වෙබ් ලිපිනය:

Saturday, December 21, 2019

බදු අඩු කළා කිවුවට එච්චරම නැතිලු!


පෙරේදා (දෙසැම්බර් 18) ෆිච් රේටින් සමාගම විසින් ලංකාවේ ජාත්‍යන්තර ස්වෛරිත්ව බැඳුම්කර වල ශ්‍රේණිගත කිරීම් ඉදිරි දැක්ම  B ස්ථායී තත්ත්වයේ සිට B සෘණ තත්ත්වය දක්වා පහත දැම්මා. එයින් කියැවෙන්නේ ඉදිරි කාලයේදී මේ බැඳුම්කර වල අවදානම් ශ්‍රේණිය B මට්ටමෙන් පහතට වැටෙන්න ඉඩ තිබෙන බවයි. මෙය ලංකාවට ඉදිරි කාලයේදී ජාත්‍යන්තර වෙළඳපොළෙන් වාණිජ ණය ලබා ගැනීම වඩා අසීරු කරනවා.

ෆිච් රේටින් සමාගම මේ තීරණයට එළැඹ තියෙන්නේ රජය විසින් මෑතකදී ලබා දුන් බදු සහන හේතුවෙන් රාජ්‍ය ආදායම අඩුවී ඉදිරි කාලයේදී අයවැය හිඟය කලින් සැලසුම් කර තිබුණු මට්ටම ඉක්මවා පුළුල් වීමට තිබෙන ඉඩකඩ සලකා බලමිනුයි. මුදල් අමාත්‍යාංශය විසින් ඊයේ (දෙසැම්බර් 19) රජය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් මේ තීරණයට එරෙහිව කරුණු දක්වා තිබෙනවා. එම නිවේදනයෙන් පෙන්වා දෙන්න උත්සාහ කර තිබෙන්නේ ලබා දුන් බදු සහන ගණනාවක්ම නැවත වෙනත් අයුරකින් ආපසු ලබා ගන්නා නිසා රාජ්‍ය ආදායම් වලට විශාල බලපෑමක් සිදු නොවන බවයි. එම නිවේදනයෙහි පහත කරුණු වලට අවධානය යොමු කර තිබෙනවා.

- මූල්‍ය සේවා සඳහා වැට් බද්ද අඩු නොකර 15% මට්ටමේම තිබෙනවා

- දුම්වැටි හා මත්පැන් සඳහා වන විශේෂ බද්ද වැඩි කර ඇති නිසා දුම්වැටි හා මත්පැන් සඳහා වැට් බද්ද අඩු වීමේ අවාසිය සමනය වෙනවා

- ආනයන සඳහා වූ ජාතිය ගොඩනැගීමේ බද්ද අහෝසි කළත්, වරාය හා ගුවන් තොටුපොළ බද්ද වැඩි කර ඇති නිසා එම ආදායම වෙනත් ආකාරයකින් ලැබෙනවා

- උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළත් ඉහළ ආදායම් මට්ටමකදී ඒ වෙනුවට ආදායම් බදු ගෙවිය යුතුයි

- රඳවා ගැනීමේ බද්ද ඉවත් කළත් එය ආදායම් බදු සේ ගෙවිය යුතුයි

මේ ආකාර වලින් අහෝසි කළ හා අඩු කළ බදු වල පාඩුව වෙනත් අයුරකින් එකතු වන නිසා 2020 වසරේ රජයේ අයවැය හිඟය ෆිච් රේටින් ආයතනය විසින් ඇස්තමේන්තු කර තිබෙන දදේනියෙන් 6.5% මට්ටමට වැඩි වන්නේ නැති බවත්, එය වැඩි වන්නේ දදේනියෙන් 5.5% මට්ටම දක්වා පමණක් බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

ඒ සමඟ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දී ඇති ඉලක්ක ළඟා කර ගනු ඇති බවද මුදල් අමාත්‍යාංශය පවසනවා.

කෙසේ වුවත්, ෆිච් රේටින් ආයතනයේ පුවත් නිවේදනය අනුව පෙනී යන්නේ එම ආයතනය විසින් අදාළ තීරණය ගැනීමට පෙර ඉහත සියලු කරුණු සලකා බලා තිබෙන බවයි.

(Image: https://siteselection.com/cc/missouri/2018/tax-reform-and-tax-policy-show-me-the-tax-cuts.cfm)

1 comment:

  1. බදු සම්බන්ධව නොයෙකුත් ප‍්‍රකාශන නිකුත් කළාට රටේ නීතිය අනුව සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව බදු මිල අඩුවීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ නීතියක් ගෙනෙන්න අවශ්‍යයි. හේතුව බදු ගැන වගකීම තිබෙන්නේ ව්‍යවස්ථාදායකටයි. විධායකයට බදු සම්බන්ධව තීරණ ගන්න අයිතියක් නැහැ. ලෝකයේ සෑම රටකම එහෙමයි. එහිදී රාජපක්ෂ ආණ්ඩුව නීතිය ආක‍්‍රමණය කරමින් යනව කියලත් කියන්න පුළුවන්.රොහාන් සමරජීව -රාවය-

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: