Thursday, December 5, 2019

යහපාලන ණය හා රාජපක්ෂ ණය

ණය ගැන ලියූ පෙර ලිපියට ප්‍රතිචාර සේ තැන් තැන් වල ඇති තොරතුරු රැසක් කොපි කර තිබෙනවා. ඇතැම් තොරතුරු කොපි කර ගෙන තියෙන්නේ පසුගිය වසර මුල මහින්ද රාජපක්ෂගේ නමින් නිකුත් වුනු නිවේදනයකින්. මේ නිවේදනයෙන් පෙන්වන්න උත්සාහ කර තිබුණේ යහපාලන ආණ්ඩුව විසින් පසුගිය වසර කිහිපය තුළ විශාල ලෙස ණය ලබා ගෙන ඇති බවයි.

විවේචකයින් උත්සාහ කළත්, යහපාලන ආණ්ඩුව විශාල ලෙස ණය ලබා ගෙන ඇති බව පෙන්වීම මාකට් වන කතාවක් නෙමෙයි. එයට හේතුව මිනිස්සු මේ කතාව විශ්වාස නොකිරීම හෝ සැක කිරීම නෙමෙයි. ගොඩක් අයට කොහොමටත් ඔය කතා තේරෙන්නේ නැහැ. කතාව මාකට් නොවෙන්නේ මේ කතාව මිල දී ගන්නට ඉඩක් ඇති පාරිභෝගික පිරිස වන රාජපක්ෂවාදීන්ට යහපාලන ආණ්ඩුව විවේචනය කරන්න වෙනත් දේවල් ගණනාවක් තිබෙන නිසයි.

යහපාලන ආණ්ඩුවනම් අනික් දේවල් කෙසේ වුවත් රාජපක්ෂ ණය සෑහෙන තරමකින් මාකට් කර ගත්තා. පස්සේ පස්සේ මේ කතාව මිනිස්සුන්ට එපා වුනේ ඇඩ් වැඩි කම නිසාමයි. බදු වැඩි කරද්දීත් කිවුවේ රාජපක්ෂ ණය ගෙවන්න බදු වැඩි කරන්න සිදු වී ඇති බවයි.

යහපාලන ආණ්ඩුව බලයට පත් වන විට, 2014 අගදී, රජයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,391ක්. 2018 අවසානය වන විට මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 11,978ක් දක්වා ඉහළ ගිහින් තිබුණා. පසුගිය ජූලි මාසය අවසන් වන විට මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 12,646ක් වෙලා. බැලූ බැල්මටම පෙනෙන විදිහට යහපාලන ආණ්ඩුව පැවති කාලය ඇතුළත රුපියල් බිලියන 5,255ක ණය අලුතින් අරගෙන තිබෙනවා. යහපාලන ආණ්ඩුව එපමණ ණය ගත්තානම් මේ සල්ලි වලින් කළේ කුමක්ද කියන ප්‍රශ්නය මතු වෙනවා.

රජයේ ණය ප්‍රමාණය මේ විදිහට වැඩි වී තිබෙන්නේ පසුගිය කාලය ඇතුළත මෙපමණ මුදලක් අලුතෙන් ණය සේ ලබා ගත් නිසා නෙමෙයි. ණය ප්‍රමාණය වෙනස් වන හේතු ගණනාවක් තිබෙනවා. යහපාලන ආණ්ඩුව විශාල ලෙස අලුතින් ණය ලබා ගෙන ඇති බව කීම බොරුවක්. ඒ වගේම, යහපාලන ආණ්ඩුව විසින් රාජපක්ෂ ආණ්ඩුව විසින් ලබාගත් ණය ගෙවුවා කියන එකත් බොරුවක්.

දෙවන කරුණට මුලින් ආවොත් යහපාලන ආණ්ඩුව විසින් රාජපක්ෂ ණය සතයක්වත් ගෙවා නැහැ. මෙයින් කියන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් ගත් ණය වල වාරික යහපාලන ආණ්ඩුව විසින් නොගෙවූ බව නොවෙයි. සියලු ණය වාරික හා පොලිය නිසි පරිදි ගෙවා තිබෙනවා. එහෙත්, එසේ ණය ගෙවා තිබෙන්නේ අලුතින් ණය වී මිස ආදායම් උපයා නෙමෙයි. අලුත් ණයකින් පරණ ණයක් ගෙවීම ණය ගෙවීමක් සේ සලකන්න බැහැ. එසේ කළා කියා ණය අඩු වෙන්නේ නැහැ.

අනෙක් අතට යහපාලන ආණ්ඩුව විසින් අලුත් ණය වලින් රාජපක්ෂ ආණ්ඩුවේ ණය පියවා දැමූ පසුව ඒ අලුත් ණය යහපාලන ණය කියා කියන්න බැහැ. ඒ ණය තව දුරටත් රාජපක්ෂ ණයම තමයි. එකම ණය මුදලින් පරණ ණය ගෙවන්නත්, අලුත් සංවර්ධන වැඩ කරන්නත් බැහැ. ඒ නිසා, කිසියම් ආණ්ඩුවක් විසින් පරණ ආණ්ඩුවක ණය අලුත් ණය වලින් ගෙවා දැමූ විට ඒ අලුත් ණය සැලකිය යුත්තේ පරණ ආණ්ඩුවේ ණය ලෙසයි.

කොහොම වුනත් පසුගිය කාලයේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,255කින් වැඩි වී තිබෙනවානේ. ඒ කියන්නේ අලුත් ණය වලින් පරණ ණය ගෙවීමට අමතරව මෙපමණකින් ණය වැඩි වී තිබෙනවා. එහෙමනම්, ඒ ප්‍රමාණය යහපාලන ආණ්ඩුවේ අලුත් ණයද?

ඒත් නැහැ. යහපාලන ආණ්ඩුව බලයට එන විට තිබුණු රජයේ ණය ප්‍රමාණය වූ රුපියල් බිලියන 7,391 වසර හතරකට පසුව ඒ විදිහටම තියෙන්නේ නැහැ. මේ ණය ප්‍රමාණයෙන් සතයක්වත් යහපාලන ආණ්ඩුව විසින් ගෙවා නැති නිසා වසරින් වසර ඒ ණයට පොලිය එකතු වෙනවා. ඒ පොලිය ගෙවන්නෙත් අලුත් ණය වලින් නිසා පොලියත් ණය ප්‍රමාණයට එකතු වී වැල් පොලී වෙනවා. මේ විදිහට ණය ප්‍රමාණය වසරින් වසර ඉහළ යනවා කියා කියන්නේ රජයට වියදම් කළ හැකි මුදලක් අතට ලැබුණා කියන එක නෙමෙයි. ඒ නිසා, ණය වැඩි වුවත් සිදු වූ දෙයක් නැති බව ඇත්ත.

පොලී එකතු වීමට අමතරව ණය ප්‍රමාණය වැඩි වන තවත් ආකාර තිබෙනවා. ඩොලරයක මිල ඉහළ ගිය විට ඩොලර් ණය ප්‍රමාණය ඉහළ නොගියත් ඒ ණය වල රුපියල් අගය වැඩි වෙනවා. නමුත්, එයින් අදහස් වෙන්නේ රජයට වියදම් කළ හැකි මුදලක් අතට ලැබුණු බව නෙමෙයි. ඩොලර් ණය වල අගය වෙනස්වනවා වගේම විවිධ හේතු මත සුරැකුම්පත් වල මිල වෙනස් වන විට රුපියල් ණය ප්‍රමාණයේ අගයත් වෙනස් වෙනවා. මේ අවස්ථා කිසිවකදී රජයට වියදම් කළ හැකි මුදලක් ලැබෙන්නේ නැහැ. නමුත්, ණය ඉහළ යනවා.

එහෙමනම්, යහපාලන ආණ්ඩුව ණය අරගෙනම නැද්ද?

කිසියම් වසරක් තුළදී රජය විසින් ඉපැයූ ආදායම් ඉක්මවා වියදම් කළොත් ඒ වෙනස පියවා ගන්න වෙන්නේ ණය වලින්. යහපාලන ආණ්ඩුව 2015දී ආදායම ඉක්මවා රුපියල් බිලියන 320ක් වැය කළා. රුපියලේ නාමික අගය අනුව බැලුවොත් මෙය වසරක් තුළ රජය ණය වූ විශාලම මුදලයි. ඒ ණය හා ඒ මත එකතු වූ පොලියත්, ණය මුදලේ වටිනාකම වෙනස් වීමත් සැලකිය හැක්කේ යහපාලන ආණ්ඩුව විසින් ලබාගත් අලුත් ණය ලෙසයි.

ඉන් පසුව, 2016දී යහපාලන ආණ්ඩුව විසින් ආදායම ඉක්මවා තවත් රුපියල් බිලියන 29ක් වැය කළා. නමුත්, 2017දී රුපියල් බිලියන 2ක් හා 2018දී රුපියල් බිලියන 91ක් ඉතිරි කළා. මේ සියලු ඉතිරි කිරීම් වලින් පසුවත් යහපාලන ආණ්ඩුව 2015දී වූ ණය ආවරණය වෙන්නේ නැහැ. පොලී හා වටිනාකම් වෙනස්වීම් සැලකූ විට 2018 අවසානයේදී වූ රජයේ ණය වලින් යහපාලන ණය ප්‍රමාණය රුපියල් බිලියන 377ක්. කෙසේ වුවත්, මේ ප්‍රමාණය රුපියල් බිලියන 11,978ක මුළු ණය ප්‍රමාණයෙන් 3.1%ක් පමණයි. ඒ කියන්නේ ඉතිරි 96.9%ම, එනම් රුපියල් බිලියන 11,601ක්ම පරණ ණය, පරණ ණය වල පොලිය හා පරණ ණය වල වටිනාකම වෙනස් වීම. යහපාලන ආණ්ඩුව ආදායම ඉක්මවා සතයක්වත් වියදම් නොකළත් රජයේ ණය ප්‍රමාණය මේ වන විට රුපියල් බිලියන 11,601ක් වෙලා.

එහෙමනම්, ඉතිරි රුපියල් බිලියන 11,601 රාජපක්ෂ ණයද?

ඉතිරි ණය වලින් සැලකිය යුතු කොටසක් රාජපක්ෂ ණය වුවත්, වැඩි ප්‍රමාණයක් රාජපක්ෂ ණය නෙමෙයි. 2004 අවසානය වන විටත් රජය රුපියල් බිලියන 2,140ක් ණය වී සිටියා. ඒ ණය වලට වසරින් වසර 2014 වන තුරුම රාජපක්ෂ ණය එකතු වුනා. රාජපක්ෂ ණය වලට වගේම පරණ ණය වලටත් පොලිය එකතු වී පොලිය වැල් පොලී වුනා, රුපියල පිරිහෙන විට විදේශ ණය වල රුපියල් අගය ඉහළ ගියා. 2014 අග වන විට මේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7,391ක් වී 2018 අග වන විට රුපියල් බිලියන 11,601ක් වුනා. නමුත්, එයින් රාජපක්ෂ ණය ප්‍රමාණය ලෙස සැලකිය හැක්කේ රුපියල් බිලියන 2,210ක් හෙවත් 2018 මුළු ණය ප්‍රමාණයෙන් 18.5%ක් පමණයි. ඉතිරි කොටස රාජපක්ෂ ආණ්ඩුවට පෙර ආණ්ඩු වලින් උරුම වූ ණය.

නිදහසින් පසු ලංකාවේ ආණ්ඩු සියල්ලක්ම ණය වුනා මිස ණය ගෙවුවේ නැහැ. 2018 අගදී ලංකාවේ රජයේ ණය ප්‍රමාණය වූ රුපියල් බිලියන 11,978ට නිදහසින් පසු රට පාලනය කළ සෑම ආණ්ඩුවක්ම දායක වී තිබෙනවා. වැඩිම දායකත්වය ජයවර්ධන ආණ්ඩුවෙන්. මා පෙරද ලියා ඇති පරිදි ලංකාවේ ණය අර්බුදය රාජපක්ෂ ආණ්ඩුවේ නිර්මාණයක් කියා කියන්න බැහැ . රාජපක්ෂ ආණ්ඩුව විසින් කළේ ගෙවුම් ශේෂ අර්බුදයක් නිර්මාණය කිරීමයි.



Saturday, November 30, 2019

ණයෙන් ණය ගෙවීම

ලංකාවේ රජය ණය ගෙවන්නේ අලුතෙන් ණය අරගෙන බව ගොඩක් අය දන්නා සරල කතාවක්. නමුත්, මේ කතාව ලංකාවේ රජයේ ණය අර්බුදයේ සැබෑ ස්වභාවය පැහැදිලි කිරීමට තරම් ප්‍රමාණවත් කතාවක් නෙමෙයි. ඇත්ත කතාව මීට වඩා ගොඩක් භයංකාර එකක්.

ණයෙන් ණය ගෙවීම ලංකාවට අලුත් දෙයක් නෙමෙයි. එය යහපාලන ආණ්ඩුව හෝ රාජපක්ෂ ආණ්ඩුව කාලයේ පටන් ගත් දෙයක්ද නෙමෙයි. ඒ තියා ජේආර්ගේ කාලයේ පටන් ගත් දෙයක්ද නෙමෙයි. අඩු වශයෙන් 1956 සිටම ලංකාව කළේ අලුත් ණය වලින් පරණ ණය පියවන එකයි. ඊට අමතරව 1992දී හැර 2016 දක්වා සෑම වසරකදීම ලංකාවේ රජය වාර්ෂිකව ඉපැයූ ආදායම් ඉක්මවා වියදම් කළා. ඒ වෙනස පියවා ගත්තේත් ණය වලින් නිසා ණය වසරින් වසර වැඩි වුනා.

පසුගිය 2016 හා 2017 වසර වලදී රජය වැය කළේ ඉපැයූ ආදායමට වඩා අඩු මුදලක්. මේ වසරේ වැය කරන්න ඇස්තමේන්තු කර තිබුණේත් උපයන ආදායමට වඩා අඩු මුදලක්. නමුත්, ඒ විදිහට කිසියම් වසරකදී ආදායමට වඩා අඩුවෙන් වියදම් කළා වුවත්, ඒ හේතුව නිසාම ණය ප්‍රමාණය පහළ යන්නේ නැහැ. ණය අඩු වෙන්නනම්, සියලු වියදම් වලින් පසුව ආදායමෙන් ඉතිරි කර ගන්නා මුදල අඩු වශයෙන් පරණ ණය වල පොලී ගෙවන්න ප්‍රමාණවත් විය යුතුයි.

පසුගිය දෙවසරේදී රජය යම් මුදලක් ඉතිරි කළත් පරණ ණය වෙනුවෙන් පොලී ගෙවන්න තරම් ප්‍රමාණවත් මුදලක් ඉතිරි කළේ නැහැ. ඒ නිසා, පරණ ණය ගෙවන්න වගේම පරණ ණය වල පොලිය ගෙවන්නත් අලුතින් ණය ගන්න වුනා. අලුත් ණය ගන්නේ පරණ ණය ගෙවන්නනම් ණය විශාල ලෙස වැඩි වෙන්නේ කොහොමද කියා කෙනෙකුට අහන්න පුළුවන්. ණය වැඩි වෙන්නේ පරණ ණය වලට අමතරව ඒ ණය වෙනුවෙන් ගෙවිය යුතු පොලිය ගෙවන්නත් අලුත් ණය ගත යුතු නිසයි. 2016 වන තුරුම වුනේ ඕකයි.

පරණ ණය ගෙවන්න අලුත් ණය ගත යුතුයි. පරණ ණය වල පොලිය ගෙවන්නත් අලුත් ණය ගත යුතුයි. ඊට අමතරව කිසියම් වසරක් තුළ රජය ආදායම ඉක්මවා කරන වියදම් පියවන්නත් අලුත් ණය ගත යුතුයි. පරණ ණය ගෙවන්න ගන්න අලුත් ණය නිසා රජයේ ණය ප්‍රමාණය වැඩි නොවුනත්, පරණ ණය වල පොලිය වෙනුවෙන් ගන්නා අලුත් ණය නිසා ණය ප්‍රමාණය ඉහළ යනවා.

කිසියම් වසරක රජයේ ආදායම් හා වියදම් සමානනම්, ඒ කියන්නේ ප්‍රාථමික ශේෂය ශුන්‍යනම්, අලුත් ණය ගන්න වෙන්නේ පරණ ණය වල පොලිය ගෙවන්න පමණයි. ප්‍රාථමික ශේෂය සෘණ අගයක්නම් සමස්ත අයවැය හිඟය ප්‍රාථමික ශේෂය ඉක්මවනවා. ඒ හිඟයට සමානව අලුත් ණය ගන්න වෙනවා. ප්‍රාථමික ශේෂය ධනනම් අයවැය හිඟය ප්‍රාථමික ශේෂයට වඩා අඩුයි. එහෙත්, ප්‍රාථමික ශේෂය වසරේ පොලී වියදමට වඩා අඩුනම් සමස්ත අයවැය ශේෂය හිගයක් නිසා අලුතෙන් ගන්න අවශ්‍ය ණය ප්‍රමාණය පරණ ණය ගෙවන්න අවශ්‍ය මුදලට වඩා වැඩියි. ඒ නිසා ණය වැඩි වන ප්‍රමාණය අඩු වෙනවා මිසක් ණය අඩු වෙන්නේ නැහැ. ණය වැඩි වන විට පොලී වියදමද වැඩි වෙනවා. පසුගිය දෙවසර තුළ සිදු වුනේ එයයි.

පහත රූප සටහනේ කහපාට තීරුවෙන් පෙනෙන්නේ දැනට ලබාගෙන තිබෙන ණය වෙනුවෙන් ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල වසරින් වසර වැල් පොලී වෙමින් ඉහළ යන ආකාරයයි. ප්‍රාථමික ශේෂය ධන අගයක් වුවත් මේ වැල් පොලී වීම නිසා ණය වැඩි වෙනවා. පසුගිය වසර කිහිපයේදී රජයේ ආදායම් විශාල ලෙස වැඩි කරගෙන හා වියදම් විශාල ලෙස කප්පාදු කර තිබියදීත් අයවැය හිඟය අඩු නොවී ස්ථාවර මට්ටමක තිබුණේ මේ ආකාරයට පරණ ණය වල පොලී වියදම් වසරින් වසර ඉහළ ගිය නිසයි. මේ ප්‍රවණතාව ඉදිරි වසර කිහිපයේදී වෙනස් වන එකක් නෙමෙයි.



Friday, November 29, 2019

ණය හා විනය

අලුත් ආණ්ඩුව පිහිටුවීමෙන් පසුව, මූලික වටයේදීම ගන්නා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයක් ලෙස රජයේ බදු ප්‍රතිපත්ති ලිහිල් කරන බව නිවේදනය කර තිබෙනවා. මෙය අලුත් ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ගයේ කොටසක් සේ හිතනවාට වඩා දේශපාලනික උපාය මාර්ගයක් සේ සැලකීම වඩා නිවැරදියි. බදු ප්‍රතිපත්තිය හරහා අපේක්ෂා කර තිබෙන්නේ ඉදිරි මහ මැතිවරණයේදී දේශපාලන වාසියක් ගැනීමයි. ඒ නිසා, මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරනු ඇතැයි සිතිය හැකි ආර්ථික උපාය මාර්ග ගැන මේ ක්‍රියාමාර්ගය දෙස පමණක් බලා පුරෝකථනය කළ නොහැකියි.

මේ අයුරින්ම යහපාලන ආණ්ඩුව පිහිටවූ වහාම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විශාල ලෙස ඉහළ දැම්මා. ඒ හේතුව නිසා රාජ්‍ය වියදම් විශාල ලෙස ඉහළ ගියා. එහෙත්, 2015 අගෝස්තු මහ මැතිවරණයෙන් පසුව යහපාලන ආණ්ඩුව විසින් දිගින් දිගටම මහන්සි දැරුවේ රාජ්‍ය වියදම් අඩු කිරීම හා රාජ්‍ය ආදායම් ඉහළ දමා ගැනීම සඳහායි. මේ කාර්යයේදී පසුගිය ආණ්ඩුව විසින් නිදහසින් පසු ලංකාවේ කිසිදු ආණ්ඩුවක් විසින් නොපෙන්වූ තරමේ දැඩි මූල්‍ය විනයක් පෙන්නුම් කළා.

පසුගිය ආණ්ඩුව එසේ කටයුතු කළේ එය දේශපාලන සිය දිවි හානි කර ගැනීමක්ව තිබියදීයි. ඇතැම් විට සුළු ජාතික ඡන්ද වලින් ඉදිරි මැතිවරණ ජය ගත හැකි වනු ඇතැයි යන මිථ්‍යාවේ ගැලී සිටි නිසා ඔවුන් බය නැතුව මේ වැඩේට අත ගැහුවා විය හැකියි. එසේ නැත්නම්, වෙන කළ හැකි දෙයක් නැති වූ නිසා වියදම් සීමා කළා වෙන්නත් පුළුවන්. හේතුව කුමක් වුවත්, පසුගිය වසර හතර ආණ්ඩුවේ ආදායම් වියදම් පරතරය ඉතා විශාල ලෙස අඩු කර ගනිමින් ලංකාවේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය නැවත නියම මාර්ගයට දමා ගත් සුවිශේෂී කාල පරිච්ඡේදයක්. ඒ වෙනුවෙන්, පසුගිය ආණ්ඩුවට විශාල ගෞරවයක් හිමි විය යුතුයි.

දැන් ආණ්ඩුව වෙනස් වී තිබෙනවා. මහ මැතිවරණය අවසන් වන තුරු මේ ආණ්ඩුවෙන් නිවැරදි ආර්ථික වැඩ පිළිවෙලක් අපේක්ෂා කරන්න බැහැ. එහෙත්, මහ මැතිවරණයෙන් පසුව මේ ආණ්ඩුවට නැවත රටේ ආර්ථිකය විනාශ මුඛයට යොමු නොකෙරෙන ආර්ථික වැඩ පිළිවෙලක් ගැන හිතන්නට වෙනවා. අලුත් ආණ්ඩුව මෙහෙයවන්නේ, බොහෝ දුරටම, පසුගිය රාජපක්ෂ ආණ්ඩුව මෙහෙයවූ අයම වුවත් මේ ආණ්ඩුව රාජපක්ෂ දශකයේ කටයුතු කළ ආකාරයෙන් වෙනස්ව කටයුතු කරන්න සූදානම්ව සිටින බව ප්‍රදර්ශනය කරමින් සිටිනවා. මේ තත්ත්වය දිගටම පවතීද නැද්ද යන්න ගැන සහතිකයක් නැතත් අශුභවාදී වීමට තවම කල් වැඩියි.

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් ගණනාවක් අලුත් ආණ්ඩුවේ සිටියත් ඔවුන් අතර ආර්ථික විද්‍යා දැනුමක් ඇති අයෙකු නැතිවීම අඩුවක්. ඒ නිසා, ඔවුන්ට ඔවුන්ගේ කඳවුරේ සිටින වෙනත් අය කෙරෙහි විශ්වාසය තියන්න වෙනවා. පසුගිය රාජපක්ෂ දශකයේදී ලංකාවේ ආර්ථිකය විශාල අර්බුදයක් කරා තල්ලු කළේත් මේ කණ්ඩායමේ අයම වීම ප්‍රශ්නයක්. ඒ නිසා, නැවත පැරණි පාරටම වැටෙන්න තිබෙන ඉඩකඩ බැහැර කරන්නත් බැහැ. කොහොම වුනත් මේ සියලු කරුණු ගැන අප මෙහි සාකච්ඡා කරන්නේ නැහැ. හැම දෙයක්ම එකවර කතා කළොත් කොහොමටත් කියවන අයට බර වැඩි වෙයි. ඒ නිසා, දැනට එක් සරල කරුණකට පමණක් අවධානය යොමු කරමු.

අපගේ පෙර ලිපිය ආර්ථිකය ගැන කතා කළ එකක් නොවූවත් කිහිප දෙනෙකු විසින් රටේ ආර්ථිකය හා අදාළ කරුණු ගණනාවක් ගැන කතා කරමින් ප්‍රතිචාර දමා තිබුණා. මේ එක් ප්‍රතිචාරයක තෝරාගත් කොටස් දෙකක්.

"පහුගිය කාලේ රජයේ ආදායම් වලට සාපේක්ෂව වියදම් සෑහෙන්න වැඩිවුණා."

"එහෙනම් 2016-2019 ගහපු බදු ගැහිල්ලට අය වැය පරතරය පට්ට විදියට අඩුවෙලා තියෙන්න ඕනෙ.. ඒ වෙනුවට පරතරය තව තව වැඩි වෙලා තියෙන්නේ කියලා නම් පේනවා."

මේ කරුණු සඳහන් කළ පාඨකයා විසින් ලියා තිබෙන්නේ ඔහු හෝ ඇය ඇත්තටම සිතා සිටින දෙය විය හැකියි. ඒ වගේම, මෙය කියවන බොහෝ දෙනෙක් මෙන්ම මෙය නොකියවන රටේ සිටින බොහෝ දෙනෙක්ද මෙසේ සිතා සිටිනවා විය හැකියි.

පසුගිය කාලය රජයේ ආදායම් වලට සාපේක්ෂව වියදම් අඩු වූ කාලයක්. එවැනි කාලයක් ලංකා ඉතිහාසයේ මෑතකදී තිබුණේම නැහැ. 1956 සිට 2016 දක්වාම ලංකාවේ රජයේ ප්‍රාථමික අයවැය ශේෂය ධන අතට හැරුණේ එකම එක වසරකදී පමණයි. ඒත් යාන්තමින්. එහෙත්, 2017 හා 2018 වසර වලදී ප්‍රාථමික ශේෂය ධන අතට හැරවීමට පසුගිය ආණ්ඩුව සමත් වුණා. අප පසුගිය ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටි හා පෙනී සිටින ප්‍රධානම හේතු අතරින් එකක් වන්නේ මේ වෙනසයි. පසුගිය ආණ්ඩුව විසින් කළ කැප කිරීම් නිසා මේ තත්ත්වය දිගටම පවත්වා ගැනීම දැන් ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. විය යුත්තේද එයයි.


ප්‍රාථමික අයවැය ශේෂය කියා කියන්නේ කුමක්ද?

ප්‍රාථමික අයවැය ශේෂය කියා කියන්නේ රජයේ සමස්ත ආදායම් හා වෙනත් ලැබීම් වලින් පොලී වියදම් හැර අනෙකුත් වියදම් අඩු කළ විට ඉතිරි වන මුදලයි. සමස්ත අයවැය ශේෂය කියා කියන්නේ මේ ඉතිරි මුදලින් පොලී වියදම්ද ගෙවූ පසු ඉතිරි වන මුදලයි. පොලී වියදම් කියා කියන්නේ පෙර වසර වලදී ලබාගත් ණය වෙනුවෙන් දැරිය යුතු වියදමක්. කිසියම් වසරක රජයේ වියදම් අඩු කළා කියා එම වසරේදීම මේ පොලී වියදම් අඩු වෙන්නේ නැහැ.

ප්‍රාථමික අයවැය ශේෂය සෘණ අගයක් ගන්නවා කියා කියන්නේ එම වසරේ රජයේ ආදායම් වලට වඩා වියදම් වැඩි බවයි. එසේනම්, ඒ අඩුව පුරවන්න වෙන්නේ ණය අරගෙනයි. ඊට අමතරව පරණ ණය වෙනුවෙන් පොලී ගෙවන්නත් ණය ගන්න වෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රාථමික ශේෂය සෘණ අගයක පවත්වා ගන්නා සෑම වසරකදීම රජයේ ණය ප්‍රමාණය ඉහළ යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරි වසර වලදී ගෙවිය යුතු පොලී වියදමද එන්න එන්නම වැඩි වෙනවා. 1956 සිටම වුනේ මෙයයි. මේ චක්‍රයෙන් මිදෙන්නනම් අනිවාර්යයෙන්ම රජයේ ප්‍රාථමික අයවැය ශේෂය ධන අගයක පවත්වා ගන්න වෙනවා.

කාලයක් තිස්සේ සෘණ මට්ටමක තිබෙන ප්‍රාථමික අයවැය ශේෂය ධන අගයක් කළ හැක්කේ කොහොමද? ඒ සඳහා, එක්කෝ රජයේ ආදායම් වැඩි කරගත යුතුයි. නැත්නම් වියදම් අඩු කළ යුතුයි. පසුගිය ආණ්ඩුව සෑහෙන පමණකින් ඔය කටයුතු දෙකම කළා.

පොලී වියදම් හැරුණු විට ලංකාවේ ආණ්ඩුවේ පුනරාවර්තන වියදම් වලින් විශාල කොටසක් වැය වන්නේ රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් හා තෝරාගත් කණ්ඩායම් වෙනුවෙන් ලබා දෙන සීමිත සහනාධාර වෙනුවෙනුයි. රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්  වියදම් ක්ෂණිකව අඩු කිරීමේ හැකියාවක් නැහැ. කළ හැක්කේ මේ වියදම් තවත් වැඩි නොකර සිටීම පමණයි. ලංකාවේ රජය විසින් දැනට ලබා දෙන සහනාධාර කපන එකත් ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්. ඒ නිසා, පසුගිය ආණ්ඩුව විසින් දිගින් දිගටම කළේ රජයේ ප්‍රාග්ධන වියදම් අඩු කරන එකයි. බොහෝ දෙනෙක් රාජපක්ෂ කාලයේදී මෙන් රටේ සංවර්ධනයක් සිදු නොවන බවක් දැක්කේත්, ආර්ථික වර්ධන වේගය අඩු වුනේත් මේ ප්‍රාග්ධන වියදම් කප්පාදුව නිසයි.

රජයකට ආදායම් ඉපැයිය හැකි ප්‍රධානම ආකාරය බදු ගැසීමයි. පසුගිය ආණ්ඩුවේ බදු ගැහීම ගැන කවුරුත් දන්න නිසා තවත් අමුතුවෙන් කිව යුතු නැහැනේ. ප්‍රාථමික අයවැය ශේෂය ධන අගයක් බවට පත් කර ගැනීමට පසුගිය ආණ්ඩුවට හැකි වුනේ මේ ආකාරයට බදු ඉහළ දමා ආදායම් වැඩි කර ගැනීමත්, ප්‍රාග්ධන වියදම් අඩු කිරීමත් යන දෙකම කළ නිසයි. මේ දේවල් කළේ ඇයි කියන එක ගැන රටේ ජනතාව නිසියාකාරව දැනුවත් කිරීමට පහුගිය ආණ්ඩුව සමත් නොවූ නිසා බොහෝ දෙනෙකු දකින්නේ ආණ්ඩුව බදු වැඩි කළත් කළ දෙයක් නැති බවයි.

පසුගිය ආණ්ඩුවේ සමහර අය කිවුවේ රාජපක්ෂලා ගත් ණය ගෙවීමට බදු වැඩි කරන්න සිදු වී තිබුණු බවයි. මේ කතාව එක්ක නිරායාසයෙන්ම මතු වෙන ප්‍රශ්නයක් වන්නේ බදු ගැහුවේ රාජපක්ෂ ණය ගෙවන්නනම් යහපාලන ආණ්ඩුව පැවති කාලයේදී ණය අඩු නොවුනේ ඇයි කියන එකයි. යහපාලන ආණ්ඩුවට ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

යහපාලන ආණ්ඩුව බලයට පත් වූ වහාම දේශපාලන උපාය මාර්ගයක් ලෙස රාජ්‍ය සේවක වැටුප් විශාල සේ වැඩි කළ බවත් කවුරුත් දන්නා දෙයක්. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේදී රජයේ ප්‍රාථමික අයවැය ශේෂය පෙර නොවූ විරූ තරම් (නාමික රුපියල් අගය අනුව) ඉහළ ගියා. එසේ වුවත්, ඉන් පසුව එම ආණ්ඩුව රජයේ ආදායම් වියදම් නිසි සේ කළමනාකරණය කළා. පසුගිය 2018 වසරේදී රජය ඉපැයූ ආදායමෙන් රුපියල් මිලියන 91,421ක් ඉතිරි කළා.

ලංකාව හිර වී සිටින ණය උගුලෙන් ගොඩ යාමටනම් ධන ප්‍රාථමික ශේෂයක් පවත්වා ගැනීම අනිවාර්ය අවශ්‍යතාවයක්. එහෙත්, එය කිසිසේත්ම ප්‍රමාණවත් අවශ්‍යතාවයක් නෙමෙයි. ප්‍රාථමික ශේෂය ධන අගයක් වුවත්, එම ශේෂය පැරණි ණය වල පොලී ගෙවීමට ප්‍රමාණවත් නැත්නම්, පොලී ගෙවන්න තවත් ණය ගන්න වෙනවා. එවිට රටේ ණය ඉහළ යනවා. රටේ ණය ඉහළ ගිය විට ඉදිරි වසර වල පොලී වියදම් තවත් ඉහළ යනවා.

ඉතා අසීරුවෙන් ප්‍රාථමික ශේෂය ධන අගයක් කර ගෙන තිබුණත්, එම ශේෂය තවමත් රටේ වාර්ෂික පොලී වියදමට වඩා ගොඩක් වැඩියි. පසුගිය වසරේ රටේ වාර්ෂික පොලී වියදම රුපියල් මිලියන 852,190ක්. ඒ නිසා, සමස්ත අයවැය ශේෂය තවමත් හිඟයක්. මේ හිඟය පියවන්න අලුත් ණය අවශ්‍ය වූ නිසා පසුගිය සිවු වසර තුළත් වසරින් වසර රටේ ණය බර වැඩි වුනා. තිබෙන ණය ආපසු ගෙවීම පැත්තකින් තිබ්බත්, ණය තවත් වැඩි කර නොගැනීමටනම් වාර්ෂිකව පොලී වියදම් ගෙවීමට ප්‍රමාණවත් තරම් ප්‍රාථමික ශේෂයක් ඉතිරි කර ගත යුතුයි. ඒ කියන්නේ සමස්ත අයවැය ශේෂය ධන අගයක් විය යුතුයි.

පසුගිය ආණ්ඩුවේ සැලැස්ම වූයේ ඉදිරි වසර කිහිපය තුළදී මේ ඉලක්කය කරා යාමයි. රටේ ආර්ථික ස්ථාවරත්වය ගැන හිතනවානම් අලුත් ආණ්ඩුවටත් මෙවැනි ඉලක්කයක් තබා ගන්න වෙනවා. ඒ වගේම, ඒ ඉලක්කය කරා යා හැකි මූල්‍ය විනයක්ද අවශ්‍ය වෙනවා.

එවැනි මූල්‍ය විනයක් පවත්වා ගත්තත් මෙය පහසු වැඩක් නෙමෙයි. යහපාලන ආණ්ඩුව විසින් කළ සියලු දේවල් වලින් පසුවත් 2018 වසරේ ගෙවිය යුතු වූ ණය පොලිය එම වසරේ රජයේ සමස්ත ආදායම් හා ලැබීම් වලින් 44%ක්. ඉතිරි කරගත් ප්‍රාථමික ශේෂය ආදායම් හා ලැබීම් වලින් 5%ක් පමණයි. ප්‍රාථමික ශේෂය ධන වුවත්, මේ වෙනස රටේ ණය තොගයට අලුතින් එකතු වන නිසා 2019දී රජය විසින් ගෙවිය යුතු පොලී වියදම තවත් ඉහළ යනවා. ණය දිගින් දිගටම ඉහළ යාම නවත්වා ගන්නනම් ආදායමෙන් 44%කට වඩා ඉතිරි කරන්න වෙනවා. එය වසර පහ හයකින් ළඟා කර ගත හැකි ඉලක්කයක් නොවන නිසා මොන තරම් හොඳ මූල්‍ය විනයක් තිබුණත් තවත් වසර ගණනාවක් යන තුරු රටේ ණය බර එන්න එන්නම වැඩි වෙන එක වුනත් නවත්වා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා, ප්‍රාථමික ශේෂය කෙසේ හෝ ටිකෙන් ටික ඉහළ නංවා ගන්න එක අලුත් ආණ්ඩුවට කරන්නම වෙන දෙයක්.

Wednesday, November 27, 2019

සඳු සේ මුදු ඉර සේ සැර රජෙක්...


රටක පාලනය මෘදු හෝ දැඩි වෙන්නේ පාලකයාගේ චරිත ස්වභාවයට වඩා රටේ පවතින දේශපාලන බලතුලනයේ ස්වභාවය අනුවයි. පෙර ලිපිය මගින් අවධානය යොමු කරවන්න හැදුවේ මේ කරුණටයි. පාලනයට අභියෝගයක් නැති වූ විට චරිත ස්වභාවය අනුව පෞද්ගලික ජීවිතයේදී මෘදු පුද්ගලයක් වුවත් දරුණු ඒකාධිපතියෙක් සේ රූපාන්තරණය වෙන්න පුළුවන්. ඒ වගේම, රටේ දේශපාලන බලය පාලකයා වෙත කේන්ද්‍රගත වී නැත්නම්, රටේ ආයතනික පද්ධතිය ශක්තිමත්නම්, කොයි තරම් දැඩි පාලකයෙක්ට වුවත් ඒකාධිපතියෙකු සේ හැසිරෙන්න බැහැ.

කාලයක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් ස්ථාපිත වී තිබෙන ඇමරිකාව වැනි රටවල පාලකයා ඒකාධිපතියෙකු සේ හැසිරීම වැළැකී තිබෙන්නේ රටේ මිනිස්සු සවිඥානකව සුදුසු චරිත ස්වභාව තිබෙන පුද්ගලයින් පාලකයින් සේ පත් කර ගැනීම නිසාම නෙමෙයි. එය එසේ නොවූ අවස්ථා පෙන්වීම අසීරු නැහැ. ඇමරිකාවේ වගේම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ස්ථාපිතව තිබෙන වෙනත් බොහෝ රටවලද පාලකයෙකු අත්තනෝමතික ලෙස හැසිරීමට තිබෙන ඉඩකඩ සීමා කර තිබෙන්නේ රටේ ආයතනික පද්ධතිය ශක්තිමත්ව පවත්වා ගැනීම හරහා.

මෙය ආකාර කිහිපයකින් සිදු වෙනවා. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බලතුලනය ව්‍යවස්ථාව හරහා තහවුරු කර තිබෙනවා. දිගින් දිගටම, අභියෝගාත්මක තත්ත්වයන් යටතේ පවා, සිවිල් බලවේග ශක්තිමත්ව සිටීම රටේ ඓතිහාසික සමාජ විකාශනයේ ප්‍රතිඵලයක් කියා හිතන්න පුළුවන්. ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන රාජ්‍යයේ ප්‍රධාන කුළුණු තුන අතර තුලනය ප්‍රායෝගිකව ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේත් මේ දෙවන කරුණ නිසා. මීට අමතරව ප්‍රධාන දේශපාලන පක්ෂ අතර බලය බෙදී යන ආකාරයේ බලපෑමකුත් තිබෙනවා.

කරුණු මෙසේ වුවත්, පාලකයෙකුගේ සාමාන්‍ය චරිත ස්වභාවය අනුව පාලනයේ ස්වභාවය වෙනස් නොවනවා කියා කියන්න බැහැ. ආයතනික ව්‍යුහය කොයි තරම් ප්‍රබල වුවත්, ප්‍රමාණවත් ජනතා බලයක් තිබෙන පාලකයෙකුගේ පුද්ගල ස්වභාවය රටට බලපෑමක් කරන එක වලක්වන්න බැහැ. ඒ නිසා, ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක මිනිස්සු පාලකයෙකු තෝරා ගැනීමේදී මේ පුද්ගල සාධක ගැනත් සැලකිලිමත් වෙනවා.

රටක පාලකයෙක් සේ මිනිස්සු හොයන්නේ මොන වගේ චරිත ලක්ෂණ තිබෙන පුද්ගලයෙක්ද?

ප්‍රජාතන්ත්‍රවාදී පාලකයෙක් කියා කියන්නේ එක පැත්තකින් අපේ නියෝජිතයෙක්. අපේ නියෝජිතයෙක් කියා කියන්නේ අපට අවශ්‍ය දේ අප‍ට අවශ්‍ය අයුරින් කිරීම සඳහා අප විසින් තෝරා ගන්නා අයෙක්. මෙවැනි පුද්ගලයෙකු අපට අවශ්‍ය දේ මිස තමන්ට අවශ්‍ය දේ කරලා හරියන්නේ නැහැ. ඒ නිසා, ඔහු හෝ ඇය අපට සවන් දෙන අයෙකු විය යුතුයි. අපට අවශ්‍ය දෙය වෙනස් වන විට ඒ බව දැනෙන තරම් අපට සමීප මෘදු, සංවේදී පුද්ගලයෙක් විය යුතුයි. අපේ අදහස් නොතකා තමන්ට හෝ වෙනත් අයට අවශ්‍ය දේ කරන අයෙකු නොවිය යුතුයි.

හැබැයි පාලකයා මේ ආකාරයට අපට සවන් දෙන මෘදු, සංවේදී පුද්ගලයෙක් වුවත් ඔහු හෝ ඇය සංවේදී විය යුත්තේ අපේ (මගේ) අවශ්‍යතා ඉටු කරන තරමට පමණයි. ඔහු හෝ ඇය රටේ හැම දෙනාගේම අදහස් අහන, ක්‍රියාත්මක කරන තරමට සංවේදී නොවිය යුතුයි. වෙනත් අයට අවශ්‍ය, අපට අවශ්‍ය නොවන දේ නොකරන තරමට පාලකයා දැඩි විය යුතුයි. ඒ දේවල් නොකරන බව සෘජුව කිව හැකි කොන්දක් පාලකයාට තිබිය යුතුයි. නායකයෙක් කියා කියන්නේ එහෙම කෙනෙක්ටයි.

තවත් විදිහටකට කියනවානම් පාලකයා මට අවශ්‍ය දේ මටත් කලින් දැනගෙන මට අවශ්‍ය විදිහටම කරන මෘදු, සංවේදී පුද්ගලයෙක් විය යුතුයි. (ඒක දැනගන්න ටෙලිපති නැත්නම් හැමදාම උදේ නැගිට්ට ගමන් මගේ මුහුණු පොතේ උඩ ඉඳලා පහළට ගිහින් බැලුවත් කමක් නෑ!) ඒ එක්කම මේ පුද්ගලයා මා හැර වෙනත් අය කියන කියන දේවල් නොකර සෘජුව ප්‍රතික්ෂේප කරන දැඩි පුද්ගලයෙකුත් විය යුතුයි. (පොඩි දඬුවමක් දුන්නටත්, නැත්නම් ඊටත් වඩා දරුණු ක්‍රියාමාර්ගයක් ගත්තත් අපි මොකුත් කියන්නේ නෑ!)

දැන් මෙතැන තිබෙන මනෝ විද්‍යාත්මක පැත්ත බැලුවොත් අපි හොයන්නේ අපේ අම්මගෙනුයි තාත්තාගෙනුයි ලැබුණු දේවල් දෙවර්ගයම තිබෙන පැකේජ් එකක්. බඩගිණි වුනහම, නිදිමත වුනහම අම්මට වගේ දැනෙන්න ඕනෑ. තාත්තා ළඟ ඉන්න කොට දැනෙන රැකවරණය, ආරක්ෂාවත් දැනෙන්න ඕනෑ. සඳු සේ මුදු ඉර සේ සැර පාලකයෙක්!

මිනිස්සුන්ට මැතිවරණයකදී වඩා ආකර්ශනීය වෙන්නේ මේ ගුණාංග දෙක අවශ්‍ය පමණට මුසු වූ අයයි. අවශ්‍ය මුසුව අවස්ථාව අනුව වෙනස් වෙනවා. තමන්ට අවශ්‍ය දේ කර ගැනීම ප්‍රමුඛතාවය වූ විට මෘදු ගුණාංග වලට ඉල්ලුම වැඩි වෙනවා. වෙනත් අයට අවශ්‍ය දේ කර ගැනීම වැළැක්වීම ප්‍රමුඛතාවය වූ විට දැඩි ගුණාංග වලට ඉල්ලුම ඉහළ යනවා. යුද්ධ, ත්‍රස්තවාදී තර්ජන, සැබෑ හෝ මවාගත් සතුරන් පෙනෙන විට දැඩි පාලකයෙක්ගේ අවශ්‍යතාවය මතු වෙනවා. පාලකයාගේ දැඩිකම තමන්වම පීඩාවට පත් කරන බව තේරුණු විට මෘදු පාලකයෙක්ගේ අවශ්‍යතාවය මතු වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන අපූර්වත්වය වන්නේ රටේ මිනිස්සුන්ට යම් අවස්ථාවක තිබෙන ප්‍රමුඛ අවශ්‍යතාවය අනුව ගැලපෙනම පාලකයා තෝරා දෙන්න එම ක්‍රමයට හැකිවීමයි.

තමන්ටම පීඩනයක් දැනුනත්, මුදු පාලකයෙක් වෙනුවට දැඩි පාලකයෙක්ව හොයන වෙලාවලුත් තිබෙනවා. එහෙම වෙන්නේ තමන්ටම තමන් ගැන විශ්වාසයක් නැති වූ වෙලාවට. තාත්තගේ තීරණය තමන්ගේ තීරණයට වඩා හොඳ එකක් කියා දරුවෙක් විශ්වාස කරනවා වගේ. ඒ වගේ වෙලාවට තාත්තගෙන් පාරක් කෑවත්, ටිකක් තරහා ගියත්, තාත්තා ගැන ආදරය වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. පාරක් ගැහුවත් අපේම හොඳටනේ!

යම් පුද්ගලයෙකුට මැතිවරණයකදී ඉදිරියට එන්නනම් තමන්ගේ දැඩි හා මුදු ගුණ දෙවර්ගයම ප්‍රදර්ශනය කරන්න වෙනවා. එක් තැනක යමෙක් සටහන් කර තිබුණේ රණසිංහ ප්‍රේමදාස විසින් කළේයැයි සැලකෙන ඇතැම් දරුණු ක්‍රියා ගැන ලියූ මාධ්‍යවේදීන් කිසිවෙකුට ඔහුගෙන් කවදාවත් හිරිහැරයක් වී නැති බවයි. එහි අදහස තමන් දරුණු පාලකයෙකු බව ප්‍රචාරය වනවාට ඔහු කැමැත්තෙන් සිටි බවයි. ඒ අතරම දුප්පතාගේ දුකට සංවේදී පුද්ගලයෙකු ලෙස මෘදු ප්‍රතිරූපයක් හදා ගැනීමටද ඔහු සමත් වුනා.

ගැහැණියක් තමන්ගේ මෘදු බව අමුතුවෙන් තහවුරු කළ යුතු නැහැ. ගැහැණියක් වූ පමණින්ම නිරායාසයෙන්ම මෘදු බව තහවුරු වෙනවා. ගැහැණියකට අසීරු දැඩි බව තහවුරු කිරීමයි. යකඩ ගැහැණිය වැනි යෙදුම් දේශපාලනයේදී හොඳින් අළෙවි වන්නේ ඒ යෙදුමේ දැඩි හා මෘදු ගුණ දෙකම හොඳින් පැකේජ් වී ඇති නිසයි. සුන්දර නාරි දේහයක් ඇතුළෙන් ගොරෝසු පිරිමි කටහඬක් ඇහෙන කොටත් මේ ගුණාංග දෙකම මතු වෙනවා. "ධනවාදයට මානුෂික මුහුණුවරක් දීම" වැනි කතා වලිනුත් යමෙකුට මේ ගුණාංග දෙකම එක වර ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ධනවාදය කියන්නේ කුමක්ද කියා නොදන්න, කාලයක් තිස්සේ සමාජවාදීන්ගෙන් ධනවාදය ගැන ඉගෙනගෙන තිබෙන ලංකාවේ ගොඩක් අයට ධනවාදය කියන්නේ හරියට හීලෑ කර ගත්තොත් වැඩ ගොඩක් ගන්න පුළුවන් භයානක, නමුත් නැතිවම බැරි, යකෙක්. ධනවාදයට මානුෂික මුහුණුවරක් දෙනවා කියපු ගමන් මේ දරුණු යකාට මෘදු ගතියක් ආරෝපණය වෙනවා.

මහින්ද රාජපක්ෂ මුලින්ම ප්‍රසිද්ධ වුනේ මානව හිමිකම් ගැන සංවේදී මෘදු පුද්ගලයෙක් වගේම, අතුරුදහන් වූ තරුණයින් ගැන කතා කරන්න හා ඔවුන් වෙනුවෙන් ජීනීවා යන්න තරම් බය නැති දැඩි පුද්ගලයෙක් විදිහටයි. ජනාධිපති වී සිටියදී ඔහු මේ දැඩි හා මෘදු ප්‍රතිරූප දෙකම හොඳින් නඩත්තු කළා. එක පැත්තකින් බටහිර බලවේග වලට නොනැමී යුද්ධය දිගටම කර ගෙන යන්න තරම් දැඩි පෞරුෂත්වයක්. අනිත් පැත්තෙන් අහම්බෙන් හමු වෙන කාගේ හෝ දරුවෙකු වඩාගෙන හුරතල් කරන සංවේදී මනුස්සයෙක්!

රනිල් වික්‍රමසිංහට කවදාවත් ඔය මෘදු, සංවේදී ප්‍රතිරූපය හදා ගන්න පුළුවන් වුනේ නැහැ. සමහර විට පෞද්ගලික ජීවිතයේදී ඔහු මෘදු, සංවේදී පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. ඒ ගැන දන්නේ ඔහු සමඟ ලඟින් සිටි අයයි. එය එසේ වුවත් නොවුවත්, රටේ මිනිස්සු හිතන ආකාරය සමඟ සුසර වෙන්න රනිල් වික්‍රමසිංහට කවදාවත්ම හැකි වුනේ නැහැ. එහෙත්, ඔහුට යම් දැඩි ප්‍රතිරූපයක් තිබුණා. දැඩි කියන එකෙන් අදහස් වෙන්නේ අපේ යහපත වෙනුවෙන් අපට වඩා හොඳින් යමක් කළ හැකියි කියන අදහසයි. නායකයෙක් මෙවැනි අයෙක් කියා දැනෙන විට ඔහු හෝ ඇය කරන්නේ මොනවාද කියා නොතේරුණත් විශ්වාසය මත පදනම්ව ඔහුට අවස්ථාව දෙන්න මිනිස්සු පෙළඹෙනවා. බැඳුම්කර චෝදනා එල්ලවන තුරු රනිල්ට මිස්ටර් ක්ලීන් ප්‍රතිරූපයක් තිබුණා. එජාපයට ආර්ථිකය ගොඩදැමිය හැකි බවට විශ්වාසයක් රටේ තිබුණා. විපක්ෂයෙන් එල්ල කළ බටලන්ද කතා නිසා රනිල්ගේ දැඩි ප්‍රතිරූපය තවත් තහවුරු වුනා.

එජාපය විසින් රනිල් වෙනුවට සරත් ෆොන්සේකාව ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම ලංකාවේ දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී වෙනසක්. යම් හෙයකින් සරත් ෆොන්සේකා ජනාධිපති වුනානම් ඔහුට විධායක බලය ලැබුණත් දේශපාලන බලය ලැබෙන්නේ රනිල්ටයි. ඒ නිසා, ඒ වෙලාවේ කිසිවෙකුටත් රනිල්ගෙන් වියුක්තව  සරත් ෆොන්සේකා පුද්ගල චරිතය දෙස බලන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

ඒ වන විට යුද්ධයේ අවසන් අදියරේ කටයුතු කළ ආකාරයෙන් මහින්දගේ දැඩි ප්‍රතිරූපය රටේ ඉතා හොඳින් තහවුරු වී තිබුණා. කොටින්ම ඔහු ජාතියේ අප්පච්චී වෙලා තිබුණා. නමුත්, යුද්ධය අවසන් නිසා ඒ වෙලාවේ මිනිස්සු හෙවුවේ සාපේක්ෂව මෘදු ප්‍රතිරූපයක්. ටිකෙන් ටික දියාරු වෙමින් තිබුණත් මහින්දට ඒ වන විටත් රනිල්ට නොතිබුණු මෘදු ප්‍රතිරූපයක් තිබුණා. ඒ නිසා, රනිල්ට මහින්දගේ ප්‍රතිරූප දෙකෙන් එකක් එක්කවත් තරඟ කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. රනිල් වෙනුවට තරඟයට දමපු සරත් ෆොන්සේකාට රනිල්ට තරමටවත් මෘදු ප්‍රතිරූපයක් තිබුණේ නැහැ. ඔහුට මහින්දව පැරදවිය හැකි දැඩි ප්‍රතිරූපයක් තිබුණා. එහෙත්, යුද්ධය අවසන් වීමෙන් පසුව මිනිස්සුන්ට මහින්දටත් වඩා දැඩි පාලකයෙක් අවශ්‍ය වුනේ නැහැ.

සරත් ෆොන්සේකා වෙනුවට මෛත්‍රීපාල සිරිසේන චරිතය ආදේශ කළ පසු තත්ත්වය වෙනස් වුනා. ඒ වෙලාවේ, මිනිස්සු දැක්කේ රාජපක්ෂ පාලනය ඕනෑවට වඩා දැඩි එකක් බවයි. මෛත්‍රීපාල සිරිසේන චරිතය මහින්ද රාජපක්ෂ චරිතයට වඩා මෘදු එකක් බව පෙනෙන්න තිබුණා. නමුත්, ඔහු අවශ්‍ය පමණ දැඩි ගුණය ප්‍රදර්ශනය කළේ නැහැ.

මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ චරිත දෙකම එකට ගත් විට මහින්ද රාජපක්ෂ චරිතය සමඟ තරඟයක් දිය හැකි පැකේජ් එකක් හැදුණා. එක පැත්තකින් මහින්දට වඩා මෘදු, සංවේදී මෛත්‍රී. බාල සෙරෙප්පු දමන, බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කරන, පොළොවෙන් මතු වූ නායකයා. අනෙක් පැත්තෙන් අවශ්‍ය පමණ දැඩි රනිල්. ටයි කෝට් අඳින, අපි වෙනුවෙන් ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන, අපි වෙනුවෙන් අපිට නොතේරෙන මොකක් හෝ දෙයක් කරන්නට යන නායකයා. 2015දී මහින්දව අතහැර යහපාලනයට මාරු වූ නාගරික පිරිස් රනිල්ගෙන් බලාපොරොත්තු වුනේ, තමන්ට පීඩාකාරී නොවන තරමට මුදු, රට හදන දැඩි පාලනයක්.

යහපාලන ආණ්ඩුවෙන් මේ පිරිස් බලාපොරොත්තු වූ තමන්ට නොතේරෙන පුදුම සහගත දෙය කවදාවත් ඉටු වුනේ නැහැ. තමන්ගේ තොප්පිය ඇතුළේ මැජික් කිසිවක් නැති බව රනිල්ගේ ආණ්ඩුව දිගින් දිගටම පෙන්නුවා. යහපාලන ආණ්ඩුවට 2015දී ඡන්දය දුන් අයට මෘදු පාලනයක් ලැබුණා. එහෙත්, අවශ්‍ය පමණ දැඩි පාලනයක් ලැබුණේ නැහැ. මිනිස්සුන්ට අවශ්‍ය තමන්ට සවන් දෙන ආණ්ඩුවක් මිසක් රටේ හැම දෙනාටම සවන් දෙන ආණ්ඩුවක් නෙමෙයි. තවත් විදිහකින් කිවුවොත් පුද්ගලයෙක් ලෙස මෛත්‍රීපාල ප්‍රතිරූපයෙන් අපේක්ෂා කළ දේවල් වුනා. ඒත් රනිල් ප්‍රතිරූපයෙන් අපේක්ෂා කළ දේවල් වුනේ නැහැ. ඒ නිසා, 2019දී මිනිස්සු හෙවුවේ සාපේක්ෂව දැඩි ප්‍රතිරූපයක්.

ගෝඨාභය රාජපක්ෂ හරහා මිනිස්සු හොයපු දැඩි ප්‍රතිරූපය හමු වුනා. ඒ දැඩි ප්‍රතිරූපය සමඟ එජාපයේ රනිල්ට, සජිත්ට හෝ කරු ජයසූරියට තරඟ කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. කොහොම වුනත්, ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිරූපය මිනිස්සු හෙවුවට වඩා වැඩියෙන් දැඩි ප්‍රතිරූපයක්. ගෝඨාභය මහින්ද මෙන් දරුවන් සුරතල් කළේ නැහැ. වැඩිහිටියන්ව සුරතල් කළේත් නැහැ. ඒ වුනත්, 2010දී හා 2015දී එජාපය කළා වගේම මෙවර රාජපක්ෂ කඳවුර විසින් ඉදිරිපත් කළේත් පැකේජ් එකක්. මෙවර දැඩි ප්‍රතිරූපය ගෝඨාභයගේ. මෘදු, සංවේදී ප්‍රතිරූපය මහින්දගේ.

එජාපයට මෙවර තරඟ කරන්න සිදු වී තිබුණේ මහින්ද-ගෝඨාභය පැකේජ් එක එක්කයි. එය 2015දී තනි මහින්ද සමඟ රනිල් හා මෛත්‍රී තරඟ කළ තරම් පහසු කටයුත්තක් වුනේ නැහැ. මේ වැඩේට රනිල් සමඟ තවත් පුද්ගලයෙකු පැකේජ් කළ යුතු වුවත් ඒ පුද්ගලයා තෝරා ගන්න තිබුණේ එම කඳවුරේ සිටි අය අතරිනුයි.

රනිල් කොහොමටත් පැකේජ් එකේ කොටසක් නිසා එජාපයට පටන් ගන්න වුනේම අවාසිදායක තැනකින්. රනිල්ට මහින්ද හෝ ගෝඨාභය සමඟ තරඟ කළ හැකි දැඩි ප්‍රතිරූපයක් තිබුණේ නැහැ. මහින්දට සාපේක්ෂව මෘදු ප්‍රතිරූපයක් තිබුණෙත් නැහැ. කරු ජයසූරිය ප්‍රතිරූපයේත් වැඩි වෙනසක් තිබුණේ නැහැ.

රනිල්, කරු, සජිත් අතරින් ඔය අංශ දෙකම සැලකූ විට වැඩියෙන්ම ඉස්සරහින් හිටියේ සජිත්. එහෙත්, ඔහුටත් මහින්ද සමඟ තරඟ කළ හැකි මෘදු ප්‍රතිරූපයක් හෝ ගෝඨාභය සමඟ තරඟ කළ හැකි දැඩි ප්‍රතිරූපයක් තිබුණේ නැහැ. කෙටියෙන් කියනවානම්, රනිල්, කරු, සජිත් තිදෙනාගෙන් කවුරු ආවත් මහින්ද-ගෝඨාභය පැකේජ් එක සමඟ තරඟ කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා, පුද්ගල ප්‍රතිරූප අනුව බැලුවොත් රාජපක්ෂ කඳවුර මුල සිටම සිටියේ ප්‍රතිවාදී පිලට වඩා ඉදිරියෙන්.

රාජපක්ෂලා හමුවේ දැන් තිබෙන අභියෝගය මේ ප්‍රතිරූප දෙකම සමතුලිත ලෙස දිගටම නඩත්තු කරන එකයි.


Tuesday, November 26, 2019

විජේතුංග ව්‍යතිරේඛය



ලංකාවේ ජනාධිපතිධුරයේ බලතල, ඒකාධිපතිත්වය වගේ මාතෘකා පිළිබඳව කතා කරද්දී බොහෝ විට ඩිංගිරි බණ්ඩා විජේතුංගගේ නමත් කියැවෙනවා. විශේෂයෙන්ම මේ නම සඳහන් කෙරෙන්නේ ජනාධිපතිවරයෙක් ඒකාධිපතිත්වය කරා යන්නේ පුද්ගල ස්වභාවය නිසා මිසක් ධුරයේ බලතල නිසා නොවන බව පෙන්වා දෙන්නයි. ඩිංගිරි බණ්ඩා විජේතුංගව ඇතැම් අය විසින් මෘදු පාලකයෙක් ලෙසත් තවත් අය දුර්වල පාලකයෙක් ලෙසත් හඳුන්වනවා.

විජේතුංගට පෙර සිටි ජයවර්ධන හා ප්‍රේමදාස ජනාධිපතිවරුන් දෙන්නාම හැඳින්විය හැක්කේ දැඩි පාලකයින් ලෙසයි. ජයවර්ධන යුගයේ මාධ්‍ය නිදහස ගැන දැන් පණහ පැනලා සිටින, එවකට තරුණ හෝ මැදි වියේ සිටි පරම්පරාවට අමුතුවෙන් මතක් කර දිය යුතු නැහැ. නමුත්, දැන් තරුණ වියේ සිටින අයට ඒ ගැන හිතා ගන්න අසීරු වෙන්න පුළුවන්. අන්තර්ජාල පහසුකම් නොතිබුණු, පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ප්‍රචලිතව නොතිබුණු, මුද්‍රිත මාධ්‍ය සියල්ලම වාගේ රජයේ සෘජු හෝ වක්‍ර පාලනය යටතේ තිබුණු ඒ යුගයේ මේ දැඩි පාලනය පවත්වා ගෙන ගිය එක් ප්‍රධාන ක්‍රමයක් වුනේ මාධ්‍ය හරහා ආණ්ඩුවට අවශ්‍ය මතවාද දිගින් දිගටම පොම්ප කිරීමයි.

ජයවර්ධන යුගයේදී ආණ්ඩුවේ මතයෙන් වෙනස් දේශපාලන අදහස් හා ආණ්ඩුවට ප්‍රචාරය කිරීමට අවශ්‍ය නොවූ පුවත් ඉදිරිපත් කළේ ලොකු පිටපත් ගණනක් නොවිකුණුනු, දේශපාලන පක්ෂයක පුවත්පතක් වූ ඇත්ත පුවත්පත වැනි සීමිත මාධ්‍ය කිහිපයක් විසින් පමණයි. එක පැත්තකින් රජයෙන් පත් කළ බලධාරියෙකු හරහා සෘජුවම අදහස් හා පුවත් වාරණය කෙරුණා. අනෙක් අතින්, තෝරාගත් පුද්ගලයින්ට බලපෑම් හෝ බිය වැද්දීම් කිරීම මගින් ඔවුන් හා තවත් අය නිහඬ කරනු ලැබුවා. මෙයට සමාන්තරව බොහෝ දෙනෙක් තමන්ටම ස්වයං වාරණයක් පනවා ගත් නිසා ආණ්ඩුවේ කාර්යය එතරම් අපහසු වුනේ නැහැ.

නිසි බලධාරියා හරහා හෝ අනෙකුත් බලපෑම් හරහා නාන තොටේ හෝ මත්පැන් සාදයක සිදුවන කතාබහ නියාමනය කරන්න බැහැ. නමුත්, මිනිසුන් විසින් ස්වයං වාරණයක් පනවා ගත් විට ගෙවල් වල බිත්ති හතර ඇතුළේ සිදුවන කතාබහ පවා නවතිනවා. නරකම තත්ත්වය එයයි. ජයවර්ධන ආණ්ඩුවේ අවසන් කාලය වෙද්දී මුලින්ම රාවය සඟරාව නිසා නිහඬ බව තරමක් දුරට බිඳුණා. පසුව රාවය සඟරාව විකල්ප පුවත්පතක් වුනා. යුක්තිය වැනි තවත් විකල්ප පුවත්පත් ආවා. කතා කරන්න තිබෙන බය පොඩ්ඩක් අඩු වුනා. හැබැයි පොඩ්ඩක් විතරයි!

ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් බැලූ විට ප්‍රේමදාස පාලනය කවර අයුරකින් හෝ ජයවර්ධන පාලනයට වඩා හොඳ පාලනයක් වුනේ නැහැ. ප්‍රේමදාසව ඝාතනය වීම බොහෝ දෙනෙකුට දැනුනේ පපුව මත තබා තිබුණු ලොකු කළු ගලක් ඉවත් වුනා වගෙයි. මා දන්නා තරමින් ලංකාවේ මිනිස්සු පුද්ගලයෙකුගේ මරණයක් ගැන අසා රතිඤ්ඤා පත්තු කළ මුල්ම අවස්ථාව අනූ තුනේ මැයි දිනයයි. කොහොම වුනත්, මේ කාලය වෙද්දී ආණ්ඩු විරෝධය ජේආර්ගේ කාලයේ මෙන් යටපත්ව තිබුණු එකක් නෙමෙයි. විකල්ප පුවත්පත් වැඩිම ගණනක් පළ වුනේත්, ඒවාට වැඩිම ඉල්ලුමක් තියෙන්න ඇත්තේත් මේ කාලයේ වෙන්න ඇති. විමල්, ඩලස් හා විනී වගේ අයට එකතු වී මහජන ආධාර එකතු කර විකල්ප පත්තරයක් පටන් ගන්න පුළුවන් වුනෙත් ඒ වෙද්දී විකල්ප මතවාද වලට විශාල වෙළඳපොළක් තිබුණු නිසයි.

ඩිංගිරි බණ්ඩා විජේතුංග ජනාධිපති ධුරයට පත් වුණේ රණසිංහ ප්‍රේමදාසගේ අනපේක්ෂිත මරණය නිසයි. ඔහු එම ධුරය දැරුවේ වසර එකහමාරක පමණ සාපේක්ෂව කෙටි කාලයක් පමණයි. ඒ කාලය සාපේක්ෂව සාමකාමී, මිනිස්සු බයෙන් ජීවත් නොවූ කාලයක් බව කවුරුත් වාගේ එකඟ වෙන දෙයක්. එහෙම වෙන්න ජනාධිපති විජේතුංගගේ චරිත ලක්ෂණ යම් තරමකින් හේතු වෙන්න ඇති. නමුත්, ප්‍රධාන හේතුව එය කියා මා හිතන්නේ නැහැ.

ප්‍රේමදාස ඝාතනයට පෙරම ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර කණ්ඩායම විසින් එජාපය දෙකට කඩලයි තිබුණේ. ඔවුන් පිහිටවූ පක්ෂය ආණ්ඩු විරෝධී වූ, එහෙත් සමාජවාදීන් නොවූ, නාගරික හා අර්ධ නාගරික උගත් පිරිස් වේගයෙන් ආකර්ෂණය කර ගනිමින් සිටියා. අනෙක් පැත්තෙන් චන්ද්‍රිකාගමනය නිසා විශාල කාලයක් අකර්මන්‍යව තිබුණු ශ්‍රීලනිපය නැවත පණ ලබා තිබුණා.

ලලිත්, ගාමිණී, ප්‍රේමචන්ද්‍ර තිදෙනාම ඝාතනය වී ඔවුන් පිහිටවූ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ අකර්මන්‍ය වී ගියත් එම පක්ෂය තවමත් නමට හෝ තිබෙනවා. මෙවර ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ආසන ගණනාවක තෙවැනි තැනට ආ ආරියවංශ දිසානායක තරඟ කළේ එම පක්ෂයෙන්. මුල් කාලයේදී එම පක්ෂය වැරදිලා වැටෙන ඡන්ද ලබාගත් පක්ෂයක් නෙමෙයි. තෙවන පක්ෂයක් ලෙස ටික කලක් වේගයෙන් ඉදිරියට ආ පක්ෂයක්.

ඩීබී විජේතුංග විසින් ජනාධිපති ධුරය භාර ගන්නා අවස්ථාව වන විට එක පැත්තකින් ප්‍රඑජාපෙ විසින් එජාප නාගරික ඡන්ද පදනම කඩා ගනිමින් වර්ධනය වෙමින් සිටියා. අනෙක් පැත්තෙන් කලක් ශ්‍රීලනිපයෙන් මෙන්ම රටින්ද බැහැරව සිටි චන්ද්‍රිකා කුමාරතුංග නැවත ලංකාවට පැමිණ ශ්‍රීලනිප සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසුව, වාමාංශික පක්ෂ ගණනාවක් එකතු කර ගනිමින් පොදුජන එක්සත් පෙරමුණ යටතේ ශක්තිමත් ලෙස සංවිධානය වෙමින් සිටියා.

ප්‍රේමදාස ඝාතනයෙන් හා ඩීබී විජේතුංග ජනාධිපති සේ පත් වීමෙන් තෙසතියක් යන්නත් පෙර පැවැත්වුණු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල වලින් පළමු වරට එජාපයේ පරිහානිය පැහැදිලිව පෙන්නුම් කළා. තරඟ කළ දිස්ත්‍රික්ක සියල්ලේම මුල් තැනට ආවේ එජාපය වුවත්, බස්නාහිර, දකුණු හා වයඹ පළාත් සභා වල බලය පිහිටුවීමට අවශ්‍ය බහුතර මන්ත්‍රී වරුන් ගණන එජාපය සතු වූයේ නැහැ. පුටුව ලකුණින් තරඟ කළ පොදුජන එක්සත් පෙරමුණ හා රාජාලියා ලකුණින් තරඟ කළ ප්‍රඑජාපෙ මන්ත්‍රී ධුර වල එකතුව එජාපයේ මන්ත්‍රී ධුර ගණන ඉක්මවූවා.

බස්නාහිර පළාතේදී මේ තත්ත්වය විශේෂයෙන් කැපී පෙනුනා. එජාපෙ, පොඑපෙ හා ප්‍රඑජාපෙ අතර කොළඹදී 17-17-10 ලෙසත්, ගම්පහදී 16-15- 4 ලෙසත් කළුතරදී 10-9-3 (හා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීධුරයක්) ලෙසත් මන්ත්‍රී ධුර බෙදී ගියා. බෝනස් ආසන දෙක හා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී ධුරයද සමඟ සමස්තයක් ලෙස එජාප මන්ත්‍රීවරුන් ගණන 46ක් පමණක් වෙද්දී, එජාප විරෝධී කණ්ඩායම සතුව මන්ත්‍රී ධුර 58ක් තිබුණු නිසා චන්ද්‍රිකා කුමාරතුංගට බස්නාහිර පළාතේ මහ ඇමති වීමට හැකි වුනා. පළාත් සභා පිහිටුවීමෙන් පසුව, විපක්ෂය විසින් එජාපයට එරෙහිව මෙවැනි ජයග්‍රහනයක් ලබා ගත්තේ මුල් වරටයි.

දකුණු හා වයඹ පළාත් වලත් විපක්ෂය සතුව වැඩි මන්ත්‍රී ධුර ප්‍රමාණයක් තිබුණත්, එජාපය හා එජාප විරෝධී කණ්ඩායම් දෙක අතර බස්නාහිර පළාතේ මෙන් ලොකු පරතරයක් තිබුණේ නැහැ. එජාපෙ, පොඑපෙ හා ප්‍රඑජාපෙ අතර දකුණු පළාතේදී 27-22-6 ලෙසත්, වයඹ පළාතේදී 25-18- 9 ලෙසත් මන්ත්‍රී ධුර බෙදී ගොස් තිබුණා. කෙසේ වුවත්, බස්නාහිරදී මෙන් මේ පළාත් දෙකේදී මහ ඇමති ධුරය අත් හරින්න එජාපය සූදානම් වුනේ නැහැ. වයඹ ආණ්ඩුකාර මොන්ටේගු ජයවික්‍රම විසින් ප්‍රඑජාපෙ ජී එම් ප්‍රේමචන්ද්‍ර වෙනුවට එජාපෙ ගාමිණී ජයවික්‍රම පෙරේරාවත්, දකුණු පළාත් ආණ්ඩුකාර බාකීර් මාකර් විසින් පොඑපෙ අමරසිරි දොඩම්ගොඩ වෙනුවට එජාපයේ එම් එස් අමරසිරිවත් මේ දෙපළාතේ මහ ඇමතිවරුන් සේ පත් කළා.

එජාප විරෝධී කණ්ඩායමට ප්‍රශ්නය විසඳා ගැනීමට අධිකරණයේ පිහිට පතන්න සිදු වුනා. අධිකරණයේ තීරණය අනුව 1993 ඔක්තෝබර් සිට ජී එම් ප්‍රේමචන්ද්‍රට වයඹ මහ ඇමති ධුරයත්, අමරසිරි දොඩම්ගොඩට දකුණු මහ ඇමති ධුරයත් හිමි වුනා. මෙය එජාපය ලැබූ විශාල පරාජයක්.

කොහොම වුනත් එජාපය පහසුවෙන් බලය අත හරින්න සූදානම් වුනේ නැහැ. ඔවුන්ගේ ඉලක්කය වුනේ යාන්තම් එක් වැඩි ඡන්දයකින් පවත්වාගෙන ගිය දකුණු පළාත් සභාවයි. 1993 දෙසැම්බර් මාසයේදී පළාත් අයවැය ඡන්ද විමසීම් පැවැත්වෙන දින හම්බන්තොට පොඑපෙ මන්ත්‍රී විමල් ෆ්‍රැන්සිස්කු පැමිණ සිටියේ නැහැ. එජාපය විසින් ඔහුව ඔහුගේ කැමැත්තෙන් හෝ අකැමැත්තකින් තොරව සඟවා තබා ගෙන සිටීම නිසා දකුණු පළාත් සභාවේ අයවැය යෝජනා සම්මත කර ගැනීමට නොහැකි වී පළාත් සභාව විසුරුවා හරින්න සිදු වුනා.

එහෙත්, 1994 මාර්තු මාසයේ පැවැත්වූ දකුණු පළාත් සභා මැතිවරණය එජාපයට පාරාවළල්ලක් වුනා. එවර බලපිටිය හැර දකුණු පළාත් සභාවේ සියලුම ආසන ජය ගත්තේ පොදුජන එක්සත් පෙරමුණයි. පළාත් සභාවේ මන්ත්‍රීධුර 32ක්ම  පොඑපෙට හිමි වූ අතර, එජාපයට ලැබුණේ මන්ත්‍රීධුර 23ක් පමණයි. ඉන් පසුව, 1994 අගෝස්තුවේදී පැවති මහ මැතිවරණයෙන් එජාපය පරාජය කර පොඑපෙ ජයග්‍රහණය කිරීම සඳහා පාර කැපුණේ මේ දකුණු පළාත් සභා මැතිවරණයෙනුයි.

මහ මැතිවරණයෙන් පසුව 1994 නොවැම්බරයේදී පැවති ජනාධිපතිවරණයේදී  චන්ද්‍රිකා කුමාරතුංග විසින් ලද ජය ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම මැතිවරණ ජයග්‍රහණයයි. එවර මහියංගනය හැර දිවයිනේ සියලුම මැතිවරණ ආසන වල ඉදිරියෙන් සිටියේ චන්ද්‍රිකා කුමාරතුංගයි. මේ එක්කම ඩීබී විජේතුංගගේ වසර එක හමාරක ධුර කාලයත් අවසන් වුනා.

ජනාධිපතිවරයෙකු ලෙස ඩීබී විජේතුංගගේ භූමිකාව ගැන විග්‍රහ කරද්දී අදාළ වසර එකහමාරක කාලය තුළ රටේ දේශපාලන බලතුලනය වෙනස් වෙමින් පැවති ආකාරය අමතක කර ඒ ගැන කතා කරන්න අමාරුයි. විජේතුංග අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වන්නේම රටේ මිනිස්සුන්ගේ අමන්දානන්දයට හේතු වූ, ඔවුන් රතිඤ්ඤා පත්තු කර කිරිබත් උයා කා සතුටු වූ මරණයක ප්‍රතිඵලයක් ලෙසයි. ඒ එක්කම පැවැත්වෙන පළාත් සභා මැතිවරණ වලින් රැල්ල අනිත් පැත්තට කැරකෙන බව පැහැදිලි වෙනවා. විජේතුංගගේ වසර එකහමාර ඇතුළත දාහත් වසරක් එජාපය සතු වූ දේශපාලන බලය ක්‍රමයෙන් ගිලිහී යනවා. එජාපය මැතිවරණ පරදිනවා. අධිකරණය එජාපයට අවාසිදායක තීන්දු දෙනවා. මේ දේවල් වෙන්නේ ඩීබී විජේතුංග ජනාධිපති වී සිටි නිසා කියා කියන්න බැහැ. තරමක් උත්ප්‍රාසජනක ප්‍රකාශයක් වුවත්, එජාපය වැටෙන කාලයේ ඩීබී විජේතුංග ජනාධිපති වී සිටි බව කීමේ වැරැද්දක් නැහැ.

රටේ පවතින දේශපාලන බලතුලනය අනුව විධායක ජනාධිපතිවරයෙකුට වුවත් කළ හැකි දේ සීමා වෙනවා. එය අමතක කර කිසියම් පුද්ගලයෙකු මෘදු පාලකයෙකු හෝ පඹයෙකු සේ හැඳින්විය නොහැකියි. ඩීබී විජේතුංග කියා කියන්නේ ඇතැම් ප්‍රතිපත්ති කරුණු අරභයා දැඩි ස්ථාවරයක සිටි පුද්ගලයෙක්. උතුරේ ප්‍රශ්නය තනිකරම ත්‍රස්තවාදී ප්‍රශ්නයක් බවත්, ප්‍රශ්නයට අවශ්‍ය වන්නේ යුදමය විසඳුමක් බවත් සෘජුව හා දිගින් දිගටම පැවසූ එකම ජනාධිපතිවරයා ඩීබී විජේතුංගයි. මහින්ද රාජපක්ෂ පවා ආරම්භයේදී මෙවැනි ස්ථාවරයක සිටියේ නැහැ. ඒ වගේම, රාජපක්ෂ කාලයේදී මෙන් මේ ස්ථාවරය ඒ කාලයේදී රටේ ජනප්‍රිය ස්ථාවරය වුනේත් නැහැ. රටේ බොහෝ දෙනෙක් විශ්වාසය තැබුවේ සාම සාකච්ඡා පිළිබඳවයි. චන්ද්‍රිකාට 62.3%ක ජනමතයක් ලැබුණේ ඈ දැඩි සේ සාමයට කැප වී සිටි නිසයි. චන්ද්‍රිකා රජයේ බලය බෙදීමේ වෑයම අසාර්ථක වූයේ රනිල් ප්‍රධාන එජාපය දැඩි සේ විරුද්ධ වූ නිසයි. (මෙය ඉතිහාසය ගැන කරුණු ඉදිරිපත් කිරීමක් මිස ජනවාර්ගික ප්‍රශ්නය පිළිබඳ ලේඛකයාගේ එදා හෝ අද මතය ගැන අදහස් දැක්වීමක් නෙමෙයි.)

යහපාලන ආණ්ඩුවේ සාපේක්ෂ මෘදු පාලනයට හේතු වුනේත් පුද්ගල සාධක වලට වඩා රටේ පැවති දේශපාලන බල තුලනයයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සේ පත් වුනේ තනතුරේ බලය මිස රටේ දේශපාලන බලයක් රහිතවයි. දේශපාලන බලය බෙදී ගොස් තිබුනේ රනිල් හා මහින්ද අතරයි. රට තුළ දේශපාලන බලයක් නැත්නම් විධායක ජනාධිපතිවරයෙකුට වුවත් රිසි දේ කළ නොහැකියි. ශ්‍රීලනිප සභාපති ධුරය ලබා ගනිමින් මෛත්‍රීපාල සිරිසේන විසින් මුල සිටම උත්සාහ කළේ තමන්ට අහිමි දේශපාලන බලය කෙසේ හෝ ලබා ගන්නයි. එහෙත්, ඔහුට එය කරගත හැකි වූයේ නැහැ. මහින්දගේ ශක්තිය ලැබුණු කෙටි කාලය තුළදී ඔහු ක්‍රියා කළ ආකාරයෙන් වෙනස පැහැදිලි විය යුතුයි.

පාලනය දැඩි හෝ මෘදු වෙන්නේ ව්‍යවස්ථාව හරහා රටේ ප්‍රධාන තනතුරු වෙත බලය නාභිගත කර තිබීම හෝ පුද්ගල සාධක මත පමණක් නෙමෙයි. එය වැඩිපුරම තීරණය වෙන්නේ රටේ පවතින දේශපාලන බලතුලනය මතයි.

Sunday, November 24, 2019

බ්‍රෙක්සිට් වුනේ කැමරන් පටි තද කළ නිසාද?


තව තෙසතියකින් තිබෙන මහ මැතිවරණය සඳහා මේ වන විට එක්සත් රාජධානිය සූදානම් වෙමින් සිටිනවා. මෙය එරට සාමාන්‍ය මැතිවරණ රටාවෙන් වෙනස්ව කලින් පවත්වන මහ මැතිවරණයක්. මැතිවරණ සටනේ කේන්ද්‍රීය මතවාද නාභිගත වී තිබෙන්නේ එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් ඉවත් වීම හා අදාළ විවිධ දේශපාලනික කරුණු වෙතයි.

තෙවසරකට පෙර 2016 ජූනි මාසයේදී පැවති ජනමත විචාරණයක ප්‍රතිඵල මත එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් ඉවත් වුනා. ජනමත විචාරණයේදී වෙන් වීමට පක්ෂව ඡන්ද 51.9%කුත් විරුද්ධව ඡන්ද 48.1%කුත් ලැබුණා. ස්කොට්ලන්තයේ හැම ප්‍රදේශයකම වගේත්, උතුරු අයර්ලන්තයේ හා වේල්සයේ ප්‍රදේශ ගණනාවකත් බහුතර කැමැත්ත තිබුණේ වෙන් නොවී සිටීමටයි. ලන්ඩනය ආශ්‍රිත ප්‍රදේශ වල හා එංගලන්තයේ අනෙකුත් නාගරික ප්‍රදේශ වල තිබුණේත් එවැනිම තත්ත්වයක්. එහෙත්, සමස්තයක් ලෙස වැඩි ඡන්ද ලැබී තිබුණේ වෙන් විය යුතුයි යන මතයටයි.

බ්‍රෙක්සිට් ජනමත විචාරණයේ ඡන්ද බෙදී ගිය ආකාරය සංස්කෘතික සාධක මත පහසුවෙන් පැහැදිලි කළ හැකියි. ඒ පදනම මත බහුතර ඉංග්‍රීසි ජාතිකයින් වෙන් වීමටත්, ස්කොට්, වේල්ස් හා අයර්ලන්ත ජාතිකයිනුත් විවිධ රටවලින් පැමිණි සංක්‍රමණිකයින් ඇතුළු අනෙකුත් සුළුතර පිරිසුත් වෙන් නොවී යුරෝපීය සංගමය හා එක්ව සිටීමට කැමැත්තෙන් සිටි බවත් පෙන්වා දිය හැකියි. මේ හැර, ආර්ථික සාධක කොපමණ දුරකට ජනමත විචාරණ ප්‍රතිඵලයට බලපෑවාද?

භාණ්ඩ හා සේවා වෙළඳාමට දේශ සීමාවක් විවෘත කිරීමෙන් දේශ සීමාව දෙපසම සිටින රට වලට යහපතක් සැලසෙන බව පිළිගත් මූලික න්‍යායයක්. මේ ආකාරයෙන්ම ශ්‍රමයට හා ප්‍රාග්ධනයට දේශ සීමාව හරහා නිදහසේ ගලා යන්න ඉඩ දීමෙනුත් දෙරටටම යහපතක් සැලසෙනවා.

ජාත්‍යන්තර වෙළඳාමේ මූලධර්ම ගැන පෙර ලියා පළ කළ ලිපි කිහිපයක් පහත තිබෙනවා.

ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -1

ජාත්‍යන්තර වෙළඳාමේ වාසි අවාසි -2

එහෙත්, මේ ආකාරයට දේශ සීමා විවෘත කිරීම නිසා රටට පොදුවේ යහපතක් සැලසුනත් ඇතැම් කණ්ඩායම් වලට අවාසියක් වෙන්න පුළුවන්. ඒ ගැනත් මා පෙර විස්තර කර තිබෙනවා.

ජාත්‍යන්තර වෙළඳාමෙන් අවාසි කාටද?

සංක්‍රමණයට දොරටු විවර කළොත්?

දේශ සීමා විවෘත වූ විට ඇතැම් කණ්ඩායම් වලට නිරායාසයෙන්ම වාසියක් ලැබෙනවා. වෙනත් ඇතැම් කණ්ඩායම් වලට මේ වාසිය ගන්නනම් තමන් කරන රැකියාව වෙනස් කරන්න වෙනවා. එය එකවර කරන එක පහසු දෙයක් නොවන නිසා පෙර රැකියාවේම දිගටම නියැලෙන අයට දේශ සීමා විවෘත කිරීම නිසා අවාසියක් සිදු වෙනවා. රාජ්‍ය සුබසාධනය නිසා ඒ අවාසි තරමක් දුරට මග හැරෙනවා.

තත්ත්වය මේ විදිහට තියෙද්දී රජය විසින් සුබසාධන වියදම් කපා හැරියොත් මොකද වෙන්නේ?

එක්සත් රාජධානියේ රැකියා යුරෝපීය සංගමයේ අනෙකුත් සාමාජික රටවල ශ්‍රමිකයින්ට විවෘත කිරීමෙන් පසුව බඩේ පාර වැදුණු ජන කොටස් වලට තිබුණු සහනය රාජ්‍ය සුබසාධනයයි. එහෙත්, 2010දී බලයට පත් වූ ඩේවිඩ් කැමරන් ආණ්ඩුව විසින් සුබසාධන වියදම් කපා හැරීම නිසා මේ ජන කොටස් වලට වුනේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වගේ වැඩක්. වොරික් සරසවියේ තියාමෝ ෆෙට්සර් විසින් පෙන්වා දෙන පරිදි, මේ සුබසාධන කප්පාදුව නොවන්නට එක්සත් රාජධානිය යුරෝපීය සංගමයෙන් වෙන් වීම සිදුවිය නොහැකිව තිබුණු දෙයක්. තියාමෝගේ ගණන් බැලීම් අනුව සුබසාධන කප්පාදුව නිසා වෙන් වීමට ඇති සහයෝගය අවම වශයෙන් 6%කින් ඉහළ ගොස් නිබෙනවා. වෙන් වීමට පක්ෂව ලැබුනේ 1.9%ක වැඩි ඡන්දයක් පමණයි.

තියාමෝට අනුව, 2016ට පෙර යුරෝපීය සංගමයෙන් වෙන්වීම ප්‍රධානම මතවාදය කරගත් සැලකිය යුතු ජන පදනමක් තිබුණු එකම පක්ෂය ඉන්ඩිපෙන්ඩන්ට් පක්ෂයයි. ඔහු පෙන්වා දෙන්නේ 2005-2010 අතර කාලය තුළ  ඉන්ඩිපෙන්ඩන්ට් පක්ෂය සතු වූ ජනබලය එකවර විශාල ලෙස ඉහළ ගිය බවයි. 2005-2010 කාලය තුළ රාජ්‍ය සුබසාධන වියදම් මූර්ත පදනමකින් 23.4%කින් පහළ ගොස් තිබෙන අතර විවිධ දිස්ත්‍රික්ක වල මේ පහළ යාම 6.2% සිට 46.3% අතර පරාසයක වෙනස් වෙනවා. තියාමෝ විසින් පෙන්වා දෙන්නේ මේ ආකාරයට කිසියම් දිස්ත්‍රික්කයක සුබසාධන වියදම් පහළ ගිය අනුපාතයට අනුරූපීව ඉන්ඩිපෙන්ඩන්ට් පක්ෂයේ ඡන්ද පදනමද ඉහළ ගොස් ඇති බවයි.

තියාමෝගේ පර්යේෂණ පත්‍රිකාව ඇමරිකන් ඉකොනොමික් රිවීව්හි නොවැම්බර් කලාපයේ පළ වී තිබෙනවා.


Friday, November 22, 2019

යහපාලන පරීක්ෂණය



අවුරුදු හතරහමාරක් පමණ තිස්සේ සිදු කෙරුණු යහපාලන පරීක්ෂණය මේ වන විට අවසන් වී තිබෙනවා. මෙය ලංකාවේ දේශපාලනය තුළ සිදු කෙරුණු වෙනස්, අළුත් පරීක්ෂණයක්. දැන් ආරම්භ වී තිබෙන්නේද එවැනිම වෙනස්, අළුත් පරීක්ෂණයක්. බොහෝ කරුණු අතින් මේ පරීක්ෂණ දෙක අසමාන වුවත් සමානතාද තිබෙනවා. යහපාලන ආණ්ඩුව හමුවේ වූ ප්‍රධානම අභියෝගය වුනේ ඔවුන්ව බලයට පත් කළ විවිධ, වෙනස් පාර්ශ්ව වල විෂමජාතීය අභිලාශ ගණනාවක් එක වර ඉටු කිරීමයි. එය කළ නොහැකි වූ නිසා ඉතා ඉක්මණින්ම යහපාලන ආණ්ඩුවට මිතුරන් නැති වුනා. අලුත් ආණ්ඩුව හමුවේ ඇති ප්‍රධාන අභියෝගයද මීටම සමාන එකක්. මේ අභියෝගයට මුහුණ දෙන ආකාරය මත අලුත් ආණ්ඩුවේ අනාගතය තීරණය වෙනවා. අලුත් ආණ්ඩුව මේ ගැන අවබෝධයකින් කටයුතු නොකරන්න හේතුවක් නැහැ.

මා යහපාලන ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා සක්‍රියව හෝ වක්‍ර ලෙස දායක වූ අයෙකු නෙමෙයි. එවැනි තේරීමක් ඒ අවස්ථාවේදී මා සතුව තිබුණේද නැහැ. ලංකාවේ රාජ්‍ය පාලකයා තෝරා පත් කර ගැනීමට මට දායක විය හැකිව තිබුණු බොහෝ අවස්ථාවලදීද මා ඒ අවස්ථාවන් ප්‍රයෝජනයට ගෙන නැහැ. ඒ, රටේ බහුතරයකගේ කැමැත්ත කුමක් වුවත් ඒ සමඟ අනුගත වීම මට ප්‍රශ්නයක් නොවූ බැවිනුයි. කෙසේ වුවත්, 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිතා කිරීම මගේ තේරීමක් වූයේනම් මගේ ඡන්දය මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාගත හැකිව තිබුණා. ඒ, ඒ අවස්ථාවේදී රාජපක්ෂලාගේ ගමනට තාවකාලිකව හෝ විරාමයක් තැබීම අනිවාර්ය අවශ්‍යතාවයක් වූ බැවිනුයි

රාජපක්ෂලා සමඟ මට පෞද්ගලික ප්‍රශ්න කිසිවක් තිබී නැහැ. දැනටත් නැහැ. රාජපක්ෂ ආණ්ඩුව මෙහෙයවූ ප්‍රධාන පුද්ගලයින්ගෙන් පෞද්ගලිකව මට හොඳක් මිස නරකක් සිදු වී ද නැහැ. එහෙත්, ඒ හේතුව නිසා හෘද සාක්ෂියට එකඟව රාජපක්ෂ ආණ්ඩුවේ අවසන් භාගයේදී කටයුතු සිදු වූ ආකාරය වෙනුවෙන් පෙනී සිටින්නට පුළුවන්කමක්ද නැහැ. 2015දී රාජපක්ෂලා පරාජය වූයේත්, යහපාලන ආණ්ඩුව බලයට පත් වූයේත් ආසන්න කාලයේදී රාජපක්ෂ ආණ්ඩුව විසින් කළ කී දෑ ගැන ඊට පෙර රාජපක්ෂ ආණ්ඩුව සමඟ සිටි බොහෝ දෙනෙක් කළකිරී සිටි නිසායි. විවිධ අය එසේ කළකිරී සිටියේ විවිධ හේතු මතයි.

රාජපක්ෂලා පරාජය කර යහපාලන ආණ්ඩුව පිහිටුවීමට දායක වූ බොහෝ දෙනෙකුට විවිධ අපේක්ෂාවන් තිබුණා. මේ අය ටිකෙන් ටික යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වූයේ ඔවුන් අපේක්ෂා කළ දේවල් යහපාලන ආණ්ඩුවෙන් ඉටු නොවූ නිසා. දැන් බොහෝ දෙනෙක් කියන්නේ යහපාලන ආණ්ඩුව විසින් කළ කෙහෙම්මලක් නැති බවයි. පෙර කී පරිදි මා යහපාලන ආණ්ඩුව පිහිටුවීමට දායක වූ අයෙකු නොවූවත්, යම් හෙයකින් මා එසේ දායක වී තිබුණේනම් මා අද ඒ ගැන කණගාටු වන්නේ නැහැ. 2015දී යහපාලන ආණ්ඩුවෙන් මා යමක් අපේක්ෂා කළේනම් ඒ දෙය ඔවුන් විසින් ඉටු කර තිබෙනවා. ඉතාම සංක්ෂිප්තව කියනවානම් යහපාලන ආණ්ඩුවෙන් මා අපේක්ෂා කළේ වසර කිහිපයක් හෝ ආණ්ඩු නොකර සිටීමයි.

මා සිතූ ආකාරයට සිතූ විශාල පිරිසක් යහපාලනය පිහිටුවීමට දායක වූ අය අතර වුවද සිටියේයැයි මා සිතන්නේ නැහැ. එහෙත්, ඒ වන විට රාජපක්ෂලාගේ ආණ්ඩු කිරීම ඇති වී සිටි යම් පිරිසක් සිටින්නට ඇති. රාජපක්ෂලාට කලකට නිවාඩුවක් දීමෙන් ලබාගත හැකි වූ සාධනීයම ප්‍රතිඵලය යම් තරමකින් හෝ ආණ්ඩු කිරීමෙන් බේරී ටික කලක් සිටිය හැකි වීමයි.

මේ ලිපිය ලියන ළමයා හිතන ආකාරයෙන් ලංකාවේ ළමයි බොහෝ දෙනෙක් හිතන්නේ නැහැ. ඒ ළමයින්ට ගුරු විවේකාගාරයට ගොස් ඉන්ටවල් ඉවර වෙන්නත් කලින් ටීචර්ව නැවත පංතියට කැන්දා ගෙන එන්නට තිබුණේ පුදුම හදිස්සියක්. වේවැල අතට ගන්නට ටීචර්ට මතක් කරන්නේත් ළමයින් විසින්මයි. අපේ කාලෙනම් එහෙම නෑ හාමුදුරුවනේ!

රනිල්ගේ ආණ්ඩුව වැඩ බැරි ආණ්ඩුවක් බව කියන බොහෝ පිරිසක් සිටිනවා. මේ අය දැන් රනිල්ව එපා වී සිටියත්, 2015දී යහපාලන ආණ්ඩුව බලයට රැගෙන ඒමට දායක වූ අයයි. ඔවුන් රනිල්ගෙන් ඒකාධිපතියෙකු බලාපොරොත්තු වන්නට ඇති. දැන් මේ පිරිස රනිල් තුළින් හමු නොවූ ඒ ඒකාධිපතියාව ගෝඨාභය තුළින් සොයනවා.

මා, හොඳ හෝ නරක හෝ, පුද්ගලයින්ගේ චරිත ලක්ෂණ මත ඕනෑවට වඩා බර තබන්නේ නැහැ. එහෙත්, බොහෝ දෙනෙක් එසේ කරනවා. රනිල්, මහින්ද, ගෝඨාභය, සජිත්, අනුර කුමාර, චම්පික වැනි ඕනෑම කෙනෙකු අවශ්‍ය තත්ත්වයන් සැපිරේනම් ඒකාධිපතියෙකු සේ කටයුතු කරන්නට ඉඩ තිබෙනවා. වෙනස් තත්ත්වයන් යටතේ ඒ අයම වැඩ බැරි දාසලා වන්නටද පුළුවන්. ඒ නිසා, ඒ අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය කර ගැනීම හෝ වලක්වා ගැනීම මිස පුද්ගලයින්ගේ චරිත ලක්ෂණ සැසඳීම වැඩි තේරුමක් නැති දෙයක්. රනිල්ට ඒකාධිපතියෙකු සේ කටයුතු කරන්නට ඉඩ සැලසෙන වාතාවරණයක් රටේ නොහැදෙන බව වගේම යහපාලන ආණ්ඩුවට කළ හැකි ලබ්බක් නැති බව 2015 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වන විටද පෙනෙන්නට තිබුණු දෙයක්. පෞද්ගලිකව මටනම් යහපාලන ආණ්ඩුව බලයට පැමිණීම ආකර්ශනීය වුනේම මේ හේතුව නිසා.

ආණ්ඩුවේ ඇඟිලි ගැසීම් අඩු වුනා කියා රටක් අයාලේ යන්නේ නැහැ. ආර්ථිකය වැටෙන්නේද නැහැ. බොහෝ විට ඔය දේවල් වෙන්නේ ටික දෙනෙකු එකතු වී පවතින ක්‍රමය වඩා හොඳින් ප්‍රතිනිර්මාණය කරන්නට යන විටයි.

මා මේ වියුණුව ආරම්භ කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති  වී මාස ගණනකට පසුවයි. ඒ දවස් වල ආණ්ඩුවට ඕනෑ තරම් යාළුවන් හිටියා. ඒ අය ආණ්ඩුව විසින් කළ හොඳ වැඩ ගැන කතා කළ නිසා අපට ආණ්ඩුවේ හොඳ වැඩ අගය කරන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ආණ්ඩුව වැරදි පාරවල් වල යන විට වෙනත් අය ඒ ගැන කතා කර නැති අවස්ථා වලදී අප පෙන්වා දුන්නා. පරණ ආණ්ඩුවට වැරදි පටවන අවස්ථා වලදීත් අප ඒ බව පෙන්වා දුන්නා. එහෙත්, පරණ ආණ්ඩුවේ වැරදි අප වැඩිපුර කතා කළේ නැහැ. අප අතීතයේ සිදු වූ වැරදි ගැන කතා කරන්නේ ඒ වැරදි වලින් ඉගෙන ගෙන වර්තමානය නිවැරදි කර ගන්නට අවස්ථාවක් ඇති විටයි. ඒ නිසා, ගෙදර ගිය ආණ්ඩුවක් බලයේ සිටිද්දී කළ දේ විවේචනය කිරීමේ වැඩි තේරුමක් තිබුණේ නැහැ.

වැඩි කල් නොයා යහපාලන ආණ්ඩුවට යාළුවන් නැති වී ගියා. ඉන් පසුව, යහපාලන ආණ්ඩුව අසාධාරණ සේ විවේචනයට ලක් වන විට අප නියම තත්ත්වය පැහැදිලි කළා. එක් එක් අය එය දකින්නේ තමන්ගේ දැනුම් සීමාවන් තුළයි. එක් ආගමික මතයක  සිරකරුවකු වී සිටින අයෙකු වෙනත් අයව දකින්නේ වෙනත් ආගමික මතයක සිරකරුවකු ලෙසයි. එක් වර්ගයක ජාතිවාදීයෙකු  වෙනත් අයව දකින්නේ වෙනත් වර්ගයක ජාතිවාදීයෙකු ලෙසයි. දේශපාලන පක්ෂයක රාමුව ඇතුළේ හිර වී සිටින අය අනෙක් අය දකින්නේ වෙනත් පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටින අය ලෙසයි. ඒ ගැන අපට කරන්න දෙයක් නැහැ.

යහපාලන ආණ්ඩුව නිසා රට බෙදෙනවා කියන එක දිගින් දිගටම කියැවුණු කතාවක්. උවමනාවක් තිබුණත් බලය බෙදීමක් වැනි දෙයක් කිරීමේ හැකියාවක් යහපාලන ආණ්ඩුවට තිබුණේ නැහැ. එවැන්නක් කිරීමේ හැකියාව තිබෙන්නේ සිංහල බහුතරයකගේ විශ්වාසය දිනා සිටින ආණ්ඩුවකට පමණයි.

යහපාලන ආණ්ඩුව කාලයේ රටේ ආර්ථික වර්ධනය ටිකින් ටික අඩු වුනා. අමුතු කතාවක් වගේ පෙනෙන්න පුළුවන් වුවත් මෙය තමයි යහපාලන ආණ්ඩුව විසින් කළ සුවිශේෂී කාර්යය. ක්රෑෂ් වෙන්න යන ආර්ථිකයක් ක්රෑෂ් වෙන එක වලක්වා සොෆ්ට් ලෑන්ඩින් එකක් කරන එක, ටේක් ඕෆ් එකක් හරියට කරනවාට වඩා අමාරු දෙයක්. රාජපක්ෂ ආණ්ඩුවේ සිටි අයගේ ආර්ථික විද්‍යා දැනුමේ අඩුවක් නොතිබුණත් පැවති දේශපාලනික තත්ත්වය අනුව රාජපක්ෂ ආණ්ඩුව යටතේ මේ සොෆ්ට් ලෑන්ඩින් එක කීයටවත් මේ ආකාරයට සිදු වෙන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂට කෝච්චියට නැග ගන්න පුළුවන් වෙන්න කෝච්චිය නැවතුනේ රනිල් කෝච්චියට බෙල්ල තියපු නිසයි.

වෙන්න යන දේ රාජපක්ෂ ආණ්ඩුව දැන සිටියා. කරන්න අවශ්‍ය පිළියමුත් දැනගෙන සිටියා. ඒත් අවශ්‍ය පිළියම් කළානම් සිදුවන දේශපාලන හානියට මුහුණ දෙන්න ඔවුන් සූදානම්ව සිටියේ නැහැ. යම් හෙයකින් 2015 ජනවාරියේදී තෙවන වරට මහින්ද රාජපක්ෂ දිනුවානම්, ඒ ආණ්ඩුවට ගෙවුම් ශේෂ අර්බුදයකට ඉතා ඉක්මණින් මුහුණ දෙන්න වෙනවා. රාජපක්ෂ ආණ්ඩුව හිටියේ අර්බුදයට පිළියම් යොදනවා වෙනුවට අර්බුදයට රට සූදානම් කරන මානසිකත්වයකයි. විදුලි පුටු කතා හරහා කළේ ඒකයි. රාජපක්ෂ ආණ්ඩුව අන්තිම කාලයේ ක්‍රියා කළ ආකාරය අනුව පෙනුනේ බටහිර රටවලින් සම්බාධකයක් වැටෙන තුරු මග බලාගෙන සිටි බවකුයි.

ලොකු ආර්ථික අර්බුද ලංකාවට පුරුදු නැහැ. ලංකාවේ ආර්ථිකය සංකෝචනය වී තිබෙන්නේ එකම එක වරක් පමණයි. ඒත් යාන්තමින්. පහුගිය අවුරුදු හතරේත් එක දිගටම ආර්ථිකය වර්ධනය වුනා මිස ආර්ථිකය හැකිළී නැහැ. ගෙවුම් ශේෂ අර්බුදයක් නිසා එක වරම ආර්ථිකයේ ප්‍රමාණය සීයට විස්සකින් විසිපහකින් කුඩා වෙන්න පුළුවන්. ඇතැම් සිස්ටම් චේන්ජ් කණ්ඩායම් උකුස්සන් වගේ බලා ඉන්නේ එවැනි තැනකට රට වැටෙන තුරුයි. ලංකාවට බටහිර සම්බාධකයක් වැටුනානම් එය බර පැටවූ බූරුවාගේ කොන්ද කඩන අන්තිම පිදුරු ගහ වෙනවා. ඒ නිසා, බූරුවාගේ කොන්ද කැඩුනේ ඒ පිදුරු ගහ නිසා බව මිනිස්සුන්ට කියන්න රාජපක්ෂ ආණ්ඩුවට හැකි වෙනවා.

යහපාලන ආණ්ඩුව බෙල්ල තියන්නේ දුවන කෝච්චියකට බව රාජපක්ෂලා දැන සිටියා. ඒ වගේම, රනිල්ලාත් දැන සිටියා. නමුත්, රාජපක්ෂලා වගේම රනිල්ලාත් ඒ බව සඟවමින් මිනිස්සුන්ට බොරු බලාපොරොත්තු දුන්නා. ආර්ථිකය ප්‍රසාරණය කරන ආකාරය ගැන රනිල්ලා කතා කළේ කිසිදු ප්‍රායෝගික සැලැස්මක් නැතුවයි. රාජපක්ෂලාගේ හොරකම් හා දූෂණ නැවැත්වූ පසු ඒ සල්ලි වලින් ආර්ථිකය ගොඩ දැමිය හැකි බව ඇතැම් අය කිවුවා. මේ වගේ බොරු යහපාලන ආණ්ඩුවට පාරාවළල්ලක් වුනා. කොහොම වුනත් යහපාලන ආණ්ඩුවේ ඓතිහාසික කාර්ය භාරය දැන් ඉවරයි. ජවිපෙත් එකතු කරගෙන නැවත වරක් ශක්තිමත් පොදු අපේක්ෂයෙක් දමලා යම් හෙයකින් ගෝඨාභයව පැරැද්දුවා වුනත් ඉන් පස්සේ නැවත වැටෙන්නේ 2015 ජනවාරියේදී හිටපු තැනටමයි.

යහපාලන ආණ්ඩුව ක්රෑෂ් ලෑන්ඩින් එකක් වැලැක්වුවත් එතැනින් එහාට ලොකු මැජික් එකක් කරලා නැහැ. ඒ නිසා, පොඩි කුෂන් එකක් තිබුණත් අලුත් ආණ්ඩුවට හිතේ හැටියට පිස්සු කෙළින්න පුළුවන් කමක් නැහැ. එහෙම පිස්සු කෙළියි කියා මම හිතන්නෙත් නැහැ.

(Image: http://www.dailynews.lk/2016/09/09/features/92736)

Thursday, November 21, 2019

අයියාට මේ රජ ගේ...


මහින්ද රාජපක්ෂ තෙවන වරටත් ලංකාවේ අගමැති සේ දිවුරුම් දී තිබෙනවා. ජනාධිපතිවරණයකින් පසුව ආණ්ඩුව මාරු වීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් නැතත්, රනිල් වික්‍රමසිංහ විසින් ජනමතය වෙනස් වී ඇති ආකාරය තේරුම් ගෙන අගමැති කමින් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීම නිසා බල හුවමාරුව සුමට ලෙස සිදු වී තිබෙනවා. ඉදිරියේදී නැවත වටයකින් සිදු වීමට නියමිත එජාපයේ බිඳ වැටීමෙන් පසුව රාජපක්ෂ වරුන්ගේ දේශපාලන බලයට නුදුරු කාලයක ලොකු අභියෝගයක් ඇති වීමේ හැකියාවක් පෙනෙන්න නැහැ.

මෙවර මහින්ද රාජපක්ෂ අගමැති සේ දිවුරුම් දෙන්නේ තමන්ගේ බාල සහෝදරයා ඉදිරිපිටයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්. ඡායාරූපයේ වම් පසින් ඉන්න පී බී ජයසුන්දර එවකට මුදල් අමාත්‍යංශයේ ලේකම්. 2015 පරාජය දක්වා ආණ්ඩුවේ බරෙන් විශාල කොටසක් ඇද්දේ මේ තුන් දෙනා කියා කියන්න පුළුවන්. ඒ කාලයේ සිදු වූ හොඳ හෝ නරක බොහෝ දේවල් වලට මේ තිදෙනාගෙන් අයෙකුගේ කවර හෝ සම්බන්ධයක් තිබුණා. එවැනි තවත් කිහිප දෙනෙක්ද සිටියා.

අලුතෙන් පිහිටවනු ලබන ආණ්ඩුව ඇතුළේ පරණ රාජපක්ෂ ආණ්ඩුවේ මූණුම දකින්න ලැබුණොත් එහි ලොකු පුදුමයක් නැහැ. එහෙත්, අලුත් ආණ්ඩුව පරණ රාජපක්ෂ දශකයේම දිගුවක් වෙයි කියා කියන්න බැහැ. ප්‍රධාන පුද්ගලයින් එසේම සිටියත් ඔවුන්ගේ අලුත් භූමිකා පරණ ඒවාම නෙමෙයි. ගෝඨාභය හා මහින්ද සොහොයුරන් වුවත් ඔවුන් දෙදෙනා අතර මූලික වෙනස්කම් ගණනාවක් තිබෙනවා. මේ වෙලාවේ බලාපොරොත්තු තියන්න වෙන්නේ මේ වෙනස්කම් සංයෝජනය වීම තුළින් ලැබිය හැකි හොඳ ප්‍රතිඵල පිළිබඳවයි. මෙය විස්තරාත්මකව කතා කළ යුතු කරුණක්. දැන් එයට අවස්ථාව නෙමෙයි.

රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව ඔහේ ඇදගෙන ගියත් අතදිගහැර වැඩ කළ හැකි දේශපාලන බලයක් ඒ ආණ්ඩුවට ආරම්භයේදීවත් තිබුණේ නැහැ. අලුත් ආණ්ඩුවටත් මහ මැතිවරණය වන තුරු තරමක ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. එහෙත්, මහ මැතිවරණයෙන් පසුව පරණ ආණ්ඩුවට මෙන් මේ ආණ්ඩුවට ආණ්ඩුව පවත්වා ගැනීම ගැන හිත හිතා ඉන්න අවශ්‍ය වෙන එකක් නැහැ.

වැඩි විස්තර පසුව කතා කරමු! දැනට අපි අලුත් ආණ්ඩුවට සුබ පතමු!!


Wednesday, November 20, 2019

පහ පාස් නැති අයගේ ප්‍රශ්නය


ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පසුවත් රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව දිගටම පවත්වා ගැනීම ප්‍රායෝගිකව ඉතා අසීරු දෙයක්. අමාරුවෙන් ආණ්ඩුව තව මාස කිහිපයක් ඇද ගත්තා කියා කළ හැකි දෙයක් ඇත්තේත් නැහැ. යහපාලන ආණ්ඩුවේ "ඓතිහාසික කාර්ය භාරය" දැන් අවසන්. ඒ නිසා, අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීම රනිල්ට මේ වෙලාවේ කළ හැකි හොඳම දෙය බව ඉතාම පැහැදිලියි. පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵල වලින් පසුව මෙවැනි තත්ත්වයක් ඇති වී තිබුණේ නැහැ. ඒ වෙලාවේ පොදුජන පෙරමුණට ලැබුණේ 40.5%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

රටේ ජනමතය වෙනස් වී ඇති බව පැහැදිලි වුවත්, ඒ හේතුව මත මහ මැතිවරණයකට යාම අනිවාර්ය නැහැ. නියමිත කාලයට මහ මැතිවරණය තැබීමේ ලොකු ප්‍රශ්නයක් නැහැ. ඊට පෙර පාර්ලිමේන්තුව විසිරුවා හරිනවානම් එය කරන්න වෙන්නේ නියමිත ක්‍රමයටයි. නියමිත ක්‍රමයට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිනම් එහි ඇති වරදකුත් නැහැ. මේ ලිපියෙන් කතා කරන්න යන්නේ ඔය දෙකෙන් එකක්වත් ගැන නෙමෙයි.

වාර්තා වී තිබෙන ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන එක ගැන රනිල්ගේ විරුද්ධත්වයක් නැහැ. නමුත්, පාර්ලිමේන්තුවේ සිටින නවක මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහිමි වීම ගැන සලකා බලා පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමට රනිල් හා ගෝඨාභය එකඟ වී ඇති බව වාර්තා වෙනවා. කෝටි දෙකකගේ ජීවිත වලට විශාල ලෙස බලපාන තීරණයක් ගැනීමේදී පුද්ගලයින් හතළිස් දෙනෙකුගේ අනාගතය සුරක්ෂිත කිරීමේ  අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය ලැබීමේ පැහැදිලි අවුලක් තිබෙනවා. මේ මෙවැන්නක් සිදුවන පළමු අවස්ථාව නෙමෙයි. බොහෝ විට අවසන් අවස්ථාව වන එකකුත් නැහැ.

ප්‍රසිද්ධියේ මොනවා කිවුවත් මහජන නියෝජිතයින් කියන බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ පළමුව තමන් දෙවනුව රට කියන පදනමින් බව රහසක් නෙමෙයි. එය සාමාන්‍ය මිනිස් ස්වභාවය. මේ තත්ත්වය යොදා ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට බලපෑම් කිරීම ජනාධිපතිවරුන් කිහිප දෙනෙක් විසින්ම කළ දෙයක්. දහනවවන සංශෝධනයෙන් පසුව තත්ත්වයේ වෙනසක් සිදු වී තිබෙනවා. කළින් ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හරින බව කියමින් නවක මන්ත්‍රී වරුන් බිය ගන්වා ඔවුන්ගේ තීරණ වලට බලපෑම් කළ හැකි වුනා. දැන් එය කළ නොහැකි නිසා රටටම බලපාන තීරණයක් ගැනීමේදී ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික අභිලාශ වලට මුල් තැන දෙනවා. ඔය දෙකෙන් එකක්වත් හොඳ දේවල් නෙමෙයි.

පස් අවුරුද්දක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දරන අයෙකුට ජීවිත කාලයටම විශ්‍රාම වැටුපක් ලැබීම හා පස් අවුරුද්ද සම්පූර්ණ නොකළ අයට එය නොලැබීමෙන් මන්ත්‍රී වරුන් ගන්නා "ස්වාධීන" තීරණ වල විශාල විකෘතියක් ඇති වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පක්ෂ මාරු කිරීමටත් මෙහි සම්බන්ධයක් තිබෙනවා. මේ විකෘතිය කවදාවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ස්වේච්ඡාවෙන් නිවැරදි කරන්නේ නැහැ. විවිධ මත දරන පක්ෂ වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙවැනි කටයුත්තකදී ක්‍රියා කරන්නේ වෘත්තීය සමිතියක සාමාජිකයින් ලෙසයි. තත්ත්වයේ වෙනසක් විය හැක්කේ ඔවුන් මත බාහිරින් පීඩනයක් ඇති වුනොත් පමණයි.

සාමාන්‍යයෙන් කිසිම රැකියාවක් කරන කෙනෙකුට වසර පහකින් පසුව ජීවිත කාලයටම විශ්‍රාම වැටුපක් හිමි වන්නේ නැහැ. ඒ නිසා, මේ විශ්‍රාම වැටුප මුළුමනින්ම අහෝසි කළ යුතුයි කියා කෙනෙකුට තර්ක කළ හැකියි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විය යුත්තේ මන්ත්‍රීකම නැති වූ පසු කිසිදු රැකියාවක් කළ නොහැකි නිකමුන් පිරිසක් නොවන බවත් කෙනෙකුට කියන්න පුළුවන්. අනෙක් අතට සී. ඩබ්ලිවු. ඩබ්ලිවු. කන්නන්ගර වැනි පුද්ගලයින්ට අවසන් කාලයේ ජීවත් වීමට ක්‍රමයක් නොතිබුණු බව වැනි ප්‍රතිවිරුද්ධ තර්ක ඉදිරිපත් කරන්නත් පුළුවන්. ඒ එක්කම, හැත්තෑ හතට පෙර මන්ත්‍රීවරුන් හා ඉන්පසු කාලයේ මන්ත්‍රීවරුන් අතර වෙනස සසඳමින් කන්නන්ගර උදාහරණය අදට නොගැලපෙන බව කියන්නත් පුළුවන්. ඔය මොන තර්ක ඉදිරිපත් කළත් තමන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කර ගැනීම සඳහා ඔය පිරිස අත උස්සන එකක් නැහැ.

වඩා හොඳ හා ප්‍රායෝගික ක්‍රමයක් වන්නේ මන්ත්‍රී විශ්‍රාම වැටුප දායක විශ්‍රාම වැටුපක් බවට පරිවර්තනය කිරීමයි. සෑම මන්ත්‍රීවරයෙකුගේම මාසික වැටුපෙන් යම් ප්‍රතිශතයක් කපා ගෙන, සමානුපාතිකව තවත් මුදලක් එකතු කර විශ්‍රාම වැටුප් අරමුදලකට යොමු කිරීමෙන් මෙය කළ හැකියි. ඉන් පසුව, එක් එක් පුද්ගලයාට තමන් කැමති විශ්‍රාම වයසකින් පසුව මාසිකව මේ අරමුදලින් විශ්‍රාම වැටුපක් ලබා ගත හැකියි.

අරමුදලේ ඇති මුදල් ප්‍රමාණය හා විශ්‍රාම ගන්නා වයස අනුව මසකට ලැබෙන මුදල නිර්ණය කිරීමෙන් ගෙවීම් හා ලැබීම් අතර ආයුගණක සමතුලිතතාවය පවත්වා ගත හැකියි. මේ ක්‍රමය අනුව ජීවිත කාලයම මහජන නියෝජිතයෙකු ලෙස කටයුතු කරන අයෙකු සතුව සැලකිය යුතු මුදලක් එකතු වන අතරම වසර කිහිපයක් පමණක් මන්ත්‍රී ධුරය දරන අයෙකුට වුවත් යම් මුදලක් ලැබෙන නිසා පහේ සීමාව ජාතික වැදගත් කමක් තිබෙන තීරණ වලට බලපාන එක අවම කර ගත හැකියි.

(Image: https://lankainformation.lk/news/business-news/item/8639-15-20-new-draft-bills-on-sri-lanka-economy-to-be-presented-in-parliament-soon)

Tuesday, November 19, 2019

වැසිකිළි දිනය සමරමු!


ලංකාවේ ගොඩක් අය ඉන්දියාව ගැන කතා කරද්දී ඉන්දියාව සමච්චලයට ලක් කරන්නේ රටේ විශාල පිරිසකට වැසිකිළි පහසුකම් නැති බව කියමිනුයි. මේ කතාව බොරුවක් නෙමෙයි. ලෝකයේ සිටින විවෘත අවකාශයට මළපහ කරන මිලියන 892ක පමණ පිරිසකගෙන් මිලියන 600ක් පමණම ඉන්නේ ඉන්දියාවේ. මේ ප්‍රශ්නය ආර්ථික ප්‍රශ්නයක් වුවත් එහි සංස්කෘතික සංරචකයක්ද තිබෙනවා. විවිධ ස්වේච්ඡා සංවිධාන විසින් වැසිකිළි හදා දීමෙන් පසුව ඒ වැසිකිළි වල ධාන්‍ය ගබඩා කර හෝ සතුන් කූඩු කර කලින් මෙන්ම විවෘත අවකාශයට මළපහ කරන අය දැකිය හැක්කේ ඒ නිසයි.

ඉන්දියාව වැනි අසල්වැසි රටවලට සාපේක්ෂව ලංකාවේ වැසිකිළි පහසුකම් වල තත්ත්වය නරක නැතත් හොඳටම හොඳයි කියා කියන්නත් බැහැ. 2016 ජනවිකාශ හා සෞඛ්‍ය සමීක්ෂණයට අනුව ලංකාවේ වැසිකිළි පහසුකම් නැති නිවාස ඒකක ගණන 2%ක් පමණ වුවත්, සෞඛ්‍යාරක්ෂක වැසිකිළි තිබෙන්නේ නිවාස ඒකක වලින් 91%ක පමණයි. වතු නිවාස වල මේ ප්‍රතිශතය 79%ක් පමණයි. ඒ වගේම පොදු ස්ථාන වලත් වැසිකිළි පහසුකම් වල අඩුපාඩු බොහෝ තිබෙනවා.

ලංකාවේ වැසිකිළි ප්‍රශ්නය ගැන පසුගිය අයවැයෙන් අවධානය යොමු වී තිබුණා. රටේ වැසිකිළි ප්‍රශ්නය වසර තුළ විසඳා අවසන් කිරීමේ අරමුණින් රුපියල් බිලියන හතරක පමණ විශාල මුදලක් වෙන් කෙරී තිබුණා. අපේක්ෂා කළ ඉලක්කය කොයි තරම් දුරකට ළඟා කරගෙන ඇත්දැයි මා දන්නේ නැහැ. මීට පෙර පාසැල් වල වැසිකිළි පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන්ද අයවැයෙන් මුදල් වෙන් කර තිබුණා. ඇතැම් අධ්‍යයන අනුව වැසිකිළි පහසුකම් වෙනුවෙන් සිදු කරන රුපියලක ආයෝජනයක ප්‍රතිලාභය රුපියල් පහකටත් වඩා වැඩියි. ප්‍රතිලාභ ලැබෙන ප්‍රධානම ආකාරය වන්නේ වතුරෙන් බෝවන රෝග පැතිරීම විශාල ලෙස අඩුවීමයි.

ලංකාවේ වුවත් වැසිකිළි ප්‍රශ්නය ඇතුළේ ආකල්ප ප්‍රශ්නයක් තිබෙනවා. පසුගිය දවසක මිතුරෙකු විසින් වත්පොතේ පළ කර තිබුණු ලංකාවේ පළමු පන්තියේ දුම්රිය මැදිරියක වැසිකිළියේ ඡායාරූපය මා මෙහි නැවත පළ කරන්නේ නැහැ.

දැනට දශක කිහිපයකට පෙර මා සේවය කළ තැනක ඉහළ තනතුරක් දැරූ තැනැත්තියක් ඇගේ දරුවෙකුට සහකරුවෙකු හෝ සහකාරියක සොයමින් සිටියා. ඈ ඒ දවස් වල කියූ කතාවක් වුනේ මංගල යෝජනාවක් හා අදාළව ගෙදරකට ගිය විට බොරු උවමනාවක් පෙන්වා හෝ අනිවාර්යයෙන්ම වැසිකිළියට යන බවයි. ඇගේ අදහස අනුව ගෙදර වැසිකිළිය පරීක්ෂා කළ විට ගෙදර ජීවත් වන මිනිස්සු ගැන බොහෝ දේ දැනගත හැකියි. පෞද්ගලිකව මා මගේ ඇතැම් රැකියා තීරණ වලදී පවා රැකියා ස්ථානයේ වැසිකිළියටත් යම් බරක් දී තිබෙනවා. ජීවිතයෙන් බාගයක්ම ගෙවන තැන වැසිකිළිය යාමට අප්‍රසන්න තැනක්නම් එවැනි තැනක රැකියාවක් කිරීම ප්‍රසන්න අත්දැකීමක් නෙමෙයි.

වැසිකිළි ගැන කතාවක් ඇදලා ගත්තේ අද (නොවැම්බර් 19) ලෝක වැසිකිළි දිනය නිසයි. ලෝක වැසිකිළි සංවිධානය විසින් 2001 වසරේ සිට සමරන වැසිකිළි දිනය එක්සත් ජාතීන්ගේ සංගමය විසින් 2013 සිට නිල වශයෙන් පිළිගෙන තිබෙනවා. ලෝක වැසිකිළි දිනය සේ නම් කර තිබෙන නොවැම්බර් 19 දිනයම ජාත්‍යන්තර පිරිමි දිනය ලෙසද තෝරාගෙන තිබීම අහම්බයක් විය යුතුයි!

Monday, November 18, 2019

ඡන්ද භාවිතයේ වාර්ගික හා ආගමික රටා


මෙවර ජනාධිපතිවරණයේදී ඡන්ද භාවිතා වී තිබෙන්නේ වාර්ගික හා ආගමික පදනමකින් කියන එක කිසිවෙකුට රහසක් නෙමෙයි. ඒ වගේම, මෙය අලුත් දෙයකුත් නෙමෙයි. පසුගිය 2015 ජනාධිපතිවරණයේදී ඡන්ද භාවිතා වුනෙත් වාර්ගික හා ආගමික පදනමකිනුයි.

පසුගිය ජනාධිපතිවරණයේදී බහුතර සිංහල බෞද්ධ කණ්ඩායමේ ඡන්ද වලින් බහුතරය ලබාගත් අපේක්ෂකයා පරාජය වුවත් මෙවර සිදු වී තිබෙන්නේ එහි අනෙක් පැත්තයි. වෙනසට හේතුවී තිබෙන්නේ බහුතර කණ්ඩායමේ ඡන්ද භාවිතය වෙනස් වීමයි. මෙවර ගෝඨාභය විසින් ශ්‍රී ලාංකික දෙමළ හා හින්දු ඡන්ද ලබාගෙන තිබෙන්නේ 2015දී මහින්ද ලබාගත්තාට වඩා අඩුවෙන්. ඉන්දියානු දෙමළ, ශ්‍රී ලංකා යෝනක, ඉස්ලාම් ඡන්ද වල ලොකු වෙනසක් වී නැහැ. සමස්තයක් ලෙස, 2015 හා 2019 අතර සුළුතර කණ්ඩායම් වල ඡන්ද භාවිතය වෙනස්වීම දෙස ප්‍රමාණාත්මක ලෙස බැලූ විට ප්‍රතිඵලයට බලපෑමක් කරන තරමින් වෙනස් වී නැහැ.

ප්‍රතිඵලය වෙනස් කිරීමට හේතු වී තිබෙන්නේ ප්‍රධාන වශයෙන්ම බස්නාහිර හා දකුණු පළාත් වල සිංහල බෞද්ධ නාගරික හා අර්ධ නාගරික ඡන්දයි. මේ පළාත් දෙකේ පමණක් 2015දී මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාගත් ඡන්ද ලක්ෂ හයක් පමණ ගෝඨාභය වෙතට විතැන් වී තිබෙනවා. මේ වෙද්දී ලංකාවේ මැතිවරණ වල ප්‍රතිඵලය තීරණය කරන්නේ මේ කණ්ඩායම විසින් බව පැහැදිලියි.

පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල වල වාර්ගික හා ආගමික සංයුතිය පිළිබඳ සංඛ්‍යානමය විග්‍රහයක් මා ඒ දින වල පළ කළා. මෙවර ප්‍රතිඵලයද ආගමික හා වාර්ගික වෙනස්කම් පදනම් කරගත් සංඛ්‍යානමය ආකෘතියක් මගින් මුළුමනින්ම මෙන් පැහැදිලි කළ හැකියි. මේ අනුව පෙනෙන්නේ ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගෙන තිබෙන ඡන්ද වලින් 93.5%ක්ම සිංහල ඡන්ද බවයි. මෙයින්ද 90.2%ක් පමණ බෞද්ධ ඡන්දයි.


සජිත්ගේ ඡන්ද වලින් අඩක් පමණම සිංහල නොවන ඡන්ද වන අතර ඉතිරි අඩ සිංහල ඡන්දයි. මෙවර මැතිවරණ ප්‍රචාරණයේදී ජාතිවාදයට එරෙහිව සෘජුව පෙනී සිටි ජවිපෙ අපේක්ෂකයා වූ අනුර කුමාර දිසානායක විසින් මෙන්ම සිවුවන තැනට පැමිණි මහේෂ් සේනානායක විසින්ද මුළුමනින්ම වාගේ ලබා ගෙන තිබෙන්නේ සිංහල බෞද්ධ ඡන්දයි. වාර්ගික ඡන්ද වෙනුවෙන් තරඟ කළ හිස්බුල්ලා හා සිවාජිලිංගම් විසින් අදාළ කණ්ඩායම් අතරින් ඡන්ද ලබා ඇතත්, දෙමළ හා ශ්‍රී ලංකා යෝනක ප්‍රජාව විසින් ප්‍රමුඛ අපේක්ෂකයා ලෙස තෝරාගෙන තිබෙන්නේ සජිත් ප්‍රේමදාසවයි.

රාජාලියා ලකුණින් තරඟ කළ ආරියවංශ දිසානායක විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රමාණ බොහෝ දුරට සජිත්ගේ ඡන්ද වලට සමානුපාතිකයි. ඒ නිසා, රාජාලියාව ඇතැම් ඡන්දදායකයින් විසින් පියාඹන හංසයෙකු සේ හඳුනාගෙන ඇති බව බැහැර කළ නොහැකි ප්‍රවාදයක්. මේ ආකාරයෙන්ම දකුණේ ග්‍රාමීය ප්‍රදේශ වලදී අජන්තා පෙරේරා හා රොහාන් පල්ලෙවත්ත විසින් ලබා ඇති ඡන්ද ගෝඨාභයගේ ඡන්ද වලට සමානුපාතිකයි. ඡන්ද පත්‍රිකාවේ දැකිය හැකි පොල් ගෙඩිය හා බැලුම් බෝලය නෙලුම් පොහොට්ටුවකින් වෙන් කර හඳුනාගැනීම අසීරු වීම මීට හේතුව විය හැකියි.


Sunday, November 17, 2019

නව ජනාධිපතිට සුබපැතුම්!


මේ වන විට, ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිල වශයෙන්ම නිකුත් වී අවසන්. මෙතෙක් ලංකාවේ පැවැති අනෙකුත් ජනාධිපතිවරණ සියල්ලේදීම සිදු වූ අයුරින් මෙවරත් ජයග්‍රාහකයා විසින් පහසුවෙන් 50% ඉලක්කය පසු කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ විසින් ලබාගෙන තිබෙන ඡන්ද ප්‍රතිශතය 52.25%ක්. ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාසගේ ඡන්ද ප්‍රතිශතය 41.99%ක් පමණයි. ජවිපෙ ඡන්ද ප්‍රතිශතය මීට පෙර ජනාධිපතිවරණ වලදී එම පක්ෂයේ අපේක්ෂකයින් විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශත වල මට්ටමින් පහතට වැටී තිබෙනවා.

ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය, ඉතා පැහැදිලිව නොවූවත්, මුල සිටම පෙනෙන්නට තිබුණු දෙයක්. පළාත් පාලන මැතිවරණ වලදී පොදුජන පෙරමුණ හා එම පෙරමුණ සමඟ එක්ව කටයුතු කළ අනෙකුත් කණ්ඩායම් විසින් 43%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. එජාපය හා සජිත්ට සහයෝගය දුන් දෙමළ, මුස්ලිම් පක්ෂ හා කණ්ඩායම් සියල්ලම විසින් ලබා ගත්තේ 36%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් පමණයි. ශ්‍රීලනිපය/එජනිසය විසින් 12%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. ජනාධිපතිවරණයේදී එම ඡන්ද වලින් 75%ක් පමණ ගෝඨාභය රාජපක්ෂ විසිනුත් ඉතිරි 25% සජිත් ප්‍රේමදාස විසිනුත් ලබාගෙන තිබෙනවා. ඊට අමතරව ජවිපෙ ඡන්ද වලින් සැලකිය යුතු ප්‍රමාණයක්ද සජිත් ප්‍රේමදාස වෙත විතැන් වී තිබෙනවා.

ඡන්ද ප්‍රතිඵලයේ තිබෙන කණගාටුදායකම කරුණ ජනවාර්ගික ධ්‍රැවීකරණයයි. ගෝඨාභය රාජපක්ෂ විසින් මුළුමනින්ම වාගේ ලබාගෙන තිබෙන්නේ සිංහල බෞද්ධ ඡන්දයි. උතුරු නැගෙනහිර මෙන්ම, පුත්තලම හා මාවනැල්ල වැනි තැන් වලත්, මීගමුවේ හා වත්තලත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේත් දැකිය හැක්කේ වෙනත්ම රටාවක්. ගෝඨාභය රාජපක්ෂට දිවුරුම් දෙන්න සිදු වී තිබෙන්නේ බෙදුණු රටක ජනාධිපති ලෙසයි. සුළුතර වාර්ගික කණ්ඩායම් වල සහයෝගය නොලබා ජනාධිපති වීම සතුටු විය හැකි කරුණක් නෙමෙයි. අනෙක් අතට බහුතර කණ්ඩායමේ සහාය නොලබන අයෙකු සුළුතරයේ බහුතර කැමැත්තෙන් ජනාධිපති සේ පත් වූවානම් එය ඊටත් වඩා අවුලක්.

ජනාධිපතිවරණ සමයේ කවුරු මොනවා කිවුවත් ගෝඨාභය රාජපක්ෂට භාරගන්න වෙන්නේ මෙතෙක් තිබුණු රට මිස අමුතු අලුත් රටක් නෙමෙයි. ජනාධිපති හෝ ආණ්ඩුව වෙනස් වුනා කියා රට හමුවේ තිබෙන අභියෝග වල ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. පහුගිය ආණ්ඩුව අවුරුදු හතර හමාරක් තිස්සේ ආර්ථිකය වැටෙන්න නොදී අල්ලාගෙන හිටියත් එහි ආකෘතිමය ප්‍රශ්න තවමත් එසේම තිබෙනවා. ආණ්ඩුව වෙනස් වුනා කියා ඒ ප්‍රශ්න වල ස්වරූපය එක රැයින් වෙනස් වන්නේ නැහැ.

දේශපාලනිකව බැලුවොත් ගෝඨාභය රාජපක්ෂ හමුවේ තිබෙන ලොකුම අභියෝගය වන්නේ අත පුච්චා නොගනිමින් ඔහුව බලයට පත් කළ සිංහල බෞද්ධ බහුතර කණ්ඩායමේ අපේක්ෂාවන් ඉටු කිරීමයි. එක් වැරදි තීරණයකින් වීරයා ද්‍රෝහියකු වෙන්න පුළුවන්. තවත් කියන්න බොහෝ දේවල් තිබෙනවා. ඒවා පසුවට තියමු.

අභිනවයෙන් තේරී පත් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපේ සුබ පැතුම්!



Saturday, November 16, 2019

කවුරු දිනයිද?


ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ඉදිරි පැය කිහිපය ඇතුළත නිකුත් වීමට නියමිතයි. අවසන් ප්‍රතිඵලය ගැන නිශ්චිතව යමක් කියන්න තවමත් කල් වැඩියි. එහෙත්, ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස හැර වෙනත් අයෙකු විසින් ජනාධිපතිවරණය ජය නොගන්නා බව ඉතා පැහැදිලියි. 

තැපැල් ඡන්ද හෝ දකුණේ දිස්ත්‍රික්ක වල ඡන්ද ප්‍රකාශ වී ඇති ආකාරය දෙස පමණක් බලා සමස්ත ප්‍රතිඵලය ගැන ස්ථිරව යමක් කිව නොහැකි වුවත් ඡන්ද භාවිතා වී ඇති ආකාරයේ දිශානතීන් ගැන යම් අදහසක් ගත හැකියි. ගෝඨාභය රාජපක්ෂ හෝ සජිත් ප්‍රේමදාස විසින් පළමු වටයෙන් ජනාධිපතිවරණය ජය ගන්නනම්, වලංගු ඡන්ද වලින් 50%ක් ලබා ගත යුතුයි. අපගේ ඇස්තමේන්තු අනුව මේ අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ලක්ෂ 66කට ආසන්න ප්‍රමාණයක්. 

ගෝඨාභය හෝ සජිත් විසින් මේ ඡන්ද ප්‍රමාණය ලබා ගන්නනම්, එක් එක් දිස්ත්‍රික්කයෙන් කොපමණ ඡන්ද ප්‍රමාණයක් ඉලක්ක කළ යුතුද? අප විසින් පහත වගුව සකස් කර තිබෙන්නේ එක් එක් අපේක්ෂකයාට එක් එක් දිස්ත්‍රික්කය තුළ තිබෙන ශක්තිය සලකා බලමිනුයි. කිසියම් දිස්ත්‍රික්කයක් තුළ යම් අපේක්ෂකයෙකු අවශ්‍ය ඉලක්ක මට්ටම ආසන්නයට පැමිණ නැත්නම් එයින් පෙනෙන්නේ ඒ අපේක්ෂකයාට 50% ඉලක්කයට යාම අපහසු බවයි. නිල ප්‍රතිඵල ලැබෙන විට මේ වගුව යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

Gotabaya Rajapaksa Sajith Premadasa
Required Current Required Current
Sri Lanka 6,626,250 50.00% 6,924,195 52.25% 6,626,250 50.00% 5,564,289 41.99%
Colombo 654,170 46.10% 727,713 53.19% 764,892 53.90% 559,921 40.92%
Gampaha 766,258 52.34% 855,870 59.28% 697,798 47.66% 494,671 34.26%
Kalutara 463,609 55.65% 482,920 59.49% 369,414 44.35% 284,213 35.01%
Mahanuwara 433,980 46.05% 471,502 50.43% 508,366 53.95% 417,355 44.64%
Matale 179,965 53.07% 187,821 55.37% 159,142 46.93% 134,291 39.59%
Nuwara-Eliya 184,693 39.67% 175,823 36.87% 280,867 60.33% 277,913 58.28%
Galle 435,183 58.15% 466,148 64.26% 313,151 41.85% 217,401 29.97%
Matara 346,009 60.75% 374,481 67.25% 223,511 39.25% 149,026 26.76%
Hambantota 277,825 64.83% 278,804 66.17% 150,725 35.17% 108,906 25.85%
Jaffna 57,904 17.69% 23,261 6.24% 269,471 82.31% 312,722 83.86%
Vanni 34,922 18.72% 26,105 12.27% 151,663 81.28% 174,739 82.12%
Batticaloa 46,609 18.41% 38,460 12.68% 206,630 81.59% 238,649 78.70%
Digamadulla 132,743 35.55% 135,058 32.82% 240,695 64.45% 259,673 63.09%
Trincomalee 57,154 27.44% 54,135 23.39% 151,134 72.56% 166,861 72.11%
Kurunegala 650,582 55.86% 652,278 57.90% 514,034 44.14% 416,961 37.01%
Puttalam 221,415 50.84% 230,760 50.83% 214,074 49.16% 199,356 43.91%
Anuradhapura 322,465 56.05% 342,223 58.97% 252,839 43.95% 202,348 34.87%
Polonnaruwa 131,765 46.86% 147,340 53.01% 149,425 53.14% 112,473 40.47%
Badulla 270,522 48.72% 276,211 49.29% 284,699 51.28% 251,706 44.92%
Moneragala 196,174 61.90% 208,814 65.34% 120,768 38.10% 92,569 28.96%
Ratnapura 443,415 57.86% 448,044 59.93% 322,928 42.14% 264,503 35.38%
Kegalle 318,881 53.25% 320,424 55.65% 280,012 46.75% 228,032 39.60%

Wednesday, November 13, 2019

දෙවෙනි මනාපය


ලංකාවේ ජනාධිපතිවරණ ක්‍රමය සුවිශේෂී එකක්. මා දන්නා තරමින්, මේ ක්‍රමය තියෙන්නේ ලංකාවේ පමණයි. ලංකාවේ පමණක් දැකිය හැකි තවත් බොහෝ දේ තිබුණත්, ඒ ගොඩක් දේවල් ලංකාවට ආඩම්බර විය හැකි දේවල් නෙමෙයි. එහෙත්, මෙයනම් එවැන්නක් නෙමෙයි.

මම හිතන්නේ කිසියම් තනතුරකට තනි පුද්ගලයෙක්ව තෝරා ගැනීමේදී වඩාත්ම ප්‍රචලිත හා පැරණිම මැතිවරණ ක්‍රමය වැඩිම ඡන්ද ලබන අපේක්ෂකයාව තෝරා ගන්නා ක්‍රමයයි. මේ ක්‍රමයේ තිබෙන එක් ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ වැඩිම දෙනෙක් අකැමැති අපේක්ෂකයෙකු තනතුරට තේරී පත් වෙන්න ඉඩක් තිබීමයි. උදාහරණයක් විදිහට අපි කිසියම් මැතිවරණයකදී ඡන්ද බෙදී යන්නේ පහත ආකාරයට කියා හිතමු.

A  35%
B  33%
C  31%

වැඩිම ඡන්ද ක්‍රමයට තේරී පත් වෙන්නේ A. නමුත්, C වෙනුවෙන් ඡන්දය දුන් 31% Aට කොහෙත්ම කැමති නැති, Bටත් කැමති එහෙත් Cට වඩා කැමති පිරිසක්නම් මේ ප්‍රතිඵලය නිසා 64%ක පිරිසක් සතුටු වෙන්නේ නැහැ. යම් හෙයකින් C තරඟයට ඉදිරිපත්ව නොසිටියානම් B ඉතා පහසුවෙන් දිනනවා. මනාප ලකුණු කිරීමට ඉඩ ලැබෙන මැතිවරණ ක්‍රමයක් මේ ප්‍රශ්නයට විසඳුමක්. දෙවන මනාප සලකා බැලු විට A අභිබවා B ඉදිරියට එන නිසා තේරී පත් වෙන්නේ වැඩිම දෙනෙකුගේ කිසියම් හෝ කැමැත්තක් තිබෙන අපේක්ෂකයා.

යුක්රේනය වැනි තවත් රටවල් වල මීට ආසන්නව සමාන මැතිවරණ ක්‍රමයක් තිබෙනවා. එහිදී වෙන්නේ කිසිදු අපේක්ෂකයෙකු පළමු වටයෙන් 50% ලබා නොගත්තොත් ඉහළින්ම සිටින දෙදෙනා අතර දෙවන ඡන්ද විමසීමක් පැවැත්වීමයි. පළමු වටයේදී දෙවැනි තැන සිටි අපේක්ෂයින් ඇතැම් විට දෙවන වටයෙන් තේරී පත් වී තිබෙනවා. ලංකාවේ ජනාධිපතිවරණ ක්‍රමය සුවිශේෂී වන්නේ මේ විදිහට වට දෙකකදී කරන දෙය එකවරම කරන නිසයි. මෙය බොහෝ ඉදිරිගාමී මැතිවරණ ක්‍රමයක්.

මේ මැතිවරණ ක්‍රමය ලංකාවට හඳුන්වා දෙනු ලැබූයේ ජේආර්ගේ 1977 ව්‍යවස්ථාවෙන්. එය වෙනත් රටක මැතිවරණ ක්‍රමයක් කොපි කිරීමක් නෙමෙයි. අලුත්ම ක්‍රමයක්.

බොහෝ ප්‍රචලිත අදහසක් වන්නේ ජේආර් විසින් ලංකාවේ වත්මන් මැතිවරණ ක්‍රමය හඳුන්වා දුන්නේ එජාපය සදහටම බලයේ තැබීමට බවයි. කුඩා කළ සිට දිගින් දිගටම ඇසී හිතට කා වැදී තිබුණු මේ අදහස ඇත්තක්ද කියන එක ගැන හිතන්න නොපෙළඹීම ගැන දැන් මා කණගාටු වෙනවා. මේ කතාවත් ඇමරිකාව තිරිඟු පිටි මිල අඩු වීම වළක්වන්න තිරිඟු පිටි මුහුදට දමනවා කියන ජනප්‍රිය කතාව වගේ එකක් කියා දැන් මට හිතෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වෙන සමානුපාතික මැතිවරණ ක්‍රමය පිළිබඳව සැලකූ විට එකල එහි එජාපයට වාසියක් තිබුණු බව පැහැදිලියි. 1977ට පෙර එක් මැතිවරණයකදී හැර අනෙක් සියලු මැතිවරණ වලදී තනි පක්ෂයක් ලෙස ලංකාවෙන්ම වැඩිම ඡන්ද ලබා තිබුණේ එජාපයයි. ඒ නිසා, සමානුපාතික ක්‍රමයක් යටතේ එජාපයට අවම පාර්ලිමේන්තු නියෝජනයක් හිමිවන බවට සහතිකයක් තිබුණා. නමුත්, 1997ට පෙර එජාප අපේක්ෂකයෙකුට දෙවන මනාප ලබා වෙනත් අපේක්ෂයෙකුව අභිබවන්න පුළුවන් කමක් තිබුණේ නැහැ.

ශ්‍රීලනිපය හැරුණු විට ඡන්ද පදනමක් තිබුණු ලසසප, කොප, මඑපෙ වැනි පක්ෂ සියල්ලම එවකට හිටියේ දැඩි එජාප විරෝධී ස්ථාවරයකයි. ඒ වගේම, සම්ප්‍රදායිකව උතුරේ දෙමළ ජනතාවගේ වැඩි කැමැත්ත තිබුණේත් එජාපයට වඩා ශ්‍රීලනිපයයි. ඒ නිසා, දෙවන මනාප ක්‍රමය ඒ වන විට පැවති තත්ත්වය අනුව එජාපයට අවාසිදායකයි. ශ්‍රීලනිපයට වාසිදායකයි. එහෙමනම්, මේ ක්‍රමය හඳුන්වා දී ජේආර් බලාපොරොත්තු වුනේ කුමක්ද?

මම හිතන විදිහට මේ ක්‍රමය ගේන්න හේතු වුනේ ලංකාවට සුදුසු දේශපාලන ක්‍රමය සිංගප්පූරු ක්‍රමය කියා ජේආර් විසින් සිතීම වෙන්න පුළුවන්. ජේආර්ගේ සිහිනය වී තිබෙන්නේ ප්‍රබල ජනාධිපතිවරයෙක් හා දුර්වල පාර්ලිමේන්තුවක්. ඒ ප්‍රබල ජනාධිපතිවරයා තමාම විය යුතු බව ඔහු සිතුවා කියා කියන්න බැහැ. දෙවරකට වඩා ජනාධිපතිධුරය දැරීමට නොහැකි බවට සීමාවක් දැමූ ජේආර් තමන්ගේ වාසියට ඒ සීමාව ඉවත් කරගන්න උත්සාහ කළේ නැහැ.

ජේආර් විසින් මේ තරම් දියුණු ක්‍රමයක් හඳුන්වා දුන්නත් මෙතෙක් කල් ලංකාවේ පැවති කිසිදු මැතිවරණයකදී දෙවන මනාප ගණන් කරන්න අවශ්‍ය නොවූ නිසා, බොහෝ දෙනෙකුට මේ ක්‍රමයේ වටිනාකම ගැන හැඟීමක් නැහැ. ඇතැම් අය විසින් පුරෝකථනය කළත්, මෙවරත් එවැනි අවශ්‍යතාවයක් ඇති නොවෙන්න පුළුවන්. ඒ වගේම, බොහෝ දෙනෙක්ට අදටත් මේ මනාප ක්‍රමය ගැන නිසි අවබෝධයක් නැහැ. 1977 කාලය සැලකූ විට ලංකාවේ වත්මන් ජනාධිපතිවරණ ක්‍රමය රටේ මිනිස්සුන්ට සාපේක්ෂව ඕනෑවට වඩා ඉදිරියෙන් තිබුණු ක්‍රමයක්. සර්වජන ඡන්ද අයිතිය ලැබෙන කාලයේ තත්ත්වය වගේමයි.

මනාප ක්‍රමයේ වැදගත්ම ලක්ෂණය වන්නේ තෙවන අපේක්ෂකයෙකුට පහසුවෙන් මතු වෙන්න හැකි වීමයි. එහෙත්, සිදු වී නැත්තේත් එයමයි. ඒ, මැතිවරණ ක්‍රමය ගැන නිසි අවබෝධයක් බොහෝ දෙනෙකුට නැති නිසයි.

අපි හිතමු රටේ සැබෑ පළමු කැමැත්ත මේ විදිහයි කියා.

A  35%
B  33%
C  31%

මීට අමතරව, Cට වැඩිම කැමැත්තක් දක්වන පිරිසට Aව පෙන්නන්න බැහැ. නමුත්, B පිළිබඳව එවැනි අකැමැත්තක් නැහැ.

මනාප ක්‍රමයක් නැත්නම් තත්ත්වය කුමක්ද? තමන් Cට ඡන්දය දුන්නොත් Aට විරුද්ධ පිලේ ඡන්ද කැඩෙන නිසා A දිනන්න ඉඩ තිබෙනවා. ඒ නිසා, Cට වඩාත්ම කැමති අය Cට ඡන්දය නොදී Bට ඡන්දය දෙනවා. Cට කවදාවත් ඔලුව උස්සන්න බැහැ.

නමුත්, මනාප ක්‍රමයක් තිබෙන විටක Cට වඩාත්ම කැමති අයට වෙනත් විකල්පයක් තිබෙනවා. ඔවුන්ට C වෙනුවෙන් ඡන්දය දී Bට දෙවන මනාපය දිය හැකියි.

-B විසින් 50% ගත්තොත්, දෙවන මනාප ගණින්න අවශ්‍ය වන්නේ නැහැ. A දිනලා නැති නිසා Cට පළමු මනාපය දීම ගැන පසු තැවෙන්න හේතුවක් නැහැ.
-A විසින් 50% ගත්තත්, දෙවන මනාප ගණින්න අවශ්‍ය වන්නේ නැහැ. A කොහොමටත් දිනන නිසා Cට පළමු මනාපය දීම ගැන පසු තැවෙන්න හේතුවක් නැහැ.
-කිසිවෙක් 50% අරගෙන නැත්නම්, Cට පළමු මනාපය දුන් අයගේ දෙවන මනාපයටත් පළමු මනාපයකට ලැබෙන වටිනාකමම ලැබෙනවා. ඒ නිසා, Cට පළමු මනාපය දීම ගැන පසු තැවෙන්න හේතුවක් නැහැ.

සරලවම කියනවානම්, මනාප ක්‍රමයක් තිබෙන විටක අවසන් ප්‍රතිඵලයට බලපෑමක් නොවන පරිදි කීයටවත් දිනන්නේ නැති අපේක්ෂයෙකුට වුවත් ඡන්දය දිය හැකියි. ලංකාවේ ජනාධිපතිවරණයකදී පමණක් ලැබෙන මේ අවස්ථාව වෙනත් මැතිවරණ වලදී ලැබෙන්නේ නැහැ. වෙනත් මැතිවරණයකදීනම් කීයටවත් දිනන්නේ නැති අපේක්ෂකයෙකුට ඡන්දය දෙන එක තේරුමක් නැති වැඩක්.