වෙබ් ලිපිනය:

Tuesday, November 25, 2025

මූල්‍ය අරමුදලේ වාරිකය හා ඩොලර් බැඳුම්කර නිකුතුව


මාධ්‍ය වාර්තා අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් දෙසැම්බර් 15 දින ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණ වැඩපිළිවෙළ පිළිබඳ පස්වන විමර්ශනය සලකා බැලීමට නියමිතයි. මෙම විමසා බැලීමෙන් අනතුරුව හයවන වාරික මුදල නිදහස් කරනු ලැබීමට ඉඩ තිබෙනවා. එය එසේ වුවහොත්, ලංකාවට තවත් ඩොලර් මිලියන 350කට ආසන්න මුදලක් ලැබෙනවා.

ඒ අතරම, ආර්ථික අර්බුදයෙන් පසු ප්‍රථම වරට, ශ්‍රී ලංකා රජය විසින් නැවතත් ඩොලර් බැඳුම්කර වෙන්දේසි කිරීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. දෙසැම්බර් 3 දින අදාළ වෙන්දේසිය පැවැත්වෙනවා. ශ්‍රී ලංකා නීතිය යටතේ නිකුත් කරනු ලබන මෙම ඩොලර් බැඳුම්කර මිල දී ගැනීම සඳහා ඉල්ලුම් කළ හැක්කේ ලංකාව තුළ ලියාපදිංචි කර ඇති වාණිජ බැංකු වලට පමණයි. 

මේ වන විට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ණය නිකුත් කිරීම හා කළමනාකරණය කරන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසිනුයි. වසර ගණනාවක්ම මෙම කාර්යය සිදු වූයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව හරහා වුවද, එහි වූ බැඳියා පිළිගැටුම ඉවත් කිරීමේ අරමුණෙන් මෙම අලුත් ආයතනය පිහිටුවීමෙන් අනතුරුව, මේ වන විට එම කාර්යාලය පූර්ණ වශයෙන්ම ක්‍රියාත්මකව පවතිනවා. 

අලුතෙන් නිකුත් කරන බැඳුම්කර ආකෘතිය අනුව ආර්ථික අර්බුදයට පෙර නිකුත් කළ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වලට සමානයි. එහෙත්, මෙසේ අලුතෙන් නිකුත් කරන ඩොලර් බැඳුම්කර සංවර්ධන බැඳුම්කර ලෙස නම් කර නැහැ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ශ්‍රී ලංකා රජය විසින් ඒ වන විට නිකුත් කර තිබුණු ඩොලර් මිලියන 837.59ක සංවර්ධන බැඳුම්කර ප්‍රමාණයක් වෙනුවට ඒවායේ හිමිකරුවන්ට රුපියල් බැඳුම්කර ලබා දුන්නා. 

දෙසැම්බර් 3 දින වෙන්දේසි කෙරෙන්නේ ඩොලර් මිලියන 50ක බැඳුම්කර ප්‍රමාණයක් පමණයි. එසේ වුවද, ප්‍රමාණවත් ඉල්ලුමක් තිබේනම්, ඩොලර් මිලියන 150 දක්වා ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරනවා. මෙම බැඳුම්කර 2026, 2027 හා 2028 වසර වලදී (වසර 1, 2 හා 3ක කාලයකින්) කල් පිරෙනවා. 

මෙම වෙන්දේසියට ඉදිරිපත් විය හැක්කේ දේශීය බැංකු වලට පමණක් බැවින් මේ හරහා රටට අලුතෙන් ඩොලර් පැමිණීමක් සිදු වන්නේ නැහැ. රජයට ලබා ගත හැකි වනු ඇත්තේ දැනට බැංකු පද්ධතිය තුළ තිබෙන ඩොලර් වලින් කොටසක් පමණයි. ඒ අනුව, මෙහිදී රජය විසින් ණයට ලබා ගන්නා ඩොලර් ප්‍රමාණයට අනුරූපව මහ බැංකුවට වෙළඳපොළෙන් මිල දී ගත හැකි ඩොලර් ප්‍රමාණය සීමා වෙනවා. කෙසේ වුවද, මේ ක්‍රම දෙකේදීම බැංකු පද්ධතිය තුළ දැනට තිබෙන ඩොලර් වලින් කොටසක් රටේ නිල විදේශ සංචිතයට එකතු වෙනවා.

රජය විසින් මේ අයුරින් දේශීය වෙළඳපොළෙන් ණයට ලබා ගන්නා ඩොලර් රජයේ ණය ගෙවීම සඳහා යොදා ගත හැකියි. මෙම ණය ආපසු ගෙවිය හැකි විකල්ප ක්‍රමයක් වන්නේ මහ බැංකුව සතු සංචිත වලින් ඩොලර් මිල දී ගැනීමයි. එහිදී මහ බැංකුවට සංචිත පවත්වා ගැනීම සඳහා වෙළඳපොළෙන් ඩොලර් මිල දී ගන්නට සිදු වෙනවා. ඒ අනුව, මෙහිදී සිදු වන්නේ පසුගිය කාලය තුළ වක්‍ර ලෙස සිදු වූ දෙයක් සෘජු ලෙස සිදු වීමයි. 

රජය විසින් ඩොලර් බැඳුම්කර නිකුත් කර වෙළඳපොළෙන් සෘජු ලෙසම ඩොලර් ලබා ගැනීමේදී රජයට එසේ ලබා ගන්නා අරමුදල් වෙනුවෙන් නියම මිල ගෙවන්නට සිදු වෙනවා. මහ බැංකුව හරහා ඩොලර් ලබා ගනිද්දී එය එසේ සිදු වන බවට සහතිකයක් නැහැ. ඒ වගේම, වාණිජ බැංකු වල පැත්තෙන් බලද්දී, ඔවුන් කරන්නේ ණය දීමක්. ඒ ණය නිශ්චිත දිනයක ආපසු ලැබෙනවා. මහ බැංකුවට විකුණන ඩොලර් එසේ ආපසු ලැබෙන්නේ නැහැ. ඒ නිසා, මහ බැංකුවට නොවිකුණන ඩොලර් යම් ප්‍රමාණයක් රජයට ණය ලෙස ලබා ගැනීමේ ඉඩක් තිබෙනවා. එය එසේ වුවහොත්, විකල්ප තත්ත්වයට සාපේක්ෂව, නිල සංචිත ඉහළ යාමක් සිදුවිය හැකියි. 

ලැබීමට නියමිත මූල්‍ය අරමුදලේ හයවන වාරිකය සහ ඉහත කී ඩොලර් බැඳුම්කර ණය වල උදවුවෙන් වසර අවසන් වීමට පෙර නිල සංචිත වල යම් ඉහළ යාමක් සිදු විය හැකි බැවින් ඩොලර් බිලියන හතේ වර්ෂාවසාන සංචිත ඉලක්කය තවමත් මුළුමනින්ම ගිලිහී ගොස් නැහැ. එය තීරණය වන්නේ අවසන් මාස දෙක තුළ මහ බැංකුව විසින් වෙළඳපොළෙන් මිල දී ගන්නා ඩොලර් ප්‍රමාණය මතයි. 

No comments:

Post a Comment

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: