම් ගබඩාවෙන් ගන්න එකම නිල ඇඳුම අදින්නෙ... වෛද්‍යවරු විතරක් තමන්ගෙ ආම්පන්න දාගන්න අර නිලඇඳුමටම තව දිග වෛද්‍ය කබාය අඳිනව.

      කොයි කාර්යාලයේත් මේ විදියමයි.
      මිනිස්සු අතර තියෙන මේ සමානාත්මතාවය නිසාම සෑම සේවකයෙකුට ඉහල පෞර්ශවයක් තියෙනවා වගේම සෑම රැකියාවකටම ගෞරවයකුත් ලැබෙනවා. "කරුණාකර මෙය කර දෙන්න " කියල ඉල්ලමක් විනා අණ දීමක් කිසිවිටෙකත් කිසිවෙකුට රාජකාරියෙදි ලැබෙන්නෙ නැහැ.. හැබැයි එවැනි ඉල්ලීමකට "හා මම බලන්නම්" කියන්නත් ඔබට බැහැ. මොකද එය ව්‍යංග අණක්.

      ඩෙන්මාර්කයේ සමාන ආදායම් බෙදීයාමේ ක්‍රමවේද අනුව සෑම රැකියාවකටම දළ වශයෙන් සමාන වැටුපක් ලැබෙන්නේ.. සමහර රැකියා සඳහා යම් තරමක ඉහල වැටුපක් තියෙනව තමයි ඒ දොස්තරලට.. කුණු එකතු කරන අයට ..ගුරුවරුන්ට..ටිකක් පඩි වැඩියි.
      නමුත් වැටුප ඉහල වෙන්න වෙන්න වැටුපට අය කරන බදු ඉහලයි. නමුත් සෑම වැටුප් ලබන්නෙක්ම පඩියෙන් අවම 37% බදු ගෙවිය යුතුමයි.

      ඩෙන්මාර්ක් වල වැටුපෙන් අවම 1/3 ත් වඩා බදු..

      ඩෙන්මාර්ක් රටේ මිනිසුන් මේ බදු ගෙවන්නෙ ඉතාමත්ම සතුටින්. මොකද මේ බදු වලින් ඔවුනට ලැබෙන සහන අති විශාලයි.

      ඒ ඉතාමත්ම ගුණාත්මක නොමිලේ ලැබෙන ඉස්තරම්ම සෞඛ්‍ය සේවය.. පෞද්ගලික නොවූ අතිවිශිෂ්ට පාසැල් පද්ධතිය, සුපිරි කාර්මික විද්‍යාල සහ ඉස්තරම් විශ්ව විද්‍යාල අධ්‍යාපනය.. සෑම පුරවැසියෙකුටම සමානව ලැබෙන අතිවිශාල විශ්‍රාම වැටුප්.. ඒ වගේම වයසට ගියවිට හෝ රෝගී වූ විට නිවසටම පැමිණ අපව බලා කියාගන්නා අතිදක්ෂ කාරුණික සුහදශීලී නිවස පිරිසිදු කරන්නා සහ සාත්තු සේවකයන් .. වයසට ගියාම රෝද පුටුව පවා රජයෙන් නොමිලේ.. මේ හැමදේම ඒ බදු මුදලින් සෑම වැසියෙකුටම ලැබෙනව.. තව සෑම අවුරුද්දකම සති 6 ක නිවාඩු සහ වැටුප සෑම බදු ගෙවන්නෙකුටම ලැබෙනව.. දළ වශයෙන් ලංකාවේ මුදලින් අවමය රු.ලක්ෂ 8-10 ක වත් මුදලක්.. මේ කාලය ඔවුන් යොදාගන්නෙ පිටරට සංචාරයට. ඉතින් ඩෙන්මාර්ක් වල සුළු රැකියාවන් කරන කෙනෙකු පවා ලෝකෙ රටවල් ගණනාවක සංචාරය කරල තියෙනව...

      ඒ වගේම තවත් සුවිශේෂී දෙයක්.. ඩෙන්මාකය ලෝකයෙ හැමදාම දූෂණය අවම රටවල් 1- 2 අතර.. ඉතින් තමන්ගෙ මුදල් මේ නිර්දූෂිත රජයට දෙන්න ඔවුන් මැලි නැහැ. ඇරත් කාටත් අතට ලැබෙන පඩිය හොඳටම ජීවත් වෙලා තව චුට්ටක් ඉතුරුයි. ඩෙන්මාර්කයේ මම දකින තවත් විශේෂ දෙයක් තමයි මිනිසුන් යාන වාහන වලට සහ ඇඳුම් පැලදුම් වලට කිසිම තත්වයක් නොදීම...

      ඩෙන්මාර්ක් වල නිල ඇඳුම නැති සෑම රැකියාවකම ශ්‍රීෂ්ම ඝෘතුවට අදින්නෙ කොට කලිසමක් සහ ටී ෂර්ට් එකක් විතරයි.. ගැහැණු පිරිමි දෙපාර්ශවයම .. එහෙම නැතිනම් ගැහැණු කෙටි සරල ගවුමක්. සීතල කාලෙට සාමන්‍ය කලිසමක්/ඩෙනිමක්/ ටීෂර්ට් එකක් හෝ කමිසයක්.

      ඩෙන්මාර්ක් වල කිසිම තැනක ටයි දාගෙන වැඩ කරන සේවකයෙක් මම අද වන තුරු දැකල නැහැ.

      ඒ වගේම ලංකාවට, ඕස්ට්‍රේලියාවට ඇමරිකාවට සාපේක්ෂව කාන්තාවන්ගෙ මේකප් පාවිච්චියත් අතිශයින්ම අවමයි. කලාතුරකින් ඇහි පිහාටු වල ඉඳල හැමදේම මේකප් කල තරුණ සහ වැඩිහිටි ගැහැණු හිටියත්, තරුණ, වැඩිහිටි බොහෝ ඩෑනිෂ් කාන්තාවන් කිසිම මේකප් භාවිතයක් නෑ ඒ වගේම ලිප්ස්ටික් ටිකක් වත් ගාන්නෙ නැහැ.
      ඇත්තටම මම උනත් මේකප් භාවිතා කරන්නෙ ලංකාවෙ අයට පේන්න මුහුණු පොතට පින්තූරයක් දාන්න හිතුනොත් හරි ලංකාවට ආවම හරි විතරයි.. මම මේකප් කරනවට පවා මගේ දුව ලැජ්ජයි.. මොකද ඩෙන්මාරකයේ ඇගේ යහළුවන්ගෙ අම්මල සහ ලංකාවෙ මගේ පවුලෙ අය එහෙම නොකරන නිසා. මේ ඩෙන්මාර්කයෙ හරිම ලස්සනට අඳින ගැහැණු ඉන්නව.. නමුත් කිසිවෙක් ඒ ගැන විශේෂ අවධානයක් නැහැ.. පාට ගැලපීමකුත් බොහොමයකට නැහැ. තව දෙයක් මෙහි පාට පාට ඇඳුම් අඳින්නෙ රස්නෙ කාලෙට විතරයි.. අනිත් කාලෙට කළු, අළු පාට හෝ අඳුරු තද වර්ණයක් අඳින එක මෙහි සිරිතක් නොවූ සිරිතක්..

      Delete
    2. ඩෙන්මාර්කය ලෝකයේ සතුටින්ම සිටින මිනිසුන් අතර පලමු තැන් කිහිපයේ හැම වසරකම ඉන්නව.. ඇත්තටම මම මෙහි එන්න හිතුවෙත් ඒ දර්ශකය දැකල.. ඒ අතිවිශිෂ්ට තෘප්තිමත්බව මම අත්දැකීමෙන් දකින අපූරු විදියක් තියෙනව.. ඒ සතුටට හේතුව ඔවුන් ලෙහෙසියෙන් අත් හැරීම.. බුදු දහමෙ වගේමයි. උදාහරණයකට , මේ කොරෝනා කාලෙ මට clinic එන රෝගීන්ට නිතරම කියන්න වෙනව ඔවුන්ගෙ නොයෙකුත් පරීක්ෂණ, ශල්‍ය කර්ම කල් දැමූ බව දින නියමයක් නැතිව.. මම ඒක කියන්නෙ හරිම අපහසුවෙන්.. ඔවුන්ගෙන් තරහක් බලාපොරොත්තුවෙන්.. ඒත් ඔවුන් කිසිම අකමැත්තක් නැතිව එය බාරගන්නව.. තව මාවත් සනසනව.. අපි ඉක්මනට මේ කොරෝනා වලින් ලෝකෙම ගැලවෙන්න කියල පතමු කියල.. සමුදීල.. හිස් අතින් දින නියමයක් නැතිව යනව..
      ඒත් මෙහිම ඉන්න ලංකාවේ ඇමරිකානු හෝ යුරෝපයේ වෙනත් රටක පිටරැටියෙක් නම් "ඒ උනාට මට මෙච්චර අමාරුයි" කියල... පුංචි හරි උත්සාහයක් ගන්නව දිනයක් ගන්න..

      ඒ වගේම ඉකෝන් මම රැකියාවට ආව මුල් කාලෙ පුදුම වුනා සමහර ලෙඩ්ඩු ස්ව කැමැත්තෙන්ම ලියන්න කියනව හෘදය වස්තුව නතර උනොත් නැවත පණ ගන්න එපා කියල.. තව අය කියනව දැඩි සත්කාර ඒකකයට දාන්න එපා කියල.. පිලිකා හැදිල අසාධ්‍ය අය නෙවි.. සාමාන්‍ය ලෙඩ්ඩු.. මම එහෙම අත්හරින මිනිස්සු ලංකාවෙ දැකල නැහැ.. ඔබ කියයි ජීවිතය එපාවුන අය කියල.. නැහැ.. දරු මුණුපුරො එක්ක ඉතාම තෘප්තිමත් ජීවිත ගෙවන අය එහෙම කියනව.... "මම හොඳටම ජීවිතේ ගෙව්ව.. අදත් ගෙවනව..අද දවසෙ ඉර පායනව දැක්ක සතුටත් ඇති.. ඔබ වගේ ලස්සන දොස්තර කෙනෙක් අද මගේ ඇද ලඟට ආව සතුටත් ඇති.. ඉතින් මට ජීවිතේ බලෙන් ඉන්න ඕනි නැහැ. ඒ නිසා ගියොත් යන්න දෙන්න කියල ලියන්න " සිනාසෙමින් ඒ ලෙඩෙක් මට කිව්ව වචන .. දවසක.. මාර විදියට අමුතුයි වගේ පේනවා නේද? ඒකයි ඩෙන්මාර්ක් රටේ විශිෂ්ටත්වය

      ඒ වගේම ඒ අයගේ අත්ඇරීම පුදුමයි.. බුදු හාමුදුරුවො අතඇරියෙ හැමදේම තිබුණ ජීවිතයක්.. අපි අද අත් අරින්න කියන්න අඩුපාඩු මැද ජීවත් වෙද්දි... අපිට අත්හරින්න අපහසු ඒ අතෘප්තිමත් බව වෙන්න ඇති.. ඉතින්ම මට එහෙම හිතෙනව..

      ඔය සේරම දේවල් වලට වඩා පුදුමාකාර දේ මේ ඩෙන්මාකයේ 85% කිසිම ආගමක් අදහන්නෙ නැහැ..
      ආගම, දේශපාලනය සහ ජාති - වර්ග වාදය ගැන එකිනෙකා සමඟ කතා කිරීම ඉතාම පහත් දෙයක් විදියට මෙහි වැසියන් සලකනව.. ඩෙන්මාර්ක් හැමෝටම නිහඩ දේශපාලන මතයක් සහ 97% චන්ද භාවිත ප්‍රතිශතයක් තියෙනව.. ප්‍රසිද්ධියේ කතා නොකලට තමන්ගෙ පක්ශය පැරදුනාම තනියම අඬල පහුවදා ඉඳල තියෙන රජයට වැඩ කරන බව මගේ භාෂා ගුරුවරියක් ඉස්සර චන්දෙ දවසක මට හොරෙන් කිව්ව ..

      ඔබ දන්නේ නැහැ මේ රටේ මිනිස්සු හුඟ දෙනෙකුට ඉතාම හොඳින් ඉංග්‍රීසි භාෂාව පුළුවන් . ඒත් ඔවුන් කතා කරන්නෙ ඩැනිෂ් භාෂාව පමණයි.. ඩැනිෂ් නොදන්න කෙනෙකුට පවා මුලින් ඩැනිෂ් භාෂාවෙන් කතා කරල එය ඉංග්‍රිසියට දෙවනුව ඉංග්‍රිසියෙන් කියනව බොහෝ විට... දෙමව්පියන්ට කෙතරම් ඉංග්‍රීසි පුළුවන් උනත් දරුවො පාසැල පටන් ගන්නෙ එකම ඉංග්‍රීසි වචනයක් වත් නොදැන... පසුව පාසැලින් ඔවුන් ඉංග්‍රීසි, ජර්මන් භාෂාවන් මැනවින් ඉගෙන ගන්නවා. ඒ ඩෑනිෂ් මවු භාෂාවට ඔවුන්ගෙ ආදරය ගෞරවය අපිට ඇත්තටම විශිෂ්ට ආදර්ශයක්...

      ඩෙන්මාර්ක් වල කවමදාකවත් ළමා අපචාර කියල දෙයක් ඇත්තේම නැහැ.. ඒ වගේම වැරදීමකින් හෝ එවැනි අපචාරයකට සම්බන්ධ වුන කෙනෙකුට නම් දිවි නසාගැනීම ලේසියි ජීවත් වෙනවටත් වඩා මට හිතෙන්නෙ.. මෙහි සුළු රැකියාවකට පවා කිසිම ළමා අපචාරයකට සම්බන්ධ නැහැ කියල පොලිස් සහතිකයක් අත්‍යවශ්‍යයි..

      ඔය සේරම දේවල් හින්දා ඩෙන්මාර්ක් වල දරුවො පාසැල් යන්නෙ බයිසිකලේ තනියම.. මඟ තනියම යන්න බය නැහැ.. කරුවලේ පවා.

      ඩෙන්මාර්ක් වල මමත් මහත්තයත් දෙන්නටම රෑ වැඩ දවසකට අපේ අවුරුදු 11 දුව තනියම ගෙදර. ඊයෙ රාත්‍රි 02.00 වෙනකල් ඇය තනියම .. බය කියන්නෙ මොකද්ද කියලවත් ඇය දන්නෙ නැහැ. මටත් තියෙන එකම බය ගෙදර ගින්නක් ඇතිවුනොත් කියල විතරක්මයි.

      Delete
    3. මේ රටේ මේ සමාජ වෙනසට ප්‍රධානම හේතුවක් ඇති නැති පරතරය අවම වීම.. මේ රටේ දුප්පත් වෙන්න අමාරුයි.. අඩු ආදායම් ලාභීන්ට නොයෙකුත් ගෙවීම්, බදු ලිහිල් වීම් තියෙනව.... රැකියාවක් නැත්තම් රජයෙන් හෝ වෘත්තීය සමිතියෙන් විශාල පඩියක් ගෙවනවා.. නමුත් හැමදාම නිකන් පඩි ගන්න බැහැ. වක්‍ර ක්‍රම මගින් ඔබව රැකියාවක් ගන්න උනන්දු කරමින් පොළඹවනවා.. මට මතකයි මට කෙනෙක් ඒ ගැන පැහැදිලි කරද්දි කිව්ව විදිය.. ඔබ රැකියා විරහිත ඉංජිනේරුවෙක් නම් පඩි ගෙවනව රජයෙන් ඔබට ඊලඟ රැකියාව හොයල දෙනකල්.. හැබැයි ඊලඟ රැකියාව පාරෙ ගස් වල අතු පාහින එක වුනත් ඔබ එය බාර ගන්න ඕනි.. නැත්තං පඩි නැතුව තත්ත්වය ගැන හිතල ගෙදර ඉන්න ඕනි..

      තව දුරටත් ඩෙන්මාර්කයේ ලොකුම පෝසත් වෙන්නත් ඉතාම අමාරුයි. මේ රටේ සියළු පුරවැසියන්ගෙ වත්කම රජයට විවෘතයි.. පිටරට යවන හැම මුදලක්ම රජය දන්නවා සහ තරමක මුදලකට පවා බැංකුවෙන් අවසර ගැනීම් කල යුතුයි. ඒ වගේම පෝසත් වෙන්න වෙන්න අති විශාල බදු වලට යටත්... වත්කම වැඩි නම් විශ්‍රාම වැටුප සහ ලැබෙන දීමනා අඩුයි..

      ඩෙන්මාර්ක් රටේ සමාජ විද්‍යාඥයන් කියන විදියට ඔවුන් බයම රටේ පෝසතුන් වැඩි වෙනවට..හරියට ඇමරිකාව වගේ කුජීත රටක් වෙනවට.. පෝසතුන් වැඩි වෙද්දි සමාජ පරතරයක් ඇතිවෙනව.. පෝසතුන් පහල පන්තිය ගැන බයෙන් සැකෙන් බලනව.. එතකොට පහල පන්තියෙ ඇතිවන ආත්ම අභිමානය හීන වීම නිසා ඔවුන් වැරදි කරන්න බය නැති වෙනව.. මොකද වැරදි නොකරත් වපර ඇහින් බලද්දි ඔවුන්ට රකින්න අභිමානයක් නැති නිසා...

      ඒ වගේම මේ පරතරය නැති කරන තව ක්‍රමයක් - මෙහි සෑම නිවසකටම සහ වාහනයකටම වසරකට දෙවරක් රජයට බදු ගෙවන්න ඕනි. කුඩා කාර් එකකට ක්‍රෝන 300 ක් නම්.. විශාල කාර් එකකට 12,000 විතර.. වාහනය අලුත් නම් බදු තවත් අඩුයි.. නිවාස වලටත් එහෙම විශාල පරතරයක් ඇති බදු ක්‍රමයක්.. ඉතින් හැමෝම තෝරගන්නෙ අලුත් කුඩා වාහනයක් සහ පුංචි ගෙදරක්.. ඒ වගේම හුඟ දෙනෙක් එදිනෙදා ගමන් යන්නෙ බයිසිකලයේ හෝ පොදු ප්‍රවාහන සේවා වල..

      ඉතින් මේ කිසිම ස්වභාවික සම්පතක් නැති කුඩා ඩෙන්මාරකය ලෝකයෙ පෝසත්ම රටක් වෙලා තියෙන්නෙ කොහොමද? ඒක දිග කතාවක්.. ඒත් මේ රටේ ප්‍රධාන සම්පත තමයි ලක්ශ 55 ක පුරවැසි ජනතාව.. ලෝකෙ ඉහලම කිරි නිෂ්පාදන සමාගමක් වන Arla ඩෙන්මාක් සමාගමක්.. තව ඔබ කවුරුත් දන්න Carlsberg බීර.. Ludpark බටර්..ලංකාවෙත් තියෙන ලෝකෙ ලොකුම මුහුදු ප්‍රවාහන සේවය Maersk ..ලංකාවෙ තම්බපන්නි බලාගාරයෙ සුලං මෝල්.. ලෝකෙ හොඳම ඉන්සියුලීන් සහ බොහෝ බෙහෙත් නිශ්පාදන..ලෝකෙ ලොකුම නැව සහ නැව් හදන සමාගම්..
      මේ වගේ නොයෙකුත් කෘෂිකාර්මික සහ කාර්මික නිෂ්පාදන වලට සහය දෙන ජනතාව රටේ සම්පත..
      ඒ වැඩ කරන ජනතාවට බොහෝ පහසුකම් රජය දෙනව.. මිනිසුන් රජයට සල්ලි හොයල දෙනවා.. හොඳ ප්‍රතිචක්‍රයක්..

      මගේ මේ කමෙන්ට් එක හුඟක් දිගයි. ඒත් කරුණාකරල වරදවා වටහා ගන්න එපා.

      ඒ වගේම මේක ඩෙන්මාකයට ආ වැඩීමක් නොවෙයි, නමුත් මට ඕනි වුනේ සත්‍ය ඇත්ත පවසමින් මේ වගේ හැමෝම සමාන සමාජක්‍රමයක් තුල හැම පුරවැසියම කෙතරම් සංතෘප්තිකද කියන්න .. ඇමරිකානු ඕස්ට්‍රේලියානු හෝ දුප්පත් තුන්වන ලෝකයේ ලංකාවේ
      පාලකයොන්ට බැනල වැඩක් නැහැ.. ඔවුන් පත් කරන්නෙ ඔබමයි. ඔබේ මනාපය අනුව තමයි රටේ තත්ත්වය තීරණය වෙන්නේ.

      Delete
    4. මේ ගැන දිගට අදහස් දක්වන්න තරම් මට වෙලාවක් තිබුණේ නැහැ. නිවැරදි දත්ත සමඟ ප්‍රතිචාරයක් ලියන්න සෑහෙන වෙලාවක් යන නිසා. ඒ අතරවාරයේ අරුණි ශපීරෝ මේ හැම දෙයක් ගැනම පැහැදිලි කර ලියා තිබෙනවා. දත්ත එකින් එක පෞද්ගලිකව පරීක්ෂා කර නැතත්, අරුණි ශපීරෝගේ දත්ත පිළිබඳව මට විශ්වාසයක් තිබෙනවා වගේම මම දන්නා දේවල් සමඟ එම දත්ත හා කරුණු ගැලපෙනවා.

      පහත ලින්ක් එකෙන් ලිපිය කරා යා හැකියි.

      මමත් ඔබට ඩෙන්මාර්ක් ගැන කියන්නම්

      Delete
    5. මම නම් හිතන්නේ ඔය ඇමරිකා එක්සත් ජනපදයට ආවඩන අරුණි ලියල තියෙන බයිලා කිසි ගැලපීමක් නැති හෑලි ටිකක් විතරයිනේ. කොහොම උනත් නෝර්ඩික් රටවල ආර්ථික සමෘද්ධිය ඇමරිකන් එක්සත් ජනපදයට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතින බව ඉතාමත් පැහැදිලියි. ප්‍රමාණයෙන් කුඩා වුවත් ඔවුන් අතිවිශිෂ්ට ආර්ථික සංවර්ධන මොඩලයක් බිහිකර ඇති අතර එය මිශ්‍ර ආර්ථික මොඩලයක් ලෙස සැලකිය හැකියි. ඇමරිකානු ආර්ථික විතරක් නෙමෙයි දේශපාලන මොඩලය පවා ඉතාම අසාර්ථක බව පේනවා විශේෂයෙන්ම පසුගිය දශක දෙකක පමණ කාලයක් තිස්සේ ඇමරිකන් එක්සත් ජනපදය අහේනියට පත් කුජීත රටක් ලෙස ලෝක ප්‍රසිද්ධියට පත්ව තිබෙන නිසා. එහෙම නේද?

      Delete
    6. //ඇමරිකන් එක්සත් ජනපදය අහේනියට පත් කුජීත රටක් ලෙස ලෝක ප්‍රසිද්ධියට පත්ව තිබෙන නිසා. එහෙම නේද?//

      මම හිතන්නේ ඔබ හරියටම හරි. මම ජීවත් වන්නේ මේ කතාව ප්‍රසිද්ධියට පත්ව තිබෙන ඔබ ජීවත් වෙන ලෝකයේ නොවන නිසා ඔබ වගේ කෙනෙක්ගේ ප්‍රතිචාරයකින් මිසක් මට හරියටම ඔබේ ලෝකයේ වෙන දේවල් දැන ගන්න විදිහක් නැහැ.

      Delete
    7. හෆොයි ඉකොනොමැට්ටා ඔබ ජීවත් වන ලෝකය ගැන මට අවබෝධයක් නැහැ. ඒත් මේ බලන්න ලෝක නායකයන් ඇමරිකානු එක්සත් ජනපදයේ තත්ත්වය ගැන කියන කතාවලින් එකක්;

      https://amp.theguardian.com/us-news/2021/jan/06/trump-blows-up-us-democracy-the-world-watches-on-in-horror

      ලෝක ප්‍රසිද්ධ බ්‍රිතාන්‍යයේ 'ද ගාඩියන්' පුවත් පතේ පළ වූ ලිපියක්, මේ රොයිටර් පුවත් සේවය වාර්තා කරන එකක්

      https://www.reuters.com/article/us-usa-election-international-reaction-f/world-shocked-by-trump-supporters-attack-on-us-democracy-idUSKBN29B2VS

      මේ තියෙන්නෙ තවත් ඇමරිකානු එක්සත් ජනපදයේ වැඩ කිඩ වලින් ටිකක්;

      https://www.cidrap.umn.edu/news-perspective/2021/01/covid-may-cut-us-life-expectancy-especially-blacks-latinos



      https://www.elle.com/uk/life-and-culture/amp35149462/capitol-riots-trump-black-lives-matter-police/



      https://www.independent.co.uk/voices/racism-black-lives-matter-protests-blm-education-b1788585.html?amp


      https://amp.theguardian.com/commentisfree/2020/dec/29/black-lives-matter-my-life-interracial-marriage-better-african-american

      මේ වගේ කලු සමැති මිනිසුන් මරන්න ඒවයි එක එක අමානුෂික වැඩ, එතකොට ලෝකය පුරා ඇමරිකානු හමුදා සහ ඇමරිකානු අතුරු සන්නද්ධ කල්ලි විසින් කරපු යුධ අපරාධ චෝදනා වගේ විනාශ ගැන මිසක් ධනාත්මක පැත්ත හිතන්න පුළුවන් දේවල් ඉතාමත් ටිකක් විතර තමයි අහන්න ලැබුණේ මට නම්. ඔය දකුණු අප්‍රිකාවේ සිට ඇමරිකන් එක්සත් ජනපදයට සංක්‍රමණය වූ මස්ක්ගේ ටෙස්ලා සමාගම වගේ සුළු දේවල් ටිකක් විතරයි නේ ඉදිගාමී progressive දේවල් විදියට ඇමරිකන් එක්සත් ජනපදය ගැන අහන්න ලැබුණේ මට. මම වැරදියි ද මන්දා ��

      Delete
    8. //මම වැරදියි ද මන්දා//

      මම හිතන්නේ ඔබ හරියටම හරි.

      Delete
    9. ඉකොනොමැට්ටා මේ කතාව ඇත්ත ද?

      https://edition.cnn.com/2021/01/15/politics/capitol-capture-assassinate-elected-officials/index.html

      Delete
  2. මම ටික දවසකට ඉස්සෙල්ලා අහන්න හිටපු දෙයක් ගැන ලියල තියෙන්නෙ! ලංකාවේ පොඩි කසු කුසුවක්ගිය සියලු ළමයිනට ඉංග්රීසි මාධ්‍යයන් අධ්‍යාපනය දෙන්න ඕනා කියල ලෝකය සමග වැඩ කරන්න, මේකට සමහර අය විරුද්ධයි(නිදහසේ හිතන්න පුලුවන් එකත් මොට කරනවා කියනවා) සමහර අය කැමති (මම නම් කැමති). ඇමරිකන් වැසියෙක් විදියට මෙය ඔබ දකින්නේ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය සමාජවාදී එකක්. කෙනෙක් ඔලුවෙන් හිටගෙන ඉන්න කොට පොතක් කියවිය යුත්තේත් උඩ යට හරවාගෙන මිසක් හරි පැත්තට නෙමෙයි. ඔලුවෙන් හිටගෙන ඉන්න කෙනෙක්ට හරි පැත්තට පොත් කියවන්න යෝජනා කරන එක මෝඩ වැඩක්. ඒ වගේම, පහසුවෙන් කෙළින් හිටවීමේ හැකියාවක් නැත්නම් කෙළින් හිට ගන්නා තුරු පොත් නොකියවා ඉන්න කියා යෝජනා කරන එකත් නිවැරදි දෙයක් නෙමෙයි. පර්යේෂණ අනුව බොහෝ විට වගේ පෙනී යන්නේ පහළ පන්ති වලදී මවුබසෙන් අධ්‍යාපනය ලබා දීම වඩා සාර්ථක බවයි. අවම වශයෙන් උසස් පෙළ මට්ටම දක්වා ඉගෙන ගන්න අවශ්‍ය දේවල් සිංහලෙන් තියෙනවා කියන එක මගේ අදහසයි. දෙමළෙනුත් නොතිබෙන්න හේතුවක් නැහැ. ඒ වගේම ලෝකයේ බොහෝ රටවල ඉතා සාර්ථක ලෙස දෙවන භාෂා එකක් හෝ කිහිපයක් ඉගැන්වෙනවා. මගේ අදහසනම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගැනීමට අවශ්‍ය දරුවෙකුට එසේ ඉගෙන ගැනීමට අවස්ථාව ලබා දිය යුතු නමුත් එය අනිවාර්ය නොකළ යුතු බවයි. මවුබසෙන් ඉගෙන ගැනීමේ අවස්ථාව නැති නොවිය යුතුයි.

      Delete
  3. //සේවයට වාර්තා කිරීම සඳහා පාසැලට ගිය පළමු දින මුල් ගුරුතුමිය, අනෙක් ගුරුවරු හා සිසුන් ඇතුළු හැම දෙනෙක්ම හිතුවේ මා පාසැලට අලුතෙන් ඇතුළු වීමට පැමිණි සිසුවෙකු බවයි. //
    මමත් දවසක් හිතුවේ ඔබ වයස 30 ත් අඩු පුගයෙක්දවත් කියලා, අර ඕස්ට්‍රේලියානු fm වැඩ සටනනේ අරුන්දතී විග්‍රහයෙන් පස්සේ, මොකද ඔබේ කඩ හඩ රලු නැති ප්‍රියමනාප එකක් නිසා(මම නම් ඔබේ වයසෙන් භාගයකටත් වඩා වයසින් අඩු පුද්ගලයෙක්). වියනුව අනුව නම් ගුරු පත්වීම ලැබෙන්න ඇතැයි සිත්නන පුලුවන් එක්දාස් නමසිය හැත්තෑ ගන්න් වල( ජෙවිපී ප්‍රශ්න තීන කොට). එ ගැනත් පොඩි පොඩි ලිපි ඔබේ කියවලා තිඅන නිසා කිව්වේ.


    සංයුක්ත වියුක්ත කතන්ද්දදරේ නම් මට සිංහලෙන් කියවලත් තෙරුම් ගන්න( පොඩි හෝ හැගීමක් ඇතිකර ගන්න) අවුරුද්දක් විතර ගියා නලින් සර් ගේ විදුසර පත්තරේ ලිපි කියවල. කොහොමත් ඔය වියුක්ත ගණිතය (discrete math) කැම්පස් වල ගණිතය හා සම්බන්ද විශයන් හාදාරන අයට තරමක් ගැබුරට උගන්නවා නේ( මට නම සෑහෙන එපා කරපු එකක් ), ඒකත් මට හිතෙන්නේ අපි යන්ත්‍රිකව ගනන හදවා මිසක් තේරෙඋම් අරන් හදන්න තරම් අවබෝධයක් නෑ කියලා.

    ReplyDelete
    Replies
    1. //වියනුව අනුව නම් ගුරු පත්වීම ලැබෙන්න ඇතැයි සිත්නන පුලුවන් එක්දාස් නමසිය හැත්තෑ ගන්න් වල( ජෙවිපී ප්‍රශ්න තීන කොට).//

      නැහැ, ඇනෝ. ජවිපෙ පළමු කැරැල්ල කාලයේ මම කුඩා දරුවෙක්. මගේ පියාගේ බාල සොයුරන් දෙදෙනෙකු සිරගත වී සිටීම ආදී දේ මිස මට ඒ පිළිබඳ මගේම අත්දැකීම් නැහැ. ගුරු පත්වීම ලැබුණේ ජවිපෙ දෙවන කැරැල්ල කාලයේ. පත්වීම් ලිපිය ගන්න ගියේත් එළවලු ලොරියක තට්ටුවේ වාඩි වෙලා.

      Delete
  4. @ ඇනෝ 4.23 AM

    ආචාර්ය නලීන් ද සිල්වා වියුක්ත ප්‍රවාද ගැන කියා ඇත්තේ බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්‌ත (abstract) වන බවත් වියුක්‌තය පංචෙන්ද්‍රිය ගෝචර නොවන බවත්ය. මීට උදාහරණයක්‌ ලෙස සරල රේඛාව යන්න පංචෙන්ද්‍රිය ගෝචර නොවේ. එය අනුභූතියක්‌ (empirical) අත්දැකීමක්‌ නොවේ. විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි අවස්‌ථිති සමුද්දේශ රාමුද පරමාණුව ද වියුක්‌ත බවයි. බටහිර විද්‍යාවෙහි එවැනි පංචෙන්ද්‍රිය ගෝචර නො වන සංකල්ප හා ප්‍රවාද යොදාගැනීම මාක්‌ගේ දැඩි විවේචනයට ලක්‌ වූ අතර මිනිසා කොහේ ජීවත් වුවත් ඔහුගේ ඉන්ද්‍රිය පද්ධතිය බොහෝ සෙයින් එක සමාන විය. මිනිසා ගේ පරිසරයේ සහ ස්‌වභාවධර්මයේ වෙනස්‌කම් තිබුණ ද මූලික ගුණාංග ජීවීන්ට ඔබින ආකාරයේ සමානත්වයක්‌ පිළිබිඹු කළ අතර මිනිසා තුළ විපරමට, විමසුමට තිබූ සහජ අවශ්‍යතාව ඔහු කොතැනක සිටියත් එක ලෙස පැවතිණි. විද්‍යාව ආනුභූතික වූ (empirical) පදනමක පිහිටි බව මින් අදහස්‌ වේ. මේ නිසා මොන රටක ජීවත් වුවත් මිනිසා ගේ විද්‍යාව සමාන ක්‍රමවේදයක්‌ අනුගමනය කිරීම අනිවාර්ය විය. බටහිර දර්ශනයෙහි කියෑවෙන මේ අනුභූතිය පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම් මිස වෙනත් දෙයක්‌ නො වේ. සරල රේඛා ආදිය ආනුභවික නොවන බව ආචාර්ය නලීන් පෙන්වා දී ඇත.

    ReplyDelete
  5. ඉකොනො කාලයක් යූරෝපීය රටවලත් හිටියා නේ ඇමරිකාවට එන්න ඉස්සර . ඉකොනො කොහොමද ඉතින් ඉංග්රීසි භාෂාව හදා ගත්තේ කොහොමද කියල නෑනේ ?

    ReplyDelete
    Replies
    1. එහෙම හදාගත්තා කියලා එකක් නැහැ, ඇනෝ. ඉංග්‍රීසි භාෂාව පුළුවන් විදිහට ප්‍රයෝජනයට ගන්නවා. ප්‍රයෝජනයට ගනිද්දී අඩුපාඩු පේනවා. එවිට අඩුපාඩු හදාගන්නවා. එපමණයි. සිංහල භාෂාව කියලත් හරියට දැනගෙන නෙමෙයිනේ භාවිතා කරන්නේ. අඩුපාඩු තේරෙන කොට හදා ගන්නවා.

      Delete
    2. ඉකොන් කියලා තියෙන දේට අමතරව, meetings, presentations, conferences වලදි හොඳට ඉන්ග්‍රීසි හසුරුවන අය නිර්‍රික්ශනය කිරීමෙනුත් හුඟක් දේ ඉගෙන ගන්න පුලුවන්. ඔවුන් පාවිච්චි කරන වචන, phrases විතරක් නෙවෙයි, කලබලයක් නැතුව, අවශ්ය තැන්වල pause කරමින්, බොහෝ වෙලාවට මුහුනෙ මඳ සිනාවකුත් ඇතුව කතාකරන, ප්‍රශ්න අහන, උත්තර දෙන විදිහ. හුඟක් ලන්කාවෙ අය 'ඒ ඉතින් ඒගොල්ලන්ගෙ භාශාවනෙ, ඕක මොකක්ද' කියලා ගනන් ගන්නෙ නැතුව කිව්වත්, අපිටත් ඒ skill එක දියුනු කරගන්න පුලුවන්. අනිත් එක තමයි වචනයක් දෙකක්, එහෙමත් නැත්නම් ව්යාකරනයක් පොඩ්ඩක් වැරදුනත්, තමන්ට දෙන්න ඕනෙ අදහස හරියට සන්නිවේදනය කරන එකයි වැදගත් කියන හිතේ දහිරිය ඇති කරගැනිම. වැඩ කරන තැනදිත්, එහෙම නැත්නම් workshops/conferences වගේ ගියත් ලන්කාවෙ අය එක්කම සින්හල කතා කරමින් ඉන්න එක හෝ ඒතරම් හොඳට ඉන්ග්‍රීසි කතා නොකරන ඒශියන් අය එක්ක විතරක් ඉන්න පුරුද්දෙනුත් මිදෙන්න ඕනෙ.

      Delete
    3. ඔබ සමඟ එකඟයි. ස්තුතියි, Lotus!

      Delete
  6. I think this part has to be corrected -
    "ඒ අඹ ගස් හැර තවත් අඹ ගස් තියෙනවා ද ?"
    "ඇත ස්වාමීනි..බොහෝ ඇත."
    "ඒ ගස් සියල්ල හැර තවත් අඹ ගස් තියෙනවා ද ?"

    as per the story, it was something like -
    "ඒ අඹ ගස් හැර තවත් ගස් තියෙනවා ද ?"
    "ඇත ස්වාමීනි..බොහෝ ඇත."
    "ඒ ගස් සියල්ල හැර තවත් ගස් තියෙනවා ද ?"

    ReplyDelete
    Replies
    1. ඔබ හරි, ඇනෝ! කම්මැලි කමට කට් ඇන්ඩ් පේස්ට් කරන්න ගිහින් වැරදිලා. පෙන්වා දුන්නාට බොහොම ස්තුතියි!

      Delete
  7. එකොනො,

    දෙවියන්වහන්සේගෙන් පටන් ගනිමු!

    ඔබ ආබ්‍රහමික දෙවියන්වහන්සේ/Abrahimic God සඳහන් කරමින්  ජනවාරි 13 වැනිදා ප්‍රති කොමෙන්ටුවක් යොදා තිබුණා..ඉයන්ට සහ විපුල අබේසිංහට පිලිතුරක් ලෙසට.

    (ඒ සමඟම The Perfect Stranger චිත්‍රපටියත් මම, ඔබ නැරඹූ නිසාම,  අතරින් පතර බැලුවා. මෙය ක්‍රිස්තියානි ප්‍රචාරකවාදී චිත්‍රපටියක් ලෙස බැලූ බැල්මට පෙනුනත් දෙවියන්වහන්සේ සහ මිනිසා අතර ඇති 1:1 සම්බන්ධය ගැන ඉතා පැහැදිලිවම කතා කරනවා. කෙසේ වෙතත් මේ ගැන ඔබ ලිපියක් පල කලොත් මගේ අදහසත් ඉදිරිපත් කල හැකියි.)

    ආබ්‍රහමික දෙවියන්වහන්සේ ගැන ඔබ සඳහන් කර ඇත්තේ පිළිවෙලින් ජුදා, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමිකයන් ⁣අදහන සහ නමස්කාර කරන පොදු  දෙවියන්වහන්සේ නම් එය වැරදි සංකල්පයක් බව මම කියමි.

    මක්නිසාදයත් , ඉහත කී භක්තිකයන් දෙවියන්වහන්සේ හඳුනාගෙන තිබෙන්නේ ආකාර තුනකට අනුව නිසා ඔවුන් දෙවියන්වහන්සේ යනු කුමක්ද/what is God? යන ප්‍රශ්නයට පිලිතුරු දෙන්නේ ආකාර තුනකින් නිසා. නිදසුනක් ලෙස ජුදෙව්වන් හට මේ දෙවියන්වහන්සේ යනු නීතියේ සහ සම්ප්‍රදායේ දෙවියන්වහන්සේ /God of Law and Convention  වන අතර ඉස්ලාම් භක්තිකයන් හට මෙම දෙවියන්වහන්සේම God of Will/ එනම් දෙවියන්වහන්සේගේ කැමැත්තට ප්‍රශ්න කිරීමෙන් තොරව ඉඩ දෙන, ප්‍රශ්න කල නොහැකි දෙවියන්වහන්සේ කෙනෙක් වනවා.

    නමුත් ක්‍රිස්තියානින්ට මේ දෙවියන්වහන්සේ යනු ප්‍රේමයේ දෙවියන්වහන්සේ/God of Agape ලෙසයි.
    ඒක නිසා මේ දෙවියන්වහන්සේ යනු දෙවියන්වහන්සේලා තුන් දෙනකු මිස එක දෙවියන්වහන්සේ කෙනකු නොවේ!

    අප ලෝකය දකින්නට ආරම්භ කරන reference point එක වෙනස් වන විට අපේ ලෝක දෘෂ්ඨියත් /world view එකත් වෙනස් වෙනවා නේද? මේ තෙපිරිස ලෝකය ,  එහි පැවැත්ම සහ අවසානය විග්‍රහ කරන්නේත් එකිකෙකට පරස්පරව වන්නේ ඒ නිසාය.

    කෙසේ වෙතත් ඔබට මගේ ගැටලුව මෙයයි:

    ඔබ ඒ කොමෙන්ටුවෙන් කියැවෙනවා/it signifies  කාලි, නාථ,....ආදි දෙවිවරුන්  යනු ආබ්‍රහමික දෙවියන්වහන්සේ [ මේ යෙදුම ඔබගේය] තරම් පරිපූර්ණ නොවන බවයි.
    Agnostic කෙනකු ලෙස ඔබව හඳුන්වා දෙන ඔබ එම දෙවියන්වහන්සේ පරිපූර්ණ බව දන්නේ කෙසේද? මා ජනවාරි 13 කොමෙන්ටුව වරදවා වටහා ගත්තේ නම් කරුණාකර මේ ⁣නොමෙන්ටුව නොසලකා හරින්න.

    CP-C

    ReplyDelete
    Replies
    1. //මෙය ක්‍රිස්තියානි ප්‍රචාරකවාදී චිත්‍රපටියක් ලෙස බැලූ බැල්මට පෙනුනත් දෙවියන්වහන්සේ සහ මිනිසා අතර ඇති 1:1 සම්බන්ධය ගැන ඉතා පැහැදිලිවම කතා කරනවා.//

      මම සාමාන්‍යයෙන් ආගමික ඉලක්ක ඇති චිත්‍රපට බලන්නේ නැති තරම්. කොහොමටත් චිත්‍රපට බලන්න කාලය වැය කරන්නේ ඉතාම අඩුවෙන්. අහම්බෙන් ඇස ගැටුණු (බිරිඳ බලමින් සිටි නිසා) මෙය දිගටම බැලුවේ ඔබ කියනවාක් මෙන්ම ක්‍රිස්තියානි ප්‍රචාරකවාදී චිත්‍රපටියක් ලෙස බැලූ බැල්මට පෙනෙන හා එසේ හඳුන්වන මේ චිත්‍රපටයේ තරමක් ගැඹුරු දෘෂ්ඨිවාදයක් පෙනෙන්නට තිබුණු නිසයි.

      //ආබ්‍රහමික දෙවියන්වහන්සේ ගැන ඔබ සඳහන් කර ඇත්තේ පිළිවෙලින් ජුදා, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් ආගමිකයන් ⁣අදහන සහ නමස්කාර කරන පොදු දෙවියන්වහන්සේ නම් එය වැරදි සංකල්පයක් බව මම කියමි.//

      ඔබ සමඟ මුළුමනින්ම එකඟයි (අඩු වැඩි වශයෙන් පහළින් ඔබ ලියා තිබෙන දේවල්ද ඇතුළුව). එහෙත්, සමහර වෙලාවට අඹ ගසක් අඹ ගසක් ලෙස හඳුන්වන්න යන්නේ නැතිව ගසක් ලෙස හැඳින්වීම, එසේ හඳුන්වමින් ඉදිරිපත් කරන අවශේෂ කරුණු පැහැදිලි කිරීම සඳහා ප්‍රමාණවත්. ගස අඹ ගසක්ද, පොල් ගසක්ද කියන එක වැදගත් නැහැ. වෙනත් සන්දර්භයකදී එය වැදගත්. විවිධ ක්‍රිස්තියානි නිකායයන් අතර වුවත් දෙවියන් පිළිබඳ අදහසේ වෙනස්කම් තිබෙනවා. එහෙත් පොදුවේ ගත්තහම හැම ආබ්‍රහමික ආගමකම සිටින දෙවියන්ට පරිපූර්ණත්වය කියන ලක්ෂණය තිබෙනවා. ඒ නිසා මෙම නිශ්චිත කාරණය හා අදාළව එකම දෙවි කෙනෙක් සේ සලකන්න පුළුවන්. එහෙත්, කාලි හෝ නාථ වැනි දේව සංකල්ප ඊට වඩා හාත්පසින්ම වෙනස්. එම දෙවිවරුන් විශ්වාස කරන කිසිවෙකු ඔවුන් පරිපූර්ණ සංකේත සේ සලකන්නේ නැහැ.

      //Agnostic කෙනකු ලෙස ඔබව හඳුන්වා දෙන ඔබ එම දෙවියන්වහන්සේ පරිපූර්ණ බව දන්නේ කෙසේද? මා ජනවාරි 13 කොමෙන්ටුව වරදවා වටහා ගත්තේ නම් කරුණාකර මේ ⁣නොමෙන්ටුව නොසලකා හරින්න.//

      ඔබට එසේ සිතුනානම් අනිවාර්යයෙන්ම එය මගේ ලිවීමේ අඩුපාඩුවක්. මම එවැන්නක් කිසිසේත්ම නිශ්චිතව දන්නේ නැහැ. ඔබ මෙය පැහැදිලි කරගත් එක හොඳයි. මම මේ විශ්ලේෂණය සිදු කරන්නේ පහළ සිට උඩට යමින් මිස උඩ සිට පහළට යමින් නෙමෙයි. ඒ කියන්නේ ගණිතයේ ක්‍රමයට නොව සංඛ්‍යානයේ ක්‍රමයට. ඔබ අසන "එම දෙවියන්වහන්සේ පරිපූර්ණ බව දන්නේ කෙසේද?" කියන ප්‍රශ්නය අසන විටම පරිපූර්ණද නැද්ද කියා නොදන්නා දෙවියන්වහන්සේ කෙනෙක් ඉන්නවා. ඔබ කලින් ඇසු ප්‍රශ්නය මතු වන්නේ එම සන්දර්භයේදී. මොකද එවැනි දෙවියන්වහන්සේ කෙනෙක් ඉන්නවානම් අපට ඉදිරියට යන්න වෙන්නේ ඒ දෙවියන්වහන්සේ ඔබ කියන තිදෙනාගෙන් කවුද කියන එක පැහැදිලි කර ගැනීමෙන් පසුවයි. ඒ කියන්නේ නිශ්චිත සත්‍යයක් තිබෙනවා. පැහැදිලි කර ගන්න තිබෙන්නේ එම සත්‍යයේ ගුණාංග.

      මම යන්නේ පහළ සිට උඩට නිසා මට මේ ප්‍රශ්නය මතු වන්නේ නැහැ. සංකල්පයක් ලෙස මට හමු වෙන පරිපූර්ණ පැවැත්මක් තිබෙනවා. අඥේයවාදියෙකු වන මට එය මට මුළුමනින්ම බැහැර කළ නොහැකි නිසා මම එය විය හැකියාවක් ලෙස පිළිගන්නවා. ඒ අනුව, ඔබ අසන දෙවියන්වහන්සේ පරිපූර්ණද කියන ප්‍රශ්නය මට මතු වෙන්නේ නැහැ. මම අර්ථදක්වන්නේම වියහැකියාවක් ලෙස පැවතිය හැකි කවර හෝ පරිපූර්ණ පැවැත්මක්. ඒ දෙවියන් වහන්සේ කවුද කියන ද්වීතියක ප්‍රශ්නය මතු වන්නේ එවැනි පරිපූර්ණ පැවැත්මක් තිබීම කොන්දේසියක් වන තත්ත්වයක් යටතේදී පමණයි.

      Delete
  8. එකොනො ඔබට කෙටි ප්‍රශ්නයක්

    ඔබ, agnostic phylosophy without any predudice and  questioning, දැන්  පිලි ගන්නේ අවුරුදු 11 දී ඒබ්‍රහම් ටී. කොවූර්ගේ පොත් කියැවූ නිසා නොවේද?

    නමුත්, ඊට ප්‍රතිපක්ෂව ඔබ  ඒ වයසේදී කොවූර් මුළු හදවතින්ම නොකියවා , ඒ වෙනුවට  Afanasyev ගේ Marxist Philosophy හෝ  කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රකාශනය/ සෝවියට් මුද්‍රණය කියෙව්වා නම් ඔබ first come , first serve පදනම මත  මාක්ස්වාදීයකු වීමේ වැඩි සම්භාවිතයක් තිබෙන්නට ඉඩ තිබුණා යැයි මා කිව්වොත් ඔබට දිය හැකි පිලිතුර කුමක්ද?

    CP-C

    ReplyDelete
    Replies
    1. //ඔබ, agnostic phylosophy without any predudice and questioning, දැන් පිලි ගන්නේ අවුරුදු 11 දී ඒබ්‍රහම් ටී. කොවූර්ගේ පොත් කියැවූ නිසා නොවේද?//

      මම එලෙසම සිතන්නේ නැහැ. කොවූර්ව කියවන්න කලින්ම මට "මම කවුද" "මම මේ ලෝකයට ආවේ කොහෙන්ද" "මම මරණයෙන් පසු යන්නේ කොහේද" "මට හෙට සිදුවිය හැකි දෙයක් අද දැන ගන්න බැරිද" "මම අද කරන දේවල් වල කවර හෝ අනාගත ප්‍රතිඵලයක් තියෙනවද" වගේ ප්‍රශ්න ඇති වී තිබුණා. ඒ ප්‍රශ්න වලට මම තනිවම පිළිතුරු හෙවුවා. අනුමාන පිළිතුරු හොයා ගත්තා. කොවූර්ගේ පොත් වලින් වුනේ මගේ අනුමාන පිළිතුරු තහවුරු වීමක් හා මම ඒ වන විටත් හිතපු ආකාරය ගැන විශ්වාසය තහවුරු වීමක්. කොවූර්ගේ පොත් මට අල්ලලා ගියේ ඒ නිසා. ඔය වයසේදී කොවූර්ගේ පොත් හමු නොවුනානම් පසුව හමු වෙයි. ඒ වගේම ඔය වයසේදී මට කොවූර්ගේ පොත් හමුවීම තනිකර අහම්බයක් නෙමෙයි. ඔය කාලයේදී වෙනත් අදහස් තිබෙන පොත් ද ඕනෑ තරම් හමු වී තිබුණා. ඒ වගේම "අඥේයවාදය යනු කුමක්ද?" කියන පොත කියවලා මම අඥේයවාදියෙකු වුනේ නැහැ. ඇත්තටම සිදුවුනේ ඒ වන විට මම අඥේයවාදියෙකු වී සිටි බව (එම යෙදුමෙන් අදහස් වන්නේ මා වැනි අදහස් දරන අයෙකු බව) දැන ගැනීමයි. මේ ආකාරයෙන්ම පසුව නලින් ද සිල්වාගේ මගේ ලෝකයෙන්ද එවැනිම දෙයක් වුනා.

      Delete
    2. //මාක්ස්වාදීයකු වීමේ වැඩි සම්භාවිතයක් තිබෙන්නට ඉඩ තිබුණා යැයි මා කිව්වොත් ඔබට දිය හැකි පිලිතුර කුමක්ද?//

      ඔය කාලයේ හේතුවාදීන් වූ හැම දෙනෙක්ම වගේ ප්‍රායෝගික ලෙස මාක්ස්වාදීන්. මට ඔය දෙක අතර ලොකු වෙනසක් තේරුණේ නැහැ. මාක්ස්වාදී පොත් හොයා ගෙන වගේම සල්ලි වලට අරගෙනත් කියෙවුවා.

      පොඩ්ඩක් විතර අදාළ ටිකක් පරණ පොස්ට් එකක්.

      මා ප්‍රාග්ධනය උපයාගත් හැටි...

      Delete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: